සස දා විවරණය-හඳුනවුව
සංඥාපනය
සංස්කරණයඉතා දිගු කලක් මුළුල්ලෙහි දරන ලද තැතෙකැ පල මෙ සේ එළියට එයි. සසදාව ගී පොත් අතුරින් වයසින් ද පමණින් ද අගයෙන් ද දෙ වැන්න යි. කුස දා කව් සිළු මිණ පළමු වැන්න යැ. සස දා පිටපත් ඉතා අවුල් වැ පවත්නා හෙයිනුදු ගී අපවත් වූ හෙයිනුදු ශුද්ධ කිරීම දරාණු වූ ආයාස ගෙනැ-දෙන්නෙක් වී යැ. අප ගේ තැතින් පොත කොතරම් පිරිසුදු වී ද යනු සමතිතු විනිසිනිත් වා.
මේ ඉතා දිග සංඥාපනයක් පතන්නෙකි. ඵ්, ඉංගිරිසි පරිවර්තනයත් සමග, වෙන් වැ පළ වන්නේ යැ.
මෙහි වූ විවරණය පමණක් නො වැ පෙළ ද බෙහෙවින් මැ අප අයත් බව කිව යුතු නො වේ. අවසරයක් නැති වැ පිටපත් කිරීම නීති විරෝධ වෙයි.
මුනිදාස කුමාරතුංග
2483 නවම් පුර 3
පාණදුරේ ගොරකාපොළැ
“හෙවණේ” දී යැ.
හඳුනවුව
සංස්කරණය(දෙවන පැහැරැවුම)
සසදා විවරණය පළමු වරට එළියට ආයේ අදට පසළොස් අවුරුද්දකට ආදියේ යැ. ගුරු දෙවියන් අතින් එයට සැපැයුණේ ඉතා කුදු හඳුනවුවෙකි. සස දා තතු පිළිබඳ ඉඟි ඉතා සැකෙවින් කැරිණ එ හඳුනවු සිඟිත්තෙන්.
සස දාව හා පුරා කියා ගුරු දෙව් අත් පහස් ලදුයේ විවරණයට අවුරුදු තුදුසකට පමණ ඉහතිනි. එ අත් ලත් ගි එක් සිය තිස් පසෙක් අරුත් බිණුම් ද ගෙනැ එළි දිට. එයට වඩා පියවර ගණනක් මැ පෙරට කොටැ සිටියේ යැ විවරණය.
ලීලාවතී රැජින දායැ සස දාව කැරුණේ.
‘කළ ලො සසුන් වැඩ
ලීලාවතී හිමි සඳ
පළ කළ දම් රජ සිරි
මෙ වැටුම්හි පිටු බල වී’යි
එ කියත් මැ යි කව් කරුවාණෝ මැ. එ බැවින් අවදිය පළයැ. එ පිළිබඳ සැක හෝ අවුල් හෝ නැති.
කව් කරුවාණෝ නම් තව දක්වා නො දත හැකි අතෙකැ මැ වෙති. ඔවුන් සඳහන් නම් කව ඇතුළින් වත් බැහැරින් වත් නො ලැබේ.
විවරණය එළි දක්නා තෙක් නියම සස දා රස මිරිකාගත හැකි අතෙක් නොවී. එ බැවින් එ රස වින්දාටියෝ එ වන් අතක් පතන්නට මැ වන් හ. එ අත පුරා දින විවරණය. රස රිස්සෝ අස්වස් ලද්දෝ යැ.
1954 පෙදු සස්කුරු ඉදිරි ඉද්ද, අතුරු කලා (G.C.E.Advanced Level, Intermediate in Arts) යන සෝදිසි සඳහා සස දාව නියම කැරිණ. එ තකා මේ නොබෝ දා බිහි වූ එක් සැකැස්මෙකි. එහි පිටු ගණනෙකැ මැ ඉඩ ඇවිරිණ කව් සිළු මිණි කරුවන් පිළිබඳ කුමාරතුඟු මතය සඳහා කැරුණු බෙළඳ කතාවකට. ඉන් මෙ තැනට ඇති අරුත කිම ? සස දා හදාරුවනට මෙහි දි ඉන් ලැබෙන පල කවෙර් ද ? හූ හඬක් හඬා මහ නදක් කළ සේ ගෙනැ දැපෙන්නට බැලීම වැන්නෙක් ද එයින් කැරෙන්නේ ?
‘මහා වංශයෙහි කිසි තැනෙක වත් මහ පැරකුම්බා රඡු චන්ද්ර වංශිකයෙකැ යි නො කියැවේ. අනෙක් අතට, ඔහු සූය්ය් ගෙ වංශිකයකු ලෙස පිළිගැනුණු බවට කොතෙකුත් නිදසුන් ඇත.’
මේ ඵ් සැකැස්මේ එන කියමනෙකි.
මහ පැරැකුම්බාවන් ගේ පියාණෝ කවුරු ද ?
ඔහු කවර කුල ඇත්තෝ ද ?
එ ගැනැ ‘මහා වංශය’ කුමක් කියා ද ?
මහ පැරුකුම්බාවන් රිවි කුල බව ‘මහා වංශයේ’ කියැවේ ද ?
‘මල පවනා බිඳු පොද
වි පිඬු වනා නොකෙ විල්
සිකා ඉහි නා කෙළෙ මත
තව මද විලසිනො ‘ද විල් ගත’
මේ කව් සිළු මිණි ගියේ එන ‘පඬු ඉඳු කෙළෙ’ යනු කවුරුන් සඳහා කියැවිණි ද ?
කව් සිළු මිණි කරුවන් පළිබඳ දිගට කතා සස දාවට කුමට යැ ? කව් සිළු මිණේ දී බැරි යැ ඵ් ?
බණන්නට දැයක් නැති කලැ නිකම් අනන් මනන් බිණීමත් වියත් කමක් කොටැ සලකා ඇතැමුන් දැපෙන නියා යැ දැන්. පට පුස්සන් ගේ ගතියෙක් ද ඵ් ? ‘ඕපා දූප’ දෙඩීමේ යෙදුණු ගැහැනුන්ද තමන් වියත් කම් ගැනැ නො දැපෙති යි කෙසේ කැව හැකි ද මෙයින් ?
‘කලප්’ යන්නෙන් ‘කලබ්’ කබල, යනු බිඳෙන බව කියන එ නියරින් ‘සප්’ යන්නෙන් ‘සබ’ ‘ලොප්’ යන්නෙන් ‘ලොබ’ ‘අප්’ යන්නෙන් ‘අබ’ යන මේ ද බිඳෙන සේ කීමට නොපැකිළෙන පෙළේ කෙනෙකි ඵ් සැකැස්ම කළාහූ. හොඳ හෙළ පා සලෙකැ පහළ ගොල්ලේ දරුවකු අතිනුදු නොවන වරද ඔවුන් අතින් වූ සැටි සිය සැකැස්මේ සිය දහස් තැනින් පෙනෙයි. ‘.............රඡු චන්ද්රඑ වංශිකයෙකැ යි ...............’ මේ නිදසුනෙකි. මෙ බඳු කුදු වැකියකුදු නිවැරදි වැ ලියා-ගත නොහෙන්නවුන් සස දාව වැනි ගතක් සැකැසීම කතා කවර කතා ද ? විවරණයේ එ තරම් නිරවුල් කොටැ දැක්වුණු තැන් ඵ් සැකැස්මේ කො තරම් අවුල්කොටැ දැක්වීණි ද යන්න පිළිබඳ එක් තැනැක් පමණක් මෙයින් බලත් වා183-‘අනුනු:අන්+උනු. අඩු නො වූ, අනුන.’ ඵ් අවුල් යම් තමට වත් දක්වන්නට නම් ඵ් දෙ ගතටත් වඩා ලොකු ගතක් වුව මනා යැ. එ බන්දක් පතනු දු බැරි බැවින් දෙ ගත සසඳා බලා මැ තතු දැනැ-ගන්නට ඉඩ වඩා නිහඬ වම්හ. යම් යම් සෝදිසි සඳහා නියම කැෙරන පැරැණි ගත්, ඉංගිරිසිය පිටු බල කොටැ-ගෙනැ මෙ සේ කැත කරන්නට වීම මේ අලුතෙකැ සිටැ බෝවුණෙකි. නියම වියතුන් අතින් සැකැසුණු එ බඳු ගත් මෙ සේ කෙලෙසීම මහ බිහිසුණු කමෙකි. අර පරසිදු දෙක නම් මතින් වත් අඳුනන්නෝ නම් වෙසෙසින් කුමරතුඟු මුනිදසුන් වැනි කෙනෙකුන් අතින් සැකැසුණු ගතක් තකා මෙ සා වරදක් කරන්නට සිහිනෙනුදු පැකැළෙති; බති; නො සිතති. හදාරුවනට මින් වන විපත කියුම් විසා ඉකුම්වා සිටී. හෙළ බසට’ ගිය කල! අහෝ!
සස දාව හදාරන්නවුනට පුරා පිහිට වන්නේ විවරණය මැ යැ. අන් කිසි මැ අතෙකින් ඉන් වැඩි පිහිට මෙලොවින් නම් නො පැතියැ හැකි යැ.
විවරණයේ දෙ වන පැහැරැවුම යැ මේ. පළමු පැහැරැවුම නො ලැබියැ හැකි වැ කලෙක් ඉක්මිණ බොහෝ හදාරුවෝ මේ පැහැරැවුම පතා ඉවැසිලි බුරුල් කරන්නට වන්හ. ඉන් උන් අස්වස් වස් එ තරම් මැ ඉක්මනින් මේ පැහැරැවිණ. එ බැවින් මෙහි පමා ඇත, පුදුම නැතැ; ඇත් හොත් කමත්වා!
අමරසිරි ගුණවඩු.
2498 නිකිණි පුර 8.
පේරාදෙණියේ
ලක් සරසවියේ දී යැ.