සැවුල් අසුන් පවත්-8
සැවුල් අසුන් පවත්-8
සංස්කරණය7
සිහසුනැ = සිහ අසුනැ. නිරිඳු = නර ඉඳු. තරිඳු = තරු ඉඳු - නිතින = නිතින් (එ.වි).
මෙහි රජ සිහ රජු සඳුට වඩා උසස් බව දක්වනු සදහා සඳෙහි ඇති පවතට විරුදු පවත් මෙ රජු ගේ ඇති බව පෙන්වන ලදී. එහෙත් මෙහි තිස් වන පැදියේ දැක් වූ පරිදි උවම් උවමේ දෙකෙ හා (අසම) ගුණ ගුණ විසින් මැ දක්වා නැති. කිසි විරුදු ගුණයක් දක්වා ඇත්තේ වදනෙහි ඇති සෙලෙස් අරුතින් පමණෙකි. නිදසුන් විසින් මේ විමසනු.
මෙ රජය දෙ පස පිරිසුදුයි. ඒ කීයේ මා පිය දෙ පසින් රජු පිරිසුදු බවයි. ඊට විරුදු විසින්, සඳු දෙ පස පිරිසුදු නැති. ඒ කීයේ සඳු ගේ පුර, අව, යන දෙ පක්ෂනය එක සේ පිරිසුදු නැති බවයි. එහි විරුදු ගුණය ගුණ යෙන් මැ දැක්වී ඇති.
මෙ රජ සසල නො මැ වෙයි. ඒ කීයේ මෙ රජු කිසිවෙකිනුත් සැසලෙන්නේ නැති මැ බවයි, එයට විරුදු ගුණය වියැ යුත්තේ සැසැලීමෙන් මැ යුතු බවයි. හෙවත් සඳු සසල මැ වන බව යි. එ හෙත් මෙහි ‘සසල මැ වන’ යන්නෙන් ගන්නට සිදු වන්නේ ‘සසල මැ වන ‘ යන අරුතයි. එ විටැ විරුදු ගුණය පෙදෙහි සෙලෙස් අරුතින් මිසැ පවතින් නො ලැබේ.
සියල්ල මෙ සෙයින් සලකා බලමු.
මෙ රජ සඳ,
(1) සසල නො මැ වෙයි. (1) සසල මැ වෙයි.
(සැසැලෙන්නේ මැ නැති) (සස ලපින් යුතු මැ වෙයි)
(2) නෙක මිහිසුරු මුදුන් වෙයි. (2) එක් මිහිසුරු මුදුන් වෙයි.
(නො එක් රජුනට මුදුන් පති) (එක් මහ ඉසුරා ගේ ජටා මුදුනට පති)
(3) සිවු සැට කලා පිරියි (3) සොලොස් කලා පිරියි.
(කලා හැට හතර පුරා දත්තේයි) (කලා දහසයක් පමණක් පිරුණේ වෙයි)
(4) කදහස උනු නොවෙයි. (4) එක් දනක් පමණක්උනු නොවෙයි.
(කවර දාවත් නො පිරිහෙයි) (නො පිරිහී පවත්නේ මසකට දවසයි)
(5) දෙ පස සුපිරි සුදුය. (5) එක් පසක් අපිරිසුදුයි.
(මා පිය දෙකුලෙන් නො කිලිටියි) (එක් පසක් කළුවරයි)
(6) තුඟු සිහසුනැ රඳයි. (6) ගජ අසුනැ රඳයි.
(උස් සිහ අස්නේ හිඳී) (ඇතු පිටේ හිඳී)
72. පෙළ:- ඇම දවස දහසක් වරැ දහසක් වස් දහසක් වතිනි කිවත් නො ගෙවෙන මොහු යසය මම වසින් එක් සිය ආයු ලැබැ නර පණු වැ වැස එක් මුවෙන් පවසා කෙ ලෙ ස නිමවමි.
(ඇම දා මැ - දවසට - දහස් වර ගණනේ දහසක් අවුරුද්දක් කටවල් දාහකින් කීවත් අවසන් නොවන මොහු ගේ යසස මම අවුරුදු ගණනින් සියක් - වසකට ආයු ඇති මිනිසෙකු වී සිටැ එක කටෙකින් කියා කවර විදියෙකින් ඉවර කරම්ද?)
මුවෙනි = මුවෙන් (එ.වි). වසිනෙක්සිය = වසින් එක් සිය. නර පණුවා (මිනිස් ප්රාෙණීයා) = මිනිසා.
73. පෙළ:- නව රුවන් බන්, තුඟු, ගන රන් ටැම් මුදුන, මන් පිනවන නොමින කටහම් රූ යුතු රන්, කලදෝ, දැව පේ කඩිනි බබළන, නන් විසිතුරු බිතු සිතුවමිනි වොරදන -
74. විදු කිඳු අයුරු පැහැ විදි රන් කොත් පැළැඳි, පිරිසුදු සිනිඳු පළ හෙළ උඩුවියන් බැඳී, කිරි සිඳු බඳු වූ මුදු සුදු තිර අවට සැඳී, විදු පැහැකනා මිණි වැට පහනින් වොරැඳි -
75. පැහැදුල්, විසිතුරු, තුරු පෙළිනි බබළන අඹරා සිරි පෑ හැම වරැ දිළෙන, ළද කල් ඉසි අසෙනිය මලිනි වොරදන, දන මන බඳින ඉඳු නිල් මිණි බිමන් යුතු-
76. නන් විසිතුරු, පහ සිරිවමියගෙ කොකුමහර දුන් මනහර පියොවුරු සිරිනි දුටු දන මනනෙත් නො හැර සන් තොස වඩන රන් මිණි කලස් සිය ගණනින් සැඳි, පවර -
77. ලඹා දෙන නොමින මුතු ලැල් වටින් සැදි, දිගත අලු කැරැ රුවක් පබා පැතිරෙන, සුර පුරය හොබවන සුදම් සබා යුරු සතොස වඩවන, සබා මඩුවෙහි -
78. අග රජ කිරුළු පෙරගිරි සිහිනුදා වන, සුනිමල් දිමුතු මුතුලැල් තුරු පෙළෙනි යුතු, සිහිලැල් සේ රැසින් නොදිගුබිත හෙළි කළ, පර රද කර තඹුරු මුකුලිත කැරැ මැ වොරඳන, සන් සුන්, සුපුන් සඳ වන්, සේසතෙහි යට නන් රන්කමින් බබළන සිහසනේ පිට - සූවන් ගිරි දෙ පසැ හෙන හැලි සිරිත් සොඳ ළඳුන් දුන් සෙමෙර නල විඳ, ලෙවන් හට සුරිඳු සිරි පළ කැරැ, නො මද සිතින් මෙ අප රජසිනා නිරිඳු උන් සඳ -
79. පබඳ විකුමෙන් රුදු විරිදුන් ජය ගෙනැ කිරුළිය පැළැඳ මෙ තුන් ලක වට සරන, සුර කුමරුන් වැනි සොඳ රජ කුමරුවෝ මෙ නිරිඳුගෙ සිරි පදැ මුදුන් දී සිටිති.
(නවරත්න හෙවත් නව වගේ මැණික් බැඳී, උස් වූ, ගනරනින් කරන ලද කණු මුදුන්, සිත් පිනවන්නා වූ බොහෝ කැටයම් රූ ඇති, රන් රිදී දැව හෙවත් ලීදඩු යන දැයින් කරන ලද පේකඩින් බබළන්නා වූ, නො එක් හැටියේ අඳිනා බිතු සිතුයම් වලින් උදාර වී පෙනෙන
විදුලි කෙඳි වැනි වැ පැහැය පැතිරෙන රන් කොත් පළදවා ඇති, නො කිලිටි වු, සිනිඳු වූ, පැතිරැ පෙනෙන සුදු පැහැ ඇති උඩු වියන් බැන්දා වූ, කිරි මුහුදේ පැහැය බඳු පැහැ ඇති සුදු පැහැ, මෙළෙක් සළුයෙන් ඇදි වට තිර ඇම පැත්තෙන් මැ ඇති, විදුලි පැහැය ඇති රන් වැට මිණි වැට පහනින් උදාර වී පෙනෙන -
පැහැයෙන් දිළෙන්නා වූ, විසිතුරු වූ, තරු වැළින් බබළන අහසේ සැටි දක්වමින් සියලු විටැ දිළියෙන්නා වූ, තුරුණු ලියන් විසින් ඉස්නා ලද විලඳින් උදාරවැ බබළන, මිනිසුන් ගේ සිත් බඳිනා සුනිල් මැණික් බිමින් යුත් -
නො එක් හැටි සැරැහුණු පහය නැමැති සිරි කතගේ, කොකුම් සුනු ගැල් වෑ තන අයුරු පෙනීමෙන් මිනිසුන් ගේ සිතුත් නෙතුත් එකකුත් - නෑරැ සතොස වැඩිකරන්නා වු රන් කලස්, මිණි කලස් සිය ගණනින් සැරැහුණා වූ, උතුම් වූ -
එල්ලෙන්නා වූ බොහෝ මුතුලැල් වටා යෙදුවා වූ, දිගුන් අවසනට පැතිර යන මැණික් එළිය ඇති, දෙව් පුර හොබවන්නා වූ හෙවත් සරසන්නා වූ සුදම් දෙව් සබය වැනි වැ සතොස වැඩි කරන්නා වූ, පැහැදුණු ගුණයෙන් යුත් සබා මඩුයේ -
අග රජුගේ වොටුණු මුදුන නැමැති උදා ගිරි මුදුනින් පායන, පිරිසුදු වූ, කැලුම් සහිත වූ මුතු ලැල් නැමැති තරු වැළ සහිත, ඉතා සිසිල් පැහැ නැමැති රස් නිසා නො එක් දිගුන් බිතු පිට සේ එළිය කළා වූ, සෙසු රජුන් ගේ අත් නැමැති නොළුම්මල් අකුළුවා මැ උදාර ලීලායෙන් පෙනෙන පුරා හඳ වැනි සුදු කුඩ සෙවණේ නො එක් රන් සැරැසිල්ලෙන් බබළන්නා වූ සිහ අසුන මත්තේ, රන් ගිර හෙවත් මහ මෙර දෙ පැත්තේ ඇද හැළෙන ඇලි මෙන් පෙනෙන, සොඳුරු ලියන් සලන්නා වූ සෙමෙර පවන් විඳීමින්, ලෝ වැසියාට සක් දෙවිඳු ගේ අයුරු පෙන්වමින්, බොහෝ සතුටින් මෙ අපේ රජ සිහ රජු උන් විටැ-
පතළා වූ සපන් කමින් මහත් සතුරන් පරදවා වොටුනු පැළැඳැ මේ තුන් ලක වටා සැරී සරන්නා වූ තුරුණු දෙව් පුතුන් සම රජ කුමරුවෝ මෙ රජු ගේ උතුම් වූ පා - තමන් ගේ- හිස් මුදුනේ ගන්වා සිටිත්).
(73) මුදුන = මුදුනැ. නොමින = නොමින්. (77) ලඹා = ලඹ. නොමින = නොමින්. (78) යුත = යුතු. සඳසඳැ. (79) පැළඳ = පැළැඳැ.
(73) පේ කඩිනි = පිය කඩිනි. සිතුවමිනි = සිතු කමිනි (76) කොකුමඟර = කොකුම් අඟර. (77) දිගත = දිගු අත (78) හිසිනුදා වත = හිසින් උදා වත. සිහිලැල් = සිහිල් ඇල්.
සිරි රජසිහ රජු ගේ සබා මඬුව වැනීමට පටන් ගැනුණේ සිවු පැදි සයකුත් දස පද සැහැල්ලකුත් එක් මැ වැකියෙකැ ගැන්වීමෙනි. මුල් සිවු පැදි පසින් මඩුවේ විසිතුර ද, එ ළඟට දස පද හෑෙල්ලෙන් රජ සිහ රජු සිහසුන අරා ඉඳිනා සැටි ද, එ ළඟට සිවු පැදියෙන් එ රජු සිරිපා වැඳැ සිටිනා රජ කුමරුවන් ගේ පවත් ද පැවැසිණි.
ඒ මඩුයේ කණු ගන රනින් නිමියේ යි, ඒවා නව රුවන් ඔබවා සරසන ලද්දේයි. ඒ කණු බොහෝ උස් වෙයි. ඒ වා මුදුනේ දුටුවන් ගේ සිත් පිනවන කැටයම් රූ යුතු රන් පේකඩ, රිදී ෙප්කඩ, දැව පේකඩ මාරුවෙන් මාරුවට යොදා ඇත්තේයි. එහි නො එක් විදියේ බිතු සිතුයම් ද විසිතුරට කොටැ ඇත්තේ යි.
(පේ කඩ නම් යට ලීය දරා සිටිනා කණු ඉහයි)
ඒ මඩුවට රනින් මුදුන් කොතක් පළදවා ඇත්තේ යි. එහි විහිදෙන රස් කිඳු විදුලිය කෙඳි බඳු යි. එහි සුදු පිරිසුදු උඩුවියන් බදවා, සුදු වට තිර අදවා ඇත්තේ යි. එහි, වැටිය පිණිසැ රන් කූරු, මැණික් යන දැය යෙදූ පහන් ඇත්තේ යි. ඒවියින් ද පැහැය විහිදී යයි.
ඒ මඩුයේ බිම ඉඳුනිල් මැණික් අල්ලා කරන ලද්දේ වෙයි. කොමළ අඟනන් විසින් ඉසිනා ලද විලද එහි ඇති. එ හෙයින් විලද සහිත එ පිල පෙනෙන්නේ තුරු වැළින් සැරැසුණු පිරිසුදු අහස මෙනි.
එහි රන් කලස්, මැණික් කලස් සිය ගණන් ඇත්තේ යි. ඒවා දෙසට දනන් ගේ නෙත් සිත් එකකුත් මඟ නෑරැ ඇදී යයි. එ සෙයින් උන් ගේ නෙත් සිත් ඒවා දෙසට ඇදෙන්නට හේතුව ඒවා පියොවුරු සේ පෙනීම යි. ඒවා පියොවුරු වන්නේ පහය නැමැති සිරිකතට යි.
එ මඩුව අවට පියැසි අගැ මුතුලැල් එල්වා ඇති. එහි ඇති මැණික් කැලුම් අවට පෙදෙස් එළිය කරමින් පැතිරෙයි. එය සුරපුරට පළදනාවක් වන ‘සුදම්’ සබය වැනිය.
ඒ සබා මඬුයේ සේසත් සෙවණේ සිහසුන ඇත්තේ යි. සේ සත පෙනෙන්නේ උදා වූ පුරා සඳ මෙනි, අග රජු ගේ වොටුණු මුදුන ඒ සද නැංගා වූ උදය ගිරි මුදුන මෙනි, සේ සත වටා එල්ලා ඇති මුතු ලැල් සඳ වටා ඇති තරු කැලන් බඳු යි. සේ සතින් විහිදෙන රස් සඳින් නික්මෙන එළිය බඳු යි. සේ සත් සෙවණේ සිහස්නේ හිඳුනා රජුට දොහොත් මුදුන් දී සිටුනා පර රජුන් ගේ ඒ ඇඳිලි සද එළියට ඇකුළුණු නෙළුම්මල් වැනි යි. සිහසුන නො එක් රන් කමින් සැදුණේ වෙයි. එහි හිඳුනා රජ මහමෙර බඳුයි. එ රජු දෙපසේ සිටැ ලියෝ සෙමෙරින් පවන් විදිති. ඒ සෙමෙර මහ මෙර දෙපසින් ඇද හැළෙන ඇලි මෙන් පෙනේ. රජු ඉඳිනේ ලෝ වැසියාට සක් සුරිඳු ගේ හැටි මෙ සේ යැ යි පෙන්වන්නා මෙනි. එ අයුරින් ඒ රජු අස්නේ උන්නාම-
රජ කුමරුවෝ දොහොත් මුදුන් දී සිටිති. ඒ රජ කුමරුවෝ ද කිරුළු පැළැදියෝ වෙති. පෙනුමෙන් ඌ තුමු දෙව් පුතුන් බඳු යි. ඌ තුමු මහත් සපන් කමින් මහ බල සතුරන් පරදවා, රටට අරක් ගන්මින් ලක් දිවේ තුන් රජයේ සැරිසරන්නෝ වෙති.
(73) කනා මිණි වැට පහන් :- වැට නම් වැටිය යි. කනා වැට පහන් මිණි වැට පහන් ඒ වැටියේ කැල්මින් එළිය දෙන ඒවා මිසැ ගිනි දල්වන ඒවා නොවේ. වැටිය පිණිසැ රන් යොදන ලද පහන ‘කනා වැට’ පහන යි. වැටිය හැටියට මැණික් යොදන ලද පහන ‘මිණි වැට’ පහන යි. ඒ නයින් වැටිය පිණිසැ දඩු යොදන ලද පහන ‘දඬු වැට’ පහන යි. එයට ගිනි දැල් වියැ යුතු. මෙ දවස්හි දඬු වැට පාන ‘පන්දම’ යන නමින් අඳුනවනු ලැබේ.
මේ පැදිය ගුත්තිල දා කවේ
‘සුදු පිරිසුදු වියනුත් උඩ බදවා
මුදු ඉඳුවර මල් දම් එහි රඳවා
විඳු කිඳු යුරු රන් රසු දැල් යොදවා
සැදු සුර සිඳු බඳු වටතිර අදවා’ යන්න සිහිපත් කරවයි.
(75) අසෙනිය මලිනි:- අසෙනිය මල් යනු විලඳට නමෙකි. පිදීමට නිසි යන අරුත ඇති ‘අර්වනීය’ යනු ‘අෙසනිය’ යැයි සිය බසට ගන්නා ලදී. ලජා යනු ධාන්යඇ බැඳීමෙන් පුප්වා ගත් දැයට නමි. එය ‘ලද’ යැයි සිය බසේ සිටි. වියෙන් කළ ලද විලඳ යි.
‘අසෙනිය මල් තරු
විමල් ඉඳු නිල් මිනි තල
ගුවැ සිහසන සරා
සිසි බිඹු ෙසාමි මෙන්නා’ (ක.සි. iv. 6.) යන්න මෙ කිවියන් සිහි කළ බවෙකි පෙනේ.
තුරුණු ලියන් විලඳ ඉසීම මඟුල් සම්මත යි.
‘විලඳ ඉසි කොමලඟ’ (ක. සේ. vi. 55)
යන්නෙන් ද ඒ පෙනේ.
79. කොකුමඟර:- දැන් රත් පැහැ සුනු (පියර) මුහුණේ ගෑමට ගන්නා සේ එදා රත් පැහැසුනු පිණිස කොකම් සුනු ඇඟැ ගෑමට ගන්නා ලදී. ආදී ලියෝ අද ලියන් හැට්ට- යෙකින් වසන පියොවුරු පෙදෙස නො වසා සුනු, මල් දම්, මුතු පට ඈ දැයින් සරසා දැකුම්කලු කළ හ. බෙහෙවින් පියොවුරන්හි තවරන ලද්දේ කොකුම්, මල් රෝන ඈ පාට සුනු යි.
‘සලා දුලා පියොවුරැ තඹර රොන් රත’ (සැ.අ) ඈ යෙදුමෙන් ද ඒ පෙනේ.
පහය සිරි වමිය ( වමිය නම් අඟන යි) වුව ඇයට වියැ යුත්තේ පියොවුරු දෙකෙකි. මෙහි සිය ගණන් මිණි කලස් පහ සිරි වමිය ගෙ පියොවුරු වැනි යි කීම විසුළුවෙකි. මෙහි වනත ලද්දේ මඬුවෙකි. මඬුව පිණිසැ ‘පහ’ යනු යෙදීම ද විසුළු යි. එ සියල්ලට කරුණු වූයේ :-
‘පහ සිරි වමිය
කොකුමද පින් පියොවුරෙව්
පැහැසර සොමි පියුම්රා
මිණි වැණිනි නෙත් බදනා’ (ක. සි. iv. 3) යන්නන සිහියට නැගී ඒම යි.
මේ රජ සබ වැනුම් ගිරා, හංස යන සන්දේශ දෙකේ කොටැ ඇති සැටි බලා කරන ලද්දේ යි.
(79.) තුන්ලක :- යන්නෙන් ලක් දිවේ රුහුණු, මායා, පිහිටි යන තුන් රට අඟවන ලද්දේ යි.
80. පෙළ:- නිමල ඔහු රිවි බඳ තෙද අනල පත් වූ, සොළී, පඬි, කේරළ මන නද නිරිඳු කැල හිමි නිය කිරණ තුමුල ගඟැ ගිලෙමින් මුදුනතැ කර කමල දී වැඳ වැඳ සිටිති.
(දොසින් මිදුණු එ රජු ගේ ඉරු රස් බඳු තෙද ගින්නට අසු වු, සොළී, පාඬි, කේරළ යන ජාතිවලැ, සිත් තුටු කරන රජ සමුහය - මෙ - හිමියා ගේ පයේ නිය රස් නැමැති මහ ගෙඟ් ගිලී හිස් මුදුනේ අත් නැමැති නෙළුම් මල යොදා වැඳැ වැඳැ සිටිති).
මෙහි නිමල යනුත් ‘මන නඳ’ යනුත් නිකම් විරිත සපුරා ලීමට මිසැ තැනට සුදුසු වන වෙසෙසුන් නො වේ. මේ වැනුම ද නිකම් සිරිතකට කළ එකක් මිසැ ඇත්තේ පවතක් එළි කරන්නෙක් නො වේ. සීතාවක රජසිහ රජුට මූදින් එ තෙරැ රජුන් නතු වැ සිටි බවක් යටගියායෙන් පෙනෙන්නට නැති. මේ වැනීම සෙසු අසුන් කව්හි ඇති කරුණු අනුසරින් නිකම් සිරිතට කරන ලද්දක් බව සැලැකීමට මේ හොඳ නිදසුනෙකි.