පෙරවදන

සංස්කරණය

සබරගමුව පළාතේ ඉඹුල්පේ ප්‍රාද්ශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගමක් වූ උග්ගල් අලුත්නුවර විටෙක බළන්ගොඩ අලුත්නුවර ලෙසින් ද හැඳින්වේ. මෙහි නමේ කොටසක් වූ “අළුත්නුවර" ලිවීමේදී "ලු" වෙනුවට "ළු" යන්න ද භාවිත වෙනු දක්නට ලැබේ. මහනුවර සමයේ මෙරට පැවති අධ්‍යාපන ක්‍රමය තුළ හෝඩිය කියවා හමාර කරන දරුවාට ලැබෙන ඊළඟ පෙළ පොත වූයේ නම්පොත හෙවත් විහාර අස්න ය. එහි භාවිතව ඇති මේ නමේ අක්ෂරය “ළු“ වෙයි. ඒ අනුව උග්ගල් උළුත්නුවර හා උග්ගල් අලුත්නුවර යන දෙයාකාරයම නිවැරදි සේ ගත හැකිය. දේවාලයට පමණක් සිමාවූ කොටස "උග්ගල්" අත හැර "අලුත්නුවර දේවාලගම" ලෙස භාවිතවෙයි. දැනට මේ කොටස අයත්වන ග්‍රාමනිලධාරි වසම නම්කර ඇත්තේ "අලුත්නුවර" වශයෙන් පමණි. මුලදී උග්ගල් අලුත්නුවර යයි ව්‍යවහාර කළේ නූතන ග්‍රාමනිළධාරී වසම් කීපයකින් යුතු විශාල පෙදෙසකි. මේ ප්‍රදේශයේ සමාජ දේහය හැඩගැන්වෙන්නේ මහා සංස්කෘතියට (බෞද්ධ ආකල්ප සාරධර්ම වලින් සාරවත් වූ සමාජයට) බද්ධ වූ එය පෝෂණය කරමින් හා එයින් පෝෂණය වෙමින් ඇති උප සංස්කෘතියක් වශයෙනි. මහනුවර සමයේ ඉදිව එය ආරම්භක අවදියේ සිටම මහත්සේ දීප්තියක් විහිදවූ සිද්ධස්ථානයක්ව තිබූ බවට සාධක ඇති මෙහි ඊට අනුගත සම්ප්‍රදායේ ආවේනික “පෙරසිරිත“ තවමත් බොහෝ දුරටම සුරක්ෂිතව පවතී. එබැවින්ම එය අතිශය සුවිශේෂ වූවකි. එක් පොතක් නොව පොත් ගණනාවක් ලිවීමට තරම් වැදගත් අසිරිමත් එකක් බව ද හදාරන විට පෙනීයයි. මහනුවර රාජ සමයේ ජනතාව අතර භක්ත්‍යාදරයට පාත්‍ර වූ පූජනීය ඓතිහාසික ස්ථාන නාමාවලියක් ලෙස රචනා වී ඇති සිසුන් සඳහා නිර්දේශිත පාඨ ග්‍රන්ථය නම්පොත-නම්ගම්පොත-විහාර අස්න ආදී විවිධ නම්වලින් හඳුන්වා තිබුණි. මෙහි ස්ථාන නාම 267ක් පමණ ඇති අතර එහි උග්ගල් අළුත්නුවර යන්න ද සටහන් වීමෙන් මේ සිද්ධස්ථානයේ ඓතිහාසිකත්වය හා පූජනීයත්වය තහවුරු කරන මූලාශ්‍රයක් සේ ද හඳුනාගත හැක්කකි. නම්පොත රචනා කර ඇත්තේ මනුවර සමයේ සිටි මහා වියතකුවූ අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් බව ඇතැම් තැනක කියවේ. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමිපාණන් වහන්සේගේ අදහස එය හයවන පැරකුම්බා සමයේ ලියැවුන් කෘතියක් වශයෙනි. එසේ නම් උග්ගල් අලුත්නුවර හෙවත් උග්ගල් අළුත්නුවර යන නාමය එකල සිටම භාවිත වී ඇති බව නිගමනය කළයුතු වේ. ක්‍රි.ව.1382 ශ්‍රී ලංකාවේ මධ්‍යකඳුකරයේ දකුණු මායිමේ පැවති මැදගමවනාන්තරය තුළ අලුතෙන්ම ඉදි කළ දේවාලගමක් ලෙස සැලකෙන මේ පෙදෙස ඒ අවදියේ හඳුන්වා ඇත්තේ මැදගම වනාන්තරය ලෙසිනි . උග්ගල් අලුත්නුවර බවට පත්වී ඇත්තේ 1582 නව දේවාල සංකීර්ණය ස්ථාපිත කර නවනුවරක් ඉදිකිරීමෙන් පසුව බව ද පවතින සාක්ෂි අනුව තහවුරුවේ. මේ ප්‍රදේශයේ සමාජ සංස්කෘතික උරුමය පිළිබඳ, එහි වටා පිටාව පිලිබඳ "පොතක් ලියන්න" යන යෝජනාව මෙම ලේඛකයාට ඉදිරිපත් වූයේ 1990 ගණන්වල සිටය. විටෙක එය බල කිරීමක් බඳුවිය. මේ සදහා ප්‍රයෝජනවත් වනු පිණිසම බව සඳහන් කරමින් 1990 දශකයේ සිටි බස්නායක නිළමේතුමා වන හරිශ්චන්ද්‍ර තෙන්නකෝන් මහත්මාණන් හා එතුමාගේ ලේකම්වරයා වූ ප්‍රේමරත්න මහත්මා ලේඛකයාට අවැසි මූලාශ්‍ර සපයා දීමේ ලා මහත් වෙහෙසක් ගත්හ. හරිශචන්ද්‍ර තොන්නකෝන් නිළමේතුමාණෝ සිය අත් කැමරාව පවා ලේඛකයාටම පවරා දුන්හ. එකල දේවාලයේ කපු නිළමේ වරයා වශයෙන් කටයුතු කළ මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න බණ්ඩාර මහත්මා සිය මතකයේ ඇති දේ කියා දෙමින් මුත්තා කෙනෙකු නිර්මාණය කළ කාව්‍ය සංග්‍රහයක්ද ඉදිරිපත් කළේය. 1930 ගණන්වල සිට තමාට පැමිණි වාරයන්හි දේවාලයේ ප්‍රධාන නිළය වූ අත්තනායක මෙහොට්ටාල නිළය හොබවමින් සහ 2004 දි සිය දිවි මගෙන් සමුගන්නා තුරුම අතපත්තුමොහොට්ටාල නිලය ද කරමින් සිටි මෙහි පෙරසිරිත් සම්ප්‍රදාය ගැන විශෙෂඥ දැනුමකින් සිටි අයෙක් වූයේ ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර මහත්මාණන්ය. මේ දේවාල සම්ප්‍රදාය වෙනුවෙන්ම සිය දිවිය කැප කළාක් වැනි පුද්ගලයකු වූ හෙතෙම සිරිත් සම්ප්‍රදායේ යම් අඩුවක් ඇතිවෙතොත් විටක ඉතා රළු ස්වරූපයකින් පෙන්වා දීමට ඉදිරිපත් වූ අයෙකු විය. එතුමා සතුව තිබූ ආවේනික සම්ප්‍රදායය ගැන අත්දැකීමෙන් ලත් දැනුම අමිල එකකි. මේ දේවාලය ගැන පොතක් ලියන ලෙස කියමින් ලේඛකයාට යම්යම් දෑ බලහත්කාරයෙන් මෙන් කියාදුන් අවස්ථාවන්ද වූ බව මෙහිදී සිහි කරන්නේ මහත් කෘතඥතාවෙන් යුතුවය. මෑත කාලයේ සිටි 1990 දිවි මගෙන් සමුගත් අත්තනායක මොහොට්ටාල නිළමේවරයා වූ ඒ.එම්.එස්.එම්. කුලසේකර බණ්ඩාර මහත්මා ගෙන් ලද උපදෙස් හා සහාය ද අතිශයින් වැදගත්වූවකි. ඒ.එම්.එස්.එම්. කරැණාරත්න බණ්ඩාර නිළමේතුමා දැනට ජීවත්ව සිටින වයෝවෘද්ධම නිළමේවරයා වේ. 84 විය ද ඉක්මවා සිටින බැවින් හෙතෙම රාජකාරියට ඒමේ අපහසුවෙන් සිටිය ද දේවාලය ගැන හා එහි සම්ප්‍රදාය ගැන ද මනා දැනුමෙන් හා ඒ පිළිබඳ දැඩි ඇල්මෙන්යුතු දැනමුත්තෙකි. මෙහි ඓතිහාසික තොරතුරු අඩංගු සිය පරම්පරාව සතු මහඟු ලියවිල්ලක් ද ලබා දෙමින් අදටත් අවශ්‍ය කර හැම සහායක් මාවෙත ලබා දෙයි. දැනට මේ නිලයට හිමිකම් ඇති දැනට මේ නිලයට හිමිකම් ඇති අය වශයෙන් ඒ.එම්.එස්.එම්.කුමාරසිංහ බණ්ඩාර මහත්මා, ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර මහත්මා, ඒ.එම්.එස්.එම්. ඒ.එම්.එස්.එම්. ධර්මසේන බණ්ඩාර මහත්මා, ඒ.එම්.එස්.එම් ගුණසිංහ බණ්ඩාර මහත්මා ඇතුළු කීප දෙනෙක්ම වෙති. ඒ සියලුම අය ගෙන් ලැබෙන සහායද මෙහිලා කෘතඥතා පූර්වකව සිහිපත් කෙරේ. ඉඩ පහසුකම් ගැටළුව නිසා මෙම හැඳින්වීමේදී සඳහන් නොවෙතත් අගනා සහායයන් ලබා දෙමින් මා දැනුවත් කළ සෙසු සම්පත්ධාරීන් වූ රාජකාරිමණ්ඩලයේ නාමයන් මේ ප්‍රබන්ධයේ කොතැනක හෝ ලියැවී තිබෙනු ඇත. 1999 සැප් 03 සිට දේවලය සංරක්ෂණය වියයුතු පුරාවස්තුවක් වශයෙන් ගැසට් වී ඇත. (Monument: Ktharagama devalaya at Aluthnuwra uggal katharagama devala - gazette no 1096 - 3 sep-1999) එතැන් සිට බොහෝ දෑ සංරක්ෂිතය. ඒ දක්වා සිදු වූ වෙනස්කම් නිසා මෙහි විසිතර කෙරෙන ඇතැම් ස්ථාන කීපයක්ම නවකයකු තෝරා බේරාගතයුත්තේ ආයාසයෙනි. උදාහරණ වශයෙන් 1382 දී ඉදිවූ බව සඳහන් මුල්ම දේවාල ගොඩනැගිල්ල වූ මැදගම දේවාලය නමින් හැඳින් වෙන ස්ථානය හඳුනා ගතයුත්තේ එහි අත්තිවාමේ පාදම ලෙස ඉතිරිව ඇති පාෂාණ ඇතුරුමෙනි. 1999 සිට දේවාලය සංරක්ෂණය විය යුතු පුරාවස්තුවක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගැසට් කර ඇත.(Monument: Ktharagama devalaya at Aluthnuwra uggal katharagama devala - gazette no 1096 - 3 sep-1999) එතැන් සිට බොහෝ දෑ සංරක්ෂිතය. ඒ දක්වා සිදුවූ වෙනස්කම් නිසා මෙහි විස්තර සටහන් කරන ඇතැම් ස්ථාන කීපයක් ආධුනිකයකුට දැකීම හා තෝරා ගැනීම ආයාසයෙන් කළයුතුව ඇත්තකි. උදාහරණ වශයෙන් 1382 දී පමණ ඉදිවූ බව සඳහන් මුල්ම දේවාල ගොඩනැගිලි වලින් දැනට ඉතිරි වී ඇත්තේ අත්තිවාරමේ පාෂාණ ඇතුරුම් හා ඉදිරියේ හිඳුවා ඇති පුරාණ බෝධි වෘක්ෂය සමග එකට වැඩී ඇති නෙටුල් ගස පමණි. 1978 වස‍ෙර් දැනුම් තෙරුම් ඇතිව සිටි අයට එකල තිබූ ගොඩනැගිලි කොටස් පිළිබද මතකය තවම පවතී. කරුණාරත්න බණ්ඩාර මොහොට්ටාල නිළමේතුමා ලබාදුන් පුරාණ පුස්කොල ලේඛන උපුටනයේ සඳහන් ගැට්ටපාන, ගැටනෙටුලයට ගල් ලෙන, අන්දර ගහ, ඒ ආශ්‍රිතව තිබූ බව කියවෙන වැව, මද්දෙපාලම ගම, පාලමගම, වරකාවෙල, කිංචිගුණේ, පීලිපොත,කරපේ පමණක් නොව ඉඹුල්පේ පවා අද නාමාවශේෂ ගම් පමණකි. ඒ ස්ථාන සමනළ වැවට යටව ගොස් ය. “ගැට්ටොපාන වන්නිරාල” හෝ “මැදගම බණ්ඩාර” ලෙස සදහන් ප්‍රදේශාධිපති නිවස යැයි අනුමාන කළ හැකිව තිබූ ස්ථානය, දේවාලයේ මල් තේවාව සඳහා වෙන්ව තිබූ මල්වත්ත, නාගර දේවීගේ සොහොන ලෙස පැරැන්නන් හැදින් වූ විශාල නාගස පිහිටි ස්ථානය(එම ස්ථානයේ අඩි 8×8 වපසරියකින් යුතු අඩි 4 ක් පමණ උස් වූ ගල් බැම්මකින් සුරක්ෂිතව මධ්‍යයේ විශාල නා ගසක් විය.) ඇත්තේ ඒ ස්ථානයට ව්‍යවහාර වන නම වූ “නාගහයට” යන ව්‍යවහාරය පමණි. “බ්‍රාහ්මණවත්ත” නමින් හැඳින් වූ ස්ථානය ද නාමාවශෙෂ ස්ථානයකි. “බැවිලේ වලව්ව” නම් වූ පුරාණ වලව්ව ප්‍රතිසංස්කරණය වී ඇති බැවින් පුරාණ ස්වරූපයෙන් දැකිය නොහැකිය. කාලයේ ඇවෑමෙන් හා පාරිසරික වෙනස් කම් වලින් ඒවා වැසී ගොසිනි. උග්ගල් අලුත්නුවර ප්‍රදේශයේ විධිමත් පුරා විද්‍යාගවේශනයන් සිදුවනතුරු තවමත් බොහෝ දෑ සැඟව පවතී. මෙම ලේඛකයා 1960 දශකය ටත් පෙර සිට සිය කිරිඅම්මා සමග පෙරහර නරඹන්නට අවස්ථාව ලද්දෙකි. පසු කලෙක ගමෙන් බැහැරව හැදී වැඩුනද, රැකියාවේ නිරතව බැහැර සිටියද දේවාල උත්සව අවස්ථාවන්හි පැමිණිම අනිවාර්ය පුරුද්දක් විය. ඒ නිසාමදෝ දේවාලය හා එහි සම්ප්‍රදායයන් පිළිබදවත් ප්‍රජාව හා ගහකොල සතුන් ගැන පවා ඔහු තුළ ජනිත වී ඇත්තේ විශාල භක්තියක් මුසු කුතුහලයකි. 1972 වකවානුව ලේඛකයා සිසුවකු ලෙස අධාපනය ලැබූ අවදියයි. සොරගුණය දේවාලයේ උත්සවයට සහභාගීවීම හා සහායවීම පිණිස එහි වගකිවයුත්තන්ගේ ඉල්ලීම මත ගමේ අය සමග යාමට අවස්ථාව ලැබීම මහත් සේ ප්‍රයෝජනවත් අත්දැකීමක් විය. සොරගුණය යනු උග්ගල් අලුත්නුවර සේම කුඩා කතරගම් දේවාලයක් ඇති දේවාල ගමකි. එහි පෙරහර නරඹන්ට හා සහභාගිවන්ට යාම මෙන්ම ඒ අය මේ පෙරහරට ඒම අද දවසේ පවා සිදුවන්නකි. ඒ අතර උග්ගල් අලුත්නුවර හා ‍සොරගුණය අතර දේවාලය නිසා ඇතිවූ විරසකවීමක් ගැන තොරතුරුද ගම් දෙකේම පවතී. එය ඉතිහාසගත අත්වරැද්දක් නිසා වූ දෙයක් හෝ සැබෑ හේතු මතම ඇති වූවක් විය හැකිය. කෙසේ වුවද මේ ගම්මාන දෙකේම ඇත්තෝ අද ලේ නෑ කමින් බැඳී ගිය එකම ප්‍රජාවක් බඳු බැවින් කිසිදු තරහක් නොමැත. දැනට ඇත්තේ එවැනි විරසකවීමක් පිළිබඳ මතකයක් පමණි. සොරගුණය දේවාලය 70 දශකය වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ රක්ෂණය වන පුරාවස්තුවක් ලෙස ලියා පිදිංචි වූවක්ව තිබිණි. ඒ සඳහා අබේරත්න මොහොට්ටාල නිළමේතුමාගේ (සොරගුණය දේවාල‍යේ ප්‍රධාන මොහාට්ටාල නිළමේතුමා)ගේ උත්සාහය මත සිදුවූවකි. ඒ සඳහා මහාචාර්ය පුණ්ච්බණ්ඩාර සන්නස්ගල ශූරීන් වැනි වියතුන්ගේ සහාය ලැබුණු බව මොහොට්ටාල නිළමේ පැවසීය. ලේඛකයාට සොරගුණ මොහොට්ටාල නිළමේ තුමා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණේ මේ අකාරයට අහම්බෙනි. එසේ ගිය ගමනේදී හමු වූ “සොරගුණු දේවාල පුවත” කිරීම සඳහා එවකටත් තොරතුරු දත්ත විශලේෂණයේ යෙදුනු මහාචාර්ය පුන්චිබණ්ඩාර සන්නස්ගල ශූරීන්ගේ උදව්ව හා උපදෙස් ද කළගුණ සලකන හදවතින් හා ගුරු බැතියෙන් යුතුව ලේඛකයා සිහිපත් කරයි. මොහොට්ටාල නිළමේතුමා අලුත්නුවර දේවාලය හා සොරගුණය දේවාලය අතර ඇති සම්බන්ධතාවේ ස්වරූපය ආදී බොහෝ දෑ විස්තර කරදිය හැකි අත්දැකීම් ඇති වියතකු හා උදාර හා කරුණික ගති පැවතුම්වලින් පොහොසත් අයෙකු විය. එතුමා ගම් දෙක අතර පැවති විරසකවීමේ ඉතිහාසය පැහැදිලි කර දුන්නේ අපක්ෂපාතී විවරණයක යෙදෙමිනි. එයම එතුමාගේ වටිනාකම පැහිදිලි කරන්නකි. මේ කෘතියේදී එතුමාගෙන් ලැබුණ තොරතුරු හා දක්නට හැකි වූ පුරාණ ලේඛනවල සටහන් අතර තිබූ උග්ගල් අලුත්නුවර පිළිබඳ තොරතුරු ද මහෝපකාරී විය. 1978 සිට 1998 දක්වාම උග්ගල් අලුත්නුවර පෙරහරට බද්ධව ඊට සහභාගීවෙමින් ලඟින් සිටින්නට අවස්ථාව ලැබී‍මෙන් සහභාගීනිරීක්ෂණයක යෙදෙමින් අධ්‍යයනය කරන්ට අවස්ථාව ද ලේඛකයාට ලැබිණි. දේවාල කටයුතු දිරිමත් කිරීම අගය කිරීමත් හැර ඒ වෙනුවෙන් ඔහු කළ දෙයක් හෝ තමා රාජකාරි කරුවකු නොවූ බැවින් කරන්ට හැකි දෙයක් හෝ ලේඛකයාට නොවීය. තවත් අතකින් එකල ඔහු නොකළ දෙයක්ද නොවීයයි සිතියහැකි තරමට ඊට ළංව සිටියෙකි. දේවාල සම්ප්‍රදාය පිළිබඳ හදාරත් හදාරත්ම ඒවා පොතක් බවට පත් කිරීම වඩා සංකීර්ණ කාර්යයක් වෙයි. එය කොතැනින් අරඹා කොතැනින් නිම කරන්න දැයි තෝරා ගැනීම අපහසුය. කෙසේ හෝ මේ විශිෂ්ට සම්ප්‍රදා‍ය පිළිබඳ යම්තරමක දැනුමක් අවබෝධයත් ලබා ගැනීමට වාසනාව ලැබුණත්, දේවාල රාජකාරි ඇත්තන්ගේ හා වගකිවයුත්තන්ගේ අභිප්‍රාය පරිදි පොතක් ලියා පළකිරීම හෝ වෙන කවරාකාරයකින් හෝ ප්‍රසිද්ධ කිරීම සදහා අවකාශයක් මේ දක්වාම නොලැබිණි. අත්දැකීම් සමගම මෝරා ගිය භක්තිය හා බැඳීම නිසා කිසියම් අතකින් මේ සටහන් පුද්ගල බද්ධතාවෙන් තොරව ඉදිරිපත් කිරීමේ අසීරුවට ද ලේඛකයා මුහුණ දී සිටී. හැකිතාක් පරෙස්සමින් නිගමනවලට එළඹිමටත් සටහන් තැබීමේදි විෂය බද්ධව මධ්‍යස්ථවීමට යත්න දරන්නටත් ලේඛකයා උත්සාහ දරයි. පොතක් ලියන ලෙස වූ ඉල්ලීම් හා අපේක්ෂා වෙනුවෙන් උපහාරය හා ස්තුතිය පිණිසත්, සිය ආත්ම තෘප්තිය පිණිසත් මෙවැනි විද්‍යුත් සටහනක් බවට පත් කරන්නට හෝ අවකාශ ලැබීම Wikibooks නිසා සැලසුන භාග්‍යයකි. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ජාතික පාසලේ ඉතිහාසය පිළිබඳ උපදේශකවරයා වූ ද පුරාවිද්‍යාව කෙරේ මහත් ඇල්මෙන් ගවේශනවල යෙදෙනේනකු වූ ද වියත් ලේඛකයකු වූ ද දයානන්ද බිනරගම මහතා කාලයක සිටම ලියන්න! ලියන්න! යනුවෙන් බල කළ කෙනෙකි. ලේඛකයාට ඉඩ පහසුකම් ලැබෙන පරිදි හා නිවැරදිව upload කිරීමේ තාක්ෂණික නිපුණතාවන් ලැබෙන පරිදි තමා සතුව ඇති නිසල සේයා සටහන් හා චලන රූ සටහන් ද ඉදිරියේ මේ විද්‍යුත් සටහන් අතරට එක් කෙරෙනු ඇත. පොතක් පලකිරීමට අවශ්‍ය වියදම් පියවා ගැනීමට හැකිවූ වහාම මේ තොරතුරු විස්තරාත්මකව පළ කළ හැකි වනු ඇත. සිංහලෙන් ලියන පොතක් පළ කිරීමට භාරගන්නා කෙනෙකුට දරන්ට වන අවදානම සුළු නොවේ. සිංහල පොත් පළවීම බෙහෙවින් අඩු මට්ටමක පවතින්නේ ඒ නිසා විය හැකිය. ඉතිහාසය නොනිදයි. පියවි ඇසින් බලන්න ඉතිහාසය දැකීමට අවස්ථාව ලැබීම අසීරු නොවේ.



හැඳින්වීම