කිවි පවත


අලගියවන්න මුකවැටි තෙමේ සීතාවක රජසිහ රජු‍ ගේ අවදියේ සිටි හොද මැ සිංහල උගතායි. එ වනාහි ලක්දිවේ මිනිසුන් ‘සියලු අතින් පිරිහීමට මුහුණ පෑ සිටි අවදියෙකි. සතුරු යුද බියෙන් මුළු දිවයින මැ ඇළැලෙමින් පැවැති එ අවදි‍යේ දී යම්තම්වත් අත පය සැලීමට හැකි වූ මිනිසාට සටනට යාම මිසැ පතට පොතට සිත දීමට හෝ කෙතට වත්තට අත දීමට හෝ අවසරයෙක් නොවී. ( සත්වන) බුවනෙක බා රජු ගේ අනුවණ කම් නිසා බලයට පත් වූ කොළොඹ පෙදෙසේ පරංගි දනෝ දොම් ජුවන් නම් ධර්මුපාල පෙරිය බණ්ඩාර රජු දඩ මීමා කොටැ ගෙනැ එක් පසෙකින් රට පෙළති. වීදියේ බණඩාර නම් දෙමළ සිංහලයා ගේ අනුවණ කම් නිසා සැහැසි වු ඌව, කන්ද උඩරට, සත්කෝරලය, යාපනය යන පෙදෙස්හි අදිපතායෝ සැහැසිකමින් රට පෙළති. ගිනි කන යුද සෙබළකු වූ සීතාවක රජ සිහ රජ තෙමේ එ සියලු රජුන් මැඩැලීමෙහි යෙදී රුදු යුදෙන් අස්වස් ‍ෙනා ලබා දරුණු කම් කරයි. එහෙවු කලෙකැ ලක් වැසියාට කවර නම් පත පොත හැදෑරීමෙක් ද?


එ කරුණු එසේ වුවත් මඳ විසින් රට වැසියාට අස්වසක් ලැබුණු සීතාවක රටේ සීනා කෝරලය බද හිස්සැල්ල නම් ගමෙහි දහම් දජ නම් පඬි තෙමේ තමා දත් සිප්සතරෙහි සිය පුතු හික්මවා ලුයේ යි. එ පුතා තමා මෙ සැවුල් අස්න කළ අලගියවන්න පඬිවරයා. මෙ පඬි පවුල එ දවසේ මරු කතරක් මැදැ කෙම් බිමක් සෙයින් වෙසෙස් වැ පැවැතුණාට කිසිදු සැකයෙක් නැති. දහම් දඳ පඬිතුමා තමා දත් පමණින් ආගම දහම ද, යම් යම් තන්හි දී ඉදිරිපත් කිරීමට සුදුසු උවදෙස් පළ කරන සකුසිලෝ ගණනක් ද, සිය බස ද තම පුතුට පුහුණු කරවා ලූයේ යි. පත පොත හැදෑරීමේ රිසියක්


එයින් ඇති වූ අලගියවන්න තෙමේ දෙමළ බස ද හදාළේයි. එ දවසේ සිය රටේ මහ මැ උගතා හැටියට පළ වූ මොහුට සීතාවක රජවාසලින් ‘වාසල මූකවෙට්ටි’ තනතුර ලැබිණි. එයින් ඔහු ගේ යසස තව ද පළ වූයේ යි. එ වකට සපයා ගත හැකිවූ සිංහල කවි පොත් සියල්ල කියවා හදාළ මෙ පඬිවරයාට වුවමනා තැනැදී කවර කරුණක් වූව ද පැදි බසින් කීමට හැකිවන පමණට ගී, සීපද ඔහුගේ සිතේ රදා පැවැත්තේ යි. එහෙයින් හෙ තෙමෙ තමා දත් උවදෙස් සිලෝ ආදිය සිය බසින් පැදියට නඟා ‘සුභාෂිත’ නම් පොත කෙළේ යි. එ ඔහු කිවි කම්හි වර ලැබීමට කළ පබඳයි. එහි සිය වත ගොත පළ කරන කිවියා :-


නෙක රජ සිරින් සිරිඳුට සිය ගුණෙන් වැඩි

රුපු රජ ගජන් බිදැහළ කෙසර මෙන් දැඩි

දින රජ කුල පහගැ බැඳි මහගු රන් ‍ෙකාඩි

සිරි රජ සිහ රජු ගෙ සිරිපද සෙවණැ වැඩි


වි ජ ම් පෙළ සයුර සැදි මොක් වෙරළ තින

සියු ම් නියතුළෙන් ගත් කුඹුයොන් සිරිත

උතු ම් හිස් වැල්ල නම් ගමැ හිමි සොබන

ද හ ම් දජ නැමැති පඬිවරකට නදන


නිති සුපසන්න සරසවි රැඳි මුවතඹර

කිවි ගජබින්න කළ එකසර කෙසරයුර

අලගියවන්න මුකවෙටි නැමැති කිවියර

යුතු පදයන්න මේ කව කෙළෙයැ මනහර


යැයි පවසයි.


මේ ‘සිරි රජසිහ රජු ගෙ සිරිපද සෙවණැවැඩි’ යන්න මොහුට බෙහෙවින් හුරු යෙදීමෙකි (සැවුල් 176). කිසි තැනෙකැ ඒ ‘රාජසිහ රජු ‍පා සෙවණ වැඩි’ යනුයෙන් ද දක්නා ලැබේ. ‘සුභාෂිත’ යෙන් ඉක්බිති වැ මෙ කිවියා විසින් කරන ලද්දේ ‘සැවුල් අස්න’ යි. එය


කිරීමේ අදහස රජසිහ රජුගේ යස ගුණ විකුම් වැනීම මැ බව එහි එ පිණිසැ යොදා ඇති පැදිගණනින් ද අස්නේ හැටියෙන් ද පෙනේ. අස්නේ ‘මුනිසස්නත්, රජුත්, මැතිගණත්, යුද පිරිසත් රක්නා සේ’ සුරිඳු අයදනා බව සදහන් වේ. අග බි‍ෙසාවක, රජ කුමරුවන්, එහි සදහන් නොවීමෙන් රජසිහ රජු ගේ පරපුර එ රජු හා මැ අවසන් වූ කරුණ පැහැදිලි වෙයි.

මෙ පඬිවරයා එ දවසේ සිටි උස් මැ කිවියා වූ බව ඔහු ‍ගේ පැවැසුමෙන් මැ පෙනෙයි. සැවුල් අස්නේ මැ පැවිද්දෝ දෙ දෙනෙක් සදහන් වෙති, දෙ ල් ග මු වෙහෙරේ මිහිඳු ලකර තෙරයැ, සපරගමු වෙහෙරේ දහම් ලකර යතියැයි. එ දෙනම ගේ මැ දහම දැන්ම ගැනැමුත් බය හෝ කව් සතර හෝ දැන්මක් ගැනැ මෙ පඬි වරයා සදහන් නො කරයි. රජ සිහ රජු ගේ අවදියේදී පැවිද්දනට වැඩි‍ෙයන් ආඬිගුරුන් (කපුවන්) ‘රාජ සම්මාන’ ලබමින් වැජැඹුණු බව සපරගමු දෙවොලේ ‘නාතම්බි කුරුප්පු’ ගුරුවා ගේ වැනුමෙන් පෙනේ. දෙවියන් වෙතැ අසුන් යැවූ සෙසු අසුන් කවි කරුවෝ දෙවොලේ කපුවකු සදහන් ‍නො කළහ.


‘කිවි ගජබින්න කළ එකසර කෙසර යුර’

යනුයෙන් හේ මැ තමා ගේ කවිකමේ මහත් ‘පිළබහන’ සදහන් කරයි.


‘මිතුරු නො වන කිවිගජ සිහ සිරින් බිඳි’ යැයි ඒ මැ සැවුල් අස්නේ ද සදහනි. මේ ‘ගජබින්න සිහ’ උපමාවද අලගියවන්න පඬිවරයා ගේ පරවෙණියෙකි. ඔහු විසින් කරන ලද සියලු පොත්හි එ දක්නට ලැබේ.


සැවුල් අස්තින් පසු අලගියවන්න පඬිවරයා විසින් ‘දහම්සොඬවග’ පැදියට නගා ‘දහම් ‍ෙසාඬ දා’ කව කරන ලදී. එය කරන ලද්දේ ‘ සමර දිවාකර මූකවෙට්ටි’ යා ගේ ආරාදනයෙන් බව එහි මැ සදහන් වෙයි. සැවුල් අස්නෙ


දක්නට ලැබෙන වැනුමෙන් අමුතු වූ වෙක් එහි දක්නට නොලැබේ. සමරදිවාකර මූකවෙට්ටියා එ පොත කියවා වටහා ගැනීමට පමණ පැදි සිංහලය දැනැසිටියා ද යනු සැක සහිතයි. එ දවසේ පොත් කිරීමට ලබන ආරාදනය මෙ දවසේ පොත් පිළිගැන්වීමට සමයි.


එයින් ඉක්බිති අලගියවන්න පඬිවරයා විසින් කරන ලද්දේ කුසදා කවයි. සග බෙදුමෙන් යුතු කොටැ මහ කවක් වනසේ ‍කරන ලද එ පබද මහ කවක් වන්නේ එ සග බෙදුමෙන් මැ පමණෙකි. එය කරන ලද්දේ අත්තනායක මැතිණියන් වූ ‘මැණික්සාමි’ නම් උවැසියන් ගේ ආරාදනයෙන් බව ‍එහි මැ සදහනි. ආරාදනයේ හැටි යෙනුත් පොතේ විදියෙනුත් පෙනෙන්නේ මෙ කිවියා සිරිරහල් හිමියනුත් කවිසේකරයත් සිතේ ගන්වා - ගෙනැ එය කළ බවයි. එ වුවත් මෙ කිවියාගේ කව‍ර පබඳිනුත් පෙනීයන්නේ ඔහු අන් ඇමට වැඩියෙන් කවිසිළුමිණි කුසදාවේ වැනුම් ගුරුකමට ගත් බවයි ( සැවුල් අසුන් පවත බලන්නැ). කුසදා කව මෙ පඬිවරයා ගේ අවසන් පබඳ හැටියට සැලැකියැ හැකි යි.


අලගියවන්න පඬිවරයා පසු කලෙකැ පරංගි ආණ්ඩුව යටතේ ලේකම් මිටියක් (තෝම්බුවක්) සකස් කළ බවත්, එ වකට ඔහු දොම් යෙරනිමෝ අලගියවන්න යැ යි කතෝලික විසින් පළ වූ බවත්, එ දවස්හි දී පරංගිහටන , මහ හටන. කොස්තන්තිනු හටන ඈ පොත් කළ බවත් පරංගි ලතින ඈ බස්හිදු දැනුමක් ඇතිවැ සිටි බවත් පරංගි ලේකම් මිටිය අසරින් කරුණු දත් (S.J.) පෙරේරා (S.J.) පියතුමා කියයි. එ ලේකම් මිටියේ හැටියට ඔහුගේ උපත සිදුවුයේ කි.ව. 1552 ට පත් සඳයැයි ද පැවැසේ.


රජසිහ රජු ගේ මරණින් මඳ කලකට පසු අරට්ටකි වෙණ්ඩු පෙරුමාල් මනම්පේරි මොහොට්ටාල ජයවීර බණ්ඩාර මුදලියා ගේ නො සැබි ක මි න් සීතාවක රට පරංගි දනන් නතු වූයේ යි. එ දවසේ මෙ පඬිවරයා ඔවුන් නතු වැ කතෝලිකයෙකු බවට


පත්වුණා ද නැද්ද යනු ඉඳුරා මට නො කියැ හැකියි. එහෙත් පරංගි හටන ඈ පොත් නම් ‍ෙම කිවියා ගේ පැබැඳුම් නො වන බව ඔහු ගේ සෙසු පොත් අඳුනන කාහටත් සැක හැරැ අඳුනා දත හැකියි. මොහු විසින් කුසදා කව කරන ලද්දේ කි. ව. 1610 වූ සද බව එහි මැ සදහන් වෙයි. එ විටැ රජසිහ රජු නැසී සතළොස් වසක් ඉක් මැ ගොස් යැ. සීතාවක රට පරංගි දනන් නතු වූයේ ද ඊට සොළොස්වසකට පෙරැයි. ඉදින් අලගියවන්න පඬිවරයා කතෝලිකයකු වුණා නම් ඒ වන්නට ඇත්තේ මීටත් නො වේ ද?


ඔහු පරඃගි බස කතා කරන්නට දැනැ සිටියාට සැකෙක් නැති. එහෙත් ලතිනයක් ඔහු දත්තා නම් ඒ බයිබල ලතිනය මිසැ රෝම ගත් කරුවන් ගේ ලතිනය නොවියැ හැකි. මෙ පඬිවරයා ගේ සකුබස දැන්ම ‘ප්රතත්යී ශතකයේ’ සඳහන් සිලෝ වැනි උපදෙස් බස් සිලෝ කීපයකට පමණක් හිමිවන බවට ඔහු ගේ සියලු පබඳ දෙස් දෙයි. තමාහදාළ එළු පොතින් ඔහු කොතෙක් දුරට වැඩ ගත්තාද යනු දහම් සොඬදා කව, කුසදා කව, මෙ සැවුල් අස්න බැලීමෙන්වටහා ගත හැකි. එවන් සපන් කම් කැරැ පුරුදු කිවියකු ලතිනයත් දත් පසු ඔහු අතින් ‘පරංගි හටන’ වැනි පබඳක් කැරුණා නම් එය කෙ බඳු එකක් වන්නේ ද යනු සිතා ගැන්ම ඒ හැටි බැරි කරුණෙක් නො වේ. කිසි විටෙකැ මෙ පරංගි ලේකම් මිටියේ සදහන් වන දොම් යෙරනිමෝ අලගියවන්නයා කුමාරදාස කිවියා දක්නට ආ කාලිදාස කිවියා වැනි අනෙක් අලගියවන්නයකු වන්නට ද බැරි නැති. උපන් අවුරුද්ද ඒ මැ නම් අලගියවන්නයාත් මේ මැ නම් කුසදාව කරනවිටැ අට පනස් වියේ සිටි ඔහු කතෝලිකයකු වී ‍ලේකම් මිටිය සැපැයීමේ යෙදෙන්නට ද ඇතැයි සිතන්නට ද ඉඩ ඇති. එහෙත් පරංගි හටන ඔහු වන් මූ කළ කිවියාව ඇත්තකු ගේ පබදක් නම් නො වියැ හැක්කේයි.

"https://si.wikibooks.org/w/index.php?title=කිවි_පවත&oldid=4081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි