වෙනස් වෙන ගමක සාරධර්ම 6
වෙනස් වෙන ගමක සාරධර්ම 6
ගමේ වෙදරාල හෙවත් වෙදමහත්තයාත් රෝගියාත් අතර පැවැත්තේ ද ආදරය , කරුණාව ,දයාව වැනි හැඟීම් මත ගොඩ නැඟුණු සම්බන්ධතාවකි. වෙද මහත්තයාගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ රෝගියා සුවපත් කොට ගැනීමයි. එබැවින් ඒ සඳහා ගාස්තුවක් අය නොකෙරිණ. එහෙත් සමහරවිට ඔහු දුන් බේත් වෙනුවෙන් සුළු මුදලක් බුලත් අතක සඟවා ඔහුට දෙන ලද්දේ "පඬුරක්" වශයෙනි.
"පඬුර" යනු දෙවියන් උදෙසා දෙන මුදල ද හඳුන්වන පදයයි.දුප්පත් රෝගීන් සඳහා නොමිලයේ සිංහල බෙහෙත් දීමට "පින් බේත් සාලා" මෑතක් වනතුරු රජය විසින් පවත්වා ගෙන යනු ලැබිණ.පින් බේත් සාලා වෙනුවට මුදල් ගෙවා බේත් ලබාගත හැකි "මෙඩිකල් සෙන්ටර්" දැන් ගම්බදවද විවෘත වී ඇත. අද රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමතිතුමාගේ තීරණයකට හෝ චක්‍රලේඛයට විරුද්ධතා දක්වන්නේ අහිංසක රෝගීන්ට බෙහෙත් නොදීමෙනි. පාරම්පරික ගමේ ඇත්තන්ට මුදල් ඒ තරම් වැදගත් නොවිණ. දාහත්වන සියවසෙහි දී උඩරට රාජධානියෙහි හිරකරුවකු ව සිටි රොබට් නොක්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයා කියා ඇති පරිදි මේ රටේ වැදගත් කොට සැලක්කෙන්නේ ධනය නොවේ. ධනය තිබිණි පලියට කිසිවෙකුත් උත්තරීතර නොවේ. එසේ වුවත් දැන් මුදල් වලට විශේෂ බලයක් ලැබී ඇත. මුදල් නිසා නව ධනේශ්වර පන්තියක් ද බිහි වී ඇත.මේ පන්තියෙහි එකම අරමුණ වඩ වඩා ලාභ ලබමින් වඩ වඩා ධනය එක් රැස් කොට ගැනීමය. සියල්ල කැපකොට හෝ ලාභ ඉපැයීම නූතන වෙළඳ සමාජයෙහි මූලික අරමුණයි. වෙළඳ ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමට ඔවුන්ට උදව් වන ඇතැම් වෙළඳ දැන්වීම් කරුවෝ සාර ධර්ම පවා බිල්ලට දෙමින් ලාභ උපයා දෙති. පාරම්පරික ගම පාලනය කරන ලද්දේ රජතුමා යටතේ සේවය කළ නිලධාරී මණ්ඩලයක් විසිනි. සියලු ඉඩ කඩම් රජතුමා සතු විය.ඔහු සතුව මහත් රාජ්‍ය බලයක් ද පැවතිණ.එහෙත් "තමා ධාර්මික රජෙක්ය" යන ආකල්පය ජනතාව තිළ ඇති කරනු පිණිස මේ බලය යම් යම් කරුණු අනුව සීමා කර ගැනීමට රජතුමාට ම සිදු විණ. "ධාර්මික රජතුමා" යනු බෞද්ධයන්ගේ පරමාදර්ශී පාලකයායි. ඔහු රට වැසියන් පාලනය කලේ "දශ රාජ ධර්ම" න්මැති ප්‍රත්පත්ති මාලාවක් අනුවය.දශරාජ ධර්මවල එකම අරමුණ වූයේ තමාට ඉහලින් ජනතාව සිටින බව රජතුමාට මතක් කොට දීමයි.
දශරාජ ධර්ම ලෙස සැලකෙන්නේ දානය,ශීලය,පරිත්‍යාගය,ඍජු භාවය, මෘදු භාවය, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය, හා අවිරුද්ධතාව යන ප්‍රතිපත්ති දහයයි. මේ සියලු කාරණාවලින් ඉස්මතු කරන්නේ රජතුමා ජනතාවගේ අපේක්ෂාවලට ගරු කළ යුතු බවයි. බුදුන් වහන්සේ වදාළ පරිදි මුලින් ම ධර්මයෙහි පිහිටා සිටිය යුත්තේ රජතුමාය. රජතුමා ධර්මයෙහි පිහිටා දූෂණයෙන් වැළකී සිටි කල්හි ඔහු ආදර්ශයට ගන්නා වැසියෝ ද ධාර්මික වෙති.අද අපට රජෙක් නැත. එහෙත් දශ රාජ ධර්මය එදා මෙන්ම අදත් අර්ථවත් වේ.ප්‍රජාවගේ සුභ සිද්ධිය තකා බිහිවුණු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අද වැනි යුගයකට යහ පාලනය පිළිබඳ මේ ප්‍රතිපත්ති ඉතා වැදගත් වේ. රජතුමාගේත් රාජ සභාවේත් වගකීම නූතන ලෝකයෙහි පැවරී ඇත්තේ දේශපාලනඥයන්ටය. ඇතැමුන් කියන පරිදි දේශපාලනඥයෝ දෙවර්ගයකි. " දේශපාලකයන්" හා "ජන නායකයන්" යනුවෙනි. දේශපාලකයා යනු ඊළඟ මැතිවරණය ගැන පමණක් සිතන්නාය. ජන නායකයා යනි ඊළඟ පරපුර ගැන සිතන්නායි.
ජන නායකයා පරමාදර්ශී පාලකයෙකු බවට පත්වන්නේ ඔහුගේ අපේක්ෂා තමාත් තම ඥාතීනුත් අබිබවා යන හෙයිනි. ඔහුගේ සිතේ ඇත්තේ ඔහුගේ ජනතාවගේ සුභ සිද්ධියයි. තමා රජය පවත්වාගෙන යා යුත්තේ ජනතාවගේ ශුභ සිද්ධිය තකාය යන කාරණාව ජන නායකයාට මතක් කොට දෙන චාරිත්‍රයක් තවමත් ශේෂ වී පවතී. මේ චාරිත්‍රය වූ කලී මෙරට රාජ්‍ය නායකයා බවට පත්වන ජනාධිපතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය සිය පදවිවල වැඩභාර ගත් වහාම මහනුවර දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් බැහැදැකීමේ චාරිත්‍රයයි.
දළදා සමිඳුගෙන් සංකේතවත් වන්නේ බුදුන් වහන්සේයි. ඒ අනුව බුදුන් බැහැදැකීමට යන ජනාධිපතිතුමාත් ඇමති මණ්ඩලයත් තම තමන් ධාර්මිකව රට පාලනය කරන බවට බුදුන් වහන්සේ හමුවෙහි ප්‍රතිඥා දෙති. රජතුමා ඇතුළු පාලකයන් ධාර්මික වූ කල්හී නිසි කලට වැසි ලැබේ."දේවෝ වස්සතු කාලේන" යනුවෙන් කියමින් බෞද්ධයෝ නිසි කලට වැසි වස්සන මෙන් වස්ස වළාහක දෙවියන් අයදිති. නිසි කලට වැසි වැටුණු විට සශ්‍ය සම්පත්තිය සිද්ධ වේ. එවිට ජනතාවගේ දුක් ගින්දර නිවී යයි. "රාජා භවතු ධම්මිකො" යන අපේක්ෂාව ඉටුවන කල්හි වස්ස වලාහක දෙවියෝ නිසි කලට වැසි වස්සවති.බෞද්ධයා සිතන පරිදි වැස්සත් යහ පාලනයත් අතර ගුප්ත සම්බන්ධයක් පවතී.
බුදුන් වහන්සේ තමා වෙත පැමිණ මුලින් ම මහණ වූ භික්ෂු පිරිසට දුන් අවවාදය වූයේ බහුජනතාවගේ හිත සුව පිණිස ගමක් ගමක් පාසා ගොස් මේ දහම කියා දිය යුතු බවයි. "බහුජන හිතාය බහුජන සුඛාය" යන මේ බුද්ධ වචනය පාරම්පරික ගමින් විශ්ව ගම්මානයට යන ඊළඟ පරම්පරාවල අනාගතය ිළිබඳ තීරණ ගන්නා පාලක පාලිකාවන් එක් රැස් වන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආදර්ශ පාඨය විය යුතු යැයි මට සිතේ.