ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/චාතුම සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ. එකල්හි වනාහි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියාහු වෙත්. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වෙමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු උස් ශබ්ද මහා ශබ්ද ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. ´´ආනන්‍දය, මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහා ශබ්ද කරන්නෝ කවරහුද?´´

2. ´´ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය´´ යි (කීය.) ´´ආනන්‍දය, එසේනම් ´ශාස්තෲන් වහන්සේ ආයුෂ්මකුන් කැඳවති´ යි මාගේ වචනයෙන් ඒ භික්‍ෂූන් කැඳවව´´ ´´එසේය ස්වාමීනි´´ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූහු යම් තැනකද එහි පැමිණියේය. එහි පැමිණ, ´ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවති´ යි ඒ භික්‍ෂූන්ට කීය. ´එසේය ඇවැත්නි´ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියාහුය. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීය. ´´මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?´´ ´´ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය´´ යි (කීහ.) ´´මහණෙනි, යව් තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය´´ යි (වදාළහ). ´´එසේය ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ගියාහුය.

3. එසමයෙහි වනාහි චාතුමා නුවර වැසි ශාක්‍යයෝ නගර ශාලාවෙහි රැස්ව හුන්නාහුය. (ඒ) චාතුමා නුවර වැසි ශාක්‍යයෝ දුරදීම එන ඒ භික්‍ෂූන් දුටුවාහුය. දැක ඒ භික්‍ෂූහු යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ ඒ භික්‍ෂූන්ට ´´ආයුෂ්මත් නුඹවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහි යන්නහුදැ?´´ යි ඇසූහ.

´´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂු සංයා නෙරපන ලද්දේය.´´

´´එසේ නම් ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් හිඳිනු මැනව. අපි භාග්‍යවතුන් වහන්සේ පහදවන්නට හැකි වන්නෙමු නම් යෙහෙක´´ යි කීහ. ´´එසේය, ඇවැත්නි´´ යි ඒ භික්‍ෂූහු චාතුමා නුවර වැසි ශාක්‍යයන්ට පිළිතුරු දුන්නාහුය.

4. ඉක්බිති චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නාහුය. එක් පැත්තක හුන් චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවාහුය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් අනුග්‍රහ කරණ සේක්වා. ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්‍ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. පෙරළීමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්‍ෂූන්ට වෙනසක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙනසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ සේක්වා.

6. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත දිගු කෙරේද, දිගුකළ අත හකුලුවාද, එමෙන් බඹලොවෙහි අතුරුදන්වී (නොපෙනී ගොස්) භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම උතුරු සළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඟිලි එකට තබා වැඳ නමස්කාර කොට මේ කාරණය කීය. ´´ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලදද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ සේක්වා.

´´ ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්‍ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්‍ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය.

ස්වාමීනි, මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට අමුත්තක් වන්නේද, වෙනස්කමක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ සේක්වා.´´

6. චාතුමෙය්‍යක ශාක්‍යයෝ හා සහම්පතී බ්‍රහ්මයා බීජෝපමාවෙන් හා තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකිවූහ. ඉක්බිත් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් කැඳවූහ. ´´ඇවැත්නි, නැගිටිව්, පාසිවුරු ගනිව්, චාතුමෙය්‍යක ශාක්‍යයන් විසින්ද, සහම්පතී බ්‍රහ්මයා විසින්ද බීජෝපමාවෙන් සහ තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන ලදහ.´´ ´´එසේය ඇවැත්නි´´ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට උත්තර දී හුන් තැනින් නැගිට පා සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීහ. ´´ශාරිපුත්තය, මා විසින් භික්‍ෂූන් නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?´´ ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂු සංයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ´´භාග්‍යවතුන් වහන්සේ දැන් මඳ උත්සාහ ඇතිව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරති. අපිදු දැන් මඳ උත්සාහ ඇතිව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරමු´´ (කියායි.)

7. ´´ඉවසව සාරිපුත්ත, ඉවසව සාරිපුත්ත, ඔබ විසින් නැවතත් මෙබඳු සිතක් නොඉපදවිය යුතුය.´´ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහ මුගලන් තෙරුන්ට කථාකළහ. ´´මොග්ගල්ලානය, මා විසින් භික්‍ෂූ සංයා නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?´´ ´´භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ´භාග්‍යවතුන් වහන්සේ දැන් මඳ උත්සාහ ඇත්තාහ. ඵලසමවත් සැප විහරණයෙහි යෙදී වාසය කරති. මම ද ආයුෂ්මත් සැරියුත් තෙරහු ද භික්‍ෂු සංයා පරිහරණය කරමු කියායි.´´

´´මොග්ගල්ලානය, යහපති යහපති, මොග්ගල්ලානය, මම හෝ භික්‍ෂු සංයා පරිහරණය කරන්නෙමි, සැරියුත් මුගලන් දෙදෙනා හෝ පරිහරණය කරන්නාහුය.´´

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළහ. ´´මහණෙනි, දියට බසින්නවුන් විසින් බිය සතරක් කැමති විය යුත්තාහුය. ඒ සතර කවරහුද? රළ වේගයෙන් ඇතිවන බිය, කිඹුලනුගෙන් ඇතිවන බිය, දිය සුළි වලින් ඇතිවන බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන මොහුය. දියට බස්නහු විසින් කැමති විය යුතු මේ බිය සතර වෙත්. මහණෙනි, එමෙන්ම ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදි වන්නහු කෙරෙහි මේ බිය සතරක් කැමති විය යුතුයි. ඒ සතර කවරහුද? රළ බය, කිඹුල් බය, දිය සුළි බය, සැඩ මසුන් බය (යන සතරයි.)

9. ´´මහණෙනි, (සස්නෙහි) රළ වේග බය නම් කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට එක්ව මහණදම් පුරන භික්‍ෂූහු අවවාද කරත්. අනුශාසනා කරත්. ඔබ මෙසේ ඉදිරියට යා යුතුය. ඔබ මෙසේ පසු හැරී යා යුතුය. ඔබ මෙසේ ඉදිරි දෙස බැලිය යුතුය. ඔබ මෙසේ අනුදිසා බැලිය යුතුය. ඔබ මෙසේ අත් පා දිගු කළ යුතුය. ඔබ මෙසේ දෙපට සිවුර පාත්‍රය තනිපට සිවුරු හැඳ පෙරවිය යුතුය. (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. ´පෙර ගිහිගෙයි විසූ අපි අනුන්ට අවවාද කෙළෙමු. අපගේ පුත්‍රයන් පමණයයි සිතිය හැකි අපගේ මුණුපුරන් පමණයයි සිතිය හැකි මොවුහු අප අවවාද කළ යුත්තන් කොට අනුශාසනා කළ යුත්තන් කොට සිතත්´´ (යයි කියා) ඔහු ශික්‍ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, ´මෙතෙම (සස්නෙහි) රළ වේගයට බයවූයේ ශික්‍ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහි වූයේ යයි´ කියනු ලැබේ. මහණෙනි, රළ වේග බිය යනු ක්‍රොධ උපායාසයට (-බලවත් ක්‍රොධයට) නමකි.

10. ´´මහණෙනි, කිඹුල් බිය කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්. අනුශාසනා කරත්. ´ඔබ මෙය කෑ යුතුය. ඔබ මෙය නොකෑ යුතුය. ඔබ මෙය අනුභව කළ යුතුය. ඔබ මෙය අනුභව නොකළ යුතුය. ඔබ මෙය රස විඳිය යුතුය. ඔබ මෙය රස නොවිඳිය යුතුය. ඔබ මෙය පානය කළ යුතුය. ඔබ මෙය පානය නොකළ යුතුය. ඔබ කැප දෙය කෑ යුතුය. ඔබ අකැප දෙය නොකෑ යුතුය. ඔබ කැප දෙය අනුභව කළ යුතුය. ඔබ අකැප දෙය අනුභව නොකළ යුතුය. ඔබ කැප දෙය රස විඳිය යුතුය. ඔබ අකැප දෙය රස නොවිඳිය යුතුය. ඔබ කැප දෙය පානය කළ යුතුය. ඔබ අකැප දෙය පානය නොකළ යුතුය. ඔබ කාලයෙහි කෑ යුතුය. ඔබ නොකල්හි නොකෑ යුතුය. ඔබ කාලයෙහි අනුභව කළ යුතුය. ඔබ නොකල්හි අනුභව නොකළ යුතුය. ඔබ කාලයෙහි රස විඳිය යුතුය. ඔබ නොකල්හි රස නොවිඳිය යුතුය. ඔබ කාලයෙහි පානය කළ යුතුය. ඔබ නොකල්හි පානය නොකළ යුතුය (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. ´පෙර ගිහිගෙයි විසූ අපි යමක් කැමති වෙමුද, එය කෑවෙමු. යමක් නොකැමැත්තෙමුද, එය නොකෑවෙමු. යමක් කැමති වෙමුද, එය අනුභව කෙළෙමු. යමක් නොකැමැති වෙමුද, එය අනුභව නොකෙළෙමු. යමක් කැමති වෙමුද, එය රස වින්දෙමු. යමක් නොකැමැති වෙමුද, එය රස නොවින්දෙමු. යමක් කැමති වෙමුද, එය පානය කෙළෙමු. යමක් කැමැති නොවෙමුද, එය පානය නොකෙළෙමු. කැප දෙයද කෑවෙමු. අකැප දෙයද කෑවෙමු. කැප දෙයද අනුභව කෙළෙමු. අකැප දෙයද අනුභව කෙළෙමු. කැප දෙයද රස වින්දෙමු. අකැප දෙයද රස වින්දෙමු. කැප දෙයද පානය කෙළෙමු. අකැප දෙයද පානය කෙළෙමු. කාලයෙහිද කෑවෙමු. නොකල්හිද කෑවෙමු. කාලයෙහිද අනුභව කෙළෙමු. නොකල්හිද අනුභව කෙළෙමු. කාලයෙහිද රස වින්දෙමු. නොකල්හිද රස වින්දෙමු. කාළයෙහිද පානය කෙළෙමු. නොකල්හිද පානය කෙළෙමු. අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් රසවත් කන දෙයක් අනුභව කළ යුතු දෙයක් (-කන බොන දෙයක්) දෙත්ද, එහිදු මාගේ කට වැසීමක් කරන්නාක් මෙන් වැටහේය´ යි ඔහු ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, මොහු කිඹුල් බයට බයව ශික්‍ෂාව හැර දමා ගිහි වූයේයයි කියනු ලැබේ. මහණෙනි, කිඹුල් බය යනු කෑදර කමට නමකි.

11. ´´මහණෙනි, දියසුලි බය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැය´ි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින්, නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. ඔහු එහි පස්කම් ගුණයෙන් යුක්තව කම් සැප විඳින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකී. ඔහුට මෙබඳු සිතක් වෙයි, ´අපි පෙර ගිහි වූවාහුම පස්කම් ගුණයෙන් සම්පූර්‍ණ වූවාහු, යුක්ත වූවාහු කම් සැප වින්දෙමු. ගෙදර සම්පත්ද වෙත්. සම්පත් අනුභව කරන්ටද පින් කරන්ටද පුළුවන´ කියායි. ඔහු ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මොහු දියසුලි බයට බයවූයේ ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහිවූයේ යයි කියනු ලැබේ. මහණෙනි, දියසුලි බය යනු පස්කම් ගුණයට නමකි.

12. ´´මහණෙනි, සැඩමස් බය කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් (මෙසේ සිතයි) ´ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැය´ි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින්, නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. ඒ භික්‍ෂුව ඒ ගමෙහි හරිහැටි නොහැන්ද, හොඳට නොපෙරවූ ස්ත්‍රියක් දැක රාගය තෙමේ භික්‍ෂුවලේ සිත නසයි. ඒ භික්‍ෂුව රාගයෙන් විනාශකළ සිතින් යුක්තව, ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මහණෙනි, සැඩමස් බය යනු මාගමට (-ස්ත්‍රියට) නමකි.

´´මහණෙනි, ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවූ මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් වෙත මේ බය සතර කැමැති විය යුත්තාහ.´´

13. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

සත්වෙනිවූ චාතුම සූත්‍රය නිමි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )