විල්ගම්මුළ පබඳ-අනාගත වංශය නම් වූ මෙතේ බුදු සිරිතiii

7. ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය.සංස්කරණය

ක්‍ෂේත්‍ර වස්තු හිරණ්‍ය ස්වර්ණ ගව මහිස..සංස්කරණය

ක්‍ෂේත්‍ර වස්තු හිරණ්‍ය ස්වර්ණ ගව මහිස දාසිදාස පුත්‍රදාරදී වස්තුවෙහි ඇලුනා වූ සිත් ඇති සත්ත්වයන්ට ‍ක්ෂේත්‍රාදිය බොහෝ දෙනා විසින් ප්‍රාර්ත්ථනා කටයුතු බැවින්ද රජදරුවන් සොරුන් සතුරන් ආදීන්ට සාධාරණ බැවින්ද විවාදයට පිහිට වන බැවින්ද සතුරන් ඇතිවන බැවින්ද නිස්සාර හෙයින්ද වස්තුව ලැබ රක්ෂාකිරීම ඇතිකල්හි අනුන්ට පීඩාවට කාරණ හෙයින්ද විනාශයට කාරණ හෙයින්ද ශොකාදිය ඇතිකල්හි අනෙක ප්‍රකාර දුක් උපදවන හෙයින්ද ඒ වස්තුයෙහි ඇලුම් මූල කාරණකොට ඇති මාත්සර්‍ය්‍ය මලයෙන් වළදනා ලද සිත් ඇති සත්ත්වයන්ට අපායෝත්පත්තිය වන හෙයින්දැයි මෙසේ මේ අර්ථය නම් අනෙකප්‍රකාරවු බොහෝ අවැඩ ඵලවන්නේය. එසේ හෙයින් එම වස්තූන්ගේ පරිත්‍යාග කිරිම බලවත් වූ අභිවාධියකැයි වස්තු පරිත්‍යාගයෙහි අප්‍රමාද කටයුත්තේය. තවද වස්තු ඉල්වන්නාවූ යාචක තෙමේ තමාගේ රහස ප්‍රකාශ කොට කියන බැවින් මට බලවත් විශ්වාසය ඇත්තේයයි කියාද හැරයා යුතුවූ මට උපදෙස් කියන්නා වු කල්‍යාණ මිත්‍රෙයකැයි කියාද, ගිනිගෙන දිලිසෙන්නා වූ ගෙයක්මෙන් මරණාග්නියෙන් දිලියෙන්නා වු ලෝකයෙහි එයින් මා සන්තක වස්තුව පිටත් කරන්ට සහාය වන යහලු වෙකැයි කියාද, පිටත්කළ වස්තුව නොනස්නා පරිද්දේන් නිධානකොට තබන්ට ස්ථානව සිටියේයයි කියාද දාන සංඛ්‍යාත කුසල කර්මයෙහි සහායවන බැවින්ද සියලු සම්පත්තීන්ට අග්‍රවූ අතිදුර්ලභ වු බුඬ භූමියෙහි සියලු ලෝකොත්තර සම්පත්තියට කාරණ බැවින්ද ඉල්වන්නා වු යාචකයා උත්කෘෂ්ට කල්‍යාණ මිත්‍රයෙකැයි සැලකිය යුත්තේය. තවද මේ යාචකයා විසින් මම බලවත් වූ කාර්‍ය්‍යයෙකින් සම්භාවනා කරණ ලද්දෙම් වෙමි. ඒ දාන ක්‍රියාවෙහි සම්භාවනා නොවරදවා මා විසින් කටයුතුයයි කියාද, ඒ කාන්තයෙන් නස්නා සුලුවූ ජීවිතය යාචකයන් නො ඉල්වුවත් මා විසින් දිය යුතුය. ඉල්වූ කල්හි කෑලම දිය යුතුයයි කියාද, උත්තමඞ්‍යාශ ඇති සත්වයන් විසින් යාචකයන් සොයා ඇවිද දන්දිය යතුය. මාගේ කුශල ‍යෙන් යාචකයා තෙමේම සමීපයට පැමිණියේ යයි කියාද. යාචක ජන ව්‍යාජයෙන් මටම අනුග්‍රහ කරන්නේ යයි කියාද, මෙපරිද්දෙන්ම මේ සියලු ජනයා මා විසින් අනුග්‍රහ කටයුත්තේ යයි කියාද, යාචකයක්තහු නැතිකල්හි මාගේ දාන පාරමිතාව කෙසේනම් පිරේදැයි කියාද, යාචකයන් නිසාම මා විසින් සියලු වස්තූන් සොයා තැබිය යුත්තේයයි කියාද , නොඉල්වාම මා සන්තක වස්තුව යාචකයෝ තුමූම කවර කලෙක ඇරගනිද්දෝහෝ යි කියාද, කෙසේ නම් මම යාචකයන්ට ප්‍රියවෙම්ද? මනවඩම්ද? ඒ යාචකයෝත් මට කෙසේ නම් ප්‍රියවෙද්ද? මනවඩද්දැයි කියාද. කෙසේ නම් මම දන් දෙමින් සිටත් දන් දී අන්තයෙහිත් සතුටුවෙම් ද? බලවත් ව හටගත්තාවූ ප්‍රීති සෞමනස්‍යයෙන් කෙසේනම් ඔදවැඩී සිත් ඇත්වෙම්දැයි කියාද ඖදාර්‍ය්‍ය බලවත් දානාඬ්‍යාසය ඇත්තේ යයි මට යාචකයෝ කෙසේ නම් සිතිවිලි සිතදද1 නොඉල්වියදීම මම යාචකයන් අදහස් දැන කෙසේ නම් සිත් පිණවා දන්දෙම්දැයි කියාද, වස්තුවත් යාචකයනුත් ඇතිකල්හි දන් නොදි මෙන් මට බලවත් ව නින්දා බස් උපදන්නේයයි කියාද, කෙසේ නම් මම මාගේ හස්තපාදාදී අවයවයන් හා ජීවිතය යාචකයන්ට පරිත්‍යාග කෙරෙම්දැයි කියාද, සැලකිය යුත්තේය. තවද , මේ අර්ථය නම් යම්සේ කිඹැලි පණුවා නිරපේක්ෂ වූ මේවකයා අනුවයෙද එපරිද්දෙන්ම නිරපේක්ෂ වූ දායකයා අනුව යන්නේයයි අර්ථ නිරපේක්ෂාවෙහි සිත් ඉපද විය යුත්තේය. ඉල්වන්නාවූ සත්වයා වූකලි ඉදින් ප්‍රිය පුද්ගලයෙක් වීනම් ප්‍රිය පුද්ගලයා මා අතින් ඉල්වන්නේයයි සොම්නස් ඉපද විය යුත්තේය.ඉදින් ඉල් වන්නා වූ සත්වයා තමහට උදාසීන පුද්ගලයෙක් වීනම් මා අතින් මේ වස්තුව ඉල්වන තැනැත්තේ ඒකාන්තයෙන් මේ වස්තු පරිත්‍යාගය නිසා මට මිත්‍රවන්නේයයි සොම්නස් ඉපද විය යුත්තේය. දන් දෙන්නාට සත්ත්ව තෙමේ බොහෝ යාචකයන්ට ප්‍රියවන්නේය. ඉදින් වෛරී පුද්ගලයෙක් ඉල්වානම් පසමිතුරා මා අතින් ඉල්වන්නේ යයි විශේෂයෙන් සොම්නස් ඉපද විය යුත්තේය. මෙසේ ප්‍රිය පුද්ගලයා කෙරෙහි මෙන් මධ්‍යස්ථ පුද්ගල වෛරි පුද්ගලයන් කෙරෙහිදු මෛත්‍රී පූර්වඞගම කොට ඇති කරුණාව එලවාම දියයුත්තේය.ඉදින් ලොභය බොහෝ කලක් පුරුදුව ආ බැවින් බෝධිසත්ත්වයන්ට දෙය්‍ය ධර්මය විෂයකොට ඇති බලවත් ලොභ ධර්මය උපදී නම් ඒ බෝධිසත්ත්ව ප්‍රතිඥා ඇත්තාහු විසින් මෙසේ සැලකිය යුත්තේය.

කෙසේද? යත්:-


“සත් පුරුෂයානෙනි..සංස්කරණය

“සත් පුරුෂයානෙනි, සම්‍යක් සම්බෝධිය ප්‍රර්ථනාකරන්නාවූ තොග විසින් සියලු සත්ත්වයන්ට උපකාර පිණිස මේ ශරිරය හරණ ලද්දේ නොවේද? ඒ ශරීරය පරිත්‍යාගයෙන් උපන්නා කුශලයත් හරණ ලද්දේ නොවේද? එසේ වූ තොප බාහ්‍ය වස්තුවෙහි ඇල්ම ඉපදවී නම් ඇතුන්ගේ නෑමක් හා සමාන වන්නේය. එසේ හෙයින් තොප විසින් කිසිවස්තුවකට ඇල්ම නො ඉපදවිය යුත්තේය. යම්සේ අට ගෙණ සිටි මහත් වූ බෙහෙත් රුකකින් මුල් කැමැත්තෝ මුල් ගෙණ යෙත්ද? ගැට කැමැත්තෝ ගැට ගෙණයෙත්ද? සුඹුල් කැමැත්තෝ සුඹුලු ගෙණ යෙත් ද? කඳ කැමැත්තෝ කඳ ගෙණයෙ ත්ද? වෙලෙප් කැමැත්තෝ වෙලෙප් ගෙණයෙත්ද ? අතු කැමැත්තෝ අතු ගෙණ යෙත්ද? කොළ කැමැත්තෝ කොළ ගෙණ යෙත්ද? මල් කැමැත්තෝ මල් ගෙණ යෙත් ද? ඵල කැමැත්තෝ ඵල ගෙණ යෙත් ද? ‘ මා සන්තක දෙය මේ සත්ත්වයෝ ගෙණ යෙති’යි ඒ බෙහෙත් රුකට කිසි විරේධ කල්පනාවෙක් නොවේ ද? එ පරිද්දෙන් සියලු ලෝවැස්සනට වැඩ පිණිස වීර්‍ය්‍යකරන්නාවූ මා විසින් දුක්වූ කෙළෙහිගුණ නොදන්නා වූ හැමකල්හිම අපවිත්‍රවූ ශරීරය අනුන්ට උපකාර පිණිස පමුණුවන කල්හි ස්වල්ප මාත්‍රවු ‘මමය-මගේය’ යන සිතිවිල්ලෙක් නො ඉපද විය යුත්තේය.ඒකාන්තයෙන් වි‍ඳෙන්නා වූ විසිරෙන්නා වූ නැසෙන්නා වූ ස්වභාව ඇති මේ අඬ්‍යාත්මික බාහ්‍ය මහාභූත රූපයන් කෙරෙහි වෙනස් කවරේ ද? මේ මගේය. මමනම් මේ ආත්මය, මේ මාගේ ආත්මය යන සිතිවිල්ලෙක් ඇත්නම් එතෙම හුදෙක් මොහයෙන් පැළඹිම පමණක්ම වන්නේය. එසේ හෙයින් බාහ්‍ය වස්තුවෙහි මෙන් අඬ්‍යාත්මික වූ හස්තපාදා නෙත්‍රාදියෙහි ද මාංශ රුධිරයෙහි ද අපෙක්ෂාවක් නැතිව ඒ හස්තපාදාදි වූ සියල්ල කැමැති කෙනෙක් ගෙණ යෙත්වයි හරණලද සිත් ඇති විය යුත්තේය. මෙසේ සලකන්නා වූ සම්‍යක් සම්බෝධියට මෙහෙයන ලද සිත් ඇති කාය ජීවිතයෙහි අපේක්ෂාවක් නැති ඒ බෝධිසත්ත්වයන්ට නිරායාසයෙන්ම කාය වාක් මනෝ කර්මය විශේෂයෙන් පිරිසිදු වන්නේය. පිරිසිදුවූ කායවාක් ප්‍රයෝග ඇති පිරිසිදු වූ ආජීව ඇති ඒ මහා බෝධිසත්ත්වතෙම ත්‍යාග ප්‍රතිපත්තියෙහි පිහිටා අලමනා දෙයයි නුවණින් හා ගතමනා දෙයයයි නුවණින් යුක්තව වඩ වඩා දෙය්‍ය ධර්මය පරිත්‍යාගයෙන් හා අභයදාන ධර්මදානයෙන් සියලු සත්ත්වයන්ට අනුග්‍රහ කරන්නට සමර්ථ වන්නේය.”

ශීල පාරමිතාවෙහි ප්‍රත්‍යවෙක්ෂා ක්‍රමය කෙසේද? යත් :- මේ ශීලය නම් ගංගා යමුනා ආදි පංච මහා ගංගාවන්ගේ ජලයෙන් හා සමුද්‍රයෙහි ජලයෙන්ද ශුද්ධකරන්ට නොපිළිවන් ද්වෙෂ මලය පිරිසිදු කරන්නා වූ ජලයක් හා සමාන වන්නේය. රන්වන් සඳුන් ගෝඩි සඳුන් ආදි වූ ශීතල ද්‍රව්‍යයෙන් දුරුකරන්ට නොපිළිවන් රාගාදි පරිළාභය සන් සිදුවන්නා වූ ශීතල ද්‍රව්‍යයක. මුත්හර වොටුනු මිණි කො‍ඬොල් ආදී වූ බොහෝ ජනයා සැරසෙන්නා වූ ආභරණයට වඩා අසාධාරණ වූ සත් පුරුෂයන්ගේ සැරහීමට අලංකාර විශේෂයක. තවද ශීලය නම් සියලු දිග හමන හෙයින් සඳුන් ආදි කිසිවකින් නොකරණලද හැමකලට සුදුසු වූ සුගන්ධ ද්‍රව්‍යයෙක. ක්ෂ්ත්‍රීය මහා සාලය, බ්‍රහ්මණ මහා සාලය, ගෘහපති මහා සාලය යනාදි වූ සියලු මනුෂ්‍යයන් විසින් ද දිව්‍යබ්‍රහ්මාදි සියලු දෙවියන් විසින්ද වැඳිම් පිදීම් ආදිය ඵලවන හෙයින් උත්කෘෂ්ට වූ වශීකරණ මන්ත්‍රයෙක. චාතුර්මහාරාජිකාදි සදිව්‍ය ලෝකයට නැ‍ඟෙන, පිණිස ලනලද හිනිපෙති පංතියක් හා සමාන වන්නේය. ප්‍රථම ඬ්‍යානාදි අෂ්ට සමාපත්ති හා ඉර්ඬිවිධාදි පංචාභිඥාවට පැමිණිමට උපාය වන්නේය. නිර්වාණ නැමැති මහාපුරයට පමුණුවන්නා වූ මාර්ගයක් හා සමාන වන්නේය. ශ්‍රාවක සම්පත්තිය ප්‍රත්‍යෙකබෝධි සම්පත්තිය සම්‍යක්සම්බෝධි සම්පත්තිය යන මේ ත්‍රිවිධ සම්පත්තින්ගේ පිහිටුවීමට ආධාර භූමියක් හා සමාන වන්නේය. යමක් යමක් සිතූවොත් පැතූවොත් ඒ ඒ දෙයම සමෘඬවන්ට උපායක් බැවින් මේ ශීලය චින්තාමණි කල්පවෘක්ෂාදියත් ඉක්ම පවත්නේය. එසේ හෙයින් වදාරණලදි. “ඉජ්ඣිස්සත් භික්ඛවෙ සීලවතෝ චෙතො පණීධි විසුඬත්තා “යි . ‘ ආකංඛෙය්‍ය චෙ භික්ඛවේ භික්ඛු සබ්‍රහ්ම චාරිනං පියෝ වස්සංමනා පො ගරුභාවනීයෝ ච සීලස්සසෙව පරිපූරකාරි” යනාදීන්ද ‘ අවිප්පටි සාරත්ථානි ඛෝ ආනන්‍ද ,කුසලානි සීලානි” යනාදින්ද “පංචමෙ ගහපතයො ආනිසංස සීල වතො සිලසම්පදාය” යි යනාදීන් ද වදාරණලද පාළි වශයෙන්ද ශීලයෙහි ගුණ විශේෂය සැලකිය යුත්තේය. තවද “අග්ගක්ඛන්ධොපම” සූත්‍රාදීනගේ වශයෙන් ශීල විනාශයෙහි ආදිනව සැලකිය යුත්තේය. ශීලය නම් ප්‍රීති සෞමනස්‍යය එලවන්ට කාරණ හෙයිද, අත්තානුවාදහය, පරානුවාදගය, දණ්ඩභය, දුග්ගතිභයාදිය නසන හෙයින්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කටයුතු බැවින්ද විපිළිසර නොවිමට කාරණ හෙයින්ද ලෞකික ලොකොත්තර සම්පත්ති සංඛ්‍යාත අභිවෘධි ඵලවන හෙයින්ද කුල සම්පත්තිය, ධනසම්පත්තිය, අධිපති සම්පත්තිය, රූපසම්පත්තිය, ස්ථානාන්තර සම්පත්තිය, බන්ධු සම්පත්තිය, මිත්‍ර සම්පත්තිය යන මේ සියලු සම්පත්තීන් මැඩ පවත්නා හෙයින්ද, ශීලය උතුම් වූ ගුණ ඇත්තේ යයි සැලකිය යුත්තේය. තවද සිල්වත්හට තමාගේ ශීල සමෘඬිය නිසා මා විසින් ඒකාන්තයෙන් කුසල කරණලද හය පරිත්‍රාණයෙක් කරණලදැයි මහත් වූ ප්‍රීතිසෞමනස්‍යය උපදනේය.


තවද සිල්වත්හට ..සංස්කරණය

තවද සිල්වත්හට “ කච්චිනු ඛො මෙ අත්තා සීලතො න උපවදන්ති” යි යු බැවින්ද “ කච්චිනුඛොමං අනුවිච්ච විඤ්ඤැ සබ්‍රහ්මචාරී සීලතෝ න උපදවදන්ති” යි යූ බැවින්ද අත්තානුවාද භය පරානුවාද භය නැත්තේය. දණ්ඩභය දුර්ගතිභය දෙක කෑලම නැත්තේය. සිල්වත් පුද්ගලයා කලණ වූ ධර්ම ඇත්තේයයි විඤ්ඤැන් විසින් ප්‍රශංසා කටයුත්තේය.

තවද මා විසින් ඒකාන්තයෙන් පාපයෙක් කරණලද ‘රෞද්‍රවූ ක්‍රියාවෙක් කරණලද, කාලුෂ්‍යධර්මයෙක් කරණ ලදැයි දුශ්ශීලයාහට යම් විපිළිසරක් උපදී නම් එයින් කළකිරිම සිල්වත්හට නූපද නේය. තවද මේ ශිලය නම් අප්‍රමාදයට කාරණ හෙයින්ද ඥාතිව්‍යසන රෝග ව්‍යසන භොගව්‍යසනාදිය දුරුකරන්ට කාරණ හෙයින් මහත් වූ වැඩ සාධක හෙයින්ද, අභිවෘඬිකරණ බැවින්ද, උතුම් මඟුලක් හා සමාන වන්නේය. සිල්වත්වූ හින ජාති සත්ත්වයකුත් ක්ෂ්තිය මහාසාලාදීන් විසින් පිදිය යුතුවන්නේයයි සීලසමෘඬිය කුල සම්පත්තිය මැඩ පවත්නේය.

තවද, සොරුන් සතුරන් රජදරුවන් වේයන් මීයන් ගිනි දිය ආදීවූ සියල්ලට අසිධිරණ හෙයින්ද මිය පරලොවයන්නාවු සත්ත්වයන් අනුව යන හෙයින්ද මහානිසංස ඇතිවන බැවින්ද සමථ විදර්ශනාදිවූ ගුණයන්ට පිහිටවන බැවින්ද සීල ධන‍ය බාහ්‍ය ධනය මැඩපවත්නේය. උත්කෘෂ්ඨවූ අණිමා ලඝිමාදිවු චිත්ත ඓශ්චර්‍ය්‍යයට පිහිටවන බැවින්ද සීලය ක්ෂ්ත්‍රීය බ්‍රාහ්මණාදින්ගේ ‍ඓශ්චර්‍ය්‍යය මැඩවපත්නේය. ඒ ඒ සත්තව නිකායෙහි සත්ත්වයන්ගේ එශ්චර්‍ය්‍යය සීලය ම කාරණාකොට ඇත්තේය.

“යොවවස්සසතංජීවෙ. දුස්සීලො අසමාහිතො

එකාහංජීවිතං සෙය්‍යො, සීලවන්තස්සඣායිනො”

යු බැවින්ද, දුස්සීල පුද්ගලයාගේ සියක් අවුරුදු ජීවත්වීමට වඩා සිල්වත් පුද්ගලයාගේ එකදවසකුත් ජීවත්වීම උතුම් වන්නේය. ශික්ෂා ප්‍රත්‍යක්ඛ්‍යාන කළ පුද්ගලයාගේ ජීවත්වීමට වඩා මරණය උතුම් වන්නේයයි වදාළ බැවින් සීලය ජීවිතයට වඩා විශිෂ්ඨතර වන්නේය. වෛරීන්ටත් මනෝඥබව ඵලවන බැවින්ද ජරාරොග විපත්තියෙන් මැඩ පැවැත්ත නොහැකි බැවින්ද සිලය රූප සම්පත්තිය ඉක්ම පවත්නේය.

පාසාද මණ්ඩප-කූටාගාර- සඳලු-මඩු ආදීවූ ස්ථාන විශේෂයන්ද රජ යුවරජ සෙනෙවිරත් ආදි ස්ථානාන්තර විශේෂයන්ද සීලය මැඩ පවත්නේය සැප විශෙෂයට පිහිටවන බැවින්ද ඒකාන්තයෙන් වැඩ සිඬකරණ හෙයින්ද, පරලොව යන්නාහු අනුවයන හෙයින්ද, ස්වභාවයෙන් ස්නේහීව අත්පා මෙහෙවර කරන්නවුන්ද බන්ධුජනයන් හා මිත්‍රජනයන්ද සීලය ඉක්ම පවත්නේය.

එහෙයින් වදාළහ බුදුහු:-


“නතම්මා තා පිතා කයිරා, අඤ්ඤෙවාපිවඤාතකා

සම්මාපණිහිතං චිත්තං, සෙය්‍යසො නං තතොකරෙ” යි

තවද, හස්ති, අශ්ව,රථ පදාති, සංඛ්‍යාත චතුරංගිනි සේනා වෙන්ද මන්ත්‍රෞෂධාදීවූ නොයෙක් ශාන්ති විධියෙන්ද, ආරක්ෂාව නොකොට හැකි හෙයින්ද, ආත්මාධීන හෙයින්ද; මහත්වූ විෂය ඇති බැවින්ද ශීලයම විශිෂ්ඨ තරවන්නේය. එහෙයින් වදාළහ. බුදුහු:-


“ ධම්මෝභවෙරක්ඛති ධම්මචාරී ධම්මොසුචිණ්ණො සුඛමාවභාති

එසා නි සංසො ධම්මෙ සුචිණ්ණෙ, නදුග්ගතිං ගච්ඡති ධම්මචාරී”


මෙසේ ශීලය අනෙක ප්‍රකාර ගුණයෙන්..සංස්කරණය

මෙසේ ශීලය අනෙක ප්‍රකාර ගුණයෙන් සමන්විතයයි සලකන්නාවූ පුද්ගලයන්ට අසම්පූර්ණ වූ සීල සමෘඬිය සම්පූර්ණ බවට පැමිණෙන්නේය. නොපිරි සිදුවු ශීලය පිරිසිදුවන්නේය. ඉදින් ඕහට අභ්‍යාසයෙන් ශීලයට විපක්ෂවූ රාග ‍වෙෂාදි අකුශල ධර්මයෝ අතුර’තුරෙහි උපදනාහු වීනම් ඒ බෝධිසත්ත්ව ප්‍රතිඥා ඇත්තහු විසින් මෙසේ සැලකිය යුත්තේය. කෙසේද ? යත්:-

“සත්පුරුෂය, තා විසින් සම්‍යක් සම්බොධි ඥානය ප්‍රාර්ථනා කරණ ලද ශීල පූර්ණයක් නැතිව ලෞකික සම්පත්තියටත් පැමිණෙන්නට නොපිළිවන. ලොකොත්තර සම්පත්තියටත් පැමිණෙන්ට කෑලම නොපිළිවන. සියලු සම්පත්තීන්ට අග්‍රවූ සම්‍යක් සම්බොධියට පිහිට වූ ශීලයෙන් උත්කෘෂ්ට බවට පැමිණිය යුතු නොවේද,” එසේ හෙයින්:-

“කිකීව අණ්ඩං චමරිව වාලධිං, පියංච පුත්තං නයනංච එකකං

නථෙව සීලං අනුරක්ඛ මානකා, සුපෙසලා හොථ සදා සගාරවා.”


යනාදීන් වදාරණ ලද ක්‍රමයෙන් මනාකොට ශිලය සංරක්ෂා කරන්නාවූ විසින් ඉතා ප්‍රියශීලී වියයුතුය. කවද තොප විසින් ශ්‍රාවකයානය , ප්‍රත්ත්‍යෙක බුඬයානය . සම්‍යක් සම්බොධියියානය, යන ත්‍රිවිධ ස්ථානයෙහි ධර්ම දේශනාවෙන් ඇතුළත් හා ශීල සමාධි ප්‍රඥාවෙන් මිහිකිරීම කටයුත්තේය. අපත්ථ්‍ය සෙවනය කරන්නාවූ පුරුෂයක්හට වෙදෙකු කරණ පිළියමක්මෙන් දුශ්ශීල පුද්ගලයාගේ වචනය සාරකෙටෙ නොගතයුත්තේය. එහෙයින්, මම කෙසේනම් ඇදහිලි කටයුතුව සත්ත්වයන්ගේ ත්‍රිවිධවූ බෝධියට ඇතුළත් කිරිම හා ශීල සමාධි ප්‍රඥාවන්ගේ මිහිකිරීම කෙරෙම්දැයි ස්වභාවයෙන් පිරිසිදු සිල් ඇතිවිය යුත්තේය. කිසිම ධ්‍ය‍නාදි ගුණ විශේෂයක් හා යෙදීම හේතුකොට ගෙණ මාගේ සත්තවයන්ට උපකාරකරන්ට සමර්ථ බවද ප්‍රඥා පාරමිතාදීන්ගේ පිරිමද ධ්‍යානාදිවූ ගුණ ධර්මයෝද, ශීල පාරිශුද්ධිය නැතිව නොවන්නාහුයයි මනාකොට ශීලය පිරිසිදු කටයුත්තේය.

තවද, “ගිහිගෙයි විසිම නම් ඉතා අවුල්වන්නේය. රාජෝපථයක් හා සමාන වන්නේය” යනාදීන් ගිහිගෙය ආදිනවද පංචකාමය නම් ඇට හැකිල්ලකට බඳුවූ උපමා ඇත්තේය යනාදීන් කාමයෙහි ආදිනවද පුරුෂයෙක් ණය ගෙණ වෙළඳාම් ආදීවූ ඒ ඒ කාර්‍ය්‍යයෙහි යොදාද යනාදීන් කාමච්ඡන්දාදියෙහි ආදීනව දැක්වීම පෙරදැරිකොට ප්‍රව්‍රජ්ජ්‍යාව නම් අබ්භයවකාශයක් හා සමාන වන්නේය. යනාදීන් පැවිදිවීමෙහි අනුසස් සැලකීම් වශයෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ප්‍රත්‍යවෙක්ෂා කටයුත්තේය.

තවද, ප්‍රඥාව නැතිව දානාදී කුශල ධර්මයෝ සිරිසුදු නොවන්නාහ.තම තමන්ගේ ක්‍රියා සිඬියෙහි සමර්ථ නොවන්නාහ යි ප්‍රඥාවෙහි ගුණ සිහිකට යුත්තේය. යම්සේ ජීවිතය නැතිව ශරීරය යන්ත්‍රය නොහොබීද, ස්ථාන නිසද්‍යාදීවු ඒ ඒ ක්‍රියායෙහි යෙදෙන්ට අසමර්ථවේද, යම්සේ චක්ෂුරාදීවූ පඤ්චේන්ද්‍රියයෝ විඥානය නැතිව තම තමන්ගේ විෂයයෙහි දර්ශන ශ්‍රවනාදී කෘත්‍යය කරන්ට අසමර්ථ වෙද්ද එපරිද්දෙන්ම ශ්‍රඬාදී ඉන්ද්‍රියයෝ ප්‍රඥාව හැර සවකෘත්‍ය ප්‍රතිපත්තියෙහි අසමර්ථ වන්නාහයි, ප්‍රඥාව පරිත්‍යාග ප්‍රතිපත්තියෙහි ප්‍රධාන කාරණයෙක් වන්නේය. දල්වන ලද ප්‍රඥා නැමැති ඇස් ඇති මහාබෝධිසත්ත්වවරයෝ තමන්ගේ හස්ත පාදාදිවූ අංග පරිත්‍යාගය කොටත් ආත්මෝත්කර්ෂය නොකෙරෙති. මෙරමාට නින්දත් නොකෙරෙති. බෙහෙත් රුකක් මෙන් විකල්ප රහිත වන්නාහ. අතීතාදි කාලත්‍රයයෙහිම හටගත්තාවූ සොම්නස් ඇතිවන්නාහ.ප්‍රඥා වශයෙන් උපාය-කෞශලල්‍ය ඥානය හා යෙදීම හේතුකොටගෙණ පරිත්‍යාගය පරහිත ප්‍රවෘත්තියෙන් දාන පාරමිතාවට පැමිණෙන්නේය. තමා සඳහා “භවභොග සම්පත් කැමැතිව දෙන දන් වැට යම්සේ තෙල් ඇතිතාක් පහන දිලියේද ඒ නැතිවිට නිවේද. එපරිද්දෙන්ම කර්මශක්තිය ඇති තාක්කල් විපාක දෙයි. ඒ කර්ම ශක්තිය නැතිවිට විපාක නොදෙන්නේය. මෙරමාට වරඩ සඳහා දුන් දන් වූකලි දාන පාරමිතා භාවයට පැමිණ තුන් බොධියෙන් එක්තරා බොධියක් දී මිස නොවන්නේය.


තවද, ප්‍රඥාව නැති කල්හි..සංස්කරණය

තවද, ප්‍රඥාව නැති කල්හි තෘෂ්ණා, දාෂ්ටි, මානාදි සංක්ලේශ ධර්මයන්ගේ නොනැසීම හේතුකොට ගෙණ ශීලවිශුඬිය නොවන්නේය. ශීලවිශුඬිය නැති කල්හි සර්ව ගුණයට පිහිට බවෙක් කෑලම නොම වන්නේය. නුවණැත්තා වූ සත්පුරුෂයාම ගිහිගෙයි විසීමෙහි, පංචකාම ගුණයෙහි, සංසාරයෙහි ආදීනව හා ප්‍රවෘජ්ජ්‍යායෙහි , ධ්‍යාන සම්පත්තියෙහි, නිර්වාණයෙහි, අනුසස් මනාකොට සලකන්නේය.පැවිදිව ධ්‍යාන සම්පත්ති උපදවා නිර්වාණයට නැමුණාවූ සිත් ඇතිව අවශේෂ සත්ත්වයනුත් ඒ ධ්‍යාන සමාපත්ති ආදියෙහි පිහිටුවනනේය. වීර්‍ය්‍යයත් ප්‍රඥාවත් නැතිව නුවණින් යුක්ත වීර්‍ය්‍යයක් නොවන්නේය යන හෙයින් කැමැත්තක් සිද්ධකොටගත නොහෙන්නේය. ප්‍රඥාවෙන් යුක්ත නොවී කරන්නාවූ කාරියටත් වඩා නොකොට තබාපිම්ම උතුම් වන්නේය. ප්‍රඥා සහිත වීර්‍ය්‍යයෙන් කරන්නට පටන්ගත් කාර්‍ය්‍යය උපායෙන් යුක්තව කරණ හෙයින් අතුරෙහි තිබී නොගොස් වහා සමෘඬ වන්නේය. තවද, නුවණැති පුද්ගලයාම අනුන් විසින් කරණ අනුපකාරය සහනය කරන්නේය. බලවත් ප්‍රඥා ඇති සත්තවයා මෙරමා විසින් කරණ ලද අපරාධ ක්ෂාන්තියට ප්‍රතිපක්ෂවම මතුමත්තෙහි වැඩෙන්නේය.නුවණැත්තාවූ සත්ත්වයා විසින් කරණලද අපරාධක්ෂාන්තියම මතු මත්තෙහි අභිවෘධි කිරීම වශයෙන් ස්ථීරත්වය පිණිස පවත්නේය. තවද ප්‍රඥාවෙන්ම වාක් සත්‍යය, වීරති සත්‍යය, පරමාර්ථ සත්‍යය යන ත්‍රිවිධ සත්‍යයද ඒ ත්‍රිවිධ සත්‍යයන්ගේ උත්පත්ති කාරණද ඔවුන්ට ප්‍රතිපක්ෂ ධර්මයන්ද තත්වු පරිද්දෙන් දැන මෙරමාහට ද්වේෂකොට වරදවා නොකියන්නේය. ප්‍රඥා බලයෙන් තමා උපස්ථම්භකොට ධෛර්‍ය්‍ය සම්පත්තියෙන් සියලු පාරමිතා වෙහි අචල සමාදානයෙන් පිහිටන්නේය. තවද ප්‍රඥාවෙන්ම ප්‍රිය, මධ්‍යස්ත වෛරී පුද්ගලයන් කෙරෙහි විභාගයක් නොකොට හැම සතුන් කෙරෙහි මෛත්‍රී ඵලවන්නට සමර්ථවන්නේය. තවද, ප්‍රඥා වශයෙන් ලාභය, අලාභය, යසසස, අයසය, නින්දය, පසංසාය, සුඛය, දුක්ඛය යන අෂ්ටලොක ධර්මය තමහට පැමිණි කල්හි එහි නිර්විකාරිව මධ්‍යස්ථ වන්නේය. මෙසේ සියලු පාරමිතාවන්ට ප්‍රඥාවම නිර්මල කාරණයෙකැයි ප්‍රඥාණය ප්‍රත්‍යවෙක්ෂා කටයුත්තේය.තවද ප්‍රඥාව නැතිව ප්‍රථම මාර්ග සම්පත්තියත් නොවන්නේය. දෘෂ්ටි සම්පත්තියත් නොවන්නේය. ශීල සම්පත්තියත් නොවන්නේය. ශීල දෘෂ්ටි සම්පත් නැත්තාහට සමාධි සම්පත්තියත් නැත්තේය. චිත්ත සමාධිකරන්ට අසමර්ථවූ පුද්ගලයා විසින් මාර්ග ඵල ආදී ආත්ම හිත මාත්‍රයකුත් සිද්ධකරන්ට නොපිළිවන. උත්කර්ෂයට පැමිණියාවූ පරහිතය කෑලම සිද්ධකරන්ට නොපිළිවන් ව‍න්නේයයි පරහිත ප්‍රතිපත්තියෙහි යෙදෙන්නාවූ තොපවිසින් සකස්කොට ප්‍රඥාව පිරිසිදු කිරීමෙහි අභ්‍යාස කටයුත්තේයයි බොධිසත්ත්වයන් තමන්ම තමන්ට අවවාද කටයුත්තේය.

තවද, ප්‍රඥානුභාවයෙන් මහාබොධි සත්ත්වයො සත්‍යාධිෂ්ඨානය, ත්‍යාගාධිෂ්ඨානය, උපස්මාධිෂ්ඨානය, ප්‍රඥාධිෂ්ඨානය යන චතුරාධිෂ්ඨානයෙහි පිහිටා දාන, ප්‍රිය වචන, අර්ත්ථ චරියා, සමානාත්මතායයි කියන ලද සතර සංග්‍රහ වස්තුවෙන් ලොවට අනුග්‍රහ කෙරෙමින් සත්ත්වයන් නෛර්‍ය්‍යාණික මාර්ගයට ඇතුළත් කරන්නාහුය.ඒ සත්ත්වයන්ගේ ශ්‍රඬාදී ඉන්ද්‍රියයනුදු මුහුකුරුවන්නාහුය. තවද ප්‍රඥාබලයෙන්, රූපස්කන්ධය, වෙදනාස්කන්ධයථ සංඥිස්කන්ධය, සංස්කාරාස්කන්ධය, විඥානස්කන්ධය යන පංචස්කන්ධයෙහිද චක්ඛායතන සොතායතනාදී වාදසායතන යෙහිද, චක්ඛු ධාතු, සොත ධාතු, ආදී වු අෂ්ටාදශ ධාතුයෙහිද විනි විද පවත්නා වූ නුවණ ඇතිව සංසාර ප්‍රවෘත්තිය හා සංසාර නිරොධයද, තත්වූ පරිද්දෙන් දැන දානාදීවූ ගුණයන් විශෙෂයෙන් අභිවෘඬි කරණබවට පුමුණුවමින් බෝධිසත්ව චරිතය සම්පූර්ණව කරන්නේය යනාදීන් අනෙකප්‍රකාරයෙන් ප්‍රඥා ගුණය මනාකොට සලකා ප්‍රඥා පාරමිතාව මනාකොට වැඩිය යුත්තේය.

තවද පෙනේනා වූ නිෂ්ඨා ඇති ලෞකික සත්ත්වයන් විසින් කළමනා කාර්‍ය්‍ය හීනවීර්‍ය්‍ය පුද්ගල තෙමේ කොට නිමවා ගත නොහෙන්නේය. දෘඨවීර්‍ය්‍ය ඇති දුක් පරික්ෂා නොකරන්නාවූ පුද්ගලයාම පටන්ගත් කාර්‍ය්‍යය අතුරෙහි නොතබා සිඬකොට සමෘඬ කරන්නේය. තවද, හීන වීර්‍ය්‍ය සත්ත්වතෙම සංසාර නැමැති මහ වතුරෙන් සියලු සත්ත්වයන්එතර කෙරෙමියි නිස්තරණයට පටන් ගන්නටම අසමර්ථ වන්නේය.මඬ්‍යම පුද්ගලයා පටන් ගෙණ අතුරෙහිම නිමාවට පැමිණෙන්නේය. උත්කෘෂ්ටවූ වීර්‍ය්‍ය ඇති පුද්ගලයා වූකලි ආත්ම සැපයෙහි අපෙක්ෂාවක් නැතිව සසර සයුරෙන් එතර කරන්ට සිතූ සත්ත්වයන් පරතෙරට පමුණුවාම නිෂ්ඨාව දක්නේයයා වීර්‍ය්‍ය සම්පත්තියත් ප්‍රත්‍යවෙක්ෂා කටයුත්තේය.

තවද, රාගාදිවූ දෝෂ සමූහයන් මඳ නැඟි අතුන් පරිද්දෙන් නොවැළකිය හැකි බැවින්ද, රාගාදීන් මුල්කොට ඇති පාප කර්මයන්ගේ සමාදානය හිස් ගසන්නට ඔසවාගත් කඩු ඇති වධක පුරුෂයක්හු හා සමාන බැවින්ද ඒ පාප කර්මය කරණකොටගෙන නරකාදී වු සතර අපාය හැමකලම හළදොර ඇති බැවින්ද, ඒ අකුශල කර්මයෙහි යොදන්නාවූ පාප මිත්‍රයන් හැම කලම සමීපයෙහි ගැවසීගෙණ සිටිනා බැවින්ද, ඒ පාප මිත්‍රයන් කීවා කරණ බැවින්ද, අකුශල විපාක එළවූ පුථුජ්ජන බව ඇති කල්හි සංසාර දුඃඛයෙන් තමාම මිදී යන්නට වටනේය යන මිථ්‍යා විතර්කය වීර්‍ය්‍යානුභාවයෙන් දුරුකරන්නේ යයි කියාද, ඉදින් ආත්මාධින වීර්‍ය්‍යයෙන් සම්‍යක් සම්බොධියට පැමිණෙන්නට පිළිවන් වී නම් එබඳුවූ වීර්‍ය්‍ය කිරීමෙහි දුෂ්කර කවරේද? යනාදි ක්‍රමයෙන් වීර්‍ය්‍ය ගුණය ප්‍රත්‍යවෙක්ෂා ක‍ටයුත්තේය.


තවද ක්ෂාන්තිය නම් ..සංස්කරණය

තවද ක්ෂාන්තිය නම් නිරශෙෂ ගුණයන්ට ප්‍රතිපක්ෂවූ ක්‍රොධය නසන හෙයින් ගුණසමෘධිය කිරීමෙහි සත්පුරුෂ ජනයන්ට තියුණුවු ආයුධයක් හා සමානවනනේය. සතුරන් මැඩපැවැත්වීමෙහි සමර්ථයන්ට සැර හීයක් හා සමානවන්නේය. ශ්‍රමණ බ්‍රහ්මණයන්ට බලසමෘඬියක් හා සමානවන්නේය. කොධ නැමැති වහ්නිය නැසීමට ජලධාරාවක්හා සමානවන්නේය. සුන්දරවූ කීර්ති ඝොෂාවට වචන නැමැති විෂය නැසීමට මන්ත්‍රෞෂධයක් හා සමාන වන්නේය. ගම් හිරවූ ප්‍රකෘති ඇති බැවින් සමුද්‍රය හා සමාන වන්නේය. වෙෂ නැමැති සාගරයට වෙරළක් හා සමාන වන්නේය. අපායෙහි දොරකඩ වැසීමට දොර පෝරුවක් හා සමාන වන්නේය. දිව්‍ය බ්‍රහ්මලොකයට නැගීමට හිණක් හා සමාන වනනේය. සියලු ගුණයන්ගේ විසීමට භූමියක් හා සමාන වන්නේය. උතුම්වූ කාය වාඩ් මනස් යන චාරත්‍රයය පිරිසිදු කිරීමෙකැයි සැලකිය යුත්තේය.තවද ලෝකයෙහි සත්ත්වයෝ ක්ෂාන්ති සම්පත්තිය නැති බැවින් සන්තාපකරවූ ක්‍රොධ ධර්මය අනුවගිය බව හෙතුකොට ගෙණ මෙලොවත් පරලොවත් තැවුලියට පැමිණෙන්නාහුය. ඉදින් මෙරමාට අනුපකාරයට කාරණවූ දුක් උපදී නම් ඒ දුක්ඛයට ක්ෂේත්‍රවූ ආත්මභාවයද, ඊට බිජුවටක් වැනි වූ කර්මයද මා විසින් ඇති කරණලදැයි කියාද එම දුකට මේ ක්ෂාන්තිය දුරදී නොවෙයි කියාද අනුපකාර කරන්නක්හු නැති කල්හි කෙසේනම් මට ක්ෂාන්ති සම්පත්තිය ලැබේදැයි කියාද සැලකිය යුත්තේය. ඉදින් දැන් මෙතෙම මට අනුපකාරි වි නමුත් පෙර මොහු විසින් මට මේ නම් උපකාරයක් කරන ලද්දේ වේදැයි අනුපකාරයම හෝ ක්ෂාන්තියට කාරණ බැවින් උපකාරි වන්නේ යයි කියාද, මේ සියලු සත්ත්වයෝ මට පුත්‍රයන් හා සදෘශ වෙති. දරුවන් විසින් කරණ අපරාධයකට කවරෙක් නම් කිපේදැයි කියාද,යම් ක්‍රොධයක් නැමැති යක්ෂාවේෂයකින් මේ පුද්ගලයා මට අපරාධයක් කරන්නේ වීනම් ඒක්‍රොධය නැමැති යක්ෂා වෙෂය මා විසින් දුරුකටයුත්තේ යයි කියාද, යම් අපරාධයක් හෙතුකොට ගෙණ මට මේ දුක් උපදින්නේ වී නම් ඒ අනුපකාරයට මම ම කාරණ වෙමි’යි කියාද, යම් ධර්මකෙනෙකුන් කරණ කොටගෙණ අපරාධ කරණලද්දේද යමක්හු විෂයෙහි අපරාධ කරණ ලද්දේද ඒ සියල්ලෝ එකෙනෙහිම නිරුඬවූහ. දැන් වූ කලි මේ ක්‍රොධය කවුරුන් විෂය කොට කරන්නාවු ක්‍රොධයෙක් දැයි සියලු ධර්මයන් ක්ෂණයෙක ඉපද නස්නා බැවින් කවරෙක් කවරක් හට අපරාධ කෙරේදැයි කියාද ප්‍රත්‍යවෙක්ෂා කරන්නහු විසින් ක්ෂාන්ති සම්පත්තිය වැඩිය යුත්තේය.

ඉදින් මෝහට බොහෝ කලක් පුරුදු වීමෙන් පරෝපකාරය නිමිත්තකොට ඇති ක්‍රොධය සිත වැළඳ සිටින්නේ වීනම් මෙසේ සැලකිය යුත්තේය. කෙසේද ? යත්:-

මේ ක්ෂාන්තිය නම් අනුන් කළ අනුපකාරයට ප්‍රතිපක්ෂ ප්‍රවෘත්තියෙක පරොපකාරය වර්ධනය කිරීමට නිසි උපකරණයෙක් වන්නේ යයි කියාද, අපකාරයම මට දුක් ඉපදවීමෙන් සැදැහැ ඉපදවීමට හා සියලු ලෝකයෙහි අනභිරති සංඥාවට ප්‍රත්‍යය වන්නේයයි කියාද යන මේ ඊෂ්ටා’නිෂ්ටරූපාදි ආලම්බනය හා සංයොගයෙක් ඇත් නම් එතෙම් චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ගේ ස්වභාව කෘත්‍යයෙක් වන්නේය. ඒ අනිෂ්ට වූ රූපාදි ආලම්භනය හා සංයෝගය මට නොවන්නේය. යන යම් සිතිවිල්ලෙක් ඇත්නම් එතෙමේ ඒකාන්තයෙන් එසේ වූ සිතිවිල්ලෙක් නොලැබිය හැක්කේයයි කියාද, ක්‍රොධවසඟයට පැමිණියා වූ සත්ත්වයා ක්‍රොධයෙන් උන්මාදයට හා වික්ෂෙපයට පැමිණියේය. එසේවූ ක්‍රොධී සත්ත්වයා විෂයෙහි ප්‍රත්‍යුපකාර කිරීමෙන් ප්‍රයෝජන කවරේදැයි කියාද මේ සියලු සත්ත්වයෝ සර්වඥයන් වහන්සේ විසින් ඖරෂ පුත්‍රයන් මෙන් රක්ෂාකරණ ලද්දාහ. එසේහෙයින් එසේවූ සත්ත්වයන් විෂයෙහි මාවිසින් චිත්තකෝපය නොකොට යුත්තේ යයි කියාද, අපරාධයත් ගුණයත් යමක්හට ඇත්නම් අපරාධය දුරුකොට ගුණවත් වූ මොහු කෙරෙහි මා විසින් චිත්තකෝප නොකොට යුත්තේයයි කියාද, ගුණයක් නැතිකල්හි දයාව කටයුතු හෙයින් කොපයෙන් මාගේ ගුණ හා යසස් පිරිහෙන්නේ යයි කියාද ක්ෂාන්ති වැඩිය යුත්තේය.එයින් වදාළහ. බුදුහු:-

“අග්ගිව තිණකඨස්මිං, කොධො යස්ස පවඩ්ඨති

නිභීයති තස්ස යසො, කාළපක්ඛෙව චන්දිමා” යි

තවද, කිපිමෙන් මට දුර්වර්ණ දුක්ඛසෙය්‍යාදී වූ සතුරන් සිත් පිණවන මිතුරන් සිත් තවන අමනොඥ ස්වරූප පැමිණෙන්නේ යයි කියාද, මේ ක්‍රොධය නම් අවැඩට කාරණා වු සියලු වැඩ නසන්නාවු, බලවත් පසමිතුරෙකැයි කියාද,ක්ෂාන්තිය ඇති කල්හි සතුරුව සිටිනා කිසිකෙනෙක් නැතැයි කියාද අපරාධ කළ එක්කහු විසින් තමා කළ අපරාධය කරණකොට මත්තෙහි ලැබිය යුතු දුඃඛය මට ක්ෂාන්තිය උපන්කල්හි ඒ දුක් නොවන්නේයයි කියාද, කිපෙන්නාවූ මා විසින් පසමිතුරාම අනුවර්තනය කරණ ලද්දේයයි කියාද, මා විසින් කෂාන්තියෙන් ක්‍රොධය මැඬ පැවති කල්හි ඒ ක්‍රොධයට දසපස මිතුරා මනාකොට මඬනා ලද්දේ යයි කියාද, අකොධයට කාරණාවූ ක්ෂාන්ති ගුණය හැරීම මට සුදුසු නොවෙයි කියාද, ගුණ විනාශය කරන්නා වූ ක්‍රොධය ඇති කල්හි මට ශීලසමෘඬ්‍යාදිවූ ගුණධර්මයෝ කෙසේ නම් මම සත්ත්වයන්ට උපකාර බහුලව ප්‍රතිඥාරූප උතුම් බුදුබවට පැමිණෙම්දැයි කියාද ක්ෂාන්තියෙහි අනුසස් සැලකිය යුත්තේය.

තවද, ක්ෂාන්තිය ඇති කල්හි සිතට වික්ෂෙපයක් නැති බැවින් එකඟවූ සිත් ඇත්තාහට සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය හෙයින් දුඃඛ හෙයින්ද අනාත්ම හෙයින්ද, නිර්වාණ ධර්මය අසංස්කෘතා’මෘතශාන්ත ප්‍රණිතා’දි භාවයෙන්ද අචින්ත්‍යවූ අප්‍රමෙයවූ මහිම ඇති බුඬධර්මයෝ අප්‍රමෙය්‍යාදී භාවයෙන්ද වැටහෙන්නාහ. එසේ හෙයින්ම මාර්ගා’නුලොම වූ ක්ෂාන්තියෙහි පිහිටියේ මේ සියලු සංස්කාරාදීහු ආත්ම ආත්මීය බවක් නැත්තාහු ධර්මාමෘතව තමන් තමන්ගේ ප්‍රත්‍යයයෙන් උපදනාහුද නස්නාහුද වෙති. කිසිතැනකින් නොඑති.කිසි තැනක නොපිහිටති. මේ ධර්මයන් අතුරෙහි තුසිවෙක් කිසිවක්හුගේ කාර්‍ය්‍යයෙහි ව්‍යාවෘත නොවන්නේය. “මමය මාගේය යන අහංකාර මමිංකාරයට පිහිට නොවන බව” නුවණට වැටහෙන්නේය. යම් වැටහීමක් නිසා බොධිසත්ත්වයෝ සම්‍යක් සම්බොධියට නියතව නැවත පසු බස්නා වූ ස්වභාවයක් නැතිවෙද්ද යනාදීන් ක්ෂාන්ති පාරමිතාවෙහි ප්‍රත්‍යවෙක්ෂාව දත යුත්තේය.


තවද, සත්‍යය නැතිව ..සංස්කරණය

තවද, සත්‍යය නැතිව ශීල, සමාධි, ප්‍රඥා ඇදී වූ ගුණධර්මයන්ගේ ලැබිමක් නැති හෙයින්ද සත්‍යය නැතිවැ ප්‍රඥාවට සුදුසු ප්‍රතිපත්තියෙහි පිහිටීමක් නැති හෙයින්ද සත්‍යධර්මය ඉක්ම පැවැති කල්හි සියලු පාපධර්මයන් අවුත් වදනා බැවින්ද සත්‍යය උතුම්වූ ගුණ ඇත්තේ යයි මෙනෙහි කටයුත්තේය. එයින් වදාළහ. බුදුහු:-


“ එක ධම්මං අතිතස්ස.මුසාවාදිස්ස ජන්තුනො

විතිණ්ණ පරලොකස්ස, නත්ථිපපං අකාරියං” යි

තවද, අසත්‍යයෙන් ඔවුනොවුන් සන්ධානය කරන්නා වූ පුද්ගලයාගේ වචනය කාරියට ඇදහිළි නොකළ හැකි බැවින්ද, මත්තෙහිත් සත්පුරුෂයන් පිළිබඳ කාරියකට ඔහු බස් නොගත හැකි හෙයින්ද, සත්‍ය සමාදානය ඇත්තාහට ශිල සමෘඩ්‍යාදී සියලු ගුණයන් පිහිටවන බැවින්ද, සත්‍යාධිෂ්ඨානයෙන් සියලු බොධිසම්භාර ධර්මයන් පිරිසිදුව සම්පූර්ණ බවට පැමිණණෙන හහෙයින්ද සත්‍යධර්මය නොවැරදි වීමෙන් සියලු බොධි සම්භාර කෘත්‍යය සමෘධ කරණ හෙයින්ද සත්‍යධර්මයෙන්ම බොධිසත්ත්ව ප්‍රතිපත්තිය නිෂ්ඨාවට පැමිණෙන හෙයින්ද යනාදීන් සත්‍යපාරමිතා යෙහි ආනිසංස සමෘධිය ප්‍රත්‍යවෙක්ෂා කටයුත්තේය.

තවද දානදීයෙහි දෘඪසමාදානයක් නැතිව ඒ දානාදීන්ට ප්‍රතිපක්ෂධර්මයන් සන්තානයෙහි රැස්වූ කල්හි නිශ්චලව පිහිටීමක් නැතිව අචලාධිෂ්ඨානයෙහිදු ධීරවීර භාවයක් නැතිව. දානාදීවූ බෝධිසම්භාර ධර්මයෝ සම්‍යක් සම්බෝධියට කාරණ නොවන්නාහුය. මේ ආදී ක්‍රමයෙන් අධිෂ්ඨාන පාරමිතා යෙහි ගුණ සැලකිය යුත්තේය.

තවද, ආත්මහිත මාත්‍රයෙක පිහිටන්නාහු විසිනුදු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සිතක් නැතිව ඓහ ලෞකික සම්පත්තියට පැමිණෙන්ට නොපිළිවන් වන්නේයයි සැලකිය යුත්තේය. සියලු සත්ත්වයන් නිර්වාණ සම්පත්තියෙහි පිහිටුවන්නට සිතන්නාහු විසින් සත්ත්වහිතය නැතිව කෑලම සියලු සම්පත්තියට පැමිණෙන්ට නොපිළිවන් වන්නේයයි කියාද, පසුව සියලු ලොකොත්තර සම්පත්තිය කැමැත්තහු විසින් දැන් ලෞකික සම්පත්තියෙහි අපෙක්ෂාව සුදුසු යයි කියාද, දැන් ආසා පමණකින් මෙරමාහට හිතසැප එළවන්ට අසමර්ථවූයෙම් වී නම් කවර කලෙක ප්‍රයොග ශක්තීන් හිත සැපය සිඬකෙරෙම් දැයි කියාද, දැන් මා විසින් ඉහාත්මභාවයෙහි සැප ඔළවීමෙන් වර්ධනය කරණ ලද්දහු පසුව මට ධර්මසංවිභාගයට සහාය වන්නො වේදැයි කියාද, මේ සියලු සත්ත්වයන් නැතිව මට බොධි සම්භාර ධර්මයොසම්භ නොවන්නාහු යයි කියාද, එසේ හෙයින් සියලු සර්වඥගුණ විභූතිය සිද්ධකරන්ට කාරණා බැවින් මේ සියලු සත්ත්වයෝ මට උතුම්වූ ගෞරවස්ථානයෙකැයි කියාද, ඉතා විශෙෂකොට සයලුම සත්ත්වයන් කෙරෙහි හිතාඞ්‍යාශය එළවිය යුත්තේය. බොහෝ කොට කීමෙන් ප්‍රයෝජන කිම්ද ? කරුණාවට පිහිට බැවින්ම සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වර්ධනය කටයුත්තේය.නිරවධීව පවත්නාහට ඒ සත්ත්වයන්ගේ චිත්ත සන්තාපය කරන්නා වූ දුක් දුරුකරණු කැමැති බලවත්වූ ත්‍රෛිය උපදනේය. ස්ථිරවූ මුල් ඇති කර්ණාව සියලු බුද්ධකාරක ධර්මයන්ට ප්‍රථම ක්‍රියා වෙක; පාදයෙක; ප්‍රතිෂ්ඨාවෙක; මූලකාරණයෙක; උපාය මාර්ගයෙක යන මේ ආදී කාරණයෙන් මෛත්‍රියෙහි ගුණ සැලකිය යුත්තේය.

තවද. උපෙක්ෂාව නැති කල්හි සියලු සත්ත්වයන් විසින් කරණ ලද විප්‍රකාරය සිතට විකාර උපදවන්නේය. චිත්තවිකාරය ඇති කල්හි දාන සිලාදී බොධි සම්බාර ධර්මයන්ගේ ලැබීමෙක්ම නැතැයි කියාද, මෙත්තා කරුණා මුදිතා සංඛ්‍යාත ස්නේහයෙන් පිණවන ලද සිත්හි උපෙක්ෂාව නැතිව බොධිසම්භාරයන්ගේ පිරිසිදු බවෙක් නොවන්නේ යයි කියාද, කියන ලද උපෙක්ෂාව නැත්තේ. බෝධිසම්භාරයෙහි කුසලසම්භාරය හා එහි විපාකය සත්ත්වයන්ට වැඩ පිණිස පිරිනමන්ට අසමර්ථ වන්නේයයි කියාද, උපෙක්ෂාව නැති කල්හි දායක ප්‍රතිග්‍රහක දෙදෙනා කෙරෙහි වෙනසක් නැති කොට වස්තු පරිත්‍යාගය කරන්ට නොපිළිවන් වන්නේයයි කියාද. උපෙක්ෂාව නැතිකල්හි ජිවිත ප්‍රවෘත්තියට සුදුසු වස්තුන්ගේත් ජීවිතයෙහිත් අන්තරාය සිහි නොකොට සිල් පිරිසිදු කරන්ට නොපිළිවනැයි කියාද, උපෙක්ෂා වශයෙන්ම වස්තුවෙහි ඇල්ම සහනය කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය බලය සිඬවන හෙයින්ද, උත්පත්ති හෙයින් බැලීම් වශයෙන්ම බොධිසම්භාර කෘත්‍යය සමෘඬවන හෙයින්ද. අධික වීර්‍ය්‍ය ඇත්තාහට උපෙක්ෂා නොකිරිමෙහි වීර්‍ය්‍ය කෘත්‍යය ඔලීනව කරණ හෙයින්ද උපෙක්ෂාවෙන් යුක්තයහටම චින්තාව සම්භවන හෙයින්ද, උපෙක්ෂා වශයෙන්ම සත්ත්ව සංස්කාරයන් නොවරදවා කියන හෙයින්ද, අෂ්ට ලොකධර්මයන්ට උපෙක්ෂාවීමෙන් තමා විසින් සමාදන් වනලද සියලු ධර්මයෙහි නිශ්චලව පිහිටිම සිඬවන හෙයින්ද, පරොපකාරාදියෙහි අනාභොග වශයෙන්ම මෛත්‍රී පාරමිතාව සිඬවන හෙයින්ද, සියලු බොධිසම්භාරධර්මයන්ගේ සමාදානය, අධිෂ්ඨානය, පරිපූර්ණය, නිෂ්පත්තිය යන මේ සියල්ල උපෙක්ෂානු භාවයෙන්ම සමෘඬ වන්නේය, යන මේ ආදි ක්‍රමයෙන් උපෙක්ෂා පාරමිතාව ප්‍රත්‍යවෙක්ෂා කටයුත්තේය. මෙසේ අපරිත්‍යාග පරිත්‍යාගාදියෙහි ක්‍රමයෙන් ආදීනවා’නිසංස ප්‍රත්‍යවෙක්ෂා කිරීම දානාදී සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යයෙකැයි දතයුත්තේය.