ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/සක්කපඤ්හ සූත්‍රය

01.මා විසින් මෙසේ අසන ලදී.එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද රටෙහි, රජගහ පුරයට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් වී ද එයට උතුරු දිගැ වේදියත නම් පව්වෙහි ඉඳුසලු ලෙනැ වැඩ වෙසෙති. එ සමයෙහි සක් දෙවිඳුට භගවත් බුදුරජු දක්නට උත්සුක බවෙක් උපන. එ කල්හි ඔහුට ‘අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩ වසන සේක් දෝ?’යි මේ සිත විය. සක් දෙවිඳු මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණුගමෙක් වී ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ භගවත් බුදුරජුන් වැඩ වසන්නවුන් දුටුයේ ම ය. දැක, තවුතිසා වැසි දෙවියන් බණවා, “නිදුකාණනි, මේ භාග්‍යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගින් අඹසඬ නම් යම් බමුණුගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක නම් පව්වෙහි ඉඳුසල් ලෙනෙහි වැඩ වසන සේක. නිදුකාණනි, ඉදින් අපි ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නට එළැඹෙන්නමෝ නම් ඒ ඉතා යෙහෙකැ”යි මෙ බස් පැවැසී ය. ‘එසේ ය පින්වතුන් වහන්සැ’යි ම තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට පිළිවදන් දුන්හ.

02.ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳැවු පුතු බණවා, ‘දරුව, පන්සිළු, මේ භාග්‍යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ වැඩ වසන සේක. දරුව පන්සිළුව, අපි ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඔබ වෙත එළැඹෙන්නමෝ නම් ඉතා යෙහෙකැ’යි කී ය. ‘එසේ ය, ඔබට වැඩෙක් වේවා’යි පන්සිළු ගඳෙවු දෙව්පුත් තෙම සක් දෙවිඳුට පිළිවදන් දී බේළුවපාණ්ඩු වීණාව ගෙන සක් දෙවිඳු අනුව යන බවට වන (අනුව යන්නට නික්මිණ.) ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවැරුණේ පන්සිළු ගඳෙවු දෙව්පුතු විසින් පෙරටු කරන ලදුයේ බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරන සේ ම දික් කළ අතක් වක් කරන සේ ම (කෙණෙන්) තව්තිසා දෙව් ලොවින් අතුරු දන් වැ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ පිහිටි අඹ සඬ බමුණු ගමට උතුරු දිගැ වේදියක පව්වෙහි පහළ විය.

03.එ සමයෙහි වනාහි දෙවියන් ගේ දෙව් තෙදින් සෙයින් වෙදියක පව්ව ද අඹසඬු බමුණු ගම ද ඉතා ම බැබැලුණේ විය. ඒ කොතරම් මහත් වැ බැබැලුණේ ද යත හොත්: අවට ගම්හි මිනිස්සු “අද වේදියක පව්ව ගිනි ඇවිලගත්තේ වන, අද වේදියක පව්ව දැවෙන්නේ වන. අද වේදියක පව්ව දැල්වෙනුයේ වන, අඹසඬු නියම්ගම ද ඉතා ම එකලු වැ ඇතැ’යි සතුටු සොම්නස් වැ පිපී ගිය ලොම් ඇත්තෝ වූහ.

එක ලැ සක්දෙවිඳු ගඳෙවු දෙව්පුත් පන්සිළුහු බණවා, “දරුව පන්සිළු, දහන් කරන, දහන්හි ඇලුණු, මේ දැන් චිත්තවිවේකයෙහි යෙදුණු තථාගතයන් කරා මා වැන්නක්හු විසින් දුක සේ එළැඹිය යුතු ද! දරුව පන්සිළු, ඉදින් තෝ පළමු කොට භාග්‍යවතුන් වහන්සේ ගේ සිත් ගත්තෙහි වී නම්, දරුව, පළමු කොට තා විසින් පහදවා ගන්නා ලද සිතැති ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට පසු වැ අපි එළැඹෙන්නම් හ’යි කී ය. පන්සිළු ගඳෙවු දෙව්පුත් ‘එසේ යැ, ඔබට වැඩෙක් වේව”යි සක් දෙවිඳු කී බස පිළිගෙන, බේළුවපාණ්ඩු වීණාව ගෙනැ, ඉඳු සලු ලෙන කරා එළැඹියේ ය, එළැඹ, ‘මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුර ද නො වන්නේ ය, ඉතා ළං ද නො වන්නේ ය, මගේ කටහඬ ද ඔබ අසන්නාහ’යි සිතා, එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම බේළුව පාණ්ඩු වීණාව හැඬැවී ය. බුදුරජුන් පිළිබඳ වූ ද දහම පිළිබඳ වූ ද රහතුන් පිළිබඳ වූ ද කාමගුණ හා පිළිබඳ වූ ද මේ ගාථා ගැයී ය:

ගාථාවල අදහස:

4. “ළහිරුරැස් බඳු සිරුර කැලුම් ඇති, හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණ කොට ගෙන උපන්නෙහි ද, තී ගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.

‘ළහිරු රස් සෙයින් නැඟෙන සිරුරු කැලුම් ඇත්තිය, හොබනා අඟපසඟ ඇත්තිය, මට සතුට දෙනුවිය, සොඳුර, යමක්හු කරණ කොට ගෙන තෝ උපන්නෙහි ද, තී ගේ පිය වූ තිම්බරු නම් ගඳෙවු රජුහු වඳිමි.

සොසුලුවනට සුළඟ සේ ද, පැවැසියනට පැන් සේ ද, රහත්නට දහම් සේ ද තෝ මට ප්‍රියයෙහි ය.

ගිලන්හට බෙහෙද සේ ද, සා ඇතියනට බොජුන් සේ ද තෝ මට ප්‍රියයෙහි ය. සොඳුර, ඇවිලෙන ගින්න දියෙන් සේ (තී නිසා උපන් කාමරාග දැවිල්ලෙන් තැවුණු) මා නිවව.

ගිම් තැවුලෙන් බෙහෙවින් තැවුණු ඇතක්හු පියුම් කෙසුරුයෙන් යුත් සිහිල් දිය ඇති පොකුණකට බස්නහු සෙයින් (කවර දා) මම් ති ගේ තනබඩ තුරට බස්නෙම් දෝ!

අකුස ඉක්මි (අකුසින් මැඩැලිය නො හෙන) ඇතක්හු ‘කම්මුල විදුනා කටුවත් පා විදුනා කටුවත් මා විසින් දිනන ලදැ’යි මදයෙන් මත් බැවින් කරුණු නො දන්නා සේ, තී ගේ ලක්ෂණ සම්පන්න ඌරු යුගලයෙන් මත් වූ මම් රාගය දුරැ ලන්නට කිසි දු කරුණක් නො දනිමි.

තී කෙරෙහි ගිජු වූ සිතැත්තෙමි. ම සිත පෙරැළී ගියේ ය. බිලිය ගිල ගත් මසක්හු සෙයින් තී කෙරෙහි බැඳුණු සිත මුදා ගන්නට නො හැක්කෙමි.

මනා ඌරු යුගලයක් ඇති සොඳුර, මා වැලැඳැ ගන්න. මඳ බැල් මෙන් බලන ඇසැත්තිය මා වැලැ ඳැ ගන්න, කල්‍යාණිය, මා හාත්පසින් වැලැඳැ ගන්න. මෙය මා වෙසෙසින් පැතූ දෑ ය.

රහතක්හට දුන් මඳ වූ ද දක්ෂිණාව මහත් පල දෙන්නා සේ, අක් බඹුරු කෙහෙ ඇති තී කෙරෙහි මට ඇති වූ ස්වල්ප (එක්) කාමුක සිත දැන් නොයෙක් බව ඇත්තේ (මහත් බවට පැමිණියේ) වෙයි.

සියලු අවයවයන්හි සොඳුරු බව ඇත්තීය, අට ලෝ දහමින් නො සැලෙන රහතුන් විෂයයෙහි මා කළ යම් පිනෙක් ඇද්ද, එය තී සහිතවූ මට පල දේවා.

හැම අවයවයන්හි සොඳුරු බව ඇත්තිය, මේ පොළෝ මඬලැ මා කළ යම් පිනෙක් ඇද්ද, ඒ සියල්ල තී සහිත වූ මට පල දේ වා.

සූර්‍ය්‍ය වර්චසාව, සැහැපුත් මුනිහු දහන් වැඩීමෙන් එකඟ සිතැති වැ, ප්‍රඥායෙන් යුක්ත වැ, සිහි ඇති වැ නිවන් සොයා ගියා සේ, මම් තී සොයා යෙමි.

කල්‍යාණ අඟ පසඟ ඇත්තිය, සැහැමුනිහු උතුම් සම්බෝධිය ලැබ යම් සේ සතුටු වූහු ද, එසේ ම මම තී හා එක්වීම ලැබූයෙම් සතුටු වන්නෙමි.

තව්තිසා වැස්සනට අධිපති සක් දෙවිඳු මට වරයක් දෙන්නේ වී නම්, සොඳුර, දෙ දෙව් ලොව රජය ද හැරපියා තී ම පතන්නෙමි. තී කෙරෙහි මා ඇල්ම මේ සා දැඩි ය.

සොඳුරු නුවණැත්තිය, යමකුහට තී සේ වූ දුවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) ති ගේ ඒ පියා වඳිමින් නමදිමි.”

5. පන්සිළුහු මෙසේ කී කල්හි භාග්‍යවතුන්වහන්සේ ඔහු අමතා, “පන්සිළුව, තගේ වෙණෙහි තත් හඬ තගේ ගී හඬ හා ද, තගේ ගී හඩත් තත් හඬ හා ද සැසැඳේ. පන්සිළුව, තගේ තත් හඬ ගී හඬ නො ඉක්මෙයි. තගේ ගී හඬත් තත්හඬ ඉක්මැ නො යෙයි. පන්සිළුව, බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කම් ගුණ අසළ, මේ ගාථා තා විසින් කවර දාක රැසැයිණි දැ?”යි අසා වදාළ සේක.

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අළුත එක් සමයෙක උරුවෙල් දනවුයෙහි නිල්දලා ගං තෙරැ අජපල් නුග මුලැ වැඩ වෙසෙති. වහන්ස, එ සමයෙහි මම් තිම්බරු නම් ගඳැවු රජුහු දූ වූ හිරුරැස් බඳු ශෝභා ඇති භද්‍රා නම් යම් දෙවඟනක් වේ ද, ඇය පතන්නෙම් වීම්. වහන්ස, ඒ ගඳැවු දූ අනෙකක්හු පතන්නී ය. මාතලී නම් රියදුරා පුත් සිඛණ්ඩී නම් ගඳැවු පුතෙක් ඇත. ඕ ඔහු පතන්නී ය, වහන්ස, යම් විටෙක කිසිදු කරුණෙකින් ඒ ගඳෙවු දුව නො ලදුයෙම් ද, එ විට මම් බේළුව පණ්ඩු වීණාව ගෙන, තිම්බරු ගඳැවු රජුහු නිවෙස කරා එළැඹියෙමි, එළැඹ ඒ වෙණ හැඬැවීමි. බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කාමගුණ අසළ, මේ ගාථා ද ගැයීමි.

“ළහිරු රස්බඳු සිරුරු කැලුමැති හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණකොටගෙන උපන්නෙහි ද, තිගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.

සොඳුරු නුවණැත්තිය, යමකු හට තී සේ වූ දුවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) තිගේ ඒ පියා වඳිමින් නමදිමි”යි.

6. වහන්ස, මෙසේ මා ගැයූ කල්හි සූර්‍ය්‍යවර්චසී නම් වූ ඒ භද්‍රා තොමෝ, “නිදුකාණනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් හමුයෙහි නො දක්නා ලද සේක. එතෙකුදු වුවත් තව්තිසා වැසි දෙවියන් ගේ සුදම් සෙබෙහි නටන මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ අසන ලදහ. (ඒ භාග්‍යවතුන් ගේ තතු අසන ලදුයේ ය). නිදුකාණනි, යම් හෙයෙකින් ඔබ ඒ භගවත් බුදු රජුන් ගේ ගුණ කියත් ද, එ හෙයින් අද අපගේ සමාගමය වේ වා’යි කිවු ය. වහන්ස, එ දා ඒ දෙව් දූ හා සමාගමය විය. එයින් පසු දැන් (මේ දවස දක්වා) එසේ වූ සමාගමයෙක් නො වී යැ”යි පන්සිළු කී ය.

එ විට සක්දෙවිඳුට ‘පන්සිළු ගඳැවු දෙව්පුත් භගවත් බුදුරජුන් හා කතා බස් කෙරෙයි. භගවත්හු ද පන්සිළු හා කතා කෙරෙති’යි මේ සිත විය.

1. ඇසුරු කළ

7. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳැවු දෙව්පුතු ඇමැතී ය. “දරුව පන්සිළුව, ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපතුල් හිස නමා වඳී” යැ යි කියා මගේ වැඳුමෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව”යි කී ය.

‘එසේ ය, ඔබට වැඩෙක් වේව’යි ම පන්සිළු ගඳැවු දෙව්පුත් සක්දෙව් බස පිළිගෙන, “වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් හිස නමා වඳී” යැ යි කියා භගවත් බුදුරජුන් සාදර වැ වැන්ඳේ ය.

“පන්සිළුව, මෙසේ ඇමැතියන් සහිත, පිරිවර ජනයා සහිත සක් දෙවිඳු සුව පත් වේ වා. දෙවියොත් මිනිස්සුත් අසුරයෝත් නාගයෝත් ගන්ධර්වයෝත් මෙයින් අන්‍ය යම් බොහෝ සත්ව කෙනෙක් වෙත් නම් ඔහු හැම ද යන මේ සියල්ලෝ සුව කැමැත්තාහු ම ය.

තථාගතවරු වනාහි මහත් යශස් ඇති මෙ බඳු යක්ෂයනට ඔවුන්ගේ වැඳීම පිළිගැනුම් විසින් මෙසේ වදාරත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

8. මෙසේ භගවත් බුදුරජුන් විසින් ආසිරි බසින් සෙත් පතනු ලැබූ සක් දෙවිඳු ඉඳුසලු ලෙන් වැද, භාග්‍යවත් බුදුරජුන් වැඳ, එක් පසෙක සිටියේ ය. තව්තිසා වැසි දෙවියෝ ද, ඉඳුසල් ලෙන් වැද භගවත් බුදුරජුන් වැඳ එක් පසෙක සිටියා හ. පන්සිළු ගඳැවු දෙව් පුත් ද ඉඳුසල් ලෙන් වැද භගවත් බුදුරජුන් වැඳ එක් පසෙක සිටියේ ය.

එ සමයෙහි වනාහි පියෙවියෙන් විසම වූ ඉඳුසල් ලෙන දෙවියන් ගේ දේවානුභාවයෙන් සෙයින් සම විය, එය පියෙවියෙන් ඉඩ මඳ වූ නමුදු එ සමයෙහි මහත් ඉඩ ඇතියේ විය. ලෙනෙහි අඳුර පහ විය. එළිය පහළ විය.

ඉක්බිති භගවත්හු සක්දෙවිඳුහු අමතා, “එසා බොහෝ කිස් ඇති, එසා බොහෝ කටයුතු ඇති, ආයුෂ්මත් කෞෂිකයන් ගේ මෙහි මේ යම් පැමිණීමෙක් වේ ද, එය ආශ්චර්‍ය්‍ය ය, ආයුෂ්මත් කෞෂිකයන් ගේ මේ ඊම අද්භූත යැ”යි වදාළාහ.

“වහන්ස, බොහෝ දවසෙක සිට මැ භාග්‍යවතුන් වහන්සේ දක්නට එනු කැමැති වීමි. එහෙත් තව්තිසා වැසි දෙවියන් ගේ වැඩ කටයුතුවල ව්‍යාපෘත වූයෙම් ම භාග්‍යවතුන් වහන්සේ දක්නට එනු නො හැකි වීමි. වහන්ස, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල (දෙව්රම් හි) සළාලාගාර ගඳකිළියෙහි වසන සේක. වහන්ස, එ කලැ මම් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට ගියෙමි. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියෙකින් හුන් සේක් වෙති.

වෙසවුණු රජු ගේ භුංජතී නම් පාදපරිචාරිකාවක් දොහොත් මුදුන් තබා වැඳ ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියා ය. වහන්ස, එ කල මම් භුංජතිය බණවා, ‘බිහිනිය, තෝ ඇමැතියන් සහිත පිරිවරජනයා සහිත සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා වඳී යැ යි කියා මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව’යි කීමි, වහන්ස, මා එසේ කී කලැ ඒ භුංජතී තොමෝ ‘නිදුකාණනි, දැන් භාග්‍යවතුන් වහන්සේ දක්නට නො කල් ය. භාග්‍යවතුන් වහන්සේ සමවත් සම වැද වැඩ ඉන්නා සේකැ’යි කිවු ය. ‘බිහිනිය, එසේ වී නම්, යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැඟී සිටින සේක් ද, එ විටැ ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ ගේ පිරිපා වඳී’යැ යි මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව’යි කීමි. වහන්ස, කිමෙක් ද? මා බසින් ඒ බිහිනී භාග්‍යවතුන් වහන්සේ වැන්දා ද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහි කරන සේක් දැ?”යි සක්දෙවිඳු කී ය.

“දෙවිඳ, ඒ බිහිනී මා වැන්දා ය. මම් ඇගේ වචනය සිහි කරමි. තව ද ආයුෂ්මත්හු ගේ රියෙහි නිම්වලල්ල හඬ නඟන්නා හා ම මම් සමවතින් නැඟී සිටියෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“වහන්ස, යම් කලෙක අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගත කෙනෙක් ලොවැ උපදනාහු ද, ඒ කලැ දෙව් මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ අපට පෙරටු වැ තව්තිසා දෙව්ලොවැ ඉපිදැ සිටි දෙවියන් හමුයෙහි දී මා විසින් අසන ලද්දේ ය, ඔවුන් හමුයෙහි දී පිළිගන්නා ලද්දේ ය. වහන්ස,‘යම් කලෙක තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් ලොවැ පහළ වන්නෝ ද, එ කලැ දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ මා විසින් සියැසින් ම දක්නා ලද්දේ ය. වහන්ස, මෙ කිඹුල්වත් පුරෙහි ම බුදුරුවන්හි පහන්, දමුරුවන්හි පහන්, සඟුරුවන්හි පහන්, සිල් සපුරා රක්නා සුලු ගෝපිකා නම් සැහැ දුවක් වූ ය. ඕ ගැහැනු බවට ඇලුම් හැරැ පියා පිරිමි බව පතා, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් ගේ සහභාවයට පැමිණියා, අප ගේ පුත් බව ලැබූහ. එහි දු ඔහු ‘ගෝපක දෙව් පුතැ’යි දනිත්.

9. වහන්ස, අන් මහණහු ති දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර කොට හීන වූ ගඳැවු මුළුවෙක උපන්නාහු ය. ඔහු පස් කම් ගුණයන්ගෙන් සමර්පිත වැ සමන්විත වැ පසිඳුරන් හසුරුවන්නාහු, ගැයුම් වැයුම් ආදියෙන් අපට වත් කරනුවට අප උවටන් හලට එත්. අපට වත් කරනුවට අප උවටන් හලට ආ ඔවුනට ගෝපක දෙව්පුත් තෙම ‘නිදුකාණනි, තෙපි කොහි යොමු කළ මුහුණු ඇති වැ ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ දහම් ඇසූහු ද? මම් වනාහි ස්ත්‍රියක් ව සිට ද බුදුවරුන් දමුරුවන් සඟුරුවන් කෙරෙහි පහන් වැ, සිල් පුරන්නීම් ඉතිරිබව්හි ඇල්ම හැරැ පියා, පිරිමිබව පතා කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියෙම්, සක් දෙවිඳු ගේ පුත් බව ලදිමි.

මෙහිදු මා ‘ගොපක දෙව් පුතැ’යි දනිත්. නිදුකාණනි, තෙපි වූ කලි භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි බඹසර කොට, හීන වූ ගඳැවු රැහැට වන්නහු ය. භවත්නී, යම්බඳු වූ ඇපි හීන වූ ගඳැවු රුහැකැ උපන් සහදැමියන් දකුමෝ ද, ඒ අපි නො දැක්ක යුතු දැයක් දුටුම්හ’යි ඔවුනට චෝදනා කළේ ය. වහන්ස, ගොපක දෙව්පුතු විසින් චෝදිත (සිහි කරවන ලද) ඒ තිදෙනා අතුරෙන් දෙදෙනෙක් දෙව්හු මෙ අත් බව්හි ම පළමු දහන් සිහිය පිළිලැබ (ධ්‍යානය පාදක කොට විවසුන් වඩා ඇනැගැමි පෙලෙහි පිහිටා) එ කෙණෙහි ම සැවැ බඹ ලොවැ බඹපෙරෙවි (බ්‍රහ්මපුරෝහිත) අත් බව ලදුහ. එක් දෙවියෙක් වනාහි කාමයන්හි ඇලුණේ එහි මැ රැඳුණේ ය.

(එයින් කීහු සංගීතිකාරයෝ:)

10. “පසැස් ඇතියාණන් ගේ උවැසියක් වීමි. මගේ නම ‘ගොපිකා’යි විය. බුදුරුවන්හි ද දමුරුවන්හි ද වෙසෙසින් පැහැදුණු මම් පහන් සිතැති ව සඟුරුවනට උවටන් කෙළෙමි.

එ බුදුරජු ගේ ම දහමැ සොඳුරු බව් හෙයින් සක්දෙවිඳු ගේ මහ තෙදැතිපුතෙක් වැ තිදසපුරැ උපනිමි. මෙහි ද මා ගෝපක යැ’යි දනිත්.

ඉක්බිති පෙරැ දුටුවිරූ, (පෙරැ) දහන් ලැබ සිට, ගඳෙවු දෙව් රැහේ උපන් මහණුන් දිටිමි. යම් බඳු අපි පෙරැ මිනිස් වූමෝ, සිය නිවෙස්හි දී පා දෙවීම් ආදි විසින් සංග්‍රහ කොට, අහරින් පැනින් යම් කෙනකුන්හට උවටන් කළමෝ ද, මේ ඒ ගොයුම්සව්වෝ යැ. මේ භවත්හු කවර අතක් බලා ගත්තාහූ, බුදු රජුන් ගේ දහම් පිළිගත්තෝ ද?

පසැසියාණන් දැන දෙසූ දහම තමා විසින් ම දත යුතු ය. මම් ද තොප සෙයින් - තොප ම ඇසුරු කෙරෙමින් - ආර්‍ය්‍ය වූ බුදුරජුන් ගේ සුභාෂිතයන් තොප ගෙන් අසා පිළිපැද, තිදස් ලොවැ උපන්නෙම්, සක්දෙවිඳුට මහානුභාව ඇති මහ තෙදැති පුතෙක් වීමි. තෙපි වනාහි උතුම් බුදුරජුන් ඇසුරු කරමින් ලොවුතුරු සසුන් බඹසර සරා, පහත් දෙව්මුළුවෙක උපන්හු ය. භවතුන් ගේ මේ ඉපැත්ම (ඔබ කළ මහණදමට) නො සරි ලන සේ ය. හීන වූ දෙව් මුළුවෙක උපන් සහදැමි වූ තොප දක්නා ඇපි නො දැක්ක යුතු දැක්මක් දුටුම්හ.

භවත්හු ගඳැවු දෙව් රැහෙහි උපන්නාහු, සක් දෙවිඳුට වත් සපයනුවට එන්නාහ. ගිහි ගෙහි වුසූ මගේත් මහණ කම් කළ තොපගේත් මේ වෙසෙස දකිවු.

පෙරැ ස්ත්‍රී වූ ඒ මම් අද දෙව් කම්සුවෙන් යුත් පිරිමියෙකිමි” ගෝපක දෙව්පුතු කරා පැමිණ, ගොයුම් සවු වූ ඔහු විසින් චෝදිත වූ ඒ ගඳැවු දෙව් පුත්තු සංවේගයට පැමිණියාහ.

ඔවුන් ගෙන් දෙදෙනෙක් ‘දැන් ඇපි වැර වඩමු, වෑයම් කරමු, ඇපි මෙරමාහට මෙහෙ කරුවෝ නො වමෝ ව’යි කියා, ගොයුම් බුදුරජුන්ගේ අනුශාසනා සිහි කොට කමටහන්හි වැර වැඩූහ.

11.ඔහු මෙහි දී ම පස්කම්හි ඇලුණු සිත් පහ කොට, කාමයන්හි දොස් දුටුහ. ඔහු ඉක්මෙනුවට දුෂ්කර වූ මරහු ගේ බැඳුම් වූ කාම සංයොජන ද කාම බන්ධන ද, ඇතක් හු යදම්සෙයින් සිඳැ පියා, තව්තිසා වැසි දෙවියන් ඉක්මැ (බඹලෝ) ගියාහ. ඉන්ද්‍රයා සහිත වූ ද, ප්‍රජාපතිහු සහිත වූ ද දෙව් සෙබෙහි යම් දෙවි කෙනෙක් හුන්නාහු ද, එසේ හුන් ඒ දෙවියන් අතුරෙන් ශූර වූ ඔහු රාග රජස් දුරැ ලන්නාහු (අනැගැමි මඟ වඩන්නාහු), පහ වූ රාග ඇත්තාහු, සෙසු දෙවියන් ඉක්මැ ගියාහ. දෙවියන් මැදැ සෙසු දෙවියන් අබිබවා සිටි සක් දෙවිඳු, ‘හීන දෙව් මුළුවෙක උපන් මොහු වනාහි (දහන් වඩා) තව්තිසා වැසි දෙවියන් ඉක්මැ යෙත් යැ’යි සංවේගය පහළ කෙළේ ය. හටගත් සංවේග ඇති සක් දෙවිඳු ගේ වචනය නුවණින් සලකා, ඒ ගෝපක දෙව් පුත් තෙමේ සක් දෙවිඳුට මෙසේ කී ය.

“ජ‍නෙන්ද්‍රයෙනි, මිනිස්ලොවැ බුද්ධ නම් කෙනෙක් ඇත. කාමයන් මැඩැලූ ඔබ ශාක්‍යමුනි නම් වෙති. ඔබ ගේ පුත්‍ර වූ මොහු සිහියෙන් තොර වූවාහු, මා විසින් චොදනා කරන ලදුවෝ සිහිය ලදුහ.

ඒ තුන් මහණුන් ගෙන් ගඳැවූ රැහැට පැමිණැ සිටි එකෙක් මෙහි මැ රැඳුණේ ය. සම්බෝධිමාර්ගය (අනගැමි මඟ) ඔස්සේ යන දෙදෙනෙක් ම සමාධිගත සිතැත්තාහු දෙවියන් යට පත් කෙරෙත්.

මෙ සස්නෙහි මෙ බඳු දහම් පවසනු ඇත. එහි ලා කිසිදු සව්වෙක් ‘මේ කෙසේ වන්නෙක් දැ’යි සැක නො කරයි. තිණූ සතර මහවතුරු ඇති, සුන් සැක ඇති, ජනයනට ඉන්ද්‍ර වූ සියලු කෙලෙස් දිනූ බැවින් එක ම ජිනයාණන් වූ ඒ බුදුරජුන් නමදිමු.

“ඔවුන් තිදෙනා අතුරෙන් විශෙෂගාමී වූ දෙදෙනෙක් මෙහි දී ම ඔබේ දහම දැන ගෙන බ්‍රහ්මපුරෝහිත කය (ප්‍රථමධ්‍යානය) ලැබ එය පාදක කොට විවසුන් වඩා අනඟැමි මඟ ලැබුවාහු ද, නිදුකාණනි, ඒ දහම ලබනු පිණිස අපි මෙහි ආම්හ. නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අවකාශ ඇත්තමෝ ප්‍රශ්න විචාරමෝ වා.”

“එකල්හි මේ සක් දෙව් වනාහි බොහෝ කලක් ම පිරිසිදු වැ ආයෙක. හේ යම් පැනයක් මා විචාරන්නේ ද, අර්ථනිඃශ්‍රීත වූ ම (කරුණු සහිත වූ ම) ඒ සියල්ල විචාරන්නේ ය, අර්ථ නිඃශ්‍රීත නො වූවක් නො ම විචාරන්නේ ය. මොහු විසින් යමක් විචාරන ලදුයෙම්, මම් විසඳන්නෙම් නම්, හේ වහා ම එය දැනගන්නේ යැ”යි භගවත් බුදුරජුනට මේ සිත විය, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු බණවා (ගාථායෙන්)

“වාසවයෙනි, සිතින් යමක් කැමැත්තහු ද, ඒ පැනය මා විචාරවු. ඔබගේ ඒ ඒ හැම පැනයක් ම (විසඳා) කෙළවර කරන්නෙමි”යි වදාළ සේක.


පළමු බණ වර නිමියේ ය.


12. සක් දෙවිඳු පැන පුළුවුස්නා පිණිස ලත් අවකාශ ඇත්තේ,( කතාවකාසො-කරන ලද අවකාශ ඇත්තේ යනු පදගතාර්ථ යැ) භගවත් බුදුරජුන් ගෙන් මේ පළමු පැනය විචාළේ ය: “නිදුකාණන් වහන්ස, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද මෙයින් අන්‍ය යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට ‘වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝදණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී (කොප මාත්‍ර දු නො උපදවන්නෝ) වැ වසන්නෙමු’යි ප්‍රාර්ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෛර ඇත්තාහු, දණ්ඩ ඇත්තාහු, පසමිතුරන් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, වෛරී වූවාහු වෙසෙත්. කවර සංයෝජනයක් ඇත්තාහු (කවර බැම්මෙකින් බැඳුණාහු) ඔහු එසේ වෙසෙත් ද? යනු යි. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන් ගෙන් මේ පළමු පැනය විචාළේ ය.

ඔහු විසින් පැන විචාරන ලද භගවත්හු එය මෙසේ විසඳා වදාළා හ:

“දෙවිඳ, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද අන් යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝ දණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී වැ වසන්නමු’යි ප්‍රාර්ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෙර බැඳුම් ඇත්තෝ වැ දණ්ඩ ඇත්තෝ වැ පසමිතුරන් ඇත්තෝ වැ දොම්නස් ඇත්තෝ වැ වෛරී වැ වෙසෙත්. ඔහු ඊර්‍ෂ්‍යාවත් මාත්සර්‍ය්‍යයත් සංයෝජන කොටැත්තාහු (ඊර්ෂ්‍යාමාත්සර්‍ය්‍ය දෙකින් බැඳුණාහු), එසේ වෙසෙත්.” ප්‍රශ්න විචාරනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳු ගේ පැනය මෙ පරිද්දෙන් විසැඳූහ. (එයින්) සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ යැ, සුගතයන් වහන්ස, මෙය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේ ගේ විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණි (. තිණ්ණා කංඛා-සැකය තරණය කරන ලදී යනු පදගතාර්ථ යැ.) විමතිය පහ විණැ”යි සක් දෙවිඳු භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගත්තේ ය, අනුමොවන් විය.

13. සක් දෙවිඳු මෙසේ භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගෙන අනුමෙවැ,

“නිදුකාණන් වහන්ස, ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක කුමක් නිදන් කොටැත්තේ ද, කුමක් සමුදය (කාරණ) කොටැත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොටැත්තේ ද, කුමක් ප්‍රභව (උපදනා තැන) කොටැත්තේ ද, කුමක් ඇති කල්හි ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක වෙයි ද, කුමක් නැති කල්හි ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක නො වෙයි දැ?”යි මත්තෙහි ද පැනයක් පුළුවුත.

“දෙවිඳ, ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක ප්‍රිය අප්‍රිය සත්ත්වයන් නිදාන කොටැත්තේ ය, ප්‍රියාප්‍රිය සත්වයන් සමුදය (කාරණ) කොට ඇත්තේ ය, ප්‍රියාප්‍රිය සත්වයන් ජාති (උත්පත්තිස්ථාන) කොටැත්තේ ය, ප්‍රියාප්‍රිය සත්වයන් ප්‍රභව (උපදනා තැන්) කොට ඇත්තේ ය. ප්‍රියාප්‍රිය සත්ත්වයන් ඇති කල්හි ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක වෙයි. ප්‍රියයක්හු හෝ අප්‍රියයක්හු නැති කල්හි ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.

14. නිදුකාණන් වහන්ස, ප්‍රියාප්‍රිය සත්ව සංස්කාරය කුමක් නිදාන කොටැත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොටැත්තේ ද, කුමක් ඇති කල්හි ප්‍රියාප්‍රිය සත්ව සංස්කාරය වේ ද, කුමක් නැති කල්හි ප්‍රියාප්‍රිය සත්ව සංස්කාරය නො වේ දැ?”යි සක් දෙවිඳු පුළුවුත.

දෙවිඳ, ප්‍රියාප්‍රිය සත්වසංස්කාරය වනාහි ඡන්දය නිදාන කොටැත්තේ ය, ඡන්දය සමුදය කොටැත්තේ ය, ඡන්දය උත්පත්තිස්ථාන කොටැත්තේ ය, ඡන්දය ප්‍රභව කොටැත්තේ ය, ඡන්දය ඇති කල්හි ප්‍රියාප්‍රිය සත්ව සංස්කාරය වේ, ඡන්දය නැති කල්හි ප්‍රියාප්‍රිය සත්වසංස්කාරය නො වේ”යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.

15. ‘නිදුකාණන් වහන්ස, ඡන්දය වනාහි කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ඡන්දය වේ ද, කුමක් නැති කල්හි ඡන්දය නො වේ දැ”යි සක් දෙවිඳු පුළුවුත.

“දෙවිඳ, ඡන්දය වනාහි විනිශ්චය විතර්කය නිදාන කොට ඇත්තේ ය, විනිශ්චය විතර්කය සමුදය කොට ඇත්තේ ය, විනිශ්චය විතර්කය උත්පත්තිස්ථාන කොට ඇත්තේ ය, විනිශ්චය විතර්කය ප්‍රභව කොට ඇත්තේ ය, විනිශ්චය විතර්කය ඇති කල්හි ඡන්දය වේ විනිශ්චය විතර්කය නැති කල්හි ඡන්දය නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.

16. “නිදුකාණන් වහන්ස, විනිශ්චය විතර්කය කුමක් නිදන් කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්තිස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි විනිශ්චය විතර්කය වේ ද, කුමක් නැති කල්හි විනිශ්චය විතර්කය නො වේ දැ?”යි සක් දෙවිඳු පුළුවුත..

“දෙවිඳ, විනිශ්චය විතර්කය වූ කලි තෘෂ්ණා ප්‍රපඤ්ච සම්ප්‍රයුක්ත සංඥාකොටස් නිදන් කොටැත්තේ ය, එය ම සමුදය කොට ඇත්තේ ය. එය ම උත්පත්තිස්ථාන කොට ඇත්තේ ය, එය ප්‍රභව කොට ඇත්තේ ය, එය ඇති කල්හි විනිශ්චය විතර්කය වේ, එය නැති කල්හි විනිශ්චය විතර්කය නො වේ”යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූසේක.

17. “නිදුකාණන් වහන්ස, මහණ තෙම කෙසේ පිළිපන්නේ ප්‍රපංචසංඥා කොටසුන් ගේ සංසිඳීමට උපාය බැවින් නිසි වූ ද එය අරමුණු කිරීම් වශයෙන් එයට පැමිණෙන්නා වූ ද විවසුන් මඟ පිළිපන්නේ වේ දැ?”යි සක් දෙවිඳු පුළුවුත.

“දෙවිඳ, මම් සෙවියැ යුතු නො සෙවියැ යුතු විසින් සොම්නස් වේදනාව ද දෙ පරිදි කොට කියමි. දෙවිඳ, සෙවියැ යුතු සොම්නස ද නො සෙවියැ යුතු සොම්නස දැ යි මම් සොම්නස ද දෙ පරිද්දෙකින් කියමි, දොම්නස ද සෙවියැ යුතු දොම්නස ද නො සෙවියැ යුතු දොම්නස දැ යි දෙ පරිදි කොට කියමි. උපේක්ෂාව ද සෙවියැ යුතු උපේක්ෂාව ද නො සෙවියැ යුතු උපේක්ෂාව දැ යි දෙ පරිදි කොට කියමි.

සෙවියැ යුතු සොම්නස ද නොසෙවියැ යුතු සොම්නස දැ යි මම් සොම්නස දෙ පරිද්දෙකින් කියමි යි මෙසේ මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි මේ සොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ යි යම් සොම්නසක් දැන ගන්නේ ද, මෙබඳු වූ සොම්නස නො සෙවියැ යුතු. මේ සොම්නස සෙවුනා මගේ සතන් හි අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම්හු වැඩෙති’යි යම් සොම්නසක් දැන ගන්නේ ද, මෙ බඳු සොම්නස සෙවියැ යුතු. එහි ද යම් සොම්නසෙක් ඉදින් විතර්ක සහිත විචාර සහිත ද (නෛෂ්කාම්‍ය වශයෙන් විදර්ශනා වශයෙන් අනුස්මෘතිභාවනා වශයෙන් ප්‍රථම ධ්‍යාන වශයෙන් විතර්ක විචාර සහිත ද), යම් සොම්නසෙක් විතර්ක (රහිත ද විචාර රහිත ද ද්විතීය ධ්‍යාන වශයෙන් අවිතර්ක වැ අවිචාර වැ උපන්නේ ද) ඔවුන් අතුරෙන් යමක් විතර්ක රහිත ද, එය වඩා උතුම් ය. ‘දෙවිඳ, සොම්නස ද සෙවියැ යුතු එක දැ, නො සෙවියැ යුතු එක දැ යි දෙ පරිද්දෙකින් කියමි’යි යමක් කියන ලද ද, මෙය ඒ ද්විවිධ සොම්නස සඳහා කියන ලදී. දෙවිඳ, දොම්නස ද සෙවියැ යුතු එක ද නො සෙවියැ යුතු එක දැ යි දෙ පරිද්දෙකින් මම් කියමි. මෙසේ වනාහි මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි ‘මේ දොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’යි යමක් දන්නේ ද, මෙ බඳු දොම්නස නො සෙවියැ යුතු යැ. එහි ‘මේ දොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම් හු වැඩෙත් යැ’යි දන්නේ ද, මෙ බඳු දොම්නස සෙවියැ යුතු. එහි විතර්ක සහිත විචාර සහිත යම් දොම්නසෙක් වේ ද, විතර්කරහිත විචාරරහිත යම් දොම්නසෙක් වේ ද, ඔවුන් අතුරෙන් යමක් විතර්කරහිත විචාරරහිත දැ (නෛෂ්කාම්‍ය වශයෙන් විදර්ශනා වශයෙන් අනුස්මෘති වශයෙන් ප්‍රථමධ්‍යානාදි වශයෙන් උපදනා) මේ දොම්නස වඩා උතුම් යැ. දෙවිඳ, දොම්නස ද සෙවියැ යුතු එක ද නොසෙවියැ යුතු එක දැ යි දොම්නස ද මම් දෙවැදෑරුම් කොට කියමි යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී දොම්නස සඳහා කියන ලදී.

දෙවිඳ, සෙවියැ යුතු එක ද නොසෙවියැ යුතු එක දැ යි මම් උපේක්ෂාව ද දෙ වැදෑරුම් කොට කියමි. මෙසේ ම මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි මේ උපේක්ෂාව වනාහි සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ යි යම් උපේක්ෂාවක් දන්නේ ද, මෙ බඳු වූ උපේක්ෂාව නොසෙවියැ යුතු ය. එහි මෙ උපෙක්ෂාව සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම්හු වැඩෙත් යැ යි යම් උපෙක්ෂාවක් දන්නේ ද මෙ බඳු වූ උපෙක්ෂාව සෙවියැ යුතු ය. එහි යමක් සවිතර්ක සවිචාර ද, යමක් අවිතර්ක අවිචාර ද, මොවුන් අතුරෙන් යමක් අවිතර්ක අවිචාර ද එය වඩා උතුමි. දෙවිඳ, ‘සෙවියැ යුතු එක ද නො සෙවියැ යුතු එක දැ යි උපේක්ෂාව දෙ වැදෑරුම් කොට කියමි’යි මෙසේ යමෙක් මා විසින් කියන ලද ද, මෙය ඒ (අවිතර්ක අවිචාර) උපේක්ෂාව සඳහා කියන ලදි.

දෙවිඳ, මෙසේ පිළිපන් මහණ තෙම ප්‍රපංච සම්ප්‍රයුක්ත සංඥා කොටසුන් ගේ සංසිඳීමට උපාය බැවින් එයට නිසි වූ ද එය අරමුණු කිරීම් වශයෙන් එයට පැමිණෙන්නා වූ ද විවසුන් මඟට පිළිපන්නේ වේ යැ යි මෙසේ සක් දෙවිඳු විසින් විචාරන ලද පැනය විසඳා වදාළ සේක. සතුටු වූ සක් දෙවිඳු ‘භාග්‍යවතුන් වහන්ස, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේ ගේ පැන විසඳීම ඇසීමෙන් මෙහි මා තුළැ වූ සැකය ඉක්මිණ, විමතිය පහ වියැ’යි කියා භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගත්තේ ය, අනුමෙවී ය.

18. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන, “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් මහණ තෙම පාතිමොක්ඛ සීල සංවරය පිණිස පිළිපන්නෙක් වේ දැ”යි මත්තෙහි දු පැනයක් පුළුවුත.

“දෙවිඳ, සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි. සෙවියැ යුත්ත ද නො සෙවිය යුත්ත දැ යි වාක්සමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි. දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි පර්‍ය්‍යෙෂණය ද මම් දෙවැදෑරුම් කොට කියමි. දෙවිඳ, සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි යි මෙසේ ම මෙය කියන ලදි. කුමක් සඳහා මෙය කියන ලද ද යත්: එහි මේ කායසමාචාරය සෙවුනා මා සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’යි යම් කාය සමාචාරයක් දන්නේ ද, මෙ බඳු වූ කායසමාචාරය සෙවියැ යුතු යැ. එහි මේ කාය සමාචාරය සෙවුනා මා සතනෙහි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙත් යැ යි යම් කාය සමාචාරයක් දන්නේ ද මෙබඳු වූ කායසමාචාරය සෙවිය යුතු ය. ‘දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද දෙවැදෑරුම් කොට මම් කියමි යි මෙසේ යමක් කියන ලද ද මෙය එකී කාය සමාචාරය සඳහා කියන ලදි.

දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවයැ යුත්ත දැ යි වාක්සමාචාරය ද දෙ වැදෑරුම් කොට මම් කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලදද? එහි, ‘මේ වාක්සමාචාරය සෙවුනා මගේ (සතන්හි) අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’යි යම් වාක්සමාචාරයක් දන්නේ ද, එ බඳු වූ වාක්සමාචාරය නො සෙවියැ යැතු. එහි ‘මේ වාක්සමාචාරය සෙවුනා මගේ (සතන්හි) අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙත් යැ’යි යම් වාක්සමාචාරයක් දන්නේ ද, මෙබඳු වූ වාක් සමාචාරය සෙවියැ යුතු. ‘දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි වාක්සමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි’යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී වාක්සමාචාරය සඳහා කියන ලදි.

දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි පර්‍ය්‍යෙෂණය ද දෙවැදෑරුම් කොට කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද? යත්: එහි ‘මේ පර්‍ය්‍යෙෂණය සෙවුනා මගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති’යි යම් පර්‍ය්‍යෙෂණයක් දැන ගන්නේ ද, මෙබඳු වූ පර්‍ය්‍යෙෂණය නො සෙවියැ යුතු. එහි ‘මේ පර්‍ය්‍යෙෂණය සෙවුනා මගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙති’යි යම් පර්‍ය්‍යෙෂණයක් දැන ගන්නේ ද, ඒ පර්‍ය්‍යෙෂණය සෙවියැ යුතු. දෙවිඳ, පර්‍ය්‍යෙෂණයත් සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී පර්‍ය්‍යෙෂණය සඳහා කියන ලදි. දෙවිඳ, මෙසේ පිළිපන් මහණ වනාහි පාතිමොක්ඛ සංවරය පිණිස පිළිපන්නේ වේ යැ යි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳු විසින් පැන පුළුවුස්නා ලද්දාහු එය විසැඳූ සේක. සතුටට පත් සක් දෙවිඳු ‘භග්‍යවතුන් වහන්සැ එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ පැන විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණ, විමතිය පහ වී යැ’යි භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගත්තේ ය, අනුමෙවී ය.

19. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගෙන අනුමෙවැ ඔබ ගෙන් “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් මහණ තෙම ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපන්නේ වේ දැ?”යි මත්තෙහි පැනයක් පුළුවුත.

“දෙවිඳ, ඇසින් දැක දත යුතු රූපය ද සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි... දෙවිඳ කනින් අසා දත යුතු ශබ්දය ද ... දෙවිඳ, නැහැයෙන් අසා දත යුතු ගඳ ද... දිවෙන් ආස්වාද කොට දත යුතු රසය ද... කයින් පැහැසැ දත යුතු හැපෙන දෑ ද...මනසින් දත යුතු දහම් අරමුණු ද සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට කියමි”යි භාග්‍යවතුන් වහන්සේ විසඳා වදාළ සේක.

මෙසේ වදාළ කල්හි “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් මම් දැනගනිමි. වහන්ස, ඇසින් දැක දත යුතු යම් බඳු රූපයක් සෙවුනහු ගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත් ද කුසල් දහම්හු පිරිහෙත් ද, මෙබඳු වූ චක්ෂුර් විඥෙය රූපය නො සෙවියැ යුතු. වහන්ස, ඇසින් දැක දත යුතු යම් බඳු රූපයක් සෙවුනහු ගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත් ද කුසල් දහම්හු වැඩෙත් ද, එබඳු වූ චක්ෂුර් විඥෙය රූපය සෙවියැ යුතු. වහන්ස, යම් බඳු ශ්‍රොත්‍ර විඥෙය ශබ්දයක් සෙවුනහු ගේ... ඝ්‍රාණවිඥෙය ගන්ධයක් සෙවුනහු ගේ... ජිහ්වා විඥෙය රසයක් සෙවුනහු ගේ... කාය විඥෙය ස්ප්‍රෂ්ටව්‍යයක් සෙවුනහු ගේ... මනෝවිඥෙය ධර්මයක් සෙවුනහු ගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත් ද කුසල් දහම්හු පිරිහෙත් ද, මෙ බඳු මනොවිඥෙය ධර්මය නො සෙවියැ යුතු. වැලිදු යම් බඳු මනොවිඥෙය ධර්මයක් සෙවුනහු ගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත් ද කුසල් දහම්හු වැඩෙත් ද එබඳු වූ මනොවිඥෙය ධර්මය සෙවියැ යුතු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ වචනයේ අර්ථය මෙසේ විස්තරයෙන් දැන ගන්නා මට භාග්‍යවතුන් වහන්සේ පැන විසැඳුම ඇසීමෙන් මෙහි සැකය ඉක්මියේ ය, විමතිය පහ වී යැ”යි සක්දෙවිඳු කී ය.

20. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගෙන අනුමෙවැ, මත්තෙහි දු පැනයක් පුළුවුස්නේ, “නිදුකාණන් වහන්ස, සියලු ම මහණබමුණෝ එක් (සමාන) අන්තයක් ඇති (අභින්න) වාද ඇත්තෝ ද? එක් ම (සමාන) ආචාර ඇත්තෝ ද? එක් (සමාන) ලබ්ධි ඇත්තෝ ද? එක් (සමාන) නිෂ්ඨානයක් ඇත්තෝ දැ?”යි පුළුවුත.

“දෙවිඳ, සියලු මහණ බමුණෝ සමාන වාද ඇත්තෝ නො වෙත්, සමාන ආචාර ඇත්තෝ නො වෙත්, සමාන ලබ්ධි ඇත්තෝ නො වෙත්, සමාන නිෂ්ඨානයක් ඇත්තෝ නො වෙත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ සමාන වාද ඇත්තෝ සමානාචාර ඇත්තෝ සමාන ලබ්ධි ඇත්තෝ සමාන නිෂ්ඨානයක් ඇත්තෝ නො වෙත් දැ?”යි සක්දෙවිඳු පුළුවුත.

“දෙවිඳ, ලෝවැස්සෝ නොයෙක් අදහස් ඇත්තෝ, නානා අදහස් ඇත්තෝ වෙත්. ඒ නොයෙක් අදහස් ඇති, නානා අදහස් ඇති ලෝවැස්සන් අතුරෙහි සත්වයෝ යම් යම් ම අදහසකට වැද ගනිත් ද (අදහසක් ගනිත් ද), ඒ ඒ අදහස ම කැඩි කොට ගෙන මුළු ශක්තියෙන් ම පරාමර්ශනය කොට ‘මෙය ම සත්‍ය යැ සෙස්ස හිස් යැ’යි කියත්. එහෙයින් සියලු මහණබමුණෝ එක් ම වාදයක් ඇත්තෝ නො වෙත්, එක් ම ‘ආචාරයක්’ ඇත්තෝ නො වෙත්, එක් ම ලබ්ධියක් ඇත්තෝ නො වෙත්, එක් ම නිෂ්ඨාවක් ඇත්තෝ නො වෙත්” යැ යි විසඳා වදාළ සේක.

“නිදුකාණන් වහන්ස, සියලු ම මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ ද? අත්‍යන්ත යෝග ක්ෂේමය (නිර්වාණය) ඇත්තෝ ද? අත්‍යන්තය පිණිස (නිවන සඳහා) බඹසර සරන්නෝ ද (ආර්‍ය්‍යමාර්ගාධිගමය කරන්නෝ ද)? අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ දැ (නිර්වාණ ගාමීහු දැ)”යි සක් දෙවිඳු පුළුවුත.

“දෙවිඳ, සියලු මහණ බමුණෝ අත්‍යන්තනිෂ්ඨාව ඇත්තෝ නො ම වෙත්, අත්‍යන්ත යෝගක්ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො ම වෙති”යි විසැඳූ සේක.

“නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ නො ම වෙත් ද? අත්‍යන්ත යෝග ක්ෂෙමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො ම වෙත් දැ?”යි සක් දෙවිඳු පුළුවුත.

“දෙවිඳ, යම් මහණ බමුණු කෙනෙක් තෘෂ්ණා සංක්ෂයයෙන් (මාර්ගයෙන් හෝ නිවන අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදුණාහු ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තාහු, අත්‍යන්ත යෝග ක්ෂේමය ඇත්තාහු, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තාහු වෙත්. එහෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ නො වෙත්, අත්‍යන්ත යෝගක්ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො වෙත්”යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු විසින් පැන පුළුවුස්නා ලද සේක් ඒ විසැඳූ සේක. සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ ය, භාග්‍යවතුන් වහන්සේ ගේ ප්‍රශ්නව්‍යාකරණය (පැන විසැඳීම) ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණ, විමතිය පහ වී යැ”යි භගවත් බුදුරජුන් ගේ භාෂිතය පිළිගත්තේ ය, අනුමෙවී ය.

21. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගෙන, අනුමෙවැ “වහන්ස, තෘෂ්ණාව රොගයෙක, තෘෂ්ණාව ගඩෙක, තෘෂ්ණාව හුලෙක තෘෂ්ණාව මේ පුරුෂයා (කර්මානුකූල ව) ඒ ඒ භවයෙක ම ඉපැද්ම පිණිස හාත්පසින් අදී. එ හෙයින් මේ පුරුෂ තෙම උස් බවට පහත් බවට පැමිණේ. වහන්ස, යම් ප්‍රශ්නයකට මෙයින් බැහැර අන් මහණ බමුණන් කෙරෙහි අවකාශ කිරීම් පමණ දු නො ලදුයෙම් ද, දීර්ඝ කාලයක් මා සිත් සතන්හි ලැග හොත් ඒ ප්‍රශ්නයෝ මට භාග්‍යවතුන් වහන්සේ විසින් විසඳා වදාරන ලදහ. මා තුළ යම් සැක විමති නැමැති හුලෙක් වී ද, එය ද භාග්‍යවතුන් වහන්සේ විසින් උදුරා දමන ලදුයේ යැ”යි මෙ බස් පැවැසී ය.

22. “දෙවිඳ, මේ ප්‍රශ්න අන් මහණ බමුණන් වෙතින් විචාළා දන්නෙහි දැ?”යි භගවත්හු වදාළාහ.

“වහන්ස, අන් මහණ බමුණන් වෙතින් මේ ප්‍රශ්න විචාළා දනිමි”යි සක් දෙවිඳු කී ය.

“දෙවිඳ, කෙසේ නම් ඔහු මේ ප්‍රශ්න විසැඳූහු ද, ඉදින් ඔබට බරෙක් නො වේ නම්, කිව මැනැවැ”යි භගවත්හු වදාළාහ.

“වහන්ස, යම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නෙක් වැඩහුන් සේක් වී නම්, එය කියනු මට බරෙක් නො වේ”යැ යි සක් දෙවිඳු කී ය.

“එසේ වී නම්, දෙවිඳ, කියන්නැ”යි භගවත්හු වදාළහ.

“වහන්ස, වනවාසීහු යැ යි, ගම්කෙළවරැ සෙනසුන්හි වසන්නෝ යැ යි, යම් මහණ බමුණු කෙනකු මම් සිතීම් ද, මම් ඔවුන් කරා ගොස් මේ ප්‍රශ්න විචාළෙමි. ඔහු මා විසින් විචාරන ලද්දාහු, “ආයුෂ්මත් තෙමේ කිනම් වේ දැ?”යි මා ම පුළුවුසිත්. මම් ඔවුන් විසින් පුළුවුස්නා ලදිම් ‘නිදුකාණනි, මම් සක් දෙවිඳුමි’යි කියමි. ඔහු “ආයුෂ්මත් දේවේන්ද්‍ර තෙමේ කවර නම් කර්මයක් කොට මේ තැනට පත් වී දැ?”යි මත්තෙහි මා ම පුළුවුසිත්. මම් ඔවුනට මා අසා ඇති පරිදි මා ඉගෙන ඇති පරිදි (සප්ත ව්‍රත පද) ධර්මය දෙසමි. ඔහු එ පමණින් ම, ‘අප විසින් සක් දෙවිඳු දක්නා ලද්දේ ද වේ, අපි යමක් විචාළමෝ ද එය ද අපට විසඳා කීයේ යැ’යි එ පමණින් ම සතුටු වෙත්, ඔහු ඒකාන්තයෙන් මගේ ම ශ්‍රාවකයෝ වෙත්, මම් ඔවුන් ගේ ශ්‍රාවක නො වෙමි. වහන්ස, මම් වූ කලී සිවු අවාහි නොවැටෙන සැහැවි ඇති, මාර්ග ධර්ම නියාමයෙන් නියත වූ (අවශ්‍යයෙන් ම උපරිමාර්ගාධිමය කරන සුලු) භාග්‍යවතුන් වහන්සේ ගේ සෝවාන් සව්වෙක් වෙමි”යි සක් දෙවිඳු පැවැසී ය.

23. “දෙවිඳ, මෙයින් පෙරැ තොප මෙ බඳු සතුටක් ලැබීම, සොම්නසක් ලැබීම දනිවු දැ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“වහන්ස, මම් මෙයින් පෙරැ මෙබඳු සතුටක් ලැබීම සොම්නසක් ලැබීම දනිමි”යි සක් දෙවිඳු කී ය.

“දෙවිඳ, මෙයින් පෙර තොප කෙසේ වූ මෙබඳු සතුටක් ලැබීම සොම්නසක් ලැබීම දනිවු දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වසාළ සේක.

“වහන්ස, පෙරැ වූවක් කියමි. පෙරැ දෙවියන්ගේ ද අසුරයන්ගේ ද, යුද්ධයෙක් එළැඹැ සිටියේ විය. වහන්ස, ඒ යුද්ධයෙහි දෙවියෝ ජය ගත්හ. අසුරයෝ පැරැදුණහ. වහන්ස, ඒ යුද්ධය දිනා, දිනූ යුද්ධය ඇති ඒ මට ‘දැන් යම් දිව්‍ය ඔජසෙක් වේ ද යම් අසුර ඕජසෙකුත් වේ ද, මේ දෙකොටස ම දැන් දෙවියෝ පරිභෝග කරන්නාහ’යි මට මේ සිත විය. වහන්ස, මගේ ඒ යම් සතුට ලැබීමෙක් සොම්නස ලැබීමෙක් වී ද දඬුගෙන හැසිරීම සහිත වූ අවි ගෙන හැසිරීම සහිත වූ ඒ සතුට ලැබීම, ඒ සොම්නස ලැබීම සසරැ කලකිරීම පිණිස නො පවතී, විරාගය පිණිස නො පවතී, නිරොධය පිණිස නො පවතී, කෙලෙස් සන්සිඳීම පිණිස නො පවතී, විශිෂ්ට ඥානය පිණිස නො පවතී, සත්‍යාවබෝධය පිණිස නො පවතී, නිවන පිණිස නො පවතී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් මට යම් සතුට ලැබීමෙක්, සොම්නස ලැබීමෙක් වී ද, එය දඬුගෙන හැසිරීම් නැති එකෙක, අවි ගෙන හැසිරීම් නැති එකෙක, ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශ ව්‍යුපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතී”යැ යි සක් දෙවිඳු කී ය.

24. “දෙවිඳ, තෝ කවර නම් කරුණක් දක්නෙහි මෙබඳු සතුට ලැබීමක්, සොම්නස ලැබීමක් දන්වහි දැ?”‘ භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“වහන්ස, මම් කරුණු සයක් දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීමක් සොම්නස ලැබීමක් දන්වමි.

‘නිදුකාණන් වහන්ස, මෙහි ම සිටුනා දෙවි වූ ම මා විසින් (ආයු ගෙවී) මෙහි දී ම සැව අනතුරු වැ මෙහි ම ඉපැදීමෙන් පුනරායුෂය ද ලද්දේ ය. මෙ කරුණ මෙසේ දැන වදාළ මැනැවි.

වහන්ස, මේ පළමු වන කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම, සොම්නස ලැබීම දන්වමි.

‘මම් දිව්‍ය ආයුෂ හැර දමා දෙව් අත් බැවින් සැව, යම් තැනෙක මා සිත අලෙයි ද, එහි සිහි නොමුළා වැ (කැත් කුල ආදියෙක) මවු කුසකට එළැඹෙන්නෙමි.’

වහන්ස, මම් මේ දෙවෙනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුටක් ලැබීම, සොම්නසක් ලැබීම දන්වමි.

‘ඒ මම් සස්නෙහි ඇලුණෙම්, නොමුළා වූ ප්‍රඥා ඇති වැ වසන්නෙම්, ප්‍රඥා ඇත්තෙම්, එළැඹැ සිටි සිහි ඇත්තෙම්, න්‍යායයෙන් (අරිසවු බවට නිසි වූ කරුණින්) යුතු වැ වසන්නෙමි.’

වහන්ස, මේ තුන් වැනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.

“න්‍යායයෙන් (අරි සවු බවට ගැළපෙන කරුණින්) හැසිරෙන මට ඉදින් සම්බෝධිය වන්නේ නම් (සෙදැගැමිවන්නෙම් නම්) නොලත් විශෙෂාධිගමය ලබනු කැමැත්තෙම් වසන්නෙමි. එය ම මිනිස් ලොවැ මගේ කෙළවර අත්බව වන්නේ ය.”

වහන්ස, මේ සතර වන කරුණ දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.

‘මනුෂ්‍යායුෂය හැරැ මිනිසත් බැවින් සැවැ දෙව් ලොවැ යලිදු උතුම් දෙවියෙක් වන්නෙමි.’

වහන්ස, මේ පස් වන කරුණ දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම මෙබඳු වූ සොම්නස ලැබීම දන්වමි.

‘යශස් ඇති, සියලු දෙවියනට වඩා උතුම් වූ, අකනිටා බඹලොව වැසි ඒ යම් දෙවි කෙනෙක් ඇද්ද, මගේ අන්තිම අත්බව පවත්නා කල්හි ඔවුන් අතුරෙහි මගේ නිවාසය වන්නේ ය.’

වහන්ස, මේ සවැනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.

වහන්ස, මම් මේ කරුණු සය දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම, සොම්නස ලැබීම දන්වමි.

25. නො නිමි මනෝරථය ඇති වැ, සැක කරන සුලු වැ, විමති ඇති වැ, තථාගත කෙනකු සොයනුයෙම් දික් කලක් සසරැ හැවිද්දෙමි.

යම් මහණුන් ත්‍රිවිධ විවේකයෙන් විවික්ත වැ වසන්නන් කොට හඟිම් ද, මේ බුදුවරු යි හඟින්නෙම් ඔවුන් ඇසුරු කරන්නට යෙමි.

‘ආර්‍ය්‍ය මාර්ගයට බස්නා පිළිවෙත කෙසේ වේ ද? ආර්‍ය්‍යමාර්ගයට බාධක පිළිවෙත (අනුපාය ප්‍රතිපත්තිය) කෙසේ වේ දැ?’යි මා විසින් විචාරන ලද්දා වූ ආර්‍ය්‍ය මාර්ගයෙහි ද ප්‍රතිපත්තීන්හි ද විචාළ කරුණු මොනොවට විසඳා කියන්නට ඔහු නො හැකි වෙත්.

ඔහු යම් කලෙක ‘දෙවියන් අතුරෙන් සක් දෙව් තෙමේ ආයේ යැ’යි මා දැන හැඳිනැ ගනිත් ද, එ කලැ ‘කුමක් කොට මේ සක් දෙව් පදයට පැමිණියෙහි දැ?’යි මා ම පිළිවිසිත්.

ඔවුනට මම් අසා ඇති පරිදි ජනයා අතර ප්‍රකට වූ සප්ත ව්‍රත පද ධර්මය දෙසමි. එයින් ඔහු ‘අප විසින් වාසව (ශක්‍ර) තෙම දක්නා ලදැ’යි කියාත් සතුටු වෙත්.

වැලි යම් කලෙක සැක දුරු කරන බුදුරජුන් දුටුයෙම් ද, ඒ අද ඒ සම්බුදු රජුන් ඇසුරු කොට ඒ මම් පහ වූ බිය ඇත්තෙකිම් වෙමි.

තෘෂ්ණා නැමැති හුල නසාලූ, සම පුඟුලක්හු නැති, බුදුරජුන් මම් වඳිමි. මහාවීර වූ සූර්‍ය්‍යබන්ධූන් වහන්සේ වඳිමි. පෙරැ දෙවියන් සමඟ බඹහට යම් නමස්කාරයක් කළමෝ ද, නිදුකාණන් වහන්ස, අද ඔබට ඒ නමස්කාරය කරන්නමු. දැන් ඔබට පිණිපා කරම්හ.

‘ඔබ ම සම්බුදුහු වෙති, ඔබ ම නිරුත්තර ශාස්තෘහු වෙති. දෙවියන් සහිත ලොවැ ඔබට සම පුඟුලෙක් නැත.”

26. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳෙවු පුතු බණවා ‘දරුව පන්සිළු, පළමු කොට තෝ භාග්‍යවතුන් වහන්සේ පැහැදැවූයෙහි (සිත් ගත්තෙහි) ය. ඒ තෝ මට බොහෝ උපකාරී වූයෙහි ය. දරුව, පළමු කොට තා විසින් පහදවන ලද අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නට පසු වැ අපි එළැඹුණම්හ. තා (අද සිට) පිය තනතුරෙහි තබන්නෙමි. තෝ අද සිට ගන්ධර්වයනට රජ වන්නෙහි ය. හිරුහු සේ බබලන භද්‍රා දෙවඟන තට දෙමි. තා විසින් ඕ වෙසෙසින් පතන ලද්දී යැ”යි කී ය.

ඉක්බිති සක් දෙවිඳු අත්ලෙන් පොළොව ස්පර්ශ කොට “ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා, ඒ භගවත් අර්හත් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා, ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා”යි තුන් වරක් උදන් ඇනී ය.

මේ නිර්ගාථක සූත්‍රය වදාරනු ලබන කල්හි සක් දෙවිඳු ට ද අන් අසූ දහසක් දෙවියනට ද ‘යමක් උපදනා සුලු ද ඒ සියල්ල නැසෙන සුලු යැ යි කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත දහම් ඇස (සෝවාන් මඟ නුවණ) පහළ විය.

මෙසේ සක් දෙවිඳු විසින් පතන ලද විචාරන ලද යම් ප්‍රශ්න කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් විසින් විසඳන ලදුහ. එහෙයින් මේ නිර්ගාථක සූත්‍රයට සක්කපඤ්හ (ශක්‍රප්‍රශ්න) යැ යි ම නමෙක් වෙයි.

අටවන සක්කපඤ්හ සූත්‍රය නිමියේ ය.

උපුටා ගැනීම - ධම්මසංගායනා - www.dhammasanghayana.org