17. රහස්‍ය ප්‍රශ්නය

සංස්කරණය

නැවත ඒ සේනකාදී සතර දෙන "ගොවියා පුතු වඩාලා මහත් යසසට පැමිණියේය. කුමක් කරමෝදැ"යි මන්ත්‍රණය කළහ. ඉක්බිත්තෙන් සේනක පණ්ඩිතයෝ අනික් තුන් දෙනාට කියන්නාහු, ඌ මහතට පැමිණියෙන් කාරිය කිම්ද? රජ්ජුරුවන් කෙරෙහි බිඳුවා පියන්නට මා විසින් උපායක් දක්නා ලදැ"යි කීහ. "කුමන උපායෙක්ද ආචාරිනී" කී කල ගොවියා පුතු සමීපයට ගොස් "රහස් නම් දෙය කාට කිවහොත් යහපත්දැ"යි විචාරම්හ. ඒ තෙමේ මහා මන්ත්‍රී හෙයින් "කිසිවක් හටත් කිය නොහැක්කැ"යි ඉදින් කීයේ වී නම් ඉක්බිති, "ගොවියා පුතු දේවයන් වහන්ස ඔබ වහන්සේට වරදනට සිටියේය"යි බිඳුවා පියම්හ, කියා ඔහු සතර දෙනා සිංහ රාජයකු සමීපයට යන්නා වූ ජරපත් ශෘගාලයන් සතර දෙනකු පරිද්දෙන් පණ්ඩිතයන් වහන්සේගේ ගෙට ගොස් සුව දුක් දොඩා "පණ්ඩිතයෙනි පැනයක් විචාරම්හ"යි. බෝධිසත්ත්වයන් වහන්සේ "විචාරව"යි කී කල්හි, සේනකයෝ "පණ්ඩිතයෙනි පුරුෂයා විසින් ආදි කොටැ කිමෙක්හි පිහිටියැ යුතුද"යි විචාළහ. "සබවසෙහි පිහිටිය යුතුය"යි වදාළ සේක. "සබවස පිහිටියවුන් විසින් කුමක් කටයුතුදැ"යි විචාළහ. "වස්තු සෙවිය යුතුය"යි වදාළ සේක. "වස්තු උපයාගෙන කුමක් කටයුතුදැ"යි පිළිවිස්සාහ. "මන්ත්‍රණය උගත යුතුය"යි වදාළ සේක. "පසු කුමක් කටයුතුදැ"යි පිළිවිස්සාහ. "තමා සිත රහස් කටයුතු අනුනට නොකිය යුතුය"යි වදාළ සේක.


ඔහු සතර දෙන "යහපත පණ්ඩිතයෙනි"යි සතුටු සිත් ඇති ව "ගොවියා පුතු පිටුදකුම්හ"යි රජ්ජුරුවන් සමීපයට ගොස් "දේවයන් වහන්ස, ගොවියා පුත් ඔබ වහන්සේට වරදනට සිටියේය"යි කීහ. රජ්ජුරුවෝ "මම තොපගේ බස් නොඅදහමි. ඌ තුමූ මට නොවරදති"යි නොගිවිස්සාහ. "දේවයන් වහන්ස, අප කී බස් නොඅදහන සේක් වී නම් උන් ඔබ වහන්සේ ම දක්නට ආ කල පණ්ඩිතයෙනි, තමා සිත උපන් රහස් කටයුත්ත කාහට කියයුතුද"යි විචාළ මැනැව. ඉදින් ඔබ වහන්සේට සතුරු නොවෙත් නම් 'අසවලුනට කියයුතුය"යි කියති. ඉදින් ද්‍රෝහි වෙත් නම් "කිසිවක්හටත් නොකියයුතුය. මන දොළ පිරුණු කල කියයුතුය"යි කියති. "එවිට අප අදහාගෙන සැකහළ මැනැව"යි කීහ.


රජ්ජුරුවෝත් "යහපතැ"යි උන් කීවා ගිවිස එක්දවසක් පණ්ඩිතවරුන් පස් දෙනා එක් ව අවුත් දැකලා උන් කල්හි රහස් කිය යුත්තන් විචාරන්නාහු "පණ්ඩිතවරුන් පස් දෙනාත් එක් වූහ. ප්‍රශ්නයෙක් මට වැටහෙයි. ප්‍රශ්නය හැම දෙන ම අසව. නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහසක් කවරක්හට කියන්නේද? රහස් කිවමනා කාටදැ"යි විචාළහ. මෙසේ කී කල්හි සේනකයෝ "රජ්ජුරුවනුත් අප හා එක්කොට ගනුම්හ"යි සිතා පොළොවට ඉසුරු වූ "රජ්ජුරුවන් වහන්ස, ඔබ වහන්සේ අපට රක්‍ෂාස්ථාන ව සිටි සේක. අපගේ සියලු කාර්‍යභාරය උසුළා සිටි සේක. එසේ හෙයින් ඔබ වහන්සේ ම ආදි කොට වදාළ මැනැව. ඔබ වහන්සේගේ අදහස, පරීක්‍ෂා කොට හෙවත් වදාළක් අසා පණ්ඩිතවරුන් පස් දෙනාත් කියන්නාහ"යි කීහ. ඒ අසා රජ්ජුරුවෝ තමන් කෙලෙස් වසඟ හෙයින් "යම් ස්ත්‍රියක් තොමෝ ආචාර ශීලයෙන් යුක්තද පර පුරුෂයක් කරා නො එළඹෙන්නීද හෙවත් පත්‍රිව්‍රතා ධර්මය රක්‍ෂා කරන්නීද පුරුෂයාගේ අදහස් දැන පවතීද, ප්‍රියද, මන වඩන්නීද, එසේ වු තමාගේ අඹුවට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස් කියන්නේය"යි කීහ.


ඉක්බිති සේනකයෝත් "අප කෙරේ රජ්ජුරුවෝ ඇතුළත් වූහ" යි සතුටු ව තමන් කළ කාරණය ම ප්‍රකාශ කරන්නාහු "යමෙක් තෙමේ දුකට පැමිණි ආතුරයාහට සරණ ව පිටිවහල් වේද එසේ වූ දුකෙහි නොහරණා තම යහළුවාහට රහස් කියයුතුය"යි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ "පුක්කුසයෙනි, තොප හට කෙසේ වැටහේද? රහස් කියයුතු කාටදැ”යි විචාළහ. පුක්කුසයෝ "දේවයන් වහන්ස, යමෙක් තෙමේ තමාට වැඩිමහලුද නොහොත් මැදි බව සිටියේද, නොහොත් කිස්දොවුන්ද ඉදින් එක කුසෙහි හොත් තැනැත්තේ ආචාර ශීලයෙන් යුක්ත වී නම් තමාට පැමිණි සුව දුක් දෙකෙහි කනස්සලු ව පසු බැස නොසිටී නම් එසේ වූ තමාගේ හිතකාමී වූ මලු වේවයි බෑයා වේවයි සහෝදරයාට රහස් කියයුතුය"යි කීහ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ කාවින්දයෝ විචාළහ. කාවින්දයෝද "දේවයන් වහන්ස යම් පුත්‍රයෙක් තෙමේ පියාණනට වහලෙක් සේ මෙහෙවර කොට ගෙන වංශයන් රක්‍ෂා කෙරේද (අතිජාත, අවජාත, අනුජාත) පුත්‍රයෝ තුන් දෙන නම් කවුරුදැයි යතහොත් :- පියාණනට වඩා සැපත් රැස් කොටගෙන ඨානාන්තරයට පැමිණෙන්නේ අතිජාත නම් වෙයි, පියා සන්තක වස්තුව නසා ධූර්ත ව වසන්නේ අවජාත නම් වෙයි, පියා සන්තක සම්පත් ස්ථිර කොටගෙන වංශයත් රක්‍ෂා කරන්නේ අනුජාත නම් වෙයි. එසේ වූ අනුජාත පුත්‍රද අලාමක වූ නුවණ ඇත්තේද එවැනි තමා පුතුට රහස් කියයුතුය"යි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ දේවින්දයා විචාළහ. දේවින්දයෝ දෙපා ඇත්තවුනට අධිපති වූ "රජ්ජුරුවෙනි යම් මෑණි කෙනෙක් තුමූ ප්‍රේමයෙන් යුක්ත වූ සිතින් තමන් පුතණුවනට සියලු පෝෂණ කෙරදෙද්ද? එසේ හිතකාමී වූ මෑණියනට රහස් කියයුතුය"යි කීහ.


සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනා විචාරා රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් විචාළහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ "රජ්ජුරුවෙනි, රහස් දෙය නම් නින්දා කටයුතුවත් කිම ප්‍රශංසා කටයුතුවත් කිම, සැඟවීම ම උත්නමය, රහස් ප්‍රකාශ කිරීම නුවණැත්තන් විසින් ප්‍රශස්න නොවන්නේය. තමා සිතූ දෙය මුඳුන් නොපැමිණියේ වී නම් නුවණැති සාර පුරුෂ තෙම ඒ තාක් කල්ම කිසි කෙනකුනට ප්‍රකාශ නොකරන්නේය. ඒ සිතූ කටයුත්ත මුඳුන් පැමිණියේ වී නම් එවිට සභා මධ්‍යයෙහි කිසි සැකයක් නැති ව ප්‍රකාශ කරන්නේය"යි වදාළ සේක. පණ්ඩිතයන් වහන්සේ විසින් මෙසේ වදාළ කල්හි රජ්ජුරුවෝ නොසතුටු වූහ.


ඉක්බිත්තෙන් සේනකයෝ රජ්ජුරුවන් මූණ බැලූහ. රජ්ජුරුවෝත් සේනකයන් මූණ බැලූහ. බෝසතාණන් වහන්සේ උන් දෙන්නාගේ ක්‍රියාව දැක, "මුන් සතර දෙනා දුසා කියා පළමු ව රජ්ජුරුවන් කෙරේ මා බිඳුවා පී වන්හ. පරීක්‍ෂා කරන පිණිස ප්‍රශ්නය විචාරණ ලද්දේ වැන"යි සිතූ සේක. රජ්ජුරුවන් හා පණ්ඩිතයන් කතා කෙරෙමින් සිටිය දී මහිරු අස්තයට ගියේය. රාජ භවනයෙහිත් ඒ ඒ ස්ථානයෙහි වැට විලක්කුවල පානුත් නඟන ලද්දේය. පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන්ගේ කටයුතු නම් බැරිය, කුමක් වන බවක් නොදැනෙයි. වහා මෙතැනින් නැඟීයන බව සුදුසුය'යි හුනස්නෙන් නැඟී රජ්ජුරුවන් වැඳ රාජ භවනයෙන් නික්මෙන සේක් "මුන් සතර දෙනාගෙන් එක් කෙනෙක් යහළුවා හට රහස් කීම යහපත, එක් කෙනෙක් මල් බෑයනට රහස් කීම යුතුය. එක් කෙනෙක් පුතණුවනට රහස් කීම යුතුය. එක් කෙනෙක් මෑණියනට රහස් කී කල යහපතැ'යි කීහ. මුන් විසින් තම තමන් කළ දෙයක් වත් දුටු දෙයක් වත් කියති'යි සිතමි. වන්නාව! අද ම ඒ තත්ත්වයක් දනිමි"යි සනිටුහන් කළ සේක.


18. සේනකාදීන් ගේ රහස්

සංස්කරණය

ඔහු සතර දෙනද මෙතෙක් දවස් රජගෙන් නික්ම මාළිගා දොරකඩ එක් හඹු හොරුවක් මත්තේ හිඳ කළමනා කටයුතු දැන තම තමන්ගේ ගෙවලට යන්නාහ. එසේ හෙයින් පණ්ඩිතයන් වහන්සේ "මුන්ගේ රහස් හඹු හොරුවයට වැද හොත්තොත් දත හැක්කැ"යි සිතා ඒ හඹු හොරුව තමන් වහන්සේගේ මිනිසුන් ලවා උසුලුවා උඩ නංවා යට සැතපෙනදෑ අතුරුවා හොරුවයට වැද හෙව තමන් වහන්සේගේ පුරුෂයනට "තෙපි මුවාව සිට පණ්ඩිතවරුන් සතර දෙන කතා කොට නැඟී ගිය කල්හි අවුත් මාහැර ගෙනයව"යි සම්මත කළ සේක. ඔහුත් "යහපතැ"යි මුවා ව ගත්හ.


සේනකයෝද "දේවයන්වහන්ස, අප කිවත් නුඹ වහන්සේ නොඅදහන සේක් වේද, දැන් අප කිවා ශ්‍රී බුද්ධියට නැ‍ඟේදැ"යි කීහ. රජ්ජුරුවෝ භේදකාරීන්ගේ බස් ගෙන පරීක්‍ෂා නොකොට භයින් ත්‍රස්ත ව "දැන් කුමක් කරමෝද සේනකයිනි" විචාළහ. "දේවයන් වහන්ස, කල් නොයවා ම කිසි කෙනකුන් නොදන්නා ලෙස ගොවියා පුතු මරවා පීම යහපතැ"යි කීහ. "සේනකයෙනි, තොප විනා මට අනිකෙක් නැත, තෙපි ම තොපගේ මිත්‍රයන් හැර ගෙන වාසල් කඩ ඇලී සිට ගොවියා පුතු උදැසන රාජ සේවයට එමින් වාසල් ඇතුළු වූ විට ම කඩුවෙන් ඉස කපා පියව"යි තමන්ගේ මඟුල් කඩුව සේනකයන් අතට දුන්හ. ඔහු සතර දෙනාත් "යහපත දේවයන් වහන්ස, භය නුවුව මැනැව, අපි ගොවියා පුතු මරම්හ"යි කියා රජගෙන් නික්ම "අප විසින් පසමිතූරා පිටුදක්නා ලදැ"යි කියා හඹු හොරුව මත්තේ හුන්නාහ.


ඉක්බිති සේනකයෝ "කොල ගොවියා පුතු ගසන්නේ කවරෙක්දැ"යි කීහ. අනික් තුන් දෙනා "ආචාරින් වහන්ස, නුඹ වහන්සේ ම ගැසුව මැනැවැ"යි ඔහුට ම භාර කළහ. නැවත සේනකයෝ අනික් තුන් දෙනාට "තෙපි රහස් අසවලුන්ට කියයුතුයයි කිවුය. කිමෙක්ද තොප කළ දෙයක්ද, නොහොත් ඇසූ දෙයක්දැ"යි විචාළහ. ආචාරින් වහන්ස, ඒ පසු කළ මැනැව, නුඹදෑ, "රහස් යාළුවාට කියයුතුය"යි යමක් වදාළ සේක් වී නම් ඒ නුඹ වහන්සේ කළ දෙයක්ද නැතහොත් දුටු දෙයෙක් ද ඇසූ දෙයෙක්දැ"යි විචාළහ. සේනකයෝ "තොපට ප්‍රයෝජන කිම්දැ"යි කීහ. "කිව මැනැව ආචාරීන් වහන්ස"යි කීහ. "මේ රහස් කටයුත්ත රජ්ජුරුවන් දත හොත් මාගේ දිවි නැතැ"යි කීහ. නොබව මැනැව ආචාරීන් වහන්ස. මේ තැන නුඹ වහන්සේගේ රහස් ප්‍රකාශ කරන කෙනෙක් නැත, සැක නොකොට කිව මැනැවයි කීහ. සේනක පණ්ඩිතයෝ හඹු හොරුව නිය පිටින් ගසා "මේ හොරුවයට ගොවියා පුත් ඇද්දෝ හෝයි" කීහ. "ආචාරීන් වහන්ස ගොවියා පුත් තමාගේ ඵෙශ්චයයෙන් මත් ව සුව විඳිනේ මෙබඳු අපවිත්‍ර තැනකට කුමට වදීද? නොවදීයැ. නුඹ වහන්සේ කිව මැනැව"යි කීහ.


සේනකයෝ තමන්ගේ රහස් ප්‍රකාශ කරන්නාහු "මේ නුවර අසවල් වෛශ්‍යා දුව හඳුනවූදැ"යි කීහ. "එසේය, හඳුනම්හ"යි ආචාරීනි කිවූය. "දැන් ඒ වෛශ්‍යා දූ පෙනේදැ"යි කීහ. "නොපෙනෙයි ආචාරීනි" කීහ. එසේ වී නම් එම්බා මම මඟුල් සල් උයනේ දී ඈ හා සමඟ පුරුෂ කෘත්‍යය කොට හෙවත් සැතපී ඇගේ පළඳනා ලෝභයෙන් ඈ මරා පියා ඈ හන් කඩින් පොදියක් කොට බැඳගෙන අපගේ ගෙයි අසවල් මාලේ අසවල් ගබඩාවේ මුවහං කොක්කේ එල්වා ලීමි, තව දක්වා ඉන් කිසිවක් අලෙවි කළේ නැත. පරණව ගන්නා තුරු බලාහිඳිමි. මෙබඳු රාජාපරාධ කටයුත්ත මාගේ යාළුවකුට කීමි. ඌ කිසි කෙනකුනට නොකී වීරිය. මේ කාරණයෙන් "යාළුවාට රහස් කියයුතුය"යි කීහ. පණ්ඩිතයන් වහන්සේ සේනකයන්ගේ රහස අසා සිත තබා ගත්හ.


පුක්කුසයෝද තමන්ගේ රහස ප්‍රකාශ කරන්නාහු "එම්බා මාගේ කලවයේ අසාධ්‍ය කිලාස කුෂ්ඨයක් ඇත්තේය. මාගේ මලණුවෝ උදාසනක්සේ ම කිසි කෙනකුන් නොදන්වා ම ඒ කිලාසය කසට පැනින් සෝධා පියා බේත් ගල්වා උලා මන්තෙහි මොළොක් කොට කඩ රෙදි වසා බඳනාහ. රජ්ජුරුවෝ මා කෙරෙහි මොළොක් සිතින් 'මෙසේ එව පුක්කුසයෙනි', කැඳවාලා බොහෝ සේ ම මගේ කලවයෙහි හිස තබා ගෙන සැතපෙන්නාහ. ඉදින් මේ නොකටයුතු දත්තු නම් මා මරා පියන්නාහ. ඒ රහස් මාගේ මලණුවන් විනා අනින් දන්නා කෙනෙක් නැත. ඒ කාරණය හේතු කොට ගෙනය, 'රහස් නම් මල් බෑයනට කියයුතුය'යි මා විසින් කීයේ"යි කීහ.


කාවින්දයෝද තමන්ගේ රහස් ප්‍රකාශ කරන්නාහු, "එම්බා මා වරද, අවපසළොස්වක දවස් නරදේව නම් යක්‍ෂයෙක් මා ඇඟට නැඟෙන්නේය. ඒ යක්‍ෂයා නැඟි කල්හි මම වියරැ හුණු බල්ලකු පරිද්දෙන් හඬමි, මම ඒ යක්‍ෂ විකාරය මට ඇති නියාව මාගේ පුතණුවනට කීමි. ඌ මා ඇඟට යක්‍ෂයා ආවිෂ්ට වූ බව දැන ඇතුළු ගෙයි මා හූ වැටි බැම්මෙන් බැඳ හොවාලා, දොර පියාගෙන, ගෙන් පිටත් ව මා හඬන බලුහඬ කිසි කෙනකුන් නොඅසනු පිණිස දොර ළඟ රඟ මඬුලු බන්දා අරගල කරන්නේය. මේ කාරණය හේතු කොට ගෙනය රහස් පුනණුවනට කියයුතුය'යි මා කීයේ"යි කීහ.


ඉක්බිත්තෙන් තුන් දෙන ම දේවින්ද පණ්ඩිතයන් විචාළහ. උයිත් තමන්ගේ රහස් ප්‍රකාශ කරන්නාහු, "එම්බා ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් කුස රජ්ජුරුවනට දුන්නා වූ ශ්‍රී සම්පත් එළවන්නා වූ මාණික්‍ය රත්නය රාජ පරම්පරාවෙන් පැවත අවුත් රජ්ජුරුවන් සන්තක ව භාණ්ඩාගාරයේ තුබුවා, මැණික මටකම් කරවන්නා වූ මා විසින් සොරාහැර ගෙන මාගේ මෑණියනට දෙන ලද, කිසි කෙනකුන් නොදන්වා රජගෙට යන වේලෙහි ඒ මැණික මට දෙන්නාහ, මම ඒ මැණිකින් ශෝභාව මූණට පතුරුවා ගෙන රජගෙට යෙමි, රජ්ජුරුවෝ තොප හැම දෙන හා කතා නොකොට පළමු කොට මා හා සුව දුක් දොඩන්නාහ. දවසක් පාසා අට කහවණුවක් හෝ සොළොස් කහවණුවක් හෝ සූසැට කහවණුවක් හෝ මසුරන් වියදම් දෙන්නාහ. ඉදින් ඒ මිණි රුවන සොරා ගත් බව රජ්ජුරුවෝ දත්තු නම් මාගේ දිවි නැත, මේ කාරණය හේතු කොටගෙනය. 'රහස් නම් මෑණියනට කියයුතු'යි මා කීයේ"යි කීහ.


බෝසතාණන් වහන්සේ මේ හැම දෙනාගේ ම රහස් කටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කොට සිත තබා ගත් සේක. ඔහු වනාහි තමන්ගේ ළය පළා බඩවැල් පිටත් කරන්නවුන් මෙන් රහස් ඔවුනොවුනට කියා හැම දෙන ම "පමා නොව උදෑසන ම එව, ගොවියා පුතු මරම්හ"යි කියා හුන් තැනින් නැඟී සිට තම තමන්ගේ ගෙවලට ගියාහ.


ඒ සේනකාදී පණ්ඩිතවරුන් ගිය කල බෝධිසත්ත්වයන් වහන්සේගේ පුරුෂයෝ අවුත් ඔරුව ඔසවා මහබෝසතාණන් ගෙන ගියහ. උන් වහන්සේ ඉස් සෝධා ගඳ විලවුන් ගෙන සැරහී දිව්‍ය භෝජනයක් හා සමාන වූ රසමසවුළෙන් යුක්ත ආහාරය අනුභව කොට "අද මාගේ බුහුණණියෝ උදුම්බරා දේවී, රජ ගෙන් මට ස්වරූප කියා අස්නක් එවතියි දැන රජ ගෙන් ආ කෙනකුන් වහා ඇතුළට ඇරගෙන මට පෑල"යි කියා ඇදහිලි පුරුෂයකු වාසල සිටවූ සේක. මෙසේ විධාන කොට විචිත්‍ර ස්තරණයෙන් විභූෂිත වූ ශයන මස්තකයෙහි බ්‍රහ්ම කුමාර විලාසයෙන් සැතපුණු සේක.


19. මහ රැ යැවුණු අග්ගලාව

සංස්කරණය

රජ්ජුරුවෝද ඒ ක්‍ෂණයෙහි ශ්‍රීයහනෙහි සැතපුණාහු, පණ්ඩිතයන් වහන්සේගේ ගුණ සිහි කොට "මහෞෂධ පණ්ඩිතයෝත් සත්හැවිරිදි කල් පටන් මට සේවය කරන්නාහු කිසි අවැඩක් නොකළහ. දේවතා දූ විචාළ පැනයෙහි ම පණ්ඩිතයන් නැතහොත් මාගේ ජීවිතය නැත්තේය. වෛරී පසමිතූරන්ගේ බස් ගෙන අසමාන වූ නුවණැති මහෞෂධ පණ්ඩිතයන් මරවයි කියා මඟුල් කඩුව දුන්නා වූ මා විසින් කෙළේ අයුක්තියය, සෙට පටන් කොට එවැනි පණ්ඩිත රත්නයක් දක්නට නොලැබෙයි" ළය පැළීයන පරිද්දෙන් ම ශෝක ඉපදූහ. ශරීරයෙන් ඩා බිඳ ගත්තේය. ශෝකයෙන් මඩනා ලද්දා වූ චිත්තාස්වාදයක් නොලද්දැහ. උදුම්බරා දේවී රජ්ජුරුවන් හා සමඟ එක්ව යහනෙහි ඉඳ රජ්ජුරුවන් චිත්තාස්වාදයක් නොලැබ සැතපෙන්නා දැක "කිමෙක් දෝ හෝ මාගෙන් කිසි වරදෙක් ඇද්දෝ හෝ නොහොත් අනික් කිසි කාරණයෙක් රජ්ජුරුවන් සිතට උපන් දෝ"යි විචාරන්නාහු "රජ්ජුරුවෙනි, තෙපි ඉතා ම දොම්නස් උව, තොපගේ සිතට නොහැඟි ලෙස මා කළ වරදෙක් නැත්තේය. අනික් කවුරුන් කළ වරදෙක් සිතට ගෙනදෝ හෝ නොහොත් කවුරුන්ගේ විෂයයෙහි තොපට ශෝකයක් ඇති වීද? ඒ මට කියව”යි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ “සොඳුර, සේනකාදී පණ්ඩිතවරු සතර දෙන මහෞෂධ පණ්ඩිතයෝ තොප මරා පියා රාජ්‍ය ගන්ට සිතති"යි මට කීහ. මා විසින් තත්වය පරීක්‍ෂා නොකොට "එසේ වී නම් මරා පියව"යි මඟුල් කඩුව අතට දී ලා පණ්ඩිතයන් මරන්නට විධාන කරන ලද ඒ කාරණය සලකන්නා වූ මම මහෞෂධ පණ්ඩිතයන් මරනට පෙරාතු කොට මට මරන වී නම් යහපතැ"යි උන්ගේ වාග් විෂයාතික්‍රාන්ත ගුණ නුවණ සලකන්නේම් "එවැනි පණ්ඩිත රත්නයක් සෙට පටන් නොදකිමි, සිත උපන් බොහෝ ශෝකයෙන් දොම්නස්මි" කීහ. එබස් අසා උදුම්බරා දේවීනට බෝධිසත්ත්වයන් වහන්සේ විෂයයෙහි පර්වතයකින් වඩනා ලද පරිද්දෙන් ශෝක උපන්නේ යැ.


ඉක්බිති "උපායකින් රජ්ජුරුවන් අස්වසමි" සලකා රජ්ජුරුවන් නිදන්නට වන් කල්හි මාගේ මලණුවනට සරුප කියා පත් යවමි’යි සිතා, "රජ්ජුරුවන් වහන්ස, ගොවියා පුතු මේ සා මහත් ඵෙශ්චර්යයෙක පිහිටුවා තොප ම වද ඇති කෙළේ. තොප කෙරෙන් ම සෙනෙවිරත් ධූරයට පැමිණ තොපට ම දැන් වරදනට සිටියේය. එම්බා පසමිතුරෝ නම් කුඩා නොවෙති, මැරිය යුත්තෝමය, තෙපි නොසිතව"යි රජ්ජුරුවන් බිසව වංචාවෙන් අස්වැසූහ. රජ්ජුරුවෝ බිසවුන් කී බසින් තුනී කරන ලද ශෝක ඇති ව නිදන්නට වන්හ. බිසවු රජ්ජුරුවන් නිදන නියාව දැන නැඟී සිට, ශ්‍රීයහන් ගබඩාව වැද පතක් හා පන්හිඳක් ගෙන "මහෞෂධ පණ්ඩිතයෙනි, සේනකාදී පණ්ඩිතවරු සතර දෙන රජ්ජුරුවනට දුසා කියා තොප බිඳුවා පීහ. රජ්ජුරුවෝ කිපී සෙට උදාසන ම තොප රජගෙට එන වේලෙහි වාසල දී මරන පරිද්දෙන් විදාන කොට තමන්ගේ කඩුව සේනකයාට දුන්හ. සෙට රජගෙට නොඑව. ඉදින් එවු නම් නුවර මුළුල්ල අත්පත් කොට ගෙන යුද්ධයක් වී නමුත් කරන පරිද්දෙන් බල ඇති ව එව"යි පත ලියා හකුළුවා අග්ගලාවක් පළා ඇතුළේ ලා නොපෙනෙන ලෙස හුයකින් අග්ගලාව වෙළා සුවඳ කවා "සැළියක ලා තමනට වැඩ පසස්නා කම්මිත්තකට 'ගෙන ගොස් මාගේ මළණුවනට දී ලව"යි කියා දුන්හ. කම්මිත්තත් බිසවුන් කී ලෙසට කළාය. "රැකවල් ඇති තැන කෙසේ ගියාදැ"යි නොසිතිය යුතුය. රජ්ජුරුවන් විසින් බිසවුනට පළමු කොට ම "කැමැති වේලක අමුත්තක් තොපගේ මලණුවනට යවුව රැකවල් නැතැ"යි වර දෙන ලද. එසේ හෙයින් කිසි කෙනකුන් නොවැළැකූහ. බෝධිසත්ත්වයන් වහන්සේ බිසවුන් යැවූ පඬුරු සංඛ්‍යාත අග්ගලාව අතට ගෙන "මා මේ පඬුරු ගත් නියාව බිසවුනට කියා ලව"යි කියා කම්මිත්ත යැවූ සේක. ඔයිත් රජගෙට අවුත් යවූ දෙය පණ්ඩිතයන් වහන්සේට දුන් නියාව බිසවුනට කිව. එවිට බිසව ගොස් රජ්ජුරුවන් සමඟ සැතපුණාහ.


බෝසතාණන් වහන්සේද අග්ගලාව බිඳ ඇතුලෙහි තුබූ පත කියවා එපවත් තත් වූ පරිද්දෙන් දැන නුවර කළමනා කටයුතු මුළුල්ල විචාරා යහනෙහි සැතපුණු සේක. සේනකාදී සතර දෙන රාත්‍රී භාගය වර්ෂයක් මෙන් දික් කොට සිතන්නාහු "කවර විටෙක පහන් වේ දෝ හෝ"යි වර්ජිත කරන ලද නිදි ඇති ව උදාසනක් සේ ම කඩු ගත් අත් අති ව, වාසල ඇලී රැක සිට, පණ්ඩිතයන් වහන්සේ නොදැක දොම්නස් ව බෝධිසත්ත්වයන් වහන්සේගේ මුළු ලොව පතළ මෛත්‍රී නමැති චණ්ඩ වාතයෙන් උදුරා දමන ලද්දා වූ වෘක්‍ෂ සතරක් මෙන් රජ්ජුරුවන් සමීපයට ගොස් "කිමෙක්ද පණ්ඩිතවරුනි, තොප විසින් ගොවියා පුතු මරන ලදදැයි"කී කල්හි “දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ ගොවියා පුතු නුදුටුමු'යි කීහ.


මහබෝසතාණන් වහන්සේද හිරු නැඟෙමින් සිටිය දී ම සත් යොදුන් මියුලු නුවර මුළල්ල ම තමන් වහන්සේ වසඟ කොට ඒ ඒ ස්ථානයෙහි රැකවල් තර කොට ලවා බොහෝ දෙනා විසින් පිරිවරන ලදු ව සර්වාලංකාරයෙන් සරහන ලද උතුම් රථ යානාවකට නැඟී මහත් වූ හස්ත්‍යශ්වාදී පරිවාරයෙන් හා අනූපම වූ ශ්‍රී සෞභාග්‍යයෙන්, උපලක්‍ෂිත ව රජගෙයි වාසල කරා වැඩි සේක. රජ්ජුරුවෝ සී මැදුරු කවුළුව හැර පියා බෝධිසත්ත්වයන් වහන්සේ එන්නා බලා සිටියහ. ඉක්බිති මහබෝසතාණන් වහන්සේ රථයෙන් බැස පියා එතනදී ම රජ්ජුරුවන් වැඳි සේක. රජ්ජුරුවෝ "ඉදින් පණ්ඩිතයෝ මට පසම්තූරු වෙත් නම් මා නොවඳනා"යි සිතූහ. මෙසේ සිතා ඉක්බිති "මපුතණුවෝ වහා එත්ව"යි වහා කැඳවා යවා රාජාසනයෙහි හුන්හ. මහබෝසතාණන් වහන්සේද එකත්පස් ව හුන්නාහ. සේනකාදී පණ්ඩිතවරු සතර දෙනත් එතන ම හුන්හ.

20. රහස් හෙළිවීම.

සංස්කරණය

ඉක්බිති රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේට කිසිවක් ම නොදන්නා කෙනකු මෙන් "පුත මහෞෂධ පණ්ඩිතයෙනි. ඊයේ පෙර සන්ධ්‍යායෙහි ගියෙහිය. දැන් හිරු නැඟී මෙතෙක් වේලෙන් අවුත් මා දුටුව, මා මෙසේ කුමට හළුවාද? කුමක් අසා තොපගේ සිතට කුමන සැකයෙක් වීද? කවුරු තොපට රජ්ජුරුවන් දැක්මට නොඑව'යි කුමන බසක් කිවුද'යි ස්වරූප අසන්නා කැමැත්තම්හ. එබැවින් තොප පමා වූ කාරණය කියව"යි විවාළහ. ඉක්බිති මහබෝසතාණන් වහන්සේ රජ්ජුරුවනට "දේවයන් වහන්ස, නුඹ වහන්සේ විසින් මට සතුරු වූ සේනකාදී සතර දෙනා බස් ගෙන මා මරන්නට නියෝග කරන ලද්දේ වේද, එසේ හෙයින් නොආයෙමි"යි රජ්ජුරුවනට චෝදනා කරන සේක් "ජන ප්‍රධාන වූ දේවයන් වහන්ස, නුඹ වහන්සේ විසින් "ප්‍රඥා සම්පන්න මහෞෂධ පණ්ඩිතයෝ මැරිය යුත්තෝය"යි වෛරී වූ සේනකාදීන්ගේ බස් ගෙන මා අපරික්‍ෂිත ව මරන්නට නියෝග කරන ලද. යම් හෙයකින් ඊයේ මධ්‍යම රාත්‍රී වේලෙහි බිසවුන් වහන්සේට රහසිගත ව කියන ලදද එබඳු වූ නුඹ වහන්සේගේ රහස් කටයුත්ත ප්‍රකාශ කළ විට මා විසින් අසන ලදැ'යි වදාළ සේක. රජ්ජුරුවෝ ඒ අසාලා ම, "මා විසින් කියන ලද රහස් එවිට ම තමා මලුට කියායවන ලදැ"යි කිපී බිසවුන් මූණ බැලූහ.


රජ්ජුරුවන් බිසවුනට කිපී නියාව දැන මහබෝසතාණන් වහන්සේ "දේවයන් වහන්ස, බිසවුන් වහන්සේට කුමකට කිපෙන සේක්ද? මම අතනීතානාගත වර්තමාන සංඛ්‍යාත කාලත්‍රයවර්තී වූ සියල්ල ම දනිමි. දේවයන් වහන්සේගේ රහස් වනාහී මට දේවීන් විසින් කියන ලද්දේ වේවා ආචාරී සේනකයන්ගේ හා පුක්කුසාදීන්ගේ රහස් මට කා විසින් කියන ලදද? මම උන්ගේ රහසුත් දනිම් මය"යි කියා සේනකයන්ගේ රහස් පළමු කොට වදාරන සේක් "දේවයිනි, සේනකයා මෙම නුවර අසවල් වෙශ්‍යා දුව මඟුල් සල් උයනේ දී මරා පියා ඈ පළන් ආභරණ ඇගේ ම කඩින් පොදියක් කොට බැඳ ගෙන අවුත් තමාගේ ගෙයි අසවල් තෙන තුබූයේය. ඉක්බිති තමා කළ ලාමක පාප කර්මය තමාගේ එක් යහළුවකුට රහසිගත ව කිය. ඒ රහස්ද මා විසින් අසන ලද. මම දේවයන් වහන්සේට සතුරු නොවෙමි, සේනකයා සතුරාය, ඉදින් නුඹ වහන්සේට පසමිතුරකු ගෙන් කාර්යයෙක් ඇත්නම් සේනකයා ඇල්ලුව මැනැව"යි වදාළ සේක. රජ්ජුරුවෝ සේනකයන් මූණ බලා "සැබෑද සේනකයිනි, විචාරා සැබෑව දේවයන් වහන්සැ"යි කී කල්හි ඔහු කර පය මස්වා සිර ගෙයි ලන්නට විධාන කළහ.

පණ්ඩිතයන් වහන්සේද පුක්කුසයන්ගේ රහස් වදාරන සේක් "දේවයන් වහන්ස. මේ පුක්කුසයා නම් රජදරුවන් කරා නොඑළඹිය යුතු වූ අසාධ්‍ය කුෂ්ඨ රෝගයක් කලවයෙහි ඇති එකෙක, ඒ කුෂ්ඨරෝගය අත ලන්නටත් පිළිකුල් වන්නේය. නුඹ වහන්සේ පුක්කුසයාගේ කළව මොළොකැ'යි බොහෝ සේ උහුගේ කළවයෙහි ඉස තබාගෙන "සැතපෙන සේක. ඒ මේ වණයෙහි බැඳි කඩ රෙද්දෙහි මොළකය. දේවයන් වහන්සැ'යි කියා, "එසේ තමා ගේ රහස මලුට කීයේය, ඒ රහස කියන කල මා විසින් අසන ලද්දේය"යි වදාළ සේක. රජ්ජුරුවෝ පුක්කුසයන් මුහුණ බලා "සැබෑද පුක්කුසය"යි විචාරා, "එසේය දේවයන් වහන්සැ"යි කී කල්හි උනුත් දඟගෙයි ලැවූහ.

පණ්ඩිතයන් වහන්සේ කාවින්දයාගේ රහස් වදාරන සේක් "දේවයන් වහන්ස, යම් යක්‍ෂ විකාරයෙක් ඇති වූ කල්හි සත්ත්ව තෙමේ වියරු හුණු බල්ලකු සේ හඬා ඇවිදීද, එසේ වූ, රජ ගෙටත් නොවැද්ද යුතු වූ නපුරැ ස්වභාව ඇති නරදේව නම් යක්‍ෂයෙක් අව පසළොස්වක්හි මොහු ඇඟට නැඟෙයි. ඒ යක්‍ෂයා ඇඟට ආවිෂ්ට වූ කල්හි උන්මත්ත සුනඛයකු මෙන් සතර පය බිම ඔබා ගෙය මුළුල්ලෙහි හඬා ඇවිදී, ඒ යක්‍ෂ විකාරය තමාට ඇති නියාව තමාගේ රහස පුතුට කීයේය, ඔහු පුතුට ප්‍රකාශ කළ නියාව මා විසින් අසන ලදැ"යි වදාළ සේක. "රජ්ජුරුවෝ සැබෑද කාවින්දය"යි ච්චාරා "සැබෑය"යි කී කල්හි උනුත් දඟගෙයි ලැවූහ.


පණ්ඩිතයන් වහන්සේ දේවින්දයාගේ රහස් ප්‍රකාශ කරන සේක් "දේවයන් වහන්ස, ප්‍රභාවතී බිසවුන් නිසා ඒ සා යුද්ධයක් සජ්ජිත කොට ඈ රජ්ජුරුවන් සත් දෙනකු "මම සිංහස්වර කුස රජය"යන වචන මාත්‍රයකින් පරාජය කොට ශත්‍රැ සේනාවෙහි කිසි කෙනකුන් ඇට මැස්සකු බොන පමණක්, ලේ පොදක් නොසල්වා චණ්ඩ පවණයෙකින් එක පැහැර වගුළ තල් වනයක් පරිද්දෙන් විසංඥා කොට හෙළා යුද්ධයේ ජය ලත් නුඹ වහන්සේගේ මී මුත්නණුවන් කුස රජ්ජුරුවන් වහන්සේට සන්තුෂ්ට ව ශක්‍ර දේවෙන්ද්‍රයන් විසින් දෙන ලද්දා වු මහත් වූ මංගල සම්මත අෂ්ට වංක මාණිකා රත්නය නුඹ වහන්සේගේ භාණ්ඩාගාරයෙහි තුබුවා, දැන් දේවින්දයා අතට ගියේය. තමා මැණික සොරා ගත් නියාව රහස් කොට මවට කීයේය. ඌ මවට කී රහසත් මා විසින් අසන ලද, දේවයන් වහන්ස, මම නුඹ වහන්සේට පසමිතුරු නොවෙමි. මෙකී පණ්ඩිතවරුන් සතර දෙන නුඹ වහන්සේට පසමිතුරෝය. පසමිතුරන්ගෙන් නුඹ වහන්සේට කාරියෙක් ඇත්නම් මෙකී පණ්ඩිතවරුන් සතර දෙන අල්ලාගෙන කැමැත්තක් කළ මැනැව"යි වදාළ සේක. රජ්ජුරුවෝ "සැබෑද දේවින්දය"යි අසා "සැබවැ"යි කී කල්හි උනුත් දඟගෙයි ලවා පීහ.


මෙසේ සේනකාදී පණ්ඩිතවරු "බෝධිසත්න්වයන් වහන්සේ මරම්හ"යි හැම දෙන ම සිරගෙට වන්නාහ. බෝධිසත්ත්වයන් වහන්සේද, "දේවයන් වහන්ස, මේ නිසාය, තමන් සිත උපන් රහස් කටයුත්ත මුදුන් පැමිණියොන් මුත් අනුන්ට නොකිය යුතුය කීයේ"යි කී සේක. "අසවලුන් අසවලුනට රහස් කීම යහපතැ'යි කිවාහු මහත් විනාශයට පැමිණියෝය"යි වදාරා මත්තෙහි ධර්ම දේශනා කරන සේක්, "මහරජ, රහස් නම් දෙය සැඟවීම යහපත. නුවණැත්තෝ "රහස් ප්‍රකාශ කිරීම උතුමැ"යි නොකියන්නාහ. යම්තාක් නමා සිතූ දෙය මුදුන් නොපැමිණියේ නම් ඒ තාක් ම නිධානයක් රක්නා මෙන් නුවණැත්තේ ඉවසන්නේය. නිෂ්පන්න වූ අර්ථ ඇත්තේ කැමැති පරිද්දෙන් ප්‍රකාශ කරන්නේය. තව ද දේවයන් වහන්ස, විශේෂයෙන් රහස් නොකිය යුත්ත අසා වදාළ මැනැව. මේ ලෝකයෙහි ස්ත්‍රී තොමෝ හදවතක් සේ වෙසේ නමුත් නුවණැත්තේ ගෑනියටන් රහස් නොකියන්නේය. යමෙක් ආමිෂයෙන් සිත් ගතයුතු නම් එසේ වූ තැනැත්තවුටද යමෙක් සතුරු ව මිතුරකු සේ මුඛයෙන් එකක් බැණ සිතින් එකක් සිතා නම් එසේ වූ කූට සිත් ඇත්තාහට ද රහස් නොකියන්නේය. යම් අඥානයෙක් කිසිවක්හට ප්‍රකාශ නොකටයුතු රහස යමක්හට කීයේ වී නම් ඔහු මරතොත්, ආක්‍රෝශ පරිභව බණතොත් දාසයකු පරිද්දෙන් "තමා කී රහස් ප්‍රකාශ කෙළ් වී නම් නපුරැ'යි යන සිතින් සියලු නින්දා ම ඉවසන්නේය. තමා සිත උපන් රහස යම් තාක් දෙන දනිත් නම් ඒ මන්ත්‍රණය කළා වූ එතෙක් දෙනා කෙරෙහි ම "මුන් විසින් ප්‍රකාශ වේදෝ හෝ"යි එතෙක්ම භය ඕහට උපදනේය. එසේ හෙයින් රහස් කිසිවක්හට නොකියන්නේය. ඉඳින් දහවල් රහස් මන්ත්‍රණයක් කරනු කැමැති හොත් අවකාශයක් කරවාගෙන හෙළි තැනක දී මන්ත්‍රණය කරන්නේය. ඉදින් රෑ මන්ත්‍රණයක් කරනු කැමැත හොත් කන් සීමා නොඉක්මවා උන්ගේ කනින් බැහැරට තෙපල නොයන ලෙස සෙමෙන් ප්‍රකාශ කරන්නේය. කුමක් හෙයින්ද යත් භිත්ති ප්‍රාකාරාදී ප්‍රච්ඡන්න ස්ථානයෙහි සිටි කෙනෙක් ඇත්නම් මන්ත්‍රණය අසන්නාහ. එසේ හෙයින් දේවයන් වහන්ස, ඒ මන්ත්‍රණය භේද වන්නේය"යි වදාළ සේක.


රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේගේ ධර්ම කතාව අසා "මොව්හු තුමූ ම රාජද්‍රෝහී ව නිරපරාධ වූ පණ්ඩිතයන් මට ද්‍රෝහ කරන්නාහ"යි කිපී, "යව කොල මේ කොල්ලන් මර-මරා නුවරින් පිටත් කොට වාසල් දොර සමීපයෙහි අගල් ඔස්සේ ගෙන ගොස් හුල හෝ හිඳුවව, ඉස් කපා පියා අගළට හෝ දමා පියව"යි නියම කළහ. උන් පිටතලහයා බැඳ සන්ධි සන්ධියෙහි සිටුවා කටු සැමිටියෙන් සිය ගණන් පහර ගස-ගසා මරන්නට ගෙන යන වේලෙහි පණ්ඩිතයන් වහන්සේ, "දේවයිනි, මොවුහු තුමූ නුඹ වහන්සේගේ පුරාතන අමාත්‍යයෝය, උන්ගේ වරද ක්‍ෂමා කළ මැනැව"යි රජ්ජුරුවනට වදාළ සේක. "යහපතැ"යි ගෙන්වා බෝධිසත්ත්වයන් වහන්සේට ම දස් කොට පාවා දුන්හ. උන් වහන්සේ වනාහි පණ්ඩිතවරුන් එතැනදී ම නිදහස් කළ සේක. "එසේ වී නම් මාගේ විජිතයෙහි සිටිය නොහැක්ක"යි රටින් නෙරනට නියෝග කළ සේක. පණ්ඩිතයන් වහන්සේ "නුවණ නැත්තන්ගේ වරද ක්‍ෂමා කළ මැනැව"යි දිව්‍ය-ඖෂධයකින් අසාධ්‍ය ව්‍යාධියක් සංහිඳුවන්නාක් මෙන් තමන් වහන්සේගේ වචනෞෂධයෙන් රජ්ජුරුවන්ගේ කෝප ව්‍යාධිය සන්හිඳුවා ක්‍ෂමා කරවා උන්ගේ තනතුරු පෙරැ පරිද්දෙන් දෙවා වදාළ සේක. රජ්ජුරුවෝ, පසමිතුරන් කෙරෙහි දූ මුන්ගේ මෛත්‍රිය මෙබඳුය. සෙස්සවුන් කෙරේ මෛත්‍රි කෙබඳු වන්නීද"යි පණ්ඩිතයන් වහන්සේට වැඩියක් ම සතුටු වූහ. එතැන් පටන් කොට සේනකාදී පණ්ඩිතවරු සතර දෙන දළ උදුරාපු සර්පයන් මෙන් වැඩියක් ප්‍රභූ ශක්තියක් නැති ව බෝධිසත්ත්වයන් වහන්සේට කිසිවක් කියන්නට අසමර්ථ වූහ.


පරිඛණ්ඩ කථා ද නිමියේ යැ.

21. මහෞෂධ පණ්ඩිතයන්ගේ රාජ්‍ය පාලනය

සංස්කරණය

එතැන් පටන් කොට පණ්ඩිතයන් වහන්සේ ම රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක. උන් වහන්සේ රජ්ජුරුවනට ධවලච්ඡත්‍රය මය. රාජ්‍යය විචාරන්නේ නම් මම් මැය. එසේ හෙයින් "මා විසින් නොපමා විය යුතුය"යි සිතා සත් යොදුන් මියලු නුවර වටා ක්‍ෂිර සාගරයෙන් නැඟී තරංග මාලාවක් සේ ධවල වූ අටළොස්රියන් පමණ උස මහා සීමා පවුරක් ලැවූ සේක. ඒ පවුර ගාවා ඇතුළතින් තරය පිණිස මහා පදනමක්ද වට කොට සිය ගණන් සාරි ගෙවල් හා වට බඳ වෙට්ටම්ද ලවා වාසලක් පාසා පිටත පුලිමුඛම්ද ඒ ඒ ස්ථානයෙහි බල කොටුද කරවූ සේක. සීමා පවුර වටා පිටතින් ශිශුමාර මකරාදි චණ්ඩ මත්ස්‍යයන් විසින් ගහණ වූ පංචවිධ පද්මයෙන් සඤ්ජන්න දිය පිරුණු අගළක්ද ඒ වටා කලල් අගළක්ද ඒ වටා වියළි අගළක්දැයි තුන් අගළක් බිඳවූ සේක. ඇතුළු නුවරැ මාලු ගෙවල් මුළුල්ල කටුකෝල් පෙරැළවූ සේකැ; ඒ ඒ ස්ථානයයෙහි මහපොකුණු බිඳු දමා එහි දිය පිර වූ සේක. නුවර සියලු කොටු ගෙවල්‌ වී පිරවූ සේක. හිමාලය වන ප්‍රදේශයෙන්‌ කුලුපග තාපසවරුන්‌ ලවා අරුණුවන්‌ මඬ හා ඇඹුල්‌ බිජුවට ගෙන්වා තැබ්බ වූ සේක. බොහෝ කලක්‌ රොන්‌ බොර ගසා වැලි බොර අශුද්ධ ඇළ හෝ ආදිය සකස්‌ කරවා වාරි මාර්ගවල්‌ සුණු මැටි කවා ශුද්ධ කරවා පිටි නුවරද සුන්‌බුන්‌ තැන්‌ පිරියම්‌ කරවූ සේක. මේ හැම කුමක්‌ නිසාද යතහොත්‌ මත්තෙහි සතුරන්‌ විසින්‌ වන භය වළකන පිණිසැ යැ.


ඒ ඒ නුවරවලින්‌ ආ වෙළෙඳුන්‌ අතින්‌ “කොයි සිට අවුදැ”යි විචාරා “අසවල්‌ රට සිට ආම්හ”යි කී කල “තොපගේ රජ්ජුරුවන්ට කුමක්‌ ප්‍රියදැ”යි විචාරා “අසවල්‌ දෙය ප්‍රියය” යනු අසා ඒ වෙළඳුනට කළමනා සත්කාර කොට තමන්‌ වහන්සේගේ එක්‌ සියයක්‌ යෝධයන්‌ බණවා “සබඳිනි, මා දුන්‌ පඬුරු ගෙන දඹදිව එක්‌ සියයක්‌ රාජධානියට ගොස්‌ මේ පඬුරු තොප කෙරෙහි සෙනෙහස තබන පිණිස ඒ ඒ රජදරුවනට දීලා ඒ ඒ රජදරුවනට සේවාකම්‌ කොට උන්ගේ කරන ක්‍රියාවක්වත්‌ බණන මන්ත්‍රණයක්වත්‌ කියා එව එවා එහි ම වසව්‌. මම තොපගේ අඹුදරුවන්‌ රක්‍ෂා කෙරෙමි” කියා සමහර රජදරු කෙනකුනට මැණික්මය කුණ්ඩලාභරණද සමහර රජදරු කෙනකුට රන්‌ මිරිවැඩිද සමහර රජදරු කෙනකුට රන්‌ මාලාද තමන්‌ වහන්සේගේ නම අකුරු කොටා "යම්‌ දවසෙක මාගේ කාර්යයෙහි නිෂ්ඨාවෙක්‌ වේද එදවස්‌ මේ අකුරු බැලුවනට පෙනේව”යි අධිෂ්ඨාන කොට ඒ එක්‌ සියයක්‌ යෝධයන්‌ අත යැවූ සේක.


ඒ යෝධයෝ ඒ ඒ නුවරට ගොස්‌ ඒ රජදරුවනට තම තමන්‌ ගෙන ගිය පඬුරු දී “නුඹ වහන්සේට සේවා කම්‌ කරන්නට ආම්හ”යි කියා රජදරුවන්‌ විසින්‌ “කොයි සිට අවුදැ”යි විචාරණ ලද්දාහු තමන්‌ ආ නුවර තබා අනික්‌ නුවරක්‌ කියා රජ්ජුරුවන්‌ විසින්‌ 'යහපතැ'යි රඳවන ලදුව සේවා කම්‌ කරන්නාහු ඒ ඒ රජදරුවනට ආත්ම සමාන වූහ.


එ සමයෙහි ඒකබල රට සංඛපාල නම්‌ රජ්ජුරු කෙනෙක්‌ ආයුධ සන්නාහ සැපයීම කරන්නාහ. සේනාව රැස්‌ කරන්නාහ. ඒ රජ්ජුරුවන්‌ සමීපයෙහි සිටි යෝධයාණෝ පණ්ඩිතයන්‌ වහන්සේට "මේ රට රජ්ජුරුවෝ මෙසේ වූ ප්‍රයෝගයක්‌ කෙරෙති. කුමක්‌ බවක්‌ නොදනිමි. සුදුසු කෙනකුන්‌ එවා තත්වය දත මැනැව"යි එවූහ. ඉක්බිති මහබෝසතාණන්‌ වහන්සේ ගිරාපෝතකයන්‌ බණවා “සබඳ ගොස්‌ ඒකබල රට සංඛපාල රජ්ජුරුවෝ මෙනම්‌ ප්‍රයෝගයක්‌ කෙරෙති, ඒ දැන ගෙන දඹදිව මුළුල්ලෙහි ඇවිද ඒ ඒ රට පවත්‌ දැන ගෙන එව”යි කියා විලඳ කවා මී පැන්‌ පොවා ශතපාක සහශ්‍රපාක තෛලයෙන්‌ දෙපියාහස්ස මැඬ නැගෙනහගිරි සීමැදුරු කවුළුව සමීපයෙහි සිට ගිරා පණ්ඩිතයන්‌ හළ සේක. ගිරා පෝතකයෝද ඒකබල රට ගොස්‌ සංඛපාල රජ්ජුරුවන්ගේ සමීපයෙහි සිටි යෝධයන්‌ අතින්‌ රජ්ජුරුවන්ගේ පවත්‌ තත්‌ වූ පරිද්දෙන්‌ දැන දඹදිව මුළුල්ල පරීක්‍ෂා කරන්නාහු කම්පිල්ල රට උත්තර පංචාල නුවරට පැමිණිය හ.

22. සතරකන් මන්ත්‍රණය

සංස්කරණය

එසමයෙහි උත්තර පංචාල නුවර චූලනි බ්‍රහ්මදත්ත නම්‌ රජ්ජුරු කෙනෙක්‌ රාජ්‍යය කෙරෙත්‌, ඒ රජ්ජුරුවනට කේවට්ට නම්‌ බමුණු කෙනෙක්‌ අර්ථයෙන්‌ ධර්මයෙන්‌ අනුශාසනා කරන්නාහ. ඌ තුමූ නුවණැත්තාහ. වියත්තාහ. ඒ කේවට්ටාචාරි එක්‌ දවසක්‌ තුමූ අලුයම්‌ වේලෙහි පිබිද සුවඳ තෙලෙහි නඟන ලද පහන්‌ ආලෝකයෙන්‌ ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්‍ෂිත අලංකෘත ශ්‍රී යහන්‌ ගර්භය බලන්නාහු මහත්‌ වූ සම්පත්‌ දැක "මේ මාගේ යසස කවුරුන්‌ සන්තකදෝ හෝ”යි සිතන්නාහු, අනික්‌ කෙනකුන්‌ සන්තක නොවෙයි, චූළනී බ්‍රහ්මදත්ත නම්‌ රජ්ජුරුවන්‌ සන්තකය. මෙබඳු සම්පත්‌ දුන්‌ රජ්ජුරුවන්‌ සියලු දඹදිව අග රජ කළොත්‌ යහපත, එසේ වුව හොත්‌ මමත්‌ අග්‍ර පුරෝහිත වෙමි'යි සිතා උදාසනක්‌ සේ ම රජ්ජුරුවන්‌ සමීපයට ගොස්‌ රෑ දවස සුවයෙන්‌ නිදිලත්‌ පරිදි විචාරා “දේවයන්‌ වහන්ස, කොට ලිය යුතු කතාවෙක්‌ ඇතැ”යි කීහ. රජ්ජුරුවෝ “කියව ආචාරීනි”යි කීහ. “දේවයන්‌ වහන්ස, ඇතුළු නුවර දී රහස්‌ කියන්නට නොපිළිවන. මඟුල්‌ උයනට යම්හ”යි කීහ. “රජ්ජුරුවෝ යහපත ආචාරිනී”යි කියා බමුණාන්‌ හා සමඟ උයනට ගොස්‌ සේනාව පිටත සිටුවා වට කොට රැකවල්‌ ලවා බමුණන්හා සමඟ ඇතුළු උයනට වැද මඟුල්‌ සල්වටෙහි හුන්හ.


ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක “මේ එක්‌ කාරණයෙක්‌ වූව මැනැව, අද පණ්ඩිතයන්‌ වහන්සේට කියයුතු කිසිවක්‌ අසමි”යි උයනට වැද මඟුල්‌ සල්‌ ගස කොළ අතුර සැඟ වී උන්හ. රජ්ජුරුවෝ බමුණාට “කිය යුතු රහස්‌ කියව ආචාරීනි”යි කීහ. “දේවයන්‌ වහන්ස, නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනැව. මේ මන්ත්‍රණය සතර කන්‌ මන්ත්‍රණය නම් වන්නේය. එහෙයින්‌ නුඹ වහන්සේගේ දෙකන හා මාගේ දෙකන හා මුත්‌ අනිත්‌ කනකට නොයා යුතු වන්නේය. ඉදින්‌ දේවයන්‌ වහන්ස, මා කීවා කරන සේක්‌ නම්‌ සියලු දඹදිවට නුඹ වහන්සේ අග රජ කොටලමි”යි කීහ. චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මහත්‌ වූ රාජ්‍ය ලෝභයෙන්‌ යුක්ත බැවින්‌ බමුණන්ගේ බස්‌ අසා සතුටු ව “කියව ආචාරීනි, තොප කීවක්‌ කෙරෙමි”යි කීහ.


“දේවයන්‌ වහන්ස, අපි සේනාව රැස්‌ කොට ගෙන පළමු කොට කුඩා නුවරක්‌ වට කොට ගනුම්හ, මම කුරුබිලියෙන්‌ ඇතුළු නුවරට වැද ඒ නුවර රජ්ජුරුවනට ‘දේවයෙනි, තොප හා අප හා සටන්‌ කොට කාරියෙක්‌ නැත, හුදෙක්‌ අප නතුවව, තොපගේ රාජ්‍යය තොපට ම වන්නේය. සටන්‌ කළෝ නම්‌ අපගේ සේනා වාහන මහත්‌ හෙයින්‌ ඒකාන්තයෙන්‌ ම පරදුව'යි කියමි. ඉදින්‌ මා කී ලෙස නොකළෝ නම්‌ සටන්‌ කොට අල්වාගෙන මරා පියා උන්ගේ සේනාවක්‌ හැරගෙන අනික්‌ නුවරකට යම්හ, ඒ නුවරත්‌ එසේ මං කොට ගෙන ඉන්‌ අනික්‌ නුවරකැයි මේ සැටියේ ම සියලු දඹදිව රාජ්‍යය ගෙන 'ජය පානය අනුභව කරම්හ' කියා එක්‌ සියයක්‌ රජදරුවන්‌ අපගේ නුවරට ගෙනවුත්‌ උයන දී රා මණ්ඩලයක්‌ සාදා උන්හැම දෙනා 'රා බොන්නටය'යි රා මැඬිල්ලේ හිඳුවාලා විෂ 'යොදා කරන ලද්දා වූ රා අනුභව කරවා උන්හැම දෙනාම ජීවිත විනාශයට පමුණුවා ගඟ දියට දමා එක්‌ සියයක්‌ රාජධානියෙහි රාජ්‍ය අත්පත්‌ කොට ගනුම්හ. එසේ කල්හි ඔබ වහනසේ සියලු දඹදිවට අග රජ වන සේකැ”යි කීහ. රජ්ජුරුවෝ “යහපත ආචාරිනී තොප කී ලෙස ම කෙරෙමි”යි කීහ. “දේවයන්‌ වහන්ස, මේ මන්ත්‍රණය සතර කන්‌ මන්ත්‍රණය නම්‌ වෙයි. අනික්‌ කෙනකුන්‌ දත නොහැක්කේය. එසේ හෙයින්‌ කල්‌ නොයවා යහපත්‌ නැකතකින්‌ වහා නික්මුණ මැනැව”යි කීහ. රජ්ජුරුවෝ “යහපතැ”යි ගිවිස්සාහ.


ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා උන්‌ දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයෙහි සාල්ලෙක ලාලා පාතට බාන කෙනකුන්‌ මෙන්‌ කේවට්ට බමුණා හිස වර්චස්‌ පිඬක්‌ හෙළා “කිමෙක්දැ”යි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛය නැවත වර්චස්‌ හෙළා “ක්‍රීන්”'යන අනුකරණයෙන්‌ හඬමින්‌ කොළොත්තෙන්‌ උඩ නැඟී “කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතරකන්‌ මන්ත්‍රණයයි සිතයිද? දැන්‌ ම සකන්‌ ව ගියේය. නැවත අට කනකට ගොස්‌ පසු ව නොයෙක්‌ සිය කනකට යන්නේය”යි කීහ. ගිරවා “කොල ගනුව”යි කියද්දී ම පවනට බඳු වේගයෙන්‌ පියාසර කොටගෙන මියුලු නුවරට ගොස්‌ මහෞෂධ පණ්ඩිතයන්‌ වහන්සේගේ ප්‍රාසාදයට වන්හ.


ඒ ගිරා පණ්ඩිතයන්ගේ මෙ බඳු වතෙක්‌ ඇත්තේය:- ඉදින්‌ කිසි තෙනකින්‌ ගෙනා හස්නක්‌ පණ්ඩිතයන්‌ වහන්සේට පමණක්‌ කිය යුතු වී නම්‌ උන්‌ වහන්සේගේ දසරුවට බස්නාහ. ඉදින්‌ අමරා දේවීනුත්‌ ඇසුව මනා වී නම්‌ ඇකයෙහි ගොස්‌ හිඳුනාහ. ඉදින්‌ බොහෝ දෙනාත්‌ ඇසුව මනා වී නම්‌ බිමට බස්නාහ. එ දවස්‌ ගිරා පණ්ඩිතයෝ පණ්ඩිතයන්‌ වහන්සේගේ දසරුවෙහි බැස උන්හ. ඒ සලකුණෙන්‌ “රහසැ බිණියයුතුය”යි අමරා දේවීන්‌ හා බොහෝ දෙන ඉවත්‌ ව ගියහ. පණ්ඩිතයන්‌ වහන්සේ සුව පෝතකයන්‌ හැර ගෙන මතු මාල්තලයට නැඟී “සබඳ තොප විසින්‌ කුමක්‌ දක්නා ලදද? කුමක්‌ අසන ලදද”යි විචාළ සේක. ඉක්බිති ගිරා පණ්ඩිතයෝ බෝධිසත්ත්වයන්‌ වහන්සේට ”මම දේවයිනි! සියලු දඹදිව අනික්‌ රජ්ජුරු කෙනකුන්‌ සමීපයෙන්‌ කිසි භයක්‌ නුදුටීමි. උත්තර පංචාල නුවර චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කේවට්ට නම්‌ පුරෝහිතයාණෝ රජ්ජුරුවන්‌ උයනට ගෙන ගොස්‌ සතරකන්‌ මන්ත්‍රණයක්‌ කළහ. මම මඟුල්‌ සල්ගස සල්‌ අත්තක්‌ ඇතුළේ සැඟ වී මන්ත්‍රණය අසා නිමවා ගෙන කේවට්ට බමුණා කට වර්චස්‌ පිඬක්‌ හෙළා පියා ආමි” කියා සියලු තමන්‌ දුටු දෙයත්‌ ඇසූ දෙයත්‌ පණ්ඩිතයනට දැන්‌ වූහ. උන්‌ වහන්සේ විසින්‌ “රජ්ජුරුවෝ ගිවිස්සෝද” යි විචාළ කල්හි “ගිවිස්නා ලදය දේවයෙනි” කීහ.


පණ්ඩිතයන්‌ වහන්සේ ගිරා පෝතකනයට කළමනා සත්කාර කොට හෙවත්‌ මීයෙන්‌ හැණූ විලඳ කවා මී පැන්‌ පොවා බේත්‌ තෙලින්‌ පියා සඟළ මැඬ මොළොක්‌ ඇතිරිලි අතුරන ලද රන්‌ මැදිරියෙහි සතප්පා කේවට්ටයා මා මහෞෂධ පණ්ඩිත බව නොදනී සිතමි. දැන්‌ ඔහු කළ මන්ත්‍රණය මුදුන්‌ පැමිණිය නොදෙමි. සිතා ඇතුළු නුවර හුන්‌ දිළිඳුන්‌ පිටත්‌ කරවා පිටි නුවර ලැවූ සේක. පිට රටින්‌ දනවුවලින්‌ සතර වාසල නියම්ගම්‌ සතරින්‌ වස්ත්‍රාභරණ ධනධාන්‍යාදීන්‌ සමෘද්ධ වූ ඉසුරුමතුන්‌ ගෙන්වා ඇතුළු නුවර වැස්‌ වූ සේක, බොහෝ ධන ධාන්‍ය රැස්‌ කරවූ සේක.

23. මන්ත්‍රණය නිෂ්ඵල වීම

සංස්කරණය

චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරවෝද කේවට්ටයන්ගේ බස්‌ ගෙන හස්තාශ්වාදී සෙනඟ පිරිවරා ගොස්‌ එක්‌ කුඩා නුවරක්‌ වටලා ගත්හ. කේවට්ට බමුණු තමායට කී සැටියේ ම කුරුබිලයෙන්‌ ඇතුළු නුවරට වැද කාරණා කාරණා ඒ රජ්ජුරුවනට කියා තමන්‌ වසඟ කොට ගෙන දෙසේනාව එක්‌ කොටගෙන අනික්‌ නුවරක රජ්ජුරුවනැයි මෙසේ චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටාචාරින්ගේ අවවාදයෙහි සිට වේදේහ රජ්ජුරුවන්‌ තබා සෙසු සියලු දඹදිව රජ්ජුරුවන්‌ තමන්‌ නතු කළහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේ විසින්‌ ඒ ඒ රජ්ජුරුවන්‌ සමීපයෙහි සිටුවන ලද පුරුෂයෝද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ විසින්‌ “අදවකට මෙතෙක්‌ නුවර ගන්නා ලදැයි පණ්ඩිතයන්‌ වහන්සේ නොපමා වන සේක්ව”යි කියා නිරන්තරයෙන්‌ හසුන්‌ එවන්නාහ. උන්‌ වහන්සේද ඒ යෝධයනට “මම මෙහි පමාවක්‌ නැත්තෙමි, තෙපි උකටලී නොව නොපමා ව වසව”යි කියා යවන සේක.


බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සත්හවුරුදු සත්‌ මස්‌ සත්දවසකින්‌ වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය තබා සෙසු දඹදිව රාජ්‍යයන්‌ ගෙන කේවට්ට බමුණට “ආචාරීනි, මියුලු නුවර වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය ගනුම්හ”යි කීහ. “දේවයන්‌ වහන්ස, මහෞෂධ පණ්ඩිතයන්‌ වසන නුවර රාජ්‍යය ගන්ට නොපෙහොසතුම්හ. ඒ පණ්ඩිතයන්‌ වනාහී මෙබඳු නුවණැත්තාහ. ඉතා ම උපායවන්තහ”යි මෙසේ ඒ කේවට්ට බමුණු ආචාරී විස්තර කොට සඳ මඩලෙහි අඳනා කෙනකුන්‌ මෙන්‌ බෝසතාණන්‌ වහන්සේගේ ගුණ රජ්ජුරුවන්ට කීහ. ඒ ආචාරී වනාහි තුමූත්‌ උපායවත්හු මය. එසේ හෙයින්‌ “මියුලු රාජ්‍යය නම්‌ ස්වල්පය. සියලු දඹදිව රාජ්‍යය අපට සෑහෙයි එක්‌ රාජ්‍යයකින්‌ අපට කාරිය කිම්ද”යි උපායෙන්‌ රජ්ජුරුවන්‌ ගිවිස්සූහ. සෙසු රජදරුවෝ “අපි මියලු පුර රාජ්‍යය ගෙන ම ජය පානය බොම්හ”යි කියන්නා කේවට්ට ආචාරී උනුන්‌ කාරණා කියා වළකා “වේදේහ රාජ්‍යය ගෙන කුමක්‌ කරමෝද? ඒ රජ්ජුරුවෝත්‌ අප නතුවෝමය නවතුව”යි එක්‌ සියයක්‌ රජදරුවන්‌ උපායෙන්‌ ගිවිස්සූහ. ඒ රජ්ජුරුවෝ කේවට්ට නම්‌ බමුණන්ගේ බස්‌ අසා මියුලු නුවරට යන ගමන්‌ නැවැත්තාහ. බෝසතාණන්‌ වහන්සේට ඔබ වහන්සේගේ චරපුරුෂයෝ “බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්‌ සියයක්‌ රජදරුවන්‌ පිරිවරා මියුලු නුවරට නික්මුණාහු නැවත තමන්ගේ නුවරට නැඟී ගියහ”යි හසුන්‌ එවූහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේද ඒ පුරුෂයනට “මෙතැන්‌ පටන්‌ කොට රජ්ජුරුවන්‌ කරන ක්‍රියාවක්‌ දැන එවන්නේය”යි කියා නැවත හසුන්‌ යැවූ සේක.


බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කේවට්ටයන්‌ හා සමඟ “විෂ මිශ්‍ර සුරා පානය අනුභව කරවා රජදරුවන්‌ මැරීම්‌ සංඛ්‍යාත ඒ කටයුත්ත දැන්‌ කරම්හ”යි මන්ත්‍රණය කොට “අපි ජය පානය බොම්හ”යි කියා මඟුල්‌ උයන නඳුන්‌ උයනක්‌ සේ සරහා දහස්‌ ගණන්‌ මඩම්වල රා පුරා තබ්බවා අනේක ප්‍රකාර මසවුළු ඒ ඒ ස්ථානයෙහි වළන්‌ පුරා විෂ මිශ්‍ර රැස්‌ කොට තබව”යි අමාත්‍යයනට විධාන කළහ. එපවත්‌ පණ්ඩිතයන්‌ වහන්සේට අන්තස්සර පුරුෂයෝ කියා යවූහ. ඔහු වනාහි විෂ යොදා රජ්ජුරුවන්‌ මරනු කැමැති නියාව නොදනිති. මහබෝසතාණන්‌ වහන්සේ වනාහි ගිරා පොතකයන්ගේ අතින්‌ ඇසූ බැවින්‌ දන්නා සේක. එසේ හෙයින්‌ උන්‌ වහන්සේගේ අන්තස්සරයනට “ජයපානය බොන දවස්‌ නියම කොට කියා එවවුය”යි නැවත හසුන්‌ යැවූ සේක. ඒ යෝධයෝ වදාළ ලෙස ම දවස්‌ නියම කොට යවූහ.


ඒ අසා පණ්ඩිතයන්‌ වහන්සේ “මා බඳු පණ්ඩිත කෙනකුන්‌ ජීවත්‌ ව හින්ද දී ම මෙතෙක්‌ රජ දරුවන්‌ මිය යා යුක්ත නොවන්නේය. උන්ට මා පිටුවහල්‌ වුව මැනැව”යි සිතා තමන්‌ වහන්සේ හා එක දවස උපන්‌ යෝධයන්‌ දහස බණවා “සබඳිනි, චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ උයන සරහවා එක්‌ සියයක්‌ රජදරුවන්‌ පිරිවරා සුරා පානය අනුභව කරනු කැමැත්තෝල, තොපි ඔබ ගොස්‌ රජ්ජුරුවනට අසුන්‌ පණවා ලූ කළ කිසි කෙනකුන්‌ නොහිඳිනා තුරු ම චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ හිඳිනට පැන වූ අස්නට ඉක්බිති පැනවූ මාහැඟි අස්නක්‌ අපගේ රජ්ජුරුවනටය'යි ගෙන ඒ රජදරුවන්ගේ සේනාව විසින්‌ “තෙපි කවුරුන්ගේ සේනාදැ”යි කී කල “වේදේහ රජ්ජුරුවන්ගේ සේනා වම්හ”යි කියව. “කුමක්ද අපි සත්හවුරුදු සත්‌ මස්‌ සත් දවසක්‌ මුළුල්ලෙහි දඹදිව රාජ්‍ය ගන්නමෝ එක දවසකුත්‌ වේදේහ රජ්ජුරු කෙනකුන්‌ නුදුටුම්හ, වේදේහ රජ්ජුරුවෝ නම්‌ කවරනුද? යව. උනට උවමනා වී නම්‌ කෙළවර අස්නක්‌ ගනුව”යි තොප හා සමඟ කලහ කරන්නාහ. තෙපි “බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ විනා අපගේ රජ්ජුරුවනට වැඩි තරම්‌ කෙනෙක්‌ නැතැ”යි කලහ වඩා ගෙන “අපගේ රජ්ජුරුවන්ට අස්න පමණකුත්‌ නොලබන්නමෝ දැන්‌ තොප රාත්‌ පිය නොදෙම්හ'යි මස්‌ අවුලු ආදියත්‌ කෑ නොදෙම්හ”යි වාසි බෙණෙමින්‌ සිංහ නාද ඇසූ මුව පොල්ලන්‌ පරිද්දෙන්‌ තොපගේ අභීත ශබ්දයෙන්‌ ම උන්‌ භය ගන්වාය මුගුරු බාලා සියලු රා මස්‌ සැළවල්‌ තූතූ කොට පියා වහා රා මස්‌ අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන්‌ කොට දීවීමෙන්‌ ගොස්‌ සේනා මධ්‍යයට වැද ශක්‍රපුරයට වන්‌ අසුර භටයන්‌ පරිද්දෙන්‌ මහත්‌ අරගල කොට "අපි මියුලු නුවර මහෞෂධ පණ්ඩිතයන්ගේ යෝධයම්හ, පිළිවන්‌ වී නම්‌ අප අල්වා ගනුවයි, තොප ගිය බව හඟවා එව”යි කියා යෝධයන්‌ දහස යැවූ සේක.


ඒ යෝධයෝත්‌ බෝධිසත්ත්වයන්‌ වහන්සේ වදාළ බස්‌ මුදුනෙන්‌ පිළිගෙන වැඳ සමුගෙන දුනු මුගුරු අඩයටි පත්කොහොල්‌ පාරාවළලු යයි යන පංචායුධ සන්නද්ධ ව උතුරු පසල් දනවුව නුවරට ගොස්‌ නඳුන්‌ උයන මෙන්‌ සරහන ලද උයනට වැද, නඟන ලද දළපුඬු සේසත්‌ ඇති එක්‌ සියයක්‌ රාජාසන ආදී වූ පිළියෙළ කොට තබන ලද ශ්‍රී විභූතීන්‌ දැක මහබෝසතාණන්‌ වහන්සේ විසින්‌ වදාරන ලද ක්‍රමයෙන්‌ ම සියල්ල කොට සේනාව මධ්‍යයට වැද බොහෝ දෙන ක්ෂෝහ කොට තමන්ගේ මියුලු නුවරට පලා ගියාහ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-v&oldid=15730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි