ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/ධම්ම පදය/අප්පමාද වග්ගය

01. යමක වර්ගය (ගාථා දෙක බැගින් වදාළ කොටස)

01.01. මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං

ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි. (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.02. මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී

ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි. (ජේතවනාරාමයේදී මට්ටකුණ්ඩලී දිව්‍ය පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)

01.03. අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ. (ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.04. අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ යේ තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා. (ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.05. න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ

මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන් මයි වෛරය සංසිඳෙන්නේ. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්. (ජේතවනාරාමයේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි ෴)

01.06. පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා

“මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල” මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින්මයි කෝළාහල සංසිඳෙන්නේ. (කොසැඹෑ නුවරදී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.07. සුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම්හි අමත්තඤ්ඤුං – කුසීතං හීනවීරියං තං වේ පසහති මාරෝ – වාතෝ රුක්ඛං’ව දුබ්බලං

තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ශුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ අර්ථය පවා දන්නෙ නැත්නම්, ඔහු කුසීත වූ, හීන වීරිය ඇති කෙනෙක්. ඔහු මාරයාට යටවෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ. (සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.08. අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං

රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි. (සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.09. අනික්කසාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරහති

කවුරු හරි කසාවත පොරවා ගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්‍රිය දමනයක් නැති, ඇත්ත කතාකිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ. (රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.10. යෝ ච වන්තකසාවස්ස – සීලේසු සුසමාහිතෝ උපේතෝ දමසච්චේන – ස වේ කාසාවමරහති

කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනෙ දැම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතාකරන කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම සුදුස්සා. (රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.11. අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ තේ සාරං නාධිගච්ඡඑන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා

මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ. (වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)

01.12. සාරං ච සාරතෝ ඤත්වා – අසාරං ච අසාරතෝ තේ සාරං අධිගච්ඡඑන්ති – සම්මා සංකප්පගෝචරා

සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා. (වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)

01.13. යථාගාරං දුච්ඡුන්නං – වුට්ඨි සමතිවිජ්ඣති ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමතිවිජ්ඣති

ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. එ් සිත තුළට රාගය ඇතුල් වෙනවා. (ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.14. යථාගාරං සුච්ඡුන්නං – වුට්ඨි න සමතිවිජ්ඣති ඒවං සුභාවිතං චිත්තං – රාගෝ න සමතිවිජ්ඣති

ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ නියම පිළිවෙළට නම්, වැස්ස වහිනකොට එ් වහලය තුළින් ගෙට වතුර ගලන්නේ නෑ. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල්වෙන්නෙ නෑ. (ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.15. ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ

පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදුකරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා, ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා. (ජේතවනාරාමයේදී චුන්ද සූකරික නම් ඌරුවැද්දා අරභයා වදාළ ගාථාවකි. ෴)

01.16. ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ජේතවනාරාමයේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි ෴)

01.17. ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති පාපං මේ කතන්ති තප්පති – භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නෙ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු මයි. ඔහු දෙලොවදීම පසුතැවෙනව. ‘අයියෝ! මං පව් කරගත්තා’ කියලා පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සෙ ඔහු ගොඩක් පසුතැවෙනවා. (ජේතවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.18. ඉධ නන්දති පෙච්ච නන්දති – කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති – භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ

හොඳ පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා. (ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි ෴)

01.19. බහුම්පි චේ සහිතං භාසමානෝ – න තක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝ’ව ගාවෝ ගණයං පරේසං – න භාගවා සාමඤ්ඤස්ස හෝති

ප‍්‍රමාදී පුද්ගලයා අනික් උදවියට කොයිතරම් ධර්ම දේශනා කළත්, තමන් එ් ධර්මය අනුගමනය කරන්නේ නෑ. ඔහු අනුන්ගේ ගව පට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගෙයි. තමන්ගේ ශ‍්‍රමණ ජීවිතයෙන් මාර්ග ඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නෙ නෑ. (ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි ෴)

01.20. අප්පම්පි චේ සහිතං භාසමානෝ – ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං – සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ අනුපාදියානෝ ඉධ වා හුරං වා – ස භාගවා සාමඤ්ඤස්ස හෝති


ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවනි. නමුත් ඔහු එ් ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ. තමන්ගේ ශ‍්‍රමණ ජීවිතෙන් උතුම් මග ඵල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නෙ අන්න ඒ භික්ෂුව තමයි. (ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි ෴)