කූක්බුක් | අවශ්‍ය දෑ | ආහාර වට්ටෝරු

කිරිබත්
විකිමීඩියා Cookbook හි කොටසකි.



කිරිබත් කියන්නෙ අපි කොයිම වෙලාවකවත් කන්න බැහැයි නොකියන ඕනෙම සුබ කටයුත්තකදි මුලින්ම හදන්න මතක් වෙන හරි අපූරු කෑමක්. කිරි බතේ මූලාරම්භය ගැන හරි සඳහනක් නැතත්, කිරි බත් කියන්නෙ ලාංකික අපිට විශේෂ කෑමක්. අනිවා අපි අද කියන්න යන්නේ මේ කිරිබත ක්‍රම 5කට හදාගන්න හැටි. සමහර ඒවා නම් ඔයාල දන්නවත් ඇති. සමහර ඒවා අහලවත් නැතුව ඇති.

කිරිබත් හදන්න අපි ගන්නේ සුදු කැකුළු හාල්නෙ. ඉතින් මේ සුදු කැකුළු හාලෙ තියෙන කළු ඇට, වී, බජිරි එහෙම ඉවත් කරගන්න බත උයන්න කලින්. නැත්නම් කිරිබත ලස්සන නෑ. මොන විදියට හදන්නත් කලින් අපි සාමාන්‍ය කිරි බතක් රසට හදාගන්න හැටි දැනගමු. සමහරු හදන කිරි බතට එක්කො කිරි නෑ එක්කො ලුණු නෑ. එහෙම නොවී රස කිරි බතක් හදන්නෙ මෙහෙමයි.


1. කිරි බත්

අවශ්‍ය දේ:

සෝදා ගරා ගත් හාල් කප් 4 උකු පොල් කිරි කප් 4 ලුණු තේ හැඳි 2


අතේ මැද ඇඟිල්ලේ දෙවෙනි පුරුක ළඟට එනකම් වතුර තියලා මුලින්ම සුදු කැකුළු බත උයාගන්න. වතුර ගානට තියාගන්න. බත බෙරි කරගන්න එපා. එහෙම වුනොත් කිරිබතට දිය රහක් එනව කොච්චර කිරි දැම්මත්. ලුණු ටික පොල් කිරි ටිකට හොඳින් දියකරගන්න. බත ඉදුණට පස්සෙ ලී හැන්දක මිට පැත්තෙන් බත කූරු ගාලා ලුණු මිශ්‍ර කරගත්ත කිරි ටික දාලා නැවත කූරු ගාගෙන කිරි ටික හිඳෙනකම් බත උයාගන්න. ලිපේ බත් උයනවනම් ගින්දර මධ්‍යම ප්‍රමාණෙන් තියාගන්න. රයිස් කුකර් එකේ හදනවනම් කිරි එක් කරන්න කලින් කුකර් එක කුක් මෝඩ් එකෙන් වොර්ම් මෝඩ් එකට වැටුණම කිරි දාලා නැවත කුක් මෝඩ් එකට දාන්න. එක එක බ්‍රෑන්ඩ් වල ලුණු වල රස වෙනස් වෙන හන්දා හදිසියේවත් ලුනු වැඩි වුනොත් තව පොල් කිරි ටිකක් එක් කරගන්න.


2. ඉඹුල් කිරි බත්

පැණි පොල් මැදට දාලා කෝම්පිට්ටුව වගේ හදන ඉඹුල් කිරිබත් හරිම රසවත් කෑමක්. මෙහෙමයි හදන්නෙ.

අවශ්‍ය දේ:

පැණි පොල් ගාගත් පොල් කප් 2 සීනි 100g කරඳමුංගු ඇට තුනක් වතුර 100ml


සීනි තේ හැඳි 4ක් විතර උණු වෙන්න තබා රන්වන් පාට වීගෙන එන විට, වතුර එක් කර මිශ්‍රකරගෙන ඉතිරි වතුර ටික එක් කර පැණි පදමට සාදාගන්න. එයටම පොල් ටික, ලුණු චුට්ටක් සහ කරඳමුංගු එක් කර පොල් ටික මැලවෙන තුරු ලිපේ තියාගන්න. කලින් කිව්ව විදියට කිරි බත් ටික උයාගෙන චුට්ටක් නිවෙන්න අරින්න. ලන්ච් ශීට් එකක් ගෙන එයට කිරිබත් පොල් කටු හැන්දකින් හැන්දක් දමා තුනී කර සාදාගත් පැණිපොල් ටිකක් මැදට තබා ලන්ච් ශීට් එකේ දෙපැත්තෙන් ඔතාගන්න කිරි බත් බෝලයක් වගේ හැදෙන්න. එහෙමත් නැත්නම් කප් එකක් ගෙන එහි යටට කිරි බත් ටිකක් දමා තද කරන්න. එයට උඩින් පැණිපොල් දමා තද කර නැවත කිරිබත් ටිකක් දමාගන්න. පෙර පරිදිම හොඳින් තද කර අනිත් පැත්ත හරවා ගන්න.


3. බඩ ඉරිඟු කිරිබත්

කාලා තියෙනවද බඩ ඉරිඟු කිරිබත්? සමහර විට අහලත් නැතුව ඇති. ලපටි බඩ ඉරිඟු වල රසත් එක්ක පොල් කිරි රස අපූරුවට එක් වෙච්ච මේ කිරිබත හරිම රසයි.

අවශ්‍ය දේ:

සුදු කැකුළු හාල් කප් 3 ලපටි බඩ ඉරිඟු ඇට කප් 2 (බඩ ඉරිඟු කරලෙන් ඇට විතරක් පිහියකින් කපල ගන්න) උකු පොල් කිරි කප් 5 ලුණු


බඩ ඉරිඟු ඇට ටික යන්තම් වතුර දාලා තම්බ ගන්න. (ගොඩක්ම ලපටි කරල් නම් තම්බන්න අවශ්‍ය නෑ.) එයටම සෝදා ගරාගත් හාල් ටික එක් කර බත ඉදෙන්න ඇති තරමට වතුර එක් කර බත උයාගන්න. කිරි ටිකට ලුණු එක් කර හොඳින් මිශ්‍ර කර උයාගත් බතට එක් කර කිරි බත සාදාගන්න.


4. පොංගල් බත්

තෛපොංගල් දවසට දමිල ගෙවල් වලින් ලැබෙන එහෙමත් නැත්නම් දේවාල පූජාවට ගියාම ලැබෙන මුරුතැන් බතට අපි කවුරුත් ආසයි. මේ පොංගල් බත හදන සාම්ප්‍රදායික ක්‍රමය නෙවෙයි, ඒත් පහසුවෙන් හදාගන්න විදියයි.

අවශ්‍ය දේ:

සුදු කැකුළු හාල් කප් 3 මුංඇට කප් 1 1\2 (පැය 4ක් පොඟවාගත්) උකු පොල් කිරි කප් 5 කජු ටිකක් වියළි මිදි ටිකක් ගාගත් හකුරු කප් 1 1\2 ගී මේස හැඳි 3 කරඳමුංගු කරල් 3-4ක් සාදික්කා කුඩු චුට්ටක් ලුණු


මුලින්ම මුංඇට ටික තම්බා ගන්න. පෙර පරිදිම සුදු කැකුළු බතද උයාගන්න. මුංඇට සහ බත් එකට මිශ්‍ර කර එයට අනෙක් සියළු ද්‍රව්‍ය එක් කර හොඳින් මිශ්‍ර කර මද ගින්නේ කිරි හිඳෙන තුරු පිසගන්න.


5. මුං කිරි බත්

කිරි බත් කොහොමත් ටිකක් සීතල කෑමක්. ඉතින් මේ කිරි බතට මුං ඇට එකතු කලාම තවත් සිසිල් ගුණය වැඩියි. සෙම් රෝග තියෙන අයට සුදුසු නැති වුනත් මේ රස්නෙ කාලෙට උදේකට කන්න කියාපුම කෑමක් තමයි මේ.

අවශ්‍ය දේ:

සුදු කැකුළු හාල් කප් 3 රැයක් පොඟවාගත් මුං ඇට කප් 1 1\2 උකු පොල් කිරි කප් 4 1\2 ලුණු


සෝදා ගරාගත් හාල් සහ මුං ඇට ටික එකට එක් කර හොඳින් උයාගන්න. එයට ලුණු එක් කරගත් පොල් කිරි මිශ්‍ර කර කිරි හිඳෙන තුරු උයාගන්න. රෑට මුං ඇට ටික පෙඟෙන්න දාන්න අමතක වුනා නම් මුං ඇට ටික වෙනම තම්බාගෙන උයාගත් බතට එක් කරගෙන මුං කිරි බත හදාගන්නත් පුළුවන්.


6. ලබු කිරි බත්

ලබු කිරි බත් කිව්ව ගමන් මතක් වෙන්නෙ ලබු කිරිබත් කාපු නරියට වෙච්ච ඇබැද්දිය නේද? නරියට එහෙම වුනාට ලබු කිරිබත් කියන්නෙ ඇඟ සිසිල් කරවන ඉතාම ගුණ කෑමක්. විශේෂයෙන් ඌෂ්ණ සිරුරක් ඇති අයට වඩාත් සුදුසු ආහාරයක්. දැන් කාලෙ ගොඩක් අය හදන්න දන්නෙ නැති ලබු කිරි බත හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය දේ:

සුදු කැකුළු හාල් කප් 4 පොත්ත හැර ඇට ඉවත් කර කුඩා කොටු කපාගත් ලබු කප් 2ක් උකු පොල් කිරි කප් 4 ලුණු රම්පේ පොඩි කෑල්ලක්


බත බාගෙට තැම්බීගෙන එන විට කපාගත් ලබු ටිකද එක් කර බත උයාගන්න. එයට ලුණු මිශ්‍ර කිරිද රම්පේ කැබැල්ලද දමා කිරි හිඳෙන තුරු බත උයාගන්න. (මේ සඳහ හුඟක්ම උකු පොල් කිරි ගන්න තරමට බතට රස හදා ගන්න පුළුවන්. මොකද ලබු වල ඇති දිය ගතිය නිසා කිරි රස අඩු වෙන්න පුළුවන්)

"https://si.wikibooks.org/w/index.php?title=Cookbook:කිරිබත්&oldid=25073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි