සපරගමු දර්ශන පෙරවදන

සපරගමුව ගැන ලියූ දෙවැනි පොත මෙයයි.මෙයට තිස්වසකට පෙර " සපරගමුවේ ලියවිලි " නමින් පොතක් ලියා පලකරවීමි. පණ්ඩිතෝපාධි ප්‍රදානයෙන් සම්මානිත ඒ ග්‍රන්ථය ජනසම්මානනයටද පාත්‍ර වූ බව අවුරුදු හතරක් තුල දෙවරක් ම මුද්‍රණය කරන්නට සිදුවීමෙන් පෙනේ. දෙවැනි මුද්‍රණයද අවසන් වීමෙන් පසු "එය නැවත මුද්‍රණය කරවන්නැ" යි විද්‍යාර්ථීන්ගෙන් නිතර නිතර ආරාධනය ලැබුනේය. මේවන විට බුද්ධියත් , ශක්තියත් ඒ පොත ලියූ වකවානුව ඉක්මවා තිස්වසකින් ඉදිරියට ගොස් තිබෙන හෙයින් එදා ලියූ ඒ ග්‍රන්ථයම නැවතත් මුද්‍රණය කරණවාට වඩා සපරගමුව ගැන අංග සම්පූර්ණ ශාස්ත්‍රීය නිබන්ධනයක් පාඨකයන් අත තැබීමේ යෝග්‍යතාවය ගැණ සලකා බැලීමි.

රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ
                              රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි
                                                         සපරගමු දර්ශන 

" සපරගමු දර්ශන " පලවූයේ එහි ප්‍රතිඵලය වශයෙනි.

කලින් ලියූ පොතේ සපරගමුව ගැන ප්‍රමාණවත් විස්තරයක් ඇත. සපරගමු දර්ශනයෙහි ඇත්තේ මුලින් ලියූ ඒ පොතෙහි ඇතුළත් කරුණු ගැන හා අළුතෙන් සොයා ගත් කරුණු ගැනත් විමර්ශනාත්මක පරීක්ෂණයකි.

කහපට කොඩිය

කහපට කොඩිය

රටක් හෝ ප්‍රදේශයක් අඳුනා ගැනීමේ ලාඤ්ඡනය ධජයයි.." ධජෝ රථස්ස පඤ්ඤාණං" යි සම්බුදුරදුන් ද එයම අනුමත වදාළහ. පාලනය කිරීමෙහි පහසුව සලකා ත්‍රිසිංහලය දොළොස් මහරටකට බෙදීමේදී සපරගමුවට ලැබුනේ පස්වැනි තැනයි. කහපට කොඩිය එහි ජාතික කොඩියයි.

සිංහල රාජ්‍යයේ අවසානයත් සමඟ ම අතුරුදන් වූ මේ කොඩිය නැවතත් සොයාගත හැකිවුනේ 1940 දී ය.

මෙම කොඩිය සොයාගැනීම සඳහා කාලයත් - ධනයත් වියදම් කරමින් , පුරාවිද්‍යාඥයන් සමඟ සාකච්ජා කරමින් , පුරාවස්තු තිබෙන තැන් පරීක්ෂාකරමින් ඇවිද්දෙමි.

මේ අතර ශාස්ත්‍රාචාර්ය පෝල්. ඊ.පීරිස් මහතාගේ නිර්දේශයක් අනුව කුණ්ඩසාලේ රජමහා විහාරයේ කෞතුක වස්තු අතර තිබී මෙම ජාතික කොඩිය සොයා ගතිමි.

ඉතා සිනිඳු කසාවන් කාශ්මීර පට රෙද්දක සිතුවම් කර තිබෙන මෙය ක්‍රමයෙන් දිරායන බව පෙනේ. කොඩිය සෑදීමට පාවිච්චිකර තිබෙන වස්ත්‍රයත්, පැරණි කමත් ගැණ සලකන විට මෙය රජවාසල තබාගත් කොඩියේ මුල්ම පිටපත විය හැකියි. ඉතිරි එකොලොස් දිශාවට අයත් කොඩි එකොළොසත් , නරේන්ද්‍රසිංහ රජුගේ රාජාභරණත් තැම්පත් කර තිබෙන මෙහි ඒ රජු පිළිබඳව වෙනත් වැදගත් කරුණු කීපයකුත් තුඩපත් වශයෙන් පවත්නා නිසා දැනට එහි ඇති දොළොස් මහ දිශාවටම් අයත් කොඩි දොළොසම මහනුවර මහවාසල තුබූ කොඩිවල මුල් පිටපත් වීමට ඉඩතිබේ..

ඇතුළත් කරුණු

මේ කොඩිය යටතේ පැවති ප්‍රදේශයෙහි අවුරුදු ලක්ෂගණනක් ඈත අතීතය දෙසට ගමන් කරණ පොසිලයුගයේ පටන් සිංහල රාජ්‍යයේ අවසානය දක්වා සොයාගත හැකිවූ පාෂාණිභූත වස්තු- පුරාවතු-ශිලා ලේඛන- තඹසන්නස- පුස්කොළ සන්නස් තුඩපත්-ගම්මාසම පත්‍ර-දිවිසීට්ටු-පූජා පත්‍ර - ගෝදන පත්‍ර- රජවාසල නඩු තීන්දු හා ඓතිහාසික ලේඛන අනුසාරයෙන් දැක්විය හැකි විවිධ සිදුවීම් පිළිබඳ තොරතුරු මේ ග්‍රන්ථයෙහි පැහැදිලි ලෙසම විවේචනයට භාජන කර ඇත.

ශ්‍රී පාද ශිලා ලිපි

ශුද්ධ වූ පර්වතයෙහි සිර්පා සටහන අසල බ්‍රාහ්මී සෙල්ලිපියක්

සිරිපා සටහන ගැන නොයෙක් ආකාර මත භේද වරින් වර මතුවූ බව ප්‍රකට කරුණකි. මේ මතභේද මතුකරන්නන් අතර මන්ද බුද්ධික බෞද්ධයනුත් බෞද්ධයන් මෙන් පෙනී සිටින අබෞද්ධයනුත් සිටින බව නොරහසකි. පාසටහන පිහිට වූ දා සිට මේ දක්වා පරම්පරා වශයෙන් වැඳුම් පිදුම් කිරීම වත් , මේ සැකය දුරුකර ගැනීමට ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ හැඟීමයි. සම්බුදුරදුන් සමනල ගල මත සිය සිරිපා සටහන එබූ බව පිළිගැනීමට නම් මේ පුවත ගලක කෙටූ තැනක් තිබිය යුතු බව ඔවුහු කියති. තවත් සමහර අය සිරිපා සටහන සොයාගැණීම කීර්ති ශ්‍රී නිශ්ශංක රජුකල විසුවේ යයි කියන අත්පා නැති කොටෙකුට භාරදී ඒ ගැණ පොත්-පත් පවා මුද්‍රණය කර තිබේ..

පුරාවිද්‍යා කොමසාරිස් තැම්පත් ශාස්ත්‍රාචාර්ය සී.ඊ.ගොඩකුඹුර මහත්මයාද මේ ගමනට සූදානම්ව සිටි නමුත් ජානකීභරණ මහාකාව්‍යය සංශෝධනය කොට නාහර අකුරින් මුද්‍රණය කරවීම පිළිබඳ ශාස්ත්‍රීය සේවයක යෙදී සිටින නිසා ඒ මහත්මයා විසින් පිටත්කර එවන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන පිටපත් කිරීමේ සහකාර නිලඩාරී ඇම්.එච්.සිරිසෝම මහතාත් , සපරගමු පළාත් පාලන සහකාර කොමසාරිස්වර ඇල්.පී.සිරිවර්ධන මහතාත්, තවත් අප හිතවත් ගිහි- පැවිදි පිරිසකුත් කැටුව සිරිපා මළුවට නැග ඒ ශිලා ලිපීවල සේයාරූ පිටපත් කිරීමේ කාර්ය්‍යය නිම කළෙමු.


දෙවැනි බ්‍රාහ්මීය අක්ෂර සෙල්ලිපිය

දෙවැනි බ්‍රාහ්මීය අක්ෂර ශිලා ලිපිය

කිසිම ආවරණයක් නැති ගල වටා කොටා තිබෙන මේ ලිපි ඝන වර්ෂාවට හා තද අව් සුලන් වලට භාජනය වීමත් , මෑතක සිට විනෝදයට මුල් තැන දී සිරිපා නගින අය මේ ලිපි මත සිංහල - දෙමළ - ඉංග්‍රීසි අකුරුවලින් තම තමන්ගේ නම ගම කොටා විරූපී කිරීමත් නිසා බොහෝ දුරට විනාශ වී තිබෙන බව පෙනේ.. ශුද්ධවූ පර්වතය වටා ලියා තිබෙන මේ ලිපි අතර ආදීම බ්‍රාහ්මී අක්ෂර වලින් කෙටූ කියවිය හැකි තරමේ අකුරු කීපයක් ශේෂව ඇති සෙල්ලිපි දෙකකුත්, බොරදම හැර ඒ මැද කෙටූ තවත් ශිලා ලිපි කීපයකුත් , පද්මය ලඟට නගින පඩි පෙළේ දකුණු පැත්තේ බොරදම හැර ශිලා ලිපියකුත් , පද්මය අසලම බොරදම් හැර කෙටූ කුඩා ශිලා ලිපියකුත් ඇත. මෙයින් පළමුවැනි සෙල් ලිපියෙහි පළමුවැනි පේළියෙහි " ( සු ) ම න හ ....... ක " යන අකුරු කීපයකුත් , දෙවැනි පේළියෙහි මැද " ත " යන්නකුත් තාමත් කියැවිය හැකි පමණට රැකී තිබේ. දෙවැනි බ්‍රාහ්මී සෙල් ලිපියෙහි පළමු වැනි පේළියෙහි " වා " යන්නත් , දෙවැනි පෙළියෙහි දෙතැනක " ක " - " ම " යන අකුරු දෙකත් , තුන් වැනි පේළියෙහි දෙතැනක " ස " - " ක " යන අකුරු දෙකත් , අවසාන පේළියෙහි " න " යන්නත් ශේෂ ව ඇත. ක්‍රමයෙන් විනාශ වී යන නොමට සිළුටු වූ මේ අකුරු සම්බුද්ධාගමයටත් මහින්දාගමනයටත් අතර කොටන ලද ශිලා ලිපි දෙකක කොටස් ලෙස සැළකිය හැකියි.


තුන්වැනි මිශ්‍ර ශිලා ලිපිය

තුන්වැනි මිශ්‍ර ශිලා ලිපිය

බොරදම් හැර ඒ මැද කොටා තිබෙන මේ සෙල්ලිපියෙහි උඩකොටසෙහි පෙනෙන ස්කු කුමන වර්ගයකට අයත්දැයි කිය නොහැකි අතර යට පේළියෙහි " බගවා " යන අකුරු තුන එක පෙළටම කොටා තිබේ. ශ්‍රී පාද පද්මය ලඟට නගින පඩි පෙළේ දකුණු පස තිබෙන තරමක් විශාල සෙල් ලිපිය මහ විජයබා - මහ පැරකුම්බා - කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල හා දෙවැනි පැරෞම්බා යන සිරිපා වැඳි රජ වරුන්ගේන් යම්කිසිවෙකුගේ කෘතියක් ලෙස සැලකිය හැකි නමුත් ඒ ලිපිය පාමුල අවුරුදු පතා කොප්පරා පිළිස්සීමට ඉඩැ හැර තිබීම නිසා ප්‍රයෝජනයක් ගත නොහැකි පමණටම ( ලිපිය ) විනාශ වී ඇත.

සිරිපා සටහන පිහිටි මේ ශුද්ධ වූ පර්වතයෙහි කොටා තිබෙන බ්‍රාහ්මී සෙල් ලිපි වලින් ශේෂවී ඇති අකුරුත් , පොළ්න්නරු සමයෙහි විසූ සිරිසඟබෝ 1 විජයබා ( 1096 ) - කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ( 1196 ) යන දෙරජුන්ගේ ශිලා ලිපිත්, මහනුවර සමයේ විසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1752) විසින් ශ්‍රී පාදථානයෙහි පුද පූජා පවත්වන සංඝයා වහන්සේගේ ප්‍රයෝජනය පිණිස වී අමුණු 165 ක වපසරිය ඇති කුඹුරු හා අක්කර හාරදහස් ගණනක් විශාල දැනට තේ-රබර් වැවී තිබෙන ගොඩ ඉඩම් වලිනුත් අනූන කුට්ටා පිටිය ගම පිදූ තඹ සන්නසත් ගැන සලකන විට ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ දා සිට මේ දක්වාම ඒය දැකීමට හා වැඳීමට ස්වදේශික විදේශික උභය පක්ෂයම පැමිණි බවට කිසිම සැකයක් නැත.


ශ්‍රී පාද ලාඤ්ඡනය

ඉඳුනිල්මිණ මතුයෙහි තැබූ සම්මා සම්බුදුරදුන් ගේ පා සටහන වසා විශාල ගල් වලින් සිරිපා මළුව අවට ආවරණය කොට ගල් කුළු මත පර්වතයක් තබා ඒ මත දැනට අපට දක්නට තිබෙන ශ්‍රී පාද ලාඤ්ඡනය කෙටූ බව අනාදිමත් කාලයක සිට බෞද්ධයන් අතර පැවත එන විශ්වාසයකි. එහෙත් ඒ පිළිබඳ පිළිගත හැකි කිසිම පැරණි ලිපියක් මේ තාක් ලැබී නැත.

1940 දී ශක්තිමත් ලෙස ප්‍රාකාරය බන්දවා මළුව හාත්පස කැපූ කළු ගල් අතුරවා ප්‍රතිසංස්කරණයක් කළේය. එකල දොළොස් මහ පාන තිබුනේ ශුද්ධ වූ පර්වතයටත් සමන් දෙවි මැදුරටත් අතරය . මේ පහන එතැනින් ඉවත් කොට ඒ බිමෙහි කළුගල් ඇතිරවීමට පොළොව කණින විට ඒ අතරින් අඳුරු සහිත ගැඹුරු කුහරයක් දකින්නට ලැබුණ බවත් , බාල්ක වැනි විශාල ගල් කුළුණු මත මෙම පර්වතය තබා තිබෙන බව පිළිගත හැකි බවත් , මළුවෙහි ගල් ඇතිරවීම අවහිර කරන්නට මෙන් එතැනින් කළු දෙබරුන් මතුවී කම්කරුවන්ට අනින්නට වූ බවත් , එවකට ශ්‍රී පාදස්ථානයේ භාරකාර ධූරය දැරූ සිඩ්නි එල්ලාවල දිශා මහතා මා සමඟ කීයේය. එකී අඳුරු ගුහාවට ආලෝකය වැටෙන කුහර කීපයක් මහගිරි දඹය වටා තිබෙන බවත් , කූඩු සෑදීමට දෙබරු රිංගන්නේ ඒ කුහර වලින් බවත් ඇසීමි.

සිරිපා මළුව යට අඳුරු ගුහාවක් තිබෙන බව පිළිගැනීමට මෙය ද එක් කරුණකි. ඒ ගුහාව තුල ඉඳුනිල්මිණක් මත සිරිපා සටහනක් තිබේද ? නැද්ද ? යන්න පරීක්ෂා කොට දැනගත යුක්තකි.

සිරිපා සටහන ගැන තොරතුරු.

මුලදී පාද ලාඤ්ඡනයෙහි තත්වය හා ප්‍රමාණය ගැන විස්තර සඳහන් වාර්තා නැතත් දස වැනි ශත වර්ශයේ සිට එකුන් විසි ශත වර්ශය දක්වා සමනල නැගි විදේශිකයෝ ඔවුන් දුටු සිරිපා සටහනේ ප්‍රමාණය ගැන විස්තර ලියූහ.

මාවෝ ජිකුවා 10 ශතවර්ශය සිරිපා සටහනෙහි දිග අඩි 7 කට වැඩියි
ජෝන් ( ජියෝවනි ) ද් මරිඤ්ඤොල්ලි 1290 සිරිපා සටහනෙහි දිග අත්ලෙන් 2/ 1/2 කි
ඉබන් බටූටා 1347 දිග වියත් 11 ( අඉ 5/1/2)කි
සර් ජෝන් මැන්ඩවිල් 14 ශතවර්ශය දිග අඩි 8 යි ගැඹුර අඩි 2 කි
මාහුවාන් 15 වන ශත වර්ශය දිග අඩි 2 කි
රොබර්ට් නොක්ස් 1660-1679 අතර දිග අඩි 2 යි
මාර්ෂල් ( ස්කොට් ) 1819 දිග අඩි 5 1/2 යි
ඇමර්ෂන් ටැනන්ට් 1829 දිග අඩි 2 යි

තිලෝගුරු සම්බුදු රදුන්ගේ ධර්මකාය සම්පත්තිය මෙන්ම රූප කාය සම්පත්තියද කිසිවෙකුට ප්‍රමාණ කළ නොහැකි බැව් එකිනෙකට වෙනස් වූ මේ වාර්තාවලින් පෙනේ.

රන්කම් - රිදීකම් - ධජ - පතාකාදියෙන් මළුව සරසා පා සටහන රන් රුවනින් පුද සිව් සැට රජ බරණින් සැදී සිරි පතුලට නළල තබා වැඳි ලාංකීය රජවරු පාසටහනේ දිග - පළල ගැණ කිසිම විස්තරයක් සිය ශිලා ලිපිවල ලියා නැත්තේද සිරිපා සටහනෙහි පවත්නා මේ ප්‍රාතිහාර්ය ගැන ඒ නරපතීන් තුළ දැනීමක් තිබුන නිසා විය හැකියි. සිරිපා මළුවේ සිරිත් විරිත්

තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිරිපා මළුව සැරසීමත් , රන් - රිදී- මුතු - මැණික් ආදියෙන් පාද පද්මය පිදීමත්, කෝඩුකාරයන් අද මෙන්ම එදාත් සිරි පතුලට නළල තබා වැඳීමත් ස්වදේශික - විදේශික වන්දනා කරුවන් අතර චාරිත්‍රයක් වශයෙන් පැවති බව සිරිසඟබෝ විජයබා- කීර්ති ශ්‍රී නිශ්ශංක දෙ රජුන්ගේ ශිලා ලිපි වලින් හා රන් කලන් දහස ( රාත්තල් 17 ) ක් හා රිදී කලන් පන් දහස ( රාත්තල් 55 ) ක් පාද පද්මයට පූජා කිරීම විස්තර වන චීන ශිලා ලිපියෙනුත් පෙනේ. ශ්‍රී පාදස්ථානය සතුව පැවති මේ වස්තු සම්භාරය සීතාවක 1. රාජ සිංහ රජු ( 1581-1593 අතර දී )මෙම සිද්ධස්ථානය ආඬි පකීර්ලාට පැවරීමෙන් පසු දෙමළුන් අතට පත්වන්නට ඇත. ඊට අවුරුදු 171 කට පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු ස්වකීය රාජෝද්‍යයෙන් සවැන්නෙහි ( 1752 ) නැවතත් ශ්‍රී පාදස්ථානය සපරගමුවේ වේහැල්ලේ සඟ පරපුරට පූජා කරණ විට පර්වතයත් , පා සටහන හැර කිසිවක් ඉතිරිව තිබුන බවක් නොපෙනේ.

ආදියෙහි සිටම කීර්ති ශ්‍රී කාලය දක්වා පද්මයට පුදන බුද්ධ පූජාව සංඝයාගේ හෝ ගිහියන්ගේ පරිභෝගයට නොගත් බැව් ගිලීමළේ- අඹගමු- දිවාගුහා හා කුට්ටාපිටිය සන්නස් වලින් පෙනේ.

ගිලීමළේ - බඹරටුව - අඹගමුවෞලපනය - බදුලුවනය - කුට්ටාපිටිය ආදී ගම් තුදුසක් ශ්‍රී පාදස්ථානයේ දියුණුවටත්, වන්දනා කරුවන්ගේ කෑම - බීම - නිවාස - පහසුකම් පිළිබඳවත්, ශ්‍රී පාද පද්මයට තේවාව කරණ සංඝයාගේ සිවු පසය පිණිසත් පූජාකර තිබීමෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අදහස ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ශ්‍රී පාදස්ථානය වේහැල්ලේ ධම්මදින්න ස්වාමීන්ගෙන් පැවත එන සපරගමුවේ සංඝයාට පූජා කලේ සපරගමු දේශාවේ පොදු ශාසනික කටයුතු සඳහා මිස උදරපෝෂණය පිණිස නොවේ.

පතුලට වැටෙන බුද්ධ පූජාවෙන් රස්සාවීම ආරම්භ වූයේ 1837 දී බැව් ඉඳුරුවේ සුමංගල මේධංකර නාහිමියන් විසින් ඉංග්‍රීසි ආණ්ඩුවට ලියන ලද ලිපියකින් පෙනේ. පොතේ 63 පිට බලන්න.


කුට්ටාපිටියේ තඹ සන්නස

කුට්ටාපිටියේ තඹ සන්නස ( 1752 )

ශ්‍රී බුද්ධ වර්ෂ 2294 (ක්‍රි:ව: 1752 ) දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දෙන ලද මෙය , සිංහල නරපතියෙකුගෙන් ශ්‍රී පාදස්ථානයට ලැබුන අවසාන සන්නසයි. මුල් බිජු එකසිය හැටපස් අමුණක වපසරිය ඇති කුඹුරු හා දැනට තේ- රබර් වවා තිබෙන අක්කර හාරදහසකට අධික ගොඩ ඉඩම් මේ සන්නස යටතේ ලැබී තිබේ.

මේ දේපල පූජා කර තිබෙන්නේ ශාසනාන්තර්ධනය දක්වා ශ්‍රී පාදස්ථානය පවත්වා ගැණීමට බැව් , ශ්‍රී ලංකාද්වීපයෙහි රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්ත වන මහා රාජොත්තමයානන් වහන්සේලාගෙන් නිරවුල්ව මේ ස්ථානයෙහි සාසනාන්තර්ධානය දක්වා සස්ථිරව පූජා සත්කාර පවත්වා වදාරණ පිණිසත් එහි වත් පිරිමසන තැන්වලට වටන පසට පවත්නා ශැටියටත් සපරගමු දිශාවේ නවදුන් කෝරළේ බද කුට්ටාපිටිය කියන ගම යන්න සන්නසෙහි පැහැදිලිකර තිබෙන වාක්‍යයෙන් පෙනේ.

ශ්‍රී පාදස්ථානයේත් එහි නායක ස්වාමීන් වහන්සේගේත් නිත්‍ය නිවාසය වූ ගල්පොත්තාවල පංසලේත් , ශ්‍රී පාද වාරය වූ හමස තුල එම නායක තෙරුන්නාන්සේගේ තාවකාලික නිවාසය වශයෙන් පවත්නා පළාබත්ගල පංසලේත්, ශාසනාන්තර්ධානය දක්වා අඩු ලුහුඬු නැතිව අදීන පාලනයක් ගෙනයාමට අවශ්‍ය හැම දෙයක්ම සිදුකර දීම සඳහා මෙම කුට්ටාපිටිය විහාරගමෙන් ඉටු විය යුතු රාජකාරී 84 කි.

මෙයින් 3-9-10-33-45-54-57 යන රාජකාරි හතෙන් කොටසක් පැල්මඬුල්ල පුරාණ විහාරයෙනුත් , 75 වන රාජකාරියෙන් කොටසක් පැල්මඬුල්ලේ ශ්‍රී සුදර්ශන ධර්ම ශාලාවෙනුත්, 16-33-55 යන රාජකාරි වලින් කොටසක් ඉද්දමල්ගොඩ බස්නායක නිලමෙගේ පෙළපතෙන් පැවත එන අය විසිනුත් කළයුතු බැව් කුට්ටාපිටිය කොමසාරිස් පොතෙහි සඳහන්ව තිබීමෙන් පෙනෙන්නේ මේ ස්ථානය රැකබලා ගැනීම සඳහා ගිහි-පැවිදි-ලොකු-කුඩා කවුරුත් පාහේ සහභාගී වියයුතු බවයි.

සිරිපා සටහනට බෝර හා බෝරකාරයින්ට හෙන

මුරකරුවන් පත්කරණ තෙක් ශ්‍රී පාද ස්ථානයේත් ඉරිදා පොළකත් අතර පවත්නා තත්වය බොහෝදුරට සමානව තිබුනේය. සවසට පොළ ඉවරවීමෙන් පසු පොළේ ඉතිරිවන්නේ කුණු වූ පුහුල්-පැපොල්-වට්ටක්කා-කෙසෙල් පරඬැල්-කරවලකටු ආදියයි. ශ්‍රී පාද වාරය අවසන් වීමෙන් පසු එකතු වූ දේ පොදි බැඳගෙන පල්ලම් බසිනවිට සිරිපා මළුවේ ඉතිරිවන්නේ කුඩා රෙදි කෑලි-හැලි-වලන්-හිස් බෝතල-පොල්කටු-හොන වැදුන ඝණ්ටාර කෑලි සහ පරමල් ආදියයි. මේ හේතුව නිසා එකල අවාරයට සිරිපා සටහන රැකුනේ සිරිපා පූජා භුක්ති විඳින්නන්ගේ බලය නිසා නොව දේව බලය නිසාම යි. වරක් ආගම් නො අදහන මිනිස් නම් දරන්නවුන් දෙදෙනෙක් අවාරයෙහි සිරිපා මළුවට නැග සිරිපා සටහන සුණු විසුණු කර දැමීම සඳහා බෝරයක් ගැසීම ආරම්භ කළහ.මොහොතක් තුල ඔවුන් සිටි තැනට නුදුරින් පිහිටි රන්සිවි ගෙයින් කොටසකුත් කඩාගෙන වැදුන වැහි නැති හෙනයක් නිසා බෝර ගැසීමේ කාරිය අතහැර වහ වහා පල්ලම් බැස්සෝය. එකල පතුලෙන් ප්‍රයෝජන ගැනීමේ කාරිය ශ්‍රී පාද පාලකයින්ට ත් පතුල රැක ගැණීමේ කාරිය පාසටහන පිහිටුවීමට ආරාධනය කළ සමන් දෙවියන්ටත් පැවරී තිබුන බව මෙයින් පෙනේ. පාසටහන මැද කොටා තිබෙන ඊතල ලකුණද දෙමළ පාලන කාලයෙහි නැත්නම් මේ අනාරක්ෂක යුගයෙහි යම්කිසි පාපී පුද්ගලයෙකුගේ මිලේච්ඡ ක්‍රියාවක් විය හැකියි. සිරිපා සටහන විරූප වන සේ කොන්ඩා කටුවක හැඩයට බැඳ තිබෙන සිමෙන්ති කටුව කඩා දමා ශ්‍රීපාද පද්මයෙහි පිහිටි අෂ්ටොත්තර ගත මංගල ලක්ෂණ හා පෞරාණිකත්වය රැකෙන පරිදි පතුලත් ශුද්ධ වූ පර්වතයත් පිරිසිදු කළ යුතුව තිබේ.

වෙදෙහ හිමිගේ සලකුණ

සුමන සුරිඳු ඇරජනෙන් සුන්දර සමනල ගල මත - සම්මා සම්බුදුන් සම්බුදු බැව් ලැබූ අටවැනි වස-වෙසඟ මැදි පුණු පොහෝදා-( සුපිරිසිදු ) වම් සිරිපා සටහන පිහිට වූ බැව් මෙයට හවුරුදු 771 කට පෙර ක්‍රි:ව 1256 පතිරද පිරිවෙන්පති වෙදෙහ මා හිමියෝ සිය සමන්තකුළු වරුණ (සමන්ත කූට වණ්ණනා-පාලි ) යෙහි මෙසේ දැක්වූහ.

සුත්වාන නාථො ගිර`මෙත මස්ස
පස්සං මහාභූති` මනාගතෙසු
ලොකස්ස ලොකෙහි මහීය මානෝ
අකාසි වාමෙන පදෙන ලඤ්ජං


සම්බොධිතො අට්ඨම සාරදස්මිං
වෙසාඛමාසෙ මුණි පුණ්ණමායං,
පාදස්ස හිඤ්ඤාණ මකා පරණ්ඟෙ
සදෙවකෙ සස්සමණෙ මහන්තෙ,

ශ්‍රීපාද සමන් දේවාලය

ශුද්ධ වූ පර්වතයට යබදව තිබෙන මහ සමන් දේවාලය මහ පැරකුම්බා රජු ( 1153-1186 ) විසින් ගොඩනංවන ලද්දකි. දෙවැනි පැරකුම්බා රජු ( 1226-1271 ) ගේ නියමය ලෙස ප්‍රතිරාජදේව ඇමතියා විසින් සමන් දෙවිරුවක් මේ දේවාලයට වැඩමවා මෙහි දියුණුවට කටයුතු කරවන ලද බව වංශප්‍රකරණවල සඳහන්ව ඇත. මේ පොතේ 49 පිටෙහි දැක්වෙන සමන් දෙවිරුව ඒ පැරණි සමන් දෙවිරුවේ ආකෘතියකි. වන්දනාව සඳහා පැමිණෙන හින්දු භක්තිකයන්ට වැඳ පුදා ගැණීම පිණිස රිදියෙන් තැනූ රුපියල් අටදහසක් පමණ වටිනා දුනු-හී කරපින්නවා ගෙණ සිටින ලක්ෂ්මණ රූපයකුත්, කොච්චි ආදී අන්‍ය ලබ්ධිකයන්ට වැඳ පුදා ගැණීම සඳහා ඔවුන් විසින් ම තැන්පත්කර තබන ලද පිත්තල වලින් තැනූ තවත් දේවරූප දෙකකුත් අමතර වශයෙන් මෙහි ඇත. ශ්‍රීපාද වාරය වූ හමස තුල මේ දේවාලයට දිනපතා ලැබෙන පඬුරු වලින් මිටක් බැගින් මැටිකලයක එකතුකර ශ්‍රීපාද වාරය අවසන් වූ විට එම කාසි කලය හා දේවාලයෙහි ඉතිරිවන කපුරු- හඳුන්කූරු-කොඩි ආදිය ද සපරගමු මහ සමන් දේවාලයෙහි කපුරාළට භාරදිය යුතුය. දඹදෙණි සමයෙහි විසූ දෙවැන් පැරකුම්බා රජු කල සපරගමු සමන් වෙහෙරට ආර්යකාම දේව බ්‍රාහ්මණයා විසින් සමන් දෙවි රුවක් වැඩමවන ලද්දේ ශ්‍රීපාදස්ථානයට යාබදව තිබෙන මේ ආදිම මහ සමන් දේවාලයෙන් නිසා අවුරුදු පතා තම දේවාලයට ලැබෙන දෙයින් කොටසක් නෑගමක් වශයෙන් තමාගේ කණිටු දේවාලයටත් යැවීම ( පැරණි සිංහල චාරිත්‍ර විධි අනුගමනය කිරීමක් ලෙස සලකා ) මේ සුළු පරිත්‍යාගය කරගෙන එනවා විය හැකියි.

සමන් දේවාලයෙන් පොත්ගුල් විහාරයට පෙනුම් කඳක්

සපරගමු මහ සමන් දේවාලයේ අවුරුදු පතා පැවැත්වෙන අළුත් සාල් මංගල්‍යයට ලැබෙන දෙයින් හැම වාරයකම කැකුළු හාල්-පොල්-පුසුල් සහිත පෙනුම් කඳක් පොත්ගුල් රජමහා විහාරයට ඔප්පු කිරීමද පැරණි චාරිත්‍රයකි.

දත්තගේ පර්වතය ( කූරගල )

මේ ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථානය පරීක්ෂා බැලීම සඳහා පස්වරක්ම කූරගලට ගියෙමි. 1939 දී පළමු ගමන ගියේ සපරගමුවේ පැරණි ලියවිලි පොත ලිවීමට කරුණු එකතු කිරීමටයි..

දෙවැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම්වරු මේ බෞද්ධ පුණ්‍ය බූමිය ඔවුන්ගේ ගැලවුම් කාරයාට කැපවී තිබෙන තැනක් බැව් කියා ඉඩම පවරා දෙන මෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණ නිසා නැවතත් පරීක්ෂාකර බලා ශුද්ධ වූ පර්වතය සඟ සතු කොට කොටා තිබෙන පැරණි බ්‍රාහ්මී ශිලා ලිපි අනුව බෞද්ධ අයිතිවාසිකම් රජයට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීමටයි..

තුන්වැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම් වරුත් , අපත් ,අපරගමුවේ දිශාපතිවරයා සමඟ රත්නපුර කච්චේරියේ දී පවත්වන ලද සාකච්ඡාවකින් පසුවයි. එහි පැවැත්වූ අවසාන රැස්වීමේ දී මෙම ඓතිහාසික බෞද්ධ භූමිය පරීක්ෂාකර බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහතා-සපරගමුවේ දිශාපති මහතා- බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හා බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයේ ප්‍රධානීන් කීපදෙනෙකුත් නම්කර ගතිමු.නියමිත දිනට බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හැර රජයේ අවශ්‍ය නිලධාරී පිරිසත්, බෞද්ධ පක්ෂය වෙනුවෙන් බම්බලපිටියේ වජිරාරාමය, නුගේගොඩ හා කෝට්ටේ-කූරගල බෞද්ධාරක්ෂක බලමණ්ඩල දෙක යන ආයතන වලින් ගිහි-පැවිදි විශාල පිරිසකුත්,බලංගොඩ ප්‍රදේශයේ සැදැහැවත් බෞද්ධයනුත්,මුස්ලිම් පක්ෂය වෙනුවෙන් ඇම්.ඇල්.ඇම්.අබුසාලි මහතා ඇතුළු මුස්ලිම් පිරිසකුත් දත්තගේ පර්වත ( කූරගල ) ශුද්ධ භූමියට එකතු වූහ.මුස්ලිම්වරු විනාශකර දැමූ පැරණි චෛත්‍යය හා සිරිපා සටහන හැර ඉතිරිව තිබෙන රහතන් වහන්සේලා භාවනායෝගී ව විසූ කටාරම් කෙටූ ගල් ගුහා හතක් හා උන්වහන්සේලාට සඟ සතු කොට පිදු බැව් ගල් කටාරම් වලට යටුන් කොටා තිබෙන බ්‍රාහ්මී අක්ෂර ශිලා ලිපිත් බෞද්ධ අයිතිවාසිකම් වශයෙන් පෙන්වීමු.

මේ සියල්ල කියවා පරීක්ෂාකර බැලූ පුරාවිද්‍යා කොමසාරිස් තැන්පත් සී.ඊ. ගොඩකුඹුර මහතා බුදුගල තෙක් විහිදී ඇටි මේ ඓතිහාසික මහා තපෝවනය අවුරුදු දෙදහසකට අධික කාලයක සිට තුණුරුවන් සතු පුණ්‍ය භූමියක් බවත්, බෞද්ධ ශුද්ධ භූමියක් වශයෙන් ආරක්ෂා කිරීම සඳහා රජයේ පාලනය පිට පවත්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගන්නා බවත්,රත්නපුරේ දිශාපතිවරයා ඇතුළු බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයටම පහදා දුන්නේය.

අබුසාලි මහතාගේ බොරු පැමිණිල්ල

සිවුවැනි ගමන ගියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලතල ඇතිව එහි නිලධාරි මහත්වරුත් සමඟ පැරණි ශිලා ලිපි වලින් මෙතෙක් ආරක්ෂා වී තිබෙන ශිලා ඉපි තුනේ ස්පර්ශ ලාඤ්ඡන ගැණීමටයි.එහෙත් මේ බෞද්ධ ශුද්ධ භූමිය ජීවන මාර්ගය කරගෙන කුකුළු-එළු-හරක් ආදීන් මරාකමින් සිටින අබුසාලි මහතාගේ අනුගාමිකයෝ මෙය ඔවුන්ගේ ගැළැවුම්කාරයාට කැපකරතිබෙන තැනත් නිසා පර්වතය අතගෑමට ඉඩදිය නොහැකිය යි රාජ නියෝගයට පවා පටහැනිව ක්‍රියාකළහ..මෙය මුස්ලිම්වරුන්ගේ ගැලැවුම් කාරයා මෙලොව එලිය දකින්ටත් අවුරුදු දහසකට පෙර දත්ත-සමන්-ලක්ෂ්මණ යන තිදෙනා විසින් ගල් ගුහා වල ලිපි කොටා මහා සංඝයා වහන්සේට කැපකර තිබෙන ශුද්ධ භූමියක් බැව් පිළෛගෙන තිබෙන නිසා අවශ්‍ය බලතලත් රැගෙන නැවත එන අදහසින් පෙරළා පැමිණියෙමු.එදින මා ඇතුළු ගිහි පිරිසක් කඩු-කිරිච්චි-තුවක්කු-පිස්තෝප-අලවංගු-කැති-පොරෝ-ආදිය රැගෙන මුස්ලිම් සංහාරයක් නැත්නම් කැරළි කෝළාහලයක් කිරීමේ අදහසින් ඔවුන්ගේ දත්ථා ජෙයිලානියට පැමිණි බැව් කියා අබුසාලි මහතා බලංගොඩ පොලීසියේ බොරු පැමිණිල්ලක් කළේය. බිම සිට අඩි හතලිහ දක්වා උස්වූ පර්වතය යට තිබෙන ශිලා ලිපි පිටපත් කිරීම සඳහා පලංචි බැඳීමට අවශ්‍ය අප ගෙණ ගිය අලවංගු-කැති-පොරෝ යන උපකරණ වලට වැඩිපුර කඩු-තුවක්කු-කිරිච්චි-පිස්තෝල එකතුකළේ පැමිණිල්ල බරපතල කිරීමට විය හැකියි. මේ ගැණ විභාග කිරීම සඳහා පැමිණෛ පොලිස් නිලධාරීන්ට කාරණය පහදා දී වැඩිදුරටත් තොරතුරු කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් මහතාගෙන් අසා දැනගන්ට කීමි. මේ ගැණ සම්පූර්ණ විභාගයක් පැවැත්වූ බලංගොඩ පොලීසියේ තීරණය වූයේ බෞද්ධයන් භය ගැන්වීමේ අදහසින් අබුසාලි මහතා බොරු පැමිණිල්ලක් කර තිබෙන බවය.

පස්වැනි ගමන ගියේ කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වෙන් එවන ලද නිලධාරීන් ද සමඟ රත්නපුරේ දිසාපතිවරයාට ත්, - රත්නපුර - බලංගොඩ පොලිසි වලට ත් දන්වා පොලිස් නිලධාරීන් ද සමඟ ය. ශිලා ලිපිවල පිරිසිදු ස්පර්ශ ලාඤ්ඡන ගැණීමෙන් එම ශාස්ත්‍රීය සේවය අවසන් කිරීමට එවර කිසිවකුගෙන් අවහිරයක් වූයේ නැත. විස්තර පොතේ 264 – 271 පිටුවල ඇත.

බෞද්ධයන්ට සුපුරුදු නිහැඬියාව - උදාසීනත්වය - මෞනවෘත්තය හා දේශපාලන බිය ආදී කරුණු නිසා මුස්ලිම්වරුන්ට මෙහි කිසිම අයිතිවාසිකමක් නැත ද ක්‍රමයෙන් මුස්ලිම් පුරයක් බවට පෙරළීගන එන මේ බෞද්ධ ශුද්ධ භුමිය රැකගැණීමේ කාරිය ඉටු කිරීමට කිරින්දේ බ්‍රාහ්මී ශිලා ලිපිය සහිත මූදු විහාරය රැක ගන්නා පරිදි දිවි දෙවැනි කොට පවත්නා පිරිසිදු ආගමික අදහස් ඇති එඩිතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් තාම ත් ඉදිරිපත් නොවීම බලවත් පාඩුවකි.

අපරාධ හා අධිකරණය

මේ පොතේ තිබෙන සන්නස් හා තුඩපත් වලින් මහනුවර සමයේ මේ රටේ පැවති අපරාධ හා අධිකරණය පිළිබඳව ත් අතීත ලාංකික අධිකරණ කටයුතු පිළිබඳව ත් සෑහෙන අවබෝධයක් ලබා ගත හැක.

අපේ වංශ කථාවල මේ ගැණ ඇති අතීත තොරතුරු කා අතරත් ප්‍රකටය. ක්‍රිස්තු පුර්ව 60 ත් 30 ත් අතර ලක්දිවට පැමිණි සිසිලියානු ජාතික දියෝදරස් සිකියුලස් කියන පරිදි එක ගෙයි කෑම කන - ඒ ගෙදර දරුවන්ට සමාන ලෙස සැළ කීමට තරම් ඉවසිලිමත් සාමකාමී ජාතියක් වූ සිංහලයන් අතර මිනීමැරුම් වැනි දරුණු අපරාධ අඩුවීම පුදුමයක් නොවේ. ඊට අවුරුදු 133 කට පසු සඳ මුහුණු රජු (ක්‍රි: ව: 103 – 112) කල ලක්දිවට පැමිණි රෝමන් ජාතික ඇනියස් ප්ලෝකැමස් ලියා තිබෙන “ලක්දිව නඩු හෝ නඩු සාලා තිබුනේ නැත” යන වාර්තාවෙන් ඒ කීම තවදුරටත් තහවුරු වෙයි.

මහනුවර සමයේ විසූ සිංහලයන් අතර ජනප්‍රවාදයෙන් එන “ එක මල්ලේ ලුණු කන අය අතර වංචා හෝ අපරාධ සිදුවීමක් නැත ” යන කථාවෙන් සිංහළ ජාතියේ ආරම්භයේ සිට සිංහළ රාජ්‍යයේ අවසානය දක්වා මේ සිරිත පැවති බව පෙනේ.

ගවයන් මැරීම හා ගෙරි මස් කෑම

මිනීමැරුමක් නිසැකව ම ඔප්පු වුනොත් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීම අද මේ රටේ පවත්නා අවසාන දඬුවම වුව ද කලින් කල මංකොල්ල කෑම, සොරකම, ගවයන් මැරීම වැනි වැරදි වලට ද මරණීය දණ්ඩනය නියම කර තිබුන බැව් සිංහළ ආණ්ඩුවේ ලේඛන වලින් පෙනේ.

//21// //22// //23//


අනුස්මෘති

මේ පොත ලිවීමේදී ලඞ්කා ජාතික කෞතුකාගාරයෙහි අධ්‍යක්ෂක ව සිටි පී. ඊ. පී. දැරණියගල M.A, (cantab) D. Sc; A. M. (Harvard) F.C.P.S; F.Z.S.- පුරාවිද්‍යා කොමසාරිස් පදවිය හා ලඞ්කාවිශ්ව විද්‍යාලයෙහි පුරාවිද්‍යාව පිළිබඳ මහාචාය්‍ය්‍ර්‍ පදවිය ත් දැරූ සෙනරත් පරණවිතාන C.B.E. Ph. D. (Lugd) Hon. D. Litt (Ceylon)- පුරාවිද්‍යා කොමසාරිස් පදවිය දරණ සී. ඊ. ගොඩකුඹුර M.A. Ph. D. D. Lit (London) යන විද්‍යාවිෂාරදයන් ලියූ පොත්-පත් ලෙඛන හා ඒ මහතුන් සමග පැවත් වූ සම්මුඛ සාකච්ඡා ද ඉතා ප්‍රයෝජනවත් වූ බැව් සඳහන් කරණ අතර-උප පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දරණ ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න ඇම්. ඒ. (ලංකා) පී. එච්. ඩී. (කේම්බ්‍රිජ්) මහතා ඇතුලු පොතේ නම් සඳහන් කර ඇති උගතුන්ගේ ලිපි-ලෙඛනාදිය ද පරිශීලනය කළ බැව් කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

ඡායාරෑප ගැණීමේදී මහත් උනන්දුවකින් ක්‍රියා කළ ජාත්‍යන්තර බෞද්ධ සංවිධායක නොයෙල් පීරිස්, ලඞ්කාදීප කෞටිල්‍ය, පාඨශාලාචාය්‍ය්‍ර්‍ ජේ. ඇම්. වික්‍රමසිංහ, පාඨශාලාචාය්‍ය්‍ර්‍ පියසේන ප්‍රේමකීර්ති යන මහත්වරුන්ටත්-ශිලාලිපි වල ස්පර්ෂලාංඤ්ඡන ගැණීම-වනගත පුරාවස්තු පරීක්ෂාකිරීම සන්නස් තුඩපත් ආදිය පිටපත් කිරීම හා ශොධ්‍ය පත්‍ර කියවීම ගැනත් ආධාර කළ මහත්වරුන්ටත්, ඉතා ඉක්මනින් හා හැකි පමණ හොඳින් පොත මුද්‍රණය කළ රත්නපුර ශාස්ත්‍රොද්‍ය මුද්‍රණාලයේ නියුක්ත පිරිසට ත් මගේ කෘතඥතාව හිමි වේ.

පූජ්‍ය අළුත් නුවර අනොමදස්සි ස්ථවිරයන් වහන්සේ හා ශල්‍යවෛද්‍ය විශෙෂඥ ලෙනාඩ් කිරිඇල්ල M.B.B.S; D.L.O; F.R.C.S. (Ed.) F.R.C.S. (Eng) දොස්තර මහතා ද මෙහි ලා සිහිපත් කරමි.

කොළඹ සීමා සහිත ඇම් ඩී. ගුණසේන සහ සමාගමේ සාමාන්‍යාධිකාරී අප හිතවත් ඇම්. ඩී. සිරිසේන මහතා විසින් මෙම ග්‍රන්ථය මුද්‍රණයට අවශ්‍ය මා බලාපොරොත්තු වූ හැම දෙයක් ම ලද බව කෘතඥතා පූර්වක ව සඳහන් කරමි.

දීර්ඝ ප්‍රස්තාවනාවකින් පොත අ‍‍ඳුන්වනවාට වඩා පොත කියවීමෙන් ම පොතේ තත්වය හා ප්‍රයෝජන ය මැනගනීමේ කාය්‍ය්‍ර්‍ය පාඨකයන්ට තබා මගේ පෙරවදන මෙ පමණකින් නිම කරමි.

පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි.

1967 අප්‍රියෙල් 27 දින ශාස්ත්‍රෝදය පිරුවන්හි දී ය.

"https://si.wikibooks.org/w/index.php?title=සපරගමු_දර්ශන_පෙරවදන&oldid=11519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි