ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/ඉස්සත්ථ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ’’ස්වාමීනි, කාහට දන් දිය යුතුද?’’

’’මහරජ, යම් කෙනෙකුන් කෙරෙහි සිත පහදීද ඔවුන්ට දිය යුතුය’’යි වදාළේය.

’’කාට දුන් දේ මහත්ඵල ඇතිවේද?’’

’’මහරජ, කාහට දන් දිය යුතුද? යන්න අනිකකි. ( එක ප්‍රශ්නයකි. ) කවුරුන්ට දෙන ලද්දේ මහත්ඵල ඇතිවේද? යන්න අනිකකි. ( වෙන ප්‍රශ්නයකි. )

’’ මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ වේ. දුශ්හීලයාට දෙන ලද්ද එසේ නොවේ. එසේවී නම් මහරජ, මෙහිලා ඔබම පිළිවිසිමි. ඔබට වැටහෙන පරිදි විසඳන්න.

’’මහරජ, ඒ කුමැයි හඟනෙහිද? මෙහිදී ඔබට යුද්ධයෙක් එළඹ සිටියේනම්, යුද සෙනගත් රැස්වූවාහු නම් එකළ දුනු ශිල්පයෙහි පුහුණු නොවූ, ශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, ක්‍ෂත්‍රිය තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞ්ග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජන ඇත්තේද?’’

’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.’’

ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, බ්‍රාහ්මණ තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?’’ ’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.’’

ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, වෛශ්‍ය තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?’’

’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.’’

ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, ශ්‍රද්‍ර තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?’’

’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.’’

’’මහරජ, ඒ කුමැයි සිතන්නෙහිද? මෙහි ඔබට යුධයක් එළඹ සිටියේනම්, යුද සෙනගත් රැස්වීනම්, එකල දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, ක්‍ෂත්‍රිය තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?’’

’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය.’’

නැත්තේය.’’

’’ඉක්බිති දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, බ්‍රාහ්මණ තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?’’

’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය.’’

ඉක්බිති දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, වෛශ්‍ය තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?’’

’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය.’’

ඉක්බිති දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, ශුද්‍ර තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?’’

’’ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය.’’

’’මහරජ, එලෙසින්ම යම් ඒ කොයි කුලයකින් නමුත් ගිහිගේ හැර, සස්නෙහි පැවිදිවූ යමෙක් කරුණු පසක් හැර දැමූයේ නම් තරුණු පසකින් යුක්තවූයේ නම්, ඔහුට දුන් දන මහත්ඵල ඇතිවන්නේය.’’

හැර දැමූ ඒ කරුණු පස මොනවාද? ඔහු විසින් කාම ආශාව හැර දැමූයේ වෙයි. අනුන්ට ද්වේෂ කිරීම හැර දැමූයේ වෙයි. ( සිත නය දෙකේ අලසකමයයි කියනලද ) ථීනම්ද්‍ධය හැර දැමූයේ වෙයි. සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල හැර දැමූයේවෙයි. ( බුද්‍ධාදී අටතන්හි ) සැකය හැර දැමූයේ වෙයි. මේ කරුණු පස ඔහු විසින් හැරදමන ලද්දාහු වෙති.

’’කිනම් කරුණු පසෙකින් යුක්තවූයේ වේද? රහතුන් පිළිබඳ ශීල රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ සමාධි රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ ප්‍රඥා රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ මිදීම් රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ මිදුම් නැණ දසුන් රැසින් යුක්තවූයේ වෙයි. මේ කරුණු පසින් යුක්තවූයේ වෙයි. මෙසේ කරුණු පසක් හැර දැමුවාවූ කරුණු පසකින් යුක්තවූ තැනැත්තාට දුන් දෙය මහත්ඵල ඇතිවන්නේය.’’

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍යවූ මේ ගාථාද වදාළ සේක.

’’ආයුධ ශිල්පයෙහි දක්‍ෂකමද, කායික බලය හා මානසික වීර්‍ය්‍යයද යම් මිනිසෙකු කෙරෙහි ඇත්තේනම් යුදයෙන් වැඩ ඇති රජ එබඳු මිනිසා පෝෂනය කරන්නේය. ශූර නොවන්නා ජාතිය පමණක් සලකා පෝෂණය නොකරන්නේය.

’’එසේම ඉවසීම් සුරත බව යන ූණ ධර්‍මයෝ යම් කෙනෙකු කෙරෙහි හොඳින් පිහිටියාහු නම්, උත්තම පැවතුම් ඇති, නුවණැති එබඳු තැනැත්තා හීන ජාතියෙකු වුවද පිදිය යුත්තේය.

’’රම්‍යවූ ආශ්‍රම කරවිය යුතුයි. උගත් භික්‍ෂූහු ඒ අසපුවල වැසවිය යුතුයි. වෙනෙහි පොකුණු තැනවිය යුතුයි. දුර්‍ග ප්‍රදේශවල සම මාර්‍ග සෑදවිය යුතුයි.

’’අවඞක පුද්ගලයන්ට ( රහතුන්ට ) පහන් සිතින් ආහාර පාන, කන දේ, වස්ත්‍ර, සෙනසුන් දිය යුතුයි.

’’යම්සේ සිය ගණන් වළාකුළු ඇති, විදුලි පෙළ ඇති මහා මේඝය ගර්ජනා කරමින් වසින්නේ, උස් පහත් බිම් ඇති මහපොළොව පුරාද,

’’එමෙන්ම ශ්‍රද්‍ධා ඇති දහම් දැන උගත් නුවණැති පුද්ගලයා දාන වස්තු සකසා රැස්කොට ආහාර පාන වර්‍ගවලින් යාචකයන් සතප්පවයි. සන්තෝෂයෙන් දන් විසුරුවයි. ’’දෙව්, දෙව්’’ නියා අනුන්ටත් කියයි.

’’ඔහුගේ ඒ කියමන වහින වැස්සේ ගර්ජනාව වැනිය. මහත්වූ ඒ පින් වැහි ධාරාව පින් පලදීම් වශයෙන් දායකයා තෙමා ලන්නේය.’’

( උපුටා ගැනීම - suttacentral.net )