ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/කූටදන්ත සූත්‍රය

ඛාණුමතකබ්‍රාහ්මණගහපතිකා

1.මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයාවහන්සේ සමග මගධ දෙශයෙහි හැසිරෙන කල ඛාණුමත නම් බමුණු ගමට වැඩියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා නම් උයනෙහි වාසය කරති.

එකල කූටදන්ත නම් බ්‍රාහ්මණයෙක් මගධ දෙශයෙහි රජවූ සේනිය (සේනා ඇති) බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස උතුම්කොට දෙනලද, බොහෝ පිරිවර ජනයාගෙන් හා ඇතුන් අශ්වයන් ආදී සත්ත්ව සමූහයාගෙන් ගැවසුනු, තණ, දර, දිය බොහෝසේ ඇතිවූ ධාන්‍ය සම්පත්තීන් යුත් ඛාණුමත නම් බමුණු ගමෙහි ප්‍රධානියාව වාසය කරයි.

එකල කූටදන්ත බ්‍රාහ්මණයාගේ මහත් යාගයක් ළඟා විය. ගොනුන් සත්සියයක්ද, නහඹු වස්සන් සත්සියයක්ද, නාඹු වැස්සියන් සත්සියයක්ද, තිරළුවන් සත්සියයක්ද, එළුවන් සත්සියයක්ද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙත්.

2.එකල්හි ඛාණුමත ගම්වැසි බමුණු පවුල්හි ප්‍රධානයෝ මෙපවත් ඇසූහ. ‘(ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍යපුත්‍රයෙක, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූවෙක, පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා වහන්සේ සමග මගධරටෙහි හැසිරෙන්නේ ඛාණුමත ගමට පැමිණ එහි අම්බලට්ඨිකා උයනෙහි වාසය කරයි ඒ (ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ හිත් ප්‍රියකරන කීර්ති රාවයක් පැනනැංගේය.

“ඒ භගවත්හු අර්හත්හ. හැමලෙසින් දතයුතුදේ තමන්ම දත්හ; නුවණ අටෙන් හා (පසළොස්) සීල ධර්මයන්ගෙන් යුත්හ; හොබනා ගමන් ඇතියහ, (ති) ලොව මැනවින් දත්හ; සීලාදී ගුණයෙන් ප්‍රධානයහ; පුරුසයන් දැමුමෙහි සමත්හ; දෙවි මිනිසුන්ට අනුශාසකහ; (සිවුසස් දත් හෙයින්) බුද්ධයහ, (සවුකෙලෙස් බුන් හෙයින්) භගවත් නම් වූහ. උන්වහන්සේ දෙවියන්, මරුන්, බඹුන් සහිතවූ මේ ලොකයද, මහණ බමුණන් හා දෙවිමිනිසුන් සහිත ප්‍රජාවද, තෙමේ ඉතා උසස් ඥානයෙන් දැන, හොඳින් දැන දන්වනසේක. මුල මැද අග යන තුන් තැනම යහපත්වූ අර්ථයෙන් සහ නියම වචන ශබ්දකිරීමෙන් යුත් සර්ව සම්පූර්ණ දහමක් දෙසති. පිරිසිදු බ්‍රහ්මචරියාව පවසති. එබඳු රහතුන්ගේ දැකීම යහපත්ය.’

එවිට ඒ ඛාණුමත ගම්වැසි බමුණු පවුල් ප්‍රධානයෝ ඛාණුමත ගමින් නික්ම රංචු රංචුගැසී මහත් සමූහ ඇත්තාහු එක්ව රැස්ව අම්බලට්ඨිකා උයනට පැමිණෙත්.

3.එකල්හි කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ ප්‍රාසාදයෙහි මතු මහල් තලයෙහි දවල් හාන්සිවී විවේක ගැනීමට පැමිණියේය. ඛාණුමත ගම්වැසියන් බමුණු පවුල් ප්‍රධානීන්, ඛාණුමත ගමින් පිටත්ව රන්චුගැසී එකතුවී අම්බලට්ඨිකා උයනට පැමිණෙන්නන් කූටදන්ත බමුණු දුටුවේය. දැක තමන්ගේ දැන ගත යුතු ප්‍රශ්න විසඳන ඇමතියාට කථාකර “ඇමතියෙනි, ඛාණුමත ගම වැසි බමුණු පවුල්වල ප්‍රධානියෝ ඛාණුමත ගමින් පිටත්ව, රංචුගැසී අම්බලට්ඨිකා උයන කරා මක්නිසා පැමිණෙත්දැ”යි ඇසීය.

“පින්වත, මේනම් කරුණක් ඇත්තේය: ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලෙන් නික්ම පැවිදිවූ, මහණ ගෞතම තෙමේ පන්සියයක් පමණ මහා භික්ෂු සංඝයා සමග මගධ රට ගමන් කරන්නේ පිළිවෙලින් ඛාණුමතයට වැඩ අම්බලට්ඨිකා උයනෙහි වාසය කරති. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ; සම්‍යක් සම්බුද්ධයහ; විද්‍යාචරණසම්පන්නයහ; සුගතයහ; ලොකවිදුහ; අනුත්තරයහ; පුරිසදම්මසාරථිහ, දෙවිමිනිසුන්ගේ ගුරුවරයාහ, බුද්ධයහ, භාග්‍යවත්හ’යි ඒ භවත් ගෞතමයන් ගැන මෙබඳු යහපත් ගුණ ඝොෂාවක් උස්ව පැනනැංගේය. ඔවුහු ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙති”යි කීහ.

4.එවිට කූටදන්ත බමුණාට මෙබඳු සිතෙක් විය. ‘මහණ භවත් ගෞතම තෙමේ දහසය ආකාර පිරිවර ඇති ත්‍රිවිධ යාග සම්පත්තිය දන්නේය, යන මේ කාරණය මවිසින් අසන ලද්දේමය. මම දහසය ආකාර පිරිවර ඇති ත්‍රිවිධ යාග සම්පත්තිය නොදනිමි. මම මහායාගයක් කරන්ටද කැමැත්තෙමි. මම මහණ ගෞතමයන් වෙත ගොස් සොළොස් ආකාර පිරිවර ඇති යාග සම්පත්තිය ශ්‍රමණ ගෞතමයන්ගෙන් අසන්නෙම් නම් ඉතා යහපති.

එවිට එසේ සිතා, “එසේනම්, පින්වත් ඇමතියෙනි, ඛාණුමත වැසි බමුණු ගෙවල් ප්‍රධානීන් වෙත යව. ගොස් ඔවුන්ට මෙසේ කියව. ‘කූටදන්තතෙම තොපට මෙසේ කියයි. කූටදන්ත බමුණු තෙමේද, ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය. පින්වත්හුද ඒ තාක් නවතිත්වා” ඇමති තෙමේ, “පින්වත, එසේ යහපතැ”යි කූටදන්ත බමුණුහට උත්තරදී, ඛාණුමතයෙහි බමුණු පවුල්වල ප්‍රධානීන් වෙත පැමිණියේය. එහි පැමිණ මෙසේ කීය: “කූටදන්ත බමුණුද ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය. එතෙක් පින්වත්හු නවතිත්වා.”


කූටදන්තගුණකථා

5.එකල බොහෝ සියගණන් බමුණෝ ‘කූටදන්ත බමුණුගේ මහායාගය පිළිගනිමු’යි ඛාණුමතයට පැමිණ වාසය කරති. කූටදන්ත බමුණුතෙම පින්වත් මහණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය.” යනු ඒ බමුණෝ ඇසූහ. අසා ඔව්හු කූටදන්ත වෙත පැමිණියෝය.

පැමිණ, “පින්වත් කූටදන්ත තෙම මහණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය යනු සත්‍යයක දැ”යි ඇසුවෝය.

“පින්වත්නි, එසේ කිරීම මා අදහසය, මහණ ගෞතමයන් දැකීමට මමද පැමිණෙන්නෙමි.’

6.පින්වත් කූටදන්තයෝ මහණ ගෞතමයන් දැකීමට නොපැමිණෙත්වා! පින්වත් කූටදන්ත තෙමේ මහණ ගෞතමයන් දැකීම පිණිස පැමිණීම නුසුදුසුය. ඉඳින් පින්වත් කූටදන්ත තෙමේ මහණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේ නම්, පින්වත් කූටදන්තගේ කීර්තිය පිරිහෙන්නේය, මහණ ගෞතමයන්ගේ කීර්තිය වැඩිවන්නේය. යම් හෙයකින් පින්වත් කූටදන්තගේ කීර්තිය පිරිහෙන්නේද, මහණ ගෞතමයන්ගේ කීර්තිය වැඩිවන්නේද, මේ කාරණයෙන්ද පින්වත් කූටදන්ත තෙමේ මහණ ගෞතමයන් දැකීමට පැමිණීම නුසුදුසුය, මහණ ගෞතම තෙමේ පින්වත් කූටදන්ත දැකීමට පැමිණීම සුදුසුය, පින්වත් කූටදන්තයෝ මවු පස, පිය පස, යන දෙපසින් යහපත්ව උපන්නහ. පිරිසිදු මව්කුසින් උපන්හ. සත්වන පරම්පරාව දක්වා අවමන් නොකරණ ලදහ. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලදහ. මේ කරුණෙන් පින්වත් කූටදන්තයන් මහණ ගෞතමයන් දැකුමට පැමිණීම නුසුදුසුය, මහණ ගෞතමයෝම පින්වත් කූටදන්තයන් දැකීමට එනු සුදුසුය.

“භවත් කූටදන්ත තෙමේ අධිපතිය, ධනවත්ය, කෑම් බීම් ආදියට ගන්නා බොහෝ දේ ඇත්තේය. පින්වත් කූටදන්ත තෙමේ වේද කටපාඩමෙන් කියන්නේය, වේද මන්ත්‍ර දන්නේය, වචන අර්ථ ශාස්ත්‍රය හා කාව්‍ය අලංකාර ශාස්ත්‍රයද සහිත අකුරු, ශබ්දධාතු විස්තරය, නීති, ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවේදයෙහි අවසානයට පැමිණියේය. භාෂාව දන්නේ, වියරණ කටපාඩමෙන් කියන්නේය. ලෝකය පිළිබඳ කරුණු දක්වන ශාස්ත්‍රය හා මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ දැනුම ඇත්තේය. පින්වත් කූටදන්ත තෙමේ දැකීමට ප්‍රිය මනා රූප ඇත්තේය, පහදවන ගති හා යහපත් පාටද ශරීර ලකුණුද ඇත්තේය. ඉතා උසස්වූ බ්‍රාහ්මයාගේ පාට වැනි රන්වන් පාටින් හා බඹහුගේ ශරීරය වැනි ශරීරයකින් යුතුය. ශරීරයෙහි දැකුමට සුළු වරදක් ද නැත.

“පින්වත් කූටදන්ත තෙම වඩන ලද සිල් ඇති සම්පූර්ණ සීලයෙන් යුත්, සිල්වතෙක. පින්වත් කූටදන්ත තෙමේ යහපත් වචන ඇති, ප්‍රිය උපදවන වචන ඇති, නාගරික ස්ත්‍රීන්ගේ සිලිටු වචන මෙන් මනහරවූ, මිහිරිවූ සිහිකටයුතුවූ, නිදොස්වූ, මුල මැද අග පැහැදිළිව කී, අදහස් ප්‍රකාශයෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක.

“පින්වත් කූටදන්තයෝ බොහෝ දෙනාගේ ගුරුවරයාද ගුරුවරයින්ගේ ගුරුවරයාද වූහ. තුන්සියයක් තරුණයින්ට වෙදමන්ත්‍රය කියවති. පින්වත් කූටදන්තයන් වෙත වේද මන්ත්‍ර ඉගෙන ගැනීමට කැමති බොහෝ තරුණයෝ නොයෙක් රටින් හා නොයෙක් ජනපදයෙන් පැමිණෙති.

“පින්වත් කූටදන්ත තෙමේ පැරණි කුලයෙන් පැවතෙන, ශීලාචාරාදියෙන් වැඩුණු බොහෝකල් ඉක්මවූ දෙතුන් රජ පරම්පරාවක් ඉක්ම ගිය පැසුනු වයසට පැමිණියෙක.

ඔහු මහත් සම්පත්තියෙන් යුක්තය. සමාදන්වූ සීල කඩනොකිරීමෙන් මාර්ගයට පැමිණියේය. අන්තිම වයසට පැමිණියේය.

“මහණ ගෞතම තෙමේ තරුණවූයේ, තරුණ පැවිද්දෙක්ද වේ.

“පින්වත් කූටදන්තයෝ මගධ රට රජවූ සෙනිය බිම්බිසාර මහරාජයන් විසිනුත් සත්කාර කරණ ලදහ. ගරු කරණ ලදහ, බුහුමන් කරණ ලදහ. උසස්සේ සලකණ ලදහ. නැමදුම් පෙරටුව පුදන ලදහ. පින්වත් කූටදන්තයෝ පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් සත්කාර කරණ ලදහ. ගරු කරණ ලදහ, බුහුමන් කරණ ලදහ, පුදන ලදහ, නැමදුම් කරණ ලදහ. පින්වත් කූටදන්තයෝ මගධරට සෙනිය බිම්බිසාර රජ විසින් උසස් තෑග්ගක් ලෙස, රාජ තෑග්ගක් වශයෙන් පමුණුකොට දෙනලද, බොහෝ පිරිවර ජනයාගෙන් හා ඇතුන් අශ්වයන් ආදී සත්වසමූහයාගෙන් ගැවසුනු, තණ දර දිය අඩුනැති, ධාන්‍ය සම්පත්තියෙන් යුත්, ඛාණුමත නම් ගමෙහි අධිපතිව වාසය කරති.

“මෙකී කරුණු නිසාද පින්වත් කූටදන්තයෝ මහණ ගෞතමයන් දැකුම් පිණිස පැමිණීමට නුසුදුස්සෝය. මහණ ගෞතමයෝම කූටදන්තයන් දැකීමට එනු සුදුසුය.”


බුද්ධගුණකථා

7.(ඒ බමුණන්) මෙසේ කී කල, කූටදන්ත බමුණුතෙම ඔවුන්ට මෙසේ කීය. ‘පින්වත්නි, යම්සේ භවත් ගෞතමයන් දකිනු පිණිස පැමිණෙන්නට අපිම සුදුස්සෝ වෙමුද, ඒ පින්වත් ගෞතමයන් වහන්සේ අප දකිනු පිණිස පැමිණෙන්ට නුසුදුසු වේද, ඒ පිළිබඳවූ මාගේ මේ කථාවද අසව්.

“පින්වත් මහණ ගෞතම තෙමේ මවු පාර්ශ්වයෙන්, පිය පාර්ශවයෙන් යන දෙපාර්ශවයෙන් මැනවින් උපන්නේය; පිරිසිදු මවුකුසින් උපන්නේය; සත්වැනි පරම්පරාව දක්වා අවනම්බුවෙන් තොරවන ලද්දේය, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. පින්වත්නි, යම්හෙයින් මහණ ගෞතමයෝ මවුපිය දෙපාර්ශවයෙන් යහපත් සේ උපන්නෝද, පිරිසිදු මවුකුසින් පහළවූවෝද, සත්වැනි පරම්පරාව දක්වා අවනම්බු වෙන් තොරවන ලද්දෝය, ජාති වාදයෙන් නින්දා නොකරණ ලද්දේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකුමට පැමිණෙන්නට සුදුස්සෝ වෙමු.

“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත්වූ නෑදෑ සමූහයා හැර මහණ වූවෙක. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයෝ භූමිගතවූද, බොහෝ රන්රුවන් හැර මහණ වූවෙක. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ තරුණ වූයේම, හොඳ තරුණ භාවයෙන් හා පළමුවන වයසින් යුතුවූයේම, හොඳ කලු කෙස් ඇත්තේ, ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වූයේය.

“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නොකැමැති මවුපියන් කඳුලු පිරි මුහුනින් යුතුව හඬද්දී කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ, ගිහිගෙන් පිටත්ව සස්නෙහි මහණවූ කෙනෙක. දැකුමට ප්‍රිය මනා රූප ඇතිවූ, පහදවන ගති ඇතිව යහපත් පාට සහ ශරීර ලක්ෂණ සහිත ඉතා උසස්වූ රන්වන් පාටින් හා බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුක්තයහ, ශරීරයෙහි දැකුමට සුලු වරදක්ද නැත.

“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ උතුම් නිදොස් සිල් ඇති සම්පූර්ණ ශීලයෙන් යුත්, සිල්වත් කෙනෙක. පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ යහපත් වචන ඇති, මිහිරි වචන ඇති, යහපත්, නිදොස්වූ, පැහැදිළිව අර්ථ ප්‍රකාශ කිරීමෙහි සමත් මිහිරි වචන ඇත්තෝය.

“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ බොහෝ දෙනාගේ ගුරුවරයෙක්ද ගුරුවරයින්ගේ ගුරුවරයෙක්ද වෙති. පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ පහකළ කාමරාග ඇත්තෝ අලංකාර කිරීම් නැත්තෝද වෙති. පින්වත්, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ‘කර්ම විපාක ඇත, කුසල් දහම් කිරීම යහපත යන කථා ඇත්තෙක. පවුකම් පෙරටුකොට හැසුරුම් නැත්තෙක.

“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මිශ්‍රනුවූ, ක්ෂත්‍රීය නම් උසස්කුලයෙන් ගොස් මහණවූ කෙනෙක. පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මහත් ධන, මහා භොග ඇති, උසස් කුලයෙන් නික්ම මහණවූ කෙනෙක, ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් යම් මේ දේ අසා දැනගන්නට අන් රටවලින්ද ජනපදවලින්ද ජනයෝ එති. බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ ගෞතමයන් ජීවිතය ඇතිතෙක් සරණකොට ගියහ.

“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු මහත්වූ කීර්ති ශබ්දයක් විශෙෂයෙන් උස්ව පැනනැංගේය, කෙබඳුද යත්, උන්වහන්සේ සංසාරචක්‍රයෙහි බැමි සින්දහ. අර්හත්හ, හැමලෙසින් දතයුතුදේ තමන්ම දත්හ, නුවණ අටෙන් හා සීලධර්ම පහලොවින් යුත්හ; හරිමාර්ගයේ ගියහ. ලෝකය හොදාකාර දත්හ; සිල් ආදී ගුණෙන් ප්‍රධානය; මිනිසුන් දමනය කිරීමෙහි සමත්හ; දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්ය; සියල්ල දත්හ; කෙලෙස් නැතිකළහ’යි කියායි.

“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින් යුත්ය. ශ්‍රමණ ගෞතමයෝ යම් කෙනෙක් තමන්වහන්සේගේ සමීපයට පැමිණියේ නම් ඔවුන්ට ආසිරිවාද වචන හා කණට මිහිරි මොළොක් වචන ඇත්තාහ. සතුටුවන කථා ඇත්තෙක. මුහුන පහත් කොට ගෙන සිටින්නෙක් නොවේය. පළමුකොට කරණ කථා ඇත්තෙක. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ (භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන) සිවුපිරිස විසින් සත්කාර ගරු බුහුමන් පුද පූජා පවත්වන ලද්දෙක. ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි බොහෝ දෙවි මිනිස්සු විශෙෂයෙන් පැහැදුනහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ගමක හෝ නියම්ගමක වාසය කරයිද, ඒ ගමෙහි හෝ නියම්ගමෙහි අමනුෂ්‍යයෝ හිංසා පීඩා කිරීමෙන් මිනිසුන් නොවෙහෙසත්.

“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන් මහත් මහණ සමූහයා ඇත්තෙක, සමූහයකට ගුරුවරවූයේ ගුරුවරයින් අතුරෙන් ඉතා උසස්යයි කියනු ලැබේ. පින්වත්නි, ඇතැම් මහණ බමුණන්ගේ කීර්තිය කිසියම් සුළු කරුණකින් උසස් බවට පැමිණෙන්නේද, එබඳු කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය නම් වැඩීමට නොපැමිණියේය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ කීර්තිය වැඩීමෙන් උසස් බවට පැමිණියේ ශ්‍රෙෂ්ඨවූ නුවණ හා සීල සම්පත්තිය නිසාය.

“අඹුදරුවන් හා ඇමතියන් හා බොහෝ සේනා සහිතවූ මගධරට රජවූ බිම්බිසාර රජතෙමේ භවත් ගෞතමයන් වහන්සේ දිවිකෙළවර තෙක්ම සරණ ගියේය. එලෙසින්ම අඹුදරුවන් හා පිරිස් හා ඇමතියන් සහිත පසේනදී කොසොල් රජුද පොක්ඛරසාතී බමුණු තෙමේද, අඹු දරුවන් හා පිරිස් සහිතව ඇමතියන් සහිතව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ජීවිතාන්තය තෙක්ම සරණ ගියේය.

“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බිම්බිසාර රජු විසිනුදු, කොසොල් රජු විසිනුදු, පොක්ඛරසාතී බමුණා විසිනුදු සත්කාර ගරු බුහුමන් පුද සැලකිලි දක්වන ලද්දෝය.

“ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඛාණුමත ගමට පැමිණ ඛාණුමතයෙහි අම්බලට්ඨිකා උයනෙහි වාසය කරති. යම්කිසි මහණ බමුණු කෙනෙක් අපගේ ගමට එත්නම් ඔවුහු අපේ ආගන්තුකයෝ වෙති. ආගන්තුකයෝ අප විසින් සත්කාර ගරු බුහුමන් පුදසැලකිලි දැක්විය යුත්තෝ වෙත්.

“ඛාණුමතයට පැමිණ අම්බලට්ඨිකා උයනෙහි වාසය කරණ ශ්‍රමණ භවත් ගෞතමයෝද අපට ආගන්තුක වෙති. ආගන්තුකව පැමිණි තැනැත්තේ අප විසින් සත්කාර ගරු බුහුමන් පුද සැලකිලි පැවැත්විය යුත්තේ වේ. මේ කරුණෙන්ද ඒ භවත් ගෞතමයන් වහන්සේ අප දැකුමට එන්නට නුදුසුස්සෝය, එසේවූ කල අපිම අපිම උන්වහන්සේ ළඟට පැමිණිය යුත්තෝ වෙමු.

“පින්වත්නි, ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ගුණ මෙපමණක්ම දනිමි. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙපමණ ගුණ ඇත්තෙක් නොවේ, ශ්‍රමණ භවත් ගෞතමයෝ අප්‍රමාණ ගුණ ඇති කෙනෙක.”

8.මෙසේ කී කල්හි ඒ බමුණෝ කූටදන්ත බමුණාට මෙසේ කීවෝය. “යම්සේ පින්වත් කූටදන්ත තෙමේ මහණ ගෞතමයන්ගේ ගුණ වර්ණනා කරයි. ඒ පින්වත් ගෞතමයන් වහන්සේ මින් සියක් යොදුනකින් ඈත වාසය කළ නමුත් යහපත් උතුම්ගති ඇති කෙනෙක් විසින් උන්වහන්සේ දැකීම පිණිස ගමනට වුවමනා දේ ගෙනද පැමිණෙන්නට සුදුසුය. පින්වත්නි, එහෙයින් අපි සියල්ලෝම භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙමුය.”


මහාවිජිතරාජයඤ්ඤකථා

9.එවිට කූටදන්ත බමුණු තෙමේ මහත් වූ බමුණු සමූහයා සමග අම්බලඨිකා උයනෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වාසය කෙරෙත් නම් ඒ ස්ථානය කරා ගියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා අවසන්කොට එකපැත්තකින් හුන්නේය. ඛාණුමත බමුණු පවුල්හි ප්‍රධානියෝද භගවත්හට වැඳ එක පැත්තකටවී හුන්හ, ඇතැම් කෙනෙක් උන්වහන්සේ සමග සතුටු වූහු, සතුටු වියයුතු, සිහිකටයුතු කථා අවසන්කොට පැත්තකින් හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට නමස්කාර කර පැත්තකින් හුන්හ. ඇතැම් කෙනෙක් නාමය හා ගොත්‍රය ප්‍රකාශකොට පැත්තකින් හුන්හ. ඇතමෙක් නිශ්ශබ්ද වූවාහු එකපැත්තකටවී හුන්හ.

10.එකපැත්තකට වී හුන් කූටදන්ත බ්‍රාහ්මණයා භගවත්හට මෙසේ කීවේය: “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දහසය ආකාර පිරිවර ඇති ත්‍රිවිධ යාග සම්පත්තිය දන්නා බව මා විසින් අසන ලදී. මම වනාහි දහසය ආකාර පිරිවර ඇති ත්‍රිවිධ යාග සම්පත නොදනිමි, මමද මහායාගයක් කරනු කැමැත්තෙමි භවත් ගෞතමයන් වහන්සේ දහසය ආකාර පිරිවර සහිත ත්‍රිවිධ යාගසම්පත්තිය කියාදෙන්නේ නම් යහපති.”

“එසේනම් බ්‍රාහ්ණය, හොඳින් අසව, කල්පනා කරව, කියාදෙන්නෙමි” කූටදන්ත බ්‍රාහ්මණ තෙමේද “එසේය, පින්වතුන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දිනි. භගවත්හු මෙසේ කීවාහ.

11.බ්‍රාහ්ණය, අතීතයෙහි තමාට අයිති ධනයෙන් උසස්වූ කාම සැප වශයෙන් උතුම් වස්තු සම්පත් ඇති බොහෝ රන් රුවන් හා සිත් සතුටුකරණ අලංකාරවත් බොහෝ උපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය හා නිධාන කොට තැබූ ධනයෙන් හා ධාන්‍යයෙන් පිරුණු භාණ්ඩාගාර හා කොෂ්ටාගාර ඇති මහාවිජිත නම්වූ රජෙක් විය. බ්‍රාහ්මණය, ඉක්බිති රහසිගතව විවේකයට පැමිණි මහා විජිත රජහට මෙබඳු කල්පනාවක් පහළවිය: ‘මා විසින් මහත්වූ වස්තු සම්පත්තීහු ලබන ලද්දාහුය, මම සියලු පොළෝ මණ්ඩලය හැම ආකාරයෙන්ම ජයගෙන ප්‍රධානව වාසය කරමි. යමක් මට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතී නම් එබඳු මහා යාගයක් කළොත් මැනව. (කියායි)

“බ්‍රාහ්මණය, එවිට රජ මෙසේ සිතා පුරෝහිත බමුණාට කථාකොට මෙලෙසින් කීය: ‘බ්‍රාහ්මණය රහසිගතව විවේකීවූ, මට මෙබඳු අදහසක් පහළවිය: එනම් මා විසින් මහත්වූ වස්තු සම්පත්තීහු ලබන ලද්දාහුය. මම සියලු පොළෝ මණ්ඩලය හැම ආකාරයෙන් ජයගෙණ ප්‍රධානියාව වසමි. යම් යාගයක් මට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතින්නේ නම් එබඳු මහා යාගයක් කළොත් ඉතා යහපතියි, කියායි. බ්‍රාහ්මණය, මම මහා යාගයක් කරන්නට කැමැත්තෙමි. යමක් මට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතින්නේ නම් (එබඳු මහා යාගයක් කිරීමට) පින්වත් තෙමේ මට අවවාද කෙරේවා.”

12.“බ්‍රාහ්මණය, මෙසේ කීකල්හි පුරෝහිත බමුණු තෙම මහවිජිත රජුට මෙසේ කීයේය: ‘පින්වත් රජුගේ ජනපදය සොරකම් වැනි කටු සහිතය. බොහෝ සෙයින් (වැසියාට) පීඩා සහිතය. ගම් කොල්ලකෑම් දකින්නට ලැබේ. නුවර වැනසුම්ද දකින්නට ලැබේ. මංකොල්ලකෑමද දකින්නට ලැබේ. ඉතින් පින්වත් රජ තෙමේ මෙබඳු (සොර) කටු සහිතවූ (සතුරු) පීඩා සහිතවූ ජනපදයෙහි අයබදු අයකරන්නේ නම් ඒ නිසා පින්වත් රජතෙමේ නොකටයුත්තක් කරන්නෙක් වන්නේය. ඇතැම්විට මෙබඳු අදහසක් පින්වත් රජහට ඇතිවිය හැකියි: ‘මම මේ සොර උවදුර වධ කිරීමෙන් හෝ රටින් බැහැර කිරීමෙන් හෝ වනසා ලන්නෙමි.’ මේ සොර උවදුර පිළිබඳ වැනසීම මෙලෙසින් හොඳාකාර සිදු නොවේමය. යමෙක් ඒ නැසීමෙන් ඉතිරි වන්නෝද පසුව ඔවුහු රජුගේ ජනපදයන් පෙළන්නාහුය. එසේ වූවත් මේ කියනු ලබන කටයුතු මාර්ගයෙන් නම් සොර උවදුර සම්පූර්ණයෙන් නැති කළ හැකිවේ. එසේ (කිරීමට) නම් පින්වත් රජහුගේ ජනපදයෙහි යමෙක් සීසෑමෙහි හා ගවයින් රැකීමෙහි උත්සාහවත් වෙත් නම් ඔවුන්ට පින්වත් රජතෙම ධාන්‍යද, බත්ද, බීජ ආදියද දානය කෙරේවා. පින්වත් රජහුගේ ජනපදයෙහි යමෙක් වෙළඳාම් පිණිස උත්සාහ කෙරෙත් නම් ඔවුන්ට පින්වත් රජ තෙම අඩුව ඇති මුල් බඩු දානය කෙරේවා. පින්වත් රජහුගේ ජන පදයෙහි යම් කෙනෙක් රාජකාර්යයෙහි උත්සාහ කෙරෙත්ද පින්වත් රජතෙමේ ඔවුන්ට බත් වැටුප් දානය කෙරේවා ඒ මනුෂ්‍යයෝද තම තමන්ගේ කටයුතුවල යෙදුනාහු, රජහුගේ ජනපදය නොවෙහෙසන්නාහ, රජරට බොහෝ ධන ධාන්‍යද රැස් වන්නේ වේ. සොර නැමැති කටු නැති, පීඩා නැති, ජනපදයෝ උවදුරු රහිතව සිටියාහු වෙති. මිනිස්සුද ඔවුනොවුන් කෙරෙහි සතුටු සිත් ඇත්තාහු වෙති. මිනිස්සුද ඔවුනොවුන් කෙරෙහි සතුටු සිත් ඇත්තාහු, නොවසන ලද ගේ දොර ඇත්තන් මෙන්, ළයෙහි දරුවන් නටමින් වාසය කරත්.”

13.“එසේය, පින්වත් බ්‍රාහ්මණය”යි පුරෝහිත බමුණුහට මහාවිජිත රජතෙමේ උත්තරදී, රජුගේ ජනපදයෙහි සීසෑමෙහි හා ගවයින් රැකීමෙහි යමෙක් යෙදුනාහුනම් ඔවුන්ට මහාවිජිත රජතෙම බීජ ආදිය දෙවීය; රජුගේ ජනපදයෙහි යමෙක් වෙළඳාමෙහි යෙදුනාහු නම් ඔවුන්ට මහා විජිත රජතෙම අඩුපාඩු මූල බඩු දෙවීය; රජුගේ ජනපදයෙහි යමෙක් රාජකාර්යයෙහි යෙදුනාහු නම් මහාවිජිත රජතෙම ඔවුන්ට බත් වැටුපද දෙවීය. ඒ මිනිස්සුද තමා අයත් කටයුතුවල යෙදුනාහු රජුගේ රට නොපෙලුහ. රජහට බොහෝ ආදායම්ද විය. සොර නැමති කටුනැති, පීඩානැති ජනපදයෝ සමාදානයෙහි පිහිටියහ. මිනිස්සුද හැරදමන ලද දොරවල් ඇත්තවුන් මෙන්, සතුටු නිදහස් සිත් ඇත්තාහු, ඔවුනොවුන් කෙරෙහි සතුටු වන්නාහු, ළයෙහි දරුවන් නටවමින් වාසයකරත්.

14.“බ්‍රාහ්මණය, ඉක්බිති මහාවිජිත රජතමෙ පුරෝහිත බමුණා කැඳවා මෙසේ කීය: පින්වත, මා විසින් පින්වතාගේ කටයුතු යොදා කරවීම අනුව සොර උවදුරු සම්පූර්ණයෙන් නැතිකරණ ලදී. මාගේ ආදායමද බොහෝය. සොරු නැමැති කටු නැති, පීඩානැති ජනපදයෝ බිය රහිතය. මිනිස්සුද නිදහස් සිත් ඇතිව ඔවුනොවුන් කෙරෙහි සතුටු වන්නාහු නොවසනලද ගෙදොර ඇත්තවුන් මෙන් ළයෙහි දරුවන් නටවමින් වාසය කරත්. බ්‍රාහ්මණය, මම දැන් මහායාගය කරන්නට කැමති වෙමි. යම්බඳුවූවක් මට බොහෝ කල් හිත සැප පිණිස පවතී නම්, පින්වත් තෙමේ එසේ මට අනුශාසනා කෙරේවා.”


චතුපරික්ඛාරං

‘එසේ නම් පින්වත් රජුගේ ජනපදයෙහි යටත්වූ ක්ෂත්‍රියෝද, නියම්ගම් වැස්සෝද, දනව් වැස්සෝද, වෙත්නම්, පින්වත් රජතෙමේ ඔවුන්ට දැනුම්දීම කෙරේවා. පින්වත්නි, මම මහායාගයක් කරණු කැමැත්තෙමි. යමක් මට බොහෝ කල් හිත සැප පිණිස පවතීනම් ඒ පිළිබඳව මට දැනුම්දීම කෙරෙත්වා. පින්වත් රජහුගේ ජනපදයෙහි ඇමතියෝද, සෙසු පිරිසද, නියම්ගම් වැස්සෝද දනවු වැස්සෝද, වෙත්නම් මෙසේ දැනුම්දීම කෙරේවා! ‘පින්වත්නි, මම මහා යාගයක් කරණු කැමැත්තෙමි. යමක් මට බොහෝ කල් හිත සැප පිණිස පවතී නම් මට දැනුම්දීම කෙරෙත්වා. බමුණු මහසල් කුලයෝද, නියම් ගම් වැස්සෝද දනවු වැස්සෝද වෙත් නම්, පින්වත් රජතෙමේ ඔවුන්ට මෙසේ දැනුම්දීම කෙරේවා! ‘පින්වත්නි, මම මහා යාගයක් කරුණු කැමැත්තෙමි. යමක් මට බොහෝ කල් හිත සැප පිණිස පවතී නම් ඒ පිළිබඳව මට දැනුම්දීම කෙරෙත්වා, වස්තු රැස්කරණ පවුල් ප්‍රධානීහුද නියම්ගම් වැස්සෝද දනවු වැස්සෝද වෙත් නම් පින්වත් රජතෙම ඔවුන්ට මෙසේ දැනුම්දීම කෙරෙත්වා. ‘මම මහායාගයක් කරණු කැමැත්තෙමි. යමක් මට බොහෝ කල් හිත සැප පිණිස පවතී නම් ඒ මට දැනුම්දීම කෙරෙත්වා!’

“බ්‍රාහ්මණය, ‘එසේය, මහාපින්වතැ’යි මහාවිජිත රජ පුරොහිත බමුණාට උත්තරදී රජුගේ ජනපදයෙහි යම් යටත්වූ ක්ෂත්‍රියයෝද, නියම්ගම් වැස්සෝද, දනව් වැස්සෝද, වෙත්නම්, මහාවිජත රජු ඔවුන්ට මෙසේ දැන්විය. ‘පින්වත්නි, මම මහායාගයක් කරණු කැමැත්තෙමි. යමක් බොහෝකල් මගේ හිතසැප පිණිස වේනම් පින්වත්හු එය දැනුම් දෙත්වා (කියායි)

‘පින්වත් රජතෙමේ යාග කෙරේවා. මහරජ, (මේ) යාගයට කාලය’යි.

රජුගේ ජනපදයෙහි යම් ඇමතියෝද, සෙසු පිරිස්ද, නියම්ගම් වැස්සෝද, ජනපද වැස්සෝද, වෙත්නම්, මහවිජිත රජු ඔවුන්ට මෙසේ දැන්වීය. ‘පින්වත්නි, මම මහායාගයක් කරණු කැමැත්තෙමි. යමක් බොහෝකල් මගේ හිත සැප පිණිස වේනම් පින්වත්හු එය දන්වත්වා.’ ‘පින්වත් රජ තෙම යාග කෙරේවා. මහරජ මේ යාගයට කාලයයි.’ බමුණු මහසල් කුලයෝද, නියම්ගම් වැස්සෝද, දනවු වැස්සෝද වස්තු රැස්කරණ පවුල් ප්‍රධානියෝද, නියම්ගම් වැස්සෝද, ජනපද වැස්සෝද, වෙත්නම් මහාවිජිත රජ ඔවුන්ට මෙසේ දැන්වීය. ‘පින්වත්නි, මම මහායාගයක් කරණු කැමැත්තෙමි, යමක් මට බොහෝකල් හිත සැප පිණිස වේනම් පින්වත්හු ඒ දැනුම් දෙත්වා.

‘පින්වත් රජ තෙමේ යාග කෙරේවා. මහරජ, මේ යාගයට කාලය’යි

“මෙසේ මේ කැමැත්ත දැනුම්දුන් කොටස් සතර ඒ යාගයට පිරිවර වෙත්.


අට්ඨ පරික්ඛාරා

15.“මහාවිජිත රජතෙමේ කරුණු අටකින් යුක්තවේ. ඔහු මවුපිය දෙපක්ෂයෙන් යහපත්ව උපන්නේය. පිරිසිදු මවු කුස ඇත්තේය. සත්වන පරම්පරාව දක්වා අවනම්බුවක් නොලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. දැකීමට ප්‍රිය යහපත් රූපයක් ඇත්තේය, හිත් ප්‍රියකරණ පාට ඇත්තේය. උතුම් රන්වන් පාටින් හා බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුතුය. ඔහුගේ සිරුරෙහි දැකුමට සුළු වරදකුදු නැති ඔහු මහත් ධන හා වස්තු ඇත්තේය. බොහෝ රන්රිදී හා සිත් සතුටු කරණ උපකරණද ධන ධාන්‍යද ඇත්තේය, සම්පූර්ණවූ ධන නිධාන හා කොටුගුල් ඇත්තේය, ඔහු බලවත් හතර ආකාර යුද්ධ සේනාවෙන් යුක්තය, ඒ සෙනඟද යටහත්ය, අවවාදයට අනුව ක්‍රියා කරන්නේ, කීර්තියෙන් හතුරන් මර්දනය කරන්නාක් වැනිවේ. ඔහු මහණ බමුණන්ටද, දුගියන්ට මගියන්ට හිඟනුන්ට හා යාචකයන්ටද මහත් පොකුණක් වූයේ, නොවසනලද දොර ඇත්තේ, දාන පතිව ශ්‍රද්ධාවත්ව දෙන්නේ, පින්කරයි. ඔහු නොයෙක් ශාස්ත්‍රයන් සම්බන්ධව බොහෝ දේ අසා දැනගත්තෙක. ඔහු ‘මේ දෙසූ ධර්මය පිළිබඳ අර්ථය මෙසේය, මේ දෙසූ ධර්මය පිළිබඳ අර්ථය මෙසේය’යි ඒ ඒ ධර්මයන් පිළිබඳ අර්ථ දනී. ඔහු අතීත අනාගත වර්තමාන යන කාල තුනෙහි පවත්නා අර්ථයන් සිතන්ට සමත්වූ උගත් ඥානවන්ත, පණ්ඩිතයෙක, මහා විජිත රජතෙමේ මේ කරුණු අටින් යුක්තය. මෙසේ මේ කරුණු අට ද ඒ යාගයටම පිරිවර වෙත්.


චතුපරික්ඛාරං

16.“පුරෝහිත බමුණු තෙමේද අංගසතරකින් යුක්ත වේ. ඔහු මව්පිය දෙපක්ෂයෙන් යහපත්ව උපන්නේ, පිරිසිදු මවුකුස ඇත්තේ, සත්වන පරම්පරාව දක්වා අවනම්බුවක් නොලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. ඔහු වේදමන්ත්‍ර කටපාඩමේ කියන්නේය, වේදමන්ත්‍ර දරන්නේය. වචන අර්ථ ශාස්ත්‍රය, කාව්‍යඅලංකාර ශාස්ත්‍රය හා ශික්ෂා නිරුක්ති ශාස්ත්‍රය සහිත ඉතිහාසය පස් වැනි කොට ඇති තුන් වේදයෙහි පරතෙරට පැමිණියේ වේ. ඔහු සිල්වත්වූයේ, වඩන ලද සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්තවේ. ඔහු නුවණැති පණ්ඩිතවූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවෙනියෙක් වේ. පුරොහිත බමුණු තෙමේ මේ අංග සතරෙන් යුක්තවේ. මෙසේ මේ අංග සතරද ඒ යාගයට සම්බන්ධවූ පිරිවර වෙත්.


තිස්සො විධා

17.“බ්‍රාහ්මණය, ඉක්බිති පුරොහිත බමුණු තෙමේ මහා විජිත රජහට යාගයට පළමුව යාග විධි තුන දැක්වීය, ‘මහා යාගයක් කරනු කැමති පින්වත් රජහට ‘ඒකාන්තයෙන් මාගේ මහත් වස්තු රාශිය විනාශවන්නේය’යි කිසියම් පසුතැවීමක් වන්නේද, පින්වත් රජ විසින් ඒ පසුතැවීම නොකටයුතුයි, මහායාගය කරන කල්හි පින්වත් රජුහට ‘ඒකාන්තයෙන් මාගේ මහත් වස්තු රාශිය විනාශ වන්නේය’යි කිසියම් පසුතැවීමක් වන්නේද, පින්වත් රජු විසින් ඒ පසුතැවීම නොකට යුතුයි. මහායාගය කළ පසු පින්වත් රජහට එකාන්තයෙන් මාගේ මහත් වස්තු රාශිය විනාශ වූයේය’යි කිසියම් පසුතැවීමක් වන්නේද, පින්වත් රජහු විසින් ඒ පසුතැවීම නොකොට යුතුයි, බ්‍රාහ්මණය, පුරොහිත බමුණු තෙමේ මහාවිජිත රජහට යාගයෙන් පළමුකොට මේ යාග විධි තුන දැන්විය.


දස ආකාරා

18.“බ්‍රාහ්මණය, ඉක්බිති පුරොහිත බමුණු තෙමේ මහා විජිත රජුහුගේ යාගයට පළමුවම යාගය පිළිගන්නවුන් කෙරෙහි ඇති විය හැකි පසුතැවිල්ල දස ආකාරයකින් දුරු කෙළේය. ‘පින්වත්හුගේ යාගයට ප්‍රාණඝාත කරන්නෝද ඉන් වැළැක්කාහුද පැමිණෙන්නාහ. එහි යම් කෙනෙක් ප්‍රාණඝාත කරන්නාහු නම් ඔවුන්ට එහි විපාක ඇතිවන්නේය. එහි යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කෝද ඔවුන් උදෙසා පින්වත්තෙමේ යාග කෙරේවා. පින්වත් තෙමේ ඇල්ම කෙරේවා, පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් තෙමේ සිත තුළ පැහැදීම කෙරේවා. තමන්ට හිමිනැති වස්තු ගන්නාහුද, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කෝද පැමිණෙන්නාහ. එහි යම් කෙනෙක් තමන්ට හිමි නැති වස්තු ගැනීම කරන්නාහු නම් ඔවුන්ට එහි විපාක ඇති වන්නේය. එහි යම කෙනෙක් තමන්ට හිමි නැති වස්තුව ගැනීමෙන් සම්පූණයෙන් වැළැක්කෝද ඔවුන් උදෙසා පින්වත් තෙමේ යාග කෙරේවා, පින්වත් තෙමේ සිත තුළ පැහැදීම කෙරේවා, කාමයෙහි වරදවා හැසිරෙන්නෝද ඉන් සම්පූර්ණයෙන් වැළැක්කෝද බොරු කියන්නෝද ඉන් සම්පූර්ණයෙන් වැළැක්කෝද, කේළාම් කියන්නෝද ඉන් සම්පූර්ණයෙන් වැළැක්කෝද රළු වචන කියන්නෝද ඉන් සම්පූර්ණයෙන් වැළැක්කෝද, හිස්වචන කියන්නෝද ඉන් සම්පූර්ණයෙන් වැළැක්කෝද, විෂම ලොභ ඇත්තෝද විෂම ලොභ නැත්තෝද, ක්‍රොධාදි වශයෙන් යහපත් ගති විනාශයට පැමිණි සිත් ඇත්තෝද, එසේ විනාශයට පැමිණි සිත් නැත්තෝද, වැරදි දැකීම් ඇත්තෝද, හරිදැකීම් ඇත්තෝද එන්නාහ. එයින් යම් කෙනෙක් මිථ්‍යාදෘෂ්ටික නම් (අදින්නාදානාදී පවුකම් කරන්නෝනම්) ඔවුන්ටම ඉන් විපාක ඇතිවන්නේය. යම් කෙනෙක් සම්‍යක් දෘෂ්ටික නම්, පවින් සම්පූර්ණයෙන් වැළැක්කෝ වෙත් නම් ඔවුන් උදෙසා පින්වත් තෙමේ යාග කෙරේවා. පින්වත් තෙමේ සිත තුළ පැහැදීම කෙරේවා’ (කියායි) බ්‍රාහ්මණ පුරොහිත බමුණු තෙමේ මේ කරුණු දශයෙන් මහාවිජිත රජහුගේ යාගයට පළමුවම ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ඇතිවිය හැකි පසුතැවීම දුරු කෙළේය.


සොළස ආකාරා

19.“බ්‍රාහ්මණය, ඉක්බිති ඒ පුරෝහිත බ්‍රාහ්මණ තෙමේ යාගයෙහි යෙදුනාහු මහාවිජිත රජහුගේ සිත දහසය ආකාරයකින් සතුටු කෙළේය, උත්සාහවත් කෙළේය, ප්‍රබොධ කරවිය, පැහැදවිය. ‘මහා යාගයක් කරන්නාවූ පින්වත් රජහට මෙසේ කියන්නෙක්ද ඇතිවිය හැකිය. (එනම්) මහා විජිත රජ යාගයක් කෙරේ, එහෙත් යටහත් ක්ෂත්‍රියයෝදත නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝද, නොකැඳවන ලද්දහුය. එහෙත් පින්වත් රජතෙම මෙබඳුවූ මහා යාගයක් කෙරේ කියායි. පින්වත් රජුට මෙබන්දක් කියන්නා කරුණු සහිතව කියන්නෙක් නොවේ: පින්වත් රජහු විසින් යටහත් ක්ෂත්‍රියයෝද, නියම්ගම්වැසියෝද, දනවුවැසියෝද කැඳවනලද්දාහුමය.

“මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙමේ මෙසේ දැනගනීවා පින්වත් රජතෙමේ යාග කෙරේවා, පින්වත් තෙම (යාගයෙහි) ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා’ පින්වත් රජ තෙමේ සිත තුළ පැහැදීම ඇතිකෙරේවා, (කියායි)

‘මහායාගයක් කරන්නාවූ පින්වත් රජහට මෙසේ කියන්නෙක්ද ඇතිවිය හැකිය. ‘මහා විජිත රජ මහා යාගයක් කරයි. එහෙත් ඔහු විසින් ඇමතියෝද, සෙසු පිරිස්ද, නියම් ගම් වැස්සෝද, ජනපද වැස්සෝද නොකැඳවන ලද්දාහුය. එසේවී නමුත් පින්වත් රජු මෙබඳු මහායාගයක් කෙරේ’ කියායි පින්වත් රජුට මෙබන්දක් කියන්නා කරුණු සහිතව කියන්නෙක් නොවේ පින්වත් රජහු විසින් ඇමතියෝද සෙසු පිරිස්ද නියම්ගම් වැසියෝද ජනපද වැසියෝද කැඳවන ලද්දාහුමය.’

“මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙමේ මෙසේ දැන ගනීවා. ‘පින්වත් රජතෙමේ යාග කෙරේවා, පින්වත් රජතෙම (යාගයෙහි) ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් රජතෙමේ සිත තුළ පැහැදීම ඇතිකෙරේවා’ (කියායි)

20.“මහායාගයක් කරන්නාවූ පින්වත් රජුට මෙසේ කියන්නෙක්ද ඇතිවිය හැකිය. ‘මහාවිජිත රජ මහා යාගයක් කරයි. ඒ නමුත් ඔහු විසින් බමුණු මහාසාර කුලයෝද, නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝද නොකැඳවන ලද්දාහුය. එසේවී නමුත් පින්වත් රජු මෙබඳු මහායාගයක් කෙරේය’ කියායි. පින්වත් රජු මෙබන්දක් කියන්නා කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජහු විසින් බමුණු මහසල් කුලයෝද නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝද කැඳවන ලද්දාහුමය.

“මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙම් මෙසේ දැනගනීවා. පින්වත් රජතෙමේ යාග කෙරේවා. පින්වත් තෙම (යාගයෙහි) ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් රජ තෙමේ සිතතුළ පැහැදීම ඇතිකෙරේවා’ (කියායි)

‘මහා යාගයක් කරන්නාවූ පින්වත් රජුට මෙසේ කියන්නෙක්ද ඇතිවිය හැකිය. ‘මහාවිජිත රජ මහායාගයක් කරයි. එසේවීනමුත් ඔහු විසින් වස්තු රැස්කරණ පවුල් ප්‍රධානියෝද, නියම් ගම් වැසියෝද ජනපද වැසියෝද නොකැඳවන ලද්දාහුය. එසේවී නමුත් පින්වත් රජු මෙබඳු මහායාගයක් කෙරේ’ කියායි. පින්වත් රජුට මෙබන්දක් කියන්නා කරුණු සහිතව කියන්නෙක් නොවේ, පින්වත් රජු විසින් රැස්කරණ පවුල්, ප්‍රධානියෝද, නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝද කැඳවන ලද්දාහුමය.

“මේ කාරණය පිළිබඳව පින්වත් රජතෙමේ මෙසේ දැනගනීවා. පින්වත් රජතෙමේ යාග කෙරේවා, පින්වත් රජතෙම (යාගයෙහි) ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් තෙමේ සිතතුළ පැහැදීම ඇතිකෙරේවා’ (කියායි)

21.“මහායාග කරන්නාවූ පින්වත් රජහට මෙසේ කියන්නෙක්ද ඇතිවිය හැකිය. ‘මහාවිජිත රජතෙමේ මහා යාගයක් කරයි. එහෙත් හෙතෙම මවුපිය, දෙපක්ෂයෙන් යහපත් සේ නූපන්නේය. පිරිසිදු මවුකුසින් නූපන්නේය. සත්වැනි පරම්පරාව දක්වා අවනම්බු නොලබන ලද්දේ නොවේ. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ නොවේ. එසේවූ නමුත් පින්වත් රජ මෙබඳු මාහායාගයක් කෙරේ’ පින්වත් රජුට මෙසේ කියන්නාද කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජතෙමේ මවුපිය දෙපක්ෂයෙන් යහපත් සේ උපන්නේය, පිරිසිදු මවුකුසින් උපන්නේය, සත්වැනි පරම්පරාව දක්වා අවනම්බු නොලබන ලද්දේය, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. මේ කරුණ ගැනද පින්වත් රජ මෙසේ දනීවා, පින්වත් තෙමේ යාග කෙරේවා, පින්වත් තෙම (යාගයෙහි) ඇලේවා, පින්වත් තෙමේ සතුටුවේවා, පින්වත් තෙමේ සිත්තුළ පැහැදේවා.

22.“මහායාගයක් කරන්නාවූ පින්වත් රජුට යමෙක් මෙසේද කියන්නේය. ‘මහා විජිත රජ මහා යාගයක් කෙරේ. එසේවූ නමුත් ඔහු උත්තම රුව නැත්තෙකි. දැකුම් කටයුත්තේ නොවේ, හිත් සතුටු කරන්නෙක්ද නොවේ, උත්තම පාටෙන් යුක්තද නොවේ, උත්තම රන්වන් පාට නැත්තේය. බඹහුගේ ශරීරය වැනි ශරීරයක් නැත්තෙකි, (ඔහුගේ ශරීරයෙහි) දැකුම් කටයුතු දේද බොහෝ නොවේ’ එසේවූ නමුත් පින්වත් රජ මෙබඳු මහායාගයක් කෙරේ’ පින්වත් රජුට මෙසේ කියන්නාද කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජ උත්තම රුව ඇත්තෙකි, දැකුම් කටයුත්තේය, හිත් සතුටු කරන්නෙකි, උත්තම පාටෙන් යුක්තයි, උත්තම රන්වන් පාට ඇත්තෙකි, බඹහුගේ ශරීරය මෙන් ශරීරයක් ඇත්තෙකි ඔහුගේ ශරීරයෙහි දැකුම් කටයුතු දේ බොහෝ වේ.

‘මේ කරුණු ගැනද පින්වත් රජ මෙසේ දැනගනීවා, පින්වත් තෙමේ යාග කෙරේවා, පින්වත් තෙමේ යාගයෙහි ඇලේවා. පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් තෙමේ සිත් තුළ පැහැදේවා.

මහායාගයක් කරන්නාවූ පින්වත් රජුට යමෙක් මෙසේද කියන්නේය, මහාවිජිත රජ මහායාගයක් කෙරේ. එසේවූ නමුත් ඔහු ධනයෙන් උසස් නොවේ. මහත් ධන නැත්තේය. මහත් වස්තු සම්පත් නැත්තේය. බොහෝ මිල මුදල් නැත්තේය, බොහෝ කෑම් බීම් ආදියට ගන්නා දේ සහ ඇඳ පුටු ආදී සම්පත් නැත්තේය, බොහෝ ධන ධාන්‍ය නැත්තේය, පිරුණු ධන නිධාන හා කොටුගුළු නැත්තේය. එසේවූ නමුත් පින්වත් රජ මෙබඳු මහායාගයක් කෙරේ.’ පින්වත් රජුට මෙසේ කියන්නාද කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජ ධනයෙන් උසස් වේ, මහත් ධන ඇත්තෙකි, මහත් වස්තු සම්පත් ඇත්තෙකි, බොහෝ මිල මුදල් ඇත්තෙකි, බොහෝ කෑම බීම්වලට ගන්නා දේ සහ ඇඳ පුටු ආදී සම්පත් ඇත්තෙකි. බොහෝ ධන ධාන්‍ය ඇත්තෙකි; පිරුණු ධන නිධාන හා කොටුගුළු ඇත්තෙකි.

‘මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙමේ මෙසේ දැන ගනීවා. පින්වත් තෙමේ යාග කෙරේවා. පින්වත් තෙමේ යාගයෙහි ඇලේවා: පින්වත් තෙමේ සිත තුළ පැහැදීම ඇති කෙරේවා.’

මහායාගයක් කරන්නාවූ පින්වත් රජුට යමෙක් මෙසේද කියන්නේය. ‘මහාවිජිත රජ මහා යාගයක් කෙරේ. එසේවූ නමුත් ඔහුට අවනතවූ, තමන්ගේ අවවාදය අනුව ක්‍රියාකරන්නාවූ පිරිසක් නැත. කීර්තියෙන් හතුරන් මර්දනය කරන්නවුන් වැනිවූ, බලවත්වූ, හතර ආකාර සේනාවෙන් යුක්තවූ රජෙක් නොවේ. එසේවීනමුත් පින්වත් රජ මහා යාගයක් කෙරේ’ කියායි. පින්වත් රජුට මෙබන්දක් කියන්නා කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජුට අවනතවූ, තමන්ගේ අවවාද අනුව ක්‍රියාකරන්නාවූ පිරිස් ඇත්තේය. කීර්තියෙන් හතුරන් මර්දනය කරන්නවුන් වැනි වූ, බලවත් හතර ආකාර සේනාවෙන් යුක්තවූ රජෙක් වේ.

“මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙමේ මෙසේ දැනගනීවා, පින්වත් තෙමේ යාගකෙරේවා, පින්වත් තෙමේ යාගයෙහි ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් තෙමේ සිත තුළ පැහැදීම ඇති කෙරේවා.”

“මහායාගයක් කරන්නාවූ පින්වත් රජුට යමෙක් මෙසේද කියන්නේය. ‘මහාවිජිත රජ මහායාගයක් කෙරේ. එසේවූ නමුත් ඔහු ශ්‍රද්ධාසම්පන්න නිතර දන් දෙන දානපතියෙක් නොවේ. මහණ බමුණු, දුගී, මගී යාචකාදීන්ට නොවසනලද දොර ඇතිව ඔවුන්ට මහත් පොකුණක් වැනිව පින් නොකෙරෙයි. එසේවූ නමුත් පින්වත් රජ මහා යාගයක් කෙරේ’ කියායි. පින්වත් රජුට මෙබන්දක් කියන්නා කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජ ශ්‍රද්ධාසම්පන්න නිතර දන්දෙන දානපතියෙක් වේ. මහණ, බමුණු, දුගී, මගී, යාචක ආදීන්ට නොවසනලද දොර ඇතිව ඔවුන්ට මහත් පොකුණක් වැනිව පින් කෙරෙයි.’

“මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙමේ මෙසේ දැනගනීවා, පින්වත් තෙමේ යාග කෙරේවා, පින්වත් තෙමේ යාගයෙහි ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් තෙමේ සිත තුළ පැහැදීම ඇතිකෙරේවා.”

“මහායාගයක් කරන්නාවූ පින්වත් රජුට යමෙක් මෙසේද කියන්නේය. ‘මහාවිජිත රජ මහා යාගයක් කෙරේ. එසේවූ නමුත් ඔහු ඒ ශාස්ත්‍රයන් පිළිබඳව; මේ වනාහි මේ දෙසූ ධර්මය සම්බන්ධ අර්ථය, මේ වනාහි මේ දෙසූ ධර්මය සම්බන්ධ අර්ථය’යි ඒ ඒ දෙසූ ධර්මයෙහි අර්ථ දන්නා බොහෝ දැනීමක් ඇත්තෙක්ද නොවේ. එසේවූ නමුත් පින්වත් රජ මහා යාගයක් කෙරේ’ කියායි. පින්වත් රජුට මෙබන්දක් කියන්නා කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජ ඒ ශාස්ත්‍රයන් පිළිබඳව, ‘මේ වනාහි මේ දෙසූ ධර්මය සම්බන්ධ අර්ථය, මේ වනාහි මේ දෙසූ ධර්මය සම්බන්ධ අර්ථය’යි ඒ ඒ දෙසූ ධර්මයෙහි අර්ථ දන්නා බොහෝ දැනීමක් ඇත්තෙක්ද වේ.

“මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙමේ මෙසේ දැනගනීවා, පින්වත් තෙමේ යාග කෙරේවා, පින්වත් තෙමේ යාගයෙහි ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් තෙමේ සිත තුළ පැහැදීම ඇතිකෙරේවා.”

“මහායාගයක් කරන්නාවූ පින්වත් රජුට යමෙක් මෙසේද කියන්නේය. ඔහු අතීතානාගත වර්තමාන යන කාලත්‍රය පිළිබඳ අර්ථයන් සිතන්නට සමර්ථවූ පණ්ඩිතවූ, සමත්වූ ඥානවන්තයෙක්ද නොවේ. එහෙත් පින්වත් රජතෙමේ මෙබඳු මහත් යාගයක් කෙරෙයි,’

“පින්වත් රජුට මෙසේ කියන්නාද කරුණුසහිතව කියන්නෙක් නොවේ. ‘පින්වත් රජතෙම මේ කාරණය පිළිබඳවද මෙසේ දැනගනීවා. පින්වත් රජ තෙමේ අතීතානාගත වර්තමාන යන කාල තුන පිළිබඳ අර්ථයන් සිතන්නට හැකිවූ, සමත්වූ ඥානවන්තයෙකි. මේ කරුණ ගැනද පින්වත් රජතෙම මෙසේ සලකාවා. පින්වත් තෙමේ යාග කෙරේවා. පින්වත් තෙම යාගයෙහි ඇල්වා; පින්වත් තෙමේ සතුටු වේවා, පින්වත් තෙමේ සිත්තුළ පැහැදේවා.’

“මහා යාගයක් කරන්නාවූ පින්වත් රජුට යමෙක් මෙසේද කියන්නේය: ‘මහාවිජිත රජ යාගයක් කෙරේ. එහෙත් ඔහුගේ පුරොහිත බමුණා මවුපිය දෙපක්ෂයෙන් යහපත්සේ නූපන්නෙක, පිරිසිදු මවුගැබ නැත්තෙක, සත්වන පරම්පරාව දක්වා අවනම්බුවක් නොලද්දේ නොවේ. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ නොවේ. එසේ නමුත් පින්වත් රජ මෙවැනි මහා යාගයක් කෙරේ. පින්වත් රජුට මෙසේ කියන්නාද කරුණු සහිතව කියන්නෙක් නොවේ. පින්වත් රජුගේ පුරොහිත බමුණා මව්පිය දෙපක්ෂයෙන් යහපත්ව උපන්නෙක, පිරිසිදු මව්ගැබ ඇත්තෙක. සත්වන පරම්පරාව දක්වා අවනම්බුවක් නොලද්දෙක. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දෙක. මේ කරුණු ගැනද පින්වත් රජ තෙම මෙසේ සලකාවා. පින්වත් තෙම යාග කෙරේවා පින්වත් තෙම සතුටු වේවා, පින්වත් තෙම ඇතුලතවූ සිත පහදාවා.’

“මහා යාගයක් කරන්නාවූ රජුට කිසිවෙක් මෙසේද කියන්නේය. ‘මහාවිජිත රජ මහා යාගයක් කෙරේ. එහෙත් ඔහුගේ පුරොහිත බමුණු වේද මන්ත්‍ර කටපාඩමෙන් කියන්නාවූ වේද මන්ත්‍ර දරන්නාවූ කෙනෙක් නොවේ. ඔහු ශාස්ත්‍රය හා කාව්‍යඅලංකාර ශාස්ත්‍රයද සහිතවූ, ශික්ෂානිරුක්ති සහිතවූ, ඉතිහාසය පස්වෙනිකොට ඇති වෙදතුන පිළිබඳ පරතෙරට පැමිණියෙක් නොවේ. භාෂාව දන්නෙක්ද, ව්‍යාකරණ දන්නෙක්ද තර්ක ශාස්ත්‍රය හා මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ දැනගැනීම් ඇත්තෙක්ද නොවේ. ඔහුගේ පුරොහිත බමුණු වඩනලද සිල් ඇති, සම්පූර්ණ කළ සිල් ඇති සිල්වතෙක්ද නොවේ. ඔහුගේ පුරොහිත බමුණු සමත්වූ, ඥානවත්වූ, යාගහෝමාදිය කරන්නවුන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවැනියෙක්වන පණ්ඩිතයෙක්ද නොවේ. එසේ නමුත් පින්වත් රජතෙම මෙබඳු මහා යාගයක් කෙරේ.’ (කියායි)

“පින්වත් රජුට මෙසේ කියන්නාද කරුණු සහිතව කියන්නෙක් නොවේ. ‘පින්වත් රජුගේ පුරොහිත බමුණු වනාහි පණ්ඩිතය, සමත්වූ ඥානවන්තය, යාගහෝමාදිය කරන්නවුන්ගෙන් පළමුවැනියෙක, නොහොත් දෙවැනියෙක මේ කරුණු ගැනද පින්වත් රජ මෙසේ සලකාවා, (මෙසේ සලකා) පින්වත් තෙම යාගකෙරේවා, පින්වත් තෙම යාගයෙහි යෙදේවා. පින්වත් තෙම සතුටු වේවා, පින්වත් තෙම ඇතුලතවූ සිත පහදාවා.’

“බ්‍රාහ්මණය, පුරොහිත බමුණු තෙමේ මහායාග කරන්නාවූ මහා විජිත රජුගේ සිත මේ කරුණු දහසයකින්ද උත්සාහවත් කළේය, පැහැදවිය, ප්‍රබොධ කළේය, ප්‍රීතිමත් කෙළේය.

‘බ්‍රාහ්මණය, ඒ යාගයෙහි ගවයන් නොමැරූහ; එලුවන් තිරලුවන් නොමැරූහ; කුකුලන්, ඌරන් නොමැරූහ; නොයෙක් ආකාර පණඇති සතුන් මරුමුවට නොපැමිණියහ. කණු පිණිස ගස් නොකැපූහ. කුසතණ නොකැපූහ. ඒ රජුගේ දාසයෝ හෝ වැඩකරන මෙහෙකරුවෝ හෝ කම්කරුවෝ හෝ දඬු ලන්ස ආදිය ගෙණ තර්ජනය නොකරණ ලද්දාහු, බය ගන්වනු නොලද්දාහු කඳුලු පිරි මුහුණින් නොහඬන්නාහු, යාගයෙහි කටයුතු කළාහුය. ඔවුන් අතුරෙන් වැඩකරණු කැමැත්තෝ වැඩ කළහ, නොකරුණු කැමැත්තෝ වැඩ නොකළහ. යමක් කරණු කැමැති අයනම් ඒ කළහ, යමක් නොකැමති අයනම් ඒ නොකළහ. ගිතෙල්, තලතෙල්, වෙඬරු දී, මී පැණි යන මෙයින්ද ඒ යාගය අවසානයට පැමිණියේය.

“බ්‍රාහ්මණය, එවිට ඊට අනුව යෙදුනාවූ යටත් ක්ෂත්‍රියයෝද, නියම්ගම්වැසියෝද ජනපදවැසියෝද, ඇමතියෝද, අවශෙෂ පිරිස්ද, නියම්ගම්වැසියෝද, ජනපදවැසියෝද, බමුණු මහසල් කුලයෝද, නියම්ගම්වැසියෝද, ජනපද වැසියෝද, වස්තු රැස්කරණ පවුල් ප්‍රධානියෝද, නියම්ගම් වැසියෝද ජනපද වැසියෝද, බොහෝවූ ධනය රැගෙණ මහා විජිත, රජහුවෙතට පැමිණ මෙස් කීහ. ‘දෙවයන් වහන්ස, මේ (ධනය දෙවයන් වහන්සේ උදෙසාම ගෙණ එන ලද්දේය දෙවයන් වහන්සේ ඒ (ධනය) පිළිගන්නා සේක්වා.’

“පින්වත්නි, මට මෙයින් කම්නැත. මාගේ බොහෝවූ ධනය ධාර්මිකවූ අයබදු ගැණීමෙන් යහපත්ලෙස රැස්කරණ ලද්දේය. ඒ ධනයද තොපටම වේවා, මේ ධනයෙන්ද වැඩියක් හැරගණිව්.

“රජ විසින් නොපිළිගත් ධනය ඇති ඒ ක්ෂත්‍රියාදීහු ඉවත්ව ගොස් එක්තැනකට රැස්ව මෙසේ මන්ත්‍රණය කළහුය: මේ ධනය නැවත තමන්ගේ ගෙදරට ගෙණ යමු නම් ඒ අපට මදිකමකි. මහාවිජිත රජ තෙමේ මහා යාගයක් කෙරේ. අපිදු ඒ රජුට අනුව යාග කරමු’ (යි කියායි.)

“බ්‍රාහ්මණය, එවිට (රජහුගේ) දානශාලාවට නැගෙනහිර දිසාවෙන් පැමුණුනාවූ ක්ෂත්‍රියයෝද, නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝද, දානයන් පිහිටුවූහ. යාගාවාටයට දකුණින් ඇමතියෝද, සෙසු පිරිස්ද, නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝද දානයන් පිහිටුවූහ. දානශාලාවට බස්නාහිර දිගින් බමුණු මහසල්කුලයෝද, නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝ ද දානයන් පිහිටුවූහ. බ්‍රාහ්මණය, ඒ යාගයන්හිද ගවයන් නොමැරූහ; කුකුළන්, ඌරන්, නොමැරූහ. නොයෙක් පණඇති සතුන් විනාශයට නොපැමිණියහ. යාග කණු පිණිස ගස්නොකපන ලදහ. ඔවුන්ගේ දාසයෝද, මෙහෙකරුවෝද, කම්කරුවෝද තරවටු කිරීම් ආදියෙන් කඳුළු මුසු මුහුණු නැතිව නොහඬා, (සතුටින්) වැඩ කළහ; නොකරනු කැමැත්තෝ නොකළහ. යමක් කැමති නම් ඒ කළහ, ගිතෙල්, තලතෙල්, වෙඬරු, මී, පැණි යන මෙයින් ඒ යාගයෝ අවසානයට ගියහ.

‘බ්‍රාහ්මණය, මෙසේ අංග සතරකින් යුත් සහභාගිවූ පිරිසද අංග අටකින් යුත් මහා විජිත රජතෙමේද, අංග සතර පිරිවර හා තුන් තැනකින් යුත් පුරොහිත බමුණු තෙමේද යන දහසය වර්ගයේ සිත පැහැදවීම නම් වූ යාග සම්පත්තියද දත යුතුයි”

මෙසේ කී කල්හි ඒ බමුණෝ ‘යාගය යහපති, යාග සම්පත්තිය යහපතැයි මහත් ශබ්ද පැවැත්වූහ, උසස් කොට හඬ නැගූහ, මහත්සේ නාද කළහ. කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ නිශ්ශබ්දවම හුන්නේ වේ. එවිට ඒ බ්‍රාහ්මණයෝ “කිම පින්වත කූටදන්ත තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ යහපත් කථාව යහපත් කථාවක් සේ පිළිගෙණ වැඩියක් සතුටු නොවේදැ’යි කූටදන්තගෙන් ඇසූහ.

“පින්වත්නි, මම ශ්‍රමණ ගෞතමයන්ගේ සුභාෂිතය සුභාෂිතයක්සේ පිළිගෙණ වැඩියක් සතුටුවෙමි. යමෙක් ඒ යහපත් කථාව යහපත් සේ පිළිගෙණ වැඩියක් සතුටු නොවන්නේ නම් ඔහුගේ හිසද පැළෙන්නේය. යලි මට මෙබඳු අදහසක් වේ, ශ්‍රමණ ගෞතම තෙමේ ‘මා විසින් මෙසේ අසන ලදැයි කියා හෝ ‘මෙසේ වන්නට සුදුසුය’යි කියා හෝ කිසිත් නොකියයි එහෙත් උන්වහන්සේ ‘එකල්හි මෙසේ වීය; මෙබඳු ලෙසින් වීය’යි දක්වනසේක. ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතම තෙම එකල යාග ස්වාමීවූ මහා විජිත රජ හෝ යාග කරවන්නාවූ පුරොහිත බමුණා හෝ වූයේය’ යනු මා අදහසයයි. කිම, භවත් ගෞතමන් වහන්සේ මෙබඳු යාගයක් කොට හෝ යාගයක් කරවා මරණින් මතු ස්වර්ගලොකයෙහි උපන්නේයයි පිළිගන්නාසේක්ද?”

“එසේය, බ්‍රාහ්මණය, මම මෙබඳු යාගයක් කොටද, කරවාද මරණින් මතු ස්වර්ගයෙහි උපන්නෙමියි පිළිගතිමි. මම ඒ කාලයෙහි ඒ යාගය කරවූ පුරොහිත බමුණු වූයෙමි.”


නිච්චදානඅනුකුලයඤ්ඤං

“භවත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර හා තුන් ආකාර යාග සම්පත්තියට වඩා ස්වල්ප කටයුතු ඇති ස්වල්ප පීඩා ඇති එහෙත් එයට වඩා අතිශයින් මහත් ඵල ඇති, මහත් අනුසස් ඇති, අනික් යාගයක් ඇද්ද?”

“බමුණ, මේ දහසය පිරිවර හා තුන් ආකාර යාග සම්පත්තියට වඩා ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප පීඩා ඇති එහෙත් ඊට වඩා මහත්ඵල ඇති, මහත් අනුසස් ඇති අනික් යාගයක් ඇත්තේය.”

“භවත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර හා තුන් ආකාර යාග සම්පත්තියට වඩා ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප පීඩා ඇති, එහෙත් ඊට වඩා මහත් ඵල ඇති, මහත් අනුසස් ඇති ඒ යාගය කුමක්ද?

“බ්‍රාහ්මණය, යාගවූ නිරන්තරයෙන් දියයුතු ඒ දානය සිල්වත් පැවිද්දන් උදෙසා දෙත් නම්, බ්‍රාහ්මණය, එය මේ සොළොස් පිරිවර හා ත්‍රිවිධ යාග සම්පත් ඇති දානයට වඩා ස්වල්ප කටයුතු ඇත්තේ, ස්වල්ප පීඩා ඇත්තේ මහත් ඵලදායී මහත් අනුසස් ඇත්තේද වේ.”

“භවත් ගෞතමයන් වහන්ස යම්හෙයකින් යාගවූ නිරන්තරයෙන් දියයුතු ඒ දානය දහසය පිරිවර ඇති මේ තුන් ආකාර යාග සම්පත්තියට වඩා අතිශයින් ස්වල්ප කටයුතු ඇත්තේ වේද, අතිශයින් ස්වල්ප උපකරණ ඇත්තේ වේද, අතිශයින් මහත් ඵල ඇත්තේ වේද, මහානිශංස ඇත්තේ වේද ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?”

“බ්‍රාහ්මණය, මෙබඳු යාගයකට රහතුන් වහන්සේලා හෝ රහත් මගට පැමිණි ඇත්තෝ නොපැමිණෙත්. ඊටහේතු කවරේද, යත්: මෙහි දඬු පහර දීම්ද, බෙල්ලෙන් අල්ලා සෙලවීම්ද දක්නට ලැබෙත්. එබැවින් මෙබඳු යාගයට රහතුන්ද රහත්මගට පැමිණි ඇත්තෝද නොපැමිණෙත්. සිල්වත් මහණුන් උදෙසා යම් යාගයක්වූ යම් නිත්‍ය දානයක් දෙනු ලැබේද, බමුණ, එබඳු යාගයට රහත්හුද රහත් මගට පැමිණි ඇත්තෝද පැමිණෙත්. ඊට කරුණු කියත්ම, බමුණ, එහි දන්ඩෙන් පහරදීම්ද, බෙල්ලෙන් අල්ලාගැනීම්ද නැත. එහෙයින් රහත්හුද රහත් මගට පැමිණි ඇත්තෝද එබඳු යාගයට පැමිණෙත් මේ දහසය පිරිවර සහිත තුන් ආකාර යාග සම්පත්තියට වඩා අනුකූල, යාගයවූ නොකඩවා දෙන දානය ස්වල්ප කටයුතු ඇත්තේ, ස්වල්ප හිරිහැර ඇත්තේ, එහෙත් අතිශයින් ඵලවත් වූයේ අතිශයින් ආනිසංස ඇත්තේද වේ. බමුණ රහතුන්ගේ එහි පැමිණීම ඊටහේතුවයි. ඊට ප්‍රත්‍යයයි.”

“භවත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර හා තුන් ආකාර සම්පත් ඇති දානයටත් අනුකූල යාගයවූ මේ නිත්‍ය දානයටත් වඩා ස්වල්ප කටයුතු ඇති ස්වල්ප හිරිහැර ඇති එහෙත් අතිශයින් මහත්ඵලදායී අතිශයින් ආනිසංස ඇති අන්‍ය යාගයක් ඇත්තේද?”

“බ්‍රාහ්මණය, මේ දහසය පිරිවර සහිත තුන් ආකාර යාග සම්පත්තියටත් මේ අනුකූල යාගයවූ නිත්‍ය දානයටත් වඩා ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප හිරිහැර ඇති, එහෙත් ඉතා මහත් ඵලදායක, මහත් අනුසස් ඇති අනික් යාගයන් ඇත්තේය.”

“භවත් ගෞතමයන් වහන්ස, දහසය පිරිවර ඇති මේ තුන් ආකාර යාග සම්පත්තියටත් අනුකූල යාගයවූ නිත්‍ය දානයටත් වඩා ස්වල්පවූ හිරිහැර ඇති, එහෙත් මහත්ඵල ඇති මහානිසංස ඇති යාගය කවරේද?”

“බ්‍රාහ්මණය, යමෙක් සිවුදිගින් පැමිණෙන සංඝයා උදෙසා විහාරයක් කෙරේද, ඒ මහත් තෑග්ග දහසය පිරිවර හා තුන් ආකාර සම්පත්තීන් යුත් යාගයටද, අනුකූල යාගයවූ නිත්‍ය දානයටද වඩා ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප හිරිහැර ඇති එහෙත් මහත් ඵලදායක මහා ආනිසංස ඇති යාගයක් වේ.”

“භවත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර හා තුන් ආකාර යාග සම්පත් ඇති දානයටද, අනුකූල යාගයවූ නිත්‍ය දානයටද මේ විහාර දානයටද වඩා ස්වල්ප කටයුතු ඇති එහෙත් මහත්ඵල මහා ආනිසංස ඇති අනික් දානයක් ඇත්තේද?”

“මේ දහසය පිරිවර සහිත තුන් ආකාර යාග සම්පත්තියටද, අනුකූල යාගයවූ නිත්‍ය දානයටද, මේ විහාර දානයටද වඩා ස්වල්ප කටයුතු ඇති, ස්වල්පවූ හිරිහැර ඇති, එහෙත් මහත් ඵලදායී මහා ආනිසංස ඇති අනික් යාගයක් ඇත්තේය.”

“භවත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර ඇති තුන් ආකාර යාග සම්පත්තියටද මේ අනුකූල යාගයවූ නිත්‍ය දානයටද මේ විහාර දානයටද වඩා ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප හිරිහැර ඇති, එහෙත් මහත් ඵලදායි, මහා ආනිසංස ඇත්තේ ඒ කිනම් යාගයක්ද?”

“බ්‍රාහ්මණය, යමෙක් තෙම පැහැදුන සිත් ඇත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ ගියේ වේද, බමුණ මේ යාගය ඒ දහසය පිරිවර සහිත තුන් ආකාර යාග සම්පත්තියටද, අනුකූල යාගයවූ නිත්‍ය දානයටද මේ විහාර දානයටද වඩා ස්වල්ප කටයුතු ඇත්තේ ස්වල්ප හිරිහැර ඇත්තේ එහෙත් ඉතා මහත්ඵල ඇත්තේ මහා ආනිසංස ඇත්තේද වේ.”

“භවත් ගෞතමයන්වහන්ස, දහසය පිරිවර ඇති ඒ තුන් ආකාර යාග සම්පත්තියටද, අනුකූල වස්තු දීමවූ ඒ නිත්‍ය දානයටද, ඒ විහාර දානයටද, ඒ සරණාගමනයටද වඩා ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප හිරිහැර ඇති. මහත් ඵලදායි මහත් ආනිසංස ඇති අනික් යාගයක් ඇද්ද?”

“බමුණ, දහසය පිරිවර සහිත මේ තුන් ආකාර යාග සම්පත්තියටද, අනුකූල යාගයවූ මේ නිත්‍ය දානයටද, මේ විහාරදානයටද, මේ සරණ ගමනයටද, වඩා ස්වල්පවූ කටයුතු ඇති, මඳවූ හිරිහැර ඇති, මහත් ඵලදායි, මහා ආනිසංස ඇති අනික් යාගයෙක් ඇත්තේය.”

“පින්වත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර සහිත තුන් ආකාර යාග සම්පත්තියටද, මේ අනුකූල යාගයවූ නිත්‍ය දානයටද, මේ විහාර දානයටද, මේ සරණාගමනයටද වඩා මඳ කටයුතු ඇති, මඳවූ හිරිහැර ඇති එහෙත් මහත් ඵල ඇති මහත් ආනිසංස ඇති ඒ යාගය කවරේද?”

“බ්‍රාහ්මණය, යමෙක් පැහැදුන සිත් ඇතිව ශික්ෂාපදයන් සමාදන් වේද එනම් ප්‍රාණඝාතයෙන් වැළකීම, අනුන්ට අයිති දෙයක් වැරදිලෙස ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද ප්‍රාමාද දෙකට කරුණුවූ මත්පැන් පානයෙන් වැළකීමවේ, බ්‍රාහ්මණය මේ යාගය දහසය පිරිවර සහිත ත්‍රිවිධ යාග සම්ත්තියටද, මේ අනුකූල යාගයවූ නිත්‍ය දානයටද, මේ විහාර දානයටද මේ සරණ ගමනයටද වඩා මඳවූ කටයුතු ඇත්තේ, මඳවූ හිරිහැර ඇත්තේ එහෙත් මහත් ඵලදායී, මහානිසංස ඇත්තේවේ; වඩා ස්වල්ප කටයුතු ඇත්තේද මහත් ඵලදායිද වේ.”

“භවත් ගෞතමයන් වහන්ස, මේ කී දහසය පිරිවර සහිත තුන් ආකාර යාග සම්පත්තියටද, අනුකූල යාගයවූ නිත්‍ය දානයටද, විහාර දානයටද, සරණගමනයටද ශික්ෂාපද සමාදානයටද වඩා මඳවූ කටයුතු ඇති, මඳ පීඩා ඇති, එහෙත් මහත් ඵලදායී මහා ආනිසංස ඇති අනික් යාගයක් ඇත්තේද?”

“බ්‍රාහ්මණය, දහසය පිරිවර සහිත ත්‍රිවිධ යාග සම්පත්තියටද අනුකූල යාගයවූ නිත්‍ය දානයටද විහාර දානයටද, සරණගමණයටද, ශික්ෂාපද සමාදානයටද වඩා මඳවූ කටයුතු ඇති, මඳවූ පීඩා ඇති, එහෙත් මහත්ඵලදායි මහා ආනිසංස ඇති අනිත් යාගයක් ඇත්තේය.”

“පින්වත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර සහිත ත්‍රිවිධ යාග සම්පත්තියටද, අනුකූල යාගයවූ නිත්‍ය දානයටද සරණගමනයටද, ශික්ෂාපද සමාදානයටද වඩා මඳවූ කටයුතු ඇති, මඳවූ පීඩා ඇති එහෙත් අතිශයින් ඵලදායී මහා ආනිසංස ඇති යාගය කවරේද?”

“බ්‍රාහ්මණය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යාඅට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබොධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ’ මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙලවර යහපත්වූ, අර්ථ සහිතවූ, (දස ආකාරයෙන්) නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්ය ගෙන හැර දක්වති.

“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි, ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.

“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රියයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේ වෙයි, යහපත් සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ වෙයි, සන්තෝෂයෙන් යුක්තවෙයි.

“බමුණ, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? බමුණ, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතිව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රි පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරිවේද මෙයද ඔහුගේ සීලයකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකරේද මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින්, අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේවේද මේද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේද මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද, මෙයද ඔහුගේ සීලයෙකි.

“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ. අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනුලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, එළුවන් හා තිරෙළුවන් පිළිගැනීමෙන් තොරවූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්; වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොරවූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන පහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලයක්වේ.

(සුලු සිල් නිමියේ.)

“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දළුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක්වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ නම්, මෙද ඔහුගේ සීලයක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනී නැංවීමය, සතරැස් බෙර හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය, මිනී ඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු (අත මිට මොලවා) ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත් ද මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම් මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නළා පිඹීමය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑමය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩාකිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය. ඒ ඒ දොෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්ද මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිකුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්ද මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි,

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නළ එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය. නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇදීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්ද මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්ද මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි’ ‘ඔබ මේ ධර්මවිනයකුමකැයි දන්නෙහිද?’ ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’. ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ ‘පළමු කියයුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදුකරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දෝෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්ද මෙසේ මෙබඳු දෝෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහි එව, මෙය

ගෙණ යව, එතැනින් අසවල් දෙය ගෙණෙව’යි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්ද මෙබඳු දූත භාවය, හසුන් ගෙණයෑම යන මෙයින් වැළැක්කේ නම් මෙයද ඒ ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.”

(මැදුම් සිල් නිමියේය.)

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි සාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසි ලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය, ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙන වැරදි ජීවිකාව කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑමවන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හෙතුකොට ලාමක ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘චන්ද්‍රග්‍රහණය වන්නේය, සූර්ග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය. චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදු වීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතු කොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රෝග ඇතිවන්නේය, නිරෝගී බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන් කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා අවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය, දුර්ගර්භකරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජපකිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතා රොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීමය, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය,

ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත්දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට, වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.

“බමුණ, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හෙතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්: බමුණ ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, බමුණ, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. බමුණ, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව ශීලසම්පන්න නම් වේ.

(මහ සිල් නිමියේය)

“බමුණ, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? බමුණ, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ: කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදි අකුසල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී තමාගේ ස්පර්ශ ඉන්ද්‍රියය රකී. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරිම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. බමුණ, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

“බමුණ, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?

“බමුණ, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. බමුණ, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.

“බමුණ, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?

“බමුණ, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි බමුණ, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, බමුණ, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. බමුණ, මෙසේවූ භික්ෂු තෙමේ සන්තොෂයෙන් යුක්ත වේ.

“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ. පර්යංකය බැඳ, කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.

“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසයකරයි. ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ; විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

“බමුණ, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමිත අඹුදරුවන් පොෂ්‍ය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය, කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.

“බමුණ, යම්සේ රොගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.

“බමුණ, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය.

“බමුණ, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි අනුන්ට යටත්වූ, තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙමි, මා අදහස් පරිදි ඒ ඒ කැමති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

“බමුණ, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මඳ කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්:- ‘මම පෙර ධනවත් වූයෙම්, භොග සම්පත් සහිත වූයෙම්, දුර්ලභ භික්ෂා ඇති, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති, කොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.

“බමුණ, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වලක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකිද බමුණ, ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම බමුණ, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ ලා දක්නේය.

පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි. සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.

“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අශකුල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වසයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේද ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ (සකල) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණයෙන් පුරවයි. සැමතන්හි පතුරුවයි. ඒ ඔහුගේ පළමුවෙනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවෙනි ධ්‍යානයෙන් යුත් සැපය පතුරුවයි.

“බමුණ, යම්සේ දක්ෂවූ ස්නාන ද්‍රව්‍ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලොහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩුගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද,

“බමුණ, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැමතන්හි පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් පැතිරෙයි.

“බ්‍රාහ්මණය, මේ යාගය වූ කලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ අතිශයින් මහත් ඵලදායිද, මහානිසංස ඇත්තේද වේ.

“බමුණ, නැවතද භික්ෂු තෙමේ අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, හාත්පසින් ස්පර්ශකරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ.

“බමුණ, යම්සේ ඇතුළතම හටගත් ජලය ඇති දියවිලක් වේද ඒ විල පිළිබඳ පෙර දිගින්ද, අපර දිගින්ද, උතුරු දිගින්ද, දකුණු දිගින්ද, දිය එන මගක් නැත්තේ වේද වැස්සද කලින් කල මනාසේ වැසි වැසීම නොකරන්නේද, එසේවූ ඒ විලෙන් සිහිල් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුළු විලම සිහිල් දියෙන් පතුරුවයි, හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. එහි හැම තැන දියෙන් ස්පර්ශ කෙරෙයි. ඒ සියලු විලෙහි සීත ජලය නොපැතිර පවත්නා තැනක් නම් නැත්තේය. බමුණ, එපරිද්දෙන් මේ භික්ෂු තෙමේ මේ මුළු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි, ඉන් සැමතැනම ස්පර්ශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවෙනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

“බ්‍රාහ්මණ; මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ, අතිශයින් මහත්ඵලදායීද මහානිසංස ඇත්තේද වේ.

“නැවතද බමුණ, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂු තෙමේ මේ සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරේ. ඒ සැපතින් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි, එයින් සැමතැනම පැතිරෙයි. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

“බමුණ, යම්සේ නිල්මානෙල් විලක හෝ සුදු නෙළුම් විලක හෝ රතු නෙළුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුනු දියෙන් උඩට නොනැගුනු, දියතුලම ගැලී වැඩෙන්නාවූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙළුම් හෝ සමහර රත් නෙළුම් හෝ වෙද්ද, ඒ නිල් මානෙල් ආදීහු අග දක්වාත්, මුල දක්වාත්, සිහිල් ජලයෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, සම්පූර්ණයෙන් වැගුරුණාහු, හාත්පසින් ස්පර්ශ ලද්දාහු වෙත්ද, ඒ නිල්මානෙල් සුදු නෙළුම් රත් නෙළුම් යන මොවුන්ගෙන් එකකුත් ජලයෙන් නො පහස්නා ලද්දේ නොවේද බමුණ, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ මේ මුළු ශරීරයම දුරුකළ ප්‍රීතිය ඇති සැපයෙන් සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරෙයි, ඉන් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි. හාත්පසින් ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සම්පූර්ණ ශරීරයෙහි ප්‍රීති නැති තුන්වැනි ධ්‍යානයෙන් පැතිරයයි.

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ, අතිශයින් මහත්ඵලදායීද මහානිසංස ඇත්තේද වේ.

“නැවතද බමුණ, ඒ මහණ තෙමේ සැප දුරුකිරීමෙන්, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වෙදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහණ තෙමේ මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂූහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදුවූ, අතිශයින් බබලන්නාවූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.

“බමුණ, යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදුවූ සුදු ඇඳුමකින් හිස සිට පොරවා උන්නේ වේද, ඔහුගේ මුලු ශරීරයෙහි එකම තැනකුදු සුදුවතින් නොවසන ලද්දේ නොවේ. බමුණ, එපරිද්දෙන්ම ධ්‍යානලාභී භික්ෂු තෙමේ මේ සියලු ශරීරයම පිරිසිදුවූ, අතිශයින්ම බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පතුරුවා හුන්නේ වේ. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි පිරිසිදුවූ, බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පැතිරයයි. (සතර වැනි ධ්‍යාන චිත්තයෙන් සකල ශරීරයම පතුරුවන ලද්දේයයි කී සේයි.)

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ, අතිශයින් මහත්ඵලදායීද මහානිසංස ඇත්තේද වේ.

“නැවතද, බමුණ, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැනගණි. ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය. *සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ දේ, ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ. මෙහිම බැඳුනේ වෙයි’ කියායි.

“බමුණ, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ, අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ විශෙෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේ, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය: ‘මේ වෛඪූර්ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත් වේ, පිරිසිදු ආකරයෙන් උපන්නේය, අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය, නිර්මලය, විශෙෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය’ කියායි.

“බමුණ, එපරිද්දෙන්ම යෝගීවූ මේ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිවූ කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශෙෂයෙන් සිත නමයි. ඒ භික්ෂු තෙමේ මෙසේ දන්නේය, කෙසේද යත්: ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තවේ. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය, මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි, මෙහිම බැඳී සිටියේය’ කියායි.

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ, අතිශයින් මහත්ඵලදායීද මහානිසංස ඇත්තේද වේ.

“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි.

“බමුණ, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක, තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහල වන්නේය.

“බමුණ, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත්කරණ ලද්දේය’ කියායි.

“බමුණ, යම් පුරුෂයෙක් සර්පයෙකු සැවයෙන් පහ කරන්නේද ඕහට මේ සර්පයාය, මේ සැවය, සර්පයා එකෙකි. සැව අනිකකි, සැවයෙන් සර්පයා වෙන්කරණ ලද්දේයි වැටහීමක් ඇතිවන්නේය.

“බමුණ, එසේම භික්ෂුතෙමේ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවනලද, සියලු ශරීරය සහ අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි.

බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ අතිසයින් මහත් ඵලදායීද මහානිසංස ඇත්තේද වේ.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පරියන්කයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

“බමුණ, දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත් සේ පදම්කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, බමුණ, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, බමුණ, දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද-බමුණ, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි, බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට අහසෙයි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කෙරෙයි.

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ අතිශයින් මහත් ඵලදායිද මහානිසංස ඇත්තේද වේ.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥාණයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.

“බමුණ, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර හඬද, මිහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬයයිද, මිහිඟු බෙරහඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද සිතෙන්නේය. බමුණ, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මෘදුවූ කල්හි, ස්ථිරබවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, දිව්‍ය කණෙන් ලබන ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. ඔහු මෙසේ පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණෙන් ලබන ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ අතිශයින් මහත් ඵලදායිද මහානිසංස ඇත්තේද වේ.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයි දනියි. ද්වෙෂ සහිත සිත දොස සිතයයි දනියි. ද්වෙෂය පහවූ සිත ද්වෙෂයෙන් තොරවූ සිතයයි දනියි. මොහ සහිත සිත මොහ සිතයයි දනියි, මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි, විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි කාම සහිත සිත, කාම සහිත සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි, (ක්ලෙශයෙන්) මිදුනු සිත මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

“බමුණ, සැරසෙන ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ලමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනීද, කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනීද,

“බමුණ, එසේම භික්ෂුතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සිත රාග සිතයයි දනියි. රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොස සිත දොස සිතයයි දනියි. දොසයෙන් තොරවූ සිත දොසයෙන් තොරවූ සිතයයි දනියි, මොහසිත මොහ සිතයයි දනියි, මොහයෙන් තොරවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟ නොවූසිත හෝ දනියි. මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි.

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ අතිශයින් මහත් ඵලදායිද මහානිසංස ඇත්තේද වේ.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත්: එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසිජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

“බමුණ, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.

“බමුණ, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කෙරෙයි. කෙසේද යත්: “එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, අසුවල් තැන’ වීමි. මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්. මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම්, වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, (පෙරවිසූ පිළිවෙළ) දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙර විසීම් සිහි කෙරෙයි.

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ අතිශයින් මහත් ඵලදායිද මහානිසංස ඇත්තේද වේ.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. ‘මේ පින්වත් සත්තවයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය; හිතේ දුශ්චරිතයෙන් යුක්තය. උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍ය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවූ, ස්වර්ග ලොකයට පැමිණියෝය’යි මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.

“බමුණ, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි: ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති, මොහු නික්මෙති, මොහු වීථියෙහි හැසිරෙන, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. බමුණ, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස් ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී: මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව, මරණින් මතු අපායවූ, දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, ‘මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය ශරීරයෙන් වෙන්ව මරණින් මතු සුගතියවූ ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.

බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා ස්වල්පවූ කටයුතු ඇත්තේ, ස්වල්පවූ පීඩා ඇත්තේ අතිශයින් මහත් ඵලදායිද මහානිසංස ඇත්තේද වේ.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී.

බ්‍රාහ්මණය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි. බ්‍රාහ්මණය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි. ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී, මේ කෙලෙස් යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ. මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරනලදී. මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී.

“මෙසේ දක්නා, මෙසේ දන්නා ඔහුගේ සිත කාමාශ්‍රවයන් කෙරෙන්ද, භවාශ්‍රවයන් කෙරෙන්ද, මිදේ. අවිද්‍යාශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ජාතිය ක්ෂය වීය, බ්‍රහ්මචර්යාවෙහි වසන ලදී. කටයුතු කරන ලදී. මේ ආත්මභාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී.

“බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා මඳ කටයුතු ඇත්තේ, මඳ හිරිහැර ඇත්තේ අතිශයින් මහත් ඵලදායීද මහානිසංස ඇත්තේද වේ. බ්‍රාහ්මණය, මේ යාග සම්පත්තියට වඩා අතිශයින් උසස්වූ හෝ අතිශයින් ශ්‍රෙෂ්ඨ වූ හෝ අන්‍යවූ යාග සම්පත්තියක් නැත්තේය.”


කූටදන්තඋපාසකත්තපටිවෙදනා

මෙසේ දේශනාකළ කල කූටදන්ත බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: “භවත් ගෞතමයන් වහන්ස, දේශනාව ඉතායහපත්ය, භවත් ගෞතමයන්වහන්ස, දේශනාව ඉතා යහපත්ය. පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කොට තබන්නේ හෝ යම්සේද, වසන ලද්දක් විවෘතකොට දක්වන්නේ හෝ යම්සේද, මංමුලා වූවකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තකුට රූපයන් දැකීම පිණිස අන්ධකාරයෙහි පහනක් දල්වන්නේ හෝ යම්සේද, භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් එසේම නොයෙක් ආකාරයෙන් ධර්මය, දෙශනා කරණලදී. මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, මහාසංඝයාද සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේද මා අද පටන් ජීවත්ව සිටින තෙක් සරණගිය උපාසකයෙකැයි භාරගන්නා සේක්වා. භවත් ගෞතමයන් වහන්ස, මම ගවයන් සත්සියයද, නාඹුවස්සන් සත්සියයද, නාඹු වැස්සියන් සත්සියයද, තිරෙළුවන් සත්සියයද, එළුවන් සත්සියයද මුදවමි. ඔවුන්ට ජීවිත දානය කරමි. ඔවුහු නිල් තණද කෑම කෙරෙත්වා’ සිසිල් වතුරද බීම කෙරෙත්වා ඔවුන්ට සිසිල් සුළඟද හමාවා.


සොතාපත්තිඵලසච්ඡිකිරියා

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කූටදන්ත බ්‍රාහ්මණයාහට අනුපිළිවෙළ කථාව වදාළ සේක. කෙසේදයත්; දාන කථාය, ශීලකථාය, ස්වර්ගකථාය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කෙලෙසෙන බවය, මහණකමෙහි අනුසස්ය යන මේයි. කූටදන්ත බ්‍රාහ්මණයාගේ සිත යහපත්ය, මෘදුය, ක්ලේශයන්ගෙන් පහව සිටියේය, ප්‍රීතිය වැඩී ගියේය. පැහැදුනේයයි දැනගත් විගස භාග්‍යවතුන් වහන්සේ බුදුවරයන්ගේම ඥානයෙන් අවබොධ කළ ධර්මයවූ දුකය, සමුදය, නිරොධය, මාර්ගය යන චතුස්සතය දේශනා කළසේක. යම්සේ පහවූ කළු පාට ඇති පිරිසිදු වස්ත්‍රයක් මනාකොට සායම් අල්ලාගන්නේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණයාට එම ආසනයෙහිදීම පහවූ කාම ආශා ඇති, පහවූ (රාගාදී) මල ඇති ධර්මචක්ෂුස (හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඥානය) පහළ වූයේය. යමක් ඉපදීම් ස්වභාවය ඇත්තේද ඒ සියල්ල වැනසීම් ස්වභාව ඇත්තේයයි ඔහුට අවබොධ විය.

එවිට දන්නා ලද ධර්ම ඇති, පැමිණි මාර්ග ධර්ම ඇති, අවබොධ කළ ධර්ම ඇති, ඥානයෙන් බැසගත් ධර්ම ඇති තරණය කළ සැක ඇති, පහවූ විචිකිච්ඡා ඇති විසාරද භාවයට එළඹි අන්‍ය ගුරුවරයෙකු කෙරෙහි ඇදහීමක් නැති කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සහිතව සෙට දවසට මාගේ දානය පිළිගත මැනවැ’යි ආරාධනා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් එය පිළිගත් සේක.

එවිට භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැණීම දත් කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ පැදකුණුකොට ගියේය. එවිට කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ එම රෑ පසුවීමෙන් පසු දින ස්වකීය යාගාවාටයෙහි මිහිරි කෑම බීම හොඳාකාර පිළියෙළ කරවා ‘භාග්‍යවතුන් වහන්ස, දානය පිළියෙළ කරණලදී. දැන් වැඩීමට කාලය’යි කාලය දැන්වී.

භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයා වහන්සේ සහිතව හොඳින් හැඳ පොරවා පාසිවුරු ගෙන පෙරවරුයෙහි කූටදන්ත බමුණාගේ දානශාලාව කරා වැඩ පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. කූටදන්ත බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන් ප්‍රධාන කොට ඇති භික්ෂු සංඝයා මිහිරි කෑම බීම ආදියෙන් වැළඳවීය, තමන්ගේ අතින්ම පිළිගැන්වීම කෙළේය. මනාකොට පැවරීය. එවිට කූටදන්ත බමුණු භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසානයෙහි පාත්‍රයෙන් අත ඉවත්කළ බව දැන පහත් ආසනයක් ගෙණ එක පැත්තකටවී හුන්නේය. භාග්‍යවතුන් වහන්සේද ධර්ම කථාවෙන් එසේ හුන් කූටදන්ත බමුණාහට යහපත් ලෙස කරුණු දක්වා කුශල ධර්ම කිරීමෙහි උත්සාහවත් කරවා, පුබුදු කරවා, වැඩියක් සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩිසේක.

පස්වැනිවූ කූටදන්ත සූත්‍රය නිමියේය.

( උපුටා ගැනීම - suttacentral.net )