උග්ගල් අලුත්නුවර/ප්‍රාථමික මූලාශ්‍ර

උග්ගල් අලුත්නුවර ඉතිහාසය අනාවරණය කරගැනීමට උපකාර වන ප්‍රාථමික මූලාශ්‍රසංස්කරණය

පුරාණ පුස්කොල ලේඛනයසංස්කරණය

දේවාලය ගැන තොරතුරු සොයා යාමේදී ලේඛකයා වෙත දේවාලයේ වයෝවෘද්ධම අත්තනායක මොහොට්ටාල නිළමේ වරයා වන ඒ.එම්.එස්.එම් කරැණාරත්න බණ්ඩාර මහත්මා විසින් පුරාණ ලේඛනයක උපුටනයක් ලබා දුනි. දේවාලයේ ආරම්භය ඇතුළු පුරාණ තොරතුරු සඳහන් වන ඉතා වැදගත් ලේඛනයක් වන එය, කටු පෑනකින්, පුරාණ අත් අකුරින්, පුල්ස්කැප් පිටුවල පිටපත් කර ඇති එකකි. මේ මහතාණන්ට දී ඇත්තේ සිය මුත්තා විසිනි. මේ ගැන විමසීමේ දී එය 1830 ගණන් වල ලියූවක් බව ඒ කරුණාරත්න බණ්ඩාර මහත්මා ප්‍රකාශ කරයි. එම ලේඛනය දේවාල ලේකම් මිටියේ කොටසක් බව පිටපත් කළ අය විසින් එහිම සටහන් කරන අතර පුරාණ ලේකම් මිටිය දිරාපත්වෙමින් පවතින හෙයින් මෙසේ ලියන බවද සටහන් කර ඇත්තේය. කොළඹ කෞතුකාරයේ ඇති "සීමාසංකර විනෝදනී" පුස්කොළ පොතේ අග කොල දෙක හමාරක හෙවත් පිටු පහමාරක දක්නට ඇති ලේඛනය ද මීට සමාන එකකි. කටුගේ ඇති ලේඛනයේ උපුටනයක් මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන්ගේ "සොරගුණු දේවාල පුවතේ" ද දැක්වේ. 1940 දශකයේ උග්ගල් අලුත්නුවර ගවේශන වල යෙදෙමින් අති පූජ්‍ය කිරිඇල්ලේඥානවිමල හිමිපාණන් රචනා කළ "සපරගම්වේ පැරණි ලියවිලි" පොතේ උපුටා දක්වා ඇත්තේද, කුලසිංහ මහතා ලියා ඇති "උග්ගල් අලුත්නුවර වත" නම් වූ පොතේ උපුටා දක්වා ඇත්තේද එයම බව පෙනේ. මුල් ලේඛනය මෙම දේවාලයේ පැවති බවට නිසැක සාක්ෂි වන්නේ ඉහත කී කරුණාරත්න බණ්ඩාර මහතා ලබාදුන් ලේඛනයේම ඒ බව සඳහන්ව තිබීමෙනි. දේවාලයේ ප්‍රධාන ස්ථිර විධායක නිළධාරී තනතුර වූ "අත්තනායක මොහොට්ටාල නිළමේ" තනතුරේ දැනට සිටින වයොවෘද්ධ බහුශ්‍රැතයා වන්නේ 84 වියැති කරුණාරත්න බණ්ඩාර මහතාය. හෙතෙම ලේඛකයාට එය භාරදී ඇත්තේ සිය පරම්පරාවසතු මේ මහඟු ලියවිල්ල ප්‍රසිද්ධ කිරීමේ අයිතියද ලබා දෙමිනි. මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලයන් උපුටා දක්වන ලියවිල්ල "මැදගම සන්නස" ලෙස නම් කරන අතර කිරිඇල්ලේඥාණවිමල හිමියෝ එය ලේකම් මිටිය සේ නම් කරති. ඒ.