ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/මහා පරිනිර්වාණ සූත්‍රය

1.මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’

2.එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරොගි බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරොගි බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.


වස්සකාරබ්‍රාහ්මණො

3.“පින්වතුන් වහන්ස, එසේ යහපතැයි’ මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍රවූ අජාසත් රජහට උත්තරදී යහපත් යහපත් යානාවන් යොදවා යහපත් යහපත් යානාවකට නැගී යහපත් යහපත් යානාවලින් රජගහ නුවරින් පිටත්විය. පිටත්ව, ගිජ්ජකූට පර්වතය යම්තැනකද එතැනට ගියේය. යානාවෙන් යායුතු භූමිය දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස, එතැන් සිට පයින්ම භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතුවූද සිහිකටයුතුවූද කථාව නිමකොට එකපැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම්දුන්නේය. “පින්වත් ගෞතමයන්වහන්ස, මගධරට රජවූ වේදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ පින්වත් ගෞතමයන් වහන්සේගේ පාදයන් හිසින් වඳී. වැඳ භාග්‍යවතුන් වහන්සේ දුක් නැතුව නිරොගිව, සැහැල්ලු පැවතුම් ඇතිව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව, වෙසේ දැයි” අසයි. “භවත් ගෞතමයන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දෙවියගේ පුත්‍රවූ අජාසත් රජතෙම වැදැරජුන් යටත් කර ගන්නට යනු කැමැත්තේවේ. ඒ රජතෙමේ මෙසේද කියයි. ‘මහත් ඍද්ධි ඇත්තාවූද මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් නසන්නෙමි, වැදැරජුන් නැතිකර දමන්නෙමි’ කියායි”


රාජඅපරිහානියධම්මා

4.ඒ කාලයේදී ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස වැඩ උන්නේය, එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකොට, ‘ආනන්දය, වැදැරජහු නිතර රැස්වන්නාහුය, රැස්වීම් බහුලව ඇත්තාහුය යන මේ කාරණය කිමෙක තොප විසින් අසන ලදදැයි” ඇසූසේක. “ස්වාමීන් වහන්ස, වැදැරජහු නිතර රැස්වීම් ඇත්තාහුය. රැස්වීම් බහුලව ඇත්තාහුය යන මේ කාරණය මා විසින් අසනලදී.

“ආනන්දය යම්තාක් කල් වැදැරජහු නිතර රැස්වීම් ඇත්තාහු රැස්වීම් බහුලව ඇත්තාහුද, ආනන්දය, ඒ වැදැ රජුන්ගේ වැඩිදියුණුවම කැමැතිවිය යුතුයි. පිරිහීමක් නොවේමය.

“ආනන්දය වැදැරජහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගීසිටිත්ද, වැදැරජහු සමගිව කටයුතු කෙරෙත්ද යන මේ කාරණය තා විසින් කිමෙක අසනලදදැයි’ ඇසූසේක. “ස්වාමීන් වහන්ස, වැදැරජහු සමගිව වෙසෙත්. සමගිව නැගී සිටිත්, වැදැරජහු සමගිව කටයුතු කරත් යන බව මා විසින් අසන ලද්දේය”

“ආනන්දය, යම්තාක් කල් වැදැ රජහු සමගිව රැස්වන්නාහුද, සමගිව නැගීසිටිත්නාහුද, වැදැරජහු සමගිව කටයුතු කරන්නාහුද ආනන්දය, ඒතාක් වැදැරජුන්ගේ වැඩිදියුණුවම කැමතිවිය යුතු, පිරිහීමක් නම් නොවේමයයි” වදාළසේක

“වැදැරජහු නොපණවන ලද අලුත් නීති නොපණවත්ද පණවනලද නීති කඩනොකරත්ද, පණවනලද පුරාණ වජ්ජි රාජධර්මයන් දැඩිසේ ගෙන පිළිපදිද්ද, යන මේ කාරණය තා විසින් කිමෙක අසන ලදදැයි” අසූසේක. “ස්වාමීන් වහන්ස, වැදැරජහු නොපණවන ලද්දක් නොපණවත්ය. පණවන ලද්දක් කඩ නොකෙරෙත්ය. පණවනලද වජ්ජිරාජ ධර්මයන් පිළිගෙන ඒ අනුව පිළිපදිත්ය, යන මේ කාරණය මා විසින් අසනලදී” “ආනන්දය, යම්තාක් කල් වැදැරජහු නොපණවනලද නීති නොපණවන්නාහුද පණවන ලද්දක් කඩ නොකරන්නාහුද පණවනලද වජ්ජි රාජධර්මයන් පිළිගෙන ඒ අනුව පවත්නාහුද, ආනන්දය, ඒ වැදැරජුන්ගේ වැඩි දියුණුවම කැමතිවිය යුතුය පිරිහීමක් නොවේයයි” කීවෝය. “ආනන්දය, වැදැරජහු ඔවුන්ගේ යම් ඒ මහලු වැදැරජහු වෙත්ද, ඔවුන්ට සත්කාර ගරු බුහුමන් කෙරෙත්ය, ඔවුන් හට වඳින්නාහුය, ඔවුන්ගේ අනුශාසනාදිය ඇසිය යුතුම යයි සිතන්නාහුය, යන මේ කාරණය තා විසින් කිමෙක නම් අසනලද දැයි” ඇසූසේක. “ස්වාමීන්වහන්ස, වැදැරජහු වැදෑරජුන්ගේ යම් ඒ වැඩිමහලු අය වෙත්ද ඔවුන්හට සත්කාර කෙරෙත්ය, ගරු කෙරෙත්ය, බුහුමන් කෙරෙත්ය, ඔවුන් පුදත්ය, ඔවුන්ගේ අනුශාසනාදිය ඇසියයුතු කොටම සිතත්ය.” යන මේ කාරණය මා විසින් අසන ලද්දේය.

“ආනන්දය, යම්තාක් කාලයක් වැදෑරජහු ඔවුන්ගේ ඒ වැඩිමහලු අය වෙත්ද ඔවුන්ට සත්කාර කරන්නාහුද ගරු කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, ඔවුන් පුදන්නහුද, ඔවුන්ගේ අනුශාසනාදියක් ඇසිය යුතු ලෙසම සිතන්නාහුද, ඒ තාක් වැදැරජුන්ගේ වැඩිදියුණුව බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවන්නේයයි” කීවෝය.

“ආනන්දය, වැදැරජහු පුරුෂාන්තර ගතවූ (විවාහවූ) යම් ඒ කුලස්ත්‍රීහු වෙත්ද, විවාහ නොවූ යම් ඒ කුල කුමරීහු වෙත්ද, ඔවුන්ට බලාත්කාරකම් නොකරත්ය යන මේ කාරණය තා විසින් කිමෙක නම් අසනලද්දේද?” ‘ස්වාමීන් වහන්ස, වැදැරජවරු ඒ කුලයන් අතරට ගිය ස්ත්‍රීහු වෙත්ද, යම් ඒ කුල කුමරීහු වෙත්ද ඔවුන්හට බලාත්කාරකම් නොකරත්ය යන මේ කාරණය මා විසින් අසන ලද්දේය. ආනන්දය, යම්තාක් කල් ඒ වැදැරජහු යම් ඒ කුල ස්ත්‍රීහු වෙත්ද, යම් ඒ කුල කුමාරීහු ඇද්ද, ඔවුන්ට බලාත්කාරකම් නොකරන්නාහුද, ආනන්දය, ඒතාක් වැදැ රජුන්ගේ දියුණුවම කැමතිවිය යුතුය, පිරිහීමක් නොවේම යයි” කීවෝය.

“ආනන්දය, වැදැරජහු ඔවුන්ගේ නුවර ඇතුලතවූ හෝ නුවරින් පිටත්වූ හෝ දේවාලයයි සම්මත ඒ වජ්ජි චෛත්‍යයෝ ඇද්ද ඒ චෛත්‍යාදීන්ට සත්කාර කෙරෙත්ය. ගරු කෙරෙත්ය බුහුමන් කෙරෙත්ය. ඒ චෛත්‍යයන් පුදත්ය කියාද, ඒ චෛත්‍යාදීන්ට පෙර දුන්නාවූද, පෙර කරණ ලද්දාවූද, ධාර්මික බිලිපූජා නොපිරිහෙලා කරත්ය යන මේ කරුණ තා විසින් කිමෙක අසන ලද්දේදැයි” ඇසූසේක. “ස්වාමීන්වහන්ස, වැදැරජවරු ඔවුන්ගේ නුවර ඇතුලත තිබෙන්නාවූද නුවරින් පිටත පිහිටියාවූද ඒ සියලුම වජ්ජි චෛත්‍යයයෝ වෙත්ද ඒ සියල්ලටම ඔවුන් උපකාර කෙරෙත්ය, ගරු කෙරෙත්ය, බුහුමන් කෙරෙත්ය, ඔවුහු ඒ චෛත්‍යයන්ට පුදත්ය ඉහතකී කාලයෙහි දුන්නාවූද එසේම කරණ ලද්දාවූද ඒ ධාර්මික බිලිපූජා කඩ නොකොට ඉෂ්ට කෙරෙත්ය යන මේ කරුණ මා විසින් අසනලදීයයි “උත්තර දුන්නේය” ආනන්දය, යම්තාක් මේ වැදැරජහු ඔවුන්ගේ නුවර ඇතුලත හෝ එයින් පිටත පිහිටියාවූ යම් ඒ චෛත්‍යාදීන්ට නොකඩකොට සත්කාර ගරු බුහුමන් කරන්නාහුද පූජාකෙරෙත්ද ඒ චෛත්‍යාදීන්ට පුරාණ කාලයෙහි රජුන් විසින් දෙනලද්දාවූද කරනලද්දාවූ ධාර්මික බිලි පූජාදිය නොපිරිහෙළා කරන්නාහුද, ආනන්දය, ඒ තාක් වැදැරජුන්ගේ දියුණුවම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවේමයයි” කීවෝය.

“ආනන්දය, ඒ වැදැ රජුන්ගේ වැඳුම් පිදුම් කිරීමට සුදුසුවූ මහණ බමුණන් නිවැරදි අන්දමින් ආරක්ෂාව යහපත් ලෙස පිහිටුවන ලද්දේය කියාද, කිමෙක්ද නොපැමිණියාවූ, සිල්වත් ගුණවත් මහණ බමුණෝ තමන්ගේ රටට වන්නාහුයයි කියාද, පැමිණියාවූ මහණ බමුණෝ සැපසේ වාසය කරන්නාහුය කියාද, තාවිසින් අසන ලද්දේ දැයි” ඇසූසේක.

“ස්වාමීන් වහන්ස, වැදැ රජවරුන් සිල්වත් ගුණවත් මහණ බමුණන් කෙරෙහි නිවැරදි අන්දමින් ආරක්ෂාව මනාකොට පිහිටුවන ලද්දීයයිද පෙර නොපැමිණියාවූ මහණ බමුණෝ තම රටට එන්නාහුය කියාද, පැමිණියාවූ මහණ බමුණෝ තමන්ගේ රටෙහි සැපසේ වෙසෙත්යයි කියාද මේ කාරණය මා විසින් අසනලදීයයි” පිළිතුරු දුන්නේය.

“එසේ නම් ආනන්දය, යම්තාක් කාලයක් වැදැ රජුන්ගේ මහණ බමුණන් කෙරෙහි නිවැරදි ආරක්ෂාව පිහිටුවන ලද්දී වන්නීද කිමෙක්ද පෙර නොපැමිණියාවූ මහණ බමුණෝ සිය රටට එන්නාහුද, පැමිණියාවූ මහණ බමුණෝ තමන්ගේ රටෙහි සැපසේ වසන්නාහුද, ආනන්දය ඒ වැදැ රජවරුන්ගේ දියුණුවම කැමතිවිය යුත්තේය. පිරිහීමක් නොවේයයි” කීවෝය.

5.ඊට පසුව ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ මගධ දෙශයෙහි මහාමාත්‍ය ධුරය දරණ වස්සකාර නම් බ්‍රාහ්මණයාට කථාකොට, “බ්‍රාහ්මණය, මම එක කාලයක විසාලා මහනුවර සාරන්දද නම් යක්ෂයාගේ වාසස්ථානයෙහි කළ චෛත්‍යයෙහි වාසය කෙළෙමි. මම එහිදී මේ වැදැ රජුන්හට පිරිහීමක් නොවන කරුණු හතක් දේශනා කෙළෙමි. බ්‍රාහ්මණය, යම්තාක් කල් මේ නොපිරිහීමට හේතුවන කරුණු සත වැදැ රජුන් අත තිබෙයිද වැදැ රජහු මේ නොපිරිහෙන ධර්ම සතෙහි යහපත් ලෙස පිහිටත්ද පිහිටන බවක් දක්නා ලැබෙත්ද, බ්‍රාහ්මණය, ඒ වැදැ රජුන්ගේ වැඩි දියුණුවම කැමතිවිය යුතුය. පිරිහීමක් නොවේයයි වදාළසේක.

6.මෙසේ වදාළ කල්හි මගධ රටෙහි මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූයේය. කිමෙක්දයත්? “භවත් ගෞතමයන් වහන්ස, ඒ එකි එකී නොපිරිහිමට හේතුවන කරුණින් යුක්තවූ වැදැ රජුන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුත්තීය. පිරිහීමක් නොවෙයි. ඒ කරුණු හතෙන්ම යුක්ත නම් කියනුම් කවරේද? භවත් ගෞතමයන් වහන්ස, මගධ රට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍ර අජාසත් රජ විසින් වැදැ රජුන් සමග රන්රිදී ආදී වස්තුව යවා සංග්‍රහ කිරීමක් නැතිව ඔවුනොවුන්ගේ සමගිය නොබිඳ යුද්ධ නොකටයුතුයි භවත් ගෞතමයන් වහන්ස අපි බොහෝ කටයුතු ඇත්තෝ වෙමු අවශ්‍ය කටයුතු ඇත්තම්හ එබැවින් දැන් අපි යම්හයි” කීයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ “බ්‍රාහ්මණය, දැන් තෝ යමක් පිළිබඳව සුදුසු කාල යයි දන්නෙහි නම් හෙවත් ඒ ගමන යන්නයයි අවසර දුන්සේක. ඊට පසුව මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ප්‍රීතිය ප්‍රකාශ කොට අනුමෝදන්ව හුනස්නෙන් නැගිට යන්ට ගියේය


භික්ඛුඅපරිහානියධම්මා

7.මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා බැහැර ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කථාකළෝය.

කථාකර, “ආනන්දය, ඔබ යව, රජගහ නුවර ඇසුරු කොට යම් පමණ භික්ෂුහු වාසය කෙරෙත්ද ඒ සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවෙහි රැස්කරවයි” කීවෝය.

“ස්වාමීන් වහන්ස, එය යහපතැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දී යම් පමණ භික්ෂූහු රජගහ නුවර ඇසුරුකොට වැඩ වෙසෙත්ද, ඒ සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටියාවූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය. “ස්වාමීන් වහන්ස, භික්ෂු සංඝයා රැස් කරවන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ දැන් යමක් සම්බන්ධව කල් දන්නාසේක් නම් ඊට සුදුසු කාලයයි සැල කළේය.

8.ටිකවේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ආසනයෙන් නැගිට උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතනට එළඹියෝය එළඹ පණවන ලද ආසනයෙහි වැඩ සිටියහ. වැඩහිඳ භික්ෂූන්ට කථාකර, “මහණෙනි, මේ අපරිහාණීය. (නොපිරිහෙන කරුණු) ධර්ම සතක් දෙශනා කරන්නෙමි. එය අසව්. යහපත් ලෙස සිත්හි දරාගනිව් කියන්නෙමියි” කීවෝය. ස්වාමීන් වහන්ස, එය යහපතැයි” භික්ෂුහු උන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දෙශනා කළ සේක.

“මහණෙනි, යම්තාක් කල් භික්ෂුන් නිතර රැස්වන්නාහු වෙත්ද බොහෝ සෙයින් රැස්වන්නාහු වෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ අභිවෘද්ධියක්ම කැමති විය යුතුයි. පිරිහීමක් නොවේයයි’ කීවෝය, ‘මහණෙනි, භික්ෂූහු යම්තාක් කාලයක් සමගිව රැස්වන්නාහු වෙත්ද සමගිව නැගී සිටින්නාහුද සමගිව සංඝයා විසින් කටයුතුවූ පොහෝකිරීම් ආදි කර්මකරන්නාහුද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩිදියුණුවක්ම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, යම්තාක් කාලයක් භික්ෂූන් තථාගතයන් වහන්සේ විසින් නොපණවණ ලද්දක් නොපණවයිද පණවන ලද ශික්ෂා ධර්මය කඩ නොකරන්නාහුද පණවන ලද පරිදිවූ ශික්ෂා පදයන් සමාදන්ව නොපිරිහෙලා රක්නාහුද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩිදියුණුවක්ම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි” කීවෝය.

“මහණෙනි, බොහෝ දවස්ගැන දන්නාවූ පැවිදිවූ බොහෝ කල් ඇති සංඝයාගේ පිය තනතුරෙහි සිටියාවූ සංඝයා ඒ ඒ සාසන වැඩවලට පමුණුවන හෙයින් සංඝනායකවූ ඒ ස්ථවිර භික්ෂූහු වෙත්ද, උන්වහන්සේලාට සත්කාර ගරුබුහුමන් කරන්නාහුද උන්වහන්සේලා පුදන්නාහුද උන්වහන්සේලාගේ ධර්මානුසාසනාදිය ඇසිය යුතු ලෙසම සිතන්නාහුද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩි දියුණුව කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි” කීවෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කල් නැවත ඉපදීම ඇති කරන්නාවූ උපන් තෘෂ්ණාවගේ වසඟයට නොපැමිණෙත්ද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩි දියුණුවම කැමති විය යුතුය. පිරිහීමක් නොවේයයි” දෙශනා කළෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කල් අරණ්‍යවල වාසයට කැමැත්තෙන් සිටින්නාහුද වෙද්ද, මහණෙනි ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේයයි” වදාළේය.

“මහණෙනි, භික්ෂුහු නොපැමිණියාවූ සිල්වත් සබ්‍රහ්මචාරීහු එන්නාහු නම් ඉතා යෙහෙකැයිද පැමිණියාවූ සබ්‍රහ්මචාරීහු පහසුසේ වාසයකරන්නාහුනම් ඉතා යහපතැයි තමතමන්ගේ සිත්තුළම සිහිය එළඹ සිටුවා වාසය කෙරෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ අභිවෘද්ධියම කැමති විය යුත්තේය, පිරිහීමක් නොවන්නේයයි” කීවෝය.

“මහණෙනි, යම්තාක් කල් මේ පිරිහීම් නැති කරන ධර්ම හත භික්ෂූන් කෙරෙහි පවත්නාහුද මේ පිරිහීම නැති කරන ධර්ම හත කෙරෙහි භික්ෂූහු දක්නා ලැබෙද්ද, මහණෙනි ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි” කීවෝය.

9.“මහණෙනි, තවත් පිරිහීම නැතිකරන කරුණු සතක් දේශනා කරන්නෙමි. ඒ ධර්මයන් අසව්. යහපත් ලෙස සිත්හි දරාගනිව්. කියන්නෙමියි” කීවෝය.

“ස්වාමීන් වහන්ස, ඒ යහපතැයි” භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. උන්වහන්සේ මේ ධර්මය දෙශනා කළසේක, “මහණෙනි, භික්ෂූහු යම්තාක් කාලයක් සිවුරු පිරිකර මැසීම් හැඳීම් ආදි කර්මාන්තයන්හි ඇලී වාසය නොකරද්ද, කර්මාන්තයන්හි වැඩි වශයෙන් යෙදී බැඳී වාසය නොකරද්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුව කැමති විය යුත්තේය, පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂුහු යම්තාක් කල් ස්ත්‍රීන්ගේ ගුණ කීම ආදිවූ වැරදිවූ බොහෝ කථායෙහි ඇලෙන්නාහු නොවෙද්ද, බොහෝ කථාවෙහි යෙදුනාහුවෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුවම කැමතිවිය යුතුය පිරිහීමක් නොවෙන්නේයයි” කිවෝය.

“මහණෙනි, භික්ෂුහු යම්තාක් කාලයක් බොහෝකොට නිදාගැනීම ඇත්තෝ නොවන්නාහුද, නින්දෙහි ඇලුනෝ නොවන්නාහුද නින්දෙහි නොයෙදුනෝවන්නාහුද මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩිදියුණුව කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කාලයක් සමූහයා පිරිවරා ගෙන (රංචුගැසී) වාසය කිරීමක් නැත්තෝ වන්නාහුද සමූහයා කෙරෙහි ඇලුනෝ නොවන්නාහුද ජන සමූහයා කෙරෙහි ඇලීම් වශයෙන් නොයෙදුනාහුද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුවම බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවන්නේයයි” කීවෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කල් තමන්තුළ නැත්තාවූ ගුණ ඇඟවීම් වශයෙන් ලාමකවූ පව් අදහස් ඇත්තෝ නොවන්නාහුද පවුඅදහස් ඇත්තන්ගේ ආශ්‍රයට නොපැමිණියාහු වෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුවක්ම කැමැති විය යුත්තේය, පිරිහීමක් නොවන්නේයයි” දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කල් පාප මිත්‍රයන්ඇත්තෝ නොවන්නාහුද, පාපී යහළුවන් ඇත්තෝ නොවන්නාහුද, පාපයන් කෙරෙහි නැමීම් (ඇලීම්) ඇත්තෝ නොවන්නාහුද මහණෙනි’ ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි” කීවෝය.

“මහණෙනි, භික්ෂුහු යම්තාක් කල් අර්හත් ඵලයෙන් මෙහා ස්වල්ප මාත්‍රවූ විශෙෂ අධිගමයකින් අවසානයට නො පැමිණෙන්නාහුද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩිදියුණුවම කැමැති විය යුතුයි. පිරිහීමක් නොවේයයි” කීවෝය.

“මහණෙනි, මේ නොපිරිහෙන කරුණු හත යම්තාක් කාලයක් භික්ෂුන් අතර තිබෙයිද, මේ පිරිහීම නැතිකරන ධර්මයන් හත කෙරෙහි භික්ෂූන් පිළිපදිනු දක්නා ලැබෙද්ද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩිදියුණුවම කැමතිවිය යුතුයි. පිරිහීමක් නොවේයයි” කීවෝය.

10.“මහණෙනි, තවත් නොපිරිහෙන ධර්ම හතක් දෙශනා කරන්නෙමි. ඒ අසව්, හොඳින් සිත්හි දරාගනිව්. කියන්නෙමියි” කීවෝය.

“ස්වාමීන්වහන්ස, එය යහපතැයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළ සේක.

“මහණෙනි, භික්ෂුහු යම්තාක් කාලයක් ශ්‍රද්ධා ඇත්තෝ වන්නාහුද, පව්කිරීමෙහි ලජ්ජා ඇත්තෝ වන්නාහුද පාපයට භය ඇත්තෝ වන්නාහුද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නාහුද, පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වන්නාහුද, එළඹ සිටි සිහි ඇත්තෝ වන්නාහුද, නුවණ ඇත්තෝ වෙද්ද, මහණෙනි ඒ භික්ෂුන්ගේ වැඩි දියුණුවම කැමැති විය යුත්තේය. පිරිහීමක් නොවන්නේයයි” කීවෝය.

“මහණෙනි, යම්තාක් කාලයක් මේ පිරිහීම නැති කරන ධර්ම හත භික්ෂූන් කෙරෙහි පවත්නාහුද මේ පිරිහීම නැති කරන ධර්ම හත කෙරෙහි භික්ෂූහු දක්නා ලැබෙද්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුවම කැමැති විය යුතුය. පිරිහීමක් නොවන්නේයයි” දෙශනා කළෝය.

11.“මහණෙනි, පිරිහීම නැතිකරන (අපරිහාණිය) වෙනත් ධර්ම හතක් දෙශනා කරන්නෙමි. ඒ ධර්ම හත අසව්, හොඳින් සිතෙහි දරාගනිව්, කියන්නෙමියි” වදාළේය.

“ස්වාමීන්වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය.

“මහණෙනි, යම්තාක් කල් භික්ෂූහු සති සංබොජ්ජංගය (බොධියට අංගවන සිහිය) වඩන්නාහුද, ධම්මවිචය සංබොජ්ජංගය (බොධියට අංගවන නුවණ) වඩන්නාහුද, විරිය සංබොජ්ජංගය (බොධියට අංගවන වීර්‍ය්‍ය) වඩන්නාහුද, පීති සංබොජ්ජංගය (බොධියට අංගවූ ප්‍රීතිය) වඩන්නාහුද, පස්සද්ධි සංබොජ්ජංගය (බොධියට අංගවූ සංසිඳීම) වඩන්නාහුද, සමාධි සංබොජ්ජංගය (බොධියට අංගවූ සමාධිය) වඩන්නාහුද, උපෙක්ඛා සංබොජ්ඣංගය (බොධියට අංගවූ උපෙක්ෂාව) වඩන්නාහුද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුතුය. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය

“මහණෙනි, යම්තාක් කල් මේ පිරිහීම නැතිකරන ධර්ම හත භික්ෂූන් කෙරෙහි පවත්නාහුද, මේ පිරිහීම නැති කරන ධර්ම හත කෙරෙහි භික්ෂූහු දක්නා ලැබෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුව කැමතිවිය යුතුයි පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

12.“මහණෙනි, වෙනත් පිරිහීම නැතිකරන ධර්ම හතක් දේශනා කරන්නෙම්, ඒ ධර්ම අසව් හොඳින් සිතෙහි දරා ගනිව්. කියන්නෙමියි” පැවසුවෝය

“ස්වාමීන්වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් අනිත්‍ය සංඥාව (අනිත්‍ය දැකීම) වඩන්නාහුද, අනාත්ම සංඥාව (අනාත්ම දැකීම) වඩන්නාහු වෙත්ද, අසුභ සංඥාව (අසුභ දැකීම) වඩන්නාහු වෙත්ද, ආදීනව සංඥාව (සංස්කාරයන්ගේ දොස් දැකීම) වඩන්නාහු වෙත්ද, විරාග සංඥාව (භවයෙහි නොඇලීම) වඩන්නාහු වෙත්ද, නිරොධ සංඥාව (සංස්කාරයන්ගේ නැතිවීම දැකීම) වඩන්නාහු වෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුවක්ම කැමති විය යුතු පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය. මහණෙනි, යම්තාක් කල් මේ හත් ආකාර අපරිහාණිය ධර්මයෝ භික්ෂූන් කෙරෙහි පවත්නාහුද මේ හත් ආකාර අපරිහාණිය ධර්මයන් කෙරෙහි භික්ෂූහු දක්නා ලැබෙත්ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුවම කැමතිවිය යුතුයි. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

13.“මහණෙනි, පිරිහීම නැති කරන වෙනත් ධර්ම හයක් දේශනා කරන්නෙමි. එය අසව් හොඳින් සිත්හි දරා ගනිව් කියන්නෙමියි” වදාළෝය.

“ස්වාමීන් වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂුහු යම්තාක් කල් එකට මහණ දම් පුරන්නන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රියෙන් යුත් කාය කර්ම (කයේ පැවතුම්) ඇතිව සිටින්නාහුද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුව කැමති විය යුතුයි. පිරිහීමක් නොවේයයි” පැවසුවෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කල් එකට මහණ දම් පුරන්නන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රියෙන් යුත් වචන කියන්නාහුද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩි දියුණුව කැමතිවිය යුතුයි පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂුහු යම්තාක් කල් එකට මහණ දම් පුරන්නන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රි සිත් පිහිටුවා සිටින්නාහුද ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුව කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කල් යම් දැහැමින් ලබන ලද ධාර්මික ලාභ වෙත්ද යටත්පිරිසෙයින් පාත්‍රයට ලැබුණ දෙයක් වුවත් සිල්වත්වූ එකට මහණදම් පුරණ භික්ෂූන් වහන්සේලා සමග සාධාරණව බෙදාහදා ප්‍රයෝජන ගන්නෝ වන්නාහුද, ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුව කැමතිවිය යුතුයි. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂූහු යම්තාක් කල් කඩ නොවූ පැල්ලම් නැති කැලැල් නැති තණ්හාවට වාල් නොවූ නුවනැත්තන් විසින් ප්‍රශංසා කරන ලද වැරදි හැඟීම් නැති සමාධිය පිණිස පවත්නා යම් සීලයක් ඇත්තේද එවැනි සීලයෙන් සමානව එකට මහණ දම් පුරන්නන් සමග ඇතිතැනද නැතිතැනද වාසය කරත්ද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩිදියුණුව කැමති වියයුතුයි පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, භික්ෂූන්ගේ යම්තාක් කල් ක්ලේශ නැති කරන උතුම් නිර්වාණය පිණිස පවතින හරිදැකීමක් වේද එවැනි දැකීමෙන් සමානව ඇති තැනද නැති තැනද එකට මහණදම් පුරන්නන් සමග වාසය කරන්නාහුද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ වැඩිදියුණුවම කැමතිවිය යුතුයි. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

“මහණෙනි, යම්තාක් කල් මේ පිරිහීම නැති කරන හය ආකාර ධර්මයෝ භික්ෂුන් කෙරෙහි පිහිටා සිටින්නහුද මේ පිරිහීම නැති කරන හය ආකාර ධර්මයන් කෙරෙහි භික්ෂූහු දක්නා ලැබෙත්ද, මහණෙනි, ඒ භික්ෂුන්ගේ වැඩි දියුණුවම කැමතිවිය යුතුයි. පිරිහීමක් නොවේයයි” දේශනා කළෝය.

14.ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයෙහි වාසය කරන්නේ බොහෝ කොට භික්ෂූන්ට මේ ධර්ම දෙශනා කරත්.

“මේ සීලයයි, මේ සමාධියයි, මේ ප්‍රඥාවයි. සීලයෙන් වඩනලද සමාධිය මහත් ඵල ඇත්තේ වේ. මහත් ප්‍රයෝජන ඇත්තේ වේ. සමාධියෙන් මනාකොට වඩනලද ප්‍රඥාව මහත්ඵල ඇත්තීවෙයි. මහත් ප්‍රයෝජන ඇත්තීය. ප්‍රඥාවෙන් වඩනලද හිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. එනම් කාම ආශ්‍රවයෝය, භව ආශ්‍රවයෝය, දෘෂ්ටි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය, යන මොහුය.”

15.එවිට භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර කැමති තාක් කාලයක් වාසයකොට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, මෙහි එනු අම්බලඨීකා උයන යම් තැනෙක්හිද එතනට පැමිණෙමු යයි” කීවෝය.

“ස්වාමීන්වහන්ස, එය යහපතැයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. එවිට භාග්‍යවතුන්වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග අම්බලඨිකා උයන යම් තැනකද එතැනට පැමිණියෝය.

එකල භාග්‍යවතුන් වහන්සේ අම්බලඨිකා උයනෙහි රජුන් සඳහා කරනලද ශාලාවෙහි වාසය කළෝය. ඒ අම්බලඨිකා උයනෙහි රාජ ශාලාවෙහි වාසයකරණ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට බොහෝකොට මේ ධර්මය දෙශනා කළේය.

“මේ සීලයයි, මේ සමාධියයි, මේ ප්‍රඥාවයි. සීලයෙහි පිහිටා පුරුදු කරනලද සමාධිය මහත් ඵල ඇත්තේය. මහත් අනුසස්ද ඇත්තේය. සමාධියෙහි පිහිටා පුරුදු කරන ලද ප්‍රඥාව මහත්ඵල ඇත්තීවෙයි. මහත් අනුසස් ඇත්තීද වෙයි. ප්‍රඥාවෙහි පිහිටා වඩනලද චිත්තය කාමාශ්‍රවය භවාශ්‍රවය, දෘෂ්ටි ආශ්‍රවය, අවිද්‍යා ආශ්‍රවය යන සතර ආශ්‍රවයන්ගෙන් මනාකොට මිදේයයි” වදාළසේක.

16.එවිට භාග්‍යවතුන්වහන්සේ අම්බලඨිකා උයනෙහි කැමති පරිද්දෙන් වාසය කොට, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කථාකොට මෙසේ කීවෝය.

“ආනන්දය, මෙහි එනු. නාලන්දා නුවර යම් තැනකද එතනට පැමිණෙන්නෙමු.”

“ස්වාමීන් වහන්ස, එසේ යහතැයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. එකල භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂූ සංඝයා සමග නාලන්දා නුවර යම් තැනකද, එතනට පැමිණියෝය. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා පුරයෙහිවූ පාවාරික නම් අඹ වනයෙහි වාසය කළෝය.


සාරිපුත්තසීහනාදො

17.එවිට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්නේය.

“ස්වාමීන් වහන්ස, මේ සර්වඥතාඥානය කරණ කොට ගෙන භාග්‍යවතුන් වහන්සේට වඩා ඥානයෙන් උසස්වූ කිසියම් ශ්‍රමණයෙක් හෝ කිසියම් බ්‍රාහ්මණයෙක් හෝ අතීත කාලයෙහිද නොවූයේය. අනාගත කාලයෙහිද නොවන්නේය. දැන් මේ කාලයෙහිද නොවේයයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුණෙමියි” කීවේය.

“සාරිපුත්තය, ඔබවිසින් උසස් නිර්භීත වචනයක් කියන ලද්දේය. ඒකාන්ත වචනයක් කියන ලද්දේය. සිංහනාදයක් පවත්වනැලද්දේයයි කීවෝය. එනම්, ‘ස්වාමීන් වහන්ස, සර්වඥතාඥානය හෙතුකොට ගෙන භාග්‍යවතුන් වහන්සේට වඩා ප්‍රඥාවෙන් වැඩිවූ අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහිද නොවීය, අනාගතයෙහිද නොවන්නේය, මේ කාලයෙහිද නොවේ යනුයි.

“සාරිපුත්තය, කිමෙක්ද? අතීත කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදු කෙනෙක් වූවාහුද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙසේ මෙවැනි සීලයෙන් යුක්ත වූවාහුයයි කියාද, මෙසේ මෙවැනි ධර්මයෙන් යුක්ත වූවාහුයයි කියාද, මෙසේ මෙවැනි ධර්මයෙන් යුක්ත වූවාහුයයි කියාද මෙසේ මෙවැනි ප්‍රඥාවෙන් යුක්ත වූවාහුයයි කියාද මෙසේ මෙවැනි (විහරණ) වාසය කිරීම් ඇත්තාහුයයි කියාද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ මෙබඳු කෙලෙසුන් කෙරෙන් මිදීම් ඇත්තෝයයි කියාද ඔබ විසින් සිතින් සිත පිරිසිඳ බලා දක්නා ලද්දේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, එය එසේ නොවේයයි” දැන්නුවේය.

“කිමෙක්ද? ශාරිපුත්තය, අනාගතකාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදු කෙනෙක් උපදින්නාහු වෙත්ද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙසේ මෙවැනි සීලයෙන් යුක්ත වන්නාහුයයි කියාද, මෙසේ මෙවැනි ධර්මයෙන් යුක්ත වන්නාහුයයි කියාද, මෙසේ මෙවැනි ප්‍රඥාවෙන් යුක්ත වන්නාහුයයි කියාද, මෙසේ මෙවැනි පැවැත්මෙන් යුක්ත වන්නාහුයයි කියාද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ මෙවැනි විමුක්ති (කෙලෙසුන් කෙරෙන් මිදීම්) ධර්මයෙන් යුක්ත වන්නාහුයයි කියාද ඔබ විසින් සිතින් සිත පිරිසිඳ දක්නා ලද්දේදැයි” කියා ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, එසේ නොවේයයි” කීවේය.

“කිමෙක්ද? ශාරිපුත්තය, දැන් මේ කාලයෙහි, මම ඔබගේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. මේ කාරණයෙන්ද භාග්‍යවත් තෙම මෙසේ මෙවැනි ශීලයෙන් යුක්තයයි කියාද මෙසේ මෙවැනි ධර්මයෙන් යුක්තයයි කියාද, මෙසේ මෙවැනි ප්‍රඥාවෙන් යුක්තයයි කියාද මෙසේවූ හැසිරීම් ඇතැයි කියාද මේ කාරණයෙන්ද භාග්‍යවත් තෙම මෙසේවූ විමුක්තියෙන් (කෙලෙසුන් කෙරෙන් මිදීමෙන්) යුක්ත වූයේයයි කියාද, ඔබ විසින් සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, නැත එය එසේ නොවේයයි” කීය.

“සාරිපුත්තය. තොපට මේ අතීත, අනාගත, වර්තමාන යන අර්හත් සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලාගේ සිත් දැන ගන්නා තරම් පරසිත් දැනගන්නා ඥානයක් නැත්තේද එසේ නැති කළ යම් ‘මේ සර්වඥතාඥානය හෙතුකොටගෙන භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් ඥානයෙන් යුක්තවූ අන්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහිද නුවූයේය අනාගතයෙහිද නොවන්නේය, දැන් මේ කාලයෙහිද නැත්තේයයි මෙසේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි පැහැදුණේමි, යන නිර්භීත වචනය කෙසේ කියන ලද්දේද. ඒකාන්ත වචනය කෙසේ කියන ලද්දේද, සිංහ නාදය කරන ලද්දේද?

18.“ස්වාමීන් වහන්ස, අතීත අනාගත වර්තමාන කාලයෙහිවූ අර්හත් සම්‍යක් සම්බුදුන් වහන්සේලාගේ සිත මාගේ සිතින් පිරිසිඳ දන්නා ඥානයක් මට නොමැත්තේය. එවැනි ඥානයක් නැත්තේවී නමුත් ධර්මය අනුව ගොස් දැනගන්නා ලද්දෙමි” කීවෝය.

“ස්වාමීන් වහන්ස, ශක්තිමත් කොට බඳිනලද ප්‍රාකාර සහ තොරන් ඇති එක් දොරක් ඇති රජහුගේ පිටිසර නුවරක් වේද, එහි නුවණ ඇති සමත් ප්‍රඥාවන්ත දොරටුපාලයෙක් නොහඳුනන ජනයන් වළක්වා අඳුනන ජනයන් ඇතුල් කරන්නේද, ඔහු ඒ නුවර අවට ඔබ මොබ ඇවිද බලා ප්‍රාකාර සන්ධියක් හෝ (ප්‍රාකාරයේ) ඉඩ හැරුණු ස්ථානයක් හෝ බළලෙකුට ඇතුල්වීමට පමණවූ ස්ථානයක්වත් නො දකින්නේ නම් ඔහුට මේ අදහස ඇති වන්නේය. ‘යම් ඒ මහත්වූ කිසියම් සත්වයෝ මේ නුවරට ඇතුල්වන්නාහු හෝ නුවරින් පිටවන්නාහු හෝ වෙද්ද, ඒ සියල්ලෝ මේ දොරින්ම පිටවන්නෝ හෝ නික්මෙන්නෝ වෙත්ය” කියායි.

“ස්වාමීන්වහන්ස, එසේම මා විසින් කරුණු අවබොධ කරගත් ඥාන වශයෙන් ධර්මානුගත බුද්ධියෙන් මේ කාරණය දැනගන්නා ලද්දේය. ‘අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා වූවාහුද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ ස්වර්ග මොක්ෂය මුවහකරන පඤ්චනීවරණ ධර්මයන් දුරුකොට සතර සතිපට්ඨාන ධර්මයන්හි මනාකොට පිහිටවූ සිත් ඇතිව බොධ්‍යංග ධර්ම (බොධියට අංගවන කරුණු) සත වඩා උතුම්වූ සර්වඥතාඥානය අවබොධ කළාහුය කියාද, ස්වාමීන් වහන්ස, අනාගතයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුදු කෙනෙක් වන්නාහුද ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලාද සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ පංචනීවරණ ධර්මයන් දුරු කොට සතර සතිපට්ඨාන ධර්මයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව බොද්ධ්‍යංග ධර්ම සත වඩා ඇති හැටියෙන් වඩා ඉතා උතුම්වූ සර්වඥතාඥානය අවබොධ කරන්නාහුය’ කියාද, ‘ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේද සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ පංච නීවරණ ධර්මයන් දුරුකොට සතර සතිපට්ඨාන ධර්මයන්හි මනා කොට පිහිටුවන ලද සිත් ඇතිව සප්ත බොද්ධ්‍යංග ධර්මයන් ඇති සැටියෙන් වඩා ඊට වැඩි උත්තම දෙයක් නැත්තාවූ සර්වඥතාඥානය අවබොධ කෙළේය’ කියායි.

19.“ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නගරයෙහි පාවාරික නම් අඹ වනයෙහි වාසය කරන්නේ බොහෝ භික්ෂූන් සඳහා මේ ධර්මකථාව දෙශනා කරති. කෙසේදයත්?” මේ චතුපාරි සුද්ධිශීලයම ශීලයයිද, මේ සිත එක අරමුණක පිහිටීම සමාධියයිද, මේ විදර්ශනාප්‍රඥාවට ප්‍රඥාවයයිද, චතුපාරිසුද්ධි ශීලයෙහි පිහිටා වඩනලද සමාධිය මහත් ඵල වන්නේය, බොහෝ ආනිසංස ඇත්තේය. සමාධියෙහි පිහිටා වඩනලද ප්‍රඥාව මහත් ඵල මහානිසංස ඇත්තේවේ. ප්‍රඥාවෙහි පිහිටා පුරුදු කරණ ලද සිත යහපත් ලෙසට ආශ්‍රවයන් ගෙන් එනම් කාමාශ්‍රවය, භවාශ්‍රවය, දෘෂ්ටි ආශ්‍රවය අවිද්‍යා ආශ්‍රවය යන මොවුන් කෙරෙන් සර්වප්‍රකාරයෙන් මිදේයයි” කීවෝය.


දුස්සීලආදීනවා

20.ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි කැමැති කාලයක් වාසය කොට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කථාකොට මෙසේ කීවෝය.

“ආනන්දය, එව පාටලීගම කොතනද එතනට යමුයි” කීවෝය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීන්වහන්ස, ඒ මැනැවයි” පිළිතුරු දුන්හ. ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා සමග පාටලී නම් ගම යම් තැනකද එතනට පැමිණියෝය.

පාටලී ගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන්වහන්සේ පාටලී ගමට වැඩියේයයි ඇසුවාහුය. එවිට පාටලී ගම් වැසි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටියේද එතනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක සිටියෝය. එක පැත්තක සිටියා වූ ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. එනම් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආගන්තුක ශාලාව පිළිගන්නා සේක්වායි” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය පිළිගත්තේය

21.ඊට පසුව පාටලී ගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ පැදකුණුකොට හොඳින් වැඳ ආගන්තුක ශාලාව යම්තැනකද එතනට පැමිණියාහුය. පැමිණ ආගන්තුක ශාලාව සම්පූර්ණයෙන් වස්ත්‍ර අතුරා අසුන් පනවා පැන් භාජන තබවා සුවඳ තෙල් පහන් දල්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ පැත්තක සිටියාහුය. පැත්තක සිටියාවූ පාටලී ගම් වැසි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූවෝය.

“ස්වාමීන් වහන්ස, ආගන්තුක ශාලාව සම්පූර්ණයෙන් රෙදිවලින් අතුරණ ලද්දේය, පැන් භාජන තබන ලද්දේය, තෙල් පහන් දල්වන ලද්දේය. දැන් භාග්‍යවතුන් වහන්සේ යමක් සම්බන්ධව කාලයයි දන්නාසේක් නම් එය කරණු මැණවයි’ දැන්වූවෝය.

22.එවිට භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු ගෙන භික්ෂු සංඝයා සමග ආගන්තුක ශාලාව යම් තැනකද එතනට පැමිණියාහුය. වැඩ පාදයන් සෝදා ආගන්තුකශාලාවට ඇතුල්ව මධ්‍යයෙහිවූ කණුව ඇසුරු කොට පෙරදිගට මුහුණලා වැඩහුන්සේක. භික්ෂු සංඝයා පාදයන් සෝදා ආගන්තුක ශාලාවට ඇතුල්ව බස්නාහිර දෙස බිත්තිය ඇසුරු කොට පෙරදිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේම පෙරටුකොට උන්නේය. පාටලී ගම් වැසි උපාසකයෝද පාදයන් සෝදා ආගන්තුක ශාලාවට ඇතුල්ව නැගෙනහිර දෙස භික්තිය ඇසුරුකොට බස්නාහිර දිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේම පෙරටු කොට උන්නාහුය.

23.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලී ගම්වැසි උපාසකයන්ට කථා කළහ. “ගෘහපතියෙනි, දුස්සීලයාගේ සීල විපත්තිය සම්බන්ධයෙන් මේ දෝෂ පහක් ඇත්තේ වේ. ඒ පස කවරහුදයත්, ගෘහපතියෙනි, මේ ශාසනයෙහි විපතට පැමිණි සිල් ඇත්තාවූ දුස්සීල තෙමේ ප්‍රමාදය කරණකොට ගෙන මහත්වූ සම්පත්තීන්ගේ හානියට පැමිණෙයි. දුස්සීලයාගේ සීල විපත්තිය සම්බන්ධවූ මේ පළමුවෙනි දෝෂයයි වදාළසේක. තවද ගෘහපතියෙනි, සීල විපත්තියට පැමිණියාවූ දුස්සීලයාගේ අපකීර්ති පවිටු ඝොෂාව අතිශයින් උස්ව පැනනගියි. මේ දුස්සීලයාගේ සීලවිපත්තිය පිළිබඳ දෙවැනි දොෂයයි” වදාළේය. “තවද ගෘහපතියෙනි, විපතට පැමිණි සිල් ඇති දුස්සීලතෙම ක්ෂත්‍රිය රාජාදීන් පිළිබඳ පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපතීන්ගේ පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිණේද සැක සහිතවම භය සහිතවම එළඹෙයි. මේ දුස්සීලයාගේ සීල විපත්තිය පිළිබඳව තුන්වෙනි දොෂයයි” කීවෝය. “තවද ගෘහපතියෙනි, විපතට පැමිණි සිල් ඇති දුස්සීලයා සිහිමුළාවට පැමිණ කාලක්‍රියා කෙරේ. දුස්සීලයාගේ සීල විපත්තිය පිළිබඳව මේ හතරවෙනි දෝෂයයි. තවද ගෘහපතියෙනි, නැවතද එකක් කියමි. එනම් විපතට පැමිණි සිල් ඇති දුස්සීලතෙමේ ශරීරය විනාශවී මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇත්තාවූ නරකයෙහි උපදී. මේ දුස්සීලයාගේ සීල විපත්තිය පිළිබඳව පස්වෙනි දෝෂයයි” කීවෝය. ගෘහපතියෙනි දුස්සීලයාගේ සීල විපත්තිය පිළිබඳ මේ දෝෂ පහ වන්නේ යයි” වදාළසේක.


සීලවන්ත්තආනිසංසා

24.“ගෘහපතියෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව මේ ආනිසංස පසක් වෙත්. ඒ පස කවරහුද යත්? ගෘහපතියෙනි, මේ ශාසනයෙහි සිල්වත්තෙම සීලයෙන් සම්පූර්ණවූයේ නොපමාවීම කරණ කොටගෙන මහත්වූ සම්පත් ලබයි. සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව මේ පළමුවෙනි ආනිසංසයයි” කීවෝය. “නැවතද අනිකක් කියමි, ගෘහපතියෙනි, හොඳින් සිල් ඇත්තාවූ සිල්වත්හුගේ උතුම්වූ යහපත් කීර්ති ඝොෂාව විශෙෂයෙන් උස්ව නැඟේ. සීලවන්තයාගේ සිල්වත්කම පිළිබඳව මේ දෙවෙනි ආනිසංස යයි කීවෝය. නැවතද තව එකක් කියමි. ගෘහපතියෙනි, සම්පූර්ණවූ සිල් ඇති සිල්වත් තෙම ක්ෂත්‍රිය රාජාදීන්ගේ පිරිසකට හෝ බ්‍රාහ්මණයන්ගේ පිරිසකට හෝ ගෘහපතියන්ගේ පිරිසකට හෝ ශ්‍රමණයන්ගේ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිණේද, සැකයක් නැතුවම නිර්භයවම එළඹෙන්නේය. සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව මේ තුන්වෙනි ආනිසංසයයි” කීවෝය. “නැවතද එකක් කියමි. ගෘහපතියෙනි, සම්පූර්ණවූ සිල් ඇති සිල්වත් තෙම සිහිමුළා නොවීම කාලක්‍රියා කෙරෙයි, සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව මේ හතරවෙනි ආනිසංසයයි” කීවෝය. “ගෘහපතියෙනි, නැවතද එකක් කියමි, සම්පූර්ණවූ සිල් ඇති සිල්වත් තෙම ශරීරය විනාශවී මරණින් මතු හොඳ ගති ඇත්තාවූ, ස්වර්ග ලෝකයෙහි උපදී. සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව මේ පස්වෙනි ආනිසංසයයි කීවෝය. ගෘහපතියෙනි, සීලවන්තයාගේ සිල්වත් භාවය පිළිබඳව මේ ආනිසංස පස වෙත්යයි” කීවෝය.

25.ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ පාටලී ගම්වාසී උපාසකවරුන් රාත්‍රිය සම්බන්ධයෙන් බොහෝ වේලාවක් ධර්ම කථාවෙන් යහපත් ලෙස කරුණු දක්වා සමාදන් කරවා සිත් දියුණු කරවා පහදවා හැරිසේක. කෙසේද යත්, “ගෘහපතියෙනි, රාත්‍රිය ගතවී ගියාය. දැන් තොපි යමක් සම්බන්ධව කාලයයි දන්නාහුද” එය කරව්යයි, කීවෝය.

උපාසකවරුද, “ස්වාමීන්වහන්ස, ඒ මැනවයි” උත්තර දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ (පැදකුණුකොට) ගෞරව සහිතව ගියාහුය. පාටලී ගම්වැසි උපාසකයන් බැහැරගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ සූන්‍යාගාරයට (විවේක ගන්නා කාමරයට) පැමිණියෝය.


පාටලිපුත්තනගරමාපනං

26.ඒ කාලයෙහිදී සුනිධය, වස්සකාරය යන මගධ රට මහාමාත්‍යයෝ පාටලී නම් ගමෙහි වැදැරජුන්ගේ අයබදු නාස්ති කිරීම පිණිස නුවරක් කරවන්නාහුය. ඒ කාලයෙහිදී ඒ ඒ වර්ගයෙන් දහස දහස බැගින්වූ බොහෝ දෙවතාවෝ පාටලී ගමෙහි ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්. යම් ප්‍රදෙශයක මහෙශාක්‍ය දෙවතාවෝ ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්ද, එම ප්‍රදෙශයෙහි මහෙශාක්‍ය රජුන්ගේද රජමහ ඇමතියන්ගේද සිත් වාසස්ථාන කරවන්ට නැමෙත්. යම් ප්‍රදෙශයක මධ්‍යම දෙවතාවෝ ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්ද, එම ප්‍රදෙශයෙහි මධ්‍යමවූ රජුන්ගේද රජමහ ඇමතියන්ගේද සිත් ගෘහසෑදීමට නැමෙත් යම් ප්‍රදෙශයක පහත් දෙවතාවෝ ගෘහවස්තූන් අරක්ගෙන සිටිත්ද? ඒ ප්‍රදෙශයෙහි වාසස්ථානයන් කරවන්ට පහත් රජුන්ගේද රජ මහා ඇමතියන්ගේද සිත් නැමෙත්.

27.භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍ය ඇසට උසස්ව පවතින දිවැසින් එක් එක් වර්ගයෙන් දහස දහස බැගින් පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන සිටින්නාවූ දේවතාවන් දුටුවේමය. එවිට භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි අලුයම් වේලෙහි නැගිට සිට ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකොට මෙසේ කීවෝය

“ආනන්දය, පාටලී ගමෙහි නුවරක් සාදවන්නේ කවරෙක්දැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, සුනීධය, වස්සකාරය යන මගධ රට මහ ඇමතියෝ දෙදෙනා වැදැ රජ දරුවන්ගේ අයබදු වැළැක්වීම පිණිස, පාටලී ගමෙහි නුවරක් සාදවන්නාහුයයි” කීවේය.

28.“ආනන්දය, තව්තිසා දිව්‍යලොකයෙහි දෙවියන් හා සමග කථාවක් කොට මෙන් (සැලැස්මක් ලබාගෙන මෙන්) සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ වැදැ රජදරුවන්ගේ අයබදු වැළැක්වීම පිණිස පාටලී ගමෙහි නුවරක් කරන්නාහුය.

“ආනන්දය, මම පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන වාසය කරන්නාවූ එක එක වර්ගයෙන් දහස බැගින් ඇති බොහෝ දේවතාවන් මාගේ පිරිසිදු මිනිස් ඇස ඉක්මවූ දිවැසින් දුටුවෙමි.

“යම් ප්‍රදේශයක භූමියට මහෙශාක්‍ය දෙවතාවෝ අරක්ගෙන වෙසෙත්ද, එහි මහෙශාක්‍යවූ රජදරුවන්ට හා රාජ මහා අමාත්‍යයන්ට වාසස්ථාන මවන්ට සිත් නැමෙන්නාහුය. යම් ප්‍රදේශයක භූමියට මධ්‍යම දේවතාවෝ අරක්ගෙන වෙසෙත්ද, ඒ ප්‍රදේශයෙහි මධ්‍යම රජදරුවන්ට හා රජ මහ ඇමතියන්ට වාසස්ථාන මවන්ට සිත් නැමෙන්නාහුය. යම් ප්‍රදේශයක භූමියට හීනවූ දේවතාවෝ අරක්ගෙන වෙසෙත්ද එතැන පහත් රජදරුවන් හා රජ මහ ඇමතියන්ට වාසස්ථාන ඇති කරන්ට සිත් නැමෙන්නාහුය.

“ආනන්දය, යම් පමණ උතුම් මිනිසුන් පැමිණෙන ස්ථාන ඇත්තේද, යම් පමණ වෙළඳුන් පැමිණෙන ස්ථාන ඇත්තේද, ඒ ස්ථාන අතුරෙන් විකිණීමට ගෙනෙන බොහෝ බඩු පොදි ලිහන තැනක්වූ මේ නගරය ප්‍රධානවූ නුවරක් වන්නේයයි” කීවෝය.

“ආනන්දය, මේ පාටලී නම් නුවරට ගින්නෙන් හෝ දියෙන් හෝ මිත්‍ර භෙදයෙන් හෝ වන්නාවූ අන්තරාය තුනක් ඇත්තාහුයයි” වදාළෝය.

29.එවිට සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග ප්‍රිය කථා කළාහුය සතුටු විය යුතු සිහි කටයුතුවූ කථාව අවසාන කර එකපැත්තක සිටියාහුය. එකපැත්තක සිටියාවූ සුනීධ වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවෝය.

“භවත් ගෞතමයන්වහන්ස, භික්ෂු සංඝයා වහන්සේ හා සමග අද දවස අපේ භෝජනය ඉවසා වදාරණ සේක්වා (පිළිගන්නා මැනව) යි” දැන්වූහ.

භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් (ආරාධනාව) පිළිගත්තෝය.

30.එවිට සුනිධය වස්සකාරය යන මගධරට මහ ඇමතියෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම (පිළිගැනීම) දැන තමන්ගේ නිවස යම් තැනකද එතනට පැමුණුණෝය. පැමිණ තමන්ගේ නිවසෙහි මිහිරි ආහාරපාන ආදිය පිළියෙල කරවා, “භවත් ගෞතමයාණන් වහන්ස, භෝජනය සූදානම්ය. දැන් ඊට කාලය වේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්නුවාහුය.

31.එවිට භාග්‍යවතුන් වහන්සේ උදේවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්ෂු සංඝයා සමග සුනීධය, වස්සකාරය යන මගධරට මහා ඇමතියන්ගේ නිවාස හා යම් තැනකද එතනට පැමිණියෝය. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ උන්නෝය. එවිට සුනීධය, වස්සකාරය යන මගධ රට මහ ඇමතියෝ බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංඝයා මිහිරි ආහාරපාන ආදියෙන් සිය අතින් වැළඳෙව්වාහුය, කැමති තාක් වැළඳෙව්වාහුය.

32.එවිට සුනීධය වස්සකාරය යන මගධ රට මහා ඇමතියෝ වළඳා අවසානවූ භාග්‍යවතුන් වහන්සේ ලඟ එක්තරා පහත් ආසනයක් ගෙන එක පැත්තකින් උන්නාහුය. එකපැත්තක උන්නාවූ සුනීධය වස්සකාරය යන මගධ රට මහ ඇමතියන්ට භාග්‍යවතුන් වහන්සේ මේ අදහස ඇති ගාථාවලින් පින් අනුමෝදන් කළෝය.

“ප්‍රඥා ඇත්තෙක් යම් ප්‍රදේශයක වාසය කරන්නේවේද, එහි සන්සුන් ඉන්ද්‍රියයන් ඇත්තාවූ, උතුම් හැසිරීම් ඇත්තාවූ (බ්‍රහ්මචාරීවූ) සිල්වතුන් වහන්සේලා වළඳවා එතැන යම් දේවතා කෙනෙක් ඇත්තාහුද ඔවුන්ට පින් දෙන්නේ වේද, පුදනු ලැබූ ඒ දේවතාවෝ ඔවුන් පුදත්. සිතින් ගරු කරනු ලැබූ ඔව්හු, ඔවුන්ට සිතින් ගරු කරත්. යම්සේ මෑනියෝ තමන්ගේ ඖරස පුත්‍රයාට අනුකම්පා කරන්නේද, එමෙන්, දෙවියෝ පින් දුන් ඔවුන්ට අනුකම්පා කරන්නාහුය. මෙසේ දෙවියන් විසින් අනුකම්පා කරනලද පුද්ගලයා හැම කල්හිම යහපත් සැපයක්ම දකින්නේය” යනුයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියන්ට මේ අදහසින් යුත් ගාථාවලින් පින් අනුමොදනාව කොට හුනස්නෙන් නැගිට ගියෝය.

33.ඒ කාලයෙහි සුනීධ, වස්සකාර යන මගධ රට මහ ඇමතියෝ ශ්‍රමණ භවත් ගෞතම තෙම අද යම් දොරටුවකින් නුවරින් පිටවෙන්නේ ද ඒ දොර ‘ගෞතම දොරය’ යන නම වන්නේය, යම් තොටකින් ගංගානම් ගඟින් එතර වන්නේද ඒ තොට ‘ගෞතම තොට’ නම් වන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ පසුපස්සෙහි අනුව ගියාහු වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නුවරින් පිටතට ගියෝද ඒ දොරට ‘ගෞතම දොර’ යන නම වූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ගංගානම් ගඟ යම් තැනකද එතැනට පැමිණියෝය.

ඒ කාලයෙහි ගංගානම් ගඟ කවුඩන් විසින් පහසුවෙන් වතුර බියහැකි තරම් ඉවුරු දක්වා පිරී ඇත්තීය. එහි එතර මෙතර යනු කැමැත්තාවූ සමහරෙක් ඔරුවක් සොයන්නාහුය, සමහරෙක් පාරුවක් සොයන්නාහුය, ඇතැම් කෙනෙක් පහුරක් බඳින්නාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවනලද අත දිගු කරන්නේ හෝ දිගුකරනලද අත හකුළුවන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම භික්ෂු සංඝයා සමග ගංගානම් ගඟෙන් මෙතරදී නොපෙනී ගොස් එතරට පැමිණ වැඩ සිටියෝය. එතර මෙතර යනු කැමැත්තෙන් ඔරුවක් සොයන්නාවූ සමහර මිනිසුන්ද, පාරුවක් සොයන්නාවූ සමහර මිනිසුන්ද, පහුරක් බඳින්නාවූ සමහර මිනිසුන්ද භාග්‍යවතුන්වහන්සේ දැක්කෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැක එවේලෙහිම මේ තේරුම ඇති ප්‍රිති ගාථාව කීවෝය.

“මේ ලෝකවාසී සත්වයෝ ගංගානම් ගඟෙන් එතරවනු කැමතිව පහුරු බඳින්නාහුය, ඥානවන්තයෝ ආර්‍ය්‍ය මාර්ග පහුරු බැඳ පළල්වූද ගැඹුරුවූද තණ්හා ගංගාවෙන් එතර වූවාහුය”

පළමුවෙනි බණවර නිමියේය.


අරියසච්චකථා

34.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළහ. “ආනන්දය, එන්න, කෝටි ග්‍රාමය නම් තැනකද එතැනට යමුයි” වදාළහ.

“එසේය පින්වතුන් වහන්සැයි,” ආනන්ද ස්ථවිර තෙම උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග කෝටි ග්‍රාමය යම් තැනකද එහි පැමිණියෝය එහිදී භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාමයෙහි වැඩ වසන්නාහ එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළෝය. “මහණෙනි, උතුම්වූ සත්‍ය කරුණු සතර (චතුරාර්‍ය්‍ය සත්‍යය) නොදැනීම නිසා, මෙසේ මේ බොහෝවූ දිගු කලක් මා විසිනුත් තොප විසිනුත් ඇවිදින ලද්දේය, සැරිසරන ලද්දේය. ඒ කවර නම් සතරක්ද යත්, මහණෙනි, දුක් ආර්‍ය්‍ය සත්‍යය නොදැනීම (ප්‍රතිවෙධ නොකිරීම) නිසා මෙසේ මේ බොහෝවූ දිගු කලක් මා විසින්ද තොප විසින්ද ගමන් කරන ලද්දේය, සැරිසරණ ලද්දේය.

“මහණෙනි, දුක් ඉපදීමට හේතුවවූ උතුම් සත්‍යය නොදැනීම (ප්‍රතිවෙධ නොකිරීම) නිසා මෙසේ බොහෝවූ දිගු කලක් මා විසින්ද තොප විසින්ද ගමන් කරන ලද්දේය. සැරිසරණ ලද්දේය.

“මහණෙනි, දුක් නැති කිරීම නම්වූ උතුම් සත්‍යය නොදැනීමෙන් (ප්‍රතිවෙධ නොකිරීමෙන්) මෙසේ මේ බොහෝවූ දිගු කලක් මා විසින්ද තොප විසින්ද ගමන් කරන ලද්දේය, සැරිසරන ලද්දේය. මහණෙනි, දුක් නැතිකිරීමේ මාර්ගය නම් උතුම් සත්‍යය නොදැනීම (ප්‍රතිවෙධ නොකිරීම) නිසා මෙසේ බොහෝවූ දිගු කලක් තොප විසින්ද මා විසින්ද ඇවිදින ලද්දේය, සැරිසරණ ලද්දේය.

“මහණෙනි, ඒ මේ දුක නම් වන උතුම් සත්‍යය තත්වූ පරිදි දැනගන්නා ලද්දේය. දුක් ඇතිවීමේ හේතුව නම්වූ උතුම් සත්‍යය තත්වූ පරිදි දැනගන්නා ලද්දේය. දුක් නැති කිරීම නම්වූ උතුම් සත්‍යයද ඇතිසැටියෙන් දැනගන්නා ලද්දේය. දුක් නැතිකිරීමේ මාර්ගය නම් උතුම් සත්‍යයද ඇතිසැටියෙන් දැනගන්නා ලද්දේය. භව තණ්හාව මුලින් සිඳ නසන ලද්දේය. භව රැහැණ ගෙවී ගියේය. දැන් නැවත ඉපදීම නැතැයි” කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූහ. ඉන්පසු සුගතවූ සර්වඥයන්වහන්සේ මේ අදහස් ඇති ගාථා දෙක පැවසූහ.

“උතුම්වූ සත්‍ය සතර ඇති සැටියෙන් නොදැක්ම නිසා ඒ ඒ ජාතියෙහි බොහෝවූ දිගු කලක් එහා මෙහා සැරිසරන ලද්දේය. ඒ මේ උතුම් සත්‍ය සතර දක්නා ලද්දාහුය. තණ්හා නමැති රැහැන නසන ලදී. සසර දුකෙහි මුල උගුල්ලා හරින ලද්දේය. දැන් නැවත සසර ඉපදීමක් නැත” යනුයි.


අනාවත්තිධම්මසම්බොධිපරායණා

35.එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාම නම් ගමෙහි වැඩ වසන සේක් භික්ෂූන්ට වැඩි වශයෙන් මේ ධර්ම කථාවම කරන්නේය. මේ උතුම්වූ ශීලයයි කියාද, මේ උතුම්වූ සමාධියයි කියාද, මේ උතුම් ප්‍රඥාවයයි කියාද, ශීලයෙහි සිට වඩන (පුරුදු කරන) ලද සමාධිය මහත් ඵල මහානිසංස වන්නේය. සමාධියෙහි සිට වඩනලද නුවණ මහත් ඵල මහානිසංස වන්නේය. නුවණින් පුරුදු කරනලද සිත ආශ්‍රවයන් (කෙලෙසුන්) ගෙන් මිදෙන්නේයයි පැවසූහ. ඒ ආශ්‍රව නම් කාමාශ්‍රවයෝය, භවාශ්‍රවයෝය, දෘෂ්ටි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොහුයි.

36.එවිට භාග්‍යවතුන් වහන්සේ කෝටි ග්‍රාමයෙහි කැමති කලක් වාසය කොට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, එන්න, නාදිකා නම් ගම යම් තැනකද එතැනට යමුයි” පැවසූහ.

“එසේය ස්වාමීනියි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග නාදිකා නම් ගම යම් තැනකද එතැනට පැමිණියහ. එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ නාදිකා ගම ලඟවූ ගිජ්ජකාවසථ නම් උළු ගෙයක වාසය කරති. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්හ. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.

‘ස්වාමිනි, නාදිකා නම් ගමෙහි සිටි සාළ්හ නම් භික්ෂුව පරලොව ගියේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?”

‘ස්වාමිනි, නාදිකා නම් ගමෙහි නන්දා නම් භික්ෂුණීය පරලොව ගියාය. ඇගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?”

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි සුදත්ත නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි සුජාතා නම් උපාසිකාව මැරුණාය. ඇගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි කකුධ නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි කාලිංග නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි නිකට නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි කටිස්සභ නම් උපාසකයා මැරුණේය. ඔහු කොහි උපන්නේද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි තුට්ඪ නම් උපාසකයා මැරුණේය. ඔහු කොහි උපන්නේද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි සන්තුට්ඪ නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි භද්‍ර නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?’

‘ස්වාමීනි, නාදිකා නම් ගමෙහි සුභද්‍ර නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?’

37.“ආනන්දය, සාළ්හ නම් භික්ෂුව (කාමාදි) කෙලෙස් නැති කිරීමෙන් අනාශ්‍රව චෙතො විමුක්ති නම්වූ අර්හත් ඵල ඥානය මේ ආත්මයේදීම තමන්ම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ගෙන ඊට පැමිණ වාසය කළේය. ආනන්දය, නන්දා නම් භික්ෂුණිය පස් ආකාර ඔරම්භාගිය (සත්වයන් කාමලොකයෙහි රඳවන) සංයෝජනයන් නැතිකිරීම නිසා ඔපපාතිකව (බ්‍රහ්මලොකයෙහි) උපන්නීය. ඒ (බ්‍රහ්ම) ලොකයෙන් වෙනස් නොවන ස්වභාව ඇත්තේ එහිදීම පිරිනිවන් පාන්නීය.

“ආනන්දය, සුදත්ත උපාසකයා සංයෝජන තුනක් නැති කිරීමෙන් රාග ද්‍වෙෂ මොහයන් තුනීකිරීම නිසා සකෘදාගාමි වූයේ එක වරක්ම මේ (මනුෂ්‍ය) ලොකයට ඇවිත් සසර දුක් කෙළවර කරන්නේය. ආනන්දය, සුජාතා උපාසිකාව සංයෝජන තුනක් ක්ෂය කිරීම හේතුකොට ගෙන සෝවාන් ඵලයට පැමිණියාය. සතර අපායෙහි නොහෙලන ස්වභාව ඇතිව අර්හත් ඵල ඥානයට නියත වූවාය.

“ආනන්දය, කකුධ උපාසකයා ඔරංභාගිය සංයෝජන පහ නැති කිරීම නිසා ඔපපාතිකව (බ්‍රහ්ම ලොකයෙහි) උපන්නේය. එහිදීම (බඹලොවදීම) පිරිනිවන් පාන්නේය. ඒ (බ්‍රහ්ම) ලොකයෙන් නොපෙරලෙන ස්වභාව ඇත්තේය.

“ආනන්දය, කාලිංග උපාසකයා ඔරම්භාගිය සංයෝජන පහ නැති කිරීමෙන් ඔපපාතිකව (බඹලොව) උපන්නේය. එහිදීම පිරිනිවන් පාන්නේය. ඒ ලෝකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තේය. ආනන්දය, නිකට උපාසකයා ඔරම්භාගිය සංයෝජන පහ නැතිකිරීම නිසා ඔපපාතිකව උපන්නේය. එහිදීම පිරිනිවන් පාන්නේය. ඒ ලොකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තේය. ආනන්දය, කටිස්සභ උපාසකයා ඔරම්භාගිය සංයෝජන පහ නැතිකිරීමෙන් ඔපපාතිකව (බඹලොව) උපන්නේය. එහිදීම පිරිනිවන් පාන්නේය, ඒ ලොකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තේය. ආනන්දය, තුට්ඪ උපාසකයා ඔරම්භාගිය සංයෝජන පහ නැතිකිරීමෙන් ඔපපාතිකව (බඹලොව) උපන්නේය. එහිදීම පිරිනිවන් පාන්නේය. ඒ ලොකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තේය. ආනන්දය, සන්තුට්ඪ උපාසකයා ඔරම්භාගිය සංයෝජන පහ නැතිකිරීමෙන් ඔපපාතිකව (බඹලොව) උපන්නේය. එහිදීම පිරිනිවන් පාන්නේය. ඒ ලොකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තේය. ආනන්දය, භද්ද උපාසකයා ඔරම්භාගිය සංයෝජන පහ නැතිකිරීමෙන් ඔපපාතිකව (බඹලොව) උපන්නේය. එහිදීම පිරිනිවන් පාන්නේය. ඒ ලොකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තේය.

“ආනන්දය, නාදිකා ගමෙහි තවත් පණහකට වැඩිගණනක් උපාසකයෝ ඔරම්භාගිය සංයෝජන පහ නැතිකිරීමෙන් ඔපපාතිකව (බඹලොව) උපන්නාහුය. ඒ ලොකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තාහු එහිදීම පිරිනිවන් පාන්නාහුය. ආනන්දය, නාදිකා නම් ගමෙහි අනූවකට වැඩිදෙනෙක් කළුරිය කළාහු, සංයෝජන තුනක් නැතිකිරීම නිසා රාග ද්‍වෙෂ මොහයන් තුනීකිරීම හේතුකොටගෙන සකෘදාගාමි වූවාහු මේ ලොකයට එකවරක් පමණක් ඇවිත් දුක් කෙළවර කරන්නාහුය. ආනන්දය, නාදිකා නම් ගමෙහි පන්සියයකට වැඩිතරමක් උපාසකයෝ කලක්‍රියාකළාහු සංයෝජන තුනක් නැතිකිරීම හේතුකොටගෙන සෝවාන් ඵලයට පැමිණියාහු, (සතර) අපායට නොහෙලන ස්වභාව ඇත්තාහු අර්හත් ඵලයට නියත වූවාහුය.


ධම්මාදාසධම්මපරියායා

38.“ආනන්දය, මිනිහෙක් මැරෙන්නේය යනු පුදුමයක් නොවේ. ඉදින් ඒ ඒ මිනිසුන් මැරුණු කල තථාගතයන් වහන්සේ වෙත පැමිණ, මේ කාරණය අසත් නම්, ආනන්දය, මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙස වන්නේය. එහෙයින් ආනන්දය, ‘ධර්මදාස’ (ධර්ම කන්නාඩිය) නම් ධර්මක්‍රමයක් දෙශනා කරන්නෙමි.

“යම් ධර්මයකින් යුක්තවූ උතුම් ශ්‍රාවකයා ඉදින් කැමති වන්නේ නම්, නිරා දුක් නැති කෙළෙමි. තිරිසන් යොනියෙහි දුක නැති කෙළෙමි. ප්‍රෙත දුක් නැති කෙළෙමි. නපුරු ගති ඇති අපාය නැති කෙළෙමි. මම අපායෙහි නොහෙළන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙක් වෙමියි තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්නේද එවැනි ධර්ම ක්‍රමයකි.

“ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඉදින් කැමතිවන්නේ නම් නිරාදුකින් මම නිදහස් වීමි. ප්‍රෙත දුකින් නිදහස් වීමි. තිරිසන් දුකින් නිදහස් වීමි. නපුරු ගති ඇති අපාය දුකින් නිදහස් වීමි. අපායට නොහෙළන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙමියි’ තමා ගැන තමා විසින්ම ප්‍රකාශ කරන්නේද? ඒ “ධර්මදාස” නම් ධර්ම ක්‍රමය කවරේද?

ආනන්දය, මේ ශාසනයෙහි උතුම් ශ්‍රාවකතෙම (ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ට විද්‍යා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්තය. යහපත් ගති ඇත්තාහ, සියලු ලොකයන් දන්නාහ, ශ්‍රෙෂ්ඨය, හික්මවියයුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිය, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූහ. සත්‍යවූ උතුම් ධර්ම සතර (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබොධ කළසේක. භාග්‍යවත්වූසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වන පැහැදීමෙන් යුක්තවූයේද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයේදීම දැක්කහැකිවූ ඵල ඇත්තේය. කල් නොයවා ලැබියයුතු ඵල ඇත්තේය. ‘එව, බලවයි’ දැක්විය හැකිවූ ගුණ ඇත්තේය. නිර්වාණය කරා පමුණුවන්නේය. නුවණැත්තන් විසින් ඊට පැමිණ තම තමන්ගේ සිතින්ම දතයුතුවූ ගුණ ඇත්තේයයි ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවේද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජුව (කෙළින්) පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට සුදුසු පරිදි පිළිපන්නේය. යම් මේ පුරුෂ යුගල සතරක් වන්නාහුද, (පුරුෂ පුද්ගල වශයෙන්) අටදෙනෙක් වන්නාහුද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා සොයා ගොස් පිදිය යුතු භොජනය පිළිගැනීමට සුදුසුය, පරලොව අදහා දෙන දානය (දක්ෂිණාව) පිළිගැණීමට සුදුසුය (අංජලීකර්මයට) දෑත හිස මත තබා වැඳීමට සුදුසුය, ලොකයාට උතුම්වූ පින් කෙතක් වැනියයි සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ඇදහීමෙන් යුක්ත වේද, නොකැඩුනාවූ, සිදුරු නොවූ, පැල්ලම් නැති කැලැල් නොවූ, තණ්හාවට වාල් නොවූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන්නාවූ, දොස් රහිතවූ සමාධිය පිණිස පවත්නාවූ උත්තමයන්ට ප්‍රිය මනාපවූ සීලයෙන් යුක්තවේද, ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ උතුම් ශ්‍රාවක තෙම ඉදින් කැමතිවන්නේ නම්, ‘නිරා දුකින් මිදුනෙමි. තිරිසන් දුකින් මිදුනෙමි. ප්‍රෙත දුකින් මිදුනෙමි. නපුරු ගති ඇති අපාය දුකින් මිදුනෙමි. මම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙමියි’ තමාම තමන් ගැන ප්‍රකාශ කරන්නේද ඒ ධර්මදාසනම් ක්‍රමය මෙය වන්නේය.

39.එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ නාදිකා ගමෙහි එක් උළු ගෙයක වාසය කරන සේක්. බොහෝසෙයින් මේ ධර්මයම දෙශනා කරන්නාහ. මේ උතුම්වූ ශීලයයි කියාද, මේ උතුම්වූ සමාධියයි කියාද, මේ උතුම්වූ ප්‍රඥාවයයි කියාද, ශීලයෙහි සිට වඩන (පුරුදු කරන) ලද සමාධිය මහත් ඵල මහානිසංස වන්නේය. සමාධියෙහි සිට වඩන ලද නුවණ මහත්ඵල මහානිසංස වන්නේය. නුවණින් පුරුදු කරන ලද සිත ආශ්‍රවයන් (කෙලෙසුන්) ගෙන් මිදෙන්නේයයි” පැවසූහ. ඒ ආශ්‍රව (කෙලෙස්) නම්, කාමාශ්‍රවයෝය, භවාශ්‍රවයෝය, දෘෂ්ටි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොහුයි.

40.භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගමෙහි කැමති කාලයක් වාසය කොට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දය එන්න, විසාලාමහනුවර යම් තැනකද එතැනට යමුයි” පැවසූහ. “එසේය ස්වාමීනියි” ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ උත්තර දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග විශාලාමහනුවර යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. එතැන්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ, අම්බපාලි නම් ගණිකාවගේ (දක්ෂ නාට්‍ය ගීත කලා දක්වන්නියගේ) අඹ උයනෙහි වාසය කරන සේක.

එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, භික්ෂුව සිහියෙන් යුක්තවූයේ, මනා නුවණින් යුක්තවූයේ වාසය කරන්නේය. මේ වනාහි අපගේ අනුශාසනාවයි. මහණෙනි, භික්ෂුව කෙසේ නම් සිහියෙන් යුක්තවේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ පඤ්චස් කන්ධ නමැති ලොකයෙහි ලොභයද නොසතුටු බවද දුරුකොට මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය. මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ පඤ්චස්කන්ධය නමැති ලොකයෙහි ලොභයද, නොසතුටු බවද සංසිඳුවාගෙන විඳීම අනුව බලමින් වාසය කරන්නේය. මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව ඥාණයෙන් යුක්තව, සිහියෙන් යුක්තව, පඤ්චස්කන්ධ නමැති ලොකයෙහි ලොභයද නොසතුටු බවද සංසිඳුවාගෙන සිත අනුව බලමින් වාසය කරන්නේය. මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතුව, ඤාණයෙන් යුතුව, සිහියෙන් යුතුව පඤ්චස්කන්ධය නමැති ලොකයෙහි ලොභයද නොසතුටු බවද සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ නම් වෙයි.

“මහණෙනි, භික්ෂුව කෙසේ නම් නො නුවණින් යුක්ත වන්නේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද වටපිට බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් දැන කරන්නේය. දෙපොට සිවුරය, තනිපොට සිවුරය, පාත්‍රය යන මේ දේ දැරීමෙහිද නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමෙහිද, පානය කිරීමෙහිද, වැළඳීමෙහිද, රස විඳීමෙහිද, නුවණින් යෙදී කරන්නේය, මළ මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තව එසේ කරන්නේය.

“යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ නුවණින් දැන කරන්නේය. මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව නුවණින් දැන කරන්නේ වේ. මහණෙනි, මහණතෙම මනා නුවණින් සහ සිහියෙන් යුක්තව වාසය කරන්නේය. මේ වනාහි අපගේ අනුශාසනාව නම් වන්නීය.


අම්බපාලීගණිකා

41.අම්බපාලී නම් ගණිකාව (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නිය) “භාග්‍යවතුන් වහන්සේ වනාහි විශාලාමහනුවරට පැමිණ විශාලාමහනුවර සමීපයෙහිවූ මගේ අඹ උයනෙහි වැඩවසති” යන මේ ආරංචිය ඇසුවාය. එවිට අම්බපාලි නම් ගණිකාව (දක්ෂ නාට්‍ය ගීත කලා දක්වන්නිය) හොඳ හොඳ යානාවන් යොදවා විසිතුරු යානාවකට නැගී හොඳ හොඳ යානාවලින් විශාලාමහනුවරින් නික්මුණාය. තමාගේ අඹවන උයන යම් තැනෙකද එතැනට ගියාය. යානාවෙන් යායුතු තැන් එසේ ගොස් යානාවෙන් බැස පා ගමනින්ම භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක පැත්තක උන්නාය. එක පැත්තක උන්නාවූ අම්බපාලි නම් ගණිකාවට (දක්ෂ නාට්‍ය ගීත කලා දක්වන්නිය) භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුත් කථාවෙන් මෙලොව පරලොව යහපත දක්වා වදාළහ. එහි සමාදන් කරවූහ. සිත් දියුණු කරවූහ. සිත පැහැදවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් මෙලොව පරලොව යහපත දක්වන ලද්දාවූ, එහි සමාදන් කරවන ලද්දාවූ එහි සිත් තියුණු කරවන ලද්දාවූ, සිත පහදවන ලද්දාවූ අම්බපාලි නම් ගණිකාව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට දවස මාගේ දානය පිළිගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එය පිළිගත්හ. අම්බපාලි නම් ගණිකාව භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ (ප්‍රදක්ෂිණාකොට) ගෞරවයෙන් ගියාය.

42.විසාලාමහනුවර වසන්නාවූ ලිච්ඡවි රජදරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහි විසාලා මහනුවරට පැමිණ විසාලා මහනුවර සමීපයෙහි අම්බපාලි උයනෙහි වාසය කරන්නාහයි ඇසූහ. එවිට ඒ ලිච්ඡවි දරජදරුවෝද හොඳ හොඳ යානාවන් යොදවා, හොඳ හොඳ යානා වලට නැගී හොඳ හොඳ යානාවලින් විසාලා මහනුවරින් නික්මුණාහුය. එහි සමහර ලිච්ඡවි රජදරු කෙනෙක් නිල්පාට ආභරණයෙන් සැරසුණාහු නිල්පාට වස්ත්‍ර ඇඳ, නිල්පාට වූහ. එහි සමහර ලිච්ඡවි රජදරු කෙනෙක් රත්‍රං පාටින් සැරසී, රත්‍රං පාට ඇඳුම් ඇඳ රත්‍රං පාට වූහ. ඇතැම් ලිච්ඡවි රජදරු කෙනෙක් රතුපාටින් සැරසී රතුපාට ඇඳුම් ඇඳ රතුපාට වූහ. ඇතැම් ලිච්ඡවි රජදරු කෙනෙක් සුදු පාටින් සැරසී සුදුපාට වස්ත්‍ර හැඳ සුදු වූහ.

43.එවිට අම්බපාලි නම් ගණිකාව (දක්ෂ නාට්‍ය ගීත කලා දක්වන්නිය) තරුණ තරුණ ලිච්ඡවි රජදරුවන්ගේ රථ තමාගේ රථවලින් හිසින් හිස, රොදයෙන් රොදය, වියගසෙන් වියගස හප්පමින් ඉක්මනින් යන්නීය. එවිට ඒ ලිච්ඡවීහු අම්බපාලි නම් ගණිකාව (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නියට) මෙසේ කීවාහුය. “අම්බපාලිය, තරුණ තරුණ ලිච්ඡවීන්ගේ රථ හිසින් හිස, රෝදයෙන් රෝදය, වියගසෙන් වියගස හප්පමින් යන්නේ මක්නිසාදැයි” ඇසූහ. “ඒ එසේමය, ආර්‍ය්‍ය පුත්‍රවූ රජ දරුවෙනි මා විසින් භික්ෂු සංඝයා සමග භාග්‍යවතුන් වහන්සේට හෙට දවස දානය පිණිස ආරාධනය කෙළෙමියි” කීවාය. “අම්බපාලිය මේ බත හෙවත් තොප විසින් කරන ලද ආරාධනය ඇති බත කහවනු ලක්ෂයක් ගෙන අපට දෙවයි” ඉල්ලුහ. “ආර්‍ය්‍ය පුත්‍රවූ රජදරුවෙනි, ජනපද සහිත විසාලා මහනුවර දුන්නේවී නමුත් මේ ආනිසංස ඇති බත නොදෙමියි” කීය. එවිට ඒ ලිච්ඡවීහු “පින්වත්නි, ඒකාන්තයෙන් ගැහැණියක විසින් අපි පරදවන ලදුම්හ. පින්වත්නි, ඒකාන්තයෙන් ගැහැණියක විසින් අපි වංචාකරන ලදුම්හයි” කියා ඇඟිලි එකට ගැසුවාය.

44.ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලි උයන යම් තැනකද එතැනට ගියාහුය. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම එන්නාවූ ඒ ලිච්ඡවීන් දුටහ. දැක, භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, තොප අතුරෙන් යම් භික්ෂුකෙනෙක් තව්තිසා වැසි දෙවියන් නොදුටුවාහු වෙද්ද, මහණෙනි, ලිච්ඡවි රජ පිරිස් බලව්! මහණෙනි මේ ලිච්ඡවී පිරිස නැවත නැවත බලව්. මහණෙනි, ලිච්ඡවි පිරිස තව්තිසා වැසි දෙව්පිරිස හා සමානකොට දැන ගනිව්යි” කීය.

45.ඉක්බිති ඒ ලිච්ඡවීහු යානාවෙන් යායුතු භූමිය යානාවෙන් ගොස් යානාවෙන් බැස, පයින්ම ගොස් භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ ඒ ලිච්ඡවීන්ට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුක්ත කථාවෙන් දෙලොව යහපත දක්වා එහි සිත් සමාදන් කරවා, සිත් තියුණු කරවා, ප්‍රසන්නකරවාලුහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයෙන් යුක්ත කථාවෙන් යහපත දක්වන ලද්දාවූ, එහි සමාදන් කරවන ලද්දාවූ එහි සිත් තියුණු කරන ලද්දාවූ, ප්‍රසන්න කරවන ලද්දාවූ ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා සමග හෙට දවස අපගේ දානය ඉවසනු මැනව.”

“ලිච්ඡවි රජදරුවෙනි, සෙට දවස අම්බපාලි නම් ගණිකාවගේ (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නියගේ) දානය මා විසින් පිළිගන්නා ලදී.”

එවිට ඒ ලිච්ඡවීහු පින්වත්නි, ඒකාන්තයෙන් ගැහැණියක විසින් අප පරදවන ලදුම්හ. පින්වත්නි, ඒකාන්තයෙන් ගැහැණියක විසින් අප රවටනලදුම්හ” යි කියා ඇඟිලි එකට ගැසූහ.

ඉන්පසු ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට විශෙෂයෙන් සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ (ප්‍රදක්ෂිණාකොට) ගෞරවයෙන් ගියාහුය,

46.එවිට අම්බපාලි නම් ගණිකාව (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නිය) ඒ රාත්‍රිය පසුවූකල තමන්ගේ ගෙදර රසවත්වූ කෑයුතු දෙය බුදියයුතු දෙය පිළියෙල කරවා, “ස්වාමීන් වහන්ස, දානය (බත) සම්පාදනය විය. දැන් ඊට කාලයයි” දැන්වූවාය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන භික්ෂු සංඝයා හා සමග අම්බපාලි නම් ගණිකාවගේ (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නියගේ) ගෙය යම්තැනකද එතැනට එළඹියේය. එළඹ පණවන ලද ආසනයෙහි වැඩ උන්හ. ඉක්බිති අම්බපාලි නම් ගණිකාව ((දක්ෂ නාට්‍ය ගීත දක්වන්නිය) බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා රසවත්වූ කෑයුතු බුදියයුතු දෙයින් සියතින් වැළඳවූවාය. ඇතිතාක් වැළඳවූවාය. එවිට අම්බපාලි නම් ගණිකාව (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නිය) භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයෙන් අත ඉවතට ගත් බව දැන එක්තරා පහත් ආසනයක් ගෙන එකපැත්තක උන්නාය. එකපැත්තක උන්නාවූ අම්බපාලි නම් ගණිකාව (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නී) භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. “ස්වාමීනි, මාගේ අඹඋයන බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයාට දෙමියි” භාග්‍යවතුන් වහන්සේ අඹඋයන පිළිගත්හ. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි නම් ගණිකාවට (දක්ෂ නාට්‍ය ගීත දක්වන්නියට) ධාර්මික කථාවෙන් දෙලොව යහපත දක්වා එහි සිත සමාදන් කරවා සිත තියුණු කරවා, ප්‍රසන්න කරවා, ආසනයෙන් නැගිට වැඩියහ.

47.එකල්හිද භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර අම්බපාලි අඹවනයෙහි වාසයකරන සේක් භික්ෂූන්ට බොහෝකොට මේ ධර්ම කථාවම කරන්නාහ. “මේ උතුම්වූ ශීලයයිකියාද, මේ උතුම්වූ සමාධියයි කියාද, මේ උතුම්වූ ප්‍රඥාවයයි කියාද, ශීලයෙහි සිට වඩනලද සමාධිය මහත්ඵල මහා ආනිසංස වන්නේය. සමාධියෙහි සිට වඩනලද සිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේය. ඒ ආශ්‍රව (කෙලෙස්) නම් කාමාශ්‍රවයෝය, භවාශ්‍රවයෝය, දෘෂ්ටි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොහුයි.”


වෙළුවගාමවස්සූපගමනං

48.එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි උයනෙහි කැමති කාලයක් වාසයකොට, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකළහ. “ආනන්දය, එන්න, බෙළුව නම් ගම යම්තැනෙක්හිද එහි යමු”යි කීහ. “එසේය ස්වාමීනි”යි ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග බෙළුව නම් ගම යම්තැනකද එතැනට පැමිණියාහ. එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ බෙළුව නම් ගමෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, (මෙහි) එව්! තොපි විසාලාමහනුවර හාත්පස මිත්‍රවූද, දැක පුරුදු ඇත්තාවූද, එකට අනුභවකොට පුරුදුවූද භික්ෂූහු ඇත්නම් ඔවුන් හා සමග වස් වසව්. මම වනාහි මේ බෙළුව නම් ගමෙහිම වස් එළඹෙමි”යි කීහ. “එසේය, ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දී විසාලාමහනුවර අවට මිත්‍රවූද එකට දැක පුරුදු ඇත්තාවූද අනුභවකොට පුරුදුවූද ඒ භික්ෂූන් සමග වස් වැසූවාහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි ඒ බෙළුව ගමෙහි වස් වැසූහ.

49.එකල්හි වස්වැසුවාවූ භාග්‍යවතුන් වහන්සේට දරුණුවූ ආබාධයක් (රෝගයක්) උපන්නේය. මරණය පැමිණීමට තරම් ඉතා බලවත් වේදනාවෝ ඇතිවූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහා මෙහා පෙරලීම් වශයෙන් දුකින් නොපෙළෙමින් සිහි එළවා නුවණින් පිරිසිඳ දැන බලවත්වූ ඒ දුක් වේදනාව ඉවසාගත්තෝය. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. ‘මම උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා ධර්මානුශාසනා නොදී පිරිනිවන් පාන්නෙම් නම් එය මට සුදුසු නොවේමය. මම බලවත් දුක් වේදනා ඇති මේ රෝගය පූර්වභාගවීර්‍ය්‍ය, ඵලසමා පත්තිවීර්‍ය්‍ය යන දෙයාකාර වීර්‍ය්‍ය බලයෙන් මැඩපවත්වා ඵල සමාපත්ති ධර්මයයි කියූ ජීවිත සංස්කාරය යහපත්සේ පිහිටුවීම් වශයෙන් ජීවිතය තැබීමට සමර්ථවූ ඵලසමාපත්තීන්ගෙන් යුක්තව වාසය කරන්නෙම් නම් ඉතා හොඳයයි” සිතුවෝයි.

එකල භාග්‍යවතුන්වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යබලයෙන් මැඩපවත්වා ජීවිත සංස්කාරය අධිෂ්ඨානකොට වාසය කළ සේක. ඊටපසුව භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය මැඩපැවැත්තේය. ඊට අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අසනීපයෙන් නැඟී සිටි ගිලාන භාවයෙන් නැඟී සිටී නොබෝකල් ඇත්තේ විහාරයෙන් නික්ම විහාර සෙවනෙහි පණවනලද ආසනයෙහි වැඩ සිටියෝය.

50.එකල භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්හ. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය කීවෝය.

“ස්වාමීන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ආබාධය මඳක් පහසු බව දක්නා ලදී. ඉවසිය හැකි බව දක්නා ලදී.

“ස්වාමීන්වහන්ස, එහෙත් මාගේ ශරීරය ඉතා බරවූවක් තදවූවක් මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ අසනීපය නිසා මට උතුර දකුණ ආදී දිසාවන් නොවැටහෙන්නේය. සතර සතිපට්ඨානාදී ධර්මයෝද නොවැටහෙන්නාහුය. ස්වාමීන් වහන්ස, එහෙත් මට කිසියම් සැනසීමක් පහළවූයේය.

“එනම්, භාග්‍යවතුන් වහන්සේ යම්තාක් කාලයක් භික්ෂු සංඝයාට අන්තිම අවවාදයක් නොවදාරණසේක්ද ඒතාක් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොපානාසේක යනුයි.

51.“ආනන්දය, කිමෙක්ද? භික්ෂු සංඝයා තෙමේ මා කෙරෙහි බලාපොරොත්තු වන්නේදැයි” ඇසූසේක. “ආනන්දය, මා විසින් පුද්ගල වශයෙන් හෝ ධර්මවශයෙන් හෝ ඇතුළත්ය පිටත්යයි වෙන්කොට ධර්ම දෙශනා නොකරණ ලද්දේය.

“ආනන්දය, ඒ ධර්මයන් කෙරෙහි තථාගතයන්වහන්සේගේ ගුරු මුෂ්ටියක් (නොකියා ඉතුරු කරගත් දෙයක්) නැත්තේය. ආනන්දය, යමෙකුට මෙබඳු අදහසක් වන්නේද කෙසේදයත්, මමම භික්ෂු සංඝයා පරිහරණය කෙරෙමි කියා හෝ භික්ෂු සංඝ තෙමේ මා උදෙසාම වාසය කරන්නේය කියායි. ආනන්දය ඒකාන්තයෙන් මෙබඳු අදහස් ඇත්තේ නම් භික්ෂු සංඝයා ගැන කිසියම් අන්තිම වචනයක් ගෙනහැර දක්වන්නේය. ආනන්දය, තථාගතයාණන්ට මෙබඳු අදහසක්නොවෙයි. කෙසේද, ‘මමම භික්ෂු සංඝයා පරිහරණය කෙරෙමි කියා හෝ, භික්ෂු සංඝයා මා උදෙසාම වාසය කරන්නේය කියායි.’ ආනන්දය, ඒ තථාගත තෙමේ භික්ෂු සංඝයා අරබයා කුමක් ගෙනහැර දක්වන්නේද?

52.ආනන්දය, මම දැන් ජරාවෙන් දිරුණේ වෙමි, වයසින් වැඩිසිටියේ වෙමි, ජාතියෙන් මහලු බවට පැමිණියේ වෙමි, බොහෝ කල් ඉක්මවූයෙමි, වයස්හුගේ කෙළවරට පැමිණියෙමි, මාගේ වයස දැන් අසූවක්ව පවතී. ආනන්දය, ජරාවට පැමිණි රථයක් පෑස්සීමාදියෙන් ප්‍රතිසංස්කරණ කිරීමෙන් යම්සේ පවතීද, ආනන්දය, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ ශරීරය අර්හත් ඵල වේගයෙන් බඳනාලදුව යැපේයයි සිතමි” කීවෝය. “ආනන්දය, යම් කලෙක්හි තථාගත තෙමේ සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් සමහර වේදනාවන්ගේ නිරොධයෙන් චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ආනන්දය, එකල්හි තථාගතයන්ගේ ශරීරය සමවත් සුව විහරණයෙන් පහසු කරණ ලද්දේ වෙයි. ආනන්දය, එහෙයින් මේ ශාසනයෙහි තමා පිහිටකොට ඇත්තෝව වාසය කරව්. තමාම පරම පිහිටකොට ඇත්තෝවව්. අනිකක් පිහිටකොට ඇත්තෝ නොවව්.

53.ආනන්දය, භික්ෂුතෙමේ කෙසේ නම් තමාම තමහට එලියක් මෙන් පිහිටකොට ඇත්තේ ධර්මය උතුම් පිහිටකොට ඇත්තේ අනිකක් පිහිටකොට නැත්තෙක්ව වාසය කෙරේදයත්, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව හොඳ නුවණ ඇතිව සිහියෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය හා අසතුට දුරුකර කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය. මේ ශාසනයෙහි භික්ෂුතෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා දොම්නස මැඩපවත්වා වේදනා අනුව බලමින් වාසයකෙරේද, මේ ශාසනයෙහි භික්ෂුතෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව හොඳ නුවණ ඇතිව සිහි කල්පනාවෙන් යුතුව පඤ්චස්කන්ධ ලොකයෙහි ලෝභය හා දොම්නස මැඩපවත්වාගෙන සිත නැවත නැවත දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව හොඳ සිහියෙන් යුක්තව ස්කන්ධලෝකයෙහි ලෝභය හා සෝකය යන දෙක මැඩපවත්වා නීවරණාදී ධර්ම අනුව බලමින් වාසය කරයිද,

54.ආනන්දය, මේ භික්ෂුතෙම තමාම තමහට පිහිට කොට ඇත්තේ තමාම තමහට උතුම් පිහිටකොට ඇත්තේ අනිකක් පිහිටකොට නැත්තේ ධර්මය පිහිටකොට ඇත්තේ ධර්මයම උතුම් පිහිටකොට ඇත්තේ අනිකක් පිහිටකොට නැත්තෙක්ව වාසය කෙරේයයි වදාළෝය. ආනන්දය, යම්කිසි භික්ෂුකෙනෙක් දැන් හෝ මා නැති කල හෝ තමාම තමාට එලියක් මෙන් පිහිටකොට ඇත්තෝව ධර්මය උතුම් පිහිට කොට ඇත්තෝව අනිකක් පිහිටකොට නැත්තෝව වාසය කරන්නාහු වෙත්ද, ධර්මය එලියක් මෙන් පිහිටකොට ඇත්තෝව ධර්මයම උතුම් පිහිටකොට ඇත්තෝව, අනිකක් පිහිටකොට නැත්තෝව වාසය කරන්නාහු වෙත්ද, ආනන්දය, ශික්ෂාකාමිවූ යම් භික්ෂු කෙනෙක් වෙත්ද, ඒ භික්ෂූහු මාගේ ශාසනයෙහි අතිශ්‍රෙෂ්ඨ භාවයෙහි පිහිටියෝ වෙත්යයි” වදාළෝය.

දෙවෙනි බණවර නිමියේය.


නිමිත්තොභාසකථා

55.එවිට භාග්‍යවතුන් වහන්සේ උදෑසන කාලයෙහි මනාකොට හැඳ පොරවා සිවුරු හා පාත්‍රය ගෙන විශාලා මහනුවරට පිණ්ඩපාතය පිණිස ගියසේක. විසාලාමහනුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් හැරී ආයේ සවස් කාලයෙහි ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය.

“ආනන්දය, නිසීදනය (හිඳගන්නා පත්කඩ) ගණුව. චාපාල චෛත්‍යස්ථානය යම් තැනෙක්හිද, එතැන්හි දිවා විහරණය (දවල් කාලයෙහි වාසය) පිණිස එලඹෙනු කැමැත්තෙමියි” කීවෝය.

“එසේය, ස්වාමීන්වහන්සැයි” කියා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තරදී භාග්‍යවතුන් වහන්සේගේ පසුපස්සෙහි ගියෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ චාපාල නම් චෛත්‍යස්ථානය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ පනවන ලද ආසනයෙහි වැඩ උන්නෝය. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවෝය.

56.“ආනන්දය, මේ විසාලා නුවර ප්‍රිය කරන්නේය. උදෙන නම් චෛත්‍යස්ථානයද සිත් ප්‍රිය කරන්නේය. ගොතමක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. සත්තම්බක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. බහුපුත්‍රක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. සාරන්දද නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. මේ චාපාල නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය.

“ආනන්දය, යම් කිසිවෙකු විසින් හතර ආකාරවූ ඍද්ධිපාද ධර්මයෝ යහපත් කොට වඩන ලද්දාහු වෙද්ද, නැවත නැවත පුරුදුකරන ලද්දාහු වෙද්ද, නැඟීයන යානාවක් මෙන් කරණ ලද්දාහු වෙද්ද පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, මනාකොට පිහිටා සිටින ලද්දාහු වෙද්ද, යහපත් කොට වඩන ලද්දාහු වෙද්ද, මනාකොට පටන්ගන්නා ලද්දාහු වෙද්ද ඔහු ඉදින් කැමතිවූයේ නම් සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්වසිටින්නේය. ආයුෂ්මත් ආනන්දය තථාගතයන් වහන්සේ විසින් සතර වැදෑරුම්වූ ඍද්ධිපාද ධර්මයෝ යහපත්කොට වඩන ලද්දාහුය. නැවත නැවත පුරුදු කිරීම් වශයෙන් බහුල කොට කරන ලද්දාහුය. නැඟීයන යානාවක් මෙන් කරණ ලද්දාහුය. පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහුය. මනාකොට පිහිටා සිටින ලද්දාහුය. මනාකොට වඩන ලද්දාහුය. යහපත්ව පටන් ගන්නා ලද්දාහුය. ආනන්දය, ඒ තථාගත තෙම ඉදින් කැමැත්තේ නම් සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි” කීවෝය.

57.ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඇඟවීම් කර වදාරණලද කල්හිදු මහත් ලකුණු කර වදාරණලද කල්හිදු මාරයා විසින් මඩනාලද සිත් ඇති බැවින් කාරණය තේරුම්ගත නොහැකි විය. එහෙයින් “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, බොහෝ ජනයාට හිතපිණිස, සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දිව්‍යමනුෂ්‍යයන්ට යහපත පිණිස, හා හිත සැප පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩසිටිනා සේක්වායි කියා භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකළේය.

58.දෙවෙනි වරද භාග්‍යවතුන්වහන්සේ මෙසේ කීවෝය. “ආනන්දය, මේ විසාලා නුවර සිත් ප්‍රිය කරන්නේය. උදෙන නම් චෛත්‍ය ස්ථානයද සිත් ප්‍රිය කරන්නේය. ගොතමක නම් චෛත්‍ය සිත් ප්‍රිය කරන්නේය. සත්තම්බක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. බහුපුත්‍රක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. සාරන්දද නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. චාපාල නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය.

“ආනන්දය, යම් කිසිවෙකු විසින් හතර ආකාර සෘද්ධිපාද ධර්ම වඩනලද්දාහු වෙද්ද නැවත නැවත පුරුදුකරන ලද්දාහුද නැඟීයන යානාවක් මෙන් කරණ ලද්දාහු වෙද්ද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහු වෙත්ද, හොඳින් පිහිටන ලද්දාහු වෙද්ද, යහපත්කොට වඩන ලද්දාහු වෙද්ද, හොඳින් පටන්ගන්නා ලද්දාහු වෙද්ද, ඔහු ඉදින් කැමතිවූයේ නම් සම්පූර්ණ ආයුෂ හෝ ඊට වැඩීයෙන් හෝ ජීවත්ව සිටින්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් හතර ආකාරවූ ඍද්ධිපාද ධර්ම යහපත් කොට වඩන ලද්දාහුය. නැවත නැවත පුරුදු කරන ලද්දාහුය, නැඟීයන යනාවක් මෙන් කරණ ලද්දාහුය. පිහිටීමට වස්තුවක් මෙන් කරණ ලද්දාහුය. හොඳින් පිහිටා සිටින ලද්දාහුය. හොඳින් වඩන ලද්දාහුය, යහපත්ව පටන්ගන්නා ලද්දාහුය, ආනන්දය, ඒ තථාගතතෙම ඉදින් කැමතිවූයේ නම් සම්පූර්ණ ආයුෂ හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි” කීවෝය.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මහත්වූ හැඟීම් කර වදාරන ලද කල්හිද මහත්වූ ලකුණු දක්වනලද කල්හිද මාරයා විසින් මඩනාලද සිත් ඇතිවූ බැවින් තේරුම්ගන්ට නොහැකිවූයේය. එහෙයින් ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දිව්‍ය මනුෂ්‍යයන්ට යහපත පිණිස හා හිත සැප පිණිස, භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිත්වායි, කියාද තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලේ ජීවත්ව සිටිත්වායි කියාද භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකළේය.

තුන්වැනි වරද භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවෝය. “ආනන්දය, මේ විසාලා නුවර සිත් ප්‍රිය කරන්නේය උදෙන නම් චෛත්‍ය ස්ථානයද සිත් ප්‍රිය කරන්නේය. ගොතමක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. සත්තම්බක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය බහුපුත්‍රක නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය. සාරන්දද නම් චෛත්‍යයද සිත් ප්‍රියකරන්නේය චාපාල නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය.

“ආනන්දය, යම් කිසිවෙකු විසින් හතර ආකාර ඉර්ධිපාද ධර්ම වඩනාලද්දාහුවෙද්ද නැවත නැවත පුරුදුකරන ලද්දාහුද නැඟීයන යානාවක් මෙන් කරණ ලද්දාහුවෙත්ද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහු වෙත්ද, හොඳින් පිහිටන ලද්දාහු වෙද්ද, යහපත්කොට වඩන ලද්දාහු වෙද්ද, හොඳින් පටන්ගන්නා ලද්දාහු වෙද්ද, ඔහු ඉඳින් කැමතිවූයේ නම් සම්පූර්ණ ආයුෂ හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් හතර ආකාරවූ ඍද්ධිපාද ධර්ම යහපත්කොට වඩන ලද්දාහුය. නැවත නැවත පුරුදු කරන ලද්දාහුය, නැඟීයන යානාවක් මෙන් කරන ලද්දාහුය, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහුය, හොඳින් පිහිටා සිටින ලද්දාහුය, හොඳින් වඩන ලද්දාහුය. යහපත්ව පටන්ගන්නා ලද්දාහුය. ආනන්දය, ඒ තථාගත තෙම ඉඳින් කැමතිවූයේ නම් සම්පූර්ණ ආයුෂ හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි” කීවෝය.

59.ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මහත්වූ නිමිත්තයන් කර වදාරන කල්හිද මහත්වූ ලකුණු දක්වන ලද කල්හිද මාරයා විසින් මඩනා ලද සිත් ඇතිවූ බැවින් දැනගන්ට නොහැකිවූයේය. ‘එහෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස, දිව්‍ය මනුෂ්‍යයන්ට යහපත පිණිස හා හිත පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිත්වායි කියාද, තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලේ ජීවත්ව සිටිත්වායි’ කියාද භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකළේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකර මෙසේ කීවෝය.

60.“ආනන්දය, ඔබ යව. දැන් ඊට කාලය බව දැනගනුවයි” කීවෝය. “එසේය, ස්වාමීන් වහන්ස,” කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තරදී හුනස්නෙන් නැගිට (පැදකුණුකොට) ගෞරව වශයෙන් ගොස් භාග්‍යවතුන් වහන්සේට නුදුරුවූ එක්තරා ගසක් මුල වැඩ උන්නේය.


මාරයාචනකථා

61.එවිට පාප සිත් ඇත්තාවූ මාරතෙමේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, එක පැත්තක සීටියේය. එක පැත්තක සිටි ඒ පාප සිත් ඇත්තාවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැනුම් දුන්නේය “ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පෑම කරණු මැනවි. සුගතයන් වහන්සේ පිරිනිවන්පෑම කරනු මැනවි. ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන්පෑමට කාලය වේ” කියායි.

“ස්වාමීනී, භාග්‍යවතුන් විසින් මේ වචන කියන ලද්දේමය පාප සිත් ඇති මාරය, යම්තාක් කල් මාගේ භික්ෂු ශ්‍රාවකයෝ සමත් නොවෙද්ද, හික්මුනාහු නොවෙද්ද, මහත් දැනුමක් ඇත්තෝ නොවෙද්ද, බොහෝ දේ ගැන දැන ගත්තාහු නොවෙද්ද, ධර්මය දරන්නෝ නොවෙද්ද, ධර්මානුධර්ම පතිපන්න (ආර්‍ය්‍යධර්මයට අනුව පිළිපදින්නෝ) නොවෙද්ද, සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නාහු නොවෙද්ද, අනුධර්මචාරී (ධර්මයට අනුව හැසිරෙන්නෝ) නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය මත ඉගෙන නොකියන්නාහු වෙද්ද, දේශනා නොකරන්නාහු වෙද්ද, පනවන්නාහු නොවෙද්ද, පිහිටුවන්නාහු නොවෙද්ද, විභාග නොකරන්නාහු වෙත්ද, ප්‍රකට නොකරන්නාහු වෙත්ද, උපන්නාවූ මිථ්‍යාවාදයන් (මත) හෙතු සහිතව නිග්‍රහකොට උත්තර සහිතකොට ධර්ම දෙශනා නොකරන්නාහු වෙත්ද ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යන මේ වචනයෝයි.

“ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවකයෝ විනීත වූවාහුය, විසාරද වූවාහුය, (බහුශ්‍රැත වූවාහුය) බොහෝ දේ දැනගත්තාහුය, ධර්මධර වූවාහුය, ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය, සුදුසු ප්‍රතිපත්තියෙහි පිළිපන්නාහුය. ධර්මයට අනුව හැසිරෙන බැවින් අනුධර්මචාරී වූවාහුය. ස්වකීය ආචාර්‍ය්‍යවාද ඉගෙණ ප්‍රකාශකොට කියන්නාහුවෙති. දෙශනා කරන්නෝ වෙති. පණවන්නාහු වෙති. පිහිටුවා තබන්නාහු වෙති විවෘතකොට දක්වන්නාහු වෙති. විභාග වශයෙන් බෙදන්නාහු වෙති. (උත්තානි) ප්‍රකට කරන්නාහු වෙති. උපන්නාහු අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහකොට උත්තර සහිතවූ ධර්ම දෙශනාකරන්ට සමර්ථ වූවාහුය.

“ස්වාමීන් වහන්ස, දැන් වනාහි භාග්‍යවත්තෙම පිරිනිවන් පාන සේක්වා. සුගත තෙම පිරිනිවන් පාන සේක්වා. ස්වාමීන් වහන්ස දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයි” කියා යාඥා කෙළේය.

62.“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචන වදාරණ ලද්දේමය. ‘පවිටුවූ එම්බා මාරය, යම්තාක් මාගේ භික්ෂූණි ශ්‍රාවිකාවෝ සමත් නොවෙද්ද, හික්මෙන්නියෝ නොවෙද්ද මහත් දැනුමක් ඇත්තෝ නොවෙත්ද, බොහෝ දේ ගැන දැනගත්තාහු නොවෙද්ද, ධර්මය දරන්නියෝ නොවෙද්ද, ධර්මානුධර්ම ප්‍රතිපන්න (ආර්‍ය්‍ය ධර්මයට අනුව) පිළිපදින්නියෝ නොවෙද්ද, සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නියෝ නොවෙද්ද, අනුධර්මචාරී (ධර්මයට අනුව හැසිරෙන්නියෝ) නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍යමත ඉගෙන කියන්නියෝ නොවෙද්ද, දේශනා කරන්නියෝ නොවෙද්ද, පනවන්නියෝ නොවෙද්ද, පිහිටුවන්නියෝ නොවෙද්ද, විභාග කරන්නියෝ නොවෙද්ද, ප්‍රකට කරන්නියෝ නොවෙත්ද, උපන්නාවූ මිථ්‍යාවාදයන් (මත) හෙතු සහිතව නිග්‍රහකොට උත්තර සහිතකොට ධර්මදේශනා කරන්නියෝ නොවෙත්ද ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යන මේ වචනයෝයි.

“ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂුණි ශ්‍රාවිකාවෝ විනිතවූවාහුය. විසාරද වූවාහුය (බහුශ්‍රැත වූවාහුය), බොහෝ දේ දැනගත්තාහුය, ධර්මධර වූවාහුය, ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. සුදුසු ප්‍රතිපත්තියෙහි පිළිපන්නාහුය, ධර්මය අනුව හැසිරෙන බැවින් අනුධර්මචාරී වූවාහුය, ස්වකීය ආචාර්‍ය්‍යවාද ඉගෙණ ප්‍රකාශකොට කියන්නියෝ වෙති. දේශනා කරන්නියෝ වෙති. පනවන්නියෝ වෙති පිහිටුවා තබන්නියෝ වෙති. මතුකොට දක්වන්නියෝ වෙති විභාග වශයෙන් බෙදන්නියෝ වෙති. (උත්තානි) ප්‍රකට කරන්නියෝවෙති. උපන්නාවූ අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහ කොට උත්තර සහිතවූ ධර්මදේශනා කරන්ට සමර්ථවූවාහුය. ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයි” කියා යාඥා කෙළේය.

63.“ස්වාමීන්වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ වචන වදාරණ ලද්දේමය. ‘පාපිවූ එම්බා මාරය, යම්තාක් කල් මාගේ උපාසක ශ්‍රාවකයෝ සමත් නොවන්නාහු වෙද්ද, හික්මෙන්නාහු නොවෙද්ද, මහත් දැනුමක් ඇත්තෝ නොවෙද්ද, බොහෝ දේ ගැන දැන ගත්තාහු නොවෙද්ද, ධර්මය දරන්නෝ නොවෙද්ද, ධර්මානුධර්ම පතිපන්න නොවෙද්ද, සුදුසු ප්‍රතිපදාවෙහි පිළිපදින්නාහු නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය මත ඉගෙන කියන්නාහු නොවෙද්ද, දේශනා කරන්නාහු නොවෙද්ද, පනවන්නාහු නොවෙද්ද, ප්‍රකට කරන්නාහු නොවෙද්ද, උපන්නාවූ මිථ්‍යාවාදයන් (මත) හෙතු සහිතව නිග්‍රහකොට උත්තර සහිතකොට ධර්ම දේශනා කරන්නාහු නොවෙද්ද, ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යන මේ වචනයෝයි.

“ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ උපාසක ශ්‍රාවකයෝ විනීතවූවාහුය, විසාරද වූවාහුය (බහුශ්‍රැත වූවාහුය, බොහෝ දේ දැනගත්තාහුය, ධර්මධර වූවාහුය, ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය, සුදුසු පිළිවෙතෙහි පිළිපන්නාහුය. ධර්මය අනුව හැසිරෙන බැවින් අනුධර්මචාරී වූවාහුය, ස්වකීය ආචාර්‍ය්‍යවාද ඉගෙන ප්‍රකාශ කොට කියන්නෝ වෙති. දේශනා කරන්නෝ වෙති. පනවන්නාහු වෙති. පිහිටුවා තබන්නාහු වෙති. විවෘතකොට දක්වන්නාහුවෙති. විභාග වශයෙන් බෙදෙන්නාහු වෙති (උත්තානි) ප්‍රකට කරන්නාහු වෙති. උපන්නාවූ අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහ කොට උත්තර සහිතවූ ධර්මදේශනා කරන්ට සමර්ථ වූවාහුය, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයි” කියා යාඥා කෙළේය.

64.“ස්වාමීන්වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ වචන වදාරණ ලද්දේය. ‘පවිටුවූ මාරය, යම්තාක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ සමත් නොවෙද්ද, හික්මෙන්නියෝ නොවෙද්ද, මහත් දැනුමක් ඇත්තෝ නොවෙද්ද, බොහෝ දේ ගැන දැන ගත්තාහු නොවෙද්ද ධර්මය දන්නියෝ නොවෙද්ද, ධර්මානුධර්ම පතිපන්න නොවෙද්ද, සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නාහු නොවෙද්ද, අනුධර්මචාරිණී (ධර්මයට අනුව හැසිරෙන්නියෝ) නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍යමත ඉගෙනගෙන කියන්නියෝ නොවෙද්ද, දේශනා කරන්නාහු නොවෙද්ද, පනවන්නියෝ නොවෙද්ද, පිහිටුවන්නියෝ නොවෙද්ද, විභාග කරන්නියෝ නොවෙද්ද, ප්‍රකට කරන්නියෝ නොවෙද්ද, උපන්නාවූ මිථ්‍යා වාදයන් (මත) හේතු සහිතව නිග්‍රහකොට උත්තර සහිත කොට ධර්ම දේශනා කරන්නියෝ නොවෙද්ද, ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යන මේ වචනයෝයි.

“ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකා ශ්‍රාවිකාවෝ විනීත වූවාහුය, විසාරද වූවාහුය, බොහෝ දේ දැනගත්තාහුය, ධර්මධර වූවාහුය, ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය, සුදුසු පිළිවෙතෙහි පිළිපන්නාහුය. ධර්මයට අනුව හැසිරෙණ බැවින් අනුධර්මචාරිණි වූවාහුය. ස්වකීය ආචාර්‍ය්‍ය වාද ඉගෙණ ප්‍රකාශකොට කියන්නියෝ වෙති. දේශනා කරන්නියෝ වෙති. පණවන්නියෝ වෙති. පිහිටුවා තබන්නියෝ වෙති. මතුකොට දක්වන්නියෝ වෙති. විභාග වශයෙන් බෙදන්නියෝ වෙති (උත්තානි) ප්‍රකට කරන්නියෝ වෙති. උපන්නාවූ අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින් නිග්‍රහකොට උත්තර සහිතවූ ධර්මදේශනා කරන්ට සමර්ථ වූවාහුය. ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේ යයි” කියා යාඥා කෙළේය.

65.“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචන වදාරණ ලද්දේමය. ‘පවිටුවූ මාරය, යම්තාක් කල් මාගේ මේ සකල ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධ භාවයට නොපැමිණෙන්නේ වේද, දියුණු නොවන්නේ වේද, නොපැතිරෙන්නේ වේද, බොහෝදෙනා විසින් දැන ප්‍රතිවේධ නොකරන ලද්දේ වේද, මහත් බවට නොපැමිණියේ වේද, දෙව් මිනිසුන් විසින් ප්‍රකාශිත නොවන්නේ වේද ඒ තාක් කල් පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනයි. ස්වාමීන් වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ (ශික්ෂාත්‍රය සංගෘහිතවූ) සකල ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධි වූයේය. දියුණුවට පැමිණියේය. පැතිර පවත්නේය. බොහෝදෙනා විසින් දැනගන්නා ලද්දේය. මහත් බවට පැමිණියේය. දිව්‍ය මනුෂ්‍යයන් විසින් ප්‍රකාශිත වූයේය. ස්වාමීන් වහන්ස එහෙයින් දැන් භාග්‍යවත් බුදුරජ තෙම පිරිනිවන් පා වදාරණසේක්වා, සුගත තෙම පිරිනිවන්පා වදාරණසේක්වා, ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයි” කියා යාච්ඤා කෙළේය.

66.ඒ පාපිම නම්වූ මාරයා විසින් සර්වඥයන්වහන්සේගේ පිරිනිවන් පෑමට මෙසේ ආරාධනා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ පාපිම නම්වූ මාරයාට මෙසේ කීයේය. ‘එම්බල, පාපිම මාරය, තෝ මාගේ පිරිනිවන් පෑම ගැන මහන්සි නොගන්නෙක් වෙව. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම තව නොබෝ කලකින් වන්නේය. මෙතැන් සිට තුන් මාසයක් ගිය කල තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේයයි” වදාළෝය.


ආයුසඞ්ඛාරඔස්සජ්ජනං

67.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයෙහි සිහියෙන් යුක්තව නුවණින් පිරිසිඳ දැන ආයු සංස්කාරය අත්හැරියෝය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආයුසංස්කාරය හැර වදාළ කල්හි අතිශය භයජනකවූ ලොමු ඩැහැ ගැනීම සහිත මහත් භූමිකම්පාවක් විය. අහස ගිගුරුම් සහ විදුලි කෙටීම් සහිත අකල් වැසිද වැස්සාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන වදාරා ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කෙළේය.

“කාමාවචර රූපාවචර, අරූපාවචරාදී වශයෙන් එකිනෙකට සමානවූද, එකිනෙකට අසමානවූද, ස්කන්ධලොකය පහළ කරන්නාවූ භවය සාදන්නාවූ කර්මය, මුනින්ද්‍රයන් වහන්සේ මාර්ග ඥානයෙන් දුරුකළෝය. විදර්ශනාවෙහි ඇලුණාවූ සමාධියෙන් යුත් සර්වඥ මුනීන්ද්‍රයන් වහන්සේ තමා තුළ පැවති ක්ලේශ සමූහය සන්නාහයක් මෙන් සිඳ දමනලදී” යනුයි


මහාභූමිචාලහෙතු

68.ඊට පසුව ආනන්ද ස්ථවිරයන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් මේ කාරණය පුදුමය ඒකාන්තයෙන් මේ කාරණය අද්භූතය. එනම් මේ මහාපොළොව කම්පාවීමකි. මේ පොළොව කම්පාවීම ඒකාන්තයෙන් ඉතා මහත් වෙයි. ඉතා භයජනකයි. ලොමු දැහැ ගැනීම් සහිත වෙයි අහස ගුගුරයි. මහත්වූ මේ පෘථිවි කම්පාව පිණිසද මේඝ ගර්ජනාව පිණිසද හේතු ප්‍රත්‍ය කවරේදැයි’ කියායි.

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ සර්වඥයන්වහන්සේට මේකාරණය දැන්වීය. “ස්වාමීන් වහන්සේ, මේ කාරණය ආශ්චර්‍ය්‍යවත් වෙයි. ස්වාමීන්වහන්ස, මේ කාරණය අද්භූතයි. මේ පොළොව කම්පාවීම ඒකාන්තයෙන් ඉතා මහත්වෙයි. බිහිසුණු වෙයි, ලොමුදැහැගැනුම් සහිත වෙයි ආකාශයෙහි මේඝ ගර්ජනාද ඇතිවිය. ස්වාමීන්වහන්ස, මේසා විශාලවූ මහපොළව කම්පාවීමට හේතු ප්‍රත්‍යය කුමක්දැයි” භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.

69.“ආනන්දය, මහත්වූ පෘථිවි කම්පාහුගේ පහළවීම පිණිස මේ හේතු අටක් වෙත්. ප්‍රත්‍යය අටක් වෙත් ඒ අට කවරේදයත්? ආනන්දය, මේ මහාපොළොව ජලයෙහි පිහිටියේය. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශයෙහි පිහිටියේ වෙයි. ආනන්දය, යම් කලෙක්හි මහා සුළං හමයිද, ඒ මහා හුළං හමන්නාහු ජලය කම්පා කෙරෙත් ජලය කම්පා කරන කල්හි පෘථිවිය කම්පාවෙයි. මහත් භූමිචලනයක් ඇතිවීමට මේ පළමුවෙනි හේතුවයි, ප්‍රත්‍යයයි.

“ආනන්දය, නැවතද අනිකක් කියමි. මහත් ඍද්ධි ඇති සිත වසඟ භාවයට පැමිණියාවූ මහණෙක් හෝ බමුණෙක් හෝ වේද, මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ දෙවි කෙනෙක් වෙත්ද, ඔවුන් අතුරෙන් යමෙකු විසින් ස්වල්ප මාත්‍රවූ (ඉතා කුඩාවූ) පෘථිවි සංඥාව වඩන ලද්දීද, අප්‍රමාණවූ ආපො සංඥාව වඩන ලද්දීද, ඒ ඍද්ධ්‍යානුභාව ඇති පුද්ගල තෙමේ මේ මහපොළොව කම්පා කෙරේ. වැඩියමක් කම්පා කෙරේ. වැඩි වැඩියමක්ම කම්පාකෙරේ. වෙව්ලවයි. මහත් භූමි චලනයක් ඇතිවීමට මේ දෙවෙනි හේතුවයි, ප්‍රත්‍යයයි

“ආනන්දය, නැවතද කියමි යම් කලෙක්හි බෝධි සත්වයන් වහන්සේ තුෂිත දිව්‍ය ලෝකයෙන් චුතවී සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥා ඇත්තේ මව්කුස පිළිසිඳ ගනීද, එකල්හි මේ පොළොව කම්පාවෙයි. වැඩියක් වෙව්ලයි. මේ මහපොළොව කම්පාවීමේ තුන්වෙනි හේතුවයි කාරණයයි.

“ආනන්දය, නැවතද අනික් කරුණක් කියමි, යම් කලෙක්හි බොධිසත්වයන් වහන්සේ සිහි ඇත්තේ යහපත් ප්‍රඥා ඇතුවම මව්කුසින් බිහිවේද, එකල්හි මහපොළොව කම්පාවෙයි. වැඩියක් කම්පාවෙයි. වැඩියක් වෙව්ලයි. මහත්වූ භූමි චලනයට මේ හතරවෙනි හේතුවයි, ප්‍රත්‍යයයි.

“නැවතද ආනන්දය, යම් කලෙක්හි තථාගතතෙමේ නිරුත්තරවූ (උතුම්වූ) සම්‍යක් සම්බොධිය අවබොධ කෙරේද, එකල්හි මේ මහපොළොව කම්පා වෙයි. වැඩියක් කම්පාවෙයි. වැඩියක් වෙව්ලයි. මේ මහපොළොව කම්පාවීමේ පස්වැනි හේතුවයි, ප්‍රත්‍යයයි

“ආනන්දය, නැවතද කියමි. යම් කලෙක්හි තථාගතයන්වහන්සේ නිරුත්තරවූ ධර්මචක්‍රය දෙශනා කරයිද, එකල්හි මේ මහපොළොව කම්පාවෙයි වැඩියක් කම්පාවෙයි. වෙව්ලයි. මේ මහ පොළව කම්පාවීමේ හයවෙනි හේතුවයි, කාරණයයි.

“ආනන්දය, නැවතද යම් කාලයක තථාගත තෙමේ සිහියෙන් යුක්තවූයේ නුවණින් පිරිසිඳ ආයුසංස්කාරය අත්හරියිද එකල්හි මහපොළොව කම්පාවෙයි, වැඩියක් කම්පාවෙයි, වැඩියක් වෙව්ලයි, මේ මහපොළොව කම්පාවීමේ හත්වෙනි කාරණයයි, ප්‍රත්‍යයයි.

“ආනන්දය, නැවතද යම් කලෙක්හි තථාගතතෙම අනුපාදිශෙෂ (ඉතිරිවූ ස්කන්ධයක් නැති) නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේද, එකල්හි මේ මහා පෘථිවිය කම්පා වන්නීය. උඩට උස්වෙමින් කම්පාවෙයි. උස්වෙමින් හා පාත්වෙමින් වෙව්ලයි, වැඩිය කම්පාවෙයි. මහත්වූ පොළොව කම්පාවීමේ මේ අටවැනි කාරණයයි. ප්‍රත්‍යයයි.

“ආනන්දය, මහත්වූ පෘථිවී චලනයාගේ පහළවීමට මේ කරුණු අට හේතු වන්නේයයි වදාළේය.


අට්ඨ පරිසා

70.“ආනන්දය, මේ පිරිස් අට දෙනෙක් වෙත්. ඒ කවරහුද යත්? ක්ෂත්‍රිය පිරිසය, බ්‍රාහ්මණ පිරිසය, ගෘහපති පිරිසය, ශ්‍රමණ පිරිසය, චාතුර්මහාරාජික දෙව් පිරිසය, තව්තිසා වැසි දෙව් පිරිසය, මාර පිරිසය, බ්‍රහ්ම පිරිසය යන මේ අට පිරිසය.

“ආනන්දය, මම වනාහි නොයෙක් සියගණන් ක්ෂත්‍රිය පිරිස් වෙත ගියෙමි. ඒ ක්ෂත්‍රිය පිරිස්වල මා පෙර උන් බවද, ඔවුන් හා සමග කථාකරමින් සිටි බවද, ධර්මාන්විත කථාකළ බවද, මනාකොට දනිමි. ඒ පිරිස්වල ඔවුන්ගේ යම්කිසි ශරීර සටහණක් වේද මාගේ සටහණද එබඳුම වෙයි. ඔවුන්ගේ යම්බඳුවූ භාෂාවක් වේද, මාගේ භාෂාවද එබඳුම වෙයි. ධර්මයෙන් සමන්විතවූ කථාව දක්වන්නෙමි. සමාදන් කරවමි. සිත් තියුණු කරවමි. මේ කථා කරන්නේ දෙවියෙක්ද මනුෂ්‍යයෙක් දැයි කථාකරන්නාවූ මා නොදැන ගත්තාහුය. ධර්මාන්විත කථාවෙන් මෙලොව පරලොව වැඩ දක්වා එහි සමාදන් කරවා එහි සිත් තියුණුකරවා අන්තර්ධාන වෙමි. අන්තර්ධානවූ මා දෙවි කෙනෙකැයි කියා හෝ මිනිස් කෙනෙකැයි කියා හෝ නොදන්නාහුය.

“ආනන්දය, මම වනාහි නොයෙක් සිය ගණන් බ්‍රාහ්මණ පිරිස් වෙතද, නොයෙක් සිය ගණන් ශ්‍රමණ පිරිස් වෙතද, නොයෙක් සියගණන් චාතුර්මහාරාජික දෙව් පිරිස් වෙතද, නොයෙක් සියගණන් තව්තිසා වාසී දෙව් පිරිස් වෙතද, නොයෙක් සියගණන් මාර පිරිස් වෙතද, නොයෙක් සියගණන් බ්‍රහ්ම පිරිස් වෙතද ගියෙමි. ඒ බ්‍රාහ්මණ ශ්‍රමණාදි පිරිස්වල මා පෙර උන් බවද, ඔවුන් හා සමග කථාකරමින් උන්බවද මනාකොට දනිමි. ඒ පිරිස්වලදී ඔවුන්ගේ සටහණ යම්සේද මාගේ සටහණද එබඳුම වන්නේය. ඔවුන්ගේ යම් බඳුවූ භාෂාවක් වේද, මාගේ භාෂාවද එබඳුම වන්නේය. ධර්මාන්විත කථාවෙන් දෙලොව වැඩ දක්වන්නෙමි. සිත් සමාදන් කරවමි. සිත් දියුණු කරවමි. ප්‍රසන්න කරවමි. කථාකරන්නාවූ මා දෙවියෙක්ද මිනිසෙක්දැයි නොම දැන ගන්නාහුය. ධර්මාවවාද කථාවෙන් මෙලොව පරලොව වැඩ දක්වා සිත සමාදන් කරවා සිත තියුණු කරවා ප්‍රසන්න කරවා අන්තර්ධානවෙමි. අන්තර්ධානවූ මෙතෙම දෙවියෙකැයි කියා හෝ, මනුෂ්‍යයෙකැයි කියා හෝ මා කවර කෙනෙකැයි කියාවත් නොදැන ගන්නාහුමය. ආනන්දය, මේ අට පිරිස්නම වන්නාහුයයි” වදාළසේක


අට්ඨ අභිභායතනානි

71.“ආනන්දය, වීරුද්ධ ධර්මයන්ද ආරම්මණයන්ද අභිභවනය කරන හෙයින් අභිභායතන නම් වූ කරුණු අටක් වෙති. ඒ කරුණු අට (අභිභායතන) කවරේද යත්.

“ඇතැම් යොගාවචරයෙක් තෙමේ අධ්‍යාත්ම රූප සංඥා ඇත්තේ ස්වල්පවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද බාහිරවූ රූපයන් දක්නේය. ඒ රූප ධර්මයන් අභිභවනය කොට ඒ මම දනිමි, දකිමි, යන මෙබඳු සංඥාවක් ඇතිවන්නේය. මේ පළමුවැනිවූ අභිභායතන නම් සමාපත්තිය වන්නේය.

සමහර යොගාවචරයෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ අප්‍රමාණවූ යහපත් වර්ණ ඇත්තාවූද යහපත් වර්ණ නැත්තාවූද බාහිර රූපයන් දකින්නේය. ඒ අප්‍රමාණ රූපධර්මයන් අභිභවනය කොට ඒ මම දනිමි දකිමි, යන මෙබඳු සංඥාවක් ඇතිවන්නේය. මේ දෙවැනිවූ අභිභායතන සමාපත්ති ධර්මය නම් වන්නේය.

“සමහර යොගාවචරයෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද බාහිරවූ රූපයන් දක්නේය. ඒ රූප ධර්මයන් අභිභවනය කොට ඒ ම්ම දනිමි, දකිමි යන මෙබඳු සංඥාවක් ඇති වන්නේය. මේ තුන්වැනිවූ අභිභායතන සමාපත්ති ධර්මය වන්නේය.

“ඇතැම් යොගාවචරයෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද අප්‍රමාණවූ බාහිර රූපයන් දක්නේය. ඒ රූප ධර්මයන් අභිභවනය කොට ඒ මම දනිමි, දකිමි. යන මෙබඳු සංඥාවක් ඇතිවන්නේය. මේ හතර වැනිවූ අභිභායතන සමාපත්තිය වන්නේය.

“අධ්‍යාත්මික අරූප සංඥා ඇත්තාවූ සමහර යොගාවචරයෙක් නිල්වූ, නීල වර්ණවූ පෙනීමෙන් නිල දර්ශනවූ නිල්වූ ස්වභාව ඇත්තාවූ දියබෙරළිය මලක් මෙන්, නිල්වන්වේද, නිල වර්ණමවේද නිල දර්ශනම වේද, නිල් බැබලීම් ඇත්තේවේද දෙපැත්තම සිනිඳුව (බරණැසෙහි උපන් බැවින්) බාරාණ ස්‍යෙයක නම් වූ වස්ත්‍රය යම්සේ නිල්වන්වේද, නීල වර්ණම වේද, නීලොභාසමවේද, එපරිද්දෙන්ම නිල්වූ, නීල වර්ණවූ, නීල දර්ශනවූ, නීල ප්‍රභා ඇති, බාහිරවූ රූපයන් දක්නේය. ඒ නීල රූප ධර්මයන් අභිභවනය කොට ඒ මම දනිමි දකිමි යන මෙබඳු සංඥාවක් ඇතිවන්නේය. මේ පස්වැනි අභීභායතනයයි.

“අධ්‍යාත්මික අරූප සංඥා ඇත්තාවූ සමහර යොගාවචරයෙක් පීතවර්ණවූ රන්වන් ප්‍රභා ඇත්තාවූ යම්සේ කිණිහිරි මල රන්වන් වන්නේ වේද, එමෙන් පිතවර්ණවූ පීත නිදර්ශනවූ ස්වර්ණවර්ණ ප්‍රභා ඇත්තාවූද දෙපාර්ශවයෙන්ම මටවූ, බාරාණසෙය්‍යක නම්වූ ඒ වස්ත්‍රය වනාහි යම්සේ රන්වන් වන්නේද, පීතවර්ණවේද පීත නිදර්ශනවේද ස්වර්ණවර්ණ ප්‍රභා ඇත්තේද, එපරිද්දෙන්ම රන්වන්වූ, ස්වර්ණවර්ණවූ, පීත නිදර්ශනවූ, ස්වර්ණවර්ණ ප්‍රභා ඇත්තාවූ, (පීතකසිණාරම්මණ) රූපයන් දක්නේය. ඒ පීත කසිණාරම්මණ රූපයන් අභිභවනය කොට (මෙයට වඩා අනිකුත් ආරම්මණ රූපධර්ම කෙනෙක් ඇත්තේය). ඒ මම දනිමි, දකිමි යන මෙබඳු සංඥාවන් ඇති වන්නේය. මේ හයවැනිවූ අභිභායතන සමාපත්ති නම් වන්නේය.

“අධ්‍යාත්මික අරූප සංඥා ඇත්තාවූ සමහර යොගාවචරයෙක් තෙම රක්ත වර්ණවූ වර්ණ වශයෙන් ලොහිතක වර්ණවූ ලොහිතක නිදර්ශනවූ රක්තවර්ණ ප්‍රභා ඇත්තා වූ යම්සේ බඳු වදමල රක්ත වර්ණ වන්නේද, ලොහිතක වර්ණවේද ලොහිතක නිදර්ශන වේද, රක්ත වර්ණ ප්‍රභා ඇත්තේ වේද දෙපාර්ශවයෙන්ම මට වූ බාරාණසෙය්‍යයක නම් වූ ඒ වස්ත්‍රය යම්සේ රක්ත වර්ණ වේද, ලොහිතක වර්ණ වේද, ලෝහිතක නිදර්ශන වේද, රක්ත වර්ණ ප්‍රභා ඇත්තේ වේද, එපරිද්දෙන්ම රක්ත වර්ණවූ, ලොහිතක වර්ණවූ ලොහිතක නිදර්ශනවූ රක්ත වර්ණ ප්‍රභා ඇත්තාවූ බාහිර රූපයන් දක්නේය. ඒ රූප ධර්මයන් අභිභවනය කොට ඒ මම දනිමි, දකිමි යන මෙබඳු සංඥාවක් ඇති වන්නේය. මේ සත් වැනිවූ අභිභායතන සමාපත්තිය නම් වන්නේය.

“අධ්‍යාත්මික අරූප සංඥා ඇත්තාවූ සමහර යොගාවචරයෙක් තෙම සුදුවූ (ශ්වෙතවූ) වර්ණ වශයෙන් ශුභ වර්ණවූ ඕදාත නිදර්ශනවූ ( ඕභාස වශයෙන්) ශුභ වර්ණ ප්‍රභා ඇත්තාවූ යම්සේ ඖෂධි තාරකාව (පහන් තරුව) ශ්වෙතවර්ණ වන්නේ වේද ශුභවර්ණ වන්නේ වේද, ඕදාතනිදර්ශන වන්නේ වේද, දෙපාර්ශවයෙන් මටවූ බාරාණසෙය්‍යක නම්වූ ඒ වස්ත්‍රය වනාහි යම්සේ ශ්වෙතවර්ණ වන්නේද, ඕදාත වර්ණවන්නේද, ඕදාත නිදර්ශන වන්නේද සුදුවර්ණ ප්‍රභා ඇතිවන්නේද, එපරිද්දෙන්ම ශ්වෙත වර්ණවූ, ශූභ්‍රවර්ණ ප්‍රභා ඇත්තාවූ, බාහිර වූ රූපයන් දක්නේය. ඒ ඕදාත කසිණාරම්මණ රූපයන් අභිභවනයකොට ඒ මම දනිමි, දකිමි, යන මෙබඳු සංඥාවක් ඇතිවන්නේය. මේ අටවැනිවූ අභිභායතන සමාපත්තිය නම් වන්නේය

“ආනන්දය, මේ අභිභායතන සමාපත්ති අට නම් වන්නේයයි” වදාළසේක.


අට්ඨ විමොක්ඛා

72.“ආනන්දය, (විශෙෂයෙන් මනා කොට මිදීමෙන් පැමිණෙන්නාවූ) විමොක්ෂය සමාපත්ති ධර්මයෝ අට දෙනෙක් වන්නාහුය. ඒ අටදෙනා කවරහුද යත්?

“රූප සහිතවූයේ රූපයන් ධ්‍යාන චක්ෂුසින් දක්නේය. මේ පළමුවෙනි විමොක්ෂ සමාපත්ති ධර්ම වන්නේය. අධ්‍යාත්මික අරූප සංඥා ඇත්තේ බාහිරවූ රූපයන් දක්නේය. මේ දෙවැනිවූ විමොක්ෂය සාමපත්ති ධර්මය නම් වන්නේය සුභ කසිණයක් අරමුණුකොට වාසය කරන්නේය. මේ තුන්වැනිවූ විමොක්ෂ සමාපත්ති ධර්මය නම් වන්නේය. සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මීම හේතුකොට ගෙන හැඟීම් සහිත රූප සංඥාවන්ගේ විනාශයෙන්ද, නානත්ත සංඥාවන්ගේ සිහි නොකිරීමෙන්ද අනන්තාකාසයයි කියා ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. මේ හතර වැනිවූ විමොක්ෂ සමාපත්ති ධර්මය නම් වන්නේය. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි කියා විඤ්ඤානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. මේ පස්වැනි විමොක්ෂ සමාපත්ති ධර්මය නම් වන්නේය. සියලු ආකාරයෙන්ම විඤ්ඤානඤ්චායතන සමාපත්තිය ඉක්ම කිසිවක් නැතැයි කියා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. මේ හයවැනි විමොක්ෂ සමාපත්ති ධර්ම නම් වන්නේය. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්ම නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය මේ සත්වැනි විමොක්ෂ සමාපත්ති ධර්මය නම් වන්නේය. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤායතන සමාපත්තිය ඉක්ම සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. මේ අට වැනිවූ විමොක්ෂ සමාපත්ති ධර්මය වන්නේය. ආනන්දය, මේ විමොක්ෂ සමාපත්ති අට වන්නේයයි” දේශනා කළෝය.

73.“ආනන්දය, මම බුදුවූ පළමු අටවැනි සතියෙහි එක්තරා කාලයක උරුවෙල් දනව්වෙහි නෙරංජරා නම් ගංගා තීරයෙහිවූ (සමීපයෙහි) අජපාල නම් නුග (ගස මුල) සිටියෙමි. එකල්හි ආනන්දය, පවිටුවූ මාරයා මම යම් තැනෙක්හිද එතැනට ආවේය. ඇවිත් එකත්පසෙක සිටියේය. ආනන්දය, එකත්පසෙක උන්නාවූ පවිටු මාරයා මට මෙසේ කීවේය. ‘ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පානසේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවන් පානසේක්වා. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට දැන් කාලය වන්නේයයි’ දැන්වීය.

“මෙසේ කී කල්හි ආනන්දය, මම පවිටුවූ ඒ මාරයාහට මෙසේ කීවෙමි. ‘පවිටුවූ මාරය, යම්තාක් කල් මාගේ භික්ෂු ශ්‍රාවකයෝ දක්ෂ නොවන්නාහු වෙද්ද, නොහික්මෙද්ද, විශාල දැනුමක් ඇති නොවෙද්ද, බොහෝ දේ ගැන ඇසුවාහු (දන්නෝ) නොවන්නාහුද, ධර්මධර නොවන්නාහුද, ලොකොත්තර ධර්මයට අනුව පිළිපදින්නෝ නොවන්නාහුද, යහපත්ව පිළිපදින්නෝ නොවෙද්ද, ධර්මයට අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය මත ඉගෙන නොකියත්ද, දෙශනා නොකෙරෙත්ද, නොපණවත්ද, නොපිහිටත්ද විවෘත නොකරන්නාහුද විභාග නොකරන්නාහුද ප්‍රකට නොකරන්නාහුද, උපන්නාවූ අන්‍ය වාදයන් හේතු සහිතව කරුණු සහිතව හොඳින් නිග්‍රහ කොට නිවනට පමුණුවන ධර්මයක් කොට දෙශනා නොකරන්නාහු වෙද්ද, ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙමියි” කීවෙමි.

“මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවෝ යම්තාක් කල් දක්ෂ නොවන්නාහු වෙද්ද, නොහික්මෙද්ද විශාල දැනුමක් ඇත්තෝ නොවන්නාහුද, බොහෝ දේ ගැන ඇසුවාහු (දන්නියෝ) නොවන්නාහුද, ධර්මය දරන්නියෝ නොවන්නාහුද, ධර්මානුධර්මයන්හි පිළිපදින්නියෝ නොවෙත්ද, යහපත්ව පිළිපදින්නියෝ නොවෙද්ද, ධර්මයට අනුව හැසිරෙන්නියෝ නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය මත ඉගෙන නොකියද්ද, දෙශනා නොකෙරෙද්ද, නොපණවද්ද, නොපිහිටද්ද, විවෘත නොකරද්ද, විභාග නොකෙරෙද්ද, ප්‍රකට නොකෙරෙද්ද, උපන්නාවූ අන්‍ය වාදයන් හේතු සහිතව සකාරණ වශයෙන් හොඳින් නිග්‍රහ කොට නිවනට පමුණුවන ධර්මයක් කොට දෙශනා නොකරද්ද ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙම්යි’ කීවෙමි. ‘යම්තාක් කල් මාගේ උපාසක ශ්‍රාවකයෝ දක්ෂ නොවෙද්ද, නොහික්මෙද්ද, විශාල දැනුමක් ඇත්තෝ නොවෙද්ද, බොහෝ දේ ගැන ඇසූ ඇත්තෝ (දන්නෝ) නොවෙද්ද, ධර්මධර නොවෙද්ද, ධර්මානුධර්මයෙහි යුක්ත නොවෙද්ද, යහපත්ව පිළිපදින්නෝ නොවෙද්ද, ධර්මයට අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාර්‍ය්‍ය මත ඉගෙන නොකියද්ද, දෙශනා නොකෙරෙද්ද, නොපණවද්ද, නොපිහිටද්ද, විවෘත නොකරද්ද, විභාග නොකරද්ද, ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙමියි’ කීවෙමි. ‘යම්තාක් කාලයක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ දක්ෂ නොවන්නාහුද, නොහික්මෙද්ද, විශාල දැනුමක් ඇත්තියෝ නොවන්නාහුද, බොහෝ දේ ගැන ඇසුවාහු (දන්නියෝ) නොවෙද්ද, ධර්මය දරන්නියෝ නොවන්නාහුද, ධර්මානුධර්මයන්හි පිළිපදින්නියෝ නොවෙද්ද, යහපත්ව පිළිපදින්නියෝ නොවෙද්ද, ධර්මයට අනුව හැසිරෙන්නියෝ නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය මත ඉගෙන නොකියද්ද, දෙශනා නොකෙරෙද්ද, නොපනවද්ද, නොපිහිටද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකෙරෙද්ද, උපන්නාවූ මිථ්‍යාවාදයන් හේතු සහිතව කරුණු සහිතව නිග්‍රහකොට උත්තර සහිත කොට ධර්ම දෙශනා කරන්නියෝ නොවෙද්ද, ඒතාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි කීවෙමි ‘යම්තාක් කල් මාගේ මේ සියලුම ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සම්පූර්ණ භාවයට නොපැමිණියේද, දියුණුවට නොපැමිණියේද, ඒ ඒ දිශාභාගයෙහි පැතිර නොපවත්නේවේද, බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් විසින් ප්‍රකාශකරනලද බවට නොපැමිණේද, ඒතාක් කල් පිරිනිවන් නොපාන්නෙමියි’ කීයෙමි.

74.“ආනන්දය, දැන් අද චාපාල නම් චෛත්‍යයෙහිදී පවිටුවූ මාරතෙම මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ එකත්පසෙක සිටියේය. ආනන්දය, එකත්පසෙක සිටියාවූ පාපීවූ මාරයා මට මෙසේ කීයේය. “ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පා වදාරන සේක්වා සුගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරන සේක්වා ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට දැන් කල් වන්නේය. ස්වාමීන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය වදාරණ ලද්දේමය.

‘පවිටුවූ මාරය, මාගේ භික්ෂු ශ්‍රාවකයෝ යම්තාක් කල් දක්ෂ නොවෙද්ද, නොහික්මුණාහු වෙද්ද, විශාල දැනුමක් ඇත්තෝ නොවෙද්ද, බොහෝ දේ ගැන (දන්නෝ) ඇසූ ඇත්තෝ නොවෙද්ද, ධර්මය දරන්නෝ නොවෙද්ද, ධර්මයට අනුව පිළිපදින්නෝ නොවෙද්ද, යහපත් පිළිවෙතින් යුක්ත නොවෙද්ද, ධර්මයට අනුව හැසිරීම් ඇත්තෝ නොවෙද්ද, ස්වකීය ආචාර්‍ය්‍ය ධර්මය ඉගෙන නොකියද්ද, දෙශනා නොකරද්ද, නොපණවද්ද, නොපිහිටුවද්ද, විවෘත නොකෙරෙද්ද, විභාග නොකෙරෙද්ද, ප්‍රකට නොකෙරෙද්ද උපන්නාවූ අන්‍ය වාදයන් හේතු සහිතව සකාරණ වශයෙන් හොඳින් නිග්‍රහ කොට නිවන් මග පෙන්වන ධර්මය දෙශනා නොකරද්ද, ඒතාක් කල් පිරිනිවන් නොපාන්නෙමි.

‘ස්වාමීන් වහන්ස දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවකයෝ විනීත වූවාහුය. විසාරද වූවාහුය, (බහුශ්‍රැත වූවාහුය) බොහෝ දේ දැනගත්තාහුය, ධර්මධර වූවාහුය, ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. සුදුසු ප්‍රතිපත්තියෙහි පිළිපන්නාහුය. ධර්මයට අනුව හැසිරෙන බැවින් අනුධර්මචාරී වූවාහුය. ස්වකීය ආචාර්‍ය්‍යවාද ඉගෙණ ප්‍රකාශකොට කියන්නාහු වෙති. දෙශනා කරන්නෝ වෙති පණවන්නාහු වෙති පිහිටුවා තබන්නාහු වෙති. විවෘතකොට දක්වන්නාහු වෙති. විභාග වශයෙන් බෙදන්නාහු වෙති (උත්තානි) ප්‍රකට කරන්නාහු වෙති. උපන්නාවූ අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහකොට උත්තර සහිතවූ ධර්ම දෙශනාකරන්ට සමර්ථ වූවාහුය.

‘ස්වාමීන් වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන්පාන සේක්වා. ස්වාමීන්වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන්පෑමට කල් වන්නේයයි’ කියා යාඥා කෙළේය.

‘යම්තාක් කල් මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවෝ දක්ෂ නොවෙද්ද, නොහික්මුණාහු වෙද්ද, විශාල දැනුමක් ඇත්තියෝ නොවෙද්ද, බොහෝ දේ ගැන (දන්නෝ) ඇසූ ඇත්තියෝ නොවෙද්ද, ධර්මය දරන්නියෝ නොවෙද්ද, ධර්මයට අනුව පිළිපදින්නියෝ නොවෙද්ද, යහපත් පිළිවෙතින් යුක්ත නොවෙද්ද, ධර්මයට අනුව හැසිරීම් ඇත්තියෝ නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය ධර්මය ඉගෙන නොකියද්ද, දේශනා නොකෙරෙත්ද, නොපණවද්ද, නොපිහිටුවද්ද, විවෘත නොකෙරෙද්ද, විභාග නොකෙරෙද්ද, ප්‍රකට නොකෙරෙද්ද, උපන්නාවූ අන්‍ය වාදයන් හේතු කවර කාරණ වශයෙන් හොඳින් නිග්‍රහකොට නිවන්මග පෙන්වන ධර්මය දෙශනා නොකරද්ද, ඒතාක් කල් පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය කීහ.

‘ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂුණී ශ්‍රාවිකාවෝ විනීතවූවාහුය, විසාරද වූවාහුය (බහුශ්‍රැත වූවාහුය, බොහෝ දේ දැනගත්තාහුය, ධර්මධර වූවාහුය, ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය, සුදුසු ප්‍රතිපත්තියෙහි පිළිපන්නාහුය. ධර්මය අනුව හැසිරෙන බැවින් අනුධර්මචාරී වූවාහුය, ස්වකීය ආචාර්‍ය්‍යවාද ඉගෙණ ප්‍රකාශ කොට කියන්නියෝ වෙති. දේශනා කරන්නියෝ වෙති. පනවන්නියෝ වෙති. පිහිටුවා තබන්නියෝ වෙති. මතු කොට දක්වන්නියෝ වෙති. විභාග වශයෙන් බෙදන්නියෝ වෙති (උත්තානි) ප්‍රකටකරන්නියෝ වෙති. උපන්නාවූ අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහ කොට උත්තර සහිතවූ ධර්මදෙශනා කරන්ට සමර්ථ වූවාහුය. ස්වාමින් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයි’ කියා යාඥා කෙළේය

‘යම්තාක් කල් මාගේ උපාසක ශ්‍රාවකයෝ දක්ෂ නොවෙද්ද, නොහික්මුණාහු වෙද්ද, විශාල දැනුමක් ඇත්තෝ නොවෙද්ද, බොහෝ දේ දන්නෝ ඇසූ ඇත්තෝ නොවෙද්ද, ධර්මය දරන්නෝ නොවෙද්ද, ධර්මයට අනුව පිළිපදින්නෝ නොවෙද්ද, යහපත් පිළිවෙතින් යුක්ත නොවෙද්ද, ධර්මයට අනුව හැසිරීම් ඇත්තෝ නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය ධර්මය ඉගෙන නොකියද්ද, දේශනා නොකරද්ද, නොපණවද්ද, නොපිහිටුවද්ද, විවෘත නොකෙරෙද්ද, විභාග නොකෙරෙද්ද, ප්‍රකට නොකෙරෙද්ද, උපන්නාවූ අන්‍ය වාදයන් සහේතුකව සකාරණ වශයෙන් හොඳින් නිග්‍රහකොට නිවන් මාර්ගය පෙන්වන ධර්මය දෙශනා නොකරද්ද, ඒතාක් කල් පිරිනිවන් නොපාන්නෙමියි’ යන වචනය කීහ.

‘ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ උපාසක ශ්‍රාවකයෝ විනීතවූවාහුය, විසාරද වූවාහුය (බහුශ්‍රැත වූවාහුය), බොහෝ දේ දැනගත්තාහුය, ධර්මධර වූවාහුය. ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. සුදුසු පිළිවෙතෙහි පිළිපන්නාහුය. ධර්මය අනුව හැසිරෙන බැවින් අනුධර්මචාරී වූවාහුය. ස්වකීය ආචාර්‍ය්‍යවාද ඉගෙන ප්‍රකාශ කොට කියන්නෝ වෙති. දේශනා කරන්නෝ වෙති. පනවන්නාහු වෙති. පිහිටුවා තබන්නාහු වෙති. විවෘතකොට දක්වන්නාහු වෙති. විභාග වශයෙන් බෙදන්නාහු වෙති. (උත්තානි) ප්‍රකට කරන්නාහු වෙති. උපන්නාවූ අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහ කොට උත්තර සහිතවූ ධර්මදෙශනා කරන්ට සමර්ථවූවාහුය. දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයි’ කියා යාඥා කෙළේය.

“යම්තාක් කල් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ දක්ෂ නොවෙද්ද, නොහික්මුණාහුවෙද්ද, විශාල දැනුමක් ඇත්තියෝ නොවෙද්ද, බොහෝ දේ දන්නියෝ (ඇසූ ඇත්තියෝ) නොවෙද්ද, ධර්මය දරන්නියෝ නොවෙද්ද, ධර්මයට අනුව පිළිපදින්නියෝ නොවෙද්ද, යහපත් පිළිවෙතින් යුක්ත නොවෙද්ද, ධර්මයට අනුව හැසිරීම් ඇත්තියෝ නොවෙද්ද, තමන්ගේ ආචාර්‍ය්‍ය ධර්මයන් ඉගෙන නොකියද්ද, දේශනා නොකරද්ද, නොපණවද්ද, නොපිහිටුවද්ද, විවෘත නොකෙරෙද්ද, විභාග නොකෙරෙද්ද, ප්‍රකට නොකෙරෙද්ද, උපන්නාවූ අන්‍ය වාදයන් සහේතුකව සකාරණ වශයෙන් හොඳින් (නිග්‍රහකොට) ධර්මය දෙශනා නොකරද්ද, ඒතාක් කල් පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය කීහ.

‘ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකා ශ්‍රාවිකාවෝ විනීත වූවාහුය, විසාරද වූවාහුය, බොහෝ දේ දැනගත්තාහුය, ධර්මයර වූවාහුය, ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය, සුදුසු පිළිවෙතෙහි පිළිපන්නාහුය. ධර්මයට අනුව හැසිරෙණ බැවින් අනුධර්මචාරීණි වූවාහුය, ස්වකීය ආචාර්‍ය්‍යවාද ඉගෙණ ප්‍රකාශකොට කියන්නියෝ වෙති. දෙශනා කරන්නියෝ වෙති. පණවන්නියෝ වෙති. පිහිටුවා තබන්නියෝ වෙති. මතුකොට දක්වන්නියෝ වෙති. විභාග වශයෙන් බෙදන්නියෝ වෙති (උත්තානි) ප්‍රකට කරන්නියෝ වෙති. උපන්නාවූ අන්‍ය දෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින් නිග්‍රහකොට උත්තර සහිතවූ ධර්මදේශනා කරන්ට සමර්ථ වූවාහුය. ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයි’ කියා යාඥා කෙළේය.

‘යම්තාක් කල් මාගේ මේ සියලු ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධ භාවයට නොපැමිණියේ වේද, දියුණු නොවූයේවේද, පැතිර නොගියේවේද, බොහෝ දෙනා විසින් නොදැන ගන්නාලද්දේ වේද, මහත්බවට නොපැමිණියේ වේද, දෙව් මිනිසුන් විසින් සුප්‍රකාශිත නොවූයේ වේද, ඒතාක් කල් පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය කීහ. ස්වාමීන්වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධ වූයේය. දියුණුවට පැමිණියේය. පැතිර පවත්නේය. බොහෝදෙනා විසින් දැනගන්නාලදුව සර්වප්‍රකාරයෙන්ම මහත්බවට පැමිණියේය. දිව්‍ය මනුෂ්‍යාදීන් විසින් සුප්‍රකාශිත වූයේය ස්වාමීන්වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා වදාරණ සේක්වා, ස්වාමීන්වහන්ස, සුගතයන් වහන්සේ පිරිනිවන්පා වදාරණසේක්වා, ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන්පෑමට කල් වන්නේයයි’ කීවේය.

“මෙසේ කී කල්හි ආනන්දය, මම ඒ පාපිවූ මාරයාට මෙසේ කීවෙමි. ‘පවිටුවූ මාරය, තෝ මන්දෝත්සාහී වෙව. තථාගතයන් වහන්සේගේ පිරිනිවන්පෑම නොබෝ කලකින් වන්නේය. මෙතැන් සිට තුන් මාසයක් ගිය කල්හි තථාගතතෙම පිරිනිවන් පාන්නේයයි’ කීවෙමි. “ආනන්දය, දැන් අද මේ චාපාල නම් චෛත්‍යයෙහිදී තථාගතයන් වහන්සේ විසින් සිහිනුවණින් යුක්තව ආයු සංස්කාරය කරන ලද්දේ යයි’ කීවෝය.


ආනන්දයාචනකථා

75.මෙසේ කී කල්හි ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“ස්වාමීනි බොහෝ ජනයාට හිතපිණිස බොහෝ ජනයාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට යහපත පිණිස හා හිත සැප පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි පිරිනිවන්නොපා වැඩසිටින සේක්වායි” කියා යාඥා කෙළේය. “ආනන්දය, තථාගතයන් වහන්සේට යාඥා නොකරව, ආනන්දය, තථාගතයන් වහන්සේට යාඥා කිරීමට දැන් මේ කාලය නොවන්නේයයි” කීවෝය.

දෙවැනි වරද ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, බොහෝ ජනයාට හිත සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස හා හිත සැප පිණිස සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි වැඩ සිටින සේක්වා”යී යාඥා කෙළේය. “ආනන්දය, දැන් යාච්ඥා කිරීමෙන් කම් නැත. තථාගතයන් වහන්සේට යාච්ඤා නොකරව, ආනන්දය. තථාගතයන් වහන්සේට යාච්ඤා කිරීමට දැන් කාලය නොවන්නේයයි” කීවෝය. තුන්වෙනි වරද. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, බොහෝ ජනයාට හිත සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දිව්‍ය මනුෂ්‍යයන්ගේ සියලු යහපත හා හිත සැප පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටින සේක්වා. සුගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි වැඩ සිටින සේක්වා” යි කීවේය.

“ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බොධිය අදහන්නාහුදැයි ඇසුවෝය.” “එසේය, ස්වාමීනි” කියා උත්තර දුන්හ “ආනන්දය, තෝ දැන් එසේ අදහන්නේ නම් තුන්වෙනි වර දක්වා කුමක් නිසා තථාගතයන් වහන්සේට අතිශයින් පීඩා කරන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන්වහන්සේගේ සම්මුඛයෙන්ම මා විසින් මේ කාරණය අසන ලද්දේය. බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයෙන්ම යහපත් ලෙස මේ කාරණය පිළිගන්නා ලද්දේය. ‘ආනන්දය, යම්කිසිවෙකු විසින් සෘද්ධිපාද ධර්මයෝ හතර වඩන ලද්දාහු වෙද්ද, බහුල වශයෙන් කරණ ලද්දාහු වෙද්ද, යානාවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, හොඳින් පිහිටා සිටින ලද්දාහු වෙද්ද, යහපත්කොට වඩන ලද්දාහු වෙද්ද. මනාකොට පටන්ගන්නා ලද්දාහුවෙද්ද, ඒ පුද්ගලතෙම ඉදින් කැමතිවන්නේවීනම් සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියක් හෝ ජීවත්ව සිටින්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් මේ ඍද්ධිපාද ධර්ම හතර වඩනලද්දාහුය. බහුල වශයෙන් කරන ලද්දාහුය. යානාවක් මෙන් කරන ලද්දාහුය. පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහුය. මනාකොට පිහිටනලද්දාහුය. යහපත්කොට වඩනලද්දාහුය. ඒ තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් ජීවත්ව වැඩ සිටින්නේය’ කියායි.”

“ආනන්දය, තෝ (මෙසේ වදාළ බව) අදහන්නෙහිදැයි කියා ඇසුවෝය. “ස්වාමීන් වහන්ස, එසේය, අදහන්නෙමියි” කියා දැන්නුවේය. “ආනන්දය, එසේ අදහන්නෙහි නම් මේ කාරණය තොප විසින් නපුරුකොට කරන ලද්දේය, මේ කාරණය තොප විසින් වරදවන ලද්දේය. ඉඳින් තෙපි තථාගතයන් වහන්සේ විසින් මෙබඳුවූ මහත් නිමිත්තයන් කර වදාරණ කල්හිදු මහත් ලකුණුකර වදාරණ කල්හිදු දැනගන්ට නොහැකි වූවාහුය. බොහෝ ජනයාට හිත සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස හා හිතසැපපිණිස භාග්‍යවතුන්වහන්සේ ආයුෂකාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිනා සේක්වායි’ සුගතයන් වහන්සේ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටින සේක්වායි’ කියාද තථාගතයන් වහන්සේට යාච්ඥා නොකෙළේය. ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේට යාච්ඥාකෙළේ නම් තොපගේ වචනය දෙවරක්ම තථාගතතෙම ප්‍රතික්ෂෙප කරන්නේය. තුන්වෙනි වචනය පිළිගන්නේය. ආනන්දය, එසේහෙයින් තොප විසින්ම නපුරුකොට කරන ලද්දේය, මේ කාරණය තොප විසින්ම වරදවන ලද්දේය.

76.ආනන්දය, මම එක්තරා කාලයෙක්හි රජගහ නුවර සමීපයෙහි ගිජ්ජකූට පර්වතයෙහි වාසය කෙළෙමි. එතැන් හිද ආනන්දය, මම තොපට කථා කොට කීවෙමි. “ආනන්දය, රජගහ නුවර සිත්කලු වන්නේය. ගිජ්ජකූට පර්වතය සිත්කලු වන්නේය. ආනන්දය, යම්කිසි කෙනෙකුන් මේ ඍද්ධි පාද සතර වඩන ලද්දාහු වෙද්ද. බහුල වශයෙන් කරන ලද්දාහු වෙද්ද යානාවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, ගෘහ වස්තුවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, මනාකොට පිහිටන ලද්දාහු වෙද්ද, යහපත්කොට වඩන ලද්දාහු වෙද්ද, ඒ පුද්ගල තෙම ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ වනාහි ඍද්ධි පාද ධර්ම හතර වඩන ලද්දාහුය. බහුල වශයෙන් කරන ලද්දාහුය, යානාවක් මෙන් කරන ලද්දාහුය, ගෘහ වස්තුවක් මෙන් කරන ලද්දාහුය, යහපත් කොට වඩන ලද්දාහුය, ඒ තථාගත තෙමේ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි” කීවෙමි. ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේ විසින් මෙබඳු මහා නිමිත්තයන් කර කියන කල්හිදු මහත් ( ඕභාෂයන්) ලකුණු කර කියන කල්හිදු දැනගන්ට නොහැකි වූයෙහිය, බොහෝ ජනයාට හිත සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ සුභසිද්ධිය පිණිස හා හිත සැප පිණිස, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව සිටින සේක්වා, සුගතයන් වහන්සේ ආයුෂ කාලයම ජීවත්ව වැඩ සිටින සේක්වායි’ කියා යාච්ඥා නොකෙළෙහිය. ආනන්දය, ඉදින් තෝ තථාගතයන් වහන්සේට යාච්ඥා කෙළෙහි නම් තොපගේ වචනය දෙවරක්ම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂෙප කර නැවත තුන්වෙනි වචනය ඉවසන්නේය. ආනන්දය, එසේ හෙයින් මේ කාරණය තොප විසින්ම නපුරුකොට කරණ ලද්දේය, මේ කාරණය තොප විසින්ම වරදවන ලද්දේය.

“ආනන්දය, මම එක්තරා කාලයෙක්හි ඒ රජගහ නුවර සමීපයෙහිවූ ගොතම නම් නිග්‍රොධාරාමයෙහි වාසය කරමි. එම රජගහ නුවර ආසන්නයෙහිවූ චොර ප්‍රපාතයෙහි වාසය කරමි. එම රජගහ නුවරට ආසන්නයෙහිවූ වේහාර පර්වත බෑවුමෙහිවූ සප්තපර්ණි ගුහාවෙහි වාසය කෙරෙමි. එම රජගහ නුවරට ළඟාවූ ඉසිගිලි පර්වත බෑවුමෙහිවූ (කළුගලෙහි) කාළසිලායෙහි වාසය කරමි.

‘එම රජගහ නුවරට සමීපවූ සීත වනයෙහිවූ සප්ප සොණ්ඩික නම් ප්‍රදෙශයෙහි වාසය කෙරෙමි. එම රජගහ නුවරට ආසන්නවූ තපොදාරාමයෙහි වාසය කෙරෙමි. එම රජගහ නුවරට ආසන්නවූ කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වාසය කෙරෙමි එම රජගහ නුවරට කිට්ටුවූ ජීවකම්බ වනයෙහි වාසය කෙරෙමි. එම රජගහ නුවරටආසන්නවූ මද්දකුච්ඡි නම් මිගදායෙහි වාසය කෙරෙමි.

“ආනන්දය, එකල්හිද මම තොපට මෙසේ ආමන්ත්‍රණය කෙළෙමි. ආනන්දය රජගහ නුවර ඉතා ලක්ෂණ වන්නේය. ගිජ්ජකූට නම් පර්වතය සිත් ප්‍රිය කරන්නේය. ගෞතම නම් නිග්‍රොධාරාමය සිත් ප්‍රිය කරන්නේය. චොර ප්‍රපාතය සිත් ප්‍රිය කරන්නේය. වේහාර පර්වත ආසන්නයෙහි සප්ත පර්ණිගුහාව සිත් ප්‍රියකරන්නීය. ඉසිගිලි පර්වත ආසන්නයෙහි කළුගල සිත් ප්‍රිය කරන්නේය. සීත වනයෙහිවූ සප්ප සොණ්ඩික නම් ගුහාව සිත් ප්‍රිය කරන්නීය. තපොදාරාමය රමණීයයි. වේළුවනයෙහි කලන්දක නිවාපය රමණීයයි ජීවකම්බවනය රමණීයයි මද්දකුච්ඡි නම් මිගදාය රමණීය වන්නේය

“ආනන්දය, යම් කිසි කෙනෙකු විසින් හතර ආකාරවූ ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහු වෙද්ද, බහුල වශයෙන් වඩන ලද්දාහු වෙද්ද, යානාවක් මෙන් කරණ ලද්දාහු වෙද්ද, ගෘහ වස්තුවක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, හොඳින් පිහිටා සිටින ලද්දාහු වෙත්ද, යහපත් කොට වඩන ලද්දාහු වෙත්ද, යහපත් කොට පටන්ගන්නා ලද්දාහු වෙත්ද, ඒ පුද්ගල තෙම ඉදින් කැමතිවන්නේ වී නම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් ජීවත්ව සිටින්නේය.

“ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් මේ සතර ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහුය. බහුල වශයෙන් වඩන ලද්දාහුය. යානාවක් මෙන් කරණ ලද්දාහුය. ගෘහ වස්තුවක් මෙන් කරණ ලද්දාහුය. හොඳින් පිහිටා සිටින ලද්දාහුය. යහපත් කොට වඩන ලද්දාහුය. යහපත් කොට පටන් ගන්නා ලද්දාහුය. ඒ තථාගතතෙම ඉදින් කැමැති වීනම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි’ කීවෙමි.

“ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ බව අදහන්නාහුදැයි” ඇසූසේක.

“එසේය ස්වාමීන් වහන්ස, අදහන්නෙමියි” කීය. “ආනන්දය, එසේ අදහන්නේ වීනම් තොප විසින්ම මේ කාරණය නපුරු කොට කරණ ලද්දේය. තොප විසින්ම මේ කාරණය වරදවන ලද්දේය.

77.“ආනන්දය, මම එක්තරා කාලයක වෙශාලී නම් නගරයෙහිවූ උදෙන චෛත්‍යයෙහි වාසය කරමි. එතැන්හිද ආනන්දය, මම තොපට කථාකොට මෙසේ කීවෙමි “ආනන්දය, මේ වේශාලී නම් නුවර රමණීය වන්නේය ආනන්දය, යම්කිසි කෙනෙකු විසින් හතර ආකාර ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහු වෙත්ද, බහුල වශයෙන් වඩන ලද්දාහු වෙත්ද, යානාවක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, ගෘහ වස්තුවක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, හොඳින් පිහිටා සිටින ලද්දාහු වෙත්ද, යහපත් කොට වඩන ලද්දාහු වෙත්ද, යහපත් ලෙස පටන්ගන්නා ලද්දාහු වෙත්ද, ඒ පුද්ගල තෙම ඉදින් කැමැති වන්නේ වීනම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේය.

“ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් වනාහි මේ සතර ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහුය, බහුල වශයෙන් වඩන ලද්දාහුය, යානාවක් මෙන් කරණ ලද්දාහුය, ගෘහ වස්තුවක් මෙන් කරණ ලද්දාහුය, මනාකොට පිහිටා සිටින ලද්දාහුය, යහපත් කොට වඩන ලද්දාහුය, යහපත් කොට පටන් ගන්නා ලද්දාහුය, ඒ තථාගත තෙම ඉදින් කැමති වීනම් ආයුෂ හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේ යයි’ කීවෙමි. ආනන්දය, තොපි තථාගතයන් වහන්සේ එසේ කී බව අදහන්නහුදැයි” ඇසූසේක “එසේය, ස්වාමීන් වහන්ස, අදහන්නෙමියි” කීය. “ආනන්දය, එසේ අදහන්නෙහි නම් තොප විසින්ම මේ කාරණය නපුරු කොට කරණ ලද්දේය. තොප විසින්ම මේ කාරණය වරදවන ලද්දේය.

“ආනන්දය, මම එක්තරා කාලයෙක්හි මේ වේශාලී නගරයෙහිවූ ගෞතම නම් චෛත්‍යයෙහි වාසය කරමි. ආනන්දය, මම තොපට එහිදීද ආමන්ත්‍රණය කෙළෙමි. මේ වෙශාලී නම් නුවර සිත් ප්‍රිය කරන්නේය. ආනන්දය, යම්කිසි කෙනෙකු විසින් මේ චතුර්විධවූ ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහු වෙද්ද, බහුල වශයෙන් වඩන ලද්දාහු වෙද්ද, යානාවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, ගෘහවස්තුවක් මෙන් කරණ ලද්දාහු වෙද්ද, මනාකොට පිහිටා සිටින ලද්දාහු වෙද්ද, යහපත්කොට වඩනලද්දාහු වෙද්ද, යහපත් ලෙස පටන් ගන්නා ලද්දාහු වෙද්ද, ඒ පුද්ගලතෙමේ ඉදින් කැමැති වී නම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් වනාහි මේ ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහුය. බහුල වශයෙන් වඩන ලද්දාහුය. යානාවක් මෙන් කරන ලද්දාහුය. ගෘහ වස්තුවක් මෙන් කරන ලද්දාහුය. මනාකොට පිහිටා සිටින ලද්දාහුය. යහපත් කොට පටන් ගන්නා ලද්දාහුය. ඒ තථාගත තෙමේ ඉදින් කැමැතිවී නම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි’ කීවෙමි. ආනන්දය, තොපි එසේ වදාළ බව අදහන්නහුදැයි” ඇසූසේක. ‘එසේය, ස්වාමීන්වහන්ස, අදහන්නෙමියි” කිය. “ආනන්දය, එසේ අදහන්නෙහි නම් තොප විසින්ම මේ කාරණය නපුරුකොට කරණ ලද්දේය. තොප විසින්ම මේ කාරණය වරදවන ලද්දේය.

“ආනන්දය, මම එක්තරා කාලයක වෙසාලී නම් නගරයෙහිවූ ගොතමක නම් චෛත්‍යයෙහි වාසය කෙරෙමි. මේ වෙසාලී නම් නගරයෙහිවූ සත්තම්බක නම් චෛත්‍යයෙහි වාසය කෙරෙමි. මේ වෙසාලී නම් නගරයෙහි බහුපුත්තක නම් චෛත්‍යයෙහි වාසය කෙරෙමි. මේ වෙසාලී නම් පුරයට ආසන්න වූ සාරන්දද නම් චෛත්‍යයෙහි වාසය කෙරෙමි. ආනන්දය, මම තොපට එහිදීද ආමන්ත්‍රණය කෙළෙමි. ‘මේ විසාලා නුවර සිත් ප්‍රිය කරන්නේය. ආනන්දය, යම්කිසි කෙනෙකු විසින් මේ හතර ආකාරවූ ඍද්ධිපාද ධර්මයෝ වඩනලද්දාහු වෙද්ද, බොහෝ සෙයින් වඩන ලද්දාහු වෙද්ද, ගෘහවස්තුවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, හොඳින් පිහිටා සිටින ලද්දාහු වෙද්ද. යහපත්කොට වඩනලද්දාහු වෙද්ද, ඒ පුද්ගලතෙමේ ඉදින් කැමතිවී නම් ආයුෂ කාලය හෝ ඊට වැඩි කාලයක් හෝ ජීවත්ව සිටින්නේය, ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් වනාහි මේ සතර ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහුය. බොහෝකොට වඩන ලද්දාහුය. යානාවක්මෙන් කරන ලද්දාහුය, ගෘහවස්තුවක් මෙන් කරන ලද්දාහුය, හොඳින් පිහිටා සිටින ලද්දාහුය, යහපත් කොට පටන්ගන්නා ලද්දාහුය, ඒ තථාගත තෙමේ ඉදින් කැමැති වන්නේ නම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි’ කීවෙමි. ආනන්දය, එසේ වදාළබව තෙපි අදහන්නහුදැයි” ඇසූහ. “ස්වාමීනි, අදහන්නෙමියි” කීය. “ආනන්දය, එසේ අදහන්නෙහි නම් තොපම මේ කාරණය නපුරුකොට කරන ලද්දේය. තොපම මේ කාරණය වරදවන ලද්දේය.

“දැන් වනාහි ආනන්දය, මම මේ චාපාල නම් චෛත්‍යයෙහිදී තොපට ආමන්ත්‍රණය කෙළෙමි. ‘ආනන්දය, මේ වෙසාලි නම් පුරය සිත් ගන්නේය. ආනන්දය, යම්කිසි කෙනෙකුන් විසින් චතුර්විධ ඍද්ධිපාද ධර්මයෝ වඩනලද්දාහු වෙද්ද, බහුල වශයෙන් කරණ ලද්දාහු වෙද්ද, යානාවක් මෙන් කරණ ලද්දාහු වෙද්ද, ගෘහ වස්තුවක් මෙන් කරණ ලද්දාහු වෙද්ද, මනාකොට පිහිටා සිටිනලද්දාහු වෙද්ද, යහපත් කොට වඩන ලද්දාහු වෙද්ද, මනාකොට පටන්ගන්නා ලද්දාහු වෙද්ද, ඒ පුද්ගල තෙමේ ඉදින් කැමැතිවූයේවී නම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් වනාහි චතුර්විධ ඍද්ධිපාද ධර්මයෝ වඩන ලද්දාහුය. නැවත නැවත වඩන ලද්දාහුය. යානාවක් මෙන් කරන ලද්දාහුය. මනාකොට පිහිටා සිටින ලද්දාහුය. මනාකොට වඩන ලද්දාහුය. යහපත්ව පටන්ගන්නා ලද්දාහුය. තථාගතතෙම ඉදින් කැමැතිවූයේවී නම් ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි’ කියෙමි. ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේ විසින් මෙබඳුවූ ඖදාරික නිමිත්තයන් වදාරණ කල්හිද, මෙබඳුවූ මහත් ලකුණු දක්වන කල්හිද, දැනගන්ට නොහැකිවූවාහුය. බොහෝ ජනයාට හිත සැප පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ගේ යහපත පිණිස හා හිත සැප පිණිස භාග්‍යවතුන් වහන්සේ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩසිටින සේක්වායි කීයාද සුගතතෙම ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩසිටින සේක්වායි කියාද, තථාගතයන් වහන්සේට යාච්ඤා නොකෙළෙහිය. ආනන්දය, ඉදින් තෙපි යාච්ඤා කෙළෙහි නම් තොපගේ වචන දෙවරක්ම තථාගතතෙම ප්‍රතික්ෂෙප කරන්නේය. නැවත තුන්වෙනි වර යාච්ඤාව ඉවසන්නේය. ආනන්දය, එහෙයින් මේ කාරණය තොප විසින්ම නපුරු කොට කරණ ලද්දේයයි තොප විසින්ම මේ කාරණය වරදවන ලද්දේයයි” කියා වදාළසේක.

78.“ආනන්දය, මා විසින් සියලුම ප්‍රිය මනාප වස්තුවලින් වෙන්වන බව අන්‍ය තත්වයකට පැමිණෙන බව කලින්ම කියනලද්දේ නොවේද, ඒ කාරණය (අනිත්‍යයට නොපැමිණෙන බව) දැන් මෙතැන්හි කොහින් ලබමෝද, ජාත (උපදින්නාවූද) භූත (පහළවන්නාවූද) සංඛතාදීවූ (ප්‍රත්‍යයන් විසින් සාදනු ලබන) යම් ඒ බිඳෙනසුලු ධර්ම කෙනෙක් ඇද්ද, ඒ බිඳෙනසුලු දේ ඒකාන්තයෙන්ම විනාශ නොවේවායි, නොනසීවායි යන යමෙක් ඇද්ද මේ කාරණය වනාහි විද්‍යාමාන නොවන්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් ආයු සංස්කාරය හරනලද්දේය තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය නොබෝ කලකින් වන්නේය. මෙයින් තුන් මාසයක් ගිය කල තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේයයි කියා තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන් නියමකොට වදාරණ ලද්දේය. ‘ඒ වචනය අත්හරින ලද්දකි. වමාරන ලද්දකි, සිඳිනලද්දකි, පහරන ලද්දකි. තථාගතයන් වහන්සේ විසින් ඒකාන්තයෙන් නියමකොට වදාරණලද ඒ වචනය තථාගතයන් වහන්සේ විසින් ජීවිතය රක්නා පිණිසද නැවත වෙනස් කිරීමය’ යන යමෙක් ඇද්ද මේ කාරණය වනාහි විද්‍යාමාන නොවන්නේය.

79.“ආනන්දය, එව, යන්න, මහා වනයෙහි කුටාගාර ශාලාව යම් තැනෙක්හිද එතැනට යමුයි” කියා වදාළ කල්හි “එසේය, ස්වාමීන්වහන්සැ” යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග මහාවන නම් කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එතැනට එළඹියහ. එළඹ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට අඬගැසූසේක “ආනන්දය, තෝ යව (ගොස්) යම් පමණ භික්ෂූහු විශාලා මහනුවර ආශ්‍රයකොට වාසයකරන්නාහු වෙද්ද, ඒ සියලුම භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස්කරවයි” වදාළසේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීන් වහන්සැයි,” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම් පමණ භික්ෂූහු විශාලාමහනුවර ආශ්‍රයකොට සිටිද්ද, ඒ සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ වැඳ, එකත්පසෙක උන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීන් වහන්ස, භික්ෂු සංඝයා රැස්කරවන ලද්දේය. දැන් ස්වාමීන් වහන්සේ යම් කිසිවක් සම්බන්ධව කාලය දන්නා සේක්වා”යි සැළ කෙළේය.

80.ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ පනවන ලද ආසනයෙහි වැඩසිටිසේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණයකර වදාළසේක. “මහණෙනි, තොපට මා විසින් යම් ධර්මකෙනෙක් අවබොධකොට දෙශනා කරණ ලද්දාහුද, තොප විසින් ඒ ධර්මයෝ මනාකොට ඉගෙන සේවනය කළ යුත්තාහ. (වර්ධනය) වැඩිය යුත්තාහුය. බහුල වශයෙන් කළ යුත්තාහුය. යම් සේ මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව දීර්ඝකාලයක් පවත්නේවේද බොහෝ කලක් පැවතීම වශයෙන් චිරස්ථායිවේද, එසේ වීම බොහෝ ජනයාට හිත සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ට වැඩ පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ට වැඩ පිණිස හිත සැප පිණිසද වන්නේය.

“මහණෙනි, මා විසින් අවබොධකොට දෙශනාකරන ලද්දාවූ ඒ ධර්මයෝ කරවහුද, යම් ධර්ම කෙනෙක් වනාහි යම්සේ මේ ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධභාවයට පැමිනෙන්නේද, චිරස්ථායීව පවත්නේ වේද, බොහෝ ජනයාට හිත සැප පිණිස පවත්නේද, ලොවට අනුකම්පාව පිණිස පවත්නේද, දෙවි මිනිසුන්ගේ අර්ථසිද්ධිය හා සිත සැප පිණිස, පවත්නේද එසේ තොප විසින් මනාකොට ඉගෙන සේවනය කටයුත්තාහුද, නැවත නැවත, පුහුණු කිරීම් වශයෙන් බහුල කටයුත්තාහුද, ඒ ධර්මයෝ කවරහුද යත්? සතර සතිපට්ඨාන ධර්මයෝය, සතර සම්‍යක් ප්‍රධාන ධර්මයෝය, සතර ඍද්ධිපාද ධර්මයෝය, පඤ්චෙන්ද්‍රිය ධර්මයෝය, පඤ්ච බලයෝය, සප්ත බොද්ධ්‍යංග ධර්මයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්මයෝ මා විසින් අවබොධකොට දෙශනා කරණ ලද්දාහුය.

“මහණෙනි, යම්සේ මේ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව බොහෝ කල් පවත්නේද, චිරස්ථායි වන්නේවේද, බොහෝ ජනයාට හිත සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දිව්‍ය මනුෂ්‍යයන්ට වැඩ පිණිස, හිත සැප පිණිස පවත්නේද එසේ ඒ සතර සතිපට්ඨානාදී ධර්මයෝ තොප විසින් යහපත් ලෙස ඉගෙන සේවනය කටයුත්තාහුය. වැඩිය යුත්තාහුය. බහුල වශයෙන් කටයුත්තාහුය” කියා වදාළසේක.

81.ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කර වදාළසේක “දැන් වනාහි තොපට ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශ වන්නාහ. අප්‍රමාද වීමෙන් (ශ්‍රමණ ධර්මය) සම්පාදනය කරව්. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය නොබෝ කලකින්ම වන්නේය. මෙයින් තුන් මාසයක් ගිය කල තථාගතයන් වහන්සේ පිරිනිවන් පානසේකැයි’ කියා වදාළසේක භාග්‍යවතුන් වහන්සේ මේ වචනය වදාළසේක මේ වචනය වදාරා සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ නැවතද මෙසේ වදාළසේක.

[1]“මාගේ වයස මුහුකුරා ගියේය. මාගේ ජීවිත්වීම ස්වල්ප කාලයක්ම වන්නේය. මා විසින් මගේ පිහිට කරණ ලද්දේය. මහණෙනි, තොප හැර තොප කෙරෙන් වෙන්ව නිවන් පුර යෙමි” කියා වදාළසේක.

[2]“මහණෙනි, යහපත් සිහියෙන් යුක්තව අප්‍රමාදව යහපත් සිල් ඇතියෝව මනාකොට සංසිඳුනාවූ සිත් ඇතිව තම තමන්ගේ චිත්තය, සුරක්ෂිතව මනාකොට රක්ෂාකරව්” කියා වදාළසේක.

[3]“යම් පුද්ගලයෙක් තෙම මාගේ මේ ධර්ම විනය දෙක්හි අප්‍රමාදව වාසය කරන්නේද හෙතෙම ජාතියයි කියන ලද භවොත්පත්තිය (නොහොත්) සසර හැසිරීමද හැර සංසාර දුඃඛයාගේ කෙළවර කරන්නේයයි” කියා වදාළසේක.

තුන්වෙනි බණවර නිමවන ලදී.


නාගාපලොකිතං

82.ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන විසාලා මහනුවරට පිඬු පිණිස පැමිණියේය. වෙසාලි පුරයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ආයේ ඇතෙක් මෙන් මුළු ශරීරයෙන් හැරී විශාලා නුවර දෙස බලා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය “ආනන්දය, තථාගතයන් වහන්සේගේ මේ වෙසාලී නම් පුරය අන්තිම දැකීම නම් වන්නේය. ආනන්දය, භණ්ඩ නම් ගම යම් තැනෙක්හිද එතැනට එළඹෙම්හයි” කීවෝය. “එසේය, පින්වතුන් වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග භණ්ඩ නම් ග්‍රාමය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය භාග්‍යවතුන් වහන්සේ ඒ භණ්ඩ නම් ග්‍රාමයෙහි වැඩ වාසය කරන්නාහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය.

“මහණෙනි, චතුර්විධ ධර්මයක් නොදැනීම හෙතු කොටගෙන, අවබොධ නොකිරීම හෙතුකොටගෙන මෙසේ මේ දීර්ඝ කාලයක් මා විසින්ද තොප විසින්ද ඇවිදින ලදී. සසර සැරිසරනලදී. කවර නම් චතුර්විධ ධර්මයක්ද? මහණෙනි, උතුම්වූ ශීලය නොදැනීම නිසා ප්‍රතිවෙධ නොකිරීම නිසා මා විසින්ද, තොප විසින්ද මේසා දිගු කලක් සසර ඇවිදින ලදී. සැරිසරන ලදී. මහණෙනි, උතුම් සමාධිය නොදැනීම නිසා, ප්‍රතිවෙධ නොකිරීම නිසා මා විසින්ද, තොප විසින්ද මේ දිගු කලක් සසර ඇවිදිනලදී. සැරිසරනලදී. මහණෙනි, මේ උතුම් ප්‍රඥාව නොදැනීම නිසා, අවබොධ නොකිරීම නිසා මා විසින්ද, තොප විසින්ද මේ දිගුකලක් සසර ඇවිදිනලදී, සැරිසරනලදී. මහණෙනි, මේ උතුම්වූ විමුක්තිය (නිවන) නොදැනීම නිසා, ප්‍රතිවෙධ, නොකිරීම නිසා මා විසින්ද, තොප විසින්ද මේ දිගුකලක් සසර ඇවිදිනලදී, සැරිසරනලදී. මහණෙනි, ඒ මේ උතුම්වූ ශීලය දනගතිමි. අවබොධ කෙළෙමි. උතුම්වූ සමාධිය දැනගතිමි අවබොධ කෙළෙමි. උතුම්වූ ප්‍රඥාව දැනගතිමි. අවබොධ කෙළෙමි. උතුම්වූ ප්‍රඥාව දැනගතිමි, අවබොධ කෙළෙමි උතුම්වූ විමුක්තිය (නිවන) දැනගතිමි, අවබොධ කෙළෙමි භවතණ්හාව මුලින් සිඳ දැමුවෙමි. භවනෙත්තිය (භවයෙන් භවයට ගෙන යන කර්මය) නැතිකරනලදී. දැන් නැවත උත්පත්තියක් නැතැයි” වදාළහ.

මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. මෙසේ වදාරා සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ මේ (අදහස් ඇති) ගාථා දෙක වදාළහ.

“උතුම්වූ ශීලයද, උතුම්වූ සමාධියද, උතුම්වූ ප්‍රඥාවද, අනුත්තරවූ, උතුම්වූ විමුක්තියද යන මේ සතර ආකාර ධර්මයෝ යසස් ඇත්තාවූ ගෞතමයන් වහන්සේ විසින් අවබොධ කරන ලද්දාහුය”

සර්වඥයන් වහන්සේ මෙසේ තමන්ම (ස්වයම්භූ ඥානයෙන්) දැන භික්ෂූන්ට ධර්ම දෙශනා කළහ. සසර දුක් කෙළවර කළාවූ, පසැස් ඇත්තාවූ, ශාස්තෘවූ බුදුරජතෙම ක්ලේශ පරිනිර්වාණය කළෝය.”

එකල්හිද භාග්‍යවතුන් වහන්සේ භණ්ඩ නම් ගම වැඩවසනසේක් බොහෝසෙයින් මේ ධර්ම කථාවම කරන සේක. (කෙසේද?) මේ සීලයයි. මේ සමාධියයි. මේ ප්‍රඥාවයි. සීලයෙහි සිට වඩනලද සමාධිය මහත්ඵල ඇත්තේය. මහත් අනුසස් ඇත්තේය. සමාධියෙහි සිට වඩනලද ප්‍රඥාව මහත් ඵල ඇත්තීය. මහත් අනුසස් ඇත්තීය. ප්‍රඥාවෙහි පිහිටා වඩනලද සිත මනාකොට ආශ්‍රවයන් කෙරෙන් මිදෙන්නේය. ඒ කවරේදයත්? කාමාශ්‍රවයෝය, භවාශ්‍රවයෝය, දිට්ඨි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය.


චතුමහාපදෙසකථා

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩ නම් ගම කැමති කාලයක් වාසයකොට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකළහ. “ආනන්දය, එන්න, හත්ථි නම් ගම යම් තැනකද, අම්බ නම් ගම යම් තැනකද, ජම්බු නම් ගම යම්තැනකද, භොග නම් ගම යම් තැනකද එතැනට යමුයි” වදාළහ.

“එසේය, ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා සමග භොග නුවර යම් තැනකද එතැනට වැඩියහ.

83.එතැන්හිද, භාග්‍යවතුන්වහන්සේ භොග නගරයෙහි ආනන්ද නම් චෛත්‍ය ස්ථානයෙහි වැඩවෙසෙති. එකල්හිද භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, මේ සතර ආකාරවූ “මහාපදෙශ” ධර්මයන් කියන්නෙමි. එය හොඳින් අසව්. යහපත්ව මෙනෙහිකරව් කියන්නෙමියි” වදාළහ. “එසේය, ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ‘ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම අසනලදී. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම පිළිගන්නාලදී. මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයි’ කියායි. මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට පළමුවෙන්ම (එක්වරටම) සතුටු නොවිය යුත්තේය. (ආක්‍රොශ වශයෙන්) අහක නොදැමිය යුත්තේය. සතුටුද නොවී, ප්‍රතික්ෂෙපද නොකොට ඒ පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහා සසඳා බැලිය යුතුය. විනය ධර්මය හා සංසන්දනයකොට (එක්කර) බැලිය යුතුය. ඉඳින් ඒ ධර්මයෝ සූත්‍ර ධර්මය හා සම නොවන්නාහු නම්, විනය ධර්මය හා සංසන්දනය (එක්වීම) නොවන්නාහු නම්, ඒකාන්තයෙන් මේ වචනය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් (ධර්මයක්) නොවේ. මේ වචනය මේ භික්ෂූව විසින්ම වරදවා ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මෙසේ මේ වචනය දුරුකට යුත්තේය.

“සූත්‍ර ධර්මය හා සමකර බලන්නේ, විනය ධර්මය හා සංසන්දනයකර බලන්නේ, සූත්‍ර ධර්මය හා සම වෙද්ද, විනය ධර්ම හා සංසන්දනය වෙද්ද, මේ වචනය ඒකන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයක්මයයිද, මේ භික්ෂූව විසින්ද ඒ වචනය මනාකොට ගන්නා ලද්දේයයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ පළමුවැනි මහාපදෙශ ධර්මයයයි සිත්හි දරා ගනිත්වා.

මහණෙනි, මේ ශාසනයෙහි යම් භික්ෂුවක්, ‘අසවල් ආවාසයෙහි ප්‍රධානවූ ස්ථවිරයන් සහිත භික්ෂු සංඝයා වාසය කරයි මේ ධර්මයයිද, මේ විනයයයිද, මේ ශාස්තෲන්වහන්සේගේ අනුශාසනාවයයිද, ඒ සංඝයාගේ ඉදිරිපිටදීම අසන ලද්දේය ඒ සංඝයා ඉදිරියේදීම පිළිගන්නා ලද්දේයයි’ මෙසේ කියන්නේ වේද, මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට එක්වරම සතුටුනොවිය යුතුයි අත්හැර දැම්මද නොකළ යුතුය. සතුටුත් නොවී, අත්හැර දැම්මත් නොකොට ඒ ව්‍යංජන සහිත පදයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහාලිය යුත්තේය, විනය නීතිය හා සංසන්දනය කළ යුතුය. ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සම නොවන්නේද, විනය නීතිය හා එක් නොවන්නේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේය. ඒ සංඝයාද මේ වචනය වරදවාගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මෙසේ මෙය දුරුකට යුත්තේය ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සමකරන්නේ, විනය නීතිය හා සංසන්දනය කරන්නේ, සූත්‍ර ධර්මය හා සමවේද විනය නීතිය හා සංසන්දනය වේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේම වචනයක්යයි කියාද, ඒ සංඝයාද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයටපැමිණිය යුත්තේය. මහණෙනි මේ දෙවැනි මහපදෙශ ධර්මයයි සිත්හි දරාගනිව්

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, අසවල් නම් ආවාසයෙහි බහුශ්‍රැතවූ (බොහෝ උගත්) ආගතාගමවූ, (පැමිණි පිටකත්‍රය ඇති) ධර්මය දන්නාවූ විනය දන්නාවූ, මාතෘකා පාලිය දන්නාවූ, බොහෝවූ ස්ථවිර භික්ෂුහු වසන්නාහ. මා විසින් මේ ධර්මයයි කියාද මේ විනයයයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවයයි කියාද, ඒ තෙරුන්ගේ ඉදිරියේදීම අසනලදී. ඒ තෙරුන්ගේ ඉදිරියේදීම පිළිගන්නා ලදී.’ මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට සතුටු නොවිය යුත්තේය. අහක දැමීමද නොකට යුත්තේය. එසේ සතුටුත් නොවි, ප්‍රතික්ෂෙපද නොකොට පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මය හා සම කළ යුත්තේය. විනය නීතිය හා සංසන්දනය කළ යුත්තේය සූත්‍ර ධර්මය හා සම කරන කල්හිද, විනය නීතිය හා සංසන්දනය කරන කල්හිද සූත්‍ර ධර්මය හා නොගැළපේද විනය නීතිය හා සංසන්දනය නොවේද, ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේ යයි තීරණයට යා යුත්තේය. ඒ තෙරුන් විසින්ද මේ වචනය වරදවා ගන්නා ලද්දකැයිද කියා, මහණෙනි, ඒ වචනය දුරු කට යුත්තේය.

“ඉදින් ඒ වචන සූත්‍ර ධර්මය හා සම කරන ලද්දේ විනය නීතිය හා සමකරන ලද්දේ, සූත්‍ර ධර්මය හා සමවෙද්ද, විනය නීතිය හා සමවෙද්ද, ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙකැයි තීරණයට පැමිණිය යුත්තේය. ඒ තෙරුන් වහන්සේ විසින්ද මනාකොට ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ තුන්වැනිවූ මහාපදෙස ධර්මයයි. හොඳින් (සිත්හි) දරාගනිව්.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැතවූ (බොහෝ උගත්) ආගතාගමවූ, (පැමිණි පිටකත්‍රය ධර්මය ඇති) ධර්මය දන්නාවූ විනය දන්නාවූ, මාතාකාපාලිය දන්නාවූ එක් ස්ථවිර භික්ෂූවක් වසයි. මා විසින් මේ ධර්මයයි කියාද, මේ විනය නීතිය යයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවයයි කියාද, ඒ තෙරුන්ගේ ඉදිරියේදීම අසන ලදී. ඒ තෙරුන්ගේ ඉදිරියේදීම පිළිගන්නාලදී’ කියායි. මහණෙනි, ඒ මහණහුගේ වචනයට සතුටු නොවිය යුත්තේය. අහක දැමීමද නොකට යුත්තේය. සතුටුද නොවී අහකද නොදමා පද ව්‍යංජන වශයෙන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මය හා සමකළ යුත්තේය. විනය නීතිය හා සංසන්දනය කළ යුත්තේය. ඉදින් ඒ වචන සූත්‍ර ධර්මය හා සමකරන කල්හිද, විනය නීතිය හා සංන්දනය කරන කල්හිද, ඉදින් සූත්‍රධර්මය හා නොගැළපේද, විනය නීතිය හා නොසැසඳේද, එකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේයයි තීරණයට පැමිණිය යුත්තේය. ඒ තෙරුන් විසින්ද මේ වචනය වරදවා ගන්නා ලද්දකැයිද තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, ඒ නිසා මේ වචනය දුරු කට යුත්තේය.

“ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සමකරන ලද්දේ, විනය නීතිය හා සංසන්දනය කරනලද්දේ, සූත්‍ර ධර්මය හා ගැළපේද විනය නීතිය හා ගැළපේද, මේ වචනය ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයකැයි කියාද, ඒ තෙරුන් විසින්ද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ වනාහි මේ සතර වැනිවූ මහාපදෙශ ධර්මයයි. මහණෙනි, මේ වනාහි ඒ සතර මහාපදෙශ ධර්මයෝයයි හොඳින් දරාගනිව්.

“එතැනින් භාග්‍යවතුන් වහන්සේ භොග නම් නුවර ආනන්ද නම් චෛත්‍යයෙහි වැඩ වාසය කරන්නේ භික්ෂූන්ට බොහෝසෙයින් මේ ධර්මයෙන් යුක්ත කථාවම කරන්නාහ. මේ ශීලයයි මේ සමාධියයි, මේ ප්‍රඥාවයි.’ සීලයෙහි පිහිටා වඩනලද සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේය. සමාධියෙහි පිහිටා වඩනලද ප්‍රඥාව මහත්ඵල මහානිසංස ඇත්තීය. ප්‍රඥාවෙන් වඩනලද සිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. ඔව්හු නම් කාමාශ්‍රව, භාවශ්‍රව, දෘෂ්ටි ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව යනුයි.”


කම්මාරපුත්තචුන්දවත්ථු

84.එවිට භාග්‍යවතුන් වහන්සේ භොග නම් නුවර කැමති කාලයක් වාසය කොට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළෝය. “ආනන්දය, පාවා නම් නුවර යම් තැනෙක්හිද එතැනට පැමිණෙම්හයි” කියා කීවෝය. “එසේය, ස්වාමීන් වහන්සැයි” කියා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය. එවිට භාග්‍යවත්තෙම මහත්වූ භික්ෂූ සංඝයා වහන්සේ හා සමග පාවා නම් නුවර යම් තැනකද එතනට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නම් නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹවනයෙහි වාසය කරති.

චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ පාවා නම් නුවර සමීපයෙහිවූ මාගේ අඹවනොද්‍යානයෙහි වාසය කරන්නේයයි ඇසුයේමය.

එවිට චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ චුන්ද නම් කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන්යුත් කථාවෙන් මෙලොව පරලොව වැඩ දක්වා දේශනා කළෝය. සිත් පහදවා දේශනා කළෝය. සිත තියුණු කළාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයෙන් යුක්තවූ කථාවෙන් මෙලොව පරලොව වැඩ දක්වා දේශනා කරන ලද්දාවූ, සිත් පහදවන ලද්දාවූ සිත තියුණු කරනලද්දාවූ චුන්දනම් කර්මාර පුත්‍රතෙම “ස්වාමීවූ භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා වහන්සේ හා සමග සෙට දවස මාගේ භෝජනය පිළිගනු මැනවැයි” ආරාධනා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ආරාධනාව පිළිගත්තෝය. එවිට චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ (ප්‍රදක්ෂිණා කොට) ගෞරව වශයෙන් ගියේය.

එවිට චුන්ද නම් කර්මාර පුත්‍ර තෙම ඒ රාත්‍රිය ගතවූ කල තමන්ගේ ගෙදර මිහිරි කෑම් බීම්ද බොහෝවූ මෘදු සූකර මාංශද (පස්ගෝ රස යෙදූ මොලොක් බතක් නොහොත් රසායන බෙහෙතක්) මනාකොට පිළියෙල කරවා “ස්වාමීන් වහන්ස, සූදානම් කරන ලද භෝජනය ඇත්තේය. ඊට කාලයයි” කියා, භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වූයේය එවිට භාග්‍යවතුන් වහන්සේ උදය වරුවෙහි හොඳින් හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්ෂු සංඝයා හා සමග චුන්ද නම් කුමාර පුත්‍රයාගේ ගෙදර යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, පනවනලද ආසනයෙහි වැඩහුන්නේය. වැඩහිඳ භාග්‍යවත් තෙම චුන්ද නම් කර්මාර පුත්‍රයාට කථාකර මෙසේ කීවෝය. “චුන්දය, තා විසින් මෘදු සූකර මාංසයක් (පස් ගෝ රස යෙදූ මොලොක් බතක් නොහොත් රසායන බෙහෙතක්) පිළියෙලකරනලද්දේ වේද, ඒ මෘදු ශූකරමාංසයෙන් (පස් ගෝ රස යෙදූ මොලොක් බතින් නොහොත් රසායන බෙහෙතින්) මා අනුභව කරව. යම්බඳුවූ අනිකුත් කෑම් බීම් ආදියක් පිළියෙලකරන ලද්දේ වේද ඒ අනිකුත් කෑම් බීම් ආදියෙන් භික්ෂු සංඝයා අනුභව කරවයි” කීවෝය. “එසේය, ස්වාමීන් වහන්ස,” කියා චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දී, යම් ශූකරමාංසයක් (පස්ගෝ රස යෙදූ මොලොක් බතක් නොහොත් රසායන බෙහෙතක්) පිළියෙළ කරණ ලද්දේ වේද, ඒ ශූකර මාංසයෙන් (පස්ගෝ රස යෙදූ මොලොක් බතින් නොහොත් රසායන බෙහෙතින්) භාග්‍යවතුන්වහන්සේ වැළඳවූයේය. යම්බඳුවූ අනිකුත් කෑම්බීම් ආදියක් පිළියෙළ කරණ ලද්දේවීද, ඒ අනිකුත් කෑම්බීම් ආදියෙන් භික්ෂු සංඝයා වැළඳවූයේය. එවිට භාග්‍යවත් තෙම චුන්ද නම් කර්මාර පුත්‍රයාට කථාකොට මෙසේ කීවෝය. “චුන්දය, මා වළඳවා ඉතිරිවූ යම් ශූකර මාංසයක් (පස්ගෝ රස යෙදූ මොලොක් බතක් නොහොත් රසායන බෙහෙතක්) ඇද්ද, ඒ ශූකර මාංසය (පස්ගෝ රස යෙදූ මොලොක් බත නොහොත් රසායන බෙහෙත) වළක් හාරා එහි දමන්න යයි” කීවෝය. “චුන්දය, දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිත වූ සත්ව සමූහයා ඇති මේ සත්ව ලෝකයෙහි තථාගතයන් වහන්සේ හැර ඒ ශූකර මාංසය (පස්ගෝ රස යෙදූ මොලොක් බත නොහොත් රසායන බෙහෙත) යමකු අනුභවකොට හොඳින් දිරීමට පැමිණේද එබඳු පුද්ගලයෙකු මම නොදක්නෙමියි” කීවෝය. “එසේය, ස්වාමීන්වහන්ස,” කියා චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දී බුදුරජාණන් වහන්සේ වළඳවා යම් ශූකර මාංසයක් ඉතිරිවූයේ වේද, ඒ මාංශය වළලවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ, එකපැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ වුන්ද නම් කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුක්තවූ කථාවෙන් කරුණු දක්වා සිත් පහදවා සිත තියුණු කරවා වදාරණ ලදුව උන් ආසනයෙන් නැගිට ගියෝය.

85.එවිට චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ බත වැළඳූ භාග්‍යවතුන් වහන්සේට ලොහිත පක්ඛන්දිකා (රක්ත අතිසාරය) නම්වූ ක්‍රෑරවූ අසනීපයක් හටගත්තේය. මරණය ළංව බලවත්වූ වේදනා ඇතිවූයේය. භාග්‍යවතුන් වහන්සේ සිහියෙන් යුක්තව දැනම වේදනා නැවැත්වීම වශයෙන් ඔබිමොබ නොහැරෙමින් ඒ වේදනාව ඉවසා සිටියෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට කථාකර මෙසේ කීවෝය. ‘එව, යම්හ කුසිනාරා නම් නුවර යම් තැනෙකද එතැනට යමුයයි” කීවෝය. “එසේය, ස්වාමීන් වහන්ස,” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. ‘චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ ආහාර වළඳා උත්සාහවන්තවූ බුදුරජ තෙම මරණය ළංවූ ඉතා බලවත්වූ අසනීපය දැනුනේයයි’ කියා මා විසින් අසනලද්දේය. වළඳා වදාරණ ලද ශූකර මාංසය හේතුකොටගෙන බුදුරජානන් වහන්සේට ඉතා බලවත්වූ රෝගයක් හටගත්තේය. නිතර පවත්නා විරේචන රෝගය ඇත්තාවූ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවරට යනු කැමැත්තෙමි” කීය.


පානීයාහරණං

86.එවිට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මගින් ඉවත්ව එක්තරා ගසක් මුලකට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, තෙපි මගේ සඟල සිව්ර සතරට නවා ආසනයක් කොට පනවව, ආනන්දය, ක්ලාන්තවූයෙම් හිඳගනිමියි” කීවෝය.

“එසේය, ස්වාමීන්වහන්සැයි” කියා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දී සඟල සිව්ර සතරට නවා ආසනයක් කොට පැනවීය. භාග්‍යවතුන් වහන්සේ පනවනලද ඒ ආසනයෙහි වැඩ උන්හ. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, තෙපි මට පැන් ගෙනව. ආනන්දය, පිපාසිතයෙම් පැන් බොන්නෙමියි” කීවෝය.

මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, දැන් පන්සියයක් පමණ ගැල් ඉක්ම ගියාහුය. ගැල් රෝදවලින් කැඩීගිය ස්වල්පවූ ඒ ජලය කැළඹී බොරව ගලා යන්නේය. ස්වාමීන් වහන්ස, පැහැදි දිය ඇත්තාවූ රසවත්වූ මිහිරි වතුර ඇත්තාවූ ඉතා සිහිල් වතුර ඇත්තාවූ මනාවූ තොට ඇති සිත් ප්‍රිය කරන්නාවූ මේ කකුත්ථා නම් ගඟ ඉතා නුදුරු වන්නීය. එහි භාග්‍යවතුන් වහන්සේ පැන්ද පානය කරන්නේය. ශරීරයද සිහිල් කරන්නේයයි” කියා දැන්නුවේය. දෙවෙනි වරද තුන්වෙනි වරද භාග්‍යවත්තෙම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට කථාකර මෙසේ කීවෝය.

“ආනන්දය, තෙපි මට පැන් ගෙනෙව. ආනන්දය, පිපාසිත යෙමි. පැන් පානය කරන්නෙමියි” කීවෝය. “එසේය ස්වාමීන් වහන්ස, කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දී පාත්‍රය ගෙන ඒ කුඩා ගංගාව යම් තැනකද එතැනට පැමිණියේය. එකල්හි ගැල් රෝදවලින් කැපෙන ලද්දාවූ කැළඹී බොරව ගලා යන්නාවූ ඒ ඉතා කුඩා ගංගාව ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමීපයට එළඹෙන කල්හි ප්‍රසන්නව විශෙෂයෙන්ම ප්‍රසන්නව නොකැළඹී පැහැදී ගලා යන්නීය.

එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේවූ සිතෙක් වූයේය. “තථාගතයන් වහන්සේගේ මහත්වූ ඍද්ධි ඇති බව මහත්වූ ආනුභාව ඇති බව ඒකාන්තයෙන් පුදුම වන්නේය. ඒකාන්තයෙන් ඉතා පුදුම වන්නේ මය. ‘ගැල් රෝදවලින් කැපී ගියාවූ කැළඹී බොරව ගලා යන්නාවූ කුඩාවූ ගංගාව මා පැමිණි කල්හි ප්‍රසන්නව පැහැදී ගලා යන්නේයයි’ කියා පාත්‍රයෙන් පැන ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැනුම් දුන්නේය. ‘ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ මහත්වූ ඍද්ධි ඇති බව, මහත්වූ ආනුභාව ඇතිබව පුදුම වන්නේය. ස්වාමීන් වහන්ස, ඉතා පුදුම වන්නේමය. ස්වාමීන් වහන්ස, ගැල් රෝද වලින් කැපෙන ලද්දාවූ කැළඹී බොරව ගලන්නාවූ ඉතා කුඩාවූ ගංගාව දැන් මා පැමිණි කල ප්‍රසන්නව නොකැළඹී පැහැද ගලා යන්නීය. භාග්‍යවතුන් වහන්ස, පැන් වැළඳුව මැනව, තථාගතයන්වහන්ස, පැන් වැළඳුව මැනවයි” කීවේය. එවිට භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳුවෝය.


පුක්කුසමල්ලපුත්තවත්ථු

87.එකල ආළාරකාලාම නම් තවුසාගේ ශ්‍රාවකවූ පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරා නුවරින් පාවා නම් නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේ වෙයි. පුක්කුස නම් මල්ලරාජ පුත්‍ර තෙම එක්තරා ගසක්මුල වැඩ උන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පුක්කුස නම් මල්ල රාජ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“ස්වාමීන්වහන්ස, පුදුමයකි, ස්වාමීන් වහන්ස, පෙර නුවූ දෙයක, ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන් ප්‍රව්‍රජ්ජිතයෝ (මහණවූ තැනැත්තෝ) මෙවැනි ශාන්තවූ හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වෙති. පෙර මෙබන්දෙක් වූයේය. ස්වාමීන් වහන්ස, ආළාරකාලාම නම් තාපසතෙම දීර්ඝමාර්ගයක ගමන් කරන්නේ මඩින් ඉවත්ව මාර්ගයට නුදුරු එක්තරා ගසක් මුල දවල් වාසය කරමින් උන්නේය. එවිට ස්වාමීනි ගැල් පන්සියයක් පමණ ආළාරකාලාම නම් තාපයන්ගේ සමීපයෙන්ම ගියාහුය. එවිට ස්වාමිනි, එක්තරා පුරුෂයෙක් ඒ ගැල් පන්සියයගේ පසුපස්සෙහි එන්නේ ආළාරකාලාම නම් තාපස තෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආළාරකාලාම නම් තාපසයන්ට මෙසේ කීයේය. “කිමෙක්ද? ස්වාමීනි, පන්සියයක් පමණ ගැල් යන්නා දුටුවේදැයි” ඇසුවේය. “ඇවැත, නුදුටුයෙමියි” කීයේය” කිමෙක්ද? ස්වාමීනි, එහි ශබ්ද ඇසුවේදැයි” ඇසීය. ඇවත, මම ශබ්දයද නොඇසුවෙමියි” කීයේය. “කිමෙක්ද? ස්වාමීනි, එකල්හි නිදාගෙන සිටියේදැයි” ඇසුවේය. “ඇවත, මම නිදාගෙන නොසිටියෙමියි” කීයේය “කිමෙක්ද? ස්වාමීනි, සිත ඇතිව සිටියේදැයි” ඇසුවේය. “එසේය, ඇවතැයි” කීයේය. ස්වාමීන් වහන්ස, නිදා නොගෙන සිත් ඇතිව විසුවාවූ ඒ නුඹවහන්සේ සමීපයෙන් ගියාවූ පන්සියයක් පමණවූ ඒ ගැල් නුදුටුයෙහිද? ඒ ගැල් හඬද නොඇසුයෙහිද? එසේද වුවත් ස්වාමීනි නුඹවහන්සේගේ සඟළ සිවුර දූවිල්ලෙන් ගැවසීගත්තේදැයි” ඇසුවේය. “ඇවත එසේයයි” කීයේය. එවිට ස්වාමීන් වහන්ස, ඒ පුරුෂයාහට මෙසේවූ සිතෙක් වූයේය” පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයෙක.

“පින්වත්නි, ඒකාන්තයෙන් ඉතා පුදුමයක් වන්නේය. පින්වත්නි, ඒකාන්තයෙන් ප්‍රව්‍රජ්ජිතයෝ මෙබඳු ශාන්තවූ සිහියෙන් යුක්තව වාසය කරන්නාහුය. යම් බඳුවූ නිදානොගෙන සිතින් යුක්තව විසුවාවූ ඒ නුඹවහන්සේගේ සමීපයෙන් ගියාවූ පන්සියයක් පමණවූ ඒ ගැල් නොදක්නේය ගැල් හඬද නොඅසන්නේයයි කියා ආලාරකාලාම නම්වූ තවුසා කෙරෙහි මහත්වූ පැහැදීම ප්‍රකාශ කිරීමෙන් ප්‍රශංසාකොට ගියේය,

“පුක්කුස නම් මල්ලරාජ පුත්‍රය, යමෙක්තෙම සිතින් යුක්තව නොනිදා හිඳම තමන්ට සමීපව ගියාවූ පන්සියයක් පමණ ගැල් නොදක්නේ වේද, එහි පවත්නා ගැල් හඬ නොඅසන්නේ වේද, අනිකුත් යමෙක් සිතින් යුක්තව නොනිදා හිඳම මහත්වූ වර්ෂාව වස්නා කල්හි එසේ වස්නාලද වර්ෂා ජලය පෘථිවියෙහි පැතිර එකලාව ගළා යන කල්හි මහත්වූ ඒ වර්ෂාවන්ගේ අතරින් අතර විදුලිය පැහැර පවත්නා කල්හි භයානකවූ සෙනහඬ පවත්නා කල්හි නොදක්නේවේද? ඒ මේඝ ගර්ජනාදි ශබ්දය නොඅසන්නේ වේද, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ දෙයාකාරයෙන් කවර කාරණයක් ඉතා දුෂ්කර හෝ වේද, අපහසුවෙන් හෝ වන්නේ වේදැයි” ඇසුවෝය. “ස්වාමීන් වහන්ස, කියනලද ගැල් පන්සියයක් හෝ ගැල් හයසියයක් හෝ ගැල්හත්සියයක් හෝ ගැල් අටසියයක් හෝ ගැල් නවසියයක් හෝ ගැල් දහසක් හෝ කුමක් කරන්නාහුද යම් ප්‍රව්‍රජ්ජිතයෙක් (මහණෙක්) සිත් ඇත්තෙක්ව නොනිඳා හිඳ මහත් වැසිවසින කල්හි අහස ගොරවන කල්හි විදුලිකොටන කල්හි නොදක්නේද, ශබ්දය නොඅසන්නේ වේද, යන දෙයාකාරයෙන් එසේ වස්නා ලද වර්ෂා මේඝ ගර්ජනාදීන්ගේ නොදැක්ම හා එහි පවත්නා ශබ්ද නොඇසීම යයි කියනලද මේ කාරණයම ඉතා දුක්ෂර වන්නේය. අපහසු වන්නේයයි” කීයේය.

“පුක්කුස නම් මල්ලරාජ පුත්‍රය, මම් එක්තරා කාලයෙක්හි ආතුමා නම් නුවර සමීපයෙහිවූ භුසාගාර (ගොයම් පාගන ගෙයක-කමතක) වාසය කෙරෙමි. එකල මහත් වර්ෂාව වසින කල්හි අතරතුර විදුලිය පැහැර පවත්නා කල්හි, මහත් හෙන පුපුරන කල්හි භූසාගාර නම් මා වසන ස්ථානය සමීපයෙහිවූ කුඹුරෙහි සීසාන්නාවූ ගොවියන් දෙදෙනෙකු හා ගොන් සතර දෙනෙක්ද ගෙන වැදීමෙන් නැසුණාහුය. එවිට පුක්කුස නම් මල්ලරාජ පුත්‍රය, ආතුමා නුවරින් මහාජන සමූහයා නික්ම ගොවියන් දෙදෙන හා ගොන් සතර දෙන යම් තැනක නැසුනාහු වෙද්ද, එතැනට පැමිණියෝය. එකල පුක්කුස නම් මල්ලරාජ පුත්‍රය, මම භූසාගාරයෙන් (කමතෙන්) පිටතට නික්ම කමතෙහි දොරටුව සමීපයෙහි අවකාශ ඇති ස්ථානයේ සක්මන් කෙරෙමි. එවිට පුක්කුස නම් මල්ලරාජ පුත්‍රය, එක්තරා පුරුෂයෙක් ඒ මහත්වූ ජන සමූහයා කෙරෙන් නික්ම මම යම් තැනකද එතැනට පැමිණියේය, පැමිණ, මට හොඳින් වැඳ එකපැත්තක සිටියේය. පුක්කුස නම් මල්ලරාජ පුත්‍රය, එකපැත්තක සිටියාවූ ඒ පුරුෂයාට මම මෙසේ කීයෙමි.

‘ඇවත, මේ මහාජන සමූහයා රැස්වූයේ කුමක් පිණිසදැයි’ කියා ඇසුවෙමි ‘ස්වාමීන්වහන්ස, දැන් වනාහි මහත් වැසිවසින කල්හි විදුලිකොටමින් හෙන පුපුරන කල්හි හෙණ වැදීමෙන් ගොවියන් දෙදෙනෙකු හා ගොන් සතර දෙනෙක්ද නැසුණාහුය. ඒ කාරණයෙන් මෙතැන්හි මේ මහජන සමූහයා රැස්වූයේයයි’ කීයේය ‘ස්වාමීන්වහන්ස, නුඹවහන්සේ කොතන සිටියේදැයි?” ඇසුවේය ‘ඇවැත්නි, මම මෙහි උන්නෙමි කීමි’ කිමෙක්ද? ‘ස්වාමීන්වහන්ස, ඒ මහත් වර්ෂාව හා විදුලිකෙටීම ආදිය දුටුවේදැයි’ ඇසුවේය. ‘ඇවැත්නි, මම නුදුටුවෙමි කීමි කිමෙක්ද? ස්වාමීන් වහන්ස, එහි පවත්නාලද ශබ්දය ඇසුණේදැයි’ ඇසුවේය. ‘ඇවැත්නි, මම ඒ ශබ්දයද නොඇසූයෙමියි’ කීමි ‘කිමෙක්ද ස්වාමීනි, නිදාගෙන සිටියේදැයි’ ඇසුවේය. ‘ඇවැත්නි, මම නිදාගෙන නොසිටියෙමි’ කීමි. කිමෙක්ද? ස්වාමීනි, සිතින් යුක්තව සිටියේදැයි’ ඇසුවේය. ‘එසේය, ඇවැත්නියි’ කීයෙමි. ස්වාමීන් වහන්ස, නුඹවහන්සේ ඒ මහත් වැසිවසින කල්හි විදුලි කොටමින් හෙන පුපුරන කල්හි ඒ විදුලිකෙටීම ආදිය නොමදුටුවේද? එහි පවත්නාලද ශබ්දයද නොඇසුවේදැයි’ ඇසුවේය. ‘එසේය, ඇවැත්නි කීවෙමි. එවිට ඒ පුරුෂයාහට මෙවැනි කල්පනාවක් වූයේය. ‘පින්වත්නි ඒකාන්තයෙන් පුදුමයෙක පින්වත්නි, ඒකාන්තයෙන් ඉතා පුදුම වන්නේය. පින්වත්නි, මහත්වූ වැසිවසිද්දී විදුලි කොටද්දී හෙනපුපුරද්දී ඒ නොදැක නොඅසා ඒකාන්තයෙන් මහණවූ තැනැත්තෝ එවැනි ශාන්තවූ විහරණයෙන් යුක්තව වාසයකරන්නාහුය’ කියා මා කෙරෙහි මහත්වූ පැහැදීම ප්‍රකාශකොට මට මනාකොටවැඳ (ප්‍රදක්ෂිණාකොට) ගෞරව දැක්වීමෙන් ගියේයයි” කීවෝය.

මෙසේ කී කල පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. “ස්වාමීවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඒ මම ආළාරකාලාම නම් තාපසයන් කෙරෙහි මාගේ යම් පැහැදීමක් ඇද්ද ඒ පැහැදීම මහත්වූ සැඩසුළඟෙහි හෝ හරිමි. ශීඝ්‍රවූ වතුරසැඩපාර ඇති ගංගාවක හෝ හරිමියි” කියා මෙසේ දැන්නුවේය. “ස්වාමීවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඉතා යහපත, ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඉතා යහපත, ස්වාමීන්වහන්ස, යටිකුරු කොට තබනලද භාජනයක් යම්සේ උඩුකුරුකොට තබන්නේ හෝ වේද, යටපත් වූවක් යම්සේ එලිදරව්කොට තබන්නේ වේද, මංමුළාවූවෙකුහට යම්සේ මාර්ගය කියන්නේ හෝ වේද, ‘අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූපාදී අරමුණු දකිත්වා’ යි තෙල් පහනක් යම්සේ දල්වා තබන්නේ හෝ වේද, එමෙන් භාග්‍යවතුන්වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය, වදාරණ ලද්දේය ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද මහාසංඝයාද සරණකොටයෙමි. ස්වාමීන්වහන්ස අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගියාවූ උපාසකයෙකුකොට මා භාග්‍යවතුන් වහන්සේ දරාගනීත්වායි” කීවේය.

එවිට පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම එක්තරා පුරුෂයෙකුහට කථාකර මෙසේ කීවේය. “පුරුෂය, තෝ යව මාගේ පෙරවීමට සුදුසුවූ රන්වන්වූ සියුම්වූ සිනිඳු වස්ත්‍රදෙක ගෙන එවයි” කීයේය. “එසේය, වහන්සැයි” කියා ඒ පුරුෂ තෙම පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයාගේ වචනයට උත්තරදී ඒ රන්වන් වස්ත්‍රදෙක ගෙනවුත් දුන්නේය. එවිට පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම ඒ රන්වන්වූ සියුම්වූ සිනිඳුවූ වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේ වෙතට ගෙනගොස් “ස්වාමීන් වහන්ස, මාගේ මේ පෙරවීමට සුදුසුවූ රන්වන්වූ සියුම්වූ සිනිඳුවූ වස්ත්‍රදෙකය ස්වාමීන් වහන්සේ, මට අනුකම්පා පිණිස එය පිළිගනිත්වායයි කීවේය. “පුස්කුස නම් මල්ලරාජ පුත්‍රය, එසේවී නම් එක් වස්ත්‍රයකින් මා හැඳවීම කරව. එකකින් ආනන්දයන් හන්දව” කියා දැන්නුවේය. “එසේය, ස්වාමීන්වහන්සැ”යි කියා පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දී එක් වස්ත්‍රයකින් බුදුරජාණන් වහන්සේද එකකින් ආනන්ද ස්ථවිරයන් වහන්සේද හැන්දවිය. එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයාට දැහැමි කථාවකින් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, සිත තියුණු කරවූහ, සිත පැහැද වූහ භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දාවූ සමාදන් කරවන ලද්දාවූ සිත තියුණු කරවන ලද්දාවූ පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම උන් ආසනයෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේට වැඳ (ප්‍රදක්ෂිණාකොට) ගෞරවයෙන් ගියේය.

88.එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා ගිය නොබෝ වේලාවකින් ඒ සියුම් සිනිඳු රත්රන් පාට වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට එළවූයේය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට පලඳවනලද ඒ රන්පාටවූ වස්ත්‍රදෙක ගිනිදැල් නැති ගිනි අඟුරුමෙන් ඇතුලත දීප්තියෙන් බබලන්ට විය. එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, පුදුමයකි, ස්වාමීන් වහන්ස, ඉතා පුදුමයක්මය. ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ හමේ පාට සෑම කල්හි ඉතා පිරිසිදුවන්නේය, ස්වාමීන් වහන්ස මේ රත්රන් පාටවූ සියුම් සිනිඳු වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පැලඳවූයෙමි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පලඳවන ලද්දාවූ ඒ වස්ත්‍ර දෙක (වීතච්චිකංගාරයක්මෙන්) ගිනිදැල් නැති ගිනි අඟුරුමෙන් දීප්තිමත්ව බබළන්නේයයි” දැන්නුවේය. ‘ආනන්දය, ඒ කාරණය එසේමය, ආනන්දය, කල්දෙකක්හිම තථාගතයන් වහන්සේගේ හමේපාට බොහෝ පිරිසිදුව බබළන්නේය. ඒ කවර නම් කාලදෙකකද? ආනන්දය, තථාගත තෙම යම් රාත්‍රියෙක්හි ඉතා උතුම්වූ සම්‍යක් සම්බොධිය මනා කොට අවබොධ කරන්නේ වේද, යම් රාත්‍රියෙක්හි අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ වේද ආනන්දය මේ කාල දෙකෙහි තථාගතයන් වහන්සේගේ හමේ පාට අතිශයින්ම පිරිසිදුව බබළන්නේය. ආනන්දය, අද රාත්‍රියේ අන්තිම යාමයෙහි (කාල කොටසේදී) කුසිනාරා පුරය අසලවූ මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි යමක සල් ගස් දෙක අතරෙහි තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේයයි” කීවෝය. ‘ආනන්දය, එව, යම්හ කකුත්ථා නම් ගඟ යම් තැනකද එතනට පැමිණෙම්හයි” කීවෝය. “එසේය, ස්වාමීන්වහන්ස, යයි” කියා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය.

රත්රන් පාටවූ සිනිඳු වස්ත්‍ර දෙකක් පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් පිලිගැන්විය. ඒ රත්රන් පාටවූ වස්ත්‍ර දෙකෙන් පොරවන ලද්දාවූ ශාස්තෲන් වහන්සේ රත්රන් පාටින් දීප්තිමත්ව අතිශයින් බබළන්නාහ.

89.එවිට භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා වහන්සේ හා සමග කකුත්ථා නම් ගංගාව යම් තැනකද එතනට පැමිණියෝය. පැමිණ, කකුත්ථා නම් ගඟට බැස පැන් නහා පැන් පානයකොට එයින් ගොඩ නැඟී අඹවනය යම් තැනකද එතනට පැමිණියෝය. පැමිණ, ආයුෂ්මත් චුන්දක ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “චුන්දකය, තෙපි මාගේ සඟළ සිවුර සතර පටක් කොට ආසනයක් පනවව, චුන්දකය, ක්ලාන්තවෙමි, සයනය කරන්නෙමියි” කීවෝය. “එසේය, ස්වාමීන්වහන්ස,” කියා ආයුෂ්මත්වූ චුන්දක ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තරදී සඟළ සිවුර සතර පටක් කොට ආසනයක් පැනවූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රීපාදය උඩ වාම ශ්‍රීපාදය තබා සිහිනුවණින් යුක්තව නැගිටින වේලාව සිතා දකුණැලයෙන් උතුම්වූ සිංහසෙය්‍යාවෙන් (සිංහයෙකුගේ නිඳීමට බඳු ආකාරයෙන්) සැතපුණෝය. ආයුෂ්මත්වූ චුන්දක ස්ථවිරයන්වහන්සේද එහිම භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේය.

මේ සත්ව ලොකයෙහි කිසිවෙකු හා සම කළ නොහැකි තථාගතවූ දෙවි මිනිසුන්ට ගුරුවූ බුදු රජ තෙම ක්ලාන්ත ස්වභාවය ඇත්තේ පැහැදි දිය ඇත්තාවූ රසවත්වූ, මිහිරි වතුර ඇත්තාවූ කකුත්ථ නම් ගංගාවට පැමිණ ගඟට බැස ගත්තෝය.

පැන් නහා, පැන් පානයකොට, භික්ෂුසංඝයා වහන්සේගේ මධ්‍යයෙහි දෙවි මිනිසුන්ට ගුරුවූ බුදුරජ තෙම ගඟින් ගොඩ නැඟී මේ සූවාසුදහසක් ධර්මස්කන්ධයන් දෙශනා කිරීම් වශයෙන් පවත්වන්නාවූ මහාඍෂිවූ භාග්‍යවතුන් වහන්සේ අඹවනයට පැමිණියෝය.

චුන්දක ස්ථවිරයන්වහන්සේට කථාකොට, “මට සයනය කිරීම පිණිස සඟළ සිවුර සතර පටක් කොට ආසනයක් අතුරවයි” කීවෝය. සර්වඥයන් වහන්සේ විසින් මෙහෙයන ලද ඒ චුන්දක ස්ථවිර තෙම වහාම සඟළ සිවුර සතර පටක් කොට ආසනයක් පැනවූයේය. ඉතා ක්ලාන්ත ස්වභාවය ඇති ශාස්තෲන් වහන්සේ පනවන ලද ඒ ආසනයෙහි සයනය කළෝය. චුන්දක ස්ථවිරයන් වහන්සේද බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙහිම හුන්නේය.

90.එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, චුන්ද නම් කර්මාර පුත්‍රයාහට “යම් බඳුවූ තාගේ අන්තිම පිණ්ඩපාතය වදාළ තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේකැයි’ කිසි පසුතැවිල්ලක් වන්නේ නම් ඒ ඔහුට අලාභයක් වන්නේය. ඔහු විසින් අයහපතක් ලබන ලද්දේය. එහෙයින් ආනන්දය, චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ පසු තැවිල්ල මෙපරිද්දෙන් දුරු කටයුත්තේය. “චුන්දය යම් බඳුවූ තාගේ අන්තිම පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවන්පා වදාළ සේක් වේද, එය තොපට ලාභයෙක් වන්නේය. එයින් තොප විසින් යහපතක්ම ලබන ලද්දේය. ඇවත්වූ චුන්ද නම් කර්මාර පුත්‍රය, සමවූ සමවිපාක ඇත්තාවූ අනිකුත් පිණ්ඩපාත යන්ට වඩා ඉතා මහත් ඵල මහානිසංස ඇත්තාවූ පිණ්ඩපාත දෙකක් වන්නාහුයයි කියා භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන්ම අසනලදී. සම්මුඛයෙන්ම පිළිගන්නා ලද්දේය. ඒ පිණ්ඩපාත දෙක නම් කවරේද? තථාගත තෙම යම් පිණ්ඩපාතයක් වළඳා ඊට වඩා උතුම් දෙයක් නැතිවූ සම්‍යක් සම්බොධිය මනාකොට අවබොධ කිරීම් වශයෙන් ලොවුතුරා බුදුවනසේක්ද, යම් බඳු පිණ්ඩපාතයක් වළඳා තථාගතයන් වහන්සේ අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාරණසේක්ද යන මේ පිණ්ඩපාත දෙක සම සමවූ ඵල ඇති වන්නාහුය. සෙසු පිණ්ඩපාතයන්ට වඩා අතිශයින් මහත්ඵල මහානිසංස වන්නාහුය කියායි ආයුෂ්මත්වූ චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් ආයුෂය පිණිස පවත්නා කුසල කර්මයක් රැස් කරන ලද්දේය. ආයුෂ්මත් චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් ශරීර වර්ණය පිණිස පවත්නාවූ කුශල කර්මයක් රැස් කරණ ලද්දේය ආයුෂ්මත් චුන්ද නම්වූ කර්මාර පුත්‍රයා විසින් දිව්‍ය මනුෂ්‍යාදි සැප පිණිස පවත්නාවූ කුසල කර්මයක් රැස්කරන ලද්දේය. ආයුෂ්මත් චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් යස පිරිවර සම්පත්තිය පිණිස පවත්නාවූ කුසල කර්මයක් රැස්කරන ලද්දේය. ආයුෂ්මත් චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් ස්වර්ග සම්පත්තිය පිණිස පවත්නාවූ කුශල කර්මයක් රැස් කරන ලද්දේය. ආයුෂ්මත් චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් අධිපති භාවය පිණිස පවත්නාවූ කුශල කර්මයක් රැස්කරන ලද්දේය.’ යනුවෙන් චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ පසුතැවිල්ල මෙසේ දුරු කටයුත්තේයයි” කීවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක.

“දන් දෙන්නාහට පිං වැඩෙන්නේය. ශීල සංවරයෙන් සංවරවූවහුට පස් ආකාරවූ වෛර නොවැඩෙන්නාහුය. ඤාණ සම්පන්න පුද්ගලතෙම ලාමකවූ අකුසලය දුරු කරන්නේය. රාග ද්‍වෙෂ මොහාදිය ක්ෂයකිරීම හේතුකොටගෙන ඒ තථාගත තෙම පරිනිර්වාණයෙන් පිරිනිවියේය” කියා වදාළසේක.

හතරවෙනි බණවර නිමියේය.


යමකසාලා

91.එවිට භාග්‍යවතුන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, එව, යම්හ, හිරඤ්ඤවතී නම් ගංගාවගේ එගොඩ ඉවුර යම් තැනෙක්හිද කුසිනාරා නුවර මල්ලව රජුන්ගේ උපවර්තන නම්වූ සල්වනය යම්තැනකද එතනට පැමිණෙම්හයි’ කීවෝය “එසේය, ස්වාමීන් වහන්ස” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග හිරඤ්ඤවතී නම් ගංගාවගේ එගොඩ ඉවුර යම්තැනකද කුසිනාරා නුවර මල්ලව රජුන්ගේ උපවර්තන නම් සල් වනය යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, තෙපි මට යමක සල් ගස් දෙදෙන අතුරෙහි හිස උතුරට තබා ආසනයක් පනවව, ආනන්දය, ඉතා ක්ලාන්තයෙමි, සයනය කරමියි” කීවෝය. “එසේය, ස්වාමීන් වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී යමක සල්ගස් අතුරෙහි උතුරට හිස තබා ආසනයක් පැණවූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රීපාදය උඩ වම් ශ්‍රීපාදය තබා සිහි නුවණින් යුක්තව දකුණැලයෙන් සිංහසෙය්‍යාවෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු නිදීමෙන්) සැතපුණෝය.

එකල යමක සල්ගස්දෙක සැමතැනම අකාලයට පිපුන මල්වලින් ගැවසීගත්හ. ඒ ගස් දෙවියන් විසින් සොලවන ලදුව තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගතයන් වහන්සේගේ ශරීරය මත මල් වගුරුවන්නාහුය. බොහෝසෙයින්ම මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන් හාත්පස මල් වගුරුවන්නාහුය දිව්‍යමය වූ පරසතු මදාරා මල්ද අහසින් වැටෙන්නාහුය. ඒ අහසින් එන්නාවූ දිව්‍ය මල්ද තථාගතයන් වහන්සේගේ ශරීරය මත වැගිරෙන්නාහුය. බොහෝසෙයින් මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන් හාත්පස වගුරු වන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ සඳුන් කුඩුද අහසින් වැටෙන්නාහුය. ඒ දිව්‍ය සඳුන් කුඩුද තථාගතයන් වහන්සේගේ ශරීරය මත විසිරෙන්නාහුය. බොහෝ සෙයින්ම සඳුන් සුණු අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන්ම හාත්පස වගුරුවන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ පංචතූර්‍ය්‍ය නාදයෝද ආකාශයෙහි පවත්වන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය ගීතිකාද අහසෙහි පවත්නාහුය.

92.එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, යමක සල්ගස් දෙදෙන අකාලයට පිපුන මල් වලින් ගැවසී ගත්හ. ඒ ගස් තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගතයන් වහන්සේගේ ශරීරය මත මල් වගුරුවන්නාහුය. බොහෝ සෙයින්ම මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. දිව්‍යමය පරසතු මදාරා මල්ද අහසින් වැටෙන්නාහුය. තථාගතයන් වහන්සේගේ ශරීරය මත විසුරුවන්නාහුය. බොහෝ සෙයින් මල් අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන් නැවත නැවත වගුරු වන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ සඳුන් කුඩුද අහසින් වැටෙන්නාහුය. ඒ දිව්‍ය සඳුන් කුඩුද තථාගතයන් වහන්සේගේ ශරීරය මත වැගිරෙන්නාහුය. බොහෝසෙයින්ම සඳුන් සුණු අතුලාක් මෙන් වගුරුවන්නාහුය. නිරන්තරයෙන්ම නැවත නැවත වගුරුවන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය ගීතිකාද අහසෙහි පවත්නාහුය ආනන්දය, මෙතෙක්වූ පූජාවෙන් තථාගත තෙම සත්කාර කරන ලද්දේ නම් නොවන්නේය. ගරු කරන ලද්දේද නොවන්නේය සිතින් බුහුමන් කරන ලද්දේත් නොවන්නේය. පූජා කරන ලද්දේත් නොවන්නේය. උපස්ථාන කිරීම් වශයෙන් පුදන ලද්දේත් නොවන්නේය. ආනන්දය, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නව විධවූ ලොකෝත්තර ධර්මයට අනුව පිළිපදිමින් වාසය කරන්නේ වේද, සුදුසු මාර්ගයෙහි ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වේද, ඒ පුද්ගලතෙම තථාගතයන් වහන්සේට සත්කාර කරන්නේ වෙයි, ගරු කරන්නේද වෙයි, සිතින් බුහුමන් කරන්නේද වෙයි. පූජා කරන්නේද වෙයි, උතුම්වූ පූජාවෙන්ද පුදන්නේ වෙයි. ආනන්දය, එහෙයින් ධර්මානුධර්ම හැසිරීමෙන් යුක්තව වාසය කරම්හ. නිවනට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදී අනුධර්මචාරීව වාසය කරම්හයි කියා ආනන්දය තොප විසින් මෙසේ හික්මිය යුතු වන්නේයයි” දේශනා කළෝය.


උපවාණත්ථෙරො

93.එසමයෙහි ආයුෂ්මත්වූ උපවාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන්වහන්සේ ඉදිරියේ සිටියේ වෙයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ උපවාන ස්ථවිරයන්ට “මහණ තෝ මාගේ ඉදිරියෙහි නොසිට ඉවත් වෙවයි” කීවෝය. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේවූ සිතිවිල්ලෙක් වූයේය. “මේ ආයුෂ්මත්වූ උපවාන ස්ථවිරතෙම ඉතා බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනලද කෙනෙක. සමීපයෙහි කිට්ටුව හැසුරුණේය. එසේද වුවත් භාග්‍යවතුන් වහන්සේ දැන් මේ අන්තිම කාලයෙහි “මහණ, මාගේ ඉදිරියෙහි නොසිට ඉවත්වෙවයි” ආයුෂ්මත්වූ උපවාන ස්ථවිරයන් ඉවත් කළෝය. ඊට හේතු කවරේද? ඊට කාරණය කවරේද? භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, මාගේ ඉදිරියෙහි නොසිට ඉවත් වෙවයි’ කියා යම්බඳුවූ මේ ආයුෂ්මත් උපවාන ස්ථවිරයන් ඉවත්කළෝදැයි” කියා සිතුයේය.

එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළසේක. “ස්වාමීන් වහන්ස, මේ ආයුෂ්මත්වූ උපවාන ස්ථවිර තෙම ඉතා බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ කෙනෙක. සමීපයෙහි කිට්ටුව හැසුරුණේය. එසේද වුවත් භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, මාගේ ඉදිරියෙහි නොසිට ඉවත්වෙවයි’ කියා ආයුෂ්මත්වූ උපවාන ස්ථවිරයන් ඉවත්කර වදාළසේක්ද, ඊට හේතුව කවරේද, ඊට කාරණය කවරේදැයි” ඇසුවේය. “ආනන්දය, බොහෝ සෙයින් දසදහසක් සක්වල දෙවියෝ තථාගතයන් වහන්සේ දක්නා පිණිස රැස්වූවාහුය. ආනන්දය, කුසිනාරා නුවර පටන් මල්ල රජුන්ගේ උපවර්තන නම් සාලවනය දක්වා හාත්පසින් දොළොස් යොදුනක් පමණ තන්හි අස්ලොම් අගක් හෙලාලන පමණ තැනකුදු මහෙශාක්‍ය (උසස්) දෙවියන්ගෙන් හිස් ප්‍රදෙශයක් නැත්තේය. ආනන්දය, දෙවියෝ මෙසේ අගුණ කියන්නාහුය. ‘තථාගතයන් වහන්සේ දක්නා පිණිස දුර සිට එන ලදුම්හ. මේ ලොකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ යම්කිසි දීර්ඝ කාලයකින්ම උපදනාහුය. අද රාත්‍රියේ අන්තිම යාමයෙහි (කාල කොටසෙහි) තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මේ මහා බලසම්පන්න භික්ෂුවද භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි අවුරාගෙන සිටියි. අපි අවසාන කාලයෙහි තථාගතයන් වහන්සේ දක්නට නොලබම්හයි’ දෙවියෝ අගුණ කියත්යයි” කීවෝය.

94.“ස්වාමීවූ භාග්‍යවතුන් වහන්ස, ඒ දෙවියෝ ඔබ වහන්සේ ගැන කුමක් සිතව්දැයි” ඇසුවෝය. “ආනන්දය, අහසෙහි පොළොවක් මවා එය පොළවයයි හඟින්නාවූ දෙවි කෙනෙක් ඇත්තාහුය, ඒ දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පා වදාරණ සේකැයි’ කියා හිසකෙස් විසුරුවාගෙන හඬන්නාහුය. ‘සුගතයන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පා වදාරණ සේකැයි’ කියා හිස අත් බැඳගෙන මහා සෝකයෙන් හඬන්නාහුය. ලොකයෙහි පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේ ඉතා වහාම අතුරුදහන් වන්නේ යයි කියා මැදින් කැඩුනාක් මෙන් එතැන මෙතන වැටෙන්නාහුය. පෘථිවියෙහි වැටෙන්නාහුය, හැපෙන්නාහුය, පෙරළෙන්නාහුය. ආනන්දය, පෘථිවියෙහි දෙවියන්ට පිහිටිය හැකිසේ පොළොව මවාගත් දෙවිකෙනෙක් ඇත්තාහුය. ඒ දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පා වදාරණ සේකැයි’ කියා හිසකෙස් විසුරුවාගෙන හඬන්නාහුය. ‘සුගතයන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පා වදාරණසේකැයි’ කියා හිස අත් බැඳගෙන මහා සෝකයෙන් හඬන්නාහුය. ‘පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේ වහා අතුරුදහන් වන්නේයයි’ කියා මැදින් කැඩුනාක් මෙන් එතන මෙතන වැටෙන්නාහුය. පෘථිවියෙහි වැටෙමින් හැපෙන්නාහුය, පෙරළෙන්නාහුය. යම් අනාගාමි රහත් දෙවිකෙනෙක් ඇද්ද ඒ දෙවියෝ ‘සියලු සංස්කාරයෝම අනිත්‍ය වන්නාහුය, ඒ මෙතැන්හි නිත්‍ය බවක් කොයින් ලබමෝදැයි’ කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.


චතුසංවෙජනීයට්ඨානානි

95.එවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ, “ස්වාමීන් වහන්ස, මීට ඉහත ඒ ඒ දිසාවෙහි වස්වැසුවාවූ භික්ෂුහු තථාගතයන් වහන්සේ දක්නා පිණිස එන්නාහුය. අපි සිතින් වඩනලද මෛත්‍රී භාවනාදිය ඇති ඒ භික්ෂූන් දකින්ටද සේවනය කරන්ටද ලබම්හ. භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මෛත්‍රී භාවනාදියෙහි යෙදී වාසය කරන්නාවූ ඒ භික්ෂූන් වහන්සේලා දැකීමටද සේවනය කිරීමටද අපි නොලබම්හයි” කියා දැන්නුවේය.

“ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? ආනන්දය, ‘මෙහි තථාගත තෙම උපන්නේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහටදැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ ස්ථානය වන්නේය. ‘මෙහි තථාගත තෙම අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළේයයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි ආනන්දය මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පැවැත්වූයේයැයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ සතර ස්ථාන නම් වන්නාහුය. ආනන්දය, මෙහි තථාගතතෙම ලොව උපන්නේයයි කියාද, මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි කියාද, මෙහි තථාගතයන් විසින් ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේයයි කියාද, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි කියාද, ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නාහුය. ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි” වදාළේය.


ආනන්දපුච්ඡාකථා

96.“ස්වාමීන් වහන්ස, අපි ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපදිමෝදැයී?” ඇසුවේය “ආනන්දය, යම් මේ ස්ත්‍රීන්ගේ නොදැක්මෙක් ඇද්ද ඒ නොදැක්මම උතුම්වූ ප්‍රතිපත්තියයි” කීවෝය “භාග්‍යවතුන් වහන්ස, දැකීමක් ඇති කල්හි කෙසේ පිළිපදිමෝදැයි” ඇසුවේය. “ආනන්දය කථා නොකිරීමම උතුමැයි” කීවෝය. “ස්වාමීන්වහන්ස, කථා කරන්නහු විසින් කෙසේ පිළිපැද්ද යුත්තේදැයි” ඇසුවේය. “ආනන්දය, සිහියෙන් යුක්ත විය යුතුයයි” කීවෝය.

97.“ස්වාමීන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ මෘත ශරීරයට කෙසේ පිළිපදිමෝදැයි” ඇසුවේය. “ආනන්දය, තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව පිණිස තෙපි වෙහෙස නොවව්. ආනන්දය, තෙපි වහාම උත්තමාර්ථයවූ අර්හත්වය පිණිස උත්සාහ කරව්. අර්හත්වය පිණිස යෙදී වාසය කරව්, වීර්‍ය්‍ය ඇතිව අර්හත්වයෙහි අප්‍රමාදව වාසය කරව්. කාය ජීවිත දෙක්හි ආශාව අත්හැර වාසය කරව්යයි” දේශනා කළෝය.

“තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ඇත්තාහුය. ඔව්හු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහුයයි” වදාළේය.

“ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි කෙසේ පිළිපැද්ද යුත්තේ දැයි” ඇසුවේය,

“ආනන්දය, චක්‍රවර්ති රජහුගේ ශරීරයෙහි යම්සේ පිළිපදින්නාහුද තථාගතයන් වහන්සේගේ මෘතශරීරයෙහිද එපරිද්දෙන්ම පිළිපැද්ද යුත්තේයයි” කීවෝය.

“ස්වාමීන් වහන්ස, චක්‍රවර්ති රජහුගේ මෘත ශරීරයෙහි කෙසේ පිළිපදින්නාහු දැයි?” ඇසුවේය.

“ආනන්දය, චක්‍රවර්ති රජහුගේ මෘත ශරීරය අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය. අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළා මනාකොට නගා හදනලද කපු පුලුනෙන් වෙළන්නාහුය. නගා සාදනලද කපු පුලුනෙන් වෙළා අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය මෙම ක්‍රමයෙන් පන්සියයක් පමණ පුළුන් වස්ත්‍ර දෙකෙන් දෙක සක්විති රජහුගේ මෘත ශරීරය වෙළා රත්තරනින් සැදූ තෙල්දැමූ දෙණක තබා අනික් රන් පියනකින් වසා සියලු සුවඳ දරින් දරසෑයක් කොට චක්‍රවර්ති රජහුගේ ශරීරය දවන්නාහුය. සතරමංසන්ධියක චක්‍රවර්ති රජහුගේ ථූපයක් (සොහොනක්) කරන්නාහුය. ආනන්දය, සක්විති රජහුගේ ශරීරයෙහි, යම් ආකාරයකින් පිළිපදින්නාහු වෙද්ද, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ ශරීරයෙහිද පිළිපැද්ද යුත්තේය. සතරමංසන්ධියක තථාගතයන් වහන්සේගේ චෛත්‍යය කටයුත්තේය. ඒ සර්වඥ චෛත්‍යයෙහි යම් සත්වකෙනෙක් මල් පහන් සුවඳ ආදිය පූජා කරන්නාහු වෙද්ද, හොඳින් වඳින්නාහු වෙද්ද, සිත හෝ පහදවන්නාහු වෙද්ද, ඒ කුසලය ඔවුන්ට ඉතා බොහෝ දීර්ඝ කාලයක් හිත සැප පිණිස වන්නේයයි” කීවෝය.


ථූපාරහපුග්ගලො

98.“ආනන්දය, චෛත්‍යයට සුදුසුවූ පුද්ගලයෝ මොහු සතර දෙනෙක් වෙත්, ඒ සතරදෙන නම් කවුරුහුද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසු වන්නේය. පසේබුදු රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේය. සර්වඥ ශ්‍රාවක තෙම චෛත්‍යයට සුදුසු වන්නේය. සක්විති රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේය. ආනන්දය, කවර නම් අර්ථ සිද්ධියක් පිණිස අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසු වන්නේදැයි යතහොත් ‘මේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ චෛත්‍යයයි” කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවත්. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශවී මරණින් මත්තෙහි සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපදනාහුය.

“ආනන්දය, මේ අර්ථසිද්ධිය පිණිස අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසුයයි” කීවෝය.

“ආනන්දය, කවරනම් අර්ථ සිද්ධියක් හේතුකොට ගෙන පසේබුදු රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේද? ‘මේ ඒ භාග්‍යවත්වූ පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයයි’ කියා ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවා ගන්නෝය. ඒ සත්වයෝ ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීරය විනාශවී මරණින් මත්තෙහි සැප ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදනාහුය. ආනන්දය, මේ අර්ථසිද්ධිය පිණිස පසේබුදු රජතෙම චෛත්‍යයට සුදුසුයයි” කීවෝය.

“ආනන්දය, කවර නම් අර්ථ සිද්ධියක් සඳහා තථාගත ශ්‍රාවක තෙම චෛත්‍යයට සුදුසු වන්නේද? ‘මේ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ චෛත්‍යයයි’ කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවා ගන්නෝය. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවා ගෙන ශරීරය විනාසවී මරණින් මත්තෙහි සැප ඇති ස්වර්ග ලොකයෙහි උපදනාහුය, මේ අර්ථසිද්ධිය සඳහා තථාගත ශ්‍රාවකතෙම චෛත්‍යයට සුදුසු වන්නේයයි කියා වදාළේය. ආනන්දය, කවරනම් අර්ථසිද්ධියක් පිණිස චක්‍රවර්ත්ති රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේද? ‘මේ ඒ ධාර්මිකවූ ධර්මරාජවූ සක්විති රජහුගේ චෛත්‍යයයි’ කියා ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවා ගන්නෝය, ඒ සත්ත්වයෝ ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීරය විනාශවී මරණින් මත්තෙහි ස්වර්ගලොකයෙහි උපදනාහුය ආනන්දය, මේ අර්ථසිද්ධිය සඳහා සක්විති රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේය. ආනන්දය, හතර ආකාරවූ චෛත්‍යයට සුදුසුවූ පුද්ගලයෝ මොහු සතරදෙන නම් වන්නාහුයයි” කීවෝය.


ආනන්දඅච්ඡරියධම්මො

99.එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම විහාරයට ඇතුල්වී දොර අගුල් කණුවෙහි එල්ලීගෙන “මම එකාන්තයෙන් කටයුතු සහිතවූ ශෛක්ෂ පුද්ගලයෙක් වීමි. මට අවවාද කරන්නාවූ මාගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පාන්නෝයයි” කියමින් හඬ හඬා උන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් කැඳවා, “මහණෙනි, ආනන්ද කොහිදැයි” ඇසුවෝය. “ස්වාමීන්වහන්ස, මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම විහාරයට පැමිණ අගුළු කණුවෙහි එල්ලීගෙන ‘එකාන්තයෙන් මම කටයුතු සහිතවූ ශෛක්ෂ පුද්ගලයෙක්මි. මට අනුශාසනා කරන්නාවූ මාගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පාන්නෝය. කියා හඬමින් වැඩසිටීයයි” දැනුම් දුන්නෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂූ නමකට අඬගා මෙසේ කීවෝය. “මහණ, තෝ මෙහි එව මාගේ වචනයෙන් ‘ඇවැත්වූ ආනන්ද ස්ථවිරය, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන්නේයයි’ කියා ආනන්දයන් කැඳවාගෙන එවයි” කීවෝය. ‘එසේය, ස්වාමීන් වහන්සැයි” කියා ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තරදී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට මෙසේ දැන්නුවේය. “ඇවැත්වූ ආනන්ද ස්ථවිරය, භාග්‍යවතුන්වහන්සේ ඔබ කැඳවන්නාහයි” කීයේය. “එසේය, ඇවැත” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ඒ භික්ෂුවට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එකපැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේට භාග්‍යවතුන්වහන්සේ මෙසේ කීවෝය.

“ආනන්දය, නොහඬව, ශොක නොකරව, ආනන්දය, සියලුම ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව තොරවන බව අන් බවකට පැමිණෙන බව මා විසින් පළමු කොටම කියන ලද්දේ නොවේද, ආනන්දය, ඒ කාරණය දැන් මෙතැන්හි කොයින් ලැබේද? යම් දෙයක් හටගත්තේද පහළ වූයේද, ප්‍රත්‍යයන් එක්ව කරණ ලද්දේද, විනාශවන ස්වභාව ඇත්තේද, එය තථාගත ශරීරය වුවත් විනාශ නොවේවායි සිතුවත් එසේවීමට හේතුවක් කරුණක් නැත්තේය.

“ආනන්දය, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ඉදිරිපිටය නොඉදිරිපිටය කියා වෙනසක් නැතිව හිතවත්වම සතුටින්ම මෛත්‍රියෙන් යුක්තව අප්‍රමාණවූ කායික කටයුතු වලින්ද, ඉදිරිපිටය නොඉදිරිපිටය කියා වෙනසක් නැතිව හිතවත්වම සතුටින්ම මෛත්‍රියෙන් යුක්තව අප්‍රමාණවූ වචනයෙන්ද, ඉදිරිපිටය නොඉදිරිපිටය කියා වෙනසක් නැතිව හිතවත්වම සතුටින්ම මෛත්‍රියෙන් යුක්තව අප්‍රමාණවූ මනො කර්මවලින්ද තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලදී. ආනන්දය, තෙපි කරණ ලද බොහෝ පින් ඇත්තාහුය. උත්සාහ කරව, වහා රහත් බවට පැමිණෙන්නෙහියයි” කීවෝය.

100.එවිට භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට අඬගා මෙසේ කීවෝය. “මහණෙනි, ඉකුත්ව ගියාවූ දීර්ඝවූ අතීතකාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක්වූවාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ උපස්ථායකයෝද මට ආනන්දයන් මෙනි. මහණෙනි, මතුවන්නාවූ දීර්ඝවූ අනාගත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් උපදින්නාහු වෙද්ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ උපස්ථායකයෝද මට ආනන්දයන් මෙනි. මහණෙනි, ආනන්ද පණ්ඩිතය (දක්ෂය), මහණෙනි, ආනන්ද ප්‍රඥාවන්තය, තථාගතයන් වහන්සේ දැක්වීමට භික්ෂූන්ගේ පැමිණීමට මේ කල් වන්නේයයි කියා දන්නේය. භික්ෂුණීහුගේ පැමිණීමට තවම කල් වන්නේයයි කියා දන්නේය. උපාසකයන්ගේ පැමිණීමට මේ කල් වන්නේයයි කියා දන්නේය. උපාසිකාවන්ගේ පැමිණීමට මේ කල් වන්නේයයි කියා දන්නේය. රජදරුවන්ගේද රාජ මහාමාත්‍යදීන්ගේද පැමිණීමට මේ කල් වන්නේයයි කියා දන්නේය. තීර්ථකයන් හා තීර්ථක ශ්‍රාවකයන්ගේ පැමිණීමට මේ කල් වන්නේයයි කියා දන්නේය.

“මහණෙනි, ආනන්දයන් කෙරෙහි ආශ්චර්‍ය්‍ය අද්භූත පුදුම කරුණු හතරක් ඇත්තේය. කවර සතරක්ද යත්? මහණෙනි, ඉදින් භික්ෂු පිරිස ආනන්දයන් දක්නා පිණිස පැමිණෙයිද, ඒ භික්ෂු පිරිස ආනන්දයන් දැකීමෙන් සතුටු වන්නීය. ඉදින් ඒ භික්ෂු පිරිසෙහි ආනන්ද කථාකරයිද කථාවෙන්ද ඒ පිරිස සතුටු වන්නීය. මහණෙනි, භික්ෂු පිරිස කථාව අසා ඇතිවීමක් නැති කල්හිම ආනන්ද නිශ්ශබ්ද වන්නේය.

“මහණෙනි, ඉදින් භික්ෂුණී පිරිසද, උපාසක පිරිසද, උපාසිකා පිරිසද, ආනන්දයන් දක්නා පිණිස පැමිණෙයිද, ඒ පිරිස ආනන්දයන්ගේ දැකීමෙන් සතුටු වන්නීය, ඉදින් ඒ පිරිසෙහි ආනන්ද කථාකරන්නේවේද, කථාවෙන්ද ඒ උපාසිකා පිරිස සතුටු වන්නීය. මහණෙනි, උපාසිකා පිරිසට කථාව අසා ඇතිවීමක් නැති කල්හිම ආනන්ද නිශ්ශබ්ද වන්නේය. මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ පුදුම කරුණු සතර වන්නාහුය.

“මහණෙනි, චක්‍රවර්ති රජ කෙරෙහි මේ පුදුම කරුණු හතර ඇත්තාහුය. ඒ කරුණු හතර නම් කවරහුද? ඉදින් මහණෙනි, ක්ෂත්‍රිය පිරිස සක්විති රජුන් දැකීම පිණිස පැමිණේද, සක්විති රජුන් දැකීමෙන් ඒ පිරිස සතුටුවන්නීය ඒ පිරිසෙහි සක්විති රජ කථාකරයිද කථාවෙන්ද ඒ පිරිස සතුටු වන්නීය. ඒ පිරිසට කථාව අසා ඇතිවීමක් නැතිකල්හිම සක්විති රජ නිශ්ශබ්ද වන්නේය. ඉදින් මහණෙනි, බ්‍රාහ්මණ පිරිසද, ගෘහපති පිරිසද, ශ්‍රමණ පිරිසද චක්‍රවර්ති රජ්ජුරුවන් දක්නා පිණිස පැමිණෙයිද දැකීමෙන්ම ඒ පිරිස සතුටු වන්නීය, ඉදින් ඒ පිරිසෙහි ඒ චක්‍රවර්ති රජ ගැන කථාකරන්නේද කථාවෙනුද ඒ පිරිස සතුටු වන්නීය. මහණෙනි, ඒ ශ්‍රමණ පිරිස කථාව අසා ඇතිවීමට නොපැමිණි කල්හිම චක්‍රවර්ති රජතෙම නිශ්ශබ්ද වන්නේය. මහණෙනි එපරිද්දෙන්ම ආනන්දයන් කෙරෙහිද මේ පුදුම කරුණු සතර ඇත්තාහුය.”


මහාසුදස්සනසුත්තදෙසනා

101.මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන්වහන්සේට මෙසේ දැන්නුවේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ සම නගරයක් නොවූ ශාඛා නගරයක්වූ මේ කුසිනාරානුවරදී පිරිනිවන්පෑම නොකරත්වා. ස්වාමීන් වහන්ස, මෙයින් අන්‍යවූ මහා නුවරවල් ඇත්තාහුය ඒ කවරහුද? චම්පා නම් නුවරය, රජගහ නුවරය, සැවැත් නුවරය, සාකෙත නම් නුවරය, කොසැඹෑ නම් නුවරය, බරණැස් නුවරය, මේ නුවරවල් අතරෙන් යම්කිසි නුවරක්හිදී භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන්පෑම කරත්වා. ඒ නගරයන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදුණාවූ මහත් ධන ඇති බොහෝවූ ක්ෂත්‍රියයෝද, මහත් ධන ඇති බොහෝවූ බ්‍රාහ්මණයෝද, මහත් ධන ඇති බොහෝවූ ගෘහපතීහුද ඇත්තාහ. ඔව්හු තථාගතයන් වහන්සේගේ ශරීර පූජා කරන්නාහුයයි” දැනුම් දුන්නේය.

“මේ නුවර කුඩා නුවරෙක, විසම නුවරෙක, ශාඛා නුවරෙකැයි, ආනන්දය එසේ නොකියව, ආනන්දය එසේ නොකියව.

ආනන්දය, පෙර කාලයෙහි සාගර පරියන්තකොට ඇති සතර මහාද්වීපය ජයගත්තාවූ ජනපදයන්ගේ ස්ථිර භාවයට පැමිණියාවූ ධාර්මිකවූ ධර්මරාජවූ රත්න හතෙන් යුක්තවූ මහා සුදර්ශන නම්වූ සක්විති රජෙක් වූයේය. ආනන්දය, ඒ මහා සුදර්ශන නම් රජහුගේ මේ කුසිනාරා නුවර කුසාවතී නම් රාජධානිය වූයේය. ආනන්දය. ඒ මේ කුසාවතී නම් රාජධානිය නැගෙනහිර පටන් බස්නාහිර දක්වා දිගින් දොළොස් යොදුනක් වූයේය. උතුරේ පටන් දකුණ දක්වා පුළුලින් සත් යොදුනක් පමණ වූයේය. ආනන්දය, කුසාවතී නම් රාජධානිය සියල්ලෙන් සම්පූර්ණ වූවාය. ප්‍රීතිමත් බොහෝ ජනයන් ඇත්තීය. බොහෝ මනුෂ්‍යයන්ගෙන් ගැවසීගත්තීය. බොහෝ ආහාර පාන ඇත්තීය.

“ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය සමෘද්ධද සියල්ලෙන් සම්පූර්ණද ප්‍රීතිමත්වූ බොහෝ ජනයන් ඇත්තීද, සෙසු දෙවියන් හා දිව්‍යාංගනාවන්ගෙන් ගැවසී ගත්තීද ආනන්දය, එපරිද්දෙන්ම කුසාවතී නම් රාජධානිය සමෘද්ධ වූවාය. ප්‍රීතිමත්වූ බොහෝ ජනයන් ඇත්තීය. බොහෝ මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීය. බොහෝ ආහාර පාන ඇත්තීය. ආනන්දය, කුසාවතී නම් රාජධානිය රෑ දාවල් දෙක්හි දශවිධ ශබ්දයෙන් නොවෙනස්ව එකනින්නාද වූයේය. ඒ දශවිධ ශබ්ද නම් කවරේද? ඇතුන්ගේ කුංචනාද (ඇතුන් ගේ හඬින්ද) ශබ්දයෙන්ද, අසුන්ගේ හෙසාරවයෙන්ද, (අශ්ව හඬින්ද) රථ ශබ්දයෙන්ද, බෙර ශබ්දයෙන්ද, මුදිංග (බෙර විශෙෂයක්) ශබ්දයෙන්ද, වීණා ශබ්දයෙන්ද ගීතිකා (ගී හඬ) ශබ්දයෙන්ද, තාල (කයිතාලම්) ශබ්දයෙන්ද කන්න බොන්න අඩගාන ශබ්දයෙන්ද මේ දශවිධ ශබ්දයන්ගෙන් අතුරු නැත්තේය.

“ආනන්දය, තෙපි යව, ගොස් කුසිනාරා නුවරට පැමිණ, කුසිනාරා නම් නුවර වාසය කරන්නාවූ මල්ල රජ දරුවන්ට මෙසේ කියව, ‘වාසෙට්ඨ ගොත්‍රයෙහිවූ මල්ල දරුවෙනි, අද රාත්‍රියේ අන්තිම යාමයෙහි (කාල කොටසෙහි) තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේය. වාසෙට්ඨ ගොත්‍රයෙහිවූ මල්ල රජදරුවෙනි, වහාම පිටත්වව්. ගොත්‍රයෙන් වාසෙට්ඨ නම්වූ එම්බා මල්ල රජදරුවෙනි, වහා පිටත්වව්, ‘අපගේ ගමෙහි අප තථාගතයන් වහන්සේගේ පිරිනිවන්පෑම වූයේය. අන්තිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැකීම අපි නොලද්දෙමුයයි’ කියා පසුව පසුතැවිලි නොවව්” කියායි.

“එසේය පින්වතුන් වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තරදී, හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන තමන්වහන්සේ දෙවෙනිකොට ඇතිව කුසිනාරා නම් පුරයට පැමිණියේය.


මල්ලානං වන්දනා

102.එකල කුසිනාරා වැසි මල්ල රජදරුවෝ යම්කිසි කාර්‍ය්‍යයක් සඳහා රැස්වීම් ශාලාවෙහි රැස්ව උන්නාහුය. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම කුසිනාරා නුවර වැසි මල්ල රජදරුවන්ගේ රැස්වීම් ශාලාව යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ කුසිනාරා නුවර වැසි මල්ලරජදරුවන්ට මෙසේ කීයේය. “වාසෙට්ඨ නම්වූ මල්ල රජදරුවෙනි, අද මේ රාත්‍රියගේ අන්තිම යාමයෙහි තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මල්ල රජදරුවෙනි, වහා පිටත්වව්, වාසෙට්ඨ ගොත්‍රයෙහිවූ මල්ල රජදරුවෙනි, වහාම පිටත්වව්, අපගේ ගමෙහිම අප තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වූයේය. අන්තිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැකීම අපි නොලද්දෙමුයයි’ කියා පසුතැවිලි නොවව්යයි” කීවේය.

ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මේ වචනය අසා මල්ල රාජ පුත්‍රයෝද මල්ල රජුන්ගේ ලේලිවරුද, මල්ල රජුන්ගේ භාර්‍ය්‍යාවෝද හටගත් දුක් ඇතිව දුකින් යුක්තව සිතේ හටගත් බලවත් දුකින් යුක්තව ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පාන්නෝය. ඉතා ඉක්මනින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නෝය, ඉතා ඉක්මනින් පසැස් ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නෝයයි’ සමහර කෙනෙක් කෙස් විසුරුවා හඬත්, හිස අත් බැඳගෙන හඬත්, මැදින් කැඩුනාක් මෙන් ඇදවැටෙත්, පෙරලෙත්, විශෙෂයෙන් පෙරලෙත්.

එවිට මල්ල රජුන් හා මල්ල රාජ පුත්‍රයෝද මල්ල රජුන්ගේ ලේලියෝද මල්ල රජුන්ගේ භාර්‍ය්‍යාවෝද හටගත් දුක් ඇතිව නොසතුටු සිත් ඇතිව සිතේ දුකින් යුක්තව මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල්වනය යම් තැනකද ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම යම් තැනකද එතැනට පැමිණියාහුය.

එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේවූ කල්පනාවක් වූයේය. “ඉදින් මම කොසිනාරක නම්වූ මල්‍ය රජදරුවන් වෙන වෙනම එක රජක්හු බැගින් භාග්‍යවතුන් වහන්සේට දක්වා වැන්දවූයෙම් නම් එකල්හි මේ රාත්‍රිය ගතවන්නීය. කුසිනාරාවාසී මල්‍ය රජදරුවන් විසින් භාග්‍යවතුන්වහන්සේ නොවඳින ලද්දේනම් වන්නේය. මම කොසිනාරක නම් මල්‍ය රජදරුවන් එකි එකී (පවුල්) කුල පිළිවෙලින් වෙන වෙනම සිටුවා “ස්වාමීන්වහන්ස, මෙනම් නමක් ඇති මල්‍ය රජතෙම, පුත්‍ර භාර්‍ය්‍යා පිරිවර අමාත්‍යාදීන් හා සහිතව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රිපාද දෙක හිස තබා වඳින්නේයයි කියා භාග්‍යවතුන් වහන්සේට වැන්දවූයෙම් නම් ඉතා යහපතැයි” කියා සිතුවේය. මෙසේ සිතා එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා වැසි මල්‍ය රජ දරුවන් එක එක කුල (පවුල්) පිළිවෙලින් වෙන වෙනම සිටුවා “ස්වාමීන්වහන්ස, මෙනම් මල්‍ය රජතෙම, පුත්‍ර භාර්‍ය්‍යා, පිරිවර අමාත්‍යාදීන් සමග භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද දෙක හිස තබා වඳින්නේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට වැන්දවූයේය. එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මේ ක්‍රමයෙන් ප්‍රථම යාමයෙහිම කුසිනාරා වැසි මල්‍ය රජදරුවන් භාග්‍යවතුන් වහන්සේට වැන්දවූයේය.


සුභද්දපරිබ්බාජකවත්ථු

103.එකල සුභද්‍ර නම්වූ පරිබ්‍රාජකයෙක් (ශාසනයෙන් පිට මහණ තැනැත්තෙක්) කුසිනාරා නම් නුවර වාසය කරන්නේය. ඒ සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම ‘අද රාත්‍රියගේ පශ්චිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේයයි’ කියා ඇසුයේය. එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙබඳු සිතක් වූයේය. ‘වයස් ගතවූ මහළුවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද “අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදනාහුය.’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. ‘අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරු කෙරෙම්ද එපරිද්දෙන් ධර්මදෙශනා කරන්ට ශ්‍රමණභවත් ගෞතමතෙම පොහොසත් වන්නේයයි කියා මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමි’ යන සිතිවිල්ලය.

එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකතෙම මල්‍ය රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනය යම් තැනකද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීයේය. “පින්වත්වූ ආනන්ද ස්ථවිරය, මහළුවූ වයස්ගතවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යවරයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද ‘අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදනාහුය’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. ‘අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන් පෑමවන්නේය.’ මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම් මේ සැකය දුරු කෙරෙම්ද, එසේ ධර්මදෙශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතම තෙම පොහොසත් වන්නේයැයි කියා, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපතැයි” යාච්ඤා කෙළේය.

සුභද්‍ර පරිබ්‍රාජකයා විසින් මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය. “ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේ නොවෙහෙසව. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තවූ සේකැ” යි කීවේය. දෙවෙනි වරද ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීවේය.

“පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, වයස්ගතවූ වැඩිමහලුවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යවරයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද ‘අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදුනාහුය’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරුකෙරෙම්ද, එසේ ධර්මදෙශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පොහොසත් වන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපත්ය” කියා යාච්ඤා කළේය.

සුභද්‍ර පරිබ්‍රාජකයා විසින් මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම, සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය. “ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේ නොවෙහෙසව, භාග්‍යවතුන්වහන්සේ ක්ලාන්ත වූසේකැ” කීවේය. තුන්වෙනි වරද ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය.

“පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, වයස්ගතවූ මහළුවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යවරයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද ‘අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදනාහුය’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරුකෙරෙම්ද, එසේ ධර්ම දේශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පොහොසත් වන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපති” කියා යාච්ඤා කළේය.

සුභද්‍ර පරිබ්‍රාජකයා විසින් මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය. “ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය, තථාගතයන් වහන්සේ නොවෙහෙසව, භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තවූ සේකැයි” කීවේය.

104.භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා හා සමග කළාවූ මේ කථා සල්ලාපය ඇසුවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, නුසුදුසුය, සුභද්‍රයා නොවළක්වව. සුභද්‍ර පරිබ්‍රාජක තෙම තථාගතයන් වහන්සේගේ දැකීම ලබාවා. සුභද්‍ර තෙම මාගෙන් යම් කිසිවක් විචාරන්නේ වේද ඒ සියල්ල දැනගන්ට කැමතිවම විචාරන්නේය. මා වෙහෙසනු කැමතිව නොවන්නේය. ඔහු විසින් යමක් විචාරණ ලදුව මම ඔහුට ප්‍රකාශ කෙරෙම්ද, ඒ ප්‍රකාශ කොට කියන ලද කාරණය වහාම ඔහු දැනගන්නේයයි” කීවෝය. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය.

“ඇවැත්වූ සුභද්‍රය යව, තට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නෝයයි” කීයේය.

එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, සංඝ සමූහ ඇත්තාවූ ශිෂ්‍ය සමූහ ඇත්තාවූ බොහෝ ශ්‍රාවකයන්ට ආචාර්‍ය්‍යවූ ලොක ප්‍රසිද්ධවූ යස පිරිවර ඇත්තාවූ තීර්ථකරවූ බොහෝ ජනයා පණ්ඩිතයයි පිළිගත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහු වෙද්ද ඔහු කවුරුද යත්? පූරණ කාශ්‍යපය, මක්ඛලීගොසාලය, අජිතකෙශකම්බලය, පකුධකාත්‍යායනය, සංජය නම් බෙල්ලට්ඨි පුත්‍රය, නිගණ්ඨ නාත පුත්‍රය යන මොහු වෙත්. ඔහු සියල්ලෝම ඔවුන්ගේ ප්‍රකාශය යම්සේද, එපරිද්දෙන්ම දැනගත්තාහුද නැතහොත් සියල්ලෝම නොදැන ගත්තාහුද නොහොත් ඇතැම්කෙනෙක් දැනගත්තාහුද ඇතැම් කෙනෙක් නොදැනගත්තාහුද?” කියා ඇසීය.

“සුභද්‍රය, ඔහු සියල්ලෝම තම තමන්ගේ ප්‍රකාශය පරිදි දැනගත්තාහුයයි කියාද සියල්ලෝම දැනනොගත්තාහුයයි කියාද නොහොත් සමහර කෙනෙක් දැනගත්තාහුයයි කියාද සමහර කෙනෙක් නොම දැනගත්තාහුය කියාද යන තාගේ ඒ වචනය තිබේවා. සුභද්‍රය, තට ධර්මදෙශනා කරන්නෙමි. ඒ ධර්මය මනාකොට අසව, යහපත්කොට සිත්හි කරව, දෙශනා කරන්නෙමි” කීවෝය. “එසේය, ස්වාමීන්වහන්සැයි” කියා සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාගවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළෝය.

105.“සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය නොලැබෙන්නේ වේද, ඒ ධර්ම විනයෙහි ශ්‍රමණයෙකුදු නොලැබෙන්නේය. ඒ ධර්මවිනයෙහි දෙවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. ඒ ධර්මවිනයෙහි තුන් වෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. ඒ ධර්ම විනයෙහි සතරවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේ වේද ඒ ධර්ම විනයෙහි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි දෙවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි තුන්වෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි සතරවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. සුභද්‍රය, මාගේ මේ ධර්ම විනයෙහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේය. එම්බා සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි පළමුවෙනි ශ්‍රොතාපන්න ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. මේ ශාසනයෙහි දෙවෙනිවූ සකෘදාගාමි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. මාගේ මේ ශාසනයෙහි තුන්වෙනිවූ අනාගාමි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. මෙහි සතරවැනිවූ අර්හත් ඵලයට පැමුණුන ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. අන්‍ය වාදයෝ ශ්‍රමණයන් කෙරෙන් සූන්‍ය වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහුවීනම් මේ ලොකය රහතුන්ගෙන් හිස්නොවන්නේය.

“සුභද්‍ර නම් පරිබ්‍රාජකය, වයසින් එකුන්විසි වයස් වූයේම සර්වඥතාඥානය සොයමින් පැවිදි වූයෙම්ද එතැන් පටන් පනස් පස් අවුරුද්දකට වැඩි මේ කාලය තුළ මාගේ මේ ශාසනයෙන් පිටත්වූ අන්‍ය වාදයෙක්හි උතුම් මාර්ග ධර්මයෙහි කොටසක්වත් පවතින විදර්ශක ශ්‍රමණයෙකුත් නැත්තේය. දෙවෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. තුන්වෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. සතරවෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. අන්‍යවාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වීනම් මේ ලොකය රහතුන්ගෙන් හිස් නොවන්නේයයි” කීවෝය.

106.මෙසේ වදාළ කල සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීන්වහන්ස, ඉතා යහපත්ය. ස්වාමීන්වහන්ස, ඉතා යහපත්ය. ස්වාමීන්වහන්ස, උඩපැත්ත යටකර තබන ලද භාජනයක් උඩුකුරුකොට තබන්නේ යම්සේද, තණ පත් ආදියෙන් වැසීතිබෙන යම්කිසි වස්තුවක් එලිදරව්කොට දක්වන්නේ යම්සේද, මංමුළාවූ පුරුෂයෙකුහට මාර්ගය දක්වන්නේ යම්සේද අන්ධකාරයෙහි ‘ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි පහනක් දරන්නේ යම්සේද එපරිද්දෙන්ම භාග්‍යවතුන්වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. ස්වාමීන්වහන්ස, ඒ මම සියලු ලොකයාට ප්‍රධානවූ භාග්‍යවතුන් වහන්සේද ලෝකයේ උතුම් ධර්ම නවයවූ ශ්‍රී සද්ධර්මරත්නයද අෂ්ටාර්‍ය්‍ය පුද්ගල භික්ෂු සංඝයාද සරණයෙමි. මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව ලබන්නෙමියි” කීවේය. “සුභද්‍රය, පෙර අන්‍ය තීර්ථකවූ යම් පුද්ගලයෙක් තෙම මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිවීම කැමති වන්නේ වේද උපසම්පදාව කැමතිවන්නේ වේද, ඒ පුද්ගල තෙම සාර මසක් භික්ෂු සංඝයා වෙත විසිය යුතු වන්නේය. සාරමසක්හුගේ ඇවෑමෙන් ඔහුගේ හික්මීම දැක සතුටුවූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරන්නාහුද උපසම්පදා කරන්නාහුද වෙති. එහෙත් මෙහිදී පුද්ගල විශෙෂය දැන ගන්නා ලද්දේයයි” වදාළේය.

“ස්වාමීන්වහන්ස, ඉදින් පෙර අන්‍ය තීර්ථකවූ යම් පුද්ගල කෙනෙක් මේ ශාසනයෙහි මහණකම හා උපසම්පදාව කැමතිවන්නාහු නම් සාරමසක් භික්ෂු සංඝයා වෙත විසිය යුත්තාහු වෙද්ද, සාරමක්හුගේ ඇවෑමෙන් ඔවුන්ගේ හික්මීම දැක සතුටුවූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරද්ද උපසම්පදා කරද්ද මම හතර අවුරුද්දක් භික්ෂූ සංඝයා වහන්සේ වෙත උපස්ථානකරමින් වාසය කරන්නෙමි. සතර හවුරුද්දක්හුගේ ඇවෑමෙන් සතුටුවූ භික්ෂු සංඝයා වහන්සේ භික්ෂුභාවය පිණිස මා මහණකරත්වා, උපසම්පදා කරත්වායි” කියා භාග්‍යවතුන් වහන්සේට දැන්නුවේය. මෙසේ සැල කළ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර “ආනන්දය, සුභද්‍ර පැවිදි කරවයි” කීවෝය. “එසේය, ස්වාමීන්වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය.

එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ඇවැත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුඹවහන්සේලාට මහත්වූ ලාභයක් වූයේය. ඇවැත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුඹවහන්සේලා විසින් යහපත් දෙයක් ලබන ලද්දේය. යම්බඳුවූ නුඹවහන්සේලා මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේගේ සමීපයෙන් අතවැසි බව නමැති අභිෂෙකයෙන් අභිෂෙක කරණ ලද්දාහු වෙතියි” කීය. සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාවද ලබන ලද්දේය. උපසම්පදාවූ නොබෝ කලකින්ම ආයුෂ්මත්වූ සුභද්‍ර ස්ථවිරතෙම තනිව විවේක ස්ථානයකට පැමිණ අප්‍රමාද භාවයෙන් යුක්තව කායික චෛතසික වීර්‍ය්‍ය ඇතිව දුරුකරනලද ආත්ම ස්නේහ ඇතිව වාසයකර නොබෝ කලකින්ම යම් අර්හත් ඵලයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම ආර්‍ය්‍ය සංඛ්‍යාතවූ ශාසනයෙහි මනාකොට පැවිදි වන්නාහු වෙද්ද, ඒ ඉතා උතුම්වූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව කෙළවරකොට ඇති අර්හත්ඵල ඤාණය මේ ආත්මභාවයෙහිම තමන්ම ඇතිකරගත් ඥානයෙන් දැන අවබෝධකොට වාසය කෙළේය. ඉපදීම කෙළවර වූයේය. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කළයුතු දෑ කරන ලදී. මින්මතු කළ යුත්තක් නැතැයි දැනගත්තේය. සුභද්‍ර ස්ථවිර තෙම වනාහි රහතන් වහන්සේලා අතුරෙන් එක්තරා රහත් නමක් විය. ඒ සුභද්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශාක්ෂි ශ්‍රාවක (භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන කල්හි මහණව පසුව රහත්වූ ශ්‍රාවකයා) නම් විය.

පස්වැනිවූ හිරඤ්ඤවතිය බණවර නිමි.


තථාගතපච්ඡිමවාචා

107.එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, ශාසනය ශාස්තෲන් වහන්සේගෙන් පහව ගියේය. දැන් අපට අනුශාසනා කරන ශාස්තෲවරයෙක් නැතැයි යන අදහස ඉපදිය හැක්කේය. මේ කාරණය එසේ නොදත යුත්තේය. ආනන්දය, මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ වේද, යම් විනයක් පනවන ලද්දෙ වේද, ඒ ධර්මය සහ විනය මාගේ ඇවෑමෙන් තොපට ගුරුවරයා (ශාස්තෘ) වන්නේයයි” කීවෝය.

“ආනන්දය, යම් පරිද්දකින් දැන් භික්ෂූහු ඔවුනොවුන් ආවුසොවාදයෙන් (ඇවැත්නි කියා) කථාකරන්නාහුද මාගේ ඇවෑමෙන් තොප විසින් එසේ කථා නොකොට යුත්තේය. ආනන්දය, වැඩිමහළුවූ (ථෙරවූ) මහණහු විසින් (නවකතරවූ) බාලවූ භික්ෂුවට නමින් හෝ ගොත්‍රයෙන් හෝ ‘ඇවැත්නි’ කියා හෝ කථා කළ යුත්තේය. බාලවූ භික්ෂුව විසින් වැඩිමහල් (ථෙර) භික්ෂුවට, ස්වාමීනි, කියා හෝ ආයුෂ්මතුන් වහන්සැයි කියා හෝ කථා කළ යුත්තේය.

“ආනන්දය, සංඝතෙම ඉදින් කැමැත්තේවී නම් මාගේ ඇවෑමෙන් ඉතා සුලුවූ කුඩාවූ ශික්ෂා පදයන් සමූනනය (ඉදිරීම) කෙරෙත්වා.

“ආනන්දය, ඡන්න නම් භික්ෂුවට මාගේ ඇවෑමෙන් බ්‍රහ්මදණ්ඩය’ නම් දඬුවම කළ යුත්තේයයි” කීවෝය. “ස්වාමීන්වහන්ස, බ්‍රහ්මදණ්ඩනය නම් කුමක්දැයි” ඇසුවෝය.

“ආනන්දය, ඡන්න භික්ෂුතෙම තමාට යමක් කැමැත්තේද, එය කියන්නේය. භික්ෂූන් විසින් ඔහුට කිසිවක් නොකිය යුත්තේය, අවවාද නොකට යුත්තේය. අනුශාසනා නොකට යුත්තේයයි” කීවෝය.

108.එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “මහණෙනි, එක භික්ෂුවක්හටද බුදුන් කෙරෙහිද ධර්මය කෙරෙහිද සංඝයා කෙරෙහිද මාර්ගය කෙරෙහිද ප්‍රතිපත්තිය කෙරෙහිද සැකයක් හෝ විමතියක් වීනම්, විචාරව්. මහණෙනි, ශාස්තෲවූ භාග්‍යවතුන් වහන්සේ අපට සම්මුඛවූ වූයේය. අපි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්ට නොහැකිවූවෝ වෙමුයි කියා පසුව පසුතැවිලි නොවව්යයි’ කීවෝය. මෙසේ කී කල ඒ භික්ෂුහු නිශ්ශබ්දවූහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරද, තුන්වෙනි වරද, භික්ෂූන්ට කථා කොට මෙසේ කීවෝය. “මහණෙනි, එක භික්ෂුවකටද බුදුන් කෙරෙහිද ධර්මය කෙරෙහිද සංඝයා කෙරෙහිද මාර්ගය කෙරෙහිද ප්‍රතිපත්තිය කෙරෙහිද සැකයක් හෝ විමතියක් හෝ වූයේ නම් විචාරව්. ‘ශාස්තෲවූ භාග්‍යවතුන්වහන්සේ අපට සම්මුඛවූයේය. අපි භාග්‍යවතුන්වහන්සේ විචාරන්ට නොහැකි වූවෝ වෙමු’ කියා පසුව පසුතැවිලි නොවව්යයි” කියා දේශනා කළෝය.

තුන්වෙනි වාරයෙහිද ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූවාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකොට මෙසේ දෙශනා කළෝය.

“මහණෙනි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනුත් ඉදින් නොවිචාරන්නේ වීනම්, මහණෙනි, යහළු මහණෙක් යහළු මහණෙක්හට කියාවායි” කීවෝය.

මෙසේ කීකල ඒ භික්ෂූහු නිශ්ශබ්දව සිටියාහුය.

109.එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෝය. “ස්වාමීන් වහන්ස, පුදුමයක්ය. ස්වාමීන් වහන්ස, ඉතා පුදුමයක්ය. ස්වාමීන් වහන්ස, මේ භික්ෂු සංඝයා කෙරෙහි එක් භික්ෂු නමකටද බුද්ධ, ධර්ම, සංඝ, මාර්ග, ප්‍රතිපත්තියෙහි සැකයක් හෝ විමතියක් නැත්තේයයි කියා, මම මෙසේ පැහැදුනෙමි” කීවේය.

“ආනන්දය, තොපි පැහැදීම හේතුකොට ගෙන කියන්නෙහිය. මෙහි තථාගතයන් වහන්සේගේ ඥානය කියයුතුය. තථාගතයන් වහන්සේගේ මේ භික්ෂු සංඝයා කෙරෙහි එක භික්ෂු නමකටද, බුද්ධ, ධර්ම, සංඝ, මාර්ග, පැවතුම් ආදියෙහි සැකයක් හෝ විමතියක් හෝ නැත.

ආනන්දය, මේ පන්සියයක් පමණ භික්ෂූන් අතරෙහි අන්තිමවූ යම් භික්ෂුවක් වේද ඔහු සතර අපායෙහි නොහෙළන ස්වභාව ඇත්තාවූ නියතවූ අර්හත්ඵල ඤාණයෙන් යුක්තවූ සෝවාන් ඵලයට පැමිණි භික්ෂුවකැයි” කීවෝය.

එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “මහණෙනි, දැන් තොපට කියමි. ‘සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී (කළයුතු දේ) සම්පාදනය කරව්.’ මේ තථාගතයන්ගේ අන්තිම බුද්ධ වචනයයි වදාළෝය.


පරිනිබ්බුතකථා

110.එවිට භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදුණේය. ප්‍රථම ධ්‍යානයෙන් නැගී දෙවෙනි ධ්‍යානයට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යානයට සමවැදුණේය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සම වැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී නෙව සඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය සමවැදුණෝය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් මෙසේ ඇසුවේය. “ස්වාමීනි, අනුරුද්ධ තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝද?”

“ඇවැත් ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ තව පිරිනිවන් නොපෑවෝය. සඤ්ඤාවෙදයිත නිරොධසමාපත්තියට සමවැදුණෝයයි” කීවෝය.

එවිට භාග්‍යවතුන්වහන්සේ සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුනෝය. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුනෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤානඤ්චායතන සමාපත්තියට සමවැදුනෝය. විඤ්ඤානඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුනෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුනෝය. හතර වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුනෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී දෙවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුනෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී පළමුවැනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. පළමුවැනි ධ්‍යාන සමාපත්තියෙන් නැඟී දෙවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුනෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුනෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුනෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ඒ හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගීම හා සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය.

111.භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑකල ඒ පිරිනිවන් පෑම හා සමගම ලොම් ඩැහැගන්වන ඉතා භයානකවූ මහා භූමිකම්පාවක් වූයේය. අහස ගුගුරන්ට විය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑකල ඒ පිරිනිවන්පෑම හා සමග සහම්පතී නම් මහා බ්‍රහ්මයා මේ ගාථාව කීයේය. “සත්ව ලොකයෙහි සියලු සත්වයෝම යම් පරිද්දකින් ජීවිතෙන්ද්‍රිය (ජීවිතය පැවැත්මට උපකාරවන ප්‍රධාන අවයවය) යෙන් ශරීර ඉවත් කිරීම කරන්නාහු වෙද්ද එපරිද්දෙන්ම මේ ලොකයෙහි කිසිවෙකුට සමකළ නොහැකිවූ, ශාස්තෲවූ තථාගතවූ දසවිධ ඤාණ බලයෙන් යුක්තවූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජොත්තමයාණන් වහන්සේ පිරිනිවන් පෑවාහුයයි’ කීයේය.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමග ශක්‍ර දිව්‍ය රාජතෙම මේ ගාථාව කීයේය.

“සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍ය වන්නාහුය. ඉපිද නැසීම ස්වභාවකොට ඇත්තාහුය. ඉපිද නිරුද්ධ වන්නාහුය. ඔවුන්ගේ සංසිඳීමයයි කියනලද නිර්වාණයම සැපයයි.”

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල පිරිනිවන්පෑම හා සමගම ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථා කීවේය.

“ස්ථිර සිත් ඇති කම්පානොවන්නාවූ ස්වාමිදරුවූ බුදුරජාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසය නොපවත්නේය. තණ්හාව නැතිකළාවූ ඒ මුනීන්ද්‍රොත්තමවූ බුදු රජාණන් වහන්සේ ශාන්තියයි කියනලද නිර්වාණය අරබයා කාලක්‍රියා කළෝය.”

“මනාකොට ප්‍රබොධවූ චිත්තයෙන් (හොඳ සිහියෙන්) මරණාන්ත වේදනාව ඉවසීම කළෝය. පහනක් නිවීගියාක් මෙන් පිරිනිවන් පෑවෝය.”

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑකල ඒ පිරිනිවන් පෑම හා සමගම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම මේ ගාථාව කීවේය.

“සියලු ආකාරයෙන් උතුම්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවන් පෑකල මහත්වූ ලොමු දැහැගැණීමෙක් වූයේය. එකල මෙසේ මහත් භයානකවූ පෘථිවි චලනයක් වූයේයයි” කීවේය.

112.මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑකල එතනට රැස්වූ භික්ෂු සංඝයා අතුරෙහි පහනොකළ රාගය ඇත්තාවූ යම් ඒ පෘථග්ජන භික්ෂු කෙනෙක් වූවාහුද, ඒ භික්ෂූහු “ඉතා ඉක්මනින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. සුගතයන් වහන්සේ වහා පිරිනිවන් පෑවෝය. පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවන් පෑවෝයයි” කියමින් සමහර භික්ෂූහු හිස අත් බැඳගෙන මහා ශොකීව හඬන්නාහුය. මැදින් කැඩුනාක් මෙන් ඇද වැටෙන්නාහුය, පෙරළෙන්නාහුය, රාගයෙන් දුරුවූ, යම් රහත් අනාගාමි භික්ෂු කෙනෙක් වූවාහුද ඒ රහත් අනාගාමි භික්ෂූහු ‘සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැන්හි කොයින් ලබමෝදැයි’ කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

113.එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවේය. “ඇවැත්නි, හැඬීමෙන් කම් නැත, එහෙයින් සොක නොකරව්, විලාප නොකියව්, නොහඬව්. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව අන්‍ය තත්වයකට පැමිණෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඉපදීම ආදිය ස්වභාවකොට ඇත්තාවූ යම් ඒ පලුජ්ජන (බිඳෙන) ධර්මයක් ඇද්ද, ඒ පලුජ්ජන ධර්මය ඒකාන්තයෙන් විනාශ නොවේ වයි යන යමක් ඇද්ද, ඊට හෙතු නැත්තේය. ඇවැත්නි, ඒ කාරණය දැන් කොයින් ලබමෝද? ඇවැත්නි, දෙවියෝ අගුණ කියන්නාහුයයි” කීවේය.

“ස්වාමීවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, දෙවියෝ කුමක් සිතන්නාහුදැයි” කියා ඇසුවෝය.

“ආනන්දය, ආකාශයෙහි පෘථිවි සංඥා ඇත්තාවූ දෙවි කෙනෙක් ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පෑවෝය.’ සුගතයන් වහන්සේ වහා පිරිනිවන් පෑවෝයයි’ ඒ දෙවියෝ හිස අත් බැඳගෙන හඬත්, ඇද වැටෙත්, පෙරළෙත්.

“ආනන්දය, පොළොවෙහි පොළව යන හැඟීම ඇත්තාවූ දෙවියෝ ඇත්තාහ. ඔව්හු ‘වහා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑහ. සුගතයන් වහන්සේ වහා පිරිනිවියහ’යයි හිස අත් බැඳගෙන හඬත්, ඇදවැටෙත්, පෙරළෙත්.

“ආනන්දය, රාගයෙන් දුරුවූ යම් අනාගාමි රහත් දෙවි කෙනෙක් වූවාහුද, ඔව්හු ‘සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැන්හි කොයින් ලබමෝදැයි’ කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

114.එවිට ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ධර්මයෙන් යුත් කථාවෙන් ඒ රාත්‍රියගේ ඉතිරි කොටස ගත කළාහුය.

එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවේය.

“ඇවැත්වූ ආනන්දය, තොපි යව, ගොස් කුසිනාරා නම් නුවරට පැමිණ කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට ‘වාසෙට්ඨ ගොත්‍රයෙහිවූ මල්ල රජදරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. යම් ගමනකට කල් දනුවයි කියව්’ යනුයි. “එසේය, ස්වාමීන්වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ වචනයට උත්තරදී පෙරවරු කාලයෙහි හොඳින් හැඳ පොරවා පා සිවුරු ගෙන තමන් වහන්සේ දෙවෙනි කොට ඇතිව කුසිනාරා නුවරට පැමුණුනේය. එකල කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ ඒ පරිනිර්වාණය කරුණු කොටගෙනම රැස්වීම් සාලාවෙහි රැස්ව උන්නාහු වෙති. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ රැස්වීම් සාලාව යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, කුසිනාරා වැසි මල්ලරජදරුවන්ට ‘වාසෙට්ඨ ගොත්‍රයෙහිවූ මල්ල රජදරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. යම් ගමනකට කල් දනුවයි” කීවේය ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මේ වචනය අසා මල්ල රජුන් හා මල්ලරාජ පුත්‍රයෝද මල්ල රජුන්ගේ ලේලියන් හා මල්ල රජුන්ගේ භාර්‍ය්‍යාවෝද හටගත් දුක් ඇතිව දුකෙන් යුක්තව සිතෙහි හටගත් දුකෙන් පීඩිතව ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පෑවෝයයි’ කියා හිස අත්බැඳගෙන හඬත්. හිසකෙස් විසුරුවාගෙන හඬත්, බිම ඇදවැටෙත්, පෙරළෙත්, යම්පමණ රාගයෙන් දුරුවූ අනාගාමි මල්‍ය රජදරුවෝ වූවාහුද, ඔව්හු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය, මෙතැන්හි එය කොයින් ලබමෝදැයි, කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.


බුද්ධසරීරපූජා

115.ඉක්බිත්තෙන් කුසිනාරා වැසි මල්‍ය රජදරුවෝ “කොල එසේවීනම් අපගේ මේ කුසිනාරානුවර ඇති ගඳ මල්ද සියලුම තූර්‍ය්‍ය භාණ්ඩයන්ද රැස්කරවයි” කියා පුරුෂයන්ට ආඥා කළාහුය. එවිට කුසිනාරාවැසි මල්‍ය රජදරුවෝ ගඳ මල්ද සියලුම තූර්‍ය්‍ය භාණ්ඩයන්ද, දෙක බැගින්වූ වස්ත්‍ර පන්සියයක්ද ගෙන මල්‍ය රජදරුවන්ගේ උපවර්තන නම් සල්වනය යම් තැනකද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නෘත්‍යයෙන්ද ගීතයෙන්ද වාදිතයෙන්ද මලින්ද ගඳින්ද සත්කාර ගරුකාර වන්දන මානනාදි වශයෙන් පූජාකෙරෙමින් උඩුවියන් බඳිමින් මණ්ඩප පිළියෙල කරමින් ඒ දවස හෙවත් ඒ පිරිනිවන්පෑ පළමුවෙනි දවස ගතකළාහුය.

එවිට කුසිනාරා මල්ල රජදරුවන්ට මෙසේවූ කල්පනාවෙක් වූයේය. ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කරන්ට කල් මදිය. දැන් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සෙට ආදාහනය කරම්හයි කියා සිතුවාහුය. එවිට කුසිනාරා මල්‍ය රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය නෘත්‍යයෙන්ද ගීතයෙන්ද වාදිතයෙන්ද මලින්ද ගඳින්ද සත්කාර කරමින් ගරු කරමින් බුහුමන් කරමින් පූජා කරමින් දෙවෙනි දවසද ගත කළාහුය. නෘත්‍යයෙන්ද ගීතයෙන්ද වාදිතයෙන්ද මලින්ද ගඳින්ද සත්කාර කරමින් ගරු කරමින් බුහුමන් කරමින් පූජා කරමින් තුන්වෙනි දිනයද ගතකළාහුය නෘත්‍යයෙන්ද ගීතයෙන්ද වාදිතයෙන්ද මලින්ද ගඳින්ද සත්කාර කරමින් ගරු කරමින් බුහුමන් කරමින් පූජාකරමින් සතරවෙනි දිනයද ගතකළාහුය. නෘත්‍යයෙන්ද ගීතයෙන්ද වාදිතයෙන්ද මලින්ද ගඳින්ද සත්කාර කරමින් ගරු කරමින් බුහුමන් කරමින් පූජා කරමින් පස්වෙනි දිනයද ගතකළාහුය. නෘත්‍යයෙන්ද ගීතයෙන්ද වාදිතයෙන්ද මලින්ද ගඳින්ද සත්කාර කරමින් ගරු කරමින් බුහුමන් කරමින් පූජා කරමින් සවෙනි දිනයද ගතකළාහුය.

එවිට සත්වෙනි දවසෙහි කුසිනාරා මල්‍ය රජ දරුවන්ට මෙසේවූ කල්පනාවක් වූයේය. “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය නැටුම්වලින්ද, ගී කීම්වලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර ගරුකාර කරමින් සිතින් බුහුමන් කරමින් පූජාකරමින් නුවරට දකුණු දිගින් දකුණු දිගට ගෙන ගොස් පිටිනගරයෙන්ම පිටිනගරයට පමුණුවා නුවරට දකුණු දිග් භාගයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය ආදාහනය කරම්හයි’ සිතුවාහුය.

116.එසමයෙහි මැදි වයස් ඇති ශක්තිමත් මල්ල රජදරුවන් අටදෙනෙක් සුවඳ පැනින් ඉස් සෝදා නහාගෙන අලුත්වූ වස්ත්‍රයන් ඇඳගෙන ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීදෙහය උසුලම්හයි’ කියා උත්සාහ කොටත් උසුලන්ට නොහැකි වූවාහුය. එවිට කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙසේ සැල කළාහුය. “යම් හෙයකින් මේ ශක්තිමත් මධ්‍යම වයස් ඇති මල්ල රජදරුවෝ අටදෙනෙක් හිස් සෝදා නාගෙන අලුත් වස්ත්‍රයන් අඳනාලදුව අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය උසුලම්හයි කියා උත්සාහකොට උසුලන්ට නොහැකි වන්නාහුද ස්වාමීවූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, ඊට හේතු කවරේද? ඊට කරුණු කවරේද?” “වාසෙට්ඨ නම්වූ එම්බා මල්ල රජදරුවෙනි, තොපගේ අදහස අනිකක් වන්නේය. දෙවියන්ගේ අදහස අනිකෙකැයි” කීහ.

‘ස්වාමීනි, දෙවියන්ගේ අදහස කෙසේදැයි” ඇසූහ. “වාසෙට්ඨ නම්වූ මල්ල රජදරුවෙනි, තොපගේ අදහස නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය නැටුම්වලින්ද ගී කීම්වලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද, සත්කාර ගරුකාර කරමින් සිතින් බුහුමන් කරමින් පූජා කරමින් නුවරට දකුණු දිසාවෙන්ම දකුණු දිශාවට ගෙන ගොස් ඇතුළුනුවරට ඇතුල් නොකොට පිටිනුවරින් පිටි නුවරට පැමිණ නුවරට දකුණු දිග් භාගයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය ආදාහනය කරම්හයි’ කියාය. එම්බා මල්ල රජදරුවෙනි, දෙවියන්ගේ අදහස නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය දිව්‍යමය නැටුම්වලින්ද, ගී කීම්වලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද, සත්කාර කරමින් ගරුකාර කරමින් සිතින් බුහුමන් කරමින් පූජාකරමින් නුවරට උතුරු දිග්භාගයෙන්ම උතුරු දිග් භාගයට වඩා ගෙණ ගොස් උතුරු වහසල් දොරින් නගරය ඇතුළට ඇතුල්කොට නුවර මැදින් නුවර මැදට පමුණුවා නැගෙනහිර වහසල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසවූ මල්ල රජ දරුවන්ගේ මකුටබන්ධන නම්වූ ප්‍රධාන මංගල ශාලාව නම් තැනෙක්හිද මේ ස්ථානයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරම්හයි කියායි. ‘ස්වාමීන්වහන්ස දෙවියන්ගේ අදහස යම් පරිද්දෙකින් වන්නේ වේද එපරිද්දෙන්ම වේවයි’ කියා සැළකළාහුය.

117.එසමයෙහි කුසිනාරා නුවර යම්තාක් ගෘහසන්ධි වැසිකිලි කාණු කුණු කසළ ඇති තැන් වෙත්ද ඒ සැම තැනම දණක් පමණ ඝනකමට මදාරා මලින් අතුරණ ලද්දේ වූයේය. එවිට දෙවියෝද කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය දෙවියන්ට අයිතිවූද, මනුෂ්‍යයන්ට අයිතිවූද, නැටුම්වලින්ද, ගී කීම්වලින්ද, වැයීම්වලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර ගරුකාර කරමින් සිතින් බුහුමන් කරමින් පූජාකරමින් නුවරට උතුරු දිග් භාගයෙන් උතුරු දිසා භාගයට වැඩමවාගෙන ගොස් උතුරු වහසල්දොරින් නුවරට ඇතුල් කරවා නුවර මැදින් නුවර මැදට වැඩමවාගෙන ගොස් නැගෙනහිර වහසල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසෙහිවූ මල්ල රජදරුවන්ගේ මකුටබන්ධන නම්වූ මංගල ශාලාව යම් තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය එතැන්හි තැබුවාහුය.

118.එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්වහන්සේට මෙසේ සැලකළාහුය. “ස්වාමීවූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දෙහයෙහි කෙසේ නම් පිළිපදින්නමෝදැයි” විචාළහ. “මල්ල රජදරුවෙනි, චක්‍රවර්ති මහරජහුගේ ශ්‍රී ශරීරයෙහි යම් ආකාරයකින් පිළිපදින්නාහුද ඒ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහිද පිළිපැද්ද යුත්තේයයි’ කීහ. “ස්වාමීවූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, සක්විති රජහුගේ ශරීරයෙහි කෙසේ පිළිපදින්නාහුදැයි” විචාළහ. “මල්ල රජදරුවෙනි චක්‍රවර්ති රජහුගේ ශරීරය අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය. අලුත්වූ වස්ත්‍රයෙන් වෙලා මනාකොට නගා නෙලනලද කපු පුළුනෙන් වෙළන්නාහුය’ නගා නෙලනලද කපු පුළුනෙන් වෙළා අලුත්වූ කසීවස්ත්‍රයෙන් වෙළන්නාහුය. මෙම ක්‍රමයෙන් පන්සියයක් පමණ කපු පුළුන් වස්ත්‍ර යන දෙකින් සක්විති රජහුගේ ශරීරය වෙළා රනින් කළ තෙල් දෙණක තබා එබඳුමවූ අනික් රන් දෙණකින් වසා සියලු සුවඳ දරින් දරසෑයක් කොට චක්‍රවර්ති රජහුගේ ශරීරය ආදාහනය කරන්නාහුය. සතරමංසන්ධියක චක්‍රවර්ති රජහුගේ චෛත්‍යය කරන්නාහුය. එම්බා මල්ල රජදරුවෙනි, සක්විති රජහුගේ ශරීරයෙහි යම් ආකාරයකින් පිළිපදින්නාහුද, තථාගතයන් වහන්සේගේ ශ්‍රී දෙහයෙහිද එසේම පිළිපැද්ද යුත්තේය. සතර මංසන්ධියක තථාගතයන් වහන්සේගේ චෛත්‍යය කටයුත්තේය. ඒ සර්වඥ චෛත්‍යයෙහි යම් සත්ව කෙනෙක් මල් ගඳ විලවුන් ආදිය පූජා කරන්නාහු වෙද්ද, මනාකොට වඳින්නාහු වෙද්ද, සිත හෝ පහදවන්නාහු වෙද්ද, ඔවුන්ට ඒ කුසල ධර්මය ඉතා බොහෝවූ දීර්ඝ කාලයකට හිත සැප පිණිස වන්නේ යයි” කීහ.

එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ‘කොල, එසේ නම් මල්ල රජදරුවන්ගේ මනාකොට නගා පාදනලද කපු පුළුන් රැස්කරව්යයි’ කියා පුරුෂයන්ට නියම කළහ. එවිට කුසිනාරා වැසි මල්ල රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය අළුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළුවාහුය. අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළා මනාකොට නගා පාදනලද කපු පුළුනෙන් වෙළුවාහුය.

නගා පාදනලද කපු පුළුනෙන් වෙළා අළුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළුවාහුය. මේ ක්‍රමයෙන්ම පන්සියයක් පමණ වස්ත්‍ර, කපු පුළුන් යන දෙකින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය වෙළා රනින් කළ රන්දෙණක තැන්පත්කොට එබඳුවූ අනිකුත් රන්දෙණකින් වසා සියළු සුවඳ දරින් දරසෑයක් කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දෙහය ඒ දරසෑයට නැගුවාහුය.


මහාකස්සපත්ථෙරවත්ථු

119.ඒ කාලයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන්වූ මහත් භික්ෂු සංඝයා හා සමග පාවා නම් නුවර සිට කුසිනාරා නුවර අතර දීර්ඝ මාර්ගයට පැමිණියේ වෙයි. එවිට ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මගින් ඉවත්ව එක්තරා ගසක් මුල වැඩ උන්සේක. ඒ කාලයෙහි එක්තරා ආජිවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවරින් පාවා නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේය. ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්වහන්සේ එන්නාවූ ඒ ආජිවකයා දුරදීම දැක්කේය. දැක, “ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ දන්නෙහිදැයි” කියා ඒ ආජිවකයාගෙන් ඇසුවේය. “එසේය, ඇවැත්නි, දනිමි, ශ්‍රමණ භවත් ගෞතම තෙම පිරිනිවන්පා අදට සත් දවසක් වූයේය. එතනින් මා විසින් මේ මදාරා මල ගන්නා ලද්දේය”යි කීයේය.

එහි රාගය පහනොකළාවූ යම් භික්ෂු කෙනෙක් වූවාහුද ඉන් ඇතැම් කෙනෙක් හිස අත්බැඳගෙන අඬත්, මැඳින් කැඩුනාක් මෙන් ඇදවැටෙත්, පෙරළෙත්, එහා මෙහා පෙරළෙත් ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවි සෙයක සුගතයන්වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවිසෙයක ලොකයෙහි පසැස් ඇති බුදුරජානන් වහන්සේ ඉතා ඉක්මනින් අතුරුදන් වූසෙයක’ කියායි. යම් පමණ ආශාව දුරු කළාවූ අනාගාමි රහත් භික්ෂූහුවූවාහුද, ඒ භික්ෂූහු ‘සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. එය කොයින් ලැබෙන්නේදැයි’ සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

120.ඒ කාලයෙහි සුභද්‍ර නම් බුඞ්ඪ පබ්බජිතයෙක් (මහලුවූ පසු මහණවූවෙක්) ඒ භික්ෂු පිරිසෙහි උන්නේය. සුභද්‍ර නම් බුඞ්ඪ පබ්බජිත තෙම ඒ භික්ෂූන්ට මෙසේ කීය. “ඇවැත්නි, තොප හැඬීමෙන් කම් නැත, සෝක නොකරව්. විලාප නොකියව. ඒ මහාශ්‍රමණයා කෙරෙන් අපි හොඳින් මිදුණෝ වෙමු. තොපට මේ දෙය කැපවන්නේය. මේ දෙය තොපට කැප නොවන්නේයයි අපි පීඩා ලබමින් සිටියෙමු. දැන් අපි යමක් කැමති වෙමුද ඒ දෙය කරම්හ, යමක් නොකැමැති වෙමුද ඒ දෙය නොකරම්හ” යනුවෙනි. එවිට ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “තොප හැඬීමෙන් කම් නැත. තොපි ශෝක නොකරව් විලාප නොකියව්. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සිතට ප්‍රිය සියලු දෙයින් වෙන් වන බව දුරුවන බව අන් බවකට පෙරළෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඇවැත්නි, හටගත්තාවූද පහළවූද ප්‍රත්‍යයෙන් උපදනාවූද විනාශවන ස්වභාවය ඇති සියල්ල ඒකාන්තයෙන්ම විනාශ නොවේවයි යන මේ කාරණයසිදු නොවෙන්නේයයි” කීවේය.

121.එසමයෙහි වනාහි මැද වියෙහිවූ ශක්තිමත් මල්ලරජ දරුවන් සතර දෙනෙක් ඉස් සෝදා නහාගෙන අලුත් වස්ත්‍රයන් හැඳගෙන “අපි භාග්‍යවතුන් වහන්සේගේ මෘතදෙහය තබා කරනලද දරසෑය ගිනි දල්වම්හයි” කියා උත්සාහකොට ගිනි දල්වා ගත නුහුනුවාහුය. එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය “ස්වාමීවූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකින් මේ මැද වියෙහිවූ ශක්තිමත් මල්ල රජදරුවෝ සතර දෙන ඉස් සෝදා නාගෙන අලුත්වූ වස්ත්‍රයන් හැඳගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තබා කරනලද දර සෑය ගිනි දල්වම්හයි කියා උත්සාහ කොට ගිනි දල්වාගත නොහැකි වන්නාහුය. ඊට හේතු කවරේද, ඊට කරුණු කවරේදැයි” කියා විචාළාහුය “එම්බා මල්ල රජ දරුවෙනි, දෙවියන්ගේ අදහස අන් පරිද්දෙකැයි වදාළහ.” “ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස කෙබඳු වන්නේදැයි” විචාළාහුය. “එම්බා මල්ල රජදරුවෙනි, ආයුෂ්මත්වූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා හා සමග පාවා නම් නුවර සිට කුසිනාරා නම් නුවරට යෙමියි සිතා දීර්ඝ මාර්ගයට පිළිපන්නේ වෙයි. ‘ආයුෂ්මත්වූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් යම්තාක් සිරසින් නොවඳින්නාහුද, ඒතාක් කල් භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය ගිනි නොදැල්වේවායි’ කියා දෙවියන්ගේ අදහස වන්නේයයි” කීවෝය. “ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යම්සේද එසේම වේවායි” කීවාහුය.

122.ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ මකුට බන්ධන නම් චෛත්‍ය ස්ථානය යම් තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේගේ දර සෑය යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, සිවුර එකාංශකොට පොරවාගෙන නමස්කාර කොට තුන්වරක් දර සෑය වට ප්‍රදක්ෂිණා කොට ඇවිද සිරි පතුල් පිහිටි පැත්තෙන් (චිතකය) විවෘත කොට ශාස්තෘවූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවල වැන්දහ. ඒ පන්සියයක් පමණවූ භික්ෂු සංඝයාද සිවුරු එකාංශකොට පොරවා ගෙන ඇඳිලි බැඳගෙන තුන් යළක් දර සෑය ප්‍රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් දෙක වැන්දාහුය. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින්ද ඒ පන්සියයක් පමණ භික්ෂු සංඝයා විසින්ද භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් වැන්ද කල්හි භාග්‍යවතුන් වහන්සේගේ දර සෑය තෙමේම හාත්පසින් ගිනිදැල්වී ගියේය.

123.මෙසේ දැවෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියා හෝ මාංසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳ මිදුළුයයි කියා හෝ යම් කොටසක් වූයේ වේද, ඒ කොටස්වල අළුද නොපෙනුණේද දැලිද ඉතිරි නුවූවාහුය. ශාරීරික ධාතූහුම ඉතිරි වූවාහුය. දවනලද ගිතෙල්වල හෝ තලතෙල්වල යම්සේ අළු නොපෙනේද, දැලි නොපෙනේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන්වහන්සේගේ දැවෙන ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියාහෝ මසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳමිදුලුයයි කියාහෝ යම් කොටසක් වූයේද ඒ කොටස්වල අළුද නොපැනෙයි, දැලිද නොපැනෙයි. ශරීරික ධාතු පමණක් ඉතිරි වූවාහුය.

ඒ පන්සියයක්වූ වස්ත්‍ර, පුලුන් යුගලයන්ගෙන් දෙකක් පමණක් දැවුණේය. යම් වස්ත්‍රයක් සියල්ලට යටින්ම වීද, එයත්, යම් වස්ත්‍රයක් සියල්ලටම උඩින් වීද, එයත් දැවුණේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය වූ කල්හි ආකාශයෙන් ජල ධාරාවක් පහළවී භාග්‍යවතුන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවුවාය. පිරිවරා සිටි සල්ගස් වලින්ද, ජලධාරා ගලා අවුත් ස්වාමීදරුවන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවාවුහුය. කුසිනාරාවාසී මල්ල රජදරුවෝද සියලු සුවඳ පැනින් භාග්‍යවතුන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවුවාහුය.

ඉක්බිත්තෙන් කුසිනාරා වැසි මල්ල රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් සන්ථාගාර ශාලාවෙහි තැන්පත් කොට කඩු ගත් අත් ඇති යොධ පුරුෂයන් ලවා හාත්පසින්ම වටකොට ආරක්ෂා පිහිටුවා දුනු කෙළවරින් දුනු කෙළවර පහරමින් සිටියාවූ දුනු ගත් ධනුර්ධරයන්ගේ දුනු පවුරකින් වටකොට සත් දවසක් මුළුල්ලෙහි නැටුම් ගී කීම් වාදනය කිරීම් ආදියෙන්ද මලින් හා සුවඳවලින්ද සත්කාර කළාහුය, ගරු කළාහුය, වන්දනා කළාහුය, පූජා කළාහුය.


සරීරධාතුවිභාජනං

124.විදෙහ පුත්‍රවූ මගධ දෙශාධිපතිවූ අජාසත් නම් රජ භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් නුවර පිරිනිවන්පා වදාළසේකැයි ඇසුයේමය, එවිට මගධරටට අධිපතිවූ විදෙහ පුත්‍රවූ අජාසත් මහරජ තෙම ‘භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය වන සේක මමද ක්ෂත්‍රිය වෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතු කොටසක් ලබන්නට මමද සුදුසු වෙමි. මමද සර්වඥයන්වහන්සේගේ ශ්‍රීශාරීරික ධාතුන්වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කරනු කැමැත්තෙමියි” කියා කුසිනාරා නුවර නිවාසීවූ මල්ල රජ දරුවන්ට දූතයෙකු යැවුයේය.

විසාලා නුවර වැසි ලිච්ඡවී රජදරුවෝද “භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පිරිනිවන් පා වදාළසේකැයි කියා ඇසුවාහුය. එවිට විසාලා නුවර වැසි ලිච්ඡවී රජදරුවෝද “භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය සේක. අපිද ක්ෂත්‍රියයෝ වම්හ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් ලබන්නට අපිද සුදුසු වම්හ. අපිද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තම්හයි” කියා කුසිනාරා වැසි මල්ලරජදරුවන්ට දූතයෙකු යැවූවාහුය. කිඹුල්වත් පුරයෙහි වාසය කරන්නාවූ ශාක්‍ය රජදරුවෝද භාග්‍යවතුන්වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පිරිනිවන්පා වදාළසේකැයි ඇසුවාහුය. එවිට කිඹුල්වත් පුර වාසී ශාක්‍ය රජදරුවෝද “භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශ්‍රෙෂ්ඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරි ධාතු කොටසක් ලබන්නට අපිද සුදුසු වන්නෙමු. අපිද සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කරනු කැමැත්තෙමුයි” කියා කුසිනාරා වැසි මල්ලරජ දරුවන්ට දූතයෙකු යැවුවාහුය.

අල්ලකප්ප නම් නුවර වාසය කරන්නාවූ බුලය නම් ක්ෂත්‍රිය රජහුද භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පිරිනිවන් පා වදාළ සේකැයි ඇසුවාහුමය. එවිට අල්ලකප්ප නම් නුවර වාසය කරන්නාවූ බුලය නම් ක්ෂත්‍රිය රජදරුවෝද ‘භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය සේක. අපිද, ක්ෂත්‍රියයෝ වම්හ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීශාරීරික ධාතු කොටසක් ලබන්නට අපිද සුදුස්සෝ වම්හ. අපිද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන්වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තෙමුයි” කියා කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට දූතයෙකු යැවූවාහුය.

රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජදරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පිරිනිවන් පා වදාළ සේකැයි ඇසුවාහුමය. එවිට රාමග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජදරුවෝද “භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය සේක. අපිද ක්ෂත්‍රියයෝ වම්හ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුකොටසක් ලබන්නට අපිද සුදුසු වම්හ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට අපිද චෛත්‍යයක්කොට පූජාසත්කාර කරනු කැමැත්තෙමුයි” කියා කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට දූතයෙකු යැවූවාහුය.

වෙඨදීප නම් බ්‍රාහ්මණ තෙමේද භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පිරිනිවන් පා වදාළ සේකැයි කියා ඇසුයේමය එවිට වෙඨදීපක නම් බ්‍රාහ්මණතෙම ‘භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රියවූ සේක. මමද බ්‍රාහ්මණ වූයෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීශාරීරික ධාතු කොටසක් ලබන්නට මමද සුදුස්සෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට මමද චෛත්‍යයක් කරවා පූජාසත්කාර කරනු කැමැත්තෙමි” කියා කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට දූතයෙකු යැවූයේය.

පාවා නම් නුවර වාසය කරන්නාවූ මල්ල රජදරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පිරිනිවන්පා වදාළ සේකැයි ඇසුවාහුමය. එවිට පාවා නම් නුවර වැසි මල්ල රජදරුවෝද “භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය වූසේක. අපිද ක්ෂත්‍රියයෝ වම්හ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූ කොටසක් ලබන්නට අපිද සුදුස්සෝ වම්හ අපිද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කරනු කැමැත්තෙමුයි” කියා කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට දූතයෙකු යැවූවාහුය.

මෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ඒ සත් නගරයෙන් පැමිණ සිටි ජනසමූහයාට මෙසේ කීවාහුය. “භාග්‍යවතුන් වහන්සේ අපගේ ග්‍රාම ක්ෂෙත්‍රයෙහි පිරිනිවන්පා වදාළ සේක. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් නොදෙම්හයි” කීවාහුය.

125.මෙසේ කීකල්හි ද්‍රොණනම් බ්‍රාහ්මණතෙම රජදරුවන් සමූහයාට මේ (අදහස් ඇති) ගාථා දෙකකින් මෙසේ කීය.

“පින්වත්වූ රජදරුවෙනි, මා කියන්නාවූ මේ එක් වචනයක් අසත්වා, අපගේ බුදු රජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූසේක. ලොකොත්තම ස්වාමිදරුවන්ගේ ධාතු කොටසක් නිසා ආයුධවලින් පහරදී ගැනීමක් වූයේ නම් ඒ යහපත් නොවේමය.

“සියලු පින්වත්හුම එක්ව සමගිව සතුටුවෙමින් (ධාතුන්) අට කොටසක් කරම්හ. ඒ ඒ දිසාවල චෛත්‍යයෝ පැතිරෙත්වා. පසැස් ඇත්තාවූ බුදු රජාණන් වහන්සේට පැහැදුණ ජනයෝ බොහෝ වන්නාහුය” කියායි.

126.“එසේනම් බ්‍රාහ්මණය, තෙපිම භාග්‍යවතුන්වහන්සේගේ ශාරීරික ධාතූන් මනාකොට සමව අට කොටසක් කොට බෙදවයි” කීවාහුය. “එසේය, පින්වත්නියි” ඒ ද්‍රොණනම් බ්‍රාහ්මණ තෙම ඒ රාජ සමූහයාගේ වචනයට උත්තර දී භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් මනාකොට සමව අට කොටසක් කොට බෙදා ඒ රජදරු සමූහයාට මෙසේ කීය. “පින්වත්නි, මටද මේ ධාතු බෙදන ලද නැලිය දෙත්වා. මමද ධාතු බෙදන ලද නැළිය තබා චෛත්‍යයක් කොට පූජා සත්කාර කෙරෙමියි” කීය. ඒ රජදරුවෝ ද්‍රොණනම් බ්‍රාහ්මණයාහට ධාතු බෙදූ නැලිය දුන්නාහුය.

පිප්ඵලිවනිය නම් මොරිය රජ දරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නුවර පිරිනිවන් පා වදාළ සේකැයි ඇසුවාහුය. එවිට පිප්ඵලිවනිය නම් මොරිය රජ දරුවෝ “භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය වූසේක. අපිද ක්ෂත්‍රියයෝ වම්හ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු භාගයක් ලබන්ට අපිද සුදුස්සෝ වම්හ. අපිද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන්වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තම්හයි” කියා කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට දූතයෙකු යැවූහ. “භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතු බෙදන ලද්දාහුය. මේ ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන යෙත්වයි” කීවාහුය. ඒ මොරිය රජදරුවෝ භාග්‍යවතුන්වහන්සේගේ ආදාහන ස්ථානයෙන් අඟුරු හැරගෙන ගියාහුය.


ධාතුථූපපූජා

127.එවිට වෙදෙහි පුත්‍රවූ මගධ රටට අධිපති අජාසත් මහරජතෙම රජගහනුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කෙළේය. විසාලා මහනුවර වාසීවූ ලිච්ඡවි රජ දරුවෝද විසාලා නම් නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කිඹුල්වත් නම් නුවර වාසීවූ ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. අල්ලකප්ප නම් නුවර වාසීවූ බුලය නම් රජදරුවෝද, අල්ලකප්ප නම් නුවර භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කළාහුය. රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජහුද රාම නම් ගමෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. වෙඨදීප නම් නුවර වාසීවූ බ්‍රාහ්මණ තෙමේද, වෙඨදීපයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළේය. පාවා නම් නුවර වාසීවූ මල්ල රජ දරුවෝද පාවා නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයන් කරවා පූජා සත්කාර කළාහුය. ද්‍රොණ නම් බ්‍රාහ්මණතෙමේද ධාතු මැන බෙදන ලද නැළිය තබා චෛත්‍යයක් කරවා පූජා සත්කාර කෙළේය. පිප්ඵලිවනිය නම් මොරිය රජහුද පිප්ඵලි වන නම් පුරයෙහි අංගාර ථූප නම්වූ දාගැබක් කරවා පූජා සත්කාර කළාහුය. මෙසේ ශාරීරික චෛත්‍යයෝ අටක් වූවෝය. කුම්භථුප චෛත්‍යය නව වැනි වූයේය. අංගාර චෛත්‍යය දසවැනි වූයේය. (මේ ආකාරයෙන් ධාතු බෙදීමත් දස චෛත්‍යයන් කිරීමත් වූයේයයි සංගීති කාරක ස්ථවිරයෝ කීහ)

128.පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු අට ද්‍රොණයක් වූහ. එයින් සත් ද්‍රොණයක් දඹදිව වාසීහු පුදත්. පුරුෂොත්තමවූ බුදුරජාණන් වහන්සේගේ එක් ධාතු ද්‍රොණයක් රාම ග්‍රාමයෙහි නා රජ පුදයි. එක් දන්තධාතූන් වහන්සේ නමක් දෙව් ලොව දෙවියන් විසින් පුදන ලද්දේය එක් දන්ත ධාතූන්වහන්සේ නමක් වනාහි ගන්ධාර දෙශයෙහි පුදන ලද්දේය. එක් දන්ත ධාතූන් වහන්සේ නමක් වනාහි කාලිංග නම් රජහුගේ රාජ්‍යයෙහි (කලිඟු රට දන්ත නම් පුරයෙහි) පුදන ලද්දේය. එක් දන්ත ධාතූන් වහන්සේ නමක් නා ලොව නා රජහු පුදත්. ඒ සතර දළදා වහන්සේගේ තෙජානුභාවයෙන් යාග යයි කියන ලද පූජනීය වස්තු පරිත්‍යාගයෙන් කරනලද පූජා උත්සව මංගලයෙන් මේ මුළු පොලොව අලංකාර වූවාය (සැරසෙන ලද්දි වූවාය) සත්කාර කරනු ලබන්නවුන් විසින් සත්කාර කරන ලද්දාවූ මනාකොට විශෙෂයෙන්ම සත්කාර කරන ලද්දාවූ පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥ ශාරීරික ධාතූන් වහන්සේ මෙපරිද්දෙන්ම දෙවි රජුන්, මිනිස් රජුන් විසින් පුදන ලද්දේය. එසේම මනුෂ්‍ය උත්තමයන් විසින් පුදන ලද්දේය. ඇදිලි බැඳගෙන ඒ සර්වඥ ශාරීරික ධාතූන් වහන්සේලාට නමස්කාර කෙරෙත්වා. සර්වඥ වරොත්තමයාණන් වහන්සේ ඒකාන්තයෙන් කල්ප සියයකිනුදු දුර්ලභ වන්නෝයි.

(දහසය වෙනි) මහා පරිනිර්වාණ සූත්‍රය නිමියේය.

( උපුටා ගැනීම - suttacentral.net )