උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය

දේවාල කටයුතු පරිපාලන විධිවිධාන හා මහා පෙරහර මූලාරම්භය(Distinguished ‍Festival )සංස්කරණය

යුද්ධයට පෙර රජතුමාගේ භාරය වී ඇත්තේ "...සැපසේ දිනා එන්ඩ ඇරියොත් කන්දස්වාමීන් වහන්සේට මෙතන නුවරක් කරවා ඊට ගමුත් පුදවා දවස තුන්වේලේ දන් මුළුතැන් සිද්ධ කරවා ඇසල මාසේට පෙරහැර කරවන හැටියට බාරවෙමින්...." ආදී වශයෙන් කොස් පැළයේ රන්පනම් දහසක පඬුරු බැඳීමෙන් පො‍ොරන්දු වී තිබුණි. ඒ අනුව අලුතේන් නුවරක් ඉදි කර ඉමහත් ගෞරවයෙන් යුතුව අලුතෙන් ගොඩ නැගූ දේවාලයට ආභරණ වැඩමවීමේ මංගල්‍යය සිදු කිරීමෙන් රජුගේ භාරය සම්පූර්ණ නොවීය. භාරවී ඇති පරිදි ගම්බිම් පිදීම කලින්ම, එනම් අතරමගදීම ඉටු කළත්, ඉදිරි පැවැත්ම තහවුරු කිඍිම සඳහා විධිමත් පරිපාලන රටාවක් ස්ථාපනය කිරීමත් ඒ අනුව පෙරහර කරවා පෙන්වීමත් කළයුතුව තිබුණි. මේ සඳහා සැලසූ විධිවිධාන විශ්මය දන්වන ආකාරයෙන් අදද ක්‍රියාත්මක වෙයි. එම පරිපාලන සැලසුම අනුව සිදුවන දේවාල ක්‍රියාදාමය අද වන විට පෙර සිරිත ඉටුකීරීම ලෙස ස්ථාපනය වී ඇත්තේය. එය රටට දායාද වූ විශිෂ්ට සංස්කෘතික උරුමයක් සේ පවතී. 1870 විහාර දේවාලගම් පනත මගින් මේ සම්ප්‍රාදය ලේඛන ගත කිරීමට උත්සාහ ගෙන ඇතත් එය අසම්පූර්ණ නිසා එක් අතකින් බාධකයක් වුවද, තමන්ගේ පෙරසිරිත ලිඛිත වගන්තියකින් පැනවෙන විධානයකට වඩා බලසම්පන්න බව අදහන පිරිස තවමත් විශාල බැවින් ද එය තම පරම්පරාවේ සාඩම්බර උරුමය ලෙස සලකන ආකල්ප සහිත තරුණ පිරිසක් ජනිත වෙමින් පවතින හෙයින්ද ඉිදිරිය අඳුරු නැති බව පෙනීයයි.1870 විහාර දේවාලගම් පනත මගින් මේ සම්ප්‍රාදය ලේඛන ගත කිරීමට උත්සාහ ගෙන ඇතත් එය අසම්පූර්ණ එකක් බවට පත්ව ඇත. එකල සිටි මේ ඇත්තන් විසින් තම රාජකාරියේ හරය ප්‍රකාශ කළා පමණක් වැනිය. තම රාජකාරියේ වැදගත් භුමිකාවන් රාජකාරි රහස් ලෙස තබාගත් බව පෙනේ. අද ද තමාගේ ඇවෑමෙන් හිමි කර දිමට තෝරාගත් ඥාතියාට හැර පවුලේ අන් අයට හෝ නොපවසයති. තමාගේ ඇවෑමෙන් රාජකාරිය හිමිවන අයට ද පිටස්තර දී ඉගැන්වීමක් නොකෙරේ. එය රාජකාරිය කරන සැබෑ අවස්ථාවේදී අත්දැක ඉගෙනගන්නට අවස්ථාව සලසාදීම පමණි. එහෙයින් තමන්ව යටත් කරගෙන සිටි පරදෙශීන් වූ ඉංග්‍රීසි රජයේ නියෝජිතයන් හමුවේ තම රාජකාරියේ ස්වභාවය මුළුමනින්ම ප්‍රකාශ නොකිරීම පුදුමයක් නොවේ. එක් අතකින් එය අද තත්ත්වයට බාධකයකි. මෙහිදී පෙරසිරිත යන්න ලිඛිත වගන්තියකින් පැනවෙන විධානයකට වඩා බලසම්පන්න බව පෙනි යයි. එය විශේෂිත ලක්ෂණයකි . කෙසේ වුව ද දේවාලයේ තමන්ට හිමි රාජකාරිය, තම පරම්පරාව සතු සාඩම්බර උරුමය ලෙස සලකන තරුණ පිරිසක් ද ජනිත වෙමින් පවතින හෙයින් සම්ප්‍රදායේ ඉදිරිය අඳුරු බවක් තවම පෙනෙන්නේ නැත. පරිපාලන විධිවිධාන සැලසීමේදී පුරාණ ලේඛනයේ දැක්වෙන දෑ එය සාරාංශකර පහත දැක්වෙන සේ සැකසිය හැකිය. “.......දේවාලේ දහ අටක් තේවාව සිද්ධ කරන පිනිස

1 නාහැල්ලේ කිරි අම්මා වදාපු අම්මාප්පුහාම්වරු 7
2 යාපා මහවාසල රජ්ජුරුවන්ට දුක්ගන්නා කමට පැමිණ සිටිය හත් දෙනා අතරින් 2
3 මෙහි සිටි අයගෙන් කපුබත්වඩ නිල 2
4 නවරත්න ගණිතයා 1
5 කුමුද්‍රා හේනයා 1
6 මුළුතැන් (පිරිමි හෝ කාන්තා) 2
7 තේවකාරයෝ 14
8 ගබඩායට අය උපදවන 7
9 ඉළඟන් ආරක්ෂක අව්දැරීමට බලය ලත් අය 2
10 සිඟාරක්කාරයෝ 10
11 බත්ලබයෝ 12
12 බඩහැලයෝ 2
13 උළු ඇන කැපූ ආචාරියෝ 2
14 කුලතොවිල් කාරයෝ 5

මේ අනුව විශේෂ තනතුරු ධාරින් 69 ක් ඇති කළ බව පෙනීයයි. පිදවිලිගම් වලින් එන අනෙකුත් අය ද ඇතුළුව මුළු කාර්ය මණ්ඩලය 99 ක් සිටි බව දැනමුත්තෝ පෙන්වා දෙති. ඒවායින් සමහරක් සමනළ වැව ව්‍යාපාරය නිසා රාජකාරිය සඳහා ලැබී තිබූ ඉඩම් අහිමිවීම හා එම රාජකාරි කරුවන් ප්‍රදේශයෙන් ඉතා ඈත පෙදෙස්වල පදිංචියට යාමහේතුවෙන් දැනට අභාවයට ගොසින් පවතී. මේ වනවිට ඉතිරිව ඇති පරවේනි රාජකාරි ප්‍රමාණය 40 ක් පමණ බව අත්තනායක මොහොට්ටාල නිළමේවරයා පවසයි. මේ විශේෂිත තනතුරු සමහරක් හා ඒවායේ භූම්කාව මතභේදයන්ට ලක් නොවී විග්‍රහ කිරීම තරමක් උගහටය. (ඒවා වෙන පරිච්‍ඡේදයක විමසෙනු ඇත.) ඒ නිසා මෙහි සඳහන් ඇතැම් තනතුරකට අයත් භූමිකාවක් කුමක්ද යන්න හරිහැටි නිශ්චය කළ නොහැකි බව පමණක් මේ අවස්ථාවේ සටහන් කෙරේ. උදාහරණ වශයෙන්"බත්ලබයෝ" යනු කවුද යන්න හරිහැටි හඳුනාගත නොහැකිය.මෙහි අංක 1 සිට 14 දක්වා ඇත්තේ වගකිවයුතු නිළධාරී මණ්ඩලය වන අතර මහවාසලට වගකීම බැඳී තිබුණ නිල ලත් අය දෙදෙනෙක් රජුගේ කාර්ය මණ්ඩලයෙන්ම පත් කර තිබුණ බවක් ද පෙනේ. ඒ අය රජුගේ දුක්ගන්නා කමට පැමිණ සිටි අයගෙන් පත් කළ බැවින් ඔවුහු රජ පවුලට ළඟ සම්බන්ධ කම් තිබූ උසස් අය බව නිගමනය කළ හැකිය. නාහැල්ලේ කිරිඅම්මා වදාපු අම්මාප්පුහාමිවරු වශයෙන් දැක්වෙන්නේ ද එකල සිටි රටේ වගකිවයුතු වැදගත් පරිම්පරා වල අය බව පෙනේ. එකල “අප්පුහාමි” යන ව්‍යවහාරය අයත්ව ඇත්තේ එවැනි වැදගත් අය හඳුන්වන පදයක් වශයෙනි. මෙහිදී වැදගත්කම යනු තම ආත්මගෞරවයට හානිකර නොගෙන අභිමානවත් අයුරින් දිවිපෙවෙත ගත කරන අය වෙති. මේ තත්ත්වය කැප්පෙට්ටිපොල,මද්දුමබණඩාර,කිවුලේ ගෙදරමොහෙට්ටාල, දෙමෝදර මොහොට්ටාල හා අල්ලෙපොල නිළමේ වැනි බැබලෙන වීරචරිතාපදාන විමසා බලන විට මනාව වටහාගත හැකිය. ඔවුහු සිය උරුමය හා සංස්කෘතිය වෙනුවෙන් දිවිපිදූ අය වෙති. 1819 මේ ප්‍රදේශයට පැමිණි රොබට් බ්‍රවුන්රිග්ගේ රාජකීය වෛද්‍යවරයා(ජෝන් ඩේවි) හමුවේ මේ දේවාලයේ නිළමේවරයකු පැමිණ කළායයි වාර්තා කර ඇති ප්‍රකාශය සැලකිල්ලෙන් විමසන්න. ඔහු තමන්ගේ වර්ගපරම්පරාවන් ඉංග්‍රීසීන් මගින් සමූලඝාතනයට ලක්ව මුළුමහත් වර්ගයාම අසරණව සිටි අවස්ථාවක වුවද ජෝන් ඩේවිහමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඌවේ වැසියා ඉංග්‍රීසින්ගේ දුර්දාන්ත ක්‍රියාකලාපය හමුවේ දුක්විඳින බව හා එය අමනොඥ වැඩක් බව හැඟවෙනප්‍රකාශයක් මිස මේ රාජකීයයා හමුවේ තමාට කිසියම් පෞද්ගලික ලාභ ප්‍රයොජන ලබා ගැනීමේ ආයාචනයක් නොවේ. පරිපාලන විධිවිධාන සැලසීමේදී දේවාලෙ තේවාව ඇතුළු මුරජාමවලට( දේවාලයේ දිවාරාත්‍රි ආරක්ෂක සේවය) අවශ්‍ය අය වෙනම පත් කර ඇත. වලේබොඩ, පල්ලෙකන්ද, දියඉන්න,ගලගම නින්දගම් නමයක් පුදවා පොල්ලමුරේගම ඇතුළුව ගම් හතලිස් අටක් පූජාකර අවශ්‍ය වන ආදායම් මාර්ග සැලසුවාක් මෙන්ම ඒ සඳහා වෙනම නිළ මඩුල්ලක් ද ස්ථාපනය කර ඇත. මේ ඇතැම් ගමක් හඳුන්වා ඇත්තේ එම තේවාවේම නමිනි. උදාහරණ කිහිපයක් පමණක් පහත වගු සටහනේ දැක්වේ. (මේ සම්බන්ධ වැඩි විස්තර හා තොරතුරු කුලක්‍රමය හා රාජකාරි පරිච්ඡෙදයේ බලන්න )

ගම් ප්‍රදේශයේ නම නියමිත රාජකාරිය හෝ දේවාල තේවාව
බුලත්පංගුව දේවාලයට බස්නායක නිළමේට හා රදලවරුන්ට බුලත් ගෙන ඒම පෙරහර දිනවල දැනුදු සිදුවේ
සුදුහකුරු පංගුව දේවාලයට හා ඉහත කී අයට නෑඹුල් මලේ (මුලින්ම හටගත් කිතුල් මලේ)පැනිමගන් සකස් කළ හකුරු සැපයීම
පැනිපංගුව දේවාලයට හා ඉහත කී අයට පැනි ගෙනඒම(කිතුල් පැනි)දැනුදු පෙරහර දිනවල සිදුවේ
අලංකාරපංගුව දැනුදු මහ පෙරහරේ දේවාභරණ රථය සැරසීමට හා අරංගුවට දෝතළු මල් ගෙන එන්නේ මේ ප්‍රදේශයෙනි
හටන්පල දේවාලයට අවශ්‍යවන ආයුධ සාදන රාජකාරිය දැනුදු සිදුවේ.

දේවාලයේ දෛනික පිරිසිදු කම(සනීපාරක්ෂක සේවාව වැනි කර්යයන් සකේතවත් කරන අතුගෑම) මුළුතැන් බෙදීම සඳහා අවශ්‍ය කෙසෙලේකොල සැපයීම වැනි ඉතා සුළු කාර්යයේ සිට දෙවියන් වැඩමවීම දක්වා උසස්ම කටයුතු වෙන වෙනම ස්ථාපනය වී ඇත්තේය. සාමාන්‍ය පරිපාලනය පමණක් නොව ආදයම් පරිපාලනය, මූල්‍ය විනය පවත්වා ගැනීම පිණිස දෛනික හා වාර්ෂක විගණන ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා විධිවිධාන සැලසී ඇත්තේ විශ්මයට පත්වන අයුරෙනි. සියලුම කටුයුතු ඉතා සැලකිල්ලෙන් සැලසුම් කර "ඔව්" සහ "නැත" වශයෙන් පෙළ ගස්වා සකස් කළ ගැලීම් සටහනක් (flow chart) මත සැකසූ පරිගණ මෘදුකාංගයක් (computer programme) පිළියෙල කර සකස් වී ඇති බව පෙනී යයි. ඒ නිසා මේ සම්ප්‍රදාය 1582 සිට 2011 දක්වාම වසර 429 කි තිස්සේ නිරුපද්‍රිතව පැවතිනි. 1818 ජාතික විමුක්තිසටන නිර්දය ලෙස මර්ධනය කර දැමීම 1848 දෙවන විමුක්තිසටන නිර්දය ලෙස මර්ධනය කර දැමීම, මුඩුබිම් පනත් මගින් ඉඩම් පවරාගැනීම නිසා අහිමිවීම, 1915 යුද්ධ නීතය පනවා පෙරහර පැවැත්වීම පවා තහනම් කර දැමීම වැනි දේ පරිගණක මෘදුකාංගයකට එන බියජනක වෛරස ආක්‍රමණයන් වැනි විය.(a virus attack) එවැනි වෛරස හමුවේ වුද නොනැසී පැවතුන මෘදුකාංගයක් සේ එය ස්ථාවරව පැවතිනි. බටහිරකරණයේ අනිශ්ඨ ඵලවිපාක පමණක් නොව පරිසර තත්ත්ව ඇගයීම් පදනම් කර නොගත් සමනළ වැව ව්‍යාපෘතිය වැනි නූතන සංවර්ධන වැඩසටහන් හමුවේ වුවද තවමත් මේ සම්ප්‍රදාය, මේ සටහන තබන මොහොත දක්වාත් ස්ථාවරව පැවතීම විශ්මය දනවන සැලසුමක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් නොවන්නේද ?

මුලින්ම කරන ලද මහා පෙරහර පිළිබඳව පුරාණ ලේඛනයේ වාර්තාවන තොරතුරු

පළමු පෙරහර අදින් වසර 428 කට පමණ පෙර පැවැත්වූ බව පුරාණ ලේඛනයේ විස්තර අනුව පෙන්වා දිය හැකිය. දාගැබ විහාරගෙය ඇතුළු බෞද්ධ පූජනීය ගොඩනැගිලි හා දේවාලය ද සතරරවීදිය වාහල්කඩ සතරද අඩංගු පරිශ්‍රය ගොඩනැගීම හා පරිපාලන විධිවිධාන සැලසීම ආදී වැඩ කටයුතු නිමවන විට ශකවර්ෂ 1505 ඇසලමාසය එළඹ තිබුණි. බාරය සම්පූර්ණ කිරීම පිණිස ඇසල මාසයේ මහා පෙරහර පැවත්විය යුතු විය. “.......ඇසල මස අවඅමා මාසය ගතව පෑලවියලත් බ්‍රහස්පතින්දා අමෘතයෝග වූ පුසේ නැකතින් මෙම දින රෑ වූ විසිතුන් පැයට ඉඳුරු දෙසට අභිමුඛව ඉඹුල්පේ දෙවනැන්නැහැ අතින් මගුල් කප ප්‍රතිෂඨා කර හිඳුවා පහලොස් දවසක් පෙරහැර මංගල්‍ලය සිද්ධ කරවා වදාරමින් නිකිනි මස පුරපසලොස්වක් ලත් බ්‍රහස්පතින්දා රෑ පාන්දර සිකුරාදාට එලිවෙන වෛතාල වේලාවට නැගෙනහිරට අභිමුඛව දිය කපන මංගල්‍යය සිද්ධ කොට ජලනීරෝහියෙන් වැඩම කර ආසිරිවාද මඟලන් පවත්වා සමහර කළ සේක්වා......” වශයෙන් ලේඛනයේ දැක්වෙන විස්තරය අනුව ක්‍රි.ව.1583 ජුලි මාසයේ අමාවක පෝය දිනට පසු දින ඉඹුල්පේ දෙවනැන්නැහැ අතින් පෙරහර වෙනුවෙන් “කප් සිටුවීමේ මංගල්‍යය” කර ඇත. ඒ බ්‍රහස්පතින්දා දිනක රාත්‍රී 3. 30 ට පමණ යෙදුනු අමෘත යෝගයේ පුසේ නැකත අනුවය. එයින් පසුව දින පහලවක් පෙරහර මංගල්‍යය සිදු කර සිකුරාදාට එළිවෙන්නට තිබියදී වෛතාල වේලාවට නැගෙනහිර දෙස බලා දියකපන මංගල්‍යය සිදු කර “ජල නීරොහියෙන්’ පැමිණ ආශිර්වාද මංගල්‍යය සිදු කර නිම කර ඇත. මෙහිදී දක්වා ඇති ජලනීරෝහියෙන් පැමිණ යන යෙදුම කුමණ කටයුත්තක් සඳහා ව්‍යවහාර වූවක්ද යනු සොයාගැනීම අපහසුය. එය " ප්‍රසාංගික ක්‍රීඩාවක් හෝ නැටුමක් විය හැකිය" යන අනුමානයට පැමිණිය හැක්කේ මේ ලේඛනයේම අන්තැනක රජතුමා නීරෝහී කෙලියේ යෙදෙමින් වැඩම කළ බව දැක්වෙන යෙදුමක් ඇති හෙයිනි. ඉතා දුර්ලභ වූ මේ ක්‍රීඩාව හෝ නැටුම පිළිබඳ විග්‍රහ කරන මහාචාර්ය පුන්චිබණ්ඩාර ශූරීන් එය ජලය ආශ්‍රිත ක්‍රීඩාවක් සේ සොරගුණ දේවාලයේ ඇසල පෙරහරේ දියකපන මංගල්‍ය‍යේ සිදුවීම් ඇසුරින් දක්වන නමුත් මෙම දේවාලයේ දිය කැපීමේ අවස්ථාව සොරගුණ සම්ප්‍රදායට වඩා හැම අතින්ම වෙනස් හෙයින් එවැනි නිගමනයකට පැමිණිමද අපහසුය. මෙහි දිය කැපීමේ අවස්ථාවේ හෝ පසුව වුවද එම පොකුණ ශුද්ධ ස්ථානයක් හා ජලය ශුද්ධ ජලය ලෙස සැලකේ. දිය කපන පොකුණේ ජලය හෝ පොකුණ හෝ කවර අවස්ථාවකවත් මිනිසුන්ගේ භාවිතයෙන් ඉඳුල් නොකෙරේ. ඒ අනුව ජල නීරෝහියෙන් යනු පොකුණේ ජලය ලබා ගෙන කරන්නක් විය නොහැකිය. දියකැපූ පසුව පෙරහර උතසවය අවසන් කර ඇත්තේ "ආසිරිවාද මඟලන්" පැවැත්වීමෙන් පසුවය. වර්තමානයේ දිය කැපීමේ පෙරහරත් සමග දේවියන්ටත් පෙරහර කළ නිලකරුවන්ටත් ආසිරි පත්මින් එන ගරායකුන් දක්නට ලැබේ. පෙරහරත් සමග එසේ එන ගරායකුන් මග දිගට කෝලම් විසුළු පාමින් එන අතර සියලු හඬ පරයා හූ කියමින් එන අවස්ථාවන් ද වෙයි. ඒ සමගම කොස්උරුප්පය හා වල්ලි දේවාලයට ගෙවදින විටත් මහදේවාලයට ගෙවදින විටත් “පස්වාන් දහසකට ආයුබෝ!කප්පාන්තිරයකට ආයු බෝ! ඉරහඳ පවතිනාතෙක් ආයු බෝ!“ යනුවෙන් ආසිරි පතනු දක්නට හැකිය. මේ ආසිරිපැතීම් දේවියන් උදෙසාද රාජකාරි කරුවන් උදේසාද මෙන්ම බැතිමතුන් හා නරඹන අය සියලුදේනා වෙනුවෙන්ද සිදුවේ. මෙහිදී බුරුල්ල කොල හෝ අඹ කොල සහත අතු ඉදිරියට සැලීමක්ද නිරීක්ෂණය කළ හැකිය. “නීරෝහි කෙලිය“ යන්න වර්තමානයට හැඩගැසී ඇත්තේ මෙලෙසද යනු සිතා බැලිය යුත්තකි. පෙරහර දියකැපූ දින රාත්‍රීයෙදී පැවැත්වෙන යාගය ද ගරායකුම නම් වෙයි. පළමුව දෙවියන්ට හා කපුමහතා ඇතුළු ඇතුල් කට්ටලේ රාජකාරි කරන නිළමේවරුන්ටත් දෙවනුව බස්නායක නිළමේ සහ ඔහුගේ ලියන මහතාටත් ඉන් පසුව වීදියවටා යමින් සියලුදෙනාටත් අවසානයට දේවාභරණ වැඩමවූ අලියා සහ ඇත්ගොව්වාටත් යටකී ලෙසටම ආසිරි පතා පෙරහර නිමා වේ. "ආසිරිවාද මඟලන්" පැවැත්වීම යනු මේ කටයුත්ත බව සිතිය හැකිය. පුරාණ ලේනයේ දක්වා ඇති විස්තරයට වඩා අද පෙරහර වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. එදා මෙන්ම අදත් අමාවකට පසු දිනයේ පෙරහර ආරම්භකර, දින පහ‍ලොවක් පෙරහර පවත්වා පසලොස්වක ගිය පෑලවිය දිනයේ පාන්දර දිය කැපීමේ මංගල්‍යය හා එදින රාත්‍රී ගරායක් ශාන්තිකර්ම මංගල්‍යය පැවැත්වේ.(පෙරහර මංගල්‍යය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු වෙන පරිච්ඡෙදයක විස්තර කෙරේ.)

මහා පෙරහර - පෙරසූදානම හා වත්පිළිවෙත්සංස්කරණය

කප්සිටුවීම හා අණබෙර යාම

පුරාණයේ කප්සිටුවන ලද දිනයේ සිට පෙරහර ඇරඹීම සිරිත වුවද වර්තමානයේ පෙරහර පැවැත්වීම කප් සිටුවා මාසතුනක් ඇතුළත ඉටුකිරීම වරදක් නොවන බව පිළිගැනේ. එහෙත් කප්සිටුවන දිනයේ සිටම පෙරහර පැවැත්වීම කළයුතුම බව පැරැන්න්ගේ අදහසයි. එසේ නොකිරීම නිසා විවිධ අතුරු ආන්තරා සිදුවන බව පැරණි මොහොට්ටාලවරු කියති. ඒ නිසා ඇසල පෙරහර ඇසල මාසයේම කළ බව සඳහන් නමුත් 1970 දශකයේ සිට පවතින කළමනාකරණ දුෂ්කරතා නිසා ඇසල මාසයේම පෙරහර කිරිම කළ නොහැකිව පවතී. ඇතැම්විට පෙරහර ඔක්තෝබර් මාසයේ මාසෙපෝය දිනට පසුවුනු දින සිට පැවැත්වෙන අවස්ථා ද දක්නට ලැබෙන්නේ එහෙයිනි. (මෙහිදක්වා ඇත්තේ 1950 දශකය දක්වා පෙරහර කරන ලද ආකාරය වේ. සමාජගතිකත්වය වේගවත් වුවද අද පවා පෙරහර සම්පුදාය වෙනස්ව ඇත්නම් ඒ ඉතා සුළු වශයෙනි. ප්‍රචාරක කටයතු වැනි ඇතැම් අංග කාලීන වෙනස්කම් අනුව නවතාක්ෂණික ක්‍රම අනුව වෙනස්වී ඇත. උදාහරණ ලෙස එකල තිබූ අණ බෙරය අද පුවත්පත් දැන්වීම රූපවාහිනී ප්‍රඡාරය හා අලවන දැන්වීම් බවට පත්ව පවතී.) ඇසල මාසය එළඹෙන්ට පෙර පෙරහර වෙනුවෙන් නැකත් සෑදීම සිදුවෙයි. එය සිදුවන්නේ බස්නායක නිළමේ මූල්කත්වයෙන් අත්තනායක මොහොට්ටාල නිළමේ අතපත්තු මොහොට්ටාල නිළමේ වැනි විධායක මට්ටමේ අයගේ සාකච්ඡාව පරිදිය. එසේ තීරණ ගැනීමෙන් අනතුරුව අත්තනායක නිළමේගේ නියමය පරිදි මළුවේ විදානෙ විසින් ගණිත පංගුවට නැකත් සාදා දෙන ලෙස පණිවුඩය දෙයි. සකස්වන සුබ නැකත සේ මාසෙ පෝය පසුවුනු දින උදෑසන වෛතාල වෙලාවට උදාවන සුබ මොහොත ගැනීම අනිවාර්ය ලක්ෂණයකි. අද වුවද එය එමස්මය. මෙසේ පණිවුඩ දෙන්නකු සේ කටයුතු කිරීම නිසා මළුවේ විදානේ නිළය “මළුවේ පණිවුඩකරු” ලෙස ව්‍යවහාරවන අවස්ථාවන්ද වේ. සකස් කරන ලද නැකත් අත්තනායක මොහොට්ටාල මගින් බස්නායක නිළමේට භාර දෙයි. ඇසල මාසය එළඹීමත් සමග මූලික ප්‍රචාරයන් අලුත්නවර හා නළුවෙල යන දේවාලගම් දෙකේ ද පිදවිලි ගම්වලද සිදුවේ. ඒ කටයුතු සැල‍ෙසන්නේ අත්තනායක නිළමේ සහ අනෙකුත් මොහොට්ටාලවරු අතර සාකච්ඡා කර අතපත්තු මොහොට්ටාල පෙරමුණ ගනිමිනි මෙහිදී ක්‍රියාත්මක නිලධාරින් වන්නේ ගම්විදානෙවරු හා අණබෙරකරු යන අයයි. ඇතැම් විට එම කටයුතු අධීක්ෂණය පිණිස අතපත්තු මොහොට්ටාල ද යන අවස්ථාවන් වේ. එක් එක් ගම් වල දේවාල රාජකාරි සම්බන්ධීකරණය පිණිස ඒ ගමට විශේෂිත ගම්විදානෙ වරු ද වෙති. (ගම්විදානෙ යනුවෙන් සාම්ප්‍රදායික රාජකාරි තනතුරක් වුවද එය 1870 ලේඛනගත නොවීම නිසා වර්තමානයේ ගැටළුකාරී තත්ත්ව ද දක්නට ලැබේ.) අණබෙරකරු සමග අදාල විදානේවරු සිය ගම සිසාරා යමින් බැතිමතුන් අතර නිළ පණිවුඩය හා රාජකාරි කරුවන්ට නියෝග විසුරුවා හරිති. “................දවසේ ඇහැල මහපෙරහරට කප් සිටුවනු ලබන බවද ...දින සිට ......... දින දක්වා කුඹල් පෙරහරත් ......දින සිට .... දින දක්වා දෙවේලේ පෙරහරත්..........දින සිට ......දින දක්වා මහපෙරහර පවත්වා.........දින උදෑසන දියකැපීමත් සිදුවන බව එහි අඩංගු පණිවුඩය වන අතර සිට සියලු රාජකාරි කරුවන් පංගු රැහීම සඳහා ........ දින සිට පැමිණිය යුතුය” යනු අණබෙරකරුගේ පණිවුඩයේ අන්තර්ගත ‍ප්‍රධාන තොතුරු වේ. ඇසලමාසයේ අමාවක දින ගෙවීයන දින උදාවීමට පෙර කප් සිටුවීම හෙවිසි නාද මධ්‍යයේ සිදුවේ. එය සිදුවන්නේ වෛතාලවේලාවට යෙදෙනෙ සුබ මොහොතෙනි. කප්ගස සඳහා අඩි පහක පමණ ඍජු කඳක් ඇති දෙබලයක් සහිත (කරුවක් සහිත) කොස් අත්තක් යොදා ගැනීම මෙහි සිරිත වේ. මෙම කප්ගස අහරතලාව හෙවත් ආරශාලාවේ සිටුවනු ලන අතර එය වටා කොටුවක් බැඳ එම කොටුව ගොක්සැරසිලි මගින් අලංකාර කර ආවරණයක් යෙද වේ. දෙබල මතින් දෙපසට එල්ලී තිබෙන පරිදි ලෙලි සහිත අමු පොල් ගෙඩි දෙකක් එල්ලෙන අතර දෙබල මත පහනක් දැලවීමද කප්ගස වටා සුවඳ වර්ග සහිතව ලදපස්මල් ඉසිනබවද කියවේ. කප්සිටුවීම සඳහා කප්ගහ වැඩමවන්නේ ද සිටුවන්නේද කප්ගස ගලවා ආපසු වැඩමවන්නේද මළුවේ විදානෙ විසිනි. පෙරහර නිමවීමෙන් දිනහතකට පසුව උදාවන වෛතාල වේලාවට මේ කප් ගස මළුවේ වේ විදානෙ විසින් හේවිසි නාද මධ්‍යයේ වැඩමවා ගෙන ගොස් දියකපන පොකුණට දැමීම මෙහි සිරිතය. පුරාණ ලේඛනයේ දැක්වෙන්නේ කප් සිටුවීම “ඉඹුල්පේ දෙවනැන්නැහැ” නමැති විශේෂිත අයෙකු මගින් සිදු වූ බවකි. එවැනි තනතුරක් හෝ ව්‍යවහාරයක් අද දක්නට නොලැබේ. මෙවැනි වැදගත් පූජනීය කාර්යයන් සඳහා මළුවේ විදානෙ මූලිකත්වය ගන්නා බැවින් දෙවනැන්නැහැ යනු මළුවේ විදානෙට භාවිත වූ ‍පුරාණ නාමය විය හැකිය යන අනුමානයට පැමිණිය හැකිය.

මේ සියලු කටයුතු වල ඇත්තේ අපූරු සංකේතාර්ථයන්ය. කප්සිටුවීමේ අරුත හා එහි සංකේත පිළිබඳ විග්‍රහයේදී විද්වතුන් විවිධ මතවාද දක්වන බව පෙනේ. මෙවැනි මත අතර සිත්ගත් මතවාදයක් වන්නේ එය මනුෂ්‍යවර්ගයාගේ චිරපැවැත්මේ හා සෞභාග්‍යයයේ උදාව සංකේතවත් කෙරෙන බවයි. පෘථිවිය හෙවත් පොළව “මහිකාන්තාව”යි. අහස හෝ වායු ගෝලය “ඊශ්වර හෙවත් පිරිමියා” සංකේතවත් කෙරෙයි. දෙබලයක් සහිත කිරි ගසේ ඒලලෙන පොත්ත සහිත පොල් ගෙඩි දෙක ගැන සිතන්න. ඒවා එකිනෙක ගැටගසා ඇත්තේද පොත්ත ඉිතිරිවනසේ භාගයට ඉරාගත් පට්ටා දෙකකිනි. ඒ ආසන්නයේ වටා එල්ලෙන ගොක් රැහැන් හා පොලව මත වෛතාල වේලාවට සිටුවීම පෙරහර නිමවීමෙන් දින හතකට පසුව පොකුණට වැඩමවාගෙන යාම වැනි සිදුවීම් දාමය පිළිබඳ සංකේතාර්ථ විමසන ඇතැමෙක් එය ස්ත්‍රී පුරුෂ සංසර්ගය සිහිගන්වන බව ද, දරුවන් නමැති මාහැඟි උතුම් සම්පත පහළ කර ගැනීම සංකේතවත් කරන බව ද පවසති. මනුෂ්‍යවර්ගයා ඇතුළු සත්වසංහතියේ චිරපැවැත්ම සහතික වන්නේ ස්ත්‍රී පුරුෂ සහවාසයෙනි. එ බැවින් ඒ සියල්ල පූජනීය කාර්යයන් වශයෙන් පෙරදිග වැසියෝ සැලකූහ. අහස - පොලව ඉර - හඳ වැනි ස්වාභවික සම්පත් දෙවියන් ලෙස සැලකීම ද මෙවැනි සංකේතවත් අර්ථ සැපයීම හා ඒ සියල්ල පූජනීය කාර්යයන් සේ සැලකීම පෙරදිග උරුමය වේ. මේ අනුව සිතන විට මුළුමහත් පෙරහර උත්සව ක්‍රියාවලිය මනුෂ්‍ය සංහතියේ පැවැත්ම උදෙසා ස්වාභාවිකව සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලිය සංකේතවත් කරන බවට මතයක් සේ ගැනීම වුව ද හැකිය. අලුතෙන් විවාපත් යුවලකට යහන්ගතවීම හා සහවාසය සඳහා ද සුබනැකත් සාදා දීම පුරාණ සිරිත විය. කප්සිටුවීමෙන් අනතුරුව, කාක්කා අඬනවාත් සමගම (පාන්දර 5.00ට පමණ) වාගේ දේවාල මහ දොරටුව ඉදිරිපිට සිට තම්මැට්ටම් පංගුවේ ඇත්තන් වයන “පුරප්පට්ටු වාදනය” ප්‍රදේශය පුරා පැතිරයයි. එහි පදයේ හඬ අර්ථගන්වන ගමේ ඇත්තෝ ඒ වයන්නේ “දැන් දන් වරෙන්! අද හවසට වරෙන් මහ පෙරහර පවත්තන්ඩ... දැන් දැන් වරෙන් !දැන් දැන්වරෙන්!! දැන් වරෙන්!!!” යනුවෙන් ප්‍රකාශ කරති. පුරප්පට්ටු වාදන පදය කුමක්ද යන්න තෝරා ගැනීමට ලේඛකයා ශිල්පියා විමසමින් ගත් උත්සාහය අසාර්ථක විය. තම මුතුන්මිත්තන් කළ වාදනය අනුකරණය කරනු විනා තමන් එහි පද නොදන්නා බව ‍පවසනු ලැබිණි. බෙහෝ දෑ පෙරසිරිත අනුව යමින් කරනවා විනා ඒවායේ අර්ථ විග්‍රහයන් හෝ වැඩිදුර යම්යම් තොරතුරු නොදැනීම රාජකාරිමණ්ඩලයේ ස්වභාවය වැන්න. එහෙත් පෙරසිරිත ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කරගැනීමට දක්වන දැඩි සැලකිල්ල සියලු දෙනාතුළම පාහේ දක්නට හැකි ලක්ෂණයක් බැවින් ඒවා වෙනස්වී ඇත්නම් එය ඉතා සුළුවෙන් බව නිගමනය කළහැකිවේ. තමන් දේව උදහසට ලක්වේය යන බිය නිසා හිතුවක්කාර ලෙස වෙනසක් කිරීමට යමෙකු නොපෙළඹේ. එවැනි අවස්ථා පිළිබඳ ලැබූ දඬුවම් පිළිබඳ උදාහරණ ද ඔවුහු දක්වති.

කුඹල් පෙරහර

මාසෙ‍ පෝයගිය ගිය පෑලවිය දින (අමාවක දින හෙවත් මසෙ පෝය දිනට පසුදින) පටන්ගෙන කුඹල් පෙරහර දින පහක් පැවැත්වේ. මේ දින පහ මෙන්ම ඊ ළඟ වීදි පෙරහර දින පහද මහා පෙරහරට පේවීමක් බඳුය. කුඹල් පෙරහර දින උදෑසන බස්නායක නිළමේ ගේ ප්‍රධානත්වයෙන් දේවාල පරිශ්‍රයේ සිදුවන ප්‍රධාන කටයුත්ත වන්නේ කඩබිම් වෙන්දේසියයි. මෙදින ගැමියන් අතර ඇතිවන තරගයේදී ඇතිවන සුළු ගැටුම් කාරී තරගය මළුවේ විදානේ විග්‍රහකරන්නේ සුරඅසුර යුද්දයේ ආරම්භක නිරූපනය සේය.ඔහුගේ මතය පරිදි පෙරහරේ එක් සංකේතාර්ථයක් වන්නේ ද එම යුද්දයද සිහිපත් කරමින් සුරයන් ගේ ජයග්‍රහනය සැමරීමකි. මේ වෙන්දේසියේදී බොහෝ විට එකම පවුලේ අය අතර පවා ගැටුම් කාරී බවක් ඇතිවේ. එය මෑතදී පමණක් නොව ඉතා ඈතදී පවා එසේම වූ බව ද පැවසේ. මෙහිදී නරක අය යැයි ඔවුන් විස්නම සම්මත කර එක් පක්ෂයක් විසින් හඳුන්වන ප්‍රතිවිරුද්ද පක්ෂයේ අයට දේවක්කේඩුව ඇතිවන බවක් පවසනු ඇසිය හැකිය. පෙරහර අරඹී නිමවන තෙක්ම බොහෝ රාජකාරි ඇත්තන් ආවේගශීලීව හැසිරෙන ආකාරයක් නිතරම දක්නට ලැබීම ද ස්වභාවයක් බඳුය. එහෙත් මේ සියලුම ගැටුම් දිය කැපීමත් සමග නිමාවන බවත් පෙරසේම පවුල් බැඳීම් ශක්තිමත්ව තහවුරුවෙමින් ප්‍රජාව අතර ඇති සුහද සබඳතාව පුනර්ජනනය වෙමින් තහවුරු වන බවත් මළුවේ විදානේ ගේ විග්‍රහයට ද ඇතුලත්ය. ලේඛකයා ගේ අත්දැකීමද නිගමනයද ඒවා අපූරු තාවකාලික ආරවුල් පමණක් බවය. සවස හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට (ප.ව. 4.00 ට පමණ) “හැන්දෑදුරවාදනය” දේවාලයෙන් ඇසෙයි. ‍එය දවුල් තම්මැට්ටන් සහ හොරණෑව යන උපකරණ යොදාගනිමින් මහ හඬින් වැයෙන හේවිසියකි. සෙසු නොපැමිණි අයට පෙරහර තේවා(පෙරහර සම්බන්ධ කටයුතු) සිහිපත් කිරීමට නැවත කරන සිහි කැඳවීමක් බඳුය. මේ දක්වා දේවාලයට නොපැමිණි අය වෙත්නම් දේවාලයට යුහුසුළුව එන බව මෙහිදී දක්නට ලැබේ. සියලුම රාජකාරි ඇත්තෝ දේවාලයට පැමිණ පළමුවෙන්ම බුදුන් වැඳ පන්සිල් ගෙන දෙවියන්ට පින්දීම සිරිතය. චෛත්‍යය බෝධිය හා විහාරගෙට ගොස් බුදුන් වැඳීම, පෙරහර සඳහා කරන අසන්නතම සූදානම බඳුය. ටිකවේලාවකින් නැවතත් හැන්දෑදුරවාදනය හා උංගිරි තේවය හෙවත් හුන්කිරි තේවය සිදු කෙරේ. හුන්කිරි තේවය යනු දේවාලයට ගිතෙල් හා පොල්තෙල් වැඩමවීම වේ. (තේවාවාදන පිළිබඳ ‍පරිච්ඡෙදය බලන්න) පැමිණෙන රාජකාරිකරුවන් සියලු දෙනා පිළිබඳ විමසා බලමින් අඩුපාඩු සොයා බලා අවශ්‍ය විධිවිධාන සැලසීම කෙරෙන්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විසිනි. ගණිත පංගුව භාර රාජකාරි ඇත්තා තමන්ට නියමිත ස්ථානයේ, එනම් දිග්ගෙයට පිවිසෙන දොරටුවේ දකුණු පසින් හමුවන කුළුණ පිටුපස “පෑතැටිය” තබා ඒ පිළිබඳ නිරීක්ෂනාක්ෂිය යොමු කරගෙන සිටින ආකාරය සෑම පෙරහර දිනවලම දක්නට ලැබෙන විශේෂ ලකුණකි. එම කුළුණ ඉදිරිපස ඇත්තේ අත්තනායක නිළමේ ට වාඩිවීම සඳහා පැනවූ මිටි ආසනයයි. පුරාණයේ සිට තහවුරු වී ඇති සම්මතයක් දැකිය හැකිය. දේවාලයේ වාඩිවීසිටීමේ අවසරය ඇත්තේ අත්තනායක මො‍ෙහාට්ටාල නිළමේට පමණකි. ඒ විශේෂ වරමකි. “දේවකාරිය” හෝ “රාජකාරිය” සඳහා එන කවරකුටවත් ඒ වරම නැත. බස්නායක නිළමේවරයා වුවද දේවාලයට පැමිණියොත් සිටිය යුත්තේ හිටගෙනය. පෙරහර බැසීමට (දේවාලයෙන් පිටවීමට) නියමිත සුබ වේලාව දැන සිටින්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විදානෙ වරයා කපුමහතා සමග ඇතුළු කට්ටලේ අය වැනි වගකිවයුත්තෝ කීපදෙනෙක් පමණි. නැකත රහසක් වශයෙන් තබා ගැනීම පෙරසිරිතය. නියමිත වේලාවේ සුබ මොහොත එළඹීමට ආසන්න වෙත්ම ගණිත පංගුවේ රාජකාරි ඇත්තා විසින් ඒ බව අත්තනායක නිළමේට දැනුම් දීමත් එමගින් විදානෙට දැනුම් දීමත් නියමිත නිළ කාර්යයි. මේ දැනුම් දීම් කටවචනයෙන් නොව විශේෂිත සංඥා මගින් හැඟවේ. මෙහිදි කටවචනයෙන් ප්‍රකාශවන සාම්ප්‍රදායික එකම වදන් මාලාව වන්නේ විදානේගේ නියෝගයයි. තමාට නියමිත කුළුණ අසලට යන මළුවේ විධානේ පෙරහර සඳහා ආඥාව නිකුත් කරයි. එය මහ හඬින් කෙරෙන දැඩි නියෝගයකි. ඒ සඳහා නියමිත සාම්ප්‍රදායික වදන්මාලාව අදත් එලෙසම භාවිත වේ. ඒ විධානය මෙ පරිදිය.

ආලත්ති ආංගං ඉලංගංවලින් ඇවිල්ල ඉන්නවද...?“ගංදෙකේ නිලමක්කාරයෝ ඇවිල්ල ඉන්නවද ...?  නීලපන්දම අරන්වරේන්..... රාජකාරියට ලැහැත්ති වෙයල්ලා...”

මේ විධානය මහා හඬින් නිකුත්වීම සමග දේවාලයතුළ පැතිරයන්නේ දැඩි නිහඬතාවයකි. මේ අවස්ථාවේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා ආසනය මත වාඩිවී සිය නිළ යෂ්ටිය( බස්තම) තබා ගෙන සිටී. මේ සමගම හෙවනැන්නැහැවරු දිග්ගේ දොරටුව හා හේවිසි මණ්ඩපයේ ඉදිරිපස දක්වා මග ඉඩ ලබාගැනීම පිණිස තම හෙල්ල ඉදිරියට දිගු කර “සංහි‍ෙඳ් සංහි‍ෙඳ්” වශයෙන් හඬ නගයි. එය තේරුම් නොගන්නා බැතිමතුන් හෝ දරුවන් වෙත්නම් සෙසු රාජකාරි ඇත්තෝ රහසින් මාර්ගයන් ඉවත්විය යුතු බව තේරුම් කර දෙති. මේ සමගම ඉතා යුහුසුළුව පැමිණෙන “නීලපන්දම” භාර (නිලපන්දම හෙවත් official torch ) රාජකාරි ඇත්තා දේවාලයේ ඇතුළු කට්ටලයට(වැඩසිටින මාලිගයට) පිවිසෙන මහ දොරකඩ අබියස (Shrine room door) එය බිමතබා තෙවරක් “පසඟපිහිටුවා” නිහඬව නමස්කාර කරයි. ඒ විගසම “ගංදෙකේ නිලමක්කාරයන්” ද පැමිණ පේලියට සැදී පසඟපිහිටුවා නමස්කාරකරති. පරිසරය තවමත් නිහඬය. ශාන්තිමණ්ඩපයට හෙවත් හේවිසි මණ්ඩපයට පිවිසෙන පඩි පෙළ අබියසට පැමිණෙන “වාහල් බෙරකරු” එම බෙරය වාදනය කරන්ට පටන්ගනී. එය අප සාමාන්‍යයෙන් දකින සබරගමු සම්ප්‍රදායේ ඇති දවුල , තම්මැටිටම, උඩරට බෙරය හෝ පාත රට බෙරය ද නොවේ. මද්දලයට තරමක සමානකමක් ඇති මේ දේවාලයේ මේ තේවාව සඳහාම ආවේනික විශේෂ බෙරයකි. බොල්තුඹයේද මෙවැනි වාහල් බෙරයක් ඇතිමුත් එය හෝ සොරගුණය දේවාලයේ දක්නට ඇති බෙරයට සමානවන්නක් ද නොවේ. වැයෙන පදයේ සාමානකමක් ද නොපෙනේ. එහි වාදන පදය පහත පරිදි අදාල රාජකාරි ඇත්තා දක්වයි.

'ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක ...ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක............../////////////////////'

යනුවෙන් දැක්වෙන පදය අනුව වාහල් බෙරය පමණක් මේ අවස්ථාවේ දිගින් දිගටම නොකඩවාම වාදනය වන්ට පටන්ගනී. ඇසෙන්නේ එම හඬ පමණි. ක්‍රමයෙන් මුළු පරිසරයම නිහඬතාවයට පත්ව මේ බෙර හඬ පමණක් ඇසෙන්නට වේ. 1950 සහ 1960 දශකවල ඉතා මැනවින් පැවති මේ තත්වය අද පවා කිසියම් ප්‍රමාණයකට අඩ්වී ඇත්නම් ඊට හේතුව වී ඇත්තේ සාම්ප්‍රදායික බෙරය වෙනුවට ආදේශකයක් සේ දවුල භාවිතා කිරීම හේතුවෙනි. එකල පැවති මේ විශේෂ බෙරයේ හඬ කෙතරම් පැතිරේද යත් මහ පෙරහරේදී පවා දේවාලයෙන් පිටත පහත පරිශ්‍රයේ සිටින සිටින බැතිමතුන්ට පමණක් නොව ඈත ගෙවල්වලට පවා නින්නාද වෙමින් ඇසෙමින් පැතිරයයි.(උක්ත බෙර කඳ තවම පවතී. එය අළුත්වාඩියාකර මේ තේවාව නැවත පණගැන්වීමේ හැකියාව සහිත ශිල්පියාද තවම සිටී) ඈතින් පවා සිටින බොහෝ බැතිමතුන්ගේ දෑත් ඉහළට ඔසවා වැන්දවීමට මේ හඬ සමත්ය. වාහල් බෙරය වාදන ආරම්භයේදී දේවාලය තුළ දැකිය හැක්කේ උඩුවියන අල්ලන අය සහ ඒ සම්බන්ධ සෙසු අය සූදානම්වන ආකාරය සහ දෝලාගෙනයන අය සන්සුන්ව සූදානම්වීම, සෙසු වාදන ශිල්පීන්ද සූදානම්ව තමන්ට නියමිත ස්ථානවල රැඳී සිටීම වැනි කටයුතු පමණි. අත්තනායක මොහොට්ටාල නිළමේවරයාද නැගී සිට දෙවියන්ට නමස්කාර කිරීමට සූදානම්ව සිටී. වැඩසිටින මාලිගයේ මහ දොරටුවේ තිරය මෑත්වෙමින් දේවාභරණ සෙසු අයට යන්තමින්න් හෝ පෙනෙන විගසම මහත් හඬනගම්න හක්ගෙඩිය හා තුරම්පේත්තු හඬ පැතිරයයි. වාහල් බෙර නාදය ඒ සමගම නවතී. සක්නාදය හා තුරම්පේත්තු නාදයද හේවිසි හඬ ද සමග රාවප්‍රතිරාව නැගෙද්දී කපුමහතා විසින් දේවාලභරණ ඉතා යුහුසුළුව දෝලියේ තැන්පත් කරයි. මේ අවස්ථාව ප්‍රකට වීම වැලැක්වීමට මෙන් පලිහදරන්නා, චාමර සලන්නා සහ ඉදිරිපස පිරිසිදු කරන පිණිස හඳුන් කිරිපැන් ඉසින වට්ටෝරු රාල හා ඉදිරි මග අමදින මළුවේ විදානේ ද නිසා සෙසු අයට දර්ශනය ලබාගත හැක්කේ ඉතාම අමාරුවෙනි. ඒ මොහොතේම දේවාලයේ පෙරහර ගමන්කරවන හේවිසි කණ්ඩායමේ දවුල් තම්මට්ටන් හා හොරණෑ වාදනය ද සිදුවේ. මෙසේ මහදොරටුවෙන් දිග්ගෙයට පිවිසුනු පෙරහර දිග්ගේ දොරටුවෙන් නික්මෙන්නේ ගණිත පංගුවේ ඇත්තා විසින් ඔහු අසලම එල්වා ඇති ඝණ්ඨාරය නාද කිරීම සමගය. කුඹල් පෙරහරේ පළමු පෙරහර දින මහ හඩින් කාලතුවක්කු නාදය පිටවන්නේද මේ මොහොතේය. කාලතුවක්කුව දැල්වීම “ගෙබලන පංගුවේ” ඇත්තන්ගේ රාජකාරියේ කොටසකි. එම ඝණ්ඨාරය ගණිත පංගුවේ ඇත්තා විසින් හැර අන්කිසිවකු විසින් කවර විටකදී හෝ වාදනය නොකෙරේ. මෙතෙක් විස්තර කළ ක්‍රියා පිළිවෙලට තවත් අංග එකතුවෙමින් දේවේලේ පෙරහර හා මහා පෙරහර දිනවල තේවා සකස්වේ. තවත් අංග එකතුවනවා මිස මේ ප්‍රධාන අංග අඩුවීමක් ඒ කිසිදු අවස්ථාවක සිදු නොවේ. කුඹල් පෙරහර හෙවත් තවත් විටක ගැමියන් හඳුන්වන පරිදි මළුවේ පෙරහර දින පහක් පැවැත්වේ. විශේෂත්වය වන්නේ සුදුරෙදි වලින් වසාගත් පුන්කලස් දෙකක් (පොල්මල් පිටතට පෙනෙන පරිදි) පෙරහර පෙරමුණේම කුඹල් රාජකාරි ඇත්තන් විසින් ගෙනයාම වෙයි. පෙරහර දිග්ගෙයි දොරටුවෙන් නික්ම හෙවිසි මණ්ඩප‍ෙය් දකුණු දොරටුව හෙවත් රජමහා විහාර පරිශ්‍රයට පිවිසෙන දොරටුවෙන් නික්ම එම මිදුලට සම්ප්‍රාප්ත වී නවතී. මේ සමගම පත්තිනි දේවාලය වටා පැදකුණු කරමින් පෙරහර පළමවු පැවැත්වීම සිදුකිරීම පිණිස රාජකාරි හෙවිසි කණ්ඩායම පත්තිනි දේවාලයට යති. පත්තිනි දේවාලය ඇත්තේ කතරගම දේවාලයට ඉදිරිපසින් මීටර 75 ක පමණ දුරකින් වීම මීට හේතුව විය හැකිය. වෙනත් දේවාල වල පත්තිනි දේවාලය ද මෙම පරිශ්‍රයේම පවතිනමුත් මෙහි ඇත්තේ වෙනම ස්ථානයක වීම මීට හේතුව වේ. කෙසේවුවද පත්තිනි දේවාභරණ සහිත පෙරහර පළමුවෙන් පැවැත්වීම හෙවත් ගමන් කිරීම ලංකාවේ දේවාල පෙරහර සම්ප්‍රදායේ දක්නට හැකි විශේෂ ලක්ෂණයකි. එසේ පත්තිනි දේවාල පෙරහර නිම කර අදාල හේවිසි කරුවන් පැමිණෙන තෙක් කතරගම දේවාල ආභරණ දෝලි සහ සෙසු අයද ඉදිරියේ වෙනත් සාම්ප්‍රදායික රාජකාරි ප්‍රසංගයක් පැවැත්වේ. එහි පළමු අංගය වන්නේ “දැකුම් අත්නැටීම” යන විශේෂාංගයයි. ඒ සඳහා වාදනය වන්නේ සබරගමු දවුල වන අතර වාදනය කරනු ලබන්නේ කරපේ වාදන ශිල්පීන් විසිනි. ඒ අය දේවාලයේ පෙරහර ගමන් කරවන හේවිසි කණ්ඩායමට අයත් පිරිස නොව මේ සාම්ප්‍රදායික නැටුම් වාදන සඳහාම වෙන් වූ විශේෂිත ශිල්පී පරම්පරාවකි. දැකුම් අත් නැටීම හෙවත් තවත් විටෙක ඒ අය විසින්ම හඳුන් වන පරිදි “දෙවියන් දකින අත” නැටුම යනු මුලින්ම ඉදිරපත්වන අයිතමය වෙයි.

කන්ද ගිරි මුදුනට...... බැන්ද ලෙස ආසනයට....
රන්ද මයුරා පිට..... කන්ද සුරපති වඳිම් මුල් කොට...

යනාදී වශයෙන් ඉදිරිපත්වන එම ගායනයෙන් හැඟවෙන්නේද එය මුලින්ම කරන රංගනය හා මුලින්ම කරන නමස්කාරය යන්නය. මේ ආකාරයට කෙරෙන දැකුම් අත්නැටීමේ පදය හා එම නැටුම් සම්ප්‍රදාය අන් තැනෙක දැකිය නොහැකි මේ දේවාලයට පමණක් ආවේනික එකකි. දැකුම්අත් නැටීමෙන් අනතුරුව කෝලක්කාරපංගුවේ නැටුම් ඉදිරිපත්වන අතර එහි ගායන අන්තර්ගතය හා නැටුම් විලාසිතාවද කෝලම් හෙවත් විහිළු කරන ස්වරූපයක් ගනී. ඉදිරිපත්වන ගායනයේ දී

ඇරලිවැරලි දිවිසම්ගෙන ඉනවට කර අඳිතේ........ මුගුරු දෙකක් දෑතින් ගෙන ආඬි ඇවිත් නටතේ ආදී ලෙස මේ නැටුමේ ගැයෙන මුල්ම කවිපදවල අරුත වන්නේද එය කෝලම් කිරීමක් බවය. කතරගම දෙවියන් විහිළුවලට කැමති බවත් තමන් විහිළු කිරීමෙන් එතුමාණන්වහන්සේ සතුටු වන බවත් මේ දේවාල රාජකාරි ඇත්තන්ගේ තහවුරුවූ මතයක් වෙයි. එහෙයින් විළු කිරීම මෙහි ස්වභාවයක් මෙනි. ඇතම් කවි දෙවියන්ට නෝක්කාඩු කීමක්ද වන ආකාරයෙන් ගැයෙන අවස්ථාද වේ. දෙවියන්ට කෝලක්කාර පංගුවේ නැටුම් නිමවන්නේ නයියන්ඩිකාර පංගුවේ නැටුම් ආරම්භවීමෙනි. මේ නැටුම් වර්ග දෙකම එකම රාජකාරි පරම්පරාවට අයත් ඒවා ද වෙයි. නයියන්ඩි නැටුමේදී කෙරන ගායනා අතර කන්දකුමාර සිරිතේ එන කවි ද මහනුවර සමයේ පසුකාලීනව රචනා කර ඇතැයි සිතිය හැකි තවත් නිර්මාණයන් ද වෙයි. ඒ අතර නිතරම පාහේ කියවෙන කවි පදමාලා අතර කන්දකුමාර සිරිතේ පහත කවි ප්‍රමුඛවේ.(දේවාලයේ කෝලක්කාර නැටුම් හා නයියන්ඩි නැටුම් සම්බන්ධ පරිච්ඡේදය බලන්න.)

 එකල් යාපා නිරිඳු යුදයට ගොසින් දෙවරක් 	      පැරදුනේ 
	සියල් සිව්රඟ සෙනග සමගින් තුන්වෙන්ව වඩිනා 	දිනේ
	මෙකල් මැදගම යන ගමේදී සක් නදක් අසමින් 		වනේ
	විපුල් රිවිකුල ප්‍රභාපති මේ කිමෙක් දැයි වදහල 	          තැනේ
 දිමුත් යාපා එභූපා රජු සෙනග ගනිමින් වැඩම		කරගෙන
 තුරුත් සිඳබිඳ මුළුත් උදුරා සතරවීදිය තනා		   අවටින
 මහත් නුගයක් බිඳී ගිනි ගෙන අළු ගොඩක් විය එදෙවි	බලයෙන
 සවත් දෙවිඳුගෙ මාලිගාවට ලකුණු මේ යයි බලා 		  නුවනින
	බින්දවා තුරු මුළුත් උදුරා සතරවීදිය තනා 		        අවටින
	ඉන්දවා කප සුබ මොහොත් ගෙන තනා දෙමහල් පාය 	අවටින
	වන්දවා සත ආවැඩුන් දී රන් අවිය එහි වැඩම 		කරමින 
	බන්දවා පුද පඬුරු සමගින් ගමුත් පුදවා එරජ වැඩි		    තැන