එම්.කුලසිංහ මහතා එය උග්ගල් අලුත්නුවර දේවාල තුඩපත සේ සිය කෘත්යේ නම් කරයි. සන්නස යනු වෙන් අර්ථ දක්වන්නේ මහවාසලින් "ශ්‍රී" යනුවෙන් රාජකීය මුද්‍රාව සටහන්කර දෙන ලේඛයන් බවත් අධිකාරම්වරුන් විසින් ලබා දෙන බලපත් පැවරුම් ආදිය තුඩපත් ලෙස සැලකෙන ඒවා බවත් සැලකුවහොත් මෙම ලේඛනය ලියන ලද තැනැත්තකු සඳහන් නොවන හෙයින් ද එහි රාජකීය මුද්‍රාව සටහන්ව නොමැති හෙයින්ද පුරුණ සන්නසක් බවට සාක්ෂි නොදක්වයි. සබරගමුව පළාත තුළ පැරණි ලියවිලි පිළිබඳ ගවේශනයේ යෙදුනු කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ සිය "සපරගමුවේ පැරණි ලියවිලි" හි 6 පිටුවතුළ ඉදිරිපත් කරන අර්ථ නිරූපණ අනුව ගතහොත් මෙය වර්ග කළ හැක්කේ පුරාණ වට්ටෝරු ලිපි ගණයටය.(රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන්වහනසේ, 1942 කිරිඇල්ලේ ජේ.ඇම්. සමරකෝන් මහතා විසින් මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරන ලද ග්‍රන්ථය) මේ අනුව මෙමම නිබන්ධයෙදී පුරාණ පුස්කොල ලේඛනය ලෙස භාවිත කිරීම වඩා උචිත විය හැකිය යනුවෙන් ලේඛකයා අදහස් කරයි. (මෙහිදී තවත් ප්‍රයෝජනවත් වන සමහර විටෙක ද්විතීය ගණයේ ලා සැලකිය හැකි පුරාණ ලේඛන කීපයක් ගැන හැඳින්වීම ද තොරතුරු අධ්‍යයනයේ ලා සැලකිලිමත්වන අයට ප්‍රයෝජනවත්විය හැකිය. සොරගුණේ වීදිය වලව්වේ අබේරත්න මොහොට්ටාල නිළමේ ළඟ තිබී 1972 හා 73 වකවානුවේ කියවන්නට ලැබුණු සොරගුණ දේවාල තුඩපත හා ඒ සම්බන්ධ තවත් පුරාණ ලිපි කීපයක ද උග්ගල් අලුත්නුවර යම්යම් තොරතුරු සටහන්ව පවතී. එම ලේඛන වල අඩංගු වූ ඇතැම් තොරතුරු විග්‍රහ කරමින් විස්තර කරමින් මෙම ලේඛකයා සමග අදහස් හුවමාරු කරමින් සාකච්ඡා කළ ඒ වායෝවෘද්ධ වියතානෝ සොරගුණ දේවාලය, උග්ගල් අලුත්නුවර දේවාලය හා කතරගම දෙවියන් පිළිබඳව ද මහත් භක්තියෙන් කටයුතු කළ අයෙක් වූහ. එතුමා දැන් අභාවප්‍රාප්තව ඇතිමුත් සිය පියාණන් ගැන මහත් භක්තියකින් කටයුතු කළ පුතණුවන් ද එම ලේඛන රැකගෙන ති‍බෙනබව නිසැකය. එම ලේඛන වලින් බොහොමයක උපුටාගත් පිටපත් මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන් ගේ සොරගුණු දේවාල පුවත ග්‍රන්ථයේ ද ඇත්තේය.

කන්දකුමාර සිරිත සංස්කරණය

ලේඛකයාගේ සොයා බැලීම් වලදී හමු වූ තවත් වැදගත්ම ‍පුරාණ ලේඛනයක් වෙයි. එහි නම ලෙස සඳහන් වන්නේ "කන්දකුමාර සිරිත" යනුවෙනි. එහි ඇති කඳකුමරු උපත හා කතරගම දෙවියන් පිළිබඳ කතාව ද උග්ගල් අලුත්නුවර දේවාලය හා පරිශ්‍රය හා දේවාල වත් පිළිවෙත් පිළිබඳ තොරතුරු ද ඉතා වැදගත් ඉතිහාසගත තොතුරු සපයයි. 2003 දී අභාවප්‍රාප්තවූ දේවාලයේ ප්‍රධාන කපුනිළමේ වරයා ලේඛකයාට ලබාදුන් අත්පිටපතක දක්නට ලැබුණ එය ක්‍රි.ව.1712 දී කළ කාව්‍ය ප්‍රබන්ධයක් බව සටහන්ව ඇත. සාහිත්‍යමය නිර්මානයක් වශයෙන් එහි අගය කෙසේ වෙතත් උග්ගල් අලුත්නුවර පිළිබඳ ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස වටිනාකම අමිල එකකි. කරුණාරත්න මොහොට්ටාල නිළමේතුමා දුන් ලේකම් මිටියේ උපුටනයට වඩා එය විස්වස්‍යතාවෙන් ද ඉහළ එකක් වන්නේ කතුවරයා මෙන්ම ලියන ලද කාලය පිළිබඳ තොරතුරු ද ඇතුලත්ව ඇති හෙයිනි. පුරාණ ‍පුස්කොල ලේඛනය මෙන්ම ලේඛකයාට මෙවර ද ලැබුණේ මුල් පිටපත නොව පසුකාලයක, මුල් පිටපතින් උපුටා ලියාගත් අත්පිටපතකි. එම අත් පිටපතෙන් පිටපත්කරගත් කොපියක් ළඟ තබාගෙන ලේඛකයා ලද අත්පිටපත කපුනිළමේවරයාගේ ඉල්ලීම පරිදි ආපසු භාර දෙන ලදී. මෑත දී ඡායා සටහනක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ලේඛකයා කළ විමසීමේ දී එම අත්පිටපත දැනට සොයාගත නොහැකිව ඇති බව ඔහුගේ ඇවෑමන් කපුනිළමේ රාජකාරිය කරන භාරතරත්න බණ්ඩාර මහත්මාගේ පුතණුවන් වන සාලිය බණ්ඩාර මහතා පැවසීය. එම අත්පිටපත ලැබුණු අවදියේ ඡායාපිටපත් කිරීමේ පහසුකම්ද නොවූ බැවින් ගල්ඛකයා ළඟ ඇත්තේ තමන් ලියා පිටපත් කළ එකකි. එහෙයින් මේ "කන්දකුමාර සිරිත" යනු ලේඛකයාගේ ප්‍රබන්ධයක් යයි සැකයක් ඇති වීමෙන් වැලකීමට ක්‍රමයක් නොවීය. 2007 දී පමණ එක්තරා දිනෙක, එවකට උග්ගල් අලුතුන්වර ර/ශාස්ත්‍රාලංකාර විදුහලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයකු හා සිංහල භාෂාව පිළිබඳ බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරකු වශයෙන්ද කටයුතු කළ අභාවප්‍රාප්ත කීර්ති ඒකනායක මහතාණන් වෙතින් දුන් දුර්ලභ ගණයේ පොතක් ලැබුණි. මේ මාහැඟි ග්‍රන්ථ‍ය කියවා බැලීමේ දී එය අහම්බෙන් ලැබුණ වාසනාවක් වන බව පැහැදිලි විය. මහා පඬිවරයකු වූ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල ශූරීන් විසින් එළිදක්වා ඇති එය පුරාණ පුස්කොල පොත් එකතුවක මුද්‍රිත සංස්කරණයකි. එහි මෙම කන්දකුමාර සිරිත ද අඩංගුවීමෙන් ලේඛකයා ළඟ ඇති අත්පිටපත තමාගේ ප්‍රබන්ධයක් නොවන බව පෙන්වා දීමට හැකියාව ලැබී ඇත. දේව වර්ණනා කාව්‍ය යනුවෙන් සංස්කරණය කර ඇති එහි දැක්වෙන කන්දකුමාර සිරිත අනුව දේවාලයේ තිබූ මුල්ම ලේඛනය හෝ එහි මුල්කාලීන පිටපතක් පී.ඊ.පී. දැරණියගල ශූරීන්ට ලැබී ඇති බව පැහැදිලි වෙයි. කන්දකුමාර සිරිත නිමින් ලේකඛයාට ලැබුණු එම පුරාණ කවි පෙළම අකුරු කීපයක වෙනසක් පමණක් සහිතව එතුමාගේ සම්පාදකත්වයෙන් එළිදක්වා ඇති "දේව වර්‍ණනා කාව්‍ය" ග්‍රන්ථයේ පිටු අංක37 සිට 47 දක්වා ඇත්තේය. (ප.එ.ප. දැරණියගල (සැප්තැම්බර් මස 10,1960)කොතුකාගාර පුස්කොල ග්‍රන්ථමාලා අංක IX දෙව වර්ණනා කාව්‍ය)

නම්පොත හෙවත් විහාර අස්නසංස්කරණය

නම්පොත හෙවත් නම්ගම් පොත තවත් විටෙක විහාර අස්න දක්වන 161 වන සිද්ධස්ථානය උග්ගල් අළුත්නුවර වේ. මෙම කෘතිය මහනුවර සමයේ පැවති අධ්‍යාපන මධ්‍යස්ථානවල හෝඩිය කියවූ දරුවාට කියවීමට නියම කෙරෙන මූලික පෙළ පොත විය. මෙහි වැඩි වශයෙන්ම අඩංගුව ඇත්තේ උඩරට රාජධානියේ ඇති ස්ථාන නාම බැවින් මහනුවර සමයේ ලියැවුනක් ලෙස සිතීම සාධාරණ වුවද පිරිත් කියද්දී ආටානාටිය සූත්‍රය සජඣායනා කරන අවස්ථාවල විහාර අස්න කියවීම ලෙස භාවිත වූ බව ද ලියැවී ඇත්තේ හයවන පැරකුම් සමයේ බව ද බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි පාණන් වහන්සේ කියති. ඒ අනුව යතොත් උග්ගල් අළුත්නුවර නාමයේ ව්‍යවහාර ආරම්භය තවත් ඈතට යයි. ඒ අනුව ඉහත දක්වන පුරාණ පුස්කොල ලේඛනය කියන උග්ගල් අළුත්නුවර සිද්ධස්ථානයේ ආරම්භය මහනුවර සමයටත් පෙර සිට බව නිගමනය කරන්නට සිදුවේ. තවත් ප්‍රකට වියතකු වූ රාජකීය පණ්ඩිත නාවුලලේ ධම්මානන්ද නායක හිමිපාණන්වහන්සේ ගේ අදහස අනුවද උග්ගල් අළුත්නුවර මහනුවර සමයටත් වඩා පැරණි බවක් පෙනීයයි. උන්වහන්සේගේ අදහස වී ඇත්තේ උගගල් අලුත්නුවර මුලින්ම පිහිටියේ වර්තමාන මැදබැද්දේ බවය. බැමිනිතිය‍ා මහා නියංසායට මුහුණ දීමේදී වඩා සශ්‍රීක පෙදෙසකට(වර්තමාන පිහිටීම) ගෙන ගොස් අලුතෙන් පිහිටුවීම නිසා "අලුත්නුවර" සේ හැඳින්වුනු බවද උග්ගල් කල්තොට සිට ගෙනා බැවින් "උග්ගල් අළුත්නුවර" වී යැයිද උන්වහන්සේ පුරාණ තල්කොලය තිබූ තොරතුරු උපුටා දක්වමින් පෙන්වා දෙන බව කියවේ. ( බලන්න ගොඩගේ ප්‍රකාශන 2005- "නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන්ගේ විචාර හා විමර්ශන" ඇත්තලපිටියේ නන්දසාර හිමි සහ ටිකිරිබණ්ඩාර සීලොගම ගේ කෘතිය)

1870 විහාර දේවාලගම්පනතසංස්කරණය

බ්‍රිතාන්‍ය යුගයේ සකස් කර ඇති පහත දැක්වෙන අණපනත් හා වෙනත් ලේඛන ද වැදගත් ඓතිහාසික මූලාශ්‍ර සේ ගත හැකිය. සකස් කිරීමේදී විදේශීය බලපෑම බෙහෙවින් ලැබී ඇති ලේඛන බැවින් මේවා විදේශීය මූලාශ්‍ර සේ ගැනීම ද එක් අතකින් සාධාරන වේ. 1. 1815 මාර්තු 02 අත්සන් කරන ලද උඩරට ගිවිසුම(Kandiyan convention) 2. 1819 සැප්තැම්බර් 18 දින විහාර දේවාලගම් ලියාපදිංචි කිරීමේ ප්‍රකාශය 3. 1852 අංක 3 දරන ආඥාපනත 4. 1856 අංක 10 විහාරදේවාලගම් වලට අයත් ඉඩම් ලියාපදිංචි කර ආරක්ෂා කිරීමට පියවර ගැනීම පිළිබඳ පනත 5. 1870 අංක 4 දරන විහාරදේවාලගම් පනත යන ඒවා උග්ගල් අලුත්නුවර පිළිබඳ තොරතුරු අනාවණයට පිටිවහල්වන මූලාශ්‍ර සේගත හැකි වැදගත් ලේඛ‍නයෝ වෙති. මෙයින් ඉතා වැදගත්ම තොරතුරු සමුදායයක් 1870 පනත යටතේ සකස් කර ඇති කොමසාරිස් මණ්ඩල ලේඛනයෙන් ලැබේ. සෙසු අණපනත් මගින් ප්‍රධාන වශයෙන් ලබා ගත හැක්කේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිසා එල්ල වූ බාධාවන්, පහසුකම් ලබාදීමේ විස්තර වැනි අල්ප තොරතුරු ප්‍රමාණයකි. 1900 සිට 1948 දක්වා උග්ගල් අලුත්නුවරට විවිධ අවස්ථාවල පැමිණි සුදු දිසාපතිවරුන්ගේ දින සටහන් ද වැදගත් තොතුරු සපයන ප්‍රාථමික මූලාශ්‍ර සේ ගත හැකිය. මේ යටතේ කොමසාරිස්වරුන් සටහන් කරන ලද තොරතුරු සමුදාය වැදගත්ම මූලාශ්‍රයක් ලෙස දැක්විය හැකි විශ්වාසනීයත්වයෙන් ඉහළම ලේඛයනකි. තීරු හතක් යටතේ සකස්ව ඇති මේ ලේඛනය දේවාලගමේ නම, පංගුවේ අංකය, පංගුවේනම තොරතුරු සහ ප්‍රමාණය පරවේනි නිල කාරයාගේ නම, වැඩවල අන්දම සහ ප්‍රමාණය, වැඩවෙනුවට අවුරුදු පතා ගෙවන මුදල හා අයිතිකාරයාගේ නම (මෙහිදී උග්ගල් අළු්ත්නුවර කතරගම දේවාලය) යන්න සටහන්ව ඇත.

දේවාලගමේ නම පංගුවේ අංකය පංගුවේනම තොරතුරු සහ ප්‍රමාණය පරවේනි නිල කාරයාගේ නම වැඩවල අන්දම සහ ප්‍රමාණය වැඩවෙනුවට අවුරුදු පතා ගෙවන මුදල අයිතිකාරයාගේ නම
අළුත්නුවර නළුවෙල ආදී වශයෙන් ඇති ගම් අංක 1 , 2 ආදී ලෙස ඉඩම් පංගු විස්තරය 1870 ඉදිරිපත්වූ පුදුගලයා/පුද්ගලයන්ගේ නම් ඉටුකළයුතු සේවා විස්තරය රුපියල් ශතවලින් උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය (යන්න සටහන්ව ඇත.)

ඉහත ආකාරයට සකස්ව ඇති මේ ලේඛනය අධ්‍යයනයෙන් ඒ අවදියේ සිටි පුද්ගලයන්, ඒ අයගේ ව්‍යවහාර බස, දේවාලයේ කටයුතුවලට අදාල වාග්කෝෂය, ඇගයුම් හා ආකල්ප ගැන තොරතුරු සම්භාරයක් මෙන්ම ඒ වනවිට පැවති පෙරහර පිළිබඳ කදිම චිත්‍රයක් ද මවාගතගත හැකිය. එකල පැවති සමාජස්ථරායනය, නිලබල ක්‍රමය, බැහැදැකීම ආදී ලෙස විස්තර වෙන ආචාර සමාචාර විධි, කෑමබීම, කෘෂිකර්මය හා කර්මාන්ත පිළිබඳ විස්තර පවා විශ්වාසනීය ලෙස ලබාගත හැකි අගනා මූලාශ්‍රයක් වේ. පුරාණ රාජකාරි සම්ප්‍රදාය නොසලකා හැර ඉවත්වීමට නීතිමය ප්‍රතිපාදන එමගින් සැලසී තිබුණද බොහොමයක් රාජකාරි අදටත් නිරුපද්‍රිතය. එහි වැඩවල අන්දම සහ ප්‍රමාණය තීරය යටතේ විස්තරවන භූමිකාව අනුව වසර පුරා පැවැත්වෙන සිරිත්විරිත් ද කාර්තික මංගල්‍යයන් මෙන්ම දෛනික කටයුතුද විචිත්‍ර ලෙස විස්තර වේ. අද එය අත්තනායක මොහොට්ටාල නිළමේට හා බස්නායක නිළමේට මේ සම්ප්‍රදාය රැක ගැනීම හා සංවර්ධනයත් වැසියාට සිය ඉඩම් භුක්තිය තහවුරු කර අයිතිය ගැනීමත් උදසො වැදගත්වේ. ඒ නයින් එය ආරවුල් විසඳාලීමේ නීතිමය ලේඛනයක්ද වෙයි.

බ්‍රිතාන්‍ය පාලන අවදියේ මේ හරහා ගිය ජොන්ඩේවිගේ වාර්තාවන් හා මෙහි වරින් වර පැමිණි සබරගමුව සුදු දිසාපතිවරුන් ගේ සටහන්සංස්කරණය

19 සහ 20 සියවස්වල සිය නිරීක්ෂණ වලදී මේ පූජනීය ස්ථාන නිරීක්ෂණය කරමින් තැබූ සටහන් හැදෑරීමද ඉතිහාස තොරතුරු විමසුමකදී ප්‍රයෝජනවත් මූලාශ්‍ර ගණයට ගත හැකිය. රොබට් ක්නොක්ස් ඝන වනාන්තරයෙන් ගැවසී ගත් ප්‍රදේශයක් බැවින් පැමිණෙන්ට නොහැකි වුනා විය හැකි බව පෙනේ. එහෙයින් ඔහුගේ සටහන් අතර උග්ගල් අලුතුන්වර ගැන යමක් සෙවිය නොහැකිය. එහෙත් 1819 මේ පෙදෙස හරහා ගිය ජෝන් ඩේවි වාර්තා කරන තොරතුරු උග්ගල් අලුත්නුවර ඉතිහාසය ගවේශණය කරන්නකුට විඵුල ඵල ලබා දෙයි. මේ සටහන් ද විදේශිය මුලාශ්‍ර සේ ගත හැකිය.

නටබුන්, දේවාලයේ ඇති පුරාණ කාසි, පුරාණ භාණ්ඩ හා ගොඩනැගිලිසංස්කරණය

නටබුන් පුරාණ කාසි පුරාණ භාණ්ඩ හා පුරාණ ගොඩනැගිලි දැනට විද්‍යාමාන ගොඩනැගිලිවල දක්නට ඇති පුරාණ කැටයම් සහිත බාල්ක, උඩමාලිගය, වැඩහිටින මාලිගයට හෙවත් ඇතුල්කට්ටලයට පිවිසෙන මහදොරටුවේ කැටයම් කළ උළුවස්ස, දේවාලයේ ඇති පුරාණ භාණ්ඩ හා ආභරණ ආදිය, දේවාලයට පිවිසෙන පඩි පෙළ ඉදිරිපස ඇති පුරාණ හදගල(සදකඩපහන), දැනට වසා ඇති පුරාණයේ තිබූ ලිඳ වටා අතුරා ඇති ගල්තහඩුවල දැක්වෙන කැටයම්, ටැම්පිට විහාරයක් වූ බවට දෙස් දෙන විහාර මන්දිරයේ පුරාණ ගල්ටැම්, පුරාණයේ ස්ථාපනය කර හිදුවා ඇති බෝධීන් වහන්සේ, පුරාණ ලේඛනවල දක්නට ඇති දැනටත් රාජකාරි කෙරෙන හා රාජකාරි ලේඛනගතව නියමව ඇති පුරාණ කොස්ගස, ‍පරිශ්‍ර‍ෙය් සීමා සටහන් කරනු පිණිස ඉදි කළ ගල් ටැම් හෝ වාහල්කඩ යැයි අනුමාන කළහැකි ලෙස සීමාවන්හි පිහිටුවා ඇති විශාල ගල්ටැම්, පත්තිනි දේවාල ගොඩනැගිලි, දැනට විද්‍යාමාන දේවාලයට කලින් ආභරණ වැඩම කර තැබූ ස්ථානය සේ අදහන ගල්ගේ, මුලින්ම ඉදි කළ බව කියවෙන මැදගම දේවාලයේ පුරාණ අත්තිවාරමේ පාෂාණ ඇතුරුම්, පුරාණ පාලමක් සදහා භාවිත කළ අඩි 40 කට ආසන්න දිගකින් යතු දැව කඳ(මෙය පතල් කැපීමකදී හමුවී ඇති දැවකඳන් කීපයක් අතරින් ගොඩට ගෙන දේවාලයාසන්නයට ගෙන ආ බව කියති.) ආදී නටබුන් හා ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වෙයි. තවම කැනීම් කර නැති බැවින් ඉදිරියේදී තවත් නටබුන් ස්ථාන හා වැදගත් තොරතුරු අවනාවරණය වනු ඇත. දේවාලය තුළ තිබී හමුව ඇති ගම්පල යුගයේ සිට භාවිත වූ කාසි සංචිතය ද වැදගත් මූලාශ්‍රයකි.



හැඳින්වීම · දැනමුත්තන් සමග කෙරෙන සාකච්ඡා