විල්ගම්මුළ පබඳ-අනාගත වංශය නම් වූ මෙතේ බුදු සිරිතv

9. මෛත්‍රී බෝධිසත්ත්ව කථාව සංස්කරණය

ඒ මෛත්‍රී නම් මහා බෝධිසත්ත්වයෝ වුකලී මුහුත්තර නම් සරවඥයන් වහන්සේ සමීපයෙන් ලබන ලද විවරන ඇතිව සොළසාසංඛ්‍ය කප්ලක්ෂයක් මුලුල්ලෙහි මෙසේ මෙබඳුවූ පාරමිතා ධර්මයන් පුරන්නාවූ , අවිචි මහා නරකයෙහි එළන්නෝ ඇත් නමුත් දන්දීම කඩ නොකරන්නාහ. අඟපසඟ කපා කැබිලිකොට උක්යතකලා මඩිනා උක්කැබිලිමෙන් පෙළා පීඩා කරමින් සිටියත් සිල් කඩ නොකරන්නාහ. සතර මහා දීපයෙහි ඓශචර්‍ය්‍යය හැර විවේක වාසයයි කියනලද තවුස්වෙස්ම ගන්නාහ. සියලු සක්වල පුරා සිටි.

කිහිරඟුරු මැඩගෙණත් නුවණැත්තවුන් කරා ගොස් කුසලකෙුසල ධර්මයන් ම පිළිවිස්නාහ. පවන් වේගයෙන් ඇළලැගියාවූ දැති මො‍හොරුන් ආදිවූ චණඩ මත්ස්‍යයන් විසින් ගැවසීගත් මහා සමුද්‍රය බාහුවෙන් පැහැර පිහිණාගෙණ ගොසිනුත් නිර්වාණයනැමැති පරතෙරට පැමිණෙන්ට වීර්‍ය්‍ය නො පසු බස්වා පවත්වන්නාහ. කඩු මුවහතින් කන් නාසා කපමින් සිටියදීත් අනුන් කෙරෙහි කෝප නොකරන්නාහ. කඩුපතින් ඉසගසා සිදිමින් සිටියදිත් බොරු නොකියන්නාහ. සකල ශරීරය සුනු විසුණුකොට විසුරුවමින් සිටියදිත් අධිෂ්ඨානය නොහරණාහ. තමාසන්තක රාජ්‍යය උදුරා ගත් රජක්හු උත්කෘෂ්ටවූ ප්‍රිය පුත්‍රයක්හු මෙන් දැක මෛත්‍රි කරන්නාහ. අනුන් විසින් නරණලද සුව දුක් දෙනෙහි අනුනය-ප්‍රතිඝ නැතිව මධ්‍යස්ථව පවත්නාහ. සතර දිග සිට නොයෙක් සිය දහස් ගණන් කඩුගත් අත් ඇති පුරුෂයන් විසින් හා යක්ෂ රාක්ෂාදි භයංකර ස්වරූප ඇති සත්ත්වයන් විසින් භය සන්ත්‍රාස උපදවමින් සිටියදීත් තැති නොගෙණ කුසල්ම කරන්නාහ. ජීවිත පරිත්‍යාග කොටත් පාරමිතා සමාදානය නොඉක්ම වන්නාහ. මෙසේ මෙතෙක් කල් මුලුල්ලෙහි දස පාරමී ධර්මයන් මස්තකප්‍රාප්ත කොට එයින් චුතව අපගේ සර්වඥයන් වහන්සේ බුදුවන්නාට පළමුකොටම තුසිත දිව්‍ය ලොකයෙහි ඉපැද අපමණවූ දිව සැපත් අනුභවකොට දෙවියන්ටත් ධර්මදේශනා කෙරෙමින් ඒ තුසිත දිව්‍ය ලොකයෙහි සහ පිරිවරින් වාසය කරන්නාහ. දැන් වූ කලි ඒ මෛත්‍රි සරවඡයන්ට උත්පත්තිස්ථානවූ රාජධානිය දක්වන්නා වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන් වහකසේ මෙසේ වදාළසේක. කෙසේද? යත්:-


10. කේතුමති නගර


“තදා කෙතුමති නාම, රාජධානි භවිස්සති

ද්වාදස යොජනා්‍යාම, සත්තයෙජන භවිස්සති

ආකිණ්ණ නර නාරිභි, පාසාදෙහි විචිත්තිතා

සෙවිතා සුද්ධසත්තෙහි, අජෙය්‍යධම්ම රකඛිතා”


ඒ මෛත්‍රි බුදුන් බුදුවන සමයෙහි.. සංස්කරණය

ඒ මෛත්‍රි බුදුන් බුදුවන සමයෙහි දඅගින් නැගෙනහිර වාසල් එළිපත පටන් බස්නාහිර වාසල එලිපතට අතුර දොළොස් යොදනක් පමණ ඇත්තා වූ පුළුලින් දකුණුදිග වාසල එලිපත උතුරු දිග වාසල එළිපතට අතුර සත් යොදනෙක් පමණ ඇති “කෙතුමතී” නම් රාජධානියෙක් වන්නේය.

තවද, ඒ කේතුමති නම් රාජධානිය ක්ෂ්ත්‍රීය, බ්‍රාහ්මණ වෛශ්‍ය, ශූද්‍රය යන සතර පක්ෂයෙහි වූ ස්ත්‍රි පුරුෂයන්ගේ හා නොයෙක් රූප සංස්ථාන ක්‍රියාවෙන් යුක්ත අවශෙෂ ස්ත්‍රී පුරුෂයන් විසින් ගැවසි ගත්තේය. එක්මාල් දෙමාල් තුන්මාල් සතරමාල් පස්මාල් සමාල් ආදිවූ මහල් වලින් හා වටය සිවුරස, දිග අටැස, සොළැස, ගුරුළුපියා සටහන යනාදී නොයෙක් සටහනින් විසිතුරුවූ මහදොර සුලුදොර කවුළු ආදියෙන් හෙබියාවූ පදනමින් හා රන්රසු දැලින් වට කරණ ලද්දා වු දොරටු තොරණ කෙහෙල් ගස්, ධජ පතාකා, පුන්කලස, ආදියෙන් පිරිවරන ලද්දා වූ සිංහ පංතිය, ව්‍යාඝ්‍ර පංතිය, මෘග පංතිය, හස්ති පංතිය, අශ්ව පංතිය, දිව්‍ය රූප පංතිය යනාදීවූ චිත්‍ර කර්ම රූප පංක්තියෙන් විචිත්‍රවූ නීලපීත ලොහිතොදාතාදි ප්‍රභා සමූහයෙන් දිලියෙන්නාවූ රන් රිදී මැණික්මයවූ පර්වත කූටයන් හා සදෘශවූ අනෙකප්‍රකාර කෙළ ලක්ෂ ගණන් ප්‍රසාදයෙන් විසිතුරු වන්නේය. කුසල නැමැති ජලයෙන් පවිත්‍ර කරණලද අකුසල නැමැති කාලුෂ ඇති බැවින් පිරිසිදුවූ චිත්ත සන්තානයෙන් යුක්තවූ සුද්ධ සත්ත්වයන් විසින් යෙවුනා ල්දදේය.

නරේනද්‍ර, සුරේනද්‍ර, අසුරේනද්‍රාදි කිසි පසමිතුරු කෙනෙකුන් විසින් ජයගෙණ පලා යා නොහැක්කේය. කුසල ධර්මයෙහි රාජ ධර්මයෙහි නියුක්තවූ රජදරුවන් හා අමාත්‍යාදීන් විසින් රක්ෂා කරණ ලද බැවින් ධර්මිෂ්ඨ සත්ත්වයන්ගෙන් කරණලද ආරක්ෂා ඇත්තේය.

මෙසේ කිසි සත්ත්ව කෙනෙකුන් විසින් ජයගත නොහැක්කාවූ ශුද්ධ සත්ත්වයන් විසින් සෙවුනාලද ප්‍රසාදයෙන් විසිතුරු වූ ස්ත්‍රී පුරුෂයන් විසින් ගැවසිගත්තාවූ සත් යොදුනක් ඇති දොළොස් යොදුනක් දිග ඇති කෙතුමතී නම් රාජධානියෙක් එකල්හි වන්නේය.

තවද, ඒ කෙතුමතී නම් රාජධානිය කවර කලෙක කොපමණ ආයුෂයක් ඇති මනුෂ්‍යයන් සමයෙහි වේද, යත්:- අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන් සමයෙහි වන්නේය. කෙසේද, යත්:- ස්වර්ගමෝක්ෂ සැප සාධාදෙන්නා වූ මේ ශාසනය, පංච ප්‍රකාර අන්තර්ධානයෙන් අන්තර්ධානවූ කල්හිලොකයෙහි අකුසලය උත්සන්න වන්නේය. වැදු මෑණියෝය, කුඩා මෑණියෝය. නැඟණියෝය, බූනණියෝය. පියාණන් නැගණියෝය. මයිලණුවන්ගේ ප්‍රජාපතිය යන මේ නුසුදුසු ස්ථානයෙහි සත්ත්වයෝ රාගය උපද වන්නාහ. අනුභව කටයුතුවු ප්‍රිය වස්තුවෙහි ඉතා බලවත්වු ලොභය උපද වන්නාහ. පුරුෂයන්ට පුරුෂයන් කෙරෙහි ඡන්‍දරාගය හා ස්ත්‍රීන්ට ස්ත්‍රීන් කෙරෙහි බලවත් වූ ඡන්‍දරාගය උපදනේය. මවුන්ට හිතනොවන්නාහ. පි‍යන්ට හිත නොවන්නාහ. මහණදම් නොකරන්නාහ. බධ සරවස් නොකරන්නාහ.කුලදෙටුවන් නුපූදන්නාහ. එකල අනුක්‍රමයෙන් අකුසලය උත්සන්නවීම හේතුකොට ගෙණ අවුරුදු සියයකින් සිරිසුන්නාවු ආයුෂය පිරිහී දස අවුරුද්දට ආයුෂ වන්නාහ.

එසමයෙහි පස්මැසි කුමාර වරුන්ට පස්මැසි කුමාරිකාවන් ගෙණහැර ආවාහ විවාහ කරන්නාහ. චක්‍රවර්ති සූත්‍රය දෙසන්නාවූ බුදුහු :- එහෙයින් වදාළහ. “දසවස්සසායු කෙසු භික්ඛවේ මනුස්සසෙසු පංචමාසිකා කුමාරිකා ආලම්පතෙය්‍යා භවිස්සති”යි , එසමයෙහි සියලු රස අන්තර්ධාන වෙති. අමුසාල් ආදිවු අනුලොම ධාන්‍යයෙහි බත් රජදරුවන්ට අග්‍රභොජන වන්නේය. එයින් වදාළහ. බුදුහු:- එම සක්විති සුත්‍රයෙහි, “ දස වස්සියු කෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමානි රසානි අන්තරධායිස්සන්ති, සෙය්‍යථිදං ? සප්පි නවනිතං තෙලං, මධු, ඵාණිතං ලොණං; දස වස්සායුකෙසු භික්කවෙ මනුස්සෙසු කුද්‍රෑසකො අග්ග භොජනං භවිස්සති, සෙය්‍යථාපි භික්ඛවේ එතරහි සාලිමංසොදනො අග්ග භොජනං” යි.


එකල්හි ප්‍රාණඝාතාදි .. සංස්කරණය

එකල්හි ප්‍රාණඝාතාදි දශ අකුශල කර්ල කර්ම පථය අතිශයින් දීප්තිමත් වන්‍නේය. ප්‍රාණඝාත‍යෙන් වැළකීම් ආදීවූ දශ අකුසල කර්ම පථය අන්තර්ධාන වන්නෙ‍්ය. කුසලය යන නාම මාත්‍රයකුත් නැතිවන්නේය. කුසලොපත්තිය කෑලම නොවන්නේය. එහෙයින් වදාළහ. බුදුහු:- “දස වස්සායුකෙසු භික්කවෙ මනුස්සෙයු දස කුසල කම්ම පථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති, දස අකුසල කම්මපජා අතිවිය දිපෙස්සන්ති,දස වස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කුසලන්ති නාම මත්කම්පි න භවිස්සති කුතො පන කුසලස්ස කාරකා”යි.

එකල මනුෂ්‍යයෝ අසවල් පුරුෂයා විසින් මව මරණ ලද්දේය. පියා මරණ ලද්දේය. මහණ බමුණන් ජීවිතයෙන් තොර කරණ ලද්දේය. කුලදෙටුවන් ඇති බවක් නොදන්නේය. එසේ හෙයින් මෙතෙම ඉතා ආශ්චර්‍ය්‍යවත් සපන් සත්පුරුෂයෙකැයි ඔහුම පුදන්නාහුත් වෙති. ප්‍රසංසා කරන්නාහු වෙති. එයින් වදාළහ. බුදුහු :- “දස වස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු යෙත භවිස්සති අමත්තෙය්‍ය අපෙත්තෙය්‍ය අසාමඤ්ඤ අබ්‍රහ්මඤ්ඤාන කුලෙජෙඨා පකායිනො තෙපුජ්ජා භවිස්සන්ති පාසංසාව” යි එකල මනුෂ්‍යයෝ භය ලජ්ජා නැතිව ආචාර ධර්මය ඉක්ම මෑණියෝය. දියණියෝය. නැඟණියොය, බූනණියෝය. යනාදි සංඥා නූප දවා බැලු කැනහිලුන් මෙන් නිර්ලජ්ජි වන්නාහ. එයින් වදාළහ, බුදුහු :- “දස වස්සායු නෙසු භික්ඛවෙ මනුස්සෙසු න භවිස්සති, මාතාතිවා, මාතුව්ජාතිවා, මාතුලානිතිවා, අචාරිය හරියාතිවා, ගුරුනං දාරතිවා, සම්භෙදංලොක භවිස්සති, යතා අජෙලකා කුක්කුට සුකරා සොණ සිගාලා”යි.

එකල මනුෂ්‍යයන්ට ඔවුනොවුන් කෙරෙහි බලවත්වූ කොපය නැවත නැවත උත්පත්ති වශයෙන් එළඹ සිටින්නේය. වදාළේ මැනෝ:- “දසවස්සායු කෙසු භික්ඛවෙ මනුස්සෙසු තෙසං සත්තා නං අඤ්ඤමඤ්ඤම්හි තිබ්බො ආඝාතෝ පච්චුපට්ඨිතො භවිස්සත් තිබ්‍බො ව්‍යාපාදො තිබ්බො මනො පදොසො තිබ්බං වධක චිත්තං මාතුපි පුත්තම්හි පුත්තස්සපි මාතරි පිතුපි පුත්තම්හි පුත්තස්සපි පිතරිහාතු පිහාතරිභාතුපි භගිනියා භගිනියාපිහාතරි” යි.

එසමෙහි ශාස්ත්‍රාන්තඃ කල්පය වන්නේය. අන්තඃ කල්පය තෙමේ දුර්භික්ෂාන්තඃකල්පය, රෝගාන්තඃකල්පය, ශාස්ත්‍රාන්තඃ කල්පයයි ත්‍රිප්‍රකාර වන්නේය. ඒ ත්‍රිවිධවූ අන්තඃකල්පයන් අතුරෙහි සත්වයන්ට ලොභය අධිකවූ සමයෙහි දුර්භික්ෂානතඃ කල්පය වන්නේය. මෝහය අධිකවූ සමයෙහි රොගාන්තඃ කල්පය වන්නේය. ද්වේෂය අධික සමයෙහි ශාස්ත්‍රාන්තඃකල්පය වන්නේය. ඒ තුතිත් දුර්භික්ෂාන්තඃ කල්පයෙන් නටුවාවූ සත්ත්වයෝ ආහාර තෘෂ්ණාව බලවත් බව හෙතුකොට ගෙණ බොහෝසේ ප්‍රෙත ලොකයෙහි උපදනාහ. රොගාන්තඃ කල්පයෙන් නටුවාවූ සත්ත්වයෝ අප කෙරෙන් අන්‍යවු මෙබඳුවූ රොගයෙක් නුවූයේ වීනම් යහපත් වන්නේ යයි මෙත් සිත් උපදනා හෙයින් බොහෝ සේ ස්වර්ගයෙහි උපදනාහ. ශස්ත්‍රාන්තඃ කල්පයෙන් නටුවාවූ සත්ත්වයෝ ඔවුනොවුන් කෙරෙහි බලවත් වූ ආඝාතඇති බැවින් නරකයෙහි උපදනාහ. මේ තිවිධවූ අන්තඃ කල්පයන් අතුරෙන් මෙතැන්හි ශාස්ත්‍රාන්තඃකල්පය දත යුත්තේය.

එකල මනුෂ්‍යයෝ ඔවුනොවුන් කෙරෙහි මෘඝ සංඥා ඇතිව “කොල තෙල් මුවා ගනුව! මරව!හසුකරව! යනාදීන් තුඩ වැඩියා බණන්නාහ. අතින් ඇල්ලු පමණින් තනපති පරණලා පත් සියුම් මුවහත් ඇති කඩුපත්සේ මැවියෙයි. එසඳ සත්ත්වයෝ ඔවුනොවුන් ඒ ආයුධයෙන් මරන්නාහ. වදාළෙ මැනෝ: “දසවස්සායු කෙසු භික්ඛවෙ මනුස්සෙසු සත්තානං සත්ථන්තරකප්පො, භවිස්සති තෙ අඤ්ඤමඤ්ඤම්භි මිගසඤ්ඤං පටිලභිස්සන්ති තෙසං; තිබිණානි සත්ථානි හත්ථෙසු පාතු භවිස්සන්ති . තෙතිණ්හෙන සත්ථෙන එසමිගොඑසමිගොති අඤ්ඤ මඤ්ඤං ජීවිතා වොරො පෙස්සන්ති” යි. ඒසත්ත්වයන් අතුරෙන් යම් කෙනෙක් නුවනැත්තේ වී නම් ඒ නුවණැති මනුෂ්‍යයෝ පළමුකොටම මේ විනාශය අසා මේ ලොකයෙහි විනාශය පැමිණ සිටියේය. දෙදෙනකු එකතැන හිඳ ජීවත්වන්ට නො පිළිවන් වන්නේයයි සිතා ගල් ගුහා ආදියෙහි සති‍යක් පමණකට සෑහෙන ආහාර තබා ගස් අතුරට වන ලැහැප් අතුරට පර්වත ගුහාවට දිවයින් වලට වැද දෙදෙනෙක් ඔවුනොවුන්ට නොපෙණෙන පරිද්දෙන් සැඟවි ඉඳිනාහුය. වදාළේ මැනෝ :- “ තෙ තිණ ගහණං වනගහණං රුක්ඛගහණං නදි විදුග්ගං පබ්බත විසමං පවිසිත්වා සත් තාහං වනමූල ඵලාහාරා යා පෙස්සන්ති .”


ඒ වනාන්තර ගල්ගුහා පර්වත.. සංස්කරණය

ඒ වනාන්තර ගල්ගුහා පර්වත ගුහා ආදිය‍ට වන්නාවු සත්තවයක් හැර අවශේෂ සත්ත්වයෝ ඔවුනොවුන් ආයුධයෙන් කොටා ගන්නාහුය. සියලු මුලු පොළොව එක මස් කළවිටක් මෙන් වන්නේය. ඉක්බිත්තෙන් සත්වැනි දවස් ඉකුත් වූ කල්හි තම තමන් සැඟවුණාවූ ස්ථානවලින් නික්ම ඔවුනොවුන් වැළඳ ‘මම යම්සේ ජීවත්ව උන් හෙයින් මා විසින් දක්නා ලද්දෙම් වෙම්දැ’යි ‘පින්වත්වූ සත්වය එපරිද්දෙන්ම තොපිත් ජීවත්ව උන් හෙයින් මා විසින් දක්නා ල්දදෙහි වේදැ’යි මෙසේ සමග සතුටු වන්නාවු කථාවෙන් සුවදුක් කියා ඔවුනොවුන් අසවසා නොමිය උන් හෙයින් ඔවුනොවුන් ඇස දැකපුව මෝවේදැ’යි සතුටුව සමග වන්නාහුය. වදාළේ මැනෝ: “ තෙනස්ස සන්තාහස්ස අච්චයෙන තිණගහණා, වණගහණා, රුක්ඛගහණා . නදි විදුග්ග පබ්බත විසමා නික්ඛමිත්වා අඤ්ඤමඤ්ඤං ආලිඬගිත්වා සභාගායිස්සන්ති සමස්සා, සිස්සන්ති දිට්ඨාහොසත්ත ජිවසි දිට්ඨා හොසත්තජිවයි”යි.

මෙසේ ඒ සත්වයෙනි! අදික අකුසල කර්මය හේතුකොටගෙණ අපගේ නෑයෝ අප කියමන් නොගෙණ ඇමදෙනම නටහ.උපායෙන් අප ජිවත්වුම්හ. එසේ හෙයින් අපි කුසල් කළමෝ නම් යහපත් වන්නේය’යි කියා ප්‍රාණඝාතයෙන් වලක්නාහ. ඒ ප්‍රාණඝාතයෙන් වැලක්කාවූ දස අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන්ට කුසල කර්ම සමාදානය හේතුකොටගෙණ විසි අවුරුද්දට ආයුෂය ඇති දර්වෝ උපදනාහ. කේතුමතී නගර කථාව

ඉක්බිත්තෙන් ඔවුන්ගේ දරු මුනුබුරෝ කුමයෙන් අදත්තා දානයෙන් වළකුම්හ. කාම මිච්ඡාචාරයෙන් වළකුම්හ. මුසාවාදයෙන් , ප්‍රිය ශුන්‍ය වචනයෙන් පරුෂ වාක්‍යයෙන් , ස්වර්ග මොක්ෂයට බාධකවූ ව්‍යර්ථ කථාවෙන්, අධික ලොභයෙන් අධික ද්වේෂයෙන්, විපරිත දීෂ්ටියෙන් වළකුම්හ. මේ දස කුසල කර්ම පථය සමාදන්ව පවතුම්හ.දෙමවුපියාදීන් කෙරෙහි උපදනා අධර්මරාගය, ප්‍රයෝජන වින්ද යුතු ප්‍රිය වස්තුවෙහි අධිකව උපදනා විෂමලොභයපුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන්ට, ස්ත්‍රීන් කෙරෙහි බලවත්වූ ඡන්‍ද රාග වශයෙන් උපදනා මිථ්‍යාදෘෂ්ටි ධර්මය යන මේ ත්‍රිවිධවූ අධර්මයන් දුරුකරම්හ. මවුන්ට හිතවම්හ. පියන්ට හිතවම්හ. මහණවම්හ. බඹසර වස් රකුම්හ. කුලදෙටුවන් පුදම්හයි කියා ඒ කුසල ධර්මයන් පුරන්ට පටන් ගන්නාහ.

මෙසේ මතුමත්තෙහි වඩ වඩා ඒ සත්ත්වයන් කුසල ධර්මයෙහි හැසිරෙන්ට පටන්ගත් කල්හි විසි අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන්ට තිස් අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. තිස් අවුරුද්දට ආයුෂය ඇත්තවුන්ට සතළිස් අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපද නාහ. සතළිස් අවුරුද්දට ආයුෂය ඇත්තවුන්ට පනස් අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. යනාදී ක්‍රමයෙන් දෙසියයක් හවුරුද්දට ආයුෂ‍ය ඇති වන්නාහ.


එසමයෙහි මේ ජම්බුද්වීපයෙහි.. සංස්කරණය

එසමයෙහි මේ ජම්බුද්වීපයෙහි හුණු වනයක් බට වනයක් මෙන් අතුරු නැතිව මනුෂ්‍යයන් ගෙන් ගැවසී ගන්නේය. කුකුළු පියසර ගම්නියම්ගම් රාජධානියෙන් සමෘඬ වන්නේය. සියලු ජනපදයෝ සොරුන් සතුරන්ගෙන් භය නැති හෙයින් සුභික්ෂ වන්නාහ. එකල මේ බරණැස් නුවරට එම නම වන්නේය. ඉක්බිත්තේන් දෙසියයක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයෝ කුසලකර්ම විපාකය දක්නාහු වඩ වඩා මතුමත්තෙහි දාන සීලාදී කුසල ධර්ම පුරන්නාහ. ඉක්බිත්තෙන් අනුක්‍රමයෙන් ආයුෂය මතුමත්තෙහි කුසලධර්ම සමාදානයෙන් වැඩෙමින් තුන්සිය යෙක , සාරසියයෙක, පන්සියයෙකැයි කියාද, ඉක්බිත්තෙන් අවුරුදු දහසෙක, දෙදහසෙක, තුන්දහසෙක සාරදහසෙක, පන්දහසෙකැයි කියාද, ඉක්බිත්තෙන් දසදහසෙක,විසිදහසෙක, තිස්දහසෙක, සතළිස් දහසෙක, පණස් දහසෙක, සැටදහසෙක, සැත්තෑ දහසෙක,අසු දහසෙක, අනූදහසෙකැයි කියාද, ආයුසය මතු මත්තෙහි වැඩෙන්නේය. අනුදහසක් අවුරුද්දට ආයුෂය ඇති කල්හි බරණැස් නුවර නම් පෙරළී යොදනක් පමණ “උත්පල” නම් නුවරෙක් වන්නෙය.ඉක්්බිත්තෙන් මනුෂ්‍යයන් අධික තරව දශකුශල කර්මයෙහි හැසිරෙන්ට පටන්ගත් කල්හි ලක්ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එකල උත්පල නම් නුවර නම් පෙරළී සත් යොත්තක් පමණ “පදුම” නම් නුවරෙක් වන්නේය. ඉක්බිත්තෙන් සත්ත්වයන් වඩ වඩා කුසල කර්මය පුරන්ට පටන්ගත් කල්හි කෙළ ලක්ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. ඉක්බිත්තෙන් සත්තවයන්ගේ කුසලකර්ම සමාදානයෙන් මතුමත්තෙහි ආයුෂය වඩාගෙණ ගොස් අසංඛ්‍යයක් අවුරුදදට ආයුෂය වන්නේය.

එසමයට පදුම නම් නුවර නම් පෙරළී දෙළෛාස් යොදනක් පමණ “මන්දාර” නම් නුවරෙක් වන්නේය. එසමයට මිනිස් ලොව දෙවුලොවටත්වඩනේය. උපන් කල් නොදනිති. මීයන කල් නොදනිති. ජරා විලි පිලි නැත. රොගාන්තරාය නැත. එසේ හෙයින් නොපෙනෙන්නාවු ජරා මරණ ඇති සත්ත්වයෝ නරක දුකින් බලවත් පීඩා විඳපු සත්ත්වයන් ස්වර්ගලොකයෙහි ඉපැද දුක් සිහි නැතිවී මෙන් කුසල කිරීමට ප්‍රමාද වන්නාක්මෙන් නැවතත් කුසල ධර්ම පූර්ණයෙහි ප්‍රමාද වන්නාහ. නැවතත් අකුශල ධර්මයෝ සත්ත්ව සන්තානයෙහි පහළ වන්නාහ. හලාහල විෂ මිශ්‍ර ජලය වැදීමෙන් අමෘත ජලය පිටත්ව පලා යන්නාක්මෙන් සත්ත්වයන්ගේ සන්තානයෙහි අකුශල ධර්මය වැදීමෙන් කුශල ධර්මය පිරිහෙන්ට පටන්ගන්නේය. ඒ කුශල ධර්මය පිරිහෙන්ට පටන්ගත් කල්හි ආහාරජ, රූපයන්ගේ පිරිහීමෙන් අවශේෂවූ කරමජ, චිත්තජ,ඍතුජ රූපයන් තුන්දෙනාගේ පරිහානිය මෙන් ආයුෂය පිරිහෙන්නේය. එකල අසංඛ්‍යයක් අවුරුද්දට ඇති ආයුෂය ක්‍රමයෙන් පිරිහී ලක්ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එයින් ක්‍රමයෙන් පිරිහී ලක්ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එයින් ක්‍රමයෙන් පිරිහී අනූ දහසක් අවුරුද්දට ආයුෂය වනනේය. ඒ අනූදහසක් අවුරුදු ක්‍රමයෙන් පිරිහී අසූ දහසක් අවුරුද්දට ආයුෂය ඇතිව සිටින්නේය. එසමයෙහි මනුෂ්‍යයෝ අසූදහසක් අවරුද්දට ආයුෂය ඇති වන්නාහ.

පන්සියයක් ඇවිරිදි කුමාරයාහට පන්සියයක් ඇවිරිදි කුමාරිකාව ගෙණහැර ආවාහ විවාහ කරන්නාහ. එකල සියලු ජම්බුද්විපයෙහි උත්තමාධ මවුත් සියලු සත්තවයෝ ආහාර පාන වර්ගය, ඛජ්ජ, භොජ්ජය, ලෙය්‍ය,පෙය්‍යය යන චතුර්විධ ආහාරපාන වර්ගයෙන්ද,වස්ත්‍රාභරණ සුවඳ මල් විලවුන් ආදියෙන්ද, මුඅක්තා මාණික්‍යාදී දශවිධ රත්නයෙන් හා සාරිවරහි ආදි සප්තවිධ ධාන්‍යයෙන් හා අපරියන්ත වූ උපභොග පරිභොග සම්පත් පිරිවර ආදියෙන්ද, දිව්‍යවූ පංචකාම කොටඨාසයක් හා සමාන වූ ඉෂ්ටවු කාන්තවු මන වඩන්නා වු සැප විඳින්ට සුදුසුවු රූප,ශබ්ද,ගන්ධ,රස, ප්‍රෂ්ටව්‍ය සංඛ්‍යාත පංචකාම ගුණයෙන්ද යුක්ත වන්නාහ. වර්ෂාවත් දෙපෝයෙන් දෙපෝයේ දස දවසින් දස දවසම මධ්‍යම යාමයෙහි භූමිරසය වඩමින් වස්නේය. එකල මන්දාර නම් නුවර නම් පෙරළී දිග දොළොස් යොදුන් පෘථුල සත්යොදුන් යටකී සියලු සම්පත්තීන් සමාඬවූ “ කෙතුමතී “ නම් රාජධානියක් වන්නේය. මෙසේ ඒ කෙතුමතී නම් රාජධානිය අසූදහසක් අවුරුදදට ආයුෂය ඇති මනුෂයන් සමයෙහි වන්නේය.