විකිපොත්:වැලිපිල්ල

සීහළවත්ථුප්පකරණය

සංස්කරණය

සීහළවත්ථුවේ සිංහල අනුවාදය

ඉතා පැරණි සිංහල බණ කථා

පටුන වෙත


රචක

කණ්ටකසෝල පටුනේ විසූ

ආචාර්‍ය්‍ය ධම්මනන්දි මහතෙර



අනුවාදක

අම්බලම්ගොඩ, පොල්වත්තේ අග්ගාරාමාධිපති

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත

කල්‍යාණිවංස නිකායේ මහානායක ස්ථවිර




ඉතා පැරණි

සිංහල බණ කථා


පෙරවදන

“සීහළවත්‍ථු” නමැති පාළිපොත වනාහි විනාශමුඛයෙන් යන්තම් බේරා ගන්නා ලද්දකි. මෙහි ලක්දිව පිළිබඳ කථා රාශියක් ඇතත් සිංහල අකුරෙන් ලියැවුණු පොතක් තවම දකින්ට නොලැබුණි. කුඩා කාලයේදී සීහළවත්ථු - සහස්සවත්ථු යන පොත්දෙකේ නම් වත් මට අසන්ට නොලැබුණි. නමුත් 1908 වර්ෂයේ මා රැන්ගුන් නුවර සිටියදී මේ නම් දෙකම මට දකින්ට ලැබුණි. ඒවා දකින්ට ලැබුණේ ඒ නුවර මහා විද්‍යාලය භූමියෙහි තිබුණු බර්නාඩ් නිදහස් පුස්තකාලයේ පොත් ලැයිස්තු වලිනි. ඒ කාලයේදී නිතර මා ඒ පුස්තකාලයට ගොස් දුර්ලභ පොත් කීපයක් පිටපත් කරගත් නමුත් මාගේ සැලකිල්ල වැඩිපුර යොමුවී තිබුණේ අභිධර්මය පිළිබඳ පොත් කෙරෙහිය. පරමත්‍ථවිනිච්ඡය හා එහි ටීකාව, අභිධම්මාවතාරයේ සංක්‍ෂිප්තටීකාව, නාමරූප පරිච්ඡේදටීකාව ආදි පොත් කීපයක් මම සියතින්ම පිටපත් කරගතිමි. කථා වස්තු පොත් ගැන වැඩි ඕනෑකමක් නොතිබුණු බැවින් සීහළ වත්‍ථුව පිටපත් කරන්ට අදහස් නොකෙළෙමි.

පසු කලකදී සීහළවත්‍ථු - සහස්සවත්‍ථු දෙකෙන් අපේ ඉතිහාසය හා සිරිත් විරිත් ආදිය දැනගැනීමට උපකාර ලැබිය හැකියයි වැටහී ඒවා සෙවීමට උනන්දුවක් ඇතිවිය. මෙසේ සිටිනාතර ස-හස්ස (= සහාස) වත්‍ථුව ශුද්ධකොට සකස් කිරීමට මහාචාර්ය මලලසේකර මහතා උනන්දුවක් දැක්වීය. ස-හස්ස වත්‍ථුවේ පිටපතක් බර්නාඩ් පුස්තකාලයේ ඇති බව ඒ මහතාට දන්වා එහි අංකය ද යවා පිටපතක් ලියවාගන්නා ලෙස දැනුම් දුනිමි. එසේ ගෙන්වාගත් පිටපතක් ලංකා විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙහි ඇති බව පෙනේ. සීහළවත්‍ථු නාමය යෙදී ඇත්තේ ඒ ස-හස්සවත්‍ථුවටම ද යන සැකයක් ද ඇතිවූ බැවින් සීහළවත්‍ථුව ගැන ඒ මහතාගේත් උනන්දුවක් ඇති නොවීය.

මෙසේ පවත්නාතර දැන් විශ්ව විද්‍යාලය පුස්තකාලයේ උප ප්‍ර‍ධානතැනව සිටින කේ.ඩී. සෝමදාස (බී.ඒ.,ඇම්.ඇස්.) මහතා දකුණු පළාතේ පන්සල් පොත්ගුල්වල තිබෙන පුස්කොළපොත්වල නාමාවලියක් සම්පාදනය කළේය. එයින් මහත් ප්‍රයෝජන අත්විය. මෙරට නැතැයි අප සිතා සිටි පොත් කීපයක්ම, ඒ ඒ තැන තිබෙන බව එයින් දැනගන්ට ලැබුණි. විසුද්ධිමග්ගගණ්ඨි නැමැති පාලි පොතක් ඇති බව අපි නොදැන සිටියෙමු. නමුත් පාලි උගත් ඉන්දීය පණ්ඩිතයන් අතරෙහි අග්‍ර‍ගණ්‍ය වූ දැන් දිල්ලි විශ්ව විද්‍යාලයේ බෞද්ධාගමික අංශයේ ප්‍ර‍ධාන තැන්පත් පී.වී. බාපත් (ඇම්.ඒ, පී.එච්.ඩී.) මහතාට සියම් අකුරෙන් ලියූ ඒ පොතක් දකින්ට ලැබී ලක්දිවින්ද පිටපත් සෙවීම පිණිස 1950 දී මෙරටට පැමිණියේය. බොහෝ කලකට පෙරසිට මාගේ මිත්‍රයෙක්ව සිටි ඒ මහතාට විසුද්ධිමග්ගණ්ඨිය තිබෙන තැන් දෙකක් ගැන සෝමදාස මහතා දැනුම් දී තිබුණි. ඒවා ලබාගැනීමට පඬිතුමා මා වෙත පැමිණ මාගේ උපකාරය සෙවීය. මම ඒ පඬිවරයා සමග බූස්සේ සුදර්‍ශනාරාමයටද මාදම්පේ නිග්‍රොධාරාමයටද ගොස් ඉතා අමාරුවෙන් පොත් සපයා දුනිමි. ඉන්පසු පින්වත්තේ සඬර්‍මාකර පිරිවෙණාධිපති පණ්ඩිත දේවානන්ද ස්ථවිරතුමන් විසින් එය මුද්‍ර‍ණයට පමුණුවන ලදි.

සීහළවත්‍ථුවේ බුරුම අකුරෙන් ලියූ එකම පිටපතක් වැලිතර අම්බරුක්ඛාරාම පුස්තකාලයේ තිබී සෝමදාස මහතාට දකින්ට ලැබුණි. දිරාගිය බැවින් තැනින් තැනින් කැඩී යන ඒ පුස්කොළ පොත විශේෂයෙන් සෑදවූ පෙට්ටියක තැන්පත් කළ ඒ මහතා එය සිංහල අකුරෙන් පිටපත් කිරීම සඳහා මා වෙත එවීය. මම ද ඉතා කැමැත්තෙන් එය බාරගත් නමුත් පුස්කොළවල වාටිය කැඩී යාමෙන් ඇතැම් අකුරුද කැඩී ගොස් තිබුණ බැවින් ඇතැම් තැන්වල වචන තුනහතර නැතිව පිටපත් කරන්නට සිදුවිය. පසුකලක සෝමදාස මහතා ලක්දිව සැමතන තිබෙන පුස්කොළ පොත්වල නාමාවලියක් සපයා ගත් නමුත් සිහළවත්‍ථුවේ අන්‍ය පිටපතක් ඒ මහතාට සොයාගත නොහැකි විය. මා පිටපත් කළ පොතේ ප්‍ර‍වෘත්ති සිළුමිණ පත්‍රයේ පළවූ විට 1923 වර්‍ෂයේදී බුරුම රටට ගොස් සිටි හුණුමුල්ලේ සඬම්මඤාණ ස්ථවිරතුමන් විසින් එහිදී දිරාගිය පුස්කොළ පොතකින් පිටපත් කරගෙන තිබුනු පැන්සලෙන් ලියූ අත්කොපියක් මා වෙත එවන ලදී. එයින් ප්‍රීතියට පත් මම මා ලියාගත් පිටපත සමග සසඳා බලා පුස්කොළ කැඩීයාමෙන් අඩුවූ තැන් බොහොමයක් පුරවා ගත්තෙමි. අඹගහපිටියේ තිබෙන පොත ලක්දිවට ගෙනැවිත් අවුරුදු එක්සිය හැටක් පමණ ගතවෙන්ට ඇත. සඬම්මඤාණ ස්ථවිරතුමාට බුරුමේදී ලැබුණ පොතත් දිරා ගිය එකකැයි කියන බැවින් ඒ පොතත් අවුරුදු සියගණනක් පරණ වූවකි. නමුත් මේ බුරුම පිටපත් දෙකම ලියාගෙන තිබෙන්නේ එකම මුල්පිටපතකින් බව පෙනේ. අඹගහපිටියේ පොතේ අඩුතැන් ඒ පොතෙත් අඩුය. තේරුම් ගත නොහැකි සේ අවුල් වූ තැන් පොත් දෙකේම එකසේය.

මෙහි ප්‍ර‍ථම පරිච්ඡේදයේ කථා දශයක් ඇතැයි කියවෙන නමුත් මේ පොත් දෙකේම තිබෙන්නේ කථා අටකි. මහාචේතිය කථා - දීඝාවුචෙතිය කථා යන දෙක අඩුබව නිගමන ගාථාවලින් පෙනේ. මුල් පරිච්ඡේදයේ ඇතුළත් කථාවල පටුනක් නිගමන ගාථාවල ඇතත් ඉන් එහා තිබෙන කථා තිස් දෙකේ පටුනක් පොතේ නැත. ඒවා පසුව එක්කරන ලදැයි ද සිතිය හැක. මෙසේ මේ පිටපත් දෙකෙන් ශුද්ධ කළහැකි තරමක් ශුද්ධකොට විනාශවෙන්ට ගිය මේ පොත රටට දීම සුදුසු යයි සිතා සිටින විට සෝමදාස මහතාගේ ඉල්ලීමක් ලෙස ස-හස්සවත්ථුව සෙවීම සඳහා මම කොස්ගොඩ බෝගහපිටියේ විහාරයටද වැලිතර මහාකප්පිනමුදලින්දාරාමයට ද ගියෙමි. බෝගහපිටියේ විහාරස්ථානයෙහිත් අඹගහපිටියේ විහාරයෙහි මෙන් බුරුම අකුරෙන් ලියූ පුස්කොළපොත් රාශියක් තිබේ. ඒවා මින් අවුරුදු 150 කට පමණ උඩදී උඩරට අමරපුර නිකායේ ආදිපුරුෂෝත්තම වූ බෝගහපිටියේ ධම්මජෝති මහතෙරපාණන් විසින් ගෙනෙන ලද ඒවාය. ඒ විහාරස්ථානයට දෙගමනක් ගිය නමුත් ඕනෑකළ පොත සොයාගත නොහැකි විය. ඉන්පසු මහාකප්පින මුදලින්දාරාමයට ගියෙමි. දැනට එහි නේවාසික වූ මාවඩවිල පඤ්ඤාසේන ස්ථවිරතුමා ඉතා සතුටෙන් එහි තිබෙන පුස්කොළ පොත් පෙන්වීය. පොත් කීපයක් පරීක්ෂා කරන විට බුරුම අකුරෙන් ලියූ ස-හස්සවත්ථුව දකින්ට ලැබුණි. එය කම්බ නොදැමූ පොත් මිටියක් විය. ඒ මිටියෙහිම තවත් පොත් දෙකක් තිබෙන බව දැක ඒවාද පරීක්ෂණය කෙළෙමි. මට මහත් විස්මයක් ප්‍රීතියක් උපදවමින් එය සීහළවත්ථුවක් බව දකින්ට ලැබුණි. මෙය මෙතැන ඇති බවක් අයිතිකාරයෝත් නොදැන සිටියාහ. මමත් නොදැන සිටියෙමි. පොත් විමසා බැලූ සෝමදාස මහතාටත් අසු නොවීය. මේ පිටපත ඉතා හොඳ අලුත් තත්ත්වයකින් පැවැත්තේය. මෙය නොපසුබව උත්සාහයේ ප්‍ර‍තිඵලයක් වශයෙන් ලැබුණකැයි සිතමි.

මේ සීහළවත්ථු ස-හස්සවත්ථු පිටපත් දෙකම මම ඒ ස්ථවිරයන්ගෙන් ඉල්ලා ගෙනාවෙමි. මේ රටේ නැතැයි සිතා සිටි පොත් දෙකක්ම අම්බලම්ගොඩට නුදුරු තැනක අවුරුදු සියයකට වැඩි කලක් සැඟවී තිබුණි. හැම පොත්ම විමසා බලා නාමාවලියක් සෑදීමේ වැදගත්කම මෙයින් ඔප්පු වේ. (එවැනි නාමාවලියක් දැන් සෝමදාස මහතා විසින් මුද්‍ර‍ණය සඳහා සකස්කොට තිබේ.)

මේ පොතේ කර්‍තෘවරයා ධම්මනන්දි නම් තෙරනමකැයි පරිච්ඡේදාවසානයන්හි තිබෙන නිගමනවලින් පෙනේ. කර්තෘනාමය හැම තැනම පැහැදිලි නමුත් එතුමන් විසූ විහාරයේ නමත් ප්‍රදේශයේ නමක් එක් එක් පරිච්ඡේදයෙහි වෙනස්ව පෙනෙන බැවින් නිශ්චයකට පැමිණිය නොහැක. නමුත් ඒ නම්වලට කිට්ටු නම් ලක්දිව නැති බැවින් මෙය ලක්දිවදී සම්පාදිත වූවක් නොවන බව කිය හැක. විහාරයේ නම ඇතැම් තැනක පට්ටකොට්ටි යයි ද ඇතැම් තැනක සණ්ඩකොන්ති යයිද පෙනේ. උපන් ගමේ හෝ විසූ පෙදෙසේ නම කණ්ටකසෝලපට්ටන යයි පෙනේ. මේ නම් ඉන්දියාවේ නම් මිස ලක්දිව නම් යයි කිය නොහැක. මෙහි බැමිණිතියාසාය පිළිබඳ ප්‍ර‍වෘත්ති නොයෙක් තැන පෙනෙන බැවින් වළගම්බා රජුගේ කාලයෙන් පසු රචිතයයි කිය හැක. මෙහි ඇතුළත් කථා රාශියක්ම දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු සද්ධාතිස්ස රජුගේ කාලයේ දී සිදුවූ ඒවාය. ඒ දෙරජුන්ගේ නම් හැර අන් සිංහල රජකුගේ නමක් මෙහි ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. සුරට්ඨදේශය පිළිබඳ කථා හතක් ද මෙහි තිබේ.

මේ පොත හා පාළිපොත පළවූ පසු එයින් පිටපත් දෙකක් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට තෑගිකොට යැවීමි. ඒ මහතා පොත්දෙක පළකරවීම ගැන ස්තුතිය පුදන අතරම ඉතා වැදගත් කාරණයක් ද දන්වා එවීය. එය නම් “කණ්ටකසොලපට්ටන” යන නම දෙවෙනි ක්‍රිස්තුශතාබ්දය පමණේ දී නාගර්ජුන මහතෙරුන් විසූ මහා විද්‍යාලයක් හා මහාවිහාරයක් වූ බව ශ්‍රී පර්වතයෙහි තිබෙන ශිලා ලිපියක සඳහන් වෙන බවයි. “බෝධිසිරි” නම් උපාසිකාවක් තාම්‍ර‍පර්ණිද්වීපයෙන් යන ථේරීය භික්ෂූන්ට විසීම සඳහා නාගාර්ජුනකොණ්ඩයෙහි චේතියඝරයක් කරවීය. ඒ චේතියඝරයෙහි පිහිටෙව් ශිලාලිපියක ඒ උපාසිකාව අන්‍යස්ථානවල කෙරෙව් පින්කම් ද සඳහන් කොට තිබේ. ඒ පින්කම් අතරෙහි කණ්ටකසෝලයේ මහාචෛත්‍යයේ නැගෙනහිර දොරටුවේ ගල් මණ්ඩපයක් සෑදෙව් බව කියවේ. “ටොලමි” නම් ග්‍රීක් ජාතිකයා ලියූ දඹදිව භූමිශාස්ත්‍ර‍ය ඇතුළත් පොතේ මේ නම ‘Kantakassulos’(=කණ්ටකස්සුලෝ) යි ලියවී තිබේ. මෙය දැන් තෙලිඟුරටේ “ඝණ්ඩශාල” නමින් ප්‍ර‍කට ප්‍රදේශය විය හැකියි බොහෝ දෙනෙකුන් කියන බවත් පරණවිතාන මහතා කියයි. තවද ශ්‍රී පර්වත විහාරයේ සිංහලාරාමාදි ගොඩනැගිලි සාදවද්දී උපදෙස් දුන් ස්ථවිරතුන්නමෙන් එක් නමක් ධම්මනන්දි තෙර වී යයිද ඒ මහත්මා ශිලා ලිපි අනුව කියයි. මෙසේ අන්කිසි පොත පතකින් දකින්ට නොලැබුනු, මින් පෙර අපට අසන්ට නොලැබුනු නම් දෙකක් හෙළිකරදීම ගැන අප හැමගේ ස්තුතිය ආචාර්ය පරණවිතාන මහතා වෙත පිරිනැමිය යුතුය.

මේ කරුණු සලකා බලන විට ධම්මනන්දි තෙරනම ආන්ධ්‍රදේශයේ විසූවෙකැයි කිය යුතුය.

මෙහි තිබෙන ඇතැම් කථා රසවාහිනි - සහස්සවත්ථුවල දකින්ට ලැබෙතත් ඒවායේ වෙනස්කම් ද ඇත්තාහ. ඒ පොත් කිසිවක නැති කථාරාශියක් මෙහි විද්‍යාමාන වේ. කෙසේ වෙතත් මෙය අටුවාකාලයට පෙර ලියනලද්දකැ යි සිතීමට කරුණු පෙනෙත්. මෙහි එක් කථාවක පෙනෙන්නේ වැදගත් අවස්ථාවලදී සක්දෙව් රජුගේ ශෛලාසනය රත්වූවා නොව සෙලවෙන්ට පටන්ගත් බවයි. ධර්‍මාශෝක කාලයේ දී විසූ කුන්තිපුත්ත තෙරදෙනමගේ කථාව විස්තර ලෙස අන් කිසි පොතක මා විසින් නොදක්නා ලදි. මෙහි එය ඉතා විස්තර ලෙස දැක්වේ. කිඳුරියන් පක්ෂිවර්ගයක් නොවන හැම අඟපසඟින් යුත් මනුෂ්‍ය ස්ත්‍රී වර්ගයක් බව මේ කථාවෙන් පෙනේ. ඔවුන් අහසින් ගමන් කොට තිබෙන්නේ ඇඳුමක බලයෙනි. දඹදිව සාගවාහන රජුන් ගැන විස්තරයක් එක් කථාවක පෙනේ.

මේ පොතේ පෙනෙන සුරට්ඨදේශය පිළිබඳ කථාවන්හි ඇතුළත් නම් ගම් ගැන දිල්ලි විශ්වවිද්‍යාලයේ බාපත් පඬිතුමාගෙන් විචාරා යැවූ විට ඒ මහතා ඒ තොරතුරු හොඳින් දන්නා තමාගේ මිත්‍ර‍යකුගෙන් ඒ ගැන විමසා යවා තිබේ. එබැවින් පඬිතුමාගෙන් උත්තරයක් ලැබුණේ පාළිපොතේ සංඥාපනය ලියද්දීය. ඒ නම් සෙවීම දැන් අපහසු බව මේ උත්තරයෙන් පෙනේ. සුරට්ඨදේශය දැන් බටහිර ඉන්දියාවේ කතියාචාඩ් පෙදෙසේ ඇතුළත්ය.

මෙහි පාළිපොත පසුගිය අප්‍රේල් මස මුලදී මුද්‍ර‍ණයට පත්විය. මෙහිදී පළමුවෙන්ම මාගේ ස්තුතිය හිමිවන්නේ ශාස්ත්‍රාචාර්ය කේ.ඩී. සෝමදාස මහතාට හා ඒ මහතාට පොත බාරදුන් අම්බරුක්ඛාරාමාධිපති මහානායක ස්ථවිරතුමන්ටය. දෙවෙනිව තමාගේ අත්පිටපත එවූ සද්ධම්මඤාණ ස්ථවිරතුමාට හා ඉතා හොඳ තත්ත්වයේ තිබෙන පුස්කොළ පොතක් බාරදුන් මාවඩවිල පඤ්ඤාසේන ස්ථවිරතුමන්ටය. මුල්වාරයේ දී පොත් දාහක් පමණක් මුද්‍ර‍ණය කළ බැවින් මෙය නැවත වරක් ඉක්මනින් මුද්‍ර‍ණය කරවන්ට සිදුවිය.

මේ දෙවෙනි මුද්‍ර‍ණයේ දී ස-හස්ස (=සහාස) වත්ථුවෙන් උපුටා සිංහලට නැගූ කථා හයක් ද එක් කරන ලදි. ඒ කථා බොහොමයකින් සීහළවත්ථුවේ කියවුණු කථාවල අඩුපාඩු පිරෙන බව සැලකිය යුතුයි. සීහළවත්ථුවේ විස්තර නොවූ ද, ඉතා කොටින් කියවන්නා වූ ද කරුනු ඒ කථාවලින් විස්තර වෙති. ස-හස්සවත්ථුව කෙබඳු පොතක් ද යන්නත් එයින් වටහාගත හැක.

සීහළවත්ථු - සහස්සවත්ථු - රසවාහිනී යන පොත් තුන ක්‍ර‍මයෙන් එකිනෙකට පැරණිය. එයින් පළමුපොත ආන්ධ්‍රදේශයේ දී ද පසුව කියවුණු පොත් දෙක ලද්දිව දී ද සම්පාදිත වූහ. “සහස්සවත්ථු” යන්නේ තේරුම “කථාදහසක්” යන්න නොවේ. සහර්‍ෂ (=සතුට උපදවන) කථා යන්නයි. මහාචාර්ය මලලසේකර, මහාචාර්ය වල්පොල රාහුලස්ථවිර යන දෙදෙනා ද ඒ මතය ප්‍ර‍කාශ කරති. මේ පොතේ කථා දහසක් තබා සියයක්වත් නැත. මහාචාර්ය මලලසේකර මහතාගේ මෙහෙයීමෙන් මේ පොත ශුද්ධකොට පළකිරීමට අදහසක් රාහුල ස්ථවිරයන් වෙත තිබුණ නමුත් ඒ ස්ථවිරයන් පිටරට යාම නිසා එය නැවතුණි. නමුත් ඒ ස්ථවිරයන් පී.එච්.ඩී. උපාධිය සඳහා ලියූ නිබන්දනයෙහි සහස්සවත්ථුව ගැන කියයුතු කරුණු රාශියක් ඇතුළත් කොට තිබේ. ඒ පොත පමපූර්‍ණ ශුද්දියකට පමුණුවනතුරු පළ නොකළ යුතුය යන අදහසක් ද එහි දක්වා තිබේ. එය ලියා තිබෙන්නේ බොහෝ තැන්වලදී පාලි ව්‍යාකරණ රීතිවලට විරුද්ධ ලෙස බැවින් එය සම්පූර්ණ ශුද්ධියකට පැමිණවීම නොහැකිය. එහි පිටපත් සමාන කොට සලකා බලා තිබෙන සැටියෙන් වැරදි සහිතව පළකරවීම අපේ යුතුකමකි. රැන්ගන් විශ්ව විද්‍යාලයේ පාලි කථිකාචාර්ය වූ ද මාගේ මිත්‍ර‍යකුවූ ද දේවප්‍ර‍සාද් ගුහා මහතා ද බොහෝ කලක සිට මෙය ශුද්ධ කරන්ට උත්සාහ ගනිමින් සිටී. කීපවරක් මා හමුවී ඒ ගැන කථා ද කෙළේය. මේ අතරේ දී මා මුලින් නම් සඳහන් කළ සෝමදාස මහතා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන පිටපත් දෙකකින් ලබාගත් ඡායාරූප කොපි ආශ්‍ර‍ය කොට මෙය සිංහල අකුරෙන් ලියා බර්නාඩ් නිදහස් පුස්තකාලයෙන් ලියවා ගෙන්වාගත් පිටපතට ද සමකොට බලා තවත් බුරුම පිටපත් සමග බලන්ට මා වෙත එවීය. ඉන්පසු එය පළකරවන්ට ඒ මහතා බලාපොරොත්තු වූ නමුත් මේ ජුනි මාසයේ දී ඒ මහතා යුරෝපයේ මාස කීපයක් නැවතීම පිණිස ගිය බැවින් ඒ අත්පිටපත් මා වෙත එවා එය ශුද්ධ කරන ලෙස මටම ආරාධනා කෙළේය. ඒ ආරාධනාව ලෙස දැන් මම එය සකස් කරමි. එය නොබෝ කලකින් පළකළ හැකි වෙනවා ඇතැයි සිතමි.

ස-හස්සවත්ථුවේ ව්‍යාකරණ දෝෂාදිය දුරුකොට තවත් විස්තර ඇතිව “රසවාහිනී” නමැති පාලිපොත සම්පාදිත විය. ඊටත් පසු කලක තවත් විස්තර සහිත කොට “සද්ධර්මාලංකාර” නමැති සිංහල ග්‍ර‍න්ථය සම්පාදිත විය. මේ නිසා මේ පොත් තුනේ කියවෙන නම් ගම් ආදිය නිශ්චය කර ගැනීමට අපට උපකාරයක් ලැබේ. ඒ නම් ගම් වෙනස් වී යෙදී තිබෙන සැටි මා විසින් එහි අධොලිපි වලින් දක්වනු ලැබේ.

ගොඨයිම්බර යෝධයා හා මහසෝණ යක්ෂයා අතර සිදුවූ ද්වන්දව යුද්ධය ගැන කියවෙන තැන “ස-හස්සවත්ථුවෙහි “ත්‍වංමයා සහ පොදං කිළිතුං සමත්‍ථො” යන්නක් පෙනේ. එහිම “ජයසෙනයක්ඛෙන සධිං පොදං කිළිතුං ආගතොමගි” යන්නද පෙනේ. තවත් දෙතැනක එය තිබෙන බැවින් මේ “පොදං” යන්න අවපාඨයකැයි කිය නොහැක. “පොරබැදීමට” හෙවත් “ගුස්ති ඇල්ලීමට” යන තේරුම සඳහා මෙය යොදා තිබේ. “පොදං” යි පාලිවචනයක් නැත. නමුත් වංගජාතිකයෙක් වූ ඩි. ගුහා මහතා රැන්ගුමේදී මා සමඟ කීවේ පොරබැදීම සඳහා දැනුත් වංගභාෂාවේ මෙවැනි ව්‍යවහාරයක් තිබෙන බවය. ඒ නිසා මේ වචන වැරදිය කියා ඉවත් කර දැමීම යුතු නොවේ. අන්‍යභාෂා ව්‍යවහාරවලින් ආ වචනදැයි විමසිය යුතුය.

පොල්වත්තේ බුද්ධදත්ත (නායක ස්ථවිර)

15.06.1959

අම්බලන්ගොඩ.


පොත ගැන

“සීහල වත්ථු” ඉපැරණි පොතේ සිංහල අනුවාදයේ නව සංස්කරණය “ඉතා පැරණි සිංහල බණකතා” නමින් ඔබ අතට එයි. සිහලවත්ථු නම් පොත අපේ මහාවංසයටත් වඩා පැරණිය. සමහරවිට මහාවංසය ලිවීමේ දී මහානාම හිමියන් සිහලවත්ථු හා සහස්සවත්ථු පොත් කියවන්නට ඇතැයි විද්වත්හු කල්පනා කරති. එය රචනා කර ඇත්තේ කණ්ටක සෝල පටුනේ ආචාර්ය ධම්මදින්න යතිවරයාණන් විසිනි. මේ පොතේ එන කතා බොහොමයක ලංකාවේ බැමිණිතියා සාය ගැන විස්තර සඳහනි. එසේම සද්ධාතිස්ස රජුගේ දින චරියාව පමණක් නොව දන් දෙන්නන්ට එරජ විසින් කරන ලද සැලකිලි සත්කාර හා සම්මාන ගැනද මෙහි සඳහනි. මෙහි සඳහන් කතා වලින් වැඩි කොටස දානානිසංස දක්වන කතාය. විශේෂය නම් දායකයන් විසින් දුකසේ පිරිනමන ලද සිවුපසය දායකයාට වඩා යහපතක්ම වන අයුරින් පරිභෝජනය කිරීම භික්ෂූන් වහන්සේලා දැඩි අධිෂ්ඨානයෙන් මහණදම් පිරීමට ගත් උත්සාහය දැක්වීමයි.

අපේ පැරණි ජනශ්‍රැති - ජනප්‍ර‍වාදවල එන කරුණුවලට වඩා බොහොමයක් කරුණු මෙහි කතාවලින් හෙළිදරව් වේ. කාවන්තිස්ස හා විහාරමහාදේවිය රජ පවුල් දෙකක එකට හැදුනු වැඩුනු බව, සාලිය කුමරු, අශෝකමාලා විවාහයේදී දුටුගැමුණු රජුගේ පිළිවෙත, දුටුගැමුණු රජුගේ මරණය ආදිය එවැනි තැන් කීපයකි. ලංකාවේ භික්ෂූන් දඹදිව බලා පිටත් වූ නැව් තොටවල් පිළිබඳවද විස්තර ඇත. ඒ අනුව ඉතිහාසගත කරුණු ද පිරික්සීමේදී මෙම පොත වැදගත් වේ.

සාංඝික දේපල වැරදි ලෙස පරිහරණය කළ හා විනාශ කල අය ගල් පෙරේතයන් වී ඉපදුනු හැටි බණකතා කීපයක සඳහනි. සාංඝික දේපල යනු පොදු දේපල කොටසකි. පොදු ජනයා සතු පොදු දේපල වැරදි ලෙස පරිහරණය කරන්නන්ට අනාගතයේ දී එවැනි දුක් විපාක විඳින්නට සිදුවන බව ඒ මගින් උගන්වයි. පවට බියවීම උසස් ගුණ ධර්මයකි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල-තරුණ-මහළු-ස්ත්‍රී-පුරුෂ-ගිහි-පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි කතාය. චරිත නිර්මාණයට ගුණ දහම් වගාවට උපකාර වන කරුණු ඒ හැම කතාවකම අඩංගුය.

ලංකාවේදී සොයා ගැනීමට අපහසුව පැවති “සීහලවත්ථු” නම් පාළි පොත මහත් ආයාසයකින් සොයාගෙන එය සිංහලට පරිවර්තනය කිරීමෙන් පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මාහිමිපාණන් වහන්සේ කළ ශාස්ත්‍රීය සේවයට වියත් අවියත් හැම කෙනෙක්ම පිදිය යුතුය. ගරු කළ යුතුය. උපහාර දැක්විය යුතුය.

වසර 45 කට පමණ පෙර නිකුත් වූ මෙම ඉපැරණි බණ කතා පොත නැවත මුද්‍ර‍ණය කිරීමට අප පෙළඹුනේ මෙම කතාවලින් ගිහි පැවිදි දෙපිරිස තුළම ගුණ වගාවත් - සසරින් එතෙර වීමේ දැඩි උවමනාවත් ඇති කරන්නට පොහෝනා ග්‍ර‍න්ථයක් වීම නිසා පමණක්ම නොව ඓතිහාසික මූලාශ්‍ර‍ ග්‍ර‍න්ථයක් වශයෙන් විද්වතුන්ට හා විද්වතුන් වීමට වෙර දරන්නන්ට පහසුවෙන් සපයා දීමෙන් ශාස්ත්‍රීය සේවයක් කිරීමේද බලාපොරොත්තුවෙනි.

දර්ශනීය ලෙස “ඉතා පැරණි බණකතා” නව සංස්කරණය මුද්‍ර‍ණය කළ සීමාසහිත ග්ලෝබල් ග්‍රැෆික්ස් සහ ප්‍රින්ටින් (පෞද්.) සමාගම කළමනාකාරතුමා ප්‍ර‍ධාන සේවක මහත්ම මහත්මීන්ටද පොත සකස් කිරීම සඳහා මට සහාය වූ අනෙක් සියළු දෙනාටමද කෘතඥතා පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි.

මෙයට, සසුන් වැඩ කැමති

කිරම විමලජෝති ස්ථවිර

අධ්‍යක්ෂ - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.


පටුන


1. තිස්ස සන්නාලියාගේ කථාව

2. හරිතාලතිස්සගේ කථාව

3. මෙතේ බෝසතාණන්ගේ කථාව

4. මහා දත්තගේ කථාව

5. මනෝරමමංස කථාව

6. ඵුස්සදේව තෙරුන්ගේ කථාව

7. සාලිකුමරුගේ කථාව

8. සද්ධාතිස්ස මහරජුගේ කථාව

9. මහාදේව උපාසකයාගේ කථාව

10. ගල් ප්‍රේතයාගේ කථාව

11. ගල් කණු ප්‍රේතයාගේ කථාව

12. සීසාන ප්‍රේතයාගේ කථාව

13. සහල් ප්‍රේතයාගේ කථාව

14. සඟ බතට අන්තරාය කළ ප්‍රේතයාගේ කථාව

15. පතාක ප්‍රේතයාගේ කථාව

16. ගොන් ප්‍රේතයාගේ කථාව

17. සඟසතු දෙයෙහි ප්‍ර‍මාදී වූ තෙරුන්ගේ කථාව

18. තරුණ භික්ෂුනමගේ කථාව

19. පරදාර සේවනයෙන් දුරුවීමේ කථාව

20. ලෝහ භාජනයේ කථාව

21. බඳිනු ලැබූ ඇතාගේ කථාව

22. වැඳිරියගේ කථාව

23. සීරලු සොරාගේ කථාව

24. ගන්ධාර සොරාගේ කථාව

25. කොන්තිපුත්ත තෙරුන්ගේ කථාව

26. චුල්ලී උපාසිකාවගේ කථාව

27. මහානාග තෙරුන්ගේ කථාව

28. හංකාලාවගේ කථාව

29. මහාදේව උපාසකයාගේ කථාව

30. හිසකෙස් කපා දන් දුන් සුමනාවගේ කථාව

31. කම්බුද්ධ උපාසකයාගේ කථාව

32. කරකොළ දන්දුන් කථාව

33. මිත්ත තෙරුන්ගේ කථාව

34. චූළී උපාසකයාගේ කථාව

35. කුන්ත රන්කරුගේ කථාව

36. මාලෙය්‍යදේව තෙරුන්ගේ කථාව

37. දුටුගැමුණු රජුගේ මරණය

38. භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව

39. තම්බසුමන තෙරුන්ගේ කථාව

40. දුගී ගොවියාගේ කථාව

41. සුමනා බාලිකාවගේ කථාව

42. වස්ත්‍රයෙන් අඩක් දුන් ස්ත්‍රියගේ කථාව

43. කාවන්තිස්ස රජුගේ කථාව

44. හා මස් පිළිබඳ කථාව

45. අධාර්මික රජුගේ කථාව

46. චීනයට ගිය භික්ෂූන්ගේ කථාව

47. කම්බිලිය සොරාගත් කථාව

48. කුණ්ඩල තිස්ස තෙරුන්ගේ කථාව

49. මහසෑ පූජාවේ කථාව

50. දොළොස් දහසක් භික්ෂූන්ගේ කථාව

51. පිණ්ඩපාත විශුද්ධිය

52. සැට නමක් භික්ෂූන්ගේ කථාව

53. හිසමත්තේ තබා දන් උයාදුන් කථාව

54. දානානිසංස දක්වන කථාව

55. කුමරියන් සිවුදෙනාගේ කථාව

56. මෙලොවදී ලත් කුශල විපාකය

57. සැටනමකට දන් දුන් මෙහෙකාරිය

58. සඳුන් පලඟේ කථාව

59. ගුරු භක්තිය ඇති හෙරණ නමගේ කථාව

60. ලජ්ජි සාමණේරයන්ගේ කථාව

61. චිත්තගුත්ත තෙරුන්ගේ කථාව

62. බුද්දක තිස්ස තෙරුන්ගේ කථාව

63. මලයවාසී චුල්ලසුමනාවගේ කථාව

64. දුගී මිනිසාගේ කථාව

65. තරුණ භික්ෂුණීන් දෙදෙනගේ කථාව

66. ලම්බකර්ණයාගේ කථාව

67. බත්මුල දුන්නහුගේ කථාව

68. ලජ්ජි තෙරුන්ගේ කථාව

69. රෝහණ තෙරුන්ගේ කථාව

70. උසභමිත්තගේ කථාව

71. රිදී පර්වතයේ කථාව

72. බණ ඇසූ මත්ස්‍යයාගේ කථාව

73. මහාධම්මනන්දි තෙරුන්ගේ කථාව

74. අභයතෙරුන්ගේ කථාව

75. අම්බඛාදක තිස්ස තෙරුන්ගේ කථාව

76. මහානාග - චුල්ලනාග දෙනමගේ කථාව

77. මංගණවාසී තෙරුන්ගේ කථාව

ස - හසසවත්‍ථුවෙන්

1. සද්ධාතිස්ස ඇමතියාගේ කථාව

2. ඵුස්සදේව මහතෙරුන්ගේ කථාව

3. ඉන්‍දගුත්ත මහ තෙරුන්ගේ කථාව

4. තම්බසුමන තෙරුන්ගේ කථාව

5. සංඝ ඇමතිගේ කථාව

6. මූදේ පීනා ගිය ස්ත්‍රියගේ කථාව

සංඥානාමාදි සුචිය





ඉතා පැරණි සිංහල බණකතා

(සිහළ වත්ථුප්‍ර‍කරණයේ සිංහලානුවාදය)

(පදානුගත අනුවාදයක් නොවේ)


ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.


1. තිස්ස සන්නාලියාගේ කථාව


මෙසේ අසන්නට ලැබේ. සිංහල ද්වීපයේ අනුරාධපුරයෙහි තිස්ස නමැති සන්නාලියෙක් ඇඳුම් මැහීමේ කර්මාන්තයෙන් ජීවත් වෙයි. හෙතෙම තිසරණගතව පන්සිල් රකින්නෙකි, බුදුසස්නෙහි පැහැදුණු ශ්‍ර‍ද්ධා ඇත්තෙකි. තමාගේ ශරීරයේ දැලි නූලක් ගසා බෙදා වෙන්කොට “මාගේ සිරුරෙහි අඩක් මවුපියන්ට වේවා, අඩක් මට වේවා” යි කියා මැහීම කරයි. ඉර උදා වූ තැන් පටන් මධ්‍යාහ්නකාලය දක්වා වැඩ කොට යමක් ලබයි නම් එය භික්ෂුසංඝයාට දී මධ්‍යාහ්නයේ පටන් ඉර අවරවීම දක්වා යමක් ලබයි නම් එයින් මවුපියන් පෝෂණය කරයි.

හෙතෙම දිනපතා දන් දෙන්නේ ඇතැම් විට දස නමකට ද ඇතැම්විට විසිනමකට, තිස් නමකට, හතළිස් නමකට, පණක් නමකට, සියක් නමකට ද ඇතැම් විට ඊටත් වැඩි ගණනකට ද දන් දෙයි. සිවුරු ආදියත් දෙයි. මෙසේ ජීවත්වන ඔහුට මවුපියෝ මෙසේ කියති.

(1)*[1] “ඔබට විවාහයක් කරදෙන්නෙමු. එය ගිහි මිනිසුන්ගේ ධර්මතාවයකි. ඈ ඔබගේ ශරීරය පිළිදැගුම් කිරීම සඳහා වන්නීය.” තිස්ස තෙමේ මෙසේ කියයි. (2) මෑලා ධාර්මිකව ජීවත්වන්නෙකුට අන්තරාය කරන්නියෝය. මගේ සිත දන් දීමෙහි හා සිල් රැකීමෙහි ඇලුණි. මට පවුල්වීමෙන් වැඩක් නැත. (3) මේ ස්ත්‍රිය නම් හුලක් වැනිය, ඇලෙන ලාටුවක් වැනිය, මඩ ගොහොරුවක් වැනිය, (ශරීරයේ) ගෙඩියක් වැනිය, රෝගයක් වැනිය, දක්ෂ පුද්ගලයා අන්තරායකර වූ ඇය දුරු කරයි. (4) ඇය මිනිසුන් අන්ධ කිරීමක් යයි ද ඇස් නැති කිරීමක් යයි ද අඥානයන් කිරීමක් යයි ද කියත්. ඇය නිසා ප්‍ර‍ඥාව නැති වේ, (5) උගත් දෙය විනාශ වේ. ශීලය ද නැසේ, හිරි ඔතප් වැනසෙති, මිත්‍ර ධර්මය නොපිහිටයි. (6) ධ්‍යානලාභීව අභිඥාපස ලැබ අහසින් යෑමෙහි සමර්ථ වූ මසේසාක්‍යයෝ අල්පේසාක්‍යයෝ වෙති. (7) කාමයන්හි දොස් දක්නා ඔවුහු ද අන්‍යයෝ ද, ජීවත්වෙනු කැමැත්තෙන් විෂ වර්ගයක් දුරු කරන්නාසේ, කාමයන් දුරු කළහ. (8) ඇඳුම් පැළඳුම් ආහාරපාන විලවුන් ආදියෙහි ස්ත්‍රීන්ගේ නාස්තියක් නැත. (9) ඉදින් මට භාර්යාවක් වේ නම් දරුවෝ ද උපදින්නාහ. අඹුදරුවන් නිසා ප්‍ර‍මාදවන්නහුට කුසල් කිරීමට අවකාශ නැත. (10) ඉදින් කුසල් කිරීම අත්හැර කාමයන්හි ප්‍ර‍මාදවන්නේ නම් ඒ අඥාන පුද්ගලයා සද්ධර්මය හැර දමා පසුව තැවෙන්නේය.

මෙකී දේ අසා තිස්සගේ මවුපියවරු නිශ්ශබ්ද වූහ. හෙතෙම බිරියක් පාවා ගැනීම අත්හැර බ්‍ර‍හ්මචර්යාවෙහි හැසුරුණි. සිල්වත් වූ ඔහුගේ කීර්තිය “අනුරාධපුරයේ තිස්ස තෙමේ ශ්‍රේෂ්ඨ සිල්වතෙකි; ශරීරය දෙකට බෙදාගෙන මවුපියන් පුදන්නෙකැ”යි පැතිර ගියේ ය.

එකල රහත් තෙරුන් තුසිත දෙව්ලොවට ගොස් ප්‍ර‍මුඛ විමානයන් බලා දෙවියන්ගෙන් විචාළ විට “මේ විමන් දෙක සද්ධාතිස්ස රජු සඳහාත් තිස්ස සන්නාලියා සඳහාත් මැවී තිබෙත්” යයි කීහ. ඒ තෙරවරු අනුරාධපුරයට ඇවිත් ඒ කාරණය මිනිසුන්ට කීහ. මිනිසුන් සද්ධාතිස්ස රජුට දැන්නූවිට රජතුමා ඒ සන්නාලියා කැඳවා “තෝ මෙසේ මෙසේ කෙරෙහිදැ”යි ඇසී.

“එසේය දේවයන් වහන්සැ” යි කී විට “මට පින් කොටසක් දෙව” යි කීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට ද අන් හැම සත්ත්වයන්ට ද පින් දෙමි” යි හෙතෙම කීය. රජතුමා ඔහුට හැම උපකරණයන්ගෙන් යුත් ගෙයක් සිය මාළිගය අසලින් දී වස්ත්‍ර‍ සිවු පණස් දහසක් ද දහසක් අය උපදනා ගමක් ද දුණි. හෙතෙම මහාදානපතියෙක් විය. එතැන් පටන් භික්ෂූන්ට සිවුරු ආදිය දුර්ලභ නොවීය.

ඔහුගේ මරණ කාලයේදී බණ අසමින් සිටියදී මොනවාදෝ කී බැවින් “මේ තෙමේ ප්‍ර‍ලාප දොඩන්නේය” යි ඇතැම් කෙනෙක් කීය. එවිට තිස්ස තෙමේ (16) මම ප්‍ර‍ලාප නොදොඩමි; දේවතාවන් ඇවිත් මට ඉක්මන් කරන්ට කියන බැවින් මම ඔවුන්ට බණ අසනකල් බලාපොරොත්තු විය යුතුය යි කීවෙමි. (17) තාම්‍ර‍පර්ණි ද්වීපයෙහි යම් පමණ බුද්ධ ශ්‍රාවකයෝ වෙසෙත් නම් ඒ සියල්ලන්ට තුන් වරක් තුන් සිවුරු දුනිමි. (18) දහස් වරක් පහන් දහස බැගින් දැල්ලුවෙමි. නොකල්හි ධර්ම දේශනා දහසක් කෙරෙව්වෙමි. (19) මී පැණි ගිතෙල් තලතෙල් පැණි හා ඖෂධ වර්ග නොයෙක් විට දෙන ලදි. ඒ නිසා මම කුමකට විලාප කියම් ද? (20) බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධරත්නයන් සම්බන්ධ නොයෙක් කුසල් කෙළෙමි. (21) ශාක්‍ය සිංහයන්ගේ සස්නෙහි නොයෙක් කුසල් කොට ප්‍රීති සොම්නස් ඇත්තේ වෙමි; මට තැතිගැනීමක් නැතැ යි කීය. (22) දෙව්ලොවින් ආ උතුම් රථයෝ දැන් මා ඉදිරියෙහි වෙති. ඒ දෙව්ලෝවලින් කුමක් යහපත් ද? (23) රහතුන් වසන නගරයක් වැනි වූ තුසිත දෙව්ලොවෙහි නිතර ධර්ම කථා පැවැත්වෙති. ඒ ඉතා යහපත් දෙව්ලොවැ අජිත නමින් පෙර විසූ මෙතේ බෝසත් ද වෙයි. (24) මෙසේ සන්නාලි තෙමේ බුදුසස්නෙහි බොහෝ කුසල් කොට තුසිත දෙව් ලොවින් හා රථයෙහි නැගී අහසින් ගියේය. (27) මෙසේ යමෙක් අකුසල් දුරුකොට හැමකල්හි කුසල් කෙරේ නම් අපරිමිත සැප ලබා සුවසේ ලොව්තුරා සැපද ලබන්නේය.


2. හරිතාලතිස්සගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. සිංහලද්වීපයෙහි අනුරාධපුරයට බටහිර දෙසැ පස්යොදුනක් පමණ තැන මූද අසල භූමංගණ නම් ගමක් ඇත. එගම්හි බැලමෙහෙ කරන පවුලක් විසී. ඒ පවුලෙහි නිරෝගී ශක්තිමත් පුත්‍රයෝ සත් දෙනෙක් වූහ. එයින් වැඩිමහලු සදෙන වැඩ කළ නමුත් බාල වූ තිස්සයා කිසි වැඩක් නොකෙළේය. වැඩිමහලු සොහොයුරෝ මේ ගැන මෑණියන්ට පැමිණිලි කළහ. මවුතොමෝ “තිස්සයා තවම වයසින් අඩුය, සෙල්ලමෙහි ඇලුනේය. වයස්ගත වෙන විට කරුණු වටහාගෙන වැඩ කරනවා ඇතැ” යි කීය. තිස්ස සොළොස් හැවිරිදි වියට පැමිණි කල්හි මවුපියවරු සමාන කුලයකින් සුමනා නමැති දැරියක් විවාහ කොට දුන්හ. ඒ අවස්ථාවේදී මවුතොමෝ ඈට ද්‍ර‍ව්‍ය පසක් දුනි. ඒවා නම්; සහල් නැලියක්, මෝල්ගසක්, වංගෙඩියක්, පියන සහිත කලයක්, බත් කන භාජනයක් යන මේවායි. ඒවා දී ඇය වෙන්කොට වාසය කරවීය. දැරිය ඒවා රැගෙන එක් පසෙක හිඳගෙන අඬන්ට පටන් ගති. තිස්ස අවුත් අඬන පිරිය දැක “සොඳුර, කුමකට අඬන්නෙහිද?” යි ඇසී. ඕ සියල්ල ඔහුට කීය. හෙතෙම;

(1) “සුමනාවෙනි, මා වැනි පුරුෂයකු ලබා කුමට අඬන්නෙහිද? පුරුෂ වීර්යය කොට තිගේ මනදොළ පුරවන්නෙමි. (2) තෝ සෝක නොකරව, බිය නොවෙව, මට පුරුෂ වීර්යය ඇතැ” යි කියා එසේ නම් සුමනාවෙනි හෙට සහල් නැළිය දෙකට බෙදා එක් කොටසක් සංඝයාට සලාක බත් සඳහා පිසව, එක් කොටසක් අපි දෙදෙන අනුභව කරන්නෙමු යි කියා විහාරයට ගොස් පසුදින සඳහා සංඝයාගෙන් භික්ෂුනමක් ලැබෙන සේ ආරාධනා කෙළේය. සංඝතෙමේ ඒ සලකාය සඳහා බාල සාමණේරනමක් යැවී. හෙතෙම සීට්ටුව ලබා හෙට තිස්සගේ ප්‍ර‍ණීත වූ සලාක බත ලබන්නෙමි යි සතුටුව පසුදා කල් ඇතුවම ඔහුගේ ගෙට ගියේය. සුමනාතොමෝ ලුණුවිල කොළ සමඟ*[2] බත් ඔහුට දුනි. හෙරණ තෙමේ එය ගෙන නොසතුටුව ආසන ශාලාවට ගියේය. හැම සාමණේරවරු එක්ව එය බැලූහ. බලා සිනාසී තිස්සට “ලෝණකතිස්ස” යයි නමක් තැබූහ. සාමණේරතෙමේ සුමනාව බලා සිටියදීම ඒ බත අසුන්හලේ ගරාදි වැඩ අතරෙන් ඉවත දැම්මේය.

සුමනාව ගෙට ගොස් අඬමින් හුණි. තිස්ස අවුත් කුමට අඬන්නෙහිදැ යි ඇසූ විට සිදුවූ පුවත කියා ඔබට “ලෝණකතිස්ස” යයි නමක් පටබැන්දාහයි ද කීය. තිස්ස තෙමේ “මාගේ ආචාර්යවරයන් තැබූ නාමය ඉතා යෙහෙකි. මාගේ ඒ නම අනාගතයේ දී මුළු දිවයිනෙහි ප්‍ර‍කට වන්නේය, තෝ උකටලී නොවෙව” යි කියා පසුදා උදෑසන දෑකැත්ත ගෙන කුඹුරකට ගොස් කුලියට ගොයම් කැපීය. ශක්තිමත් හෙතෙම ඉක්මනින් බොහෝ ගොයම් කපා මිනිසුන්ගේ සිත් සතුටු කෙළේ ය. ඔවුහු මධ්‍යාහ්න කාලයේදීම ඔහුට වී අමුණක් දුන්හ. හෙතෙම එය ගෙන ගෙට ගොස් බිරියට දී මෙයින් මස් මාලු දීකිරි ගිතෙල් ආදිය ගෙන ප්‍ර‍ණීත දානයක් සාදා දෙවයි කියා නැවත ගොස් ගොයම් කපන්ට පටන් ගති. හවස ද වී අමුණක් ලබාගෙන ආයේය.

මෙසේ හෙතෙම සැමදා වැඩ කරමින් බොහෝ ධාන්‍ය ලැබ දන් දුණි. ඔහුගේ දන් පිළිගන්නා භික්ෂූන්ගේ ගණන ද වැඩිවිය. ඇතැම් විට දසනමක්, විසිනමක්, තිස් නමක්, සතළිස්නමක්, පණස්නමක්, සියක්නමක් ද ඇතැම් විට ඊටත් වැඩි ගණනක් ද විය.

අවුරුදු දෙක තුනක් ඉක්ම ගිය කල්හි හෙතෙම දහස් නමකට වුවත් දන් දෙන්ට සමත් විය. ලෝණකතිස්ස තෙමේ මහාදානපතියෙකැයි හෙළදිව ප්‍ර‍කට විය. බොහෝ භික්ෂූන්ට දන් දෙනු කැමති හෙතෙමේ භික්ෂූන් වෙත පැමිණ “ස්වාමීනි, මම බොහෝ භික්ෂූන්ට දන් දෙනු කැමති වෙතත් භික්ෂූන් නොලබමි. කොතැන්හිදී බොහෝ භික්ෂූන් ලැබිය හැකිදැ” යි විචාළේය. “උපාසකය, නාගදීපයේ පරිභෝග චෛත්‍යයන් වැඳීම පිණිස බොහෝ භික්ෂූහු යති. එහි ගොස් බොහෝ භික්ෂූන් ලබන්නෙහිය” යි භික්ෂූන් කීවිට හෙතෙම එහි ගොස් හරිතාල ගමේ නැවතී අත්වැඩ කොට බොහෝ ධනය ලබා ශ්‍ර‍ද්ධා ඇති පින් කැමැත්තෙක්ව චෛත්‍ය වන්දනාව පිණිස ආ ආ භික්ෂූන්ට දන් දෙයි. දශ නමකටද, විසි නමකටද දහස් නමකට ද දෙයි. ඉන්පසු හෙතෙම “හරිතාලතිස්ස” යයි ප්‍ර‍කට විය.

එක් දිනක් නවසියයක් භික්ෂූහු නවවරක් අවුත් ඔහුගේ දානය පිළිගත්හ. ඒ භික්ෂූන් අතරෙහි මිත්‍ර‍ වූ රහත් දෙනමක් පුවඟු දිවයිනෙහි හිඳගෙන මෙසේ කථා කළහ. “ඇවැත්නි, දඹදිවත් හෙළදිවත් භික්ෂූන්ට ලාභ ලැබෙන තැන්ය. (3) මේ ද්වීප දෙකෙන් කොයි ද්වීපයෙහි මිනිස්සු වඩා ශ්‍ර‍ද්ධාසම්පන්න වෙත්ද? කොතැන්හි භික්ෂාව සුලභදැ” යි. එයින් එක් නමක් දඹදිවට පැසසී, එක් නමක් හෙළදිවට පැසසී. (4) මෙසේ කථාකොට පසුදා එක් නමක් දඹදිවට ද එක් නමක් හෙළ දිවට ද අහසින් ගිහ. (5) මධ්‍යාහ්න කාලයේදී භික්ෂූන් දන් වලඳා ගිය පසු සුමනා තොමෝ දොරකඩ සිටින්නී තවත් භික්ෂු නමක් දිටී. (6) පිඬු සඳහා හැසිරෙන ඒ භික්ෂු නම දැක අතින් පාත්‍ර‍ය ගෙන තමාගේ ගෙට ඇතුල් විය. (7) ඕ තොමෝ සහල්, ගිතෙල්, පැණි, මීපැණි රැගෙන සකුරු හා එක්කොට මිහිරි ප්‍ර‍ණීත බතක් උයා (8) එයින් පාත්‍ර‍ය පුරවා ආධාරකයක තබා දොරකඩට පැමිණියාය. (9) තෙරනම පාත්‍ර‍ය අතට නොගෙන “සුමනාවෙනි, පාත්‍ර‍ය අහසට දමව, මම කැමති තැනකට යන්නෙමි” යි කීය. (10) “ස්වාමීනි, මම එසේ නොකරමි; මට එවැනි බලයක් නැත, ඔබ වහන්සේ පාත්‍ර‍ය රැගෙන කැමති තැනකට වැඩිය මැනවැ” යි ඕ කීය. (11) තෙරනම පාත්‍ර‍ය රැගෙන සුමනාව බලා සිටියදීම අහසට නැගී ගියේ (12) ස්වකීය දිවයිනට ඇතුල් විය. තුටු පහටු වූ සුමනා ඇඳිලි බැඳගෙන බලා සිටියාය. (13) ස්වකීය විහාරයට පැමිණි තෙරනම දහසක් පමණ භික්ෂූන්ට ඒ දානය බෙදා දුණි. එහෙත් එය අවසන් නොවීය. (14) ඒ භික්ෂූන් වලඳා පාත්‍ර‍ සේදූ පසු දඹදිවට ගිය තෙරනම ආයේය.

සියලු භික්ෂූන් හරිතාලතිස්සගේ වර්ණනාව කියමින් සිටියදී ලෝකපාල දෙවිවරු සිවුදෙන එහි අවුත් ඒ සියල්ල රන් පත්‍ර‍වල ලියාගෙන ගොස් තව්තිසා දෙවියන්ගේ සුධර්මා සභාවෙහි කියෙව්වාහ. ගමේ නමින් මුලු හෙළදිව හරිතාලතිස්ස යයි ප්‍ර‍කට වූ ඒ ශ්‍ර‍ද්ධාවත් දානපතියා නොබෝ කලකින් දෙව්ලොව උපදින්නේ යයි ඔවුහු ප්‍ර‍කාශ කළහ. එයැසූ සක්දෙව් රජු ඔහු පරීක්ෂා කිරීමට සිතා භික්ෂු වේශයක් මවාගෙන ඔහුගේ ගෙදරට ගියේය. එවේලෙහි හරිතාලතිස්සට කෑම පිළියෙළ කොට ඉදිරියෙහි තැබූ සුමනා පැන් කෝප්පය ඔහුට දීම සඳහා තමාගේ අතට ගෙන සිටියාය. එකෙණෙහි ශක්‍ර‍යා ඔහු සමීපයට අවුත් (43) “මහාතිස්ස උපාසකය, මා ගඟෙන් එතෙර කරව; මම චෛත්‍ය වැඳීම සඳහා අනුරාධපුරයට යමි” යි කීය.

(44) “හොඳයි ස්වාමීනි” කී හෙතෙම බත් කෑම තිබියදී ඒ භික්ෂුනම එතෙර කරන්ට ගියේය. (45) තොටුපලට පැමිණි ඒ භික්ෂුනම “තිස්සය, මාගේ නානකඩ තොපගේ ගෙයි මතක නැතිව ආමි”යි කීය. (46) එවිට දෙදෙනම හැරී ගොස් එය රැගෙන නැවත තොටුපලට ඇවිත් “මාගේ සැරයටිය එහි සිහි නැතිව තබා ආමි” යි භික්ෂුනම කීය. (48) නැවත දෙදෙනම හැරී ගොස් සැරයටිය ගෙන තොටට අවුත් (49) “මාගේ බඳපටිය සිහිනැතිව තබා ආමි”යි කීය. (50) නැවත හැරී ගෙට ගොස් ශක්‍ර‍ තෙමේ, ස්වකීය වේශය පෙන්වා (53) “තිස්සය, මුළු රෑ එහා මෙහා ඇවිදිමින් තා විසින් දුෂ්කර දෙයක් කරන ලදි. ඔබ ශ්‍ර‍ද්ධාවත් දායකයෙක්දැයි විමසීමට මම මෙහි ආවෙමි” යි කීය.

තිස්ස තෙමේ “නිරෝගී පුරුෂයකු වූ මට මෙය අපහසු නැත. මාගේ උපස්ථායිකා වූ සුමනාතොමෝ දිය බඳුන රැගෙන (එය අත නොහැර) මුළු රැය සිටීමෙන් අපහසු ක්‍රියාවක් කළාය” යි කීය. ශක්‍ර‍ තෙමේ “තොපගේ බිරිය තොපටම යෝග්‍ය ස්ත්‍රියකි. තොපගේ සංවාසය නදුනුයනෙහි දෙවියකුගේ හා දෙවඟනකගේ සංවාසය මෙනි. තිස්සය, මට අවසර දෙව, මම නදුනුයනට යමි” යි කියා දෙව්ලොවට ගියේය.

මෙසේ බුද්ධ ශාසනය ලැබ බොහෝ කුසල් රැස්කළ තිස්ස තෙමේ තුසිත පුරයෙන් ආ රථයෙහි නැගී අහසින් ගියේය. (මරණාසන්නයේදී සිදුවූ ප්‍ර‍වෘත්ති පළමු කථාවේදී මෙන් විස්තර කළ යුතු යයි දක්වා තිබේ.)


3. මෙතේ බෝසතාණන්ගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. හෙළදිව රුහුණු දනව්වෙහි කම්බෝජගමේ මලය නම් තෙරනමක් වසයි. ඒ තෙරනම පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පාත්‍ර‍ සිවුරු රැගෙන කාම්බෝජගමට පිඬු පිණිස ඇතුල් වුණි. එක්තරා මිනිසෙක් උපුල්මල් මිටි අටක් රැගෙන එන්නේ තෙරුන් දැක ඒවා තෙරුන්ට දුණි. තෙරනම ඒවා රැගෙන මේවා මහසෑයට පුදන්නෙම්ද? සෑගිරියෙහි පුදන්නෙම්ද? මහබෝධියට පුදන්නෙම් දැ යි සිතී. එවිට එතුමාට “තව්තිසා භවනයෙහි වූ සිළුමිණ සෑයේ දකුණු දළදාවට මේවා පුදන්නෙමි” යි සිතක් උපණි. එකෙණෙහි අහසට නැගී අසුරුසනක් ගසන කාලයක් තුළදී වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි නිලුපුල්මිටි රැගෙන පහළ විය. සක්දෙව් රජ දකුණු දළදාව ද කේශධාතුන් ද සිළුමිණ ඇතුළේ මහා වෛජයන්ත ප්‍රාසාදය ඉදිරියෙහි යොදුනක් වටැති සෑයක් පිහිටු විය. තෙරනම සෑය වෙත එළඹ අට තැනක වැඳ ප්‍ර‍දක්ෂිණා කොට එක්පසෙක සිටියේය. ශක්‍ර‍ තෙමේ තෙරුන් දැක පිරිස් සහිතව අවුත් තෙරුන්ට වැඳ පසෙක සිටගත්තේය. තෙරනම “මෙතේ බෝසත් මෙහි එන්නේදැ” යි සක්දෙව් රජුගෙන් ඇසීය. “එසේය ස්වාමීනි, අද අටවකය, බෝසත් තෙමේ මෙහි එන්නේය. එතුමා පක්ෂයේ පස්වෙනිදාත් අටවෙනිදාත් තුදුස්වක්දාත් පසළොස්වක්දාත් මෙහි වැඳීම පිණිස එන්නේය” යි කීය. ඔවුන් මෙසේ කථාකරන කල්හි එක් දේවපුත්‍රයෙක් මහත් පිරිවරක් සමග නැගෙනහිර දෙසැ පෙනුණි. ඔහු දැක තෙරනම “මේ මෙතේ බෝසත් දැ”යි ඇසීය. “මේ බෝසත් නොවේ, අන්‍ය දේවපුත්‍රයෙක්”යි විචාළේය. “පෙර අනුරාධපුරයෙහි ඇඳුම් මැසීමෙන් ජීවත් වූ බොහෝ පින් කළ සන්නාලිතෙමේය” යි දෙව්රජ කීය.

ඒ දේවපුත්‍ර‍යා ඇවිත් දකුණු පැත්තෙහි සිටගත්තේය. නැවත තවත් දේවපුත්‍රයෙක් මහ පිරිවරින් ආයේ ය. තෙරුන් විචාළ විට ඒ බෝසත් නොවේයයි ද අන්‍ය දෙවියෙකැයි ද දෙව්රජ කීය. ඔහු කවරෙක්දැයි විචාළ විට “හරිතාලගමේ මහාදානපතියාව සිටි හරිතාලතිස්ස” යයි කීය. ඒ දේවපුත්‍ර‍යා බටහිර දෙසැ සිටගත්තේය. ඉක්බිති මහ පිරිවරැති දෙවියෙකු එනු දැක ඒ කවරෙක්දැයි විචාලේය. “මේ තෙමේ දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු වූ සද්ධාතිස්ස මහරජ” යි කීය. හෙතෙම උතුරු දිශාව හොබවමින් ඒ දිශාවෙහි සිටියේය. ඉන්පසු මහපිරිවරින් තවත් දෙවියකු එනු දැක ඒ කවරෙක්දැයි තෙරනම විචාළේය. “යමෙක් බුදුරදුන්ගේ මහසෑය කරවී නම් ඒ මේ දුටුගැමුණු මහරජය”යි දෙව්රද කීය. ඒ දේවතාවා අවුත් නැගෙනහිර දිශාව හොබවමින් එහි සිට ගත්තේය.

ඔවුන්ට පසුව මෙතේ බෝසත් පැමිණියේය. ඔහුගේ එක් එක් පැත්තෙහි පිරිවර සහිත වූ අබරණින් සැරසුණු දෙවඟනෝ සිවුදෙන බැගින් ආහ. දැල්වෙන ගිනිමෙන් ප්‍ර‍භාවත් වූ ඒ දෙවඟනන් දුටු තෙරනම මේ ස්ත්‍රීහු සිවුදෙන මිනිස් ලොවදී කිනම් පිනක් කළාහුදැ යි විචාළේය. එයින් එක් දෙවඟනක් නානාවර්‍ණ නානාරශ්මි ඇත්තී ද විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තී ද විය. එක් අඟනක් රතුරැස් ඇත්තී රතු වස්ත්‍රාභරණ වලින් යුක්ත විය. එක් අඟනක් තඹ පැහැත්තී එවැනි රශ්මි හා වස්ත්‍රාභරණ ඇත්තී විය. එක් අඟනක් කසාවන් රශ්මිය ද කසාවන් වස්ත්‍රාභරණ ද ඇත්තී විය. දෙව්රජ මෙසේ කීය.

ගම් රටවල් හැර යන අවස්ථාවක කුඹල් ගමක දැරියක් මිශ්‍ර‍ පැහැති මල් පුදා දකුණු දෙස සිටියි. නාගදීපයේ මහලු ස්ත්‍රියක් උපුල්මලින් චෛත්‍යය පුදා වම්පසෙහි සිටියි. හෙළදිව කිණිහිරිය ගමෙහි දැරියක් සෑයට කිණිහිරි මල් පුදා දකුණු පසැ සිටියි. පෙර තම්මිණ ගමෙහි විසූ ස්ත්‍රියක් ලුණුවිල පුදා වම්පසින් සිටියි. යම් දෙවි කෙනෙක් හෝ දිව්‍ය ස්ත්‍රී කෙනෙක් බෝසතාණන්ට ප්‍රිය කෙරෙත් නම් ඔවුහු බෝසතුන් පිරිවරා ගෙන අහසෙහි යත්. ඒ බෝසත් තෙමේ පුණු පොහෝදා චන්ද්‍ර‍යා මෙන්ද, ශරත් කාලයෙහි සූර්යයා මෙන්ද, මෘගයන් මැද සිංහයා මෙන් ද, ගවයන් මැද වෘෂභයා මෙන් ද, පර්වතයන් මැද මහමෙර මෙන් ද, පක්ෂීන් මැද ගුරුළා මෙන් ද, ගංගා මැද සාගරය මෙන් ද, ගස් අතරෙහි පරසතු රුක මෙන් ද, මල් අතරෙහි රත්පියුම මෙන් ද, මැණික අතරෙහි වෛදූර්ය මෙන් ද, මිනිසුන් අතරෙහි සක්විති රජ මෙන් ද, පර්වතයක් මුදුනෙහි ගින්නක් මෙන් ද, රන් කොතක් මෙන් ද සියලු දෙවියන් ඉක්මවා වර්ණයෙන් ද තේජසින් ද බබළයි. මෙසේ අප්‍රමෙය වර්ණනා ඇති මෙතේ බෝසත්තෙමේ දෙවඟනන් හා දෙවියන් අතරෙහි දැල්වෙන්නා සේ ආයේය.

ඒ දෙවඟනෝ සතර දෙන මිනිස් ලොවේ දී ජීවිතාන්තය දක්වා නොයෙක් පින් කොට තුසිත භවනයෙහි ඉපද මහත් පිරිවර ඇත්තියෝ බෝසතුන් පිරිවරා අවුත් තුන් යොදුන් සිළුමිණි සෑය වැඳ ප්‍ර‍දක්ෂිණා කොට මාලෙය්‍ය තෙරුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියාහුය. මෙතේ බෝසත් තෙමේ “ස්වාමීනි, කොයි රටකින් වැඩිසේක්දැ”යි ඇසී. “දඹදිවින් ආමි” යි තෙරනම කීය. දඹදිව් වැසියන්ගේ ප්‍රාර්ථනාව කුමක්දැ යි විචාළ විට “ඔවුහු යම්කිසි කුශලක් කොට මෙතේ බුදුන් දකින්ට ලැබේවා යි ප්‍රාර්ථනා කෙරෙති”යි කීය. බෝසත් තෙමේ “යම් කිසි කුශලක් කොට මා දකින්ට ප්‍රාර්ථනා කෙරෙත් නම් ඒ සසර බියෙන් බිය පත්වූ ඔවුන් සසර සයුරෙන් එතෙර කරන්නෙක් වන්නෙමි. අවිද්‍යාවට වාසස්ථාන වූ තෘෂ්ණා නමැති දැලින් ගැවසීගත් සැඩපහරවලින් ගසාගෙන යනු ලබන ලෝකයා මම එතර කරන්නෙමි. කෙලෙස් නමැති දියසුළිවලට අසුවූ තෘෂ්ණා නමැති සොරුන්ට හමුවූ සංසාර නමැති දිශාවන්හි මුළාවූවන්ට යහපත් මග පෙන්වන්නෙමි. සංජීවකාලසූත්‍රාදී මහානරකයන්හි උපන් හැම සතුන්ගේ දාහය නිවන්නෙමි. මෝහ බන්ධනයෙන් බැඳුණු, තෘෂ්ණාවගේ දාස බවට පත් මිනිසුන්ගේ බැමි සිඳ නිවනට පමුණුවන්නෙමි. රාග් ද්වේෂ නමැති අන්ධකාරයෙන් අන්ධ වූ නැසුනු ඇස් ඇති මිනිසුන්ගේ ඇස් ප්‍ර‍ඥා නමැති කුර යොදා ශුද්ධ කරන්නෙමි. ශෝකාතුර වූ ඒ ජරාමරණාදියෙන් පෙළුණු සත්ත්වයන්ට ඥාන නමැති ඖෂධය දී සුවපත් කරන්නෙමි. මෝහ අඳුරෙන් මුළා වී සිරගෙවල හැසිරෙන මිනිසුන්ට ඥානාලෝකය පතුරුවා ඒ සිරගෙය විවෘත කරන්නෙමි”යි කීය.

මෙසේ කියා මෙතේ බෝසත් තෙමේ තෙරුන් වැඳ තුසිත දෙව්ලොවට ගියේය. තෙරනම කාම්බෝජ ගමට හැරී ආවේය.

සොළොස් අසංඛ්‍යයක් මුළුල්ලේ බොහෝ කුසල් රැස්කොට නුවණ මේරීමට පැමිණ ඒ බෝසත් තෙමේ බුදු වන්නේය. එසේ බුද්ධත්වයට පැමිණ සත්ත්වයන්ට අනුකම්පා කොට ඔවුන් දහම් නැවට නංවා එතෙර කරන්නේය. ඒ දහම් නැවට නැගුණු ධර්මප්‍රිය භික්ෂුවට සසරින් නික්ම නිවන් ලැබිය හැකිවන්නේය. ඒ බෝසත් තෙමේ අනාගතයෙහි හැම සත්ත්වයන්ටම පිහිට වන්නා වූ මෛත්‍රිය නම් බුදු රජ වන්නේ ය.


4. මහා දත්තගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. හෙළදිව රුහුණු ජනපදයෙහි එක්තරා ගැල්කරුවෙක් සහලින් පිරවූ කරත්තයක් දක්කමින් ගැඹුරු මඩ ඇති තැනකට පැමිණියේය. ගැල මඩෙහි එරුණි. ඔහුගේ මහාදත්ත නමැති ගොනා එය අදින්ට අසමර්ථ විය. ගැල් පදවන්නා ගොනුට කථාකොට “ඉදින් තෝ අද මේ ගැල ගොඩට අදින්නෙහි නම් මින්පසු කරත්තයේ නොබඳින්නෙමි” යි කීය. එයසා මහාදත්ත තෙමේ උත්සාහයෙන් පිරුණු සිතැත්තේ දැඩි සේ වීර්යය කොට ගැල නගා සිටුවන්ට මහන්සි ගත්තේය. ගැල්කරුවා ඔහුගේ පිට අතගා පැදෙව්වේ ය. ගොනා මුළු උත්සාහය යොදා සයවරක් කරත්තය ඇද්දේය. නමුත් මහළු බව නිසා ඇදගත නොහැකි විය. සත්වෙනි වාරයේදී වේගයෙන් අදින ඔහුගේ පපුව පැළී ගියේය. ඌ ලේ වමාරා එතැනම වැටුණි. ගැල්කරුවා ඌ හැරදමා අන් ගොනෙකු යොදාගෙන යන්ට ගියේය.

එවිට එක්තරා වලන් සාදන්නෙක් අවුත් ගොනා ජීවත්ව සිටියදීම උගේ හම ගලවා ගෙන මැටි ඇනීම පිණිස ගෙන ගියේය. එක්තරා තූර්යභාණ්ඩ සාදන්නෙක් අවුත් වීණාතත් සෑදීම සඳහා උගේ නහර උපුටාගෙන ගියේ ය. එක් වැද්දෙක් අවුත් තමාගේ බල්ලන්ට උගේ මස් කපා දුණි. බල්ලෝ තුමූම මස් කඩාගෙන ද කෑහ. කුරුකුහුඹුවෝද උගේ ඇඟට නැගී කන්ට පටන් ගත්හ. මෙසේ ඒ ගොනා මහත් දුකට පත්විය. එකල චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරනම පන්සියයක් භික්ෂූන් සමග ඒ මගින් යන්නේ ඒ ගොනා දැක කරුණා උපදවා පාත්‍ර‍වලින් ජලය ගෙනවුත් පෙවීය. ඒ පැන් බී ගොනා ස්වල්ප ආස්වාදයක් ලැබීය. තෙරනම ඔහු ඉදිරියෙන් වාඩි වී මහා සතිපට්ඨාන සූත්‍ර‍ය දෙසා තිසරණය දුණි. සිල්පද කියන විට ගොනා කලුරිය කොට තව්තිසා භවනයෙහි තිස්යොදුන් විමනක උපණි. හෙතෙම පෙර ජාතිය බලා තෙරුන්ට කෘතඥතාවය පෙන්වීම පිණිස මධ්‍යම රාත්‍රී කාලයේ දී දෙවඟනන් දහසක් පිරිවරාගෙන විමානය සමඟ අවුත් තෙරුන්ගේ පාමුලැ හෙව එක් පසෙක සිටියේය. තෙර නම ඔහුගෙන් (2) “පින්වත, අභිරූප වූ දර්ශනීය වූ දෙවඟනන් විසින් පිරිවරන ලදුව හැම දිශාවන් බබළවන්නා වූ තෝ කවරෙක්ද”යි ඇසී.

දේවපුත්‍ර‍ තෙමේ (3) මම පෙර අපායප්‍ර‍තිසන්ධි ඇති ගොනෙක් වීමි. මෝහයෙන් යුත් උත්පත්ති ඇති ඒ මම කුසල් නොහැඳින්නෙමි. (4) ගැල්කරුවෝ මා ගැලෙහි යොදා ගැඹුරු මඩවගුරක දැක්කූහ. එය අදින්නා වූ මගේ හෘදය වස්තුව පැළී ගියේය. (5) ගැල ගොඩ ගත් කෙණෙහි මම එහි වැටුණෙමි. එසේ වැටුණු දුර්වල වූ මා දැක ස්වාමියා හැර දමා ගියේය. (6) මා ජීවත්ව සිටියදීම ඇතමෙක් මාගේ සම ද මස් ද නහර ද අකාරුණිකව උපුටාගෙන ගියහ. (7) පින්වත් ස්වාමීන්වහන්සේ මෙවැනි විපතට පත් මා දැක අනුකම්පා ඇතිසේක් සතිපට්ඨාන සූත්‍ර‍ය දෙසූහ. (8) එය දෙසා අවසන්හි සරණ සිල් දුන්හ. සිල් දෙන විට මාගේ මරණය සිදුවිය. (9) එහි මැරුණු මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි. ඉදින් සිල් දෙනතුරු සිටියා නම් මට යාම දෙව්ලොව උපදින්නට ඉඩ තිබුණි. (10) දෙව්ලොවට ගියා වූද මාගේ පූර්වනාමය විනාශ නොවීය. දෙව්රජු සහිත දෙවියෝ මා “මහාදත්ත” යයි හඳුනා ගනිත්. (11) ගොන්ව සිටි මම ඉතා දරුණු දුකකට පත් වීමි. ඔබවහන්සේ මට සූත්‍ර‍යක් දෙසා තිසරණය ද දුන්හ. (12) ධර්මය කණට වැටුණ පමණින් මෙවැනි ඵලයක් දකිමි. දහසක් දෙවඟනෝ මා පිරිවරති. ඒ සූත්‍ර‍ය අසා මෙවැනි සම්පතකට පැමිණියෙමි. (13) යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් බුදු සසුන ආශ්‍ර‍ය කෙරෙත් නම් ඔවුන්ට ලැබෙන සැපය විස්තර කළ නොහැක. (14) දැන් මට සරණ සිල් දී ඒ සූත්‍ර‍යම දෙසනු මැනවිය. ඒ ධර්‍ම නමැති නැවට නංවා මා සසර සයුරෙන් එතෙර කරනු මැනවි. (15) ඒ සූත්‍ර‍යාගේ බලයෙන් ද සරණසිල් බලයෙන් ද මම ආපායික ප්‍ර‍තිසන්ධිය හැර දේවත්වය ලැබුවෙමි. (16) මෙසේ සංසාරයෙහි නොඇලුණු මහාදත්ත නම් ඒ දේවපුත්‍ර‍යා සතිපට්ඨාන සූත්‍ර‍ය දෙසන මෙන් ඒ තෙරුන්ගෙන් ඉල්වීය. (17) තෙරනම සරණසිල් දී ඒ සූත්‍ර‍යම දෙසා ඔහු ප්‍ර‍ථම ඵලයෙහි පිහිටුවීය. (18) දේව පුත්‍ර‍යා බුද්ධ පුත්‍ර‍යන් සමීපයෙහි දහම් ඇස ලබා පාදෙන ළඟ හිස තබා වැන්දේය. (19) දහසක් දෙවඟනන් හා සෝවාන් ඵලයෙහි පිහිටි හෙතෙම අහසෙහි හංසරාජයකු මෙන් දෙව්ලොවට ගියේ ය.

(20) එබැවින් බුදුවරු සත්පුරුෂ සේවනය පසසති. ධර්මයෙන් ප්‍රීතිමත්වීම වඩ වඩාත් පසසති. (21) පණ්ඩිත තෙමේ බොහෝ ගුණ උපදවන්නේ යයි දැනගෙන සත්පුරුෂ සමාගමය පසසන්නේය.


5. මනෝරමමංස කථාව


මෙසේ අසන්ට ලැබේ. අනුරාධපුරයෙහි එක්තරා බාල සාමණේරනමක් දන් වළඳන උපාධ්‍යාය තෙරුන්ට මල් හා කොළවර්ග පිළිගන්වා මෙසේ ප්‍රාර්ථනාවක් තැබීය. (1) “ස්වාමීනි, මේ පිනෙන් ද චේතනා පිහිටුවීමෙන් ද යම් යම් තැනක උපදින්නේ නම් ඒ ඒ තැන්හිදී මොනර මස් ලැබේවා”යි.

හෙතෙම කලුරිය කොට එනුවරම එක්තරා කුල ගෙයක උපණි. ඔහු උපන්දා සිට සැමදාම ඒ ගෙට මොනර මස් ලැබේ. එ බැවින් ඔහුට “මනෝරම-මයුර මංස” යයි නම තැබූහ. හෙතෙම ක්‍ර‍මයෙන් වැඩී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි විය. පැවිදි වූ ඔහුට නිතරම මොනර මස් ලැබුණි. එක්තරා දිනක් එක්තරා ඇමතියෙක් මොනර මසක් ලැබ ඒ තෙරුන්ට ආරාධනා කොට ගෙදරට ගෙන්වා අස්නෙක හිඳුවා ආහාර දෙවී ය. ඔහුගේ භාර්යාව මාංශලෝභය නිසා ටිකක් දෙනු කැමති විය. මස් ටිකක් ගන්නා විට සියල්ලම එකට ඇලී ආවේය. ගෘහණිය එය වෙන්කරන්ට නොහැකිව සියල්ල තෙරුන්ට දුණි. එය දැන මනොරම-මයුරමංස තෙරනම සිනා පහළ කෙළේය. ඇමතියා සිනා පහළ කිරීමට හේතු විමසමින්: (2) ඉන්ද්‍රිය සයෙහි සංවර ඇති සිල්වත් පැවිද්දෝ යම් කිසි කාරණයක් දැන සිනාසෙත්. (3) ඔබ විසින් මනෝඥ වූ මසක් දැක සිනා පහළ කරන ලදි. ඒ සිනාසීමට හේතු කිව මැනව, මම අසනු කැමැත්තෙමි”යි කීය.

තෙරනම මෙසේ කීය. (4) “මාගේ පින නොදන්නා වූ ඕ තොමෝ ටිකක් දෙනු කැමැත්තී වූවාය. ඒ සියල්ල මාගේ පාත්‍ර‍යට වැටෙනු දැක මම සිනා පහළ කෙළෙමි. (5) මෙලොව මසුරු මිනිස්සු ඉතිරි නොකොට දෙනු කැමැත්තෝ නොවෙත්. පින්වත් පුද්ගලයකු දැක මසුරුවීමෙන් පලක් නැත. (6) මා විසින් පෙර දක්ෂිණාර්හයන් කෙරෙහි යම් පිනක් කරන ලද නම් එය අද ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දක්නා ලැබේ. ඒ ස්ත්‍රිය සිදුරක් සොයයි. (7) මසුරු ස්ත්‍රියක් දැක මම සිනා පහළ කෙළෙමි. ඒ බව දත මැනවි; අන් කරුණක් නොසිතනු මැනවි.”

ඇමති තෙමේ තෙරුන්ගේ පින විමසින්නෙමියි සිතා පසුදා සඳහා ආරාධනා කොට නිවුඩු සහලේ බත් කාඩි හොදි සමග දිය යුතුයයි සිය බිරිඳට කියා ගෙයින් පිටත ගියේ ය. නගරපාලක දේවතාවා මිනිස් වෙසින් අවුත් මොනර මස්ද ඇල්හාල් ද දී කිරි මුට්ටියක් ද ඇමති බිරියට දී “ආර්යාවෙනි, ඇමතිතුමා මේ දේවල් පිස භික්ෂුනමට දන් දෙව”යි කීය. ඇමතිගේ භාර්යාව ඒ සියල්ල දැක ඇමතිතුමා මට කලින් මෙසේ කියා ගොස් නැවත සිත වෙනස්කොට මේ දේවල් අවුයේ වනැ යි සිතා ඒවා රැගෙන මනාසේ උයා දන් පිළියෙල කළාය. තෙරනම ද අවුත් අස්නක වැඩහිඳ දන් වලඳා ගියේය. ඇමතියා පසුව ඇවිත් “මං කීසේ සියල්ල කරන ලදදැ”යි බිරියගෙන් විචාළේය. ඕ ඔහුගේ කීම අසා ඔබ කලින් අනිකක් කියා පසුව අනිකක් කළාහ යි කීය. ඇමතියා පසුව මා විසින් කුමක් කරන ලදදැයි විචාළේය. ඔබ විසින් එවන ලද මස් ද ඇල්හාල් ද කිරි මුට්ටිය ද රැගෙන මම දන් පිළියෙල කොට ඒ හිමියන්ට දුනිමි යි ඕ කීය. මෙය ඇසූ ඇමතියා විස්මිතව පහන් සිත් උපදවා “අහෝ බුදුරදුන් විසින් ගිහියන්ට පැවිද්දන්ට ද පින් උපකාර වෙතියි කී දේශනාව මනාසේ දෙසන ලද්දකි. දක්ෂ වූ මිනිසා විසින් කුසල් ම කළ යුතුය. මම කාඩි හොදි සමග නිවුඩු හාලේ බත් පිස දෙව යි කියා ගිය නමුත් දේවතාවෝ මොනර මස් ද ඇල්හාල් ද ගෙට ගෙනාහ. මෙසේ ප්‍ර‍ත්‍යක්ෂ ඵලයක් දුටුවෙමි”යි කීය.

ඉන් පසු හෙතෙම මහාදානපතියෙක් විය. ධර්මයට ප්‍රිය කරන්නහු විසින් බොහෝ පින් කළ යුතු ය. තුසිත පුරයට ගිය සද්ධාතිස්ස ඇමතියා ද මෙහිදී බොහෝ පින් කොට තුසිත පුරයටම ගියේ ය.


6. ඵුස්සදේව තෙරුන්ගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දරනම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙරනමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයින් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙරනම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති. ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙන් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්තප්‍ර‍සාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ. (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍ර‍කට වූ තෙරනමක් කාළකන්දර ලෙණෙහි වසයි. (2) හෙතෙම අඩු ආශා ඇත්තේය, ධුතාඞ්ග දරන්නේය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේය, විවේකයෙහි ඇලුණේය, ධ්‍යාන වඩන්නේය, මනා සිහි ඇත්තේය, ශාන්ත සිත් ඇත්තේය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ. හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්ත ගුණ ඇත්තේය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.

තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා “පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු” යි කීය. ශක්‍ර‍ තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේද, දික්කළ අතක් හකුළන්නේද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) “ස්වාමීනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු”යි යාඥා කළේය. තෙරනම: (10) දේවේන්ද්‍ර‍ය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් සෘඬියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ සෘඬිය මට නැතැයි කීය. “ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට සෘඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ”යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර‍ තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේය. ඔසවන කෙණෙහිම තෙරනම ඇස් පියා ගත්තේය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා යයි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ. තෙරනම සංයුත්ත නිකායේ මහාවර්ගය කටපාඩමින් කීය. ඒ දේශනාවසානයේදී තෙරනම “දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේය”යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුත්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි. එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස්ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන්ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍ර‍වණය කෙළේය.

තෙරනම එක්දිනක් බෝමලුව මනාසේ හැමද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේය. නැවත තෙරනම එය හැමද බුදුගුණ සිහිකරමින් සිටියේය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය හැමද බුදුගුණ සිහිකරමින් සිටියේය. නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) “පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි; තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ”යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේය.

(13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) “ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි”යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේය. ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇත් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්‍රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවලදී කුසල් රැස් කරන ලදි. (17) සිය සිරුරුත් පරිත්‍යාග කරන ලදි. සිල් රැක්කෙය. තපසට ගියේය, ප්‍ර‍ඥාව පිරුවේය, (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය, සත්‍යයෙහි පිහිටියේය; අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවලදී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්‍ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක. (21) පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව්මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. (22) චක්‍ර‍ලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උසව සිටියාහ. විලුම්දෙක දිගය. කෙණ්ඩා දෙක ඒණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ. (23) දකුණට කැරකුණු නාභියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. (24) දික්වූ ඇඟිලි ඇත්තාහ, තඹවන් නියපොතු ඇත්තාහ, උස්වූ නහයක් ඇත, මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත. (25) සමවූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතුතොල් ඇත්තාහ. වසුපැටවුන්ගේ ඇස් වැනි ඇස් ඇත්තාහ. (26) දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙණ වැනි සුදු වූ ඌර්‍ණ රෝමයක් ඇත. අඳුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ. (27) උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය*[3] බබළයි. රන්වන් ශරීර ඇත්තේය. නුගගසක අතුපතර හා ගැලපෙන උස මෙන් නිග්‍රෝධපරිමණ්ඩල ඇත්තේය. (28) සියලු සත්ත්වයන්ට උත්තම වූ හැමමරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ. (29) කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල්පැහැති රැස් විහිදුවන උණ්භීස සහිත බුදුන්ගේ ඒ කේශයෝ අද නොදක්නා ලැබෙත්. (3) පුන් සඳේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌර්‍ණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝක පතුරුවා අද නොදක්නා ලැබේ. (31) දික් වූ පුළුල් වූ නිල්වූ නිර්මල වූ ආලෝක සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ. (32) දකුණට කැරකුණු නාභිය ද, කෝෂයෙන් වැසුණු ලිංගයද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙණ්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති. (36) බුදු රජුන්ගේ උඩි පතුල් පැලූ සක්ගෙඩියක් මෙනි, විලුම් දික්වෙති, යටිපතුල් චක්‍ර‍ලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ. (36) බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි, අප්‍ර‍ති පුද්ගලඅසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය.

(37) මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. (38) මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචාකරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත්වී යයි දැනගත් ශක්‍ර‍ තෙමේ එහි අවුත් “ස්වාමීනි, දෙව්ලොවට යමු”යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘඬියෙන් ස්වකීය විහාරයට පැමිණියේය. ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සියයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්වීය. තෙරනම නිශ්ශබ්දවීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර (=තම්බසුමනතෙර) නම ඵුස්සදේව තෙරුන් වැඳීම සඳහා පන්සියයක් භික්ෂූන් සමග එහි පැමිණියේය. හෙතෙම තෙරුන් වැඳ “ස්වාමීනි, පිණ්ඩපාතය සඳහා යාමට සුදුසු කාලය”යි කීය. “නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි”යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකඟ විය. ඉක්බිති නා රජ ගොස් “ස්වාමීනි පිඬු සඳහා වැඩීමට යෝග්‍ය කාලය”යි දැන්වීය. නාරජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්‍ර‍මුඛ දහස්නමක් භික්ෂූහු නාරජුගේ විමානය සමීපයෙහි වූ ගංඉවුරෙහි වැඩි මහලු පිළිවෙළින් සිටගත්හ. නාරජ සියපිරිස සමග අවුත් මහතෙරුන්ගේ පාත්‍ර‍ය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි; දිවසළු දෙකක්ද පාමුල තැබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුණි. නාරජ නැවත දන් පාත්‍ර‍යක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි.

මෙසේ දහසක් පමණ වූ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරුන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්ට නොකැමති වූහ. නාරජ එය දැක එතැනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. “මහරජ අපි වත්බිඳීම නොකරන්නෙමු”යි ඔවුහු කීහ. වත්බිඳීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යයි කීහ. නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙණෙහි ඒ ජෝඩුදෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේග උපදවනු සඳහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍ර‍කාශ කරමින් මෙසේ කීය: (39) කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහතෙරුන්ට මම බතින් ආරාධනා කෙළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙමි. (40) තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙරනම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. (41) ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍ර‍ත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි. (42) තෙරුන් විසින් පෙරජාතිවලදී මෙවැනි පින් කරන ලදි. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි, මෙය පිලිගත මැනවි. (43) ඒ තෙරනම මෛත්‍රීවිහරණ ඇත්තේය. රහත්ය, ආශ්‍ර‍ව නැත්තෙකි, ඒ ගුණ ඔබට නැත. එබැවින් පඬිරුවනි, මෙය පිළිගත මැනවි. (44) මේ වනරොදෙහි දරුණු වූ නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්ත්වයෝ ඇත්තාහ. (45) ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසාකරන සිත් දුරුකොට සැප ලැබූහ. (46) ඵුස්සදේව මහතෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාඥයෙනි, මෙය පිළිගත මැනවි. (47) යක්ෂයෝද, නාගයෝද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද (48) ඵුස්සදේවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි. (49) නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලැබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍ර‍ත් පිළිගත්හ. (50) මෙසේ ඵුස්සදේව තෙරනම නාගයන්ටද යක්ෂයන්ටද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි. (51) මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දැන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග-යක්ෂ-භූත-මිනිස් යන මොවුන්ට ප්‍රිය වී ද එමෙන් අන්‍ය මෛත්‍රීවිහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති.


7. සාලිකුමරුගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. ආර්යයන්ට වාසස්ථාන වූ අනුරාධපුරයෙහි ලෝකුරුවැඩෙහි දක්ෂ වූ කාර්මිකයෙක් විය. ගොවිතැන් වැඩ කරන අන් මිනිසෙක් ගොවි උපකරණ සාදවා ගැනීම සඳහා ඇල්සහල් ද ඌරු මස් ද වේවැල් කරටි ද ඒ කාර්මිකයාට පඬුරු පිණිස රැගෙන ආවේය. හෙතෙම එය බාරගෙන (1) ඇල්හාල් හා ඌරුමස් මට තෑගි පිණිස ගෙනෙන ලදි; මම එය දහස් ගණන් පඬුරු ලැබිය හැක්කක් කරන්නෙමි යි සිතී. (2) මේ අතර පුවඟු දිවයින් වැසි තෙර සතර නමක් පිඬු පිණිස අනුරාධපුරයට ආහ. (3) දක්ෂිණාර්හයන් සොයන්නා වූ ඒ කාර්මිකයා ඒ භික්ෂූන් දැක්කේය. (4) නුවණැති ඒ මිනිසා ඒ භික්ෂූන්ට ආරාධනා කොට තමාගේ ගෙට පමුණුවා මනාසේ පැනවූ ආසනවල හින්දෙව්වේය. (5) ඉන්පසු පැහැදුණු සතුටු සිත් ඇති හෙතෙමේ මස් සහිත ඇල් හාලේ බත් සකසා සියතින් දී මෙවැනි ප්‍රාර්ථනාවක් කෙළේය. (6) “දිව්‍යමය හෝ මනුෂ්‍යමය වූ යම් යම් භවයක උපදින්නෙම් නම් දහස් ගණන් පඬුරු මා වෙත එළඹ සිටිත්වා”යි. (7) හෙතෙම තාදීගුණ ඇති රහතන් කෙරෙහි ඒ දානය දී ඒ සොම්නසින් යුතුව කලුරිය කොට දුටුගැමුණු මහරජුගේ බිසවගේ කුසෙහි පිළිසිඳ ගෙන ඒ රජුගේ පුත්‍ර‍භාවයට පැමිණියේය. (9) ඔහු මවු කුසේ පිළිසිඳ ගත්දා සිට දහස්ගණන් පඬුරු ගලා එන්ට වූහ. මවුදේවිය ඒවා පිළිගත්තාය. (10) මවුකුසින් බිහි වූ දින සිට කුමාරයාම ඒවා පිළි ගත්තේය.

මෙසේ දොළොස් වර්ෂයක් ඉක්මෙන තුරු පඬුරු ගලා ආ බැවින් ද ඒ කාලය තුළදී ලෝකයෙහි ඇල්හාල් රැස්වීම සිදුවූ බැවින් ද එකුමරුට සාලි කුමරු යයි නම තැබූහ. කලකට පසු උත්තම රූපධර වූ අසෝකමාලිනී නමැති සැඩොල් කුමරියක් ඔහුගේ භාර්යාව වූවාය. ඇගේ පූර්ව ජන්ම කථාව මෙසේයි :-

අතීතයෙහි කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවි කල්හි බරණැස් නුවර එක්තරා දුගී මැහැල්ලක් සංඝයාට ද භික්ෂූන් දෙනමකට ද නිතිපතා දන් දෙයි. එක් දිනක් භික්ෂු නමක් කල් ඇතිවම ඇගේ ගෙට ආහ. උපාසිකාව ඔවුන් දැක “ස්වාමීනි, තවම දන්වේලාව නොපැමිණියේය. දානය පිළියෙල කරන තුරු මේ ශාලාවෙහි වැඩහුන මැනවැ”යි කීය. භික්ෂූහු අසුන්හලට ගොස් බණ කියමින් උන්හ. මැහැල්ලිය වහා දන් පිළියෙල කොට “දුවණියෙනි, අසුන්හලට ගොස් ඒ භික්ෂූන් කැඳවාගෙන එව. ඔවුහු බොහෝ වේලාවක් එහි සිටියාහ”යි එක් දුවකට කීය. ඈ එහි යන විට භික්ෂූන් දහම් දෙසූ බැවින් ඕ ධර්ම කථාව අවසන් කරන තෙක් සිට දේශනාවසානයෙහි තෙවරක් සාධුකාර දී “ස්වාමීනි, දන් වැළඳීමට කාලය පැමිණියේය”යි භික්ෂූන්ට දන්වා ඔවුන් වැඩමවා ගෙන ගෙට ආය. සිදු වූ පුවත් නොදත් මව “හිතුවක්කාර කෙල්ල, කොහේ ඇවිද දවල් වූ පසු භික්ෂූන් රැගෙන ආවෙහි දැ”යි ඇසී. දුවණියෝ (11) “සැඩොලිය, කුමකට කිපෙහිද? මම බණ අසමින් උන්නෙමි. බණ ඇසූ මට සැඩොලිය කෝපවේ”යයි කීහ.

(12) කෝපයෙන් මැඩුණු ඕතොමෝ මවට පරුෂ වචන කීය. ඒ කීමේ වරදින් ඈ බොහෝ පව් රැස්කර ගති. පසුව ඒ දෙදෙනම මෙලොවින් මියගොස් දෙව්ලොව උපන්හ. දුව බොහෝ කලක් එහි වැස එයින් ච්‍යුතව මිනිස් ලොව සැඩොල් කුලයක උපණි; ඇය මනා රූ ඇත්තීය. දැකුම්කලුය. අනුන් පහදවන ස්වභාව ඇත්තීය, ධනයෙන් ආඪ්‍යය, බොහෝ උපකරණ ඇත්තීය. බණ අසා සාධුකාර දීම නිසා ඇගේ මුඛයෙන් රැස් විහිදෙති. මෙසේ පරම්පරාවෙන් අවුත් අනුරාධපුරය අසළ එක්තරා ගමක සැඩොල් කුලයෙහි ඉපදුණි. එකල්හිත් මනා රූ ඇති, දර්ශනීය වූ, පැහැදීම් එළවන, රන්වන් පැහැති දෙවඟනක් සමාන විය. බණ අසා සාධුකාර දුන් බැවින් ඇගේ කටින් අසෝකමල් කෙසුරු වැනි රැස් විහිදෙති. එබැවින් ඈට “අසෝකමාලිනී” යයි නම තැබූහ. දොළොස් හැවිරිදි වියෙහි සිටි ඕ එක් දිනක් යම්කිසි කටයුත්තක් නිසා අනුරාධපුරයට ගියාය. සාලි රාජ කුමාරයත් එථයක නැගී පිරිවර සහිතව නුවරින් පිට යන්නේ නුවර දොරටුව අසලට පැමිණියේය. අසෝකමාලිනිය කුමරු දැක බියපත් වී මගින් ඉවත්ව ප්‍රාකාර බිත්තියට හේත්තු විය. කුමරා ඇය දැක සිතියම් කළ රූපයකැයි සිතා මිනිසුන්ගෙන් විචාරමින් මෙසේ කීය: (13) ප්‍රාකාර බිත්තියෙහි ඇඳි මේ ස්ත්‍රී රූපය අතිශයින් හොබනේය. මින් පෙර අප විසින් නොදක්නා ලද මෙය කවරකු විසින් අඳින ලද්දක්ද?” මෙය සිතියම් කළ රූපයක් නොවේ; මෝ සැඩොල් දැරියකි. නොපෙනෙන සේ සිටිනු කැමති ඈ බිත්තියට හේත්තු වී සිටී” යයි මිනිස්සු කීහ. (15) දැරියක්ය යන වචනය අසා පිළිබඳ සිතැති කුමාරයා “ඇය අන්තඃපුරයට ගෙනයව්; ඕ මාගේ බිරිය වන්නීය”යයි කීය. (16) කුමරුගේ කීම අසා ඉක්මනින් එතනට ගිය මිනිස්සු බිත්තියට ඇලී සිටි ඇය ඉවතට ගත්හ. (17) ඇය අබරණවලින් සරසා සළුවක් අන්දවා මනාසේ සුවඳ ගල්වා කුමරු සමීපයට ගෙනාහ. (18) කුමරා ඇය රැගෙන සිය මාලිගයට ගොස් මෙහෙසි තනතුරෙහි තබා මහත් සත්කාර කෙළේය.

ඒ පුවත ඇසූ දුටුගැමුණු මහරජ සැඩොලියක් භාර්යා කොට ගෙන අන්තඃපුරයට ඇතුල් කෙළේයයි ඉතා කිපී සාලි කුමරු නුවරින් නෙපන්නෙමියි සිතා එහි ආවේය. අසෝකමාලිනිය රජු දැක රන් භාජනයකට පැන් ගෙන රජුගේ පා සේදීම පිණිස රජු වෙත ආය. ඇගේ රූපසම්පත්තිය දුටු රජතෙම රාගයෙන් මත්විය. සාලි කුමරාද අවුත් රජුට වැඳ සිටියේය. රජ තෙම කුමරු දැක (19) “ඉදින් තාගේ බිරිය නොවී නම් මම ඇය භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. පිළිබඳ සිතැත්තහුට කුලයක් හෝ ගෝත්‍ර‍යක් විද්‍යමාන නොවේ” යයි කියා හැරී ගියේය.

මෙසේ අසෝකමාලිනිය සාලි රාජකුමාරයාගේ බිරිය විය. කුමරා දහස් ගණන් පඬුරු ලබමින් විසීය. (20) මෙසේ වසන කුමරුට මේ පුණ්‍ය විපාකය කාගේද? මාගේම පින් බලයක්දැ යි විමසීමට සිතක් පහළ විය. (21) මෙසේ සිතා වනයෙහිදීත් මේ විපාක ලැබෙත් දැයි විමසීම පිණිස කසාවත් හැඳගෙන තනිවම නුවරින් නික්ම බටහිර දිශාවට ගොස් පඳුරු අස්සේ සැඟවී හුන්නේය. (23) ඔහු මෙසේ හිඳින විට රනින් කළාවූද රිදී-තඹ-පිත්තලවලින් කළා වූ ද භාජන පුරවා ගත් කරත්ත පන්සියයක් රැගෙන ජනපදවැසියෝ එහි ආහ. ඒවා ගෙනාවේ කුමරුට දීම සඳහාය. කුමරා යම් තැනෙක හුන්නේ නම් ඒ ගැල් එතැන්හි නැවතුණාහ. කුමාරතෙමේ මේවා මා සඳහාම ගෙනෙන ලදැයි දැනගෙන ඒ පඬුරු පිළිගෙන ස්වකීය භවනයට ආවේය. පසුදා උතුරු දොරටුවෙන් නික්ම එසේම සැඟවී හුණි. (25) එදින රත්හැල් පිරවූ කරත්ත පන්සියයක් අවුත් කුමරු හුන් තැන නැවතුණි. ගැල් අයිතිකරුවෝ කුමරු ඒ සමීපයෙහි ඇති බව දැන ඒවා බාරදුන්හ. කුමරා ස්වකීය වාසස්ථානයට හැරී ගොස් පසුදා නැගෙනහිර දොරටුවෙන් නික්ම පෙර සේම සැඟවී උන්නේය. එදින ගැල් පන්සියයක පිරවූ සුවඳ ගිතෙල් ගෙනවුත් කුමරුට පිළිගැන්වූහ. ඊට පසුදා දකුණු දොරටුවෙන් නික්ම සැඟවී හුණි. එදින සකුරු මී පැණි හා පැණි භාජන පුරවාගත් ගැල් පන්සියයක් අවුත් කුමරු සමීපයෙහි නැවතුණි. ගැල් පැදවූවෝ කුමරු දැක ඒවා ඔහුට පිළිගැන්වූහ.

මින්පසු කුමරා නුවර අවට ප්‍රදේශයේ දී පමණක් මේ විපාක ලැබෙත්ද? නැතහොත් දිවයිනේ කොතැන සිටියත් ලැබෙත්දැයි විමසනු කැමතිව අසෝකමාලිනිය හා රථයක නැගී සෑගිරිය දෙසට ගියේය. සෑගිරියටත් ගමටත් අතරෙහි නැවතී රථයෙන් බැස කුමාරයා බිම හිඳගෙන අසෝකමාලිනිය අමතා (28) මට බඩගිනි ඇත; මෙහිදීම අනුභව කරන්නෙමි; මේ වනයෙහි සොයා වහා ආහාර ගෙනව”යි කීය. (29) “ස්වාමීනි, මිනිසුන් නැති මේ වනයෙහි ආහාර කොයින්ද? අප ළඟත් නැත. ආහාර දෙන අනිකෙක්ද නැතැ”යි බිරිඳ කීය. (30) කුමරතෙමේ බිරිඳගේ කීම අසා තමා අත තිබුණු සැරයටිය දී මේ සැරයටියෙන් අර ගසට පහර දී “මට ආහාර දෙව”යි කියවයි කීය. ඕ යහපත ස්වාමීනියි කියා සැරයටිය ගෙන “ආහාර දෙව”යි කියා ඒ ගසට ගැසීය. සැරයටිය රුක්දෙවියාගේ ඇඟේ වැදුණු බැවින් බියපත් වූ දේවතාවා “ස්වාමීනි, කුමක් හෙයින් මට පහර දෙහිද? කල් ඇතිවම මම “කුමාරයා ආවේය; තෙපි ආහාර සම්පාදනය කරව්”ය යි දෙවිවරුන්ට කියම කෙළෙමි”යි කීය.

ඉන් පසු බත්කත් සතරක් යකුන් අතේ එවීය. කුමරා ඔවුන් දැක ඔවුන් ලවාම ඒ කත්සතර ගෙන්වා ගෙන සෑගිරියට ගොස් භික්ෂුසංඝයාට වළඳවා පසුව තෙමේත් බිරිඳ සමග අනුභව කෙළේය. මේ පිළිවෙලින් සත්දිනක් සෑගිරියෙහි වසමින් දන් දී අනුරාධපුරයට හැරී ආවේය. රජතෙම කුමරු දැක (31) “තෝ මාගේ රටේ පිටිසරට ගොස් මහජනයා පෙළා ධනධාන්‍ය උදුරා ගෙන විනාශ කෙරෙහිය”යි කීය. “මහරජ, මම ඔවුන්ගේ දෙය උදුරා නොගනිමි. දෙවියෝ මා වෙත එළඹ සිටියාහ. මම සත්දිනක් සෑගිරියෙහිම විසීමි”යි කුමරා කීය.

(33) මෙසේ පිරිසිදු කුසල් ඇති, රැස්කළ පින්බල ඇති, හාත්පස ජනපදයන්හි මිනිසුන්ට ප්‍රිය වූ කුමාර තෙමේ හැම කල්හි කාමසම්පත් ලැබීය. (34) දශකුශලයන්හි ප්‍ර‍මාදී නොවූ, නානාවිධ දන්දීම්වල යෙදුණු පුද්ගල තෙමේ සුගතියට යන මග ශුද්ධ කොට ගෙන සිය ගෙදොරට යන්නා සේ දෙව්ලොවට යයි. (35) ප්‍ර‍තිරූපදේශාවාසාදි චතුර්විධ සම්පත්තියෙහි කළාවූ ප්‍රාර්ථනා ඇති පුද්ගලයාට මෙකුමරුට මෙන් දෙවියෝ ඇලුම් කරති.


8. සද්ධාතිස්ස මහරජුගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. යහපත් උතුම් දිවයිනක් වූ, බොහෝ සත්පුරුෂයන්ට වාසස්ථාන වූ ඉතා සුභික්ෂ වූ සිංහලද්වීපයෙහි සද්ධාතිස්ස නම් රජෙක් රාජ්‍යය කරවීය. සිංහාසයනගතව විවේකයට පැමිණ නීවරණයෙන් දුරුවූ සිතැති ඒ රජුට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. බුදුරදුන් විසින් සංයුත්ත නිකායේ දේවතා ප්‍ර‍ශ්නයකදී පිරිසිදු දානය වර්ණනාකරමින් (1) ඇතැම් කෙනෙක් විෂම චරිතයෙහි පිහිටා අනුන් කපා කොටා වධ දී සෝක උපදවා දන් දෙති; දඬුවම් සහිත වූ හැඬූ කඳුලෙන් යුත් ඒ දානය සම පැවැත්මෙහි පිහිටා දුන් දානය හා සමබවට නොපැමිණේ” යයි දෙසන ලදි. මා උතුම් වූ පිරිසිදු වූ මහත් අනුහස් ඇති දානයක් දෙන්නෙම් නම්, විෂමදානය දුරු කොට සමාදානයක් දෙන්නෙම් නම්, බුදුන් විසින් පසස්නා ලද සිය කය වෙහෙසීමෙන් දානයක් දෙන්නෙම් නම් යෙහෙකැයි සිතා සියමෙහෙසිය අමතා (2) සොඳුර, දැන් ශස්‍යකාලයයි; ශස්‍ය පැහී ඇති බැවින් බොහෝ දෙන තුමූම ගොයම් කැපීම කරත් (3) මමත් කසාවත් හැඳගෙන දෑකැත්ත ගෙන ඇල්කෙත්වලට ගොස් ඇල්ගොයම් කපන්නෙමි. (4) ඒ වී ගෙනවුත් බත් සාදා ව්‍යඤ්ජන සහිත කොට සංඝයාගෙන් ලබාගත් භික්ෂු නමකට දන් දෙන්නෙමි. (5) ඉදින් සංඝයාට දෙන්නෙම් නම් ඒ දානය බුදුරදුන් විසින් වර්ණනා කරන ලදි. මම ඒ දානය දීම සඳහා බැලමෙහෙ කරන්නෙමි යි කීය. (6) මෙසේ එම කාරණය දේවියට කියා රැයින්ම නැගිට ගොස් පිටත ගොස් මහ මග සිටගෙන යන එන මිනිසුන්ගෙන් විචාළේය. (7) මහ මග සිටි ඔහු දැක එක් ගෘහපතියෙක් සතුටු සිතින් ඔහු වෙත ගොස් මෙසේ විචාළේය: (8) ඔබගේ අත් පා සිවු මැලි වෙත්, ශරීරයද සුවසේ වැඩුණකිථ මිත්‍ර‍ය ඔබ තනිව කුමකට මෙහි සිටිනෙහිද? (9) “මිත්‍ර‍ය, මම කම්කරුවෙක්මි: දවස් කුලියට වැඩ කරමි. එසේ කොට යමක් ලබන්නෙම් නම් එය ගෙන යමි”යි රජ කීය. (10) මා විසින් මෙවැනි කම්කරුවෙක් මින් පෙර නොදක්නා ලදි. මේ ශරීරය රජකම් කිරීමට සුදුසු ය. මෙය බැලමෙහෙ කිරීමට යෝග්‍ය නොවේ යයි කී ගෘහපතියා “කවරෙක් හෝ වේවා; කුඹුරක ගොයම් කපන්ට හැකිදැ”යි විචාළේය. එසේය, හැකියයි කී විට “එහෙනම් යමු”යි කියා ඔහු සමග ගොස් කුඹුර පෙන්වා මෙහි ගොයම් කපවයි කීය. එය පිළිගත් ශක්තිමත් රජ ශ්‍ර‍ද්ධාවෙන් යුක්තව දවස මුළුල්ලේ වැඩ කෙළේය. එයින් සතුටට පත් කුඹුරු හිමියා ඔබට යම් පමණ ගොයම් ගෙන යා හැකිනම් එපමණ ගත මැනවැයි කීය. රජතෙම මහත් ගොයම් මිටියක් බැඳ තබා රාත්‍රී කාලයෙහි රජගෙට ගෙන ගොස් එහි තැබීය. රාජදේවිය ඔහු උණු වතුරෙන් නාවා අත් පා මැඬීම කළාය. ඉක්බිති රජ හා දේවිය එක්වී ගොයම් මැඩ පිදුරු ඉවත දමා රජ තෙම දේවියට මෙසේ කීය. (11) “මේ ධාන්‍යවලින් කළ යුතු දෙය කරනු මැනවි. රජගෙය තුළට කිසිවකුට පැමිණෙන්ට ඉඩ නොදෙව”. (12) ඕ තොමෝ යහපතැයි කියා රජුගේ කීම පිළිපදිමින් දහයියා හා කුඩු ආදිය ඉවත් කොට අතැම් සහල් විකුණා ඒ මුදලෙන් සකුරු ගිතෙල් කැවුම් ආදිය ගෙන එක් නමකට සෑහෙන දානයක් පිළියෙල කොට රජුට දැන්වීය. (15) රජතුමා දාසියක් අමතා “තී වහා සංඝයා සමීපයට ගොස් සංඝයාගෙන් භික්ෂුනමක් ලබාගෙන එවයි”යි කීය.

(16) පුවඟු දිවයින වැසි තිස්ස තෙර මේ කීම දිව කණින් අසා එක්තරා භික්ෂු නමක් අමතා “ඇවැත්නි, තොපගේ උපස්ථායක වූ සද්ධාතිස්ස මහරජ බැලමෙහෙ කොට එක් භික්ෂු නමකට දානය පිළියෙල කරයි. හෙතෙම එය සංඝයාට දෙනු කැමතිව දැන් දාසිය විහාරයට පිටත් කෙළේය. ඒ දානය පිළියෙළ කළ රජු විසින් දුෂ්කර දෙයක් කරන ලදි. එය පෘථග්ජනයෙක් අනුභව නොකෙරේවා. ඔබ තාම්‍ර‍පර්ණියට ගොස් එහි අසුන්හලෙහි වැඩිමහලු පිළිවෙළින් සිටිනු මැනවි. ඔබට ඒ සීට්ටුව ලැබෙන්නේය”යි කීය. ඒ භික්ෂුනම “යහපති ස්වාමීනි”යි කියා අහසට නැග තාම්‍ර‍පර්ණියෙහි බැස පාත්‍ර‍ සිවුරු රැගෙන අසුන්හලට ගොස් වැඩිමහලු පිලිවෙළින් සිටියේය. රජුගේ දාසිය ආරාමයට ගොස් ආරාධනා පිළිගන්නා තෙරුන් වෙත පැමිණ කාරණය දැනුම් දී භික්ෂුනමක් ලබාගෙන ආවේය. රජතුමාත් දේවියත් ඉදිරියට අවුත් වැඳ රජ තෙම පාත්‍ර‍ය ගෙන ඒ ආහාරයෙන් පාත්‍ර‍ය පුරවා පාත්‍ර‍යට යටින් වස්ත්‍ර‍යක් තබා අතිශය ගෞරව දක්වා භික්ෂුනමට ඒ පාත්‍ර‍ය දුනි. භික්ෂුනම පිණ්ඩපාතය රැගෙන මෙසේ කීය. (17) “මේ දානය සම්පූර්ණයි, ආසනයක් නොලබන්නා වූ මම කැමති තැනකට යන්නෙමි. (18) මහරජ, අධික පැහැදීම නොකළ මැනවි, මධ්‍යස්ථ වෙව. අධික ප්‍රීතියෙන් යුත් සිත දරාගන්ට අපහසු වෙයි.”

(19) මෙසේ කියා ඒ භික්ෂුනම අහසෙහි පක්ෂියෙකු මෙන් ගමන් කොට ඒ දානය සංඝයාට පිළිගැන්වීය. (20) ඒ ආහාරය දහතුන්දහසක් භික්ෂූන්ට ප්‍ර‍මාණවත් විය. දී ඉතිරි වූ දෙය ඒ භික්ෂුනම වැලඳී. (21) රජ තෙම දක්ෂිණාර්හයන් ගේ ගුණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක මහත් පැහැදීමක් ඇති කොට මානසික සැපයට පත්විය.

ඉක්බිති ඒ රජුගේ මරණාසන්න කාලය පැමිණි විට ධර්මකථිකයෝ “මහරජ, තමා කළ කුසල් සිහිපත් කිරීම මැනවැ”යි කීහ. රජතෙම මෙසේ කීය: (22) මා විසින් මිණිමුතු යෙදූ බොහෝ බුද්ධ රූපාදිය රනින් කරවන ලදි. ධර්මය කෙරෙහිත් සංඝයා කෙරෙහිත් මා කළ පින් විවිධාකාරය. (23) තුදුස්වකදා දා පසළොස්වක් - අටවක් දිනයන්හිදීද මා විසින් මනා සේ අටසිල් රකින ලදි, නමුත් මේ සියල්ල පරදවා එක් භික්ෂුනමකට දුන් දානය මට පෙනෙයි. (24) මෙසේ නරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ දෙව්මිනිසුන් විසින් උසස් තැන තැබූ ආර්ය සංඝයා අතරෙහි වූ ආර්ය පුද්ගලයකුට දන් දී තුසිත භවයට ගියේය. (25) ඒ රජ අප්‍රමේය වූ අනන්ත වූ සැපයක් ලැබුවේය. මේ මහාජනයාද ඒ රජු මෙන් ජරාමරණ නැති ක්ෂයවීම් නැති ශෝක නැති උතුම් සපැය ලබාවා.

කණ්ටකසෝල පටුනෙහි උපන් පට්ටකොට්ටිවිහාරවාසී ආචාර්ය ධම්මනන්දි තෙරුන් කළ සීහළවත්ථු දසකය නිමි.

ප්‍ර‍ථම පරිච්ඡේදය නිමියේයි.

(මෙහි කථා දශයකැයි කියවෙන නමුත් තිබෙන්නේ කථා අටකි. මහාචේතිය කථා - දීඝචේතිය කථා යන දෙක එක් පිටපතකවත් දකින්ට නොලැබේ. අග තිබෙන නිගමන ගාථාවලින් ඒ නම් දෙක පමණක් දත හැකිය)

දෙවෙනි පරිච්ඡේදය

9. මහාදේව උපාසකයාගේ කථාව


දානඵලානිසංසය කථාවස්තුව සමග මෙහි දක්වනු ලැබේ. මෙසේ අසන්ට ලැබේ: සිංහල ද්වීපයෙහි තිස්සදන දනව්වෙහි (?) ‘වත්තේ ගම’ නමැති ගමක් විය. එ ගම්හි ශ්‍ර‍ද්ධාවත් ධාර්මික ජීවිකා ඇති තුනුරුවන්හි පැහැදුණු උපාසකයෙක් වසයි. හෙතෙම ගොයම් පැසෙන කාලයෙහි වනයේ කුඹුර අසල පැලක් සාදාගෙන ගොයම් රැකීම සඳහා උන්නේය. එකල මධ්‍යම රාත්‍රි කාලයෙහි එක්තරා ප්‍රේතයෙක් ආහාරපාන ඉල්වමින් හඬමින් විලාප කියමින් මහමග යයි. ඒ ශබ්දය අසා මහාදේව උපාසකයා නැගිට දුර සිටගෙනම (2) “මිනිසුන් නැති වනයෙහි රාත්‍රි කාලයෙහි ආහාර පාලන ඉල්විමන් දුකසේ හඬමින් වැළපෙමින් යන්නේ කවරෙක්දැ”යි ඇසී. ප්‍රේතතෙමේ (3) “මිත්‍ර‍ය මම මසුරු බව නිසා ප්‍රේතභාවයට පැමිණියෙක්මි. පව්කම් කොට ප්‍රේත ලෝකයෙහි උපන්නෙක්මි. (4) මට නෑයෝ නැත්තාහ, සනාථ වූ හෙවත් නෑයන් ඇති මොවුහු කා බී සැපසේ යත්. (5) මොවුහු අබරණවලින් සැරසී ඇත් අස් රිය ආදියෙහි නැගී කැමති දිශාවලට යෙති”යි කීය.

(6) එවිට මහාදේව උපාසකයා මෙසේ විචාළේය: මොවුහු කොතැනින් මේවා ලැබුවාහුද? තෝ කුමක් හෙයින් නොලබන්නෙහි ද? ප්‍රේතයා මෙසේ කියයි :- සිංහල ද්වීපයෙහි රුහුණු පෙදෙසේ බෝපිටිය නම් ගමෙහි මිනිස්සු ආහාර පාන දන් දී ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරවූහ. (8) ඒ ඥාති ප්‍රේතයෝ එහි ගොස් පින් අනුමෝදන් වී ප්‍රේත භාවය හැරදමා දේවත්වයට පැමිණියාහ. (9) මම ඔවුන් දැක හඬමි, වැලපෙමි, ශෝක කරමි. ඔවුන්ගෙන් නැවත නැවත ඉල්වමින් පසු පස්සේ යමි. උපාසකයා (10) යම් කෙනෙක් පරලොව ගියාහු නම් නෑයෝත් නොනෑයෝත් පින් දෙතියි කීය. ප්‍රේත තෙමේ (11) නෑයන් නොනෑයන් පින් දුන්විට ප්‍රේතයෝ අනුමෝදන් වෙත් නම් ඒ පින ඔවුන් කරා පැමිණේය යි කීය. එවිට උපාසක තෙමේ: (12) මම හෙට සිල්වතුන් සිය ගෙදොරට ගෙන්වා ආහාර පාන දන් දෙන්නෙමි. තෝ එය අනුමෝදන් වෙව යි කීය. (13) “මිත්‍ර‍ය, මම එය අනුමෝදන් වන්නෙමි, අනුකම්පා ඇති ඔබ මා සඳහා දෙනු මැනවි. සාපිපාසාවෙන් පෙළුණු මා අපායෙන් නිදහස් කළ මැනවැ”යි කීය.

ඉක්බිති මහාදේව උපාසකයා ඒ රාත්‍රිය ඇවෑමෙන් විහාරයට ගොස් භික්ෂූන් අටනමකට ආරාධනා කොට ගෙට ගොස් හැම ආහාර වර්ගයන් සම්පාදනය කරවා ඒ භික්ෂූන් වඩම්වා ගෙන අවුත් ආසනයන්හි හිඳුවා “මේ විපාකයෙන් ප්‍රේතයාට පැන් ලැබේවා”යි කියා පැන් පිළිගැන්වීය. කැඳ කැවිලි පිළිගන්වා ආහාර පිළිගන්වා මල් පූජාකොට “මේ විපාකයෙන් ප්‍රේතයාට කැඳ ආදිය ලැබේවා”යි අනුමෝදන් කරවීය. ප්‍රේතයා ඒ පින් අනුමෝදන් වී දිව්‍යාත්මභාවයක් ලැබීය. භික්ෂූහු වලඳා අනුමෝදන් කොට හැරී ගියහ. උපාසකයා පසු දින කෙතට ගොස් පෙර සේ නිදා ගත්තේය. මැදියම් රාත්‍රී කාලයෙහි පැන් බී ආහාර අනුභව කොට මලින් සැරසුණු ප්‍රේතයා දිව්‍ය ශරීරයකින් එහි අවුත් උපාසකයාට නුදුරු තැනක සිටගෙන මෙසේ කීය: (11) “මිත්‍ර‍ය, නැගිටිනු මැනවි, කුමකට නිදන්නෙහිද? සාංදෘෂ්ටික ඵලය බලනු මැනවි. කල්‍යාණ මිත්‍ර‍යකු ලබා මම උතුම් සැපතට පත්වීමි.” උපාසකයා පැල්පතෙන් ඉවතට පැමිණ මෙසේ කියා: “මිත්‍ර‍ය, බොහෝ දුර සිටියෙහි, මා සමීපයට එව; සැරසුණු තා දකින් කැමැත්තෙමි. කුමක් හෙයින් තෝ ලජ්ජාවෙහිද?” ප්‍රේතයා මෙසේ කීය. (16) “මිත්‍ර‍ය, මම නිර්වස්ත්‍ර‍ව සිටිමි, එබැවින් ලජ්ජාවෙමි. මට වස්ත්‍ර‍යක් නැත. ඉතිරි සියල්ල සම්පූර්ණ වූ නමුත් මට එක් වස්ත්‍ර‍යක් නැත.” උපාසකයා මෙසේ කීය: (17) මා ළඟ එක් වස්ත්‍ර‍යක් ඇත. මම එය තට දෙමි. එය හැඳගෙන මා සමීපයට එව.” (18) මෙසේ වස්ත්‍ර‍ සියයක් දුන්නත් ඒවා මට නොලැබෙති. සිල්වතුන්ට යමක් දෙන ලද නම් ප්‍රේතයෝ ඒවා පරිභෝග කෙරෙතියි ප්‍රේතයා කීය.

ඒ රාත්‍රිය ඇවෑමෙන් උපාසකයා නැවත භික්ෂූන්ට ආරාධනා කොට දන් වළඳවා එක් එක් නමට වස්ත්‍ර‍ ජෝඩුව බැගින් දී “මේ විපාකයෙන් ප්‍රේතයාට වස්ත්‍ර‍ උපදිත්වා”යි අනුමෝදනා කළේය. රාත්‍රියෙහි උපාසකයා වෙනදා මෙන් පැලට ගොස් නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියෙහි ප්‍රේතයා දේවපුත්‍ර‍ වේශයෙන් දිශාවන් බබළුවමින් අවුත් හැම අලංකාරයෙන් සැරසුනේ වස්ත්‍ර‍ හැඳගෙන උපාසකයා ඉදිරියෙහි සිට මෙසේ කීය. (19) ඔබ විසින් මට යම් උපකාරයක් කරන ලද නම් එය මාගේ මවුපියන් විසිනුත් නෑ සහ ලේනෑයන් විසිනුත් කරන ලද්දක් නොවේ. ඔබ කළ දෙයට මම ප්‍ර‍ත්‍යුපකාරයක් කරන්නෙමි”යි කියා උපාසකයාගේ අතින් අල්වා ගෙන නුග ගසක් මුලට කැඳවා ගෙන ගොස් නිදන් තුනක් දැක්වීය. ඉන් එක් භාජනයක් රනින් පිරුනේය, එකක් රිදියෙන් පිරුනේය, අනික කහවණු වලින් පිරුනකි. “මේ නිදන් ගෙන පරිභෝග කරව, මෙහෙකරුවන් යොදාගෙන පින් කරව, මට ද පින් දෙව”යි කියා ඒ සියලු ධනය ඔහුගේ ගෙට ගෙන ගොස් අන්‍යයන් විසින් නොගත හැකි කොට අන්තර්ධාන වී නැවත මෙසේ කීය: (21) සියල්ල මනාසේ වියදම් කොට පෙර මළගියවුන් හා මිත්‍ර‍ දේවතාවන් උදෙසා දන් දිය යුතුය. (22) යමෙක් මෙවැනි දානයක් දෙන්නේ නම් මෙලොවදී ම සැප ලබයි. පරලොවදී සුගතියට යයි. අනිකට නො යයි. (23) එබැවින් යම් කෙනෙක් තමන්ගේ අභිවෘද්ධිය කැමති වෙත් නම් ඔවුහු මෛත්‍රී සහගතව සිල්ඇත්තෝ වී අනුන්ට හිත වැඩ කැමැත්තෝ ව මසුරු මල හැර දන් දීමෙහි ඇලෙත් වා. (24) ඒ බොහෝ දෙනද මහාදේව උපාසකයා මෙන් වෙත්වා. මෙලොවදී යහපත් විපාක ලැබ පරලොවදී සුගතියට යෙත්වා. (25) ධර්මකාමී පුද්ගලයා විසින් මෙවැනි දේ අසා මළගිය නෑයන්ට පින් අනුමෝදන් කරවීම සඳහා ධාර්මික ධානයෙන් දන් දිය යුතුයි.


10. ගල් ප්‍රේතයාගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. හෙළදිව රුහුණු දනව්වෙහි සැටක් පමණ භික්ෂූහු මහබෝ වැඳීම පිණිස උත්තරා පථයට[4] ගියාහු ය. ඔවුහු ක්‍ර‍මයෙන් අනුරාධපුරයට ඇතුල්ව මහාකොණ්ඩ නම් තැනදී නැව් නැග කාචේරිපටුනෙහි බැස ක්‍ර‍මයෙන් යන්නාහු මහවනයට[5] ඇතුල් වූහ. එහිදී මාර්ගය සොයාගත නොහැකිව ඇවිදිනාහු ඇතුන් ගිය මඟක් දැක එය මගයයි සිතා එයට බැස තෙදිනක් ගමන් කොට මහත් ගලක් වැනි වූ ක්‍රෝශයක්[6] පමණ දිගැති ප්‍රේතයකු දැක ගලකැයි සිතා එහි නැග හොත්තාහ. රාත්‍රියෙහි මහ තෙරනම නැඟිට සක්මන් කරන්නේ අත්-පා-හිස යන මේවායේ සටහන් දැක “මේ ප්‍රේතයෙක, ගලක් නොවේය” යි දැන ඒ භික්ෂූන් අමතා “ඇවැත්නි, බසිව්, මේ ප්‍රේතයෙකි, ගලක් නොවේ ය”යි කීය. ඔවුන් බිමට බැස්ස විට ප්‍රේතයා හිස එසවීය. එය දැක තෙරනම මෙසේ විචාළේය: (1) ගලක් වැනි වූ තාගේ ශරීරය එක් ක්‍රෝශයක් පමණ ඇත. සිටීමක් හෝ ඇවිදීමක් නැත. තා විසින් කුමන කර්මයක් කරන ලද්දේද? ප්‍රේතයා මෙසේ කියයි: (2) ස්වාමීනි, මම ප්‍රේතයෙක් වෙමි. පෙර කාශ්‍යප බුද්ධ කාලයේදී මිනිසෙක් වී සංඝයා අයත් දේ විනාශ කෙළෙමි. (3) දුෂ්ට අදහස් ඇති ඒ මම ආරාම කෙත්-වත් ආදිය ද ධනධාන්‍යාදිය ද විනාශ කෙළෙමි. (4) ඒ නිසා මම මෙවැනි බලවත් කටුක දුක් විඳ පසුව අවීචියට යන්නෙමි. මහ තෙරනම “තෝ සාංඝික දේ විනාශ කෙළේ කොයි ආකාරයෙන්දැ”යි විචාළේය. (5) කාශ්‍යප ලෝකනාථයන් වහන්සේ පිරිනිවී කල්හි මම නෑයන් සමග සංඝසන්තක කුඹුරුවලින් ධාන්‍ය රැගෙන කෑවෙමි. (6) දූ දරුවෝ ද නෑයෝ ද දාසකම්කරුවෝ ද එකතුව ඒවා අනුභව කෙළෙමු. මම දැන් තනිවම දුක් විඳිමි. (7) මා කළ බැරෑරුම් කර්මය දැඩිසේ මා දවයි. ස්වාමිවරුනි, මම පිපාසාවෙන් පෙළෙමි; මාගේ මුඛයෙහි පැන් වත්කළ මැනවැයි ප්‍රේතයා කීය. එවිට සැටක් පමණ භික්ෂූහු ගඟට බැස පාත්‍ර‍වලින් පැන් ගෙනවුත් ඔහුගේ කටේ වත්කළ නමුත් ප්‍රේතයාගේ දිවවත් නොතෙමුණි. තෙර නම ඔහුගෙන් “කිසි අස්වැසීමක් ලද්දේදැ”යි ඇසී. (8) “ඉදින් දහස්නමක් භික්ෂූන් සත්දිනක් මාගේ මුඛයෙහි පැන් වත්කළත් මාගේ දිව අගත් නොතෙමේ; බොටුව ඉක්මවා යාම කෙසේ නම් සිදුවිය හැකිද? (9) සංඝ සන්තක දෙය විනාශ කිරීමෙහි මෙවැනි කටුක විපාක ඇත. මෙය සැපයක් යයි සිතා මා විසින් දුකට හේතුවන දෙයක් කරන ලදි. (10) මා කළ දෙයම මට විපාක දෙයි. එය විපාක දෙන කල්හි පිහිටක් විද්‍යාමාන නොවේ. ඉදින් ඔබවහන්සේලා වත්කළ දිය මාගේ බොටුවෙන් පහළට ගියේ නම් මේ ප්‍රේතාත්මයෙන් නොමිදෙම්වා”යි දෙස් කියා “ආයුෂ්මත්වරු කවරහුද? කාගේ ශ්‍රාවකයෝ දැ”යි විචාළේය.

(11) ශාක්‍යරාජ කුලයෙහි උපන් ගෞතම බුදු රජ අපගේ ශාස්තෘවරයාය. අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීය. (12) ඉදින් ලෝකනායක වූ ගෞතම බුදුරජ උපන්නේ නම් සත්දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. (13) කාශ්‍යප-ගෞතම යන බුදුවරුන් දෙනමගේ කාලය අතරෙහි මේ පොළොව හත් ගව්වක් වැඩුණේය. (14) ප්‍රේතලෝකයෙහි දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. (15) දැන් අවීචියට ගොස් ඉතිරිව තිබෙන ඒ කර්ම විපාකය වින්ද යුතුය. ප්‍ර‍මාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ විපුලත්වයට ගියේය. (16) සංඝයා සතු දෙය වැනසීම මෙසේ දොස් එළවන්නක් වේ. යම් කෙනෙක් ඒ දෙය රකිත් නම් ඔවුන්ට පින්පල ලැබෙන්නක් ද වේ. (17) දැන් ඔබවහන්සේලා වඩිනු මැනවි. මාගේ ශරීරය ගිනිදැල් වෙලා ගනිත්. මා දැක බුදුසස්නෙහි අප්‍ර‍මාදී වෙත්වා. (18) ලෝකයෙහි දුර්ලභ වූ උතුම් ක්‍ෂණසම්පත්තිය ලැබ එය අත්හැරී යන්ට ඉඩ නොදෙනු මැනවි. බුදුසස්නෙහි යෙදෙනු මැනවි. (19) කල් ඇතිවම එහි යෙදී දුක් කෙළවර කරනු මැනවි. සැප නැති දුගතියට ගොස් මා මෙන් ශෝක නොකරව්” යයි ප්‍රේතයා කීය. (20) සඟ සතු දේ විනාශ කිරීමෙහි මේ දෝෂයන් දැක ධර්මප්‍රීති ඇති භික්ෂූන්ට මහත් සංවේගයක් ඇතිවිය. ඒ භික්ෂූන් ඉවත්වූ කල්හි ප්‍රේතයාගේ ශරීරයෙන් මහ ගිනිකඳක් නැංගේය. ඔවුහු ඒ ගින්නේ එළියෙන් එදා රෑ ගව් එකහමාරක් ගමන් කළහ. යන්නා වූ ඒ භික්ෂූහු ප්‍රේතයාගේ කීම සිහිකරමින් සංවේගයට පත් සිතැත්තෝ මාර්ගඵල ලාභී වූහ.


11. ගල් කණු ප්‍රේතයාගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ) හෙළදිව බොහෝ භික්ෂූහු මහබෝ වැඳීම සඳහා පිටත්ව මහාකොණ්ඩතොටින් නැව් නැගී කාවේරිපටුනෙහි බැස පිළිවෙලින් ගම් නියම්ගම් නුවරවල් ඉක්මවා මහවනයට පැමිණියාහ. එහිදී මංමුළා වූ ඔවුහු අතන මෙතන ඇවිදිනාහු ඇත්රැළක් ගිය මගක් දැක එයට බැස ගොස් ශරීරයෙන් අඩක් ගලක ගිලී සිටි පුද්ගලයකු දැක මිනිසෙකැයි සිතා ඔහු වෙත එළඹ සංඝ ස්ථවිර තුමා මෙසේ කීය: (1) “අපි සත්දිනක් මුළුල්ලේ මංමුළාවූවෝ වෙමු. ඔය ගල මැද සිටගෙනම අපට මාර්ගය කිවමැනවි.” (2) ඔබවහන්සේ සත්දිනක් මංමුළාවූවහුය. මම වනාහි බුද්ධාන්තර තුනක් මුළුල්ලේ මංමුළා වී සිටිමි”යි ප්‍රේතයා කීය. තෙරනම (3) “මිත්‍ර‍ය, මෙතෙක් දීර්ඝ කාලයක් තෝ මංමුළාවූයේ කුමක් හෙයින්ද? තෝ කවරෙක්ද? පෙර කිනම් අකුශල කර්මයක් කෙළෙහිදැ”යි විචාළේය. (4) මම කකුසඳ බුදුන්ගේ කාලයේදී මිනිසෙක් වී පව්කොට ප්‍රේතලෝකයෙහි උපන්නෙමි. (5) සිවුයොදුනක් දිගැති මේ ගල් පර්වතය මුදුනෙහි ගිලී පොළොවෙන් උඩට පෙනෙමින් මෙසේ සිටිමි. (6) බුදුවරුන් සතරනමකගේ කාලයේ දී මේ පොළොව වැඩී ගියේය. මේ කර්මයාගේ ගෙවී යාමක් නොදක්නා ලැබේ යයි ප්‍රේතයා කීය. (7) බුදුවරුන් උපදනා කාලයත් එතුමන් පිරිනිවන් කාලයත් තට කියන්නේ කවරෙක්ද? එය කෙසේ දැනගත්තෙහිදැයි තෙරනම විචාළේය. (18) බුදුවරුන් මවුකුස පිළිසිඳ ගන්නා විටත් මව්කුසින් බිහිවෙනවිටත් බුදුවෙන විටත් දම්සක් දෙසනවිටත් ආයුසංස්කාරය හරින විටත් පිරිනිවෙන විටත් බොහෝ විස්මයජනක දේ සිදුවෙතියි ප්‍රේතයා කීය.

ඒ විස්මය එළවන දේ කවරහුදැයි තෙරනම විචාළේය. ප්‍රේතයා මෙසේ කියයි: (9) අහසෙහිත් ගල් මුදුනෙහිත් පොළොවෙහිත් පියුම් පිපෙත්. ඒවා දැක මම ඒ කරුණු දැනගනිමි. (10) යම් කලෙක ඒ පියුම් මැලවෙත් නම් ඒවා දැක බුදුරජ පිරිනිවියේයි දැනගනිමි. (11) මෙසේ ඉතා කටුක වූ දුක් වේදනාවන් අවුරුදු දහස් ගණනක් විඳීමට තා කළ කර්මය කුමක්දැයි තෙරනම විචාළේය. ප්‍රේතයා මෙසේ කීය. (12) අතීතයෙහි කකුසඳ බුදුන්ගේ කාලයෙහි සංඝයාට අයත් කුඹුරක් අසල තිබුණු මාගේ කඹුර සී සාන්නා වූ ම (13) කුඹුරේ ඉමෙහි වූ ගල්කණුව උදුරා එහායින් සිටෙව්වෙමි. (14) මෙසේ සංඝසන්තක කුඹුරෙන් කොටසක් අයිතිකරගත් බැවින් ඒ කර්මය විපාක දෙන්නේ මෙසේ විපාක දෙයි. (15) එතැනින් කලුරිය කළ මම මේ ගල උඩ උපන්නෙම් උපන් තැනින් නොසෙල්වෙමි. කර්මයාගේ විපාක බලනු මැනවි.

මෙසේ කී ප්‍රේතයා “ඔබවහන්සේලා කවරහුද? කාගේ ශ්‍රාවකයෝදැ”යි විචාළේය (16) ගෝත්‍රයෙන් ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේ දශපාරමිතාවන් පුරා බුදුවිය. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමුයි භික්ෂූහු කීහ. (17) ඉදින් ගෞතම බුදුරජ උපන්නේ නම් මම සත් දිනක් ඇවෑමෙන් අවීචියට යන්නෙමි. (18) කකුසඳ බුදුන්ටත් ගෞතම බුදුන්ටත් අතර කාලයෙහි මේ පොළොව සිවු යොදුනක් වැඩී ගියේය. (19) ප්‍රේතලෝකයෙහි බොහෝ දුක් අනුභව කරන මට ඉක්මගිය වර්ෂ සංඛ්‍යාව ගණනින් කිව නොහැක. (20) දැන් අවීචියට ගොස් ඉතිරි විපාක වින්ද යුතුය. ප්‍ර‍මාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ විපුලත්වයට ගියේය. (21) එබැවින් නුවණැත්තෝ ප්‍ර‍මාදයත් ලෝභයත් දුරුකොට අප්‍ර‍මාදී-ලෝභ නැත්තෝ වී සැප ලබත්. (22) සංඝසන්තක දෙය වැනසීම මෙසේ දොස් එළවන්නේ වේ. යම් කෙනෙක් ඒවා රකිත්නම් ඔවුන්ට යහපත් විපාක ලැබේ. (23) මෙවැනි දුක් කර්ම හේතුවෙන් හටගනිත්. ධර්මප්‍රීති ඇති භික්ෂුව ඉපදීම නැතිකිරීමෙන් ඒවා විනාශ කරති.


12. සීසාන ප්‍රේතයාගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ) තාම්‍ර‍පර්ණි දිවයිනෙහි බොහෝ භික්ෂූහු මහබෝ වැඳීම සඳහා නික්මුනාහු මහාකොණ්ඩ නම් තැනදී නැව් නැගී කාවේරිපටුනෙහි ගොඩ බැස පිළිවෙලින් ගම් නියම්ගම් රාජධානින් පසුකොට ගොස් මහවනයට ඇතුල් වූහ. මංමුළා වූ ඔවුහු සත් දිනක් ඇවිදිමින් ඇත්රැළක් ගිය මගක් දැක එහි යන්නාහු මගත් නගුලක් ගෙන ගොණුන් යොදා සීසාන ප්‍රේතයකු දැක මිනිසෙකැයි සිතා ඔහු වෙත ගොස් මහ තෙරනම මෙසේ කීය: “අපි සත්දිනක් මුළුල්ලේ මංමුළාවී ඇවිදිමු. ගොවිය, ඉදින් තෝ දන්නෙහි නම් අපට මාර්ගය කියව.” (2) “ඔබ සත්දිනක් මංමුළා වූවහුය. මම වනාහි අවුරුදු බොහෝ ගණනක් මංමුළා වී සිටිමි”යි ප්‍රේතයා කීය. (3) මෙතරම් දීර්ඝ කාලයක් තෝ කුමක් හෙයින් මංමුලාවූයෙහිද? තෝ කවරෙක්ද? පෙර කිනම් කර්මයක් කෙළෙහිදැ”යි තෙරනම විචාළේය. (4) කාශ්‍යප බුද්ධ කාලයේ දී මිනිසෙක්ව ඉපද සිටි මම මුවින් පව්කම් කොට මේ කෘෂිප්‍රේතභාවයට පැමිණියෙමි. (5) මට ආහාරපානයක් නැත. හිඳීමක් නිදීමක් නැත. රෑ දාවල් දෙක සී සාමින්ම කල් ගත කරමි. (6) මෙසේ සී සාන මාගේ සිරුරද යුගය හා නගුල ද නගුල්තලය හා කෙවිට ද ගොන්නුද ගින්නෙන් දැල්වෙති. (7) මෙසේ ප්‍රේත ලෝකයට පැමිණ දැවෙන ශරීර ඇතිව වසන කල්හි මේ පොළොව සත්ගව්වක් වැඩුණි. (8) මෙසේ බොහෝ අවුරුදු ගණනක් කායික මානසික දුක් විඳිමින් දැවෙමි. කර්මයාගේ දැඩි බව බලනු මැනවැ”යි ප්‍රේතයා කීය.

(9) තාවිසින් කෙබඳු පාප කර්මයක් වචනයෙන් කරන ලද්දේද? සංවේගජනක වූ එය මම අසනු කැමැත්තෙමි යි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය: (10) එසේ නම් සියලු දෙන රැස්ව මා කියන දෙය අසනු මැනවි. මා කළ ඒ පාප කර්මය විස්තර කරන්නෙමි. (11) අතීත කාලයෙහි කසීරට කිකී නමැති රජෙක් රාජ්‍යය කරවීය. (12) ඒ රජුගේ රාජධානිය බරණැස් නුවර විය. ඒ නුවර ආශ්‍ර‍ය කොට කාශ්‍යප බුදුරද කලක් විසී. (13) ඒ භාග්‍යවතුන් වහන්සේ වස් වැස අවසන්හි සත්ත්වයන්ට අනුකම්පා පිණිස මා වසන ගමට වැඩි සේක. (14) එගම වැසි සියලු දෙන අහර රැස් කොට ශ්‍රාවකයන් සහිත කාශ්‍යප බුදුරදුන්ට ආරාධනා කළහ. (15) එකල්හි මම නගුල කර ගසාගෙන ගොනුන් සමග සී සෑමට ගියෙමි. (16) මා දුටු මගේ එක්තරා නෑයෙක් මට අනුකම්පා කරමින් හිත වැඩ කැමතිව මේ වචන කීවේය: (17) “ලෝකනායක වූ කාශ්‍යප බුදුරදුන් මෙහි පැමිණියේය. මිනිස්සු ශක්ති තරමින් උන්වහන්සේ පුදත්. ඔබ කුමක්හෙයින් උන්වහන්සේට පූජා නොකරන්නෙහිද?” (18) ඔහුගේ කීම අසා නොසතුටට පත් මම නුනුවණින් නොකිය යුතු දෙයක් කීවෙමි. (19) ඉදින් ඒ බුදුරද අද මාගේ කුඹුර සී සාන්නේ නම්, මම උන්වහන්සේට පුදන්නෙමි. මා කුඹුරට නොගියොත් එහි වැඩ නොකෙරෙන්නේය. (20) මෙසේ කී මම එතැනින් ච්‍යුතව මේ ප්‍රේතාලෝකයට අවුත් මේ දුක් විඳිමි. (21) මුඛයෙහි හටගත් කඩුවකින් දුක් ඇතිවන්නා සේ මම මාගේ වචනය නිසා මෙවැනි මහත් වූ කටුක දුකකට පැමිණියෙමි. ඒ දුක් වැඩී ගියහ. (22) නුවණැත්තෙනි, වාග්ද්වාරය සංවර නොකළ මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ සසර දුකින් මිදෙනු මැනවි.

මෙසේ කියා ඔබ වහන්සේ කවරහුද? කාගේ ශ්‍රාවකයෝ වෙත්දැයි විචාළේය. (23) බලදශයකින් හා විශාරදබැව් සතරකින් යුක්ත වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ යම් බුදුවරයෙක් වී නම් අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීහ. (24) ඉදින් ගෞතම බුදුරජ ලොව පහළ වී නම් සත් දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. (25) කාශ්‍යප-ගෞතම බුදුවරුන් දෙනම අතර කාලයෙහි මේ පොළොව සත්ගව්වක් වැඩුනීය. (26) ප්‍රේතලෝකයට පැමිණ මේ දරුණු දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. (27) මෙතැනින් අවීචියට ගොස් ඒ පාපයේ ඉතිරි විපාක වින්ද යුතුය. ප්‍ර‍මාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට පත්විය. (28) ගුණයෙන් අධිකයන් කෙරෙහි කළ අපරාධය මෙසේ දොස් එළවන්නේ වේ. ඔවුන් කෙරෙහි සිත් පහදවන්නන්ට යහපත් විපාක ලැබේ. (29) එක් දුෂ්ට කීමක් නිසා මෙවැනි දරුණු දුකකට පත් වීමි. ධර්මය ප්‍රීතිය කොටගෙන ඇති භික්ෂුවගේ සියලු දුක් නැසීම සිදුවේ.


13. සහල් ප්‍රේතයාගේ කථාව


මෙසේ අසන්ට ලැබේ; තාම්‍ර‍පර්ණි ද්වීපයෙහි සෑගිරියෙහි එක්තරා භික්ෂුනමක් බොහෝ භික්ෂූන් හා වාසය කරයි. එක් දිනක් ඒ භික්ෂුවගේ පියා සෑගිරියට ආවේය. ඒ භික්ෂුනම පියාට ආහාර සැපයීමට සහල් නොලබන්නේ ආරාමිකයන්ගෙන් “හෙට ආපසු දෙන්නෙමි”යි කියා සඟ සතු සහලින් නැළි බාගයක් ගත්තේය. ඒ භික්ෂුනම එදා රෑම මියගොස් (සඟසතු සහල් ගත් බැවින්) පර්වත අතරෙහි ප්‍රේතයෙක්ව උපන්නේය. එක් පිණ්ඩපාතික තෙරනමක් මැදියම් කාලයෙහි ඒ මග යන්නේ දැල්වෙමින් සිටි ප්‍රේතයා දැක මෙසේ විචාළේය: (1) තාගේ සිරුර ඉතා දික්ය, දුර්ගන්ධයෙන් යුක්තය. ඇට සම් පමණක් ඇතිව ගිනිකඳක් මෙන් දැල්වෙහි. තෝ කවරෙක් වෙහිද? (2) “ස්වාමීනි, මම යමලොව උපන් ප්‍රේතයෙක් වෙමි. පව්කම් කොට ප්‍රේත ලෝකයට පැමිණියෙමි”යි ප්‍රේතයා කීය. (3) තා විසින් කයින් වචනයෙන් සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කිනම් කර්මයක විපාකයෙන් ප්‍රේත ලෝකයට ආවෙහි දැයි තෙරනම විචාළේය. (4) පෙර මම භික්ෂුනමක් වී සෑගිරියෙහි විසුවෙමි. මාගේ පියාට ආහාර සැපයීම පිණිස සඟසතු සහල් නැළිබාගයක් ගතිමි. (6) හෙට නැළිය පුරවා දෙන්නෙමියි මා සිතා සිටි නමුත් ඒ රාත්‍රියෙහිම කලුරිය කොට මේ ප්‍රේතලෝකයට ආවෙමි යි ප්‍රේතයා කීය.

(7) මම ඒ භික්ෂුනම දනිමි. හෙතෙම සිල්වතෙකි. උගතෙකි. මෙවැනි සිල්වතෙක් දුගතියට නොයන්නේ යි තෙරනම කීය. (8) සිල්වත් වුවත් උගත් වුවත් සඟසතු දෙය ගැනීම මෙසේ ආසන්න කර්මයක් වශයෙන් විපාක දේ. (9) යම් කිසි සඟසතු බඩුවක් සුලු දෙයකැයි සිතා අවමන් නොකළ මැනවි. විපාක දෙනවිට එය මහත් වන්නේයයි ප්‍රේතයා කීය. (10) තට ප්‍රේතලෝකයෙන් මිදීමට කොතෙක් කුසල් කළ යුතුද? මම බුද්ධ-ධම්ම-සංඝ යන රත්නත්‍රයෙහි පූජා පවත්වන්නෙමි යි තෙරනම කීය. (11) මේ පර්වතය පටන් ගම දක්වා තුන්ගව් පෙදෙසෙහි අතර නැතිවන සේ ගැල් තබා (12) ඒවා සහලින් පුරවා සංඝයාට දෙන සේක් නම් මම මේ ප්‍රේතභාවයෙන් මිදෙන්නෙමි. (13) සහල් නැළි බාගය මෙසේ විශාලත්වයට පැමිණියේය. ඉදින් එසේ ලබාදෙන්ට නොහැකි නම් මාගේ නිදහස් වීමක් නොවන්නේය යි ප්‍රේතයා කීය.

ඉක්බිති තෙරනම රැය ඉක්මගිය කල්හි අනුරාධපුරයට ගොස් සද්ධාතිස්ස රජු ඉදිරියෙහි සිටියේය. රජතෙම උන්වහන්සේගේ පාත්‍ර‍ය රැගෙන “ස්වාමීනි, කුමක් සඳහා වැඩිසේක්දැ”යි විචාළේය. තෙරනම ඒ පුවත කියා සහල් සඳහා පැමිණියෙමි යි කීය. සහල් කොපමණදැයි ඇසූ විට ප්‍රේතයා කී කථාව කීය. ඉක්බිති රජ තුන්ගව්වක් මුළුල්ලේ ගැල් තබ්බවා සහලින් පුරවා සංඝයාට දුණි. එසේ දී ඒ පින් ප්‍රේතයාට අනුමෝදන් කරවීය. පින් දුන් කෙණෙහිම ප්‍රේතයා ප්‍රේතභාවයෙන් මිදී දිව්‍යරූපය දරන්නෙක් විය. නැවත තෙරුන් රාත්‍රියෙහි ඒ මඟට බැස්ස විට දේවපුත්‍ර‍යා තෙරුන්ට වැඳ ඉදිරියෙහි ඇඳිලි බැඳගෙන සිටියේය. තෙර නම ඔහු දැක මෙසේ විචාළේය. (14) උතුම් ඔටුන්නක් දරන්නා වූ, උතුම් වස්ත්‍ර‍ හැඳගත්, උතුම් ආභරණවලින් සැරසුණු, උසස් සුවඳින් තැවරූ අවයව ඇති, ඔබ උතුම් වස්තු දෙන දේවරාජයා ද? දේවතාවා මෙසේ කියයි. (15) පෙර දිනක ඔබවහන්සේ නපුරු වැටීම් ඇති, පිහිටක් නැති, මා වෙත එළඹ ප්‍ර‍මාණ කළ නොහැකි දුක් සයුරෙහි ගිලුණු මා මහත් කරුණාවෙන් ගොඩට ගත් සේක. (16) යම් කෙනෙක් අනුන්ට යහපත කෙරෙත් නම් ඒ බුදු පිරිස බුදුරදුන් විසින් හික්මවන ලද්දේය. ඔවුහු නිතර සියලු සතුන් කෙරෙහි සමසේ පැවැත්වූ සිත් ඇත්තාහ.

(මෙහි කියවෙන සේ ඒ භික්ෂුනම සඟසතු දෙය ආපසු දෙන අදහසින් ගත් බැවින් හදිසියේ මරණයට පත් ඔහුට මෙවැනි විපාකයක් දීම යුතුයයි ආගම ධර්මය අනුව කිය නොහැක. නමුත් පොතේ තිබෙන කථාව එසේම දැක්වීම යුතු බැවින් සිංහලයට නැගුවෙමු. මීළඟට තිබෙන කථාවද මෙවැන්නකි. සංඝස්ථවිරනමක් නොදැනීමෙන් හෝ සිහි නැතිවීමෙන් කී දෙයක් නිසා රහත් දෙනමකගේ දානය වැරදුණු බැවින් ලත් විපාකයක් එහි කියවේ.)



14. සඟ බතට අන්තරාය කළ

ප්‍රේතයාගේ කථාව


තාම්‍ර‍පර්නියෙහි රුහුණු දනව්වෙහි පර්වත නම් විහාරයක් ඇත. එහි මහත් සංඝ සමූහයක් වාසය කරයි. එක් කලෙක ජනපද වැසි මිනිස්සු සියතින් දන් දෙනු කැමතිව විහාරයේ සියලු සංඝයාට ආරාධනා කළහ. සංඝස්ථවිරතුමා “සියලු භික්ෂූන්ට ආරාධනා කරන ලද බැවින් විහාරයෙහි බත් නොපිසව්” යයි ආරාමිකයන් වැළැක්වීය. පියංගුදීපවාසි භික්ෂුදෙනමක් සැමදාම දන් වලඳන කාලයෙහි ඒ විහාරයට එති. ඒ දෙනම එදවස්හි ආහාර නොලැබූහ. එබැවින් සංඝස්ථවිරනම කලුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නේය. එක්තරා පිණ්ඩපාතික භික්ෂුනමක් මෛත්‍රීවිහරණ ඇතිව බෝපිටි දනව්වේ වනයක වසයි. ඒ ප්‍රේතයා සාපිපාසාවෙන් පීඩිතව ඒ තෙරුන් කරා එළඹ වැඳ නුදුරු තැන සිටියේය. ඔහු දැක තෙරනම: (1) විරූප වූ අමනුෂ්‍යයෙක් වෙහි; තාගේ ශරීරය බිය එළවන සුලුය, දුගඳ ඇත්තේය. ඇටසැකිල්ලක් පමණය. මෙහි සිටින තෝ කවරෙක් වෙහිදැයි විචාළේය. (2) “විහාරයන්හි අධිපති වූ සංඝස්ථවිර නමක් විය. ඔබ ඒ තෙරුන් හඳුනති. ඒ තෙරනම මිනිස් ලොවින් ච්‍යුත වී මෙහි උපන්නේය”යි ප්‍රේතයා කීය. (3) මේ තෙරනම මම හඳුනමි. හෙතෙම බහුශ්‍රැත සිල්වතෙකි. එවැනි සත්පුරුෂයන්ට දුගතිය නොයෙදේ යයි තෙරනම කීය. (4) එසේ සිල්වත් වුවත් උගත්කම ඇතත් එක් වචනයක් වරද්දා ගැනීමෙන් තමන් ප්‍රේතලෝකයට පැමිණියේයයි ප්‍රේතයා කීය. (5) “ඒ තෙරුන් විසින් කිනම් දොස් සහිත වචනයක් කියන ලද්දේදැයි මම දැනගනු කැමැත්තෙමි. එය මට කියව:”

(6) බෝපිටිය දනව්වෙහි සියලු මිනිස්සු එක්ව දන් දෙනු කැමතිව සියලු භික්ෂූන්ට ආරාධනා කළහ. (7) ඒ තෙරනම එය දැන සියලු භික්ෂූන් සඳහා ආරාමයෙහි දන් පිළියෙල නොකරව් යයි ආරාමිකයන්ට කීය. (8) එය’සා ආරාමිකයෝ දන් පිළියෙල නොකළාහ. භික්ෂූහු ගොදුරු ගමට ගියාහ. (9) පුවඟු දිවයින් වැසි භික්ෂු දෙනමක් සැමදාම මේ විහාරයට අවුත් දන් වළදා යෙති. (10) තෙරනම ඒ ගැන නොසිතා ඒ බත වැළැක්වීය. ඒ භික්ෂුදෙනම එහි ඇවිත් සුන්බත් ඇත්තෝ වූහ. (11) බත් කැමති භික්ෂූන්ගේ බතට අන්තරාය කොට මම සාපිපාසාවෙන් දැවෙමින් සෑමතැන ඇවිදිමි. (12) අල්ප වූ හෝ සංඝලාභයකට අනතුරු නොකළ යුතුය. එහි විපාක අනන්තය. (13) මම සලකා නොබලා අන්තරායකර වචන කීවෙමි. එක් වචනයක් වරදවා කීමෙන් මෙවැනි දුකකට පත්වීමි. (14) ස්වාමීනි, මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. දන්දීම ආදිය නොවළක්වනු මැනව”යි ප්‍රේතයා කීය.

(15) ඔබට මා විසින් කුමක් කළ යුතුද? කෙසේ ඔබ නිදහස් කරන්නෙම්ද? මම රත්නත්‍රයෙහි පූජා පවත්වන්නෙමියි තෙරනම කීය. (16) යම් කලක මේ පර්වතය හාත්පස පොළොව උස්වී ගැල් ගමන් කරන මාර්ගයක් වන්නේ නම් එකල මම මෙයින් මිදෙන්නෙමි. (17) දුකට පත් මා දැක ඔබවහන්සේ ගොස් “අප්‍ර‍මාදයෙන් හැසිරෙව්; සඟ සතු දෙයින් බියපත් වෙත්වා”යි භික්ෂූන්ට කියනු මැනවැයි ප්‍රේතයා කීය.

ඒ ප්‍රේතයාගේ කීම අසා පිණ්ඩපාතික තෙරනම මහා විහාරයට ගොස් භික්ෂූන්ට මේ ප්‍ර‍වෘත්තිය කීය. එයැසූ ඒ භික්ෂූහු බියට හා සංවේගයට පැමිණ සංඝලාභයට අන්තරාය කිරීමෙන් වැලකී අප්‍ර‍මාදී වූහ. රෝහණ පර්වතයෙහි තෙර නම මෙසේ ව්‍යසනයට පත්විය. ධර්මප්‍රීති ඇති භික්ෂුවට එය’සා අනල්ප භය ඇති විය.




15. පතාක ප්‍රේතයාගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ) සිංහල ද්වීපයෙහි රුහුණු දනව්වෙහි දීඝාවු[7] නමැති මහා චෛත්‍යයක් විය. එහි නැංවූ එක්තරා කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් කෙළෙඹියකුගේ ගොයම් කෙතක වැටුණි. කුඹුරු හිමියා කුඹුරෙහි ඇවිදින්නේ එය දැක රැගෙන එහි අකුරු කියාවත් එය ඉවත නොදමා ලෝභ සහගත සිතින් එය පොරවා ගෙන ගියේය. ආයුෂ ගෙවීමෙන් මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු ප්‍රේතයෙක්ව උපන්නේය. දැල්වෙන ශරීර ඇති හෙතෙම ඇවිදිමින් බෝපිටි පෙදෙසට ගොස් මැදියම් රැයෙහි එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් සමීපයට ගොස් වැඳ ඇඳිලි බැඳගෙන දුරින් සිටියේය. ඔහු දුටු තෙරනම (1) තාගේ මුළු සිරුර ලෝහ තහඩුවලින් වැසුණේය, වෙළන ලද්දේය, ගිනිපැහැයෙන් යුක්තය, මෙහි සිටින තෝ කවරෙක්දැයි විචාළේය. (2) ස්වාමීනි, මම යකඩ තහඩු වලින් වෙළුණු ප්‍රේතයෙක් වෙමි. මම හැමකල්හි දැවෙමින් තහඩු දහසකින් ආවරණය වී සිටිමි යි ප්‍රේතයා කීය. (3) “තා විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙහිදැ”යි තෙරනම විචාළේය. ප්‍රේතයා මෙසේ කීය: (4) මම ධනවත් මිනිසෙක්ව ඉපද බොහෝ කුඹුරු වපුරවා ඒවා බලමින් ඇවිදින්නේ දීඝාවු මහසෑය අසළ තිබුණු කොඩියක් සුළඟින් ගව්වක් පමණ ඇවිත් මාගේ කෙතෙහි වැටී තිබෙනු දුටුවෙමි. (6) එහි වැටී තිබුණු එය දැක අතින් ගෙන විමසා බලන්නේ එහි ලිවූ අකුරු දුටිමි. (7) මම ඒ අකුරු දැකත් ලෝභ සිත් උපදවා බුදු සෑයකට අයත් ඒ කොඩිය රැගෙන පොරවා ගතිමි. (8) එතැනින් ච්‍යුත වූ මම ප්‍රේතලෝකයට අවුත් යකඩ තහඩුවලින් නිමි වස්ත්‍ර‍ දහසක් ලදිමි. (9) ඒ තහඩු මාගේ ශරීරය දවති; බොහෝ දුක් සේ උපදවන බැවින් මට කිසි අස්වැසිල්ලක් නැත. (10) මට හිඳීමක් නිදීමක් නැත, ආහාරපානයක් නැත. අත්‍යන්ත දුකකට පත්වූ නමුත් මට මරණයක් ද නැත.

තෙරනම මෙසේ කීය: (11) ඔබ සඳහා මම කුමක් කරන්නෙම් ද? කවරාකාරයකින් තා දුකින් මිදවිය හැකි ද? මම තා උදෙසා රත්නත්‍ර‍යට ධජ පූජා කරන්නෙමි යි. (12) “ඉදින් කොඩි දහසක් ගෙනවුත් මේ දීඝාවුසෑයට පුදනු ලැබේ නම් මම මෙයින් නිදහස් වන්නෙමි”යි ප්‍රේතයා කීය. (13) මෙසේ කියා ප්‍රේතයා අන්තර්ධාන විය. ඉක්බිති තෙරනම රැය පහන්වූ පසු (14) වහ වහා කොඩි සොයා පණහක් පමණ ලැබ දීඝාවු සෑයට පුදා ප්‍රේතයාට පින් දුණි. ඉන්පසු රාත්‍රි කාලයෙහි ප්‍රේතයා තෙරුන් වෙත අවුත් “ස්වාමීනි, මාගේ හිසෙහි අටගුලක් පමණ තැන් විවෘත විය. එය බලනු මැනවැ”යි කීය. පසුදා තෙරනම තවත් කොඩි පණසක් සොයා පූජාකොට පින් අනුමෝදන් කරවීය. එදින ඔහුගේ තවත් අටගුලක් පමණ තැන් විවෘත විය. මේ ක්‍ර‍මයෙන් කොඩි දහස පිරුණු කල්හි ඔහුගේ මුළු සිරුර රන්වන් විය. ඉන් පසුදිනක හෙතෙම සියලු අබරණින් සැරසී මැදියම් රැයෙහි තෙරුන් වෙත පැමිණ උන්වහන්සේ ගේ පා වැඳ තෙවරක් ප්‍ර‍දක්ෂිණාකොට ඇඳිලි බැඳගෙන නුදුරු තැනක සිටගත්තේය. තෙරනම මෙසේ විචාළේය: (15) වර්ණවත්, මනා රූ ඇති, අබරණින් සැරසුණු, පිරිසිදු වස්ත්‍ර‍ ඇති, සුවඳ පතුරුවන කුවේරයා වැනි ඔබ කවරෙක් ද? ප්‍රේතයා මෙසේ කීය. (16) පෙර රත්වූ ලොහොතහඩුවලින් වැසුණු මම භයානක රූප ඇත්තෙක් වීමි. එවැනි වෙහෙසට පත් දුගඳ ඇති මා ඔබවහන්සේ විසින් ප්‍රේතභාවයෙන් මුදවන ලදි. මහාවීරයන් වහන්ස, ඒ විපාකයෙන් ඔබ අග්‍ර‍සැපයට පැමිණෙත්වා (17) මම ප්‍ර‍මාද නමැති මඩෙහි එරුනේ ප්‍රේත ගතියට පැමිණියෙමි. සෑයට පිදූ ධජයක් ගෙන මම රත්වූ යපට දරන්නෙක් වීමි. ධර්ම ප්‍රීති ඇත්තෝ සැප සඳහා ඒ ධජය දුරු කරත්වා. (18) මෙසේ ත්‍රිවිධ රත්නයෙහි අල්ප වූ විප්‍ර‍කාරය ද ඉතා දරුණු විපාක ඇත්තේ ය. (19) එහි අල්ප වූ අධිකාරය ද මහත් ශුභඵල ඇත්තේය. එයින් දිව්‍ය-මනුෂ්‍ය සම්පත් ලබයි. (20) එබැවින් ඵලසමුර්ධිය කැමැත්තන් විසින් ත්‍රිවිධරත්නයෙහි අපරාධයක් නොකළ යුතුය, අධිකාරයක්ම කළ යුතුය. (21) ඒ රත්නත්‍රයෙහි අධිකාර කළ බොහෝ දෙව් මිනිස්සු දෙව්මිනිස් සැප ලබා නිවනට පැමිණියහ. ඒ දේවපුත්‍ර‍යා මෙසේ කියා තෙරුන්ගේ පා වැඳ ප්‍ර‍දක්ෂිණා කොට එහිම අන්තර්ධාන විය.


16. ගොන් ප්‍රේතයාගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ) තාම්‍ර‍පර්ණිද්වීපයෙහි රම්‍ය දනව්වක පිහිටි මාමවනද්දි ගමෙහි ගඟ සමීපයෙහි විහාරයක් විය. ඒ වෙහෙරෙහි එක්තරා පිණ්ඩපාතික වූ රහත් තෙර නමක් ගමට පිඬු පිණිස ඇතුල් වී (මල පහරනු කැමතිව කැලයට ගොස්) පඳුරු අතරේ සිටි ගොනෙකු දැක සමීපයට ගොස් : (1) පඳුරු අතරට වී බොහෝ කලක් සිටියා සේ පෙනේ; පාසතර නොසොල්වන්නෙහි, ගොනෙක් මෙන් පෙනේ යයි කීය. ප්‍රේතයා: (2) ස්වාමීනි, මම දුගතියට පත් යමලොවට අයත් ප්‍රේතයෙක්මි; ගොනෙක් වී බොහෝ කලක් මෙහි සිටියෙමි යි කීය. (3) යම් පවක හේතුවෙන් ගොනෙක් වී තෝ මෙහි බොහෝ කලක් සිටියෙහි නම් ඒ කවර පාපයක් දැයි කියනු මැනවැයි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය: (4) පෙර මම මෙගම්හි ගම්වැස්සෙක් වීමි. මම අනුරාධපුරයෙහි කඩුමිටි ආදිය සෑදුවෙමි. (5) ඒ කාලයේදී ලෝකනායක වූ කාශ්‍යප බුදුරද උපන්නේය. ඒ බුදුන්ගේ ධර්මය මේ ද්වීපයෙහිද බැබළුණි. (6) මෙහි බුද්ධ ශ්‍රාවකයෝද විසූහ. ගම්වැසියෝ ඒ බුද්ධශ්‍රාවකයන්ට දන් වැලඳීම සඳහා ආසනශාලාවක් සෑදවූහ. (7) මම ඒ ශාලාව අවට (එයට හැපෙන සේ) ධාන්‍ය ඇතුරුවෙමි. ඒ බීජයෝ සත් දිනක් තුළදී පැලවූහ. (8) ඒ බීජයන් දැක භික්ෂූහු එහි ඇතුල් නොවූහ. සත්දින ඉකුත් වූ පසු මම ඒවා ගෙන ගොස් මාගේ කුඹුරුවල වැපුරුවෙමි. (9) එකල්හි මම ගමේ නපුරු මිනිසෙක් වී භික්ෂූන්ට අපහාස කරමින් අසුන්හල අවුරා ඔවුන්ට අපහසුවක් කෙළෙමි. (10) මේ ක්‍රියාව කොට කලුරිය කළ මම ගොන් ප්‍රේතයෙක් වී මේ දුක් ලබමි. (11) සිල්වතුන්ට අපහසුවක් කළ බැවින් මට රෑ දාවල් දෙක්හිම පහසුවක් නැත. (12) කාශ්‍යප-ගෞතම යන බුදුවරුන් දෙනමගේ කාලය අතරෙහි මේ පොළොව සත්ගව්වක් වැඩුනි. (13) සිටගෙන දුක් විඳින්නා වූ මට ඉක්මගිය කාලය අවුරුදු ගණනින් කිය නොහැක. (14) මට කෑමක් බීමක් නැත; ඇවිදීමක් හෝ නිදීමක් නැත; පා සෙලවිය නොහැක. (15) දැන් අවීචියට ගොස් අවශේෂ කර්මයාගේ විපාක වින්ද යුතුය. ප්‍ර‍මාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට ගියේය. (16) ගුනාධිකයන් කෙරෙහි අපරාධ කිරීම මෙසේ දොස් එළවන්නේ වේ. ගුණවතුන්ට ගෞරව කිරීම එසේම යහපත එළවන්නේ වේ. (17) දුකින් වැඩුණු මා දුටු ඔබවහන්සේ සත්පුරුෂයන්ට බාධාකිරීමේ විපාකය මිනිසුන්ට කිව මැනවි. (18) මණ්ඩපයක හෝ ගසක් මුල හෝ ශාලාවක හෝ නිදන ගෙයක හෝ සාධුන්ගේ වාසයට පීඩාවක් නොකළ යුතුය. (19) එසේ බාධාකරන්නා ප්‍රේත භවයෙහි ඉපිද මා මෙන් දුක් විඳින්නේය. (20) සංඝයාට සැප පහසු ඇති කොට සුගතියෙහි සැප ලබා ධර්ම ප්‍රීති ඇති භික්ෂුවගේ දුක් නැසීම සිදුවේ.

මෙසේ ඒ ප්‍රේතයා තමා කළ කර්මය තෙරුන්ට කියා සත්දිනකින් පසු ච්‍යුත වී අවීචියට ගියේය.




17. සඟසතු දෙයෙහි ප්‍ර‍මාදී වූ

තෙරුන්ගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ) සුරට්ඨ ජනපදයෙහි සාහුථල පෙදෙසේ ආළාරබාල පටුනෙහි පෝරිමාඝී ගංතෙර කොණ්ඩපූදි නම් විහාරයක් විය. ඒ විහාරයෙහි ප්‍ර‍ධාන තෙරනම අධිපතිකම නිසා ඒ විහාරය විෂම ලෙස පරිභෝග කෙළේය. ඔහු මරණාසන්න වූ විට දරුණු රෝගයක් හට ගත්තේය. වෙද්දු ඔහු පරීක්ෂාකොට බලා “මේ භික්ෂුනමට පැන් බීමට නොදෙව්, දුන්නොත් රෝගය වැඩෙන්නේය”යි උපස්ථායකයන්ට කීහ. ඔවුහු යහපතැයි කියා තෙරනමට පැන් නුදුන්හ. රෑ මැදියමෙහි පැන් නොලබා පිපාසාවෙන් පීඩිත වූ හෙතෙම එය ඉවසිය නොහැකිව නැගිට තමාගේ ධමකරකය අතගා බැලීය, එය හිස්විය; කාමරයෙන් පිටතට අවුත් බොන පැන්කලය බැලීය, එහි ද ජලය නොවීය. මහ පැන් කලය තිබෙන තැනට ගොස් බැලූ නමුත් එය ද හිස් විය. ඉක්බිති ආරාමයේ පොකුණට ගොස් බැලූ නමුත් එය ද හිස් විය. ඉන්පසු පෝරිමාඝී ගඟ කරා ගියේය. එය ද වියලී තිබුණි. හෙතෙම දිය නැති ගඟෙන් එතෙරට ගොස් මෙසේ සිතීය: “මාගේ අකුශලකර්මයෙන් සැමතැන දිය සිඳී ගියේය. ඒකාන්තයෙන් මම ප්‍රේතලෝකයෙහි උපන්නෙමි. මේ පෙරනිමිත්ත ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් පෙනේ. රැය ඉක්මි කල්හි මා කියන කථාව භික්ෂූහු නොඅදහන්නාහ”යි සිතා තමාගේ නහනකඩ ගඟෙන් එගොඩ ගසක බැඳ තබා නැවත හැරී අවුත් කාමරයෙහි නිදා ගත්තේය.

රැය ඉක්මි කල්හි හෙතෙම භික්ෂූන් අමතා සිදුවූ සියල් කීවේය. (1) ඇවැත්නි, මම රාත්‍රියෙහි පිපාසාවෙන් පීඩිත වූයෙම් ඉවසිය නොහැකිව ගෙයින් නික්ම ධමකරකය (=පැන් පෙරාගන්නා භාජනය) අතගා පැන් නොලැබුවෙමි. (3) එසේම බොන පැන්සැළි ආදිය ද මහ පැන් සළිය ද මා ස්පර්ශ කළ කෙණෙහි හිස් බවට පැමිණියහ. (4) කැපූ අඳුන් පැහැති සිහිල් නිර්මල ජලයෙන් පිරුණු විල ද හිස් විය. (5) හැම කල්හි ගලාබස්නා පිරිසිදු දියැති වැලිතලා ඇති පෝරිමාඝි ගඟද හිස් විය. (6) ඒ ගඟින් එතෙරට ගිය මම ගංඉවුරෙහි සිටගෙන සංවේගයට පැමිණියේ මෙසේ සිතුවෙමි. (7) අහෝ! මා විසින් දුක් විපාක දෙන කර්මයක් කරන ලදි. ඒ පාපයාගේ විපාකය මා විසින් ප්‍ර‍ත්‍යක්ෂයෙන් දක්නා ලදි.

භික්ෂූහු මේ කීම විශ්වාස නොකළාහ. එවිට “පරතෙර ගසක එල්ලූ නානකඩ ගෙනැවිත් සැක දුරු කරගනිව්” යයි රෝගී තෙරනම කීය. (8) එතුමාගේ ඒ කීම අසා දක්ෂ වූ එක් භික්ෂු නමක් ඒ ගඟෙන් එතෙරට ගොස් නානකඩ ගෙනාවේය. (9) එය දැක ඒ භික්ෂූහු සංවේගයට පත්වූහ. රෝගී භික්ෂුනම භික්ෂූන් මධ්‍යයෙහි මෙසේ කීය: (10) මම අල්ප වූ හෝ බොහෝ වූ හෝ සංඝිකලාභය මා කැමති සේ යෙදෙව්වෙමි. (11) මොහුට මෙතෙක් දෙව, අසවලාට මෙතෙක් දෙව, අසවලාට ටිකක් දෙව, බොහෝ දෙව, අසවලාට නොදෙවයි නියම කෙළෙමි. (12) මෙසේ අධිපතිභාවය නිසා සඟ සතු දෙය තමන් සතු දෙය මෙන් සලකා මා විසින් මගේ කැමැත්ත අනුව බෙදා දෙන ලදි. (13) මා දැක ඔබ සියලු දෙන සඟ සතු දෙයට භයවෙත්වා. එසේ බියපත් වී බුදු සස්නෙහි අප්‍ර‍මාදීව උත්සාහ කරව්. (14) එසේ උත්සාහකොට වීර්ය වඩා ධර්මප්‍රීති ඇති භික්ෂුවට ප්‍රිය වූ අමෘතපදය ලබා ගනිව්. (15) මෙසේ හෙතෙම තමාගේ දුක භික්ෂූන්ට දැනුම් දී මියගොස් ප්‍රේතලෝකයෙහි උපන්නේය.




18. තරුණ භික්ෂුනමගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ) සම්පත් පිරි ජනයාගෙන් යුක්ත වූ, නිත්‍ය ශස්‍ය සම්පත් ඇති, මනා භික්ෂූන් බහුල වූ, සැපවත් සෘතුගුණ ඇති, හැම දිශාවන්හි පතළ කීර්ති ඇති, හැමකල්හි රම්‍ය වූ, ශ්‍රඬාවත් උපාසක පිරිසෙන් යුතු සුරට්ඨජනපදයෙහි ප්‍ර‍කට ගමක ආවාසයක එක් තරුණ භික්ෂු නමක් වසයි. ප්‍ර‍මාද විහාරී වූ හෙතෙම භික්ෂුනාමය දරමින් රාත්‍රි කාලයෙහි කැමති තැන්වල ඇවිදිමින් ප්‍ර‍කට ලෙසම සිකපද මඩින්නෙක් විය. මෙසේ වසන ඔහුගේ භාර්යාව ගැබ් ගත්තීය. හෙතෙම ගැබ මුහුකුරා ගිය විට ඒ ස්ත්‍රිය ඇගේ මවගේ ගෙට කැඳවාගෙන ගියේය. ඈ අතරමගදී පඳුරු අතරට වී දරුවකු වැදී. භික්ෂුනම ලෙයින් වැකුණු, දුගඳ හමන, විරූප වූ ඇය දැක සංවේගයට පත්ව පිලිකුල් සංඥාව උපදවා මෙසේ සිතී: (1) මේ පණු සමූහයාගේ ගැවසී ගත් ශරීරය පිට සමෙන් වැසී මනෝඥකාරයක් දක්වයි. මම ඇතුළත නොදකිමින් පිටත ඇලී සිටියෙමි. (2) මේ සිරුර යටින් පතුල්වල පටන් උඩින් හිසකෙස් දක්වා මලයෙන් පිරුණු අපිරිසිදු දුර්ගන්ධ ඇත්තකි. (3) මේ සිරුරෙහි කෙස් ලොම් නිය දත් සම් යන මොහු වෙති. මෝහයෙන් මේ සිරුරෙහි ඇලුම් කරති. (4) මම අද තත්වූ පරිද්දෙන් මෙහි ඇතුළත ස්වභාවය දකිමි. මෙහි ඇතුළත ගොනුන් මරන තැනක මෙන් ලේ ද මස් ද සඳමිදුලුද වෙති. (5) මේ පිළිකුල් කටයුතු වූ හරයක් නැති ශරීරයට නින්දා වේවා. මෙය හැම නුවණැත්තන් විසින් දුරුකරන ලද්දකි, හැම අඥානයන් විසින් සෙවුනා ලද්දකි. (6) මම පෙර මෙවැනි කුණු කයක ඇලී සිටියෙමි. විපරීත වූ සිතින් මුළා වී රාගයෙන් මැඩුනේ වෙමි. (7) ශීලය හැරදමා මේ කුණු කයෙහි ඇලුණු මම බුදු සස්න ලැබ නපුරු ජීවිතයක් ගත කළෙමි. (8) මාගේ ප්‍ර‍මාදී ගමනින් සිදුවූ දෙය හැරදමා නැවත පැවිද්ද ලබාගෙන බුද්ධානුශාසනය පිළිපදින්නෙමි. (9) රාග, ද්වේෂ, මලාදි ක්ලේශයන්ගෙන් කිලිටි වූ මම සදහම් තොටට ගොස් ඒ කිලිටු සෝදා හරින්නෙමු. (10) මෙසේ සිතා හෙතෙම සිත දැඩිකොට ගෙන සංවේග භයින් තැවුනේ පැවිද්ද සඳහා සිත යොමු කෙළේය.

හෙතෙම මෙසේ සිතා අශුභ සංඥාව මෙනෙහි කොට ඒ ස්ත්‍රිය මවගේ ගමට ගෙනගොස් නවත්වා “චිත්ගෝ” නැමැති විහාරයට ගොස් එහි වසන ෂඩභිඥාලාභී සිග්ගව නම් තෙරුන් වෙත එළඹ පැවිද්ද ඉල්වීය. (11) “ක්ලේශ නමැති ග්‍රාහක සතුන්ගෙන් යුක්තව වූ දරුණු සංසාර සාගරයෙහි කාමාදී සැඩපහර සතරින් පාවී යන මා දහම් නමැති නැවෙන් බේරාගත මැනවි. (12) මාගේ බැමි සිඳීම සඳහා මට බුද්ධ ධර්මය දෙනු මැනවි. (13) රාග-ද්වේශ-මෝහ ගින්නෙන් නොසන්සිඳුණු දාහ ඇතිව දීර්ඝ කාලයක් සසර ඇවිදින මට දහම් නමැති පැන් දෙනු මැනවි. (14) නැවත කෙලෙස් ඉපදීම නමැති රෝගයෙන් පීඩිතව ක්ලේශයන් විසින් කනු ලබන මට දහම් බෙහෙත දෙනු මැනවි. (15) ප්‍ර‍පාතයක වැටෙන්ට සිටින්නා වූ අනාථ වූ දුගී වූ මා අනුකම්පා සහගත සිතින් නවත්වාගනු මැනවි. (16) ප්‍ර‍මාදයාගේ වසඟයට පත් මාගේ දෝෂය මා ඉක්මවා ගියේය. ඒ සියල්ල ඉවසා මා පැවිදි කරනු මැනවි. “මෙසේ යාච්ඥා කරනු ලැබූ තෙරනම ඔහු පැවිදි කෙළේය. හෙතෙම පැවිදි වී වනයෙහි ගස් මුල් අසළ තනිව වසමින් උත්සාහ කරන්නේත් මාර්ගඵලාධිමයක් නොකළ හැකිව පෘථග්ජනයෙක්වම නොබෝ කලකදී කලුරිය කොට ඒ වනයෙහි ගස්කරුවක ඕපපාතික මිනිස් දරුවෙක්ව උපන්නේය. එක්තරා භික්ෂුනමක් ඔහු දැක ගෙනවුත් චිත්තනාග තෙරුන්ට දැක්වීය. දුටු කෙණෙහිම තෙරනම ඔහු හැඳින ඒ භික්ෂුනමට මෙසේ කීය: (17) “මේ ලෙණෙහි තබා මේ ළදරුවා පෝෂණය කරව. මේතෙම මහා වීරයෙක් ද ධ්‍යාන වැඩූ අභිඥාලාභියෙක්ද වන්නේය. (18) මේ තෙම හැම ආගමයන් ඉගෙන බුදු සස්න අවබෝධ කරගෙන ධර්මාර්ථ දෙක්හි දක්ෂ වූයේ, විශාරද වූයේ පරවාදයන් බිඳ බොහෝ තීර්ථකයන් මැඩ පවත්වා ධර්ම මාර්ගය පහදා දී නොයෙක් දෙන පැවිදි කරන්නේය. (20) එක් වරක් වැදූ ලෙයින් වැකුණු ස්ත්‍රිය දැක සංවේගයට පත් හෙතෙම මාර්ග ඵලයන්ට පැමිණෙන්නේය.”

ඒ භික්ෂුනම තෙරුන්ගේ කීම අසා ළදරුවා කාමරයක දමා පෝෂණය කෙළේය. මෙසේ වැඩෙන හෙතෙම සත් හැවිරිදි කාලයෙහි තෙරුන් සමීපයෙහි පැවිදිව රහත් ඵලය ලැබීය; ෂඩභිඥාවන් හා සිවුපිළිසිඹියාවන් ලැබ සියලු බුද්ධ ධර්මය වටහා ගත්තේය. චිත්තාභ තෙරුන් පිරිනිවී පසු හෙතෙම බොහෝ භික්ෂූන්ට ආචාර්යවරයෙක්ව දිවි ඇතිතාක් සිට පිරිනිවියේය. පිරිනිවෙන්ට පෙර සත්තලක් පමණ අහසට නැග අහසෙහි හිඳගෙන මේ ගාථාවන් කීය: (21) “බුදුන් දහම් සඟුන් කෙරෙහි හෝ මාර්ගයෙහි හෝ ප්‍ර‍තිපදාවෙහි හෝ යම් කෙනෙකුන්ට සැකයක් ඇත්නම් මා විචාරනු මැනවි.” භික්ෂූහු මෙසේ කීය. (22) බුද්ධාදි රත්නත්‍රයෙහි අපට සැකයක් නැත. ඔබ විසින් පූර්වයේදී කිනම් කර්මයක් කරන ලද්දේද? අහසෙහිම සිටි හෙතෙමේ මෙසේ කීය: (23) මම පෙර ශ්‍ර‍මණ නම දරන්නා වූ දුශ්ශීලයෙක් වීමි. ප්‍ර‍මාදයට පැමිණි ඒ මම සුරට්ඨපෙදෙසෙහි විසුවෙමි. (24) මම සඟවා නොගත් පව්කම් ඇත්තෙක් වීමි. මාගේ වරද ඉතා ප්‍ර‍කට විය. මම පින් රැස් කිරීම පිණිස නොව බුදු සස්නෙහි ජීවිකාව කෙළෙමි. හැමදෙනම මා භික්ෂූන්ට කටුවක් මෙන් රිදවන්නෙකැයි දැනගත්හ. (26) මෙසේ ප්‍ර‍මාදීම වසන්නා වූ මාගේ අඹුව දරු ගැබ් ඇත්තී විය. වදන්නා වූ ඇය දැක මට කාමහේතුවෙන් භයක් ඇතිවිය. (27) එයින් සසර කලකිරුණු මම චිත්තාභ පර්වතයට ගියෙමි. නැවත පැවිදි වූ මාගේ සිත වනයෙහිම ඇලුණි. (28) එයින් ච්‍යුත වූ මම ඕපපාතිකව මිනිස් දරුවකුගේ රූපයෙන් ගසක කරුවක උපන්නෙමි. (29) මා දුටු එක් භික්ෂු නමක් මා ගෙනගොස් චිත්තාභ තෙරුන්ට පෙන්වා (ඒ තෙරුන්ගේ අවවාදය ලෙස) කරුණාවෙන් මා පෝෂණය කෙළේය. (3) වැඩිවිය පත් මම ඒ තෙරුන් සමීපයෙහි පැවිදිව කල් නොයවාම රහත් ඵලය ලැබුවෙමි. (32) සංවේග කටයුතු දෙයෙහි සංවේගයට පත්වීම මෙසේ මහත් ඵලදායී වේයයි ලෝකවිදූ වූ බුදු රජ වර්ණනා කෙළේය. (33) මෙසේ ඒ රහත් තෙරනම අහසෙහි හිඳගෙන තමා කළ කර්මයත් කර්ම විපාකයත් ප්‍ර‍කාශ කෙළේය.

(34) මෙසේ පව්කමෙහි නොයෙක් දොස් ප්‍ර‍කාශ කළ ඒ රහත් තෙරනම සෘඬිබලයෙන් අහසෙහි සිටීම හිඳීම හොවීම හා සක්මන් කිරීම පොළොවේදී මෙන් කොට ප්‍රාතිහාර්ය දැක්වීය. මෙසේ ඒ තෙරනම සෘඬිබල පෙන්වා පිරිනිවියේය. එහෙයින් ස්වල්ප වූත් සංවේගය යහපත් ගුණ එළවන්නේ යයි දතයුතු.

(කණ්ටකසෝල පටුනෙහි උපන් පට්ටකෝටි විහාරවාසී ආචාර්ය ධම්මනන්දි තෙරුන් විසින් කරන ලද සීහල වත්ථුවේ විසිවෙනි කථාව නිමි.)


දෙවන පරිච්ඡේදය නිමියේය.


තෙවෙනි පරිච්ඡේදය


19. පරදාර සේවනයෙන් දුරුවීමේ

කථාව


(මෙසේ අසන්ට ලැබේ) සමෘඬ ජනයාගෙන් හා නිත්‍ය ශස්‍ය නිෂ්පාදනයෙන් යුත් මනා භික්ෂූන් බහුල වූ සුරට්ඨජනපදයෙහි ............ විහාරයක් වේ. එහි මහානිධි නමැති පර්වතය සමීපයෙහි ධුතංගධර වූ යෝගාවචර වූ පිණ්ඩපාතික වූ එක් භික්ෂුනමක් වසයි. හෙතෙම පෙරවරු කාලයෙහි පිණ්ඩපාතය ලබාගෙන වුත් එක් තැනක තැබීය. එක්තරා සොරෙක් සොරකම් සඳහා මුළු රැය ඇවිද බඩසයින් පෙළුනේ ඒ විහාරයට ගොස් පිණ්ඩපාතය දැක “ඉදින් මේ භික්ෂුනම මට නොදී ආහාර අනුභව කරන්නේ නම් මම රාත්‍රියෙහි අවුත් මොහුගේ පාත්‍ර‍ සිවුරු ගෙන යන්නෙමි”යි සිතාගෙන උන්නේය. භික්ෂුනම අත්පා සෝදාගෙන චෛත්‍යය වැඳ හිඳගෙන අනුභව කරනු කැමැත්තේ ඔහුගේ ඒම දැක අනුභව කරවයි කියා ඔහුට ආහාර දුණි. බඩසයින් පෙළුණු හෙතෙම අනුභව කොට සතුටට පත්වී මෙසේ කීය: “ස්වාමීනි, බලවත් සොරෙක් වූ මම ඔබට අපරාධයක් කරන්ට සිතුවෙමි. එයට සමාවුව මැනවැ”යි කීය. “පින්වත, මම සමාව දෙමි. ඉදින් මා කියන දේ කරන්නෙහි නම් පන්සිල් රක්ෂා කරව”යි තෙරනම කීය. “ස්වාමීනි, පන්සිල් නම් මොනවාද?” අසවල් අසවල් දේ යයි කී විට “ස්වාමීනි, ඒවා රකින්ට නොහැක්කෙමි”යි කීය. එසේ නම් සිකපද සතරක්, තුනක්, දෙකක් රැක්ක මැනවැයි කීවිටත් නොහැක්කෙමියි කීය. “එසේ නම් එකක් රකුව”යි කී විට සොරා එකක් රැකීමට කැමති විය. හෙතෙම පරදාර සේවනයෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වී ගියේය. හෙතෙම එදා එක් ගමක ඇවිදින්නේ එක් ධනවතෙකුගේ ගෙයක ඉතා වටිනා ගොනුන් දෙදෙනකුන් දැක මධ්‍යම රාත්‍රි කාලයෙහි ඒ ගෙට ඇතුල් විය. ගෘහණිය සොරා දැක පිළිබඳ සිතැත්තී විය. ඕ “තරුණය කුමක් සඳහා ආවෙහිද?”යි ඇසීය, ගොනුන් ගෙනයාම සඳහා යයි සොරා කීය. “ඉදින් මා කියන දේ කරන්නෙහි නම් තා කැමති හැම දෙයක්ම දෙන්නෙමි”යි ගෘහණිය කීය. කුමක් කළයුතුදැයි සොරා ඇසීය.

(1) “කාමසැපයෙන් පෙළඹුණු පුද්ගලයෝ යුද්ධයට වැදීමද දියට පිවිසීමද සොරුන් අතරට යාමද මහවනයකට ඇතුල්වීම ද පර්වත දුර්ගයකට යාම ද ගණන් නොගනිත්. එබැවින් කාමසැපයෙන් මා සතුටු කරව”යි ස්ත්‍රිය කීය. ඉදින් මාගේ කීම නොකරන්නෙහි නම් තාගේ ඒම සාර්ථක නොවන්නේ යයි ද කීය. සොරා ඇගේ කීම අසන්ටත් නොකැමති වී “සොඳුර, මම ශීලයක් රකිමි”යි කීය. ගේ හිමියා මේ දෙදෙනාගේ කථාව අසා නැගිට ආරක්ෂකයන් කැඳවා සොරා අල්වන්ට සලස්වා ස්ත්‍රිය බන්දවා සොරාට මෙසේ කීය: “මිත්‍ර‍ය, තෝ අද පටන් මාගේ සහෝදරයෙක් වෙහි. මේ ගෙට හිමියෙක්ව තා කැමති කැමති දෙයක් ගනුව. මේ සොර ස්ත්‍රිය ගෙයින් නෙරපන්නෙමි”යි කියා ඇය නෙරපා දැමීය, සොරා තමාගේ ශීලයේ අනුසස් ගැන මෙසේ කල්පනා කෙළේය: (2) මම ගොනුන් ගෙනයනු කැමතිව මේ ගෙට ඇතුල් වීමි. පරදාර සේවනය දුරුකොට මේ සැපයට පත්වීමි. (3) මා විසින් ගොන්නුත් ධාර්මික සොහොයුරෙකුත් ලද්දාහුය, මිය යායුතු තැන්හි ප්‍රිය වූ ජීවිතයක් ලදිමි. (4) එක සිකපදයක් රැකීමෙන් මෙලොවදීම මෙතෙක් විපාක ලදිමි. හැම සිකපද රකින්නන්ට කෙතරම් මහත් ඵලයක් ලැබෙන්නේද? (5) බඩසයින් පෙළුණු මා බුද්ධ ශ්‍රාවකයකු කරා එළඹ එක් සිල් පදයක් සමාදන් වී මෙවැනි සම්පත්තියක් ලද්දීය. (6) ලේ තැවරුණු අත් ඇති රෞද්‍ර‍ වූ පවිටු ක්‍රියා ඇති සොරෙකු විසින් රක්නා ලද ශීලය මෙසේ පිහිටක් ලබාදුණි. (7) යම් කෙනෙක් ශ්‍ර‍ද්ධාවෙන් යුක්තව සිල් රකිත් නම් ශීලයෙහි පිහිටි ඔවුහු හැම භයින් මිදෙත්. (8) මෙසේ ශීල ගුණය දත් මම සිත දැඩිකොට ගෙන සිල් පිරීමටම උත්සාහ කරන්නෙමි. (9) ඉක්බිති සතුටු සිතැතිව වහා විහාරයට ගොස් ඒ භික්ෂුනම කරා එළඹ “ස්වාමීනි, මට පන්සිල් දෙනු මැනවි. මවිසින් එය ජීවිතාන්තය දක්වා රැක්ක යුතුය”යි කීය. (10) මම කාමයෙහි වරදවා නොහැසිරීම නමැති ශීලය රැක මරණභයින් මිදුණෙමි. (11) දැන් දුගතියෙහි ඇති මහත් භය ගැන අසනු කැමැත්තෙමි. මහාවීරයන් වහන්ස, කැපකරු වූ මා දුගතියෙන් මුදවනු මැනවි. (13) බඩසයින් පෙළුණු මට ඔබ විසින් පෙර ආහාර දෙන ලදි. සසර දුකින් පෙළුනු මට සිල් දෙනු මැනවි. (14) ඔහුගේ කීම අසා වැඩූ ඉන්ද්‍රියයන් ඇති ඒ තෙරනම ඔහුට අනුකම්පාවෙන් මෙසේ කීය: (15) සත්පුරුෂය, මම ඔබට සරණද සිල්ද දෙමි. ඒවා රැක දුගති භයෙන් මිදෙනු මැනවි. (16) සිල්වත් මිනිසා මිනිසුන් ද නොමිනිසුන් ද තිරිසනුන් ද යන සියලු දෙන විසින් විශ්වාස කටයුත්තෙක් වෙයි. (17) එය ඔබට දිව්‍ය සම්පත් ද මනුෂ්‍ය සම්පත් ද, ආර්ය සම්පත් ද ලැබීමට හේතුවක් වන්නේය. (18) ඒ සොරා එහිම හිඳ ඇඳිලි බැඳගෙන සරණ ද සිල් ද ගත්තේය. (19) සිල් රැකීමෙන් පිරිසිදු වූ ඒ සොරතෙමේ පව්මල දුරුකොට ධර්මප්‍රීතිය ප්‍රියකොට උපාසකයෙක් විය.


20. ලෝහ භාජනයේ කථාව


(මෙසේ අසන්ට ලැබේ:) ජනපදයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සුරට්ඨජනපදයෙහි උපසිංහ නම් විහාරයක් විය. ඒ විහාරයෙහි එක්තරා රහත්නමක් සංඝයාගේ ආහාර දමන ලෝහ භාජනය[8] දිනපතා පිදීය. පසුකලක තෙරනම පිරිනිවෙන්ට ලංවූයේ භික්ෂූන් රැස්කරවා රහත් බව ප්‍ර‍කාශ කරමින් සිංහනාදයක් කෙළේය. (1) “රත්නත්‍රයෙහි හෝ මාර්ගප්‍ර‍තිපදාවන්හි යෝ යමෙකුට සැකයක් තිබේ නම් මා විචාරනු මැනවැ”යි එතුමා කීය. (2) “මාර්ග ප්‍ර‍තිපදාදියෙහි අපට සැකයක් නැත. එක් සැකයක් පමණක් අපට ඇත. (3) ඔබවහන්සේ චෛත්‍යයකට බුදු පිළිමයකට හෝ සර්වඥධාතුවකට හෝ නොපුදා සංඝයාගේ ලොහොබඳුනට පූජා කරන සේක. එයට හේතුව කුමක්දැ”යි විචාළාහ. (4) ඒ කීම ඇසූ මනාසේ මිදුණු රහත්නම ඒ කාරණය හෙළිකරමින් මෙසේ කීය: (5) පෙර මම ශ්‍ර‍ද්ධා නැති, පවට බිය නැති අනාර්යයෙක් වී ආරාමය බැලීම පිණිස උපසිංහ නම් විහාරයට පැමිණියෙමි. (6) ඒ පර්වතයට නැගී දන් වලඳන ශාලාව වෙත ගියෙමි. (7) එහි ගොස් සඟසතු වූ ඒ ශාලාවෙහි වටකුරු වූ බබළන්නා වූ තලියක් දුටිමි. (8) පවිටු සොරකම් ඇති ඒ මට ලොහොකැටයම් සහිත එය දුටු කෙණෙහි සොරකම් කරන සිතක් උපන්නේය. (9) එය සොරකමින් ගෙනයාම අපහසු සේ පෙනුණ බැවින් මහණ වී එය ගෙන යන්නෙමි යි සිතා (10) ඒ සොරසිතින් පැවිදි වෙස් ගත්තෙමි. එසේ කොටත් එය ගෙනයන්ට අවකාශයක් නොලදිමි. (11) මම ශ්‍ර‍ද්ධාවෙන් හෝ ප්‍රේමයෙන් උපසිංහ විහාරයට නොපැමිණියෙමි. ලෝභසහගත සිතින් ලෝහ භාජනය නිසා ආවෙමි. (12) ඒ භාජනය ගෙනයනු කැමති පවිටු අදහස් ඇතිව සොරෙකු වූ මට දහම් හැදෑරීමට හෝ භාවනාවෙහි යෙදීමට සිතක් නොවීය. (13) මෙසේ සැඟවී සිටි මා දුටු කාරුණික සිතැති මාගේ උපාධ්‍යායතෙමේ මා කැඳවාගෙන සිය ලෙණට ගියේය. (14) එහි පැමිණි එතුමා අස්නක හිඳගෙන ක්‍ර‍මයෙන් අවවාද කොට මා රහත්ඵලයට පැමිණ විය. (15) මට බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහභාජනය නිසා පැවිදි වීමි. (16) මට ශීලයෙහි හෝ ධ්‍යානභාවනාවෙහි හෝ සයනයෙහි හෝ වස්ත්‍රයෙහි හෝ ආහාරයෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහභාජනය නිසා පැවිදි වීමි. (18) එහෙයින් මම මේ ලොහොබඳුනට පූජා පවත්වමි. එය ගෙනයනු කැමතිව ආ මම ස්ථිර පිහිටීමකට පත්වීමි. (19) ලොහො බඳුන අරමුණු කොට මට මෙහි ඇලීමක් ඇතිවිය. මේ කාරණය සිහිපත් කරමින් මම මේ ලෝහභාජනයට පිදුවෙමි. (20) මෙසේ ආර්ය වූ ඒ පණ්ඩිත තෙමේ සියලු සැක දුරුකරවා ධර්ම ප්‍රීති ඇත්තන්ට ප්‍රිය වූ ධර්මය ප්‍ර‍කාශ කොට පිරිනිවියේය.


21. බඳිනු ලැබූ ඇතාගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. සුරට්ඨජනපදයෙහි අච්චිමන්තසේල නමැති පර්වතයක් විය. ඒ පර්වතයේ ගුහාවක ෂඩභිඥා ලැබූ මහත් සෘඬි ආනුභාව ඇති රහත් තෙරනමක් වසයි. ඒ පර්වතය ආශ්‍ර‍යකොට වසන එක්තරා ඇත් රජෙක්ද හැමදා ඒ තෙරුන්ට උපස්ථාන කරයි. එක් වැද්දෙක් ඒ ඇතු දැක උදේනි රට රජුට “දේවයන් වහන්ස, ශුභ ලකුණු වලින් යුත්, රජතුමෙකුට යෝග්‍ය වූ ඇතෙක් අසවල් වනයෙහි ඇතැ”යි දැන්වීය. රජ ඌ අල්වන්ට සලස්වා තෙරුන් අවට හැසිරෙමින් හඬන්නා වූ ඒ ඇතා උජ්ජේනියට ගෙන්වීය. තෙරනම ද රජු දැනගෙන උජ්ජේනියට අවුත් ඇතා ඉදිරියෙහි සිටියේය. ඇතා තෙරුන් දැක සොඬය හිසෙහි තබාගෙන බොහෝ සෙයින් හඬන්ට පටන් ගත්තේය. තෙරනම “පුත්‍ර‍ය උකටලී නොවෙව; රජු දකින තුරු කිසිවක් නොකළ යුතුය”යි කියා ඔහු අස්වසා ගොස් රජු ඉදිරියෙහි පෙනී සිට මෙසේ කීය: (1) මහරජ, මම එක් ඉල්ලීමක් කිරීම සඳහා වනයෙන් ආවෙමි. ඉදින් ඔබට බරක් නැත්නම් එය කියන්නෙමි. (2) “ස්වාමීනි, කොහි සිට එන්නහුද? ඔබ මාගෙන් කුමක් ඉල්වන්නාහුද? කුමක් සඳහා මෙහි පැමිණිසේක් දැයි මා විසින් විචාරන ලදුව කියනු මැනවැ”යි රජ කීය. (3) “මහරජ, මම සුරට්ඨදේශයෙන් උජ්ජේනියට ආවෙමි. ඒ ආවේ මේ ඇතා නිදහස් කරන ලෙස ඉල්ලීමටය. එය සිද්ධ කරනු මැනවැ”යි තෙරනම කීය. (4) “ස්වාමීනි, බොහෝ දුර සිට ආසේක; ඔබගේ ශරීරය ජරාවෙන් දුර්වලය. මේ ඇතාගේ නිදහස පැතීමට ඔහුගෙන් ඔබට ඇති යහපත කිමෙක්දැ”යි රජ ඇසීය. (5) “මහරජ, මේ ඇතා මාගේ ශිෂ්‍යයෙහි, උපස්ථායකයෙකි. ඉදින් මම මොහු නිදහස් කොට නොගන්නේ නම් මේ තෙම මියයන්නේය.” (6) ඌ ඔබගේ ශිෂ්‍යයා වන්නේ කෙසේද? උපස්ථායකයා වන්නේ කෙසේද? ඌ මරණයට පැමිණෙන්නේ කෙසේදැයි මට විස්තර ලෙස කිව මැනවැයි රජු කීය. තෙරනම මෙසේ කීය. මහරජ, අසනු මැනවි: ඒ ප්‍ර‍වෘත්තිය පිළිවෙලින් කියන්නෙමි: (8) සුරට්ඨජනපදයෙහි පුරාණයේ සිට ප්‍ර‍කට වූ අච්චිමන්ත නම් පර්වතයක් වේ. ඒ පර්වතය පසෙක වූ ලෙණක මාගේ වාසස්ථානය වේ. එහි මම සැපසේ වාසය කරමි. (10) මගේ ලෙණ සමීපයෙහි එක් ඇතින්නක් විසී. ගැබිනි වූ ඕ එහිම පැටියන් වැදී, (11) දරුවන් වැදූ කෙණෙහිම පෙර වෛරිනී වූ එක් යකින්නක් අවුත් ඔවුන් කා දමයි. (12) මේ උපද්‍ර‍වයෙන් පීඩිත වූ ඇතින්න මේ ඇත් පැටවා රැගෙන මාගේ ලෙණට අවුත් (13) තමාගේ සොඬින් ඇත්පැටවා රැගෙන මාගේ අතෙහි තබා පැන් වත්කොට මට පාවා දුණි. (14) යකින්න එය දැක එහි අවුත් පැටවා අල්වන්ට උත්සාහ කරන විට මම ඔහු අතින් වසා ගතිමි. (15) එසේ කළ බැවින් ඌ අල්වාගත නොහැකි වූ යකින්න ආශා විරහිතව නික්ම ගියාය. (16) මහරජ, මෙසේ මට සබඳකම් ඇති මේ ඇත්පැටවා මට උපස්ථාන කරමින් හැමදා එහි වසයි, ඔහු මාගෙන් ආචාරශීලය උගත් බැවින් මාගේ ශිෂ්‍යයෙක් වෙයි. (18) කුඩා කල පටන් මට සම්බන්ධකම් ඇති හෙතෙම මා නොදැක මරණයට පත්වන්නේය. (19) හෙතෙම යන්නා වූ මා අනුව යයි, සිටින විට සිටියි, මා චෛත්‍යයට වඳින විට ඌ ද වඳියි. (20) මා පිඬු පිණිස ගිය විට ඌ කෑම සොයා ගොස් මා එන්ට පළමුවෙන්ම ලෙණ සමීපයට ඇවිත් සිටී. (21) පිශාචියගේ අතින් මිදුණු හෙතෙම ඔබගේ අතට පත්විය. මහරජ, හෙතෙම සැපසේ වෙසේවා.

රජතෙම මෙසේ කීය. (22) “මම ඒ ඇතා මුදන්නෙමි. ඔබගේ අවවාදයත් අනුශාසනාවත් කරමි. මා අපායෙන් මුදවනු මැනවි” (23) රජුගේ අතින් මිදුණු ඒ ඇතා සතුටු සිතැත්තේ ප්‍රීතිමත් වූයේ මොහොතකින් සූරට්ඨදේශයට යන මගට බැස්සේය. (24) තෙරනම ඒ ඇතා නිදහස් කරවා රජුට අනුශාසනා කොට අහසින් ස්වකීය වාසස්ථානයට ගියේය. (25) කල්‍යාණ මිත්‍ර‍යකු කරා එළඹ ඒ ඇතා යක්ෂණියගෙන්ද රජුගෙන්ද මිදී අපායෙන් ද නිදහස් විය. ඒ ඇත්රජ ජීවිතාන්තය දක්වා තෙරුන්ට උපස්ථාන කොට දෙව්ලොවට ගියේය. තෙරනමද එහිදී අපවත් විය.


22. වැඳිරියගේ කථාව


ජනපදයන්ට මුදුන් මල්කඩක් වැනි වූ සුරට්ඨජනපදයෙහි චික්ඛිණ්ණ නගර නමැති මහ නුවරක් විය. එනුවර එක්තරා පිණ්ඩපාතික තෙරනමක් පිඬුපිණිස හැසිරෙයි. එහි එක් දාසියක් වැඳිරියක් අබරණවලින් සරසා උකුලෙන් වඩා ගෙන හැසිරෙයි. ඒ භික්ෂුනම ඇය දැක (1) “ඉතා රතු වස්ත්‍ර‍ හැඳි, ලොම් බහුල සැරසූ හිසක් ඇති, හීන් වූ අත් පා ඇති, විරූප මුඛ ඇති, බිඳුණු නහය ඇති, නොමනා රූ ඇති, රන් පාදාභරණ ඇති, සැපවත් ලකුණු ඇති මෝ තොමෝ කාගේ දැරියක්දැ”යි විචාළේය. දාසිය මෙසේ කියයි: නිතර ගිරිදුර්ගයන්හි හැසිරෙන ගසින් ගසට පනින වැඳිරියක් පින්බලය නිසා මෙසේ උකුලෙන් දරමි. භික්ෂුතෙමේ මෙසේ කීය: (4) සිල්වත් වූවෙක්, ශිල්පදත් තෙක් ප්‍ර‍ඥාවතෙක් බහුශ්‍රැතයෙක් උසස්කුල ඇති රූප සම්පන්නයෙක් වුවත් පින් අඩු නම් මෙසේ නොවන්නේය. (5) දුශ්ශීල වුවත්, ශිල්ප නොදත්තෙක් වුවත්, මද නුවණැත්තෙක්, අල්පශ්‍රැතයෙක්, පහත් කුලැත්තෙක්, මනාරූ නැත්තෙක් වුවත් පින් ඇත්තා මෙබන්දෙක් වේ. (6) පින් ඇති බලු-වඳුරු-ගිරා-ඇත්-අස් ආදි තිරිසන්නුද සුවපත්වූවාහු දක්නා ලැබෙත්. පින් නැති මිනිස්සු එසේ නොවෙත්. (7) ඉදින් තිරිසනුන්ටත් පින් විපාක දේ නම් මිනිසුන් ගැන කියනු කිම? (8) එබැවින් නුවණැති මිනිසා විසින් පින් කළ යුතුය. පින් ඇත්තා යම් යම් තැනක උපදී නම් ඒ ඒ තැන්හි සුවපත් වේ.

දාසිය මෙසේ කීය: (9) මේ කරුණු දන්නා වූ බහුශ්‍රැත වූ, උගත් දෙය දරන්නා වූ, පිරිස් මැද විශාරද වූ ස්වාමීන් වහන්ස, මෙය දැක බොහෝ පින් කරන සේක්වා. (10) බුදුරදුන්ගේ වචනය අදහන්නා වූ පණ්ඩිතතෙමේ ධර්ම ප්‍රීතිය ප්‍රියකොට නැවත නැවත දන් දෙයි. භික්ෂුනම වැඳිරිය දැක පින්පල ප්‍ර‍කාශ කොට ගියේය.


23. සීරලු සොරාගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ) කෝකානිජ කණ්ඩගිරි නමැති පර්වත විහාරයක් වේ. ඒ විහාරයට නුදුරු තැන එක් ලෙණක අඩු ආශා ඇති ලද දෙයින් සතුටුවෙන, ධුතාංගධරවූ ආරණ්‍යක භික්ෂු නමක් වෙසේ. ඉක්බිති එක් සොරෙක් පන්සියයක් හොරුන් සමග එහි අවුත් ඒ භික්ෂුනමගෙන් මෙසේ විචාළේය:

(1) ස්වාමීනි, මේ ලෙණෙහි වසන්නා වූ ඔබට අවුරුදු කීයක් නම් ගතවී දැයි දැනගනු කැමැත්තෙමි. (2) මිත්‍ර‍ය, මම අවුරුදු සයක් මුළුල්ලේ තනිව දෙවැන්නෙක් නැතිව මෘගයකු මෙන් සිතාගෙන මෙහි නිරතුරුව වසමි. (3) අවුරුදු සයක් වාසය කොට ඔබ විසින් යම් කිසි ධ්‍යානයක් හෝ සමාපත්තියක් හෝ අභිඥාවක් හෝ ලද්දේදැයි සොරා විචාළේය. (4) මම සමවතක් හෝ ධ්‍යානයක් හෝ මාර්ගයක් හෝ අන්‍ය විශේෂයක් හෝ නොලැබුවෙමි. සිල් පිරිසිදු කොට විවේකයෙහි ඇලුනේ වෙමි යි භික්ෂුනම කීය. සොරා මෙසේ කීය. (5) ස්වාමීනි, සිල් පමණකින් ඔබ මහත් දෙයක් විනාශ කරගත්තාහ. රහත්බව ලැබීම පිණිස වහා උත්සාහ කළ මැනවි. (6) පෙර පැවිදි වී මේ ලෙණෙහි විසූ මම අභිඥාවන්ගේ පරතෙරට ගියෙමි. (7) දිවැස ද දිවකණ ද පිරිසිදු කෙළෙමි. සෘඬිබල ලැබුවෙමි. පෙර විසූ ආත්මයන් දුටුවෙමි, අනුන්ගේ සිත් දැනගතිමි. (8) මෙසේ අභිඥාලාභී වූ මම ඒ බලයන්හිම ඇලී රහත්ඵලය ලබා ගැන්මට ප්‍ර‍මාද වීමි. (9) ඉක්බිති එක් දිනක් සවස් කාලයෙහි ධ්‍යානයෙන් නැගිට ලෙණෙන් නික්ම දොරබාව ළඟට ගොස් සිටියෙමි. (10) මා එහි සිටි කල්හි අලංකාරයෙන් සැරසුණු ගොපලු දැරියක් දුටිමි. (11) ඇය දුටු කෙණෙහිම මට රාග සහගත සිතක් උපණි. මෙසේ රාගය උපන් විට මුළා වූ සිහි ඇත්තෙක් වීමි. (12) ඒ රාග සිත නිසාම මහණකමින් ඉවත් වී ඒ දැරිය සොයමින් සොරකම් කරන්ට පටන් ගතිමි. (13) මම සොරෙක් වී සූරවීර වූ දක්ෂ වූ අන්‍ය සොරුන් පණස් දෙනෙකුන් සොයා ගතිමි. (14) ඒ සොරුන් සමග ගොස් මම ඒ ගෙය වටකොට බලාත්කාරයෙන් ඒ ස්ත්‍රිය ගෙන ගියෙමි. (15) ඒ සඳහා ප්‍ර‍මාදි වූ මා විසින් බොහෝ වූ පව් කරන ලදි. එහෙයින් මම අපායෙහි කටුක දුක් විඳීමට නියතව සිටිමි. (16) ඒ කාමහේතුවෙන් මහජනයා පෙළා ධන ධාන්‍ය රැස්කළ නමුත් කාමයන්හි තෘප්තියක් නොපෙනේ. (17) මාවිසින් පෙර යම් ධ්‍යානාදී විශේෂ ගුණයක් ලද්දේ නම් ඒ සියල්ල කාමය නිසා විනාශ විය. ධ්‍යාන-අභිඥා-සමාපත්තීහු හුදෙක් ක්ලේශ සමනය පිණිස වෙති. (18) නුවණැති ස්වාමීනි, මාගේ කීම අසා ඔබට සංවේගයක් ඇතිවේවා, සිතේ වසඟයට නොගිය මැනවි; ප්‍ර‍මාදවීමෙන් විනාශ නොවෙනු මැනවි. (19) සිතට වසඟවීමෙන් ප්‍ර‍මාදයට පැමිණි පුද්ගලයෝ නොයෙක් දුක් අනුභව කෙරෙත්. (20) ඔබගේ ආයුෂ ගෙවේ, සද්ධර්මය පිරිහෙයි; එබැවින් සංවේග උපදවා භාවනාවෙහි යෙදෙනු මැනවි.

(21) මෙසේ ඒ සොරා විසින් අවවාද කරනු ලැබූ ඒ භික්ෂු නම භාවනාවෙහි යෙදී නොබෝ දිනකින් රහත් විය. (22) සතුටු වූ ඒ සොරදෙටු තෙමේ තමාගේ ධනය යොදවා ඒ සොරුන් ලවා එතැන්හි ප්‍රාසාදයක් කරවීය. (23) ඒ තෙරනම සොරාගේ අවවාදය නිසා සද්ධර්ම සම්පත්තිය ලබා කෙලෙස් පිරිනිවීමට පත්විය. (24) එසේ ශාන්ත භාවයට පත් වූ බුද්ධානුශාසනය කරන්නාවූ හැම වෛරභය ඉකුත්කළ ඒ තෙරනමට දෙවියන් සහිත ලෝකයා නමස්කාර කෙළේය. (25) එහෙයින් සිල් රැකි පමණින් හෝ ධර්මය උගත් පමණින් හෝ ආශ්‍ර‍වක්ෂයට නොපැමිණිය හුට පවා ප්‍ර‍ශංසා නොකරත්. මෙසේ අභිඥාලාභීන්ගේ සිත පවා කාමයෙන් අපිරිසිදු වෙයි. එය පෘථග්ජන දෝෂය නිසාය. හිස් පෘථග්ජනයන් ගැන කියනුම කිම?


24. ගන්ධාර සොරාගේ කථාව


ගන්ධාර රට එක් වනරොදක පර්වත ගුහාවක් ආශ්‍ර‍ය කොට සමාධි ධ්‍යානයන්හි ඇලුණු ෂඩභිඥා ලැබූ මහත් සෘඬ්‍යනුභාව ඇති භික්ෂුනමක් වසයි. හෙතෙම පෙරවරු කාලයෙහි හැඳගෙන පාත්‍ර‍සිවුරු රැගෙන පිඬු පිණිස හැසුරුණි. එක් සොරෙක් ඒ භික්ෂුනම දැක පසු පස්සේ යමින් මෙසේ සිතී: (1) “ඉදින් මේ භික්ෂුනම මට නොදී අනුභව කරන්නේ නම් මේ තියුණු ශස්ත්‍රයෙන් ඔහුගේ කුස පළන්නෙමි”යි, (2) භික්ෂුනම ලෙණට අවුත් අස්නෙහි හිඳගෙන අනුභව කරන්නෙමියි සිතූ කෙණෙහි එන්නා වූ සොරා දැක්කේය. (3) සොරාගේ අදහස් දැනගත් භික්ෂු නම ඔහුට අනුකම්පාවෙන් මෙසේ සිතී. (4) ඉදින් මේ නපුරු සොරා මා වැන්නකු මරන්නේ නම් බොහෝ පව් රැස්කොට නරකයට යන්නේය. (5) මම මේ සියල්ල එකට අනා මොහුට දෙන්නෙමි. හෙතෙම සැපසේ අනුභව කෙරේවා යි. (6) හෙතෙම මෙසේ සිතා ඒ මිනිසා කැඳවා බත් අනා පාත්‍ර‍ය සමගම ඔහුට දුණි. (7) ඒ ආහාරය අතට ගත් සොරා මෘදු සිතැතිව එය දෙකොටසක් කොට එක් භාගයක් තෙරුන්ට දී (8) එක් භාගයක් තෙමේ අනුභව කොට සතුටු සිතැතිව දුන්න හා හියවුරු[9] රැගෙන තමා කැමති තැනකට ගියේය. (9) ඉක්බිති සොරා තමාගේ ගෙට ගොස් සතුටු සිතැතිව තමාගේ බිරියට මේ කරුණ කීය.

පසුකලක ඔහු මරණාසන්න වූ විට ඔහු නරකයෙහි උපදින ලකුණු පහළ වූහ. (10) “ඉතා රතු පැහැති ගිනි දැල් මා ඉදිරියෙහි පෙනෙත්. එබැවින් මම නරකයෙහි උපදින්නෙමි. (11) මා විසින් බොහෝ පව්කම් කොට ජීවිකාව කරන ලදි. එබැවින් නරකදුක් විඳිය යුතුමය. මට මෙහි සැකයක් නැතැ”යි හෙතෙම කීය. (12) ඔහුගේ ඒ කීම අසා බිරිය මෙසේ කීය: “ස්වාමීනි, භය නොවෙව; ඔබට සුගතියට යා හැක.” (13) “මා වැනි නිතර දරුනු ක්‍රියා කළ අයෙකුට සුගතියක් කොයින්ද? දුගතියටම යා යුතුය. පව්වල විපාකය මෙ වැනිය”යි සොරා කීය. (14) “වනයෙහි වසන සිල්වත් භික්ෂුනමකට ඔබ විසින් අඩ දනක් දෙන ලදි. දැන් එය සිහි කළ මැනවැ”යි බිරිය කීය. (15) හෙතෙම යහපතැය කියා ඒ ස්ත්‍රිය කීසේ ඒ දානය සිහිපත් කර ගත්තේය. (16) තෙරුන් දුන් දෙයම ආපසු තෙරුන්ට දීමෙන් මේ පුද්ගලයා අපායගමන හැරපියා සුගතියට ගියේය.

මෙතැන්හි අඩුවක් පෙනේ.

(17) එබැවින් තාදී ගුණ ඇති දක්ෂිණර්හයන් කෙරෙහි ස්වල්ප දෙයක් වුවත් දියයුතුය. සුගතියට යාම සඳහා දන්දීමවැනි අන්‍ය ඥානයක් නැත්තේය. (18) හැම කල්හි දානශීලයන්හි ඇලුනාහු, භාවනාවෙහි යෙදුනාහු වෙත්වා. සොරතෙමේ ඒ සිත පහදා ගැනීමෙන් එයින් චුතව දෙව්ලොව උපන්නේය.


25. කොන්තිපුත්ත තෙරුන්ගේ කථාව


මෙසේ අසන්ට ලැබේ. මනාසේ කළ පිනැති, සත්පුරුෂයන් විසින් සේවිත වූ ධාර්මික වූ අශෝක නම් රජතුමෙක් විය. ඒ රජුගේ වනචරකයෝ සතරදෙනෙක් රජුගේ පිනින් වනයෙහි හටගත් දේ සොයමින් ඇවිදිති. එයින් එක් මිනිසෙක් මං මුළාවී ගොස් හිමවත් පෙදෙසෙහි අමනුෂ්‍යාධිගෘහිත වූ කාන්තාරයකට[10] පිවිසියේය. බොහෝ මල් වර්ග හා ගෙඩිවර්ග ඇති චණ්ඩමෘගබහුල වූ ඒ වනයෙහි එක්තරා තවුසෙක් මල් ගෙඩි ආහාරකොට ගෙන වාසය කරයි. ඒ වනචරකයා තාපසයා දැක ඔහු වෙත පැමිණ වැඳ සිටියේය. තාපසයා තොරතුරු විචාරා අල-කොල-ගෙඩි ආදිය කෑමට දී තමාගේ ගිනිහල් ගෙය ඔහුට විසීමට දුණි. රැය පහන් වූ විට අල-ගෙඩි සෙවීමට යන තාපසයා ඒ මිනිසා අමතා (1) පුත්‍ර‍ය, මෙහිම සිටුව, උකටලී නොවෙව, අර පෙනෙන විල දෙසට නොයව, ගිය හොත් දුකට පැමිණෙන්නෙහි යි කීය. ඒ මිනිසා (2) “ස්වාමීනි, මම මෙහිම සිටිමි; ඔබගේ අනුශාසනාව පිළිපදිමි. මට පිහිට ඔබමය. ඒ විලට මම නොයන්නෙමි”යි කීය.

තාපසයා හැමදාම ඔහුට එසේ අවවාද කොට ගියේය. වනචරකයාට එක් දිනක් මෙවැනි සිතක් පහළ විය. “මේ තාපස තෙමේ හැමදාම මට මෙසේ අවවාද කරයි. එසේ කියන්නේ කුමක් හෙයින්දැයි මම එහි ගොස් විමසන්නෙමි”යි. එක් දිනක් එහි ගොස් සැඟවී බලා සිටියේය. ඒ විල සතරැස් වූ මනා තොටවල් ඇති, බැසීමට තරප්පු ඇති මඩ නැති, නිර්මල දියෙන් පිරුණු, මී අඹ-මූණ මල්-නාමල්-මදටියමල්-නෙල්ලිමල් ආදියෙන් හා දියෙහි හටගන්නා මල් වලින් ද ගැවසී ගත් සුවඳ සුණු දැමූ සිහිල් දියැති එකක් බව ඔහුට පෙනුණි. එහි දේවකන්‍යාවන් සමාන වූ කිඳුරඟනෝ ජලක්‍රීඩා කළහ. ඒ කිඳුරියන් දුටු හෙතෙම කාමයෙන් මත්වූයේ තමා සනසාගත නොහැකිව ගිනිහල් ගෙට පිවිස රාගවේගයෙන් කම්පවෙමින් මුසපත්වෙමින් කෑමද නොකා ඇඳෙහි වැතිර හුන්නේය. තාපසයා වනයෙන් අවුත් ගිනිහල්ගෙට පිවිස මෙසේ කීය: (3) පුත්‍ර‍ය, නැගිටුව; කුමක් හෙයින් නිදන්නෙහිද? මම වනයෙන් හැරී ආවෙමි; අල ගෙඩි ආදිය අනුභව කොට සිහිල් ජලය බොව.” වනචරකයා (4) “මම ආහාර අනුභව නොකරමි; පැන් නොබොමි; මාගේ අවයවයෝ දැවෙත්; ඇතුළත වියලේ” යයි කීය. (5) කුමක් නිසා තාගේ අවයව දැවෙත්ද? කුමක් නිසා තාගේ අවයව දැවෙත්ද? කුමක් නිසා ඇතුළත වේලේද? සොරෙක් තට හිරිහැර කෙළේද? එය මට කියවයි තාපසයා කීය.

වනචරකයා මෙසේ කියයි. (6) “යම් හුලක් ඇනීමෙන් ඊශ්වරයාත් ශක්‍රදේවේන්ද්‍ර‍යාත් පීඩාවට පත්වූවාහුද දැවුනාහුද (7) ඒ හුලෙන් මමත් විදිනු ලැබීමි. එය මාගේ හෘදය වෙත පැමිණියේය. ඒ හුල උදුරා මාගේ ජීවිතය බේරා දෙනු මැනව.” (8) පුත්‍ර‍ය, තට වැදුණු හුල කුමක්දැයි මම දනිමි. අර විලට ගොස් තෝ කිඳුරියන් බැලුවෙහි. (9) පුත්‍ර‍ය, චංචලසිතැති මිනිසකු විසින් ඒ කිඳුරියෝ නොදැක්ක යුත්තාහ. ඈලා මනා රූ ඇත්තියෝය, දර්ශනීයහ, ඇස් මුළා කරන්නාහ. (10) ඈලාගේ ඇස් දික්වෙති. සිත් පැහැර ගන්නාහු වෙති. බැමද බොටුව ද නාසිකාව ද දත් ද තොල් ද ඉතා හොබනාහුය. (11) හිස්වල නිල් හිස කෙස්ද ළපැතිවල තන ද ඇත්තාහ. පුලුළුකුල් ඇත්තාහ. සිහින් ඉඟටි ඇත්තාහ. (12) සුදු පැහැය ඇත්තාහ, අබරණින් සැරසුනාහ, සියුම් වස්ත්‍ර‍ ඇඳ විසිතුරු මල්දම් දරන්නියෝය. (13) ඇතැම් කිඳුරියෝ ගායනා කෙරෙත්, තවත් කෙනෙක් නටත්, තාලම් ගසත්, අතින් ශබ්ද නගත්. (14) මෙසේ සුවසේ වැඩුණු කිඳුරඟනන් අහසින් ගමන් කරන බැවින් මිනිසුන් විසින් අල්වා ගැනීම අපහසුය. (15) ඉදින් මිනිසුන් හා අසමාන වූ ඈලා ලැබිය හැකි නම් ඈලා දේව කන්‍යාවන් මෙන් මෘදු ඉඟටි ඇත්තියෝය. (16) ඒ කිඳුරියන්ගේ ශරීර ස්පර්ශය ඉඹුල් පුලුන් හෝ කපු පුලුන් මෙන් මනෝඥය. (17) තාගේ ශරීර ස්පර්ශය ඌරෙකුගේ මෙන් කර්කශය; තෝ විරූප වූ අමනුෂ්‍යයකු මෙනි. එබැවින් කිඳුරියන් නො පතව.

වනචරකයා මෙසේ කීය: (18) පියාණෙනි, මම කිඳුරියන් පතමි; මට උපායක් කිව මැනවි, එය ඉගෙන මම කිඳුරියක් අල්වා ගන්නෙමියි. තාපස තෙමේ (19) “ඉදින් සියල්ල හොඳින් අසා ගන්නෙහි නම් තට උපායක් කියමි. එය ඉගෙන ඒ විල කරා යව. (20) එහි පැමිණෙන කිඳුරියෝ තමන්ගේ ඇඳුම්[11] ගලවා තබා ඒ විලට බසිති. එසේ තැබූ ඇඳුම් අතරෙන් එකක් පැහැර ගනුව. (21) යම් විටක ඒ ඇඳුම නැති කිඳුරිය හැර දමා ඉතිරි කිඳුරියෝ විලෙන් ගොඩට ඇවිත් පලායන්නාහු නම් (22) ඈලා මැද සිටි ඒ ඇඳුම නැති කිඳුරිය අතින් අල්වාගෙන තාගේ වස්ත්‍ර‍යක් දී කැඳවාගෙන යව”යි කීය.

හෙතෙම යහපතැයි කියා සතුටු වී පසුදා එළිය වැටුණු පසු අස්නෙන් නැගිට සතළිස් රියනක් පමණ ගැඹුරැති විලට ගොස් එක් පසෙක සැඟවී සිටියේය. එකල්හි ඒ කිඳුරියෝ අහසින් අවුත් ඇඳුම් ලිහා තබා විලට බැස්සාහ. ඔවුන් විලෙහි ක්‍රීඩා කරන කල්හි වනචරකයා දුටු කිඳුරියෝ තම තමන්ගේ ඇඳුම් රැගෙන අහසට නැගී ගියහ. යම් කිඳුරියකගේ ඇඳුම ඔහු විසින් ගන්නා ලද්දේ නම් ඒ කොන්තිකින්නරිය ලැජ්ජාව නිසා ගොඩට නෑවිත් ජලයෙහිම සිටියාය. ඒ මිනිසා ඈට තමාගේ වස්ත්‍ර‍ය දී අතින් අල්වා ගෙන තාපසයාගේ ආශ්‍ර‍මයට ගියේය. ඔවුන් දුටු තවුස් තෙමේ මෙසේ කීය: (23) “පුත්‍ර‍ය, භාර්යාවක් සහිත වූවහුගේ මෙහි විසීම නොවටී; මම තට මාර්ගය පෙන්වමි; සැපසේ යනු මැනවි”.

මෙසේ කී තාපසයා ඔහුට මග පෙන්වා තෝ මේ කොන්තිය කෙරෙහි නොසැලකිලිමත් නොවෙව; ඇගේ ඇඳුම ලදහොත් ඈ අහසට නැගී යන්නීය”යි කීය. ඒ කීම පිළිගත් වනචරකයා මගට බැස යන්නේ නගරයට පැමිණෙන තෙක්ම පොත්‍ථිය රැකගෙන ගියේය. එහි අඹුසැමි වශයෙන් විසූ ඔවුන්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ. එයින් වැඩිමහල්ලාගේ නම මහාතිස්සය, බාලයාගේ නම චුල්ලතිස්සය. කලක් ඇවෑමෙන් ඒ වනචරකයා නැවත වනයෙහි ඇවිදීමට ගියේය. මේ අතරේදී ඒ නගරයෙහි උත්සවයක් පවත්වන බැවින් හැමදෙන ශක්ති පමණින් තම තමන් සරසා ගත යුතුයයි නියමයක් ප්‍ර‍කාශ කරන ලදි. එයසා කිඳුරිය ස්වාමියා අමතා “මාගේ පොත්‍ථිය දෙනු මැනවි. දරුවන් රැකගනුව; මම අද යන්නෙමි”යි කීය. “තමා කුස උපන් දරුවන් හැරදමා කෙසේ යන්නෙහිදැ”යි කියා හෙතෙම පොත්‍ථිය දුන්නේය. ඕ පොත්‍ථිය ලබාගෙන ස්වකීය කිඳුරු සමාජය වෙත ගියාය.

ඇගේ පුත්‍රයෝ දෙදෙන පියාගේ නිවසෙහි විසූහ. එක් රහත් තෙරනමක් පිඬු පිණිස හැසිරෙන්නේ “මේ ළමයි කාගේද මොවුන්ගේ මවුපියෝ කොහිදැ”යි ආත්තාගෙන් විචාළේය. ඕ තොමෝ තොරතුරු ඇති සැටියෙන් කීය. තෙරනම ඔවුන්ගේ උපනිශ්‍ර‍ය සම්පත් දැක මැහැල්ලියගෙන් අවසර ගෙන ඔවුන් පැවිදි කරවීය. ඔවුහු නොබෝ කලකින්ම රහත් බවෙහි පිහිටියාහ. එයින් එක් නමක් පිරිනිවියේය. ඒ කෙසේද? මේ සොහොයුරු තෙර දෙනම පාටලී පුත්‍රයෙහි විසූහ. මෙසේ වසන ඒ දෙනම අතරෙන් මහාතිස්ස තෙරුන්ගේ කුසෙහි වාතාබාධයක් හටගත්තේය. හෙතෙම බාල තෙරුන් අමතා “ඇවැත්නි, මාගේ කුසෙහි වාතාබාධයක් ඇත. (24) ඉදින් ගිතෙල් පතක් ලැබෙන්නේ නම් ඒ වේදනාව සංසිඳෙන්නේය. සිරිත් වශයෙන් භික්ෂාවෙහි හැසිරෙන විට (25) තෙල් ලැබෙන්නේ නම් එය මා වෙත ගෙනෙව; අන් ආකාරයකින් හෙවත් ලකුණු දැක්වීම, කටින් කීම, වටාපිටින් කීම ආදියෙන් ලැබුනොත් එය දුරකරව”යි කීය. බාලතෙරනම ඒ කිසේ තෙල් ලැබීම සඳහා යොදුනක් දිග පළලැති පැළලුප් නුවර ඇවිදිනේ තෙල් නොලැබීය. පසුදා රෝගී තෙරනම අඩුව සුවයක් නොලබන්නේය”යි කීය. චුල්ලතිස්ස තෙරනම තවත් බොහෝ භික්ෂූන් මවා නොයෙක් තැන ඇවිද්දවා එදාත් තෙල් නොලැබී. දිනෙන් දින තෙරුන්ගේ රෝගය වැඩුණි, ඖෂධ ප්‍ර‍මාණයද වැඩුණි. බාල තෙරනම මුළු දඹදිව සොළොස් මහජනපදයන්හි ද එක්සියයක් මහා නගරවල ද පණස්හයදහසක් නියම්ගම් වල ද අනූනව දහසක් වෙළඳපලවල ද සොළොස් කෝටියක් හා පණසක් ගම්වල ද නිර්මිත භික්ෂූන් හසුරුවාත් තෙල් නොලැබී. එවිට මහාතිස්ස තෙරනම බාල තෙරුන් අමතා “දැන් මහ මුහුදේ ජලය තරම් තෙල් ලැබුණත් මාගේ රෝගය නොසන්සිඳින්නේය; මම පිරිනිවෙන්නෙමි; භික්ෂූන් රැස්කරව”යි කීය.

චුල්ලතිස්ස තෙර සංඝයා රැස්කරවීය. එවිට මහා තිස්ස තෙර මෙසේ කීය. (26) මම පඤ්චස්කන්ධභාරය බහා තබමි; සංසාර සාගරයෙන් එතෙරව පිරිනිවෙන්නෙමි. (27) රත්නත්‍රයෙහි හෝ මාර්ගයෙහි හෝ ප්‍ර‍තිපදාවෙහි සැකයක් ඇත්නම් මාගෙන් විචාළ මැනවි”. (28) “අපට රත්නත්‍ර‍යාදියෙහි සැකයක් නැත. එක් කාරණයක් අප ඔබගෙන් විචාරමු; එය අසනු මැනවි. (29) පිරිනිවෙන්නා වූ ඒ තෙරනම කුමක් කියා පිරිනිවියේදැයි රජතුමා විචාරන්නේ නම් අපි ඔහුට කුමක් කියන්නෙමුදැ”යි භික්ෂූහු විචාළහ. (30) “ඉදින් රජතුමා විචාරන්නේ නම් මාගෙන් අසාගෙන රජුට මෙසේ කිව මැනවි: (31) කොන්තිපුත්ත තෙරුන්ගේ කුසෙහි වාතයක් හට ගත්තේය. ඒ වාතය නැසීම පිණිස (32) යොදුනක් පමණ වූ පාටලී පුත්‍රයෙහි හැසිර තෙල් නොලත් බැවින් බොහෝ භික්ෂූන් මවා (33) සොළොස් මහා ජනපදයන්හිද සිය ගණන් නගරයන්හි ද සපණස්දහසක් නියම්ගම්වල ද අනූනව දහසක් වෙළඳපලවල ද සොළොස්කෝටියක් ගම්වල ද හසුරුවාත් තෙල් ලැබිය නොහැකි විය. ඖෂධ නොලබන්නා වූ ඔහුගේ රෝගය වැඩුණි. ඒ දරුණු ආබාධයෙන් හෙතෙම මළේය”යි කියයුතු යයි කියා තෙරනම අහසට නැඟී තේජෝධාතුවට සමවැදී පිරිනිවියේය.

තෙරුන්ගේ පිරිනිවීම අසා මුළු පැළලුප්නුවර කලබල විය. ක්‍ර‍මයෙන් එය අශෝක මහරජුට අසන්ට ලැබී රජතුමා විහාරයට ගොස් “තෙරනම කුමක් කියා පිරිනිවියේදැ”යි භික්ෂූන්ගෙන් විචාළේය. භික්ෂූහු තෙරුන් කී දෙය කීහ. (36) මේ කීම අසා අශෝක රජ ශෝකයට පැමිණියේය. පර්වතයකින් වැටුනාක් මෙන් දුකට පත්ව මෙසේ කීය: (37) අහෝ, බුද්ධශ්‍රාවකතෙමේ අඩු ආශා ඇත්තේය, ලද දෙයින් සතුටු වන්නේය; කෙලෙසුන් මඩින්නේය. හෙතෙම ජීවිතය පරිත්‍යාග කරමිනුත් චාරිත්‍ර‍ ශීලය අත් නොහැරියේය. (38) මෙසේ අල්පේච්ඡ සන්තුෂ්ට වූ ශීල-ධුත දෙක්හි ඇලුණු බුද්ධ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් සසරින් එතෙරට ගියාහුය. (39) සසරින් එතෙර වූ ඒ ක්‍ෂීණාශ්‍ර‍වයෝ බුද්ධානු ශාසනය ප්‍ර‍කාශ කොට පිරිනිවියාහුය. රජතුමා තෙරවරුන්ගේ නෑ කෙනෙක් ඇත් දැයි මිනිසුන්ගෙන් විචාළේ ය. ඒ කාලයේදී තෙරුන්ගේ පියා වූ වනචරකයා ඇවිත් සිටියේය. මිනිස්සු තෙරවරුන්ගේ පියා අසවලාය යි කීහ. රජතෙම ඔහු කැඳවා තෙරවරුන්ගේ මව කොහිදැ යි විචාළේය. හෙතෙම සිදුවූ ප්‍ර‍වෘත්තිය කීය. ඒ කිඳුරියගේ හැරී ඒම කැමතිදැයි රජතුමා ඇසීය. “මහරජ, කැමතිවෙමි”යි කී විට අශෝක මහරජ තමාගේ නම සහිත මුද්‍රිකාව (=සීල් එක) අහසට දමා මෙසේ කීය: (40) “ඉදින් මාගේ පින් බලයක් ඇත්නම් මේ මුද්ද ගොස් ඇගේ ඇඟිල්නේ වැටී ඇය රැගෙන ඒවා”යි. ඒ නාමමුද්‍රිකාව ගොස් කිඳුරියන් මැද නටමින් සිටි තෙරුන්ගේ මවගේ ඇඟිල්ලේ වැටුණි. එය දැක ඕතොමෝ (41) “අශෝක මහරජු විසින් එවන ලද දූතයා ප්‍ර‍ත්‍යක්ෂවශයෙන් බලව්. මම එහි යන්නෙමි, ඔබ හැමගෙන් අවසර ගනිමි”යි කියා කිඳුරුගණයා අත්හැර අහසින් අවුත් අශෝක මහ රජු ඉදිරියෙහි පෙනී සිටියාය.

රජතෙම කිඳුරිය දැක පිළිබඳ සිතැති වුවත් තෙරවරුන් කෙරෙහි ගෞරවයෙන් (43) “ඉදින් තෙරවරුන්ගේ මව නොවූවා නම් මම පින්ලකුණු ඇති අය අන්තඃපුරයට ඇතුල් කරවන්නෙමි”යි කියා කිඳුරිය වනචරකයාට දී ගම්වරයක් ද දෙමින් “මෙයින් ජීවත්වෙව, චුල්ලතිස්ස තෙරුන් ද සිහි නැති නොකරව”යි කියා නුවරට ගොස් නුවර දොරටු සතර සමීපයෙහි පොකුණු සතරක් සාරවා බදාව ගාවා තෙල්-මීපැණි-ගිතෙල්-පැණි වලින් ඒවා පුරවා ගම්මිරිස්-තිප්පිලි ආදිය ද ඒ තැන්හි ගබඩා කරවා “යම්කිසි භික්ෂු කෙනෙක් හෝ භික්ෂුණී කෙනෙක් යම් දෙයක් කැමති වෙත් නම් ඒ සියල්ල දෙව්” යයි නියම කොට මිනිසුන් සිටුවීය.


26. චුල්ලී උපාසිකාවගේ කථාව


(මෙසේ අසන්ට ලැබේ:) (1) මෝරුන්ට වාසස්ථාන වූ සාගරය මැද සක්දෙව් රජු විසින් මවන ලද පියංගුදීප නැමති උතුම් දිවයිනක්ම වේ. (2) ෂඩභිඥාලාභී වූ මහත් සෘඬි ඇති කනපියපුත්ත - තිස්ස තෙරනම දහසක් තරුණයන් විසින් පිරිවරන ලදුව එහි වාසය කරයි. (3) ඒ තෙරුන් සමීපයෙහි චුල්ලනාග නමැති කීකරු හෙරණ නමක් පැවිදි විය. (4) ඒ කාලයේදී තාම්‍ර‍පර්ණි ද්වීපයෙහි සුලුගමේ උපන් බැවින් චුල්ල නමැති උපාසිකාවක් (5) රත්නත්‍රයෙහි ප්‍ර‍සන්න වූවා බුදුසස්නෙහි ශ්‍ර‍ද්ධා ඇත්තී මැඩ දැමූ පිදුරු ගොඩවල් අවුස්සා ධාන්‍ය රැස් කරයි. (6) ඕ තොමෝ ඒ ධාන්‍ය ස්වකීය ගෙට ගෙන ගොස් සංඝයාගෙන් නමක් ඉල්වාගෙන සුලුකැඳක්ද බතක් ද දුන්නීය. (7) ඒ කාලයේ දී තිස්ස තෙරුන්ගේ කුසයෙහි වාතයක් හටගත් බැවින් උපස්ථායක සාමණේරයන් අමතා මෙසේ කීය. (8) “සාමණේරය, තෝ සිංහල ද්වීපයෙහි *[12]චූලකාලගමෙහි චුල්ලී උපාසිකාව සමීපයට යව.” (9) මහත් සෘඬි ඇති චුල්ලනාග තෙමේ යහපතැයි කියා අහසට නැග හෙළදිව සංඝාරාමයෙහි ගොඩ බැස්සේය. (10) සංඝයාට සලාක බෙදන කල්හි වැඩිමහලු පිළිවෙළින් බෙදූ බැවින් ඕ හට සුලු කැඳ සලාකය ලැබුණි. (11) ඉක්බිති නුවණැති ඒ හෙරණනම සඟළ සිවුර පොරවා පාත්‍ර‍ය අතින් ගෙන යට බැහූ ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගොස් චුල්ලිය ඉදිරියෙහි සිටියේය. (12) ඒ උපාසිකාව උපශාන්ත වූ දිනූ ඉඳුරන් ඇති ඒ හෙරණ නම දුටු පමණින් සතුටුව පහන් සිතැතිව ආසනයක් පැන විය. (13) මොහොතක් වැඩ හිඳ පා සෝදාගත් හෙරණ නම ඒ කැඳ උපාධ්‍යය තෙරුන් සඳහා ගෙන යන්නෙමියි කීය. (14) “ස්වාමීනි, මේ කැඳ වලඳා ඉතිරි කැඳ ගෙනයනු මැනවි. දුගී වූ මට අනුකම්පා කොට මෙය වලඳනු මැනව”යි උපාසිකාව කීය. (15) හෙරණ නම ඒ කැඳ වලඳා පාත්‍ර‍ය සෝදා ඇයට දුණි. ඕ තොමෝ පාත්‍ර‍ය නැවත පුරවා දී දොරටුව කරා පැමිණියාය. (16) ඒ ප්‍රාඥතෙමේ බමරෙකු වැනි පාත්‍ර‍ය ඉදිරියෙන් යවා අහසෙහි යන හංසරාජයෙකු මෙන් එය පස්සෙන් ගියේය. (17) මිනිසුන් බලා සිටියදීම පුවඟු දිවයිනට පැමිණි හෙරණ නම ඒ කැඳ ගෙනවුත් තෙරුන්ට පිළිගැන්වීය. (18) කනපියතිස්ස තෙරනම ඒ කැඳ දසදහස් නමකට බෙදා දී පසුව තෙමේ වැලඳී. (18) එය බී කෙණෙහි තෙරනම සුවපත් විය. එය දුටු (ලක්දිව) රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සාධුකාර දුණි.

එය ඇසූ රජතෙම දේවතාව අමතා (19) ඔබ මාගේ දානයත් සෘඬියත් දැනගත්තේ දැන්ද? කුමක් හෙයින් දැන් සතුටු සිතැතිව සාධුකාර දෙන්නෙහිදැයි විචාළේය. (20) මහරජ, මම ඔබට සාධුකාර නොදෙමි. මම චුල්ලී උපාසිකාවට සාධුකාර දෙමි. ඕ දක්ෂිණාර්හ වූ තාදී ගුණ ඇති රහතන්ට දනක් දුන්නී යයි දේවතාවා කීය. (21) එය‘සා සතුටු සිතැති රජ ඇය සොයා ගෙනව; ඕ මාගේ දුවක් වන්නීයයි කියා ඈ ගෙන ඒම පිණිස ඇමතියකු යැවීය. කථා වස්තුව විස්තර කළ යුතුය. ඕ තොමෝ ඒ ඇමතියාගේ භාර්යාව විය. ඇගේ මරණකාලයෙහි සදෙව්ලොවින් රථ පැමිණියාහ. ඇය රථවල සිටියන් හා කථා කරන විට ඇතැම් කෙනෙක් ඇය දොඩවන්නීයයි කීහ. (22) මම ප්‍ර‍ලාප නොදොඩමි; දේවතාවෝ අවුත් ඔවුන්ගේ රථවලට මා කැඳවමින් මා ඉක්මන් කරවතියි භික්ෂූන්ට කී ඕ මෙසේද කීය: (23) හෙළදිව යම් පමණක් භික්ෂූන් වෙසෙත් නම් ඒ සියළු භික්ෂූන්ට තුන්වරක් තුන්සිවුරු දුනිමි. (24) පහන් දහස බැගින් දහස් වරක් මා විසින් දල්වන ලදහ. අකාලධර්ම ශ්‍ර‍වණ දහසක් ද මා විසින් පවත්වන ලදි. (25) මී පැණි, ගිතෙල් තෙල් පැණි යන මේවා බොහෝ වාරවලදී බොහෝ සේ දෙන ලදි. මම දැන් කුමකට ප්‍ර‍ලාප දොඩවම්ද? (26) අවසන් කාලයෙහි කළදේ දෙන්නාගේ සිත ප්‍රීතිමත් කරවයි. බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍ර‍ය ආශ්‍රිත වූ බොහෝ පින් කොට ශාක්‍යසිංහයන්ගේ ශාසනයෙහි මට ප්‍රීතියක්ද සොම්නසක් ද ඇති විය. මට තැති ගැන්මක් නැත. (28) දෙව්ලෝවලින් උතුම් රථ ඇවිත් මා ඉදිරියෙහි සිටිත්. ඒ දෙව්ලෝවලින් කවර එකක් යහපත් ද ප්‍ර‍ශස්තදැයි මට කියනු මැනවි. (භික්ෂූහු මෙසේ කීහ.) (29) රහතන් වසන නුවරක් මෙන් අප්‍ර‍මාදීන් වසන්නා වූ ඉතා යහපත් වූ තුසිත දෙව්ලොවැ ධර්ම කථාව හැමකල්හි බහුලයෙන් පවත්නේය. අජිත නමින් පැවිදි වී සිටි මෙතේ බෝසත් තෙමේද එහි වෙයි.

(30) මෙසේ බොහෝ පින් කළ බුද්ධ වචනයෙහි පැහැදීම ලැබූ ඕ තොමෝ තුසිත පුරයෙන් ගෙනා රථයෙහි නැඟී අහසින් යයි. (31) යම් කෙනෙක් දශකුශලයන්හි හැසිර සර්වඥ දේශිත වූ ධර්මය පිළිපදින්නාහු නම් ඔවුහු පින්පල ලැබීමට ක්‍ෂේත්‍ර‍යක් වූ ස්වර්ගයට උතුම් රථවලින් යති.


27. මහානාග තෙරුන්ගේ කථාව


(1) රුහුණු දනව්ව සමීපයෙහි සේතපබ්බත නමැති පර්වතයක් විය. ඒ පර්වතයේ නැමී ගිය තැනක් කුස ලෙණ නමින් ප්‍ර‍කට විය. (2) ඒ කුස ලෙණෙහි අඩු ආශා ඇති සිල්වත් වූ මහානාග නම් තෙර නමක් වසයි. (3) පර්වතය අවට පිඬු සිඟීමට යෝග්‍ය වූ, පහසු ගමනාගමන ඇති ගම දුරින් හොබනේය. (4) මනා සංවර ඇති, දැමුණු ඉඳුරන් ඇති ඒ තෙරනම එක් දිනක් ගෙපිළිවෙළින් වඩින්නේ අනුකම්පාවෙන් එක් පවුලක් කරා එළඹියේය. (5) ඒ ගෙයි වැසියෝ පහන් සතුටු සිතැත්තාහු හැමදා ඒ තෙරුන්ගේ පාත්‍ර‍ය පුරවා දන් දෙති. (6) මෙසේ කරමින් අවුරුදු දොළසක් ගතවූ පසු ඒ ගෙදර මවුපිය දෙදෙන වයසට යන්නාහු දුවට කථාකොට මෙසේ කීහ: (8) දුවණියෙනි, ඇල්සහලෙන් බත් උයා මස් මාලු ද පිළියෙළ කොට ගිතෙල් වත්කොට තෙරුන්ට දෙව. (9) ඉතිරි දෙය කොස් හා මිශ්‍ර‍ කොට තෝ ද අනුභව කරව. මා විසින් හීල් බත් කන ලදි. එබැවින් මා ගැන නොසිතව යි කීහ. (10) තෙරනම අඳනය ඇඳ සිවුර පොරවා ගෙන ඒ ගෙට එන්නේ ඒ කථාව ඇසී. (11) එයසා සූරවූ ඒ යෝගී තෙරුන්ට මහත් සංවේගයක් උපණි. උණුසුම් වූ හෘදය ඇති එතුමා මෙසේ සිතී: (12) මොවුහු මාගේ මවුපියෝ නොවෙති. නෑයෝ හෝ සහලේනෑයෝ නොවෙති. ප්‍ර‍ණීත වූ යමක් ඇත්නම් එය මට දෙන්ට නියම කොට ඕජා නැති දෙය අනුභවකොට ඔවුහු ගියහ. (13) ඒ ආහාරය පෘථග්ජන වූ මාවිසින් නොවැළඳිය යුතුය; රහත් භික්ෂුවක් විසින් එය අනුභව කළ යුතුයයි (14) සිතා ගණ්ඨිය පාසයෙන් මුදා එතැනින් නැවතී ස්වකීය ලෙණට හැරී ගියේය. (15) සිවුර පැත්තකින් තබා අස්නක් පණවා නොපසුබස්නා වීර්යයෙන් යුක්තව මෙසේ ඉටා ගත්තේය. (16) මාගේ මස්, නහර, ලේ, ඇට යන මේවා වියලෙත්වා, රහත් බවට නොපැමිණ මේ ආසනයෙන් නොනැගිටින්නෙමි යි. (17) මෙසේ ඉටා අස්නෙහි හිඳගෙන සිවු පිරිසිදු සිල් විමසා බැලීය. (18) ශීල විශුද්ධිය ඇති බව දැක පිරිසිදු නුවණැති එතුමා විදසුන් වඩා රහත් විය. (19) අභිඥාසය අවබෝධ කෙළේය. සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සසරින් එතරට ගිය එතුමා සිංහනාද කෙළේය. (20) “ඉපදීමේ කෙළවර දක්නා වූ මම ඒකාන්තයෙන් නැවත ගැබෙහි ඉපදීමට නොපැමිණෙන්නෙමි. මේ මාගේ අන්තිම වූ ඉපදීමයි. සසරෙහි මාගේ නැවත ඉපදීම ක්‍ෂය විය.” (21) මෙසේ සිංහනාද කොට ආයුෂයාගේ පැවැත්ම බලා මධ්‍යාහ්න කාලයේදී පිරිනිවෙන්නෙමි යි සිතා ගත්තේය. (22) උන්වහන්සේ අදහස දැනගත් ලෙන් වැසි දේවතාවා අත් හිසමත තබා වැඳගෙන මෙසේ කීය. (23) “ස්වාමීනි, ඔබගේ උපස්ථායකයා දිළින්දෙකි, හෙතෙම අවුරුදු දොළසක් මුළුල්ලේ සිල්වත් ඔබට උපස්ථාන කෙළේය. (24) ඉක්බිති ඔබ ෂඩභිඥාලාභි රහත් නමක් වූහ. එබැවින් ඔහුට අනුකම්පාවෙන් ඔහුගේ පිණ්ඩපාතය පිළිගත මැනවි”. (25) දේවතාවගේ කීම ඇසූ තෙරනම අස්නෙන් නැගිට පාත්‍ර‍ සිවුරු රැගෙන ඒ ගෙට ආයේය. (26) තෙරුන් දුටු සුමනා තොමෝ අස්නක් පනවා පා දෝනා දිය තබා එතුමාගේ පාමුල වැටී හුණි. (27) අස්නෙහි වැඩ හුන් එතුමා බාලිකාව අමතා “මවුපියෝ නොදක්නා ලැබෙත්; ඔවුහු කොහි ගියාහු දැ”යි ඇසී. (28) තෙරුන්ගේ වචන ඇසූ ඕ තොමෝ විස්මයට පැමිණ මෙසේ සිතී: “අද තෙරනම ප්‍ර‍සන්න වූ මුහුණු ඇත්තේය, බොහෝ දාවල් වී මෙහි වැඩියේය, අස්නෙහි හිඳ මවුපියෝ කොහිදැයි විචාරයි. (3) පෙර නොවූ විරූ කරුණු සතරක් අද දක්නා ලැබේ. ඒකාන්තයෙන්ම තෙරනම රහත්බවට පැමිණියේය. (32) වත් බිඳීම කොට තමන්ගේ ගුණයන් ප්‍ර‍කාශ කිරීම නිසා තෙරුන්ගේ ජීවත් වීමක් නැත. එබැවින් තෙරනම පිරිනිවෙන්ට කැමැත්තේය”යි. (32) මෙසේ සිතූ ඕ පහන් සිතින් මනාසේ තෙරුන්ට දන් දුණි. වලදා නික්මුණු තෙරනම පර්වතය කරා ගියේය. (33) එහිදී පළඟ බැඳ වැඩ හිඳගෙන හිර මුදුනට පැමිණි විට මෙසේ අධිෂ්ඨාන කෙළේය. (34) “යම් මිනිසෙක් මට අවුරුදු දොළසක් උපස්ථාන කෙළේ නම් ඒ මිනිසා අවුත් ස්පර්ශ කළ විට මාගේ ශරීරය සේලවේවා; අන්‍යයන් ඔසවන්ට උත්සාහ කළවිට නොසැලේවා”යි. (35) මෙසේ අධිෂ්ඨාන කළ නාග තෙරනම තෙල් අවසන් වීමෙන් නිවී යන පහනක් මෙන් මෙලොව සම්බන්ධ නැතිව පිරිනිවියේය. කථාව විස්තර කළ යුතුය.

බාලිකාවගේ දෙමවුපියන් විසින් වනයෙන් ගෙනෙන ලද කපු රන් බවට පැමිණියේය. දේවතාවන් උද්ඝෝෂණය ඇසූ සද්ධාතිස්ස රජතුමා අන්තඃපුරය සමග ගොස් මහජනයා පිරිවරන ලද්දේ සාධුකාර දී මෘතදේහය ඔසවන්ට තැත් කෙළේය. නමුත් නොහැකි විය. එවිට රජතුමා තෙරුන්ට උපස්ථාන කෙළේ කවරෙක්දැයි විචාළේය. ඒ උපාසකයා ඉදිරියට අවුත් “අහෝ මට නොදන්වා පිරිනිවියේය”යි කියමින් මෘත ශරීරය වැලඳ ගත්තේය. (36) එකෙනෙහි මෘත ශරීරය අහසට නැගුණි. අහසෙහි හුන් තෙරුන් දැක බොහෝ දෙන නමස්කාර කළහ. (37) තෙරුන්ගේ අධිෂ්ඨානය පරිදි මෘතදේහයෙන්ම ගිනි පිටවී එය දැල්වුණේය. (38) එය දැක සතුටු සිතැති රජතෙම සාධුකාර දුණි. මේ උපාසකයාට ද බොහෝ ධනය දුණි. (39) ඔහුට නොයෙක් උසස් බඩු ද දී ඒ ගමත් දුන්නේය. ඔහුගේ දුවටද සම්පත් දුණි. (40) මෙසේ දක්ෂිණාර්හයන් කෙරෙහි යම් දනක් දෙන ලද නම් එය මෙලොවදීම අපරිමිත ධනය ද අභිවෘද්ධිය ද ගෙන දී පරලොව දී සුගතිය ලබා දෙයි. (41) එබැවින් යම් කෙනෙක් මෙලොවදීත් පරලොවදීත් අභිවෘද්ධිය කැමතිවෙත් නම් ඔවුන් විසින් ආර්ය සංඝයා කෙරෙහි ධර්ම ප්‍රිය වූ දානය දිය යුතුය.


28. හංකාලාවගේ කථාව


(1) හංකාල දනව්වෙහි හංකාල ගමේ නිවැසි හංකාලා නම් ඉතා දුගී ස්ත්‍රියක් විය. (2) උදෑසන බත සඳහා පෙරවරු කාලයෙහිද හවස් බත සඳහා පස්වරු කාලයෙහි ද අනුන්ගේ බැල මෙහෙ කොට ඕ තොමෝ ද දරුවන් පෝෂණය කරයි. (3) ඒ ගමෙහිම ගැල් දහසක පටවන තරම් මුං මෑ ආදිය ලබන ධනවත් කෙළෙඹියෙක් විය. (4) ඉදින් මුං මෑ ආදිය එපමණ ලැබේ නම් ඔහුට ලැබුණ හැල් වී ආදි ධාන්‍යවල ප්‍ර‍මාණය ඊට වැඩි විය. (5) මෙතෙක් ධන ධාන්‍ය සම්පත් ඔවුන්ට ලැබුණේ පෙර පින් බලයෙනි. දැනුත් ඔවුහු රත්නත්‍ර‍ය විෂයෙහි බොහෝ පින් කෙරෙත්. (6) මෙසේ පින් කරන්නා වූ ඔවුන් දුටු හංකාලාවගේ හිමියා සංවේගයට පත්ව (7) පරලොව පිහිට සඳහා දක්ෂිණාර්හයන්ට දන් දිය නොහැකි මාගේ ජීවිතය මෙහිම විනාශ වේවා”යි සිතමින් තමාගේ ඇඳෙහි වැද හොත්තේය. (8) හංකාලාව බත් පිස ස්වාමියාට මෙසේ කී: බත් අනුභව කරව; කුමකට නිදන්නෙහිද? ඔබ දුකට පත් වූවා සේ පෙනේ” යයි කීය. (9) මම අනුභව නොකරමි, පැන් නොබොමි. මිනිසත් බවක් ලබා දන් දෙනු නොහැකි මාගේ මරණය කැමැත්තෙමි”යි හිමියා කීය. (10) ඔහුගේ ඒ කීම ඇසූ හංකලාතොමෝ ස්වාමියා සනසා මෙසේ කී; (11) ප්‍රියවචන කියන ක්‍රියාවෙහි දක්ෂ වූ ඔබගේ වැඩිමහලු පුතා දාසයකු බවට පමුණුවා අපි දන් දෙමු”යි. (12) හෙතෙම යහපතැයි කියා ක්‍රියාසූර වූ වැඩිමහලු පුතා ධනවත් ගෙයක මෙහෙකාර කමට දී වස්සකු සහිත දෙනක් ගත්තේය. (13) ඔවුහු ඒ ගවදෙන ගෙදොරට ගෙන ගොස් දිනකට තෙවරක් කිරි දෙවා ගත්හ. සවස ද උදය ද මධ්‍යාහ්නයෙහිද යන තුන්වාරයෙහි ඔවුනට කිරිනැළි සතර බැගින් ලැබුණි. (14) තෙදිනක් කිරි දෙන ඒ එළදෙන ඉතිරි දිනවලදී ගිතෙල් ම දොවාගන්ට දෙයි. (15) හංකාලාව භික්ෂූන් සමීපයට ගොස් සංඝයාගෙන් භික්ෂූන් ලබා ගෙන කිරි දන් දුණි. (16) ඔවුහු කිරිවලින් කැඳ උයා ඉතිරි කිරි විකුණා සහල් ආදිය ගනිත්. (17) මෙසේ බොහෝ කලක් දන් දෙන විට ඒ ගම විසූ බලවත් මිනිසෙක් මේ දෙන දැක ලෝභයෙන් මැඩුනේ ඇය අයිති කරගන්ට සිතී.

(18) යුද්ධ භටයෙකු වූ ඔහු එළදෙන ඉල්ලූ නමුත් ජීවත්වීම සඳහා නොව පින් කිරීම සඳහා ගත් දෙන කෝටියක් දුන්නත් නොදිය හැකැයි ඔවුහු කීහ. දානය සත්පුරුෂ සම්මතය, බුදුරදුන් විසින් වර්ණිතයයි ද කීහ. (20) නොදෙන්නමු යන කීම අසා කිපුණු දුෂ්ට සිතැති ඒ මිනිසා ලෝභයෙන් මැඩුනේ ඔවුන්ට අනර්ථයක් කරන්ට සිතී. (21) හෙතෙම වහා ගොස් සද්ධාතිස්ස රජු වෙත එළඹ මෙසේ කීය: (22) මහරජ, අපේ ගමේ ධනවත් ස්ත්‍රියක් ඇත. ඇගේ දෙන සැමදාම දොළොස් තැළියක් ගිතෙල් දොවාගන්ට දෙයි. (23) “එසේ නම් තෝම ගොස් ඒ දෙන ගෙනෙව; මම පරීක්ෂාකොට බලන්නෙමි. එසේ විමසා බලා මගේ සිතටද කැමති නම් ඇය ගන්නෙමි”යි රජතුමා කීය. (24) ඒ පුරුෂයා යහපතැයි කියා ගොස් වස්සා සමග දෙන ගෙනවුත් රජු සමීපයට පමුණුවා බාරදුණි. (25) “රන්තලියක් ගෙනෙව්; වස්සා දෙන ඉදිරියට ගනිව්. මා ඉදිරියෙහි දෙන දොවව්. කිරි ද ගිතෙල්දැයි බලමි”යි රජතුමා කීය. (26) දෙන දොවිනු ලබන කල්හි කිරි පමණක් වැගුරුණි. කිරි වැගුරුණු බව දැනගත් රජ නොසතුටු විය. (27) රජු නොසතුටු බව දැනගත් රාජ පුරුෂයා “ස්වාමීනි, මේ ස්ත්‍රියම දෙන දොවීවා; අනිකකුට එය ගිතෙල් නොවන්නේය”යි කීය. (28) හංකාලාතොමෝ භාජනය තනවලට යටින් තැබීය. ඒ භාජනය පිරී ගිතෙල් බිම ද වැටුණි. (29) එය දැක සතුටුව රජ සාධුකාර දුණි. ඉන්පසු ඇය තමාගේ දූ තනතුරෙහි තබා (3) ශ්‍රේෂ්ඨ භාණ්ඩයන් දී ඒ ගම ද ඈට දුණි. ස්වාමිපුරුෂයාට වටිනා මැණික් බැඳි ඔටුන්නක් දුන්නේය. (31) ලෝකයෙහි පින් පව් පල මෙසේ මෙලොවදීම ලබත්. එබැවින් ධර්ම ප්‍රීතිය කොට ඇත්තහු විසින් බොහෝ පින් කළ යුතුය.

සද්ධාතිස්ස රජතුමා ඈට දාසියන් සියයක් ද දාසයන් සියයක් ද ජනපදය සමග ගම් දහසක් ද රජදුවකට දිය යුතු ආභරණ ද දුණි. ඕතොමෝ මහාදානපතියෙක් විය. ඈ මරණාසන්න වූ කල්හි සදෙව්ලොවින් වාහන සයක් පැමිණියේය. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් විස්තර කළ යුතුයි.


29. මහාදේව උපාසකයාගේ කථාව


(1) හෙළදිව අජිතාව්හි? ගමෙහි සාධු සම්මත වූ මහාදේව නම් උපාසකයෙක් වසයි. (2) එහෙතම හැමකල්හි*[13]පූර්වාන්න-අපරාන්න නම් ශස්‍යයන් කරවයි. ගැල් දහසක් බරැති ධාන්‍ය ඔහුට ලැබේ. (3) හෙතෙම එක් දිනක් උදෑසනම නැගිට කර්මාන්ත බැලීමට ගොස් ඒවා නියම කොට ගමට හැරී එන්නේ (4) අහසින් ආ රහත් භික්ෂූන් අටනමක් දැක සැඟවී සිට ඔවුන් ගැන පරීක්ෂා කෙළේය. (5) අහසින් බැස්ස ඒ තෙරහු සිවුරු පොරවා පාත්‍ර‍ අතින් ගෙන පිණ්ඩපාතයේ යාමට නික්මුණාහ. (6) උපාසකයා වහා ගෙට ගොස් “මේ ආගන්තුක භික්ෂූන්ට දානය සම්පාදනය කරව”යි බිරියට කීය. (7) ඕතොමෝ යහපතැයි කියා කැඳ ද ව්‍යඤ්ජන සහිත බත් ද වහා පිළියෙළ කළාය. (8) ආචාරගෝචර දත් සන්හුන් ඉඳුරන් ඇති ඒ බුද්ධ පුත්‍රයෝ ගෙපිළිවෙලින් හැසිර ගමෙන් නික්මුණාහ. (9) මහාදේව උපාසක තෙමේ පස්සෙන් අවුත් ඒ අටනමගේ පාත්‍ර‍ රැගෙන ඒ භික්ෂූන් ස්වකීය ගෙට පැමිණවිය. (10) ඒ සියලු දෙන ගෙට පැමිණ පිළිවෙලින් හුන්කල්හි උපාසකයා යෝග්‍ය ආහාර වැලඳවීය. (11) භික්ෂූන් වලඳන අතරෙහි උපාසකයා ඒ අටනම නිත්‍යයෙන් තමාගේ ගෙයි දන් පිළිගන්නන් සේ ලියවා තබා භෝජනාවසානයෙහි මෙසේ කීය: (12) ඔබ අටනම යම් විහාරයක වසන්නාහු නම් ඒ විහාරයේ සංඝයාට භික්ෂා අටක් දෙන්නෙමියි. (13) ඔවුහු ඒ තුණ්ඩුව ගෙන යමින් නික්ම අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයෙහි බැස්සාහ. (14) සංඝයාට දෙන ලද ඒ සීට්ටු සංඝයා විසින් වැඩිමහලු පිළිවෙළින් දිනපතා බෙදාදෙන ලදි. (15) එබැවින් රහත් අටනමක් සැමදා මහාදේව උපාසකයාට අනුකම්පා පිණිස අහසින් වඩිති. (16) ඉක්බිති තුටුපහටු සිතැති මහාදේව තෙමේ උන්වහන්සේ වෙත එළඹ වැඳගෙන මෙසේ කීය: (17) පක්ෂයේ පස්වෙනි දිනයෙහි දන් ලබාගන්නා භික්ෂූහු සොළොස්නමක් වෙත්වා ඉතිරි දිනවල අටනමක්ම වෙත්වායි. (19) මෙසේ දෙන්නා වූ ඕ හට දොළොස් අවුරුද්දක් ගතවිය. ඒ කාලය තුළ කොපමණ භික්ෂු සංඛ්‍යාවකට දන් දුන්නේද යත්? (20) සතළිස් සතර දහස් හයසිය හතළිහක් විය.

(21) මෙසේ පින් කොටත් තෘප්තියට නොපැමිණ ඒ දානපති උපාසකයා නැවත මෙසේ සිතී: (22) “රන්වන් වූ බුදුරදුන්ට මම රන් කරඬුවක් සාදවන්නෙමි. එය සඳහා සුවර්ණභූමියට ගොස් රන් ගෙන එන්නෙමි”යි (23) අටවක් දිනයක රහතන් වහන්සේට වස්ත්‍ර‍ සහිත දානයක් දී සතුටු සිතැතිව මූදු ගමනට පිටත් විය. ඔහු ගිය නැව මූදේදී කැඩී ගිය බැවින් එහි සිටි හැමදෙන මළහ. උපාසකයා තනිවම මූදේ පාවිය. (25) කුටුම්බිය පුත්තතිස්ස තෙරනම වප් පසළොස්වක්දා වස් පවාරණය සඳහා වැඩ හුන්නේ මෙසේ කීය: (26) ඇවැත්නි, දේව උපාසකයා මූදේ පාවෙයි. ඔහු දියෙන් ඔසවා මා වෙත ගෙන ආ මැනවැ”යි. (27) උන්වහන්සේගේ කීම අසා භික්ෂු දෙනමක් අහසින් ගොස් ඔහු ඔසවාගෙන විහාරස්ථානයට පැමිණියහ. (28) ඒ උපාසකයා ඉදල් තබන ශාලාවෙහි නැවැත්තූහ. ශක්‍ර‍ දේවේන්ද්‍ර‍යා ද පවාරණ දිනයෙහි එහි පැමිණ (29) සෑගෙට ඇතුල්ව වඳින්නේ නම ලියූ කොඩියක් එහි එල්ලා තිබෙනු දැක බලවත් පැහැදීම ඇතිව තෙරනමකගෙන් මෙසේ විචාළේය: (31) “නම් ලියූ යම් මේ කොඩි වෙත් නම් ඒ අතරෙහි වූ මහාදේව නමැත්තා කොහි වෙසේද” (32) තෙරනම මූද මැද පාවෙමින් සිටි ඔහු භික්ෂූහු ගෙනැවිත් මෙහි ඉදල් ගලෙහි තැබූහ. හෙතෙම එහි ඇතැයි කීය. (33) ඉක්බිති දෙව්රජ කුවේරයා අමතා ඒ උපාසකයා ඔසවාගෙන මා සමීපයට එවයි කීය. (34) කීකරු වූ කුවේර තෙමේ ඔහු වඩාගෙන දේවේන්ද්‍ර‍යා සමීපයට ආවේය. (35) දේවේන්ද්‍ර‍ තෙම දේව උපාසකයා දැක තමාගේ අස්නෙහිම ඉන්ට සලස්වා සිදුවූ ප්‍ර‍වෘත්ති විචාළේය. (36) දෙව්රජු විසින් විචාරන ලද දේවතෙමේ සියලු පුවත් කීය. එය අසා සතුටු වූ ඉන්ද්‍ර‍ තෙමේ මෙසේ කීය: (37) “තා විසින් යම් කුශල කර්මයක් කරන ලද නම්, යමක් අනාගතයෙහි කරන්නෙහි නම්, මට ඒ පිනින් කොටසක් දෙව. මම ඔබට වතාවත් කරන්නෙමි”. (38) දේවරාජයෙනි ඔබටත් අන්ප්‍රාණීන්ටත් මා විසින් පින් කොටස් දෙන ලදි. ඒ අසුරයෝද මිනිස්සුද අපායෙන් මිදෙත්වා. (39) “එසේ නම් මහාදේවයෙනි, මේ ලබුගෙඩි තුන ගත මැනවි. ඒවා කපා ඕනෑ දේ ලබාගත මැනවි. අපි දෙව්ලොවට යමු”යි දේවේන්ද්‍ර‍යා කීය.

(40) ඇසිපිය හෙළන පමණ කාලයකින් ඒ ලබුගෙඩි ඔහුගේ ගෙට පැමිණියහ. එහි තැබූ ලබුගෙඩි තුනෙන් ධන තුනක් නික්මියහ. (41) ඒ ලබුගෙඩි තුන දරණ භාජන තුනක තැබූ විට එයින් මිනිස් ප්‍ර‍මාණ තුනක් පමණ ගැඹුරු වූ හැළි තුනක් පහළ වූහ. (42) ඉන් එකක් රනින් පිරුණි, එකක් කහවණුවලින් පිරුණි, අනික සුවඳ හැල්වලින් පිරුණි. ක්‍ෂය නොවන්නා වූ අපිරිමිත ධනයක් විය. (43) “මහාදේවය, කැමති පරිද්දෙන් මේ ධනය අනුන්ට දෙව, තමාත් අනුභව කරව; තාගේ ජීවිතාන්තය දක්වා මේ ධනය ක්‍ෂය නොවන්නේය”යි කී ශක්‍ර‍ දේවේන්ද්‍ර‍යා සාංදෘෂ්ටික දාන ඵලය*[14] ප්‍ර‍කාශ කොට දෙව්ලොවට ගියේය. (45) මෙසේ කුශලයෙහි ආශා ඇති සතුටු එලවන සිත් ඇති පුද්ගලයා මිනිසුන්ට හා දෙවියන්ට ප්‍රිය වේ, ධර්ම ප්‍රීති ඇත්තාට ද ප්‍රිය වේ. හෙතෙම එතැන් පටන් මහා දානපතියෙක් වී සත්වරක් සියලු සංඝයාට තුන්සිවුරු දුණි. චුල්ල උපාසකයාගේ කථාව මෙන් විස්තර කළ යුතු.


30. හිසකෙස් කපා දන් දුන්

සුමනාවගේ කථාව


(1) සෑගිරිය සමීපයෙහි “විල්ගම” නමැති ගමක් විය. එහි පර්වත ගුහාවක බුද්ධ පුත්‍රයෝ වෙසෙත්. (2) එහි වෙසෙන භාවනානුයෝගී වූ සමාහිත වූ සසර භය දක්නා භික්ෂූහු සත්නමක් ඒ ගමට පිඬු පිණිස ආහ. (3) පවුල් පන්සියයක් ඇති ඒ ගමෙහි ගෙපිළිවෙළින් හැසුරුණු ඒ භික්ෂූහු කිසිවක් නොලැබ සේදූ පාත්‍ර‍ ඇතිවම ගමෙන් පිටතට පැමිණියහ. (4) ඒ ගමෙහි වසන දුගී වූ මවක් ද දුවක් ද දුගී ශාලාව ආශ්‍ර‍ය කොට වසමින් සිඟා කෑමෙන් ජීවත් වෙති. (5) සුමනා නමැති ඒ දුවණියෝ ගමෙන් නික්මුණු ඒ භික්ෂූන් දැක සංවේගයට පත් සිතැතිව මෙසේ සිතී. (6) අතිශයෙන් අනුකම්පාට භාජන වූ මා සතු කිසිවක් නැත. පෙර කුසල් නොකොට දිළිඳු බවට පැමිණියෙමි. (7) මා විසින් මාගේ හිසකෙස් කපා කඩයට ගොස් විකුණා කුශලයක් කරනු ලැබේ නම් යෙහෙකි. ඕ මෙසේ සිතා සිත දැඩිකොට ගෙන මව වෙත ගොස් ඇඳිලි බැඳගෙන මෙසේ කීය: (9) “මෑණියෙනි, අහර නොලත් භික්ෂූහු සත්නමක් ගමෙන් නික්මියහ; මට පිනක් කරන්ට අවසර දෙනු මැනවි.” (10) “දුවණියෙනි පින් කරව; මා නිසා බිය නොවෙව. පිනට අන්තරාය කරන්නේ අපායයන්හි පැසෙන්නේය”යි මව කීය. (11) මවගේ කීම ඇසූ ඈ කඩවීදියට ගොස් තමාගේ හිසකෙස් කපා විකුණා කහවණු අටක් ලැබ (12) ඒවා රැගෙන වහා ගෙට ගොස් ඒ භික්ෂූන් නවත්වා ආසනශාලාවට පැමිණ වීය. (13) එසේ භික්ෂූන් වැඩහිඳුවා තමා ලත් ධනය සත් කොටසක් කොට එක් කොටසකින් හාල් සපයා බත් පිස ශාලාවට ගොස් එය භික්ෂූන්ට පිළිගැන්වීය. (15) සතුටු සිතින් භික්ෂූන්ට දන් පිළිගැන්වූ සුමනාව මෙසේ ද කීය. (16) “මාගේ හිසකෙස් විකුණා මම මේ දානය දෙමි. ඒ දානය මට පසු කලකදී ධන සම්පත් ලැබීමට හේතුවක් වේවා” (17) සසරෙහි නොඇලුණු සිතැති ඒ භික්ෂූහු දානය පිළිගෙන ඒ ගමෙන් නික්ම වනයට පිවිසියහ. (18) එයින් වැඩිමහලු තෙරනම එහි මාර්ගය මැද සිටගෙන ඒ භික්ෂූන්ට මෙසේ කීය: (19) ඇවැත්නි, තා මගේ හිසකෙස් කපා දන් සපයා දුන් මේ සුමනාව කෙලෙස් සිඳින පිරිසක් බව දැන එසේ කළාය. (20) මම ආශ්‍ර‍වක්ෂයට නොපැමිණ මේ දානය නොවලඳමි. ඒ සඳහා කාලය පැමිණියේය. ඔබ ද ඒ කාරණය දත මැනවි. (21) සප්ත සද්ධර්මයෙන් යුක්ත වූ, මෛත්‍රී සහගත සන්හුන් සිතැති ඒ භික්ෂූහු කෙලෙසුන් සිඳීම පිණිස බලවත් උත්සාහ කළහ. (22) ඒ භික්ෂාව පසෙක තබා ගස්මුල් වෙත පැමිණි ඒ සියල්ලෝ දුක් කෙළවර කොට ආහාර අනුභව කළහ.

(23) එතුමන් දානය වැලඳූ කෙනෙහි ඒ දැරිය මනා රූ ඇත්තී විය. ඕ දේවවර්ණයට නොපැමිණ මනුෂ්‍ය වර්ණය ඉක්මවා සිටියාය. (24) සිරුරෙහි වර්ණය ද හිසෙහි දික්වූ කෙස් ද හොබනා අඟ පසඟ ද දැක තරුණිය මෑණියන්ට මෙසේ කීවාය: (25) මෑණියෙනි, මාගේ රූපය ශෝභන වූවා දකිමි, මෙය මෙලොවදීම දකින්ට ලැබෙන ඵලයකි. ඒකාන්තයෙන් ඒ මහතෙරුන් රහත්බවට පැමිණෙන්ට ඇත. (26) ඒ ප්‍ර‍වෘත්තිය අසා අසල්වැසි මිනිස්සු ඒ ගෙට අවුත් පිරිවරාගෙන බොහෝ පැහැදීම ඇති කර ගත්හ. (27) දේවතාවෝ ද අනුරාධපුරයට ගොස් උද්ඝෝෂණය කළහ. රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා ද සාධුකාර දුණි. (28) එයැසූ එක් මහායුද්ධ භටයෙක් රථයක නැගී අවුත් සොයන්නේ එක් පැත්තක සිටි ඒ ස්ත්‍රිය දැක රථයෙහි නංවාගෙන ඇය රජුට යෝග්‍යයැයි සිතා රජු වෙත ගෙනාවේය. (30) රජතෙම රන්වන් වූ සුමනාව දැක මෙලොවදී විපාක ලැබූ ඒ දානය කුමක්දැයි විචාළේය. (31) රජු විසින් විචාරන ලද ඕ තොමෝ “මහරජ, මාගේ හිසකෙස්වැටිය කපා විකුණා දන් දුනිමි”යි කීය. (32) එයැසූ රජ සතුටුව ඇය තමාගේ දූ තනතුරෙහි තබා ඇය සොයා ගෙනා යුද්ධ භටයාටම පාවා දුණි. (33) මෙසේ ඒ දැරිය තමාගේ කෙස් වැටිය කපා විකුණා දන් දී උසස් සම්පතට පැමිණියාය.

සද්ධාතිස්ස මහරජ ඈට තමාගේ කුමරියකට මෙන් දාසයන් සියයක් ද දෙනුන් සියයක් ද මීමුන් සියයක් ද වාහන සියයක් ද ගම් සියයක් ඇති ජනපදයක් ද රජ දුවකට දිය යුතු ආභරණාදිය ද දුන්නේය. ඕ තොමෝ මහා දානපතිනියක් විය. ඇගේ මරණාසන්න කාලයේදී සදෙව්ලොවින් රථ පැමිණියහ. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් විස්තර කළයුතු.


31. කම්බුද්ධ උපාසකයාගේ කථාව


(1) දීඝාවුගම සමීපයෙහි සෝකධූමික (?) නම් ජනපදයක් විය. ගංතෙර සමීපයෙහි එනමින්ම යුත් ගමක්ද විය. (2) එ ගමෙහි වැසි කම්බුද්ධ නමැති දුගියෙක් තමා අයත් කෙතක අවුරුදු තුනක් නැළි සතරක් පමණ වී වැපිරීය. (3) ඒ වී ප්‍රවේසමට තබා කැලෑවේ හටගත් අල ගෙඩි ආදියෙන් ජීවත් වී ශස්‍ය වපුරන කාලය පැමිණි විට නැවතත් කුඹුර ශුද්ධ කෙළේය. (7) උල්-අතු-මැටිකැට-කටු ආදිය ශුද්ධ කොට ගිනි තබා ගෙට ගොස් බිරියට මෙසේ කීය: (5) “උදෑසනම නැගිට මම කුඹුරට යන්නෙමි. තෝ බිත්තර වී ද කැඳ ද රැගෙන එවයි.” (6) ඕ තොමෝ යහපතැයි කියා බිත්තර වී හා කැඳ රැගෙන යන්නී අතරමගදී ශාන්ත සිතැති, තැන්පත් වූ භික්ෂූන් සතර නමක් දැක මෙසේ සිතී. (8) “කුඹුරෙහි වැපුරූ බීජයන්ට නොයෙක් අනතුරු පැමිණෙති. දක්ෂිණාර්හයන්ට දුන් දෙයට අන්තරායක් නැත්තේය. (9) මේ ඇල් වී කොටා පිස දෙන්නෙම් නම් යෙහෙකි. පෙර දන් පිළිගැන්මට සුදුස්සන්ට නොදුන් බැවින් දැන් දිළිඳු බවට පැමිණියෙමි”යි (10) මෙසේ සිතා ඒ භික්ෂූන්ට ආරාධනා කොට ගෙට පමුණුවා ඇල් වී කොටා බත් උයා දෙන්නී මෙසේ කීය: (11) පෙර පින් නොකළ බැවින් අපි දිළින්දෝ වීමු. වනයෙහි හටගත් කොළ මුල් ගෙඩි ආදියෙන් ජීවිකාව කරමු. (12) අවුරුදු තුනක් මුළුල්ලේ රැස්කළ ඇල් වී නැළි සතර බිත්තර වී සඳහා තබන ලද නමුත් මම එය පින් සඳහා දෙමි”යි.

(13) ඒ ආහාරය පිළිගෙන නික්මුණු ඒ සතරනම වනයට ගොස් එය වැලඳූහ. (14) එය වලඳා සංවේගයට පැමිණි ඔවුහු අෂ්ටාංගික මාර්ගය වඩා රහත් බව ලැබූහ. (15) වෙහෙසුණු සිරුර ඇති සාපිපාසාවෙන් පෙළුණු කම්බුද්ධ තෙමේ ගෙට අවුත් බිරියගෙන් මෙසේ විචාළේය: (16) සොඳුර, වනයෙහි වැඩකළ මට කැඳත් බිත්තර වීත් කුමක් හෙයින් නොගෙනාවෙහිද? දැඩි වූ ගස්මුල් ද ඉවත් කොට මම කුඹුර මනාසේ සකස් කෙළෙමි. (17) බියපත් වූ ඒ බිරිඳ හිමියාගේ කීම අසා තමාගේ ජීවිතය ගැන බලාපොරොත්තු නැතිව සිදුවූ දෙය දැන්වීය. (18) එයසා සතුටු වූ හෙතෙම එය අනුමත කොට මෙසේ කීය: “බියපත් නොවෙව; දෙන ලද්දේ යහපත් දානයකි; දක්ෂිණාව මහත් ඵල ලබා දෙන්නීය. (19) හැළිවලන්වල ඉතිරි වූ යමක් ඇත්නම් එය මට දෙව; මම වෙහෙසුනේ දුර්වල වෙමි; බඩගින්න මා අධිකකොට දවයි” (20) ඕ තොමෝ ඔහුගේ කීම අසා භාජනවල සොයා ස්වල්ප දෙයක් ලැබ එය ඔහුට දුණි. (21) හෙතෙම ඒ ආහාරය අනුභව කොට “මොන ඇට වර්ගයක් කුඹුරෙහි වැපිරීමට ගෙයි ඇද්දැ”යි විචාළේය. (22) බිරිඳ පෙර තමා තැබූ ලබු ඇට වගයක් එළියට ගෙන “මේවා කුඹුරෙහි වැපුරුව මැනවැ”යි කීය.

(23) ඒ ඇට ගෙනගොස් කුඹුරෙහි වපුරන ලද්දාහු එකෙණෙහි පැල වී වැඩී ඇල්හාල් පිරුනු ලබුගෙඩි වලින් යුක්ත වූවාහුය. (24) එහි ගිය අඹු සැමි දෙදෙන කුඹුර පුරා තිබුණු ලබු ගෙඩි දැක විස්මයට පත් වූහ. කම්බුද්ධයා එයින් එකක් පළා බැලීය. (25) එය ඇල්හාල්වලින් පිරී තිබෙනු දුටු උපාසක තෙමේ මේ ගෙඩි සියල්ල මෙවැනි යයි දැනගෙන එයින් ලබුගෙඩි දෙකක් ගෙන සද්ධාතිස්ස රජු වෙත ගියේය. (26) රජු ඉදිරියට පැමිණ වැඳ ලබුගෙඩි දෙක පෙන්වා (27) “දේවයන් වහන්ස, මේ ලබු ඇට අදම සිටවන ලදහ. අදම වැඩී අදම පල දැරූහ. (28) මේ ලබුගෙඩි සියල්ල ඇල් හාලෙන් පිරී තිබේ. ඒ නිසා මේ දෙක රැගෙන ඔබගේ පා වැඳීමට ආවෙමු”යි කීය. (29) “කම්බුද්ධය, තා විසින් අද කිනම් කුසලක් කරන ලද්දේද? එහි මෙලොව විපාකය මෙහි පෙනේ. පරලොව විපාක ගැන කුමට කියම්ද”යි රජතුමා කීය. (30) “දේවයන් වහන්ස, මාගේ බිරිඳ සිල්වත් සඟ සතර නමකට දන් දුණි. මමත් පසුව ඇවිත් එය අනුමෝදන් වීමි.” (31) කම්බුද්ධය, මම තට හිතෛෂී වෙමි. තට ජන පදයක් දෙමි, ඒ ජනපදය තගේ නමින්ම ප්‍ර‍කට වේවා. (32) ඇල් බිත්තර වී පිස ඒ උතුම් දන දී රජුගේ පැහැදීම ලබා ගම් වරයක් ද ලැබී.

සද්ධාතිස්ස මහරජ ප්‍රීතියෙන් පිනාගොස් කම්බුද්ධ උපාසකයාට ඔටුන්නක් දුණි. ඔහුගේ බිරිඳට අග මෙහෙසියකගේ ආභරණ දුණි. ජනපදය සමග ඒ ගම ද ඔවුන්ට දුන්නේය. ඔවුහු මහා දානපතීහු වූහ. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් මෙය විස්තර කළ යුතුය. කම්බුද්ධයාගේ මරණාසන්න කාලයෙහි සදෙව්ලොවින් රථ පැමිණියාහ. ඔහුගේ බිරිඳ “මම තව්තිසා භවනයෙහි උපදින්නෙමි”යි කියා හුස්ම නවතා කලුරිය කොට එහි උපන්නීය.


32. කරකොළ දන්දුන් කථාව


(1) හෙළදිව ගිරිවාජනපදයෙහි භයක් උපන් කල්හි පිරිසිදු ශීලයෙන් යුත් භාවනානුයෝගී වූ ශාන්ත සිත් ඇති භික්ෂූහු සත් දෙනෙක් චෛත්‍යවන්දනාවේ යාමට අදහස් කළහ. (3) එසේ සිතූ ඔවුහු එකඟව පාත්‍ර‍ සිවුරු රැගෙන මහමගට බැස්සාහ. (4) ආහාරයෙන් පීඩිතව යන ඒ භික්ෂූහු දුරදීම කිරිවෙහෙර දුටුවාහ. (5) එය ගමකැයි සිතා “පුණණවෙඨිලු” ගමට පැමිණියහ. එහි පිඬු පිණිස හැසිරෙන ඔවුන්ට එය මිනිසුන් අත්හැර ගිය ගමක් බවත් එකම මහලු දුගී ස්ත්‍රියක් කරකොළ කමින් එහි ජීවත්වන බවත් දකින්ට ලැබුණි. (7) ඒ භික්ෂූන් ඇය වෙත පැමිණ සිටි විට ඕ තොමෝ ඒ සන්නමට කරකොළ තම්බා දුණි. (8) නැවත තමා සඳහා කරකොළ කඩන්ට ගිය විට පොලඟෙක් ඇය දෂ්ට කෙළේය. එයින් මරණයට පත් ඕ තොමෝ දඹදිව පාටලීපුත්‍රයෙහි උපණි. (9) ඕ සතළිස්කෝටියක් ධනය ඇති සිටුවරයෙකුගේ දුවක්ව ඉපද සුවසේ වැඩුණි. (10) ඒ භික්ෂූහු ගව් හැටහතරක් ගමන් කොට මැහැල්ලියගේ කරකොළ අනුභව කළහ: නැවත සූසැට ගව්වක් ගමන්කොට මාගමදී දන් වැලඳූහ. (11) එතැනින් විසිඅට ගව්වක් ගොස් නැව්තොටෙහිදී අනුභව කළහ. මෙසේ යම්තම් ආහාරයකින් යැපෙමින් ගොස් නැව් නැග මූදෙන් එතෙරට ගියහ. (12) ඉක්බිති ක්‍ර‍මයෙන් ගම් නියම්ගම් පසුකරමින් ගොස් අවුරුදු දහසයක් ගත වූ පසු පැළලුප් නුවරට පැමිණියහ. (13) එහි පැමිණි ඔවුහු පෙරවරු කාලයෙහි සිවුරු පොරවා පාත්‍ර‍ අත්වලින් ගෙන වීථියට බැස්සාහ.

(14) ඒ අවස්ථාවෙහි රූපසම්පන්න වූ යථෝක්ත සිටු දුව උඩුමහලට නැගී කවුළුව විවෘත කොට වීථිය දෙස බැලීය. (15) එසේ බැලූ සිටුදුවට ප්‍රියශීලී දක්‍ෂිණාර්හ වූ භික්ෂූන් දකින්ට ලැබී ජාතිස්මරණ ඥානය (පෙර භවය දැනීම) ඇති විය. (16) පෙර තමා කරකොළ දන්දුන්නේ මේ භික්ෂූන්ට යයි දැනගත් ඕ තොමෝ දාසියක් අමතා “මේ භික්ෂූන් මේ ගෙට කැඳවාගෙන එව”යි කීය. (17) ඒ දාසිය වහා ගොස් භික්ෂූන්ට ගෞරව දක්වා “ස්වාමීනි, මේ සිටාණන් ගේ දියණිය ඔබවහන්සේට මේ ගෙට වඩින සේ ආරාධනා කෙරේ” යයි කීය. (18) එවිට ඒ භික්ෂූහු “සොඳුර, අපි ආගන්තුකයෝ වෙමු: මේ නුවරට ආ ප්‍ර‍ථම වාරය මෙයයි. අදම මෙහි පැමිණි අප අඳුනන්නෙක් මෙනුවර නැතැ”යි කීය. (19) දාසිය හැරී ගොස් ඔවුන් කී දෙය සිටුදුවට දැන්වීය. එවිට ඕ තොමෝ “මා උන්වහන්සේලා හඳුනන බව කියව”යි කියා දාසිය නැවත පිටත් කළාය. (20) ස්වාමිනියගේ කීම ඇසූ ඒ දාසිය නැවත භික්ෂූන් වෙත ගොස් මෙසේ කීය: (21) ස්වාමිවරුනි, ඔබවහන්සේ නොදන්නා නමුත් සිටුදුව ඔබ හොඳින් හඳුනයි. එබැවින් ඈට අනුකම්පා පිණිස ඒ ගෙට වඩිනු මැනවැ”යි. (22) ඒ භික්ෂූහු ආරාධනාව පිළිගෙන ඒ ගෙට ඇතුල්ව ආසනවල හිඳ ගත්හ. (23) ප්‍ර‍ණීත ආහාර වළඳවා පාත්‍ර‍ සේදූ පසු සිටුදුව මෙසේ කීය: (24) ස්වාමිවරුනි, ඔබ වහන්සේ බොහෝ දුර සිට පැමිණියාහ. අතර මඟදී දුකට පත් නොවූවාහු ද? ලංකාද්වීපයෙහි බුදු සසුන බැබළෙමින් පවත්නේද? (25) “ඔබ උත්පත්තියෙන් තරුණය; බොහෝ දුර තිබෙන රටක ප්‍ර‍වෘත්ති විචාරන්නෙහි, අප ද හොඳින් දනී. මේ කරුණු අපට විස්තරකොට කිව මැනවැ”යි භික්ෂූහු කීහ. (26) “ස්වාමීනි, මින් පෙර ආත්මයෙහි මම වේසීගම (?) විසුවෙමි. කරකොළ තම්බා ඔබට දන් දුනිමි. (27) ඔබ වහන්සේට කරකොළ දී නැවත කොළ කඩන්ට ගිය මම සර්‍පයෙකු විසින් දෂ්ට කරන ලද බැවින් එයින් චුතව මේ සිටුකුලයෙහි ඉපද හැම සම්පත්තියෙන් යුක්තව වැඩෙමි. (29) ලුණු නැති, තෙලෙන් බැදීමක් නැති කරකොළ, දන් පිළිගැනීමට යෝග්‍යතැන්හි දී මම මේ සැපතට පත්වීමි; මට කිසිවකින් අඩුවක් නැත. (30) මෙසේ දක්‍ෂිණර්හයන් කෙරෙහි දෙන ලද ස්වල්ප වූ දානයත් සාරවත් කුඹුරක වැපුරූ ධාන්‍යමෙන් මහත් ඵල උපදවයි.

ඕ තොමෝ ඒ භික්ෂූන්ගෙන් එක් එක් නමට නැළි හතරක් පමණ වූ රන්මල් ද සුවඳ සුණු විලවුන් සාදිලිංගම් සුවඳ දුම්කුඩු පහන් තෙල් ආදිය ද බෝධි පූජාව සඳහා දුණි. ගැල්වල පිරවූ මාර්‍ගොපකරණ ද මිනිසුන් සමග යැවී. මහබෝ වැඳ හැරී ආ ඒ භික්ෂූන්ට ජීවිතාන්තය දක්වා උපස්ථාන කළාය. ඒ සන්නමද රහත් බවට පැමිණ එහිදීම පිරිනිවියහ. සිටුදුවණියත් ජීවිතාන්තය දක්වා කුසල් කොට දෙව්ලොව උපණි.



33. මිත්ත තෙරුන්ගේ කථාව


(1) හෙළදිව “කප්පතල” ගමෙහි “කප්පතිලක” විහාරයෙහි මෛත්‍රීවිහරණ ඇති මිත්ත නම් තෙරනමක් විසී. (2) එතුමා උදෑසනින් නැගිට සිරුර කිස නිමවා පාත්‍ර‍ සිවුරු රැගෙන පිඬු සඳහා ගෙපිළිවෙළින් ගියේ ය. (3) එසේ ශාන්ත සිත් ඇතිව වඩින භික්ෂු නම දැක එක් සැදැහැවතෙක් පිණ්ඩපාතය දුණි. (4) එය රැගෙන විහාරයට යන තෙරුන් දැක එක් බැල්ලියක් පසුපස්සේ ආය. (5) පෙරවූ සිවුර ඉවත් කොට අස්නක වැඩහිඳ එය වළඳන තෙරනම බැල්ලියට බත් පිඬක් දුණි. (6) එය කෑමෙන් තෘප්තියට පත් ඈ බඩසාය නිවාගෙන තෙරුන් කෙරෙහි සිත පහදවාගෙන යන විට (7) එක්තරා නපුරු මිනිසෙක් ශස්ත්‍ර‍යකින් පහර දී ඇය මරා දැමීය. මළගිය ඕ පැළලුප් නුවර සතළිස් කෙළක් ධනය ඇති සිටුගෙයක ඉපද වැඩුණි. (9) හෙළදිව වැසි මිත්‍ර‍ වූ සත්නමක් භික්ෂූහු චෛත්‍යවන්දනාව සඳහා තවලම් ගෙනයන්නන් සමඟ උතුරු දඹදිවට ගොස් (10) පිළිවෙළින් ගම් නියම් ගම් ජනපදවල හැසිරෙමින් අවුරුදු සොළොසකට පසු පාටලී පුත්‍ර‍ නගරයට පැමිණියහ. (11) ඒ භික්ෂූහු පෙරවරු කාලයෙහි සිවුරු පොරවා පාත්‍ර‍ අතින් ගෙන කඩවීදියට බැස්සාහ. (12) අභිරූපිනියක් වූ ඒ සිටුදුව උඩුමහලට නැගී කවුළු විවෘතකොට වීථිය දෙස බලා සිටින්නී (13) මනා ඉරියව් ඇති ප්‍රියශීලී භික්ෂූන් දැක “මොවුහු ලක්දිව උපන්නෝය”යි නියත වශයෙන් දැන (14) පූර්ව ජන්මයද සිහිකොට “මේ භික්ෂූන්ට ආරාධනා කොට මේ ගෙට කැඳවා ගෙන එව”යි කියා දාසියක් යැවී. (15) ඒ දාසිය ඉක්මනින් ගොස් “ස්වාමීනි, මේ සිටාණන් ගේ දියණිය ඔබවහන්සේට ස්වකීය ගෙට වැඩමවන්ට ආරාධනා කරන්නීය”යි ඒ භික්ෂූන්ට කීය. (16) “සොඳුර, අපි ආගන්තුකයෝ වෙමු: මෙය මෙ නුවරට අපගේ පළමුවෙනි ඒමයි. අදම මෙහි පැමිණි අප මෙනුවර කිසිවෙක් නොහඳුනන්නේ” යයි භික්ෂූහු කීහ. (17) දාසිය හැරී ගොස් ඒ කීම සිටුදුවට දැන්වීය. එවිට සිටුදුව “උන්වහන්සේ ගැන දනිමි” යි කියවයි කීය. (18) ස්වාමි දුවගේ කීම ඇසූ දාසිය නැවත ඒ භික්ෂූන් වෙත ගොස් (19) “ඔබවහන්සේ නොදන්නා නමුත් සිටුදුව ඔබ වහන්සේ ගැන දනී. ඇයට අනුකම්පා කොට මේ ගෙට වඩිනු මැනවැ”යි කීය. (20) භික්ෂූහු ආරාධනාව පිළිගෙන එහි ගොස් අසුන්වල හිඳගත්හ. සිටුදුව ඒ සත්නමට ප්‍ර‍ණීත ආහාර පිළිගන්වා වළඳා අවසන්හි පාත්‍ර‍ සේදූ පසු මෙසේ විචාළාය. (22) “ස්වාමිවරුනි, බොහෝ දුර සිට පැමිණියාහ; මාර්ගයේ දී කරදරයට පත් නොවූවාහු ද? ශාක්‍යසිංහයන් වහන්සේගේ ශාසනය දිවයිනෙහි බැබළෙන්නේද? (23) කප්පිතලයෙහි වසන මට අනුකම්පා කළ මිත්තතෙර නම නිරෝගීව සුවපත්ව වෙසේද?”

(24) “ඔබ උත්පත්තියෙන් තරුණ වෙහි; නමුත් දුර රටක ප්‍ර‍වෘත්ති විචාරන්නෙහි; එහි වැසි උගත් තෙර නමක් වූ මිත්ත තෙරුන්ද දන්නෙහි” (25) “මම මින් ඉහත ජාතියෙහි කප්පිතලගමේ බැල්ලියක්ව ඉපද සිටියෙමි. පිඬු පිණිස හැසිර හැරී යන මිත්ත තෙරුන් පසුපස්සේ ගියෙමි. (26) දන් වලඳන ඒ තෙර බඩසයින් පෙළුණු මා දැක තෙල් සහිත කිරිබත් පිඬක් මා ඉදිරියෙහි දැමී. (27) එය අනුභව කොට සාගිනි දුරුකරගත් මම තෙරුන් කෙරෙහි පැහැදීමක් ඇතිකර ගතිමි. (28) ඒ බත්පිඬ අනුභව කොට විහාරයෙන් පිටතට එන මා දුටු එක් මිනිසෙක් මට ශස්ත්‍ර‍යකින් පහර දුණි. (29) එයින් මරණයට පත් මට අපායෙන් මිදී හැම සම්පතින් සමෘද්ධ වූ මේ සිටු කුලයෙහි උපන්නෙමි. (3) එකල්හි මා විසින් ශීලයකුත් නොරක්නා ලදි, මට ශ්‍ර‍ද්ධාවකුත් නොතිබුණි. තෙරුන් කෙරෙහි සිත පහදවාගත් පමණින් මහත් සැපයට පැමිණියෙමි. (31) යම් කෙනෙකුන්ට ශ්‍ර‍ද්ධාවත් ශීලයත් දිය යුතු දෙයත් ඇත්නම් දක්ෂිණාර්හයන්ට දී ඒ පුද්ගලයෝ කෙබඳු විපාක ලබන්නාහුද?

මෙසේ කියා ඕ තොමෝ එක් එක් භික්ෂුනමකට නැළියක් පමණ රන්මල් ද සුවඳ සුණු - විලවුන් - පහන් තෙල් - කොඩි ආදිය ද බෝධි පූජාව සඳහා දුණි. ගැල්වල පිරවූ මාර්‍ගොපකරණ ද මිනිසුන් සමග යැවී.

මාගම නැගෙනහිර දොරටුව සමීපයෙහි විසූ එක් මිනිසෙක් පර්වත චෛත්‍යයෙහි මල් පිදීය. ඒ මිනිසා කලුරිය කොට මහාබෝධියටත් පාටලීපුත්‍ර‍යටත් අතරෙහි වූ ගමක සිටු පවුලක උපන්නේය. ජාතිස්මරණ ඥානය ලැබූ ඒ මිනිසා “තෙපි ඒ තෙරුන් බලන්ට යව්” යයි කියා බොහෝ මිනිසුන් තෙරවරුන් වෙත යවා තෙමේ ද මහත් සත්කාර කෙළේය. ඒ භික්ෂූහු මහබෝ වැඳ හැරී ආවාහුය. එවිට සිටුදුවණියෝ එක් එක් තෙරනමට තුන්සිවුරු දී මහාමිත්ත තෙරුන් වෙත ගෙන යාම පිණිස තුන් සිවුරු ද ශ්‍ර‍මණ පරිෂ්කාර සියල්ල ද ඒ භික්ෂූන්ට බාර දී නමස්කාර කොට ඒ තෙරවරුන් හෙළදිවට එවීය. මාගේ ප්‍ර‍වෘත්තිය ද ඒ තෙරුන් වහන්සේට කිව මැනවැයි කීය.


34. චූළී උපාසකයාගේ කථාව


(1) හෙළදිව රුහුණු දනව්වෙහි කාකද්දවී (?) ගමෙහි වසන මහාචූළී නමැති උපාසකතෙමේ බොහෝ ශස්‍ය වර්ගයන් රැස්කොට වැපිරීම කරයි. (3) ඒ ගමේ නමින්ම ප්‍ර‍කට වූ ඒ උපාසක තෙමේ බොහෝ දන් දෙන “කාකද්දවී මහාචූළී” යයි මිනිසුන් අතර ප්‍ර‍කට විය. (4) හෙතෙම හැම වර්ගයේම ධාන්‍ය වපුරා ගැල් දහසක් බර ධාන්‍ය ලබයි. නොමසුරුව එයින් දන් ද දෙයි. (5) මෙසේ ජීවත්වන ඔහු විසින් වපුරන කාලය පැමිණි විට බිත්තර වී කරත්තවලින් ගෙන ගොස් වපුරන දිනයක් ඇතිවිය. (6) ඔහුට වෛර කරන එක් මිනිසෙක් ඔහුට අනර්ථයක් කරනු කැමතිව පන්සල්වලට ගොස් ඔහුගේ ගෙයි දනකට වඩිනා සේ පන්සියයක් භික්ෂූන්ට ආරාධනා කෙළේය. (7) බිත්තර වී පිරෙව් ගැල් ගමනට සූදානම්ව තිබෙන විට භික්ෂූහු ඒ ගෙට පැමිණියහ. භික්ෂූන් දැක සතුටු වූ හෙතෙම ආසන පැනවීය. (8) කුඹුරුවල වැපුරූ ධාන්‍යවලට නොයෙක් අන්තරාය පැමිණෙති; එබැවින් ඒවා නවත්වව්, මම පින් කෙතෙහි වපුරන්නෙමි”යි උපාසකයා කීය. (9) ඒ බිත්තර වී ගින්නෙන් වේලා කොටා සහල් කොටා බත් පිසින අතර බතින් පෙරූ කැඳ සහ කැවිලි වර්ග පන්සියයක් භික්ෂූන්ට පිළිගැන්වීය. ඉක්බිති ව්‍යඤ්ජන හා බත් සපයා භික්ෂූන් ඉදිරියෙහි පැන් වඩමින් මෙසේ කීය: (12) මාගේ වෛරී වූ යම් මිනිසෙක් මට අනර්ථ කරනු කැමතිව භික්ෂූන් වහන්සේට ආරාධනා කෙළේ නම් ඔහුට සැප ලැබේවා”යි (13) කියා සකස් කොට සියතින්ම ඒ නුවණැත්තා දන් පිළිගැන්වීය. භික්ෂූහු දන් වලඳා නික්ම ගියහ.

(14) දෙවියෝ ද යක්ෂයෝ ද වනදේවතාවෝ ද මහා චූළීගේ කුඹුරුවල තම තමන් අයත් බීජ වර්ග වැපුරූහ. (15) උපාසකයා දන් දී තෙමේ ද අනුභව කොට හවස් වරුවේ කුඹුරු බලන්ට ගොස් ඒවා වපුරා තිබෙනු දැක සතුටු සිතැත්තේ විය. (16) මෙය මෙලොවදී ලත් ඵලයයි. පරලොවදී ලබන සැපය කෙබඳු විය යුතුද? නුවණැති මිනිසා මෙලොව පරලොව දෙකේදීම සැප ලබයි. (17) දේවයක්ෂයන්ගේ ආනුභාවයෙන් ද ඔහුගේ පින් බලයෙන් ද ඒ කුඹුරුවල ගොයම් මනාසේ වැඩුණාහ. (18) ගොයම් කපන කාලය පැමිණි විට චූළී තෙමේ කපන මිනිසුන් හා කරත්ත රැගෙන ගමෙන් පිටත් විය. (19) ඒ වෛරී මිනිසා එදා චූළී උපාසකගේ ගෙයි දනට වඩින සේ භික්ෂූන් දහසකට ආරාධනා කෙළේය. (20) ඒ ආරාධනාව නිසා දහසක් භික්ෂූහු සිවුරු පොරවා පාත්‍ර‍ රැගෙන ඔහුගේ ගෙට පැමිණියහ. (21) උපාසකයා ඒ කාරණය දැනගෙන වහා අසුන් පනවා භික්ෂූන් වැඩ හිඳුවා තිබුණු දෙයකින් දන් පිළියෙළ කරවා දී හවස් වරුවේ කරත්ත හා මිනිසුන් රැගෙන ගොයම් කැපීමට ගියේය. (23) දෙවියෝ ද නාග යක්ෂයෝ ද සියලු දෙන එක්වී එහි ගොයම් කපා පාගා ගැල්වල පටවා ඒවා පදවාගෙන අතරමඟට අවුත් චූළී උපාසකයා දැක මෙසේ කීහ: (25) “මහාචූළියෙනි, මේ ධාන්‍ය ඔබ සඳහා ගෙනෙමු. අපට ගෙය පෙන්වව; එහි තිබෙන තාක් කොටු ගෙවල් පුරවන්නෙමු”යි. (26) උපාසකයා දේවතාවන් සමග හැරී ගෙට ආවේය. වී අටු දහඅටක් ඔවුන් විසින් පුරවන ලදි. “මෙයින් තෝ ද අනුභව කරව; කැමති තාක් දන් දෙව; මේවා ඔබගේ ජීවිතාන්තය දක්වා ක්‍ෂය නොවන්නාහ”යි දෙවියෝ කීහ. (28) “මහා චූළිය, මේ සාන්දෘෂ්ටික ඵලය දැක පින් කිරීමෙහි ප්‍ර‍මාද නොවෙන ලෙස අපි කියා සිටිමු”යි ද කීහ. (29) මෙසේ ධර්ම ප්‍රීතියෙන් ඔද වැඩුනහුට ක්ෂිණාශ්‍ර‍ව රහත්හුද දෙවියෝ ද නාගයෝ ද යන සියලු දෙන අනුකම්පා කරත්.

හෙතෙම එතැන් සිට මහාදානපතියෙක් වී හෙළදිව සියලු සංඝයාට තුන්වරක් තුන් සිවුරු දුන්නේය. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් විස්තර කළ යුතුය.


35. කුන්ත රන්කරුගේ කථාව


(1) රුහුණු දනව්වෙහි මහාගාම නම් පෙදෙසක් විය. ඒ කාලයේදී සද්ධාතිස්ස රජ මෙලක්දිව රාජ්‍යය කෙළේය. (2) ඒ මාගම ආශ්‍ර‍ය කොට “ලෝකුරු කුන්ත” නමින් ප්‍ර‍කට රන්කරුවෙක් විය. (3) රජතුමා ඔහු ගෙන්වා මේ රන් තළා මට තලියක් සාදව”යි කියා ඔහුට රන් ප්‍ර‍මාණයක් දුණි. (4) රන්කරුවා යහපතැයි කියා එය බාරගෙන ඒ රන් විකුණා මත්පැන් බී සියල්ල විනාශ කෙළේය. (5) එක් දිනක් රජතුමා “කඹුරා වෙත ගොස් ඒ තලිය ගෙනෙව්” යයි කියා මිනිසුන් යැවීය. (6) ඔවුන් දැක බියපත් කඹුරා බිරිඳ අමතා “මට වහා බත් සම්පාදනය කරව; මම රන් සොයා ගෙනෙන්ට යන්නෙමි”යි කීය. (7) හෙතෙම කලින්ම නැගිට ඒ ආහාරය අතේ තබාගෙන සූවර්ණභූමියට යන අදහසින් බටහිර දොරටුවෙන් නික්ම ගියේය. (8) වේගයෙන් යන හෙතෙම මග අසළ ගසක් දැක ආහාර අනුභව කරනු කැමතිව ඒ ගස යටට ගොස් වාඩිවිය. (9) වනයෙහි නිරෝධයට සමවැදී විසූ තෙරනමක් එයින් නැගිට පිඬු සඳහා ගමට ඇතුල්වීමට යන්නේ ඔහු ඉදිරියෙහි නැවතුණේය. (10) තෙරුන් දැක සතුටු වී හෙතෙමේ ඇඳිලි බැඳ වැඳ මහත් පැහැදීමක් ඇතිව මෙසේ සිතී: (11) “සුවර්‍ණභූමියට ගොස් රන් ලබාගැනීමේදී නොයෙක් අන්තරායෝ පැමිණෙති: මේ මහතෙරනම මා ඉදිරියට පැමිණ සිටියි. එබැවින් මා විසින් මේ ආහාරය තෙරුන්ට පිළිගැන්වීම වටී” යයි සිත පහදාගෙන ඒ ආහාරය පිරිසිදු සිල් ඇති ඒ තෙරනමට දුණි. (13) තෙරනම භික්ෂාව පිළිගෙන එතැනදීම වලඳා ඉතිරි අහර ඔහුට දෙනු කැමතිව (14) “උපාසකය, මේ විලට බැස විල මැද තිබෙන විශාල නෙලුම් කොළයක් කඩා ගෙනවුත් මේ ඉතිරි ආහාරය අනුභව කරව”යි කීය. (15) ඒ කීම ඇසූ රන්කරුවා විලට බැස මැදට ගොස් නෙලුම් කොළයක් දණ්ඩෙන් කඩා ගත්තේය. (16) එය කැඩූ කෙණෙහි පැහැ විහිදුවන මනහර රන්තලියක් විය. (17) ඒ තලිය ගෙන හෙතෙම තෙරුන් වෙතට ආවේය. තෙරනම ඉතිරි අහර ඒ භාජනයෙහි දමා “තගේ පිනින් හටගත් මේ තලියෙන් පළමුව අනුභව කොට සෝදා එය බැඳගෙන සියගෙට යව”යි කීය.

(19) හෙතෙම ගෙදර ගොස් අස්නක හිඳගෙන සිදු වූ සියලු දෙය බිරිඳට කීය. (20) ඕ තොමෝ තුටු පහටු වී “මේ තලිය රජුට දෙව; එවිට දඬුවමින් මිදිය හැකැ”යි හිමියාට කීය. (21) රන්කරුවා එය වස්ත්‍ර‍යක ඔතාගෙන ගොස් රජුට වැඳ තලිය දැක්විය. (22) දිලිසෙන ගින්න මෙන් රැස් විහිදුවන ජාම්බෝනද රන්වල පැහැති ඉතා වටිනා ඒ තලිය දැක රජතුමා (23) “මෙය මා දුන් රන් නොවේ: තටත් මෙවැනි රන් නැත; මෙය කොතැනින් ලද්දේ දැයි මම විස්මයට පත්වීමි”යි රජතුමා කීය. (24) රජු විසින් එසේ විචාරන ලද හෙතෙම බිය සැක නැතිව සිදු වූ සියලු ප්‍ර‍වෘත්තිය කීය. (25) “එය තට මෙලොව විපාක වශයෙන් ලැබුණකි. මම තට පැහැදුනෙමි. ඇත් අස් රථයන් ද ගමක් හා ජනපදයක්ද තවත් ධනය ද තට දෙමි”යි රජ කීය. (26) මෙසේ රජුන් දෙන ධනය ද හිමියන් නැති නිධාන ද මුහුදෙහි පාවෙන බඩු ද පින් කළහුගේ ගෙට පැමිණෙති. (27) ගුණවතුන්ට දන් දීම මෙසේ නොසිතිය හැකි විපාක ගෙන දෙයි. එය මෙලොව සැප ගෙන දී පරලොවදීත් විපාක දෙයි. (28) බුද්ධිමත් ජනයා විසින් මෙය අසා දැක තමන් වෙත පැමිණි දක්ෂිණාර්හයන්ට පරිත්‍යාග කිරීම යෙහෙකි.

හෙතෙම එතැන් පටන් මහාදානපතියෙක් විය. ඔහු විසින් මහා විහාරයක් කරවන ලදි; එහි දොළොස් දහසක් භික්ෂූහු විසූහ. හෙතෙම ඒ සියලු භික්ෂූන්ට සිවුපසයෙන් උපස්ථාන කෙළේය. තෙවරක් හැම සංඝයාට තුන් සිවුරු දුණි. ඒ ලෝකුරු කෙළෙඹියාගේ පූර්ව කර්මය මෙසේ දතයුතු:- හෙතෙම පෙර ජාතියදී පැවිද්දෙක් වී මිදුල හමදින්නේ පිට වැටී තිබුණු වැලි ඇතුළට දමා හැමද කසල ඉවත දැම්මේය. ඒ කුශලයෙන් හිමියන් නැති ධනය ලබන්නෙක් විය.


36. මාලෙය්‍යදේව තෙරුන්ගේ කථාව


(1) තාම්‍ර‍පර්ණි ද්වීපයෙහි කම්පුව නම් ගමක් විය. එය මාලෙය්‍යදේව තෙරුන් ශික්ෂා සඳහා හැසිරෙන ගමකි. (2) ඒ තෙරනම එක් දිනක් උදෑසනින් නැගිට පාත්‍ර‍ සිවුරු ගෙන පහත හෙළාගත් ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගෙ පිළිවෙලින් වැඩියේය. (3) එසේ වඩින තෙරනම දුගී කුලයක් වෙත පැමිණෙන විට එහි වැසි දිළිඳු අසරණ මැහැල්ලක් කැඳ කිණිස්සක් එතුමන්ට දුණි. බත් උළු වලින් හා පිටිවලින් මිශ්‍ර‍ වූ ඒ කැඳ රැගෙන තෙරනම කැමති තැනකට ගියේය. (5) පුවඟු දිවයින තිස්ස තෙරුන් විසින් එවන ලද භික්ෂු දෙනමක් මේ තෙරුන් දැක පිණ්ඩපාතය රැගෙන පැමිණියාහ. (6) දේව තෙරනම ඔවුන් ගෙනා ආහාරය ගන්ට නොකැමති විය. ඒ මැහැල්ලියට අනුකම්පා කරමින් ඒ කැඳ ටිකම වැළඳීය. (7) එය වලඳා අවසන්හි දිවැසින් බලා ඒ මැහැල්ල සැට කල්පයක් මුළුල්ලේ මෙහි විපාක විඳින්නීය යි කීය. (8) තෙරුන්ගේ කීම ඇසූ ඒ පිණ්ඩපාත භෝජනය ගෙනා රහත් තෙර දෙනමගෙන් එක් නමක් (9) දුර්භික්ෂ කාලයේදී දුෂ්කර දෙයක් කළ මේ උපාසිකාව සැත්තෑ කල්පයක් සැප විඳින්නීයයි කීය. (10) දෙවෙනි තෙරනම “මහතෙරණුවෝ ස්වල්පයක් දුටුවාහ; ඔබත් ස්වල්පයක් දුටුවාහ. මැහැල්ල අසූ කල්පයක් සැප විඳින්නීය”යි කීය. (11) ඒ භික්ෂු දෙනම නැවත රේවත මහතෙරුන් වෙත ගොස් සැක දුරු කරගැන්ම සඳහා ඒ කාරණය විචාළහ: (12) “මා මලය්‍යදේව තෙරනම සැට කපක් දුටුවේය. මම සැත්තෑ කපක් දුටිමි. ධම්මගුත්ත තෙරනම අසූකපක් දුටුවේය. (13) හැමදෙන ස්වකීය ශක්තිප්‍ර‍මාණයෙන් මෙය දකිත්. ඔබ වහන්සේට කෙතෙක් පෙන්දැයි කිව මැනවි.” (14) දේව තෙරනමත් තෙපිත් අල්ප සංඛ්‍යාවක්ම දුටුවාහ. මැහැල්ලිය අනූකපක් සැප විඳින්නීය යි රේවත තෙරණුවෝ කීහ. (15) මේ භික්ෂුදෙනම සාගරයට ඇතුල්ව එහි වසන මහත් සෘඬි ඇති නාග තෙරුන් වෙත ගොස් මේ කාරණය විචාළහ. (16) නාග තෙර නම ඔවුන් කේලාසපබ්බත විහාරයට යවා එහි වසන එතුමාගේ ශිෂ්‍ය වූ සාමණේර නමගෙන් විචාරන්ට සැලැස්වීය. (17) එහි ගිය ඒ දෙනම සාමණේර නමට ඒ සියල්ල කීහ. (18) හැමදෙනගේම කීම් ඇසූ පිරිසිදු නුවණැති දක්ෂ වූ සාමණේරනම මොහොතක් කල්පනාකොට බලා (19) “මේ දානය අප්‍රමෙය වූ, කල්ප වශයෙන් ගණන් කළ නොහැකි කාලයක් විපාක දෙන්නකි. වරද පිළිගත මැනවැ”යි කීය. (20) යම් කිසිවකු විසින් පිරිසිදු සිතින් අධික ගුණ ඇත්තන් කෙරෙහි දෙන ලද දානයාගේ විපාකය ප්‍ර‍මාණ කරන්ට නොවටී.

37. දුටුගැමුණු රජුගේ මරණය


(1) දුට්ඨ ගාමිණී අභය මහරජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවීය. (2) මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හටගත්තේය. එවිට සමීපයෙහි සිටියවුන් අමතා මෙසේ කීය; (3) මා මහා විහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් ලෝහප්‍රාසාදය ද දකුණුපසින් මහාසෑය ද පෙනෙන සේ හොවව්” (4) මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හැරී උතුම් මහසෑය දකී. (5) වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. (5) වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. ඇඳෙහි හිඳගෙන ඉදිරියෙහි තිබෙන, රහතන්ට වාසස්ථාන වූ මිරිසවැටිය දකී. (6) ඒ කාලයෙහි ථෙරපුත්තාභය තෙරනම රුහුණේ අනුරාධවිහාරයෙහි වසයි. (7) දැවැසින් මේ කාරණය දුටු එහිමියෝ පොළොවෙහි ගිලී අවුත් රජුගේ හිස පැත්තෙන් මතුවී අස්නක හිඳගත්තේය. (8) එසේ හුන් තෙරනම රජු අස්වසමින් මෙසේ කීය: “මහරජ, බිය නොවුව මැනවි; ඔබ විසින් බොහෝ පින් කරන ලදි. (9) මේ මහසෑය චන්ද්‍ර‍යා සේ පිරිසිදුව, සක්ගෙඩියක් මෙන් සුදුව, චන්ද්‍ර‍ සූර්යයන් මෙන් මෙන් බබළමින් මෙහි තිබේ. (10) මේ ප්‍රාසාදය හිමවතෙහි කෛලාශ පර්වතය මෙන් ද නන්දන වනයෙහි වෛජයන්ත ප්‍රාසාදය මෙන් ද මහමෙර මුදුන මෙන් ද බබළමින් පිහිටියේය. (11) ත්‍රිවිද්‍යා ෂඩභිඥාවන් ද පඤ්චාභිඥාවන් ද ලැබූ රහතන්ට වාසස්ථාන වූ මේ මිරිසවැටි විහාරය ඔබ ඉදිරියෙහි පෙනේ. (12) භික්ෂූන් ලක්ෂයකට ද භික්ෂුණීන් අනූනවදහසකට ද ඉතා වටිනා මෘදු ස්පර්ශ ඇති තුන් සිවුරු ඔබ විසින් දෙන ලදහ. (13) ඔබ විසින් රැස්කරන ලද මෙකී කුසල් ද නොකී බොහෝ වූ කුසල් ද සතුටු සිතින් සිහි කළ මැනවි.

(14) තෙරුන්ගේ කීම අසා රජතෙමේ මෙසේ කීය; “මා විසින් යම් දනක් දෙන ලද නම් ඒ සියල්ල සිහිකරමි. (15) නමුත් රාජ්‍යය ලැබූ පසු මෙවැනි දේ කිරීම අපහසු නැත. සිය නිවෙසින් පිටවී සැඟ වී සිටියදී යමක් දෙන ලද නම් එය අපහසු දීමකි. (16) පෙර කුමාර කාලයේදී පියා මට පරිභව කළ බැවින් මම සේවකයකු සමග කඳුරට ගියෙමි. (17) එහි කාංගුගම කංගු පර්වතය සමීපයෙහි ගසක් මුල හුන් මා කිසිවෙක් හැඳින නොගත්තේය. (18) මාලෙය්‍ය දේව තෙර නමද ධම්මගුත්ත තෙර නමද ධම්මදින්න තෙර නමද පූජ්‍ය වූ ව්‍යග්ඝ තෙරනම ද (19) යන සතරනම අනාගතය බලමින් මට අනුකම්පා කොට ඇවිත් මා ඉදිරියෙහි වැඩ සිටියාහ. ඒ අවස්ථාවෙහි දිරාගිය වස්ත්‍ර‍යක් ඇඳගත් එක් දුගී ස්ත්‍රියක් කොංගු ධාන්‍ය පිරෙව් ලබුකැටයක් ගෙන වැපිරීම සඳහා කෙතට ගියාය. (21) මම මාගේ සිංහ ලකුණ ඇති කඩුක්කමක් ගෙන එය ගලකින් තළා ඒ ස්ත්‍රියට දුනිමි. (22) ස්ත්‍රිය මට එක් නැළියක් පමණ කොංගු ධාන්‍ය දුණි. මම ඒ කොංගු කොටා බතක් සම්පාදනය කෙළෙමි. (23) එවිට මා හඳුනාගත් මිනිස්සු සතර දෙනෙක් දීකිරි කලයක් ද මස් ද මට පඬුරු සඳහා ගෙනාහ. (24) මම ඒ සියල්ල එක්කොට වර්ණගන්ධ රසයෙන් යුත් ආහාරයක් සම්පාදනය කොට (25) ඒ තෙරසතරනමගේ පාත්‍ර‍ ගෙන පුරවා සතුටු සිතැතිව නමස්කාර කොට පිළිගැන්නුවෙමි. (26) මාගේ දානය රැගත් දේවතෙරනමත් ධම්මගුත්ත තෙරනමත් අහස නැගී ගියහ. (27) ධම්මදින්න-ව්‍යග්ඝ තෙර දෙනම දියෙහි ගිලෙන්නා සේ පොළොවෙහි ගිලී ගියහ. (28) මේ දානය මට අද දුන් එකක් සේ පෙනේ; අන් සියලු දානයන්ට ඉදිරියෙන් පෙනේ.

(29) තවත් දානයක් මට විශේෂ දානයක් සේ පෙනේ. තිස්ස කුමරු හා යුද්ධ කොට කීපවරක් පැරදී භටයන් විසින් ලුහුබඳනා ලදුව (සංඝයා) මැවූ පර්වතය වෙත පැමිණ මම වනයට පිවිසියෙමි. තිස්ස කුමරා එතැනින් නැවතුණි. (31) වන මැදට පැමිණි මම සාපිපාසා දෙකින් පීඩිත වූයෙම් යම්කිසි ආහාරයක් සෙව්වෙමි. (33) මාගේ කීම ඇසූ තිස්ස ඇමති තෙමේ “ස්වාමීනි, මා අතේ බත්මුලක් ඇත, ආහාර අනුභව කළ මැනැවැ”යි කීය. (34) “යෙහෙකි මිත්‍ර‍ය, ඒ ආහාරය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් මා වෙත ගෙනෙව”යි මම කීවෙමි. (35) එසේ ගෙනාවිට එය අතට ගත් මම කඳුළු පිරුණු ඇස් ඇතිව හඬමින් ශෝකයෙන් රත්වූ හෘදය ඇතිව මෙසේ සිතුවෙමි: “මම යම්කලක වැඩිවියට පැමිණියෙම් නම්, එතැන් සිට මහසඟනට නොදී කෑ බවක් නොදනිමි”. (37) මාගේ අදහස දැනගත් පුවඟු දිවයින වැසි තෙරනමක් අහසින් අවුත් මා ඉදිරියෙහි සිටියේය. (38) සතුටු වූ මම එතුමාට වැඳ දෙකොටසක් එක්කොට සියතින් දෙනු කැමති වීමි. (39) තිස්ස ඇමතියා ද එය දැක ඔහුගේ කොටසත් එහි දැමී. අශ්වයාත් හිස සෙලවූ බැවින් උගේ කොටසත් එහි බහාලීමි. (40) විචක්ෂණ වූ ඒ බුද්ධ පුත්‍ර‍ තෙමේ ඒ භික්ෂාව රැගෙන අහසට නැගී ආරාමයට පැමිණියේය. (41) එතුමා ඒ ආහාරය තෙළෙස් දහස් භික්ෂූන්ට වැළඳ වීය. නැවත පාත්‍ර‍ය පුරවා මා වෙත එවීය. (42) අපි තිදෙන ඒ ආහාරය අනුභව කොට පාත්‍ර‍ය මනා කොට සෝදා හරවා යැවීමු. (43) මෙසේ මට කරදර ඇති කාලයක සිටිමින් සාපිපාසාවෙන් පෙළී ජීවිතයෙහි බලාපොරොත්තු නැතිව පෙර දන් දුනිමි.

(44) සමූහයන්ට අග්‍ර‍ වූ ශීලාදි නොයෙක් ගුණයන්ගෙන් හෙබි බෞද්ධ සංඝයා කෙරෙහි පැහැදුණු සිතැතිව මම දානාදි නොයෙක් පින්කම් කෙළෙමි. මා රැස්කළ ඒ ශ්‍රේෂ්ඨ පින් සියල්ල ඉක්මවා මාගේ ආහාර කොටස දුන් දානය ඉදිරියෙහි සිටිනු මට පෙනේ. ඒ දානය සිහිකරමින් මම රම්‍ය වූ තුසිත පුරයට යන්නෙමි. ඒ දෙව්ලොව වසන අජිත දේවපුත්‍ර‍යා අනාගතයෙහි බුදුවන්නේය”. මෙසේ කියා ඒ රජ කෘමී සමූහයාට වාසස්ථාන වූ මේ ශරීරය හැරදමා උතුම් රථයකට නැග දෙව්ලොවට ගියේය.


38. භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ

කථාව


(1) අතීත කාලයෙහි හෙළදිව රම්‍ය වූ අනුරාධපුරයෙහි ධනයෙන් ආඪ්‍ය වූ පවුලක් විය. (2) ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත්දෙනෙක් ද එක් දුවක්දැයි දරුවෝ අට දෙනෙක් වූහ. (3) දුක්භික්භයාදී භය තුනක් හටගත් කල්හි ඒ පවුලේ මවුපිය දෙදෙනද මිත්‍රයෝ අඳුනන්නෝ ද පරලොව ගියහ. (4) ගෝපනය කළ සිතැති ප්‍රියශීලී වූ එක් තෙර නමක් නිතර ඒ පවුල වෙත අවුත් දන් වැලඳී. (5) ඒ කුලය ඒ තෙරුන්ට බොහෝ කලක් සංග්‍ර‍හ කෙළේය. කාලවිපත්තිය නිසා රෝග-දුර්භික්ෂාදි භය තුනක් හටගත් විට සැටයොදුන් දිගැති මේ සිංහල ද්වීපය බොහෝ සේ පීඩිත විය. (7) රටේ මිනිසුන් වෙත තිබුණු ධාන්‍ය අවසන් වූ විට ඔවුහු ආහාර සොයමින් කඳුරටට ගියහ. (8) යට කී පවුලේ දරුවෝ අටදෙන ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් පෙරටු කොටගෙන මහවනයට පිවිසියහ. (9) එහි ගොස් ශාලාවක් සාදා තෙරුන්ගේ වාසයට දී තුමූ ගස්මුල්වල විසූහ. (10) වනයෙහි මුල් ගෙඩි ආදිය සොයා ගෙනවුත් පළමුකොට තෙරුන්ට දී පසුව ඔවුහු අනුභව කළහ.

(11) මෙසේ වසන ඔවුන්ට අවුරුදු දොළසක් ගතවිය. ඔවුන්ගේ ආහාරය අල ගෙඩි ආදියක් විය. දිරාගිය වැරහැලි ඇඳගෙන උන්හ. (12) දික්වූ නියපොතු ද ලොම් ද ඇති, කෙට්ටු වූ සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු ප්‍රේතයන් මෙන් භයානකව පෙනුණාහ. (14) එක්තරා මිනිසෙක් එහි ගොස් ඇවිදිනේ ප්‍රේතයන් වැනි මොවුන් දැක බියපත්ව තමාගේ වස්ත්‍ර‍ය ද බිම දමා දිව්වේය. (15) ඔවුහු ඒ වස්ත්‍ර‍ය ගෙන “කඩමාලු හැඳගත් නොවැසුණු ශරීර ඇති ස්ත්‍රිය නොහොබනේය”යි කියා සිය සොහොයුරියට දුන්හ. (16) ඇය එය හැඳගෙන ගෙයි සිටින විට තෙරනම පිඬු පිණිස අවුත් ගෙය ඉදිරියෙහි සිටියේය. (17) තෙරුන් දුටු ඒ තරුණිය නැවත කඩමාලු හැඳගෙන ඒ අලුත් වස්ත්‍ර‍ය තෙරුන්ට දුණි. (18) එය දී සොහොයුරන්ගේ තර්ජනයට බියෙන් ගෙයින් පිට වී ගොස් පඳුරු අතරෙහි සැඟවී සිටියාය. (19) තෙරනම ඒ වස්ත්‍රයෙන් සිවුරක් කොට එය හැඳගෙන මෙසේ කල්පනා කෙළේය: (20) “වනය මැද වසන දිළිඳු උපන් මේ දැරිය අද සොහොයුරන්ටත් නොකියා දුෂ්කර දෙයක් කළාය. (21) පෘථග්ජන වූ මා විසින් මේ වස්ත්‍ර‍ය පරිභෝග නොකළ යුතුය. ආශ්‍ර‍වක්ෂයට නොපැමිණ මම මේ ආසනයෙන් නොනැගිටින්නෙමි”යි, (22) මෙසේ සිතූ ඒ තෙරනම තමාගේ ශීලශුද්ධිය බලා පිරිසිදු සිල් ඇති බව දැක බවුන් වඩා රහත් විය.

(23) සක්දෙව් රජ මේ කාරණය දැක මනොඥ වූ දිව්‍ය වස්ත්‍ර‍යක් පසුම්බියක දමා ගෙනවුත් එය ඈ නිදන තැන හිස පැත්තේ තබා හැරී ගියේය. (25) නැගණිය නොදක්නා ඒ සොහොයුරෝ ඒ මේ අත ඇවිද පඳුරු අතරේ සිටි ඇය සොයා ගත්හ. (26) එවිට ඔවුහු “නැගණියෙනි, කුමකට භය වූවාද? සැඟවුනේ කුමකට දැ”යි ඇසූහ. (27) ඈ නිදාගත් තැනින් නැගිට සිදුවූ සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කීය. (28) එයසා සතුටු සිතැති ඒ සියලුදෙන සාධුකාර දී ඒ පසුම්බිය දැක එය කුමක්දැයි විමසා බැලූහ. එය ලිහා බැලූ ඔවුන්ට වස්ත්‍ර‍යක් දකින්ට ලැබී එය ඈ අතට දුන්හ. (30) එය ඈට ලැබුණු පසු ඒ වස්ත්‍ර‍ය ක්ෂය නොවන්නක් යයි ඕ දැනගති. (31) එවිට සතුටට පත් සොහොයුරෝ “එය කවුරුන් දෙනලද්දක් ද? මේ පසුම්බිය කොහෙන් ලැබුණා දැයි ඇගෙන් විමසූහ. (32) “තෙරුන්ට වස්ත්‍ර‍ය දී මම බියපත්ව නිදාගත්තෙමි: දැන් මම මෙය දකිමි. මාගේ කීම පිළිගත මැනවැ”යි ඕ කීය. (33) “සොඳුර, ඒකාන්තයෙන්ම මෙය දෙවියන් විසින් දෙන ලද්දකි. මෙය තී දුන් දානයේ මෙලොව විපාකයකි. (34) ඔවුහු තෙරුන්ට තුන් සිවුරු පිණිස එයින් වස්ත්‍ර‍ දී තුමූද ඒ කඩමාලු ඉවත දමා දිව්‍ය වස්ත්‍ර‍ ඇඳ ගත්හ. (25) මෙසේ දිව්‍ය වස්ත්‍ර‍ හැඳගත් ඒ අටදෙන තෙරුන් ඉදිරිකොට ගෙන නගරයෙහි වූ තමන්ගේ ගෙය කරා ආහ.

(36) මේ දුර්භික්ෂ කාලයේදී ම එක් භික්ෂුනමක් මුළු අනුරාධපුරයෙහි ඇවිද කිසි අහරක් නොලද්දේය. (37) තිස්ස නැමැති තරුණයෙක් ඒ භික්ෂු නම දැක තමාගේ ගෙට දුවගොස් සොහොයුරිය අමතා “ඉදින් මේ ගෙයි කැඳ බත් ආදි යම් කිසිවක් ඇත්නම් වහා සොයා ගෙනෙව; මම කාලදානයක් දෙන්නෙමි”යි කීය. (39) “සොහොයුර, දහසක් වටිනා මැණිකක් මිස අන්කිසි ආහාරයක් මේ ගෙයි නැතැ”යි තරුණිය කීය. (40) පින් කැමති ඒ තරුණයා දහසක් වටිනා ඒ මැණික ගෙන ගෙයින් ගෙයට ගොස් යම්කිසි ආහාරයක් ලබාගෙනවුත් එය ඒ භික්ෂුවට පිළිගැන්වීය. (42) ඒ භික්ෂාව පිළිගත් වැඩූ ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයන් ඇති ඒ භික්ෂුනම ඒ ආහාරය වලඳනට පෙරම උත්සාහ කොට රහත්බවට පත්විය. (43) ඒ කාරණය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සතුටුව සාධුකර දුණි. (44) සද්ධාතිස්ස රජ ඒ සාධුකාරය අසා “දේවතාවෙනි, කවරෙකුට සතුටු වූවෙහිද? කවරෙකුට ප්‍ර‍ශංසා කෙරෙහිද”යි විචාළේය. (45) “මහරජ, මේ නුවර තිස්ස නමැති තරුණයෙක් දහසක් වටිනා රත්නයක් විකුණා භික්ෂුනමකට දානයක් දුණි. (46) ඒ පිණ්ඩපාතය ලැබූ භික්ෂුනම සංවේගයට පත්ව රහත් ඵලයට පැමිණියේය. (47) ඔහුගේ දානානුභාවයෙන්ද තෙරුන්ගේ වීර්යයෙන්ද සතුටු වූ මම ඒ දෙදෙනට සාධුකාර දුනිමි”යි දේවතාවා කීය. (48) එයැසූ රජතුමා නුවණැති මිනිසකු අමතා “ඒ තිස්ස තරුණයා සොයා මා වෙත ගෙනෙව”යි නියම කොට යැවීය. (48) ඒ මිනිසා වහාගොස් ඒ තරුණයා සොයාගෙන ආවේය. රජතෙම ඔහු දැක: (50) තිස්ස, තෝ කළ පිනැත්තෙහි, මට ඒ පිනෙන් කොටසක් දෙව. මාගේ භාණ්ඩාගාරික තනතුරද දරව”යි කීය. (52) ඔහුට සතුටු වූ මහරජ ඇත්අස්රිය ආදි නොයෙක් දේ ද මහත් ධනයක් ද දුණි.

(53) මෙසේ තනතුරු ලැබූ තිස්ස ඇමතියා එක් දනක් නහනු කැමතිව නුවරින් පිටත ගොස් නාන තොටකට පැමිණියේය. (54) අර කී කැලේ විසූ සොහොයුරෝ සත්දෙන මේ අවස්ථාවේදී නැගණිය සමග නගරයට ආහ. (55) එන්නාවූ ඒ තරුණයා දුටු තිස්ස ඇමතිතෙමේ පිළිබඳ සිතැතිව ඇය තමාගේ බිරිඳ කරගනු කැමතිව (56) “සියල්ලන්ට පසුව යන සර්වාංගසුන්දර වූ මේ තරුණිය අස්වාමික නම් මට දෙව්” යයි කීය. (57) සොහොයුරෝ යහපතැයි කියා හොබනා සිරුරු ඇති ඒ තරුණිය භාණ්ඩාගාරික තිස්ස ඇමතියාට දුන්හ.

(58) මෙලොවදීම ලත් විපාක ඇති ඒ දෙදෙන තමන්ගේ ගෙයි වරින්වර නොයෙක් පින්කම් කළහ. (59) ඒ දෙදෙන මහසෑයට පූජා පිණිස ගැල් සැටක් බර වස්ත්‍ර‍වලින් කොඩි සාදා නැංවූහ. (60) මෙසේ ඔවුහු ත්‍රිවිධරත්නයන් නොයෙක් ආකාරයෙන් පුදා කුණුකය හැරදමා දිව්‍ය ශරීර ලබාගත්හ. (61) එබැවින් රත්නත්‍ර‍ය හැමදෙන විසින්ම පිදිය යුතුය. යමෙක් එසේ පුදයි නම් හෙතෙම තිස්ස ඇමතියා මෙන් වන්නේය.


39. තම්බසුමන තෙරුන්ගේ කථාව


(1) සජ්ජනයන්ට වාසස්ථාන වූ උතුම් අනුරාධපුරයෙහි ලෝකුරු වැඩෙහි දක්ෂ වූ ප්‍ර‍කට කම්කරුවෙක් විය. (2) අන්‍ය කම්කරුවෙක් එක් දිනක් මේ දක්ෂ ලෝකුරුවාට තෑගි වශයෙන් ගිතෙල් භාජනයක් ද ඇල්හාල් මුට්ටියක් ද ගෙනාවේය. (3) ඒ දෙක බාරගත් ඒ කම්කරුවා ආසන ශාලාවට ගොස් සාංඝික කොට ඒවා පූජා කෙළේය. (4) ඒ භවයෙන් ච්‍යුත වූ හෙතෙම ඒ ගමේ ධනවත් පවුලක ඉපද තරුණ බවට පත්විය. (5) හෙතෙම තමාගේ හිසකෙස් පැසීම දැක සංවේගයට පත්ව සස්නෙහි පැවිදිව නොබෝ කලකින් රහත්නමක් විය. ඉන්පසු පන්සියයක් ශිෂ්‍ය භික්ෂූන් සමග ආරණ්‍යගත විය. (7) ශීල සම්පන්න වූ අල්පේච්ඡ වූ අවවාදයෙන් අන්‍යයන් හික්මවන්නෙක් වූ ඒ තෙරනම තම්බසුමන ස්ථවිර යයි හෙළදිව ප්‍ර‍කට විය. (8) එක් භික්ෂාදානයක විපාක වශයෙන් වනවැසි දෙවියෝ සාරසියය පන්සියය බැගිනුත් ඒ තෙරුන්ට උපස්ථාන සඳහා පැමිණෙති.

(9) එක් දිනක් ඒ තෙරනම ගමට පිඬු පිණිස යන්නේ මද පින් ඇති මන්දායුෂ්ක වූ හෙවත් ජීවත්වීමට එක් දිනක් පමණක් ඉතිරිව ඇති ගොවියකු දුටුවේය. දැක ඔහුට අනුකම්පාවෙන් සඟල සිවුර පොරවාගෙන ඔහු ඉදිරියෙහි වැඩ සිටියේය. (11) ඒ මිනිසා තෙරුන් දැක සතුටුව ඇවිත් වැඳ වස්ත්‍ර‍ ජෝඩුවක් ගෙනවුත් වැඩහිඳීම සඳහා දැමීය. (12) තෙරනම ඔහුට අනුකම්පා පිණිස ඒ ආසනයෙහි වැඩ හිඳගෙන ඔහු දුන් අඹකැඳ වැලඳීය. ඒ කැඳ වලඳන කල්හි ඒ මිනිසා අත්තක් කඩා ගෙනවුත් තෙරුන්ට අව්ව වැලකීම සඳහා එය අල්වාගෙන සිටියේය. (13) තෙරනම කැඳ වලඳා ගිය නොබෝ වේලාවකින් සර්පයකු විසින් දෂ්ට කරන ලද ඒ මිනිසා මියගියේය. (14) එසේ මියගිය ඒ මිනිසා (දඹදිව) සාතවාහන රජකුලයෙහි ඉපද දර්ශනීය අඟපසගින් යුත් සිත්කලු කුමරෙක් විය.

(15) ඉපදීමෙන් පසු පස්වෙනි දිනයෙහි ඔවුහු භික්ෂුසංඝයාට ආරාධනා කොට දන් දුන්හ. (16) තම්බසුමන තෙරනම එය දිවැසින් දැක අහසින් ගොස් ඒ සංඝාරාමයට පිවිස (17) සංඝස්ථර වී භික්ෂූන් සමග ඒ රජගෙට ගොස් දන් වලඳා අනුමෝදනා කොට අවසන්හි මෙසේ කීය: (18) “මේ තෙමේ පෙරජාතියෙහි මට හිඳීමට වස්ත්‍ර‍ යුග්මයක් දුණි; මට අඹ කැඳක්ද දුන්නේය”යි. (19) මෙයසා නොසතුටු සිතැති රජ “ස්වාමීනි, මේ මංගල අවස්ථාවෙහි කුමක්හෙයින් නින්දා සහගත වචන කියන්නහුද”යි ඇසීය. (20) පරසිත් දන්නා තෙරනම රජුගේ සිත නොසතුටු වූ බව දැන පෙරජාතියේ විස්තර කියා දී ඔහුගේ සිත පැහැදවීය. (21) මහරජ, යම් තැනක ස්වල්ප දෙයක් දී මහත්ඵල ලබන්නේ නම් ඒ සර්වඥශාසනයෙහි පහදිනු මැනවි (22) පහන් සිතැති රජ ඒ ධර්මදේශනාව අසා එතැනම හිඳගෙන ප්‍ර‍ථම ඵලය ලැබීය. (23) සාතවාහන රජ තමාගේ පූර්වකර්මය ද තෙරුන්ගෙන් අසා දැනගෙන වැඩි වැඩියෙන් දානපතියෙක් විය. (24) රජුට මෙසේ දන්වා දහම් දෙසා ධර්මප්‍රීතිය ප්‍රිය කොට ඇති තෙරනම අහසින් හැරී ආවේය. (25) සාතවාහන කුලයෙහි රජවරු සතිස්දෙනෙක් වූහ, එයින් අටදෙනෙක් පෘථග්ජනයෝ වූහ. සෙසු සියල්ලෝ මාර්ගඵල ලැබුවෝය.



40. දුගී ගොවියාගේ කථාව


(1) අනුරාධපුර නමැති උතුම් නගරයෙහි පෙර සද්ධාතිස්ස නමැති රජෙක් විය. (2) රත්නත්‍රයෙහි ප්‍ර‍සන්න වූ, බුදුසස්නෙහි ශ්‍ර‍ද්ධාවත් වූ, ධර්මයෙන් රාජ්‍යය කරවන්නා වූ ඒ රජ සත්පුරුෂයෙකැයි සම්මත විය. (3) ඒ රජුගේ නගරයෙහි එක් දුගී ගොවියෙක් තමාගේ එකම දුවණිය සමග ගඩොල් සෑදීමෙන් ජීවත්වෙයි. (4) මෙසේ ජීවත්වෙන හෙතෙම දුර්භික්ෂ කාලයේදී ජීවත් විය නොහැකිව තමාගේ දුවණිය උකසට තබා කහවණු අටක් ගත්තේය. (5) එසේ කහවණු අට ලබාගෙන විසිකිරියක් පමණ වූ භූමි භාගයක් ගෙන ගඩොල් සාදන්නේ කහවණු අටක් ඉතිරි කරගැනීමට අවුරුදු සතක් ගතවිය. (6) මෙසේ දුකසේ සපයාගත් කහවණු අට රැගෙන ගැල් සමූහයක් සමග පයින් යන්නේ පෙර තමා හඳුනන භික්ෂුනමක් දුටුවේය. (8) ඔහු දුටු උපාසකයා ඕහට දන්දෙනු කැමතිව ආහාරයක් සොයන්නේ එක් මිනිසකු ළඟතිබෙන එක්වරකට සෑහෙන ආහාරයක් දුටුවේය. (9) එවිට ඒ මිනිසා ඒ ගොවියා වෙත ගොස් “මට මේ ආහාරය දෙව, මම කහවණුවක් දෙන්නෙමි”යි කීය. (10) ආහාරය අයිති මිනිසා එක් කහවණුවකට එය දෙන්ට නොකැමති වූ බැවින් පිළිවෙළින් ගණන වැඩිකොට තමා ළඟ තිබුණු කහවණු අටම දී ඒ ආහාරය ගත්තේය. (11) හෙතෙම ඒ ආහාරය ඒ භික්ෂුනමට පිළිගන්වා තමා පිළිබඳ ප්‍ර‍වෘත්ති සියල්ල ද ඔහුට කීය. (12) දාන දුන් හෙතෙම කඳුළු පිරුණු ඇස් ඇතිව හඬමින් පොරවා තිබුණු වස්ත්‍ර‍ය ද ඒ භික්ෂුවට පුදා කැමති තැනකට ගියේය. (13) ඒ ආහාරය පාත්‍රයෙහි තබාගත් ඒ භික්ෂුනම සංවේගයට පත්ව මෙසේ සිතී: (14) මේ තෙමේ කහවණු අටක් දී මේ ආහාරය ගත්තේය. අලුත් වස්ත්‍ර‍යක්ද මට පිදී. (15) තවද ඒ තෙමේ දුව මුදවාගැනීමත් අත්හැර මේ පරිත්‍යාගය කෙළේය. මේ මිනිසා දානසූරයෙකි: තෝ යෝග සූරයෙක් වෙව. (16) ඉදින් වීතරාගයන් විසින් අනුභව කළයුතු දානයක් සරාගී වූ තා විසින් අනුභව කරනු ලැබේ නම් තෝ සබ්‍ර‍ම්සරුන් විසින් ගැරහිය යුතු බවට පත්වන්නෙහි. (17) තට මෙහිම මරණය හෝ සිදුවේව; නැතහොත් රහත් බව හෝ ලැබේවා. බුද්ධ පුත්‍රයෙක් වී මේ ආහාරය අනුභව කරව”යි. (18) මෙසේ තමාට අවවාද කොට පිරිසිදු සිල් ඇති නිර්භය වූ හෙතෙමේ විදසුන් වඩා රහත් විය. (19) එසේ රහත්බවට පැමිණ සියලු බන්ධනයන් සිඳ දමා ෂඩභිඥාලාභියෙක්ව ඒ තෙරනම සිංහනාදයක් පැවැත්වීය. (20) මුල් කෙළවර නැති සසරෙහි ඇවිදින පෘථග්ජන තෙමේ බොහෝ දුක් අනුභව කරයි. ඒ දුක මා විසින් අවසන් කරන ලදි. (21) නරකයෙහි කැපීම් කෙටීම් ආදි දුක්ද, වනයෙහි අනිකා අල්වා කෑමේ භයද, මිනිසුන් අතරෙහි ධනය සෙවීම ද, දෙව්ලොවෙහි වෙන්වයාමේ දුක ද යන මේ සියලු දුක් මා විසින් ඉක්මවන ලදි. එයට හේතුවූයේ උපාසකයා දුන් ආහාරයයි. (23) යම් උපාසකයෙක් ඒ දානය දුන්නේ නම් ඒ දානයේ ආනුභාවයෙන් අකම්ප්‍යතත්වයට පත්වීමි. (24) මෙසේ හෙතෙම ආර්යයෙක් වී ඒ ආහාරය වලඳා අනුරාධපුරයට ගොස් මරණාසන්න කාලයෙහි මෙසේ අධිෂ්ඨාන කෙළේය: (26) යමෙක් කහවණු අටක් දී මට ආහාරයක් දුන්නේ ද ඒ මිනිසා ඇවිත් අත ගැසූවිට පමණක් මාගේ ශරීරය සෙලවේවා, අන් කිසිවකු විසින් සෙලවිය නොහැකි වේවා”යි.

(27) තෙරුන්ගේ පිරිනිවීම අසා මිනිස්සු එහි රැස්වූහ. සද්ධාතිස්ස රජතුමා ද අන්තඃපුර ස්ත්‍රීන් සමග එහි ආවේය. (28) රජු සහිත පිරිස ඒ මෘතදේහය ස්වල්පයකුත් සොලවන්ට අසමර්ථ විය. (29) පසුව ඒ මිනිසා අවුත් මෘතදේහය හැඳිනගෙන පහන් සිතැතිව (30) “ඉදින් මාගේ ආහාරය වලඳා මේ තෙරනම රහත් වී නම් විමතිය දුරු කිරීම සඳහා මෘතදේහය අහසට නැගේවා”යි කීය. (31) මේ වාක්‍යය කියා අතින් දේහය ස්පර්ශ කළ කෙණෙහි එය අහසට නැගුණි. (32) ඒ ප්‍රාතිහාර්යය දැක රජතුමා ඔහුගෙන් තොරතුරු විචාළේය. හෙතෙම සියල්ල විස්තර කොට කීය. (33) ඔහුගේ කීම අසා සතුටු වූ රජතුමා “සංඝයාට දුන් දානය ඉතා යෙහෙකි. මට එයින් පින් කොටසක් දෙව”යි කීය. (34) “මහරජ, ඔබටත් අන් හැම සත්ත්වයන්ටත් පින් කොටස් දෙමි. අධික ගුණ ඇත්තන් කෙරෙහි දුන් දානය මෙසේ මහත් ඵල ලබාදෙන්නේය”යි උපාසකයා කීය. (35) රජතුමා ඔහුට එක් ජනපදයක් ද ඔටුන්නක් සහිත ආභරණ ද ස්ත්‍රීන් ද දාසිදාසයන් ද රථවාහන ද දුන්නේය. (36) රජු සහිත පිරිස ඒ මෘතදේහය දවා ස්තූපයක් ද කොට පුදා විසිර ගියහ. (37) මෙසේ දක්ෂිණාර්හයන් කෙරෙහි දෙන දානයට බුදු රජ පසසයි.


41. සුමනා බාලිකාවගේ කථාව


(1) තාම්‍ර‍පර්ණි දිවයින වනාහි තුන්සියයක් යොදුන් දිගැත්තේය, හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය. සඳමඬලේ හැඩහුරුකම් ඇතිවිය. (2) ඒ ද්වීපයෙහි වූ අනුරාධපුර නමැති නගරය ශක්‍ර‍ දේවේන්ද්‍ර‍ාගේ පුරය මෙන් බබළයි. (3) ඒ නගරයෙහි තිස්ස නම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසේ. (4) ඕ තොමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ (5) වනයට වැද සත්දිනක් ආහාරපාන නැතිව සාපිපාසාවෙන් මැඩී ගසක් මුල හුණි. (6) පියා පසුව ගොස් වනයෙහි ඇය සොයා නොදැක ශෝකයෙන් මඩනාලදුව හැරී ගියේය. (7) අන්කිසි මිනිසෙක් බත්මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක (8) කරුණාභරිත වූයේ ධීතෘසෙනෙහය උපදවාගෙන මෙසේ කීය: (9) “දුව, මේ ආහාරය ඔබට දෙමි. එය කැමති සේ අනුභව කොට ශරීර ශක්තිය ලබාගෙන කැමති තැනකට යව”යි. (10) ක්ලාන්ත වූ මාගේ ශරීරය දුර්වලය, මට ආහාර රුචි නොවේ; එබැවින් මෙය ගෙනයනු මැනවි; ඔබට මාර්ගෝපකරණ වන්නේය”යි දැරිය කීය. (11) “මා විසින් එය පරිත්‍යාග කරන ලදි, ඔබට කැමති දෙයක් කරනු මැනවි. මම වැඩිදුරක් නැති ගමකට යමි”යි මිනිසා කීය.

(12) ඉක්බිති ජීවිතයෙහි අපේක්ෂා නැතිව ගස් සෙවනෙහි හොත් ඕතොමෝ මෙසේ සිතී, (13) මේ වනයෙහි යාමත් අපහසුය, දැන් පිනක් කරන්ට කාලය පැමිණියේය. මම පිනක් කොට මරණයට පැමිණෙන්නෙමි”යි. (14) ඕ පොළොවේ අත ගසා යන්තම් නැගිට අත් පා පිසදමා අත්පුඩි ගසා මෙසේ කීය: (15) ඉදින් මහත් සෘඬි ඇති බුද්ධ පුත්‍රයෝ මට අනුකම්පා කෙරෙත් නම් ඒ මහාවීරයෝ මෙහි පැමිණ මා අපායෙන් මුදත්වායි. (16) දිවකණින් ඒ කීම ඇසූ පුවඟු දිවයිනේ එක් රහත්නමක් අහසින් ඇවිත් ඇය ඉදිරියෙහි සිටියේය. (17) පහන් සිතැති සුමනා තොමෝ අතිමහත් ප්‍රීතියට පත්ව වැඳ ඒ බත ඒ තෙරනමට පිදී. (18) නැවත ඉවතට ගොස් කොළ අතු ඇඳගෙන තමා ඇඳ සිටි වස්ත්‍ර‍ය අතට ගෙන තෙරුන් වෙත අවුත් (19) “ස්වාමීනි, මේ මාගේ අන්තිම දානය සම්පූර්ණ එකක් වේවා: නෑයන් නැති දුගී වූ මාගේ මේ වස්ත්‍ර‍ය පිළිගත මැනවැ”යි කීය. (20) රහත් තෙරනම එය ද පිළිගෙන හංසරාජයකු මෙන් අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයට පැමිණියේය. (21) සා පිපාසාවෙන් පෙළුණු ඈ මොහොතක් වාඩිවී සිට දුක ඉවසිය නොහැකිව මුර්ඡා වී බිම වැටුණි. (22) හෙළදිව යම් පමණක් දේවතාවෝ වෙත්නම් ඒ සියලු දෙන ඒ දානයට පසසමින් සාධුකාර දුන්හ: (23) “අහෝ ඉතා වටිනා දානයකි, දක්ෂිණාර්හයන් කෙරෙහි ආහාරයද සළුව ද දී ජීවිතය පරිත්‍යාග කරන ලදැ”යි, (24) ඉක්බිති ඒ ශබ්දය ඇසූ සක්දෙව් රජ ඇයට සාත්තුසප්පායම් පිණිස විශ්වකර්මයා යැවී, (25) දෙව්රජු විසින් එවන ලද හෙතෙමේ ලෝම කූපයන්හි දිව්යෝජස් බහා ඇය සුවපත් කෙළේය. (26) විශ්ව කර්ම තෙමේ සුවපත් වූ ඇය දෙවඟනක් මෙන් සරසා ඒ කාරණය ප්‍ර‍කාශ කරමින් අහසින් නුවරට ගියේය. (27) ඒ ශබ්දය අසා ද්විපාධිපති වූ රජ ඇය තමාගේ භාර්යා තනතුරෙහි තැබීම සඳහා ගෙන ඒමට රථයක් යැවීය. (28) ඈ එහි ජීවත්ව සිටිතාක් රජු සමඟ සම්පත් අනුභව කොට නොයෙක් පින් රැස්කරගෙන පිදිය යුත්තන් පුදා ආයුෂය ගෙවීගිය කල්හි භික්ෂූන්ට මෙසේ කීය: (30) චාතුර්මහාරාජික-තාව-තිංසාදි දෙව්ලෝවලින් ආ රථ මෙහි තිබෙත්. ස්වාමිවරුනි, කොතැන්හි ඉපදීම යහපත්ද? ලෝක හිතෛෂීන්ට කවර තැනක් වාසස්ථානවීද? කොතැනක උගත් දෙවියෝ නිතර ධර්මශ්‍ර‍වණය හා ඝෝෂණය කරත්ද? (32) “තුසිතපුරය පුරුෂෝත්තමයන්ගේ වාසස්ථානයකි. එහි හැමකල්හි ධර්ම ශ්‍ර‍වණය පවතී. ඒ තුසිත දෙව්ලොවෙහි ඇලීම කරව.” (33) ඒ දේවීතොමෝ එක්කළ දෙ අත් නැමති පියුම හිසමත තබාගෙන බුද්ධපුත්‍ර‍යන්ගේ කීම අසා තුසිත පුරයෙහි ඉපදීමට කැමති විය. (34) අප්‍රමේය ගුණයන්ට වාසස්ථාන වූ මනා කෙතෙහි දක්ෂ ජනයෝ පින් නැමැති බීජ වපුරති. ඔවුහු බොහෝ කලක් දෙව් මිනිස් සැප අනුභව කොට පසුව නිවන් සැපද ලබත්. (36) බුද්ධානුශාසනය පිළිපදින්නා වූ අප්‍රමේය ගුණ ඇති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු බොහෝ භය ඇති සංසාර සාගරයෙන් එතෙරව අමෘතය නමැති මී පැණි අනුභව කරත්.


42. වස්ත්‍රයෙන් අඩක් දුන් ස්ත්‍රියගේ

කථාව


(1) සිංහල ධජයෙන් උපලක්ෂිත වූ ශ්‍රීමත් සිංහල ද්වීපයෙහි සිංහනාද ඇති බුදු රජුන්ගේ ධර්මය පිළිපදින භික්ෂුනමක් විය. (2) සිංහයකු මෙන් නිර්භීතව තැතිගැනීම් නැතිව සංකානැතිව තුන්යම් රැයෙහි භාවනා කළ හෙතෙම පිඬු පිණිස ගියේය. (3) එසේ යන භික්ෂුනම දුටු සොරෙක් උන්වහන්සේගේ පාත්‍ර‍ සිවුරු ආදි සියල්ල පැහැරගෙන ගියේය. (4) හෙතෙම කොළ අතු ඇඳගෙන සන්හුන් ලෙස ගමන් කෙළේය. කිසිවෙක් ඔහු හැඳින නොගත්තේය. (5) එක් ස්ත්‍රියක් දියට බැස නාන්නී වස්ත්‍ර‍ රහිතව කොළ ‍ඇඳගෙන යන ඔහු දැක මෙසේ කීය: (6) “ස්වාමීනි, ඔය ගොඩ තිබෙන වස්ත්‍ර‍ය දෙකට ඉරා භාගයක් ගත මැනවි; ඉතිරි කොටස මට වන්නේය. (7) ඒ කොටස හැඳගෙන තැති ගැනීම් නැතිව සැපසේ වැඩිය මැනවැ”යි. (8) ඒ කීම ඇසූ භික්ෂුනම ඒ වස්ත්‍ර‍ය මැදින් ඉරා කොටසක් හැඳගෙන කැමති තැනකට ගියේය. (9) ඒ ස්ත්‍රිය ජීවිතාන්තය දක්වා සිට එයින් ච්‍යුතව තව්තිසාවෙහි උපණි.

(10) සිත් පහදවන අඟපසගින් යුත්, මනා රූ ඇති, මහත් ප්‍ර‍භා ඇති ඈ උපන්නේ දෙව්විමන් තුනක් මැදය. (11) අවට දෙව්විමන් තුනේ විසූ දේවපුත්‍රයෝ තිදෙන එහි අවුත් ඇය ලබාගැනීම සඳහා කලහ කළහ. (12) ඒ කාරණය දැනගත් දෙව්රජ එහි ගොස් කරුණු විචාළේය. ඒ දෙවිවරු තිදෙන මෙසේ කීහ: (13) “අපගේ විමන් මැද මේ දෙවඟන පහළ විය. ඇය සඳහා අපි කලහ කරම්හ”යි. (14) ඉදිත් දෙවඟන උදෙසා මේ කලහය පවතී නම්, යමෙක් ඇයට වැඩි ආලය කෙරේ නම් ඔහුට ඈ අයිති වේවායි දෙව්රජ කීය. (15) ඉන් එක් දේවපුත්‍රයෙක් යම් සේ දිලිසෙන ගින්නේ ඇතුළතක් හෝ පිටතක් නැත්තේද, එමෙන් මම සිතින් ඈට ඇලී සිටිමියි කීය. (16) දෙවෙනි දෙවිය “යම්සේ මැටි හා ජලය මිශ්‍ර‍ වූ විට අතරක් නොපෙනේ ද එමෙන් මම ඇයට ඇලී සිටිමි යි කීය. (17) තෙවෙනියා “යම්සේ කිරි හා ජලය මිශ්‍ර‍ වූ විට එහි වෙනසක් නොපෙනේ ද එමෙන් මම ඇය කෙරෙහි ඇලී සිටියි”යි කීය. (18) ශක්‍ර දේවේන්ද්‍ර‍යා “යම්සේ නෙළුම්පතෙහි දියබින්දුව නොසිටී ද එමෙන් මේ තිදෙන කෙරෙහිම මාගේ ප්‍රේමය අධිකය”යි කීය.*[15] (19) ඕ තොමෝ සතුටු සිතැතිව ඇඳිලි බැඳගෙන දෙව්රජ කරා අවුත් ඔහු පසුපස්සේ ගොස් ඔහුගේ භාර්යා බවට පත්වූවාය. (20) අර්ධ වස්ත්‍ර‍යක් දුන් ඕ තොමෝ දිව්‍ය සම්පත් විඳ පසුව නිවන ද ලබන්නීය.

(21) අප්‍රමේය ගුණ ඇති බුදුරදුන් කෙරෙහිද ද, කෙලෙස් මඩ දුරුකළ සංඝ නමැති කෙතෙහි ද දුන් අල්ප දෙයක් මහත් ඵල උපදවන්නේයයි දැන එහි දන් දිය යුතුය. (22) වස්ත්‍රයෙන් අඩක් දුන් ඒ ස්ත්‍රිය බොහෝ කලක් මහත් දෙව්මිනිස් සම්පත් අනුභව කොට අනන්තයේදී භවත්‍ර‍ය නමැති සැඩපහරින් එතෙරව ආර්යසම්පත්තිය ද ලබන්නීය.


43. කාවන්තිස්ස රජුගේ කථාව


(1) හෙළදිව මලය දේශය (=කඳුරට) බොහෝ ගවයන්ගෙන් ද බොහෝ චණ්ඩ මෘගයන්ගෙන් ද යුක්තය. බොහෝ පිශාචයෝ ද එහි විසූහ. (2) ඒ කඳුරටෙහි අඹුසැමි යුවලක් මුවමස් හා ගෙඩි වර්ග අනුභව කරමින් සංඝදාන ද පවත්වමින් විසී. (3) එහි ඇවිදින ඔවුහු එක් දිනක් මලයමහාදේව තෙරුන් දැක සතුටට පත්වූහ. (4) ඔවුහු තෙරුන් වෙත එළඹ වැඳ ප්‍ර‍දක්ෂිණා කොට එක් පසෙක උන්හ. (5) දේවමහතෙර ඔවුන්ට දහම් දෙසා පන්සිල් දී පිටත් කෙළේය. (6) විසි අවුරුද්දක් මුළුල්ලේ පඤ්ච ශීලය රැකි ඔවුහු මියගොස් ඒ සිල් රැකි බලයෙන් ආඪ්‍ය වූ සමෘද්ධි වූ රජ පවුල් දෙකක උපන්හ. (8) උපාසිකාව කැළණිතිස්ස රජුගේ දූ කුමරියව උපණි. ස්වාමි පුරුෂයා තවත් රජපවුලක ඉපද කාකවණ්ණතිස්ස යයි ප්‍ර‍කට විය. කුමරිය විහාරමහාදේවී නමැති විය. (9) රජකුල දෙකෙහි උපන් පෙරවාසනා ඇති, පින්වත් මහේසාක්‍ය වූ ඒ දෙදෙන එකට වැඩුණාහ. (10) රජකුලයේ සම්පතින් වැඩෙමින් තරුණවියට පත් ඒ දෙදෙන අන්‍යොන්‍ය සම්බන්ධයට (=විවාහයට) පමුණුවන ලදහ. (11) එසේ කොට යෝග්‍ය කාලයේ දී රාජ්‍යය පවරා දෙන ලදි. ඒ දෙදෙන බොහෝ පින් කොට දෙව්ලොවට ගියහ. (12) පන්සිල් රැක රාජ්‍ය සමාපත්තිය ද රාජ්‍ය සමාපත්තිය නිසා ස්වර්ගසම්පත් ද ලැබූහ. (13) ඔවුහු ආයුෂ ඇතිතාක් දිව්‍යසම්පත් විඳ අවසන්හි ධර්ම ප්‍රීති ඇත්තන්ට ප්‍රිය වූ නිවන්සැප ලබන්නාහ.

(මෙතැන් සිට හැම පොතේම අඩුවක් පෙනේ. කාවන්තිස්ස කුමරාත් විහාරදේවියත් කුඩාකල සිට එකට වැඩුණාහ යන්න මෙහි විශේෂයකි.)


44. හා මස් පිළිබඳ කථාව


(1) පිරිසිදු මහලී රටෙහි එක් ස්ත්‍රියක් හා මස් ඉතා විශිෂ්ට ලෙස උයා පිළියෙළ කරයි. (2) ඈ මනාසේ ඉවූ හා මස් (නරක් නොවී) අවුරුද්දක් කල් පවතී. යන්තමට ඉවු මස් හමසක් නරක් නොවී පවතී. (4) එක් දිනක් ඈට බොහෝ හා මස් ලැබුණි; ඇගේ පුත්‍ර‍යා දුර පලාතකට ගොස් සිටි බැවින් ඕ ඒ මස් උයා තැබීය. (5) දේවතාවෝ මිනිස් වෙසින් එහි අවුත් ඒ මස් සියල්ල කත්වලින් ගෙන ගොස් සාලි කුමරුට පිරිනැමූහ.*[16] (6) ඔවුහු ඒ මස් එහි තබා කුමරුගේ ආයුත්තකයාට ඒවා පෙන්වා ඉවත්ව ගියහ. (7) ඒ මස් එහි තැබූ කෙණෙහි මුළු නුවර ඒ සුවඳ පැතිර ගියේය. සාලි කුමරා දේවතාවන් ඒ මස් ගෙනා බව දැනගත්තේය. (8) තමාගේ පින් බලය දැක සතුටෙන් පිණාගිය කුමාරතෙමේ පින ද පුණ්‍ය විපාකයද මෙසේ කීය:

(9) දේව-නාග-යක්ෂ යන යම් කෙනෙක් අධික පූජාව කැමතිවෙත් නම් නිරුත්තර පින් කෙතෙහි නිතර පින් කළ යුතුය. (10) යම් කෙනෙක් සතුටු සිතැතිව පින් කෙරෙත් නම් ඔවුහු දිව්‍යමය වූද මනුෂ්‍යමය වූද සැප අනුභව කෙරෙත්. (11) ඒ කුමරතෙමේ පෙර භවයේදී මහ දන් දුන්නේය: ඒ පිනේ විපාකයෙන් අද දෙවියෝ ද මිනිස්සුද පුද පඬුරු ගෙනැවිත් දෙති. (12) තිරිසන් මෘගපක්ෂීහු ද දෙවිමිනිස්සු ද කළ පිනැත්තහු දැක හැම කල්හි වසඟයෙහි පවතිත්. (13) මිනිසා යම් යම් පිනක් කෙරේ නම් ඔහු කැමතිවෙන ඒ ඒ දෙය සමෘද්ධ වෙයි. කාන්තාරයකදී හෝ විපත්තිකාලයකදී ඒ පින නොනැසේ.


45. අධාර්මික රජුගේ කථාව


(1) කාශ්‍යප බුදු රදුන්ටත් ගෞතම බුදුරදුන්ටත් අතර කාලයෙහි අතිදේව රජුගේ පුත්‍ර‍ වූ රජෙක් විය. (2) හෙතෙම ධාර්මික වුවත් ධනයෙන් හීන විය. ධනය රැස්කරනු කැමති හෙතෙම ඇමතියනට මෙසේ කී: (3) මිත්‍ර‍වරුනි, රාජ කෝෂයෙන් බලමින් ඇවිද්ද මට එහි ධනය හීන වී තිබෙන බව පෙනුණි. එබැවින් එය (4) ධාර්මික සේ පිරවිය යුතුය, අධාර්මික ලෙස නොපිරවිය යුතුය එය සමාකාරයෙන් මිස විෂමාකාරයෙන් නොකළ යුතුය. ඒ කීම ඇසූ එක් ඇමතියෙක් (5) “ජනපදය, සමෘද්ධිය, ජනපද වාසීහු රජුට ධනය දෙත්වා. රන් රිදියෙන් පිරවූ බොහෝ භාජන ගෙයක් පාසා වෙති; මිනිසුන් අයත් කෝටි ගණන් රන්කාසි ද ඇත්තාහ”යි කීය. (6) “මිත්‍ර‍ය, එසේ නොකියව, අධර්මය නොපවතීවා; ධාර්මිකව මියයාම යහපත් වුවත් අධාර්මිකව ජීවත්වීම අයෝග්‍යය. (7) අපි දෙදෙන අප්‍ර‍කට වේශයකින් රටේ ඇවිද රටේ තිබෙන ධනය විමසා බලමු”යි රජ කීය.

(8) ඒ දෙදෙන කිලිටි වස්ත්‍ර‍ ඇඳගෙන ශරීරාවයවද වෙනස් කරගෙන ඇවිදිමින් එක් ගමකට පැමිණියහ. (9) එහි එක් ගෙයකට ගිය ඔවුහු ගෘහණිය අමතා “මෑණියෙනි, අපි මගියෝ වෙමු. ඔබගෙන් කෑම කන්ට කැමැත්තෙමු”යි කීහ. (10) “දරුවෙනි, එව්, මේ පැනවූ ආසනවල හිඳගනිව්, කැමති සේ අනුභව කොට යව්” යයි ගෘහණිය කීය. (11) ඔවුන් ආසනවල හිඳගත් පසු ආහාර සම්පාදනය කළ ඕතොමෝ මොවුන් සියුමැලි ශරීර ඇත්තවුන් බව දැක (12) “දරුවෙනි, පිරිසිදු උක්පැණි හා අනුභව කරනු කැමැත්තහුද? නැතහොත් දීකිරි සමඟ හෝ ගිතෙල් සමග අනුභව කරනු කැමැත්තහුදැයි මට කිව මැනවැ”යි කීය. (13) ඇගේ බස් ඇසූ මේ දෙදෙන ශාන්ත සිතැතිව “මෑණියෙනි, උක්පැණි සමග දෙව”යි කීහ. (14) ඕතොමෝ යහපතැයි කියා පිරිසිදු භාජනයක් ගෙන උක්වත්තට ගොස් (15) උක්ගසක් කඩා පැණි බේරාගැනීම සඳහා එය අත්වලින් ඇඹරීය. මුළු ශක්තියෙන් ඇඹරීම කළත් පැණි බින්දුවක් වත් නොවැගුරුණි. (16) ඉක්බිති උක්ගත මිරිකා අඹරන ස්ත්‍රිය දුටු ඔවුහු ගෘහණියගෙන් මෙසේ විචාළාහ: (17) ඔබ දෑතින් උක්ගස්කඩක් ගෙන අඹරන නමුත් වේලුණු උක්ගසේ පැණි වැගිරීමක් කොයින්ද (18) ගෘහණිය මෙසේ කී: “දරුවෙනි, පෙර මම මෙසේ උක්ගස් ඇඹරුවෙමි. පුරුක් දෙකක් අතරෙහි නැළියක් පමණ පැණි තිබුණි.” (19) “මෑණියෙනි, කිනම් වරදකින් මේ උක්ගස වියලී ගියේ දැයි අපි ඔබගෙන් විචාරමු”යි ඒ දෙදෙන කීහ. (20) දරුවෙනි, රජතෙම ලෝභීය, නොසතුටු සිතැත්තේය. ලෝභයෙන් යුතුව තමා කැමති දේ කරන්නේය. (21) ඒ වරදින් උක්ගස්වල හා අන්ගස්වල ඇති රසය වියලී ගියේය යි මම සිතමියි ගෘහණිය කීය.

(22) මෑණියෙනි, ලෝභීවූ රජ කුමක් කරන්නේද? ලෝකයාගේ පිරිහීම හෝ අභිවෘද්ධිය ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? ඕ තොමෝ මෙසේ කියයි: (23) මේ තෙමේ මවක් හෝ පියෙකු මෙන් ලෝකය පාලනය කෙරේ නම් රටවැසියෝ සුවසේ ජීවත්වෙති. (24) අධර්මයෙන් පවත්නා රජතෙමේ දරුණු වෙයි. ඒ නපුරු රජුගේ වරදින් ලෝකය වහා විනාශ වෙයි. (25) නොකල්හි වැසි වසී; සුදුසුකල්හි වැසි නොවසී. රජු අධාර්මික වූ විට වැසි වැසීම විෂම වේ. (26) අධාර්මික රාජකාලයෙහි හැල්-වී ආදියද මෑ මුං ආදියද පිරිහෙති. නැතහොත් විෂම ලෙස පැසෙති. (27) මිහිරි රස, කුළු රස, තිත්ත-කසට-ලුණු රස යන මොහු නීරස වෙති. (28) අල හා ගෙඩි වර්ගද හැම ඖෂධීන්ගේ*[17] ඕජා ද අඩුවෙති, දුර්ලභ වෙති. (29) වංචාකිරීම්, හෙට්ටු කිරීම්, කපටි කම්ද, සොරකම් හා පාරදාරික කර්මයද යන හැම අනර්ථයෝ වැඩෙත්. (30) කිරි දෙන්නා වූ එළදෙන් මීදෙන් ආදීහු කිරෙන් පිරිහෙති. (31) මල් හා ගෙඩි උපදවන ගස්වල මල් ද ගෙඩි ද අඩුවෙති. (32) රජු අධාර්මික වූ විට ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන්ගේ ද අන්‍යදෘෂ්ටි ගත්තන්ගේ ද සිල් තපස් ගුණ පිරිහෙති. (33) අධාර්මික රජු ආශ්‍ර‍ය කරන පිරිස ද දශවිධ සංග්‍ර‍හයෙන් පිරිහේ. (34) ධර්මයෙහි පවත්නා කරුණා සිතැති රජකු ඇති කල්හි ඒ යහපත් රජුගේ තේජසින් ලෝකය වහා දියුණු වෙයි. (35) එකල යෝග්‍ය කාලයෙහි වැසි වසී; නොකල්හි නොවසී; හැම තැන සමසේ වසී. (36) රජු ධාර්මික වූ විට මුං මෑ ආදිහු ද ඇල් වී ආදීහු ද හැම තැන්හි සමසේ වැඩෙත්. (37) රජු ධාර්මික වූ විට මිහිරි රස-කළු රස-තිත්ත රස-කසට රස-ලුණු රස යන මොහු ස්වකීය රසයෙන් ආඪ්‍ය වෙති. (38) එවැනි කාලයෙහි හැම ඖෂධීජාතීන්ගේ ඕජාවෝ බහුල ද ශක්තිමත් ද වෙති. (39) වංචාකිරීම් නැවත ඇවිස්සීම් කපටිකම් යන මොහු ද සොරකම පරදාරසේවනය ආදී පව්කම් ද නැති වෙති. (40) කිරි දෙන දෙනුන්ගේ කිරි බහුල වේ. (41) මල් හා ගෙඩි උපදවන වෘක්ෂයෝ බොහෝ මල් හා ගෙඩි උපදවති. (42) රජු ධාර්මික වූ කල්හි මහණ බමුණන්ගේ ද පැවිද්දන්ගේ ද සිල් හා තපස් අභිවෘද්ධියට පැමිණෙති. (43) ලෝභය හා ද්වේෂය නිසා පිරිහෙන දුෂ්ට නපුරු රජුගේ කාලයේදී ගුණය සැඟවේ. ගුණයාගේ වැඩීම ද නවතී. (44) රජු ධර්මයෙන් රාජ්‍යය කොට ස්වර්ගයට යයි; අධර්මයෙන් රාජ්‍යය කොට අපායට යයි. (45) කීර්තිමත් පෞරාණික රජවරු ධර්මයෙන් ලෝකය පාලනය කළහයි මට අසන්ට ලැබේ.

(46) ගෘහණියගෙන් උක්ගස වියලීයාමේ හේතුව ඇසූ රජ ඇමතියා දෙස බලා මෙසේ කීය: (47) ලෝභයෙන් යුත් සිත ඉපදෙව් පමණින්ම මේ හැම රසයෝ වියලී ගියහ. යම් කලක ඒවා ගනිම් නම් එදා සිදුවෙන දේ ගැන කුමට කියම් ද? (48) අධර්මයෙන් යුක්තව ධනය රැස්කොට ඇත් අස් ගවාදීන් පෝෂණය කොට නරකයට යන්නේය. (49) අධාර්මික ධනොපාර්ජනයෙහි දෝෂය ඔබ විසින් මෙසේ ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දක්වන ලදි. මම හැරී යන්නෙමි; මට ධන රැස්කිරීමෙන් වැඩක් නැත. (50) ඒ රජ එතැනින් නැවතී ධර්මයෙන් රාජ්‍යය කොට ආයුෂ කෙළවරදී ස්වර්ගයට ගියේය. (51) මෙසේ මෙහි දැක්වූ ධර්මය මෙලොව අභිවෘද්ධිය ද පරලොව සුගතිය ද ගෙන දෙයි.

කණ්ටකසෝලපටුනෙහි උපන් පට්ටකොට්ටි විහාරවාසි ආචාර්ය ධම්මදින්න තෙරුන් විසින් සම්පාදිත සීහළවත්ථුව හා සුරඨවත්ථුවයි.

පස්වෙනි පරිච්ඡේදය නිමියේය.


සවෙනි පරිච්ඡේදය

46. චීනයට ගිය භික්ෂූන්ගේ කථාව


සිංහල ද්වීපයේ තෙතිස් නමක් භික්ෂූහුද අන්තරද්වීපයෙහි වසන රහත් සතර නමක් දැයි සත් තිස් නමක් භික්ෂූහු චෛත්‍යයන් වඳිනු කැමතිව මහාකොණ්ඩපටුනෙහිදී නැව් නැගී මූදින් එතෙර වූහ. ඒ පිරිස පිළිවෙළින් (මහාබෝධිය, කුසිනාරාව ආදි උතුම්) චෛත්‍යස්ථාන සතර වැඳ බුදු රදුන්ට ගෞරව දක්වා තවත් එහාට යන්නාහු චීන රටට පැමිණ එහි අගනුවරට ඇතුල් වූහ. ඒ අවස්ථාවෙහි රජතුමා සිවුවේදය දත් බමුණන් සමග මහාවීථිය දෙස බලන්නේ ෂඩෙන්‍ද්‍රියයන් හික්මවූ සන්හුන් කය-වචන හා සිත් ඇති ඒ භික්ෂූන් දුටුවේය. රජු ඔවුන්ට පැහැදුණු බව දුටු බමුණෝ “ඒකාන්තයෙන් මේ රජ මොවුන්ට සත්කාර කරන්නේය. එබැවින් රජු ලවා මොවුන් මැරවීමට උපක්‍ර‍මයක් යෙදිය යුතුය”යි සිතූහ. ඉක්බිති ඔවුහු රජුට මෙසේ කීය: මහරජ, මොවුහු ඉතා දරුණු ඔත්තුකාරයෝ හෙවත් චරපුරුෂයෝය. ඔබගේ රාජ්‍යය විනාශ කිරීමට සමර්ථ වූ මොවුහු භික්ෂුවේශයෙන් එති. ඔබට අනතුරක් කරන්ට පළමුවෙන් ඔවුන් දුරුකළ මැනවැ”යි. රජතුමා පරීක්ෂණයක් නොකොටම “මොවුන් අල්ලා උල හිඳුවව්” යයි රාජ පුරුෂයන්ට අණ කළේය.

ඉක්බිති සියලු දෙන අල්වා බැඳ උල හිඳුවීම සඳහා සොහොනකට ගෙන ගියහ. මිලක්ඛ දේශයෙහි*[18] වැස පෙර දඬුවමකට යටත් වූ මිනිසෙක් එකල චීනයට ඇවිත් විසීය. හෙතෙම බැඳ ගෙනයනු ලබන ඒ භික්ෂූන් දැක වධකයන් වෙත ගොස් “මා රජුට දන්වන තුරු මොහොතක් මෙහි නැවතී සිටිය මැනවැ”යි කියා රජු වෙතගොස් “මහරජ මම එක් එක් භික්ෂුනමගේ බරට රත්රන් දෙමි; මොවුන් නිදහස් කළ මැනවැ”යි කීය. එයට එකඟ වූ රජ එසේ වේවායි කීය. ගෘහපතියා තිස්හත් නමෙන් තිස්හතර නමක් නිදහස් කරගත් නමුත් ඉතිරි තුන්නම සඳහා දීමට රන් ඔහු ළඟ නැතිවිය. ඉක්බිති අඹුදරුවන් ද සේවකයන් ද ගවමභිෂාදීන් ද දුණි. ඒත් මදිවූයෙන් කෙත්වත් හා ගෙවල් දුණි. එයිනුත් සම්පූර්ණ නොවූ බැවින් තෙමේ දාසභාවයට පත්විය. ඉක්බිති විස්මයට පත් රජ ඒකාන්තයෙන් මොවුන් යම් කිසිවකින් ආඪ්‍යයන් විය යුතුය. මොවුන්ගේ විශේෂය නොදනිතොත් මේ මිනිසා මෙවැනි පරිත්‍යාගයක් නොකෙරේයයි සිතා උපාසකයා කැඳවා “මම මොවුන්ගේ ධර්මය අසනු කැමැත්තෙමි”යි කීය. ඉන්පසු රජ ධර්මය අසා පැහැදී “මාගේ රටෙහි හැම ගම් නියම්ගම්හි විහාරයන් සාදව්”යයි ආඥාවක් කොට ඒ භික්ෂූන්ට උපස්ථාන කෙළේය. උපාසකතැනට මහත් සත්කාර කොට “ඔබ විසින් මම නරකයෙන් මුදවන ලදිමි”යි කීය. ඒ උපාසකයාගේ ගෙය භික්ෂූන්ට දන්සැලක් මෙන් විය.


47. කම්බිලිය සොරාගත් කථාව


සිංහල ද්වීපයේ එක් ඇමතියෙක් රජුගේ ප්‍රිය මිත්‍රයෙක් විය. ඔහුට නිතර අන්තඃපුරයට ඒමට රජු අවසර දී තිබුණි. එක්කලෙක ඒ රජුගේ ජනපදයක කැරැල්ලක් හටගති. රජතුමා එය සංසිඳවීමට ඒ ඇමතියාට නියම කෙළේය. රජු විසින් අණවන ලද හෙතෙම එහි ගොස් කිසිවක් කරන්ට අසමර්ථ වූ බැවින් එහිම නැවතී සිටියේය. දොළොස් අවුරුද්දක් ඇවෑමෙන් දාමරිකයන් පරදවා රට සාමයෙහි තබා “මා විසින් දාමරිකයෝ යටත් කරන ලදහ”යි රජුට පණිවිඩයක් යැවීය. එවිට සතුටු වූ රජ “මා හා සමාන ස්ථානයෙහි තැබිය යුතුය”යි සිතා ඔහු කැඳෙව්වේය. හෙතෙම අනියම් කාලයෙහි ඇවිත් රැය මුළුල්ලේ ඇතුළු නුවර රකිමින් සිටියේය. රැය මුළුල්ලේ සිටි ඔහු දැක රජතුමා සත්රුවනින් පූජා කෙළේය. තමා හා සමාන ස්ථානයෙහි තබා බොහෝ ධනය ද දුණි. තමා ද සැපසේ ජීවත් වී මා ද ආරක්ෂා කරවයි කියා ජනපදයක් ද දුන්නේය.

ඉක්බිති ඒ ඇමතිතෙමේ තමාගේ ගෙදොර කොඩියක් ඔසවා නගරයෙහි ද ජනපදයෙහි ද වසන භික්ෂූන්ට හා භික්ෂුණීන්ට මෙසේ දැනුම් දුණි; “යම් යම් කැපදෙයකින් ස්වාමීන්වහන්සේලාට ප්‍රයෝජනයක් ඇත්නම් ඒ සියල්ල ගෙනයනු ලැබේවා; මා විසින් ඒ සියල්ල පරිත්‍යාග කරන ලද්දේය”. භික්ෂු සංඝයා ඔහුගේ ගෙට පැමිණ දන් වලඳයි. ඒ ගෙයි එක් ආසනයක ලක්ෂයක් වටිනා කම්බිලියක් ඇතිරිල්ලක් වශයෙන් එළා තිබුණි. එහි වාඩිවී නැගිටින එක් භික්ෂුනමක් විසින් ඒ කම්බිලිය ගන්නා ලදි. උපාසකයා එය දැක කිසිවක් නොකීවේය. ඉක්බිති අඹුදරුවෝ “අසවල් භික්ෂුනම විසින් කම්බිලිය ගන්නාලදැ”යි ඔහුට කීහ. “මා දී තිබෙන දෙයක් ගත් විට තෙපි කුමක් කියව්දැ”යි උපාසකයා කීය.



48. කුණ්ඩල තිස්ස තෙරුන්ගේ කථාව


හෙළදිව සද්ධාතිස්ස මහරජ භික්ෂුසංඝයා වෙත පැමිණ තමාට අවවාද දීමට සුදුසු තෙරනමක් ගැන කිව මැනව”යි කීය. සංඝතෙමේ “මහරජ, කුණ්ඩලතිස්ස නම් තෙරනමක් මෙයින් සිවුයොදුනක් දුර තැනක වසයි. ඒ තෙරනම ඔබට අවවාද දීමට සුදුස්සෙකි”යි කීය. ඉක්බිති රජ සිවුරඟ සෙනඟ පිරිවරාගෙන තෙරුන් වසන තැනට ගියේය. තෙරනම “මට රජගෙට යාමෙන් ඇති ඵලය කුමක්ද? යම්සේ රජ මා දැක බලාපොරොත්තු රහිතව යන්නේ නම් එසේ කරන්නෙමි”යි සිතා තමා වසන ගෙය තුළ බිම දෙතිස් පිළිකුල් කොටස්වල නම් ලියමින් හුන්නේය. රජතෙම යතුරු කඩුල්ලෙන් බලා තෙරුන්ට අත් කුකුස (=අතේ කල බලය) ඇතැයි කියා එතැනින්ම හැරී ගියේය. නැවත රජ භික්ෂු සංඝයාගෙන් විචාළේය. සංඝතෙමේ ඒ තෙරනම ගැනම කීය. රජ දෙවෙනිවර ගොස් “වනයෙහි දහවල් නිදන්නේය”යි කියා හැරී ආවේය.

ඉන්පසු කලක් ගතවී පිරිනිවෙන්නා වූ තෙරනම රජුගේ පැහැදීම ඇතිවීම සඳහා මා මළ පසු මාගේ දේහය ඇතුළත් කුළුගෙය අහසින් නුවරට යේවායි අධිෂ්ඨාන කෙළේය. තෙර නම කුළුගෙට නැගී පිරිනිවුණු පසු එය අහසට නැගී මහ ජනයාගේ මහත් සත්කාර ලබමින් නුවරට ආවේය. ඒ කලබලය නිසා රජ ද ඉදිරියට ආවේය. ථූපාරාමයටත් ලෝහප්‍රාසාදයටත් අතරෙහි ශෛලචෛත්‍යයක් වේ. එය මත්තට කුළුගෙට එනවිට චෛත්‍යය අහසට නැගී කුළුගෙය ඉවත්ව ගියවිට නැවත පොළොවේ පිහිටියේය.

ඒ අවස්ථාවෙහි මහා ව්‍යග්ඝ තෙරනම ලෝවාමහපායෙහි භික්ෂූන්ට විනය උගන්වමින් සිටියේය. මේ කුණ්ඩලාතිස්ස තෙර පෙර අශෝක මහරජ විය. මහා ව්‍යග්ඝ තෙර ඒ රජුගේ මිත්‍රයෙක් විය. කුණ්ඩලතිස්ස තෙර මහා ව්‍යග්ඝ තෙරුන්ගේ ආයුෂ ගෙවී ඇති බව දැක තමා හෙවි කුළුගෙයි තවත් ආසනයක් මැවෙන්ට සැලැස්වීය. ඒ හිස්වූ ආසනය සහිත කුළුගෙය එනු දැක මහාව්‍යග්ඝ තෙරනම ප්‍රාසාදයෙන් නික්ම අහසට ගොස් ඒ කුළුගෙට ඇතුල්ව පිරිනිවියේය. මෙය මහජනයාට මහත් ආශ්චර්යයක් වූ නමුත් එහි සිටි එක් මිනිසෙක් මේ මිනිස්සු කුමක් නිසා විස්මයට පැමිණියෙහුදැයි සිතී. එක් ධර්මකථික නමක් ඒ මිනිසා හික්මවන්නෙමියි සිතා පසුකලක සිවු පිරිසි මැද දහම් දෙසීය. ඒ මිනිසා “ඔබ මා හික්මවනවා නම් මමත් ඔබ හික්මවන්නෙමි”යි කීය. මෙසේ වැරදි අදහස් ඇත්තහුට ගුරුවරුන්ගෙන් ප්‍රයෝජනයක් නැත.


49. මහසෑ පූජාවේ කථාව


හෙළදිව විසූ සද්ධාතිස්ස මහරජුට “මහසෑයට අසමාන පූජාවක් කරන්නෙම් නම් යෙහෙකැ”යි සිතක් උපණි. මාරයාටද ඒ පූජාව මම වළක්වන්නෙමි යි සිතක් උපණි. මේ රජ මාගේ මාරවිෂය ඉක්මවන බැවින් එයට අන්තරාය කළ යුතු යයි මාරයා සිතී. ඉක්බිති එක් භික්ෂුනමක් විසින් මාරයාගේ අදහස භික්ෂූන්ට දැනුම් දෙන ලදි. භික්ෂූහු තුවටකනාග නමැති තෙරුන් වෙත ගොස් මාරයාගේ අදහස නිරර්ථක කරන සේ ඉල්ලා සිටියාහ. ඉක්බිති තෙර නම අහසෙහි යොදුන් සියයක් තැන වැස්මක් යොදා ගණන් කළ නොහැකි තරම් වූ පහන් ආරක්ෂා කෙළේය. අහස උපුල් පෙතිවලින් වසන ලද්දක් මෙන් විය. එහි එක් එක් පහන් ගසක අතු දහසක් විය. යොදුනක් පමණ තැන බොහෝ ලක්ෂගණනක් පහන් ගස් වූහ. තිසා වැවේ ජලයෙහි නොයෙක් සුවඳ වර්ගයන් බහා ඒ ජලය සුවඳ පැන් කොට යන්ත්‍ර‍වලින් අහසට ගොස් මහසෑයේ වැගිරෙන්ට සැලැස්වීය. මෙසේ සති හතක් රජුගේ ඒ අසදෘශ පූජාව පැවැත්වීය.

එකල සෑගිරියෙහි මහත් සෘඬ්‍යනුභාව ඇති තෙරනමක් විසී. ඒ තෙරුන්ගේ සක්මනේ පැත්තක සිපණ්ණගසක මල් පිපේ. එක් ළමයෙක් ඒ මල් අවුලා තෙරුන්ට දුණි. තෙරනම ඒ ළමයා සමග ඒ මල් පිදීම සඳහා මහසෑය වෙත ගියේ යොදුනක් පසු බැස මල් පුදන්ට අවකාශ ලැබී. ඒ බාලයා අචින්ත්‍ය වූ චෛත්‍ය පූජාව දැක අහෝ ආශ්චර්යයකි. මහරජුගේ පූජාව අතිවිශාලය. මගේ පූජාවෙන් කුමක් ලැබෙන්නේදැ”යි සිතී. තෙරනම කුමාරයාගේ සිත දැන “බාලය, තාගේ පූජාව රජුගේ පූජාවට වඩා මහත්ඵල ඇත්තේය”යි කීය. කුමරා එයසා සතුටුව ඒ වචනම කියමින් ඇතුල් වී ත්‍රිවිද්‍යා ඇත්තෙක් විය. ඉක්බිති තෙරනම “දැන් තා විසින්ම තමාගේ පූජාවේ විපාක දන්නා ලද්දේදැ”යි විචාළේය. “ස්වාමීනි, දැන් මම දනිමි”යි කුමරා කීය.


50. දොළොස් දහසක් භික්ෂූන්ගේ

කථාව


පාටලීපුත්‍ර‍ නුවර එක් සිටුවරයෙක් හැමදා දොළොස් දහසක් භික්ෂූන්ට දන්දෙයි. ඔහුගේ සතුරෝ රජු වෙත ගොස් “මහරජ, දොළොස්දහසක් කසාවත් හැඳි සොරු සිටාණන් විසින් ආහාර දීමෙන් පෝෂණය කරනු ලැබෙත්. මෙය ඔබට විනාශයක් වන්නේය”යි කීහ. රජතෙම “ඔබගේ ප්‍ර‍ව්‍ර‍ජජිතයන් බලන්ට එන්නෙමි”යි සිටාණන්ට දැනුම් දුණි. සිටුතෙම යෙහෙකැයි කියා ඒ දොළොස් දහසක් භික්ෂූන් උදෙසා සියුම් වස්ත්‍ර‍ දී වහ වහා සිවුරු මහන්ට නියම කෙළේය. මණ්ඩපයක් සාදවා එහි හාන්සි පුටු ආදිය තබා නොයෙක් පැහැති මල් ඇතිරිලි ද ඇතිරෙව්වේය. ඉක්බිති ඒ මණ්ඩපයට භික්ෂූන් ඇතුල් කරවා “මගේ පැවිද්දන් බලනු මැනවැ”යි රජුට දැන්වීය. රජ අවුත් ඒවා නියම සිවුරු බව දැක ඉතා පැහැදුනේ දන් දී බණ අසා තිසරණ ගෙන “තා විසින් මා අපායෙන් වළක්වන ලදැ”යි උපාසකයාට කියා ගියේය.


51. පිණ්ඩපාත විශුද්ධිය


හෙළදිව දුර්භික්ෂ කාලයක අඹුසැමි දෙදෙනෙක් ජීවත් විය නොහැකිව දිය දියණිය කහවණු දොළසක් ගැනීම සඳහා උකසට තැබූහ. දුර්භික්ෂ කාලය ගෙවුණු පසු පිය තෙමේ අනුන්ගේ බැලමෙහෙ කොට කහවණු අටක් ද ධාන්‍ය පෙට්ටියක් ද ලැබ ගැල් සමූහයක් සමඟ මාගමට ගියේය. ඔහු වෙත ආහාරයක් නොතිබුණි. ඒ ගැල් සමූහය සමඟ යන එක් භික්ෂුනමකට දන්වේලාව පැමිණි නමුත් දානය දෙන්නෙක් නොවීය. “මේ භික්ෂුනමට ආහාරයක් දෙන්නෙමි”යි සිතක් ඒ උපාසකයාට පහළ විය. හැමතැන අහර සොයා නොලැබ එක් මිනිසෙකු වෙත තිබුණු බත් මුලක් දැක “මෙය අඩ කහවණුවක් ගෙන මට දෙව”යි කීය. ඒ මිනිසා දෙන්ට නොකැමති විය. උපාසකයා ගණන වැඩිකොට ඉල්වමින් තමා වෙත තිබුණු කහවණු සියල්ල ද ධාන්‍ය පෙට්ටියද දී ඒ බත්මුල ගෙන භික්ෂුනම වෙත ගොස් ඒ සියලු පුවත් කියා එය ඒ භික්ෂුනමට පිරිනැමීය. භික්ෂු නම පිළිගන්ට නොකැමති විය. හෙතෙම නැවත නැවත යාඥා කොට පිළිගැන්වීය. එය පිළිගත් භික්ෂු නම “මම රහත්ඵලයට පැමිණෙන තුරු මෙය අනුභව නොකරන්නෙමි”යි ඉටාගෙන භාවනා වඩා රහත් වී එය වැලඳුවේය.

උපාසකයා ගෙට ගොස් මේ ප්‍ර‍වෘත්තිය තමාගේ දුවට කීය. ඈ එයසා සතුටට පත්විය. ඉක්බිති සද්ධාතිස්ස මහරජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා “අහෝ, අති දුෂ්කර දෙයක් කරන ලදැ”යි සාධුකාර දුණි. ඒ ශබ්දය ඇසූ රජ “මාගේ දානයට සාධුකාර දෙන්නෙහිදැ”යි ඇසී. ඔබට නොවේ යයි කී දේවතාවා ඒ කාරණය දැනුම් දුණි. එවිට රජතුමා මහත් සත්කාරයෙන් ඇය ගෙන්වා තමාගේ ලේලි තනතුරෙහි තැබීය. බොහෝ ධනය ද දුන්නේය.


52. සැට නමක් භික්ෂූන්ගේ කථාව


හෙළදිව රජ ද රාජදේවිය ද එක් දිනක් මධ්‍යම රාත්‍රි කාලයෙහි මෙසේ සිතූහ: “රාජ්‍යයෙහි පිහිටි අප විසින් දන්දීම අපහසු කරුණක් නොවේ. අපි අප්‍ර‍කට වේශයෙන් ගොස් බැලමෙහෙ කොට දනක් දෙන්නෙමු නම් යෙහකැ”යි. මෙසේ සිතා රාජ්‍යය අන්‍යයන්ට බාර දී එක් ගමකට පැමිණ එහි ගෘහපතියකුගේ ගෙයි මසක් පමණ නැවතී රජතුමා කුඹුර සී සෑවේය; දේවිය වී කෙටීය. ඔවුන්ගේ අත්වල කරගැට සැදී බිඳී ගියහ. ඉතා සියුමැලි ඔවුහු මසකට වඩා වැඩ කළ නොහැකිව ඒ මාසයේ කුළිය ගෙන හැරී අවුත් තමන්ගේ ආචාර්ය තෙරුන් වෙත පැමිණ “ස්වාමීනි, අපේ දානය පිළිගැනීමට සැටක් පමණ පෘථග්ජන භික්ෂූන් එව්ව මැනවැ”යි කීහ. තෙරනම එසේ කෙළේය. ඒ අඹුසැමි දෙදෙන ව්‍යඤ්ජන සතරක් පිළියෙළ කොට පැණි-මීපැණි-ගිතෙල් ආදියෙන් යුත් ආහාරයක් වලඳවා අවසන්හි ඒ භික්ෂූන් ඉදිරියට අවුත් “අපේ අත් බැලුව මැනවැ”යි කියා සියලු ප්‍ර‍වෘත්තිය කීහ. මෙයින් සංවේගයට පත් භික්ෂූහු ආචාර්ය තෙරුන් වෙතින් කමටහන් ගෙන භාවනා කොට එදා රෑම රහත් බවට පැමිණියහ.


53. හිසමත්තේ තබා දන් උයාදුන්

කථාව


හෙළදිව දුර්භික්ෂ කාලයකදී එක් කුලදුවක් සහල් නැළියක් ගෙන කඳුරටට ඇතුල් විය. ඈ එයින් කාල් තුනක් අනුභව කොට එක් කාලයක් සුරැකිකොට තැබීය. කලින් කල ඒ හාල් කාල අව්වේ වියලා තැන්පත් කොට ඕ කැලෑවේ හටගත් අලගෙඩි ආදියකින් යැපුණි. එක්තරා සිල්වත් භික්ෂුනමක් ද ඒ පෙදෙසේ විසී. තරුණිය ඒ භික්ෂු නම දැක පැහැදුණු සිතැතිව ආරාධනා කොට පාත්‍ර‍ය රැගෙන ඒ හාල් කාල උයන්ට පටන් ගති. ඒ වේලාවේදී සොරුන් සමූහයක් අවුත් ඒ පෙදෙස කොල්ලකා එහි විසූ මිනිසුන්ද රැගෙන ගියේය: භික්ෂුනම ද ඔවුන් සමග ගියේය. ඒ තරුණිය ද හිසෙහි ආධාරයක් තබා එය මත්තේ ලිපත් බත් හැළියත් තබාගෙන මගදීම බත් පිසීම බලාපොරොත්තු වෙමින් ඒ භික්ෂුනම ගිය දෙසටම ගියාය. ඕ නැවත ඒ භික්ෂුනම දැක ඒ බත හිස මත්තේ තබාගෙන පිසූ බව දන්වා පිළිගැන්වීය. භික්ෂුනම එය පිළිගන්ට නොකැමති වූ නමුත් නැවත නැවත ඉල්ලීම නිසා පිළිගත්තේය. සංවේගයට පත් ඒ භික්ෂුනම රහත්ඵලය ලබාගෙනම ඒ ආහාරය අනුභව කෙළේය.

ඉක්බිති සක්දෙව්රජ එදවස්හි ඇය හෝනා තැන හිසපැත්තේ සහල්නැළියක් සහිත පසුම්බියක් තැබීය. එකල්හි ගම්වැසි මිනිස්සු සොරුන් ලුහුබැඳ ගොස් එළවා දැමූහ. ඒ තරුණිය නින්දෙන් නැගිට සහල් පසුම්බිය දැක විස්මයට පත්ව එය ලිප තබා ඉවීය. ඒ බත් සැළියෙන් කොපමණ ගත්තත් අඩුවක් නොවීය. හමුවූ හැමදෙනට දුන්නත් අඩු නොවීය. ඕ නුවර ගොස් මහ දන් දෙන්ට පටන් ගති. ඕ ජීවිතාන්තය දක්වා සිට මිය ගොස් දෙව්ලොව උපණි.

54. දානානිසංස දක්වන කථාව


හෙළදිව දුර්භික්ෂ කාලයකදී සිටුපවුලක සියලුදෙන කඳුරටට ගියහ. එක් මැහැල්ලක් මාගේ මරණය ළංව තිබේයයි කියමින් එහි යන්ට නොකැමති විය. ඇගේ ගෙයි හාල්මනාවක් තිබුණි. ක්‍ර‍මයෙන් එය අඩුවී හාල් කාලක් ඉතිරි විය. ඈ එයින් කැඳක් උයා බොන්ට සැරසී සිටින විට කාළකන්දර වැසි තිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයන් තිදෙන අතරෙන් පඨවීචාලක ධම්මරක්ඛිත තෙරනම පිඬු පිණිස උතුරු කුරුවට ගියේය. යෝනක ධම්මරක්ඛිත තෙර නම පාටලීපුත්‍ර‍යට ගියේය. මහා ධම්මරක්ඛිත තෙරනම මෙකී උපාසිකාව ඉදිරියට අවුත් වැඩ සිටියේය. ඕ තෙරුන් දැක පැහැදී ඒ අන්තිම ආහාරය තෙරුන්ට දෙමින් මෙසේ කීය. “මට දුගතියක් නොවේවා, දිළිඳුබවක් නොවේවා, උපනුපන් තැන්හි ස්ත්‍රීභාවය නොලැබේවා: මුළාවත් ගුණමකු බවත් මා කෙරෙහි නොවේවා; මට සංසාරයෙහි දීර්ඝ කාලයක් ඇවිදීම සිදු නොවේවා”යි.

තෙරනම ඒ කැඳෙන් බාගයක් ගත්විට උපාසිකාව සියල්ලම දුණි. ඒ කැඳෙහි එක් බත් උලක් වත් නොවීය. එය රැගෙන තෙරනම කාළකන්දරය වෙත වැඩියේය. අනික් දෙනමද එහි අවුත් මේවා අනුභව කළ මැනවැයි කියමින් පිණ්ඩපාතය දුන්හ. තෙරනම ඒ දෙනමටත් කැඳ බෙදා දී ඉතිරි කැඳ බත් සමග මිශ්‍ර‍ කොට වැලඳී. ඉතිරි දෙනමත් එසේ කළහ. ඉක්බිති තෙරනම මේ උපාසිකාවට කොපමණ කලක් මේ කැඳ දානයේ විපාක ලැබෙන්නේදැයි බලන්නේ කල්ප තිසක් විපාක දෙන්නේයයි දිටී. දෙවෙනි තෙරනම කල්ප සැටක් විපාක දෙන බව දිටී. තෙවෙනි නම අනූ කල්පයක් විපාක දෙන්නේ යයි දිටී. ඒ තුන්නම ඔවුනොවුන් කථාකොට මුහුදේ වැසි තෙරනම වෙත ගියහ. ඒ තෙරනම එකල්හි මුහුදේ ජලය හා මෙහා තල්ලුවෙන්ට සලස්වා ප්‍රාකාරයක් මෙන් සිටුවා ඒ මැද හුන්නේය. ඒ තෙරහු ඇවිත් මේ තෙරුන්ට කාරණය කියා තමන් දුටු සැටිද ප්‍ර‍කාශ කළහ. මූදුවැසි තෙරනම “තෙපි තිදෙනම සමාන කාරණයක් නිසා දඬුවම් ලැබිය යුත්තාහුය. බුදු රදුන් විසින් සෝවාන් ඵලය ලැබීමට උත්සාහ කරන්නාට දෙන දානය අප්‍රමෙයානිසංස ඇත්තේ යයි වදාරන ලදි. දඬුවම් විඳිව්” යයි කීය.


55. කුමරියන් සිවුදෙනාගේ කථාව


එක් කලෙක සද්ධාතිස්ස මහරජ රාජාභරණ ඉවත් කොට අටසිල් රැගෙන තුන් මසක් මුළුල්ලේ විහාරයෙහි ම නැවතී සිටියේය. ආහාර ගන්නා වේලාව පැමිණි විට කසාවත් හැඳගෙන පිණ්ඩපාතයේ ගොස් රාජදේවියගෙන් ආහාර ලබාගනී. ඕ තොමෝ රජුට පැවිද්දකුට මෙන් සැලකීය. සවෙනි පක්ෂය පැමිණි විට දූ කුමරිය “පියාණෙනි, මට පැවිදිවීමට අවසර දුන මැනවැ”යි කීය. “මෙයින් සත්වෙනිදා පැවිදිවීමට අවසර දෙන්නෙමි”යි කී විට ඒ කුමරිය සමග තවත් කුමරියෝ සිවු දෙනෙක් ද පුරෝහිත බමුණාගේ දුවක් ද ඇමති දුවක් ද සිටු දුවක් ද කෙළෙඹියෙකුගේ දුවක් ද එක් වී පැවිදි වූහ. පැවිදි වූ ඒ කුමරියෝ නීවරණයන් දුරුකිරීමට උත්සාහ ගනිමින් එක් එක් කුමරිය නෙල්ලි ඇට පසක් බැගින් රැගෙන එකක් හිස මැද ද දෙකක් උරහිස මත්තෙහි ද දෙකක් දණදෙක මත්තෙහි ද තබාගෙන සත් රෑ දාවලක් භාවනාවෙහි යෙදුණාහ. රජතෙමේ “සසර බියෙන් බියපත්වූවන් ශීලය විසින් සනසනු ලැබේය”යි ඔවුනට කීය. එය සිතට ගත් ඒ කුමරියෝ නොදත් මුල අති, ඉක්මවීමට අපහසු වූ බොහෝ දුර ඇද දමන්නා වූ සංසාරය සත් දිනකින් ඉකුත් කරමින් පිපාසිතවූවන් පිපාසාව දුරු කර ගැන්ම සඳහා විලකට බසින්නා සේ ආර්ය මාර්ග නමැති මහවිලට බැස මධුරාමෘත සැපය නමැති ජලය ශ්‍ර‍ද්ධා නමැති දෝතින් ගෙන රාගශමනය පිණිස පානය කළහ.

එසේ අමෘතය පානය කළ ඒ කුමරියෝ “අපි කොතැනදී වස් පවාරණය කරමුදැ”යි සාකච්ඡා කළහ. එක් මෙහෙණියක් “සිතුල්පව්වෙහි තෙළෙස් දහසක් රහතන් වහන්සේ වෙසෙත්, එහි ගොස් පවාරණය කරමු”යි කීය. එක් මෙහෙණියක් කාළකන්දර විහාරයෙහි දොළොස් දහසක් රහතන් වහන්සේ වෙසෙත්, එහි ගොස් පවාරණය කරමුයි කීය. එක් මෙහෙණියක් සෑගිරියට යමුයි කීය. එක් මෙහෙණියක් මහාවිහාර සතරටම ගොස් පවරමුයි කීය. තවත් මෙහෙණියක් “පුවඟු දිවයිනෙහි දොළොස්දහසක් පිණ්ඩපාතික රහත්හු වෙසෙත්. එහි ගොස් පවාරණය කරමු”යි කීය. එවිට එහි විසූ අභිඥාලාභී වෘද්ධ භික්ෂුණියක් මෑලාගේ මේ කථා අසා “එනු මැනවි, මම ඔබ රැගෙන එහි යන්නෙමි”යි කීය. සියලු දෙන ඒ වැඩිමහලු භික්ෂුණියගේ කීම අසා නැගිට සිටියාහ. ඕ තොමෝ භික්ෂුණීන් පන්සියයක් ද උපාසිකාවන් පන්සියයක් ද බාලිකාවන් පන්සියයක් ද රැස්කොට ඔවුන්ට මල් සුවඳ ආදිය ගන්ට සලස්වා පුවඟු දිවයිනට ගියාය. ඇතැම් කෙනෙක් ස්වකීය සෘද්ධි බලයෙන්ම ගියහ. ඒ පවාරණ දිනයෙහි සක්දෙව් රජ අවුත් කුමාරිකාවන් පස්දෙනට වැඳීමට පළමුවෙන් අවකාශ ගෙන පසුව පන්සියයක් භික්ෂුණීන්ට ද උපාසිකාවන්ට ද බාලිකාවන්ට ද ගෞරව කොට සංඝස්ථවිරතුමාට මෙසේ දැන්වීය: “ස්වාමීනි, අභිඥා ඉපදෙව් මේ පන්සියයක් කුමරියන් විසින් අපහසු දෙයක් කරන ලදි; මේ සියලු දෙන කාශ්‍යප බුද්ධ කාලයේ දී ඒ බුදුරදුන් වෙත බ්‍ර‍හ්මචර්යාවෙහි හැසිරුණ අය” යයි කීහ.


56. මෙලොවදී ලත් කුශල විපාකය


හෙළදිව එක් ගමක ධනධාන්‍යාදියෙන් සමෘද්ධ වූ එක් පවුලක් ඇත. ඔවුහු භික්ෂු සංඝයාට හැමදා දන් දෙනු ලැබේ. ඒ අසළ අන් දුගී පවුලක චන්ද්‍රා නමැති දැරියක් විය. බැල මෙහෙ කරන ඈ ඒ ධනවත් කුලයාගේ දාන වස්තූන් දැක “මමත් යම්කිසි උපායකින් දන් දෙන්නෙමි”යි සිතා එක් වේලක් පමණක් ආහාර ගෙන ඉතිරි වේලාවට ලැබිය යුතු කුලිය නවත්වා ගති. රාත්‍රී කාලයෙහි ද වැඩ කොට තවත් මුදලක් උපයාගති; රෑ නින්ද නොයාම සඳහා මෙහොල්ගොඩ උඩ නිදාගති. මෙසේ අවුරුදු තුනක් වැඩ කොට සෑහෙන තරම් ධනයක් ලබාගත් පසු භික්ෂූන් අට නමකට දන් දෙන්නෙමියි සිතා වස්ත්‍ර‍ අටක් ගෙන ප්‍ර‍ණීත ආහාර සපයා වස්ත්‍ර‍ අට පාත්‍රාධාරකොට පුදා මෙසේ කීය: (1) “මේ නිසා මට දුගතියක් නොවේවා, දිළිඳු බවක් නොවේවා, සසර ඇවිදින විට ස්ත්‍රී භාවයක් නොලැබේවා, භයානක වූ මෝහය හා ගුණමකු බව මා කෙරෙහි නොවේවා; මට දීර්ඝ කාලයක් සසර ඇවිදින්ට සිදු නොවේවා.”

ඉක්බිති රහත් තෙරවරු පියංගුදීපයට ගොස් එක් එක් නම පණස් නමට ඒ දානය දුන්හ. එදා රාත්‍රියෙහි හෙළදිව හැම දේවතාවෝ “අහෝ යහපත් දානයකැ”යි කියමින් සාධුකාර දුන්හ. සද්ධාතිස්ස මහරජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවාද සාධුකාර දුණි. රජු විසින් විචාරන ලද ඒ දේවතාවා මේ දැරිය පිළිබඳ සියලු ප්‍ර‍වෘත්ති කීය. (2) ඇතැම් කෙනෙක් විෂම ලෙස හැසිරෙමින් අනුන් තළා පෙළා ශෝකයට පමුණුවා දන් දෙති. කඳුළු පිරුණු මුහුණු වලින් යුත් හිරිහැර සහිත ඒ දානය සාමයෙන් දුන් දානයාගේ කොටසකුත් නො අගී.

රජතෙම ඒ දැරිය ලම්පකදණ්ඩ නමැති යුද්ධභටයාට පාවාදී මහත් ධනයක් ද ඒ ගම ද ඈට දුණි. ඕ තව තවත් දන් දී දෙව්ලොවට ගියාය.




57. සැටනමකට දන් දුන් මෙහෙකාරිය


නාගදීපයෙහි දුර්භික්ෂයක් ඇතිවූ කල්හි අඹුසැමි දෙදෙනෙක් ද දුව ද ජීවත්විය නොහැකිව දුව උකසට තබා කෙළෙඹියකුගෙන් කහවණු සතළිසක් ගත්හ. මාතුදේවිකා නාගී නමැති ඒ දුව නිසා මවුපිය දෙදෙන සුවසේ විසූහ. ඈ ඒ ගෙයි බැලමෙහෙ කරමින් සිටින කාලයෙහි ඒ ගමට පෘථග්ජන කල්‍යාණයෝ වූ*[19] සැටනමක් භික්ෂූහු පිඬු පිණිස ඇතුල් වූහ. එ වේලෙහි නාගිනිය පැන් ගෙන ඒම සඳහා වැවකට යන්නී ගමේ ඇවිද කිසිවක් නොලැබ අවුත් පාත්‍ර‍ පසුබිම්වල දමන ඒ භික්ෂූන් දිටී. ඈ එහි අවුත් කරුණු විචාළ විට ඒ භික්ෂූහු ඇති තතු කීහ. ඒ දැරියට “රෑ වැඩ කිරීමට පොරොන්දු වී තවත් කහවණු සැටක් ගෙන මේ භික්ෂූන්ට දන් දෙන්නෙමි”යි සිතක් උපණි. එසේ සිතා කාලය භික්ෂූන් වෙත තබා මා හැරී එනකල් නැවතී සිටිය මැනවැ යි කියා තමා වසන තැනටම ගොස් “ස්වාමිවරුනි, මට කහවණු සැටක් ණයට දුන මැනවැ”යි කීය. ගෙහිමියා “තී අනුන්ගේ මෙහෙකාරියක්ව සිටගෙන ටිකෙන් ටික ණය ගෙවන ගමන් තවත් ණය ගන්නේ කුමක් හෙයින්දැ”යි විචාළේය. “ඔබ මේ ගැන නොසිතනු මැනවි. රාත්‍රි දාසියක් වී රෑ වැඩ කොට ඒ කහවණු සැට ගෙවන්නෙමි”යි ඕ කීය. හෙතෙම ලියවිල්ලක් ලියා ඈට කහවණු සැටක් දුණි. ඕ එක් එක් ගෙයකට කහවණුව බැගින් දී එක් එක් භික්ෂු නමට කහවණුව බැගින් වටිනා දානය සම්පාදනය කළ මැනවැයි කියා ඒ භික්ෂූන් අසුන්හලකට පමුණුවා මේ සියලු ප්‍ර‍වෘත්ති භික්ෂූන්ට කීය. සංවේගයට පත් භික්ෂූහු ඒ පිණ්ඩපාතය පිළිගෙන පිටත ගොස් විලක් සමීපයට පැමිණ පාත්‍ර‍ පැත්තකින් තබා භාවනා කරන්ට පටන් ගත්හ. “ඉදින් රහත්පලයට පැමිණිය හැකි නම් අනුභව කරන්නෙමු; නොහැකි වී නම් අනුභව නොකන්නෙමු”යි අධිෂ්ඨාන කොට භාවනා වැඩූ ඒ භික්ෂූහු නොබෝ වේලාවකදී රහත්බවට පැමිණ ආහාර අනුභව කළහ. එදා රෑ හෙළදිව හැම දෙවියෝ සාධුකාර දුන්හ යනාදිය පෙර මෙනි. රජ තෙම ඒ නාගදීපය ඒ ස්ත්‍රියට දුණි. ඕ මහදන් දී මරණින් මතු සුගතියට පත් විය.


58. සඳුන් පලඟේ කථාව


බුද්ධකාලික වූ මේ කථාව බුදුරදුන්ගේ මහත්වය දක්වයි. නාගදීපයේ ගොඩ නාරජ මූදේ නා රජකගේ දුවක් සරණ පාවා ගති. මූදේ නා රජ ඒ දුවට දායාද වශයෙන් ඉතා වටිනා රත් සඳුන් පුටුවක් දුණි*[20]. කලක් ඇවෑවෙම්න නාග කුමරියගේ පියා මළේය. ඔහුගේ පුත්‍ර‍යා “සඳුන් පලඟ මට දිය යුතුය”යි කියමින් ස්වකීය මස්සිනා වෙත හස්නක් යැවීය. “මාගේ පලඟ නොදෙමි”යි ඔහු කී බැවින් දෙදෙනා අතර යුද්ධයක් ඇති විය. ගොඩවැසි නාගයෝ මූදු නාග භවනය ගොඩක්ම කරන්නෙමුයි කීහ. මූදු නාගයෝ “ගොඩ නාගභවනය මූදක් කරන්නෙමුයි” කීහ. එකල භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාඥානයෙන් මේ කාරණය දැක දවල් දානය වලදා නාගයන් හික්මවීම පිණිස නාගදීපයට අහසින් වැඩි සේක. පෙර නාගදීපයේ ඉපද සිට එකල ජේතවනය ඉදිරියෙහි වූ පලොල්ගසක විසූ දේවතාවෙක් “බුදුරජ අපගේ දිවයිනට වඩින්නේය”යි දැන් ඒ පළොල් ගස බුදුරදුන්ට ඡත්‍ර‍යක් කොට ගෙන උන්වහන්සේ සමග බැස්සේය. ඒ ගසක් එහිම පිහිටුවන ලදි.

බුදුරද අහසට නැගී අන්ධකාරයක් මැවීය. එය ලෝකාන්තරික අන්ධකාරයට සමාන විය. එය දැක බියපත් නාගයෝ ආයුධ හැර දැමූහ. වධක සිත් ද යටපත් කරගත්හ. ඉක්බිති බුදු රද නරකය පෙන්වා දිව්‍ය ලෝකයත් පෙන්වීය. මෙසේ බුදු රදුන් විසින් නාගයෝ දමනය කරන ලදහ. යම් තැනකට බුදු රද බැස්සේ නම් එතැන පාටලීසෑය නමින් ද අන්ධකාර සෑය නමින් ද ආලෝක සෑය නමින් ද ප්‍ර‍කට විය. පළොල් ගසේ බාගයක් ගොඩ නාගයන්ට ද අනික් භාගය මූදු වැසි නාගයන්ට ද අයත් විය.


59. ගුරු භක්තිය ඇති හෙරණ

නමගේ කථාව


හෙළදිව දුර්භික්ෂ කාලයකදී ඝෝණ නමැති එක්තරා බාලයෙක් මහල්ලකු සමග ඇවිදිනේ මහා විහාරයට ආවේය. ඔහු දුටු එක් තෙරනමක් “මහල්ලා අත්හැර පැවිදි නොවන්නේ කුමක් හෙයින්දැ”යි ඇසීය. “ව්‍යසනයට පත් මා වැනියකු පැවිදි කරන්නේ කවරෙක්දැ”යි බැලයා කීවිට තෙරනම මේතෙම අනාගතයේදී ශාසනයෙහි සැලකිය යුත්තෙක් වන්නේ යයි දැන ඔහු මහල්ලාගෙන් වෙන්කොට කරුණාවෙන් පැවිදි කරවිය; මනාසේ ඉගැන්වීමද කෙළේය.

පසුකලක තෙරුන්ට බුදුරදුන්ගේ උත්පත්ති ස්ථානය ආදි පූජ්‍ය ස්ථාන සතර වැඳීමට සිතක් උපණි. එතුමා සාමණේර නම අමතා “පිණ්ඩපාතය කොට වලඳා මෙහිම වාසය කරව; මම චෛත්‍යයන් වැඳ නැවත එන්නෙමි”යි කීය. හෙරණනම “මාගේ ජීවිතය ඇතිතාක් මම ඔබ අත් නොහරින්නෙමි”යි කීය. ඉක්බිති තෙරනම ඒ හෙරණනමත් කැටිව තවලම්කාරයන් සමූහයක් සමග ගමනට පිටත් විය. වනය මැදදී තෙරුන්ට වාතරෝගයක් උපණි. එය මාරාන්තික විය. එවිට තෙරනම ඉතිරි භික්ෂූන්ට කථාකොට “මම දැන් මරණයට පත්වන්නෙමි, ඔබ වහන්සේ වැඩිය මැනවි. හැමදෙන විපතට පත්වීමෙන් කම් නැතැ”යි කීය. ඒ සියලු භික්ෂූන් ගිය නමුත් සාමණේර නම නොගියේය. තෙරුන් විසින් පිටත් කරන ලද නමුත් ඔබවහන්සේ ජීවත්ව සිටින තුරු මම නොයමි”යි කීය. තෙරනම පිරිනිවියේය. හෙරණතෙර දර එකතුකොට මිනිය දැවීය. එකල මේ කරුණ නිසා දෙව්රජුගේ ආසනය සෙලවෙන්ට විය. ශක්‍ර‍ තෙම අප්‍ර‍කට වේශයකින් අවුත් සාමණේර නමගෙන් ප්‍ර‍වෘත්ති විචාරා ඒ නම සමග එක්වී තෙරුන්ගේ ශරීර පූජාව කොට හෙරණනම උතුරු දඹදිවට ගෙනගොස් මහාවිහාරයක මහත් සෘද්ධි ඇති තෙරනමක් වෙත නවත්වා “මේ භික්ෂූන් වෙතින් ඉගෙන තමාගේ කටයුතු කරගත මැනවැ”යි කියා ගියේය. හෙරණනම සියලු පූජ්‍යස්ථානයන් වැඳ මහතෙරුන් වෙතින් ත්‍රිපිටකය ඉගෙන තෙරුන්ගෙන් අවසර ගෙන හෙළදිවට එන්ට පිටත් විය. මහාකොට්ටිදේව නම් තැනට පැමිණි විට ඔහුට එක පදයෙක්හි සැකයක් උපණි. හෙතෙම නැවත හැරී ගොස් මධ්‍යම රාත්‍රි කාලයෙහි විහාරයට පැමිණ මහ තෙරුන්ගේ කාමරයේ දොරට ගැසීය. තෙරුන් විසින් කුමකට ආවෙහිදැයි විචාරන ලද්දේ “ස්වාමීනි, මට එක් පදයක සැකයක් උපණි, එහෙයින් ආවෙමි. එය මට විස්තර කළ මැනවැ”යි කී විට “තා විසින් සිතන ලද්දේ එහි නියම අර්ථයමය”යි තෙරනම කීය. හෙතෙම එය අසාගෙන හෙළදිවට අවුත් බොහෝ දහස්ගණන් භික්ෂූන්ට පාළි උගන්වා අර්ථ කියා දී පසු වර්ෂයේදී රහත් බවට පත්විය. හෙතෙම වාසස්ථානයේ තෙවෙනි මාසයේ ප්‍ර‍ථම යාමයේදී පුවඟු දිවයිනෙහිද, මධ්‍යම යාමයේදී මහා විහාරයෙහි ද පශ්චිම යාමයේදී සෑගිරියෙහිදැයි එක රැයකදී දහම් දෙසීය. පවාරණය කරන දිනයෙහි එතුමාගේ ප්‍ර‍කාශය මෙසේ විය.

(1) “බුදුන් දෙසූ නවාංගබුද්ධ ශාසනය යම් පමණ ද ඒ සියල්ල මා විසින් ඉගෙන ප්‍ර‍කාශ කරන ලදි. (2) මහර්ෂීන් වහන්සේගේ ශාසනයෙහි හැම රතියක්ම මා විසින් අනුභව කරන ලදි. මම සත්කාරය නොකැමති වෙමි. මම යුගන්ධරයට යන්නෙමි”යි කියා තෙරනම යුගන්ධර පර්වතයට ගොස් පිරිනිවියේය. ඉක්බිති (ආචාර්ය) මහතෙරනම දිවැසින් බලා පවාරණය කිරීම සඳහා එහි වැඩියේය. දේවරාජයා ද “මජ්ඣන්තික - සෝණතෙර පිරිනිවියේය, පූජා පවත්වන්නෙමි”යි සිතා එහි ගියේය. එහි දිව්‍යමය පූජාද ආර්යයන්ගේ පූජාද වූහ. මෙසේ ආචාර්යවරයෝ සත්කාර කරන ලදහ.


60. ලජ්ජි සාමණේරයන්ගේ කථාව


හෙළදිව අනුරාධපුරයෙහි ධනාඪ්‍ය වූ මහවෙළඳ පවුලක උපන් සත්හැවිරිදි කුමරෙක් ශ්‍රඬාවෙන් පැවිදි වී පිරිසිදු සේ සිල් රකිමින් විසී. ඒ කාලයේදී බ්‍රාහ්මණතීය නමැති මහා දුර්භික්ෂ භය උපන්නේය. එවිට මහාවිහාරයේ රහත් තෙරහු එක්ව එක් තෙරනමක් “මේ භය සංසිඳවනු මැනවැ”යි දැන්වීම පිණිස සක්දෙව් රජු වෙත යැවූහ. දෙව්රජ “මම මේ භය සංසිඳවන්ට සමර්ථ නොවෙමි; මිනිසුන්ගේ කර්ම විපාකයෙන් මෙය හටගත්තේය. එසේ වුවත් යම්කෙනෙක් මූදෙන් එතෙර යනු කැමති නම් මම ඔවුනට ආරක්ෂාව සලසන්නෙමි. යමෙක් වියදණ්ඩක් පමණ වූ ලීකඩක් වත් බදාගෙන මූදට බසින්නේ නම් සැපසේ පරතෙරට පැමිණෙන්නේය”යි කීය. තෙරනම ඇවිත් ඒ කීම අන්‍ය තෙරවරුන්ට දැන්වීය.

ඉක්බිති හැමපැත්තෙන් ම භික්ෂූහු රැස්වූහ. ඒ ළදරු සාමණේරයන්ගේ උපාධ්‍යාය තෙරනම “මම ආන්ධ්‍ර‍රාජ්‍යයට යන්නෙමි; තෝ කැමති නම් එව”යි කීය. හෙතෙම මවුපියන් විචාරන්නෙමියි කියා අනුරාධපුරයට ගොස් ඔවුන් විචාළේය. ඔවුහු “කහවණු විස්සක් හෝ තිහක් දී ආහාරවේලක් ලබාගත හැකිවුවත් අපි ඔබ පෝෂණය කරන්ට සමර්ථ වෙමු. එබැවින් පිටරට නොගියමැනවැ”යි කීය. ඔහුගේ උපාධ්‍යායතෙමේ අන්ධකරටට ගියේය. හෙළදිව රජුගේ මාලිගය තුළ එක් තෙරනමක් වලඳයි. හෙතෙම වලඳා විහාරයේ වසන එක් නමකටද ආහාර රැගෙන එයි. එකල සාමණේරයන්ගේ මව මස්සක් රැගෙන මුළුනුවර ඇවිද බත් මිටක් පමණත් නොලැබ ඇවිද ඒ කාරණය පුත්‍ර‍යාට දැන්වීය. කුමක් කළ හැකිදැයි කී සාමණේර නම විහාරයට යාගත නොහැකිව එහිම අසුන්හලක නිරාහාරව සත්දිනක් ගත කෙළේය. රාජ කුලුපග තෙරනම රජගෙයි වලඳා එක් නමකට පිණ්ඩපාතය රැගෙන යන්නේ අසුන්හලට පිවිස ලෑල්ලක් මත නිදාහුන් විඩාවට පත් හෙරණ දැක නැගිටුවා ආහාර අනුභවකරවයි කීය. හෙරණ නැගිට කල් ඇද්දැයි ඇසීය. තෙරනම “මා ඡායාව මැණ කී නමුත් මේ තෙමේ මගෙන් වේලාව විමසන්නේය”යි කිපී “ඔබට වේලාව මැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මේ විෂම (= දුර්භික්ෂ) කාලයෙහි ආහාර අනුභව කරව”යි කීය. මෙසේ කියන තෙරනම සිල්වතෙක් නොවිය හැකියයි සාමණේරයන්ට විමතියක් උපණි. එබැවින් නැවත මූණ වසාගෙන නින්දට පටන් ගති; මා විසින් පුද්ගලයා නොසලකා වචනයක් කියන ලදැයි විපිළිසරට පත් තෙරනම නැවත හෙරණනම නැගිටුවීය. හෙරණ තෙමේ “ඔබ විසින් විෂම වචනයක් කියන ලදි. මාගේ බඩවැල් පිටත නික්මුණත් මම ඔබ අතින් පිණ්ඩපාතය නොගනිමි”යි කියා මේ ගාථාවන්ද කීය:

(1) මේ ශරීරය බිඳීයේවා, මෙහිම විසිරීයේවා; මම ඔබගේ පිණ්ඩපාතය නොගනිමි. (2) බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ මෙසේ ශීලසම්පන්න වෙති. ජීවිතය නැතිවෙතත් ඔවුහු ශීලය නොඉක්මවති. මෙසේ කියන ලද තෙරනම ඒ සංවේගයෙන් ඒ පිණ්ඩපාතය ඉවත දැමීය. මෙය ආජීවපාරිශුද්ධිය දක්වන කථාවකි.

61. චිත්තගුත්ත තෙරුන්ගේ කථාව


කොරණ්ඩ (=කුරණ්ඩක) ලෙන්හි වැසි චිත්තගුත්ත නම් තෙරනමක් විය. ඒ ලෙණ ඉදිරියෙහි නා ගසක් විය. තෙරුන් විසින් කිසිවිටෙකත් හිස ඔසවා ඒ නා ගස උඩ නොබලන ලදි. ඒ ඒ කාලයෙහි කොළ - මල් - කෙසුරු ආදිය වැටුණු විට මල් ආදිය හටගත්තේ යයි දැනගනී. ඒ ලෙණෙහි සත් බුදුවරයන්ගේ අභිනිෂ්ක්‍ර‍මනය සිතියම් කරන ලද්දේය. තිස්හවුරුද්දක් එහි විසූ තෙරනම කිසි විටක ඒවාද නොබැලීය. තිස්වසකට පසු තෙරනම රහත් විය. මහාසේන නම් රජතුමා තෙරුන්ට රජගෙයි වැලඳීමට ආරාධනා කළේය. තෙරනම සාවුරුද්දක් රජගෙයි දන් වැළඳීය. පිරිනිවෙන කාලයෙහි යමෙකුට මාර්ගඵලයෙහි සැකයක් ඇත්නම් මාගෙන් විචාරනු මැනවැයි කී විට රැස්ව සිටි භික්ෂූහු “ස්වාමීනි, මෙතෙක් කල් රජගෙයි වැලඳූ ඔබට රජුත් දේවියත් වෙන් වශයෙන් හැඳින ගත හැකිදැ”යි විචාළහ. “මට දැක හඳුනන්ට නොහැකිය; කටහඬින් හැඳින ගනිමි”යි තෙරනම කීය. රජු වඳින විටත් දේවිය වඳින විටත් තෙරණුවෝ “මහරජ නවතිනු මැනවැ”යි කීහ. ඒ තෙරනම මෙසේ සංවර කළ ඉඳුරන් ඇත්තේ විය.


62. බුද්දක තිස්ස තෙරුන්ගේ කථාව


වනවැසි බුද්දකතිස්ස තෙරනම තරුණ කාලයේදීම රහත් බවට පැමිණියේය. එතුමා “ඉදින් මම නගරයක හෝ ගමක වසන්නෙම් නම් ඉගැන්වීම් ආදි පලිබෝධ ඇතිවන්නේය. එබැවින් වනයක ගොස් වසන්නෙමි”යි සිතා ආරණ්‍යගත විය. එකම පවුලක් තෙරුන්ට තිස් අවුරුද්දක් උපස්ථාන කෙළේය. තෙරනම තමාගේ ආයුෂ පවත්නා ප්‍ර‍මාණය බලා ගෘහපතියාට “අද ඔබ පමණක් විහාරයට යා යුතුය; අන්‍යයන් නොයා යුතුය”යි කීය. “ස්වාමීනි ඔබ වහන්සේ කියන දෙයක් කරන්නෙමි”යි කී විට එසේ නම් වෑය ද පොරොව ද රැගෙන එවයි තෙරනම කීය. ගෘහපතියා ඒ කී සේ විහාරයට ගියේය. තෙරනම දර කපා ගෙනවුත් ගලඋඩ ගොඩගසව යි කී විට උපාසකයා එසේ කෙළේය.

තෙරනම මැටිපාත්‍ර‍ය ලෑලි ඇඳයට නවා තබා ගණ්ඨිය ගැටගසා ඒ ලෑලි තට්ටුව මත්තේ පලඟ බැඳ හිඳගෙන පිරිනිවියේය. උපාසකයා මැදරැය දක්වා දර කපා මහත් දරගොඩක් ගසා නොකල්හි ගමට යා නොහැකැයි සිතා වනමෘගයන්ට භයින් තෙරුන්ගේ කුටියටම ඇතුල් වී නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියේදී තෙරනම පිරිනිවියේ යි දේවතාවෝ මිනිසුන්ට දැන්වූහ. මිනිස්සු කල් ඇතිවම ආදාහනෝත්සවය පැවැත්වීම සඳහා මල්-සුවඳ-වස්ත්‍ර‍ ආදිය රැගෙන පිටත් වූහ. උපාසකයා ද උදෑසනින් නැගිට තෙරුන් පිරිනිවි බව නොදැන ආශ්‍ර‍මයෙන් පිට වී තෙරනම සුදුසු කාලයේදී ගෙදොරට එනවා ඇතැයි සිතමින් සිය නිවස දෙසට ගියේය. ඒ යන හෙතෙම අසපුවට යන මිනිසුන් දැක “කොහි යව්දැ”යි විචාරා තෙරුන්ගේ ආදාහනය කිරීමට යන්නෙමු”යි කී විට “තෙරනම ජීවත්ව සිටී; මම දැන් එතැන සිට එමි”යි උපාසකයා කීය. “ඔබ නොදත්තෙහි”යයි කියමින් මිනිසුන් ඒ දෙසටම යනවිට සැක සිතූ හෙතෙම එසේත් විය හැකැයි කියමින් මිනිසුන්ගේ ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් තෙරුන්ගේ ආස්වාස ප්‍රාස්වාසයන් නැති බව දැන මුලින් කපා දැමූ ගසක් මෙන් බිමවැටී හඩන්ටත් පෙරළෙන්ටත් පටන්ගෙන “අවුරුදු තිහක් උපස්ථාන කළ මට නොදන්වා කිසිවක් නොකියා පිරිනිවියේය”යි විලාප කීය.

ශක්‍ර‍ තෙමේ විශ්වකර්මයා ලවා දොරටු පසක් ඇති කුළු ගෙයක් මවා නන් අබරණින් සැරසුණු දේවතාවන්ට එය ඔසවාගන්ට සලස්වා කැපකරු උපාසකයා විසින් ඔසවන ලද මෘතදේහය කුළුගෙයි තබ්බවා සත්දවසක් පූජෝත්සව පැවැත්වීය. නැවත තුන්දිනක් මුළුල්ලේ දිවසඳුන් සුණු ද මදාරා - කොබෝලීල - පරසතු මල් ද අහසින් වැටීමෙන් කුළුගෙය හාත්පස යොදුන් තුනක පෙදෙස වැසී ගියේය. යම් යම් ගස් කොඩි දරන්නට තරම් ශක්තිමත් වූවාහු නම් ඒ ගස්වල දිව්‍යවස්ත්‍රයෙන් සෑදූ කොඩි එල්වන ලදහ. දිව්‍යතූර්යනාදයෝ පැවැත්තාහ. දෙවියෝ මිනිසුන්ට පෙනෙමින් සිටියාහ. සත්දිනක් මුළුල්ලේ සාපිපාසාවක් හෝ මලමුත්‍ර‍ පහකිරීමක් හෝ නොවීය. දරසෑයමත්තෙහි සඳුන් සුණු විසුරුවා ගිනි දැල්වූහ. මෙසේ දෙවිමිනිස්සු එතුමන්ට මහත් සත්කාර සම්මාන දැක්වූහ.

ඒ තෙරුන්ගේ පූර්වකර්මය මෙසේයි:- මින් පෙර භවයකදී හෙළදිව උපන් හෙතෙමේ ගොපලු දරුවෙක් විය. ගවයන් රැකි හෙතෙම වැලිවලින් චෛත්‍යයක් සාදා නොයෙක් වනමල් එක්කොට එයට පුදා උණකිලිල්වලින් කොඩි සාදා බැඳ බටලී නලාවක් පිඹ තමාගේ බඩ බෙරයක් මෙන් සිතා වාදනය කෙළේය. ඒ උණකිලිල්කොඩිවල විපාකයෙන් දිව්‍යමය කොඩි පහළ වූහ. බටලි නලාව පිඹීම නිසා දිව්‍ය තූර්යනාද ඇති වූහ. මල් පිදීමේ අනුසසින් දිව්‍යමය මල් වැටුණාහ.


63. මලයවාසී චුල්ලසුමනාවගේ කථාව


සොහොයුරෝ සත්දෙනෙක් ද ඔවුන්ගේ භාර්යාවෝ සත්දෙනෙක් ද බාල සොහොයුරියක් ද වූහ. ඔවුහු සොරකම*[21] ද අන්කිසිවක් ද කොට කැලෑවේ හටගත් අලගෙඩි ආදියෙන් ජීවත්වූහ. එක් තෙරනමකට ද උපස්ථාන කළ ඔවුහු රාත්‍රියෙහි ආහාරයක් ලැබුණා නම් එයින් කොටසක් තෙරුන්ට දීම සඳහා තැන්පත් කළහ. එක්කලක සියුම් වස්ත්‍ර‍යක් ලැබ ඔවුහු “මෙය අපේ භාර්යාවන්ට යෝග්‍යය, නමුත් ඔවුන්ට දීමට ප්‍ර‍මාණවත් නොවේ. අපේ නැගණිය රුක් සුඹුලුවලින් වියූ පොත්ථියක්*[22]අඳියි. එබැවින් එය ඈට දෙමු”යි කථා කොට වස්ත්‍ර‍ය නැගණියට දුන්හ. ඕ එය අඳින්ට පටන් ගති. ඔවුන්ගේ කුලුපග තෙරනමගේ සිවුරද ජරාපත්ව තිබුණි. නමුත් වස්ත්‍ර‍ ලබාගත හැකි පිළිවෙළක් ඇති නොවීය. තෙරනම ගෙදොරට ඇවිත් ඇය ඉදිරියෙහි සිටි විට ඕ තොමෝ පරණ ඇඳුම ගෙනැවිත් තෙරුන් ඉදිරියෙහි තැබීය. “භික්ෂූන්ට රුක් සුඹුලු වස්ත්‍ර‍ අකැපය”යි තෙරුන් කී විට ඕ තමාගේ පරණ පොත්ථිය ඇඳගෙන අලුත් වස්ත්‍ර‍ය තෙරුන්ට පිදී.

එසේ වස්ත්‍ර‍ය පිදූ ඕ සොහොයුරන් තර්ජනය කරනවා ඇත යන බියෙන් තමන් විසූ පැල්පතෙන් පිටවී ගොස් වනයට ඇතුල්ව විසී. සොහොයුරෝ හවස් වී ඇවිත් සුමනාව කොහිදැයි සිය බිරියන්ගෙන් ඇසූහ. “තෙරුන්ට අලුත් වස්ත්‍ර‍ය දී ඔබට බියෙන් සැඟවී සිටින්නීය”යි කීවිට “අපිත් තෙරුන්ට දෙන්ට කැමතිව සිටි නමුත් නැගණියට වස්ත්‍ර‍යක් නැති බැවින් ඈට දුනිමි. ඉදින් තෙරුන්ට දෙන ලද්දේ නම් අපි එය අනුමත කරමු”යි ඔවුහු කීහ. ඒ කීම ඇසීමෙන් තරුණිය සැනසීමට පත්විය. එක්තරා දේවතාවක් මෑ කළ අපහසු ක්‍රියාව දැක මහපසුම්බියක දිව්‍ය වස්ත්‍ර‍ පුරවා එය ඈ නිදන ලෑලි තට්ටුවේ හිස පැත්තේ තැබීය. ඇතැම් කෙනෙක් සක්දෙව් රජ එසේ කෙළේයයි කියත්. ඕ ගෙට ඇතුල් වී ලෑලි තට්ටුවෙහි නිදන්නී හිසපත්ත අතගා පසුම්බියත් එහි තිබුණු වස්ත්‍ර‍ත් දැක සොහොයුරන් ද ඔවුන්ගේ බිරියන් ද නැගිටුවා එය පෙන්වීය. ඔවුහු එයින් කැමතිතාක් වස්ත්‍ර‍ ගත්හ. තෙරුන්ට ද වස්ත්‍ර‍ දුන්හ. තෙරුන් වෙත ආ අන්‍ය භික්ෂූන්ට ද දුන්හ. දිරාගිය තුන්සිවුරු ඇති භික්ෂූන්ට තුන්සිවුරට සෑහෙන තරම් වස්ත්‍ර‍ දුන්හ. ඒ කාරණය ප්‍ර‍කට වීමෙන් සද්ධාතිස්ස මහරජුට දැනගන්ට ලැබී රජතුමා මිනිසුන් යවා ඇය ගෙන්වා ප්‍ර‍වෘත්ති විචාරා ඇය තමාගේ පාදපරිචාරිකාවක් බවට පත් කෙළේය.

ඕ දිව්‍යවස්ත්‍ර‍වලින් මහසෑය වසා කොඩි ද නැංවීය. ඒ කොඩි ඈ ජීවත්ව සිටිනතාක් පැවැත්තාහ. ඒ සොහොයුරෝ තෙරුන් වෙත පැවිදිව කමටහන් ගෙන රහත්බවට පැමිණියාහ. කුමරිය සෝවාන් ඵලය ලැබී. ඇගේ මරණාසන්න කාලයෙහි දිව්‍යරථයන්ගේ පැමිණීම පෙර මෙන් විස්තර කළ යුතුය.


64. දුගී මිනිසාගේ කථාව


හෙළදිව ගම්වැසි එක් දුගී මිනිසෙක් මාරාන්තික වේදනාවලින් පෙළුණේ භික්ෂූන් පස්නමක් ගෙන්වා දනක් දුණි. එයින් සතුටට පත් හෙතෙම බිරිඳට කථාකොට “මාගේ වස්ත්‍ර‍ දෙකක් ඇත. මම එය අන්තිමදානය වශයෙන් පුදනු කැමැත්තෙමි; එය ගෙනෙව”යි කීය. “හිමියෙනි, ඔබ මළවිට මෘතශරීරය වැසීමට වෙන වස්ත්‍ර‍යක් නැතැයි” බිරිය කීය. එවිට ඒ මිනිසා “අඥාන ස්ත්‍රිය, මම ජීවිතාන්තය දක්වා මේ සිරුර සරසන්ට මහන්සි ගත් නමුත් එය කළ නොහැකි විය. මළකල්හි දිරාගිය ලීකඩක් වැනිවූ බලුකැනහිලුන්ට ආහාර වූ මේ සිරුරෙහි සැරසිය යුතු කමක් තිබේද? පින් කිරීම ඊට වඩා යෙහෙකැ”යි කියා එය ගෙන්වා ගෙන සංඝයාට පූජා කෙළේය. වස්ත්‍ර‍ තිබුණු පෙට්ටියෙහි තවත් වස්ත්‍ර‍ ජෝඩුවක් තිබෙනු දැක දෙවෙනි තෙරුන්ට දුණි. ඉන්පසු පහළ වූ වස්ත්‍ර‍ තෙවෙනි සිවුවෙනි පස්වෙනි තෙරවරුන්ට ද දුණි. විස්මයට පත් උපාසකයා බිරිය අමතා “සොඳුර ආශ්චර්යයක් බලව; බොහෝ කලක් වස්ත්‍ර‍ රැගෙන දුන්නත් වස්ත්‍ර‍යන්ගේ ක්‍ෂයවීමක් නොදකිමි. එබැවින් බුදුරදුන් විසින් “දදතො පුඤ්ඤං පවඩ්ඪති” යනාදිය දෙසන ලදි. දෙන්නාට පින වැඩේ.

ඉක්බිති අන්‍ය භික්ෂූන්ද ගෙන්වා වස්ත්‍ර‍ විකුණාගත් මුදලින් දන් සපයා වස්ත්‍ර‍ ද පිදීය, යම්යම් භික්ෂුනමක් සිවුරු සඳහා වස්ත්‍ර‍ කැමති වී නම් ඔවුන්ගේ පාත්‍ර‍ පුරවා වස්ත්‍ර‍ දුණි. මෙසේ දොළොස් දහසක් භික්ෂූන්ට වස්ත්‍ර‍ දෙන ලදි. ඉක්බිති රුහුණේ නිවැසි මහාපදුමතෙර ඔහුට දහම් දෙසීම සඳහා පැමිණියේය. උන්වහන්සේ චතුධාතුවවත්‍ථානය*[23] දෙසන විට උපාසකයා අනාගාමි ඵලයට පත්විය. ඔහුගේ බිරිය සෝවාන් ඵලය ලැබීය. උපාසකයා මැරී අකනිටාභවනෙහි උපන්නේය. උපාසිකාව පසුකලක මියගොස් ශක්‍ර‍යාගේ අගමෙහෙසි විය. රජතෙම උපාසකයාගේ කීම (අනාගාමී වූ බව) අසා මහත් සත්කාරයෙන් ආදාහනය කරවීය.


65. තරුණ භික්ෂුණීන් දෙදෙනගේ

කථාව


හෙළදිව කම්පුව ගම*[24] තරුණ මෙහෙණියෝ දෙදෙනෙක් ගගේ නෑමට ගියහ. නාන්නා වූ ඒ දෙදෙනගෙන් එක් මෙහෙණක් කිඹුලෙක් අල්වාගෙන ඉවුර අසලින් ඇදගෙන ගියේය. දෙවෙනි මෙහෙණිය කෑගසන්ට පටන් ගති. ඇතැම් මිනිස්සු බියෙන් පලා ගියහ. එක් මිනිසෙක් ඉදිරියට අවුත් “ආර්යාවෙනි, මේ කිමෙක්දැ”යි ඇසී. ඇය වහා ගොඩට ඇවිත් “කිඹුලෙකු විසින් ඕ අල්වා ගන්නා ලදැ”යි කීය. “ආර්යාවෙනි, භය නොවෙනු මැනවි; මම ඇය මුදවන්නෙමි”යි කියා කිරිච්චිය අතට ගෙන දියට බැස්සේය. කිඹුලාට අසු වූ භික්ෂුණිය කිඹුල්කටෙහි කම්පා වෙමින් මේ මිනිසා මා මුදවාගන්ට එන්නේ යයි දැන “මට ජීවිතයට වඩා බුදුන් පැණ වූ ශික්ෂාපදය රැකීම මැනවැ”යි සිතා උපාසකය, මා වෙත නො එව, මා ස්පර්ශ නොකළ මැනවැ”යි කීය.[25] ඒ කීම සමගම කිඹුලා භික්ෂුණිය අත්හැර දියෙහි ගිලුණි. පීනා ගිය මිනිසා ඇගේ පැත්තකින් සිටියේය. ඈ ගොඩට ඇවිත් එහිම නැවතී භාවනා කොට රහත්ඵලයට පත් විය. ඉතිරි භික්ෂුණිය බොහෝ දුර පලාගිය නමුත් ගංඉවුරේ සිටගෙන දුකට පත් යෙහෙලිය දැක නැවත හැරී ආය. මෙහිදී තුවාල ලැබූ භික්ෂුණියට මහත් වේදනා ඇති වූ නමුත් පුරුෂයන් විසින් ඔසවා ගෙනයනු ලැබීමට නො කැමතිව අහසට නැගී ගියහ. (මේ අවසාන කොටසේ පාළිය බොහෝ ව්‍යාකූල බැවින් නිවැරදි පරිවර්තනයක් දිය නොහැක. යන්තමින් අදහස දක්වන ලදි).



66. ලම්බකර්ණයාගේ කථාව


උතුම් හෙළදිව වසන මිනිසුන් අතර ප්‍ර‍කට වූ මහාසුම්ම නමැති මහාධර්ම කථික තෙරනමක් විය. රජතුමා ඒ තෙරුන් ලවා වෙස්සන්තර ජාතකය දේශනා කරවිය. එක් ලම්බකර්ණ වංශික (= එල්ලෙන කන් ඇති) කුල පුත්‍රයෙක් තමාගේ අඹුදරුවන් සමග ඇතිරිලි - කම්බිලි - පලස් ආදියෙන් යුත් වාහනයක නැගී බණ ඇසීම සඳහා ආවේය. ධර්ම කථිකයා පළමුවෙන් වෙසතුරු රජුගේ දන් දීම ගැන කීය. එයසා ලම්බකර්ණ තෙමේ තමාගේ ආභරණ දන් දුණි. දරුවන් දන් දීමේ කොටස කී විට තමාගේ දුවක් දන්දුනි. මද්‍රි දේවිය දන්දීමේ කොටස කී විට තමාගේ භාර්යාව දන් දනි. සියල්ල දී පසුව ධර්මකථික තෙරුන් ඉදිරියේ බිම වැතිර “මාද දාසයකු කොට දෙමි”යි කීය. ඉක්බිති තෙරනම මහවැස්සක් වස්වන්නාක් මෙන් දහම් දෙසීය. අවසන්හිදී ලම්බකර්ණ තෙමේ තමා දුන් දෙයට වටිනා ධනය දී සියල්ල නිදහස් කොට ගත්තේය. මෙසේ නුවණැත්තෝ භෝගයන්ගේ සාරය ගනිත්.


67. බත්මුල දුන්නහුගේ කථාව


හෙළදිව එක් මිනිසෙක් බත්මුලක් බැඳගෙන ගමනක් ගියේය. අතරමගදී සාගින්නෙන් පෙළී දුර්වල වූ භික්ෂුනමක් දැක “මට ආහාර නැතිව ගියත් මේ භික්ෂුනමට දන් දෙමි”යි සිතා ඔහු වෙත එළඹ වැඳ “ස්වාමීනි, ගසක් මුලට වැඩිය මැනවැ”යි කීය. ඒ ඉල්ලීම ලෙස ගසක් මුලට පැමිණි ඒ භික්ෂු නමගේ පාත්‍ර‍ය ගෙන ධමකරකයෙන් පැන් ගෙනවුත් සෝදා ආහාරය පාත්‍රයේ දමා දී සකසා වැන්දේය. තෙර නම වැලඳීය.

හෙතෙම හවස ගමට යනු කැමති වුවත් යාගත නොහැකිව අතරමග නිදා ගත්තේය. එහි ඔහු අඳුනන කිසිවෙක් නොවීය; නෑයෝ ද නොවූහ. එබැවින් බලවත් වේදනාවෙන් පෙළී මරණයට පත්ව මානවක ගමේ ඇමති පවුලක පිළිසිඳ ගත්තේය. එතැන් පටන් ඇමති කුලයට අභිවෘද්ධියක්ම සිදුවිය. එහි උපන් හෙතෙම මහත් සත්කාරයෙන් වැඩුණි. ඒ ගෙය කරා එක් තෙරනමක් පැමිණේ. ළදරුවා තෙරුන් කෙරෙහි දැඩි ප්‍රේමයක් ඇතුව ටික ටික බණ අසයි. පසුව පැවිදිවෙන්ට සිතක් උපදවා ගෙන මවුපියන්ගෙන් අවසර ලබා දොළොස් හැවිරිදි කල්හි පැවිදි විය. පැවිදි වී සත් දිනකින් රහත් විය. ඔහුගේ උපාධ්‍යාය තෙරනමත් රහත් නමකි. කල් ඇවෑමෙන් හෙතෙම මහතෙරනමක් විය.

මලයවාසී මහාසංඝරක්ඛිත තෙරුන්ගේ ශිෂ්‍ය වූ තුන්සියනමක් රහතන් වහන්සේ වූහ. ග්‍රාමවාසි සංඝරක්ඛිතතෙරුන්ට ද, අරියවිහාරවාසී ධම්මගුත්ත තෙරුන්ට ද සිතුල්පව්වැසි දීඝභාණක අභයතෙරුන්ට ද රහත් ශිෂ්‍යයෝ තුන්සියය බැගින් වූහ. ඒ ඒ විහාරවල රැස්වූ ෂඩභිඥා ඇති ඒ තෙරවරුන්ට “හෙට කොතැනකට සිවු පිණිස යන්නෙමුදැ”යි විතර්කයක් උපණි. සියලුදෙන දානතෙරුන්ගේ පින විමසන්නෙමුයි කථාකොට ගෙන පසුදා මහතෙර සතරනම පිරිවර භික්ෂූන් සමඟ මනා සේ හැඳ පොරවාගෙන අහසින් එතැනට ආහ. ඒ අවස්ථාවෙහි දානතෙර චෛත්‍යයට නැගෙනහිර දෙස චිත්තමාලක නමැති මලුවෙහි හුන්නේ තෙරවරුන් දැක දවල් වූ කල්හි පැමිණියාහයි කියමින් කැඳ සපයන පන්සල ඉදිරියෙහි වූ මාලගසමුල සිටියේය. සර්වාලංකාරයෙන් සැරසී සිටි දේවතාවා තෙරනම මේ ගසයටට පැමිණියේ මා විමසීමට වියයුතු යයි සිතී. තෙරනම ඔහුගේ සිතිවිල්ල දැන පිරිවර සහිත තෙර සතරනම කැටිව ගං ඉවුරට පැමිණියේය. ඒ විහාරය පිහිටියේ ගංඉවුරකය. නාරජ තෙරවරු වැඩියාහයි දැන සත්රුවන් මණ්ඩපයක් මවා නානාවිධ විසිතුරු මල්දම් එල්වා නොයෙක් කැවිලි සහිත දානයක් පිරිනැමීය. හවස්වරුවේ හැමදෙනාවහන්සේ එක්ව මෙය කුමන කුශලකර්මයකගේ ඵලය දැයි ඇසූහ. දානතෙර බත්මුල දීමේ විපාකය යි කීය.


68. ලජ්ජි තෙරුන්ගේ කථාව


හෙළදිව සතික කඩරොද නමැති තැන තෙචීචරික වූ පිණ්ඩපාතික වූ එක් තෙරනමක් රාත්‍රියෙහි මල පහ කිරීම සඳහා නික්මියේය. බරවූ දෙපට අඳනය පහතට බහා උක්කුටුකයෙන් (ඇණ තියා) හිඳගෙන “අන්ධකාරයෙහි කිසිවකු විසින් දැක්ක හැකැ” සැක සිතා එතැනම සිටගෙන සිටියේය. එතුමන් දැක සක්මන කෙළවර ගසේ අධිගෘහිත දේවතාවා සාධුකාර දුණි. භූම්‍යස්ථ දෙවියන් ආදිකොට අකනිටාභවනය දක්වා දෙවියෝ “බුද්ධශ්‍රාවකයෝ මෙසේ හිරිඔතප් දෙකින් යුක්තවෙති”යි කියමින් සාධුකාර දුන්හ.


69. රෝහණ තෙරුන්ගේ කථාව


හෙළදිව රෝහණ තෙරනම පර්වතාශ්‍රිත සෙනසුනක් සොයමින් අවුත් (රෝහණපර්වතයේ) ගුහාවක වාසය කරයි. එක් ඇතෙක් රාත්‍රි අන්ධකාරයෙහි සක්මන් කරන භික්ෂූන් මරන්නෙමියි සිතා අවුත් සිටියේය. තෙරනම විදුලි කොටන විට ඒ එළියෙන් ඇතු දැක්කේය. ඇතා නොසෙල්වෙයි. උගේ ආශ්වාස වාතයේ හඬ ද ඇසේ. තෙරනම ගොස් ඇතාගේ පා සතර මැද පලඟ බැඳගෙන “මෙතැනදී රහත්ඵලයට පැමිණ නැගිටින්නෙමි”යි අධිෂ්ඨාන කර ගෙන හුන්නේය. ජීවිතයෙහි අපේක්ෂා නැතිව මාර මුඛයෙහි හිඳගෙන විදසුන් වඩා ඒ තෙරනම රහත් විය. එයින් නැගිට ඇතා අමතා “තෝ මා වංචාකරනු කැමැත්තෙහි; මම තට වංචා කෙළෙමි”යි කීය. ඇතා භය වී පලාගියේය. ඒ තෙරනම පිරිනිවෙන කල්හි ප්‍ර‍කාශයක් කරමින් “ඇවැත්නි මා විසින් ඇතාගේ පා මැද හිඳගෙන රහත් ඵලය ලබාගන්නා ලදි. ඉදින් බුදුරද වැඩ සිටියේ නම් මාගේ හිස අත ගාන්නේය; මෙසේ පටන්ගත් වීර්ය ඇත්තෝ වව්” යයි කීය.


70. උසභමිත්තගේ කථාව


හෙළදිව බ්‍රාහ්මණතීය නමැති දොළොස් වර්ෂයෙක් පැවති දුර්භික්ෂයක් විය. ජනපදවැසියෝ ද ගම්වැසියෝ ද යන සියලු දෙන කඳුරටට පිවිසියහ. ඔව්හු කොළ වර්ග කමින් ජීවත්වූහ. ක්‍ර‍මයෙන් ඒ දුර්භික්ෂය සංසිඳී ගිය පසු ඒ මිනිසුන් තමන්ගේ ගම්රටවලට ආවිට විනාශ වී ගිය සිය නිවෙස් දකින්ට ලැබුණි. ඔවුහු ලී දඬු හා වහල් හොයන තෘණ ආදිය නැවත ගෙනවිත් ගෙවල් සාදා ගත්හ. එක් ගම්මුළාදෑනියෙක් ලී දඬු ආදිය ගෙනැවිත් භික්ෂූන්ගේ පරණ ආසනශාලාවක් ඉදිරියෙහි එක් කණුවක් පමණක් සිටුවා ගෙයක් ගොඩනැංවිය; අන්‍යයෝ ද එය දැක එක් කණුව බැගින් සිටුවා ගෙවල් සෑදූහ. ඒ සියලු දෙන එක්ව ආසනශාලා භූමියෙහි ළිඳක් කැපූහ. ගම්දෙටුවා ගොන් රූපයක් සාදා ඒ රූපයේ බෙල්ලේ බැඳි වටිනා වස්ත්‍ර‍යකින් රූපය වසා අසුන්හලට පැමිණ සංඝයාට පූජා කොට “ස්වාමීනි, මේ ගොන්රූපය බෙදාගෙන පරිභෝග කළ මැනවි. එයට වටිනා මිල මම ගෙවන්නෙමි; වස්ත්‍ර‍ය සිවුරු පිණිස වේවා (රූපය සෑදීමට ගත් හණරෙදි ද ලී දඬු ද ඔබගේ ප්‍රයෝජනය සඳහා වේවා”යි කීය)

හෙතෙම මරණින් පසු පාටලීපුත්‍රයෙහි ධනවත් පවුලක පිළිසිඳ ගති. ඔහුගේ මව වූ ගෘහණියගේ ඇඳේ හිස පැත්තෙහි සත්රුවන් ගොන්රූපයක් පොළොවෙන් ටිකක් මතුවී පෙනුණි. කුසයෙහි දරුගැබ වැඩෙන්නා සේ මේ ගොන්රූපය ද දිනපතා වැඩුණි. කුමරා මවුකුසින් නික්මෙන විට ගොන්රූපය ද පොළොවෙන් සම්පූර්ණයෙන් නික්මුණි. ගොන්රූපය සමග උපන් බැවින් ඕ හට උභයමිත්ත යයි නම තැබූහ. ඔහුගේ මව භාජනයක් ගෙන ගොන් රූපය සමීපයට ගොස් “ඉදින් මාගේ පුතාගේ පිනින් හටගත්තේ නම් සත්රුවන් වගුරව”යි කීය. එවිට ගොන්රූපයෙන් සත්රුවන් වැගිරී භාජනය පිරී ඉතිරී ගියේය. මෙසේ වෛශ්‍ර‍වණයාගේ භද්‍ර‍ඝටය ලැබුණ කලක මෙන් ඔවුන්ට සම්පත්තියෙන් අඩුවක් නැතිවිය.

කුමරා ක්‍ර‍මයෙන් වැඩී එක් දිනක් උයන්කෙළියට යනු කැමති විය. උයනටත් ගෙටත් අතරෙහි සත්රුවන් ගමන් මඩුවක් මැවුණි. උයනට යන හෙතෙම සාරමසක් ඒ මණ්ඩපයෙහි ගත කරයි; හැරී එන විටත් හාරමසක් රුවන් මණ්ඩපයෙහි ගත කරයි. හෙතෙම සිය නිවෙසට අවුත් “සත්රුවන් මණ්ඩපයේ යම් යම් දෙයක් ගනු කැමති නම් ඒවා ගනිත්වා”යි මිනිසුන්ට කියයි. මිනිස්සු තමන් කැමති කැමති දේ ගෙන ගොස් තුමූද ධනවත්තු වූහ. ඔවුහු උසභමිත්තගේ වර්ණනාව කියන්ට පටන් ගත්හ. රජුට මේ ගුණකථාව අසන්ට ලැබී උසභමිත්තයා මරවන්ට අදහස් කොට ඇමතියන්ගෙන් විචාළේය. ඔහු මරන්ට නොහැකියයි ඇමතියන් කී විට රජ ඔහු උයනට ගිය විට ඔහුගේ මවුපියන් සිර කරවන්නෙමියි සිතා ඒ කාලය පැමිණි විට ඔවුන් සිරභාරයට ගන්ට නියම කෙළේය.

වෘෂභමිත්‍ර‍ ඒ උයනට ගොස් හැරී ආවිට තමාගේ මවුපියන් නොදැක ආරක්ෂකයන්ගෙන් විචාරා රජු විසින් සිර කරවන ලද බව දැන සංවේගයට පත්ව “මාගේ මවුපියන් සිරකිරීමට සමර්ථයෙක් මෙලොව ඇද්දැ”යි කියමින් තමාගේ බෙල්ලේ බැඳ තිබුණු පූන නූල රැගෙන මිරිකුවේය. එකල්හි ඒ රජ බිම වැටී පෙරළෙන්නට පටන් ගති. වෙදවරු පිළියම් කිරීමට අසමර්ථ වූහ. රජ තෙමේම කාරණය වටහා ගෙන ඔහුගේ මවුපියන් නිදහස් කරවීය. රටවැසියන්ට මේ කාරණය දැනගන්ට ලැබී “උසභමිත්තගේ නිර්දෝෂී මවුපියවරු සිරකරන ලදහ”යි කිපී දඬු මුගුරු ආදිය ගෙන රජු මරා “කවරෙක් රජවන්නේදැ”යි උද්ඝෝෂණයක් කළහ. දනව් වැසියෝද නාගරිකයෝ ද එක්වී “අන්‍යයකුට රජකම් නොකළ හැකිය. වෘෂභමිත්‍ර‍යා රජබවට පත් කළ යුතුය”යි කියා එසේ කළහ. හෙතෙම ධර්මයෙන් රාජ්‍යය කොට ත්‍රිවිධ රත්නය පුදා මරණින් මත්තෙහි දෙව්ලොව උපන්නේය.


71. රිදී පර්වතයේ කථාව


හෙළදිව එක් ගෘහපතියෙක් ඉදුනු කොස් ගෙඩියක් ලැබී කාලඝෝෂණය කෙළේය. කඳුරට වැසි රහත් සත්නමක් ඒ ශබ්දය අසා එහි අවුත් කොස් මදුලු පිළිගෙන එයින් සයනමක් එක්මගකින් ගියහ. මලයගිරි වැසි තෙරනම එක් ලෙණක වාසය කරයි. ඒ තෙරනම උපාසකයා අමතා “මෙයින් කොටසක් මටත් ලැබිය යුතුයයි ඒ තෙරවරුන්ට කියව”යි කියා ඔහු ඒ තෙරවරුන් වෙත යැවීය. ඒ තෙරවරු ඔහු ලවා එහි තිබුණු ඇත්ලඩ ද කසල ද ඉවත දම්මවා මදුලුවලින් කොටසක් දුන්හ. හෙතෙම ඒ කොටස ගෙනවුත් මලයගිරිවාසී තෙරුන්ට දුණි. තෙරනම ඒ උපාසකයාට “මෙ මඟින් යව”යි කීය. හෙතෙම ඒ මගින් යන්නේ විශාල වූ රිදී ගොඩක් දැක ඒ බව දුටුගැමුණු රජුට දැන්වීය. රජ තෙමේ ගැල් පන්සියයකින් ඒ රිදී ගෙන්වා මහසෑය සාදන විට රිදී තහඩුවක්

රිදී මහසෑයේ අත්තිවාරමට දැමීය. ඒ උපාසකයාට ද රන්අබරණ ආදිය දී උසස් තනතුරක් දුණි. හෙතෙම මහාඅධිපතියෙක් විය.*[26]


72. බණ ඇසූ මත්ස්‍යයාගේ කථාව


නැවකින් ගිය එක් භික්ෂුවක් මූදේදී ධම්මසංගණියේ චත්තුප්පාද කොටස කට පාඩමෙන් කීය. එක් මත්ස්‍යයෙක් ඒ ශබ්දය අසා පස්සෙන් පස්සෙන් ආවේය. මිනිසුන් විසින් විදින ලදුව මරණයට පත් ඌ ධනාඪ්‍ය වූ මහා සාරකුලයක උපන්නේය. භික්ෂූන් දැකීමට ප්‍රිය වූ හෙතෙමේ සත් හැවිරිදි කල්හි පැවිදිව ත්‍රිපිටකය ඉගෙන සද්ධා සුමන තෙරයයි ප්‍ර‍කට විය. හෙතෙම චෛත්‍යවන්දනාවේ ගොස් නාගදීපයට පැමිණ චූලගිරි-මහාගිරි දෙක අතරෙහි වූ දුටුගැමුණු රජුගේ උයනෙහි සිත් අලවා වෙසේ. එහි විසූ ඒ තෙරනම් එහිදීම බුද්ධානුස්මෘතිය වඩා රහත් විය.


73. මහාධම්මනන්දි තෙරුන්ගේ කථාව


චූලගිරි නිවැසි මහාධම්මනන්‍දි නමැති අවවාදදායක තෙරනම ගංගා දෙක දිගින් තුන් යොදුන් පමණ ඇති පෙදෙසක ධමකරකයක ප්‍ර‍මාණ ඇති*[27] චෛත්‍ය දහසක් කරවා ඒ මුළු පෙදෙස පැතිරෙන සේ තැබීය. මේ තෙරනම (භාවනානුයෝගීන්ට) අවවාද දීමෙහි සමර්‍ථයෙකැයි අසා මාගම මහාවිහාරයේ වසන දොළොස් දහසක් භික්‍ෂූහු තුන් වරක් තෙරුන් වෙත (එහි පැමිණෙන සේ) දූතයන් යැවූහ. දූතයන් වශයෙන් ආ භික්‍ෂූහු රහත් බවට පැමිණ එහිම විසූහ. ඉන්පසු එක්තරා මහළු වී පැවිදි වූ නමක් දූතයා වශයෙන් යැවූහ. හෙතෙම ගොස් “ස්වාමීනි, රහත් භික්‍ෂූන්ගේ කීම පිළිනොපදින්නේ කුමක් හෙයින්දැයි ඇසීය. “මම ඔවුන්ගේ කීම කරමි; ඔවුන්ට මස් ලේ වුවත් දෙන්නට කැමත්තෙමි” යි කියා මහතෙරනම ඒ භික්‍ෂුවට දහම් දෙසීය. හෙතෙම රහත් බවට පත් වී ගියේය. දම්මනන්දි තෙරනමත් තිස්ස විහාරයට යන්ට පිටත් විය. ඒ යන අතරමගදී සැටවස් පිරුනු මහානාග තෙරනම රහත් නොවීම රහත්වීම යි සිතාගෙන විසූ බැවින් උන්වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, ඇතෙකු මැව්ව මැනවැ”යි තෙරුන්ට කීය. මහානාග තෙරනම (තමා ඉදිරියට එන) ඒ ඇතා දැක බිය පත්විය. එයින් තමා රහත් නොවීම රහත් යයි සිතා සිටින බව දැනගෙන නැවත විදසුන් වඩා එහත් බවට පැමිණියේය.

ඉක්බිති මාගම මහා විහාරයට පැමිණියේය. එහි දොළොස් දහසක් භික්‍ෂූහු විසූහ. එයින් සැට නමක් ත්‍රිපිටක ධරයෝ වූහ. ඒ තෙරවරු තවත් බොහෝ දෙනකුන් සමඟ ධම්මනන්‍දි තෙරුන්ගෙන් ප්‍ර‍ශ්න විචාළාහ. ඒ ප්‍ර‍ශ්න විසඳන විට පළමු දින දහස්නමක් රහත් වූහ, දෙදහස් නමක් අනාගාමී වූහ; තුන් දහසක් සෝවාන් ඵලය ලැබූහ. දෙවෙනිදා ඒ අනාගාමී දෙදහස්දෙන රහත් වූහ; තෙවෙනිදා තුන් දහසක් ශ්‍රොතාපන්නයෝ රහත් බවට පැමිණියහ.

(මේ මහතෙරුන්ගේ නාමය අටුවා පොත්වල දැක්වෙන්නේ ධම්මදින්න වශයෙනි. සිය ගණන් දහස් ගණන් කුඩා චෛත්‍ය සෑදීම ඉන්දියාවේ පවත්නා සිරිතකි. ඒ එක් එක් සෑය තුළ ධර්ම කොටස් ලියූ පත්‍රිකා දමා ඒ සියල්ල එක්කොට මහ සෑයක් බැඳ ධර්‍මචෛත්‍යයයි නම් කළ බව හියුංසියං මහ තෙරුන්ගේ භ්‍ර‍මණාවෘත්තාන්තයෙහි කියවේ. ඒ සිරිත පූර්‍වයේදී ලක්දිවත් තිබුණ බව මේ කථාවෙන් පෙනේ. අන් පොත්වල පෙනෙන්නේ ධම්මදින්න මහතෙරුන් තලංගර (=තලගුරු) විහාරයෙහි විසූ බවයි. මෙහි චූලගිරියෙහි යය කියවේ. මෙය “මූලගිරි” විය හැකියි. එවිට තලගුරු වෙහෙර යයි නම ලැබූවේ මූලගිරි විහාරයම යයි සලකන්නට සිදුවේ. කෙසේ වුවත් මේ මූලගිරි හෝ තලංගරවිහාරය රුහුණු රටේ පිහිටියකි.)


74. අභයතෙරුන්ගේ කථාව


දකුණු විහාරය අසළ ගමෙහි එක් පවුලකට අයත් දාසයෙක් හවස්වරුවේ දී ස්වාමියාගේ වැඩ නො කොට විහාරයෙහි ඇති වැඩ කරමින් විසී. පසුව ස්වාමියා විසින් නිදහස් කරන ලද හෙතෙම පැවිදි වී මල් ගස් වවමින් මල් පුදමින් පින්කම් කෙළේය. එයින් ච්‍යුත වූ හෙතෙමේ ගෘහපතිකුලයක ඉපද සත් වරක් මහාධර්‍ම දේශනාවන් කරවිය. එයින් ච්‍යුතව ධනවත් පවුලක ඉපද සත් හැවිරිදි කල්හි පැවිදි විය. පැවිදිවීමට හිසකෙස් බානා කල්හි හෙතෙම රහත් විය. පැවිදි වූ දා ම ඔහු දෙසූ ධර්‍මය අකනිටා බඹලොව දක්වා සිටි දෙවියෝත් ශ්‍ර‍වණය කළහ. ඔහුගේ මවුපියවරු දන් දෙනු කැමතිව භික්‍ෂූන් දහස් නමකට ආරාධනා කළහ. හෙරණනම “බොහෝ භික්‍ෂූන් දැක සිත් පහදා ගත මැනවැ”යි මවුපියන්ට කීය. ඔහුගේ පින් බලයෙන් කොපමණ භික්‍ෂූන් පැමිණියත් ආහාරවල අඩුවක් නොවීය.

75. අම්බඛාදක තිස්ස තෙරුන්ගේ කථාව


බ්‍රාහ්මණතීයභය පවත්නා කල්හි එක් භික්‍ෂු නමක් සාගින්නෙන් පෙළී ඇවිදිනේ අඹ ගසක් වෙත පැමිණියේය. ඒ ගසේ ඉදුණු ගෙඩි බිම වැටී තිබුණ නමුත් පිළිගන්වන කැපකරුවකු නැති බැවින් එතුමා ඒවා නොවැළඳීය. එක් මිනිසෙක් එහි අවුත් අඹ අවුලන්ට පටන් ගති. තෙරනම ඔහුගෙන් අඹ ගෙඩියක් ඉල්විය. ඒ මිනිසා ඔබ විසින් මෙය රැගෙන අනුභව කරන්නට බැරි කමක් තිබේද? අදත් කැපකරුවන් සොයන්නෙහිද? මෙවැනි දුර්භික්ෂ කාලයකදී තමාගේ ජීවිතය රැකගත යුතුය. ශීලයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැ”යි අසා අඹ ගෙඩියක් නොදීම ගියේය. ඒ කර්කශ පුරුෂයා ගෙදර ගොස් අඹු දරුවන් සමඟ අඹ කමින් මේ ප්‍ර‍වෘත්තිය කීය. ඔහුගේ භාර්යාව ඒ කීම අසා ඔහුට නින්දා කොට “අහෝ අනාර්ය, පවිටු දෘෂ්ටි ඇත්ත, මෙවැනි භික්‍ෂු නමක් හැර දැමූ ඔබ හා මාගේ එක්ව විසීමක් නැතැ”යි කියා ගෙයින් නික්ම ගියාය.

එකල එක්තරා ශ්‍ර‍ද්ධාවත් සිල්වත් මිනිසෙක් ඒ අඹ ගස අසළට ආවේය. තෙරනම කෑරීමෙන් ශබ්ද කොට ඒ මිනිසා තමන් වෙත පෙන්වා ගත්තේය. හෙතෙම තෙරුන්ගේ පාත්‍ර‍ය ගෙන අඹ පානයක් සාදා තෙරුන්ට පිළිගැන් විය. තෙරනම නැගිටින්ටත් අසමර්ථ විය. එවිට උපාසකයා තෙරුන් කෙළින් කරවා තමාගේ ළයෙහි හොවාගෙන ඒ අඹ පානය පොවා ඉන්පසු තරමක් සුවපත් වූ ඒ තෙරුන් තමාගේ පිට මත්තේ හොවා ගෙන ගියේය. තෙරනම ඔහුගේ පිට මත්තෙහිදීම සංවේග උපදවාගෙන විදසුන් වඩා රහත් විය. උපාසකයා ද තෙරුන් රහත් වූ බව දැන ජීවිතාන්තය දක්වා තෙරුන්ට උපස්ථාන කළේය.



76. මහානාග - චුල්ලනාග

දෙනමගේ කථාව


හෙළදිව සෝනකගිරියෙහි වැසි තෙරුන් වෙත මහා නාග - චූල නාග යන සොහොයුරෝ දෙදෙනෙක් පැවිදි වූහ. ඔවුහු අවුරුදු සයක් ගත වෙන තුරු දෙමවුපියන් නො දැක්කාහ. රහත් බවට පැමිණි පසු දෙටුතෙරනම බාල තෙරුන් අමතා “අපි මවුපියන් බලන්ට යමු”යි කීය.

යහපතැයි පිළිගෙන දෙනම එක්ව සියගමේ පන්සලට අවුත් අසවල් ගෙදර අඹුසැමි දෙදෙන සුවසේ වසත් දැයි භික්ෂූන්ගෙන් විචාළාහ. එසේ යයි කී විට ඔවුහු අප්‍ර‍මාදීව කුසල් කෙරෙත්දැයි විචාළාහ. “එසේය, එක් නිත්‍ය බතක් දෙති. මැහැල්ලිය ආසනශාලාව හමදියි, පැන් ගෙනැවිත් තබයි, අසුන් පණවයි.” ඉක්බිති බාල තෙරනම එතැනින්ම හැරී යන්ට යෝජනා කළ නමුත් දෙටුතෙරනම “මා වැනි ශ්‍ර‍මණයන්ට වැඳීමෙන් උපස්ථාන කිරීමෙන් ඇඳිලි බැඳීමෙන් ඔවුහු මහත් පිනක් රැස් කර ගන්නාහ. එබැවින් පිණ්ඩපාතයේ හැසිරෙමින් ගොස් ඔවුන් බලමු”යි කීය.

ඒ කථාව ලෙස තෙර දෙනම පිඬු සඳහා යන ගමන් තමන්ගේ මවුපියන්ගේ ගෙදොරට ආහ. තෙරුන් දුටු කෙණෙහි මෑණියන්ගේ සිතේ පූර්වස්නේහය උපණි. ඕ දෙටුතෙරුන් වෙත ගොස් “ඔබමහානාගදැයි” ඇසීය. හෙතෙම “පස්සෙන් සිටින තෙරුන්ගෙන් විචාරව”යි කීය. ඒ තෙරුන්ගෙන් ද “ඔබ චූලනාගදැ”යි විචාළ විට “ඉස්සරහින් සිටිය තෙර කීවේ නැද්දැ”යි ඇසීය. මෙසේ දෙනමම තම මෑණියන්ට තමන්ගේ නම් නොකියා පිඬු පිණිස හැසිරෙමින් අන් ගමකට ගොස් “දැන් අප විසින් මවුපිය දෙදෙන දක්නා ලදහ”යි කීහ. උපාසිකාව ගෙයින් නික්ම තමා වසන ගමේ භික්‍ෂූන්ගෙන් “ස්වාමිවරුනි, අර දෙනම මාගේ පුත්‍රයෝදැ”යි විචාළාය. “ඔබගේ පුත්‍ර‍ බවක් නොදනිමු; මෙහි පැමිණ ඔබගේ තොරතුරුම අපෙන් විචාළාය”යි ඒ භික්‍ෂූහු කීහ. උපාසිකාව ඒ ඒ තැන සොයමින් යන්නී ගම් දෙක අතරේ යන එන්නන්ගෙන් විමසමින් එහා ගමට ගියාය. එකාසනික වූ ඒ තෙරදෙනම මේ ගමේ ඇවිද යන්නෙමුයි සිතා එගම්හි පිඬු පිණිස ඇවිද්දාහ. මැහැල්ලි තෙරවරුන් දැක මගේ ගෙට වැඩිය මැනවැ”යි කීය. බාල තෙරනම “ස්වාමීනි, උපාසිකාවකගේ කොටස පිළිගත මැනවැ”යි කී නමුත් වැඩි මහලු තෙරනම එහි යා නොහැකැයි කීය. උපාසිකාව ඇවිත් පළමු කොට වැඩි මහලු පුතාගේ පාමුල වැටී ඉක්බිති බාලපුතාගේ පාමුල වැටී දෙනම මැද පෙරළෙමින් විලාප කියා ඔවුන් නවත්වා ගත්තීය. පිරිනිවෙන කාලය දක්වා ඒ දෙනම එහිම විසූහ. මවගේ ගෙය විනාශ වූ විට කැලයෙන් ලී ගෙනවුත් ගෙය සාදා දුන්හ. මෙසේ මේ සස්නෙහි පැවිදිවූවෝ මව වෙත පැමිණියද හඳුන්වා නොදෙති. සොහොයුරු සොහොයුරියන් ගැන කියනුම කිම?


77. මංගණවාසී තෙරුන්ගේ කථාව


හෙළදිව මංගණවැසි බුද්දකතිස්ස තෙරුන් පිළිබඳ ප්‍ර‍වෘත්තියයි. රජතෙම මංගණ පෙදෙසේ වසන ගම් ප්‍ර‍ධානියන් ගෙන්වා මා විසින් වැන්ද යුතු තෙරනමක් ගැන කියව්; ඒ තෙරුන්ට වැඳ පුදා දුගතියෙන් මිදෙන්නෙමි”යි කීය. මංගණ වැසි බුද්දකතිස්ස තෙර සිල්වත් රහත් නමකැ”යි ඔවුහු කීහ. එයැසූ රජ කෝටියක් පමණ පිරිස පිරිවරා ගෙන පස් යොදුනක් පයින්ම ගියේය. තෙරනම රජු එදා එන බව දිවැසින් දැක “රජ මා දැක මට සත්කාර කරන්නේය, මට මේ කලබලවලින් වැඩක් නැත: මා වෙත ගෙනා පිණ්ඩපාතයම ප්‍ර‍මාණය”යි සිතා රජු මුළා කිරීම සඳහා අඳනය දණ දෙක සමීපයට වැටෙන සේ හැඳගෙන පලඟ බැඳ හිඳගෙන පහතට නැමී ලී කැබැල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය. රජතුමා පිරිස දුරින් සිටුවා තෙමේ තනිවම තෙරුන් වසන තැනට ගියේය. තෙරනම රජු ආ බව දැන දැනම හිස නොඑසෙව්වේය. රජතෙම තෙරුන් කියන ක්‍රියාව දැක මේ තෙමේ කර්මාන්ත කරන මහල්ලෙකි; අතේ කලබල ගතියක් අත් නොහැරියෙකැයි”යි කියා එතැනින් හැරී ගියේය.

තෙරනම “මා වැනියන් කෙරෙහි සිත දූෂණය කොට ගෙන අකුසල් රැස් කර ගන්නේ යයි ද රජු එයින් වැළැක්විය යුතුය”යි ද සිතා පිරිනිවි කල්හි කුළු ගෙය අහසින් නුවර යන සේ ද එයින් රජු පහදින ලෙස ද අධිෂ්ඨාන කෙළේය. තෙරුන් පිරිනිවි කල්හි මෘත දේහය කුළු ගෙයි තැබූ විට එය අහසට නැගී යන්ට පටන් ගත්තේය. මිනිස්සු පසු පස්සේ ගියහ. මිනිසුන් විසින් අත් ඔසවා ස්පර්ශ කළ හැකි තරමට එය අහසේ ගමන් කෙළේය; මෙසේ ගොස් ථූපාරාමය ඉදිරියෙහි වූ ගල්සෑය සමීපයට පැමිණිවිට ඒ ගල් සෑය අහසට නැගී තල් ගස් සතක් පමණ උඩ නැවතී සිටියේය. එසේ සිටිවිට මහාව්‍යග්ඝ තෙරුන්ගේ ශිෂ්‍යයෝ “ඔබ වහන්සේගේ මිත්‍ර‍ වූ බුද්දකතිස්ස තෙර පිරිනිවියේ”යි ඒ තෙරුන්ට දැනුම් දුන්හ. ඒ වේලාවෙහි දම්සභාවෙහි සිටි ඒ තෙරනම විජිනිපත අතවැසි නමක් අතට දී අහසට නැගී ඒ කුළු ගෙට ඇතුල්ව එහි වූ දෙවෙනි අඳෙහි හෙව පිරිනිවියේය. පෙර භව වලදී ද මේ දෙනම මිත්‍රයෝ වූහ. බුද්දකතිස්ස තෙර පෙර ධර්මාශෝක මහ රජ වී යයි කියත්.

ඉක්බිති රජුට මේ කාරණය දැන ගන්ට ලැබී “අහෝ, මම තෙරුන් විසින් රවටන ලද්දෙමි”යි කියමින් නොයෙක් ආකාරයෙන් වැලපී කුළුගෙය මහත් සත්කාරයෙන් ගෙනෙන්නට සලස්වා ආදාහන කෘත්‍යය කරවිය. මෙසේ සත් පුරුෂයෝ ස්වකීය ගුණයෙන් තෘප්තියට පැමිණෙති.

(මේ කථාව මින් පෙරත් සංක්‍ෂිප්ත ලෙස මේ පොතේ දක්වන ලදි. එහි අඩු පාඩු පිරිමැසීමට මෙය අගට යොදන ලදැයි සිතමි. නැතහොත් 50 වෙනි කථාවෙන් මෙහා තිබෙන කථා දෙතිස අන්‍යයන් විසින් පසුව එක් කරන ලදැයි සිතිය හැක. මේ අග කොටසේ පරිච්ඡේද බෙදීමාදියක් නොපෙනේ.)

අතිශයෙන් දුර්ලභව නාමමාත්‍රාවශිෂ්ටව පැවති පාලි සිහලවත්‍ථුව සොයා ඉතා වෙහෙසකින් ශුඬ කොට සිංහලට නගන ලද්දේ අම්බලම්ගොඩ අග්ගාරාමාධිපති අග්ගමහා පණ්ඩිතොපාධිය ලැබූ පොල්වත්තේ බුද්ධදත්ත කළ්‍යාණිවංස නිකායේ ප්‍ර‍ධාන නායක ස්ථවිරයන් විසින් බු.ව. 2502 දී ය.


ස - හසසවත්‍ථුව.


මේ නම ඇති පොතේ කථා 95 ක් තිබේ. එබැවින් එය සිහලවත්‍ථුවට වඩා තරමක් විශාලය. ස - හස්සත්‍ථුව සීහළවත්‍ථුවට පසුව සම්පාදිත වූවකි. එහි ව්‍යාකරණදෝෂ බොහෝය. සීහළවත්‍ථුවේ එක් පිටක සදොස් තැන් දෙකක් තිබේ නම් ස - හස්සත්‍ථුවේ එක් පිටක සදොස් තැන් දශයක් දොළසක් සෙවිය හැක. රසවාහිනිය සම්පාදිත වූයේ මේ ස - හස්සත්‍ථුව සකස් කිරීමෙනි. රසවාහිනිය සම්පාදිත වූ පසු “සද්ධර්මාලංකාර” නමැති සිංහළපොතට ඒ කථාවස්තු ගන්නා ලදි. ස - හස්සත්‍ථුව ඉතා කෙටියෙන් දැක් වූ කථා රසවාහිනියෙහිදී තවත් විස්තර යොදා විශාල කොට තිබේ. ස - හස්ස (=සහාස) වත්‍ථුවෙ තත්ත්වය දැන ගැනීම සඳහා එයින් කථා කීපයක අනුවාදය මෙහි දක්වනු ලැබේ.



1. සද්ධාතිස්ස ඇමතියාගේ කථාව


ලක්දිව සද්ධාතිස්ස මහරජු රාජ්‍යය කරන කල්හි “සුලුන්නරු” ගම*[28] වැසි තිස්ස නමැති ඇමතියෙක් අනුරාධපුරයට අවුත් රාජසේවය කොට තමාගේ නිවසට හැරී යන්නේ තාලචතුක්ක*[29] (=තල්ගස් හතර) නමැති තැනකදී සුදර්ශනප්‍ර‍දහනඝරයෙහි*[30] නිවැසි පිණ්ඩපාතික තිස්ස තෙරුන් දැක උන්වහන්සේගේ පාත්‍ර‍ය රැගෙන සිය නිවසට ගොස් ආහාර නොලැබ තමා අත තිබුණු කහවණු අටක් දී බත් මුලක් රැගෙන යන මිනිසෙකුගෙන් එය රැගෙන පිණ්ඩපාතය දුණි. තෙරනම කරුණු සලකා විදසුන් වඩා රහත් වී ඒ බත වැලඳුවේය. එය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා සාධුකාර දුණි. රජතෙම ඒ ඇමතියා ද ඔහුගේ මවුපියන් ද කැඳවා ඔවුන්ට වඩමන් නුවර බත්ගම් වශයෙන් දුන්නේය.

ඉන්පසු කලක “පිටුවල” නම් තැන කඳවුරක් සාදවන කල්හි ජලය දුර්ලභ විය. එකල්හි දෙවිවරු ඔහුට ඉබේ හටගත් විලක් පෙන්නූහ. ඒ විලෙන් පැන් කළයක් ගෙනාවිට ඇමතිතෙමේ කාලඝෝෂා කරවා එතැනට පැමිණි තිස් දහසක් භික්‍ෂූන්ට පැන්දීම කෙළේය. රජුගේ ඡත්‍රයෙහි අධිගෘහීත දේවතාවා නැවත සාධුකාර දුණි. එවිට රජතුමා ඔහු කැඳවා කොටදොර[31]“අන්තරගංගා” නම් තැන ඔහුට නින්දගම්කොට දුණි. එක් දිනක් ඇතුළුගං (=අන්තරගඟ) බලා යන ඇමතියා මොනර මස් කනු කැමති විය. පිරිවරෙහි වූ මිනිසුන් බොහෝ දෙනාගෙන් විමසූ නමුත් මොනරමස් ලබා ගත නොහැකි විය. දේවතාවෝ එය දැක බොහෝ මොනර මස් පිළියෙළ කොට ඔහුට දුන්හ. හෙතෙමේ සංඝයාට ද දී ඒ මස් අනුභව කෙළේය. එය දැක රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාව සාධුකාර දුණි.

පසු කලක රජතුමාට සෑගිරියට ගොස් මේ ඇමතියා සමඟ එක්ව එහි අම්බස්තලසෑය සිරියල් විලේපනයකින් ආලේප කෙළේය. ඒ ඇමතියා දොළොස්දහසක් භික්‍ෂූන්ට සිරියල් පැහැති සිවුරු පූජා කෙළේය. ඒ භික්‍ෂූන් සිවුරු පොරවා ගෙන මහාසෑය වැඳ බස්නාකල්හි රජ ද ඇමතියා ද බලා සිට ප්‍රීතිමත්ව සෝවාන්ඵලයට පැමිණියහ.


2. ඵුස්සදේව මහතෙරුන්ගේ කථාව


ඵුස්සදේවතෙරුන්ගේ කථාව සිහළවත්‍ථුවේ සවෙනි කථාවයි. එහි නැති විස්තරයක් ස - හස්සත්‍ථුවේ තිබෙන බැවින් නැවත එය මෙහි දක්වනු ලැබේ.

කාළකන්‍දරවිහාරවාසී[32] ඵුස්සදේව තෙර නම් සද්ධාතිස්ස මහරජුගේ සොහොයුරියකගේ පුතෙකි.[33] හෙතෙම මුලදී ඵුස්සදේව නමැති ඇමතියෙක්ව සිටියදී තමාගේ දේවිය වූ සුමනාදේවිය සමඟ ගිරිගමට පැමිණ එහි වසන්නේ ඇත්කුස (=හත්‍ථිකුච්ඡි) විහාරය රම්‍යයයි ද ප්‍ර‍තිපත්තිධර භික්‍ෂූහු වෙසෙත් යයිද අසන්නට ලැබී එහි ගොස් මහා දන් දී හත්‍ථිකුච්ඡිවිහාරයේ චෛත්‍යයට පූජා පවත්වා භික්‍ෂුසංඝයා කෙරෙහි සිත පහදවා ගෙන ආසන හා ලෙන් පිහිටි ආකාරය බලා සස්නෙහි පැහැද ගිහියෙන් නික්ම පැවිදිවෙනු කැමතිව ඒ විහාරයෙහි විසූ මහාදේව තෙරුන් සමීපයෙහි පැවිදි විය. ඔහු උපසම්පන්න කළ තෙරනම ඔහුට රහත් බව ලැබීමට හේතු සම්පත් ඇති බව දැක කමටහනක් දී “යම් ලෙණක ආවාසියකු ඇත්නම් එහි වාසය කරව” යි කියා පිටත් කෙළේය. හෙතෙම උපාධ්‍යායන් වැඳ එයින් නික්ම පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ කටකන්‍දරවිහාරය[34] පිහිටුවිය යුතු ස්ථානයට පැමිණ එක් රැයක් කටකන්‍දර ගංතෙර පිහිටි මයිලගසක් මුල[35]වැලි ගොඩක විසීය.

ඒ ගසෙහි උපන් දේවතාවා පසුදා තෙරුන්ට මුවදෝනා පැන් හා දහැටි දඬු දී “කටකන්‍දරගමෙහි පිඬු පිණිස හැසිරෙනු මැනවැ”යි කීය. තෙරනම සිරුර පිළිදැගුම් කොට එගමෙහි පිඬු පිණිස හැසුරුනි. දේවපුත්‍ර‍යා කලින්ම එගමට ගොස් “ඵුස්සදේව තෙරනම පිඬු පිණිස වඩින්නේය; කැඳ බත් ආදිය පිළියෙල කරව්” යයි උද්ඝෝෂණය කෙළේය. ගම් වැසියෝ තෙරුන්ට කැඳබත් ආදිය දී, අවස්හි තෙරුන්ගේ ප්‍ර‍තිඥාව ගෙන කටකන්‍දරගඟ සමීපයෙහි විහාරයක් ගොඩ නංවා තෙරුන් එහි වාසය කර වූහ. එතැන් පටන් ගමට පිඬු පිණිස වඩින තෙරුන් දැක අතරමග කුඹුරු සීසාන මිනිස්සු ගොනුන් අතහැර තෙරුන් වැඳීමට මග දෙපසට ආහ. ඒ විවේකය නිසා තෙරුන් කෙරෙහි සිත් පහදවා ගත් බොහෝ ගොන්නු මරණින් මත්තෙහි දෙව්ලොව උපන්හ. (මෙහි ඉතිරි කොටස සීහළවත්‍ථු අනුවාදයේ දැක්වූ කථාවට සමානයි.)


3. ඉන්‍දගුත්ත මහ තෙරුන්ගේ කථාව


ධර්මාශෝකාධිරාජයන් රාජ්‍යයට පැමිණි පසු දඹදිව අසූහාර දහසක් නගරවල රජවරු ඒ මහ රජු වෙත පැමිණ උපස්ථාන කළහ. දේවපුත්‍ර‍ නගරයේ දේවපුත්‍ර‍ රජ ද තමාගේ පිරිවර සේනාවන් සමඟ අවුත් ඒ මහ රජු බැහැ දැක්කේය. දහම්සෝ මහ රජ ඒ රජු හා පිළිසඳර කතා කොට ඒ පෙදෙසෙහි සිල්වත් ගුණවත් බහුශ්‍රැත තෙරවරු වෙසෙත්දැයි විචාළේය. එවිට දේවපුත්‍ර‍ රජ “මහරජාණෙනි, සීහකුම්බක[36] නම් විහාරයෙහි දහස් ගණන් සිල්වත් ගුණවත් භික්‍ෂූහු වෙති. ඒ භික්ෂූන් අතරෙහි ත්‍රිපිටකය හා අටුවා දරන්නා වූ අතිව්‍යක්ත වූ එසේම ශීලාදිගුණයෙන් යුත් ඉන්‍දගුත්ත නම් මහතෙරනමක් වේ යයි කීය. ඒ තෙරුන් දකිනු කැමති වූ දම් සෝ නිරිඳු තෙමේ “ඔබම ගොස් ඒ තෙරුන් වඩම්වා ගෙන ආව මැනවැ”යි කීය.

එවිට දේවපුත්‍ර‍ රජ සියරටට ගොස් ඉන්‍දගුත්ත තෙරුන් වෙත පැමිණ දහම්සෝමභරජුගේ ආරාධනාව දැන්වීය. තෙරුන් ආරාධනාව පිළිගන්ට කැමති බව දැන්නූ විට දේවපුත්‍ර‍ රජ නැවත පාටලීපුත්‍ර‍යට ගොස් ඒ කාරණය අධිරාජයන්ට දැනුම් දුණි. අධිරාජතෙමේ සතුටට පත්ව තමාගේ ආඥාව පවත්නා ප්‍රදේශයන්හි වසන රජවරුන්ට තෙරුන් වඩින මග සකස් කරන්ට නියම කළේය. දේවපුත්‍ර‍ නගරයේ සිට පාටලීපුත්‍ර‍යට දුර යොදුන් පණස් පහක් විය. ඒ තාක් පෙදෙසෙහි වූ මාර්ගයේ සමනොවූ තැන් සමකොට සුදුවැලි අතුරා තැනින් තැන තොරන් නංවා මලින් සැරසූ කණු හා ධ්වජයෙන් සැරසූ කණු සිටුවා, දෙපැත්තෙහි සිත්තම් කළ බිත්ති නංවා, තැනින් තැන ලැගුම් ගෙවල් ද පිලී ගෙවල් ද කරවූහ. මග දෙපස රඹ තොරන් නංවා පුන්කලස් තබ්බවා නෙලුම් - මහනෙල් පැල සිටුවා තැනින් තැන රන් අබරණින් සැරසූ සුදු කොඩි ගත් ඇතුන් හා අසුන් නවතා එ අතරෙහි පඤ්චාංගිකතූර්‍ය්‍ය වාදනය කරන වාදකයන් හා නැට්ටුවන් හිඳුවා, දිව්‍යකන්‍යාවන් බඳු ස්ත්‍රීන්ට දුම්කබල් හා පන්දම් ගන්ට සලස්වා මෙකී නොකී නොයෙක් ආකාරයෙන් මාර්ගය සරසා චන්‍ද්‍ර‍ාගා නම ගඟ පළලින් යොදුනක් හා ගැඹුරෙන් තුන් ගව්වක් පමණ වූ බැවින් එහි පාලමක් සෑදවීම තමන්ට නොකළ හැකි බැවින් ඒ කාරණය ධර්‍මාශෝකාධිරාජයන්ට දැන්නූහ.

අධිරාජ තෙමේ එහි පාලමක් සැදීම පිණිස යක්‍ෂයන් සොළොස් දෙනෙකුන් යැවීය. ඒ යක්කු*[37] එහි ගොස් ගඟ පතුලේ ගල්පුවරු තබා ඒ මත්තෙහි කණු බැඳ බාල්ක ගසා පළමුවෙන් තාවකාලික පාලමක් සාදා හිමාලය පර්වත පාදයට ගොස් අනෝතත්තවිල සමීපයෙහි හටගත්, සතරඟලක් පමණ කොටසක් රන්කාසි අමුණු හයක් වටිනා, රත් සඳුන් හර ගෙනවුත් අතුරා දෙපස රුවන්තොරන් නංවා රතු පැහැති අත්වැලක් පිහිටුවා මුතුවැලි පිට දිවකුසුම් අතුරා අදිරාජයන්ට ඒ කාරණය දැනුම් දුන්හ. මහරජතුමා තෙරුන් වඩම්වා ගෙන ඒම ඔවුන්ටම භාර කෙළේය. ඔවුන් ගොස් ආරාධනා කළ විට ඉන්‍දගුත්ත මහතෙර සැට දහසක් භික්‍ෂූන් සමඟ ඒ සැරසූ මගට බැස දේවපුත්‍ර‍ රටවැසියන් විසින් සුවඳ-මල්-දුම් ආදියෙන් පුදන ලදුව චන්‍ද්‍ර‍බාගා ගඟ මත්තෙහි වූ ඒ පාලමට පැමිණ “මෙවැනි පූජාසත්කාර ලබන අන්තෙරනමක් දඹදිව නැතැ”යි සිතා මානය උපදවා ගෙන නැවතී සිටියේය. එකල්හි එක් රහත් නමක් මේ තෙරුන්ගේ මානනිශ්‍රිත අදහස දැක “මෙවැනි පූජා සත්කාර ලැබීමට සුදුසු සේ ඔබගේ සිත පිරිසිදු කොට ගෙන සත්කාර කරන්නන්ට මහත් ඵල ලැබෙන සේ ක්‍රියා කළ මැනවැ”යි කීය. එවිට ඉන්‍දගුත්තතෙරනම පාලම අඩ සිටි සැට දහසක් භික්‍ෂූන් දෙස බලා සංඝානුස්මෘතිය උපදවා ගෙන රහත් ඵලයට පැමිණියේය. ධර්මාශෝක මහරජ තෙරුන්ට පෙර ගමන් කොට මහාපූජාසත්කාරයෙන් තෙරුන් පිළිගෙන තෙරුන්ගෙන් බණ අසා පැහැදී මහාවිහාරයක් කරවා තෙරුන් සහිත සැට දහසක් භික්‍ෂූන් එහි නවත්වා මහදන් දුන්නේය. තෙර නම අටුවා සහිත ත්‍රිපිටකය බොහෝ භික්‍ෂූන්ට උගන්වමින් කලක් එහි වැඩ සිට එහිදීම පිරිනිවියේය. රජතුමා එතුමාගේ ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් බැන්ඳවීය.


4. තම්බසුමන තෙරුන්ගේ කථාව


සීහළවත්‍ථුවේ 44 වෙනි කථාව තම්බසුමන තෙරුන් ගැනය. එහි ඒ තෙරුන්ට ඇඹුල් කැඳක් දුන් දුගී මිනිසකු ඊළඟ ආත්මයේදී සාතවාහන රජකුලයෙහි උපන් බව කියවේ. ඒ තෙරුන්ගේ මුල් කාලය පිළිබඳ ප්‍ර‍වෘත්ති ස-හස්සවත්‍ථුවේ එන ඒ නමින් යුත් කථාවෙන් දත හැක. හේ මෙසේයි:

ලක්දිව සද්ධාතිස්ස මහරජු රාජ්‍යය කරවන කාලයේ දී එක් රාජපුරුෂයෙන් රාජකාර්යයක් සඳහා “කොට්ටසාල” නම් ගමට ගියේය. එගම්වැසි මිනිස්සු ඔහුගේ දාවල් ආහාරය සඳහා ගිතෙල් සහිත බතක් ගෙනාහ. ඒ අවස්ථාවෙහි පිඬු පිණිස යන එක් භික්‍ෂුනමක් එතැනට පැමිණියේය. රාජ පුරුෂයා තමාට ලැබුණ ඒ ආහාරය භික්‍ෂුනමට දුණි. රාජකාර්ය නිමවා හැරී ගිය පුරුෂයා පසු කලක මිය ගොස් වල්ලවහ නැමති ගමේ[38] පවුලක උපණි. සුමන යන නම් ඇතිව වැඩුණු හෙතෙමේ විවාහයක් කරගෙන වසන්නේ ගිහිගෙයි කලකිරී බ්‍රාහ්මණරාම විහාරයට ගොස් පැවිදි වී “තම්බසුමනතෙර” යයි ප්‍ර‍කට විය. ඒ තෙරුන්ට දොළොස් වස් ඇති කල්හි බැමිණිතියාසාය හට ගත්තේය. තෙරනම තමන් ආශ්‍ර‍ය කොට වසන භික්‍ෂූන් අමතා “දඹදිවට යමු”යි කීය. ඒ විහාරයෙහි මහතිඹිරි ගසේ උපන් දේවතාවා තෙරුන් දඹදිව යන්ට සැරසෙන බව දැක “මාගේ ආර්යයන් වහන්සේගේ ආරක්ෂාවත් ආහාරයත් මට බාරය”යි කියා තෙරවරුන්ගේ ගමන වලක්වා දිව්‍යමය ආහාරත් වස්ත්‍ර‍ත් තෙරුන්ට දෙන්ට පටන් ගත්තේය. තම්බසුමනතෙරුන්ට දුන් ආහාර හා වස්ත්‍ර‍ පන්සියයක් භික්‍ෂූන්ට සෑහෙන තරම් විය. අවුරුදු දොළසක් ඉක්මී දුර්භික්‍ෂභයාදිය අවසන් වූ විට තෙරනම භික්‍ෂූන් සමඟ ආරාමයෙන් පිට වී චාරිකාවෙහි හැසිරෙමින් අනුක්‍ර‍මණයෙන් කඩරොද නම් ගමට පැමිණියේය. එහි පිඬු පිණිස හැසිර ආහාර ලබාගෙන වැළඳීම සඳහා වාඩි වූ ඇතැම් භික්‍ෂූහු අහස වළාකුළින් ගැවසී හිරු නොපෙනුණු බැවින් වෙලාව ගැන සැක සිතා නොවළඳා හුන්හ.

තෙරනම ගල් කැබැල්ලක් ගෙන අහසට දැමීය. එය හිරු මෙන් ආලෝකය පතුරුවමින් අහසෙහි සිටියේය. එවිට භික්‍ෂූහු දන් වැළඳූහ. එතැන් පටන් ඒ ස්ථානය “මණිසූරිය” (=මින්නේරිය) නමැත්තෙක් විය. තෙරනම එතැනින් නික්ම මහවැලි ගඟ සමීපයේ චුල්ලතවාම[39] නම් ගමේ පිඬු පිණිස හැසිර ගං ඉවුරෙහි වැඩහුන් භික්‍ෂූන් රූක්‍ෂ බතක් වළඳන බව දැක ඇවැත්නි, සුවඳ ගිතෙල් සමඟ බත් අනුභව කළ මැනවැ”යි කියා පෙර භවයේදී තමා භික්‍ෂු නමකට දුන් ගිතෙල් සිහිකොට ගඟ දෙස බැලීය. එවිට වලගම්විහාර තොට පටන් භත්තභුත්තක තොට[40] දක්වා යොදුනක් තැන්හි ජලය සුවඳ ගිතෙල් බවට පත්විය. භික්‍ෂූහු එයින් ගිතෙල් ගෙන බත් හා අනුභව කළහ. ඒ ප්‍ර‍වෘත්තිය ඇසූ අවට ගම්වල මිනිස්සු කල-මුට්ටි ආදී භාජන ගෙනවුත් ගිතෙල් පුරවා ගෙන ගියහයි කියත්.


5. සංඝ ඇමතිගේ කථාව


(භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව සීහළවත්‍ථු අනුවාදයේ 102 වෙනි පිටේ සිට දැක්වේ. එහි විස්තර වශයෙන් කියවෙන්නේ ඒ ඇමතියාගේ බිරිඳ බවට පත් කුමරිය ගැනයි. ඇමතියාගේ මුල් කාලය පිළිබඳ ප්‍ර‍වෘත්ති ස-හස්සවත්‍ථුවෙන් ගෙන මෙහි දක්වනු ලැබේ.

ලක්දිව මාගම විසූ එක් ඇමතියෙකුට උත්තමරූපධර දුවණියක් ලැබුණි. ඇය පයින් යන කාලය පැමිණි විට පුතෙක් ලැබුණි. ඕ හට සංඝ යයි නම තැබූහ. ඒ කුමරු සත් හැවිරිදි කල්හි පියතෙමේ මරණාසන්නව දෙටු දියණිය තමන් වෙත කැඳවා පුත්‍ර‍යාගේ අත ඇගේ අතෙහ තබා “මාගේ පුතා වැඩිවියට පැමිණි පසු මේ දේවල් දෙව”යි කියා තමා හැඳි ලක්ෂයක් වටිනා වස්ත්‍ර‍ යුග්මය ද තමාගේ කඩුව ද මහසිරිය (=කිරිච්චිය) ද බාර දී මළේය. එකුමරු දොළොස්හැවිරිදි වියට පැමිණි කල්හි රූපයෙන් ද කාය බලයෙන් ද මුළ මාගම්හි ප්‍ර‍කට විය. ඒ කාලයේදී ලක්දිව බැමිණිතියාසාය ඇතිවිය. එවිට සංඝ කුමාර තෙමේ භය සංසිඳුණු පසු එන්නෙමියි කියා සොහොයුරිය ගෙයිම නවතා පිටිසරට ගොස් වාසය කොට භය සංසිඳුණු පසු මාගමට ඇවිත් නැවතුණි. එකල්හි කොටගල වසන මහානාගතෙර නම මුළු මාගම පිඬු පිණිස හැසිර ආහාර නොලැබ හැරීයන්නේ සංඝ කුමරා විසින් දක්නා ලදි. “ස්වාමීනි, අහර ලැබුණේදැ”යි විචාළ විට තෙරනම “ලැබෙනවා ඇතැ”යි කීය. “එවිට ඇමතියා “ස්වාමීනි, මෙහි ටිකක් නවතිනු මැනවැයි” කියා ගෙට ගොස් පිළියෙළ වූ ආහාරයක් ඇද්දැයි සොහොයුරියගෙන් විචාරා “නැතැයි කී විට දහසක් වටිනා මුක්තාභාරයක් ගෙන වහා ගොස් එය උකස් තබා කහවණුවක් අගනා ආහාර ලබාගෙන වුත් තමා එය ලබාගත් ආකාරය කියා තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම එය රැගෙන තමන් වසන තැනට ගොස් අවවාද කොට විදසුන් වඩා රහත් වී ආහාරය වළඳී. එය දැනගත් අනුරාධපුරයේ රජුගේ ඡත්‍රයෙහි අධිගෘහීත දේවතාව සාධුකාර දුණි. රජු එය’සා කාට සාධුකාර දුන්නේදැයි විමසූ විට “සංඝාමාත්‍යයාටය”යි දේවතාවා කීය.

ඉන්පසු ඇමතියා පියා දුන් ලක්ෂයක් වටිනා වස්ත්‍ර‍ දෙක සොහොයුරියගෙන් ඉල්වාගෙන එයි සායම් පොවා ගෙයි තැබීය. එක් දිනක් ගොළු මුහුදේ නෑමට ගිය ඒ ඇමතියා එහි නානවිට රන්මාල දහසකින්[41] පිරි ඔරුවක් රළවේගයෙන් අවුත් ඔහුගේ බෙල්ලේ හැපුණි. ඇමතියා එය අතින් ගසා ඈතට තල්ලු කළේය. නැවත නැවත එය ඇවිත් ඔහුගේ ඇඟේ හැපෙන විට එය ගොඩට ගෙන තබා කඩුවෙන් පැළීය. ඔරුව තුළ පිරී තිබුණු රන්මාල දැක ගෙට ගෙන ගොස් සොහොයුරියට දුණි. පසු දිනක හෙතෙම ලක්ෂයක් වටිනා වස්ත්‍ර‍ ජෝඩුව හැඳගෙන කඩුව කරේ එල්ලාගෙන නුවරට*[42] යන්නට පිටත් විය. එකල්හි එක් භික්‍ෂුනමක් “තිඹිරිගමුව” නම් ගමේ පිඬු පිණිස හැසිර කිසිවක් නොලබා නික්මුණි. ඇමතියා ඒ භික්‍ෂුව දැක තමා පොරවා තිබුණු පණස් දහසක් වටිනා වස්ත්‍ර‍ය දී බත් රැගෙන ඒ භික්‍ෂුනමට දුණි. භික්‍ෂුනම එය ලැබුණු ආකාරය සලකා විදසුන් වඩා රහත්ව අනුභව කළේය. එය දැක රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා සාධුකාර දුනි. රජතෙම කාට සාධුකාර දුන්නීදැයි විචාළ විට සංඝමාත්‍යයාට යයි දේවතාවා කීය.

දේවගිරිවිහාරවාසී එක් භික්‍ෂු නමක් වාතාබාධයකින් දොළොස් අවුරුද්දක් පෙළීය. එක් දිනක් ඒ තෙරනම හෙරණනමක් අමතා භික්‍ෂාවෙහි හැසිර ගිතෙල් ටිකක් සපයාගෙන එවයි කීය. හෙරණනම සිවුරු පොරවාගෙන මුළු ගමේ ඇවිද ගිතෙල් බින්දුවකුත් නොලැබ ගමෙන් නික්ම ගියේය. එකල්හි සංඝමාත්‍යයා ඒ සාමණේරයන් දැක “ස්වාමීනි, කුමක් සොයමින් ඇවිදින සේක්දැ”යි විචාළේය. හෙරණනම තමා ආ කාරණය කීය. “එසේ නම් ස්වාමීනි, ටික වේලාවක් මෙහි නතරවුව මැනවැ”යි කියා ඇමති තෙමේ තමාගේ සිරිය (=කිරිච්චිය) උකසට තබා කහවණු අටක් වටිනා ගිතෙලින් ගෙනා තලිය පුරවා දුණි. හෙරණනම එය ගෙන ගොස් ලැබුණු ආකාරය තෙරුන්ට කියා පිළිගැන්වීය.

තෙරනම එයින් බෙහෙත් තෙලක් සාදවා නස්‍ය කොට ඉතිරි තෙල්වලින් බුද්ධ පූජා පිණිස පහන් දැල්වීය. ඒ නස්‍යයෙන් දොළොස් අවුරුද්දක් පැවති ඒ වාතාබාධය සුව විය. එයින් සිත එකඟ කර ගත හැකි වූ තෙරනම විදසුන් වඩා රහත් විය. එය දුටු දේවතාවා නැවතත් සාධුකාර දුණි. රජ පෙරසේම විචාරා සංඝාමාත්‍යයාට සාධුකාර දුනිමියි කී විට සතුටු සිතැතිව “සංඝාමාත්‍යයා සොයා ගෙනාවෙකුට මහත් පරිත්‍යාගයක් කරන්නෙම්”යි නුවර බෙර හැරසුරු විය.

ඉක්බිති ධනය ලබනු කැමති මිනිස්සු නුවර දොරටු සතරෙන් නික්ම ඒ ඒ තැන සොයන්නට පටන් ගත්හ. නැගෙනහිර දොරටුවෙන් නික්මුණු ඇතැම් කෙනෙක් යන එන මිනිසුන්ගෙන් විචාරමින් මග අසළ නැවතී සිටියහ. එකල සංඝ ඇමතියා විඩාපත්ව එක් වස්ත්‍ර‍යක් ඇඳගෙන කඩුව එල්වාගෙන මිත්‍ර‍වැව[43] සමීපයට පැමිණියේය. එක් මිනිසෙක් ඔහු දැක “මේ සංඝාමාත්‍යයා විය හැකැ”යි කීය. තවත් අයෙක් “තමාගේ කඩුව තමාම රැගෙන තනිව එන මේ මිනිසා ගැන රජතුමා බලාපොරොත්තු වන්නේදැ”යි කීය. මෙසේ ඔවුනොවුන් කථා කරමින් සිටියදී අන් මිනිසෙක් ඇමතියා ඉදිරියට ගොස් ඔහුගේ කම් ගොත් විචාරා ඔහුගේ අතින් කඩුව ඉල්වාගෙන ඔහු කැටිව ආයේය. එකල්හි සෑගිරියෙහි විසූ ආරණ්‍යක ධම්මික තිස්ස තෙරනම සෑමලු බෝමලුවලට ගොස් බඳ පටියක් සෙවීය. ඇමතියා තෙරුන් දැක තමා හැඳි වස්ත්‍රයෙන් කොටසක් ඉරා තෙරුන්ට දුණි.[44]

තෙරනම එය බැඳගෙන ඇතුල් නුවරට පිවිසියේය. දේවතාවා පෙර සේම සාධුකාර දුණි. රජතෙම සාධුකාර දීමට හේතුව විචාරා දැන ගත්තේය. සංඝ ඇමතියා නුවරට ඇතුල්ව රජු දැලි රැවුල කප්පවන අවස්ථාවේදී රජ ගෙට පැමිණ තමා පැමිණි බව රජුට දන්වා යැවීය. සතුටු සිතැති රජතෙමේ ඔහු ගෙන්වා ඔහුට මහ වියනක් ද භාණ්ඩාගාරික තනතුරක්ද දුන්නේය. මෙසේ මහත් සම්පත් ලැබූ හෙතෙමේ එක් දිනක් නෑම සඳහා තිසා වැවට ගියේය.

(මෙතැන් සිට සීහළවත්‍ථු අනුවාදයේ 102 වැනි පිට පටන් කියවෙන සොහොයුරු සත් දෙනගේ හා නැගණියගේ ප්‍ර‍වෘත්ති මෙහි දැක්වේ. දුර්භික්ෂය නිසා ඔවුන් වනයට යද්දී කැඳවාගෙන ගිය තෙරනම සුදස්සනපධානඝරවාසී චුල්ලනාගතෙර යයි මෙහි කියවේ. භය සංසිඳුණු පසු අනුරාධපුරයට යන ඒ අටදෙන තිසා වැව ඉවුරට පැමිණි විට මහවැස්සක් පටන් ගත්තේය. කුමරියගේ සොහොයුරෝ සත් දෙන වහා දුවගොස් “මාළේලිය” ගමට ඇතුල්වූහ. නමුත් තරුණිය ප්‍ර‍කෘති ගමනින් ම ගියාය. ඇය දුටු භාණ්ඩාගාරික ඇමතියා “මෙවැනි හිරිඔතප් ඇති කුමරියක් මින් පෙර නොදුටුවෙමි”යි සිතා සතුටට පත්ව ඇගේ විවාහක අවිවාහක බව දැන ගැනීම සඳහා මිනිසුන් යැවීය. ඇය අවිවාහක බව කී විට ඇමතියා සොහොයුරන් විචාරා ඇය විවාහ කොට ගත්තේය.


6. මූදේ පීනා ගිය ස්ත්‍රියගේ කථාව


මෙලක්දිව මහවැලි ගඟ අසළ පිහිටි සේරුවිලට නුදුරු තැන මහාකාරකන්‍ද[45] නම් ගමක් විය. එහි ධනවත් පවුලක මිනිස්සු උදුම්බරවිහාරයෙහි (=දිඹුලාගල ?) සමසකට වරක් පවත්වන අරියවංසධර්මදේශනාව ඇසීමට යනු කැමැතිව සහල් - මස් - මාලු - රසකැවිලි ආදී උපකරණ රැගෙන තරුණ භාර්යාව පමණක් ගෙයි නවත්වා ඈට යතුර දී බාර කොට ගියහ. ඔවුන් ගිය කල්හි ඒ ගම්දැරි “අහෝ, මෙවැනි ධර්මදේශනාවක් අසන්නට නොලැබීම මාගේ අභාග්‍යයකැ”යි සිතා අසළ ගෙයක වසන මිතුරු දැරියක් කැඳවා ගෙයි යතුර ඇයට බාර දී තොමෝ මූද අසළට ගොස් සක්කගංමෝයෙන්[46] එතෙර වී තෝමනරතොටට[47] පැමිණියාය. එහි ඔරු පාරු ආදියක් නොවූ බැවින් ඕ තොමෝ ඉතා පළල් වූ ඒ ගං මෝය පීනා එතර වන්නෙමියි සිතා තමාගේ ශ්‍ර‍ද්ධාව සිහිපත් කොට ගෙන පීනන්ට පටන් ගති. එවේලෙහි මහත් කුණාටුවකින් මූද කැළඹී ගියේය. රැළ මැද පාවෙන ඇය දුටු මෝරෙකු අවුත් ඇය අල්වා ගත් නමුත් ඇගේ සම වත් සිදුරු කරන්ට අසමර්ථ විය. දෙවෙනි තෙවෙනි වාරවලදීත් එසේම සිදුවිය. ඉක්බිති ඈ මූදෙන් ගොඩ වී උදුම්බරවිහාරයට පැමිණ චෛත්‍යයත් බෝධියත් වැඳ පිරිස් කෙළවරේ සිට බණ අසා සෝවාන් ඵලය ලැබීය. රැය පහන් වූ කල්හි ඇගේ සැමියා හා මාමණ්ඩිය දැක තමා කළ දේ විස්තර වශයෙන් කීය.

ඉක්බිති ඔවුන් හා ගමට ගිය ඒ ස්ත්‍රිය තම හිමියාගේ හිසේ පැළඳ තිබුණු මල්මාලාව ඉවත් කරන්නී අනිත්‍ය ස්වභාවය මෙනෙහි කොට තමාට පැවිදි වීමට අවසර දුන මැනවයි ස්වාමියාට කියා ඔහුගේ අවසරය ලැබුණ පසු ඒ ගම අසළ පිහිටි භික්‍ෂුණී ආශ්‍ර‍මයට ගොස් තම මවගේ සොහොයුරිය වූ සුමනාතෙරණිය වෙත පැවිදි වූවාය. පසු කලක මහාදැළි මහනා (=මහාදාඨිකමහානාග) රජ කරවූ ගිරිභණ්ඩ මහා පූජාව දැකීමට උපාධ්‍යාය තෙරණියන් සමඟ යන්නී ඒ රකවනදොරට පැමිණ[48] කමටහන් වඩා රහත් විය.

සංඥානාමාදි සුචිය


අච්චමන්තසෙල 65 ආජීව පාරිශුද්ධිය 140

අජිත 4 ආලෝක සෑය 1387

අජිත දිව්‍ය පුත්‍ර‍යා 109 ආළාර බාල 53

අජිතාවිහි 87 ඇල්හාල් පිරුණු ලබු 94

අඩවතක් දුන් ස්ත්‍රිය 121 ඉන්දගුත්ත තෙර 176

අතිදෙව රජ 125 උක්පැණි 126

අන්තරගංග 173 උතුරු දඹදිව 98

අන්තරද්වීපය 129 උදුම්බර විහාරය 184-185

අන්ධකාර සෑය 145 උදේනි රට 64

අධාර්මික රාජ කාලය 126 උපසිංහ විහාරය 62

අනුරාධපුරය 172 උසභමිත්ත 162

අනොතත්ත විල 177 කටකන්ද විහාරය 174

ආන්ද්‍ර‍රාජ්‍යය 148 කටකන්ද ගම 174

අම්බඛාදක තිස්ස තෙර 167 කකුසඳ බුදු රජ 40

අම්බස්තල සෑය 173 කඩරොද 114-159

අරියවිහාර වාසි 158 කනපියපුත්ත තිස්ස 79

ධම්ම ගුත්ත තෙර 158 කණ්ටකසෝල පටුන 128

අශෝක රජ 133, 72 කප්පතලගම 98

අසදෘශ පූජාව 134 කප්පතිලක විහාරය 98

අසෝක මාලිනී 26 කම්පුව ගම 156

කම්බුද්ධ උපාසකයා 94 කුණ්ඩලතිස්ස තෙර 132

කම්බෝජ ගම 9 කුමරියන් සිවුදෙනා 140

කාමාරයා 27 කුවේරයා 90

කරකොළ දන්දීම 95 කුස ලෙණ 81

කසීරට 43 කෘෂිප්‍රේතයා 42

කංගු කම 108 කේලාසපබ්බත විහාරය 99

කාංගු පර්වතය 108 කේශධාතු 10

කාකද්දවී 100 කෛලාශ පර්වතය 106

කකද්දවී මහාචූළී 100 කොටගල 180

කාකවණ්ණ තිස්ස 123 කොට්ටසාලගම 178

කාලදානය 113 කොණ්ඩපූදී 52

කාවේරි පටුන 40-36 කොන්ති කින්නරී 73

කාළකන්දර ලෙණ 19 කොන්තිපුත්ත තෙර 72

කාලකන්දර විහාරය 141 කොරණ්ඩ ලෙණ 149

කාලකන්දවාසි තිස්ස තෙර 138 කොංගු ධාන්‍ය 108

කාශ්‍යප බුදු රජ 43 කෝකානිජකණ්ඩ ගිරි 68

කැලණි තිස්ස රජ 120-123 ක්‍රොශය 38

කිකී රජ 43 බුද්දකතිස්ස තෙර 150

කිඳුරියෝ 74 ගන්ධාර සොරා 70

කිරිවෙහෙර 95 ගල්කණු ප්‍රේතයා 40

කුන්ත රන්කරු 103 ගල් ප්‍රේතයා 37

කුටුම්බියපුත්ත තිස්ස 88 ගල් සෑය 170

ගිතෙල් දෝනා දෙන 86 චූළී උපාසකයා 100

ගිරිගම 159 චේසීගම 96

ගුරුභක්තිය 145 තම්බසුමන 178

ගොඩ නාරජ 144 තම්මණ 10

ගොන් ප්‍රේතයා 51 තරුණ භික්ෂුනීන් දෙදෙන 143

ගොන් රූපය 161 තලගුරු වෙහෙර 157

ගොළු මුහුද 170 තාලචතුක්ක 162

චතුධාතුවවත්ථානය 143 තාම්‍ර‍පර්ණි දිවයින 105

චන්ද්‍ර‍භාගා ගඟ 176 තිස්ස 4

චික්ඛිණ්ණ නගරය 67 තිඹිරි ගමුව 181

චිත්තගුත්ත තෙර 149 තිස්ස ඇමතියා 110

චිත්තගෝ විහාරය 56 තිස්ස උපාසකයා 115

චිත්තාභ තෙර 58 තිස්ස සන්නාලියා 1

චීනයට ගිය භික්ෂු 129 කුවරකනාග තෙර 133

චුල්ලතවාම ගම 179 තෙචීවරික 151

චුල්ලතිස්ස 73 ථේරපුත්තාභය තෙර 108

චුල්ලනාග 184 දකුණු ගිරි විහාරය 166

චුල්ල පිණ්ඩපාතික තිස්ස 12 දකුණු දළදාව 9

චුල්ල සුමනා 140 දහම්සෝ රජ 106

චුල්ලී උපාසිකාව 79 දිව්‍ය වස්ත්‍ර‍ 109

චූලගිරි 152 දීඝභාණක අභය තෙර 151

චූලගිරි - මහාගිරි 150 දීඝාවුගම 49

දීඝාවූ චෛත්‍යය 49 පර්වත විහාරය 47

දුගී ගොවියා 115 පර්වතාශ්‍රිත සෙනසුනක් 160

දුටුගැමුණු රජ 107 පළොල් ගස 144

දුටුගැමුණු පාටලී පුත්‍ර‍ 98-139

රජුගේ මරණය 107 පාටලී සෑය 134

දේවපුත්‍ර‍ නුවර 176 පිණ්ඩපාත විශුද්ධිය 135

දේවපුත්‍ර‍ රජ 176 පිණ්ඩපාතිකකිස්ස 162

ධම්මගුත්ත තෙර 158 පිටුවලගම 173

ධම්මදින්න තෙර 128 පියංගු දීප 79

ධම්මදින්න තෙර 33 පුණ්ණවෙඨිලුගම 95

ධම්මිකතිස්ස 175 පොත්ථීය 72-75

ධර්ම චෛත්‍යය 166 පෝරිමාසී ගඟ 53

ධර්මශෝක රජ 170 ඵුස්සදේව තෙර 18

ධාර්මික රජ 126 බත්මුල දීමේ විපාකය 157

නාගතෙර 106 බත්බුන්නාතොට 175

නාගදීපය 144 බණ ඇසූ මත්ස්‍යයා 164

නිස්සදන දනව්ව 35 බෝපිටිය 48

පට්ටකොට්ටි විහාරය 33 බැමිනිතියාසාය 172

පඨවීවාලක ධම්මරක්ඛිත තෙර 138 බ්‍රාහ්මණතීයභය 167

පතාක ප්‍රේතයා 49 භද්‍ර‍ඝටය 161

පර්වත චෛත්‍යය 100 භාණ්ඩාගාරික තිස්ස 180

භූමංගනගම 4 මහානාග තෙර 180

මජ්ඣන්තික - මහානාග - චුල්ලනාග 168

සෝණතෙර 147 මහානිධි පර්වතය 60

මනොරම මයුරමංස තෙර 13 මහමෙර මුදුන 100

මලයගිරි වැසි තෙරනම 158 මහා විහාරය 145

මලය තෙර 8 මහාව්‍යග්ඝ තෙර 133

මලය මහාදේව තෙර 123 මහාසුම්ම තෙර 154

මහසෑපූජාව 133 මහාසේන රජතුමා 149

මහලී රට 115 මහාසංඝරක්ඛිත තෙර 158

මහවනය 35 මාගම 89

මහවැලි ගඟ 164, 9 මාතුදේවිකා නාගි 143

මහාකාරකන්‍දගම 184 මානවක ගම 158

මහාකොට්ටි දේව 135 මාලෙය්‍ය තෙර 13

මහාකොණ්ඩ 36 මාලෙය්‍ය දේව තෙර 105

මහාකොණ්ඩ පටුන 40 මාලේලියගම 184

මහාගාම 103 මිත්ත තෙර 99

මහාතිස්ස 73 මින්නේරිය 179

මහාදත්ත 12 මිත්‍ර‍ වැව 183

මහාදේව තෙර 123 මිලක්ඛ දේශය 129

මහාදේව උපාසකයා 34 මූදේ නා රජ 144

මහාධම්මනන්දි තෙර 164 මූලගිරි 166

මහාධම්මරක්ඛිත තෙර 132 මෙතේ බෝසත් 3, 11

මංගණවාසි බුද්දතිස්ස තෙර 169 වනචරකයෝ 74

යෝනක ධම්මක්ඛිත තෙර 138 චල්ලවහ 178

රත් සඳුන් පුටුව 144 වල්ලවහ 178

රන්තලිය 63-86 වාමවනද්දිගම 52

රසවාහිනිය 172 විචෙය්‍ය දාන වස්තුව 35

රාජකුලුපග තෙර 144 විල්ගම 90

රිදී ගොඩක් 163 විහාරදේවී 123

රිදී පර්වතය 163 ශක්‍ර‍යා 151

රුහුනේ අනුරාධ විහාරය 110 ශෛල චෛත්‍යය 132

රේවත මහතෙර 98 සඟබතට අන්තරාය කළ

රෝහණ තෙර 160 ප්‍රේතයා 47

රෝහණ පර්වතය 48 සංඝ ඇමති 180

ලජ්ජි තෙර 149 සණ්ඩකොන්ති විහාරය 55

ලජ්ජි සාමණේර 136 සතික කඩරොද 146

ලබුගෙඩි තුන 94 සඳුන් පලඟ 133

ලම්බකර්ණ වංශික 157 සද්ධර්මාලංකාරය 157, 164

ලම්පකදණ්ඩ යුද්ධභටයා 142 සද්ධාතිස්ස රජ 86-172

ලෝණකතිස්ස 5 සද්ධාසුමන තෙර 150

ලෝකුරු කුන්ත 103 සහල් ප්‍රේතයා 44

ලෝහ ප්‍රාසාදය 107 ස - හස්සවත්ථු 174

වඩමන් නුවර 173 සාහුථල පෙදෙස 53

සාතවාහන රාජකුලය 178 සුරට්ඨ ජනපදය 55

සාලිය කුමරු 26 සුලුගම 78

සාංදෘෂ්ටික දානඵලය 90-139 සුලුන්නරුව 172

සෑගිරිය 134-141 සේතපබ්බත 81

සිග්ගව තෙර 56 සේරුවිල 184

සිතුල් පව්ව 140 සෝකධුමික 93

සිපණ්ණ ගස 134 සෝණ නමැති බාලයා 140

සීරළු සොරා 70 සංඝරක්ඛිත තෙර 151

සීසාන ප්‍රේතයා 42 හිරිතාලගම 6

සීහකුම්බක විහාරය 176 හත්ථිකුච්ඡි විහාර 176

සීහළවත්ථු 174 හරිතාලතිස්ස 4, 6, 7

සිංහ ලකුණ ඇති කඩුක්කම 109 හා මස් පිළිබඳ කථාව 124

සුදස්සනපධානඝර 184 හියුං සියං මහතෙර 166

සුමනා 5 හිසකෙස් කපා 90

සුමනා දේවිය 176 හංකාලා 84

සුමනා තෙරණිය 185 හංකාල ගම 84

සුමනා බාලිකාව 118


[1] * මේ ඉලක්කම් පාළි පොතේ ගාථාවල අංකයි.

[2] පාලි පොතෙහි ‘ලොණපණ්ණයයි පෙනේ. රසවාහිනියෙහි අරියගාලතිස්ස කථාවෙහි “උදකලොණමත්තෙන” පෙනේ. එය “ලුණු දියර සමඟ” යයි තේරිය හැක. එහි ම-පකාරය ප-කාරය වුවොත් “උදකලොණපත්තෙන” යි ලොණපණ්ණ යන්නට සමාන දෙයක් ලැබේ. ලුණුවිල කොළ යයි මම සිතමි.

[3] උණ්හීස නම් නලල්පටක් බැන්දාසේ පෙනෙන හිසේ පිහිටීමකි.

[4] උතුරු ඉන්දියාවයි.

[5] වින්ධ්‍යා මහවනය විය හැක.

[6] බඹ පන්සියයක දුර ක්‍රෝශයකි.

[7] මෙය දීඝවාපි මහසෑය විය යුතු. දීඝාවු කුමරා විසූ පෙදෙසෙහි වූ බැවින් පුරාණයේදී එය දීඝාවුචෛත්‍ය යයි ප්‍ර‍කට විය.

[8] මෙය “රජනපචන ලොහභාජන = පඬු තම්බන ලොහො බඳුන යයි නිගමන ගාථාවක දකින්ට ලැබුණි.

[9] ඊතල දමන පසුම්බිය

[10] මෙහි කාන්තාරයයි කියන ලද්දේ ගස් ආදිය නැති වැලි කතරකට නොවේ. වාලකාන්තාරයයි කියනු ලබන චණ්ඩමෘගයන් ඇති පෙදෙස විය යුතුයි.

[11] මේ ඇඳුමට “පොත්ථි” යයි නමක් පෙනේ. එය ගවොමක් වැනි එකකැයි සිතිය හැක. ඔවුන් අහසින් යන්නේ ඒ ඇඳුමේ බලයෙනි. ථෙරීගාථාවන්හි “නික්ඛිප පොන්තිං ච ඝටිකං ච” යන්නක් පෙනේ. එහි පොන්තී යයි කීවේ හිඟන්නාගේ ඉන කඩටයි. එයත් “පොත්‍ථි” විය යුතුදැයි නොදනිමි. මෙහි නම් පොත්‍ථි යන්න කීප තැනකම තිබේ.

[12] “සුළුගල” විය හැක.

[13] පූර්‍වාන්න නම් ඇල් වී අමු මෙනේරි ආදියයි. අපරාන්න නම් මුං මෑ ආදි ඇට වර්ගයි.

[14] දානයෙන් මෙලොව දී ලබන විපාකය.

[15] මේ උපමාවේ ගැලපීමක් නැත. පෙළ තවම ශුද්ධ නොවූවා විය හැක.

[16] මෙතැන සම්බන්ධයක් නොපෙනේ. ගෙයි උයා තැබූ මස් සාලි කුමරුට ගෙන ගියේ කුමක් හෙයින්දැයි ප්‍ර‍කට නොවේ.

[17] එක් වරක් ගෙඩි හටගෙන මැරීයන මිරිස් ආදි ගස් ඖෂධී ගණයට ඇතුළත් වෙති.

[18] මිලක්ඛ = ම්ලෙච්ඡ දේශයයි කියනු ලබන්නේ ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණාදී කුල සතර නොපවත්නා දේශයකි. බුරුම සියම් චීනාදි රටවල මේ භේදය නැත. එබැවින් ඒවා ම්ලේච්ඡ දේශයයි ඉන්දීයවාසීහු කියත්.

[19] මාර්ගඵල ලැබීම සඳහා පිරිසිදු සිල් රකින පුද්ගලයෝ

[20] මෙය චුලොදර - මහොදර දෙදෙනාගේ කථාවම බව පෙනේ. අන් පොත්වල මිනිපලඟක් කියවෙතත් මෙහි කියවෙන්නේ රත් සඳුන් පුටුවකි.

[21] චොරිකායි පාළිපොතේ පෙනෙන බැවින් මෙසේ සිංහලට නගන ලද නමුත් ඒ වචනය සැක සහිතය.

[22] පොත්‍ථිය කුමක්දැයි හරිහැටි තේරුම් ගත නොහැක. කිඳුරියන් පිළිබඳ කථාවෙහිත් මෙය පෙනේ. ගවොමක් වැනි එකකැයි සිතමි.

[23] පෘථිවි ආදි ධාතු සතරේ විස්තරය

[24] කපුගම විය හැක.

[25] පුරුෂයකු ස්පර්ශ කිරීමෙන් භික්ෂූණියක් පාරාජිකාපත්තියට පැමිණේ. එබැවින් මෙසේ කියන ලදි.

[26] මේ කථාවේ පාලිය ව්‍යාකූලයි. අදහස ගෙන මේ අනුවාදය දෙන ලදි.

[27] මෙය පැන් පෙරන උපකරණයකි. අඟල් හයක් පමණ උසැති තේ කෝප්පයක් පමණ වටැති මෙහි කටේ රෙදි කඩක් බැඳ වතුරේ එබූ විට එය දියෙන් පිරේ. උඩ පැත්තේ ඇල්ලීමට මිටක් තිබේ. ඒ මිට මැද සිදුරක් වේ. ඒ සිදුර වැසෙන සේ ඇඟිල්ල තදකොට ඇල්ලූ විට රෙදි කඩෙන් වතුර නොවැගිරෙන බැවින් එය ඕනෑ තැනකට ගත හැක. එසේ ගෙන දියවත් කර තැබීමට පැතිලි කුඩා මැටි භාජනයක් ද තිබේ. එවැනි භාජනයක් මෙකල යුධ භටයන් වෙත දකින්නට ලැබේ. වැලිවිට සංඝරාජතුමාගේ දබරාව අදත් මල්වතු විහාරයේදී දැක්ක හැක.

[28] මෙය ස - හස්සත්‍ථුවෙහි “චූලවඩ්ඩ” යයිද රසවාහිනියෙහි ‘චුලරජ්ජ’ යයි ද තවත් තැනක “කුඩ්ඩරජ්ජ” යයිද පෙනේ.

[29] - හස්සත්‍ථුවෙහි” “සාලචතුක්ක” යයි පෙනේ.

[30] ස - හස්සත්‍ථුවෙහි සුදස්සනඨානගාලවාසී” යයි දැක්වේ.


[31] පාළිපොතේ “අතිකොඨද්වාර”යයි පෙනේ.

[32] * සද්ධාතිස්ස රජුගේ සොහොයුරියන් ගැන මහාවංශයෙහි සඳහන් නොවෙතත් එකළ රජවුරුන්ට බොහෝ භාර්‍ය්‍යාවන් සිටි බැවින් බොහෝ දූ දරුවෝ ද වූහ. අගමෙහෙසියගේ දරුවන්ගේ නම් පමණක් ඉතිහාසගත වූහ. දීඝාභය කුමරා කාවන්තිස්ස රජුගේ පුත්‍ර‍යකු බව ඉතිහාසයෙහිම කියවේ.

[33] පාලිපොතේ “කටකනාරවාසී” යයි පෙනේ.

[34] කාළකන්‍දර යයි මුලදී කියවුණි.

[35] “මතතකරුකඛමූලෙ” යයි පාළිපොතේ පෙනේ.

[36] පාළි පොතේ “සීහභුම්මික” යයි පෙනේ. සීහකුම්බක යයි පෙනෙන්නේ රසවාහිනියෙහිය. සද්ධර්මාලංකාරයෙහි “සීහගුම්බ” යයි පෙනේ.

[37] යක්‍ෂවර්ගයා මෙවැනි කර්මාන්තයන් හි දක්‍ෂව සිටි බව මෙයින් පෙනේ.

[38] “මාලංනාමගාමෙ” පාළිපොතේ පෙනේ. සද්ධර්මාලංකාරයෙහි “චලගම” යයි පෙනේ.

[39] “චූලකං නාම ගාමෙ”යි පාලිපොතේ පෙනේ. මෙහි යෙදූ නම රසවාහිනියෙහි වේ. සද්ධර්මාලංකාරයෙහි “සුදුවෑසර” යයි පෙනේ.

[40] භත්තකතතිත්‍ථයයි පාලි පොතේ පෙනේ. සද්ධර්මාලංකාරයෙහි “බත් බුන්නාතාට” යයි කියවේ.

[41] රන්කාසි දහසකින් යයි රසවාහිනී - සද්ධර්මාලංකාරයන්හි පෙනේ.

[42] අනුරාධපුරයට යයි ඒ පොත් දෙකේ කියවේ.

[43] “චිත්ත වාපි” යයි රසවාහිනියෙහි පෙනේ. එය මිහින්තලේට එහායින් පිහිටි එකක් විය යුතු බව මීළඟට කියවෙන ප්‍ර‍වෘත්තියෙන් ඔප්පු වේ.

[44] රසවාහිනියෙහි මෙසේ කියවේ; එන්නා වූ හෙතෙම සෑගිරියේ විහාර කෙළවරෙහි පිහිටි පිරිවෙණට පැමිණ භික්‍ෂූන් වැඳ විශ්‍රාම ගන්නේ එක් රහත් තෙරනමක් සිවුරක් මසන විට රෙදි කැබැල්ලක් අඩු වූ බැවින් එය අකුලා තබන්ට සැරසෙනු දැක තමා හැඳි වස්ත්‍රයේ කෙළවර ඉරා තෙරුන්ට දුණි. තෙරනම එය යොදා සිවුරේ වැඩ නිම කළේය.

[45] “කාරකගාම” යයි රසවාහිනියෙහිද “කිරිගම” යයි සද්ධර්මාලංකාරයෙහි ද පෙනේ.

[46] “කසරාලගංමුවදොර” සංද්ධර්මාලංකාර

[47] “කෙලානාරු තොට” සද්ධර්මාලංකාර

"https://si.wikibooks.org/w/index.php?title=විකිපොත්:වැලිපිල්ල&oldid=11486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි