උග්ගල් අලුත්නුවර/ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර

ප්‍රාග්ඓතිහාසික තොරතුරු හා උග්ගල් අලුත්නුවර ජනාවාස වීමසංස්කරණය

මානව ඉතිහාසයේ ආරම්භක අවදියේ සිටම මිනිස් වාසයන් පිළබඳ තොරතුරු රාශියක් බළන්ගොඩ පෙදෙස ආශ්‍රිතව ගවේශනයට යොමුවූ ආචාර්ය පී.ඊ.පී.දැරණයගල ශූරීන්ගේ සිට මහාචාර්ය ශිරාන් දැරණයගල වැනි වියත්තු අනාවරණය කරති. "හෝමො සේපියන් බළන්ගොඩෙන්සිස්" මානව සමය පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය කරමින් ඇරඹි මේ අධ්‍යයනයන් මගින් පැහැදිලිවන්නේ ඉතා දුරාතීතයේ සිටම දියුණු මිනිසා වාසයට යොදාගත් පෙදෙසක් බවය. නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේට දක්නට ලැබුණායයි පැවසෙන වෙනත් පුරාණ පුස්කොල ලේඛනයක(බලන්න මෙහි ප්‍රාථමික මූලාශ්‍ර පිළිබඳ ඡෙදය)දැක්වෙන විස්තර සැලකිල්ලට ගතහොත් උග්ගල් අළුත්නුවර ජනාවාස වීම ඇරඹී ඇත්තේ බැමිනිතියා මහ නියංසාය අවදියේය. එනම් වළගම්බා රජ සමයේ ක්‍රි.පූ. පළමු සියවස පමණ වෙයි. ඒ අනුව සහ නම්පොත හයවන පැරකුම් සමයේ ලියැවුනේ නම් ඒ මගිනුත් තහවුරු වන්නේ ජනාවාස වීම හා පූජනීය සිද්ධස්ථානය ඇරඹීම ද වසර දහස් ගණනකට උඩදී සිදු වූ බවය. එහෙත් අත්තනායක මොහොට්ටාල නිළමේවරයා ලේඛකයාට දී ඇති පුරාණ පුස්කොල ලේඛන උපුටනයේ අනාවරණය වී ඇති ලිඛිත තොරතුරු හා ඇතැම් ජනකතා ඇසුරු කරන විට උග්ගල් අලුත්නුවර ජනාවාස පැතිරී යාම ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව.1382 දී මැදගම දේවාලය පිහිටුවන සමය ආසන්නයේ බව පෙනේ. පුරාණ ලේඛනයේ පැවසෙන තොරතුරු අනුව ක්‍රි.ව. 1382 වන විටත් මේ පෙදෙස වනගහනයෙන් වැසී තිබුණ එකකි. පෙදෙස පාලනය වී ඇත්තේ “වන්නිරාල”වරයෙක් යටතේය. එයින් ඇඟවෙන තවත් කාරණයක් වන්නේ මේ පෙදෙස ද වන්නිය සේ නම් කර ඇති බවය. ගැට්ටපාන වන්නිරාල, කෝට්ටයාකන්දේ වන්නිරාල, බඩහැල වන්නියා වැනි වන්නියට සම්බන්ධ අය ගැන මේ ලේඛනයේ තොරතුරු දක්නට ලැබේ. මහනුවර රාජධානියෙන් නිරිත දිග කොටස වනයෙන් වැසී තිබුණ බවට තොරතුරු රොබට් නොක්ස්ගේ වෘතාන්තයෙන් ද අනාවරණය වීමෙන් පැහැදිලිවන්නේ එතෙක් විශාල ලෙස ජනාවාස ‍පැතිරී නොතිබූ බවකි. මැදගම වනාන්තරය හා මැද්දේගම රාජධානිය යනුවෙන් හැඳින් වෙන ප්‍රදේශය ගැන තොරතුරු ඉහත දක්වා ඇති මූලාශ්‍ර කරගත් පුස්කොල ලියවිල්ලේ සහ කුස්තන්තීනු හටනේ ද ලේඛනගතවත් හා ප්‍රදේශයේ ජනවහරේත් ඇත්තේය. ජාතික ඉතිහාසය හදාරන්නට උපකාරවන දැනට ප්‍රකට මූලාශ්‍ර ලේඛනයන්හි, මේ පෙදෙස ගැන පුවත් සෙවීම අසීරුය. සමහරවිට තවමත් අප්‍රකටව ඇති පුරාණ ග්‍රන්ථයන් වූ "උත්තරවිහාර වංශය" හෝ "උත්තරවිහාරට්ඨ කතාව" වැනි ග්‍රන්ථයක් තුළ මේ පිළිබඳව සටහන් තිබෙනවා වන්නට පුළුවන.( උත්තරවිහාර වංශය .වම සොයා නොගත් ග්‍රන්ථයකි.) මේ ආසන්නයේ ඇති හා උග්ගල් අලුත්නුවරට නෑ කම් ඇති උග්ගල් කල්තොට, බුදුගල පධානගර, තංජන්තැන්න, කූරගල, දියවින්න හා හඳගිරිය වැනි පෙදෙස්වල දක්නට ලැබෙන ඇති ක්‍රි.පූ. 2 හෝ 3 වැනි සියවස්වලට ගිනිය හැකි නටබුන් හා ගිරි ලිපි, ලෙන් ලිපි ආදියෙන් පැවසෙන තොරතුරු හරිහැටි හඳුනාගන අර්ථකථනය කරමින් පෙළ ගැසිය හැකි සාහිත්‍යමය මූලාශ්‍ර තවම හමුව නොමැත. වරින්වර අපගේ පුරාණ පොත් පත් ගිනිතැබූ අවස්ථා පිළිබඳ වාර්තාවන් ඉතිහාසය හමුවන හෙයින් බොහෝ ඉතිහාස පුවත් තවම සැඟව පැවතීම අරුමයක් නොවේ. උග්ගල් අලුත්නුවර ආශ්‍රිත ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැනීම් තවම ආරම්භවී නැත. මතුපිටින් ප්‍රකටව පෙනෙන පුරාවිද්‍යාත්මක සම්පත් මධ්‍යකාලීන යුගයට වඩා පැරණි නොවේ. ඉහත සඳහන් කර ඇති පුරාණ ලේඛනයන් මහනුවර රාජධානි සමයට ගැනෙන ඒවා වෙයි. එහෙත් මෙය ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් ‍පුරාණ බිම්කඩක් බැවින් ද ශිෂටාචරවත් මිනිසුන් සිටි බව හැඟවෙන තදාසන්න පෙදෙස් ගැන ද සලකන විට සැඟව පවත්නා ඓතිහාසික තොරතුරු අනාගතයේදී අනාවරණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ආරම්භය පිළිබඳ නිගමනය අපහසු කරවන පරස්පර තොරතුරු ලැබුණද පළමු රාජසිංහ අවදියෙන් පසුව ලේඛනයේ ලැබෙන තොරතුරු විශ්වාසනීයත්වයෙන් ඉහළය. ක්‍රි.ව.1382 හෙවත් ශකවර්ෂ 1304 සූරිය මහරජතුමා විසින් මැදගම වනාන්තරයේ කතරගම දෙවියන් උදෙසා මෙහි මුල්ම දේවාල ගොඩනැගිලි කර ඇති බව දැක්වෙන පහත ඇති ජනකවිය සැලකිල්ලට ගන්න.

ශලුත්සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සද‍       කාලේ
ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද           මාලේ
දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බදු ඒ         කාලේ
දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම          දේවාලේ

වශයෙන් ගමේ ප්‍රකට ජන කවිය ද ජනප්‍රවාදයේ පවතින ජනකතාවන්ද අනුව ගම්පල රාජධානි සමයේ සිට අනාවරණය වන ඉතිහාසයකට ආලෝකය ලැබෙයි. මේ අවදිය ගම්පල රාජධානියේ 5 බුවනෙකබාවන් රජකළ සමයයි. මෙහිදී කියවෙන “සූරියමහ නෙරපති” යන්නේ භාවිතව ඇත්තේ රජවරුන් තමන් හඳුන්වාගත් “සූර්ය පළපත” යන අදහස වන්නේ නම් සමහරවිටක “මේ 5 බුවනෙකබාවන්ම විය හැකිය” යන අනුමානයට පැමිණිය හැකිය. 5 බුවනෙකබාවන් සීතාවක ගමේ ආරම්භකයා වශයෙන් කටයුතු කළ රජතුමා බවට තොරතුරු අනාවරණය කෙරන මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ පර්යේෂණ(බලන්න, මහාචාර්ය රිසිමන් අමරසිංහ ශූරීන්ගේ සීතාවක ඓතිහාසික රාධානි යුගය පිළිබඳ පර්යේෂණ මගින් අනාරණය කර ඇති තොරතුරු අනුව රචනා කර ඇති අගනා පර්යේෂණ නිබන්ධනය "සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්" 1998 කර්තෘ ප්‍රකාශනය) ද සැලකිල්නේ කියවනවිට මැදගම වනාන්තරය ද විදේශ සතුරු උවදුරු වලදී ස්වාභාවික රැකවරණ ලැබිය හැකි ප්‍රදේශයක් ලෙස ගිරි, වන හා ජල දුර්ගවලින් යුත් බැවින් රජුගේ අවධානය ද ලැබෙන්ට ඇති බව පෙනීයයි. විදේශ සතුරු ආක්‍රමණ වලට ගොදුරු වන කාලයක් උදා වීම නිසා රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙමින් පැවති යුගය වූ මෙකල මැදගම වනාන්තරයද රජදරුවන්ගේ රැකවරණයට වැදගත් වූ ප්‍රදේශයකි. තවත් අතකින් 13 සියවසේ සිට දිවයිනේ විවිධ ස්ථාන කේන්ද්‍ර කරගත් පාලකයන් ගණනාවක් සිටි බව ඉතිහාස පුවත් පෙන්වා දෙයි. ප්‍රධාන රජවරුන් වෙනුවෙන් “රහස් මාලිගා” පිහිටුවා ගැනීම හා රහස් පෙදෙස් හඳුනාගෙන තබා ගැනීම මේ කාල වකවානුවේ සිටම අවත්‍යවශ්‍ය වූවකි. ඇතැම් විටෙක මෙසේ රජුගේම පත්කිරීම් මත ප්‍රදේශ භාරව සිටි වන්නිරාලවරුන් හා බණ්ඩාරවරුන් වැනි අය ස්වාධීනව කටයතු කළ අතර තවත් විටෙක ඔවුහු මහනුවර,කෝට්ටේ සහ සීතාවක වැනි යුගයන්හි සිටි රජවරුන් යටතේ සිටි යුද සේනාපති වරුන් හො ප්‍රාදේශිය පාලකයන් සේ ද වූහ. කඳුකර රජ පෙළපතක් ගැන වෙනම ම තොරතුරු ද මේ සමයේ දක්නට හැක්කේ ඒ නිසා විය හැකිය. ගඩලාදෙනිය, නාථ දේවාලය වැනිස්ථානවල ඇති ශිලා ලිපිවලින් එවැනි අය ගැන පැහැදිලිවෙයි. "මැදගම්නුවර" හෝ "මැද්දෙගම්නුවර" යනුවෙන් ප්‍රාදේශීය රාජධානියක් පිළිබඳ ඉඟි පුරාණ ලියවිල්ලේ මෙන්ම අලගියවන්න මුකවෙටි රචනා කළැයි සැලකෙන "කුස්තන්තීනු හටන" අනුවද උග්ගල් අලුත්නුවර දේවාලයේ තොරතුරු ලියවී ඇති පුරාණ ලේඛනය හා ජනප්‍රවාදයන් අනුව ද නිගමනය කළ හැකිය. මේ මැදගම්නුවර හෝ මැද්දේගම්නුවර යනු අලුත්නුවරට ආසන්නව ඊට උතුරෙන් දෙතනගල කඳු පාමුල සැඟව පිහිටි වර්තමානයේ දක්නට ලැබෙන පුරාණ ගම්මානයකි. ඒ ආශ්‍රිතව ඇති කණතිරියන්වෙල කොටබෝධිය ශ්‍රීමහා බෝධියේ ශාඛාවක් බවට දැඩි විශ්වාසයක් පවතී. එළුගාල පන්සල පිහිටි ටැම්පිට විහාරය, ඒ ආශ්‍රිතව ඇති මධ්‍යකාලීන යුගය ආශ්‍රිතව සකස් කර ඇති බවට ඉඟි කෙරෙන ගල් ටැම් සහ බොල්තුඹය සමන් දේවාලය හා රජමහා විහාරය ද බළන්ගොඩ පින්නවලට කිට්ටුව පිහිටි “මැද්දේගම” යනු සඟවාගත් වටිනා ඉතිහාසයක් ඇති බව තහවුරු කරයි. එය පුරාණ රාජධානියක්ව තිබියදී ක්‍රි.ව.1619 දී පමණ කොන්සතන්තීනු ද සා නොරොඤ්ඤා විසින් ගිනිබත්කර වනසා රජදරුවන් පළවා හැරි ආකාරය ගැන විස්තර කුස්තන්තීනු හටනේ දැක්වෙයි. රොබට් නොක්ස් එදාහෙලදිව ගැන කරන විස්තර වල මහනුවර රාජධානියෙන් නිරිත දිග පෙදෙස් ඝන වනාන්තරයෙන් වැසී තිබුණ බවත්, වනය හෙලි කිරීම තහනම් කර ඒවා පාලනයට නිලධාරීන් පවා පත්කරතිබුණ බවත් හෙලිවෙයි. ඒ අනුව 17 සියවසේ මැද භාගය වැනි කාලයක වුව ද මේ පෙදෙස පැවත ඇත්තේ ඝනවානන්තරයට මැදිව සැඟවුන ස්ථානයක් සේ බව පෙනේ. පාරවල් විශාල සංඛ්‍යාවක් වුවද එකම පාරකවත් දෙදෙනකුට පේලි ගැසී යාමට නොහැකිබවත් එක්කෙනා පස්සේ එක්කෙනා බැගින් ආයුතු බවත් රොබට් නොක්ස් කියයි. රටේ අස්සක් මුල්ලක් නෑර රොබට් නොක්ස් ඇවිද ගියද කිසි දිනක මැදගම වනාන්තර පෙදෙසට පැමිණ ඇති බවක් නොකියවේ. 1382 යට කී සූරිය මහරජතුමා මැදගම දේවාලය කර ඇත්තේ ගැට්ටොපාන වන්නිරාල්ත් මැදගම බණ්ඩාරත් සැලකළ පුවත අනුවය. මේ මැදගම දේවාලය ඉදි ක‍ෙළ් 5 වන බුවනෙක බාවන් වන්නේ නම් පුරාණ ලේඛනයේ සඳහන් “මැදගම බණ්ඩාර” යනු එවකට තිබූ මැද්දේගම රහස් මාලිගයේ සිටි ප්‍රාදේශීය නායකයා විය හැකිය. "ගැට්ටපාන වන්නිරාල" යනු මැදගම දේවාලයට ආසන්නයේ පදිංචිව සිටි වනාක්ෂක නිළධරියා විය හැකිය. මෙහි දැක්වෙන "බඩහැලවන්නියා" සහ "කදිරසිංහතන්ත්‍රියා" ද එකල සිටි ප්‍රධානින් බව ලේඛනය අනුව නිගමනය කළ හැකිය. කදිරමල් නාච්චිරා සහ පොන්නමල් නාච්චිරා යනුවෙන් නම් සඳහන් පිරිසක් ද එකල සිටි බව ලේඛන පෙන්වා දෙයි. මෙහි නාච්චිරා යනු දෙමළ බසින් හැඳින්වෙන “නාච්චිලේ” යන වදනින් බිඳී ආවක් නම් මේ අය දකුණු ඉන්දීය යකඩ හා වානේ තාක්ෂණය මෙරට දී භාවිත කළ අයගෙන් පැවත එන පිරිසක් සේම දකුණු ඉන්දීය සංක්‍රමණ මගින් ජනාවාස පෝෂණය වෙමින් තිබුණු බවටද තොරතුරු ලැබේ. රංගනාත බ්‍රාහ්මණ, රාමචන්ද්‍රබ්‍රාහ්මණ, බාලචන්ද්‍ර බ්‍රාහ්මණ, වැනි බ්‍රාහ්මණ පිරිසක්ම ගැන ලේඛනයේ කියවෙන බැවින් දකුණු ඉන්දීය සංක්‍රමණ ද මෙහි ජනාවාස පැතිරීමට හේතුවීය යන්න තවදුරටත් තහවුරු කරයි. උග්ගල් අලුත්නුවර දේවාලයට නුදුරින් ගිණිකොණ දිගින් පිහිටි හටන්පල ගමේ අදත් පුරාණ යකඩ හා වානේ ශිල්පීන් පදිංචිව සිටිති. විශේෂයෙන් පිහිය, මන්න , කැත්ත, නාරස්සන හා ඉල්ලම්කූරු වැනි ආයුධ මෙන්ම කෘෂිකාර්මික ආම්පන්න සකස් කිරීමේ විශෙෂ සමත් කම් ඇත්තන් බව ප්‍රදේශයේ මෙන්ම තදාසන්න නගරයේද ඔවුහු ප්‍රසිද්ධ අය වෙති. ඔවුන් ළඟ ඇති ඒ ඒ කටයුත්තට අදාල උපකරණ වලට ගැලපෙන සේ වානේ පණ පෙවීමේ දුර්ලභ ක්‍රමශිල්පයක් ද ඒ අය සතුය. ( යකඩ හා වානේ කර්මාන්තය පිළිබඳ පරිච්ඡේදය බලන්න) මේ අයද පුරාණ ලේඛනය අනුව ප්‍රදේශයේ මුල්ම පදිංචි කරුවන් අතර සිටි අයවෙති. යකඩ වානේ කර්මාන්තයේ යෙදෙ අය කදිරමල් නාච්චිරා, පොන්මල් නාච්චිරා වැනි “නාච්චිලේ” යන දෙමළ වදනින් බින්නවූ වදනක් මේ අය අතර සිටින සමහරුන්ගේ නමට යෙදී තිබීම ද දකුණු ඉන්දීය යකඩවානේ ශිල්පීන්ගේ ආභාසය දේශීය ශිල්පීන් සමග එකතු වූ බවට සාක්ෂි සපයන ඉඟියකි. භාරතරත්න කපු මහතා පැවසූ ජනකතාවන්හි දැක්වෙන පරිදි කගරගම වන්දනාවේ යමින් සිටි සිරිපරාම,මංගල නාත බ්‍රාහ්මණ, රංගනාත බ්‍රාහ්මණ, නාගර දේවී සහ පරවරදාසා ඇතුළු පිරිස පිරිසක් තාවකාලිකව මේ පෙදෙසේ නවාතැන් ගත් අතර දේවාභරණ පහළ වීමෙන් පසුව ඒවාට පුද සත්කාර කරමින් මේ පෙදෙස වාසය සඳහා ද තෝරා ගත්හ. පුරාණ ලියවිල්ලේ මේ පුවත දැක්වෙන්නේ “මැද්දදේසෙන් ඇවිත් මැදගම වාඩිපදිංචිලා සිටි බ්‍රාහ්මණ පරිසක්” ලෙසය. උදෑසන මුව දෝවනය පිණිස “අන්දරමුල්ල” නමැති ප්‍රදේශයේ එකල තිබූ වැවට “පැන්සනහනු” පිණිස ගියා නම් ඔවුන්ගේ තාවකාලික නවාතැන්පල ගැට්ටපාන වන්නිරාලගේ නිවස ආසන්නයේ වුනා විය හැකිය. වැවක් තිබුණෙ නම් ඒ වනවිටත් කෘෂිකර්මය ජීවනෝපාය කරගත් සුළු පිරිසක් හෝ වූ බව සිතිය හැකිය. ලේඛනයේ ඇති පුවත් සනාථ කරමින් ජනකතාවේ ද ගැට‍ෙනටුල යට ගල්ලෙනක් ගැන කියවේ. එය ගල්වත්ත ප්‍රදේශයේ දැනට ඇති ගල්ලෙන බව පෙදෙස් වැසියෝ පෙන්වා දෙති. එම ගල්ලෙන ආසන්න පෙදෙස වැසියන් තම පෞද්ගලික ප්‍රයෝජනයන් පිණිස කිසිවිට භාවිත කිරීමට බියවෙති. මෙකල සූරිය මහ රජු විසින් ඉදි කළ “දේවාලයට පඬුල්ලා” දුන් පිරිස අතර “තටු කොල කළූ” සහ “පොල්බොක්කේ අරුමක්කාරයා” යන අය ද වෙති. වැදගත්ම කාරණයක් වන්නේ තටුකොල පංගුවේ ඉඩම් ඇත්තේද දේවාල‍ෙය් “තටුකොල රාජකාරි පංගුව” භාර අය දනුදු පදිංචිව සිටින්නේ මේ ගල්ලෙන ආසන්නයේ ඇති “මාළුකාරවත්ත” නම් ස්ථානයේමය. පොල්බොක්කේ අරුමක්කාරයා යනු කවරෙක්දැයි සිතීම අපහසුය. පොල්බොක්ක යනු ඕපනායක ආසන්නයේ පිහිටි පුරාණ ගමකි. එහි ඉඩම් හිමියෝ අලුත්නුවර වෙති. මේ ගල් ලෙනට තරමක් ළඟ පදිංචි කරුවන් වන තවත් පිරිසක් සක් පිඹීම ස්මබන්ධ රාජකාරිය භාර ඇත්තෝ වෙති. උග්ගල් අලුත්නුවර දේවාලයේ සක් පිඹීමේ නාද රටාව අති විශේෂ නාදමාලාවකින් යුතුය. එය සාමාන්‍යයෙන් අසන්ට ලැබෙන අන්දමේ එකක් නොවේ. ඒ සඳහාම වූ විශේෂ ශිල්පීය පුහුණුවක් අවශ්‍යමය. දිවයිනේ අන් කිසිම තැනෙක “නොඇසූ ශෛලියකින් හා රිද්මයකින් සක් පිඹින හඬ” අදත් මේ දේවාලයේ දැකිය හැකිය. එය සබරගමුව නැටුම් කලාවේ බළන්ගොඩ සම්ප්‍රදායට අයත් ගාහක වන්නමේ තාලය හා නාදරටාව බව උග්ගල් අලුත්නුවර දේවාලයේ රාජකාරි නයියන්ඩි නැටුම් ශිල්පයේ විශේෂ දැනුමැත්තකු සේ සැලකෙන, 84 වියේ පසුවන එන්.කේ.නන්දෝරිස් මහතා පවසයි. (මේ අයගේ වැඩි විස්තර වෙනමම පරිච්ඡේද මගින් ඉදිරියේදී ලියවෙයි.) පෙදෙස ජනාවස වීමේදී ආරම්භක මුල් පදිචංකරුවන් ලෙස සිතාගත හැක්කේ මේ අයයි. 1582 දී යාපාමහරජු අලුතෙන්ම නුවරක් ඉදි කර හා කලින් තිබුණු මැදගම දේවාලය වෙනුවට වඩා විශාල දේවාලයක් ද ඉදිකර දාගොබ හා විහාර ගෙයද කළ බව ඉතිහාස පුවත් අතර තහවුරුවන අතර මේ සඳහා විශාල පිරිසක් පිටතින් පැමිණි බව ද ඔවුන් දේවාලයට පඩුල්ලා දුන් බවද කියවේ. රජුගේ දුක්ගන්නා කමට පැමිණ සිටිය අයගෙන් කෙනෙක් ද මෙසේ පඬුල්ලා දුන් අය අතර වීමෙන් පැහැදිලි වන්නේ ඒ වනවිට එතරම් විශාල ජනකායක් නොසිටි බවය. දේවාලය ගොඩ නැගීම සඳහා ශිල්පීන් පැමිණ ඇත්තේ දෙවුන්දරිනි. “දෙවුන්දර වඩුමිස්ත්‍රී” යනුවෙන් මෙය පුරාණ ලේඛනයේ විස්තර වේ. පැරණි ඇතැමෙක් තමන් රජතුමා සමග මැදගම්නුවරින් පැමිණ පදිංචි වූවන් ගෙන් පැවත එන බව කියති. මේ අනුව උග්ගල් අලුත්නුවර ජනාවාස පැතිරීම වේගවත්ව ඇත්තේ 1582 න් පසුව බව ද පෙනී යයි.



උග්ගල් අලුත්නුවර · උග්ගල් අලුත්නුවර දේවාලයේ මුල් නම