ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/නන්දකොවාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි මහා ප්‍රජාපති ගෞතමී තොමෝ පන්සියයක් පමණ වූ භික්ෂුණීන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියාය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියේය. එකත්පස්ව සිටියාවු මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අවවාද කරන සේක්වා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අනුශාසනා කරන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට ධර්ම කථාව කරණ සේක්වා´´ යනුයි.

2. ´´එකල්හි වනාහි ස්ථවිර භික්ෂූහු වාර වශයෙන් භික්ෂුණීන්ට අවවාද කරත්. ආයුෂ්මත් නන්දන ස්ථවිර තෙමේ වනාහි වාර වශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´ආනන්දය, වාර වශයෙන් භික්ෂූණීන්ට අවවද කිරීම සදහා අද කවරෙකුගේ වාරය වේදැයි´´ ඇසූහ.

´´ස්වාමීනි, වාරවශයෙන් භික්ෂූන්ට අවවාද කිරීම සඳහා අද නන්දක ස්ථවිරයන්ගේ වාරය වේ. ස්වාමීනි, මේ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ගේ වාරයවේ. ස්වාමීනි, මේ ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙම වාරය වශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වේයයි´´ කීය.

3. ´´එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ, නන්දක ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. ´´නන්දකය, භික්ෂූණීන්ට අවවාද කරව, නන්දකය, භික්ෂූණීන්ට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, නුඹ භික්ෂූණීන්ට ධර්ම කථාව කරවයි´´ (වදාළේය.)

´´එසේය ස්වාමීන් වහන්සැයි, ඒ ආයුෂ්මත් වූ නන්දක ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ සැවැත් නුවරට පිඬුපිණිස පිවිසියේය. පැවැත්නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නෙකු ඇතිව රාජකාරාමය යම් තැනෙක්හිද එතැනට එළඹියේය.

4. ´´ඒ භික්ෂූණීහු දුරදීම එන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් දුටුවාහුමය, දැක ආසනයක් පැනවූවාහුය, පා සේදීමට දියද එලෙව්වාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ පනවන ලද ආසනයෙහි වැඩ හුන්නේමය. වැඩහිඳ පා සේදුයේය. ඒ භික්ෂූණීහුද ආයුෂ්මත් වූ නන්දක ස්ථවිරයන්ට වැඳ එකත්පස්ව හුන්නාහුය. එකත්පස්ව හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. ´´නැගණිවරුනි, ප්‍රශ්න කොට කීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි, කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි කියයුතු වන්නේය. යම් භික්ෂූණී සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, එය ´ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැයි, මගෙන්ම ඇසිය යුත්තේය. (ප්‍රකාශ කෙළේය.)

5. ´´ස්වාමීනි, ආර්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරාද එපමණකින්ම අපි ආර්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේට සතුටු සිත් ඇත්තේ කැමැතිවූවෝ වෙමුයි´´ කීවාහුය.

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැපවේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?´´

´´ස්වාමීනි, (සුදුසු) නොවේමය´´ ´´නැගණිවරුණි, කුමකැයි හිගිව්ද, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය´´

´´කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය´´

´´යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුකය, ´යමක් වනාහි අනිත්‍යය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?´´

´´ස්වාමීනි, එය (සුදුසු) නොවේමැයි´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද මෙසේ මාගේ අධ්‍යත්මික ආයතන සය අනිත්‍ය වෙත්යයි අප විසින් පළමු කොටම මෙය තත්වූ පරිදි මනා නුවණින් දක්නා ලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ, ආර්ය ශ්‍රාවකයාහට ඒ කාරණය එසේමය.

6. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යවෙත්.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි, දැක්මට සුදුසුද?´´

´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද?´´ ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමිනි, අනිත්‍ය වෙත්.´´

´´ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්´´

´´රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්´´

´´ස්පර්ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්.´´

´´ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´වසත් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි, දකින්ට සුදුසුද?´´

´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද, මෙසේ නම් බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍ය වෙත්යයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.´´

´´නැගණිවරුණි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයාහට ඒ කාරණය එසේමයි.´´

7. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැක්මට සුදුසුද?´´

´´ස්වාමීනි, එය නොවේමැයි.´´

´´නැගිණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? සොතවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, විපරිනාම ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද, මෙසේ මේ විඤ්ඤාණකායයෝ සදෙන අනිත්‍යයෝයයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමැයි.´´

8. ´´නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහණක්හුගේ තෙලද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, පහන් සිථවද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, ආලෝකයද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි මෙසේ කියන්නේද, ´ඇවිලෙන්නාවූ මේ තෙල් පහණෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන්වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. ඒ පහණේ යම් ආලෝකයක් වේද, එය නිත්‍යය. ස්ථිරය, ශාස්වතය, වෙනස්වන නොවන ස්වභාව ඇත්තීයයි´ (කියන්නේද), නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, පහන සිලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එහි ආලෝකය නිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ යයි කියනුම කවරේද?´´

9. ´´නැගණිවරුනි, මෙපරිද්දෙන් ම මේ අධ්‍යත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය. ´අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොනැසෙන ස්වභාව ඇත්තේයයි´ යමෙක් කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම එය මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ඒ ඒ වේදනා උපදින හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගත්තාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ ්වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් හටගත් වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.´´

10. ´´නැගණිවරුනි, යම්සේත් පිහිටියාවූ හර ඇත්තාවූ මහත්වූ වෘක්ෂයක්හුගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, කඳත් අනිත්‍යවූයේ වෙන්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළද අනිත්‍යවූයේ වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලද අනිත්‍යවූවා පෙරළෙන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. කඳත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව අත්තේය. අතු හා කොළත් අනිත්‍යය, වෙනස් වන ස්වභාව ඇත්තේය. ගසේ යම් ඡායාවක් වන්නීද, එය නිත්‍යවූ ස්ථීරවූ සදාකාලිකවූ වෙනස් නොවන්නකැයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, කඳත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, අතු හා කොළත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, ගසේ ඡායාවත් අනිත්‍යවූ වෙනස්වන බවක් ඇත්තීයයි කියනුම කවරේද?´´

11. ´´නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය, වෙනස්වන ස්වභාව ඇත්තෝය. බාහිරවූ ආයතනයෝ සදෙන නිසා යම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීම්ද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද්?´´

´´එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ ඒ වේදනාව උපදින හේතූන් ඒ ඒ හේතු වෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් උපදින වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.´´

´´නැගිණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.´´

12. ´´නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ දෙනක් මරා සියුම්වූ ගෙරි කපන කැත්තෙන් ගවදෙන මසටද, තුවාල නොකොට, සමටද තුවාල නොකොට, සමත් මසත් අතර බැඳුණු යම් නහර වැදලි ඇත්නම් ඒ ඒ නරහවැදලි පමණක් තියුණු ආයුධයෙන් කපන්නේද, සිඳින්නේද, කපා සිඳ සමගසා ඒ පිට සමින්ම ඒ ගවදෙන වසා පෙරසේම ඒ ගවදෙන ඒ සමින් යුක්තවූවායයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන තැනැත්තේ මනාකොට කියන්නේවේද?´´

´´ස්වාමීනි, එසේ නොවේය.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ දක්ෂවූ ගවයන් මරන්නාවූ හෝ ගවයන් මරන්නෙකුගේ අතවැස්සෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසටද තුවාළ නොකොට පිටත සමටද තුවාල නොකොට, සමටත් මසටත් අතර බැඳුණ යම් නහර ආදියක් වෙත්ද, ඒ නහර ආදියම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් කපන්නේද, සිඳින්නේද, මනාව කපන්නේද කපා සිඳ පිටසම ගසා දමා, ඒ සමින්ම ඒ ගවදෙන වසාදමා පෙර සේම, මේ දෙන මේ සමින් යුක්ත වූවායයි කියන්නේ වේද, එතකුදු වුවත් ඒ සමින්ම යුක්ත නොවන්නීය.´´

13. ´´නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථ හැඟවීමට දක්වන ලදී. මෙය මෙහි අර්ථය වේ. නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙනාට මේ නමකි. නැගණිවරුනි, පිට සම යනු බාහිර ආයතන සයට මේ නමකි. නැගණිවරුනි, අතර බැඳුණු නහර ආදිය යනු නන්දිරාගයයි කියන ලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, සියුම්වූ ගෙරිකපන කැත්තය යනු ආර්යවූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතනයන් අතර ඇති කෙලෙස් මනාව සිඳියි. අතර ඇති සංයෝජන අතර ඇති බන්ධන සිඳියි, කපයි.

14. ´´නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වැඩූ බැවින් බහුල වශයෙන් කළ බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියටද, අර්භත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යංග ධර්ම සතක් වෙත්. කවර සතක්ද යත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය, ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ සතිසම්බොජ්ඣද්ධ්ගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙසුන් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොධ්‍යද්ධ්ගය වඩයිද, නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වඩන ලද බැවින්, බහුල කරනලද බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධියට අර්හත්ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යද්ධ්ගදර්ම සත වෙත්ය´´යි ප්‍රකාශ කෙළේය.

15. ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම ඒ භික්ෂූණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට ´´නැගිණිවරුනි, යව් මේ සුදුසු කාලයයි යෙදවීය.´´ (පිටත් කෙළේය.) ඉක්බිති ඒ භික්ෂූණීහු ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වඩනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ, ප්‍රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහනසේ යම් තැනෙක්හිද, එතැනට එළඹුනාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවුම ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

´´මෙහෙණිනි, යම් යාමට සුදුසු කාලයයි´´ වදාළේය.

16. ´´ඉක්බිති ඒ භික්ෂූණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ, ප්‍රදක්ෂීනාකොට ගියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූණීන් බැහැරගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ´´මහණෙනි, යම්සේ තුදුස්වක් පොහෝ දිනයෙක සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝ දෙනාට සැකයක් හෝ විමතියක් හෝ නැත. ´සඳ අඩු වූයේම වෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ඒ භික්ෂූණිීහු නන්දකගේ ධර්මදේශනා වෙන් සතුටු වූවාහුම වෙත්. එහෙත් සම්පූර්ණවූ අදහස් ඇතතේ නුවූවාහුමය.´´

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. ´´නන්දක, එසේවී නම් නුඹ හෙටද ඒ භික්ෂූණීන්ට ඒ අවවාදයෙන්ම අවවාද කරන්නෙහි යයි´´ වදාළේය. ´´එසේය, ස්වාමීනියයි´´ ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.

17. ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙමේ ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නකු සමග රාජකාරාමය යම් තැනෙක්හිද එතැනට එළඹියේය. ඒ භික්ෂුණීහු වඩන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුවාහුය. දැක, ආසනයක් පැනවූවාහුය. ජලයද පාදයන් ධොවනයට එලවූවාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ වනාහි පනවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, පාදයන් සේදූසේක. ඒ භික්ෂූණීහුද ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පස්ව උන්නාහුය. එකත්පස්ව උන්නාවූ ඒ භික්ෂූණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙම මෙය වදාළේය.

18. ´´නැගණිවරුනි, ප්‍රශ්නකර කිරීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි, කියයුතු වන්නේය. යමක් ගැන වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද? ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැ´´යි එය මගෙන්ම ඇසිය යුතුය.

´´ස්වාමීනි, ආර්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරයිද එතෙකින් සතුටු සිත් ඇත්තේ කැමැතිවූවෝ වෙමු.´´

19. ´´නැගිණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක හෝ සැප වේද?´´

´´ස්වාමීනි, දුකය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නාසය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´දිව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´කය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´සිත නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එය එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමිනී, අප විසින් මෙසේද මෙසේ මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි පළමුවම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.´´

20. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහග´´

´´යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේ.´´

´´නැගණිවරුනි, එය කුමකැයි හගිව්ද? ශබ්දයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´ගන්ධයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමිනී, අනිත්‍යයහ.´´

´´්රසයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ස්පර්ශයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´ධර්මයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙද්ද?´´

´´ස්වාමිනී. අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නා ලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් වූ නුවණින් දක්නාවූ ආර්යශ්‍රවකයෙකුට ඒ කාරණය එසේයි.´´

21. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යනම්, එය දුක හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

22. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? සොත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍යය හො වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ජීව්හාවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුකය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද මෙසේ විඤ්ඤාණ කායයෝ සදෙන අනිත්‍යයෝයයි, අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.´´

23. ´´නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහනක තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් සිලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තීවේද, ආලෝකයද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තක් වේද? නැගණිවරුණි, යමෙක් වනාහි මේ ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන්සීලද අනිත්‍ය වෙනස්වන ස්වභාව ඇත්තීය. මේ පහණේ ආලෝකයක් වේද, එය නිත්‍යය, ස්ථීරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි, කියන්නේද නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. ඒ පහණේ ආලෝකය අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?´´

24. ´´නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ අධ්‍යත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. අධ්‍යත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳිම්ද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නා වේදනාවෝ උපදිත්. ඒ ඒ වේ්දනා හට ගන්නා ඒ ඒ හේතූන්ගේ නිරුද්Ȁdධවීමෙන් ඒ ඒ හේතූන්ගෙන් හටගත් වේදනාවෝ නිරුද්ධ වෙත්මයි.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.

25. ´´නැගණිවරුනි, යම්සේක්හි පිහිටියාවූ සාරවත්වූ මහත් වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, කඳත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය, කඳත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. මේ ගසේ යම් සෙවනැල්ලක් වන්නීද, එය නිත්‍යය, ස්ථීරය, සදාකාලිකය. යමක් වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියන්නේ නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?´´

´´ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍යනම්, විපරිනාම ස්වභාව ඇත්තේ නම් කඳත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් අතු හා කොළත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් ඒ ගසේ සෙවනැල්ලද අනිත්‍යවූ වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?´´

26. නැගණිවරුනි, එපරිද්දෙන්ම මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. වෙනස්වන ස්වභාව ඇත්තාහ. බාහිරවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය, ස්ථිරය. සදාකාලිකය. වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියා නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?´´

´´ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිති. ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිරුද්ධවීමෙන් ඒ ඒ වේදනා උපදින්නාවූ හේතූන්ගෙන් හටගන්නාවූ වේදනාවෝ නිරුද්ධවෙත්මයි.´´

26. ´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දන්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි. නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසක් පලුදුනොකොට පිටත සමක් පලුදුනොකොට පිටතසමත් පලුදුනොකොට අතර බැඳි පවත්නා සිවියද, අතරවූ නහරද, අතරවූ බැඳුම්ද ඇත්තේද, එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේද, කපන්නේද, නැවත නැවත කපන්නේද, සිඳ කපා නැවත නැවත කපා පිට හම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා දමා පළමුසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේය. නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනා කොටම කියන්නේද?´´

´´ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මේ දක්ෂවූ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතවැසියාහෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසද පලුදු නොකොට පිට සමද පලුදු නොකොට එහි අතර සිවිද අතර නහරද අතර බැඳුම්ද ඇත්නම් එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැතතෙන් සිඳින්නේය. කපන්නේය, හාත්පස කපන්නේය. සිඳ කපා හාත්පස කපා පිට සම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා, හෙතෙම පෙරසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේද එතකුදු වුවත් ඒ ගවදෙන ඒ සමින් යුක්ත නොවූවාවෙයි.´´

27. ´´නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථය හැඟවීමට දක්වනලදී. මෙය එහි අර්ථය වේ. නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතන සයට මෙය නමකි. නැගණිවරුනි, පිටත සම යනු බාහිරවූ සිවිය. අතරවූ නහරය, අතරවූ බැඳුම්ය යනු නන්දිරාගයයි කියන ලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, තියුණුවූ ගෙරි කපන කැත්තය යනු ආර්ය වූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්ය වූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතන අතර ඇති ක්ලෙශය අතරවූ සංයෝජනය අතරවූ බන්ධනය, සිඳියි. කපයි, හාත්පසින් කපයි.

28. ´´නැගණිවරුනි, යමෙකුන් වඩනලද බහුල වශයෙන් කරණලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියට අර්හත් ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද ඒ බොජ්ඣද්ධග ධර්ම සතක් වෙත්. කවර සතක්දයත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් දුරු කිරීම පිණිස පවත්නාවූ සති සම්බොජ්ඣද්ධගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ජඣද්ධ්ගය වඩයිද, විරිය සම්බොජ්ඣද්ධය වඩයිද, පීති සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, සමාධි සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, නැගණිවරුනි, මොහු වනාහි බොජ්ඣද්ධ්ග සතවෙත්. යම් ධර්ම කෙනෙකුන් වඩනලද බහුල වශයෙන් කරනලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, ඔහුයි.

29. ::ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ ඒ භික්ෂුණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට නැගණිවරුනි, යව් මේ සුදුසු කල්වේයයි´´ කාලයද දැන්වීය.

එකල්හි ඒ භික්ෂුණීහු ආයුෂ්මත් නන්දක ස්ථවිර වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව,හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට, භාග්‍යවතුන් වහනසේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවුම ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහනසේ මෙය (වදාළේය.) ´භික්ෂුණීවරුනි, මේ සුදුසු කාලය වේයයි´´ (වදාළේය.)

30. ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට ගියාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූණින් බැහැරගියාවූ නොබෝ කල්හි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ´´මහණෙනි, යම්සේක් එදවස්හිවූ පසලොස්වක් පොහොය ඇති කල්හි සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝ දෙනාට සැකයක් හෝ විමතියක් හෝ නොවේද සඳ සම්පූර්ණවූයේම වේද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂුණීහු නන්දකයාගේ ධර්මදේශනාවෙන් සතුටුසිත් ඇත්තාහුද, සම්පූර්ණවූ අදහස් ඇත්තාහුද වූහ. මහණෙනි, ඒ පන්සියයක්පමණ භික්ෂූණීන් ගෙන් පශ්චිමවූ යම් භික්ෂුණියක්වීද, ඕතොමෝ සෝවාන් වූවා අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තී නියත වූවා සම්බෝධිය පිහිටකොට ඇත්තීවීයයි ´´ වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

සතරවැනි නන්දකොවාද සූත්‍රය නිමි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )