46. පිළිසඳර සංස්කරණය

රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන්‌ දැක බුද්දක ප්‍රීතිය, ඛණික ප්‍රීතිය, උබ්බේගික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය, ඵරණ ප්‍රීතිය, යන පස්වනක්‌ ප්‍රීතීන්‌ පිනා ගියහ. වහා හුනස්නෙන්‌ නැඟී ඉදිරියට අවුත්‌ සිප ගෙන ඉස සිඹ සනහා නැවත ගොස්‌ ආසනයේ ඉඳ සිහි කටයුතු වූ මිහිරි කතා කොට උපමාවක්‌ කියා බලමි”යි සිතා


“යථා පෙතං සුසානස්මිං ඡඩ්ඩෙත්වා චතුරො ජනා

එවං කම්පිල්ලියෙ ත්වඤ්ච ඡඩ්ඩයිත්වා ඉධා ගතා.


“අථ ත්වං කෙන වණ්ණෙන කෙනා වා පන හෙතුනා

කෙන වා අත්ථජාතෙන අත්තානං පරි මොචයි”


“එම්බා පණ්ඩිතයෙනි, යම්‌ සේ මළ මිනිසකු සතර දෙනෙක්‌ කුරාලයෙක ලා උසුලා ගෙන ගියාහු, අමු සොහොනේ දමා පියා ඔහු කෙරේ කිසි අපේක්‍ෂාවක්‌ නැති ව නැඟී එද්ද, එපරිද්දෙන්‌ ම අපිත්‌ තොප කම්පිල්ල දේශයෙහි ලා පියා අපගේ පණ ගලවා ගෙන තොප කෙරේ කිසි අපේක්‍ෂාවක්‌ නැති ව නැඟී ආම්හ. දැන්‌ තෙපි කවර කාරණයකින්‌ කවර උපායකින්‌ කවර නුවණකින්‌ කවර හේතුවකින්‌ තෙමේත්‌ රැකී සේනාවත්‌ රැකගෙන කෙසේ ගැලැවී ඇවුදැ”යි විචාළහ.


ඒ අසා පණ්ඩිතයන්‌ වහන්සේ මේ ගාථාවෙන්‌ වදාරන සේක්‌:

“අත්ථං අත්ථෙන වෙදෙහ මන්තං මන්තෙන ඛත්තිය

පරිවාරියිස්ස රාජානං ජම්බුදීපංච සාගරො.”

“මහරජ, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ සිතින්‌ සිතූ යම්‌ අර්ථයක්‌ වී ද, මාගේ තීක්‍ෂණ වූ ප්‍රඥාවෙන්‌ අනෙක්‌ අර්ථයක්‌ සිතා ඔහු සිතූ යම්‌ යම්‌ අර්ථයක්‌ ජය ගතිමි: ඒ රජ යම්‌ මන්ත්‍රණයක්‌ සිතූයේ නම්‌ ඔහුගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන්‌ ම ජය ගතිමි. තව ද මහරජ, දඹදිව පිරිවරා සිටි සාගරය පරිද්දෙන්‌ දඹදිවට අධිපතිව එක්‌ සියයක්‌ රජුන්‌ හා සේනාව මාගේ ප්‍රඥා බලයෙන්‌ මා පා පිට ගස්වා මම චක්‍රවර්ති රජහු සේ සියලු රජුන් හා සේනාව පිරිවැරූ යෙම්‌ වේදැ'යි වදාළ සේක.


මෙසේද කියා නැවත වදාරන සේක්‌, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ සටනට මෙහෙයූ තැන්‌ පටන්‌ නුවර වාසල්‌ හරන තුරා කී කළ දෙයත්‌, නැවත උමඟට වන්‌ තැන්‌ පටන්‌ උමඟින්‌ රජු ගෙන ගොස්‌ මහ විසල්‌ මලුවේ දී කඩුව සැඟවූ තැන්‌ දක්වාත්‌ එතැන දී සපථ කොට රජුගේ යාච්ඥාවෙන්‌ උමඟ අසු වූ රජුන්‌ සභිත සේනාව දොරහැර මරනින්‌ මුදා නැවත සත්‌ දවසක්‌ උමං කෙළියෙන්‌ දවස්‌ යවා ඉක්බිති රජ්ජුරුවන්‌ හැම දෙනා තමන්‌ වහන්සේට දුන්‌ පඬුරු හා නැවත බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ දුන්‌ නොයෙක්‌ ප්‍රසාද හා නැවත එම රජහු දුවණියනට දුන්‌ දායාද හා නැවත චූලනී රජ්ජුරුවන්‌ ඇතුළු වූ සියලු රජදරුවන්‌ තමන්‌ වහන්සේට දුන්‌ ප්‍රසාදත්‌ මේ මේය'යි වදාරන සේක්‌,


“දීන්තං නික්ක සහස්සා මෙ ගාමාසීති ච කාසිසු

දාසි සතානි චත්තාරි, දින්නං හරියා සතාච මෙ

සබ්බසෙනඩ්ගමාදාය සොත්ථර්නාම්හි ඉධාගතො.”


මෙයින්‌ වදාරා “මාඪ රත්රන්‌ පස්‌ විසි දහසක්‌ දුන්හ. සර්වාභරණයෙන් සැරැසූ ශරීර ඇති තන සිටි බාල කෙල්ලන් සාර සියයක් විසින් පිරිවරන ලද නොයෙක් පළඳනාවෙන් සැදි බිසෝවරුන් සියයක් මට බිරියන් කොටැ, අපගේ මේ වේදේහ රටට ආසන්න තමන්ගේ කාශි දේශයෙන්‌ ගමකින්‌ අවුරුද්දකට ලක්‍ෂයක්‌ බැගින්‌ අය නිමවන්නා වූ ගම්‌, අසූවක්‌ දුන්හ. බ්‍රහ්මදත්ත රජුරුවන්‌ හා සියලු රජදරුවෝත්‌ තමන්ගේ චතුරඬ්ගිනි සේනාව කෙරෙහි නිරපේක්‍ෂ ව ප්‍රසාද සේවාවක්‌ කොට මට ම දුන්හ. ඒ සියලු සේනාව පිරිවරා උකටලීයක්‌ නැති ව මහා සන්තෝෂයෙන්‌ යුක්ත ව නැඟී ආමි”යි වදාළ සේක.


ඒ අසා ප්‍රීතින්‌ පිනා ගිය රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන්ගේ ගුණ කියන්නාහු, මේ ගාථාවෙන්‌ කීහ.

“සුසුඛං වත සංවාසො පණ්ඩිතෙහී ති සෙනක

පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාල ගතෙරිව

අමිත්ත හත්ථත්ථ ගතෙ මොචයි නො මහොසධො”


"සේනකය, නුවණැත්තන්‌ හා එක්‌ ව විසීම ඉතා යහපත්‌ වන්නේය. ඉදින්‌ මේ මහෞෂධ පණ්ඩිතයන්‌ හා එක රටක එක නුවරක එක තෙනක යමෙක්‌ වෙසෙත්‌ නම්‌ මේ ලොව සොර සතුරු බියෙක්වත්‌ පරලොව අපාය භයෙක්‌ වත්‌ නැත්තේය. ඊට කාරණා තෝ ම දුටුයෙහි වේද, අටළොස්‌ අක්ෂෞහිණි සංඛ්‍යාත ඒ සා මහත්‌ සේනාවක්‌ මැද මැඳිරියෙක බැඳි සියොතුන්‌ සේද, දැල බැඳි මසුන්‌ සේද, හසු වූ තොප දෙමුරයක ගලවා ගත්‌ බව තොපට මදැනෙන්නේ වේද, එසේ හෙයින්‌ නුවණැත්තවුන්‌ හා එක්‌ ව විසීම ඉතා යහපතැ"යි ගුණ වර්ණනා කළාහ. සේනකයාත්‌ රජහු බස මුඳුනින්‌ පිළිගෙන "සැබැව"යි කියා තමා ඇති වක්‌ පටන්‌ සම සිතින්‌ බෝධිසත්ත්වයන්ගේ ගුණ කියන්නේ, "මහරජ ඒ සැබව, නුවණැති පණ්ඩිතවරු නම්‌ මේ ලොවින්‌ පර ලොවින්‌ ඉෂ්ටයක්‌ මුත්‌ අනිෂ්ටයක්‌ විය නො දෙන්නාහ. මැඳිරියක බැඳි සියොතුන්‌ සේද, දැලහසු වූ මසුන්‌ පරිද්දෙන්‌ ද සතුරනට අත්පත්‌ ව ජීවිත විනාශයට පැමිණ සිටියා වූ අප හැම දෙනා ගලවා සැපයෙහි පිහිටුවා ලූ සේක. සමස්ත ලෝකයෙහි නුවණැත්තා වූ සියලු සත්ත්වයනට ශත සහඝ්‍ර ගුණයෙන්‌ වඩනා සේක්‌: අපගේ මේ "මහෞෂධ පණ්ඩිතයන්‌ වහන්සේය"යි තමාගේ මුව නොසෑහෙන පරිද්දෙන්‌ වෙනසක්‌ නැති සම සිතින්‌ ම ගුණ වර්ණනා කෙළේය.

47. සැණකෙළි සංස්කරණය

ඉක්බිති රජ්ජුරුවෝ නුවර බෙර ලවන්නාහු “සත්‌ දවසක්‌ සැණකෙළි කෙළව. යම්‌ කෙනෙක්‌ මට හිතයෝ නම්‌, ඒ සියල්ලෝ ම පණ්ඩිතයනට නොයෙක්‌ පඬුරින්‌ සත්කාර සම්මාන කෙරෙත්ව”යි විධාන කළහ. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන්‌ වහන්සේ මෙසේ වදාරන සේක,


“ඔරොධා ච කුමාරා ච වෙසියානො ච බ්රා හ්මණ

බහුං අනනං ච පානංච පණ්ඩිතස්සාභිහාරයුං


“භත්ථාරුහා අණිකට්ඨා රථිකා පත්ති කාරකං බහුං අන්නං ච පානං ච පණ්ඩිතස්සාභිහාරයුං

“සමාගතා ජානපදා තෙගමා ච සමාගතා බහුං අන්නං ද පානං ච පණ්ඩිස්සාභිහාරයුං”

“බහුජ්ජනො පසන්නොසි දිස්වා පණ්ඩිතමාගතෙ පණ්ඩිතම්හි අනුප්පත්තෙ වෙලුක්ඛෙපා අවත්ථටා”


“එම්බා මහණෙනි, ඒ වේදේහ රජුගේ විධානයෙන්‌ සියලු වීණා වාද්‍ය ඉතා සිත්කලු කොට ගායනා කළහ. තව ද කර සක්‌ විජය සක්‌ ජයතුරා සක්‌ ආදී වූ පඤ්ච ප්‍රකාර සංඛ නාද පැවැත්වූහ. ආතත ය, විතත ය, විතතාත ය, ඝන ය, ශුශිර ය යන පඤ්චාඩ්ගික තූර්යය නාද පැවැත්‌ වූහ. නුවර වාසීහු හා ජනපද වාසිහු ස්වභාවයෙන්‌ ම ස්වාමිදරුවාණනට සත්කාර කරන්නට සිතන්නාහු, බෙරහඬ අසමින්‌ වඩ වඩා සන්තෝෂ ව තම තමන්ගේ විභවානුරූප කොට මහත්‌ චූ සත්කාර සම්මාන කළහ. උදුම්බරා නම්‌ අග මෙහෙසුන්‌ බිසව අතුළු ව සොළොස්‌ දහසක්‌ බිසෝවරුද රාජ කුමාරයෝද ව්‍යාපාරයෝද බ්‍රාහ්මණයෝද යන සියල්ලෝ ම කන බොන දෑ හා බොහෝ පඬුරු ගෙන ගියාහ”යි වදාළ සේක. තව ද ඇත්‌ අස්‌ රථාදී වාහන නැගෙන්නෝද පාබල මහ සේනාවද ජනපද වාසීහුද නියම්‌ ගම් වැස්සෝ ද බොහෝ කන බොන දෑ පඬුරු ගෙන පණ්ඩිතයන්ගේ ගෙට ගියහ'යි වදාළ සේක.


එක්‌ සියයක්‌ රජදරුවන්‌ හුන්‌ තෙනට තමන්ගේ රටින්‌ සාර සියයක්‌ ගවු ගෙවා ගොස්‌, තමන්‌ මරන්නට වට ලා ගත්‌ රජදරුවන්‌ හා ඒ සා මහත්‌ චතුරංඟනී සේනාව තමන්ගේ ප්‍රඥා බලයෙන්‌ තනි ව ජයගෙන උත්තර පංචාල දේශයෙන්‌ මියුලු නුවරට ආ දවස්‌ රැස්වූ බොහෝ ජනයෝ සුව සේ ආවා වූ පණ්ඩිතයන්‌ දැන්‌ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ ඇතුළු වූ එක්‌ සියයක්‌ රජුන්‌ ජය ගෙන ආ සේකැ'යි ඉතා ප්‍රසන්න ව, ඔද වැඩි ව සතුටු වූවාහු ඒ පණ්ඩිතයන්ගේ කීර්තිය පැතිරෙන්නාක්‌ පරිද්දෙන්‌ සත්‌ දවසක්‌ මුළුල්ලෙහි පිළී සිසාරා නෙයියාඩම්‌ කෙළියහ'යි වදාළ සේක.


48. බ්‍රහ්මදත්තයන් ගේ නෑයන් යැවීම සංස්කරණය

මෙසේ බෝධිසත්ත්වයන්‌ වහන්සේ සත්‌ දවසකින්‌ සැණ කෙළි අන්ත වූ කල්හි රජගෙට ගොසින්‌, 'මහරජ, චූලනී රජ්ජුරුවන්ගේ මෑණියන්ද පුතණුවන්ද බිසවුන්ද වහා යැව්ව මැනැව"යි වදාළ සේක. "යහපත, පුත මට කියන්නේ කිම්ද? යවා පියව”"යි කීහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේ තුන්‌, දෙනාට වෙන වෙන ම බොහෝ සත්කාර සම්මාන කොට, එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ තමනට ප්‍රසාද සේ දුන්‌ චතුරංඟනී මහා සේනාවට බොහෝ සත්කාර සම්මාන කරවා ඒ මහා සේනාවත්‌ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ තමනට පාවා දුන්‌ බිසෝවරුන්‌ සියයක්‌ හා කම්මිත්තන්‌ සාර සියයක්ද නන්දා දේවීනට පාවා දී ප්‍රසාද සේනාවත්‌ උන්හැර ලා ලා එන පරිද්දෙන්‌ උනට ම පාවා දී මහ පෙරහරින්‌ යැවු සේක.


ඒ රජදරුවෝ තුන්‌ දෙන අපමණ වූ රජ පෙරහරින්‌ යන්නාහු සියක්‌ යොදුන්‌ මග ගෙවා උත්තර පංචාල නුවරට පැමිණියහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ මෑණියන්‌ විචාරන්නාහු, කිමෙක්ද, මෑණියන්‌ වහන්ස, වේදේහ රජ්ජුරුවෝ 'සතුරාගේ මෑණියෝය'යි මා කෙරේ කළ වෛරයෙන්‌ නුඹ වහන්සේ කෙරෙහි නොසතුටු ව විසූද? නොහොත්‌ සංග්‍රහ කළෝදැ”යි කීහ.


දේවී කියන්නාහු, “පුතණ්ඩ, කුමක්‌ කියන්නේද මා මවු තනතුරටත්‌ වඩා දේවතා තනතුරෙහි තබා දුටහ. නන්දා දේවීන්‌ මවු තනතුරෙහි තබා දුටහ. පංචාල චණ්ඩ කුමාරයන්‌ එක කුසින්‌ උපන්‌ මල්‌ තනතුරෙහි තබා දුටහ. බොහෝ සත්කාර සම්මානයෙන්‌ බොහෝ ආචාර සමාචාරයෙන්‌ සංග්‍රහ කළහ”යි මැහැලින්‌ වහන්සේ තමන්‌ මුඛ නොසෑහෙන පරිද්දෙන්‌ ගුණ කීහ. රජ්ජුරුවෝද එබස්‌ අසා වඩ වඩා සන්තෝෂයට පැමිණ බෑනණුවනට බොහෝ පාක්කුඩම්‌ හා පඬුරු යැවූහ.


වේදේහ රජ්ජුරුවන්‌ කළ සංග්‍රහ මෑණියන්‌ අතින්‌ විචාරන්නටත්‌ නන්දා දේවීන්‌ අතින්‌ නොවිචාරන්නටත්‌ කාරණා කිම්ද යත්‌: නන්දා දේවීන්‌ තරම්‌ රූ ඇති කෙනෙක්‌ මුළු දඹදිව අනෙක්‌ තෙනක ඇත්තේ නැත. "මා සමීපයෙන්‌ ගොස්‌ සාර සියයක්‌ ගව්වේ උන්‌ තැනැත්තී මා කෙළෙක් කෙළේය”යි සිතා, මා කෙරෙහි ආදරයක්‌ භයක්‌ නැති ව අනාචාරශීලී ව, තමා සිත්‌ වූ පරිද්දෙන්‌ වැස පූ නම්‌ විචාළ කල නැත්තක්‌ මුත්‌ ඇත්තක්‌ නොකියන්නීය. නැන්දෝ නම්‌ යෙහෙළිණියනට කුකුළන්‌ හා බළලුන්‌ හා සේ කෙනෙක. ඇත්තක්‌ තබා නැත්තක්‌ කියා බිඳු වන්නට කියන්නාහ. එසේ හෙයින්‌ බිසවුන්‌ අතින්‌ නොවිචාරා මෑණියන්‌ අතින්‌ විචාළහයි දතයුතු, එතැන්‌ පටන්‌ දෙ පක්‍ෂයේ ඇත්තෝ ම ඔවුනොවුන්‌ හා සමඟ එක්‌ සිත්‌ ව විසූහ.


මහා උම්මග්ග කාණ්ඩය නිමි.



49. දියරකුසු පැනය සංස්කරණය

පංචාලචණ්ඩි බිසවු වේදේහ රජ්ජුරුවන්‌ ප්‍රිය සිත්‌ ගෙන වසන්නාහු දෙවන හවුරුදු පුතණු කෙනෙක්‌ වැදූහ. ඒ කුමාරයන්‌ වැඩී දස හැවිරිදි කළ වේදේහ රජ්ජුරුවෝ ස්වර්ගස්ථ වූහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේ දස හැවිරිදි කුමාරයන්‌ ධවලච්ඡත්‍ර නංවා රාජ්‍යයෙහි පිහිටුවා "දේවයන්‌ වහන්ස, නුඹ වහන්සේගේ මුතුන්‌ රජ්ජුරුවන්‌ සමීපයට යෙමි”යි වදාළ සේක. කුමාරයෝ, "මා බාල තැනැත්තවූ ඇර පියා නොයව. මම තොප පිය තනතුරේ තබා රකිමි. සියල්ලෙන්‌ ම ආදර කෙරෙමි”යි කීහ. ඒ අසා පඤ්චාලචණ්ඩි බිසවු කියන්නාහු, "මාගේ මවුපියන්‌ ඇතත්‌ මට පිය තනතුරේ සිට මේ සාර සියයක්‌ ගව්වට මා සරණ දුන් දෑත්‌ නුඹදෑ මය. ජන්මාන්තර වෛරී රජදරුවන්‌ කිරල සේ කරවා අවෛරී කළ දෑත්‌ නුඹදෑ මය. එසේ හෙයින්‌ මටත්‌ ම පුතණුවන්ටත්‌ අභිවෘද්ධි දෑ නුඹ දෑ මය. නුඹ මේ නුවරින්‌ ගිය කල අපට කිසි පිටිවහලෙක්‌ නැත. නොගිය මැනැව, දරුවන්ගේ පිය රජ්ජුරුවන්‌ සිටියා සේ සියලු සම්පත්‌ වළඳා රාජ්‍යය කළ මැනැව”යි කීහ.


එබසට වදාරන සේක්‌, 'ඒ එසේ මය, එදවස්‌ මා එන ගමනේ වේදේහ රජ්ජුරුවන්‌ මළ කල එන්නෙමියි නුඹ වහන්සේගේ පිය රජ්ජුරුවනට ප්‍රතිඥා දී එන ලද, එසේ හෙයින්‌ නොගොස්‌ රඳන්නට නොපිළිවන”යි කියා මියුලු නුවර බොහෝ ජනයන්‌ කරුණාවෙන්‌ බැගෑව හඬමින්‌ සිටිය දී අමරා දේවීන්දෑ හා සහජාත යෝධයන්‌ හා අවශේෂ වූ දැසිදස්‌ ආදීන්ගෙන්‌ කැටි ව එනු කැමැත්තන්‌ ඇරගෙන නික්මුණු සේක්‌, සියක්‌ යොදුන්‌ මඟ ගෙවා උත්තර පංචාල නුවරට වැඩි සේක. මහෞෂධ පණ්ඩිතයන්‌ වහන්සේ එන සේකැ”යි චූලනී රජ්ජුරුවෝ අසා චතුරංගනී සේනාව පිරිවරා පෙර ගමන්‌ කොට ඉදිරියට අවුත්‌, මහ පෙරහරින්‌ ගෙන ගොස්‌ ඉඳිනට මා හැඟි මාලිගවක්‌ දුන්හ. පළමු දුන්‌ සළු ගම්‌ අසූව විනා අමුතු ව දුන්‌ කිසිවකුත්‌ නැත්තේය. එසේ වුවත්‌ එහි කිසි කනස්සල්ලක්‌ නොව කළ මනා රාජ සේවය පමා නොකරන සේක.


එ සමයෙහි ඉතා නුවණැත්තා වූ කීමෙහි බිණීමෙහි දක්‍ෂ වූ කාරණා කාරණා දන්නා ඉතා ධර්මිෂ්ඨ වූ භෙරී නම්‌ පරිබ්‍රාජිකා කෙනකුන්දෑ එක්‌ වන්‌ රජගෙයි දී වළඳා මඟුල්‌ උයන හිඳිනා සේක. "මහෞෂධ පණ්ඩිතයෝයයි යන කෙනෙක්‌ රජ්ජුරුවනට සේවය කෙරෙත්‌ ල, උන්‌ හා සමාන කෙනෙක්‌ නැත්ල'යි පරිබ්‍රාජිකාවන්‌ දෑ නමින්‌ අසා දන්නා සේක. මෙ බඳු ගුණ ඇති කෙනකුන්‌ දෑ රජගෙයි වළඳන සේකැ'යි බෝධිසත්ත්වයන්‌ වහන්සේ අසා දන්නා සේක. එක දවසකුත්‌ ඔවුනොවුන්‌ දුටු විරූත්‌ නැත්‌ මය.


නන්දා දේවීත් 'එදවස්‌ උමඟින්‌ සොරා ගෙන ගොස්‌ මසක්‌ වන ගණන්‌ රජ්ජුරුවන්‌ කෙරෙන්‌ මා වියෝ කොට පීහ'යි තමන්ගේ පමණ ප්‍රිය විප්‍රයෝගයට බෝධිසත්ත්වයන්‌ කෙරෙහි නොපහන්‌ තැනැත්තේ වෛරයෙන්‌ තුමූත්‌ කිසිවකුත්‌ කොට ගන්නට අසමර්ථ ව තමන්‌ කෙරේ වල්ලභ ස්ත්‍රීන්‌ පස්‌ දෙනකුට කියන්නාහු, තෙපි ඇම මහෞෂධ පණ්ඩිතයාගේ අපරාධයක්‌ පරීක්‍ෂා කොට රජ්ජුරුවන්ට කියා බිඳුවා පියව'යි කීහ. ඔවුහු පස්‌ දෙන මහතාණන්ගේ වරදක්‌ සොයන්නාහු ඔබ යන එන තෙන අනුනට කිසිවක්‌ නොහඟවා පරීක්‍ෂා කොට ඇවිදිනාහ.


එක්‌ දවසක්‌ පරිබ්‍රාජිකාවන්‌ දෑ, රජ ගෙහි දී වළඳා තමන්‌ වහන්සේගේ ආශ්‍රමයට වඩනා සේක්‌, බෝධිසත්ත්වයන්‌ දෑ රාජ සේවයට වඩනා වුන් රාජාංගණයෙහි මිදුලෙහි දුටු සේක. මහතාණෝ පරිබ්‍රාජිකාවන්‌ දෑ වැඳලා සිටි සේක. පරිබ්‍රාජිකාවන්‌ දෑ සිතන සේක්‌, 'මේ පණ්ඩිතයන්‌ නුවණැත්තෝල. එබැවින්‌ මුන්‌ නුවණ පරීක්‍ෂා කෙරෙමි'යි සිතා 'බසින්‌ කීවා කවුරු නො දනිද්ද? හස්ත මුද්‍රා නම්‌ බැරි දෙයක. එබැවින්‌ හස්ත මුද්‍රාවෙන්‌ ප්‍රශ්නයක්‌ විචාරමි'යි සිතා බෝධිසත්ත්වයන්‌ දෑ මූණ බලා අතක්‌ විදහා පෑ සේක. එකුමක්‌ නිසාද යත්‌: කිමෙක්ද පණ්ඩිතයෙනි! රජ්ජුරුවෝ තොප රටින්‌ මෙරටට ගෙන්වා ගෙන අත විදා සම්පත්‌ දී පියා සුව සේ රකිත්දැයි නො රකිත්දැ?'යි සිතින්‌ සිතා බසින්‌ නොකියා අත්ල විදහා පෑ නියාය. බෝධිසත්ත්වයන්‌ දෑ සිතන සේක්‌, 'මා අතින්‌ හස්ත මුද්‍රාවෙන්‌ ප්‍රශ්න විසඳන සේක්‌ වනැ'යි තමන්‌ වහන්සේගේ ප්‍රඥා නමැති දිවැසින්‌ දැන, ඒ ප්‍රශ්න විසඳන සේක්‌, තමන්‌ වහන්සේගේ මිට හකුළුවා පෑ සේක. කුමක්‌ කී නියාද යත්‌: 'මා සමීපයට එව'යි ප්‍රතිඥාගෙන, මාගේ රටින්‌ මා ගෙන්වා ගෙන, මිටින්‌ තර ව ගත්‌ දෙයක්‌ අනුනට නොදෙන්නා සේ අමුතු කිසිවකුත්‌ මට නොදෙන්නාහ'යි සිතා, අතින්‌ ප්‍රශ්නය විසඳූ නියාය. පරිබ්‍රාජිකාවන්‌ දෑ ඔබ දැන ගත්‌ නියාව දැන අත ඔසවා තමන්දෑගෙ හිස පිරිමැඬ ලූ සේක. කුමක්‌ කී නිසාද යත්‌ : ඉදින්‌ උකටලී වූ නම්‌ අප සේ මහණ ව නොගණුද'යි හැඟැවූ නියාය. එයිත්‌ දැනලා තමන්‌ වහන්සේගේ බඩ පිරිමැඬ ලූ සේක. ඉන්‌ හැඟවූයේ 'මා විසින්‌ රකිනා බඩවල්‌ බොහෝය. ඒ බැවින්‌ පැවිදි වන්නට නොපිළිවන'යි කී නියාය. මෙසේ ඒ පරිබ්‍රාජිකාවන්‌ දෑ, හස්ත මුද්‍රාවෙන්‌ ප්‍රශ්න විචාරා තමන්‌ වහන්සේගේ ආවාසයට වැඩි සේක. බෝධිසත්ත්වයන්‌ දෑත්‌ පරිබ්‍රාජිකාවන්‌ වැඳ රාජ සේවයට ගිය සේක.


නන්දා දේවීන්ගේ වල්ලභ ස්ත්‍රීහු රජගෙයි සී මැඳුරු කවුළුවෙන්‌ පිටත බැලුවාහු මේ ක්‍රියාව දැක, රජ්ජුරුවන්‌ සමීපයට ගොස්‌, දේවයන්‌ වහන්ස, මහෞෂධ පණ්ඩිතයෝ පරිබ්‍රාජිකාවන්‌ හා එක්‌ ව නුඹ වහන්සේ සතු රාජ්‍යය ප්‍රාර්ථනා කරන්නාහ. නොබෝ කලකින්‌ නුඹ වහන්සේ මරා රාජ්‍යය ගන්නාහයයි බිඳුවා පීහ.


ඒ අසා රජ්ජුරුවෝ කියන්නාහු, 'කිමෙක්ද, තොප දුටු දෙයෙක්ද? ප්‍රත්‍යක්‍ෂ කොට ඇසූ දෙයෙක්දැ'යි කීහ. 'අසා වදාළ මැනැව, පරිබ්‍රාජිකාවන්‌ දෑ, ඊයේ රජ ගෙහි දී වළඳා යන්නවුන්‌ දෑ රජගෙයි මිදුලේ දී මහෞෂධ පණ්ඩිතයන්‌ දැක, බොහෝ දෙනා හෙයින්‌ බසින්‌ මන්ත්‍රණයට භය ඇති ව අතින්‌ ඉඟි පානාහු, "පණ්ඩිතයෙනි, තෙපි නුවණැති තැනැත්තවුන්‌ වුව, දඹදිව සියලු රාජ්‍යය අතුල්‌ තලයක්‌ මෙන්ද නොහොත්‌ කර මඬලක්‌ මෙන්ද තනාගෙන, රාජ්‍යය තොප අත්පත්‌ කරන්නට නොපොහොසත්දැ'යි තමන්ගේ අත්ල විදහා උපමා කොට පෑදෑය. පණ්ඩිතයෝත්‌, ඒ දැන ගෙන, 'කඩුව මිරිකා ගනිම්‌ නම්‌ කීප දවසකින්‌ රජහු මරා රාජ්‍යය අත්‌ පත්‌ කොට ගනිමි' කඩුව ගන්නා ලෙස මිට අකුළුවා පෑහ. පරිබ්‍රාජිකාවෝ 'එසේ වී නම්‌ රජහු ඉස කපාහැර පියව'යි තමන්‌ හිස පිරිමැඳ ලූහ. එවිට පණ්ඩිතයෝ 'ඉසට ගැසූ පහර මාගේ භයින්‌ අත වැරදී මුඳුනින්‌ හිස පළා ගිය නම්‌ නපුර, බඳ මැදින්‌ පොලු කෙරෙමි'යි සිත තබා බඩ පිරිමැඬ ලීය, මහරජ, ඇසූ දෙයක්‌ කුමට කියමෝද? අපි සියැසින්‌ ම දුටුම්හ'යි කියා නැවතත්‌ කියන්නාහු, 'අප්‍රමාද ව මහෞෂධ පණ්ඩිතයන්‌ මරා පිය මැනැවැ'යි කීහ.


රජ්ජුරුවෝ උන්ගේ බස්‌ අසා මෙසේ සිතූහ. පණ්ඩිතයන්‌ විසින්‌ මා කෙරේ වරදනට නොපිළිවන. පණ්ඩිතයන්‌ කීවයි කියන කාරිය පරිබ්‍රාජිකාවන්‌ දෑ අතින්‌ විචාරා දැන පියමි'යි සිතා දෙවන දවස්‌ පරිබ්‍රාජිකාවන්‌ දෑ වළඳා අන්තයෙහි උන්‌ දෑ විචාරන්නාහු, 'කිමෙක්ද පණ්ඩිතයෝ දුටුද?'යි කීහ. “මහරජ, ඊයේ රජගෙයි වළඳා යන්නමෝ අතර මඟ දී දුටුම්හ”යි කී සේක. “උන්‌ හා කළ කතාවෙක්‌ ඇද්දැ”යි කීහ. “මහරජ, උන්හා බසින්‌ කී දෙයක්‌ නැත. 'උහු නුවණැත්තාහ'යි යනු අසා ඉදින්‌ නුවණැත්තාහු වී නම්‌ දැන ගන්නාහයි සිතා පරීක්‍ෂා කරන පිණිස හස්ත මුද්‍රාවෙන්‌ ප්‍රශ්නයක්‌ විචාළම්හ, අප විචාළ ප්‍රශ්නය දැන අප සිත්‌ වූ පරිද්දෙන්‌ විසඳූහ”යි ඒ වූ නියායෙන්‌ වදාළ සේක. “ස්වාමීනි, පණ්ඩිතයෝ නුවණැත්තෝද?” කීහ. “මහරජ, නුවණැත්තෝය. උන්‌ හා සමාන කෙනෙක්‌ එක තෙනෙකත්‌ නැත්තාහ”යි වර්ණනා කළ සේක. රජ්ජුරුවෝ පරිබ්‍රාජිකාවන්ගේ බස්‌ අසා වැඳ පන්සලට යැවූහ.


උන්‌ වහන්සේ ගිය ඉක්බිති, බෝධිසත්ත්වයන්දෑ ආ සේක. පරිබ්‍රාජිකාවන්‌ විචාළ නයින්‌ ම 'කළ කථා කිම්දැ'යි කීහ. ඔබ මා හා බසින්‌ කී දෙයක්‌ නැත. හස්ත මුද්‍රාවෙන්‌ ප්‍රශ්නයක්‌ විචාළ සේක. ඔබ විචාළ ප්‍රශ්න මමත්‌ නොවරදවා හස්ත මුද්‍රාවෙන්‌ ම විසඳීමි'යි පරිබ්‍රාජිකාවන්‌ දෑ කී පරිද්දෙන්‌ නොවරදවා ම වදාළ සේක.


එ දවස්‌ රජ්ජුරුවෝ, මහතාණන්‌ කෙරෙහි පැහැද, දස දහසක්‌ යොදුන්‌ දඹදිව මුළුල්ලට නායක කොට සෙනෙවිරත්‌ ධූරය දී පට බැන්දාහ. සියලු රාජ්‍යය මුළුල්ල පණ්ඩිතයන්‌ කීවක්‌ මය, මෙවක්‌ පටන්‌ උන්‌ කීවක්‌ මා කරන්නේය'යි යනාදීන්‌ සියලු දඹදිව විධාන ව උන්‌ වහන්සේට පාවා දුන්හ. හිමාලයෙන්‌ හුණු පංච මහා ගංගාවන්‌ මහ මුහුදට වදනා පරිද්දෙන්‌, බෝධිසත්ත්වයන්‌ වහන්සේගේ ගෙට සියලු සම්පත්‌ හා ඓශ්චර්යය මහ මුහුදට වඩ බා දිය සේ ප්‍රමාණාතික්‍රාන්ත ව ඉතා බොහෝ විය.


රජහු තමන්‌ වහන්සේට යසස්‌ දුන්‌ ඉක්බිති නුවණැති මහතාණන්‌ වහන්සේ මෙසේ සිතූ සේක. කෙසේද යත්‌: රජ්ජුරුවෝ එක විට ම මේ සා මහත්‌ තනතුරක්‌ දී තමන්‌ හැර මා මුත්‌ සියලු සම්පත්තින්‌ ආඪ්‍ය කෙනකුන්‌ නැති නියාවට මේ සා මහත්‌ ඓශ්චර්යයෙහි පිහිටුවා ලූහ. රජදරුවෝ යමක්හු කෙරෙහි වෛර වූ නම්‌ පස්වරු නසත්‌ නම්‌ පෙරවරු බොහෝ සම්පත්‌ දෙන්නාහ. දැන්‌ මටත්‌ මෙතෙක් දවස්‌ කිසිවකුත්‌ නොදී මහෝඝයක්‌ සේ මේ සා මහත්‌ සම්පත්‌ එක පැහැර දී පීහ. රජ්ජුරුවන්‌ මා කෙරෙහි ඉත සිතින්‌ දුන්‌ බවත්‌ අහිත සිතින්‌ දුන්‌ බවත්‌ නොදනිමි. කල්‌ නොයවා එයින් දැන පීම්‌ නම්‌ යහපතැ'යි සිතා, රජ්ජුරුවන්ගේ අදහස්‌ තත්‌ වු පරිද්දෙන්‌ දැන පියන්නට අන්‌ කෙනකුනට නොපිළිවන. භෙරී පරිබ්‍රාජිකාවන්‌ වහන්සේ මහා නුවණැති සේක. උන්‌ වහන්සේ එක්‌ උපායකින්‌ ඒ දැන පියන්නට තරම්‌ සේකැ'යි බොහෝ සුවඳ මල්‌ හා ගිලාන ප්‍රත්‍යයෙන්‌ කිසිවකුත්‌ ගෙන්වා ගෙන පන්සලට ගොස්‌, සුවඳින්‌ මලින්‌ පූජා කොට 'ස්වාමීනි, නුඹ වහන්සේ මාගේ ගුණ කීවාක්‌ පටන්‌ රජ්ජුරුවෝ තමන්‌ හැර සම්පතින්‌ මා මුත්‌ අනෙක්‌ කෙනකුන්‌ නැති නියාවට මහ වතුරක්‌ පරිද්දෙන්‌ මාගේ මාළිගය නොයෙක්‌ අයුරින්‌ සමෘද්ධ කොට පීහ. ඒ මා කෙරෙහි සම සිතින්‌ දුන්‌ බවත්‌ මා නසා පියන සිතින්‌ දුන්‌ බවත්‌ නොදනිමි. රජහු මා කෙරෙහි ඇති සමාධි ගුණය තත්‌ වූ පරිද්දෙන්‌ දැන පිය මැනැව'යි වදාළ සේක.


පරිබ්‍රාජිකාවන්‌ දෑත්‌ 'යහපතැ'යි ගිවිස, දෙවන දවස්‌ රජගෙට යන ගමනේ දී ම 'දිය රකුසු පැනය'යි එක්‌ ප්‍රශ්නයක්‌ සිතා, නැවත මෙසේ සිතන සේක්‌, 'පණ්ඩිතයන්‌ හා එක්‌ ව කතා කළ චර පුරුෂයකු සේ නොව උපායෙකින්‌ ප්‍රශ්න විචාරා රජ්ජුරුවන්ගේ හිත අහිත දෙක දැන පියම්ය'යි වළඳා අන්තයෙහි රජ්ජුරුවන්‌ ඇවිත්‌ වැඳ හුන්‌ කල්හි පරිබ්‍රාජිකාවන්‌ දෑට මෙසේ වූ අදහසක්‌ වූයේය. කෙසේ ද යත්‌: 'ඉදින්‌ මේ ප්‍රශ්නය බොහෝ දෙනා මැදයෙහි විචාළෙම්‌ නම්‌, රජ්ජුරුවෝ පණ්ඩිතයන්‌ කෙරෙහි වෛර වූ නම්‌ බොහෝ දෙනා මධ්‍යයෙහි ම වෛර බව කිවයුත්ත නොවෙයි" සිතා, 'මහරජ, තනි ව රහස්‌ කතාවක්‌ කියනු කැමැත්තම්හ'යි වදාළ සේක. රජ්ජුරුවෝ සමීපයෙහි මිනිසුන්‌ පිටත්‌ කැර වූහ. එවිට පරිබ්‍රාජිකාවන්‌ දෑ කියන දෑ මහරජ, තොප අතින්‌ ප්‍රශ්නයක්‌ විචාරමි'යි වදාළ සේක. 'විචාළ මැනැව, ස්වාමීනි, දනිම්‌ නම්‌ කියමි'යි කීහ. එවිට භෙරී නම්‌ පරිබ්‍රාජිකාවෝ කියන්නාහු, මේ 'දිය රකුසු පැනයෙහි' පළමු වන ගාථාව වදාරන සේක්‌:-


            “සචෙ වො වුය්හමානානං සත්තන්නං උදකණ්ණවෙ
              මනුස්ස බලි  මෙසානො නාවං ගණ්හෙය්ය් රක්ඛසො
              අනුපුබ්බං කථං දත්වා මුඤ්චසි දකරක්ඛනො”
    
             

මේ ගාථාවෙන්‌ කීහ. 'එසේ වී නම්‌ මහරජ, තොපගේ වැදූ මෑණිය තලතා දේවීය, තොපගේ නායක බිසවු නන්දා දේවිය, තොපගේ එක කුස හොත්‌ මලණුවෝ තීක්‍ෂණ මන්ත්‍රී කුමාරයෝය. තොපගේ යහළු වූ ධනුශේඛර කුමාරයෝය, අග්‍ර පුරෝහිත කේවට්ට බ්‍රාහ්මණයෝය. මහෞෂධ පණ්ඩිතයෝය. තෙපිය යන මේ සත්‌ දෙනා මහා සමුද්‍රයෙහි එක නැවකින්‌ යන්නවුන්‌, මිනිසුන්‌ කා ඇවිදිනා උදක රාක්ෂයෙක්‌ මිනිස්‌ බිල්ලක්‌ සොයා ඇවිදිනේ තොප සත්‌ දෙනා නැඟී යන්නා වූ නැව දැක, මුහුදු දිය දෙබෑ කොට අවුත්‌ නැව අල්ලාගෙන තොපට කියන කල, 'මහරජ, මේ තොප හා කැටි ව නැවින්‌ යන සදෙනා පිළිවෙළින්‌ දුන හොත්‌ මුත්‌ නැව නාරිමි'යි කී නම්‌, ඒ සදෙනාගෙන්‌ කවුරුන්‌ පළමුව දෙවුද? දෙ වැනි ව තුන්‌ වැනි ව, සතර වැනි ව, පස්‌ වැනි ව දී කවුරුන්‌ අන්ත කොට බිලි දී ඒ ජල රාක්‍ෂයා අතින්‌ ගැලවෙවුදැයි? විචාළහ.


ඒ අසා රජ්ජුරුවෝ තමන්‌ සිත වඤ්චා නැති ව අදහස්‌ වූ පරිද්දෙන්‌ කියන්නාහු :


                   “මාතරං පඨමං දජ්ජං හරියං දත්වාන භාතරං 
                     තතො සහායං දත්වාන පඤ්චමං දජ්ජ බ්රාරහ්මණං
                     ජට්ඨාහං දජ්ජ මත්තානං නෙව දජ්ජං මහොසධං.”


මේ ගාථායෙහි අභිප්‍රාය නම්‌, 'ස්වාමීනි, සැබැවින්‌ ජල රාක්‍ෂසයා නැව අල්ලාගෙන, 'සදෙන මට පිළිවෙළින්‌ බිලි දී තෙපි ගැලවෙව'යි කී නම්‌ ඕහට බිල්ලට පළමු කොට මාගේ මෑණියන්‌ දෙමි, දෙ වැනි ව නන්දා දේවීන්‌ දෙමි, තුන්‌ වැනි ව මාගේ මලණුවන්‌ දෙමි, සතර වැනි ව මාගේ යහළුවා දෙමි, පස්‌ වැනි ව කේවට්ටයා දෙමි, පස්‌ දෙනා දී මහෞෂධ පණ්ඩිතයා මා හා දෙන්නා ම මතු සිටි කල්හි තවත්‌ බිලි ඉල්වා නම්‌ පිළි තරව හැඳගෙන කැහැපට කවාගෙන දස දහසක්‌ යොදුන්‌ දඹදිවට මා කරන්නා වූ රාජ්‍ය ශ්‍රී නොසිතා, එම්බල මා කා පියවයි කියා මහෞෂධ පණ්ඩිතයන්‌ මා පිටිපස්සට දමා පියා, ඒ රාක්‍ෂසයා කට දල්වා ලූ කල්හි, පණ්ඩිතයන්‌ මාරුවෙහි ඔහු කටට පැන, මම ඕහට බිලි වෙම්‌ නමුත්‌ මා පණ ඇති ව හිඳ, මා ඇසින්‌ බල බලා, මාගේ පණ්ඩිතයන්‌ රාක්‍ෂසයාට නොදෙම්මැ'යි කීහ.


මේ ප්‍රශ්නය මෙතෙකින්‌ ම නිමියේය. එතෙකුදු වුවත්‌ රජ්ජුරුවන්‌ පණ්ඩිතයන්‌ කෙරේ ඇති ඉත සිතත්‌ මා විචාළ ප්‍රශ්නයත්‌ මා ඇසූ පමණින්‌ ම ප්‍රසිද්ධ වන්නේ නොවේ. එබැවින්‌ මුහුදු දිය පිට ඉසැලූ තෙලිත්තක්‌ මුළුල්ලෙහි විහිද යන පරිද්දෙන්‌ කෙළෙම්‌ නම් යහපතැ”යි සිතා "මහ රජහු සමඟින්‌ මාළිගායෙන් බැස, ජන සමාගමය කරවා ඒ තැනත්‌ රජහු අතින්‌ විචාරමි. රජ්ජුරුවෝ මට පළමු කී ලෙස ම 'පස්‌ දෙනා පිළිවෙළින්‌ දී පණ්ඩිතයන්‌ රකිමි'යි කියති. එතැන මම මෑණියන්‌ ආදී පස්‌ දෙනාගේ ගුණ බොහෝ දෙනා මැදයේ කියමි. පණ්ඩිතයන්ගේ නුගුණ කියමි. රජ්ජුරුවෝ උන්හැම දෙනා නුගුණ බොහෝ කොට කියා පණ්ඩිතයන්ගේ ගුණ කියති. එසේ කල්හි බෝධිසත්ත්වයන්ගේ ගුණ ආකාශයෙහි පූර්ණ චන්ද්‍රයා පරිද්දෙන්‌ ප්‍රසිද්ධ වන්නේය"යි සිතා "මහරජ, තොපගේ අන්තඃපුරවාසීන්ද රාජ කුමාරවරුන්ද මේ සා මහත්‌ නුවර ප්‍රසිද්ධ ජනයන්‌ එක හෙළා රැස්කරවා රාජාංඟණයෙහි මාහැඟි ආසනයක්‌ පනවා විසිතුරු කරව"යි අනර්ඝ වූ ආසන පනවා, එහි උන්‌ පරිබ්‍රාජිකාවන්‌ දෑ රජහු අතින්‌ පළමු තනි ව විචාළ පරිද්දෙන්‌ ප්‍රශ්න ආදියෙහි පටන්‌ විචාරා, රජ්ජුරුවනුත්‌ තමන්‌ පළමු කී පරිද්දෙන්‌ ම ඒ රාක්‍ෂසයාට "පළමු මෑණියන්‌ හා සවැනි ව තමන්‌ පිළිවෙළින්‌ බිලි දී මහෞෂධ පණ්ඩිතයන්‌ රකිම්‌ මය. මා පණ තබා ඇසිල්ලකුත්‌ මාගේ පණ්ඩිතයන්‌ කෙරෙන්‌ වියෝ ව විසිය නොහෙමි'යි කී කල්හි පරිබ්‍රාජිකාවන්‌ දෑ කියන සේක්‌, "මහරජ, සිත එකක්‌ තබා බසින්‌ එකක්‌ නොකියව. අප වැන්නන්ටත්‌ මායම්‌ කියත්ද? තොප කියන්නේ කවුරුන්‌ අදහා ගන්නා බසෙක්ද? "දිය රකුසා නැව අල්ලා ගත්‌ කල වැදූ මෑණියන්‌ පටන්‌ තොප සදෙනා පිළිවෙළින්‌ බිලි දී පණ්ඩිතයන්‌ රකිමි”යි කිව. බැලූ කල මහෞෂධ පණ්ඩිතයන්‌ තරම්‌ තොපට සතුරෙක්‌ නැත. වැදූ මවුන්‌ නම්‌ සත්ත්වයනට උන්‌ විනා උපකාරි කෙනකුන්‌ නැත. ඉනුත්‌ තොපගේ මෑණියෝ සෙස්ස වුන්‌ සේ අල්ප වූ ගුණ ඇති කෙනෙක්‌ නොවෙත්‌, තොපට බොහෝ උපකාරී වුව. එසේ ගුණ ඇති මෑණියන්‌ කුමක්‌ පිණිස දෙවුදැ”යි රජහට ප්‍රත්‍යක්‍ෂ කොට දැනෙන පරිද්දෙන්‌ කියන සේක්‌:-

           “පොසෙතා තෙ ජනෙත්ති ච දීඝරත්තානකම්පිකා
             ජබ්බෙ තයි පදුඨස්මිං පණ්ඩිතා අත්ථදස්සිනී
             අඤ්ඤං උපනිසං කත්වා වධා තං පරිමොවයි.
            “තං තාදිසිං පාණද‍ායිං ඔරසං සබිබධාරිණිං
              මාතරං කෙන දොසෙන දජ්ජාසිදකරක්ඛනො.”


මෙහි අර්ථ කෙසේද යත්‌: මේ චූලනී රජ්ජුරුවන්ගේ පියාණන්‌ සමයෙහි චූලනී කුමාරයන්‌ බාල කල ඒ රජහු පිරිමසා සිටි ඡබ්බ නම්‌ පුරෝහිත බමුණා හා මේ තලතා දේවීන්‌ ලෝකස්වාද රතියෙන්‌ සතුටු ව සමඟ වසන්නාහු විස මිශ්‍ර භෝජනයකින්‌ රජහු මරා බමුණාට ධවලච්ඡත්‍ර නංවා ඕහට අග මෙහෙසුන්‌ ව, බමුණා රාජ්‍යය කරන සමයෙහි එක් දවසක්‌ චූලනී කුමාරයන්‌ 'මෑණියන්‌ වහන්ස, බඩ සාය'යි කී කල්හි ඕහට සකුරු මී පැණියක්‌ ගා කැවුම්‌ දෙවූහ. එහි මැස්සෝ පිරිවරා ගත්හ. කුමාරයෝ රන්‌ තැටියෙන්‌ මී බින්දු බිම හෙළා තැටියේ උන්‌ මැස්සන්‌ ගසා නෙරපූහ. ඒ මැසි සමූහයා බිම මී බින්දුවල වසා ගත්හ. ඒ වේලෙහි කුමාරයෝ මැස්සන්‌ නෙරා කැවුම්‌ කා අත කට ශුද්ධ කොට කෙළියට ගියහ.


බමුණා මේ ක්‍රියාව දැක සිතන්නේ, මේ ඉස නොනැඟීම තමා කන කැවුමේ මැස්සන්‌ පලවා කැවුම්‌ කෑය. ඉදින්‌ නොනැසී වැඩිණි නම්‌ මට රාජ්‍යය නොදෙන්නේය. මොවුන්‌ දෑ දැන්‌ ම මරවා පියමි'යි සිතා, එපවත්‌ තලතා දේවීන්ට කීහ. බිසවු කියන්නාහු “දේවයන්‌ වහන්ස, මම නුඹ කෙරෙහි කළ ස්නේහයෙන්‌ මාගේ එවැනි රජ්ජුරුවන්‌ පවා විෂ ලවා මරා පීමි. එබැවින්‌ මට මුන්‌ ගෙන්‌ ප්‍රයෝජන කිම්ද? සැල නොකොට සොරා මරා පියම්හ”යි බමුණු අස්වසා ලා ඉතා නුවණැති බිසවු උපායක්‌ ක්ෂණයෙහි සිතා අරක්කැමියා කැඳවා "දරුව, ම පුතණුවෝ චූලනී කුමාරයෝත්‌ තොපගේ පුත්‌ ධනුශේඛර කුමාරයාත්‌ එකදා උපන්හ. සමාන වූ කුමාර පෙරහරින්‌ වැඩියහ. එබැවින්‌ ඔවුනොවුන්‌ ප්‍රාණය සමාන යහළුවහ. දැන්‌ ඡබ්බ නම්‌ බ්‍රාහ්මණයා ම පුතණුවන්‌ මරනු කැමැත්තේය. තෙපි මා දරුවන්‌ දිවි රැක දෙව”යි කීය. යහපත දේවීන්‌ වහන්ස, කුමක්‌ කෙරෙම්ද?යි කී කල්හි 'එසේ වී නම්‌ මාගේ පුතණුවෝ එක්‌ වන්‌ තොපගේ ගෙයි ම වෙසෙත්වා, කවුරුනුත්‌ සැක නොකරන පරිද්දෙන්‌ හා හැමදෙනා ම දන්නා පරිද්දෙන්‌ හා කීප දවසක්‌ තූන්‌ දෙන ම තනි ව මුළුතැන්‌ ගෙයි වැද හෙව චූලනී කුමාරයන්‌ හා අරක්කැමියා හා පුතු ඇතුළු වූ තුන්‌ දෙනා මුළුතැන්‌ ගෙයි ම දවස්‌ යවන්නේ සැක නැති වූ කල තොප වැද හොත්‌ තැන එළුවන්ගේ ඇට ඇද ලා පියා මිනිසුන්‌ රෑ නිදි ගත්‌ කල මුළුතැන්ගේ ගිනි ලා පියා, කිසි කෙනකුන්ටත්‌ නොහඟවා. මාගේ පුතාත්‌ හැර ගෙන, මේ නුවර හළ පැලැල්ලෙන්‌ පළමු නික්ම පසල්‌ දනවුවෙහි අනෙක්‌ නුවරකට පළා ගොස්‌, ම පුතණුවන්‌ රජ කුමාර බව නොහඟවා දිවි රැක දෙව"යි කීහ.

ඒ "යහපතැ”යි ගිවිස්සේය, දේවී තුමූ මුතු මැණික්‌ ආදී වූ රුවනින්‌ යම්‌ තාක්‌ දෙයකුත්‌ දුන්හ. ඒ අරක්කැමියා ආදී තුන්‌ දෙන ම මුළුතැන්ගේ ගිනි ලා යන්නාහු ක්‍රමයෙන්‌ ගොස්‌ මදුරට සාගල පුර නුවරට වැද තමන්ගේ ජාති ඇඟවූහ.


මදු රජ්ජුරුවෝ තමන්ගේ පරණ අරක්කැමියා ඇර ඔහුගේ මුළුතැන්ගේ රක්නා ධූරය ඕහට පාවා දුන්හ. කුමාරවරු දෙදෙන ඔහු සමඟ ම එක්‌ වන්‌ රජගෙට යන්නාහුය. රජ්ජුරුවෝ "කුමාරවරු කාගේ දරුවෝදැ?”යි විචාළහ. මාගේ දරුවෝය”යි කී කල්හි "මේ එක්‌ වැනිය. මේ එක්‌ වැනි නොවේ'යි කී කල්හි "මාගේ බිරින්දන්‌ දෙන්නාගේ දරුවෝ දෙන්නාය, එබැවින්‌ මේ මා වැනිය, මේ මෑණියන්‌ වැනිය”යි කීහ, එසේ කල්‌ යත්‌ යත්‌ ඔවුහු යහළුව ගොස්‌ මදු රජ්ජුරුවන්ගේ දුවණියන්‌ හා එක්‌ ව රජගෙයි ම කෙළනාහ. නැවත චූලනී කුමාරයන්‌ හා දෙදෙන එක්‌ වන්‌ දැක්මෙන්‌ ඔවුනොවුන්‌ කෙරෙහි පිළිබඳ වූ අදහස්‌ ඇති වූහ. කෙළි මඬලේද චූලනී කුමාරයෝ තමන්‌ කෙළනා පලස් හූවටත්‌ ලණුවත්‌ කුමාරිකාවන්‌ ලවා "තෙලෙ ගෙනෙව”යි යනාදීන්‌ තමන්‌ සිටි තැනට ගෙන්වන්නාහුය. සමහර විටෙක නොගෙනාව තරව ඔළුවේ ඇන ලන්නාහ. කුමාරයා තමාගේ රාජ මානයෙන්‌ තරව ගැසූ පහර සමහර විට ස්නේහයෙන්‌ ඉවසා පියති. සමහර විට ඉතා ම රිදී යන්නා ඉවසිය නොහී අත්‌ ගගා හඬන්නාහ. ඒ අසා රජ්ජුරුවන්‌ "මාගේ දරුවනට ගැසුවෝ කවුරුද?"යි කී කල කිරිමවු ගොස්‌ විචාළ කල "ඉදින්‌ මම ‘මේ මට ගැසුයේය"යි කීම්‌ නම්‌ ම පියාණෝ ඕහට රාජාඥ කරවන්නාහ”යි සිතා ඔහු කෙරේ ස්නේහයෙන්‌ ඒ බව වලහා, 'කුමක්‌ කියවුද? මා කවුරු මරද්ද? නිකම්‌ අඬාපීමි"යි යට කරන්නීය.


නැවත එක්‌ දවසක්‌ මරන්නවුන්‌ රජ්ජුරුවෝ තුමූ ම දැක මෙසේ සිතක්‌ සිතූහ. "මේ කුමාරයා මූ හා එක සැටියත්‌ නොවෙයි. ස්වර්ණ ප්‍රතිබිම්බයක්‌ සේ බැලුවනට ප්‍රසාද එලවන්නේය, මේ රජගෙයකැවත්‌ රජ්ජුරුවන්ගේ දුවකැ'යි වත්‌ 'මම නොරටින්‌ ආමි'යි වත්‌ අරක්කැමියාගේ පුතෙකිමි' වත්‌ කිසි භයක්‌ තැති ගැන්මක්‌ නැත්තේය. මට වළහා කී බව මූත්‌ මේ අරක්කැමියාගේ පුතෙක්‌ නොවෙයි සිතා එවක්‌ පටන්‌ විමසන්නාහ. කිරිමවු කුමාරිකාවන්‌ කෙළනා තැනට කැවුම්‌ ගෙනයන්නෑහ. කුමාරිකාවෝ සෙසු බාල දරුවනටත්‌ බෙදා දෙන්නාහ. සෙස්සෝ දික්‌ කළ කැවුම්‌ ගන්නා කල දන වක නමාගෙන නැඹුරුව දෝතින්‌ දික්‌ කොට ඇරගෙන කන්නාහ. චූලනී කුමාරයෝ කෙළිමින්‌ සිට අතින්‌ උදුරා ගෙන කන්නාහ. එයිත්‌ රජ්ජුරුවෝ තුමූ ම දුටහ.


නැවත එක්‌ දවසක්‌ චූලනී කුමාරයන්‌ කෙළනා බමර දමාලුව. රජ්ජුරුවන්ගේ කුඩා යහනයට වැද ගියේය. ඒ ගන්නා කුමාරයෝ තමන්ගේ රාජ මානයෙන්‌ "මේ ප්‍රත්‍යන්ත රජුගේ ඇඳ යටට ඉස නැමීම නම්‌ ඔහු වැන්දාට අඩුදැ?”යි අභිමාන ව දණ්ඩකින්‌ මෑත්‌ කොට ගත. රජ්ජුරුවෝ ඒ ක්‍රියාවත්‌ දැක ඒකාන්තයෙන්‌ මේ අරක්කැමියාගේ පුතෙක්‌ නොවෙ”යි සිතා අරක්කැමියා කැඳවා, “මේ කාගේ පුතෙක්දැ?”යි විචාළහ. 'මාගේ ම පුතාය'යි කී කල, "එම්බල තාගේ පුතාත්‌ නොපුතාත්‌ මම දනිමි, බොරු නොකියා ඇති සැටියේ කියව. බොරු කීයෙහි නම්‌ දන්නෙම්‌ වේදැ”යි කඩුව අමෝරා භය ගැන්වූහ. ඒ මරන භයින්‌ තැතිගෙන, 'තනි ව දන්වා ලමි'යි කී කල්හි, රජ්ජුරුවෝ මිනිසුන්‌ දුරු කළහ. එවිට අභය ඉල්වා ගෙන, මාලු චූලනී රජ්ජුරුවන්‌ විෂ බේත්‌ ලවා මැරූ තැන්‌ පටන්‌ රජහු විචාළ තැන්‌ දක්වා තමන්‌ කොට ආ පවත්‌ කතාව වූ පරිද්දෙන්‌ නොවළහා කීහ. රජ්ජුරුවොත්‌ තත්‌ වූ පරිද්දෙන්‌ අසා දැන, තමන්ගේ දුවණියන්‌ බිසෝ පළඳනාවෙන්‌ සරහා චූලනී කුමාරයනට පාවා දුන්හ. මේ චූලනී කුමාරයන්‌ මදුරට විසූ නියාවය.


අරක්කැමියා හා කුමාරවරුන්‌ ගිය දවස්‌, අරක්කැමියාත්‌ පුතාත්‌ චූලනී කුමාරයෝත්‌ තූන්‌ දෙන මුළුතැන්‌ ගෙයි ගත්‌ ගින්නෙන්‌ දා මළහ'යි සියලු නුවර මුළුල්ලෙහි ඒක කෝලාහල විය. තලතා දේවී එපවත්‌ අසා බමුණාට කියන්නාහු, "නුඹ හා අප හා සිත ඇත්ත මුදුන්‌ පත්‌ විය. ඒ තුන්‌ දෙනා එක ගෙයිදා මළහ”යි කීහ. බමුණු ඔද වැඩී සතුටු විය. ඒ තලතා දේවී 'චූලනී කුමාරයන්ගේ ඇටය”යි එළු ඇට ගෙන්වා බමුණාට පෑ ගිවිස්සුහ.

මේ නිසා පරිබ්‍රාජිකාවන්‌ දෑ "අනික්‌ උපක්‍රමයක්‌ තමන්ගේ නුවණින්‌ දක්වා තොප මරනින්‌ මුදා රැක්කීය. කියා ඒ අසා අපමණ සැපත්‌ දුන්‌ එවැනි මෑණියන්‌ කවර වරදෙකින්‌ ජල රාක්‍ෂසයාට දෙවූදැ”යි කීහ.


ඒ අසා රජ්ජුරරුවෝ කියන්නාහු, "මාගේ මෑණියන්‌ දෑගේ ගුණ බොහෝ බවත්‌ දනිමි. නුඹ වහන්සේ වදාළ ගුණයට වඩා මා දන්නා නුගුණ බොහෝය"යි කියන්නාහු, 'ස්වාමීනි, උන්‌ දෑ නුගුණ හැම කියන්නට නොපිළිවන, යම්‌ තම්‌ දෙයක්‌ කියමි, අසා වදාළ මැනැව”.

                   “දහරා විය අලංකාරං ධාරෙති අපිළින්ධියං
                     දොවාරිකෙ අනීකට්ඨෙ අතිවෙලං පජග්ඝති.
                   “තතොපි පටිරාජානං සයු දූතානි සාසති
                     මාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛනො.”


“තමන් දෑ ඉතා වයස්ගත ව සිට බාල ස්ත්‍රීන්‌ පළඳනා වූ මිණිමෙවුල්දම්‌ ආදී නොපැළැන්ඳ මනා පැළඳ මා අමාත්‍ය මණ්ඩලයා පිරිවරා සිංහාසනාරූඪ ව උන්‌ කල්හි බොහෝ දෙනාට පෙනෙන පරිද්දෙන්‌ සක්මන්‌ කොට ඇවිදින දෑය. පැළැන්දා වූ මණි මේඛලා දාමයෙහි ශබ්දය සියලු රජගෙය ඒකනින්නාද කරමින්‌ සිටිනීය. අමාත්‍ය මණ්ඩලයා මැද උන්‌ මම මුන්‌ වහන්සේ පැළඳි ආභරණයෙහි ශබ්දය නියා දැන, ලජ්ජාවෙන්‌ කර බාමි. අමාත්‍ය සමූහයා ඔවුනොවුන්‌ මුහුණ බලන්නාහ. තවත්‌ නොකට යුත්තක්‌ බලා වදාළ මැනැව. මුන්‌ දෑගේ ඉඳුල්‌ කන්ටත්‌ තරම්‌ නුවූ දොරටුපාල කොල්ලන්ද ඇත්‌ ගොව්වන්‌ ආදීන්ද කැඳව කැඳවා බොහෝ වේලක්‌ උන්‌ හා සමඟ මහත්‌ කොට සිනාසෙන දෑය. මා සතු ප්‍රත්‍යන්ත රජදරුවනට මා යව්වා කොට පත්‌ ලියා යවන කල 'මාගේ මෑණියන්‌ දෑ මැහැලි නොවන්දෑය. සොළොස්‌ ඇවිරිද්දෙහි සිටියනටත්‌ මුන්දෑ වඩනා දෑය. මේ නම්‌ රජ්ජුරුවෝ අවුත්‌ තමන්‌ බිරින්ද කොට යෙත්ව”යි මට සොරා පත්‌ යවන දෑය. රජදරුචෝ පත්‌ බලා පියා භයින්‌ තැති ගෙන නැවත මට පත්‌ එවන කල 'අප තමන්‌ වහන්සේගේ සේවකයන්‌ වූව. මෙසේ නොතරම්‌ කටයුතු කියා එවුවේ ඇයිදැ”යි පත්‌ එවන්නාහ. ඒ ගෙනා පත්‌ සබෙහි කියවන්නට වන්‌ කල, ඉස්‌ වැද්දන තැනක්‌ නැත්තා සේ මහා ලජ්ජාවෙන්‌ පොළොව පැළී නොයන සේය”යි සිතමි. ස්වාමීනි, මේ වැරදි නිසා මෑණියන්‌ දිය රකුසාට දෙමි”යි කීහ.


“තොපිගේ භාර්යාවෝ නම්‌ තොප බාල අවස්ථාවෙහි පටන්‌ තොපට උන්‌ තරම්‌ ගුණ ඇති කෙනෙක්‌ නොවූහ'යි” නන්දා දේවීගේ ගුණ කියන මේ පරිබ්‍රාජිකාවන්‌ දෑ,

               “ඉත්ථීගුම්බස්ස පවරා අච්චන්තපියවාදිනි 
                 අනුග්ගතා සීලවති ජායාව අනපායිනි
       
                “අක්කොධනා පඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිනී
                  උබ්බරිං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛනො

මෙයින්‌ කියා, "මහරජ, මේ නන්දා දේවී නම්‌ තොපගේ සොළොස්‌ දහසක්‌ බිසෝවරුනට නායක ව පඤ්ච කල්‍යාණයෙන්‌ හා සියලු රූපශ්‍රීන්‌ විරාජමාන ව, බාලයෙහි පටන්‌ ස්වකීය වූ ඡායාවක්‌ පරිද්දෙන්‌ තොප අත්‌ නොහැර පවත්නීය. උන්ගේ ගුණ කියත්‌ නම්‌ මදු රට සාගල නුවර තොප වසන සමයෙහි තොප තළා මැරූ කල ගෙඩි කත්‌ මුත්‌ තොපගේ ආඥාව මරුත්තු නොකොට තොප කෙරේ ස්නේහයෙන්‌ දෙමවුපියනටත්‌ නොකිවුය. මෙබඳු ගුණ ඇති නොකිපෙන සුලු ඉතා නුවණැති අභිප්‍රාය දන්නා තොප සිත්‌ වූ පරිද්දෙන්‌ වැස, තොප සේ පිනැති දූදරුවන්‌ වදා රාජාභිවෘද්ධිය වඩා දුන්‌ නන්දා දේවීන්‌ කවර වරදකින්‌ ජල රාක්ෂසයාට දෙවුද?”යි කීහ.

රජ්ජුරුවෝ ඒ අසා උන්ගේ නුගුණ කියන්නාහු, මෙයින්‌ කීහ.

                “බිඩ්ඩා රතිසමාපන්නං අතත්ථවසං මාගතං
                  සා මං සකානං පුත්තානං ආයාචං යාවතෙ ධනං
                  සොහං දදාමි සාරත්තො බහුං උච්චාවචං ධනං
                  සුදුච්චජං චජිත්වාන පච්ජා සොචාමි දුම්මනො
                  උබ්බරිං තෙන දොසෙන දජ්ජාමිදකරක්ඛනො”


“ස්වාමීනි, මේ නන්දා දේවී, රහසිගත ව ලෝකාස්වාද රතියෙන්‌ සතුටු ව, මා තමා වසඟත්වයට පමුණුවා මාගේ සෙසු බිසෝවරුනට හා උන්ගෙන්‌ උපන්‌ දරුවනට මා විසින්‌ ස්නේහයෙන්‌ කරවා පළඳවන ලද නොඉල්විය යුතු පළඳනා මා අතින්‌ ඉල්ලයි. මම ඒ දුන්‌ කල මතු ඒ නිසා වන පසුතැවිලියෙක්‌ ඇතැ'යි නොසිතා, කාමරාගයෙන්‌ දවන ලද අදහසින්‌ 'ඇර ගනුව'යි ඉල්ලූ පළඳනා උදුරා දෙමි. මෝ රජහු විසින්‌ මට දෙන ලදැ'යි දරුවන්‌ හඬද්දී ඇරගෙන, ‘දරුවනට දුන්‌ පළඳනා උදුරා ගත්මි'යි අතිශයින්‌ සතුටු වෙයි. එකල බිසෝවරු හා දරුවෝ අවුත්‌ 'මේ කීවා දුන්නෙත්‌ ඇයිද? නැවත උදුරා ගත්තෙත්‌ හැයිද?”යි සභාවේ උන්‌ මට 'ඈ මැඳහත්‌ නියාය'යි මැසිවිලි කියති. බාලදරුවන්‌ අඬත්‌ අඬත්‌ මටත්‌ ශෝක උපදනේය. ‘මා කළ දෑ නපුරැ'යි පසුතැවිලියට පැමිණ නැවත භාණ්ඩාගාරයෙන්‌, ඇර ගත්තාට වඩා දිවුණක්‌ දීත්‌ උන්‌ හැම සංසිඳුවා ගත නොහෙමි. මේ සා දොම්නසක් වන්නේ උන්‌ නිසා වේද? මේ වරද මුල්‌ කොට නන්දා දේවීත්‌ ජල රාක්ෂසයාට දෙමි”යි කීහ.


“ඒ වන්නා මේ වරදින්‌ බිසවුන්‌ බිලි දෙව. තොපගේ මලණුවෝ මහා උපකාරී වූහ. උන්‌ කවර වරදින්‌ රාක්ෂසයාට දෙවුදැ”යි කියන සේක්‌, මෙයින්‌ වදාරන සේක.

            “යෙ නොවිතා ජානපදා ආනීතං ච පටිග්ගහං
              ආහතං පර රාජ්ජෙහි අඟිට්ඨාය බහුං ධනං
             “ධනුගගහානං පවරං සුරං තිඛින මන්තිනං
               භාතරං කෙන දොසෙන දජ්ජාසිදකරක්ඛනො”


මෙයින්‌ "මහරජ, තොප ස්වදේශයෙන්‌ ගොස්‌ අන්‍ය දේශයෙන්‌ උන්නවුන්‌ තමන්ගේ උපායෙන්‌ ගෙනවුත්‌ සියලු සම්පත්තීන්‌ සමෘද්ධ වූ රාජ්‍යයෙහි පිහිට වූ, තවද දස දහසක්‌ යොදුන්‌ දඹදිව දුනුවායනට අග්‍ර වූ වැරසර වූ තීක්ෂ්ණමන්ත්‍රී වූ එක කුසින්‌ උපන්‌ මලණුවන්‌ කවර වරදෙකින්‌ බිලි දෙවුදැ?” විචාළ සේක. ඒ තික්ෂ්ණමන්ත්‍රී කුමාරයෝ නම්‌. මෑණියන්‌ තලතා දේවීන්‌ මාලු චූලනී රජ්ජුරුවන්‌ විෂ ලවා මරා බමුණා හා එක්‌ ව වසන කල උපන්හ. එසේ බව මුත්‌ උපන්නේ මාලු චූලනී රජ්ජුරුවන්ටය. ඒ බමුණු කුමාරයන්‌ වැඩුණු කල කඩුවක්‌ අතට දී ලා "මේහැර ගෙන එක්‌ වන්‌ මා ළඟ සිටුව”යි කීය. ඒ කුමාරයෝත්‌ බමුණානෝ තමාගේ පියාණෝ මය'යි සිතා සේවය කරන්නාහ. (එකලත්‌ දැන්‌ සේ ම වියරුවෝ ඇති වන්නාහ.) එක්‌ අමාත්‍යයෙක්‌ සෙමින්‌ කියන්නේ, "කුමාරයෙනි, තෙපි මුගේ පුත්‌ කෙනෙකැ'යි නොසිතව. තොප මවු කුස වසන සමයෙහි, තොප මවු මේ බමුණා පිණිස තොප පියාණන්‌ මරා මෝ හට ධවලච්ඡත්‍ර නංවා, මොහු රාජ්‍යයෙහි පිහිටැවූහ. තෙපි මහා චුලනී රජ්ජුරුවන්ගේ පුතණුවෝය'යි කීය.


ඒ කුමාරයෝත්‌, දණ්ඩෙන්‌ ගැසු නයෙකු මෙන්‌ කිපී, "එක්‌ උපායකින්‌ මේ බමුණා මරමි” සිතා රජගෙට ගොසින්‌ වැද ඒ බමුණු තමනට දුන්‌ කඩුව තමන්‌ ළඟ සිටි එකක්‌ හට දී අනෙකක්‌ හට කියන්නාහු තෝ තෙල කඩුව මාගේ කඩුව යැයි වාද කොට කලහ කරව” කියා රජගෙට වන්හ. ඔහු දෙ දෙන, "මේ මාගේ කඩුව උදුරා තට දුන්නේ කවුරුදැ”යි කලහ කළහ. කුමාරයෝ පළමු නොදන්නා වන්ව, 'කොල කුමන කලහයෙක්ද?යි එකකු බලන්නට යැවූහ. ඒ අවුත්‌ "නුඹ වහන්සේගේ කඩුව අනිකක්‌ තමාගේ කඩුව යයි උදුරා කලහ කෙරෙති'යි කීහ. බමුණා ඒ අසා, 'කුමක්දැ?'යි විචාළ කල්හි “නුඹ වහන්සේ මට දුන්‌ කඩුව අනික්‌ කෙනකුන්ගේ කඩුවදැ?”යි කීහ. "කුමක්‌ කියවුද? මාගේ භාණ්ඩාගාරයෙහි සිය දහස්‌ ගණන්‌ කඩු තිබියැ දී තොප එක පුතණුවනට අනුන්ගේ කඩුවක්‌ කුමකට දෙම්දැ?"යි කීහ. එසේ වී නම්‌ නුඹ වහන්සේ මට දුන්‌ කඩුව ඇඳින ගත හෙන සේක්ද? පරීක්‍ෂා කරන පරිද්දෙන්‌ ගෙන්වමෝදැ?"යි කීහ. “ඇයි පුත, මා දුන්‌ කඩුව මම නොහඳුනම්ද? වහා ගෙනෙව”යි කීහ. කුමාරයෝ කඩුව ගෙන්වා කොපුවෙන්‌ මෑත්‌ කොට 'බැලුව මැනැව'යි කඩුව පානා එකක්හු පරිද්දෙන්‌ වමතින්‌ කොපුව ගෙන විදුලියක්‌ ගැසූ ඇසිල්ලක්‌ මෙන්‌ එක පහරින්‌ ම බමුණා හිස කපා තමන්‌ පා පිට හෙළා ගත්හ. ඒ මළ බමුණා රජ ගෙන්‌ පිටත්‌ කොට ගෙන පවිත්‍ර කරවා කුමාරයනට ධවලච්ඡත්‍රය නංවා සිටි කල්හි, මෑණියෝ චූලනී කුමාරයන්‌ සාගල නුවර වසන නියාව කීහ. ඒ අසා තීක්ෂණ මන්ත්‍රී කුමාරයෝ චතුරංඟනී සේනාව පිරිවරා ගොස්‌ බෑයන්‌ ගෙනවුත්‌ රාජ්‍යාභිෂේක කරවා රාජ්‍යයෙහි පිහිට වූහ. ඒ කුමාරයෝ ක්ෂණයෙහි සිතා පියන බුද්ධි ඇත්තාහ. එයින්‌ තික්‍ෂණ මන්ත්‍රී කුමාරයෝයැයි දඹදිව ප්‍රසිද්ධ වූහ. පරිබ්‍රාජිකාවන්‌ දෑ මෙවැනි කුමාරයන්‌ කවර වරදකින්‌ රාක්ෂසයාට දෙවුදැ?"යි වදාළ සේක.


ඒ අසා රජ්ජුරුවෝ මලණුවන්ගේ නුගුණ කියන්නාහු මෙයින්‌ කීහ.

“තයොචිතා ජානපදා ආනීතංච පටිග්ගං ආභතං පර රජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං”

ග’ධනුග්ගහානං පවරො සූරො තිබිණ මන්තිසො මයා සො සුඛිතො රාජා අතිමඤ්ඤති දාරකො

“උපට්ඨානම්පි මෙ ආය්යෙ න සො එති පථාපුරෙ භාතරං ‍ෙතන දොසෙන දජ්ජාහං දකරක්ඛනො”

මේ ගාථා කිය කියා "නිර්ධනී ව විසූ මොහු මේ නුවර ගෙනවුත්‌ මට පැමිණි රාජ්‍යයෙහි පිහිටුවා ලීමි කියාත්‌, තද දුනු ඇදීම්‌ විදීම්හි සියලු ධනුශ්ශිල්පයෙහි දඹදිව මට වඩා දක්ෂයෝ කවුරුදැ?”යි කියාත්‌ මා ඉක්ම සිතන්නේය. සෙස්ස තබා පෙර රාජ සේවයට එන කල බොහෝ දෙනාට කල්‌ තබා එන්නාහ. දැන්‌ මෙම නියා අභිමානයෙන්‌ කල්‌ යවාත්‌ එන්නේය. සමහර දවස්‌ තමා ම නොළඑන්නේය. මේ වරද නිසා ජල රාක්‍ෂසයාට බිලි දෙමි”යි කීහ.

“මලණුවන්‌ ඒ වරදින්‌ දෙව, ධනුශේකර කුමාරයන්ගේ ගුණ කියන සේක්‌”:-

“එකරත්තාව උභයො ත්වංචාපි ධනුශෙඛරො

උභො ජාතෙත්ථ පඤ්චාල සහායා සුසමාවසා

චරියායං අනුබන්ධිත්ථො එකදුක්ඛ සුඛො තව

උස්සුක්කො තෙ දිවාරත්තං සබ්බකිච්චෙසු ව්යා වටො

සහායං කෙන දොසෙන සජ්ජාසි දකරක්ඛනො.”


මේ ගාථාවෙන්‌ වදාරා "මහරජ, ධනුශේඛරයා නම්‌ තද දුනු ඇඳීම්‌ ආදි ධනුශ්ශිල්පයෙහි ඉතා දක්‍ෂය, මේ පංචාල නුවර තොප හා එක දවස්‌ උපන. තොපගේ ඡායාව පරිද්දෙන්‌ සුව දුක්‌ දෙක එක්‌ ව විඳ ඇවිද ආය, තව ද තොපගේ රාජ කෘත්‍යයෙහි රෑ දෙවෙහි අප්‍රමාද ව වසන්නේය. එසේ වූ බන්ධු සමාන යහළුවා කවර වරදකින්‌ යකුට දෙව්දැ”යි කීහ. ඒ අසා නුගුණ කියන්නා වූ රජ්ජුරුවෝ මේ ගාථා තුන කියත්‌:-

“චරියායං අයං අය්යෙස පජග්ඝිත්ථො මයා සහ අජ්ජාසි තෙන චණ්ණෙන අතිවෙලං පජග්ඝති

“උබ්බරියාපි මෙ අය්යෙෙ මන්තයාමී රහෙගතො අනාමන්තොව පවිසති පුබ්බේ අප්පටිවෙදිතො

“ලඬවාරො කතොකාසො අහිරාකං අනාදරං සහායං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛනො.”


“ස්වාමීනි, මාගේ යහළුවා කුමාර කල පටන්‌ එක්‌ ව කා බී සිට එක්‌ ව කෙළ බොහෝ දවසක්‌ මා කෙරෙහි භය රහිත ව විසූ පමණකින්‌ දැන්‌ මා රජ ව සිටි කලත්‌ පළමු පරිද්දෙන්‌ ම මා කෙරෙහි ගෞරව ආදර නැත්තේය. තව ද තමාට රැකවල්‌ නැති හෙයින්‌ කවර වේලකවත්‌ බිසවුන්‌ හා රහස්‌ කතාවක්‌ කෙරෙම්‌ නමුත්‌ සිටි රැකවලුන්‌ නැවතුවත්‌ උනට ඵරුෂ බැණ උන්‌ භය ගන්වා අභීත ව තනි ව උන්‌ තැනට ගොස්‌ වදනේය. අනාදර කරන්නේය, මා ඉදිරියේ අත පොළා සෙන්නේය: මා දුප්පත්‌ සමය සේ දැනුත්‌ සිතන්නේය. පළමු කියා නේවා ම මා උන්‌ යම්‌ ම තෙනකට වහා එන්නේය, මේ වරදින්‌ යහළුවා දිය රකුසාට දෙමි”යි කීහ.


“යහළුවා ඒ වරදින්‌ දෙව. කේවට්ටයා නම්‌ තොපට බොහෝ උපකාරීය”යි ඔහුගේ ගුණ කියන සේක්‌. මේ ගාථාවෙන්‌ වදාරන සේක්‌:-

“කුසලො සබ්බ නිමන්තානං රුදඤ්ඤු ආගතාගමො උප්පාදෙ සුපිනෙ නියානෙ ච පවෙසනෙ.

“පණ්ඩො භුම්මන්තලික්ඛස්මිං නක්ඛත්ත පාද කොවිදො බ්රාපහ්මණ කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛනො”


මේ ගාථාවෙහි අභිප්‍රාය නම්‌ 'මහරජ, මේ කේවට්ටයා නම්‌ බසින්‌ නොකියා අනුන්‌ සිතූ දෙයක්‌ තමා ඇසූ දුටු දෙයක්‌ සේ ශාස්ත්‍ර බලයෙන්‌ ම, දන්නා වූ රාජ නීති ආදී ලෝක ව්‍යවහාරයෙහි දක්‍ෂ වූ දුටුවා වූ ස්වප්නයෙහි අවැඩ අතැඹුල සේ දන්නා වූ ගමනා ගමනයෙහි අභිවෘද්ධි මේයයි නොවරදවා දන්නා වූ චන්ද්‍ර ග්‍රහණ ආදිය, තත්‌ වූ පරිද්දෙන්‌ නොවරදවා දන්නා වූ ඉදින්‌ සිතීම්‌ නම්‌ අහස පොළොව දෙක ගැට ලන තරම්‌ සියලු උපායෙහි දක්‍ෂ වූ සිතූ අර්ථයක්‌ සාදා ගන්නා තරම්‌ නුවණ හා මන්ත්‍රිකමින්‌ අග්‍ර වූ කෙනෙක. ඒ බ්‍රාහ්මණයා කුමක්‌ පිණිස රකුසාට දෙව්දැ'යි වදාළ සේක.


ඒ අසා බමුණාගේ වරද කියන්නා වූ රජ්ජුරුවෝ මේ ගාථාවෙන්‌ කියත්‌:-

පරිසායම්පි මේ අය්‍යෙ - මීලයිත්වා උදික්ඛති, තස්මා අජ්ජ භමුං ලුද්දං - දජ්ජාහංදකරක්ඛිනො.


මේ ගාථාවෙන්‌ කීයේ 'මම අමාත්‍ය මණ්ඩලය පිරිවරා සිංහාසනාරූඪ ව උන්නෙම්‌ මේ තමාගේ බැම රැළියෙන්‌ වැසී තිබෙන්නා වූ ඇටිකුකුළන්‌ ඇස්‌ මෙන්‌ ඉතා රත්‌ වූ ඇසින්‌ බැමය නගාලා කිපී බලන එකකු මෙන්‌ එක්‌ වන්‌ මා මුහුණ බලන්නේය. සීනෙන්‌ දුටුවන්‌ බාන තරම්‌ මොහුගේ රූප විලාසය හා කඩදත්‌ හා මුහුණ හා රත්‌ වූ ඇස්‌ ඇති මොහු රාක්‍ෂයකු දුටුවා සේ ඉතා භය පත්ව දක්නා සේයයි සිතමි. එසේ ම විරූප වූ බැලුම්‌ නපුරු වූ බමුණා මේ සෙයින්‌ දිය රකුසාට දෙමි'යි කීහ.


ඒ අසා පරිබ්‍රාජිකාවන්‌ දෑ 'වැදූ මෑණියන්‌ ආදී වූ පස්‌ දෙනා රකුසාට බිල්ලට දී මේ සා රාජ්‍ය සම්පත්තියක්‌ හා ශ්‍රී විභූති අලුයම දැමූ කෙළ පිඩක්‌ සේ නොසිතා තොපගේ ජීවිතය මහෞෂධ පණ්ඩිතයනට දෙමියි කිව, ඒ පණ්ඩිතයන්ගේ පෙර ගිය දවස වත්‌ දැන්වත්‌ මතු එන දවසවත්‌ කවර ගුණයක්‌ දැන එවැන්නක්‌ කරවුදැ'යි රජ්ජුරුවන්ගේ යසස්‌ හා කීර්තිය වර්ණනා කරන පරිබ්‍රාජිකාවන්‌ දෑ:-

“ස සමුුද්ද පරියායං මහං සාගර කුණ්ඩලං වසුන්ධරා ආවසසි අමච්ච පරිවාරිතො.

“චාතුරන්තො මහාරාඨො විජිතාවි මහම්බලො පථව්යාත එකරාජාසි යසො තෙ විපුලං ගතො.

“සොළසිත්ථී සහස්සානි ආමුත්තමණි කුණ්ඩලා නානා ජනපදා තායො දෙවතඤ්ඤා සමාපහා.

“එවං සබ්බංග සම්පන්නං සබ්බාකාම සමිද්ධිනං සුඛිතානං පියං දීඝං ජීවිතං ආහු ඛත්තිය.

“අථ ත්වං වණ්ණෙන කෙන වා පන හෙතුනා පණ්ඩිතා අනුරක්ඛන්තො පාණං චජසි දුච්චඡං


මෙයින්‌ කියා 'මහරජ, තෙපි වූකලී සතර දිගින්‌ මුහුදු දිය කෙළවර කොට ඇති දස දහසක්‌ යොදුන්‌ දඹදිවට අග රජ ව තොපට සේවක වූ සෙසු දරුවනට අනුශාසනා කරව. අමාත්‍ය සමුහයා පිරිවරා බල වාහනයෙන්‌ යුක්ත ව සියල්ල වුන්‌ ජය ගතුව. ශක්‍ර දේවේන්ද්‍රයා මෙන්‌ යසස්‌ හා කීර්ති ඇති ව තව ද බහා පළඳනා ලද මාණික්‍ය කුණ්ඩලාභරණාදී වූ නොයෙක්‌ බිසෝ පළඳනාවෙන්‌ විභූෂිත වූ සොළොස්‌ දහසක්‌ පුර ස්ත්‍රීන්‌ පිරිවරන ලදුව මේ සේ වූ ජනපද, ගම්‌, නියම්ගම්‌ රාජධානි ගෘහ උද්‍යාන ක්ෂේත්‍ර වස්ත්‍රාභරණ අන්නපාන දැසිදස්‌ පුත්‍ර දාරා ගව මහිස රන්‌ රුවන්‌ ආදියෙන්‌ හා ඇත්‌ අස්‌ රථ දෝලි කූනම්‌ ආදියෙන්‌ හා චතුරංඟනී සේනා ආදී නොයෙක්‌ වාහනයෙන්‌ හා පංච කාමයට නිවාස ස්ථානයක්‌ බඳු මේ තොපගේ ආත්ම ස්වභාවය නුවණැත්තවුන්‌ විසින්‌ තමාගේ ජීවිතය සේ තමාට ප්‍රිය වස්තූයෙක්‌ නැතැ'යි වර්ණනා කරන ලද්දේය. ඒ ආත්මය කුමක්‌ නිසා මේ මහෞෂධ පණ්ඩිතයන්‌ මාරුවේ දී මනුෂ්‍යයන්‌ විසින්‌ නොකට ගත හැකි නොසිතිය හැකි ප්‍රාණ පරිත්‍යාගය කරවුදැ'යි වදාළ සේක.


ඉක්බිති රජ්ජුරුවෝ 'ස්වාමීනි, කුමක්‌ වදාරන සේක්ද? පණ්ඩිතයන්ගේ ගුණ මා තබා දස දහසක්‌ සක්වළ දිව්‍ය බ්‍රහ්මයන්‌ හා නාග සුපර්ණාදී වූ දෙවියෝ ද ඒ ඒ සක්වළ අනන්ත නම්‌ නාග රාජයෝද තමන්‌ එකී එකී දෙනා දහසක්‌ මුඛ මවා එකි එකී මුබයකින්‌ කී ගුණ අනෙක්‌ මුඛයකින්‌ නොකියා එකි එකී මුඛයෙන්‌ එකී එකී ගුණයෙන්‌ ම කියත්‌ නම්‌ මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ තම තමන්‌ ආයු පමණින්‌ කියාත්‌ උන්ගේ ආයුෂය හෙවත්‌ මුත්‌ ගුණෙහි නිමාවක්වත්‌ කෙළවරක්වත්‌ දැකුමක්වත්‌ හැක්කැයි නොසිතමි. එසේ වූ ප්‍රමාණාතික්‍රාන්ත ගුණ හා නුවණ ඇති පණ්ඩිත කෙනෙක්‌ මුන්‌ විනා ගිය දවස උපන්නෝත්‌ නැත. එන දවස උපදින්නෝත් නැත. මෙදවස උපන්නෝත්‌ නැත. එබැවින්‌ උන්ගේ අනල්ප වූ ගුණයෙන්‌ ස්වල්ප මාත්‍රයක්‌ ඉදිකටු මලින්‌ ආකාශය පානා සේ කියමි'යි කී හ.

“යථාපි ආගතෙ අය්යෙ මම හත්ථං මහොසාධො නාභිජානමි ධීරස්ස අනුමත්තම්පි දුක්කටං

“සචෙ ච කිස්මිවි කාලෙ මරණං මෙ පුරෙ සියා පුත්තෙෙච මෙ සපුත්තෙව සුඛාපෙය්යස මහොසධො

“ අනාගතං පච්චුප්පන්නං සබ්බමත්ථං විපස්සති අනාපරාධකම්මන්තං නෙව දජ්ජං මහොසධං

"ස්වාමීනි, මේ මහෞෂධ පණ්ඩිතයන්‌ මොබ ආවක්‌ පටන්‌ අද මේ වේලාව දක්වා ස්වල්ප මාත්‍රයක්‌ පමණ මා නුරුස්සනා වරදක්‌ දුටු දෑ නැත. ඇසූ දෑත්‌ නැත. ඉදින්‌ තමනට පළමු මාගේ නම පිරිහුණුයේ වී නම්‌ මාගේ දරුවන්ද මුණුබුරන්ද තමාගේ ප්‍රඥා බලයෙන්‌ උන්හැම දෙනාට ම කිසි දුකක්‌ නොවැද්ද දී සැපයෙහි පිහිටුවා ලන්නාහ. තව ද අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න යන තුන්‌ කල්හි පවත්නා වූ ඉෂ්ටානිෂ්ට අර්ථානාර්ථ දෙක ලොව්තුරා සර්වඥ කෙනකුන්‌ මෙන්‌ තමන්ගේ ප්‍රඥා බලයෙන්‌ ඉඳුරා ම දන්නාහ. නිරපරාධිකාරී අසමධූර වූ පණ්ඩිතයන්‌ මා පණ තබා මම රැකී, උදක රාක්ෂසයාට බිල්ලට නොදෙම්‌ මය"යි බෝධිසත්ත්වයන්ගේ ගුණ සඳමඬල අඳනා සේ තමන්‌ සිත්‌ පරිද්දෙන්‌ නොසඟවා නොවලහා සියලු ජනයාට ඇසෙන පරිද්දෙන්‌ කීහ.


රජහු සිත දෙවළයක් නොකොට තමන්‌ සිත්‌ වූ පරිද්දෙන්‌ නොවළහා කී කල්හි පරිබ්‍රාජිකාවන්‌ දෑ ඒ සා මහා ජන සමාගමයෙහි රැස්‌ බොහෝ දෙනා හට ඇසෙන පරිද්දෙන්‌ තව තවත්‌ තර කොට ප්‍රසිද්ධ වන ලෙස වදාරන සේක්‌:-

“ඉදං සුනොථ පඤ්චාල චූළනීයස්ස භාසිතං පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජති දුච්චජං

“මාතු හරියාය භාතුච්ච සඛිනො බ්රා හ්මණස්සව අත්තනොවාපි පඤ්චාලො ඡන්නං චඡති ජීවිතං

“ඒවං මහිද්ධිකා පඤ්ඤා නිපුණා සාධු චින්තනී දිට්ඨ ධම්ම හිතත්ථාය සම්පරාය සුඛායව.”


මෙයින්‌ වදාරා, 'එම්බා පින්වත්නි, මා කියන්නක් අසව, චූලනී රජ්ජුරුවෝ තමන්ගේ වැදූ මෑණියන්‌ ඇතුළු වූ අවශ්‍ය බන්ධූන්‌ පස්‌ දෙනාත්‌ තුමූ තමන්ගේ ජීවිතයත්‌ සදෙන ජල රාක්ෂසයාට බිලි දී වත්‌ මේ මහෞෂධ පණ්ඩිතයන්‌ රකිත්ල. ඒ බව පින්වත්හු නුවරවාසී හැම දෙන ම ඉඳුරා අසා සිත තබත්වා'යි කීහ.


මෙසේ ප්‍රඥා තොමෝ සිතූ සිතූ අර්ථ සාධක බැවින්‌ මහා සෘද්ධි ඇත්තීය. සියක්‌ වර පැළූ අස්‌ රොම්‌ අගක්‌ සෙයින්‌ ඉතා සියුම්‌, ඓහලෞකික සකලාර්ථ ජාත පිණිසත්‌ එසේ ම පාරලෞකික සකලාර්ථය පිණිසත්‌ අත්‍යන්තෝපකාර බැවින්‌. 'කේවල ප්‍රශස්තය'යි සිතිය යුක්තීය, කියා පරිබ්‍රාජිකාවන්‌ දෑ සත්‌ රුවන්‌ මාලිගෙයක මැණික්‌ කොතක්‌ පළඳවන්නාක්‌ මෙන්‌ බෝධිසත්ත්වයන්‌ වහන්සේගේ ප්‍රඥා ගුණ සමූහය තමන්‌ වහන්සේගේ නුවණින්‌ දේශනා කොට කුළුගන්වා මේ දිය රකුසු පැනයෙන්‌ මේ උම්මග්ග ජාතකය නිමවා වදාළ සේක.



50. පූර්වාපර සන්ධි ගැලපීම සංස්කරණය

මෙසේ ඒ මාගේ තිලෝගුරු බුදු රජාණන්‌ වහන්සේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය යන චතුරාර්යය සත්‍යය ප්‍රකාශ කොට ධර්ම ශාලවෙහි රැස්‌ වූ භික්‍ෂූන්‌ වහන්සේ මධ්‍යයෙහි තමන්‌ වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සඳ මඬල අඳනා සේ දේශනා කොට ජාතකය නිමවා වදාළ සේක. ඒ ධර්ම දේශනාව බොහෝ දිව්‍ය මනුෂ්‍ය නාග සුපර්ණයනට අභිවෘද්ධිදායක විය. මෙසේ ජාතකය නිමවා වදාරා අන්තයෙහි මහෞෂධ පණ්ඩිතයන්‌ ආදී වූ එවක්‌ ප්‍රසිද්ධයන්‌ වෙන වෙන ම තෝරා වදාරන බුදු රජාණන්‌ වහන්සේ මෙසේ වදාරන සේකි:-

භෙරී උප්පලවණ්ණාසි - පිතා සුද්ධෝදනෝ අහු, මාතා ආසි මහාමායා - අමරා බිම්බසුන්දරී.

'සුවෝ අහෝසි ආනන්දෝ - සාරිපුත්තෝසි චූළනී, 'මහෝසධෝ ලෝකනාථෝ - ඒවං ධාරේථ ජාතකං.


මේ ගාථාවෙන්‌ 'එම්බා මහණෙනි, එසමයෙහි පරිබ්‍රාජිකාවන්‌ දෑ නම්‌ මාගේ සස්නෙහි උපුල්වන්‌ මහා ස්ථවිරීය. පණ්ඩිතයන්ගේ පියාණෝ සිරිවඩ්ඪන සිටාණෝ නම්‌ සුද්ධෝදන මහ රජ්ජුරුවෝය. පණ්ඩිතයන්ගේ මෑණියෝ සුමනා දේවී නම්‌ දැන්‌ මහාමායා දේවීය. පණ්ඩිතයන්ගේ බිරින්ද අමරා දේවී නම්‌ මෙවක එක්‌ ලක්‍ෂ සයානු දහසක්‌ බිසෝවරුනට නායක ව ම පුතණුවන්‌ රාහුල කුමාරයන්‌ වැදූ යශෝධරා දේවීය. පණ්ඩිතයනට රහස්‌ මේවර කොට සියලු වැඩ සාදා දුන්‌ ගිරාණෝ නම්‌ සස්නෙහි බුදුනට උපස්ථාන කරන්නට අග්‍ර වූ ධර්ම භාණ්ඩාගාරික වූ සිහි නුවණ ඇත්තවුනට අග්‍ර වූ බුදුන්‌ කෙරේ වල්ලභ වූ මාගේ බුදු සසුන්‌ නමැති ආකාශයෙහි පූර්ණ චන්ද්‍රයා වැනි වූ මාගේ ම මල්‌ වූ ජනානන්ද කර වූ ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි පණ්ඩිතයන්හුන්‌ නුවරට අටළොස්‌ අක්ෂෞහිණියක්‌ පමණ සේනාව ගෙනවුත්‌ පැරද බිඳී පැල වූ චූලනී බ්‍රහ්මදත්ත රජ නම්‌ දැන්‌ මට දකුණත්‌ සවු මා විනා නුවණැත්තවුනට අග්‍ර වූ ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහිත්‌ සත්‌ හවුරුද්දෙහි පටන්‌ සේනකය, පුක්කුසය, කාවින්දය, දේවින්දය, කේවට්ටයයන ප්‍රඥා සම්පන්න පණ්ඩිතවරුන්‌ නුවණින්‌ ජය ගත්තා වූ මහෞෂධ පණ්ඩිතයෝ නම්‌ දැන්‌ ලොව්තුරා බුදු වූ මම්‌ මය'යි තමන්‌ වහන්සේ දක්වා වදාළ සේකි.


උම්මග්ග ජාතක කතාව මෙතකින්‌ නිමියේය.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-x&oldid=20204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි