බල්ලා හා සෙවනැල්ල සංස්කරණය

බල්ලෙකුට මස් කැබැල්ලක් ලැබී එය නිවෙසට ගෙන ගොස් සාමයෙන් භුක්ති විඳිමි යැයි සිතුවේය. මෙසේ යන ඌ හට දියපහරක් හරහා දමා තිබූ ඒදණ්ඩක් මතින් යෑමට සිදුවිය. ඌ ඒදණ්ඩ මතින් දියපහර තරණය කරත්ම, පහළවූ දිය මත උගේම ඡායාව දිටීය. ඒ ඌ දුටුවේ තවද මස් කැබැල්ලක් දරාගත් තවද බල්ලෙකු යැයි සිතූ ඌ එයද හිමි කරගනිමී යැයි අදිටන් කරගති. එනිසා දියේ වූ ඡායාව වෙත ගොරවමින් බුරන්නට වූ අතර එසේ කිරීමට මුව විවර කරත්ම උගේ මුවෙහි වූ මස් කැබැල්ල ගිලිහී දියට වැටී ගිලී ගොස් අහිමි ව ගියේය.

නොපෙනෙන දේ අඥාන අයුරින් හිමි කර ගැනීමට යාමෙන් අත ඇති දේ අහිමි කර නොගන්න.

සිංහයා හා මීයා සංස්කරණය

දිනෙක සිංහයෙක් නිදියමින් සිටින විටෙක මීයෙක් ඌගේ සිරුර මතින් එදෙසට මෙදෙසට දුවන්නට විය; වැඩි වේලාවකට පෙර මේ නිසා අවදිවූ සංහයා උගේ විසල් අත්ල දිගුහැර මීයා අල්වා උගේ බියකරු මුව විවර කර මීයා ගිල දැමීමට සැරසුණි. "සමාව දුන මැනවි, රාජෝත්තමයාණනි," යැයි කුඩා මීයා බියෙන් මුසපත්ව හඬ නැගීය: "මා හට මේ වතාවට සමාව දෙන්න, මම කිසිදා එය අමතක නොකරමි: කවුරුන්ද දන්නේ මෙයට ප්‍රතිඋපකාර වශයෙන් යම් දිනෙක මට ඔබට කුමක් කරන්නට ලැබෙයිද කියා?" මීයා තමාහට උදවු කිරීමට ඇති හැකියාව ගැන සිතමින් සිංහයාට කෙතරම් විනෝදයට පත් වූවාදයත්, සිය අත්ල දිගහැරි ඌ මීයා නිදහස් කලේය. ටික කලකට පසුව, රජතුමා වෙත ඌ පණපිටින් අල්වා ගෙන ගොස් තෑගිකරමී යැයි සිතූ දඩයක්කාරයන් ඇටවූ උගුලකට අසුවූ සිංහයා ගසක බඳිනු ලදුව දඩයක්කාරයෝ ඌ රැගෙන යා හැකි රථයක් සෙවුමට නික්ම ගියහ. එවිටම මෙම ස්ථානය පසුකරමින් සිටි මීයා, සිංහයා වැටී සිටි දුඃඛිත තත්ත්වය දෑක, වහා පැමිණ කැලේ රජා බැඳ දමා තිබූ මහා රැහැන් සපා දමා බැමි ලිහීය. "මම එදා කී කථාව නිවැරැදි නොවේද?" කුඩා මීයා විමසා සිටියේය.

සෑම දෙනෙක්ටම සමානාත්මතාවයෙන් සලකන්න.

දරකපන්නා හා සර්පයා සංස්කරණය

ශීත කාලයේ එක් දවසක දරකපන්නෙක් විඩාපත්ව නිවෙස බලා පිය නගමින් සිටි විටෙක හිම මත යම් කළු පැහැති දෙයක් තිබෙනු දිටීය. එම තැනට වඩාත් කිට්ටුවත්ම ඔහු දුටුවේ මිය ඇදෙමින් සිටි සර්පයෙකුයි. එනමුදු එය සියතට ගත් හේ උණුසුම් කරනු වස් එය ලපැත්තේ රුවා හණිකට නිවෙස වෙත දිව ගියේය. නිවෙස වෙත පැමිණි වහාම හේ සර්පයා ගින්න අබියසින් උදුන මත තැබීය. දරුවන් ඌ දෙස විමසිල්ලෙන් බලාසිටි අතර ඌ සෙමෙන් හා කෙමෙන් පණ ලබන බව දුටහ. එවිය එක් දරුවෙක් ඉදිරියට විත් නැමී ඌ පිරිමදින්නට විය, එනමුදු සිය හිස එසවූ සර්පයා උගේ විසදත් විදහා දරුවාට මරු කැඳවන පහරක් එල්ල කිරීමට සැරසුණි. එවිට දරකපන්නා තම පොරව සුරතය ගෙන, එක් පහරකින් සර්පයා දෙපළු කලේය. "අහෝ," හේ පැවසීය, "

අසත්පුරුෂයන්ගෙන් කෙළෙහිගුණ පැතිය නොහැක."

"කිරි දියෙන් දෙවියත් - අගුරු සුදුවෙන කලෙක් නම් නැත්."

සිවලා හා එළුවා සංස්කරණය

පූර්ව කර්මයක් හේතුවෙන් දෝ ගැඹුරු ළිඳකට වැටුනු සිවලෙක් එයින් ගොඩ එනු බැරිව ලතවෙමින් සිටියේය. ටික වේලාවකින් එදෙසින් ගිය එළුවෙක් සිවලාගෙන් විමසා සිටියේ ඌ ලිඳ තුල කුමක් කරන්නේද යන්නයි. "අහෝ, ඔබ මේ පිළිබඳ අසා නැතිද?" හිවලා පිළිතුරු දුනි; "මහා නියඟයක් පැමිණෙමින් පවතියි, මා මේ තුලට පැන්නේ දිය අසලටම වී සිටීමෙන් එයට මුහුණ දිය හැකි වන පරිදිය. ඔබත් මෙහි පැමිණ මා සමග එක් නොවන්නේ මන්ද?" උපදේශය හිස් මුදුනින් භාර ගත් එළුවා, ලිඳ තුලට පැන්නේය. එනමුදු වහා ක්‍රියාකාරී වූ සිවලා, ඇයගේ පිට මතට පැන ඇයගේ මහත් වූ අං මතට තම කකුල් තබා ලි‍ඳේ ගැටියට පැන ගැනුමට සමත් විය. "ආයුබෝවන්, මිතුරියණි," තෙපලූ සිවලා, "ඊළඟ වතාවේ මතක තබා ගන්න,

අවදානමෙහි වැටී සිටින පුද්ගලයෙකුගේ අවවාද කිසිදිනක නොපිළිගන්න."


නගරබද මීයා හා ගම්බද මීයා සංස්කරණය

නගරබද මීයා එකමත් එක කාලයක ගම් පලාතේ පිහිටි ගම්බද මීයාගේ නිවහනට නෑගම් ගියා. ගම්බද මීයා බොහෝම අමාරුවෙන් වේල පිරිමහාගත්තත් උගේ නගරබද ඥාති සොහොයුරාව ඉතාමත් ප්‍රිය කල නිසා ඉතා හරසරින් පිලිගත්තා. බෝංචි ඇට හා බේකන් සමග කේජු හා පාන් පමණක් ඔහු සතුව තිබුනත් ඒවා ඇතිතරම් කෑමට හැකි වන ලෙස මේසය පිළියෙල කලා. නගරබද මීයා උගේ දිගු නැහැය මෙම ගම්බද කෑම මේසය මත යවමින් මෙසේ කිව්වා  : "ඥාති සොහොයුර, මට හිතාගන්නටවත් බැහැ මේ වගේ අසාර කෑම වර්ග බුදිමින් ඔබ කෙසේ කල් ගෙවනවද කියා, අනික් අතට බැලුවම ගම්බද පලාතක තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්; ඔබ මාත් සමග පැමිණුනොත් නියම ජීවිතය කුමක්ද කියා පෙන්වන්නම්. ඔබ නගරයේ එක් සතියක් ගතකලොත් ඔබට සිතෙයි මෙපමණ කල් ගම්බද ගත කල ජීවිතය කෙතරම් කටුකද කියා." ඉතා ඉක්මනින් කටයුතු සිදුවුනා: මීයන් දෙදෙනා නගරය බලා පිටත්වී රාත්‍රී යාමයේදී නගරබද මීයාගේ නිවහනට ලඟා වුනා. "දිගු ගමණකින් පසුව ඔබට කුසගිනි ඇතිනේ," යැයි පැවසූ ආචාරශීලී නගරබද මීයා ප්‍රධාන භෝජනාගාරයට උගේ මිතුරා රැගෙන ගියා. කදිම භෝජන සංග්‍රහයක ඉතිරිය එහිදී උන්ගේ නෙත් හමුවේ දිස් වුනු අතර මීයන් දෙදෙන ලහි ලහියේ ජෙලි වර්ග හා කේක් වර්ග හා අනර්ඝ සියළු දෑ අනුභව කිරීමට පටන් ගත්තා. එක්වරම ඔවුන්ගේ සවනත වැකුනේ ගෙරවිලි හා බිරුම් හඬකි."ඒ කුමක්ද?" ගම්බද මීයා විමසුවා. "ඒ මේ ගෙදර බල්ලන්ගේ සද්දෙ පමණයි," අනෙකා පිළිතුරු දුන්නා. "පමණයි!" ගම්බද මීයා පැවසුවා. "මගේ රාත්‍රී ආහාරය අතරතුර ඒ නාදය අසන්නට නම් මම රිසි නැහැ." එවිටම දොර කඩාගෙන විශාල බලු තඩියන් දෙදෙනෙක් කඩා පැන්න විට මීයන් දෙදෙනාට පණ බේරා ගෙන පැන දුවන්නට සිදු වුනා. "ආයුබෝවන්,සහෝදරයා" යැයි ගම්බද මීයා පැවසුවා, "අයියෝ! ඇයි මේ හණිකට ආපසු යන්නේ?" අනෙකා විමසුවා. "ඔව්," හේ පිළිතුරු දුන්නා;

" කේක් වර්ග හා රස බීම භීතියෙන් භුක්ති විඳීමට වඩා බෝංචි ඇට හා බේකන් කෑලි සාමයෙන් වැලඳීම සැපයි."

බියගුලු දඩයක්කාරයා සංස්කරණය

සිංහයෙකුගේ අඩිපාර සොයා ගිය දඩයක්කාරයෙකුට දර කපන්නෙක් හමුවිය. ඔහු දර කපන්නාගෙන් සිංහයාගේ ගුහාව පිළිබඳ විමසීය. පිළිතුරු ලෙස ගුහාව නොවේ සිංහයාම පෙන්වීමට තමාට හැකි යැයි දර කපන්නා පැවසීය. මෙය ඇසූ දඩයක්කාරයා බියෙන් සුදුමැලි වී "නෑ නෑ මම සොයන්නේ සිංහයා නොවේ උගේ අඩිපාර" යැයි පැවසීය.

කටින් මිස ක්‍රියාවෙන් හපන්කම් නොපෙන්වන බිය ගුල්ලන්ගේ උදාරම් වචන පුහුය.

"https://si.wikibooks.org/w/index.php?title=ඊසොප්ගේ_උපදේශ_කථා&oldid=12224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි