උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර දේවාලයේ මුල් නම

උග්ගල් අලුත්නුවර දේවාලයේ මුල් නම "මැදගම දේවාලය" ........ ! ?

සංස්කරණය

පුරාණ ලියවිල්ලේ ශක වර්ෂ1304 හෙවත් දැනට ව්‍යවහාරවන වර්ෂවලින් කියන විට 1382 ඉදි කළ බව කියවෙන්නේ මැදගම දේවාලයක් ගැනයි. මේ මැදගම දේවාලය යනු කුමක්ද යන්න තවදුරටත් විමතියක් නොවන පරිදි වර්තමාන උග්ගල් අලුත්නුවර දේවාලයාශ්‍රිත ජනව්‍යවහාරයේ පවතින තොරතුරු වලටත් වඩා පරිසරයේ හමුවන භෞතික දේ, එනම් නෂ්ටාවශේෂ සාක්ෂි දරයි. දැනට ඇති දේවාල මාලිගයේ ඉදිරිපසින් හෙවත් දේවාලයට දකුණු දෙසින්, මීටර් 75 කට ඉදිරියෙන් "ගොඩැල්ල" සේ ඇතැමකු නම් කළ තරමක උස්බිම් කොටසක් විය. පත්තිනි දේවාලය හා වල්ලි දේවාලයට මහ පෙරහර ළඟා වෙද්දී මේ ගොඩැල්ල නිසා පෙරහර බස්නායක නිළ නිවසේ සිට නැරඹීමට අපහසුවිය. 1978 දක්වාම පැවති මෙය තරමක් විශාල ගල්පර්වතවලින් අඩි 10 ක් පමණ උස්ව ගොඩ නගා ඇති දළ වශයෙන් අඩි 12×12 පමණ කොටසක් විය. ඒ කුමක්ද යන්න ගැන නිනව්වක් බොහෝ දෙනකුට නොතිබුණි.එහෙයින් ගොඩැල්ල සමභූම්යක් බවට පත් කිරීමට 1978 දි වෑයම් කරන ලදී. පත්තිනි දේවාලයේ වාර්ෂික උත්සවය වූ "පාන්මඩු" දිනයන්හි මේ ගොඩැල්ල මත ගිනිමැල ගසාගෙන සිටිමින් කුඩාකල පාන්මඩු රැඟුම් බැලූ ආකාරය ලේඛකයාගේ මතකයේ ද තවමත් පවතී. 1977 වන විට දේවාල ඉඩම් වල ලැබුණ මැණික් නිසා දේවාලයේ ආදායමි තත්ත්වය සරුවට වැඩී තිබුණි. මේ නිසාම දේවාලය හා එහි ආශීර්වාදය ගැන බස්නායක නිළමේතුමා මෙන්ම ගම්වැසියන් තුළ පැවති භක්තිය දෙගුණ තෙගුණ වී පැවතුන අතර දේවාල පරිශ්‍රය ද දියුණු කිරීමේ ලා ද සියල්ලෝම උත්සුක වූහ. ‍පෙරහර මග සංවර්ධනයේදී ගොඩැල්ල ඉවත් කිරීම සුදුසු බවට ඇති වූ අදහසක් නිසා ගොඩැල්ලේ තිබූ ගල් පර්වත බුල්ඩෝසර් මගින් පෙරලා ඉවත් කිරීමට කටයුතු යෙදුනි. මේ සමභූමි කිරීමට ගත් වෑයමේදී එය ස්වාභාවික පිහිටීමක් නොවන බවත් පුරාණ ඉදිකිරීමක් බවත් වගකිවයුත්තන්ට පැහදිලි වන්නට වීමෙන් කාර්යය වහා නවතා දැමුවත් ඒ වනවිටත් පුරාණ නෂෟටාවශේෂ වලට සිදුව තිබුණේ සෑහෙන විනාශයකි. විවිධ පිළිම ගණනාවක්ම ගල් හා පස් සමග මතුව එකිනෙකා රැගෙන ගොස් ඇති බවට ආරංචි ලැබෙන්ට විය. ඒ කුමනවාද යන්න පවා හඳුනා ගැනීමට කිසිවකුට අවකාශ නොලැබුණි. වැසිවැටෙද්දී ඉවත් කරමින් තිබූ පස් සේදී යද්දී විවිධ අයට හමු වූ මැණීක් හා රත්රන් පිළිබඳවද වාර්තා පෙදෙස් වැසියන්ගෙන් නොකඩවා ලැබෙන්නට විය. සංවර්ධන කාර්යයන් කළේ පිරිසිදු පරමාර්ථයකින් යුතුව වුවද සිදුවූයේ අකරතැබ්බයක් බව වගකිවයුතු කාටත් දැනෙන්ට විය. නොදැන කළ සංවර්ධනය අනාගත පරපුරේ වාසනාවට මෙන් නවතා දැමූ හෙයින් අදත් මැදගම දේවාලයේ අත්තිවාරම හා ඒ ආශ්‍රිතව පිහිට වූ පුරාණ බෝධිවෘක්ෂය සමග එකට වෙලී වැඩුන නෙටුල් වෘක්ෂය ද ඉතිරිව පවතී. ඓතිහාසික තොරතුරු අනාවරණය පිණිස සුදුසු පුරාවිද්‍යා කැනීම් සඳහා යෝග්‍ය අගනා බිමක් වශයෙන් එය මහඟු දායාදයකි. මේ ගොඩැල්ල ඉදිරිපස කොටස අදත් හැඳින්වෙන්නේ "මැදවත්ත" නමිනි. මැදවත්ත ලෙස නම් කරන මේ කොටස දළවශයෙන් මීටර් 50×75 තරමේ සෘජු කෝණාකාර ප්‍රදේශයකි. ඒ වටා තිබූ බැම්ම "ආනමේස්සර" නිමවා සකස් කළ එකක් වශයෙන් 1978 වනතුරු දක්නට ලද හැකිවිය. 1978 දේවාල පරිසරය දියුණුකිරීමට යාමේදී අනාවරණය වන්නට වූ පුරාවස්තු නිසා එම ප්‍රතිසංස්කරණයන් ක්ෂණිකවම නවතා දැමිණි. මෙම මැදගම දේවාලය වටා තිබූ බැම්මේ ද අත්තිවාරම් හානි නොවි තවමත් පවතී. 1582 දී ඉදි කළ බව පැවසෙන දැනට විද්‍යාමාන දේවාලය ඉදි කරවා පරිශ්‍රය නිර්මාණය කිරීමේදී මැදවත්ත ප්‍රදේශය පොල් ගස් හිඳුවා සකස් කරන ලද උද්‍යානයක් බවට පත්කර ඇති බව සිතිය හැකිය. බස්නායක නිළමේ ඇතුළු නිළමේවරු ‍මහා පෙරහර සමග වීදි සංචාරය කරමින් පැමිණෙද්දී පත්තනි දේවාලය ඉදිරිපට නවතී. ඒ සඳහා නූතනයේ ඉදි කළ තාවකාලික නවැතැන්පල හෙවත් "රිට්ටා ගෙය" ඇත්තේ පුරාණ මැදගම දේවාලය ඉදි කළ අත්තිවාරම මතය. ඒ අවට පොළවේ විශාල ගල් ඇතුරුම පුරාණ ගොඩ නැගිල්ලේ අත්තිවාරම බව පෙන්වන විද්‍යමාන සාක්ෂියකි. පුරාණ ලියවිල්ලේ දැක්වෙන්නේ "දිග සත් බඹයක් පුළුල පස්බඹයක්" වන පරිදි දේවාල මළුව ඉදි කර පරිශ්‍රය සතර දෙස සීමාගල් සිට වූ බවය. මේ ම්නුම් තොරතුරු වලට ගැලපෙන නටබුන් හා පරිශ්‍රය තවම විද්‍යමානය. 1933 සිට සිටි සෑම බස්නායක නිළමේ කෙනෙකු වෙනුවෙන් තමා මිය යනතෙක්ම මහත් භක්තියෙන් "අතපත්තු මොහොට්ටාල නිළයේ" ද තමාට එළඹෙන වාරයන්හි "අත්තනායක මොහොට්ටාල නිළය" නම් වූ ප්‍දේවාලයේ ප්‍රධාන විධායක නිළයේද කටයුතු කළ ඒ.එම්.එස්.එම්.පුංචිබණ්ඩාර මහත්මා මැදගම දේවාලයේ නටබුන් සමතලාවෙද්දී මහත් වේදනාවෙන් විරෝධය පෑ ආකාරය ලේඛකයාට සිහිපත් කළ හැකිය. එකල වැඩි දෙනකු සිතුවේ හෙතෙම දේවාලය දියුණු කිරීමේ වැඩපිළිවෙලට විරුද්ධ වන්නේ පෞද්ගලික හේතුවක් මත විය හැකි බවකි. ඔහු මැදගම දේවාලයට ආසන්නයේ යටත්විජිත සමයේ සිටම පදිංචිව සිටි ගමේම සිටි පෙරහර සම්ප්‍රදාය මේ පිළිබඳ විශේෂ දැනමුත්තෙකි. විටෙක වෙනත් ස්ථාන වල පැවැත්වෙන පෙරහර සම්ප්‍රදායයන් සමග සන්සන්දනාත්මකව කරුණු දක්වන්නට සමත්වූ උග්ගල් අලුත්නුවර දේවාලයේ මහ පෙරහර ඇතුළු සතර කාර්ථික මංගල්‍ය සිරිත් සම්ප්‍රදාය ගැන විශෙෂඥයකු ද විය. එතුමා ජීවත්ව සිටියදී මෙම ලේඛකයා පමණක් නොව, දේවාලයේ රාජකාරි සඳහා එන නවකයන් සහ නව බස්නායක නිළමේවරුන් පවා උපදෙස් ලබා ගත්තේ මේ නිළමේ තුමාගෙන් හෝ ඔහුගේ ඥාති සොහොයුරකු වන දැනටත් ජීවත්ව සිටින ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර මහතා ගෙනි. මේ අය මැදගම දේවාලය ගැන හොඳින් දැන සිටියහ. පුංචිබණ්ඩාර නිළමේගේ කීම් මුලදී ගණනකට නොගෙන සිටියත් මතුවන්නට වූ පුරාවස්තු නිසා සිදුවන්නට ගිය පුරාවස්තු විනාශය යම්තරමකින් හෝ වලකාගන්ට හැකිවීමෙන් අදත් මැදගම දේවාලය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉතිරිව පවතී. පුරාණ ලියවිල්ලේ ද "පළමුවෙන් තිබ්බ මැදගම දේවාලේට භාරවෙමින් සිහිල් බත්බැවිලේ කොස්පැලේ රන්පනම් දහසකින් යුතු පඬුරු පොද්යක්" බඳින ලද බවට සඳහනක් මෙන්ම "මෙතන නුවරක් කරවා දේවියන්ට දේවමාලිගයක් ඉදි කරන" බවට සඳහනක්ද එිහි දක්නට ලැබේ. මේ තොරතුරු මැදගම දේවාලය නම් වූ දේවාලය තිබී ඇත්තේ මෙහිම බවට ද, දැන් දක්නට ඇත්තේ එම දේවාලය වෙනුවට ගොඩනගන ලද වඩා අලංකාරවත් දේව මාලිගය හා විශාල කර න ලද නුවර බවට ද ලිඛිත සාක්ෂි වෙයි. මේ ලිඛිත සාක්ෂි තහවුරු කෙරෙන තොරතුරුම කන්දකුමාර සිරි‍ෙත් ද වාර්තා වේ.

ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර · මැදගම දේවාලය