මීට අමතරව නයියන්ඩි නැටුම තුළ කතරගම දෙවියන්ට ගැයෙන ප්‍රශස්ති හා යාදිනි ද ඇතුලත් කවි ගැයේ. මෙම නැටුම හා ගායනාවන් ද මේ දේවාලයටම ආවේනික සම්ප්‍රදායයක් පිළිබිඹු කරයි. උග්ගල් අලුත්නුවර මේ නැටුම් ඇතැම් විටෙක දැකිය හැකි හැකි තවත් ස්ථානයක් වන්නේ සොරගුණය දේවාලයයි. 1970 දශකයේ පවා සොරගුණ දේවාලයට ගොස් මේ නැටුම් ඉදිරිපත් කළේ මේ ගමේ ඇත්තන්ම වීම විශේෂත්වයකි. මේ ගැන ඒ අය විමසීමේදී ලේඛකයාට පැහැදිලි කරදුන්නේ මෙහි වැඩවසන්නේද කතරගම දෙවියන් බවත් සොරගුණ ඇත්තන් හා අම්මුඩුව කතරගම දේවාලයේද මොහොට්ටාල නිළමේවරුන් ඉල්ලා සිටියොත් එම ස්ථාන දෙකේම ද නැටුම් ඉදිරිපත් කිරීම හා ඊට සුදුසු මිල ලබා ගැනීම වරදක් නොවන බවය. මේ ප්‍රකාශ අනුව පැහැදිලිවන තවත් වැදගත් ඓතිහාසික කාරණයක් වන්නේ සොරගුණ හා අම්මඩුව දේවාල උග්ගල් අලුත්නුවර දේවාලයේ පරිවාර දේවාල හෝ උප දේවාල දෙකක් බවකි.(මේ ප්‍රදේශයේ පවතින මතයන් හා සොරගුණ දේවාල තුඩපතේ ලිඛිත තොරතුරු ද අම්මඩුව දේවාල පුරාවෘතයද විමසන විට මෙය සහාසික ප්‍රකාශයක් නොවන බව පෙනේ) මේ අවස්ථා හැර අන්කවර අවස්ථාවක් සඳහා ඉල්ලා සිටියත්, ප්‍රසාංගික වේදිකාවක් වැනි ස්ථානයකට හෝ මේ අය කැඳවිය නොහැකිය. එසේ කළොත් එය දේව උදහස ලැබීමට හේතුවක් විය හැකිය යන බිය මේ අයතුළ තදින් මුල්බැසගත් එකකි. ඒ අයගේ බලවත් විශ්වාසය හා ප්‍රකාශය වන්නේ ඒවා මිනිසුන්ට පෙනුනත් තමන් ඉදිරිපත් කරන්නේ දෙවියන්ට පමණක් බවය. ඇත්තෙන්ම සාමාන්‍ය නිරීක්ෂකයකුට මේ නැටුම් පැත්තෙන් හා පිටුපසින් සිට බලනවාට වඩා යමක් කළ නොහැකිය. ඒවා දේවාභරණ වැඩමවන දෝලිය දෙසට හා දේවාභරණ වලට මුහුණලා ඉදිරිපත්වන දේවයාතිකා විශේෂයක් වැනිය. චාමර දරන අය, කපුනිළමේවරයා සහ දෝලි වැඩමවන අය පමණක් එම නැටුම් ඉදිරිපස සිට නිරීක්ෂණය කරන්නට වරම් ලද්දාක් මෙනි. අත්තනායක මෙ‍ොහට්ටාල නිළමේට සහ බස්නායක නිළමේට වුව මේ නැටුම් දැකිය හැක්කේ එකත්පස්ව සිට පෙනෙන කෝණයකින් පමණි. මේ නැටම් නිමවන විට පත්තින් දේවාල පෙරහර නිමකළ හේවිසි කරුවන් පැමිණ ඇති බැවින් පෙරහර ගමනාරම්භවේ.

  1. දේවාලයේ නිල කොඩි වූ කුකුලා කොඩි හෙවත් සැවුල් කොඩි දෙක මේවා පෙරමුණෙ ගමන්ගන්නා දේවාල නිළ කොඩිය වූ කුකුලා කොඩි දෙකය. (පෙර කාලයේදී රාවණා කොඩිය ගෙනගිය මුත් එය අස්ථානගතවීම නිසා දැන් ඇත්තේ කුකුලා කොඩි දෙක පමණක් බවත් මේ අය කියති. රාවනා කොඩියට සිදුවූයේ "පරෙස්සමට තැබූ දේ ෑලියාවට යාමක්" බව මේ ඇත්තෝ කියති. (වැඩිදුර තොරතුරු දේවාලය රැකගැනීමේ ප්‍රයත්න පරිචේඡෙදය බලන්න)
  2. දෙපසින් "බඩහැල පංගුවේ" ඇත්තන් විසින් රැගෙන යන පුන්කලස් දෙක වැඩමවීම. ඒවා සුද්දහළු පංගුව විසින් දෙන පිරුවටවලින් ආවරණය කර පොල්මල් පමණක් පිටතට පෙනෙන පරිදි ඇති බව පෙනේ.
  3. දේවාල නිළ හේවිසිකණ්ඩායම, දවුල් දෙක, තම්මැට්ට්න් දෙක, හොරණෑ දෙක සමග සන්ධිස්ථානවලදී පෙරහර හැරෙද්දී හඩනැංවීද පිණිස හක්ගෙඩිකරුවෝ සහ තුරම්පේත්තු පිඹින අය ද වෙති දෝලිය ඉදිරිපසින්ම නීලපන්දම රැගෙන යන අතර ආලොක කිරීම පිණිස අත්පන්දම් හා කොප්පරා පන්දම් කීපයක් රැගෙනයාමද දක්නට හැකිය.
  4. දේවාභරණ දෝලිය එහි දකුණු පසින් අලංකාර ලෙස නිළ ඇඳුමෙන් සැරසුන කපු නිළමේවරුන්ද, දෝලියට ආවරණ සලසන පලිහවඩන පංගුවේ පලිහ දරන්නාද, චාමර රැගත් චාමර පංගුවේ අයද, අලත්ති පංගුවේ සහ දිග්ගේ නැටම්පංගුවේ කාන්තා පිරිසද සහ වෙනැන්නැහැ පංගුවේ හෙල්ල රැගත් හෙවනැන්නැහැ වරුද වෙති දෝලිය වැඩමවනු ලබන්නේ ඉහළින් අල්ලන ලද උඩුවියනක් යටිනි.
  5. අත්තනායක මොහොට්ටාල නිළමේ සහ සෙසු මොහොට්ටාලවරු මේ අය ප්‍රධානීන් වන බැවින් පෙරහර සමග ගමන් කිරීම අනිවාර්ය කටයුත්තක් මෙනි. මේ අය වෙනුවෙන්ද දෙපසින් අත්පන්දම් රැගත් අය වෙති සෙසු නරඹන්නන් හා බැතිමතුන් වැනි අය ගමන්ගන්නේ ඊටත් පිටුපසිනි.

මෙසේගමන්ගන්නා පෙරහර දේවාල මාලිගය පැදකුණු කරමින් මළුව වටා පැමිණ හේවිසි මණ්ඩපයේ නැගෙනහිර දොරටුවෙන් පිවිස එතැනින් දිග්ගෙයට පැමිණේ. දෝලා කරුවන්, වැඩසිටින මාලිගයේ හෙවත් ඇතුළු කට්ටලයේ මහ දොරටුව අබියස රැඳී සිටින අතර එතැන්සිට රන්සළු පංගුවේ ඇත්තන් එලන ලද පාවාඩ මතට එන කපු මහතා දේවාභරණ දෝලියන් රැගෙන දේවාලයේ ඇතුල් මාලිගය තුළට කඩිනමින් යයි. මේ අවස්ථාවේද උඩුවියන් අල්ලා ගෙන සිටිති. අනතුරුව සිදුවන ප්‍රධාන කාර්යය වන්නේ ආලත්ති තේවාවය. මෙය නියමිත මණ්ඩාවන්හි ( පිත්තල තැටි විශේෂයකි) පහන්තිර තබා දල්වා, මහදොරටුව ඉදිරිපසට එල්ලවන පරිදි පහන් කරකවමින් කෙරෙන ස්ත්‍රී රංගනයකි. ඒ සඳහා හොරණෑව දවුල සහ තම්මැට්ටම යන උපකරණ භාවිතයෙන් කෙරෙන අලංකාර රිද්මයානුකූල වාදනයකි. ඒ අනුව මේ ආලත්ති බෑම හෙවත් ආලත්ති තේවාව සිදුවේ. එය දෙවියන්ට ආවැඩීම පිණිස කෙරෙන ආසිරි පැතීමේ පූජාවක ස්වරූපයක් ගනී. එයින් අනතුරුව දිග්ගේ නැටීම නම් වූ ස්ත්‍රීලාලිත්‍ය රංගනය පැවැත්වේ. ඒ සඳහා දවුල වැයීමට විශේෂ ශිල්පියකු ඇති අතර කයිතාලම් හා තාලම්පට රිද්මයානුකූලව වැයීම ද සිදුවේ. කවිකාර පංගුවේ ඇත්තන් ගයන ගායනාවක මේ නැටුම් විලාසය පිළිබඳ තොරතුරු සඳහන්ය. මේ සමග ඇති කවිය බලන්න. කවියෙන් විස්තරවන ආකාරයට එය හස්ත නැටුමකි.

බුද්ධ හස්තය අමෘත හස්තය බ්‍රහ්ම හස්තය		නංතමා
හස්තිහස්තය ලලිත හස්තය මයුරහස්තය 		නංතමා
මත්ස්‍ය හස්තය ආදි සත්විඳ හස්ත නැටුමේ 		මනරමා
වීර විකුමැති  නරනිඳුන් පෙර පුරුදු කළෙ දිග්ගෙයි 	 නැටීමා

දිග්ගේ නැටුම නිමවනවාත් සමගම තාලම්පට හා කයිතාලම්පට වේගවත් තාල රිද්මයකට අනුව වයමින් කවිකාර පංගුවේ ශිල්පීහු කවිගායනා කරති. එම කවි හා උක්ත දිග්ගේ නැටුම සිදු කෙරෙන්නේද වැඩසිටින මාලිගයේ මහදොරටුව අබියස ඒ දෙස බලා බැවින් කපු මහතා හැර අන් කිසිවකුට ඍජුව ඉදිරිපස සිට නැරඹීමට නොහැකි වෙයි. මේ දේවාලයේ දිග්ගේ නැටුම් රංගනය ස්ත්‍රීන් අට දෙනකු ඉදිරිපත් කළ බව මහාචාර්ය පී.ඊ පීරිස් වැනි විද්වතුන් ද එකල දැක ඇතත්ර අද වන විට එය සිව් දෙනකුට සීමාවී පවතී. එය අත් ප්‍රධානව ඉදිරිපත් කරන හස්ත නැටුමක් බව කවිකාර පංගුවේ ඉහත ගායන‍යෙන්ද පැහැදිලිවේ. කවිගායනා වන්හි අන්තර් ගතය වන්නේද දෙවියන්ට ආසිරි පිණිස මංගලම් කවි හා ප්‍රශස්ති ගායනා ද දේවාලයේ හා කඳදෙව් රජ උපත පිළිබඳ තොරතුරු වේ. කවිකාරපංගුව හා ද්ග්ගේනැටුම් පංගුව එකම ශිල්පී ශ්‍රේණියකට වැටෙන හෙවත් එකම කුලයකට අයත් රාජකාරි වේ.(මේ පිළිබඳ වැඩි විස්තර අදාල පරිච්ඡෙදයේ දැක්වේ.) මෙලෙස පළමු දින පළමු කුඹල් පෙරහරේ නිමාව සිදුවන අතර අනතුරුව දියවඩන් තේවය හා මුළුතැන් තේවයත් පවත්වා නැවත ද දෙවන කුඹල් පෙරහරක් පැවැත්වීම උග්ගල් අලුත්නුවරට විශේෂ වූ චාරිත්‍රයකි. එය සිදුවන්නේද කලින් ආකාරයටමය. එයින් අනතුරුවද මුළුතැන් තේවාව සිදු වේ. අද පළමු පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන් තේවය පමණක් පවත්වා දෙවන පෙරහර බැසීම සිදුවේ. මුළුතැන් තේවය සිදුවන්නේ එයින් පසුවය. මුළුතැන් තේවයෙන් පසුව නැවත දියවඩන්තේවය පැවැත්වේ. දියවඩන් තේවය යනු ‍දිය හෙවත් පැන් වැඩහිටින මාලිගයට වැඩමවීමය මේ වැඩමවීම මුළුතැන් රාල විසින් සිදුකරන්නේ මුකවාඩම් සහතව පාවාඩ මතිනි. මහදොරටුවෙන් ඇතුළුවන මුළුතැන් රාල විසින් ඒවා බත්තන නිළමේට භාර දෙන අතර ඒ අය විසින් දේවියන්ට පුද කරන බව පැවසේ. දියවඩන්තේවයෙන් පසුව පිටතට ගෙන එන පූජාකරන ලද බත් හැඳින්වෙන්නේ මුළුතැන්බත් යනුවෙනි. ඒවා පාවඩේබත් ලෙස ද ව්‍යවහාර වේ. පාවඩේබත් වැළඳීම දෙවියන්ට කෙරෙන පින්පෙත් පැමිණවීමක් බැවින් එය බැතිමතුන්ටද ආශීර්වාදයකි. එහෙයින් ඒවා ලබා ගැනීමට බැතිමතුන් අතර තරගකාරි බවක් දක්නට හැකිය. මුළුතැන් බත් නිළවශයෙන් පළමුවම රාජකාරි කරුවන් අතර බෙදාහැරේ. සමහර රාජකාරි ඇත්තෝ පාවඩේබත් බැතිමතකුගේ ලෙඩකු වැනි අය වෙනුවන් පරිත්‍යාග කරනු දක්නට හැකි තත්තවයකි. ඉතා පිරිසිදුව සිටින අය මේ බත් මහත් ආශාවෙන් වළඳන අතර ලෙඩුන්ට දීමෙන් ලෙඩ සුව වන බවද ඇදහේ. මේවා බෙදනු ලබන්නේ තටුකොල පංගුවේ ඇත්තන් ගෙන එන ලද පත්කොලවලින් සකස් කළ ගොටුවලිනි. ලේඛකයාගේ අත්දැකීම වන්නේද එය ඉතා රසවත් හා ගුණවත් බවය. ( මුළුතැන් වැඩීම පිළිබඳ පරිච්ඡේදය බලන්න) මෙලෙස දින පහක් පුරා දිනකට දෙවරක් බැගින් කුඹල් පෙරහර පැවැත්වීම චාරිත්‍රය වෙයි. කෙසේවතුදු වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර හා මහ පෙරහර කෙම්මුර දිනයක බසින පරිදි එල්ල වීම පිණිස කුඹල් පෙරහර ඇතැම්විට දින 4 ක් පමණක් පැවැත්වේ. තවත් විටෙක මෙය දින පහක් පවත්වා වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර දින 4 ක් පැවැත්වෙන අවස්ථාවන් දැකිය හැකිය.

වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර

මෙය වීදි පෙරහර ලෙසින් හැඳින් වෙන්නේ පළමුවරට වීදියට බැස දේවාලය පැදකුණු කරමින් පෙරහර මග දිගේ පරිර්‍ශ්‍රය වටා ගමන්ගන්නා බැවින් විය හැකිය. එය මහ පෙරහරට කෙරෙන පෙර සූදනමේ දෙවන අවස්ථාව වැනිය. මීට දෙවේලේ පෙරහර යන ව්‍යවහාරයක් ද පවතී. ඒ නම භාවිතාවන්නේ කුමක් නිසාද යනු නිශ්චිතව සිතිය නොහැකිය. සමහර විටෙක ඒ මහපෙරහරට පේවීමේ දෙවන අවස්ථාව විය හැකිය. මළුවේ පෙරහර මෙන්ම මෙය ද දවල් පෙරහර (රාත්‍රියේ වඩා වේලාසනින් යන පෙරහර) හා රාත්‍රී පෙරහර ලෙස දිනකට දෙවරක් යාම පෙරසිටම පැවත එන සිරිත වේ. මෙය ද දින පහක් පැවැත්වීම කෙරන බව කියුවද කෙම්මුර දින එල්ලවන ආකාරයට හා පසලොස්වක පෝය දින යෙදෙන ආකාරය අනුව සමහර වසර වල දින හතරකට සීමා වේ. මේ පෙරහර බසින මුල්ම දින කපුටා අඬන වෙලාව හෙවත් උදෑසන 5.00 ට පමණ පුරප්පට්ටු නාදය ඇසෙයි. ඒ නාදය මළුවේ පෙරහරේ තිබුණ අංගවලට අමතරව තවත් විශේෂාංග කීපයක් වීදි පෙරහරට එක්වන බව හැඟවීමක් බඳුය. වීදි පෙරහර දිනවලට එක්වන නව විශේෂාංගයක් වනුයේ හෙන්දිරික්කාමල් පිපෙන වෙලාව හෙවත් "මල්වෙලාවට" (හවස 4.00ට පමණ) පැවැත්වෙන මල්තේවාව හෙවත් මල්වැඩමවීමේ පෙරහරය. මේ සඳහා මලවරපංගුවේ විශේෂ රාජකාරිකරුවකු වේ. ගැට්ටපාන ප්‍රදේශයේ පිහිටි මල්වත්ත පුරාණයේ දී සමන් පිච්ච වැල් රාශියක් වැවූ වත්තකි. සමන්පිච්ච වැල වසර සියගණනක් වුවද පවතින්නකි. ඉමිහිරි සුවඳක් විහිදුවන මේ සමන් පිච්චමල් විශේෂයෙන් අක්ෂි රෝග වලදී යොදාගන්නා වටිනා ඖෂධයක්වන අතර එම වැලේ කොල, පොතු, මුල් ආදී සෑම කොටසක්ම හෙල වෙදකමේදී භාවිතවන වටිනා ඖෂධීය කොටස් ද වේ. තද සුදු පාටට මෝදුවන මල් කැකුල අනිවාර්යයෙන්ම හවස හයට පමණ පිපී සුවඳ විහිදුවයි. පිච්චමල් පිපෙන වෙලාව ද හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව මෙන් මේ ප්‍රදේශයේ වෙලාව ගණනය සඳහාද යොදා ගැනුනකි. මේ මල පරවීමෙන් පසුව වුවද ඉවතදමන්නක් නොවේ. ඒවා එකතු කර හිසට තබාගන්නා කොට්ට සෑදීමට සුදුසු වේ. එහෙත් මෙසේ සකස් කරන සුවඳවත් මල් කොට්ටය බුදුන් පුදන්නක් මිස මිනිසුන් හිස තබන්නක් නොවේ. මේ පූජනීය මල් වල්ලි දේවාලයේ සිට මල් කරුවා විසින් ‍කතරගම දෙවියන්ගේ දේවාලයට වැඩම වීමේ පෙරහර මල්තේවය ලෙස ව්‍යවහාර වේ. එය පැවැත්වෙන්නේ හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට හෙවත් ප.ව. 4.00 ට පමණය. සිව්දෙනකු විසින් අල්ලන සුදු උඩුවියනක් යටින් අත්පන්දම් කරුවකු ද සමග මුකවාඩම් බඳින ලද මල් කරුවා සමග නිළ හේවිසි කණ්ඩායම වසින් සාමාන්‍ය ගමන් හෙවිසි නාදය පතුරවමින් මල් වැඩමවීම සිදුවේ. මෙවැනි පෙරහර අංගයක් අන්‍ය කුඩා කතරගම දේවාලවල දක්නට නොහැකිය. එම තේවාව රහස් රාජකාරියක් සේ සැලකෙන්නක් බැවින් වැඩිවිස්තර ලබා ගැනීමද නොහැකිය. මල්තේවා භාර රාජකාරි ඇත්තා විසින්, තමාට ප්‍රකාශකළ හැකියයි පවසන තෙරෙතුරු ස්වල්පය වන්නේ කලින් දින තමා විසින් පසු දින පිපෙන මල් කැකුළු, වෛතාල වෙලාවට නෙලා දෙහිගසක් මත තබන බවත් එම මල් රහසේම වල්ලි දේවලයට ගෙනැවිත් තබා පසු දින මල් තේවාව සඳහා යොදාගන්නා බවත් පමණි. මල් වැඩමවනු ලබන්නේ ද සුදු පිරුවටයකින් ආවරණය කර හිස තබාගෙන බැවින් කිසිවකුට වැඩමවනු ලබන්නේ කුමක්ද යනු දක්නට ද නොහැකිවේ. වීදි පෙරහරේ දක්නට හැකි මේ විශේෂ පෙරහර ඉන් පසුව මහ පෙරහරේ දින පහේදී ද පැවැත්වේ. පිච්චමල් පිපෙන වෙලාවට දේවාලයේ හැන්දෑ දුරය වැයීම ඇතුළුව මළුවේ පෙරහරේ පැවැත්වුනු තේවා සියල්ලම මේ දිනවලත් එපරිදිම පැවැත්වවේ. මළුවේ පෙරහර ‍පළමු දිනදී මෙන්ම මෙදිනද කාලතුවක්කු නාදය පෙරහර බැසීම සමගම නිකුත් වේ. විශේෂත්වය වන්නේ කාලතුවක්කු නාදය නිකුත්වන්නේ දේවාභරණ දේවාල පඩි පෙළ ඉක්මවා වීදියට සම්ප්‍රාප්තවීම පිණිස හඳගලට ළඟා වීමේදී වීමය. මේ සමගම වාගේ පත්තිනි දේවාභරණ රැගත් දෝලාව ද වීදි පෙරහරට එක්වීම සඳහා එහි සිට දේවාලය අබියසට පැමිණේ. අනතුරුව කුඹල් පෙරහරේ මෙන්ම පළමුව පලිහවඩන පංගුවේ අය විසින් "කපු නැටුම" ලෙස ද දකිනත නැටුම ලෙස ද ගැමියා හඳුන්වන දැකුම්අත් නැටීම සිදුවේ එය ද කුඹල්පෙරරේදී මෙනි. මේ සඳහා නියමිත ඇඳුම සුදු පිරුවටවලින් සැරසුන වේට්ටියක් හෝ සුදු සරමක්ද අත්දිගටම වැසෙන සේ හැඳගත් කමිසයක්ද වේ. එම කමිසය සරමට යටකර අඳින ලද්දකි. හිසේද සුදු තලප්පාවක් බැඳසිටී. ඊට ආව්නික පුරාණයේ සිට පවතින ඇඳුම එයම බව පැවසේ. නැටුම ඉදිරිපත් කරන්නේ තනිපුද්ගලයෙකි. ගායනය හා නැටුම් විලාසය කුඹල් පෙරහරටම සමානය. ඉන් අනතුරුව කුඹල්පෙරහරේ මෙන්ම කෝලක්කාරපංගුවේ නැටුම ද ආවේනික නයියන්ඩි නැටුමද පැවැත්වේ. මෙහිදී ඉදිරිපත්වන ගායනා දේව බලමහිමය හා මේ දේවාල පුවත් අඩංගු ගායනාවෝ වෙති. ඒ මගින් දෙවියන්ට සෙත්පතා සතුටු කරනු ලබන බවත් ගමට රටට සේත් සාදන ලෙසත් ඉල්ලා සිටින බව කියවේ. ඇතැම්විට දෙවියන්ට නෝක්කාඩු පවසන ගායනාවන් ද ඉදිරිපත් කෙරෙති. නැටමට දෙදෙනෙකු හෝ සමහරවිට සිව් දෙනකු සහභාගී වන අතර පෙරදී මේ සඳහා අට දෙනකු සහභාගීවූ බවද ඊටත් පෙර දහසය දෙනකු සිටි බව ද කියනු ලැබේ. මේ ගායනා සහ නැටමු නිමවීම සමගම මළුවේ විදානේගේ අණ නිකුත්වන්නේ සක් පිඹින්නාටය. මෙහිදී " හක්කාරයෝ " යනුවෙන් නිකුත්වන නියෝගය සමග මහ හඬින් සක්නාදය පැතිරයයි. ඒ සමගම පෙරහර පිටත්වීම සඳහා දවුල් තම්මැට්ටන් හොරණෑ තුරම්පේත්තු නාදය පැතිරයමින් පෙරහර දේවාල වීදියේ දේවාලය පැදකුණු වන ආකාරයෙන් ගමනාරම්භවේ. මෙලෙස පෙරහර ගමන් කරමින් ගැට්ටපාන ගමට යාවන පාර ඇරඹෙන තෝණ්ඩිය හන්දිය ආසන්නය දක්වා දේවාභරණ වැඩමවන හේවිසි නාදරටාව තෝණඩිය හන්දියෙදී වෙනත් නාදරටාවකට පෙරලීම පිණිස හෙවිසි කැඩීමේ වට්ටම නාද වෙයි. ඉන් අනතුරුව පෙරහර කොස්උරුප්පය දක්වා ගමන් ගන්නේ වෙනත හෙවිසි නාද රටාවකිනි. එම නාද රටාවද තානායම අසලදී සාමාන්‍ය ගමන් හේවිසි නාදරටාවට පැමිණේ. කොස්උරුප්පයට ගෙවදීමෙන් අනතුරුව කෝලම් නැටුම් හා නයියන්ඩි නැටුම් දැක්වෙන අතර එයින් අනතුරුව පෙරහර සිංහාසන වීදියෙට සම්ප්‍රාප්ත වේ. මෙහිදී ද හේවිසිය වෙනස්ම නාදරටාවක් බවට පත්ව තොටපල්ල පාලම ගම් දක්වා දිවෙන පාර ඇරඹෙන සිංහාසනගොඩ මංසන්ධිය දක්වා දේවාභරණ වැඩම කෙරේ. සිංහාසනගොඩ මංසන්ධියේදී හෙවිසි නාද කැඩීමේ වට්ටමකින් අනතුරුව පත්තිනි දේවාලය හා වල්ලි දේවාලය දක්වා දිවෙන මගට යොමුවන්වා සමගම නැවත ගමන් හේවිසි නාද මාලාව වාදනය වනු ඇසිය හැකිය. මෙහිදී පත්තනි දේවාභරණ එම දේවාලයට වැඩම කිරීමෙන් අනතුරුව ආලත්ති තේවාව පැවැත්වී පත්තිනි දේවාල පෙරහර නිමා වේ. මේ වනවිට වල්ලි මාතා කෝවිලට කතරගම දේවාභරණ වැඩමවා ඇති අතර පත්තින් දේවාල කටයුතු නිමවීමෙන් අනතුරුව වල්ලිදේවාලයේ ආලත්ති තේවය හා දිග්ගේ නැටුම පැවැත්වේ. කවිකාරපංගුවේ ගායනාවලින්ද අනතුරුව වල්ලි දේවාලයෙන් පෙරහර මහ දේවාලය කරා සම්ප්‍රාප්ත කරවන මහ දේවල වීදිය හෙවත් පහළ වීදියේදී වාදනය වන හේවිසි නාද මාලාව අමතුම එකක් බවට පත්වේ. පෙරහර හඳගලෙන් ඇතුළුව පඩි පෙළ නැගයන්නේ ද තවත් අමුතු හේවිසි නාද රටාවකිනි. මෙලෙස පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන් තේවාව පවත්වා නරවත රාත්‍රී පෙරහර හෙවත් රෑ පෙරහර පළමු පරිදි චාරිත්‍ර සියල්ල සමගින් පෙරහර මග දිගේ දේවාලය පැදකුණු කෙරෙන ආකාරයෙන් ගමන් ගනී. වීදි පෙරහර ද දිනකට දෙවරක් බැගින් ගමන් ගන්නා අතර මහ පෙරහර ආරම්භක දිනය කෙම්මුර දිනයක් එල්ලවන පරිදි දින පහක් හෝ හතරක් පැවැත්වේ. පෙරහර ගමනේදී හතර වීදියේ හේවිසි නාද රටා හතරකි. මේ දේවාලයටම අවේනික තාලපද සහිත මේ වාදන ශිල්පීය හැකියාව පරපුරෙන් පරපුරට උරුම කර දෙමින් ආවා මිස එහ් තාල පද හෝ කීමට වාදකයෝ ද නොදනිති. පෙරසිරිත හා වැඩිහිටියන් සමග වාදනය කරමින් ලද කළ පුරුද්ද හා පලපුරුද්ද අනුව වාදන සම්ප්‍රදායයන් මේ දක්වා සුරක්ෂිතව ඇතත් ඒවායේ අනාගත පැවැත්ම පිළිබඳව ඇති අවදානම සුළු එකක් නොවේ. පෙරහර දැක ඇති ඈත සිටින කෙනෙකුට එක් එක් නාද ශෛලීන් අනුව පෙරහර ගමන් ගන්නේ කුමණ වීදියේද යන්න නිවැරදිව අනුමාන කළ හැකි තරම් එකිනෙකට වෙනස් රටාවන් සහිත මේ වාදන සම්ප්‍රදාය උග්ගල් අලුත්නුවරටම අයත් එහි පමණක්ම දක්නට ලැබෙන අපූරු හා අසිරිමත් එකකි.

මහා පෙරහර

වීදි පෙරහරේ අවසන් දින රාත්‍රියේ දේවාලයට සම්බන්ධ සියලු රාජකාරි ඇත්තෝ රෑ පෙරහර නිම කර ගෙවලට නොයති එදින රාත්‍රිය පුරා පසු දිනට සූදානම්වීම දේවාලය සැරසිලි කිරීම මහා පෙරහර වැඩම කිරීමට ැවශ්‍ය විශේෂිත භාණ්ඩ වර්ග වෙන් කිරීම, පිරිසිදු කිරීම, ඔපගැන්වීම, සුළු අලුත්වැඩියාවන් කිරීම, නියමිත රාජකාරි ඇත්තන් වෙත භාර දීම ආදී කටයුතු රාශියක් සිදු වේ. මේ අවස්ථාවන් වෙනත් අයට දැකබලා ගැනීමට ද තහනමක් පෙරසිරිත අනුව පනවා නොමැත. එය ඒවායේ සුරක්ෂත තාව පිළිබඳව සලකා ඇති වූ සිරිතක් වැන්න. එහෙත් දේවාභරණ වැනි වැඩහිටින මාලිගයේ භාණඩ පිළිබඳ රහස්‍ය භාවයේ සීමාව ඇතුල් කට්ටලේ යා හැකි රාජකාරි පංගුහිමිකරුවන් කීප දෙනකු දක්වා පමණක් ලිහිල්වෙමින් සීමා සහිත එකක් බවට පත්වේ. ඒවා කිසියම් ආකාරයකින් දැකීමට අමතර අවස්ථාව ලැබෙතොත් ඒ රන්සළු පංගුවේ හිමිකරුවකුට හා නවම් පංගුවේ නියම්ත උරුමකරුවාට පමණකි. එය ද එදිනටම පමණක් වීම ද විශේෂතාවක් වේ. නානුමුර මංගල්‍යයේදී අවශ්‍ය වන් විශේෂ සේවාවන් නිසා මේ අයගේ සම්බන්ධතාව ලබාගන්නා බව කියනු ලැබේ. ‍නානුමුර මංගළ්‍ය අවස්ථාවේ පිටත සියලු රාජකාරි ඇත්තන් රැඳී සිටිතත් සුබ මොහොතෙන් සිදුවන මේ අවස්ථාව නිමවනතුරුම හේවිසි නාදය ප්‍රදේශය පුරා පැතිරයයි. නානුමුර මංගල්‍යය සඳහා දෙවියන්(දේවාභරණ ) "අහරතලාව" හෙවත් "ආරශාලාවට" වැඩමවන බව කියන අතර වැඩසිටින මාලිගය වටා ඉදි කර ඇති අඩි 10 ක් පමණ උසැති තාප්පයකින් ආවරණය වන ස්ථානයක් බැවින් එහි රහස්‍ය භාවය සීමා වේ. පිටස්තරයන්ට ඇසෙන හේවිසිනාදයෙන් ඒ ඒ අවස්ථා අන් අයගෙන් අසා ඇති ආකාරයෙන් සිතේ මවා ගැනීමට වැඩි දෙයක් කළ නොහැකිය. එය එතරන්ම රහසිගත විශේෂිත දේව මංගළ්‍යයකි. පසුදාට පහන් වීමට පෙර "වෛතාලවේලාවට" යෙදෙන සුබ මොහොතකින් මේ කටයුත්ත සිදුවේ. පසුදාට පහන් වෙත්ම වීදිය මහා පෙරහරට ලහිලහියේ සූදානම් වේ. මහබඹා බැඳීම රහසිගත ස්ථානයක සිදුවන අතර සුබ මොහොතින් රථය රථ ගෙයින් දේවාල මිදුලට වැඩමවනු ලබන්නේද මේ අවස්ථාවේ වෙයි. එයින් පසුව මීත්‍රීගේ පංගුවේ අය සහ තවත් විහශ්ෂිත රාජකාරි පංගුවල ඇත්තන් විසින් රථය සූදානම් කෙරේ. රථය පේකිරීම පිණිස සැරසීමෙන් අනතුරුව නයියින්ඩිකාර පංගුවේ ඇත්තන් විසින් නටමින් ඉදිරිපත් කරන යාදානි ගායනා සිදුවන්නේ පස්වරු ‍2 කත් 3ත් අතරදීය. උඩවීදියේ ‍තානායම අබියස ඊට මීටර 200 ක් පමණ නුදුරින් රත්වර්ණයෙන් යුත් කොඩියක් මුදුනේ ලෙල දෙන පරිදි "කුඹගස" සිටුවනු ලැබේ. එය මීටර් 12 ක් පමණ(අඩි 40 ක් පමණ) උස පිරිසිදු කළ ශක්තිමත් පුවක් ගසකි. මුදුනේ රතු වර්ණ කොඩියට අමතරව පෙරදී සුද කොඩියක් ද වූ බව කියවේ. මෙවැනිම කුඹ ගසක් පත්නි දේවාලය අබියස ද සිටවීම කළ අතර එය මෑත සිට ඉටු නොවේ. (පෙරහර පසුවී දින හතක් යනතුරාම මෙය නොගලවා තැබීම ද පෙරසිරිතකි)හෙන්දිරික්කා මල් පිපෙන වේලාව හෙවත් "මල් වෙලාවට" මල් තේවාව සිදුවේ. මහබඹා සූදානම් කර දේවාලය ඉදිරිපිටට ගෙන එනු ලබන්නේ මල් වෙලාවද පසුව ගිය විටය. එහි මුහුණ තවමත් සුදු රෙද්දකින් වසා තැබෙන අතර සැරසීම ද සම්පූර්ණ කර නොමැත. එය සම්පූර්ණ වන්නේ පෙරහර පිටත්වීමට සූදානම් වීමට ආසන්න මොහොතේදීය. ඒ සඳහා මල් චීත්ත කැබෙල්ලක් ලබා ගැනීම පිණිස රාත්‍රී හතට පමණ නයියන්ඩිකාර පංගුවේ රාජකාරි ඇත්තා බස්නායක නිළමේ හමුවට පමුණුවයි. එය කරනු ලබන්නේ අතපත්තු මොහොට්ටාල ගේ ඇණවුම පරදි ගම්විදානේ ද කැටව තානායමට ඒ මෙනි. එසේ පැමිණ "බන්ඩහමුදුරුවනේ මහ බඹාට චීත්ත කෑල්ලක් ගෙන්යන්න ආව. යන පාඨය කීම පෙරසිරිත අනුව සිදුවේ. එය අසා සිටින බස්නායක නිළමේතුමා අවශ්‍ය චීත්ත කැබෙලල් දෙනු ලබයි. එය ද පෙරසිරිතට අනුව සිදුවන්නකි. එය සෑම පෙරහරකදීම පළමු දිනයේ අලුත් චීත්ත කැබෙල්ලක් බස්නායක නිළමේවිසින් ඒ සඳහා ලබා දීම ද පෙර සිරිතය. මහා පෙරහර පිටත් වීමට පළමු මුලදීම සිදුවන "මහබඹා නැටීමට ආසන්න මොහොත්වන තුරුම මහබඹාගේ මුහුණු ආවරණය ඉවත් නොකර තබන අතර මුහුණු ආවරණය ඉවත්වන්නේ නැටීමට සූදානම්වන අවස්ථාවේදීමය. දේවේලේ පෙරහරේ මෙන්ම දැකුම් අත් නැටීම නයියන්ඩිකාර පංගුවේ නැටුම් ද සාම්ප්‍රදායිකව පැවැත්වේ. ඉන් පසුව වීදි පෙරහර මෙන්ම දින හතරක් දිනකට දෙවරක් බැගින් වීදිය වටා ගමන් කෙරේ. පස්වන දින මහපෙරහර ගමන්ගන්නා අවස්ථා 4 ක් බවට පත් වේ.

  1. දවාලියෙන් බහින පෙරහර හෙවත් කිසියම් දිනක කලින්ම ඇති විසිතුරු පෙරහර
  2. රෑ පෙරහර
  3. වීදිදාස් වැඩමවීමේ පෙරහර
  4. දියකැපීමට යන පෙරහර

මෙලෙස පෙරහර දින පහක් පවත්වා හයවන දිනට පහන් වෙද්දී දිය කැපීමේ මංගල්‍යය පවත්වා නියමිත හෝරාවෙන් ගෙවදීම සිදු කෙරේ. මහ පෙරහරේ පවතින සාම්ප්‍රදායික චාර්ත්‍ර චාරිත්‍ර මේ ඡේදය තුළ කියන තරම් සරළ කෙටි එකක් නොවේ. එය අසිරිමත්ය. අපූර්වත්වයෙන් ගහන අවස්ථා රැසකින් සමන්විත වෙයි. එය වෙනම පරිච්ඡේදයක් තුළ විස්තර කෙරේ.









නව දේවාලය ගොඩ නැගීම ·