උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර

උග්ගල් අලුත්නුර නාමය

උග්ගල් අලුත්නුවර යන නාමයේ “අලුත්නුවර” යන්න අලුතෙන් ඉදිකළ නුවරක් නිසා ඇතිවූ බව ගමේ ඇතැමෙක් පෙන්වා දෙති. තව අයෙක් එය මෙහි ජනකතාවන්හි හා පුරාණ පුස්කොල ලේඛනයේද කන්දකුමාර සිරිතේ කවියක ද එන ආකාරයට අළුගොඩක්මත සිද්ධස්ථානය ගොඩනගා ඉදිකළ "අළුනුවර නුවර" යන්න පසු කලෙක අළුත්නුවර වී යයි තෝරා දෙති. මේ පූජනීය නගරය නිර්මාණය වූ ආකාරය පිළිබඳව ඇති ජනකතා සහ කවි ගැන ද පුරාණ ලේඛ‍නයේ තොරතුරුද විමසන විට මේ දෙආකාරයම නිවැරදි බව පෙනේ. ඒ අනුව මුලදී මේ පෙදෙස තිබී ඇත්තේ වනාන්තරයක් ලෙසිනි. මුලදී හැඳින්වුනු පරිදි “මැදගම දේවාලය” යනු මැදගම වනාන්තරයේ සැඟව තිබූ දේවාලයකි. තමන්ගේ යුද්ධය දිනා දෙන ලෙස ආයාචනා කරමින් මේ දේවාලයට යාපා මහ රජතුමා වූ භාරය “මෙතන දෙවියන්ට අලුතෙන්ම නුවරක් ඉදිකරවා දේවාලයද තනා ඊට ගමුත් පුදවා දවස දෙවේලේ දන්මුළුතැන් පවත්තන හැටියට” වශයෙන් පුරාණ ලේඛනයේ දැක්වෙන හෙයින් “අලුත්නුවර” වූ බව කියවේ. දේවාලය තනන ස්ථානය තෝරාගෙන ඇත්තේ පේකරන ලද ගොඩැල්ලකි. (a highland) දේවාලය ඉදිකිරීමට පෙර දින රාත්‍රීයේ ඒමත තිබුණු මහානුග ගස ගිනිගෙන දැවී විශාල අළුගොඩක් තිබූ බවද එම අළු ගොඩ මත දේවාභරණ පහළ වී තිබුණ බවද ඒ අනුව මෙය අළුනුවර නම ලබා පසුව එය අළුත්නුවර ලෙස ව්‍යවහාරවන්නට වූ වූ බව අදහස් කරති.

දිමුත් යාපා එභූපා රජු සෙනග ගනිමින් වැඩම	කරගෙන
තුරුත් සිඳබිඳ මුළුත් උදුරා සතරවීදිය තනා	අවටින
මහත් නුගයක් බිඳී ගිනි ගෙන අළු ගොඩක් විය එදෙවි	බලයෙන
සවත් දෙවිඳුගෙ මාලිගාවට ලකුණු මේ යයි බලා	නුවනින

යනුවෙන් කන්දකුමාර සිරිතේ දැක්වෙන මේ කවියේ සහ පුරාණ ලේඛනයේද ජනකතාවන්හි ද කියවෙන පරිදි, දේවාලය තනවා ඇත්තේ ඒ අළුගොඩ නිදන් කරමින් ඒ මතම හෙයින් මේ නුවර එතැන් සිට “අළුත්නුවර” ලෙස හැඳින්වෙන්ට පටන්ගත් බවක් අදහස් කරති. එය කෙසේ වෙතත් එහි ඇති "උග්ගල්" යන ව්‍යවහාරය කුමක්ද ? කෙනෙක් එය උස්ගල් පර්වත ඇති පෙදෙසක් (උච්ච පබ්බත) නිසා ඇති වූ පූර්ව පදයක් සේ දක්වති. "උග්ගල් කල්තොට" සහ "උග්ගල් දෝව" යන ස්ථාන නාම වලද මෙම පදය හමුවේ. මේ ස්ථාන දෙක ද උග්ගල් අලුත්නුවරට ආසන්න තැන් වෙයි. ඒ අනුව මේ නම් වලට උස්ගල් පර්වත නිසා උග්ගල් යන පදය ඇතිවීම පාරිසරික සාධක අනුව සුදුසුයයි අදහස් කළ හැකිය. මාවනැල්ල අලුත්නුවර ඇත්තේ ද උස්ගල් පර්වත ආශ්‍රිතව පිහිටීමකි. එහෙත් ඊට උග්ගල් යන ව්‍යළවහාරය නොපැමිණියේ මන්ද යන ගැටළුව ඇතිවේ. කතරගම දෙවියන් ගිරිමුදුන් ආශ්‍රිතව සිටින දෙවියන් සේ ඇතැමෙක් හැඳින ගනිති. කලෙක "කන්දේ දෙවියන්" ලෙස ව්‍යවහාර කළේ ද එම දෙවියන්ම‍ය. "කන්දසාමි" යන්නේ ද කන්දක කතාවක් හසුවේ. කන්දසාමි, කාර්තිකේය, සරවනභව, කඳසුරිඳු යනුවෙන් මේ දෙවියන්ට ව්‍යවහාර වන නාම රාශියකි. ඒ අතරින් මේ ප්‍රදේශයේ වැඩියෙන් ව්‍යවහාර වන්නේ කන්ද සුරපති, කඳසුරිඳු, කතරගම දෙවිහාමුදුරුවන්, කන්දස්වාමීන්වහන්සේ, වැනි වදන්ය. දෙවියන් හෙවත් දේවාභරණ පෙරහරේ වැඩමවීමට සූදනම්වන විටදී පළමුව ඉදිරිපත් කරන නැටුමේ හා ගායනයේදී ද“කන්ද” හා “ගිරිමුදුන” යන ව්‍යවහාරයන් ඇසේ.

කන්දගිරිමුදුනට - බැන්ද ලෙස සිංහාසනයට...
රන්ද මයුරාපිට - කන්ද සුරපති වඳිම් මුල් කොට.........

යනාදී ලෙස යාදින්නක ස්වරූපයෙන් යුත් මේ ගායනය දේවාලයේ සියලු කාර්තික මංගල්‍යක දීම භාවිතවේ. එහිදී "දැකුම් අත් නැටීම" නම් වූ මුල්ම නැටුමේ (මුල්මාත්‍රයේ) එන මුල්ම ගායන ව්‍යවහාරය එයයි. කන්දකුමාර සිරිතේ කවි වල ගිරිමුදුනා වාසේ යන්නෙන් කතරගම දෙවියන් ගිරිමුදුන් ආශ්‍රිතව වැඩසිටි බව කියවේ. මේ අනුව “උග්ගල් අලුත්නුවර” යනු කඳසුරිඳුන් වැඩ සිටින අලුත්නුවරක් සේ ද ගතහැකිය. දේවාලය ගොඩනගා ඇත්තේද ගිරිමුදුනක් මත බැවින්ම “උග්ගල් අලුත්නුවර” සේ ව්‍යවහාර වූයේ යයි සිතීම මාවනැල්ල හා මහියංගනය වැනි ස්ථාන ආසන්නයේ ඇති අලුත්නුවර නම් හා සසඳන සිතිය හැකිය. මේ "උග්ගල්" යන ව්‍යවහාරය මෑත ඇති වූවක් නොව 1712 ලියැවුන කන්දකුමාර සිරිතේද 1825 ලියැවුනු බව සඳහන් "සොරගුණු දේවාල තුඩපතේ" ද බෝගන්ධන සිද්ධත්ථ ගනින්නාන්සේ ලියූ "බෝගන්ධන සන්නසේ" ද මහනුවර සමයේ ලියැවුන "නම්පොතේ"ද ඇති එකකි. මාවනැල්ල ආසන්නයේ ඇති අලුත්නුවර වාසය කරන්නේ දැඩිමුණ්ඩ දෙවියන් මිස කතරගම දෙවියන් නොවන බැවින් ඊට මේ පදය නොයෙදුනා විය හැකිය. මහියංගනය ආසන්නයේ ඇති අලුත්නුවර දේවාලයේ සිටින්නේ සමන් දෙවියන්ය. මෙසේ අලුත්නුවර යනුවෙන් ස්ථාන කීපයක් ඇති මුත් උග්ගල් අලුත්නුවර යන නාමය ඇත්තේ මේ ස්ථානයට පමණි. එහෙයින් උස්ගල් කන්දක පිහිටි නිසාම උග්ගල් අලුත්නුරව වීය යන සරළ නිගමනයකට පැමිණීම අපහසු වේ. ඊට කතරගම දේවියන්ගේ වාසභවනය සම්බන්ධව පවතින ව්‍යවහාරය ද ඈඳා “උග්ගල්” යන පදය එක් වූ බව ද සිතිය හැකිය.

උග්ගල් අළුත්නුවර හෙවත් උග්ගල් අලුත්නුවර නාමය පිළිබඳ තවත් විද්වත් මතයක්

මේ සියල්ලටම වඩා "උග්ගල් අලුත්නුවර" හෙවත් "උග්ගල් අළුත්නුවර" වෙනස් මතයක් නම්පොත් හෙවත් විහාර අස්න ලියැවුන වකවානුව හයව පැරකුම් සමය යයි නිගමනය කළ විට ඇතිවේ.එම ග්‍රන්ථය හයවන පැරකුම් සමයේ රචිත එකක් සේ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ ප්‍රකාශකරති. නම්පොතේ කියවෙන 161 වන සිද්ධස්ථානය වන්නේ උග්ගල් අළුත්නුවර වේ. ඒ අනුව ද නාවුල්ලේ දම්මානන්ද හිමිපාණන්වහන්සේ ගේ අදහස පරිදි බැමිණතියා මහා නියංසාය නිසා උග්ගල් කල්තොට මැදබැද්දේ පුරාණයේ සිට තිබූ කතරගම දේවාලය මේ ප්‍රදේශයේ අලුතෙන් පිහිටුවීමෙන් උග්ගල් කල්තොටින් ගෙනවිත් අලුතේන් ස්ථාපනය කළ නිසා උග්ගල් අළුත්නුවර වූ බවට දක්වන අදහස ද අනුව පිහිටුවීමේ කාලය ඉතා අතීතයට යනවා පමණක් නොව නගරය බිහිකිරීමේ කතාවද වෙනස්ම එකක් බවට පත්වේ. කෙසේ වුවද දැනට විද්‍යාමන පුරාණ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ හා පුරාණ ලී කැටයම් ආදිය මහනුවර සමයට වැටෙන බව පෙනීයාම ගැටළු මතු කරන්නකි.මේ සියල්ල අනුව උග්ගල් අළුත්නුවර ප්‍රභවය පිළිඳ ඉතිහාස කතාව අසම්පූර්ණ එකක් බවට පත්වීම වලකා ලිය නොහේ.


අපූරු ආගමික සහයෝගීතාවකින් ගොඩනැගී ජීවමානව පවතින පූජනීය සිද්ධස්ථානයක් !

උග්ගල් අලුත්නුවර ඇත්තේ  හින්දු දේවාලයක්ම නොවේ. බෞද්ධ විහාරයක් පමණක්ද නොවේ.  ඒ දෙආකාරයේම සංකලනයක් මළුවේ දක්නට ඇති අතර ඇදහීමේ වත් පිළිවෙත්ද අපූරු ආකාරයකින් සංයෝගවී   
පවතින ස්ථානයක් සේ හැඳින ගත හැකි පූජනීය ස්ථානයකි.

කුඩාකතරගම දේවාලය

උග්ගල් අලුත්නුවර විටෙක කුඩා කතරගම දේවාලය වශයෙන්ද, තවත් විටෙක රජමහාවිහාරය වශයෙන්ද, තවත් විටෙක කුඩා කතරගම දේවාලය හා රජමහාවිහාරය යන ආකාර දෙකෙන්ම ද බැතිමතුන් අතර වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථානයක්ව තිබෙන්නකි. ඉදි කළ වකවානුවේ රජතුමාවිසින් “දාගොබක් විහාර ගෙයක්” කරවා “දෙවියන් උදෙසා තෙමහල්පායක්” කරවා පළමුවරට ඇසල පෙරහර පැවැත්වූ බවද දේවාල පරිපාලනය සඳහා විධිමත් වැඩපිලිවෙලක් සැකසූ බව ද දැක්වේ. ඉන්පසුව කතරගම දෙවියන් උදෙසා “ඇසල මාසේ පෙරහර පහලොස් දවසක්” කළ බවද ලේඛනගතව ඇත. ඒ අනුව එකල එය ප්‍රධාන වශයෙන් වැදගත් වී ඇත්තේ කඳ සුරිඳුන් උදසා කළ දේවාලයක් වශයෙනි. 1712 ලියැවුනු කන්දකුමාර සිරිත තුළ අන්තර්ගතයේ ද දේවාලය විහාරයට වඩා ඉස්මතුව කැපී පෙනෙන සිද්ධස්ථානය විය. එකල උග්ගල් අලුත්නුවර ඇසල පෙරහරේ ධාතුකරඩුවක් වැඩමවූ බවට සාධක නැත. ධාතුකරඬුව මෙහි ඇසල පෙරහරට එක්ව ඇත්තේ පසු කලකය. කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ වැලිවිට සංඝරාජයාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් උපසම්පදාව නැවත පිහිටුවා ලීමෙන් පසුව මහා සංඝරත්නයේ උපදෙස් අනුව රජතුමා විසින් මහනුවර දේවාල පෙරහරට දළදා පෙරහරද එක්වීමට සැලැස්වූ බව පැවසේ. ඒ අනුව පෙරමුණේම ගමන්ගන්නා දළදා පෙරහර ස්ථාපනය වීමේ ආභාසය උග්ගල් අලුත්නුවරට ද ලැබී ඇති බව පෙනේ. දාගැබ විහාර ගෙය හා ශ්‍රීමහා බෝධිශාඛාව නිසා මේ සිද්ධස්ථානයේ ආගමිකවතාවත් මුලසිටම හැඩ ගැසී තිබුණේ බෞද්ධ වත්පිළිවෙත් මුදුන් ස්ථානයේ තබමිනි. එබැවින් ධාතු කරඬුවට මුල්තැන දී පෙරහර පැවැත්වීමේ සම්ප්‍රදාය ඇතිවීම නිරායාසයෙන් සිදු වුනා වැනිය. උග්ගල් අලුත්නුවර වැසියන් ගේ ආගමිකවතාවත් විමසනවිට කැපීපෙනෙන ලක්ෂණයක්ව ඇත්තේ බෞද්ධාගමිකවතාවත් වලට මුල්තැන දීමකි. කතරගම දෙවියන් මෙහිදී හින්දුසමයේ සැලකෙන කන්දසාමි දෙවියන්ට වඩා බුද්ධ ශාසනය රැකගන්නා ශාසනාරක්ෂක කතරගම දෙවියන් ලෙස සැලකීම සිදුවේ. බෞද්ධ වත් පිළිවෙත් වලට පටහැනි වූ ශරීරයට වදහිංසා දීම බිලිපූජා වැනි ආගමික පූජා පුරාණ කාලයේ හෝ තිබූ බවට වාර්තාවක් හමු නොවේ. ගිනි පෑගීමේ හා ශරීරයට කටු ගසා වදදීමේ පුද පිළිවෙත් ඇතිවී ඇත්තේ 1970 දශකයෙන් පසුවය. 1870 විහාර දේවලගම් පනත යටතේ සකසා ඇති ලේඛනය පරීක්ෂා කරද්දී ද ඍජු හින්දුවත් පිළිවෙත් හමු නොවන අතර ක්‍රි.ව.1712 දී කන්දකුමාර සිරතේ කවිවලද බුදු බැතිය මුසුවී ඇති සැටි

සෙතදුන් තිලොවට  තිසරණ සිහි	කර
මුළුතුන් ලොව දෙවියන් පිනිපා	කර
කිවිඳුන් පෙර ගුරු උපදෙස නම	කර
පවසන් ශවතිඳු යස තෙද සිහි	කර

ප්‍රබන්ධකරනයේ ආරම්භයේ දැක්වෙන 7 වන කවියෙන්ද පෙනේ. ඒ නිසා අපූරු ආගමික සහයෝගීතාවක ලක්ෂණ උග්ගල් අලුත්නුවර ආගමිකවතාවත් අතර කවදත් කැපී පෙනෙයි. දේවාලයේ කටයුතුවලට සිංහල බෞද්ධයින් සේම දෙමළ හින්දු බැතිමතුන්ද කිසිදු භෙදයකි තොරව අදත් සහයෝගය දෙති. වැඳුපිදුම් කරති. හින්දු ආගමික ලක්ෂණ වැඩියෙන් කැපී පෙනෙන්නේ කෙම්මුර දින සේ නොගැනෙන අඟහරුවාදා, සිකුරාදා, ඉරිදා වැනි දිනයන්හි දීය. එවැනි දිනවල සමහර බැතිමත්තු සතුරන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා පළිගැසීම දක්නට ලැබෙන හින්දු ආගමික ලක්ෂණයකට සමානය. මධ්‍යකාලීන යුගයේ නඩුවලදී ආරවුල විසඳා ගැනීමේදී නිවැරදි කාරයා තෝරා ගැනීමට භාවිත කළ විධික්‍රමයක් වූයේ “තෙලෙන් ගොමෙන් දිවිරීම” ය. ඒ සඳහා ලිපක් මත ඇති උතුරණ තෙල් හැලියට අත දමා, නැවත ගොමභාජනයකට අත දැමීම දිවුරන්නා ලවා කරවනු ලැබේ. එයින් පසුව කරන පරීක්ෂාවේදී එකකුගේ පමණක් අත පිලිස්සී තිබුණහොත් ඔහු වැරදිකරුවා ලෙසට තීන්දු කළ බව ද කියනු ලැබේ. මෙසේ දිවුරුම් ගැනීමේ ක්‍රමය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදීත් මේ දේවාලයේ පැවති බව පැරැන්නෝ කියති. පිටස්තරදී කෙසේ වුවද දේවාලයට පැමිණ බො‍රුවට දිවිරීමට කිසිවෙක් එඩිතර නොවූ හ. මෙවැනි හින්දු සමයට ළං වූ ආගමික වතාවත් සඳහා දේවාල මළුවේ නිරිත දිග සීමාවේ ඇති “කොහොඹ ගස” දෙවියන් වැඩසිටින ස්ථානය සේ සලකනු ලැබේ. ඊට අරක්ගෙන සිටින් නේ කතරගම දෙවියන්ගේ සේවකයා හෙවත් කඳසුරිඳුන් දේවසමාගමට වඩින කල දේව විමානයේ ආරක්ෂාව පිනිස සිටින කඩවර දෙවියන් හෝ සූනියම් දෙවියන් වෙතැයි ගමේ ඇත්තෝ අදහති. ඒ අය උදෙසා කන්නලව් කිරීම මෙහි යාතිකාවල දැකිය හැකි ලක්ෂණයකි. වස්කවි කියමින් දෙස් දෙවොල් තැබීම ද මෙහිදී සිදුවේ . අඟහරුවාදා සිකුරාදා වැනි දිනවල දේවාලයට පිවිසෙන පඩි පෙළ ආරම්භ කෙරෙන ස්ථානයේ ඇති හඳගලේ ගොම ගා සතුරන් වනසන ලෙස නැතහොත් දින කීපයක් තුළ සතුරා අනාවරණය කර දෙන ලෙස යදින අවස්ථාවන් දැනුදු දක්නට හැකිය. අවලාද පොල් ගැසීම යනුවෙන් චාරිත්‍රයක්ද පවතී. කෙසේ වුවද බිලිපූජා පැවැත්වීම වැනි හින්දු ආගමික වතාවත් හෝ ශරීරයට වද දීමේ ආගමික සිරිත් පුරාණයේ හෝ පැවති බවට සාක්ෂයක් කිසි ලෙසකට නොලැබේ.

බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් !

සතර පෝය දිනයන්හි මේ ස්ථානය ඒකාන්ත ලෙසම බෞද්ධ විහාරයක් සේ බැබලේ. මිනිසුන්ගේ සිත් "මෙත්තා, කරණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයෙන් පිරී ගොසින් පවතී. අටසිල් නොගත් බොදු සැදැහැවතුන් තම දරුමල්ලන් ද සමගින් තෙල්මල් සුවඳ දුම් ද රැගෙන චෛත්‍යයටද බෝධීන්වහන්සේත් විහාරගෙයත් වන්දනාමාන කිරීම, බුදුන් උදෙසා උදෑසන 10.00 ට පමණ කිරි ආහාර පූජාව හේවිසි ශබ්ද පූජාව ඝණටාර නාදයේ පූජාපැවැත්වීම ආදී ආමිශ බුද්ධ පූජාවන් සඳහා එති. විශේෂයෙන් පසලොස්වක පෝය දිනයන්හි පෙහෙවස්සමාදන්වීම හා දාන ශීල භාවනා වැඩසටහන් ද සංවිධානය වේ. වෙසක් පෝය දින හා එම මාසය පුරා බෞද්ධ වත් පිළිවෙත් වලින් ආලෝකමත් වුනු ස්ථානයක් බවට පත්වේ. පුරාණයේ රජමහාවිහාර වත්පිළි‍වෙත් වෙනුවෙන්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වැඩ සිටි අතර උන්වහන්සේ විහාරයේ නිතර රැඳී සිටිමින් බෞද්ධ වතාවත් වලට සැදැහැතියන් යොමු කරමින් සුදුසු අවවාද අනුශාසනාවලද යෙදී කටයුතු කළහ. ගමේ පැරැන්නෝ තමන්ගේ මතකය අවුස්සමින් පුරාණයේ වැඩසිටි අතිපූජ්‍ය ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතිපූජ්‍ය සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි යතිවරයන් වහන්සේලාගෙන් ලැබුණ මගපෙන්වීම අනුශාසනා දැනුදු මහත් භක්තියෙන් සිහිකරති. පොසොන් පෝය දින ද බෞද්ධ ආගමිකවතාවත් වලින් දිවයිනේ අන් ස්ථානවලට නොදෙවෙනි ආකාරයෙන් බැබලේ. මිහිඳු හිමියන් සමරා පින් පෙරහර පැවැත්වීම හා සංඝමිත්තා පෙරහර ද පුරාණයේ සංවිධානය වී ඇති බව පෙනේ. මෑතදී අභාවයට ගොස් තිබුණත් දුරුතු නවම් මාසවල අලුත්සහල් මංගල්‍යය ද පැවතිනි. 1870 කොමසාරිස් ලේඛනයේ දක්නට හැකි වාර්තා මගින් අලුත්සහල් මංගල්‍ය වැදගත් චාරිත්‍රයක් සේ පැවති බවට සාක්ෂි ලැබේ. අලුත්සහල් මංගල්‍යය පිළිබඳ මතක සටහන් පැරැන්නන් සතුව ද ඇත. මෙහිදී වැඩමවා ගෙන එන අලුත්සහලින් පිළියෙල කළ බුද්ධ පූජාව පවත්වා දෙවියන්ට පින් දෙන අතර දෙවියන් උදෙසා මුළුතුන් බෑම ද සිදුකර වැසියන්ගේ සශ්‍රීක්තවයට ආයු වැඩීම සිරිත වූ බව පැවසේ . බෞද්ධ සැදැහැවතුන් සියලු දෙනාම දේවාලය ද වන්දනා කර දෙවියන්ට පින් දෙන අතර දේවාලයේ වතාවත්වල හෙවත් රාජකාරියේ යෙදෙන සියලු දෙනාම ද චෛත්‍යය, බෝධීන් වහන්සේ හා විහාරගෙය වන්දනාකර බුදුන්ට මුල්තැන දී දේවාල කටයුතු වල නිරත වෙති. දෙවියන් ඉදිරියේ යාතිකා කරන කපුමහතා පළමුව පන්සිල් ගෙන බුදුන් වඳිමින් කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනාකර දෙවියන්ට පින් දී දේව යාතිකා කරන බව දක්නට හැකි ලක්ෂණයකි. පෙරහර පිටත් වීමට පෙර පිරිත්නිළය භාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරහරින් වැඩම කරවා පිරිත් ස්ජ්ඣායනා කරවීම ස්ථාපිතව ඇති පෙරසිරතකි. ඒ සිරිත 1870 තරම් ඈතදී ලේඛනගතව ඇත්තේ ඊටත් පෙරසිටම පැවතුන හෙයිනි. එහෙත් එය ආරම්භවූ වකවානුවක තොරතුරු සෙවිය නොහේ. පිරිත් කියා දෙවියන් සතුටටපත්කර පෙරහර කරවන බව රාජකාරි ඇත්තෝ පවසති. කතරගම දෙවියන් ශාසනාරක්ෂක වරම් ලැබූ මහේශාක්‍ය දෙවියන් සේ බුද්ධාගම රැකගනිමින් බෞද්ධ වූ තමන්වද මෙලෝ වහයෙන් රැකගන්නා බව බැත්මත්තු විශ්වාස කරති. නිතර පින් කර දෙවියන්ට පින් අනුමෝදන් කරවිය යුතු බව අදහති. දේවාල මළුව තුළ මේ සඳහා ස්ථාපනය කර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ පූජාවස්තූන්ට කිරි ආහාර පූජාකිරීම උදය, දහවල මෙන්ම හවසට ද දැහැත් ගිලන්පස ද ත්‍රිවිධ බෝධීන් උදෙසාම පූජා කිරීම සාමාන්‍ය දෛනික පිළිවෙත විය. 1870 අංක 4 දරන විහාර දේවලගම් පනතේ කොමසාරිස් ලේඛනයේ දැක්වෙන අන්දමට පිරිත් නිලය සඳහා පූජ්‍ය හේවාදිවෙල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කළයුතු අතර පූජ්‍ය ගංගොඩඅරාවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගේ කටයුතු ලෙස දක්වා ඇත්තේ “විහාරයේ නිතර රැඳී සිටීම හා උදය දහවල කිරි ආහාර පූජා කිරීම හා උදය සවස මල් පහන් පූජා කිරීම” වශයෙනි. ලේඛනයේ පංගු අංක 6 යටතේ මෙම විහාරයේ නඩත්තුව සඳහා වෙන් කර ඇති ඉඩම් පංගු ද දැක්වේ. රජමහා විහායක් වශයෙන් වෙන් කරන ලද විශාල විහාරගමක් නුවූවද ඉහත කී ලෙස විධිමත්ව ලේඛනගතවී තිබීමම මේ බෞද්ධ විහාරයේ පැවති ඓතිහාසික හා පූජනීය වටිනාකම පෙන්වා දෙනු ලබයි. මහනුවර රාජධානිසමයේ ලියැවුනු අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගේ කෘතියක් හැටියට සැලකෙන “විහාරඅස්න” හෙවත් “නම්පොත” මහනුවර යුගයේ පැවති අධ්‍යාපන කේන්ද්‍රස්ථාන වූ පන්සල් හෝ පිරිවෙන් වල භාවිත වූ මූලික පෙළ පොත විය. හෝඩිය ඉගෙනීමෙන් පසුව ශිෂ්‍යයා “විහාර අස්න” හෙවත් “නම් පොත” වනපොත් කළ යුතුවේ. ඒ සමගම නම් පොතේ අඩංගු සිද්ධස්ථාන ගැන හැදෑරීම, එවන් ස්ථාන වැඳ පුදා ගැනීම පිණිස වන්දනාගමන් යාම මගින් සාරවත් අධ්‍යාපනික අත්දැකීම් ලබා ගැනීමත් සිදුවිය. මේ වන්දනා ගමන් යනු සිය උරුමය හදාරන සිසුවාට අධ්‍යාපන චාරිකාවන් බවට පත්වුනා නිසැකය. නම් පොතේ එකල ප්‍රකටව පැවති සිද්ධස්ථාන නාම 267 කි. ඒ අතර “උග්ගල් අළුත්නුවර” ද අන්තර්ගත නාමයකි. මේ අනුව මේ විහාරය හා සමග දේවාලය ද මහනුවර සමයේ (උග්ගල් අලුත්නුවර බිහිවූ යුගයේ සිටම)දිවයිනේ ප්‍රකටව පැවතුනු සිද්ධස්ථානයක් බව නිගමනය කළ හැකිය. 1815 මාර්තු 02 දින අත්සන් කළ උඩරට ගිවිසුම තුළ බෞද්ධාගම හා දේවාගම ද රැකගනිමින් පෝෂණය කරන බවට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පොරොන්දු වුවද ඒවා ලේඛනවලට පමණක් සීමාවෙමින් පෙරසිරිත් උල්ලංගනය වන්නට විය. එහෙයින් සෙසු සිද්ධස්ථාන මෙන්ම උග්ගල් අලුත්නුවරට ද උදාවූයේ නරක කල දසාවකි. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින් පසුව සම්මත කර පනවා ක්‍රියාත්මක කළ මුඩුබිම් පනත් මගින් "සාම්ප්‍රදායික රාජකාරිය" නොසලකා හැරියෙන් ජාතික උරුමයන් නන්නත්තාර වීමට හේතු ඇති වුවද මෙහි වැසියා පෙරසිරිත උල්ලංඝනයට සූදානම් නොවූ බව පෙනේ. පෙරසිරිත් චාරිත්‍ර බොහොමයක් අදටත් නිරුපද්‍රිතව තිබීම එය පැහැදිලි කරන සාක්ෂියකි. 1870 විහාර දේවාලගම් ආඥා පනත අනුව දේවාලයට ලබාදියයුතු සේවය වෙනුවට නියම කළ මිල ගෙවා රාජකාරියෙන් ඉවත්වීමට ප්‍රතිපාදන සැලසුවද සිය අභිමානවත් උරුමය අතහැරයාමක් වැසියාගෙන් සිදු නොවීය. එම ලේඛනයේ විහාර‍ෙය් වතාවත් වෙනුවෙන් හා දේවාලයේ පිරිත් නිළය වෙනුවෙන් වෙන වෙනම ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමක් වැඩ සිටි බව දැක්වේ. විහාර වතාවත් වෙනුවෙන්ම කැපව පූජ්‍ය ගංගොඩඅරාවේ ධම්මානන්ද හිමියන් වැඩ සිටියහ. උන්වහන්සේ ගෙන් පසුව රජමහාවිහාර කටයුතු සඳහා වැඩම කර ඇත්තේ මාමල්ගහ ජිනජෝතිකාරාමයේ විහරාධිපතිව සිටි අති පූජ්‍ය දික්කාපිටියේ සීලානන්ද හිමි පාණන්වහන්සේ වෙති. උන්වහන්සේ වසර 17 ක් පමණ එම කටයුතු කර ඇති බව ජනප්‍රවාදයේ කියවේ. 1883. 08. 08 දින පැමිණි සබරගමුවේ සුදු දිසාපතිවරයකු වූ එච්.වෙස්ගේ දින සටහන් වල උග්ගල් අලුත්නුවර රජමහා විහාර‍ෙය් බුදුපිළිමය හා විහාර ගෙය ගැන තොරතුරු හමුවන්නේ එය එවකටත් පූජනීය ස්ථානයක් සේ බැබලුනු බැවිනි. 1940 සංශෝධිත මුද්‍රණයක් වූ හපුතලේ අඟලේ සිතියමේ උග්ගල් අලුත්නුවර සටහන්ව ඇත්තේ "උග්ගල් අලුත්නුවර රජමහා විහාරය" යන නම අවධාරණය කරමිනි. 1900 පමණ ආනන්ද කුමාරස්වාමි විද්වතා මධ්‍යකාලීන සිංහල කලා කෘතිය කරද්දී ලංකාවේ ඇති ටැම්පිට විහාරවල වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පෙන්වා දෙන්නේ උග්ගල් අලුත්නුවර විහාරය ඇසුරෙනි. 1915 ඇතිවූ මරක්කල සිංහල අරගලයේදී යුද්ධනීතිය(marshall low ) පනවා පෙරහර තහනම් කළ අවදියක් වුවද රටේ පැන නැගී තිබූ ජාතික ආගමික ප්‍රබෝධය නැංවීමේ ව්‍යාපාරය නිසා සිද්ධස්ථානයට ඇති වූ හානියක් වී නම් ඒ ඉතා සුළුය. 1933 පත්ව ආ බස්නායක නිළමේවරයා වූ සිඩ්නිඑල්ලාවල මැතිතුමා පරිසරය නැවත ගොඩනගා අධෛර්යයට පත්ව සිටි රාජකාරි කරුවන් සොයා ගොස් පුනරුත්ථාපන කටයුතු වල නිරත වී ඇති ආකරය පූජ්‍ය කිරිඇල්ලේ ඤානවිමල හිමිපාණන්වහන්සේ සිය “සපරගමුවේ පැරණි ලියවිලි” කෘතිය මගින් ද පැහැදිලි කරති. (සිඩ්නි එල්ලාවල යුගය ගැන පරිචේඡෙදය බලන්න) 1915 සිට එළඹුනේ තරමක් අභාග්‍යසම්පන්න කාලයක් වුවද සිය උරුමය රැකගැනීම සඳහා ප්‍රාදේශීය සිද්ධස්ථාන ද නගා සිටුවීමට කැපවූ වීරවරයන් ලැබීමට තරම් රට භාග්‍යමත් වූ බවට සාධක සිඩ්නිඑල්ලාවල චරිතයෙන් පැහැදිලිවේ. රජමහා විහාරය හා දේවාලයේ පිරිත් නිළය වෙනුවෙන් වෙන් වෙන්ව සිටිය යුතු මහසඟරුවන දෙනමක් වුව ද ඒ දෙනමම මේ වනවිට ඉවත්ව තිබිණි. සිඩ්නි එල්ලාවල නිළමේතුමා සහ ගමේ දැනුමැතියන් ද එකතුව උළුගල රජමහා විහාරයේ වැඩ සිටි අති පූජ්‍ය මුරුතවෙල ධම්මරතන හිමිපාණන් වැඩම කරවා රජමහා විහාර‍ෙය් බෞද්ධාගමික වතාවත් මෙන්ම දේවාලයේ පිරිත් නිලය ද පුනරුත්ථාපන කර ඇත. මොළමුරේ නින්දගමට අයත් දේවාලයට ආසන්න ඉඩමක් සඟසතු කොට පූජාකරන ලදුව එහි සිය “ලොකුහාමුදුරුවන්”ට පන්සලක් ඉදිකරවා දුන් බව පැරැන්නෝ පවසති. මෙලෙස ගමට මහා සංඝරත්නයේ මගපෙන්වීම නොඅඩුව සැලසීමට පියවර ගත් බව 1933 සිට 2004 දක්වා සිටි අත්තනායක මොහොට්ටාල මෙන්ම අතපත්තු මොහොට්ටාල නිළමේවරයකු වූ ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර මහත්මා ඇතුළු වැඩිහිටියෝ පවසති. අතිපූජ්‍ය මුරුතවෙල ධම්මරතන හිමිපාණන් වහන්සේ විසින් උළුගල රජමහාවිහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ පූජාකරන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව ද උග්ගල් අලුත්නුවර රජමහා විහාරයට වැඩමවා තැන්පත් කර ආගමිකවතාවත් වලට ඉඩ කඩ සලස්වන ලද බව අද විවේකාරමය වශයෙන් ප්‍රසිද්ධව ඇති එකල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩසිටි පන්සලේ හෙවත් විවේකාරාම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපතිව වැඩසිටින අති පූජ්‍ය ශාස්ත්‍රවේදී උනපාන සරණංකර මහහිමිපානෝ ප්‍රකාශ කරති. එකල අතිපූජ්‍ය මුරුතවෙල ධම්මරතන හිමිපාණන්වහන්සේ ගේ ක්‍රියාකාරීත්වය හා කීර්තිය ද බස්නායක නිළමේතුමාගේ කීර්තිමත් වැඩ පිළිවෙලද රටේ මහත්සේ ප්‍රචලිතවිය. ඒ නිසාම දෝ එවකටඅයිතිය පිළිබඳ මතභේද නිසා ආරවුල් පැන නැගී තිබූ ශ්‍රී පාදස්ථානයේ ගිහි භාරකාරත්වය සිඩ්නිඑල්ලාවලයන්ටත් පැවිදි භාරකාරත්වය උග්ගල් අලුත්නුවර රජමහාවිහාරයේ වැඩසිටින ධම්මරතන හිමිපාණන්ටත් පැවරීමට ආණ්ඩුව මගින් පියවර ගෙන තිබුණි. 1950 දක්වා ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත්තේ මේ දෙපල විසිනි. එකල උග්ගල් අලුත්නුවර රජමහා විහාරය තරමක් අබලන්ව තිබූ හෙයින් විහාරගෙය අලුත්වැඩියා කර නව බුදුපිළිමයක්ද තනවන ලද්දේ ද මෙකලය. මේ අනුව බෞද්ධ ප්‍රබෝධය හා දහම් අධ්‍යාපනය ද ගම තුළ නැවත පුනරුත්ථපනය වීය. මේ විස්තර අනුව උග්ගල් අලුත්නුවර රජමහා විහාරය එය ස්ථාපනය වූ අවදියේ සිටම ප්‍රකට පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් සේ පැවති බව දැක්විය හැකිය.






උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය · ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර