උග්ගල් අලුත්නුවර/කන්දකුමාර සිරිත

කන්දකුමාර සිරිත සංස්කරණය

ඉහත කියවෙන පුරාණ පුස් කොල ලේඛන උප්ටනයේ විශ්වස්‍යභාවය තවදුරටත් තහවුරු කරගත හැකි වෙනත් ලේඛන තිබේ දැයි මෙම ලේඛකයා කලක් තිස්සේ සොයමින් සිටියේය. දේවාලයේ ඓතිහාසික තොරතුරු මෙන්ම එහි වත්පිළිවෙත් ද විස්තර කෙරෙන කවි ගායනා රාශියකි. ඒවා කෙසේ කවුරුන් නිර්මාණය කළේදැයි සොයාගතහොත් අඩුව සපුරාගත හැකි බව ඔහු ගේ අදහස විය. දේවාල පෙරහර තේවා වලදී එකම කවි කීපයක් විවිධ රාජකාරි අවස්ථාවන් හි භාවිත කරමින් ගායනා වනු දක්නට ලැබීම නිසා ඒවා එක් ප්‍රවේනි රාජකාරියකට අයත් ප්‍රබන්ධ නොවන බව පැහැදිලි විය. නයියන්ඩිකාර ශිල්පීන් සිය නැටුම් වලදී කියන ඇතැම් කවි දිග්ගෙයි නැටුම හෝ ඉන්පසුව ඉදිරිපත්වන කවිකාර මණ්ඩලයේ අයද ගායනා කරනු දක්නට හැකිය. ඒවාම පෙරහර ආරම්භයේ කපු නැටුම ඉදිරිපත් කරන අයද ගායනා කරති. මේ ශිල්පීය පරම්පරාවන් එකිනෙකට සම්බන්ධතාවක් නැති වෙනස් කුල වලට අයත්වන පිරිස් බැවින් “මේවා කිසියම් එක් පුරාණ මූලයකින් පැවත එනවා විය හැකිය” යන අනුමානය මත සොයා යාමේදී එම කවි මහබෙත්මේ කපුනිළය(දේවාලයේ ප්‍රධාන පූජක නිළය) හොබවන භාරතරත්න බණ්ඩාර මහතාටද සිය මතකයෙන් කිව හැකි බව පසක් විය. එතුමා ලේඛකයාට කාව්‍ය ප්‍රබන්ධය අඩංගු පුරාණ අත්පිටපත ලබා දුන්නා පමණක් නොව ඒ නිර්මාණය වීම පිළිබඳ විචිත්‍ර පසුබිම් කතා පුවතක්ද ප්‍රකාශ කළෙය. මේ ප්‍රබන්ධය නිර්මාණය කර විවිධ තේවා අතර බොදා හැර ඇත්තේ තම මුත්තා කෙනෙකු වූ බාලචන්ද්‍රබ්‍රාහ්මණ විසින් බව ද ප්‍රබන්ධය කිරීමට නිමිති වූයේ දේවාලය කරවා එහි වත් පිළිවෙත් ස්ථාපනය කර කලක් ගතවීමෙන් පසුව පෙනුන සිහිනයක් මගින් කළා යයි කියන දේව නියමයක් අනුව බවද භාරතරත්න කපු මහත් පවසා සිටියේය.


1.සලසන් සිරිසැප දීලා මෙලොව ට

 දොලසක් ආයුද හස්ත දරාසි          ට
 දහසක් බ්‍රහ්මන ගොල්ලක් විත්සි       ට
 පනිවිඩ උනි කවි සියෙක බදින්න        ට
2.බාලචන්ද්‍ර මගෙ නම පවසා        ලා  
  ආලවඩන පද ස්තුති කර          ලා
  රාල බ්‍රාහ්මන වලියයි තෙප        ලා
  කෝල නැතුව කවි සිය බැඳ දී        ලා

යන මුල් කව් දෙකෙන් භාරතරත්න කපුනිළමේ පැවසූ කතාව කියවෙන අතර කවි ලියා ඇත්තේ බාලචන්ද්‍ර බාහ්මණ බව ද පැවසේ. එහි කවි 105 ක් ඇති අතර අවසන් කවියෙන් ප්‍රබන්ධය කළ කාලය ද දැක්වේ.

105.පොරන සිටි නිරිදුන්ගෙන් ලත් එනමකි මුළුතුන්ලොව පැතිරය   න
    අරන ඉටු දන් එපිට මුළුතුන්විමන තුල එහි තේව කර එ          න
    බදින මේකවි ඔහුගේ මුනබුරු නුවන පමනක් ලදින් දැනගෙන   න
    සවන සකවරුසයෙන් එක්වා දහස් හසියකි තිසෙකි එපම      න             

කවියේ දැක්වෙන ආකාරයට ශකවර්ෂ 1630 හෙවත් ක්‍රි.ව.1712 දී ප්‍රබන්ධ කළ බව හෙලි වේ. මහනුවර සමයට අයත් රචනා ශෛලිය හා භාෂා විලාසය ද අනුව කාල නිර්ණය කළහොත් බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් සටහන් කර දක්වන කාලය විශ්වාසනීයය. මේ අනුව පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ පුරාණ ලේකම් මිටිය ලියන අවදියේ අලුතෙන් ඉදි කළ දේවාලයට හා පරිශ්‍රයට උග්ගල් අලුත්නුවර හෝ අලුත්නුවර යනුවෙන් ව්‍යවහාර කිරීම පුරුදුවී නොතාබුණ බවද මෙම උග්ගල් අලුත්නුවරය යන ව්‍යවහාරය පැමිණ ඇත්තේ බාලචන්ද්‍රබ්‍රාහ්මණයන් කන්දකුමාර සිරිත කළ අවදියේ හෝ එම අවදියෙන් පසුව බවය. පසු කාලය වන විට උග්ගල් අලුත්නුවර යන ව්‍යවහාරය වඩා ප්‍රචලිත නම බව 1825 ලියැවුනු බව සඳහන් "සොරගුණු දේවාල තුඩපත" හා බෝගන්ධන සිද්ධත්ත ගනින්නාන්සේ ලියා ඇතැයි නාවුල්ලේ ධම්ම‍ානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඌවේ ඉතිහාසයේ උපුටා දක්වන “බෝගන්ධන සන්නස” අනුවද පැහැදිලිවේ. මෙලෙස මැදගම යන්න ව්‍යවහාරයෙන් ගිලිහි ගොස් "උග්ගල් අලුත්නුවර" යන ව්‍යවහාරය පැමිණ ඇති අතර අද එය ව්‍යවහාරවන්නේ "අලුත්නුවර" හෝ සමහරුන් සටහන් කරන ලෙස "අළුත්නුවර" යන නමිනි. අත්තරගම රාජගුරු බණ්ඩාරයන් ලියන ලද නම්පොත හෙවත් විහාර අස්නේ “උග්ගල් අළුත්නුවර” නමින් සිද්ධස්ථානයක් දක්වන අතර එහි සොරගුණය හෝ මැදගම සඳහන් නොවේ. එම පොත මහනුවර සමයේ නිර්මාණය වී දිවයින පුරා පිරිවෙන්හි භාවිත වූ හෝඩියෙන් පසුව වනපොත් කරන මූලික පෙළ පොත විය. භාරතරත්න බණ්ඩාර කපු නිළමේ, තමාගේ අත්පිටපත කොපිකර හැකිනම් පොතක් ලෙස මුද්‍රණය කිරීමට කටයුතු කරන ලෙස ද ලේඛකයාගෙන් ඉල්ලා සිටියේය. එකල ලේඛකයාට ඡායා පිටපත් කිරීමේ පහසුකම් සොයා ගැනීම දුෂ්කර විය. ලේඛකයා ළඟ දැනට ඇත්තේ එමගින් උපුටා ලියාගත් පිටපතක් පමණකි. 2007 දී මෙම භාරතරත්න කපු නිළමේ තුමා අභාවප්‍රප්ත විය. එම අත් පිටපතේ ඡායා රෑපයක් හෝ ගැනීමට සිතා වර්තමාන කපුනිළමේවරයා වන සාලිය බණ්ඩාර මහතා විමසුවද සිය පියා සතුව පැවති එම පොත දැනට සොයාගත නොහැකිව ඇති බව කීය. ඡායා පිටපතක් ලෙස හෝ ඉදිරිපත් කරමින් මූලාශ්‍රයේ විශ්වස්‍යතාව රැක ගැනීමට හැකිව තිබුණි. එය නැතිවීම විශාල පාඩුවක් විය. එහෙත් 2009 වසරේ එක්තරා දිනෙක ප්‍රදේශයේ හිටපු වටිනා විදුහල්පතිවරයකු හා සිංහල සාහිත්‍ය පිළිබද වියතකු ද වූ කීර්ති ඒකනායක මහත්මා දේවාලය ගැන තොරතුරු සොයන මෙම ලේඛකයාගේ ප්‍රයෝජනය පිණස දුර්ලභ කවි පොතක් ලබා දුනි. කොළඹ කටුගේ ප්‍රකාශනයක් වූ එය නමින් “දේවවර්ණනා කාව්‍ය” වෙයි. (1960 සැප්තම්බර් 10 ලංකාජාතික කෞතුකාගාර පුස්කොල ග්‍රන්ථමාලා අංක 1X දෙවවර්‍ණනා කාව්‍ය - සම්පාදක විද්‍යාශූරී ප.එ.ප. දැරණියගල) අහම්බෙන් මෙන් ලැබුණ මේ අගනා ග්‍රන්ථය කියවා බැලීමේ දී කපුනිළමේවරයා ලබාදුන් "කන්දකුමාරසිරිතේ" පිටපතක් එහි පිටු අංක 37 සිට 47 දක්වා ඇති බව දක්නට ලැබිණි. ඉස්පිලි පාපිලි වෙනස්කම් කීපයක් හැරෙනවිට කපුනිළමේවරයා ළඟ තිබූ කාව්‍ය සංග්‍රහයට එය සාකල්‍යයෙන්ම සමානය. පී.ඊ.පී.දැරණියගල ශූරීන්ට මහවලතැන්න වලව්වෙන් ලැබී ඇති පුස්කොල පොතකින් උපුටා ගෙන උක්ත ග්‍රන්ථයේ අඩංගු නොකරන්නට මෙම අගනා මූලාශ්‍රය පිළිබඳ කරන විසිත්ර ලේඛකයාගේ ප්‍රවාදයක් පමණක් වීමට ඉඩ තිබුණි. ඉහත දැක්වූ පුරාණ ලේකම් මිටියේ අඩංගු තොරතුරු හා මැනවින් සමාන විස්තර මේ ප්‍රබන්ධයේ ද දැකගත හැකිය. වැදගත්ම කරුණක් වන්නේ උග්ගල් අලුත්නුවර යන නම ද අඩංගුවීම නිසා මැදගම දේවාලයට වූ භාරය ඔප්පුකිරීම් වස් සකස් කළ අලුත්ම නුවරක් හා නව දෙවොලක් වශයෙන් පසු කාලයක උග්ගල් අලුත්නුවර දේවාලය ලෙස ප්‍රසිද්ධව ඇත්තේ ලේකම් මිටියේ දැක්වෙන මැදගම දේවාලයම බව පැහැදිලි කරගැනීමට හැකිවීම නිසාය. කදකුමර උපත, කතරගම ප්‍රදේශය, බස්ම නම් අසුරා පැරදවීම, වල්ලි දේව කතාව, මැදගම දේවාලයට රජු වන්නා වූ භාරය, සොරගුණෙ නම, හා දේවාලයට පිදූ ගම්, උග්ගල් අලුත්නුවර දේවාලය, දේවාලගමේ ස්වාභාවික භූගෝලීය පරිසරය හා සුන්දරත්වය, දේවාලයේ නැටුම්, විශේෂයෙන් දිග්ගේ නැටුම හා එම රැගුම්වල ලාලිත්‍යය. ආදී ඉතා වැදගත් පුරාණ තොරතුරු රාශියක් මෙම මා හැගි කෘතියෙන් අනාවරණය කරගත හැකිය. මේ ලේඛනයන්හි හමුවන "සූරියමහරජු" සහ යාපා "මහරජු" යන රජවරුන් දෙදෙනා කවුද යනු හරි හැටි හදුනාගත නොහැකි වෙයි. ඔවුන් ප්‍රදේශාධිපතයන් විය හැකිය යනුවෙන් කළ හැකි අනුමානයට ඇති සාක්ෂි ද එතරන්ම ප්‍රබල නොවේ. යාපා රජු කළ බව සදහන් වෙළගේ විහාරය හා තවත් බොහෝස්ථානයන්හි කළ නිර්මාණ පිලිබද ජනප්‍රවාද රාශියක් බළන්ගොඩ හා වේවැල්වත්ත ආදී අවට ප්‍රදේශවලද හමුවේ. එහෙත් යාපා යනුවෙන් සදහන් මහරජකු ගැන මහාවංශය, රජාවලිය, රාංජරත්නාකර වැනි සම්භාව්‍ය වෙනත් ග්‍රන්ථවල හමුනොවේ. එය නොවිසදුන ගැටළුවක් ලෙස තවම පවතී.



පුරාණ පුස්කොල ලේඛනය · උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය