ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/උපක්ලෙශ සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක. එකල්හී වනාහී කොසඹෑ නුවර භික්‍ෂූහූ දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාද කරගනිමින්, ඔවුනොවුන් වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. ,ස්වාමීනි, මේ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහූ දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාද කරගනිමින්, ඔවුනොවුන්, වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. ,ස්වාමීනි, ඒ භික්‍ෂූඑූ යම් තැනකද එහි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට වැඩමවන්නේ නම් මැනවි,. එය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූහූ යම් තැනකද එහි වැඩි සේක. වැඩ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි.

එසේ වදාළ කල්හී එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැනෙන්නෙමුයි, කියායි.

දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි. දෙවනුවත් ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි, කියායි. තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි. තෙවනුවත් ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොවෙහෙසෙක සේක්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි, කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙන වැඩසිටියේම මේ ගාථාවන් වදාළසේක.

1.,මහත් ශබ්ද ඇති එක හා සමාන කලහකාරී ජනතෙම (මම) අඥානයයි, කිසිවෙක් නොසැලනීය. සංඝයා බිඳෙන කල්හිත් ඊට වඩා වැඩි අනිකක් නොසිතී.

2. ,මුළාවූ සිහිය ඇති වචනය පමණක් ගොචර කොට ඇති, යම්තාක් මුඛය විවෘත කිරීමට කැමති යම් ඒ තාක් මුඛය විවෘත කොට කියන්නාවූ පණ්ඩිතයෝ යම් කලහයකින් ලජ්ජා නැති බවට පමුණුවන ලද්දාහූ යම් එය ආදීනව සහිතයයි නොදනිත්.

3. ,අසවලා මට බැන්නේය, ගැසුවේය, මි පැරැද්දූවේය, මා සතු දෙය පැහැරගත්තේයයි යම් කෙනෙක් ක්‍රොධයෙන් ඔහුට වෛර කැත් නම් ඔවුන්ගේ වෛරය නොසංසිඳෙන්නේය. (අසවලා) මට බැන්නේය, ගැසුවේය, මා සතු දේ පැහැර ගත්තේයයි යමෙක් ඔවුන්ට වෛර නොකරන්නේ නම් ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේය.

4. ,මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛර සංසිඳීමෙක් නැත. වෛර නොකිරීමෙන්ම සංසිඳෙත්. මෙය පෞරාණික උතුම් ධර්‍මය වේ.

5. ,නුවණැතියන්ගෙන් අන්‍යවූ අඥානයෝ අපි මරණයට පැමිණෙන්නෙමුයි නොදනිති. ඒ බව යමෙක් දනිත් නම් ඒ හේතුකොටගෙන කලහය සංසිඳෙත්.

6. ,ඇට සිඳින්නාවූ ප්‍රාණය නැති කරන්නාවූ ගව අස් ආදී ධන පැහැර ගන්නාවූ සොරු වෙත්ද, රට විනාශ කරන්නාවූ ඔවුන්ගේ පවා සමගිය ඇත. කුමක් හෙයින් තොපගේ එබන්දක් නැත්තේද ?

7. ´´ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූද, වසන්ට නිසිවූද, යහපත් හැසුරුම ඇති, පණ්ඩිතවූ, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ නම් සිහියෙන් යුක්තවූ පුද්ගලතෙමේ ඔහු හා සමග සතුටු සිත් ඇතිව වාසය කරන්නේය.

8. තැනට නිසි නුවණැති, එකට හැසිරීමට සුදුසුවූ, මනා හැසුරුම් හා ධාරණ ප්‍රඥා ඇති, කල්‍යාණ මිත්‍රයකු ඉදින් නොලද්දේ නම් දිනාගත් රජය හැර, (හුදකලාව වනයට ඇඳ තපස් පැවිද්දට පැමිණි මහාජනක) රජු මෙන්ද, (හස්ති සමූහයා හැරපියා මේ රක්ෂිත වනයෙහි හුදකලාව හැසිරෙන) පාරිලෙය්‍යක නම් ඇතු මෙන්ද සමූහයෙන් වෙන්ව හුදකලාව වැසය කරන්නේය.

9. ´´දෙලෝ වැඩ නොදත් අඥානයා කෙරෙහි එකට විසීමක් නැතිව, තනිව විසීම උතුම් පාරිලෙය්‍යක ඇතු මෙන් පිරිස් පාලනයෙහි උත්සා රහිතව හුදකලාව වසන්නේය. ස්වල්පමාත්‍රවූද පව්කම් නොකරන්නේය.´´

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේම මේ ගාථාවන් වදාරා ´´බාලකලොණකාර´´ නම් ගම යම් තැනෙක්හිද එහි වැඩි සේක. එසමයෙහි ආයුෂ්මත් භගු ස්ථවිර තෙම ´´බාලකලොණකාර´´ ගමෙහි වාසය කෙරෙයි. ආයුෂ්මත් භගුස්ථවර තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක, ආසනයක් පැනවීය, පා දෝනා දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා සේදීය. ආයුෂ්මත් භගුස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් භගුස්ථවිරයන්ට භාග්‍යවතුන් වහනසේ මෙය වදාළ සේක. ´´මහණ කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවෙහිද?´´ ´´භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිවෙමි. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක. ස්වාමීනි, ආහාරයෙන් ක්ලාන්ත නොවෙමියි´´ (කීය.)

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇයුෂ්මත් භගුස්ථවිරයන් දැහැමි කථාවෙන් කරුණු දක්වා (එහි) සමාදන් කරවා (ඉන්) තෙද ගන්වා (එහි) පහදවා හුනස්නෙන් නැගිට ´´ප්‍රාචීන වංශදාය වනය´´ යම් තැනෙක්හිද එහි වැඩිසේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද එහි වෙසෙති. උයන්පල්ලා වඩින භග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ශ්‍රමණය, මේ වනයට නොපිරිසෙව, මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් කැමති පරිදි වෙසෙති. ඔවුන්ට අපහසු නොකළ මැනව´´ කියායි.

4. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ සමග කථාකරන වනපාලකයාගේ කථාව ඇසීය. ඒ කථාව අසා, වනපාලකයාට මෙය කීය. ´´ඇවැත්නි, වනපාලකයා, භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ සේක. ´´ කියායි. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමෙ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත්නන්දිය ස්ථවිරයන්ටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ටද මෙය කීය. ´´ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක.´´ කියායි.

5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද, භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. එක නමක් අසුන් පැණවීය. එක නමක් පා දොසා පැන් තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආනයෙහි වැඩ හුන් සේක. වැඩහිඳ, පා සේදූ සේක. ඒ ආයුෂ්මත් වරුද, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´අනුරුද්ධයිනි, නුඹලාට කිම එවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවුවහුද?´´ කියායි. ´´භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකිය. ස්වාමීනි, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවමු.´´

6. ´´අනුරුද්ධයිනු, නුඹලා සමගිව, සතුටු සිතැතිව, විරුද්ධ වාද නැතිව, කිරි හා දිය මෙන් එක්වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලන්නාහු, කිම වාසය කරහුද?´´ ´´ස්වාමීනි, අපි ඒකාන්තයෙන් සමගිවන, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරමු.´´

´´අනුරුද්ධයිනි, තෙපි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් කෙසේ වනාහි වාසය කරවද?´´

´´ස්වාමීනි, මෙහිදී මට මෙසේ අදහස් වෙයි, ´´යම් බඳුවූ මම මෙබඳුවූ සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද එය, ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී. ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මත් කෙරෙහි මෛත්‍රි සහගත කාය කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රි සමගත වාක් කර්මය ප්‍රකටවත්, රහසි ගතවත් එළඹ සිටියේය. මෛත්‍රි සහගත මනො කර්මය ප්‍රකටවත් රහසිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´´සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා නොඳය කියායි.´´ ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන් වහන්ස, අපේ ශරීර වෙන් වෙන් වූ නමුත් සිත එකක්මයයි හඟිමි.

7. ආයුෂ්මත් නන්දිය තෙමේද, ආයුෂ්මත් කිම්බිල තෙමේද, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කලාහුය. ´´ස්වාමීනි, මටත් මෙසේ අදහස් විය. ´´යම්බදු මම මෙබඳු සබ්‍රහ්මචාරීන් සමඟවෙසෙම්ද, එය ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.´´ ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රි සහගත කාය කර්මය ප්‍රකටමත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රිසහගත වාක් කර්මය, ප්‍රකටවත්, රහසිගතවත් එතළඹ සිටියේය. මෛත්‍රි සහගත මනො කර්මය ප්‍රකටවත් එහිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා යෙහෙකැයි, කියායි. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන්, අපේ ශරීර වෙන් වෙන්වූ නමුත් සිත එකක්මයයි හිඟිමි.

´´ස්වාමීනි, අපි මෙසේ වනාහි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව ඔවුනොවුන් ප්‍රිට ඇස්වලින් බලමින් වාසය කරමුයි´´ කිීවාහුය.

´´අනුරුද්ධයිනි, යහපති, යහපති, අනුරුද්ධයිනි, තෙපි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව, සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව කිම වාසය කරවද?´´

´´ස්වාමීනි, අපි ඒකාන්තයෙන් අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව වාසය කරමු.´´

´´අනුරුද්ධයිනි, තෙමි කෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන විීර්යය ඇතිව, සිව් මගට පමුණුවන ලද සිතැතිව වාසය කරව්ද?´´

8. ´´ස්වාමිනි, මෙහි අපගෙන් යමෙක් පළමුව පිඬු පිණිස ගොස් ගමින් පෙරළා එයිද, හෙතෙම අනුන් පනවයි. පියයුතු පැන් හා පරිභොග කටයුතු පැන් තගෙනත් තබයි. ඉතුරු ආහාර දමන භාජනය සුදානම් කොට තබයි. යමෙක් පසුව පිඬු පිණිස ගොස් ගමෙන් පෙරළා එයිද, ඉදින් වළඳා ඉතිරියක් වේද, ඉදින් කැමතිනම් වළඳයි. ඉදින් අකැමැති නම් තණ තණ පැලෑටි නැති තැනක දමයි. සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. හෙතෙම අසුන් තැන්පත් කොට තබයි. පියයුතු පැන් හා පරිභෝග කටයුතු පැන් පිළියෙල කොට තබයි. ඉතිරි බත් දමන භාජනය සෝදා තැන්පත් කොට තබයි. දන් ශාලාව හමදී. යමෙක් පියයුතු පැන් කබන කළය ්හෝ පරිභෝග කටයුතු වූ ජලය තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම දිය ගෙනත් තබයි. ඉදින් මොහුට නොඉවසිය හැකි වේ නම් අත වැනීමෙන් දෙවැන්නකු අමතා අනත් විලංගුවෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ හේතුවෙන් කථා කොකරමු. ස්වාමීනි, අපි පස් දවසකට වරක් මුලු රෑ දැහැමි කථාවෙන් යුක්තව හිඳිනෙමු. ස්වාමීනි, අපි මෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමු.´´

9. ´´අනුරුද්ධයිනි, යහපති, යහපති, අනුරුද්ධයිනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන විීර්යය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්යයභාවය කිරීමට සුදුසු විහරණයක්වූ ඥාණදර්ශන විශේෂයක් අවබෝධ කරන ලද්දේ වේද?´´ ´´ස්වාමීනි, මෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන අපි (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැක්මද, හැඳින ගනිමු. අපගේ ඒ ආලෝකයද, රූප දැකීමද නොබෝ වේලාවකින් අතුරුදහන් වෙයි. ඊට කාරණය නොදනිමු.´´

අනුරුද්ධයිනි, ඊට කාරණය තොප විසින් දැනගත යුතුය. අනුරුද්ධයිනි, මමද සම්‍යක් සම්බෝධියෙන් පෙර සම්‍යක් සම්බුද්ධ නොවූයේම, බොධිසත්ව වූයේම (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැකීමද දනිමි. මාගේ ඒ ආලෝකයත් රූප දැකීමත් නොබෝ වේලාවකින් අතුරුදන්වෙයි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යම්හෙයකින් මාගේ ඒ ආලෝකයත්, දිවැසින් රූප දැකීමත් අතුරුදන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට සැකය ඇති තවිය. සැකය හේතු කොටගෙන මගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිවූ කල්හි ආලෝකයක් දිවැසින් රූප දැකීමත් අතුරුදන් වෙයි. ඒ මම යම්සේ මට සැකය නූපදින්නේද එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවත් වීර්යය ඇත්තේ, සිව්මගට යවන ලද සිතැතිව වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද, හඳුනමි. මාගේ ඒ ආලෝකයද, රූප දැකීමද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි.

10. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මම දැන් කිසිවක් මෙනෙහි නොකරන්නෙමි. යන ´´අමනසිකාරය´´ පහළ විය. අමනසිකාරය හේතුකොට මාගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත සැකය නූපදින්නේ නම් අමනසිකාරය නොවේ නම් එසේ කරන්නෙමි´ කියායි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි.

´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට ථිනමිද්ධය පහළ විය. ථිනමිද්ධය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද, අනුරුදහස් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහස් වෙයි.´ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහස් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´´ කියායි.

11. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට තැතිගැනීමක් පහළවිය. තැති ගැන්ම හේතුකොට ගෙන මගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහස් වෙයි.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් දීර්ඝ මාර්ගයට පිළිපන්නේ ඔහු දෙපස වධකයෝ උපන්නාහු නම් ඔහුට දෙපස හේතුකොට ගෙන තැතිගැන්ම උපදින්නේය. අනුරුද්ධයිනි, ´එපරිද්දෙන්ම මටත් තැතිගැන්ම පහළ විය. තැති ගැන්ම හේතුකොට, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, ඒ මම එසේ කරන්නෙමි´ කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවත වීර්යය ඇත්තේ, සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? කියායි.

12. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´ මට අධික ප්‍රීතිය පහළ විය. අධික ප්‍රීතිය හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් විය.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් එක් නිදන් පළක් සොයන්නේ එක් උත්සාහයකින්ම නිදන් පොළවල් පහක් ලබන්නේද, ඔහුට ඒ හේතුකොට අධික ප්‍රීතිය උපදින්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට අධික ප්‍රීතිය පහළ විය. අධික ප්‍රීතිය කරණකොට ගෙන මාගේ සමාධිය නැති විය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම් යම්සේ නැවත මට විචිකිච්ජාවද නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතියක් නූපදින්නීද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට කාය පීඩාවක් පහළවිය කියායි. කාය පීඩාව හේතුකොටගෙන වනාහි මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි, ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද එසේ කරන්නෙමි.´

13. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ´මට අතිශයින් පටන්ගන්නා ලද වීර්යය පහළ විය.´ කියායි. දැඩිව කරන ලද වීර්යය හේතුකොට ගෙන, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයත්, රූප දර්ශනයත්, අතුරුදහන් වෙයි. අනුරුද්ධයෙනි, යම්සේ පුරුෂයෙක් දෑතින් පෙරළිය හැකි දෙයක් දැඩිකොට ඔසවාගන්නේද, හෙතෙම එහිම මැරෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට දැඩිව පටන් ගන්නා ලද වීර්යය පහළවිය. දැඩි වීර්යය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන්වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නීපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නීද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද එසේ කරන්නෙමි.

14. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ´මට ඉතා ලිහිල් වීර්යය පහළ විය යනුවෙනි. ඉතා ලිහිල් වීර්යය හේතුකොටගෙණ මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් තෙම පෙරළිය හැක්කක් ලිහිල් කොට අල්ලා ගන්නේද, එය ඔහු අතින් වැටෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට ඉතාලිහිල් වීර්යය උපන්නේය. ඉතා ලිහිල් වීර්යය හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, අලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීරිය නූපදින්නේද, එසේ කරන්නෙමි.

15. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්Ȁdධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට තණ්හාව පහළවිය යනුයි. තෘෂ්ණාව හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම, යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නීපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, එසේ කරන්නෙමි.´

16. ´´අනුරුද්ධයිනි, ඒ මම වානහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව්මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මට නානත්ත සංඥාව පහළවිය යනුයි. නානත්ත සංඥාව හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නූපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද එසේ කරන්නෙමි.´

´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද රූප දර්ශනයද දනිමි. ඒ මේ ආලෝකය වනාහි අතුරුදහන් වෙයි. රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´යම් හෙයකින් මාගේ ආලෝකය හා රූප දර්ශනය අතුරුදහන් වේ නම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? අනුරුද්ධයිනි, මට මේ අදහස ඇතිවිය. ´මට රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව පහළ විය යනුයි. රූපයන් පිළිබද අතිශයින් නැවත නැවත සිතා බලන බව හේතුකොටගෙන සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයත් රූපදර්ශනයත් අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නූපදින්නේද, අධික තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද, රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව නූපදින්නේද එසේ කරන්නෙමි.´

17. ´´අනුරුද්ධයිනි, ඒ මම විචිකිච්ජාව සිත කෙලෙසන ධර්මයක් යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ විචිකිච්ජාව දුරු කෙළෙමි. අමනසිකාරය සිත කෙලෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙලෙසෙන්නාවූ අමනසිකාරය දුරු කෙළෙමි. ථිනමිද්ධය සිත කෙළසන ධර්මයක්යයි මෙසේ දැන, ථිනමිද්ධය දුරු කෙළෙමි. තැතිගැන්ම විත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, විත්තෝප ක්ලේශයවූ, තැති ගැන්ම දුරු කෙළෙමි. අධික ප්‍රීතිය විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන විත්තෝප ක්ලේශයවූ අධික ප්‍රීතිය විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, විත්තෝප ක්ලේශය වූ, අධික ප්‍රීතිය දරු කෙළෙමි. කායික පීඩාව විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයවූ කායික පීඩාව දුරු කෙළෙමි. දැඩිව පටන් ගන්නාලද වීර්යය චිත්තෝප ක්ලෙශය වූ, අධික වීර්යය දුරු කෙළෙමි. ඉතා ලිහිල් වීර්යය චිත්තෝප ක්ලෙශයක් යයි මෙසේ දැන, චිත්තොප ක්ලේශයක්වූ ඉතා ලිහිල් වීර්යය දුරු කෙළෙමි. තෘෂ්ණාව චිත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයක්වූ අධික තෘෂ්ණාව දුරු කෙළෙමි. නානත්ත සංඥාව චිත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයක්වූ නානත්ත සංඥාව දුරු කළෙමි. රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, චත්තෝප ක්ලේශයක්වූ රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව දුරු කෙළෙමි.

18. ´´අනුරුද්ධයිනි, ඒ මම පමා නොවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමින් ආලෝකය දැන ගතිමි. රූප නොදකිමි. යම් හෙයකින් රූප දකිම්ද, හිදෙක් රාත්‍රියද, හුදෙක් දාවලද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහදුනමි. අනුරුද්ධයිනි, ඒ මට මෙය අදහස් විය. ඒ මම ආලෝකය හඳුනම්ද, රූප නොදැක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඒ කාලයෙහි රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දවල් දෙක්හිද ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ´මම යම් සමයෙක්හි රූප විෂය මෙනෙහි නොකොට, ආලෝක විෂයය මෙනෙහි කෙරෙම්ද, ඒ කාලයෙහි ආලෝකය හඳුනමි. රූප නොදකිමි. යම් කලක ආලෝක විෂය මෙනෙහි නොකොට, රූප විෂය මෙනෙහි කෙරෙම්ද, එකල රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහඳුනමි.´

19. ´´අනුරුද්ධයිනි, ඒ මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, සිව්මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ සුථ කර්මස්ථානයෙහි වූ ආලෝකය හඳුනමි. සුථ කර්මස්ථානයෙහි වූ රූප දක්නෙමි. අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ, ආලෝකය හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ රූපයන් දැක්නෙමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ´ඒ මම සුථ කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, සුථ කර්මස්ථානයෙහි වූ රූපයන් දක්නෙම්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ ආලෝකය හඳුනම්ද, හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද අප්‍රමාණ කර්වස්ථානයෙහි වූ රූපයන් දක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´´ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යම් කලෙක සමාධිය කුඩාද, එසමයෙහි මගේ දිවැසද කුඩාය. ඒ මම ස්වල්ප මාත්‍රවූ, දිවැසින් ස්වල්ප මාත්‍රවූද, අලෝකය හඳුනමි. ස්වල්පමාත්‍රවූ ්රූපයන්ද දකිමි. යම් කලෙක සමාධිය අප්‍රමාණද එකල මගේ දිවැසද අප්‍රමාණය. එ මම අප්‍රමාණ වූ දිවැසින් අප්‍රමාණ වූ ආලෝකයද හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දවල්ද, අප්‍රමාණ වූ රූපයන් දක්නෙමි.´

20. ´´අනුරුද්ධයිනි, යම් හෙයකින් විචිකිච්ජාව විත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, විචිකිච්ජාව චිත්තෝප ක්ලෙශය ප්‍රුහීනවීද, අමනසිකාරය චිත්තෝප ක්ල්‍යෙයයි මෙසේ දැන, අමනසිකාර චිත්තෝප ක්ලෙශය ප්‍රහීණවීද, ථිීනමිද්ධය චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, ථීනමිද්ධ චත්තෝප ක්ලෙශය ප්‍රහීණවීද, තැතිගැන්ම චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශය වූ තැතිගැන්ම ප්‍රහීණවීද අධික ප්‍රීතිය චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, අධික ප්‍රීතිය චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, කායික පීඩාව චිත්තයාගේ උප ක්ල්‍යෙයයි මෙසේ දැන, කායික පීඩා චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, අධික වීර්යය චත්තෝප ක්ලේශයයි මෙසේ දැන, අධික වීර්යය චිත්තෝප ක්ලෙශය ප්‍රහීනවීද, ඉතා ලිහිල් වීර්යය චිත්තයාගේ උප ක්ලේතශයයි මෙසේ දැන, ඉතා ලිහිල් වීර්යය චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, තෘෂ්ණාව චිත්තෝප ක්ලෙශය ප්‍රහීන වීද, නානත්ත සංඥාව චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, නානත්ත සංඥා ඤි.්.ෝල ත්ගෙඹව ප්‍රහීණවීද, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන චිත්තෝප ක්ලේශය ප්‍රහීනවීද, අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මාගේ සිතට යම් උප ක්ලේශයෝ වෙත්ද, ඔව්හු මට ප්‍රහීණය. එබැවින් මම දැන් විධි තුනකින් යුත් සමාධිය වඩමි´ කියායි.

21. ´´අනුරුද්ධයිනි, ඒ මම විතර්ක සහිත, විචාර සහිත සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාර රහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති සහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති රහිත සමාධිය වැඩුවෙමි. සුඛ සහගත සමාධිය වැඩුවෙමි. උපෙක්ෂා සහගත සමාධිය වැඩුවෙමි. අනුරුද්ධයිනි, යම් හෙයකින් මා විසින් විතර්ක සහිත, විචාර සහිත, සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාර රහිත සමාධිය වඩන ලදද, ප්‍රීති සහිත සමාධිය වඩන ලදද, ප්‍රීති රහිත සමාධිය වඩන ලදද, සුඛ සහගත සමාධිය වඩන ලදද, උපෙක්ෂා සහගත සමාධිය වඩන ලදද ඒ මට ඥාන දර්ශනයද පහළ විය. මාගේ චිත්ත විමුක්තියද කෝප නොවිය. මේ අන්තිම උපැත්මය. දැන් පුනරුත්පත්තියක් නැත.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළතසේක. සතුටු සිතැති අනුරුද්ධායුෂ්මත් තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

අටවැනි උප ක්ලෙශ සූත්‍රයයි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )