උග්ගල් අලුත්නුවර/දැනමුත්තන් සමග කෙරෙන සාකච්ඡා

තදාසන්න ස්ථාන,ජනශ්‍රැතිය සහ රාජකාරි මණ්ඩලයේ වයෝවෘද්ධ දැනමුත්තන් සමග කෙරෙන සාකච්ඡාවන්හි ඵලදායකත්වය සංස්කරණය

ජනකතා සහ ජනකවි යනු ජනතාවකගේ ආකල්ප සමුදාය පිළිබිඹුවන කැඩපතක් බඳුය. පුරාණ ලේඛනයේ දැක්වෙන ගැට්ටපාන, නාගහයට, ගැටනෙටුලයට ගල්ලෙන, ගල්වත්ත, බ්‍රාහ්මණවත්ත, හටන්පල, පාලම, මද්දෙපාලම, වරකාවෙල, කරපේ, පීලිපොත, මලපේ, කොට්ටයාකන්ද, මැද්දෙගම, කිංදිගුණේ හා තොටපල්ල ආදී ස්ථාන හා ඒ ආශ්‍රිතව ඇති ජනශ්‍රුතිය. දේවාලය ආශ්‍රිතව පවතින ජනකතා , ජනකවි, දේවාලයේ පුරාණ යාතිකා, අදටත් දක්නට ඇති පුරාණ රාජකාරි ගායනා, පුරාණ රාජකාරි නැටුම් ආදිය පිළිබඳ මනා මතකයකින් තෙරතුරු පවසන පැරණි පර්ම්පරාවල ඇත්තෝ ද ඉමහත් වැදගත් කමකින් යුතු සම්පත්ධාරීන්සේ මූලාශ්‍ර කර ගතහැකිය. ආදිය ද වැදගත් ප්‍රාථමික මූලාශ්‍ර ලෙස ද දැක්විය හැකිය. දේවාලයට විශේෂිතව ඇති කවුරුන් ප්‍රබන්ධ කළා දැයි බොහොවිට සෙවිය නොහැකි කතා, කවි, ගායනා සහ ඒ හා බැඳුනු සිරිත්විරිත් සමුදාය ආකල්ප රටාවන් ඉක්මවා ගිය ඉතිහාස තොරතුරු අධ්‍යයනයට ද බෙහෙවින් උපකාරවත් වෙයි. රාජකාරි මණ්ඩලය තුළ, දේවාලය හා එහි වත් පිළිවෙත් වල නියුතු වන වයෝවෘද්ධ පුද්ගලයන් රාශියකි. ඔවුන් අතර දේවාලයේ විවේක අවස්ථාවල කෙරෙන සාකච්ඡාවන්ට සවන් දීම ආශාවෙන් කළහැක්කකි. ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් කෙරෙන සාකච්ඡාවන් මේ ගැන කරන අධ්‍යයනයේදී බෙහෙවින්ම ඉවහල් වේ. මෙසේ කළ හැකි සහභාගී නිරීක්ෂණයක් අධ්‍යයනය සඳහා මහෝපකාරී වනු ඇත. ඔවුන්ගේ හපන්කම්, මෝඩකම් වැනි හාස්‍ය ජනකතැන්,ත්‍රාසය මුසු අත්දැකීම්, දේවාලයේ හාස්කම් පිළිබඳව මෙන්ම දේවාලයේ බස්නායක නිළමේවරුන්ගේ වටිනාකම් ආදිය පිළිබඳ රසවත් සත්‍ය කතාවන් මෙන්ම නිර්මාණාත්මක ගෙතුම් ද බොහෝ වෙයි. ඒවා වෙන වෙන පරිච්ඡෙද මගින් හෝ පොත් මගින් ප්‍රකාශ කළයුතු තරම් විශාලය. මූලාශ්‍ර ගැන කරන මේ සටහනේදීත් මේ දැනමුත්තන් ගැන භක්තියෙන් මේ සටහන තබනු ලබන්නේ ඒ අය කෙරේ මහත් කෘතඥතාව‍යෙන් යුතුවය.

