කුසල්නැණ සදහම් ග්‍රන්ථමාලා - 2


දුක් දෙන සසරින් - නික්මෙමු දිරියෙන්...සංස්කරණය

          සංවරප්පධාන සූත්‍රය


කර්තෘ: මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය තල්පාවිල කුසලඤාණ හිමිපාණෝ

ප්‍රකාශනය: කුසල්නැණ සදහම් ප්‍රකාශන.


ප්‍රකාශිත වර්ෂය: 2552 / 2009 දුරුතු (වර්ෂ 2011 දී එළැඹෙන 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙනි.)


ISBN 978 - 955 - 99179 - 1 - 5


පිදුමසංස්කරණය

සම්බුදු සසුන තුළ

මා හට පුනර්ජන්මය ලබාදුන්

අපවත් වී වදාළ

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ

මහානායක මාහිමිපාණන් වහන්සේගේ සහ

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති

අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ

නාහිමිපාණන් වහන්සේගේ

බෝසත් ගුණ මහිමයටත්,

මෙ‍ලෝ කුස තුළ

මා හට ජන්මය ලබා දුන්

මා දයාබර

පියාණන් ගේ හා - මෑණියන් ගේ

අමිල ගුණ මහිමයටත්...

මේ කෘතිය

උපහාරයක් වේ වා!



දුක් දෙන සසරින් - නික්මෙමු දිරියෙන්...සංස්කරණය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

"චත්තාරි'මානි භික්ඛවේ පධානානි. කතමානි චත්තාරි? සංවරප්පධානං, පහාණප්පධානං, භාවනාප්පධානං, අනුරක්ඛණප්පධානන්ති."

‍ අපේ ජීවිත වලට සැප සහ දුක කියන දෙක විටින් විට, විටින් විට පෙරළි පෙරළී එනවා. සැප සම්පත්තියෙන් පිරිලා සැනසිල්ලෙන් ජීවත් වෙන කාලෙදි අපි කල්පනා කරනවා, අනේ මං තරම් වාසනාවන්තයෙක් මේ ලෝකෙ තවත් ඇත්තෙ නැහැ කියලා. දුක් කරදර, වේදනාවන්, පසුතැවිලි අපේ පසු පස්සෙන් හඹාගෙන එනකොට, ජීවිතයේ මීට වඩා දුකක් විඳින කෙනෙක් තවත් ඇත්තෙ නැහැ; මම තරම් කාලකණ්ණි අවාසනාවන්තයෙක් තවත් ඇත්තෙ නැහැ නේද කියලා අපිට කල්පනා වෙනවා. මේ කල්පනාවන් දෙක ම පුහුදුන්කම නිසා, ධර්මය හරිහැටි නොදන්නාකම නිසා අපිට ඇතිවෙන හැඟීම්. අපි හරිහැටි ධර්මයක් දැනගෙන හිටිය නම්, සැප සම්පත්ති වලින් වෙළිල ඉන්න කාලෙදි වත්, දුක් පීඩාවන්ගෙ ගැළිල ඉන්න කාලෙදි වත් හිතන්නෙ නැහැ, මේ ලෝකෙ ඉන්න ඉහළම පුද්ගලයා මම යි, එහෙමත් නැත්නම් පහළ ම පුද්ගලයා මම යි කියලා. ධර්මය දැන ගන්න - දැන ගන්න ජීවිතය පිළිබඳ ව අපට තියන දැක්ම, අවබෝධය පුළුල් වෙනවා. ඒ අවබෝධය පුළුල් වෙනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා, මේ ලෝකෙ ජීවත් වෙන මා හා සමාන වූ හැම දෙනාට ම විඳින්නට සිද්ධ වෙන, අත් හරින්නට බැරි යම් යම් අද්දැකීම් තියනවා. ඒ අද්දැකීම් අතර සැපදායක අද්දැකීමුත් තිබෙනවා, ඒ වගේ ම තමයි, දුක්ඛදායක අද්දැකීමුත් තිබෙනවා කියන කාරණාව.

මේ ලෝකෙ දුක් විඳින සෙසු මිනිසුන් හා සත්වයන් දිහා බලන කොට, යම් කාලෙක අපට මහා තදබල දුකක් විඳින්න සිදු වෙලා තිබුණා වුණත්, අපි විඳපු ඒ දුක් වේදනා කොච්චර පුංචි ද කියලා අපට වැටහෙන්න පටන් ගන්නවා. අපි වගේ නොවෙයි, අපට වඩා ඉතා ම දැඩි වූ, ඉතා ම වෙහෙසකර වූ දුක් වේදනාවන් විඳපු මිනිස්සු අපි අතරෙ ඕනෑතරම් සිටිනවා. අන්න, ජීවිතේට ප්‍රශ්නයක් ඇති වෙලා, දුකක් වේදනාවක් ඇති වෙලා ඔබ වැටෙන්න යන වෙලාවට, කම්පාවෙන් පීඩිත වෙලා ඉන්න වෙලාවට, සංසන්දනය කරලා බලන්න මේ ලෝකෙ ජීවත් වෙන අනිත් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක තමන්ගෙ ජීවිතය. එතකොට අපිට තේරෙනවා, අපි විඳින වේදනාව එච්චර ලොකු එකක් නොවෙයි කියන කාරණය. අන්න ‍ඒ අවස්ථාවෙදි, මේ ලෝකය තුළ දුකක් කියල දෙයක් තියනවා, හැබැයි ඒ දුක සදාකාලික වූවක් නොවෙයි, මමත් දුක් වේදනාවන් විඳිනවා, විඳලා තියනවා, හැබැයි ඒ හැම දුකක් ම තාවකාලික යි, හැම දුකකින් ම එතෙර වීමක් තියනවා කියන මෙන්න මේ අවබෝධයට ඔබ පත් වෙනවා.


"කරුමෙ" තමයි සියල්ලට ම මුල...

අපේ ජීවිතවල නිමක් නැති කරදර, ප්‍රශ්න අප වෙතට ගලාගෙන එනකොට, අපි කියන්න පුරුදු වෙලා සිටිනවා, "අනේ, මං කරපු කරුමෙක මහත" කියලා. හැබැයි, ජීවිතේ සැපෙන් සතුටින් තියන වෙලාවක නම් අපි කවදාවත් කියන්නෙ නැහැ, 'අනේ මං කරපු කරුමෙක මහත' කියලා. හැබැයි ඒ සැපය කියන එක ලැබෙන්නෙත් කරුමෙ නිසා ම තමයි. අපි කරුමෙට වරද පටවන්නෙ අපට දුක වේදනාව ලැබෙන වෙලාවට යි. අපිට සැපය සතුට ලැබෙන වෙලාවට අපි හිතන්නෙ නැහැ, 'මම සසරෙදි කරපු ඉතාම ශක්තිසම්පන්න උසස් කුසලයක් නිසා තමයි ‍මට මේ සැප සම්පත්ති ලැබුණෙ' කියලා. මෙන්න මේක නිසා සැප දුක කියන දෙක හමුවෙදි මඩේ හිටවපු ඉන්නක් වගේ වෙන්නෙ නැතුව, නගරයක් මැද සිටවපු ඉතාම ශක්තිමත් ඉන්ද්‍රඛීලයක් වගේ නොසැළී සිටින්නට ශක්තිය ලබා ගන්නට අපට උපකාර වන්නෙ උතුම් සද්ධර්මය යි. මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීම තරම් උසස් ශ්‍රවණයක්, ශ්‍රේෂ්ඨ වූ ශ්‍රවණයක් මේ ලෝකෙ තවත් ඇත්තෙ නෑ.

අපි අපේ සැප වින්දනය උදෙසා නොයෙක් නොයෙක් දේවල් අසන්නට පුරුදු වෙලා තියෙනවා. අප ප්‍රිය කරන්නා වූ ගීතයක් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය වන වෙලාවට, අපි සියලුම වැඩ නවත්තලා සාවධානව ඒ ගීතය අසාගෙන සිටිනවා. අප ප්‍රිය කරන පුද්ගලයකුගේ හඬක් ඇසුණම, එබන්දකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණම, අප කරන්නා වූ කටයුත්තත් පසෙක ලා ඒ පුද්ගලයා සමඟ සංවාදයේ නිරත වෙනවා. මේ කුමක් නිසා ද? මිහිරි හඬවල් අසන්නට අපි බොහොම කැමැති යි. නමුත්, අපි ඒ විධියට අහන ඒ මිහිටි හඬවල් තුළින් කවර නම් ශ්‍රවණයක් ද අපට පසුව සැනසීම පිණිස හේතු වුණේ? බොහෝ වේලාවට අපි යම් හඬකට ලෝභයෙන්, ඇල්මෙන් සිටියා නම් ආපස්සට හැරිල බලන හැම වෙලාවක ම ඒ ලෝභය - ඇල්ම නිසා, එහෙමත් නැත්නම් ඒ ප්‍රියජනක වූ අරමුණ අපට නොලැබී යාම නිසා, දුක් වේදනාවක් විතරයි අපට උරුම වන්නෙ. මෙන්න මේ නිසා, යමක් අහන කොට අපට හැකියාව තියෙන්න ඕනෙ, අසන දේ පිළිබඳ ඇල්මෙන් තොර ව ඒක අහන්නට. ඒ වගේ ම තමයි, කොච්චර අමිහිරි, අපි කොච්චර අහන්නට අකමැති වචනයක් අපට අහන්නට සිදු වුණත්, එතනදි ද්වේෂයක් - ගැටීමක් නැති ව ඒ හඬ අහන්නට අපට ශක්තිය තිබෙන්නට ඕනෙ.

මේ ලෝකෙ අපි අහන්නට කැමති දේවල් ම හැමෝම කියන්නෙ නෑ නෙ? බලන්න, අපි අහන්නට අකැමැති, කොච්චර රළු - කඨෝර වචන මිනිස්සු කියනව ද? අහගෙන ඉන්න කොට හරියට කනට උලකින් අනින්නා ව‍ගේ. ඒ දේවල් ඇහෙනව කියලා, අපට පුළුවන් ද අපේ කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න? එහෙම නැතිනම් මිනිස්සුන්ගෙ කටවල් වහන්න යන්න පුළුවන් ද? පුළුවන් කමක් ඇත්තෙ නැහැ. මේ ලෝකෙ තුළ අසත්පුරුෂයන් සිටින තාක් කල් ඒ ගොල්ලො නරක වචන, අසභ්‍ය වචන කථා කරාවි. හිත කම්පාවට පත් වෙන වචන, හිත් රළු වෙන වචන කථා කරාවි. ඒව නවත්වන්න බැහැ. අපිට කරන්න පුළුවන් එක ම එක දෙයයි. ඒ තමයි, එබඳු වචනයක් ඇහෙන වෙලාවට අපේ හිත වෙනසකට පත් නොකරගෙන සිටීම. "න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. - 'අනිත් මිනිස්සු මට මොන විදියෙ නපුරු වචන කියල බැන්නත්, අනිත් මිනිස්සු මා පිළිබඳ මොන විදියට පිළිපැද්දත් මගේ හිත විපරීත වෙන්නෙ නැහැ. මම ඒ අයට විරුද්ධ ව පාපී වචනයක් මගේ මුවින් ප්‍රකාශ කරන්නෙ නැහැ.' "හිතානුකම්පී ච විහරිස්සාමි, මෙත්තචිත්තෝ න දෝසන්තරෝ" - 'මම ඒ අය ගැන හිතානුකම්පා ඇතිව වාසය කරනව, මෛත්‍රී සිත් ඇතිව වාසය කරනව, මම ද්වේෂයක් ඇති කර ගන්නෙ නෑ.' මෙන්න තව කෙනෙක් රළු වචනයක් කියල බනින වෙලාවට, තව කෙනෙක් අපිට විරුද්ධ ව ක්‍රියාත්මක වෙන වෙලාවට අපි වැඩ කරන්න ‍ඕනෙ කොහොමද කියල බුදු හාමුදුරුවො කියා දීපු හැටි.

අන්න එ් විධියට වැඩ කරන්න අපි පුරුදු ෙවනව නම් අෙප් ජීවිතයට එළෙඹන ෙබාෙහා් ප්‍රශ්න වලට සාර්ථක ව විසඳුම් ෙසායා ගන්නට අපිට ශක්තිය ලැෙබනවා.

"https://si.wikibooks.org/w/index.php?title=පරිශීලක:කුසලඤාණ&oldid=6335" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි