ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/චුල පුන්නමා සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගාරමාතු ප්‍රාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හි වූ පොහොය ඇති පසළොස් වක්හි පිරුණාවූ සඳ ඇති රාත්‍රියෙහි භික්‍ෂු සංයා විසින් පිරිවරණ ලද්දේ හිස්වූ එළිමහණෙහි වැඩ හුන්නේ වෙයි. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ භික්‍ෂු සංයා දෙස බලා භික්‍ෂූන්ට කථා කළ සේක.

´´මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත් තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා දන්නේදැ?´´ යි ඇසූහ.

´´ස්වාමීනි, මෙය නොවේමැයි.´´

2. ´´මහණෙනි, යහපත. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත් තෙම අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා දැන ගන්නේය, යන යමක් ඇද්ද? මීට කරුණු නැත්තේය. අවකාශයක් නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැනගන්නේද?´´

´´ස්වාමීනි, මෙය නොවේමැයි.´´

´´මහණෙනි, මැනව. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි සත්පුරුෂයා දැනගන්නේය යන යමක් ඇද්ද, මෙයටද කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම පාපී ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි. අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි. අසත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි. අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි. අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි. අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි. අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. අසත්පුරුෂයන් විසින් දිය යුතු දානය දෙයි.

3.´´මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම පාප ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම ශ්‍රද්ධාව නැත්තේ වෙයි. පවට ලජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. ඇසූ පිරූ තැන් නැත්තේ වෙයි. කුසීත වෙයි. මුලා සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාව නැත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම පාප ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි.

4.´´මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂතෙම, අසත්පුරුෂයන් සේවනය කරන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව නැත්තාහු, පවට ලජ්ජා නැත්තාහු, පවට භය නැත්තාහු, අල්පශ්‍රුත වූවාහු, කුසීත වූවාහු, මුලා සිහි ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු වෙත්ද, ඔවුහු මොහුගේ මිත්‍රයෝ වෙත්. ඔවුහු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි.

5. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්හට දුක් පිණිසද සිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිසද සිතයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.

6. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම තමහට දුක් පිණිසද කථා කරයි. අනුන්හට දුක් පිණිසද කථා කරයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද කථා කරයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි.

7. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. ඵරුෂ වචන කියන්නේ වෙයි. ප්‍රලාප කියන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි.

8. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි.

9. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ´දුන් දානයෙහි විපාක නැත. රැකි ශීලයෙහි විපාක නැත. කළ පූජාවෙහි විපාක නැත. යහපත්ව කරන ලද අයහපත්ව කරන ලද කර්‍මයන්ගේ ඵලයක්, විපාකයක් නැත්තේය. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට කරණ ලද හොඳ නරකවල විපාක නැත. පියාට කරණ ලද හොඳ නරකවල විපාක නැත. මැරී පරලොව උපදින සත්ත්‍වයන් නැත. යමෙක් තුමූ මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත´ යන දෘෂ්ටි ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.

10. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ දානය දේද? මහණෙනි, මේ ලොකයෙහි අසත්පුරුෂ තෙම සකස් නොකොට දානය දෙයි. සිය අතින් දානය නොදෙයි. සිතින් ආදර නොකොට දානය දෙයි. දමා ගැසූ දෙයක් මෙන් දානය දෙයි. මතු අනුසස් නොදක්නේ දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ දානය දෙයි.

11. ´´මහණෙනි, ඒ මේ අසත්පුරුෂ තෙම වනාහි මෙසේ පාප ධර්‍මයන්ගෙන් යුක්තවූයේ, මෙසේ අසත්පුරුෂ සේවනය ඇත්තේ, මෙසේ අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ අසත්පුරුෂ වචන ඇත්තේ, මෙසේ අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දානාදී ඇත්තේ ශරීරයාගේ භේදයෙන් මරණින් මතු අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද, එහි උපදියි. මහණෙනි, අසත්පුරුෂයන්ගේ ගතිය කවරීද? නරකය හෝ තිරිසන් යෝනිය හෝ වේ.

12.´´මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දන්නේද?´´ ´´ස්වාමීනි, එසේය.´´

´´මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැන ගන්නේය, යන යමක් වේද ඊට කරුණු ඇත්තේය.

´´මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි, අසත්පුරුෂයා දැනගන්නේද?´´ ´´එසේය ස්වාමීනි,´´

´´මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි අසත්පුරුෂයා දැනගන්නේය යන යමක් වේද, ඊටද කරුණු ඇත්තේය.

13. ´´මහණෙනි, සත්පුරුෂතෙම කුසල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි. සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි. සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි. සත්පුරුෂ කථා ඇත්තේ වෙයි. සත්පුරුෂ වචන ඇත්තේ වෙයි. සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. සත්පුරුෂ දාන දෙන්නේ වෙයි.

14. ´´මහණෙනි, කෙසේ නම් සත්පුරුෂ තෙම කුශල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම ශ්‍රද්Ȁdධාව ඇත්තේ වෙයි. පවට ලජ්ජා ඇත්තේ වෙයි. පවට බිය ඇත්තේ වෙයි. බහුශ්‍රුත වෙයි. පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තේ වෙයි. එළඹසිටි සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම කුසල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි.

15. ´´මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම, සත්පුරුෂයන් සේවනය ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව ඇත්තාහු, පවට ලජ්ජා ඇත්තාහු, පවට භය ඇත්තාහු, බහුශ්‍රුත වූවාහු, පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, ඔවුහු මොහුගේ මිත්‍රයෝ වෙත්. ඔවුහු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි.

16. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම තමහට දුක් පිණිස නොසිතයි. අන්‍යයන්හට දුක් පිණිස නොසිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිස නොසිතයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.

17. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම තමහට දුක් පිණිසද කථා නොකරයි. අන්‍යයාහට දුක් පිණිසද කථා නොකරයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස කථා නොකරයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ කථා ඇත්තේ වෙයි.

18. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු වචන කීමෙන් වැළකුනේ වෙයි. ප්‍රලාප කීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ වචන ඇත්තේ වෙයි.

19. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි.

20. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ´දුන් දෙයෙහි විපාක ඇත්තේය. රැකි සිල්හි විපාක ඇත්තේය. කළ පූජායෙහි විපාක ඇත්තේය. කරන ලද හොඳ නරක කර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේය. මෙලොව ඇත. පරලොව ඇත. මවට කළ හොඳ නරක දෙකෙහි, පියාට කළ හොඳ නරක දෙකෙහි විපාක ඇත. පරලොව උපදින සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මේ ලෝකයද, පරලෝකයද, තෙමේ විශිෂ්ට ඥානයෙන් (මනා නුවණින්) දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද? එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ, මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහයි ගනියි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.

21. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ දානය දේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම සකස් කොට දන් දෙයි. සියතින් දන් දෙයි. සිතින් ආදර කොට දන් දෙයි. පිරිසිදුව දන් දෙයි. විපාක සලකමින් දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ දාන දෙයි.

22. ´´මහණෙනි, ඒ මේ සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කුසල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ, මෙසේ සත්පුරුෂ සේවනය ඇත්තේ, මෙසේ සත්පුරුෂ සිතිවිලි ඇත්තේ, මෙසේ සත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ සත්පුරුෂ වචන ඇත්තේ, මෙසේ සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ, මෙසේ සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ සත්පුරුෂ දන් දී, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද, එහි උපදියි. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගතිය කවරීද? උසස් දෙවියන් බවට හෝ උසස් මනුෂ්‍යයන් බවට හෝ පැමිණෙන්නේය´´ යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්නේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

දසවැනි චූලපුණ්ණම සූත්‍රය නිමි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )