වෙනස් වෙන ගමක සාරධර්ම 4
වෙනස් වෙන ගමක සාරධර්ම 4
අනික් අතට, දෙමාපියො දරුවන්ට ද නම කියා කතා නොකළහ.ඒ වෙනුවට නෑකම කියා පාන නාම පද භාවිත කරමින් සිය ආදරය දැක්වූහ. පුතුන් සඳහා "ලොකු පුතේ" "පොඩි පුතේ" "මද්දුමයො" වැනි පදත් දූවරුන් සඳහා "ලොකු දුවේ" "පොඩි දුවේ" "බාල දුවේ" "සුදු දුවේ" වැනි ආදරවාචී පදත් යෙදිණ.දෙමාපියන් අතරින්ද දරුවන්ගේ ආදරය වඩාත් ලබන්නේ අම්මාය.මේ හේතුව නිසා "අම්මා" යන පදයට තවත් තේරුමක් එක්වේ. ඒ ආදරය ලබන්නී හෝ ලබන්නා යන අර්ථයයි. කුඩා දරුවකු හෝ දැරියක වැටුණු විට අම්මා දුව ගොස් ඔහු හෝ ඇය වඩා ගන්නේ "මගේ අම්මාට රිදුණ`දැයි " අසමිනි. එමෙන්ම දියණියක දෙමාපියන්ට වඳින විට ඔවුන් ඇයට ආශිර්වාද කරන්නේ "මගේ අම්මාට දෙයියන්ගේ පිහිටයි" කීමෙනි.මෙහි "අම්මා" යන පදය යෙදෙන්නේ දරුවා අරබයා ආදරයෙනි.
දරුවන්ද දෙමාපියන් කෙරේ ඇති ආදරයත් ගෞරවයත් දක්වන්නේ යම් යම් හැසිරීම් විලාස වලිනි.දරුවෝ දෙමාපියන් සමඟ සම අසුන් ොගනිති. අවුන් අසුනක වාඩි වී සිටින විට මව හෝ පියා ආවොත් හුස්නෙන් නැඟිටීම චාරිත්‍රයයි. දෙමාපියන් දරුවන්ට කොතෙක් ආදරය කළත් එය එළිමහනේ ප්‍රදර්ශනය නොකළහ. ඔවුහු අමුත්තන් ඉදිරියෙහි දරුවන් සිප නොගථ.මේ ආදරය කායික වශයෙන් පෙන්වීම අවශ්‍ය වී නම් ඔවුන් කළේ දරුවන්ගේ මුහුණ නොව නළල සිඹීම පමණකි. එයද කලේ වෙනත් අය ඉදිරියෙහි නොව කාමරයකය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ අතීතය මෙසේ සිහියට නඟයි.
"තමන්ගේ දරුවන්ටත් ළඟ නෑයන්ටත් මුළුගැන්වී මිස එළිපිට ආදරය දැක්වෙම ගැමියන්ගේ සිරිත නොවීය. මවුපියන් තම දූන්ගේ හා පුතුන්ගේ මුහුණු සිම්බේ කාමරය තුළදී ය." ( උපන්දා සිට 9 පිට )
දෙමපියන්ගේ දෙපා වැඳීම මේ ගෞරවාදරය දැක්වූ තවත් ක්‍රමයකි. නොයෙක් අවස්ථාවල මෙය සිදුවිණ. පාසැල් යන්නට හෝ දුර බැහැර යන්නට හෝ නින්දට හෝ කලින් දිනපතාමද සිංහල අවුරුදු කාලයටද දරුවෝ දෙමාපියන් වැන්දහ.පවුලේ දරුවන් අතර සම්බන්ධතා ද ආදරය හා ගෞරවය මත පදනම් විණ. ඔවුන්ද එකිනෙකා ඇමතීමට පුද්ගල නාම යොදා ගත්තේ කලාතුරකිනි.ඒ වෙනුවට නෑකම් හඳුන්වන නාම පද යෙදිණ. අයියලා දෙදෙනෙක් වී නම් එක් කෙනෙක් "ලොකු අයියා" විය. දෙවැන්නා "පුංචි අයියා" හෝ "පොඩි අයියා" විය. අක්කලාද එසේම "ලොකු අක්කා" "පුංචි අක්කා" යනුවෙන් විසින් හඳුන්වනු ලැබූහ.ඔවුන් කෙරේ ඇති ආදරය තවදුරටත් දක්වනු පිණිස "අයියන්ඩි" "අක්කණ්ඩි" යන පද යෙදිණ. අයියලා අක්කලාගේ සංඛ්‍යාව දෙදෙනා ඉක්මවී නම් ඔවුනොවුන් වෙන් කොට හඳුනා ගැනීමට "සුදූ" "කළු" "හීන්" වැනි ගුණ පද යොදා ගැනිණ.
බාල සහෝදර සහෝදරියෝද මේ අයුරින්ම "ලොකුමල්ලී" "ලොකු නංගී" යනුවෙන් වෙසෙසා හඳුන්වනු ලැබූහ. බාල සහෝදරයාට "මලයා" "මලයණ්ඩි" යන පද ද බාල සහෝදරියට "නඟා" යන පදයද යෙදිණ. අද සහෝදර සහෝදරියන් ඔවුනොවුන් හඳුන්වා ගන්නේ ඔවුන්ගේ පුද්ගල නම්වලිනි. එහෙත් නෑකම් පදයක් යොදා ඇමතීමේදී චාරිත්‍රය මුළුමනින්ම අභාවිතයට නොවැටිණ. ඒ චාරිත්‍රය ඇන් නව මුහුණුවරක් ගනිමින් පිටිසර මෙන්ම නගරබද පාසැල්වලටද පැමිණ ඇත. තමාට වඩා ජේෂ්ඨ ශිෂ්‍යයන්ට "අයියා" "අක්කා" යන නම් ද බාල ශිෂ්‍යයන්ට "මල්ලී" හා "නංගී" යන නම් ද යෙදේ. මේ චාරිත්‍රය ගායකයන් වාදකයන් වැනි තරුණ කලාකරුවන් අතර ද යෙදෙන්නකි.සිංහල ගැමියෝද සිය නෑදෑයන්ට මහත් ආදරයක් හා ගෞරවයක් දැක්වූහ.නෑයෝ දෙපිරිසකි. ළඟ නෑයෝ හා දුර නෑයෝ වශ්යෙනි. අකුරු කියවීම, දැරියක වැඩිවිය පැමිණීම, විවාහ මංගල්‍යය වැනි ජීවිතයට ඉතා සමීප මඟුල් තුලාවලට ළඟ නෑයෝ අනිවාර්යයෙන්ම ඇරයුම් ලැබූහ.මෙවැනි මඟුල් තුලාවලට ළඟ නෑයන්ට ආරාධනා කරනු ලැබුය්ව බුලත් අතකිනි.අසල්වැසියන් ඇතුළු ගමේ ඇත්තෝද මේ ආදරයත් ගෞරවයත් බෙදා හදා ගත් හ. ගොවිතැන් බත් කරමින් ජීවත් වූ ගැමියෝ මේ ආදරය මේ ගෞරවාදරය කියා පාන සිරිත් විරිත් සමූහයක්ම නිපදවා ගත් හ. මේ සම්බන්ධතා වලදී අද මෙන් මුදලට කිසිදු වටිනා තැනක් නොලැබිණි. ඔවුන් කටයුතු කළේ මුදල් න්ව එකිනෙකා කෙරෙහි වූ ආදරයත් ගෞරවයත් නිසාය. මේ කටයුතු සිද්ධ වූයේ කෙසේ ද ?