වෙනස් වෙන ගමක සාරධර්ම 2
වෙනස් වෙන ගමක සාරධර්ම 2
ඉරිදා පොළ පසකට තල්ලු කරමින් සුපිරි වෙළඳ පොළක් ගමේ විවෘත වේ. පාරම්පරික ගම් මැද්ද වෙනුවට නව නිවාස සංකීර්ණයන් ඉංග්‍රීසි නම් ඇතිව රටපුරා බිහි වෙමින් පවතී. මේ නිවාසවල ඉදිවන කුස්සිවල හෝ පැන්ට්‍රිවල ලිප් හෝ කළ ගෙඩි හෝ දර මිටිදකින්නට නැත.බොන වතුර දැන් එන්නේ ළිඳෙන් නොව මිලට ගන්නා බෝතලයෙනි. පරණ තෑබෑරුම තිබුණු තැන දැන් නව පන්නයේ වයින් වෙළඳ සැලකි. සුපිරි වෙළඳ සැලේද මත්පැන් විකිණෙයි. ගමේ චර්යත්මක සංස්කෘතියෙහි හෙවත් ගැමියන් හැසිරෙන ආකාරයෙහි ද බොහෝ වෙනස්කම් දක්නට ලැබේ. එදා මෙන්ම පිරිවෙන වැනි පාරම්පරික අධ්‍යාපන ආයතනවලින් නොව ජාත්‍යාන්තර පාසල්වලින් අධ්‍යාපනය ලැබීමට ගැමි දරුවෝ ද කැමතිය. මඟුල් කපුවාගේ කාර්යය පුවත්පත්වල මංගල යෝජනාවලින් ඉටුවේ. එදා ගමේ බණ මඩුවේ බණ කිවූ හාමුදුරුවන් අභිබවා රූපවාහිනියේ බණ කියන හාමුදුරුවෝ පෙනී සිටිති. මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ඈත එපිට පිටිසර ගම්වලට පවා ගොස් ඇති හෙයින් නූතන ජීවන රටා ගැන ගැමියෝද දනිති. මේ නව චර්යා විධි මෙරට ගැමියා විශ්ව ගම්මානයේ පුරවැසියකු බවට පත්කරමින් සිටී.
මේ වෙනස්කම් මානව සම්බන්ධතා කෙරේ බලපා ඇත්තේ කෙසේද ? ගමේ සාර ධර්ම පද්ධතිය වෙනස් කිරීමට මේ වෙනස්කම් බලපෑවේද ? පාරම්පරික ගම සංස්කෘතික හෝදා පාළුවකට ලක්වෙමින් පැවතී ද? මේ දේශනයේ අරමුණ මානව සම්බන්ධතා වඩාත් හොඳ මට්ටමකඉන් පවත්වා ගනු පිණිස යතාර්ථය අවබෝධ කර ගැනීමට මෙබඳු ප්‍රශ්න කෙරේ ඔබේ අවධානය යොමු කිරීමයි.කවර ම සමාජයක හෝ සදාචාරාත්මක ව්‍යුහයට පාදක වන්නේ ජනතාව විසින් උතුම් කොට සලකනු ලබන සාර ධර්ම පද්ධතියකි. සිංහල ගම පෝෂණය කල මේ සාරධර්ම පද්ධතිය බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම් වූවකි.
අවංකකම, නිහතමානීත්වය, සමානාත්මතාව,සහජීවනය,සාධාරණත්වය,වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම යනාදී සියලු සාර ධර්ම ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී මෙරටට හඳුන්වා දෙනු ලැබූ බුද්ධ ධර්මය ප්‍රභව කොට ඇත.බුද්ධ ධර්මය ලෝක දෘෂ්ඨියක් ද ඒ මත පදනම් වුණු ජීවන දර්ශනයක් ද පාදක කොට ගත්තකි. මේ ලෝක දෘෂ්ටිය "අනත්ථ" හෝ අනාත්ම යන සංකල්පය කෙරේ අවධානය යොමු කරන්නකි. "අනත්ථ" යන පදය "අන් අත්ථ" හෙවත් "අත්ථ නොවනුයේ" යන අරුත් නඟයි. බුද්ධ දර්ශනය "අත්ථ" යන පදය තේරුම් කරන්නේ ජීවිතය පිළිබඳ යථාවබෝධය ලබාගන්නට බාධකයක් වශයෙනි. ඉතා සරලව දක්වතොත් "අත්ථ" යනු " තමා" ය. තමා යනු මම ය. තමා පාදක කොට ගනිමින් සිතෙහි උපදින විඥ්ඥාණය හැඳින්වීමට "මමායනය" හා " අහංකාරය " යන පද ද යෙදේ. මමායනයෙන් හෝ අහංකාරයෙන් හිස් උදුම්මවාගත් පුද්ගලයා පහත් කොටත් තමාට වඩා සෙස්සන් උතුම් කොට සලකන පුද්ගලයා උතුම් කොටත් සැලකීම බෞද්ධ දර්ශනයයි.
"මම ය" "මම පමණක්ය " " මට වඩා කෙනෙක් නැත්තේය" යන හැඟීමෙහි එල්බ ගන්න පුද්ගලයා මානව සම්බන්ධතා අතින් ඉතා පහළ මට්ටමක සිටින්නෙකු ලෙද බුදු දහම සලකයි.මේ මූලික දර්ශනය අනුව පාරම්පරික සිංහල ගමේ සදාචාරාත්මක ව්‍යුහය ගොඩ නැගී ඇත්තේ තමාට වඩා අනුන් කෙරේ ආදරයක් ද ගෞරවයක් ද දක්වන සංකල්පය මතය. නිදසුනක් වශයෙන් අවංකකම, නිහතමානීත්වය හා සාධාරණත්වය යන සාරධර්මවලට පදනම් වන්නේ "තමාට වඩා අන්‍යයෝ උතුම් ය" යන ආකල්පයයි.අවංකකම යනු අන්‍යයන් රැවටීමත් මුළා කිරීමත් අන්‍යයන් සතු වස්තු භෝග වංචනික සිතින් තමා සතු කර ගැනීමත් හෙළා දකින සාරධර්මයයි.නිහතමානීත්වය යනු අන්‍යයන් හමුවේ තමාගේ අභිමානය යටපත් කොට ගැනීමයි. සාධාරණත්වය යනු අන්‍යයන් කෙරෙහි යුක්ති සහගත පිළිවෙතෙකින් හැසිරීමයි.මේ අනුව අන්‍යයන් කෙරේ ආදරයක්ද ගෞරවයක්ද දැක්වීම පාරම්පරික ගමේ මානව සම්බන්ධතාවල ස්වභාවය තීරණය කළ සාධකයයි.
මානව සම්බන්ධතා යනු සමාජයට අයත් සියලුම සාමාජිකයන් අතර පවත්නා අන්තර් සම්බන්ධතා ජාලයයි.අන්‍යයන් කෙරේ දක්වන ආදරය හා ගෞරවය යන සංකල්පය සැමියා හා බිරිඳත් දරුවන් හා දෙමාපියනුත් සහෝදරයන් හා සහෝදරියනුත් පවුලේ සාමාජිකයන් හා නෑදෑ හිතවතුනුත් ගිහියන් හා පැවිද්දනුත් ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් වෛද්‍යවරුන් හා රෝගීනුත් පාලකයන් හා පාලිතයනුත් අතර පවත්නා සම්බන්ධතා කෙරේ බලපෑවේ කෙසේද ?