පෙරහර මංගල්‍යය ඇතුළුව කාර්තික මංගල්‍ය සිරිත්විරිත් යාතිකා සාම්ප්‍රදායික නැටුම් ගැයුම් පිළිබඳ සහභාගී නිරීක්ෂණයක ඵලදායකත්වය සංස්කරණය

මහ පෙරහර මංගල්‍යය නරඹන්නකුට දිවයිනේ අන්‍ය ඇසල පෙරහරවලට වඩා දක්නට හැකි විශේෂත්වයන් කිපයකි. 1. මහ පෙරහර ගමන්ගත් පසුව නවාතැන් ගන්නා ස්ථාන දෙකක් ඇති බව. බොල්තුඹය, රත්නපුර හා සොරගුණය වැනි අන්‍ය පෙරහර වලදී අතරමග නවාතැන්ගන්නේ සිංහාසනයට ගෙවදීම නම් අවස්ථාවේ පමණි. මෙහි දී සිංහාසනයට අමතරව කොස් උරුප්පයට ගෙවදීම නම් විශේෂ නවැතැන් ස්ථානයක් ද ඇත්තේය. එහිදී කෝලම් නැටම් හා නයියන්ඩි නැටුම් යනුවෙන් හැඳින්වෙන උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායට අයත්සේ වර්ග කෙරෙන සබරගමු නැටුම් අංග දෙකක් දක්නට හැකිය. 2. විශේෂ කල එළියකින් යුතුව ගමන්ගන්නා පෙරහරින් අනතුරුව එදිනම තවත් පෙරහරක් වීදිය වටා ගමන්ගන්නා බව. මෙහිදී දේවාලයේ සාම්ප්‍රදායික රාජකාරි වාදනගායන හැරෙන විට වෙනත් කිසිදු විශේෂාංගයක් එක් කර නොගැනේ. 3. දියකපන දිනට පෙරදින රාත්‍රී ඉහත කි ලෙස පැවැත්වෙන පෙරහර දෙකට අමතරව සිංහාසනයේ සිට පමණක් ගමන්ගන්නා තෙවන පෙරහරක් දක්නට හැකි බව. මෙය “වීදිදාස් වැඩමවීම“ යන විශේෂ නමකින් හැඳින්වේ. එය ගමන්ගන්නේ මීට පෙර නොදුටු විශේෂ වාදන හා ගායනයන් සහිතව පාගමනිනි. මෙහිදී කපු මහතා පාගමනින් දේවාභරණ වැඩමවන අතර දෝලි හෝ රථය පාවිච්චි නොකෙරේ. කපු මහතා දෙපස පහන් දෑතින් රැගත් ආලත්ති තේවා සහ දිග්ගේ නැටුම් ඉදිරපත් කරන කාන්තාවන් ද ගමන් ගැනීම විශේෂත්වයකි මෙවැනි විශේෂත්වයන් හොඳින් විමසා බැලීම මගින් දේවාලයේ ඉතිහාසය මෙන්ම මේ ප්‍රදේශයේ පවතින ඓතිහාසික කඳකුමර කතාපුවත පිළිබඳව ද අපූර්ව තොරතුරු හදාරන්ට අවස්ථාව සැලසේ. ඒ පමණක් නොව වීදිවටා සැරිසරන විවිධ ඓතිහාසික පුවත් පිලිබඳ විසිතුරු කතාන්තර අඩංගු නාට්‍යයක් සේ පෙනීයාම නිසා හෙල නාට්‍ය කලාවේ විකාශනය පිළිබඳ මෙතෙක් අනාරවරණය කරනොගත් තොරතුරු රාශියක් ද හැදෑරීමට අවස්ථාව ලැබේ. ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීමට උපකාරවන මූලාශ්‍රයක් සේද පෙරහර හොඳින් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා ගැනීම මහත් පිටිවහලක් වෙයි.












ප්‍රාථමික මූලාශ්‍ර · ප්‍රාථමික මූලාශ්‍රයන්හි විශ්වස්‍යතාවය හා වලංගුතාවය